නුගේගොඩින් පිටත්වන 689 බසයකට මං හවස නැග්ගෙ දෙල්කඳ පරණ පොළ ළගින්. බස් එක පරක්කු වෙලා ආපු නිසා සෑහෙන සෙනඟක් පිරිලා හිටියා. මං යන්තම් ඉදිරි දොරෙන් ඇතුළට ගිහින් දකුණු පැත්තෙ දෙවැනි අසුනෙ ඇන්ඳෙන් අල්ලා ගත්තා.
එතැන සිට බස් නැවතුම්පොළක් පහු වුනාට පස්සෙ උඩහමුල්ල සුසාන භූමිය හමුවෙනවා. ඒ කිට්ටුවදි බසයේ වේගය අඩු වුනා. ඒ ඉදිරියෙන් ගිය අවමගුල් පෙරහැරක් නිසා. සුසානභූමියේ ගේට්ටුව ළඟ අවමඟුල් රථය නවතා තිබුණා - දේහය සහිත පෙට්ටිය ඉවතට ගැනීමට සූදානමින් (මොකද උඩහමුල්ල දුම්රියපොළ පාරෙන් සුසාන භූමියට වාහන ඇතළු කරන්න බෑ, පඩිෙපෙළක් තියෙන නිසා). බසය එය පසුකරද්දි මා අසළ අසුනේ හිඳ සිටි මැදිවයස් කාන්තාව නැගිට ගරු කළා. එහෙත් මට පෙනුණු මානයේ හිඳ සිටි 10-12 දෙනා අතරින් නැගිට මිය ගිය මිනිසාට ගරු කළේ ඈ පමණමයි. අනිත් හැමෝම ජනේලයෙන් එය දුටුවා. මම මොහොතකට තිගැස්සුනේ මිනිසුන්ට මේ සිරිත් දැන් අමතකද කියා හිතලා. අපි පාසල් ගිය කාලෙදි බසයක යන විට අවමඟුල් රථයක් දුටුවාම සියලුු දෙනාම වගෙ නැගිටපු සිදුවීම් මට මතක් උනා. අපි ඒ සිරිත ඉගෙන ගත්තෙ ඒ අයුරින්. කිසිවෙක් කියා දීලා නෙමෙයි.
ඒ අතරෙ කොන්දොස්තර ඉදිරි දොරෙන් බසයට නැග්ගා. ඔහු ශබ්ද නගා මෙහෙම කීවා - "මේ අක්කට ඉඳගන්න දෙන්න කවුරුවත් නැද්ද" කියලා. එවිට තමයි මම දුටුවේ මා සිටි තැනට පිටුපසින් අනෙක් පැත්තේ අසුනක් අල්ලාගෙන සිටගෙන සිටියේ ගැබිණි කාන්තාවක් බව. ඇය මා බසයට නගින විටත් බසයට නැග සිටි කෙනෙක්. බස් නැවතුම්‌පොළ තුනක් පමණ පසුකර යනතුරුත් ඇය සිටගෙනමයි! ගැබිණි කාන්තාවන් සඳහා වෙන් කළ අසුන කිට්ටුව සිටගෙන සිටි ඇයට අසුනක් දීමට කෙනෙක් නැහැ... අන්තිමට මම පෙර සඳහන් කළ, අනෙක් පස අසුනක හිඳ සිටි මැදිවියේ කාන්තාව ඇගේ අසුන ඒ ගැබිණි කාන්තාවට දුන්නා. ෙසෙනඟ සිටි නිසා ඇය ඊට කලින් ගැබිණි කාන්තාව දැක නැති බව මට තේරුණා.
අප මේ කොහිද යන්නේ කියලා මට හිතුනා. මනුස්සකම කොහි ගිහින්ද? ඒ බසයේ අසුන්ගෙන සිටි අය අතරින් මනුස්සයො හිටියෙ එක්කෙනයිද? අපේ උදව් අවශ්‍ය ජීවත්වන කෙනෙකුට උදව් නොකරන අය මිය ගිය අයෙකුට ගරු කරාවිද?
මං හිතනවා මෙවැනි අවස්ථාවල ඔබේ අත්දැකීම් මීට වඩා යහපත් ඒවා කියලා. මගේ පැතුමද එයයි.
No comments:
Post a Comment