Wednesday, December 30, 2015

පැරිස්‌ දේශගුණ ගිවිසුම සාර්ථක වීමට නම්...

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 23.12.2016, පිටුව 5 (Vidusara)

http://www.vidusara.com/2015/12/23/feature2.html


මහත් අපේක්‌ෂාසහගතව ආරම්භ වූ පැරිස්‌ දේශගුණ සමුළුව අවසන් වූයේ ජගත් මට්‌ටමේ එකඟතාවකින් යුක්‌ත ව ය. එය, දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා වූ දශක දෙකකට අධික ඉතිහාසයක්‌ ඇති සටනේ වැදගත් සන්ධිස්‌ථානයකි. අප මින් පෙර සඳහන් කර ඇති ආකාරයට ගිවිසුමේ යම් යම් ගැටලු ඇතත්, මේ බරපතළ පාරිසරික අර්බුදයට විසඳුමක්‌ ලබාගැනීමට කිසියම් අවස්‌ථාවක්‌ ලැබී ඇති බවට පැරිස්‌ ගිවිසුම ම සාධකයක්‌ වේ.

මේ ගිවිසුමේ එන එකඟතා අතර වැදගත් කරුණු තුනක්‌ වේ. ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයේ වර්ධනය පූර්ව කාර්මික අවධියේ පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස්‌ අංශක දෙකකට වඩා බෙහෙවින් අඩුවෙන් තබාගැනීමට ද එA ප්‍රමාණය අංශක 1.5ක සීමාවේ තබාගැනීම සඳහා ප්‍රයත්න දැරීමට ද ඇති එකඟතාව ඉන් පළමුවැන්න ය. එසේ ම ලෝකයේ ඒ ඒ රටවල් තම රටවල හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ ඉලක්‌ක හා ඒ සඳහා ගන්නා පියවර ස්‌වෙච්ඡාවෙන් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කිරීම හා කලින් කල ඒවා සමාලෝචනය කිරීම දෙවැනි කරුණ ය. තෙවැනි කරුණ වන්නේ දියුණු වන රටවල දේශගුණ බලපෑම් වැළැක්‌වීම සඳහා ගන්නා පියවර සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනයයි.

මේ ගිවිසුම හා එහි බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවල සැලකිය යුතු තරමින් ආවරණය කර තිබූ අතර, අවාසනාවකට මෙන් අපේ රටේ එවැනි තත්ත්වයක්‌ දැකිය හැකි නො වී ය. පැරිස්‌ ගිවිසුමේ මූලික අංග පිළිබඳව වැඩිදුර විමසා බලන්නට අප සිතුවේ මේ නිසා ය.


විමෝචන සීමාවක්‌ පනවා නො තිබීම

පැරිස්‌ දේශගුණ ගිවිසුමට අනුව, තම රටවල හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා නෛතික බලපෑමක්‌ ඇති නිශ්චිත සීමාවක්‌ කිසිදු රටක්‌ සඳහා පනවා නොමැත. මේ ආකාරයෙන් නිශ්චිත විමෝචන සීමා පැනවීම පිළිබඳ අදහස දේශගුණ සාකච්ඡාවල වර්ධනය පමා කිරීමට හේතුවක්‌ විය. විශේෂයෙන් ඇතැම් දියුණු රටවල් තම රටවලට පමණක්‌ මෙවැනි සීමා පැනවීම සම්බන්ධව විරෝධය පළ කර තිබිණි. පැරිසියේ දී ගිවිසුමක්‌ ඇති වීමට හේතු වූයේ ද මේ ආකාරයෙන් නෛතික සීමා නො පැනවීමට රටවල් එකඟ වීම බව පෙනේ. එසේ ම කිසිදු ගිවිසුමක්‌ නොමැති වුව හොත් ඇති විය හැකි බරපතළ බිඳවැටීම වළක්‌වාගැනීමේ අවශ්‍යතාව ද තිබිණි. වොෂින්ටන් පෝස්‌ට්‌ පුවත්පතේ ලිපියකින් පෙන්වා දුන් ආකාරයට, සාකච්ඡාවල දී වඩා ප්‍රායෝගික ප්‍රවේශයක්‌ අනුගමනය කරමින් මේ ගිවිසුමට එළැඹීම සිදු ව තිබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, නෛතික බැඳීමක්‌ ඇති කරගැනීමට දිගින් දිගට ම ක්‍රියාකාරී වූයේ නම් පැරිසියේ දී කිසිදු ගිවිසුමක්‌ ඇති නො වීමට ඉඩ තිබූ බව බටහිර මාධ්‍ය හා විචාරකයන් ද පවසන කරුණකි.

