Saturday, November 3, 2012

ජගත් පරිසර විමසුම 146 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-10-24, පි. 11
http://www.vidusara.com/2012/10/24/feature3.html


විමසුම - හයිද්‍රාබාද් ජෛව විවිධත්ව සමුළුවේ ප්‍රතිඵල ප්‍රමාණවත් ද?
පුවත් සැකෙවින් - ජෛව ඉන්ධනවල පාරිසරික බලපෑම් අවම කිරීමේ යෝජනාවක්‌/ දකුණු අප්‍රිකාවේ රයිනෝ මරණ වාර්තාගතයි‌/ බ්‍රිතාන්‍යයේ අක්‍රමවත් ම කාලගුණය මේ වර්ෂයේ


විමසුම
හයිද්‍රාබාද් ජෛව විවිධත්ව සමුළුවේ ප්‍රතිඵල ප්‍රමාණවත් ද?

ජෛවවිවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන් ගේ එකොළොස්‌වැනි රැස්‌වීම (COP 11) ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ දී පසුගිය සෙනසුරාදා අලුයම අවසන් විය. මේ සම්මුතිය සඳහා ලෝකයේ රටවල් වැඩි ගණනක සහයෝගයක්‌ ලැබෙන සම්මුතියක්‌ වන අතර මේ සමුළුවේ එකඟතා ලෝකයේ ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සම්බන්ධව සෘජුව බලපාන බව පැහැදිලි ය. කෙසේ වෙතත්, දෙසතියක්‌ පුරා පැවැති සමුළුවේ යම් යම් අංශ පිළිබඳව අදාළ පාර්ශ්ව අතර ඇති වෙනස්‌කම් පැහැදිලිව ප්‍රදර්ශනය විය. අවසානයේ දී දික්‌ගැසුණු සාකච්ඡාවලින් ද පසුව හයිද්‍රාබාද් සමුළුවේ දී යම් යම් කරුණු සම්බන්ධව සාධනීය වර්ධනයක්‌ ඇති වී ඇති අතර විවිධ අංශ ගැන තීරණ ගණනාවක්‌ ගෙන ඇත. එහෙත් ලෝකයේ ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීමට හා 2020 දී සපුරාගැනීමට අදහස්‌ කරන අයිචි ඉලක්‌ක අත්පත් කරගැනීමට එය ප්‍රමාණවත් ද යන ගැටලුව අප ඉදිරියේ ඉතිරි ව ඇත. මේ ක්‍රියාවලියේ පැහැදිලි ප්‍රමාදයක්‌ දැකිය හැකි ය. හයිද්‍රාබාද් සමුළුවේ දී පැහැදිලි වර්ධනයක්‌ දැකිය හැකි වූ ප්‍රධාන අංශ කිහිපයක්‌ ගැන සලකා බැලීමෙන් ඒ බව පැහැදිලි වේ.

වර්ධනයක්‌ ඇති වූ අංශ

හයිද්‍රාබාද් සමුළුවේ දී සමස්‌තයක්‌ ලෙස විවිධ අංශ පිළිබඳව තීරණ 33කට එළැඹී ඇත. මේ අතර වැදගත් වන තීරණ අතර - අවම වශයෙන් රටවල් අතරින් 75%ක ජාතික ප්‍රමුඛතා හෝ සංවර්ධන න්‍යාය පත්‍රයට ජෛවවිවිධත්ව සංරක්‌ෂණය ඇතුළත් කිරීම, දේශගුණ වෙනස්‌ වීමෙන් ඇති වන බලපෑම් පිළිබඳව අදාළ ආයතන අතර සහයෝගයෙන් ක්‍රියා කිරීම, ආරක්‌ෂිත ප්‍රදේශ පිළිබඳ ඉලක්‌ක, සාගර පරිසර පද්ධති පිළිබඳ කරුණු, පරිසර පද්ධති ප්‍රතිස්‌ථාපනය, ජෛව සම්පත් තිරසර ලෙස භාවිත කිරීම, වන හායනයෙන් සිදු වන වායු විමෝචන අඩු කිරීමේ යාන්ත්‍රණය (REDD+) වැනි අංශ ඇතුළත් වේ. කෙසේ වෙතත් හයිද්‍රාබාද්හි දී එකඟ වූ තීරණ අතරින් ඇතැම් තීරණ ප්‍රමාණාත්මක ඉලක්‌ක ඇතුළත් නො වන ඒවා බව පැහැදිලි ය. එවැනි තීරණ ක්‍රියාත්මක කිරීම ද බොහෝ විට ස්‌වෙච්ඡාවෙන් සිදු වන අතර ඉන් ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සඳහා ලැබෙන ප්‍රයෝජනය, අදාළ පාර්ශ්ව ඒ ගැන දක්‌වන උනන්දුව හා කැපවීම මත තීරණය වේ.

