Wednesday, November 21, 2012

ජගත් පරිසර විමසුම 148 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-11-14, පි. 11
http://www.vidusara.com/2012/11/14/feature3.html


විමසුම - කෝපි වගාවට බරපතළ තර්ජනයක්‌ ඇති කරන දේශගුණ වෙනස්‌ වීම
ප්‍රමුඛ පුවත - ඇමෙරිකානු ජනාධිපතිවරණය පරිසරයට කෙසේ වේ ද?/
පුවත් සැකෙවින් - දකුණු කොරියාව න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක්‌ වසා දමයි‌/ ගෘහාශ්‍රිත සුළං ටර්බයින සඳහා නීති මාලාවක්‌?/ බ්‍රිතාන්‍යයේ ඈෂ් ගස්‌ බේරාගැනීමට හැකි වේ ද?

කෝපි වගාවට බරපතළ තර්ජනයක්‌ ඇති කරන දේශගුණ වෙනස්‌ වීම

කෝපි යනු ලෝකයේ ප්‍රධානතම පානයකි. එය ලෝකයේ වඩාත් ම ජනප්‍රිය පානය සේ සැලකෙන අතර තෙල් හැරුණු විට වැඩි ම අලෙවියක්‌ ඇති පාරිභෝගික ද්‍රව්‍යය ලෙස ද හ`දුන්වා ඇත. ලෝකයේ රටවල් 52ක පමණ කෝපි වගා කරනු ලබන අතර ඒ තම ජීවනෝපාය කරගන්නා පිරිසේ ප්‍රමාණය මිලියන 26ක්‌ පමණ වේ. 2009/10 වර්ෂවල සංඛ්‍යාලේඛන අනුව සමස්‌ත කෝපි අපනයනයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 15.4ක්‌ පමණ වන අතර කෝපි මලු මිලියන 93.4ක්‌ පමණ ඒ වර්ෂය ඇතුළත නැව්ගත කරන තිබේ.

අප්‍රිකාව නිජබිම් කරගත් කෝපි විශේෂ දෙකක්‌ ලෝකය පුරා ප්‍රධාන වශයෙන් වගා කරනු ලැබේ. ඒ ඇරබිකා කෝපි (Coffea canephora) හා රොබස්‌ටා කෝපි ය. (Coffea canephora). මේ වන විට ලෝකයේ කෝපි නිෂ්පාදනයෙන් සියයට 70ක්‌ පමණ සපයන්නේ ඇරබිකා කෝපි විශේෂයෙනි.

කෝපි වගාවේ දේශගුණ සංවේදිත්වය

කෝපි වගාව දේශගුණයේ ඇති වන වෙනස්‌වීම්වලට බෙහෙවින් සංවේදී වේ. විශේෂයෙන් වැඩි උෂ්ණත්වයක්‌ සහිත තත්ත්ව හමුවේ කෝපි වගාවේ යම් යම් ගැටලු ඇති විය හැකි ය. නිදසුනක්‌ ලෙස ඇරබිකා කෝපි වගාව සඳහා යෝග්‍ය ප්‍රශස්‌ත උෂ්ණත්වය වන සෙල්සියස්‌ අංශක 18-24 අගය වුවත්, අංශක 23ක්‌ පමණ ඉක්‌මවූ පසුව කෝපි ඵල වර්ධනය හා මේරීම වේගවත් වීම නිසා කෝපිවල ගුණාත්මක බව අඩු වීමට ඉඩ තිබේ. (බ්‍රසීලය වැනි ඇතැම් ප්‍රදේශවල මේ උෂ්ණත්වයේ දී එවැනි ලක්‌ෂණ නො පෙන්වන බවද පෙන්වාදී ඇත). සෙල්සියස්‌ අංශක 30ක්‌ පමණ තරම් ඉහළ උෂ්ණත්වයක්‌ දිගු කාලයක්‌ පුරා පැවතීම නිසා ශාකයේ වර්ධනය බාල වීම හා අසාමාන්‍ය තත්ත්ව ඇති වීම සිදු වේ. එසේ ම අංශක 17ට අඩු උෂ්ණත්වයක්‌ පැවතීම ද ඇරබිකා කෝපි වගාවට හානිකර වේ. එසේ ම තුහින වැනි ආන්තික ශීත තත්ත්ව ද කෝපි ශාක සඳහා දැඩි ලෙස හානිකර වේ.