අනෙක්‌ අතට මේ ආකාරයෙන් නෛතික බලපෑමක්‌ සිදු කළ හැකි හරිතාගාර වායු විමෝචන සීමා තිබුණේ නම්, ඇතැම් රටවල ඊට එකඟතාව ලබාගැනීම අසීරු විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, එවැනි තත්ත්වයක්‌ තිබුණේ නම් ඇමෙරිකානු ජනාධිපති බැරැක්‌ ඔබාමාට ඊට අත්සන් තැබීම පෙර එරට සෙනෙට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබාගැනීමට සිදු වේ. වර්තමාන ඇමෙරිකානු සෙනෙට්‌ මණ්‌ඩලය යනු සාම්ප්‍රදායික වශයෙන් ෆොසිල ඉන්ධන කර්මාන්තය ප්‍රිය කරන රිපබ්ලිකන් පාක්‌ෂිකයන් සිය බලය තහවුරු කරගෙන ඇති තැනකි. මේ නිසා හරිතාගාර වායු විමෝචන සීමා ඉලක්‌ක නොමැති ගිවිසුමක්‌ සම්මත වීම නිසා ඇමෙරිකානු ජනාධිපතිවරයා ගේ 'ජාම බේරාගැනීමට්‌ හැකි වී තිබේ.

ස්‌වෙච්ඡා කැපවීම ප්‍රමාණවත් වේ ද?

දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා අත්‍යවශ්‍ය යෑයි සැලකෙන හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා පැරිස්‌ ගිවිසුමෙන් දක්‌වා ඇත්තේ කිසියම් ආකාරයක ස්‌වෙච්ඡා ප්‍රවේශයකි. ඒ අනුව අදාළ රටවල් සියල්ල තම රටවල හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා වූ ඉලක්‌ක හා යෝජනා ඇතුළත් අපේක්‌ෂිත ජාතික නිශ්චිත කළ දායකත්වය (Intended Nationally Determined Contribution) ප්‍රතිඥාවක්‌ ලබා දිය යුතු ය. ඉන්පසුව මේ ඉලක්‌ක අත්පත් කරගැනීම සඳහා කටයුතු කළ යුතු අතර වසර කිහිපයකට වරක්‌ මේවා සමාලෝචනය කිරීම සඳහා ද ඔවුන් එකඟ වී ඇත.

මේ අනුව දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා ඉදිරිපත් ව ඇති මූලික පියවර සඳහා ලෝකයේ රටවල සැබෑ කැප වීම අත්‍යවශ්‍ය බව පැහැදිලි ය. මෙය කෙතරම් සාර්ථක වනු ඇති ද යන්න තීරණය වන්නේ මේ රටවල උනන්දුව මත ය. දේශපාලන හා වෙනත් හේතු නිසා රටක ප්‍රතිපත්තියේ යම් වෙනසක්‌ සිදු වුව හොත්, යම් රටක්‌ මේ ඉලක්‌කවලින් ඈත් විය හැකි අතර, එහි දී ලෝකයට මේ ගිවිසුම යටතේ ගත හැකි පියවරක්‌ - දිය හැකි දඬුවමක්‌ - නොමැති වීම මෙහි ඇති ගැටලුව වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇමෙරිකාවේ ඇතැම් රිපබ්ලිකන් පාක්‌ෂික නියෝජිතයන් ඔබාමා ගේ දේශගුණ සැලසුම් පරාජය කිරීමට අදහස්‌ කරන බව ප්‍රකට කරුණකි. එසේ නම්, ඉදිරියේ දී ඇමෙරිකාව ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව එරට තුළ පොදු දේශපාලන එකඟතාවක්‌ තවමත් නොමැති බව පැහැදිලි ය.

