ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2019.12.11 පි. 5 (Vidusara)
http://www.vidusara.com/2019/12/11/feature1.htmlමාර්ගවල හා පාලම්වල පැති බැමි, තාප්ප හා වෙනත් පොදු ගොඩනැ`ගිලි බිත්ති මත චිත්‍ර නිර්මාණය කිරීම මෑත සති කීපයේ දී රැල්ලක් ලෙස වේගයෙන් වර්ධනය වී ඇත. මේ බිත්ති චිත්‍ර ඇඳීම මාස කීපයකට පෙර සමාජ ජාල ඔස්‌සේ සංවිධානය වූ තරුණ පිරිස් හරහා ආරම්භ වුව ද වේගයෙන් ව්‍යාප්ත වූයේ පසුගිය සති කිහිපයේ දී ය. මෙතෙක් පෝස්‌ටර්වලින් වැසී ගොස් තිබූ බිත්ති මේ පිරිස් විසින් වර්ණවත් චිත්‍රවලින් පින්තාරු කෙරෙනු දැකිය හැකි විය.
ඒ සඳහා ම සංවිධානය වූ මෙවැනි පිරිස් පසුගිය කාලයේ දී වෙනත් කටයුතු සඳහා ද එසේ සාමූහික ව පියවර ගත් හ. ජනප්‍රිය වෙරළ තීර, දුම්රිය ස්‌ථාන ආදි පොදු ස්‌ථාන පිරිසිදු කිරීමට සංවිධානය වූ කණ්‌ඩායම් ඊට නිදසුනකි. එම රැලි අද වන විට එතරම් දැකිය නොහැකි ය. එහෙත් බිත්ති චිත්‍ර නිර්මාණය කිරීම සඳහා වූ උනන්දුව තවදුරටත් පවතී.
බිත්ති චිත්‍ර ආරම්භ වූයේ කවදා ද?
මාර්ග දෙපස පිහිටි බැමි හා තාප්ප මත චිත්‍ර ඇඳීම අප රටට අලුත් දෙයක් නො වේ. අප මුලින් ම මේවා නිරීක්‌ෂණය කළේ 1980 දශකයේ දී ය. පාසල් හා රෝහල් තාප්ප ආදිය කොටස්‌වලට බෙදා විවිධ පාසල්වල සිසුන්ට චිත්‍ර ඇඳීම සඳහා අවස්‌ථාව ලබා දී තිබිණි. ඒවා අදාළ ආයතන විසින් සංවිධානය කරන ලදුව ආරාධිතව චිත්‍ර ඇඳි අවස්‌ථා විය.
එසේ ම ඒ චිත්‍රවලින් කිසියම් හරවත් සමාජමය පණිවිඩයක් ලබා දීමට ද උත්සාහ කළ බව අපට මතක ය. ඒ ඒ චිත්‍ර කුමන පාසලක නිර්මාණ ද යන්න ඒවා මත ම සඳහන් කර තිබිණි. මේ චිත්‍ර කලින් කල අලුත් කිරීමට අවශ්‍ය වූ අතර, දුර්වර්ණ වූ චිත්‍ර ඉවත් කළ අවස්‌ථා ද විය. අදටත් මාර්ග අසල ඇති සමහර තාප්පවල මීට වසර කීපයකට පෙර අඳින ලද චිත්‍ර දැකිය හැකි ය.
නූතන ප්‍රවණතාව හා සමාජ ජාල
එහෙත් අද දැකිය හැකි බිත්ති චිත්‍ර රැල්ල එදාට වඩා වෙනස් ය. අද චිත්‍ර නිර්මාණය කරන කණ්‌ඩායම් එය කරන්නේ අනාරාධිත ව හා ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමෙනි. ඒ සඳහා අවශ්‍ය අවසරය මාර්ග අධිකාරියෙන් හා පොදු ගොඩනැ`ගිලි හිමිකරුවන් ගෙන් ලබාගන්නා බව සඳහන් වෙයි. තීන්ත සමාගම්, මාධ්‍ය ආයතන හා තවත් අය මීට අවශ්‍ය අනුග්‍රහය ලබා දී ඇති බව ද පෙනෙයි.
