Saturday, November 3, 2012

ජගත් පරිසර විමසුම 144 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම
විදුසර (Vidusara), 2012-10-10, පි. 11
http://www.vidusara.com/2012/10/10/feature3.html

විමසුම - ආක්‌ටික්‌ කලාපය සම්පත් කොල්ලයක්‌ අභියස?
ප්‍රමුඛ පුවත - මහා බාධක පරයෙන් දෙගුණයක්‌ විනාශ වෙලා
පුවත් සැකෙවින් - දේශගුණ වෙනස්‌වීම් නිසා මසුන් කුඩා වේ/ ඊයම් නිසා වැනසෙන බ්‍රිතාන්‍යයේ ජලජ පක්‌ෂීන්/ ජාන විකරණය කළ ආහාර ලේබල් ගැන කැලිෆෝනියාවේ ජනමතය විමසීමට


විමසුම
ආක්‌ටික්‌ කලාපය සම්පත් කොල්ලයක්‌ අභියස?

ආක්‌ටික්‌ ධ්‍රැව ප්‍රදේශය හා ආක්‌ටික්‌ සාගරය පිළිබඳව මෑත කාලයේ දී ලෝකයේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබේ. ඊට හේතු කිහිපයක්‌ තිබේ. ඉන් එකක්‌ වන්නේ අප මේ තීරුව ඔස්‌සේ වරින්වර සාකච්ඡා කර ඇති ආක්‌ටික්‌ සාගරයේ පා වන අයිස්‌ මට්‌ටම වේගයෙන් අඩු වීම ය. ඒ සඳහා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම බලපා ඇති බව විශ්වාස කරනු ලැබේ. මේ සමගම මෑත කාලයේ දී ඇති වී තිබෙන තවත් ගැටලුවක්‌ වන්නේ ආක්‌ටික්‌ ප්‍රදේශ වෙත ලෝකයේ විවිධ රටවල අවධානය බෙහෙවින් ඉහළ ගොස්‌ තිබීම ය.

ප්‍රයෝජනයක්‌ නැති බිමක්‌ සේ සැලකුණු ආක්‌ටික්‌ කලාපය මෑතක්‌ වන තුරු මානව කටයුතු තරමක්‌ අඩු ව තිබූ කලාපයකි. (එහෙත් එහි මානව කටයුතු ඇන්ටාක්‌ටික්‌ කලාපයට වඩා ඉහළ මට්‌ටමක පැවැති බව කිව හැකි ය.) ඊට හේතුව වන්නේ ආක්‌ටික්‌ ප්‍රදේශයේ සැඟවී ඇති විවිධ සම්පත් ය. මේ නිසා ආක්‌ටික්‌ කලාපීය රටවල් මෙන්ම වෙනත් රටවල් ද ඒ ගැන අවධානයක්‌ යොමු කර තිබේ. මේ සතියේ පරිසර විමසුමේ අදහස ද මේ ක්‍රියාමාර්ග පිළිබඳ මදක්‌ විමසීම ය.

ආක්‌ටික්‌ ප්‍රදේශයේ සම්පත්

ආක්‌ටික්‌ සාගර ප්‍රදේශයේ බොහෝ සම්පත් සැඟව ඇති බව සත්‍යයකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ඛනිsජ තෙල්, ස්‌වාභාවික වායු සංචිත ඇති බවට තොරතුරු මේ වන විටත් ලැබී තිබේ. එක්‌ වාර්තාවකට අනුව ලෝකයේ ඇති තෙල් හා ගෑස්‌ නිධිවලින් 22%ක්‌ පිහිටා ඇත්තේ ආක්‌ටික්‌ කලාපයේ ය. මේ ප්‍රදේශයේ තෙල් හා ගෑස්‌ කැණීම් වසර සියයකටත් අධික කාලයක සිට සිදු වන නමුත්, මෑත කාලයේ දී ඒ සඳහා වන උනන්දුව ඉහළ ගොස්‌ ඇත. බොහෝ ප්‍රකට සමාගම් මේ වන විටත් ඒ සඳහා යොමු වී ඇති බව දැකිය හැකි ය.

