Saturday, November 3, 2012

ජගත් පරිසර විමසුම 143 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-10-03, පි. 11
http://www.vidusara.com/2012/10/03/feature3.html



විමසුම - නාගරීකරණයේ වර්ධනය ජෛවවිවිධත්වයට අහිතකරයි
පුවත් සැකෙවින් - වානර වාසස්‌ථාන අඩු වේ/ අලි ඇතුන් රැක ගැනීමට ගූගල් අර්ත් පිහිට/ හයිද්‍රාබාද් ජෛවවිවිධත්ව සමුළුව


විමසුම
 නාගරීකරණයේ වර්ධනය ජෛවවිවිධත්වයට අහිතකරයි

නාගරීකකරණය ලෝකයේ දැකිය හැකි මානව ජනගහන ව්‍යාප්තිය හා සම්බන්ධ කරුණකි. නාගරික පරිසරයක පවත්නා පහසුකම් හා රැකියා හා වෙනත් විවිධ අවස්‌ථා නිසා නාගරික ප්‍රදේශ වර්ධනය වීමේ ප්‍රවණතාවක්‌ ලෝකයේ දැකිය හැකි ය. නාගරීකකරණය නිසා පරිසරයට ඇති වන බලපෑම් බොහෝ ය. විශේෂයෙන් වර්තමාන නාගරික ජීවන රටාවේ දැකිය හැකි අධික සම්පත් පරිභෝජනය සහිත ජීවන පිළිවෙත නිසා ඒ සම්පත් ලබාගන්නා පරිසරයට සැලකිය යුතු ආකාරයේ බලපෑමක්‌ ඇති වේ.

ශතවර්ෂ ගණනාවක්‌ තිස්‌සේ නාගරීකරණයේ දී සිදු වූයේ නාගරික ප්‍රදේශය ව්‍යාප්ත වීමට වඩා සීමිත ප්‍රදේශයක ජන ඝනත්වය ඉහළ යැම ය. එහෙත් මෑත දශක කිහිපය ඇතුළත නාගරික ප්‍රදේශයේ ද වර්ධනයක්‌ වැඩි වශයෙන් දැකිය හැකි ය. මේ වන විට ලෝකයේ නාගරික ප්‍රදේශ ව්‍යාප්ත වීම, ජනගහනය ව්‍යාප්ත වීම මෙන් දෙගුණයක්‌ පමණ වේගයෙන් සිදු වේ. මේ තත්ත්වය නිසා ස්‌වාභාවික පරිසරයට හා ජෛවවිවිධත්වයට දැඩි හා Rජු බලපෑමක්‌ ඇති විය හැකි ය. - මේ පිළිබඳව මෑත දී ප්‍රකාශයට පත් අධ්‍යයනයක්‌ මේ සතියේ පරිසර විමසුමට තෝරා ගතිමි.

නාගරීකකරණය සිදු වන ආකාරය

අපේ අවධානයට ලක්‌ වූ අධ්‍යයනයේ සැලකිල්ලට ලක්‌ ව ඇත්තේ 2030 වර්ෂය වන විට නාගරීකකරණයේ සිදු විය හැකි වර්ධනය පිළිබඳව ය. එහි දී අවධානය යොමු කර ඇති ප්‍රධානතම කරුණ වන්නේ නාගරික ජනගහන වර්ධනය ලෝකයේ කුමන ප්‍රදේශවල සිදු වේ ද යන්නයි. ඒ නිසා මේ ප්‍රදේශවල ජෛවවිවිධත්වයට හා පරිසර පද්ධතිවල පැවැත්මට ඇති විය හැකි බලපෑම් ඔවුන් ගේ අවධානයට ලක්‌ වී ඇති අනෙක්‌ වැදගත් කරුණ වේ.