මේ තත්ත්වයට විසඳුමක්‌ ලෙස වසර කිහිපයකට වරක්‌ මේ රටවල ක්‍රියාකාරිත්වය සමාලෝචනය කිරීම යෝග්‍ය වුවත්, එය කෙතරම් දුරට සාර්ථක විය හැකි ද යන්න ගැන කල් තබා අනාවැකි කීම පහසු නැත. එහෙත් රටක හෝ රටවල අසාර්ථකත්වය සමස්‌ත ක්‍රියාවලියට ම බලපෑමක්‌ ඇති කළ හැකි බව පැහැදිලි ය.

මේ ප්‍රවේශයේ සාර්ථකත්වය ගැන සැකයක්‌ ඇති වුව ද එය එක්‌තරා ආකාරයක නව අත්හදාබැලීමකි. මෙය පහළ සිට ඉහළට තීරණ ගැනීමේ ප්‍රවේශයක්‌ හෙවත් උඩු අත් ප්‍රවේශයක්‌ (bottom-up approach) වන අතර, මෙතෙක්‌ පැවැති පිළිවෙතට වඩා මුළුමනින් ම වෙනස්‌ ය.

මෙවැනි මූලධර්මයක්‌ පිළිබඳ යෝජනාවක්‌ දේශගුණ සාකච්ඡාවලට මුලින් ම ගෙන එන ලද්දේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා නෛතික සීමා පැණවීම පිළිබඳව දැඩි විරෝධයක්‌ දැක්‌වූ ඇමෙරිකානු ජනාධිපතිවරයකු වූ ජෝර්ඡ් ඩබ්ලිව්. බුෂ් ගේ නියෝජිතයන් විසින් 2007 වර්ෂයේ දී පමණ ය. එවැනි ස්‌වෙච්ඡා ක්‍රමයක්‌ හා එය නිරීක්‌ෂණය කිරීමේ ක්‍රමයක්‌ ඔහු ගේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලදි. අවසානයේ දී ලෝකය පිළිගෙන ඇත්තේ ද එA මූලධර්මය මත පදනම් වූ ක්‍රමයකි. එදා බුෂ් පාලනය යටතේ යෝජනා කළේ ලෝකයේ විශාලතම ආර්ථික ඇති රටවල් එවැන්නක්‌ කළ යුතු බව වුව ද, අද එය ලෝකයේ දියුණු හා දියුණු වන රටවල් සියල්ලට ම අදාළව ක්‍රියාත්මක වීම මෙහි ඇති විශේෂත්වයකි.

දියුණු වන රටවලට ලැබුණු දේ

දියුණු වන රටවල දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වී තිබෙන බලපෑම් වැළැක්‌වීම සඳහා කටයුතු කිරීමේ දී ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්‌ වන්නේ ප්‍රමාණවත් අරමුදල් නොමැති වීමයි. එසේ ම තමන් පොරොන්දු වී ඇති හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීම ද බොහෝ රටවලට ගැටලුවකි. මේ අනුව පැරිස්‌ ගිවිසුමෙන් පොරොන්දු වී ඇති ඩොලර් බිලියන 100ක අරමුදල මේ රටවලට වැදගත් වනු ඇත. එසේ ම එය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වීමට අවස්‌ථාවක්‌ තිබීම ද වැදගත් ය.

මේ අරමුදල පිළිබඳව පොරොන්දු ලැබීම නිසා දියුණු වන රටවල් ද පැරිස්‌ ගිවිසුමට එකඟ වූ බවක්‌ දැකිය හැකි ය. එය ඇතැම් විට හඳුන්වා දී ඇත්තේ කිසියම් ආකාරයකින් 'හීලෑ වූ' බවක්‌ ලෙස ය. එසේ ම කිසියම් හෝ ගිවිසුමක්‌ ඇති කරගැනීමේ අවශ්‍යතාව ද මේ රටවල එකඟතාව ලැබීමට බලපා ඇත. අවසානයේ දී දියුණු රටවලට අදාළව මෙතෙක්‌ සඳහන් වූ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ඓතිහාසික වගකීම සම්බන්ධ අදහස්‌ ඉවත් වී තිබේ.

මේ විසඳුමක ආරම්භයකි?