වර්තමානයේ දී ක්‍රමයෙන් ඉහළ යන ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය නිසා කෝපි වගාවේ අනාගතය පිළිබඳව ගැටලු ඇති වී තිබේ. ඉදිරි සියවසක කාලය තුළ ඇති වීමට නියමිත උෂ්ණත්වය ඉහළ යැම කෝපි සඳහා ඉතා බරපතළ සේ බලපෑමට හැකි බව ඉතා පැහැදිලි ය. මේ වන විටත් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් එවැනි තත්ත්ව වාර්තා වී තිබේ.

වල් ප්‍රභේදවලට ඇති වන බලපෑම

ඇරබිකා කෝපි වගාවේ මුල්බිම සේ සැලකෙන්නේ අප්‍රිකාවේ නිරිතදිග ඉතියෝපියාව, අග්නිදිග දකුණු සුඩානය හා උතුරු කෙන්යාව වන ඇතුළත් පු`ඵල් ප්‍රදේශයකි. ඉතියෝපියාව වැනි රටවල කෝපි ශාකයේ වල් ප්‍රභේද තවමත් වගා කරනු ලැබේ. මේ දේශීය ප්‍රභේද එරට කෝපි වගාවේ වැදගත් වගාවක්‌ ද වේ. මේ දේශීය කෝපි ප්‍රභේදවල සුවිශේෂී වැදගත්කමක්‌ තිබේ. ඒ, මේ වනගත ප්‍රභේද තුළ ඉහළ ජෛවවිවිධත්වයක්‌ තිබීම නිසා ය. වගා කරනු ලබන කෝපි භෝගයේ ප්‍රවේණික විවිධත්වය අඩු නිසා දේශගුණ වෙනස්‌වීමට පමණක්‌ නො ව, රෝගවලට හා පළිබෝධකයන්ට මුහුණ දීමට ඇති හැකියාව ද අඩු ය. මේ නිසා අනාගතයේ කෝපි ශාකයේ මෙන්ම වගාවේ පැවැත්ම සඳහා මේ වල් ප්‍රභේදවල වැදගත්කම ඉතා ඉහළ ය.

එහෙත් දේශගුණ වෙනස්‌ වීම නිසා මේ ශතවර්ෂය අවසානය වන විට අරාබි කෝපිවල වල් ප්‍රභේද වගා කිරීමට යෝග්‍ය ප්‍රදේශය බරපතළ ආකාරයෙන් සීමා විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. එහි දී විමසා බලා ඇත්තේ කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රමාණය මත තීරණය වන අනාගත තත්ත්ව තුනක්‌ හමුවේ දී, 2020, 2050 හා 2080 යන වර්ෂ වන විට මේ කෝපි වගා කරනු ලබන ප්‍රදේශවල ඇති විය හැකි වෙනස්‌කම් පිළිබඳව ය. එය ආකෘතික අධ්‍යයනයක්‌ ලෙස සිදු කර තිබේ. ඒ අනුව වඩාත් ම යහපත් තත්ත්ව යටතේ 2080 වන විට මේ වල් ප්‍රභේද වගා කිරීමට යෝග්‍ය භූමිය 38-65% අතර ප්‍රමාණයකින් අඩු විය හැකි අතර, වඩාත් අයහපත් තත්ත්ව යටතේ එය 90-99.7%ක්‌ පමණ තෙක්‌ අඩු විය හැකි ය. (මූලාශ්‍රය :PLoS ONE, DOI:10.1371/journal.pone.0047981)

