Wednesday, November 21, 2012

ජගත් පරිසර විමසුම 149 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-11-21, පි. 11

http://www.vidusara.com/2012/11/21/feature3.html

විමසුම - ආහාරවල ඇති විෂ රසායනවල වැඩි අවදානම කුඩා දරුවන්ට
ප්‍රමුඛ පුවත - ඩීප් වෝටර් තීන්දුව ප්‍රමාණවත් ද?
පුවත් සැකෙවින් - ඉන්දියාවේ රන් පතලක්‌ ආශ්‍රිතව ආසනික්‌ විෂවීම්‌/ ජෛව ස්‌කන්ධ දහනය හිතන තරම් හිතකර නැත/ ජගත් දේශගුණ සමුළුව ලබන සතියේ


විමසුම
ආහාරවල ඇති විෂ රසායනවල වැඩි අවදානම කුඩා දරුවන්ට

අප ගන්නා ආහාරවල විවිධ විෂ සහිත ද්‍රව්‍ය සුළු ප්‍රමාණවලින් අඩංගු විය හැකි ය. විවිධ ආකාරයෙන් අපේ ආහාරවලට එක්‌ වන මේවා අපට එක්‌වර ම හානි සිදු නො කරන නමුත් දිගු කාලයක්‌ තිස්‌සේ ශරීරය ඇතුළත සාන්ද්‍රණය වීමෙන් විවිධ රෝගාබාධ ඇති වීමට ඉඩ තිබේ. මෙවැනි රසායනික ද්‍රව්‍ය රැසක්‌ ඇති අතර ඒවා නිසා ඇති වන රෝග පිළිබඳ කරුණු රැසක්‌ ද පර්යේෂණවලින් අනාවරණය වී ඇත. මේවා නිසා පිළිකා, ශරීර වර්ධනයේ ගැටලු, උපත් විකෘතිතා හා වෙනත් රෝග ඇති විය හැකි ය. මේ ඇතැම් රසායනික ද්‍රව්‍ය ආහාරවලට එක්‌ වන ආකාරය ද වෙනස්‌ ය. ඇතැම්වා පළිබෝධනාශකවලින් ද තවත් ද්‍රව්‍ය පරිසර දූෂකවලින් ද තවත් සමහර ඒවා රසායනික ආහාර සැකසුම් ක්‍රියාවලියේ දී ද ආහාරවලට එක්‌ විය හැකි ය.

මිනිසුන්ට මෙවැනි රසායනික ද්‍රව්‍යවලින් ඇති වන බලපෑම් පිළිබඳව මෑත දී සිදු කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵල පසුගිය දා ප්‍රකාශයට පත් විය. ඉන් අනාවරණය වන වැදගත් ම කරුණ වන්නේ මේ රසායනික ද්‍රව්‍ය නිසා රෝගී වීම වැඩි අවදානමක්‌ ඇත්තේ කුඩා දරුවන් බව ය. මේ සතියේ පරිසර විමසුමේ අවධානය මේ පිළිබඳව යොමු කරන්නට අප සිතුවේ මෙහි ඇති වැදගත්කම නිසා ය.

ආහාර හා රසායනික ද්‍රව්‍ය

මේ අධ්‍යයනයේ අවධානය යොමු කර ඇත්තේ පෙර පාසල් වයසේ පසු වන දරුවන්, පාසල් වයසේ පසු වන දරුවන්, ඔවුන් ගේ මාපියන් හා වැඩිහිටියන් පිරිසකි. මෙහි දී ළමයින් පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කර ඇත්තේ කුඩා වයසේ දී ඔවුන් මේ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා දිගුකාලීන වශයෙන් වැඩි බලපෑමක්‌ ඇති කළ හැකි නිසා ය. 2007 වර්ෂයේ දී කැලිෆෝනියාවේ සිදු කරන ලද ආහාර පිළිබඳ අධ්‍යයනයකට සම්බන්ධ කරගත් නිවාසවල මේ ළමයින් වාසය කර තිබේ.

