Thursday, November 29, 2012

ජගත් පරිසර විමසුම 150 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-11-28, පි. 11
http://www.vidusara.com/2012/11/28/feature3.html

විමසුම - ජගත් දේශගුණ සමුළුව ඵලදායි වේ ද?
ප්‍රමුඛ පුවත - දේශගුණ වෙනස්‌වීමේ තරම පෙන්වන මෑත දී නිකුත්වූ වාර්තා කිහිපයක්‌
පුවත් සැකෙවින් - අඩු මට්‌ටමේ විකිරණශීලීතාවත් හානිකර විය හැකියි‌/ බ්‍රිතාන්‍යයේ පක්‌ෂි ගහනයේ විශාල අඩු වීමක්‌/ ඇන්ටාක්‌ටිකාවේ වන ජීවීන් අවදානමේ



විමසුම
ජගත් දේශගුණ සමුළුව ඵලදායි වේ ද?

ජගත් දේශගුණ සමුළුව කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ දී මේ වන විට ආරම්භ වී ඇත. දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියේ හා කියෝටෝ සන්ධානයේ සමුළු දෙකක්‌ ලබන දෙසැම්බර් හත් වැනි දා තෙක්‌ දෙසතියක්‌ පුරා එහි දී පැවැත්වේ. දේශගුණ වෙනස්‌ වීම ලෝකයේ බරපතළ ගැටලුවක්‌ බව පැහැදිලිව ඇති අතර එහි බලපෑම් හා ප්‍රතිඵල ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ. එහෙත් මේ අර්බුදයට ප්‍රමාණවත් විසඳුමක්‌ මෙතෙක්‌ ඉදිරිපත් වී ඇති බව නො පෙනේ. මෙවැනි තත්ත්වයක්‌ හමුවේ මේ සමුළුව හමුවේ ඇති අභියෝග මොනවා දැයි මඳක්‌ විමසා බැලීම යෝග්‍ය ය. පසුගිය සතියේ දැක්‌වූ පරිදි කියෝටෝ සන්ධානය, ජගත් මට්‌ටමේ නව ගිවිසුම හා දේශගුණ මූල්‍ය ප්‍රතිපාදන මේ අතර වේ.

කියෝටෝ සන්ධානයේ දෙවැනි අදියරක්‌


1997 දී අනුමත කරන ලද කියෝටෝ සන්ධානය යටතේ තම රටවල හරිතාගාර වායු විමෝචන 1990 වර්ෂයේ පැවැති ප්‍රමාණයෙන් 5.2%ක්‌ 2012 වන විට අඩු කරන්නට කාර්මික රටවල් එකඟ විය. හරිතාගාර වායු සීමා කිරීම සඳහා මෙතෙක්‌ ක්‍රියාත්මක වූ එක ම ප්‍රයත්නයේ දෙවැනි අදියරක්‌ ඇති කරගැනීම සඳහා වසර ගණනාවක සිට උත්සාහ කර ඇත. එහෙත් තම රටවලට පමණක්‌ සීමා පැනවීම අසාධාරණ බව පවසන දියුණු රටවල් සමහරක්‌ මීට විරෝධය දක්‌වයි. ජපානය, රුසියාව හා කැනඩාව කියෝටෝ සන්ධානයේ දෙවැනි අදියරකට සම්බන්ධ නො වන බව මේ වන විටත් පවසා ඇත. යුරෝපා රටවල් හා ඔස්‌ටේ්‍රලියාව දෙවැනි අදියරක්‌ සඳහා සම්බන්ධ වනු ඇතැයි අපේක්‌ෂිත ය.