ලෝකයේ ඇති වෙමින් තිබෙන දේශගුණ වෙනස්‌වීම නිසා කෝපි පමණක්‌ නො ව, වල් කෝපි ප්‍රභේද පවා තර්ජනයට ලක්‌ ව ඇති බව මේ අධ්‍යයනයෙන් සාධක සපයයි. ආකෘතික අධ්‍යයනයක්‌ වුවත් මේ තත්ත්වය සැලකිල්ලට ලක්‌ විය යුත්තකි. කෝපි වල් ප්‍රභේදවල වැදගත්කම අමතක කළ යුතු නැත. ඒ අනුව මේ අධ්‍යයනයෙන් කෝපි වගාවේ අනාගතයට රතු එළියක්‌ දල්වා තිබේ. කෝපි වගාවේ වල් ප්‍රභේද සංරක්‌ෂණය කිරීම සඳහා පියවර ගැනීමට මේ යෝග්‍යතම කාලය බව පෙනේ. කෙසේ වෙතත්, දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම ද මේ සඳහා අත්‍යවශ්‍ය කරුණක්‌ බව නම් පැහැදිලි ය. අවාසනාවකට මෙන් ඒ පිළිබඳව ප්‍රමාණවත් ජගත් මට්‌ටමේ වැඩපිළිවෙළක්‌ තවමත් දකින්නට නොමැත.

ප්‍රමුඛ පුවත
ඇමෙරිකානු ජනාධිපතිවරණය පරිසරයට කෙසේ වේ ද?
පසුගිය දා පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික්‌ පාක්‌ෂික අපේක්‌ෂකයා වන බැරැක්‌ ඔබාමා ජයගෙන තිබේ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් ව සිටි අපේක්‌ෂකයන් දෙදෙනා අතරින් පරිසරය පිළිබඳ වැඩි අවධානයක්‌ හා සැලකිල්ලක්‌ දක්‌වන අපේක්‌ෂකයා ලෙස ඔබාමා ඉදිරියෙන් සිටියේ ය. විශේෂයෙන් ඔහු දේශගුණ වෙනස්‌වීම සත්‍යයක්‌ බව විශ්වාස කළ අතර, එය පාලනය කිරීමේ ඇති වැදගත්කම හා පරිසර හිතකාමී බලශක්‌තිය වැනි අංශ පිළිබඳව යම් හෝ අවධානයක්‌ යොමු කළ ජනාධිපතිවරයෙකි. අවාසනාවකට මෙන් රිපබ්ලිකන් පාක්‌ෂිකයන්ට වැඩි බලයක්‌ පැවැති ආයතනවලින් ඔහු ගත් ඇතැම් පියවර සඳහා ප්‍රමාණවත් සහයෝගයක්‌ ලැබුණේ නැත. අනෙක්‌ අතට මෙවර ඉදිරිපත් වූ ප්‍රතිපත්ති අනුව ද ඔබාමා හා ඔහු ගේ ප්‍රතිවාදියා වූ රොම්නි පරිසරය හා බලශක්‌තිය ගැන දැරූ මත බෙහෙවින් වෙනස්‌ විය. එක්‌ අදහස්‌ දැක්‌වීමකට අනුව, මෙවර ජනාධිපතිවරණයේ අපේක්‌ෂකයන් දෙදෙනා පරිසරය හා බලශක්‌තිය ගැන දැරූ අදහස්‌වල වෙනස්‌කම් තරම් වෙනසක්‌ තිබූ වෙනත් අංශ වූයේ ඉතා සු`ඵ ප්‍රමාණයකි.