මෙහි දී ඔවුන් විසින් ම හෙළි කරන ලද තොරතුරු අනුව තීරණය කරන ලද ආහාර රටාව මත ඔවුන් ගේ ශරීරවල ඇතුළත් රසායනික ද්‍රව්‍ය සාන්ද්‍රණය ගණනය කර ඇත. ඊට යොදාගෙන ඇත්තේ අදාළ ආහාර ද්‍රව්‍යවල ඇතුළත් රසායනික ද්‍රව්‍ය පිළිබඳව මේ වන විට ද ඇති දත්ත ය. මෙහි දී ආසනික්‌, ඩයෙල්ඩී්‍රන්, රසදිය, ඩීඩීඊ (DDE), ඩයොක්‌සීන හා ඇක්‍රිලැමයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය එකොළහක්‌ ගැන අවධානය යොමු කර ඇත. මේ රසායනික ද්‍රව්‍යවලින් පිළිකා හා පිළිකා නො වන රෝග ඇති වීමේ අවදානම ඇති වන මිණුම් ලකුණ (ඉeබජයප්රන) ඉක්‌මවන්නේ දැයි පරීක්‌ෂා කර ඇත.

එහිදී හෙළි වී ඇති පරිදි මේ ළමයින් අතරින් 100%ක්‌ දෙනා ගේ ශරීරවල ඇතුළත් ආසනික්‌, ඩයෙල්ඩී්‍රන්, ඩීඩීඊ (DDE)ල ඩයොක්‌සීන ප්‍රමාණය පිළිකා අවදානම මිණුම් ලකුණ ඉක්‌මවා යා හැකි බව හෙළි විය. එසේ ම පෙර පාසල් දරුවන් අතරින් 95%ක්‌ දෙනා ගේ ශරීරවල ඇක්‍රිලැමයිඩ් සාන්ද්‍රණය පිළිකා නො වන රෝග ඇති වීමේ අවදානම් ප්‍රමාණය පසු කරන බව හෙළි වී ඇත. එසේ ම ළමයින් අතරින් 10%ක ගේ ශරීරවල රසදිය ප්‍රමාණය ද අදාළ මිණුම් ලකුණ ඉක්‌මවා යයි.

විසඳුම ආහාර රටාව වෙනස්‌ කිරීමයි

මේ අධ්‍යයනය අනුව පෙනෙන්නේ අනාගතයේ පිළිකා හා වෙනත් රෝග ඇති වීමේ අවදානම අධික වන්නේ කුඩා දරුවන් අතර බව ය. ඔවුන් මේ තර්ජනයෙන් මුදවාලීමට නම්, බහුවිධ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමේ අවදානමෙන් ළමයින් මුදවාගැනීම වැදගත් වන බව ඉතා පැහැදිලි ය. මේ සඳහා ගත හැකි පියවර ගැන ද යම් අදහසක්‌ මේ වාර්තාවේ ඇතුළත් වේ.