මේ පර්යේෂණයෙන් අනාවරණය වන කරුණු අනුව වර්තමාන ජන ඝනත්වය ඒ ආකාරයෙන් ම පවතින්නේ නම් හා වර්තමානයේ නාගරීකකරණයක්‌ සිදු වෙමින් ඇති ප්‍රදේශ සියල්ලේ ම නාගරීකරණය දිගට ම සිදු වන්නේ නම්, 2030 වර්ෂය වන විට තවත් වර්ග කිලෝමීටර් මිලියන 1.2ක්‌ පමණ ප්‍රදේශයක්‌ නාගරික ප්‍රදේශ බවට පත් වීමට ඉහළ සම්භාවිතාවක්‌ (high-probability) තිබේ. එනම්, නාගරික භූමි ප්‍රදේශය 2000 වර්ෂයේ පැවැති ප්‍රමාණය මෙන් 185%ක්‌ පමණ ප්‍රමාණයකින් වර්ධනය වීමට වැඩි අවස්‌ථාවක්‌ තිබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් 2030 වසර වන විට නාගරික භූමි ප්‍රදේශය 2000 වර්ෂයේ දී පැවැති ප්‍රදේශය මෙන් තුන් ගුණයක්‌ පමණ විශාල වනු ඇත. 2030 වන විට ලෝකයේ නාගරික ජනගහනය බිලියන 5ක්‌ පමණ දක්‌වා ඉහළ යනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.

ඉහත කී ආකාරයට අලුතින් ඇති වන නාගරික ප්‍රදේශවලින් වැඩි ප්‍රමාණයක්‌ පවතින්නේ ආසියාවේ ය. සමස්‌ත නව නාගරික ප්‍රදේශ අතරින් 55%ක්‌ පමණ චීනයේ හා ඉන්දියාවේ ඇති වන බව පෙන්වා දී තිබේ. වැඩි ම වේගයකින් සිදු වන වර්ධනය දැකිය හැක්‌කේ අප්‍රිකානු රටවල බව ද පුරෝකථනය කර ඇත. එය 2000 වර්ෂයේ පැවැති අගය මෙන් 590% ප්‍රමාණයක වර්ධනයකි. මේ වන විටත් අධික නාගරිකකරණයක්‌ දැකිය හැකි උතුරු ඇමෙරිකාවේ නාගරික භූමි ප්‍රදේශය දෙගුණයකින් පමණ ඉහළ යනු ඇත. මේ කලාපවල නාගරික ප්‍රදේශ ව්‍යාප්ත වන ප්‍රදේශ පවා මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත. අනෙක්‌ අතට අධ්‍යයනයේ දී සලකා බලන ලද රටවල් අතරින් 48ක පමණ නාගරිකකරණය එතරම් විශාල ව්‍යාප්තියක්‌ පෙන්නුම් නො කිරීම ද වැදගත් වේ.

ජෛවවිවිධත්වයට බලපාන ආකාරය

මේ නාගරික වර්ධනය නිසා ඒ ප්‍රදේශවල ජෛවවිවිධත්වය කිසියම් තර්ජනයකට ලක්‌ වීමට ඉඩක්‌ පවතී. ජෛවවිවිධත්වයට පමණක්‌ නො ව පරිසර පද්ධතිවල නිෂ්පාද්‍යතාවට ද ඉන් බලපෑමක්‌ ඇති කරයි. ඒ වාසස්‌ථාන අහිමි වීම ජෛව ස්‌කන්ධය අඩු වීම හා කාබන් සංචිත ප්‍රමාණය අඩු කිරීමෙනි. මේ නිසා වායුගෝලයට එකතු වන කාබන් විමෝචන ප්‍රමාණය වන විනාශයෙන් හා භූමි හායනයෙන් පරිසරයට එක්‌ වන විමෝචන ප්‍රමාණයෙන් සියයට 5ක්‌ පමණ වේ.