මේ ආකාරයෙන් යෙදැවෙන්නේ සමාජ මාධ්‍ය තුළ ම දියෑ වී යා හැකි ව තිබූ තාරුණ්‍යයයි. කාලය හා විදුලි බලය නාස්‌ති කරමින් හරිතාගාර වායු විමෝචනය ඉහළ නංවමින් ඔහේ දියෑ වී යා හැකි ව තිබූ තරුණ ජීවිතයි. ඔවුනට එකමුතු වී කිසියම් ඵලදායී කටයුත්තකට යොමු විය හැකි බවට මෙය කදිම නිදසුනති. සමාජයට අයහපත් ලෙස බලපාන ආකාරයට රස්‌තියාදු ගැසීමට, කල්ලි ගැසීමට හැකි ව තිබූ ඔවුන් ඊට වඩා වෙනස් ලෙස සංවිධානය වීම වැදගත් ය. ස්‌වෙච්ඡාවෙන් මෙවැනි පොදු කටයුතු සඳහා දායක වීම මෙරට වැසියන් අතීතයේ සිට සිදු කර ඇති දෙයකි.
එවැනි කාර්යයක් සඳහා ඔවුන් දැක්‌වූ උනන්දුව අගය කළ යුත්තක් වන අතර ම, මේ සම්බන්ධ ව අවධානයට ලක් කළ යුතු කරුණු කීපයක් පෙන්වා දීම මේ ලිපියේ අරමුණු වෙයි. ඒ අනුව මේ බිත්ති චිත්‍ර පිළිබඳව කිසියම් නියාමනයක් අත්‍යවශ්‍ය බව අපගේ අදහස ය.
සුදුසු තැන් පමණක් තෝරාගැනීම
මේ බිත්ති චිත්‍ර නගරවලට සුදුසු විය හැකි ය. බොහෝ නගරවල දෘෂ්‍ය පරිසරය පවතින්නේ පුළුල් ස්‌වාභාවික දර්ශනයක් ඇති තත්ත්වයක නො වේ. එමෙන් ම නගරයේ වුව ද ඒ ස්‌ථානය අවට පිහිටි සෙසු ගොඩනැ`ගිලි, ඉදි කිරීම් හා ගහකොළ (වේ නම්) ඒවා සමඟ මේ චිත්‍ර ගැළපීම අවශ්‍ය ය. එමෙන් ම ඓතිහාසික වශයෙන් වැදගත් හා පැරැණි ගොඩනැ`ගිලි, ඔරලෝසු කණු ආදි ඉදි කිරීම් මත චිත්‍ර ඇඳීම නො කළ යුතු ය. ඒවායේ ඓතිහාසික බව පෙනෙන්නේ පවත්නා පැරැණි පෙනුම මත ය. පුරාවිද්‍යා ස්‌මාරක නො වන නමුත් පැරැණි වූ ඉදිකිරීම් බොහෝ නගරවල දැකිය හැකි ය. එබැවින් මේ චිත්‍ර ඇඳීමට යෝග්‍ය ස්‌ථාන අදාළ බලධාරීන් විසින් තීරණය කරනු ලැබිය යුතු ය.
අනෙක් අතට ස්‌වාභාවික දර්ශනයකට බාධා විය හැකි කිසිදු තැනකට මේ බිත්ති චිත්‍ර සුදුසු නො වේ. නිදසුනක් ලෙස නගරයේ පමණක් නො ව වඩා ග්‍රාමීය හා ස්‌වාභාවික දර්ශනයක් සහිත ප්‍රදේශවල මාර්ග අසල ද පැති බැමි පවතී. වර්තමාන ප්‍රවණතාව අනුව ඒවායේ චිත්‍ර නිර්මාණය කිරීමට කටයුතු කළ හොත් එය නුසුදුසු ස්‌ථානයක අඳින ලද චිත්‍රයකි. සමාජ ජාල ඔස්‌සේ ඇතැම් විට එවැනි ඉල්ලීම් ද අපට දකින්නට ලැබෙයි.
එමෙන් ම පරිසර තත්ත්වවලින් ආරක්‌ෂිත තැන්වල චිත්‍ර ඇඳීම ඒවා වැඩි කාලයක් පැවතීමට හේතු විය හැකි ය. නිදසුනක් ලෙස අව්වට හා වැස්‌සට නිරාවරණය වන තැනක වැඩි කලක් චිත්‍ර පවතින්නේ නැත. පාලම් යට, උමං මාර්ගවල හා ගුවන් පාලම් යට වැනි ස්‌ථාන වඩාත් සුදුසු වන්නේ ඒ නිසා ය. එය ද බලධාරීන්ගේ අවධානයට යොමු විය යුත්තකි.