මේ අනුව ඊට සම්බන්ධ වන රටවල් ගණන අඩු වීම තුළ එහි සාර්ථකත්වය පිළිබඳ අපේක්‌ෂා අඩු විය හැකි ය. සන්ධානයේ දෙවැනි අදියරක්‌ අදාළ වන කාලසීමාව හා එහි ඉලක්‌ක පිළිබඳව එකඟතාවක්‌ අවශ්‍ය ව ඇත. කියෝටෝ සන්ධානයේ දෙවැනි අදියරක්‌ අනුමත වීම අනාගත ජගත් මට්‌ටමේ ගිවිසුමක්‌ සඳහා ද වැදගත් වන පියවරකි. කෙසේ වෙතත් මේ පිළිබඳව කුමන ආකාරයක ප්‍රගතියක්‌ අත් වේ ද යන්න පැවසීම නම් අසීරු ය.

වෙනත් මාතෘකා

ඩර්බන්හි දී පැවැති දේශගුණ සමුළුවේ දී එකඟ වූ පරිදි වඩාත් වැදගත් අනාගත අපේක්‌ෂාව වන්නේ 2020 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමට නියමිත ජගත් මට්‌ටමේ ගිවිසුමක්‌ පිළිබඳව ඇති වන සාකච්ඡාවයි. හරිතාගාර වායු විමෝචන විශාල ප්‍රමාණයකින් අඩු කිරීම මෙහි ප්‍රධානතම අපේක්‌ෂාවයි. 2015 වර්ෂය වන විට ඇති කර ගත යුතු ව ඇති මේ හා සම්බන්ධ ගිවිසුම තවමත් ඇත්තේ එහි මූලික අවස්‌ථාවේ ය. විශේෂයෙන් ලෝකයේ විවිධ රටවල් හා රටවල් කණ්‌ඩායම් අතර ඇති වෙනස්‌කම් නිසා ඇතැම් කරුණු පිළිබඳව එකඟතාවකට එළැඹ නැති කරුණු රැසක්‌ පවතී. විශේෂයෙන් දියුණු හා දියුණු වන රටවල් අතර එකිනෙකා ගේ වගකීම් පිsළිබඳව ගැටලු පවත්නා බව පෙනේ. ඇතැම් රටවල් මේ පිළිබඳ ඇති එකඟතාව වෙනස්‌ කිරීමට උත්සාහ ගන්නා බවට ද චෝදනා එල්ල වී තිබේ.

තවත් වැදගත් කරුණක්‌ වන්නේ 2020 වර්ෂය වන විට දේශගුණ වෙනස්‌ වීමට අනුහුරු වීම හා වෙනත් අදාළ කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් දියුණු වන රටවලට වාර්ෂිකව ලබා දීමට නියමිත ඩොලර් මිලියන 100ක මුදල සපයාගන්නා ආකාරයයි. දියුණු රටවල් මේ මුදල ලබා දීමට පොරොන්දු වී ඇතත් ඒ කෙසේ ද යන්න මෙතෙක්‌ පැහැදිලි නැත.

දවසේ අවශ්‍යතාව

දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම්වල බරපතළ බව මේ වන විට පැහැදිලිව තිබේ. නිදසුනක්‌ ලෙස ලෝකය ආරක්‌ෂිත යෑයි අපේක්‌ෂා කරන සෙල්සියස්‌ අංශක දෙකක උෂ්ණත්ව ඉහළ යැම පවා බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බව පෙන්වා දී තිබේ. මේ විමසුමේ වෙනත් තැනක සඳහන් වන පරිදි උෂ්ණත්ව ඉහළ යැම ඊට වඩා වැඩි අගයක්‌ ගැනීමට පවා ඉඩකඩ තිබේ. මේ නිසා දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම හා පාලනය සඳහා වන උත්සාහය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය ව ඇත. හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම තවමත් කළ හැකි දෙයක්‌ බව විද්‍යාත්මක වාර්තා අනුව පෙනේ. ඊට සමස්‌ත ලෝකයේ ම කැප වීම අවශ්‍ය ව තිබේ.