මේ අධ්‍යයනයෙන් හෙළි වන පරිදි, ජනගහන වර්ධනය නිසා ජෛවවිවිධත්වයට හා පරිසර පද්ධතිවලට වැඩි බලපෑමක්‌ ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව සැලකූ විට ජෛවවිවිධත්ව උණුසුම් ප්‍රදේශවල (Biodiversity hotspot) සැලකිය යුතු වෙනස්‌කම් ඇති විය හැකි ය. මෙහි වැඩි ම වෙනස්‌ වීමක්‌ ඇති වීමට ඉඩ ඇත්තේ 2000 වර්ෂය වන විට එතරම් නාගරිකකරණයක්‌ ඇති වී නො තිබුණු ප්‍රදේශවල ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ලෝකයේ ඇති ජෛවවිවිධත්ව උණුසුම් ස්‌ථාන 34ට අයත් සමස්‌ත භූමි ප්‍රමාණයෙන් 2000 වර්ෂය වන විට නාගරීකකරණය වී තිබුණේ සියයට 1ක්‌ තරම් අඩු ප්‍රමාණයකි. 2030 වන විට සිදු වන නාගරීකකරණයේ ව්‍යාප්තිය නිසා තවත් සියයට 1.8ක්‌ පමණ භූමි ප්‍රමාණයක්‌ නාගරීකකරණයට ලක්‌ වනු ඇත. මේ අතරින් වැඩි ම ප්‍රදේශයක්‌ නාගරිකකරණය විය හැකි උණුසුම් ස්‌ථාන හා ඒවායේ නාගරීකකරණය විය හැකි භූමි ප්‍රදේශයේ ප්‍රතිශතය මෙසේ ය( බටහිර අප්‍රිකානු වනාන්තර (6.8%), ජපානය (5.6%), කැරිබියානු දූපත් (3.9%), බටහිර ඝාට්‌ස්‌ හා ශ්‍රී ලංකාව (3.8%) හා පිලිපීනය (3.6%) ඒ ප්‍රදෙAශ වේ.

2000 දී නාගරිකකරණයේ බලපෑමට ලක්‌ ව නො තිබූ ප්‍රදේශ වැඩි වශයෙන් ඉතිහාසයේ දී නාගරිකකරණය විය හැකි උණුසුම් ස්‌ථාන අතරට ශ්‍රී ලංකාව හා බටහිර ඝාට්‌ස්‌ උණුසුම් ස්‌ථානය ද අයත් ය. එහි දී 2000 වර්ෂයේ පැවැති නාගරිකකරණය වූ භූමි ප්‍රමාණය මෙන් සියයට 900ක්‌ පමණ ප්‍රදේශයක්‌ 2030 වන විට නාගරිකකරණය වනු ඇත. ශ්‍රී ලංකාව හා බටහිර ඝාට්‌ස්‌ ඇතුළත් කලාපයේ නාගරිකකරණයට ලක්‌ වූ ප්‍රදේශයේ ව්‍යාප්තිය 2000 වර්ෂය වන විට වර්ග කිලෝමීටර් 825ක්‌ පමණ වූ අතර එය 2020 වන විට වර්ග කිලෝමීටර් 7,500ක්‌ පමණ දක්‌වා ඉහළ යාමට ඉඩ තිබේ.

මේ අධ්‍යයනය හුදෙක්‌ පුරෝකථන පමණක්‌ යෑයි බැහැර නො කර, අනාගතයේ සිදු විය හැකි මේ තත්ත්වය පිළිබඳව දැන් තබා අවධානය යොමු කිරීම වැදගත් බව අපට සිතේ. විශේෂයෙන් අපේ රටේ උණුසුම් ස්‌ථානයට අයත් තෙත් කලාපයේ ජෛවවිවිධත්වය ඉහළ වන අතර වැඩි ම ජනගහන ව්‍යාප්තිය දැකිය හැක්‌කේ ද එහි ය. එසේ ම රටේ නගර අතරින් වැඩි ප්‍රමාණයක්‌ දැකිය හැක්‌කේ ද මේ කලාපයේ ය. එහි පරිසර පද්ධතිවලට දැනටමත් ඇති තර්ජනය නාගරිකකරණයේ ව්‍යාප්තියත් සමඟ වර්ධනය වන බව අමුතුවෙන් කිවයුත්තක්‌ නො වේ. (මූලාශ්‍රයProceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1211658109)