මේ ප්‍රදේශයේ වෙනත් ඛනිජ නිධි ද දැකිය හැකි ය. සින්ක්‌, රන් හා යකඩ මේ අතරින් දැනටමත් ලබාගන්නා ද්‍රව්‍ය අතර වේ. මේවා ද කාලයක්‌ තිස්‌සේ ලබාගන්නා නමුත්, උෂ්ණත්වය ඉහළ යැම නිසා මේ ප්‍රදේශයේ සම්පත් උකහා ගැනීම තවත් ඉහළ ගොස්‌ තිබේ. ඒ අයිස්‌ මට්‌ටම පහළ යැමත් සමඟ පහසුවෙන් මේ ප්‍රදේශයේ ගමන් කළ හැකි වීම හේතුවෙනි. එසේ ම මිනිසුන්ට ජීවත් වීමට වඩා හොඳ තත්ත්වයක්‌ මේ ප්‍රදේශයේ වර්ධනය වෙමින් ඇත. ආක්‌ටික්‌ කලාපය හරහා සිදු වන නැව් ගමනාගමනය ද ඉහළ ගොස්‌ ඇත. ඊට මේ සම්පත් උකහා ගැනීම මෙන්ම වඩා කෙටි නැව් මාර්ගයක්‌ මේ කලාපය හරහා වැටී තිබීමත් බලපායි. ධීවර කර්මාන්තයේ ද යම් වර්ධනයක්‌ මේ සමඟ සිදු වී තිබේ.

පරිසර ගැටලු හා අනාගතය?


මේ සියලු කටයුතු නිසා ආක්‌ටික්‌ පරිසරයට ඇති විය හැක්‌කේ දැඩි බලපෑමකි. ලෝකයේ වෙනත් ප්‍රදේශවල නිකුත් වන පරිසර දූෂක පවා දැනටමත් මේ ප්‍රදේශයේ ජීවත් වන සතුන් තුළ හා පරිසරයේ හමු වේ. එසේ ම හදිසි අනතුරුක දී තෙල් හෝ වෙනත් ද්‍රව්‍ය පරිසරයට එක්‌ වීම නිසා කලාපයේ බොහෝ ගැටලු ඇති වීමට ඉඩ තිබේ. මේ තත්ත්වය ද පාලනය කිරීම අවශ්‍ය ය.

මේ කලාපයේ රටවල් අටක්‌ එක්‌ ව මේ ප්‍රදේශය පිළිබඳ ප්‍රතිපත්ති සැකසීම සඳහා පිහිටුවාගත් ආක්‌ටික්‌ කවය (Arctic Council) මෙවැනි ලිහිල් ජාත්‍යන්තර ආයතනයකි. එහෙත් ඉන් පිටත ඇති රටවල් ද ආක්‌ටික්‌ කලාපය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන බවක්‌ පෙනේ. ඒ අතර චීනය හා බ්‍රිතාන්‍යය ද වේ. කෙසේ වෙතත් ආක්‌ටික්‌ කලාපයේ සම්පත් උකහාගැනීමට එරෙහි ව ද මතයක්‌ ඇති බව අමතක කළ යුතු නො වේ. ආක්‌ටික්‌ කලාපයේ තෙල් හා ගෑස්‌ ලබා ගන්නා සමාගම්වලට එරෙහි ව බොහෝ පාරිසරික කණ්‌ඩායම් විරෝධතා දක්‌වන බව පසුගිය දිනවල වාර්තා විය.

කෙසේ වෙතත් මේ සම්පත් සඳහා වන උනන්දුව නිසා ආක්‌ටික්‌ කලාපයේ ද කිසියම් ආකාරයක සම්පත් කොල්ලයක්‌ ඇති විය හැකි බව පෙනේ. එය තවත් ගැටලු රැසක ආරම්භය විය හැකි ය. මේ තත්ත්වය පාලනය කරගැනීම සඳහා කිසියම් කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ගයක්‌ අවශ්‍ය බව ඉතා පැහැදිලි ය. 

ප්‍රමුඛ පුවත
මහා බාධක පරයෙන් දෙගුණයක්‌ විනාශ වෙලා

ඔස්‌ටේ්‍රලියාවට ආසන්න ව පිහිටා ඇති මහා බාධක පරය ලෝකයේ විශාලතම හා වඩාත් ජනප්‍රිය කොරල් පරය විය හැකි ය. ජෛවවිවිධත්වය අතින් ඉහළ මේ පරිසරය ලෝක උරුමයක්‌ ද වේ. එහෙත් පසුගිය සතියේ දී වාර්තා වූ අධ්‍යයනයකට අනුව මේ කොරල් පරයේ පිහිටා තිබූ කොරල් ආවරණයෙන් අඩක්‌ පමණ පසුගිය වසර 27ක පමණ කාලය ඇතුළත විනාශ වී තිබේ.

කොරල් පරය සමන්විත වී ඇති පර 214ක්‌ පමණ ප්‍රමාණයක්‌ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයන 2,258ක දත්ත විශ්ලේෂණය කරන මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ 1985 දී 28%ක්‌ ව පැවැති මහා බාධක පරයේ කොරල් ආවරණය, 2012 වන විට 13.8%ක්‌ පමණ දක්‌වා අඩු වී ඇති බව ය.