මේ සියලු කරුණු අනුව, 'හපන්නට දත් නැති' වුව ද, පැරිස්‌ ගිවිසුම කිසිදු එකඟතාවක්‌ නොමැති ව ඉදිරියට යනවාට වඩා හොඳ ය. මෙය නිශ්චිත විසඳුමකට වඩා විසඳුම් සඳහා වූ ආරම්භයක්‌ ලෙස සැලකිය හැකි ය. මෙතෙක්‌ කලක්‌ යා යුතු මග නො දැන එහා මෙහා දෝලනය වෙමින් තිබූ දේශගුණ වෙනස්‌ වීම සඳහා විසඳුම් සෙවීමේ කිසියම් මගක්‌ වෙත පිවිස තිබේ. එය ආපසු යැමක්‌ සේ සැලකිය හැකි වුව ද, අඛණ්‌ඩව උත්සාහ දැරීමෙන් හා බල කිරීමෙන් දේශගුණ වෙනස්‌ වීමට යම් සාධනීය විසඳුමක්‌ ලබාගැනීමට අවස්‌ථාවක්‌ ද ඇති බව පැහැදිලි ය.

විශේෂයෙන් මේ ගිවිසුම මගින් ඇති කරගෙන ඇති සෙල්සියස්‌ අංශක දෙකේ උෂ්ණත්ව ඉලක්‌කයේ රැඳී සිටීම ද අභියෝගයකි. මේ වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියේ පැවැති අගයට වඩා සෙල්සියස්‌ අංශකයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ ඇත. එසේ නම් ගිවිසුමේ පවසා ඇති පරිදි අංශක 1.5ක සීමාව ඉක්‌මවා නො යැමට නම් බොහෝ දේ කළ යුතු බව පැහැදිලි ය. ගැටලුව ඇත්තේ මේ සියල්ල එක්‌ එක්‌ රටවල් ස්‌වෙච්ඡාවෙන් කළ යුතු දේ වීමත්, එසේ නො කළ හොත් කළ හැකි දෙයක්‌ නොමැති වීමත් ය.

මේ කරුණු සියල්ල සලකා බලන විට එක්‌ එක්‌ රට තමන් ලබා දී ඇති ප්‍රතිඥාවට අනුව කටයුතු කිරීම තහවුරු කිරීමේ වගකීම ඒ රටවල ආණ්‌ඩු බලධාරීන්ට පමණක්‌ සීමා වුව හොත් එය මේ ගිවිසුම සාර්ථක කරගැනීමට බලපාන්නක්‌ බව පැහැදිලි ය. මේ අනුව සිය රටවල බලධාරීන් අදාළ රටේ දේශගුණ ප්‍රතිඥාවලින් ඈතට යා නො දී ඒ ඉලක්‌කවල රඳවා තබාගැනීම සඳහා අවශ්‍ය බල කිරීම හා යොමු කිරීම සඳහා වගකීමක්‌ ඒ රටවල විද්‍යාඥයන්, දේශපාලන, පරිසර හා සමාජ ක්‍රියාකාරීන් හා සාමාන්‍ය ජනතාවට පැවරේ. මෙහි දී දේශගුණ පිළිවෙත් හා බද්ධ වූ බැංකු ණය වැනි වෙනත් ගෝලීය මට්‌ටමේ යාන්ත්‍රණ මගින් ලැබෙන සීමා කිරීම් ද වැදගත් විය හැකි බව පෙනේ.

http://www.vidusara.com/2015/12/23/feature2.html

පැරිස් දේශගුණ ගිවිසුම සම්මත වේ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 16.12.2015, පිටුව 3 (Vidusara, not available online)

ලෝකයේ අනාගතය සම්බන්ධයෙන් සැලකිය යුතු තරම් වැදගත් ජයග්‍රහණයක් ගැන සටහනක් තැබීමට අවස්ථාවක් මේ සතියේ ලැබී තිබේ. ඒ පැරිසියේදී පසුගිය 12 වැනි දින සම්මත වූ දේශගුණ වෙනස් වීම පිළිබඳ ගිවිසුම පිළිබඳවය. ලෝකය පුරා පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරීන් හා විද්‍යාඥයින් කලක පටන් අපේක්ෂා කළ ජගත් මට්ටමෙන් පිළිගැනීමක් සහිත වූ දේශගුණ ගිවිසුමක් අවසානයේ ඇති වී තිබේ.