චිත්‍රවල තේමාව හා වර්ණ
බිත්ති චිත්‍ර නිර්මාණයේ දී ඒවායේ තේමාව හා වර්ණ ගැන ද අවධානය යොමු විය යුතු බව පෙනේ.
සුදු පැහැ බිත්තියක් තිබූ තැනක තද වර්ණ සහිත බිත්තියක් ඇති වීමෙන් වන වෙනස පැහැදිලි ව හඳුනාගත හැකි ය. එබැවින් චිත්‍ර අඳිනු ලබන ස්‌ථානය අනුව ඒ සඳහා යොදාගන්නා වර්ණ සම්බන්ධ ව සැලකිලිමත් විය යුතු ය. යම් ස්‌ථානයකට තද හා විචිත්‍ර වර්ණ යෝග්‍ය නො වීමෙන් දකින්නාගේ ඇසට විඩාවක් හා පීඩාවක් ඇති වීමට ඉඩක් ඇත. එසේ ම එය වාහන රියදුරන්ගේ දර්ශනයට බාධාවක් වී ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට හේතු විය හැකි ය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ මේවා චිත්‍ර දෘෂ්‍ය පරිසර දූෂණයකට හේතු විම ය.
චිත්‍රවල තේමාව ද වැදගත් ය. මීට මාස කීපයකට පෙර මේ රැල්ල ආරම්භ වූ අවස්‌ථාවේ ද වැඩි වශයෙන් දැකිය හැකි වූයේ බටහිර පන්නයේ චිත්‍ර හා කුරුටු චිත්‍ර ය (graffiti). එහෙත් මෑත සති කිහිපයේ දී අඳිනු ලබන චිත්‍ර ඊට වඩා තරමක් දේශීයත්වයකට නැඹුරු බව දැකිය හැකි ය. එහෙත් එය හැම තැන ම එසේ නො වන බව ද පෙනෙයි. මේ චිත්‍ර තවදුරටත් දේශීයත්වයට නැඹුරුතාවක් දක්‌වන්නේ නම් එය වැදගත් ය. විශේෂයෙන් මෙරට සංස්‌කෘතියට, කලාවට හා ඉතිහාසයට අදාළ වන තේමා අවශ්‍ය තරම් ඇඳීමට හැකි ය. එහෙත් මෙරට ඉතිහාසයට හෝ සංස්‌කෘතියට හෝ කිසිදු අදාළතාවක් නොමැති තේමා අනුගමනය කළ අවස්‌ථා ද වාර්තා විය. නිදසුනක් ලෙස මහනුවර බිත්තියක 'රාවණා කොන්සෙප්ට්' එකක් නිර්මාණය කරන බවක් අපට අසන්නට ලැබිණි. මෙරට ඉතිහාසඥයන් පිළිගත් ඉතිහාසයේ නොමැති මෙවන් මිථ්‍යා කතා ප්‍රවර්ධනය කිරීම බිත්ති චිත්‍රවලින් නො කළ යුතු දෙයකි. මෙවැනි කරුණු ද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කරුණු අතර වෙයි.
බුද්ධිමය දේපළ ගැටලුව
මේ බිත්ති චිත්‍රවල අප දුටු තවත් දෙයක් වූයේ ඇතැම් ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් විසින් අඳින ලද විශිෂ්ට චිත්‍ර මේ බිත්ති චිත්‍ර ශිල්පීන් විසින් පිටපත් කරනු ලැබ හෝ අනුකරණය කරනු ලැබ හෝ තිබීම ය. ඇතැම් විට ඒ සඳහා අවසර ගෙන තිබූ අතර, තවත් අවස්‌ථාවල එසේ නො වූ බවත් වාර්තා විය. විශේෂයෙන් ඓතිහාසික චිත්‍රකරණය සඳහා වසර ගණනක් තිස්‌සේ පර්යේෂණවල යෙදෙන ශිල්පීහු මෙරට සිටිති. ඔවුන්ගේ චිත්‍ර විශිෂ්ට නිර්මාණ වන්නේ ඒ පර්යේෂණ නිසා ය. එම චිත්‍ර අනුකරණය කර අදාළ මුල් ශිල්පියා සිහිපත් නො කිරීම හෝ පිටපත් කළ ශිල්පියාගේ නිර්මාණ ලෙස හුවා දැක්‌වීම හෝ කණගාටුවට කරුණකි. සමහර විට අනුකරණය කරන ලද චිත්‍ර තුළ චිත්‍ර ශිල්පය අතින් හා සංදර්භය අතින් කළ පැහැදිලි විකෘති කිරීම් ද විය. ඒ නො තකා චිත්‍ර රැල්ලට ප්‍රශංසා කරන පිරිස් මේ චිත්‍රවල පසුබිම නො දන්නා බව පැහැදිලි ය.