එහෙත් මේ සඳහා වැදගත් වන දේශපාලන අවශ්‍යතාව මේ සමුළුවේ දී හෝ දැකිය හැකි වේ ද? එය දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව අපට ඇති පැනයයි. මෙවැනි තත්ත්වයක්‌ හමුවේ දෝහා සමුළුව ගැන මහත් බලාපොරොත්තු තබාගත නොහැකි බව පැහැදිලි ය. මේ සමුළුවේ ප්‍රතිඵලය ලබන සතිය අවසන් වන විට දැනගත හැකි ය.
ප්‍රමුඛ පුවත්
දේශගුණ වෙනස්‌වීමේ තරම පෙන්වන මෑත දී නිකුත්වූ වාර්තා කිහිපයක්‌

යුරෝපයේ බලපෑම් දැනටමත්

යුරෝපා පාරිසරික ඒජන්සිය නිකුත් කර ඇති වාර්තාවකට අනුව දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම් මේ වන විටත් යුරෝපා මහාද්වීපයේ දැක ගත හැකි ය. ඒවා තවදුරටත් බරපතළ තත්ත්වයකට පත් වීමේ ප්‍රවණතාවක්‌ පෙන්නුම් කරයි. පසුගිය දශකය යුරෝපයේ උෂ්ණත්වය වැඩි ම වූ දශකය වන අතර ආන්තික තත්ත්ව නිසා ඇති වන විවිධ බලපෑම් ද ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. (මූලාශ්‍රයClimate Change,Impacts and Vulnerability in Europe 2012,www.eea.europa.eu/publications/climateimpacts-and-vulnerability-2012)

සෙල්සියස්‌ අංශක හතරකින් උෂ්ණත්වයඉහළට?


ලෝක බැංකුව නිකුත් කර ඇති වාර්තාවකට අනුව මේ සියවස අවසන් වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 4කින් පමණ ඉහළ යැමේ අවදානමක්‌ තිබේ. මේ නිසා විවිධ හානිකර ප්‍රතිඵල ඇති විය හැකි ය. මුහුදු මට්‌ටම ඉහළ යැම, තාප ප්‍රවාහ, අස්‌වනු හානි වීම ආදිය මෙවැනි බලපෑම් අතර වේ. එය වැඩි වශයෙන් බලපෑ හැක්‌කේ දුප්පත් රටවලට ය. මේ නිසා ලෝක උෂ්ණත්වය ඉහළ යැම අංශක 2 සීමාවේ පවත්වා ගැනීමේ ඇති වැදගත්කම මේ වාර්තාව පෙන්වා දෙයි. (මූලාශ්‍රයTurnDown the Heat: Why a 4°C Warmer WorldMust be Avoided, http://
climatechange.worldbank.org/content/climate-change-report-warns-dramaticallywarmer-world-century)

හරිතාගාර වායු වර්ධනයේ තරම

එක්‌සත්ජාතීන් ගේ පරිසර වැඩසටහනේ (UNEP) වාර්තාවකට අනුව, කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන අඩු කිරීමට ලෝකය ගන්නා උත්සාහය, හානිකර දේශගුණ වෙනස්‌ වීමක්‌ වැළැක්‌වීමට ප්‍රමාණවත් නො වේ. මේ සියවසේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 2කට අඩුවෙන් පවත්වා ගැනීම සඳහා 2020 වර්ෂය වන විට පැවතිය යුතු වායු විමෝචන මට්‌ටමට වඩා වර්තමාන වායු විමෝචන ප්‍රමාණය 14%ක්‌ පමණ අධික ය. 2020 දී පැවතිය යුතු හරිතාගාර වායු විමෝචන මට්‌ටම ගිගාටොන් 44ක්‌ වන අතර එය දැනටමත් ගිගාටොන් 50.1ක්‌ පමණ වේ. එය 2000 වර්ෂයේ පැවැති මට්‌ටමට වඩා 20%කින් පමණ ඉහළ ය. 2020 වන විට මේ ප්‍රමාණය ගිගාටොන් 58ක්‌ පමණ වනු ඇත. (මූලාශ්‍රයEmissions Gap Report 2012, www.unep.org/publications/ebooks/emissionsgap2012)