පැරිස් ගිවිසුමේ ඇති මූලික විශේෂත්වය වන්නේ යුරෝපය හා ඇමරිකාව ඇතුළු දියුණු රටවල්ද, චීනය හා ඉන්දියාව ඇතුළු දියුණුවන රටවල්ද මීට එකඟ වීමය. මේ ගිවිසුමට එකඟ වූ රටවල් ගණන 196ක් පමණ වේ. ඒ අනුව හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා ලෝකයේ සෑම රටක්ම එකඟත්වයක් දැක්වූ පළමු අවස්ථාව මෙය වේ. මේ ගිවිසුමේ ක්‍රියාකාරකම් අදාළ වන්නේ 2020 වර්ෂයේ සිට ඔබ්බටය. මේ ගිවිසුමේ ඇති වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ.

උෂ්ණත්ව ඉලක්කය - ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයේ ඉහළ යෑම පූර්ව කාර්මික අවධියේ පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක දෙකකට වඩා ඛෙහෙවින් අඩුවෙන් (well below) තබාගැනීමට මේ ගිවිසුමෙන් එකඟ වී ඇත. එසේම එම ප්‍රමාණය අංශක 1.5ක සීමාවේ තබාගැනීම සඳහා ප්‍රයත්න දැරීමටද එකඟ වී ඇත. සෙල්සියස් අංශක දෙකේ සීමාව දේශගුණ වෙනස් වීමේ බරපතළ ප්‍රතිවිපාක වළක්වාගැනීම සඳහා ලෝක උෂ්ණත්වය ඉහළ යෑම තිබිය යුතු සීමාව සේ පිළිගැනේ. මේ නිසා අංශක 1.5 ඉලක්කයට යා හැකි නම් ලෝකය වඩාත් ආරක්ෂිත වනු ඇති බව පැහැදිලිය.

හරිතාගාර වායු විමෝචන අඩු කිරීම - සෑම රටක්ම විමෝචනය කරනු ලබන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණයේ උපරිමයට හැකි ඉක්මනින් ළඟා වීමට හා ඉන්පසුව පවත්නා විද්‍යාත්මක දැනුම අනුව විමෝචන වේගයෙන් අඩු කිරීමට පැරිස් ගිවිසුමෙන් එකඟ වී ඇත. දියුණුවන රටවලට මේ උපරිම අගයට ළඟා වීමට වැඩි කාලයක් ගතවන බවද පිළිගෙන ඇත. එසේම මේ සියවසේ දෙවන භාගයේදී හරිතාගාර වායු ප්‍රභව හා ඒවා තැන්පත් වන ක්‍රම අතර සමතුලිතතාවයක් අත්පත් කරගැනීමටද අපේක්ෂා කරනු ලැබේ.

හරිතාගාර විමෝචන ඉලක්ක - හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ ඉලක්ක සම්බන්ධව දියුණු රටවල් ආර්ථීක බලපෑමක් ඇති විමෝචන ඉලක්ක අනුගමනය කිරීමේදී පෙරමුණ ගත යුතු බව ගිවිසුමේ දැක්වේ. දියුණුවන රටවල් ඔවුන්ගේ පාලනය කිරීමේ ප්‍රයත්න වැඩිදියුණු කිරීමට දිගටම පියවර ගත යුතු අතර, ආර්ථීක වශයෙන් බලපෑමක් ඇති විමෝචන අඩු කිරීම් හා සීමාකිරීමේ ඉලක්ක වෙත ක්‍රමයෙන් ළඟා විය යුතුය. ඒ ඒ රටවල් විසින් අඩු කළ යුතු විමෝචන ප්‍රමාණය නිශ්චිතව දක්වා නොමැති අතර, තමන්ගේ ඉලක්කය රටවල් විසින්ම ලබාදීම කළ යුතුය. එසේම ඒ ඉලක්කයට ළඟා වීමට ගන්නා පියවර විස්තර කළ යුතු අතර, වසර පහෙන් පහට නව සැලසුම් ඉදිරිපත් කළ යුතු වේ. මේ සමාලෝචන මගින් දැනට රටවල් විසින් ලබාදී ඇති පොරොන්දු ප්‍රමාණවල අඩුව වළක්වා ගැනීම අපේක්ෂා කරන බව පෙනේ.