වසර ගණනක පර්යේෂණවලින් බිහි වන ස්‌වකීය චිත්‍ර නිර්මාණ පොදු මාධ්‍යයේ ද පළ කරන ප්‍රකට චිත්‍ර ශිල්පියකු හා පර්යේෂකයකු වන ප්‍රසන්න වීරක්‌කොඩි මේ ගැන සමාජ මාධ්‍ය හරහා සාකච්ඡා කර තිබිණි. තම අයිතිය වෙනුවෙන් ඔහු දැක්‌වූ අදහස්‌වලට එරෙහි ව සමාජ ජාල හා මාධ්‍යවලින් එල්ල වූ අසාධාරණ හා අපහාසාත්මක විවේචන අපි දුටුවෙමු. ඒ තත්ත්වය කිසිසේත් අනුමත කළ හැක්‌කක් නො වේ. මේ සම්බන්ධ ව අප හා අදහස් දක්‌වමින් ඔහු වැදගත් කරුණක් මතු කළේ ය. එනම් අනුන්ගේ චිත්‍ර පිටපත් කිරීම සමාජයට වැරැදි පූර්වාදර්ශයක් විය හැකි බවයි. එය සැබෑ නිර්මාණකරුවනට අසාධාරණයක් වෙයි. එමෙන් ම ඔවුන්ගේ චිත්‍ර මේ අයුරින් යොදාගනිමින් සිදු කරනු ලබන මේ බුද්ධිමය දේපළ කොල්ලය සමාජයෙන් අනුමත කිරීම නිසා මේ තරුණ පරපුරෙන් නිර්මාණශීලී කලාකරුවන් බිහි වීම වළකිනු ඇති බව ඔහුගේ අදහසයි. වඩා පහසුවෙන් අනුන්ගේ චිත්‍ර පිටපත් කිරීමෙන් ජනප්‍රිය වීම නිසා චිත්‍ර කලාව ගැඹුරින් හැදෑරීමට ඔවුන් යොමු නො විය හැකි බව ඔහු පෙන්වා දෙයි. චිත්‍ර යනු හැදෑරිය යුතු අංග ගණනාවකින් යුක්‌ත විෂයයකි. සාමාන්‍යයෙන් අනුන්ගේ චිත්‍ර පිටපත් කරනු ලබන්නේ පුහුණු ක්‍රියාවලියේ දී පමණකි.
එමෙන්ම මේ බිත්ති චිත්‍ර නිර්මාණය හෝ වෙනත් පොදු කටයුතු සඳහා හෝ දායක වීමෙන් සමාජයේ සාධනීය වෙනසක් අපේක්‌ෂා කරන අය, පවත්නා නීති රීති හා සම්ප්‍රදායවලට ගරු කිරීම වැදගත් වෙයි. විනයවත් සමාජයක් බිහි කළ හැක්‌කේ එලෙස ය. ඒ වරද හදාගැනීමට ඔවුන් තවමත් පමා නැත.
මේ චිත්‍රවල අනාගතය?
නගර ගණනාවක නිර්මාණය කර ඇති මේ චිත්‍රවල අනාගතය කෙබඳු වේ ද යන්න වැදගත් කරුණකි. මේවා අනාගතයේ දී නඩත්තු කරනු ලබන්නේ කවුරුන් විසින් ද? අව්වට හා වැස්‌සට නිරාවරණය වන උපස්‌තරයක අඳිනු ලබන චිත්‍ර කෙතරම් කලක් පවතිනු ඇතිද? අද චිත්‍ර අඳින්නට ඇති රැල්ල ඒවා නඩත්තු කිරීමට හෝ යළි යළිත් ඇඳීමට හෝ තිබෙනු ඇති ද යන්න කීමට තවමත් ඉක්‌මන් වැඩි ය. ඒ සඳහා බරපැන දරනු ලබන්නේ කවුද? මේවා අපට තවමත් උත්තර නොමැති ප්‍රශ්න ය. ඒ ගැන ද අප සිතිය යුතු වේ.