මෙසේ කොරල් ආවරණය අඩු වීම සඳහා හේතු වී ඇති කරුණු තුනක්‌ මෙහි දී පෙන්වා දී තිබේ. ඒවා නම්, කුණාටු, තාරකා මසුන් හා දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වන කොරල් විරංජනයයි. නිවර්තන කලාපීය සුළිකුණාටු 34ක්‌ මේ කාලය තුළ ඇති වී ඇති අතර, ඒවා මේ විනාශයෙන් 48%ක්‌ සඳහා දායක වී තිබේ. එසේ ම, පර තනන ජීවීන් ආහාරයට ගන්නා එක්‌ තාරකා මසුන් විශේෂයක (crown-of-thorns starfish) ව්‍යාප්තිය නිසා කොරල් පරවලින් 42%ක්‌ පමණ විනාශ වී තිබේ. අනෙක්‌ අතට, 1998 හා 2002 යන වර්ෂවල සිදු වූ බරපතළ කොරල් විරංජනය වීම් දෙකක්‌ නිසා කොරල්පරවලින් 10%කට පමණ හානි සිදු වී තිබේ.

කොරල් පරිසරයක ජීව්‍යතාව පවත්වාගැනීම සඳහා කොරල් ජීවීන් ගේ පැවැත්ම ඉතා වැදගත් ය. කොරල් පර ප්‍රමාණය අඩු වීමත් සමඟ, කෙරල්පර පරිසර පද්ධතියේ දැඩි පිරිහීමක්‌ ඇති වේ. මේ තත්ත්වය ඒ පරිසර පද්ධතියේ සමස්‌ත ජීවීන් හට බලපායි. මේ තත්ත්වයෙන් පරය නැවත යථා තත්ත්වයට පත් වීමට අවස්‌ථාව ඇති නමුත්, ඒ සඳහා වසර 10-20ක්‌ තරම් දිගු කාලයක්‌ ගත වේ. එහෙත් මේ කාලය ඇතුළත විවිධ හානිකර තත්ත්ව ඇති වන නිසා පරය සම්පූර්ණ යථා තත්ත්වයට පත් වීමට ඇති අවස්‌ථාවට බාධා ඇති වේ. මේ නිසා දිගුකාලීන වශයෙන් පරයේ සිදු වන්නේ දැඩි විනාශයකි. එසේ ම අදාළ තාරකා මසුන් විශේෂය පාලනය කිරීමෙන්, ජලයේ ගුණාත්මක තත්ත්වය වර්ධනයෙන් හා වෙනත් ක්‍රමවලින් පරයේ ආරක්‌ෂාව සඳහා කටයුතු කළ හැකි නමුත්, ඒවායින් යහපත් ප්‍රතිඵලයක්‌ ලබාගත හැක්‌කේ දේශගුණික තත්ත්ව නිසා වන බලපෑම පාලනය කළ හැකි නම් පමණක්‌ බව මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. (මූලාශ්‍රය Proceedingsof the National Academy of Sciences,DOI: 10.1073/pnas.1208909109&


පුවත් සැකෙවින්
දේශගුණ වෙනස්‌වීම් නිසා මසුන් කුඩා වේ


දේශගුණ වෙනස්‌ වීම සඳහා අනුහුරු වීමක්‌ ලෙස මත්ස්‍යයන් ගේ ශරීර කුඩා වීමක්‌ පෙන්නුම් කරන බව පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දී තිබේ. ප්‍රමාණාත්මකව දක්‌වන්නේ නම්, මසුන් ගේ ශරීර ප්‍රමාණය සියයට 14ත් 24ත් අතර ප්‍රමාණයකින් අඩු වීමට අවස්‌ථාවක්‌ තිබේ.

2000 සිට 2050 දක්‌වා කාලයේ දී මත්ස්‍ය විශේෂ 600ක පමණ ප්‍රමාණයකට ලෝකයේ උණුසුම ඉහළ යැම නිසා ඇති වන බලපෑම ආකෘතියක්‌ ගොඩනඟා ඇත. ඒ සඳහා යොදාගෙන ඇත්තේ ජලයේ උණුසුම ඉහළ යැම නිසා සාගරයේ ඔක්‌සිජන් මට්‌ටම පහළ යැම සඳහා මසුන් ප්‍රතිචාර දක්‌වන ආකාරයයි. මෙහි දී හෙළි වී ඇති පරිදි මේ තත්ත්වය නිසා මත්ස්‍යයන් ගේ ශරීර බර ප්‍රමාණය සැලකිය යුතු තරම් අඩු විය හැකි ය. ඒ සඳහා ව්‍යාප්තියේ හා සුලබතාවේ වෙනස්‌කම් හා ශරීර විද්‍යාත්මක වෙනස්‌වීම් හේතු වේ.