එය සරලව පවසන්නේ නම් විෂ සහිත රසායනික ද්‍රව්‍ය අනුභවය වෙනුවට විෂ අවම ආහාර ද්‍රව්‍ය අනුභවය හා ආහාර රටාව වෙනස්‌ කිරීම ය. නිදසුනක්‌ ලෙස රසායනික ද්‍රව්‍ය ඇතුළත් ආහාර ද්‍රව්‍ය වෙනුවට කාබනික ආහාර අනුභවය යෝග්‍ය වේ. එසේ ම විවිධ භෝග සඳහා භාවිත කරන (ඒ නිසා ම ඒවායේ ඇතුළත් විය හැකි) රසායනික ද්‍රව්‍ය ද වෙනස්‌ වේ. මේ නිසා එක ම ආහාරය දිගු කාලයක්‌ ආහාරයට නො ගෙන එය වෙනස්‌ කිරීම මගින් ද විෂ සහිත රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම හා ඒවා ශරීර තුළ සාන්ද්‍රණය වීම අඩු කළ හැකි ය. එසේ ම ඩීඩීඊ වැනි රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් ඇතුළත් වන මස්‌ හා සත්ත්ව මේද ආහාරයට ගැනීම අඩු කිරීම ද වැදගත් බව පෙන්වා දී තිබේ. එසේ ම අඩුවෙන් රසදිය වැනි රසායනික ශරීරගත ව ඇති බැවින් කුඩා මසුන් ආහාරයට ගැනීම ද කළ හැකි ය. අනෙක්‌ අතට විවිධ සැකසූ කාබොහයිඩ්‍රේට අඩංගු ආහාරයට ගැනීමෙන් ඇක්‍රිලමයිඩ් ශරීරගත වීම අඩු කරගත හැකි ය. (මූලාශ්‍රයEnvironmental Health,
DOI: 10.1186/1476-069X-11-83)

ප්‍රමුඛ පුවත
ඩීප් වෝටර් තීන්දුව ප්‍රමාණවත් ද?

2010 වර්ෂයේ අප්‍රේල් මාසයේ ඇමෙරිකාවේ මෙක්‌සිකෝ බොක්‌කේ සිදු වූ ඩීප්වෝටර් හොරයිසන් තෙල් ළිං අනතුර නිසා සිදු වූ විනාශය තවමත් ලෝකයට අමතක වී නොමැත. එය ඇමෙරිකානු ඉතිහාසය ඇතුළත මුහුදේ සිදු වූ විශාලතම තෙල් අනතුර විය. මේ පිළිබඳව ඇමෙරිකානු රජය සමඟ පැවැති නඩු විභාගයෙන් පසු ඩොලර් බිලියන 4.5ක්‌ ගෙවීමට බීපී (ඊඡ) සමාග ම එකඟ වී ඇත. මීට අපරාධ චෝදනාවක්‌ සඳහා ආයතනයකට ගෙවීමට නියම වූ විශාලතම දඩ මුදල මෙන්ම ජාතික මත්ස්‍ය හා වනජීවී පදනම හා ජාතික විද්‍යා ඇකඩමිය යන ආයතනවලට ගෙවීමට නියමිත මුදල්ද ඇතුළත් ය. මේ ඇතැම් ගෙවීම් වසර කිහිපයක කාලයක්‌ තිස්‌සේ කොටස්‌ වශයෙන් ගෙවීමට නියමිත බව පෙනේ. විවිධ නීති යටතේ එල්ල වූ චෝදනා සඳහා මේ දඬුවම ලැබී ඇත. එසේ ම මේ අනතුර සඳහා තම සමාගමේ නො සැලකිල්ල බලපා ඇති බවට ද සමාගම එකඟ වී තිබේ. සමාගමේ සේවකයන් දෙදෙනකුට මිනීමැරුම් චෝදනා එල්ල වූ අතර ඇමෙරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලය නොමඟ යෑවීම පිළිබඳව එක්‌ කළමනාකරුවකුට ද චෝදනා එල්ල වී ඇත. සමාගම ඔවුන් අතින් වූ වරදට සමාව අයෑද තිබේ.

ඩීප්වෝටර් හොරයිසන් තෙල් කාන්දුව අදාළ තෙල් ළිඳේ සේවකයන් එකොළොස්‌ දෙනකුට මරු කැඳවූ අතර දින 87ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ පැවැති කාන්දුව නිසා පරිසරයට හා වනජීවීන්ට විශාල බලපෑමක්‌ ඇති විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මත්ස්‍ය ආශ්‍රිත කර්මාන්තවලට ද දැඩි පසුබෑමක්‌ ඇති විය. මේ නිසා දහස්‌ ගණනක්‌ පමණ පිරිසකට තම ජීවනෝපාය අහිමි විය. කෙසේ වෙතත් මේ අලාභය පිළිබඳව ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක්‌ ම බීපී සමාගම සමඟ තවමත් අධිකරණමය කටයුතුවල යෙදී සිටියි. ඒ අනුව මෙය මෙතැනින් අවසන් වන බවක්‌ දැකිය නොහැකි ය.