පුවත් සැකෙවින්
වානර වාසස්‌ථාන අඩු වේ


පසුගිය දශක දෙකක පමණ කාලය ඇතුළත, අප්‍රිකාවේ වාසය කරන වානරයන් ගේ ස්‌වාභාවික වාසස්‌ථාන විශාල ලෙස අඩු වී ඇති බව පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. මේ සතුන්ට යෝග්‍ය පාරිසරික තත්ත්ව 1990 දශකයේ සිට මේ දක්‌වා වූ කාලය ඇතුළත වෙනස්‌ වී ඇති ආකාරය ගැන අප්‍රිකානු මහාද්වීපයේ රටවල් 22ක සිදු කරන ලද අධ්‍යයනය මෙය වේ.

ඉන් අනාවරණය වන කරුණු අනුව වැඩි ම තර්ජනයක්‌ ඇත්තේ ගෝරිල්ලන්ට ය. ක්‍රොස්‌ රිවර් ගෝරිල්ලා නම් විශේෂයේ වාසස්‌ථාන 59%කින් පමණ ද නැගෙනහිර ගෝරිල්ලන් ගේ වාසස්‌ථාන 52%කින් පමණ ද, බටහිර ගෝරිල්ලන් ගේ වාසස්‌ථාන 32%කින් ද අඩු වී තිබේ. එසේ ම බොනාබෝ හා චිම්පන්සි විශේෂවල වාසස්‌ථාන ද මේ ආකාරයෙන් අඩු වී ඇති බව ද පෙනේ. මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ මෑත කාලයේ දී වන අතර මිනිසා ගේ ළඟ ම නෑයින් වන මේ වානර විශේෂවල ඉරණම සඳහා මිනිසුන් ද විශාල ලෙස වගකිව යුතු බව පැහැදිලි ය. (මූලාශ්‍රය Diversityand Distributions, DOI: 10.1111/ddi.12005)

අලි ඇතුන් රැක ගැනීමට ගූගල් අර්ත් පිහිට

දඩයම් කිරීම නිසා දැඩි ලෙස තර්ජනයට ලක්‌ ව ඇති අප්‍රිකානු අලි ඇතුන් ආරක්‌ෂා කර ගැනීමට ගූගල් අර්ත් වැඩසටහනේ සහාය ලබා ගැනීමට හැකි ක්‍රමයක්‌ සකස්‌ කර තිබේ. එමගින් ලබාගන්නා දත්ත යොදාගනිමින් අලි පිළිබඳ දත්ත ලබාගැනීමට හා අලි ඇතුන් මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳ ලෝක ජනතාව දැනුවත් කිරීමට ද අදහස්‌ කර ඇත.

එසේ ම අදාළ බලධාරීන්ට ගූගල් අර්ත් යොදාගන්නා නවීන ජංගම උපකරණ භාවිත කරමින් අලි ඇතුන් සිටින ස්‌ථාන අඛණ්‌ඩව නිරීක්‌ෂණය කිරීම සිදු කළ හැකි ය. මේ තොරතුරු යොදාගනිමින් ඒ රටවල අලි ඇතුන් ආරක්‌ෂා කරගැනීමේ යෙදී සිටින නිලධාරීන්ට වැඩි අවස්‌ථාවක්‌ ලැබී ඇත.