දියුණුවන රටවලට අරමුදල් සැපයීම - දියුණු වන රටවලට දේශගුණ වෙනස් වීම සඳහා සහයෝගය ලබාදීම පිණිස යොදාගැනීම සඳහා වූ අරමුදලක් සඳහා 2020 වර්ෂය වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 100ක මුදලක් ලබාදීමට දියුණු රටවල් එකඟ වී තිබේ. එසේම 2025 වර්ෂයේදී මේ අරමුදල් ප්‍රමාණය මීට වඩා වැඩි දායකත්වයක් සැපයීම සඳහා එකඟ වීමද විශේෂ සිදුවීමකි.

ගිවිසුමේ ඇති තවත් වැදගත් කරුණක් වන්නේ එය වසර 5කට වරක් පමණ සමාලෝචනය කිරීම සඳහාද එකඟතාවයක් ඇති වී තිබීමයි. මෙය වැදගත් වන්නේ ඒ ඒ රටවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට එහිදී අවස්ථාවක් ලැඛෙන නිසාය.

සම්මත වූ ගිවිසුම, ලබන වසරේ මිහිතල දිනය යෙදෙන අප්‍රේල් මස 22 දින සිට 2017 වර්ෂයේ අප්‍රේල් 17 දින දක්වා අත්සන් තැබීම සඳහා විවෘතව තැඛෙන බව ගිවිසුමේ සඳහන්ය. ඒ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදීය. එය බලාත්මක වන්නේ ලෝකයේ හරිතාගාර විමෝචන අතරින් 55%ක් නිකුත්කිරීම සඳහා වගකිව යුතු රටවල් අවම වශයෙන් 55ක් පමණ ප්‍රමාණයක් ගිවිසුම අපරානුමත කිරීම පිළිබඳ තහවුරු කිරීම් ලබාදීමෙන් දින තිහකට පසුවය.

ගිවිසුමේ අපේක්ෂාව හා යථාර්ථය

ලෝක නායකයින් මෙන්ම සමාජ ක්‍රියාකාරීන්ද පැරිස් ගිවිසුම විවිධ ආකාරයෙන් හඳුන්වා දී ඇත. එය 'මානව ඉතිහාසයේ විශාල පිම්මක්' ලෙසින්ද, 'ඓතිහාසික මොහොතක්' යනුවෙන්ද, 'ලෝකයට ලැබුණු අවසන් අවස්ථාව' ලෙසද සඳහන් වේ. එය සත්‍යයක් වන්නේ ලෝකයේ ප්‍රමුඛතම පාරිසරික ගැටලූවක් පිළිබඳව ජගත් මට්ටමේ එකඟතාවයක් ලැබී තිබීම නිසාය. එහෙත් මේ සාර්ථකත්වය විශේෂයෙන් හුවාදක්වනු ලබන්නේ දේශපාලන නායකයින් බව පැවසිය යුතුය.

එහෙත් ලෝපුරා විද්‍යාඥයින් හා කි්‍රයාකාරීන් වැඩිදෙනා අතර මේ පිළිබඳව ඇත්තේ මධ්‍යස්ථ අදහසකි. මේ ගිවිසුම පිළිබඳව ගැඹුරින් සැලකූ විට එහි යම් යම් අඩුපාඩු ඇති පැහැදිලිය. නිදසුනක් ලෙස ගතහොත් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී නොමැත. හරිතාගාර විමෝචන විශාල ලෙස නිකුත් කරන දියුණු රටවලට පවා එවැනි ඉලක්ක ලබාදී නැත. ලෝකයේ රටවල් විසින් විමෝචන අඩුකිරීමේ ඉලක්ක ලබාදීම හා එම ඉලක්කය සමාලෝචනය කිරීම නෛතික බැඳීමක් ඇති කරුණු වේ. එහෙත් මේ ඉලක්කය ස්ව කැමැත්තෙන් ලබාදෙන්නක් මිස නෛතික බැඳීමක් ඇති එකක් නොවන බැවින් එය අත්පත් කරගැනීමට අසමත් වන රටවලට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයක් නොමැති බව පෙනේ. ඒ සඳහා නෛතික බැඳීමක් නොමැත. අනෙක් අතට ලෝකයේ රටවල් 188ක් ස්වේච්ඡාවෙන් ලබාදී ඇති විමෝචන සීමා කිරීමේ ඉලක්ක අත්පත් කරගත්තද ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.7ක් හෝ ඊට වඩා ඉහළ යන බව පෙන්වාදී ඇති බව අප අමතක නොකළ යුතුය.