මේ ගැටලුව වඩාත් තදින් බලපානු ඇත්තේ නිවර්තන හා ඒ ආසන්න ප්‍රදේශවලට ය. ඒ ප්‍රදේශවල වාසය කරන මසුන් ගේ කුඩා වීම 20%ක්‌ පමණ විය හැකි ය. මේ තත්ත්වය ලෝකයේ ආහාර සුරක්‌ෂිතතාව සඳහා බලපානු ඇත. ඒ මත්ස්‍ය ප්‍රෝටීන, ලෝකයේ බොහෝ ප්‍රදේශවල ජනතාව ගේ ප්‍රෝටීන අවශ්‍යතාවේ වැදගත් තැනක්‌ ගන්නා නිසා ය. (මූලාශ්‍රය(Nature Climate Change,DOI: 10.1038/nclimate1691&

ඊයම් නිසා වැනසෙන බ්‍රිතාන්‍යයේ ජලජ පක්‌ෂීන්

ඊයම් විෂ වීම නිසා බ්‍රිතාන්‍යයේ වාසය කරන ජලජ පක්‌ෂි විශේෂ විශාල ලෙසින් මරණයට පත් වන බව පෙන්වා දෙන පක්‌ෂීන් සම්බන්ධව කටයුතු කරන ආයතනයක්‌, ඊට හේතු වී ඇති කරුණු වෙනස්‌ කිරීම සඳහා නීති සකස්‌ කරන ලෙස එරට රජයට බල කර තිබේ. මේ අධ්‍යයනයේ දී අනාවරණය වන කරුණු අනුව 1971-2010 අතර කාලයේ දී මිය ගොස්‌ ඇති පක්‌ෂීන් අතරින් 10%ක පමණ ප්‍රමාණයක මරණ සඳහා දායක වී ඇත්තේ මේ විෂ සහිත රසායනික ද්‍රව්‍යයයි. එසේ ම අධ්‍යයනයට ලක්‌ කළ ජීවී පක්‌ෂීන් අතරින් 34%ක පමණ ප්‍රමාණයක ගේ රුධිරයේ ඊයම් මට්‌ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ වී තිබේ.

පක්‌ෂීන් ගේ ශරීරවලට ඊයම් ඇතුළු වීම සඳහා බලපාන ප්‍රධාන සාධකය වී ඇත්තේ, වෙඩි උණ්‌ඩවලට ඊයම් යොදාගැනීම හා මසුන් මරන්නන් ඊයම් යොදාගැනීම ය. මෙහි ඇති අනෙක්‌ වැදගත් කරුණ වන්නේ මෙවැනි පක්‌ෂීන් ආහාරයට ගැනීම නිසා මිනිසුන් ගේ ශරීරවලට ද ඊයම් ඇතුළු වීම ය. (මූලාශ්‍රයEuropean Journal of
Wildlife Research, DOI: 10.1007/s10344-012-0666-7)

ජාන විකරණය කළ ආහාර ලේබල් ගැන කැලිෆෝනියාවේ ජනමතය විමසීමට

ජාන විකරණය කිරීමෙන් සකස්‌ කරන ලද ආහාරවල ඒ බව සඳහන් කිරීම පිළිබඳ නීතිය සම්බන්ධව මහජන මතය ජනමත විචාරණයක්‌ මගින් විමසීමට කැලිෆෝනියාව තීරණය කර තිබේ. ඒ අනුව ලබන මාසයේ දී ඒ පිළිබඳව මහජන මතය විමසීමට නියමිත ය. මේ නව නීති සම්මත වුව හොත් ජාන විකරණය කරන ලද භෝග හෝ සත්ත්ව කොටස්‌ යොදාගනිමින් සකස්‌ කරනු ලබන ආහාරවල ඒ බව සඳහන් කිරීම අවශ්‍ය වන අතර ඒවායේ 'ස්‌වාභාවික' යන විශේෂණය සඳහන් කළ නොහැකි වනු ඇත.

මෙය වැදගත් වන්නේ ජාන වෙනස්‌ කළ ආහාර ලේබල්කරණය මෙතෙක්‌ නීතියක්‌ හරහා සම්මත කිරීමට නොහැකි වී ඇති නිසා ය. මේ ජනමත විමසුමේ දී ආහාර නිෂ්පාදකයන් හා සමාගම් රැසක්‌ ඊට එරෙහි ව ප්‍රචාරක කටයුතු කිරීමට සූදානම් ව සිටින නමුත්, සමීක්‌ෂණවලින් පෙන්වා දෙන්නේ ජනතාව අතරින් වැඩි පිරිසක්‌ ඊට පක්‌ෂ බව ය.

http://www.vidusara.com/2012/10/10/feature3.html

No comments:

Post a Comment