මේ අතර පාරිසරික ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මේ දඩ මුදල ඇති වූ පාරිසරික විනාශයේ තරම හා සංසන්දනය කරන විට නො සලකා හැරිය හැකි ප්‍රමාණයක්‌ බවයි. එය දඬුවමකට වඩා ත්‍යාගයක්‌ සේ සැලකිය හැකි බව ඇතැම් ක්‍රියාකාරීන් පෙන්වා දී තිබේ. එක්‌ වාර්තාවකට අනුව අදාළ සමාගම ඇමෙරිකානු හමුදාව සමඟ සිදු කරන කොන්ත්‍රාත් හරහා මීට වඩා අධික ලාභයක්‌ ලබන බව පෙනේ. මේ අනුව මුහුදේ සිදු කරනු ලබන තෙල් කැණීම් පිළිබඳව මීට වඩා ඉහළ පාලනයක්‌ සිදු කිරීම අවශ්‍ය බව පැහැදිලි ය. එසේ සිතූ විට එක්‌ අතකින් මේ දඩය කිසියම් ආකාරයක සිහිකැඳවීමක්‌ සේ ද සැලකිය හැකි ය.


පුවත් සැකෙවින්

ඉන්දියාවේ රන් පතලක්‌ ආශ්‍රිතව ආසනික්‌ විෂවීම්

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පිහිටි රන් පතලක්‌ ආසන්න ප්‍රදේශයක පසේ හා භූගත ජලයේ අධික ආසනික්‌ සාන්ද්‍රණයක්‌ පවත්නා බව පසුගිය දා කළ පර්යේෂණයකින් හෙළි කර තිබේ. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන මට්‌ටමට වඩා තිස්‌ ගුණයක්‌ පමණ අධික ආසනික්‌ සාන්ද්‍රණයක්‌ එහි පවත්නා බව සඳහන් වේ. මේ ගම රන් නිධියෙන් කිලෝමීටර් හතරක්‌ පමණ ඈතින් පිහිටා ඇතත් මේ අහිතකර බලපෑමට එම ප්‍රදේශය ලක්‌ වී තිබේ.

ආසනික්‌ විෂවීම පිළිබඳව සොයාබැලීමට අදාළ පර්යේෂක පිරිස යොමු ව ඇත්තේ සමේ රෝග හා පිළිකා නිසා රෝහල්ගත කළ ගම්වැසියන් පිළිබඳව අදාළ රෝහලේ වෛද්‍යවරුන් දැන්වූ පසු ව ය. ආසනික්‌ රන් පවත්නා පස්‌වල හමු වන ලෝහයක්‌ වන නිසා මේ සඳහා භූවිද්‍යාත්මක හේතුවක්‌ තිබේ. අනෙක්‌ අතට ආසනික්‌ මේ ආකාරයෙන් ජලයට හා පසට එක්‌ වීමට මානව කටයුතු ද හේතු විය හැකි ය. මේ කරුණ පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු බව ද සඳහන් කර තිබේ. (මූලාශ්‍රයJournal of HazardousMaterials, DOI: 10.1016/j.jhazmat.2012.10.002)