එසේම හරිතාගාර විමෝචන පිළිබඳව දියුණු රටවලට ඇති ඓතිහාසික වගකීම පිළිබඳ සඳහනද ගිවිසුමේ නොමැති වීම තුළ මෙය සැලකිය යුතු තත්ත්වයකි. දියුණු හා දියුණුවන රටවල් අතර වෙනසද කැපී නොපෙනේ. දියුණු රටවලට දුප්පත් රටවලට අරමුදල් සැපයීම පිළිබඳවද නෛතික වගකීමක් ගිවිසුමේ දැකිය නොහැකිය. මේ සියලූ කරුණු අනුව ඉන්දියාවේ විද්‍යාව හා පරිසරය පිළිබඳ ආයතනය (CSE) මෙය දුබල හා අපේක්ෂා තබාගත හැකි ගිවිසුමක් නොවන බව දක්වා තිබේ. මෙය වඩාත් ඍජුව දක්වමින් පැරිස් ගිවිසුම 'වංචාවක් හා බොරුවක් බව' පවසන දේශගුණ විද්‍යාඥ ජේම්ස් හැන්සන්, පොරොන්දු මිස ක්‍රියාකාරිත්වයක් එහි දැකිය නොහැකි බවද සඳහන් කරයි.

පැරිස් ගිවිසුමේ සාර්ථකත්වය සඳහා රටවල්වල ස්වේච්ඡා ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් බව පැහැදිලිය. ඒ සඳහා සියලූ රටවල අවංක කැපවීම අත්‍යවශ්‍යය. ගිවිසුමට එකඟ වුවද ඇතැම් රටක ඇති විය හැකි දේශපාලන වෙනස්වීම් මත මේ උනන්දුව වෙනස් වීමටද අවස්ථාව ඇත. නෛතික බැඳීම බරපතළ නොවන තත්ත්වයක් තුළ මෙය බලපෑමක් කළ හැකි තත්ත්වයකි. 1997දී අත්සන් කළ කියෝටෝ සන්ධානය ක්‍රියාත්මක වීම 2005 දක්වා පමා වූයේ අත්සන් කළ දියුණු රටවල් ගිවිසුම අපරානුමත කිරීම පමාවීම නිසාය. කෙසේ වෙතත් කියෝටෝ සන්ධානය මෙන් නොව, මේ නව ගිවිසුම ලෝකයේ සියලූ රටවලට අදාළ වන්නකි.
මේ කරුණු අනුව කිසිත් නැතිවාට වඩා පැරිස් ගිවිසුම තිබීම හොඳ බව පැවසිය හැකිය. එහි සාර්ථකත්වය තීරණය වන්නේ ඉදිරියේදී ලෝකයේ රටවල් දැන් එය ක්‍රියාත්මක කරන ආකාරය මතය.

Thursday, November 26, 2015

පැරිස්‌ දේශගුණ සමුළුවෙන් ප්‍රශ්නය විසඳේ ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 25.11.2015, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2015/11/25/feature1.html




නොවැම්බර් 30 වැනි ඉරිදා ප්‍රංශයේ පැරිස්‌ නුවර දී ආරම්භ වන ජගත් දේශගුණ සමුළුව යනු සැම වසරක ම අවසානයේ දී පවත්වනු ලබන දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) තවත් එක්‌ පාර්ශ්වකරුවන් ගේ සමුළුවක්‌ (COP) පමණක්‌ නො වේ. එය ලෝකයේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක එකකි. වර්තමාන ලෝකයේ දැකිය හැකි බරපතළ ම (එහෙත් මේ බරපතළකම අවබෝධ කරගෙන නොමැති) පාරිසරික ගැටලුව සේ සැලකෙන දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ කිසියම් සාධනීය පියවරක්‌ අපේක්‌ෂාවෙන් සිදු වන්නකි.