මෙවර ජයග්‍රහණයෙන් පසුව ඔබාමා ඔහු ගේ ජයග්‍රාහී කතාවේ දී ද 'උණුසුම් වන මිහිතලයේ විනාශකාරී බලවේග' පිළිබඳව අදහසක්‌ පළ කළේ ය. මෙය දේශගුණ වෙනස්‌වීම පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සැමට යම් සැනසිල්ලක්‌ ගෙන එන්නට ඇත. බ්‍රිතාන්‍යයේ පළ වන 'ද ගාඩියන්' පුවත්පතේ පළ වූ ලිපියකට අනුව මේ වාරයේ පත් වී ඇති ආණ්‌ඩුකාරයන්, සෙනෙට්‌ සභිකයන්, කොංග්‍රස්‌ නියෝජිතයන් අතර දේශගුණ වෙනස්‌වීම වැළැක්‌වීම සඳහා හඬ න`ගන්නෝ ද සිටිති. ඔවුන් මේ පිළිබඳව ඔබාමා ගන්නා උත්සාහයකට (එවැන්නක්‌ වේ නම්) සහයෝගයක්‌ විය හැකි ය. ඔබාමා ගේ දෙවැනි පාලන සමය ලබන වර්ෂයේ දී ආරම්භ වීමට නියමිත ය.

පුවත් සැකෙවින්

දකුණු කොරියාව න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක්‌ වසා දමයි

අදාළ ප්‍රතික්‍රියාකාරකවලට යොදාගෙන ඇති ඇතැම් කොටස්‌වල ප්‍රමිතිය ජාත්‍යන්තර වශයෙන් අනුමත කරන ලද ප්‍රමිතියට නොමැති නිසා දකුණු කොරියාවේ පිහිටා ඇති න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක්‌ වහා ම වසා දැමීමට එරට රජය පසුගිය සතියේ තීරණය කළේ ය. විලායක, ස්‌විච හා සිසිලන පංකා වැනි මේ කොටස්‌ යොදාගෙන ඇති ස්‌ථානය අනුව මේවා ආරක්‌ෂක තර්ජනයක්‌ ඇති කර නොමැති වුවත්, ආරක්‌ෂාව තකා මේ ප්‍රතික්‍රියාකාරක වසා දමා ඇති බව පෙනේ. මේවාට න්‍යෂ්ටික බලාගාරවලට අවශ්‍ය සහතිකය තිබී නොමැත.

මේ නිසා ඉදිරියේ දී එරට විදුලිබල සැපයුමේ යම් යම් ගැටලු ඇති විය හැකි වුවත්, මහජන ආරක්‌ෂාව උදෙසා කොරියාව මෙවැනි පියවරක්‌ ගෙන ඇති බව පෙනේ. එරට විදුලි බල සැපයුමෙන් 35%ක්‌ පමණ නිපදවනු ලබන්නේ රට තුළ පිහිටි න්‍යෂ්ටික බලාගාර 23කිනි. මේ බලාගාර සමහරක ඇති වී තිබෙන ගැටලු නිසා මේ වන විට එරට න්‍යෂ්ටික බලාගාරවලට එරෙහි මහජන විරෝධතාවයක්‌ ද මතු වෙමින් තිබේ.


ගෘහාශ්‍රිත සුළං ටර්බයින සඳහා නීති මාලාවක්‌?