ජෛව ස්‌කන්ධ දහනය හිතන තරම් හිතකර නැත

විදුලිය නිපදවීම සඳහා ජෛව ස්‌කන්ධ දහනය කිරීමට බ්‍රිතාන්‍යය ගෙන ඇති ප්‍රතිපත්තිමය පියවර මගින් දේශගුණ වෙනස්‌වීම වැළැක්‌වීම සඳහා ගන්නා පියවර අවතක්‌සේරු වන බව පාරිසරික ක්‍රියාකාරී කණ්‌ඩායම් කිහිපයක්‌ ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක්‌ අනුව පෙනේ. ඊට අනුව සම්පූර්ණ ෙජෛව ස්‌කන්ධ (ගස්‌ කඳන් වැනි) දහනය කිරීමේ දී පිට කරනු ලබන කාබන් විමෝචන ආපසු අවශෝෂණය කර ගැනීමට අලුතින් වැවෙන ශාකවලට වැඩි කාලයක්‌ ගත වනු ඇත. ඒ නිසා ගල් අඟුරු භාවිතයට වඩා අධික හරිතාගාර වායු ප්‍රමාණයක්‌ එමගින් නිකුත් විය හැකි ය. ඒ අනුව සම්පූර්ණ ගස්‌ යොදා ගැනීම වෙනුවට ශාක කොටස්‌, ඉවත් කරනු ලබන කොටස්‌ හා භෝග ශේෂ ආදිය යොදැගැනීම ගැන යළි අවධානය යොමු කළ යුතු ය.

ජෛව ස්‌කන්ධය මගින් නිපදවන විදුලිය, පුනර්ජනනය කළ හැකි බලශක්‌තියෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ විය යුතු බවට බ්‍රිතාන්‍යය නියම කර ඇත. මෙය විවේචනය කරන උක්‌ත වාර්තාව සඳහා දායක වී ඇති ආයතන අතර ෙµ්‍රන්ඩ්ස්‌ ඔµa ද අර්ත්, ග්‍රීන්පීස්‌ වැනි ආයතන ද වේ. (මූලාශ්‍රයDirtier than coal?,www.foe.co.uk/resource/briefings/dirtier_than_coal.pdf)

ජගත් දේශගුණ සමුළුව ලබන සතියේ

දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියේ 18 වැනි පාර්ශ්වකරුවන් ගේ සමුළුව ලබන නොවැම්බර් 25 වැනි සඳුදා දෝහා-කටාර්හි දී ඇරඹේ. මීට සමගාමීව කියෝටෝ සන්ධානයේ 8 වැනි පාර්ශ්වකරුවන් ගේ සමුළුව ද පැවැත්වීමට නියමිත ය.

දේශගුණ වෙනස්‌ වීම ලෝකයේ බරපතළ ගැටලුවක්‌ වුවත් මේ දක්‌වා ඊට ප්‍රාමාණික විසඳුමක්‌ ඉදිරිපත් ව නැත. මෙවැනි තත්ත්වයක්‌ හමුවේ මේ වර්ෂයේ සමුළුව ද වැදගත් ය. දැනට ඇති තත්ත්වය අනුව හරිතාගාර වායු සීමා කිරීමට හේතු වන දිගුකාලීන විසඳුමකට එළැඹීම කල් ගත වන බව පැහැදිලි ය. ඒ නිසා මේ වර්ෂයේ දී අවසන් වීමට නියමිත, එහෙත් ප්‍රමාණවත් නො වන විසඳුමක්‌ වන, කියෝටෝ සන්ධානයේ දෙවැනි අදියර පිළිබඳව කිසියම් එකඟතාවක්‌ මෙහි දී ඇති කරගැනීමට හැකි වේ ද යන්න අවධානයට ලක්‌ ව ඇති කරුණකි. දියුණු වන රටවල් මීට කැමැත්තක්‌ දක්‌වන නමුත්, තමන්ට පමණක්‌ සීමා පැනවීම අසාධාරණ බව පවසන දියුණු රටවල් සමහරක්‌ මීට විරෝධය දක්‌වයි. දේශගුණ වෙනස්‌ වීමට හැඩගැසීම සඳහා ආධාර සැපයීම ද මෙවර අවධානයට ලක්‌ ව ඇති මාතෘකා අතර වේ.

http://www.vidusara.com/2012/11/21/feature3.html

No comments:

Post a Comment