සාගර ජෛවවිවිධත්වය හා එහි ආරක්‌ෂාව හයිද්‍රාබාද් සමුළුවේ දී වර්ධනයක්‌ ඇති වූ අංශයකි. සාගරයේ දැකිය හැකි පාරිසරික හා ජෛව විද්‍යාත්මක වශයෙන් වැදගත් ප්‍රදේශ (ecologically and biologically signigicant areas - EBSAs) පිළිබඳ වාර්තා එක්‌සත් ජාතීන් ගේ මහා මණ්‌ඩලය වෙත යෑවීමට එහි දී එකඟ විය. එවැනි ප්‍රදේශ රැසක්‌ ම රටවලට අයත් මුහුදු සීමාවෙන් පිටත ජාත්‍යන්තර මුහුදේ පිහිටා ඇති බැවින් මෙය වැදගත් වේ. ඉදිරියේ දී සාගර සංරක්‌ෂණය පිළිබඳව පියවරක්‌ ගැනීමට අවස්‌ථාවක්‌ ලැබේ. එසේම සාගර හා වෙරළබඩ ප්‍රදේශවල සංවර්ධන කටයුතු පිළිබඳ පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවල දී ජෛවවිවිධත්වය සම්බන්ධව සැලකිල්ලට ගත යුතු කරුණු පිළිබඳව ද වැදගත් තීරණ ගෙන තිබේ. එසේම සාගරයේ ඇති වන ශබ්දවලින් ජෛවවිවිධත්වයට ඇති වන බලපෑම් පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වීමටත්, සාගරයට එක්‌ වන අපද්‍රව්‍ය පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කිරීමටත් එකඟ වී ඇත.

මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් ද?

ජෛවවිවිධත්වය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයීම මේ සමුළුවේ දී වැඩි අවධානයකට ලක්‌ වූ අංශයකි. 'හයිද්‍රාබාද් මඟ සිතියම' (Hyderabad Roadmap) නමින් ද හඳුන්වා දී ඇති එකඟතාව යටතේ, 2015 වන විට ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සඳහා දියුණු රටවල් විසින් ලබා දෙනු ලබන ජාත්‍යන්තර ප්‍රතිපාදන දෙගුණයක්‌ කිරීමට එකඟ වී ඇත. මේ අනුව අතිරේක වශයෙන් ඩොලර් බිලියන 5ක්‌ පමණ ලැබෙන අතර සමස්‌තයක්‌ ලෙස ලැබෙන අරමුදල් ප්‍රමාණය වාර්ෂිකව බිලියන 10ක්‌ පමණ වනු ඇත. (එය ගණන් බැලීමට නියමිත ව ඇත්තේ 2006-2010 අතර ලබා දී ඇති අරමුදල්වල සාමාන්‍යය මත ය). මේ ප්‍රමාණය 2020 දක්‌වා පවත්වා ගැනීමට ද නියමිත ය. මේ මුදලින් දියුණු වන රටවල සංරක්‌ෂණ කටයුතු සඳහා ආධාර ලැබේ. ඒ ඒ රටවල ජෛවවිවිධත්වය සඳහා අදාළ රටවල් විසින් වැය කෙරෙන මුදල් ප්‍රමාණය පිළිබඳව ඇති වූ පොදු එකඟතාව අනුව, සැම රටක්‌ ම ජෛවවිවිධත්වය සඳහා වැය කරන අරමුදල් ප්‍රමාණය සැලකිය යුතු තරමින් ඉහළ නැංවීමට එකඟ විය. මේ පිළිබඳව 2014 වර්ෂයේ දී සමාලෝචනයට ලක්‌ කිරීමට නියමිත ය.

ඉදිරි වර්ෂ දෙකක කාලය තුළ සම්මුතියේ සභාපතිත්වය හිමි ව ඇති ඉන්දියාවේ අගමැතිවරයා මේ සමුළුව අමතමින් පොරොන්දු වූයේ ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීම සඳහා ඩොලර් මිලියන 50ක ප්‍රතිපාදන සැපයීමට ය. 'ජෛව විවිධත්ව ජයග්‍රාහකයන් සඳහා වූ හයිද්‍රාබාද් කැඳවුම් (Hyderabad Call for Biodiversity Champions) යටතේ ඒ ප්‍රතිපාදන ඉන්දියාව තුළ මෙන්ම ජාත්‍යන්තර ආයතනික අවශ්‍යතා සඳහා ද යෙදවීමට අපේක්‌ෂිත බව පෙනේ.