කෙසේ වෙතත් හැම දාමත් මෙවැනි විවිධ රැලි පැමිණ තිබේ. සමහර රැලි ආ පමාවෙන් නැති වී ගොස් ඇති අතර සමහර රැලි කාලයක් පැවතී තිබේ. මේ රැල්ල ද ඇවිත් යන එකක් විය හැකි ය. මේ රැල්ල උදාසීන නො වුව ද චිත්‍ර ඇඳීමට ඇති ස්‌ථාන අවසන් වීම සිදු වනු ඇත. එසේ වුව හොත් මේ රැල්ලෙන් පසුව තාරුණ්‍යයේ ඒ ශක්‌තිය නාගරික හා ආසන්න ප්‍රදේශවල පැළ සිටුවීම සඳහා යෙදවිය හැකි නම් එය වඩා යහපත් පරිසරයක් ගොඩනැ`ගීමට හැකියාවක් ඇති පියවරකි. එහෙත්, එය ද කිසියම් නියාමනයක් සහිත ව විය යුත්තකි.
මේ චිත්‍ර මොනවා ද?අපේ රටේ මේ දිනවල අඳිනු ලබන චිත්‍ර වර්ගය මොනවා ද? ඒවා අයත් වන්නේ කුරුටු චිත්‍රවලට ද, බිතු සිතුවම් හෝ බිත්ති චිත්‍රවලට ද?
ග්‍රැෆිටි හෙවත් කුරුටු චිත්‍ර (graffiti) ප්‍රසිද්ධ ස්‌ථානයක බිත්තියක් හෝ වෙනත් මතුපිටක හෝ අයකු හෝ කණ්‌ඩායමක් හෝ විසින්, අනවසරයෙන් අඳිනු ලබන අකුරු පේළි හෝ චිත්‍ර වෙයි. මේවා අවධානය යොමු කරගැනීම සඳහා සිදු කරන රැඩිකල් හා විරෝධාකල්ප ප්‍රකාශනයන් වුව ද එය ප්‍රකාශන කලාවක් ලෙස ද සැලකේ. 20 වැනි සියවසේ දී මෙය ප්‍රචලිත වූයේ බටහිර රටවල නාගරික ප්‍රදේශවල ය. උමං මාර්ග, දැන්වීම් පුවරු හා බිත්ති මේ සඳහා උපස්‌තරය විය. මේවා මහජන කලාවක් ද එසේ නැත හොත් මහජන පීඩාවක් ද යන්න ගැන ඇත්තේ විවාදයකි. ඇතැම් රටවල මේ ග්‍රැෆිටි නීතියෙන් තහනම් ය.
තවත් අදහසකට අනුව මේවා බිතු සිතුවම් (murals) හෝ බිත්ති චිත්‍ර (wall art) ලෙස සැලකිය හැකි ය. බිතු සිතුවම් යනු බිත්ති, සීලිම් මත අඳිනු ලබන චිත්‍ර වන අතර බිත්ති චිත්‍ර යනු ගොඩනැ`ගිලි බිත්ති මත අඳිනු ලබන චිත්‍ර වෙයි. එහෙත් මේවා සාමාන්‍යයෙන් අඳිනු ලබන්නේ අදාළ ගොඩනැ`ගිල්ලේ හිමිකරුවන්ගේ ආරාධනයෙනි. එය කිසියම් ශිල්පියකු විසින් නිර්මාණය කෙරෙන නිශ්චිත කලා කෘතියක් ද වෙයි. එහෙත් අද මෙරට සිදු වන්නේ එවැන්නක් නො වෙයි. චිත්‍ර අඳින්නට අවශ්‍ය පිරිස් විසින් අදාළ ආයතන හා බලධාරීන් ගෙන් අවසරය ලබාගනිමිනි. ඒ අනුව බැලු විට අද වන විට අප රටේ අඳිනු ලබන්නේ මේ දෙක අතර වර්ගයක් විය හැකි බව පෙනෙයි.
http://www.vidusara.com/2019/12/11/feature1.html