හරිතාගාර වායු සාන්ද්‍රණය

2011 වර්ෂය ලෝක වායුගෝලයේ වැඩි ම හරිතාගාර වායු ප්‍රමාණයක්‌ පැවැති වර්ෂය වේ. මේ වර්ෂයේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 390.9ක්‌ පමණ වේ. මේ ප්‍රමාණය කාර්මික විප්ලවයට පෙර පැවැති අගය වන මිලියනයකට කොටස්‌ 280ට වඩා 140%ක පමණ වර්ධනයක්‌ වේ. අනෙක්‌ ප්‍රධාන හරිතාගාර වායු වන මීතේන් හා නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් ද ඉහළ ගොස්‌ තිබේ. (මූලාශ්‍රය( 2011 Greenhouse Gas Bulletin, www.wmo.int)

පුවත් සැකෙවින්

අඩු මට්‌ටමේ විකිරණශීලීතාවත් හානිකර විය හැකියි

අඩු මට්‌ටමක විකිරණශීලීතාවකින් පවා ජීවීන්ට යම් යම් හානි සිදු විය හැකි බව අධ්‍යයනයක්‌ මගින් හෙළිදරව් වී ඇත. මිනිසුන් පමණක්‌ නො ව ශාක හා සතුන්ට ද ඇති වන බලපෑම් පිළිබඳව මෙතෙක්‌ සිදු කර ඇති පර්යේෂණ පිළිබඳව කළ සමාලෝචනයකින් මේ තොරතුරු අනාවරණය වේ. මේ අනුව, අඩු විකිරණ මට්‌ටමක දී පවා ප්‍රවේණික ද්‍රව්‍ය ආදියට හානි සිදු විය හැකි ය. විවිධ අංශවලින් ජීවීන්ට හානිකර බලපෑමක්‌ ඇති වීම අහඹු දෙයකට වඩා වැඩි බව පැහැදිලි ය. මේ අනුව ස්‌වාභාවිකව අධික විකිරණශීලීතාවක්‌ දක්‌වන ස්‌ථානවල පවත්නා විකිරණශීලීතාවෙන් පවා යම් යම් බලපෑම් ඇති විය හැකි ය. ඒ අනුව විකිරණශීලීතාව සම්බන්ධව පවත්නා ආරක්‌ෂිත සීමාව පිළිබඳව අදහසේ ගැටලුවක්‌ පවත්නා බව පෙනේ.

පසුගිය වසර හතළිහක කාලය තුළ මෙවැනි සිදුවීම් පිළිබඳව ප්‍රකාශයට පත් ව ඇති පර්යේෂණ වාර්තා පන් දහසක්‌ අතරින් වඩාත් විද්‍යාත්මකව අධ්‍යයනය කර තිබූ වාර්තා 46ක්‌ ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීමෙන් උක්‌ත නිගමනයට එළැඹී ඇත. මේ බලපෑම් පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය(Biological Reviews,DOI: 10.1111/j.1469-185X.2012.00249.)

බ්‍රිතාන්‍යයේ පක්‌ෂි ගහනයේ විශාල අඩු වීමක්‌


1966 සිට මේ දක්‌වා ගත වූ කාලය ඇතුළත දී බ්‍රිතාන්‍යයේ අභිජනනය කරන පක්‌ෂීන් ගේ ගහනයේ ප්‍රමාණය මිලියන 44කින් පමණ අඩු වී ඇතැයි සංරක්‌ෂණ කණ්‌ඩායම් කිහිපයක්‌ එක්‌ ව නිකුත් කර ඇති වාර්තාවක්‌ පෙන්වා දෙයි. මේ අනුව 1966 දී වාසය කළ මිලියන 210ක්‌ වූ පක්‌ෂි ගහනය මේ වන විට මිලියන 166ක්‌ පමණ දක්‌වා අඩු වී තිබේ.