ආර්ථික අර්බුදයක්‌ ඇති කාලයක මේ තත්ත්වය ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීමට රටවල් දක්‌වන කැප වීම පෙන්වන කරුණක්‌ සේ ගත හැකි බව සම්මුතියේ ලේකම්වරයා පවසා ඇත. කෙසේ වෙතත් මේ ප්‍රතිපාදන ප්‍රමාණවත් ද යන්න නම් ගැටලුවකි. නිදසුනක්‌ ලෙස ගත හොත් අප පසුගිය සතියේ විස්‌තර කළ Science සඟරාවේ පළ වූ පර්යේෂණ වාර්තාව අනුව තර්ජනයට ලක්‌ ව ඇති ජීවී විශේෂ ආරක්‌ෂා කරගැනීමට හා ආරක්‌ෂිත ප්‍රදේශ ජාලය පවත්වා ගැනීමට වාර්ෂිකව ඩොලර් බිලියන 76.1ක්‌ පමණ අවශ්‍ය වේ. එහෙත් මේ වන විට ලැබී ඇති අරමුදල් ප්‍රමාණය අනුව ජෛවවිවිධත්වය පිළිබඳ 2020 ඉලක්‌ක අත්පත් කරගැනීමට තවත් බොහෝ වෙහෙස විය යුතු ය. අනෙක්‌ අතට වාර්ෂිකව අවශ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳව මීට වඩා වෙනස්‌ අගයයන් ද ඇති බව අප අමතක නො කළ යුතු ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, WWF ආනතනය පවසන පරිදි වර්ෂයකට ඩොලර් මිලියන 200ක්‌ පමණ අවශ්‍ය වේ.

පුවත් සැකෙවින්
ජෛව ඉන්ධනවල පාරිසරික බලපෑම් අවම කිරීමේ යෝජනාවක්‌

පරිසර හිතකාමී ඉන්ධනයක්‌ ලෙස ප්‍රචලිත ජෛව ඉන්ධන, බලශක්‌ති අර්බුදය සඳහා පිළියමක්‌ ද වේ. පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභවයක්‌ වන නිසා බොහෝ රටවල අවධානය ජෛව ඉන්ධන වෙත යොමු වී ඇත. එහෙත්, ඉන් ඇති විය හැකි පාරිසරික හා වෙනත් බලපෑම් පිළිබඳව හෙළිදරව් වී ඇති කරුණු නිසා ජෛව ඉන්ධනවල සමස්‌ත පරිසර බලපෑම පිළිබඳව දැඩි සැලකිල්ලක්‌ ඇති වී තිබේ.

මේ පිළිබඳව සැලකිලිමත් වූ යුරෝපා කොමිසම ජෛව ඉන්ධනවල දේශගුණ බලපෑම් අවම කිරීම සඳහා වූ යෝජනා කිහිපයක්‌ පසුගිය දා ඉදිරිපත් කළේ ය. එහි අරමුණු වන්නේ ජෛව ඉන්ධන සඳහා ඇති ඉල්ලුම ඉහළ යැමෙන් ස්‌වාභාවික පරිසර පද්ධතිවල වෙනස්‌ වීම් ඇති වීම වැළැක්‌වීම හා ඒ නිසා ඇති විය හැකි හරිතාගාර වායු විමෝචන අඩු කිරීමයි. ජෛව ඉන්ධන වඩා තිරසර ලෙස භාවිත කිරීම, හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම, කෘෂි බිම් යොදාගැනීම හා ලෝක ආහාර නිෂ්පාදනයට ගැටලු ඇති වීම වැළැක්‌වීම මේ යෝජනාවලියෙන් අපේක්‌ෂා කෙරේ.

ඉදිරිපත් ව ඇති යෝජනා අතර, 2020 වන විට යුරෝපයේ ප්‍රවාහන ක්‌ෂේත්‍රයේ පුනර්ජනනය කළ හැකි ඉන්ධන දායකත්වයේ ඉලක්‌කය වන 10%ක ප්‍රමාණයෙන් ආහාර භෝග පාදක කරගත් ජෛව ඉන්ධනවල දායකත්වය 5%ක මට්‌ටමේ පවත්වාගැනීම එක්‌ යෝජනාවකි. ජෛව ඉන්ධන මගින් සිදු වන හරිතාගාර වායු විමෝචන බලපෑම ගණනය කිරීමේ දී වක්‍ර ව සිදු වන භූමි භාවිතයේ වෙනස්‌කම් (indirect land use change) ඇතුළත් කිරීම තවත් යෝජනාවකි. එසේ ම මෙවැනි විමෝචන නොමැති හෝ අවම වූ නව ජෛව ඉන්ධන ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සහන හා ප්‍රවර්ධක සපයා දීම තවත් යෝජනාවකි.