ගෘහාශ්‍රිත සුළං විදුලිබල ජනක (ටර්බයින) නිසා පක්‌ෂීන්ට හා වවුලන්ට ඇති විය හැකි හානි වැළැක්‌වීම සඳහා ජාතික මට්‌ටමේ මාර්ගෝපදේශන ඇති කරන මෙන් බ්‍රිතාන්‍යයේ ස්‌ටර්ලින් සරසවියේ පර්යේෂකයින් පිරිසක්‌ යෝජනා කර තිබේ. එරට විවිධ ප්‍රදේශවල මෙවැනි ක්‌ෂුද්‍ර ටර්බයින ස්‌ථාපිත කිරීමේ දී අවශ්‍ය සැලසුම් අනුමත කිරීමේ දී විශාල වෙනස්‌කම් දැකිය හැකි වීම මීට හේතුවයි. ඇතැම් ප්‍රදේශවල ඒ සඳහා පාරිසරික සමීක්‌ෂණයක්‌ සිදු කළ යුතු වුවත් තවත් ප්‍රදේශවල එවැන්නක්‌ අවශ්‍ය නො වේ. එසේ ම වනජීවීන්ට ඇති විය හැකි බලපෑම් මේවායේ දී ප්‍රමාණවත් තරම් සැලකිල්ලට ලක්‌ වී නොමැත. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඒ බලපෑම දෘශ්‍ය වශයෙන් හා ශබ්දයෙන් ඇති වන බලපෑමට වඩා අඩු බවක්‌ සලකා ඇත. එහෙත් ටර්බයින නිසා පක්‌ෂීන්ට මෙන්ම වවුලන්ට ද සැලකිය යුතු හානිකර බලපෑමක්‌ ඇති විය හැකි බව අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ. (මේ සම්බන්ධව අප මින් ඉහත දී සාකච්ඡා කර ඇත. කියවන්න- ජගත් පරිසර විමසුම 136, 2012 අගෝස්‌තු 15)

මේ නව අධ්‍යයන වාර්තාවෙන් දැක්‌වෙන පරිදි මේ බලපෑම පිළිබඳවද තවදුරටත් අධ්‍යයනය කිරීම ද අවශ්‍ය ය. ඒ අනුව අදාළ පාර්ශ්වකරුවන් අතර වැඩි සහයෝගිතාවයක්‌ තිබිය යුතු ය. එරට තුළ ක්‌ෂුද්‍ර ටර්බයින තැනීම වේගවත් වී ඇති නිසා මේ පිළිබඳ යම් අවධානය යොමු කිරිම වැදගත් බව පෙනේ. (මූලාශ්‍රය :Journal of Applied Ecology,DOI: 10.1111/jpe.12005)


බ්‍රිතාන්‍යයේ ඈෂ් ගස්‌ බේරාගැනීමට හැකි වේ ද?

දිලීර රෝගයක්‌ නිසා විනාශ වෙමින් ඇති ඈෂ් ගස්‌ (Fraxinus excelsior) බේරාගැනීමට කටයුතු කිරීමට බ්‍රිතාන්‍ය රජය සැලසුමක්‌ සකස්‌ කර තිබේ. මේ අනුව නො මේරූ ගස්‌ විනාශ කිරීමටත්, හොඳින් මේරූ විශාල වෘක්‌ෂ විනාශ නො කිරීමටත් තීරණය කර ඇත. ඒ අනුව රෝගය මුලිනුපුටා දැමීමට නො ව එය පාලනය කිරීමට පියවර ගැනීමට නියමිත ය. මින් පෙර අදහස්‌ පළ කර තිබුණේ රෝගයට ලක්‌ ව ඇති සියලු ශාක කපා ඉවත් කිරීමට වුවත්, විශාල වෘක්‌ෂ වනජීවීන් ගේ පැවැත්ම සඳහා වැදගත් වන නිසා ඒ තීරණය වෙනස්‌ කර තිබේ.

මේ තීරණය පරිසර ක්‍රියාකාරීන් ගේ පැසසුමට හේතු වී ඇත. විද්‍යාඥයන් දැරූ මතය වූයේ ද මේ රෝගය මුලිනුපුටා දැමීම පහසු කරුණක්‌ නො වන බව ය. ඒ නිසා රෝගය ව්‍යාප්ත වීම ප්‍රමාද කර මේ රෝගයට ප්‍රතිරෝධයක්‌ දක්‌වන ශාක හ`දුනාගෙන ඒවා ව්‍යාප්ත වීමට සැලැස්‌වීම සුදුසු සේ හඳුනාගෙන ඇත. බ්‍රිතාන්‍යයට දේශීය වූ එක ම ඈෂ් විශේෂය මෙය වේ.

http://www.vidusara.com/2012/11/14/feature3.html

No comments:

Post a Comment