කෙසේ වෙතත් ඒ ඒ පක්‌ෂි විශේෂය පිළිබඳව මේ තත්ත්වය බලපා ඇත්තේ වෙනස්‌ ආකාරයට ය. ඇතැම් පක්‌ෂීන් ගේ ගහනය ඉහළ ගොස්‌ ඇති අතර, ඇතැම් සුලබ පක්‌ෂි විශේෂවල ගහනය බෙහෙවින් අඩු වී තිබේ. ගොවිපොළ අශ්‍රිත පක්‌ෂීන් මේ අතර වැඩි බලපෑමක්‌ ඇති පක්‌ෂි විශේෂ වේ. වඩාත් ම බලපෑමට ලක්‌ ව ඇති පක්‌ෂි විශේෂය වන ගේ කුරුල්ලන් ගේ ගණන මිලියන 20කින් පමණ අඩු වී තිබේ. මෑත දී ඔවුන් ගේ ගහනයේ යම් වර්ධනයක්‌ වාර්තා වී ඇත. මේ අතර එක්‌ පරෙවි විශේෂයක (Wood pigeon) හා කෑරල විශේෂයක (Great spotted woodpecker) සැලකිය යුතු වර්ධනයක්‌ ඇති වී තිබේ.

සමස්‌තයක්‌ ලෙස ගත් කල පක්‌ෂි ගහනයට සිදු ව ඇත්තේ සැලකිය යුතු අහිතකර බලපෑමකි. මේ සඳහා භූදර්ශනයේ වෙනස්‌ වීම් බලපාන්නට ඇති බව පෙන්වා දී තිබේ. මේ වාර්තාව සඳහා යොදාගෙන ඇත්තේ දිගු කලක පටන් සිදු කර ඇති ස්‌වෙච්ඡා පක්‌ෂි නිරීක්‌ෂණ දත්ත ය. (මූලාශ්‍රය State of the UK’s Birds2012, www.rspb.org.uk/Images/SUKB_2012_tcm9-328339.pdf)

ඇන්ටාක්‌ටිකාවේ වන ජීවීන් අවදානමේ

සාගරයේ ආම්ලිකත්වය ඉහළ යැම නිසා ඇන්ටාක්‌ටිකාව අවට ප්‍රදේශයේ ජීවත් වන වනජීවීන්ට දැඩි තර්ජනයක්‌ එල්ල වී ඇතැයි පර්යේෂණ වාර්තාවකින් හෙළි වී තිබේ. මෙහි දී අවධානයට ලක්‌ ව ඇත්තේ "මුහුදු සමනළයින්Z ලෙස ද හැඳින්වෙන කුඩා සාගර බෙල්ලන් පිළිබඳ ව ය. එහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට බෙල්ලන් ගේ කවච ඛාදනයට ලක්‌ වීමට අධික ආම්ලිකත්වය හේතු වී ඇත. එය මේ ජීවීන් රෝගවලට හා විලෝපියන්ට ගොදුරු වීමේ අවදානම ඉහළ නංවයි.

මේ බෙල්ලන් ගේ ගහනය හොඳ මට්‌ටමක පැවැතීම වැදගත් වන්නේ බෙල්ලන් තවත් එක්‌ ජීවී විශේෂයක්‌ පමණක්‌ නො වන නිසා ය. සාගර ආහාර දාමයේ දී මේ බෙල්ලන් වැදගත් තැනක්‌ ගනියි. ඔවුන් ශාක ප්ලවාංග ආහාරයට ගන්නා අතර ආහාර දාමයේ ඉහළින් සිටින ජීවීන් ගේ ආහාරයක්‌ ද වෙයි. මේ නිසා බෙල්ලන්ට ඇති වන බලපෑම සමස්‌ත පරිසර පද්ධතියේ පැවැත්මට ද බලපායි. ඒ නිසා මේ සතුන් ඇන්ටාක්‌ටික්‌ සාගරයේ තත්ත්වය (හා අනාගත දේශගුණ අභියෝගයේ තරම) පැවසීම සඳහා වැදගත් දර්ශකයක්‌ සේ සැලකේ. (මූලාශ්‍රයNature Geoscience, DOI: 10.1038/ngeo1635)

http://www.vidusara.com/2012/11/28/feature3.html

No comments:

Post a Comment