පොදුවේ ගත් විට යුරෝපා කොමිසම ඉදිරිපත් කර ඇති යෝජනා මගින් සාම්ප්‍රදායික ජෛව ඉන්ධනවලට වඩා නව පරම්පරාවක ජෛව ඉන්ධන ප්‍රවර්ධනය සඳහා වැඩි අවස්‌ථාවක්‌ ලැබී ඇත. මේ දෙවැනි හා තුන්වැනි පරම්පරාවල ජෛව ඉන්ධන වඩා පරිසර හිතකාමී වේ. නිදසුනක්‌ ලෙස කෘෂි අපද්‍රව්‍ය, පිදුරු හා ඇල්ගා යොදාගනිමින් නිපදවන ජෛව ඉන්ධන දැක්‌විය හැකි ය. කෙසේ වෙතත් මේ යෝජනා ක්‍රියාත්මක වීම සඳහා පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය පිළිබඳ හා ඉන්ධනවල ගුණාත්මකභාවය පිළිබඳ යුරෝපා නීති සංශෝධනය කළ යුතු වේ.

දකුණු අප්‍රිකාවේ රයිනෝ මරණ වාර්තාගතයි

අප්‍රිකාවේ වැඩි ම රයිනෝ ගහනය දැකිය හැකි දකුණු අප්‍රිකාවේ මෑත කාලයේ සිදු වී ඇති වැඩි ම රයිනෝසිරස්‌ ඝාතන ප්‍රමාණය මේ වර්ෂයේ දී වාර්තා වී තිබේ. වාර්තාවලට අනුව පසුගිය සතිය වන විම මේ මරණ ගණන 455ක්‌ පමණ වේ. මේ අතරින් වැඩි ම සතුන් ප්‍රමාණයක්‌ මරා දමා ඇත්තේ කෘගර් ජාතික වනොද්‍යානය තුළ වීම විශේෂිත ය. 2007 වර්ෂයේ දී 13ක්‌ දක්‌වා අඩු වූ රයිනෝ මරා දැමීම් ප්‍රමාණය 2011 වර්ෂයේ දී 448 දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

මේ සඳහා හේතු වී ඇත්තේ සාම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදනය සඳහා රයිනෝ සතුන් ගේ අං යොදාගැනීම ය. එය සිදු වන්නේ චීනය හා කලාපයේ වෙනත් රටවල ය. මෑත කාලයේ දී මේ තත්ත්වය ඉහළ ගොස්‌ ඇති බවක්‌ පෙනේ. ඊට එක්‌ හේතුවක්‌ වන්නේ චීනය හා වියට්‌නාමය වැනි රටවල ආර්ථිකයේ ඇති වී තිබෙන ශීඝ්‍ර ආර්ථික වර්ධනයයි.

බ්‍රිතාන්‍යයේ අක්‍රමවත් ම කාලගුණය මේ වර්ෂයේ


මේ වර්ෂයේ දී බ්‍රිතාන්‍යයේ පැවැති කාලගුණය එරට කාලගුණ වාර්තා අතර වඩාත් අක්‍රමවත් කාලගුණ තත්ත්වයක්‌ බව පසුගිය සතියේ දී වාර්තා විය. ඒ අනුව වසර සියයක කාලයක්‌ ඇතුළත, එරට පැවැති වියළිතම වසන්තය මේ වර්ෂයේ පැවැති අතර ඉන් පසු ගත වූ අප්‍රේල්-ජුනි අතර කාලය අධිකතම වැසි සහිත කාලය විය. මෙවැනි විචල්‍යතාවක්‌ එතෙක්‌ මෙතෙක්‌ වාර්තා වී නොමැති නිසා එය යම් සුවිශේෂී බවක්‌ ගනියි. මේ නිසා නියඟය හා ගංවතුර වැනි තත්ත්ව සඳහා සැලසුම් කළ යුතු බවට එරට ක්‍රියාත්මක ආයතන තුනක්‌ අනතුරු හැඟවීමක්‌ සිදු කර තිබේ.

http://www.vidusara.com/2012/10/24/feature3.html

No comments:

Post a Comment