එසේ ම අලි සංරක්‌ෂණය සඳහා දැනුම්වත් කිරීමට ද මේ දත්ත යොදාගැනේ. ඒ අනුව වාර්තාවල ඇතුළත් දත්ත යොදාගනිමින්, කාලය සමඟ අලි ගහනයේ වෙනස්‌ වීම් වෙබ් අඩවියක්‌ ඔස්‌සේ කියෑවීමට හැකි ය. අලි ඇතුන් මරාදැමූ ආකාරය ද වාර්ෂිකව මෙහි දක්‌වා තිබේ. ඒ මගින් අදාළ ප්‍රදේශවල අලි ගහනයේ දැකිය හැකි ප්‍රවණතා හඳුනාගැනීමට අවස්‌ථාවක්‌ ලැබේ. එය සංරක්‌ෂණය සඳහා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නො වේ. (මූලාශ්‍රය www.elephantsinperil.org)

හයිද්‍රාබාද් ජෛවවිවිධත්ව සමුළුව

වසර දෙකකට වරක්‌ පැවැත්වෙන ජෛවවිවිධත්වය පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන් ගේ 11 වැනි සමුළුව (COP 11) ලබන සතියේ ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ දී ආරම්භ වීමට නියමිත ය. දින දහයක පමණ කාලයක්‌ පුරා පැවැත්වීමට නියමිත මේ සමුළුව ලෝකයේ ජෛවවිවිධත්වය පිළිබඳව පැවැත්වෙන විශාලතම සමුළුව වේ. ඊට ලෝකය පුරා රටවලින් රාජ්‍ය, රාජ්‍ය නො වන හා වෙනත් අංශවල නියෝජිතයන් හා නිරීක්‌ෂකයන් දස දහසක්‌ පමණ සහභාගි වනු ඇතැයි වාර්තා වේ.

අවසන් වරට 2010 වර්ෂයේ දී ජපානයේ නගෝයාහි දී පැවැති සමුළුවේ දී එතෙක්‌ ජෛවවිවිධත්වය පිළිබඳව ලෝකය පිළිගත් ඉලක්‌කය වූ සහස්‍ර සංවර්ධන අභිමථාර්ථ අත්පත් කරගැනීමට නොහැකි වූ බව පිළිගැනීමට සිදු විය. ඒ අනුව සංශෝධනය කරන ලද ඉලක්‌කය වූයේ 2011-2020 කාලය සඳහා වූ උපායමාර්ගික සැලැස්‌ම හෙවත් අයිචි ජෛවවිවිධත්ව ඉලක්‌ක ය. ඒ පිළිබඳ එකඟ වූ පසුව පැවැත්වෙන පළමු පාර්ශ්වකරුවන් ගේ රැස්‌වීම මෙය වන අතර එදා මෙදා අතර ඇති වූ ප්‍රගතිය ද මෙහි දී සමාලෝචනය කෙරෙනු ඇත. එසේ ම නගෝයාහි දී එකඟ වූ ප්‍රවේණික සම්පත් වෙත ප්‍රවේශය හා ප්‍රතිලාභ සාධාරණ හා යුක්‌ති සහගත ලෙස සම්-භාවිතය පිළිබඳ නගෝයා සන්ධානය පිළිබඳව ද මෙහි දී අවධානයට ලක්‌ වනු ඇත. මේ සන්ධානය තරමක්‌ මතභේදාත්මක වූවක්‌ සේ සැලකෙන අතර එය බලාත්මක බවට පත් කිරීමට අවශ්‍ය තරම් රටවල් ගණනක්‌ එය මෙතෙක්‌ අපරානුමත කර නොමැත.

ඉහත සමුළුවට පෙර දින පහක්‌ පුරා කාටජෙනා සන්ධානයට අදාළ පාර්ශ්වකරුවන් ගේ හයවැනි සමුළුව හයිද්‍රාබාද් නගරයේ දී පැවැත්වේ. එය විකරණය කරන ලද ජීවීන් පිළිබඳව අදාළ වන ජෛව ආරක්‌ෂණය පිළිබඳ වූ සන්ධානයයි.

http://www.vidusara.com/2012/10/03/feature3.html

No comments:

Post a Comment