දේශගුණ වෙනස්‌ වීමේ බරපතළකම වටහාගත් දින පටන්, මෙවැනි ගිවිසුමක්‌ අපේක්‌ෂාවේ තිබුණු අතර, 2009 වර්ෂයේ දී කෝපන්හේගන් දේශගුණ සමුළුවේ දී එවැන්නක්‌ අපේක්‌ෂා කරන ලදි. එහෙත් කිසිවකු අපේක්‌ෂා නො කළ ආකාරයෙන් එම සමුළුව කිසිදු එකඟතාවක්‌ නොමැති ව අවසන් විය. ඉන් පසුව, 2011 වර්ෂයේ දී පැවැති ඩර්බන් දේශගුණ සමුළුවේ දී ලෝකය එකඟ වූයේ, 2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නෛතික බලපෑමක්‌ ඇති එකඟතාවකට 2015 වර්ෂයේ දී එළැඹීමට ය. විශේෂයෙන් හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ දී ගිවිසුමකට ලෝකයේ සියලු රටවල් සම්බන්ධ විය යුතු බවට ද එකඟතාවක්‌ ඩර්බන්හි දී පොදුවේ ඇති වී තිබිණි. ලෝකයේ සැම රටකට ම හරිතාගාර විමෝචන සීමා කිරීමේ පොදු එහෙත් එකිනෙකට වෙනස්‌ මට්‌ටමේ වගකීම් ලැබිය යුතු බව මින් අදහස්‌ විය.

ඉන් පෙර දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ක්‍රියාක්‌මක වූ එක ම පිළියම වූයේ 1997 දී අත්සන් තබන ලද කියෝටෝ සන්ධානයයි. ඒ අනුව, දියුණු කාර්මික රටවල් පමණක්‌ සිය හරිතාගාර වායු විමෝචන සීමා කළ යුතු විය. ආර්ථික කරුණුවලට ප්‍රමුඛතාව ලබා දුන් ඇතැම් රටවල් කියෝටෝ සන්ධානයට මුල පටන් ම විරුද්ධ වූ අතර, එවකට ලෝකයේ වැඩි ම හරිතාගාර වායු විමෝචකයා වූ ඇමෙරිකාව ද කියෝටෝ සන්ධානයට අත්සන් තැබීම ප්‍රතික්‌ෂේප කළේ ය. තවත් රටවල් සන්ධානයට එක්‌ වීම පමා වූ බැවින් එය බලාත්මක තත්ත්වයට පත් වූයේ ද 2005 වර්ෂයේ දී පමණ ය. අවසානයේ දී 2012 වර්ෂයේ දී එහි මුල් ඉලක්‌කගත කාලසීමාව අවසන් වන විට, සන්ධානය අසාර්ථක එකක්‌ බව පැහැදිලි ව පෙනෙන්නට තිබිණි. කාර්මික රටවල් ස්‌වකීය හරිතාගාර වායු විමෝචන 1990 මට්‌ටමට සාපේක්‌ෂව විවිධ ප්‍රමාණවලින් (සාමාන්‍යයක්‌ ලෙස ගත හොත් 5.5%කින්) අඩු කළ යුතු වුව ද, ඒ බොහෝ රටවල වායු විමෝචන ඉහළ ගොස්‌ තිබිණි.

2012 සිට ගත වූ කාලයේ දී මේ සම්බන්ධව සාකච්ඡා ඇති වූ අතර ලබන සතියේ පැරිස්‌ සමුළුව අවසානයේ දී ඇති කරගැනීමට නියමිත ව ඇත්තේ මේ ගිවිසුමයි. මේ ගිවිසුම තුළ ලෝකයේ රටවල් සියල්ලට ම පොදු වගකීමක්‌ හා නෛතික බැඳීමක්‌ සහිත ආකාරයේ එකක්‌ වනු ඇතැයි අපේක්‌ෂිත ය.

ගැටලුවේ තරම


මේ වන විට ලෝකයේ විමෝචනය වන හරිතාගාර වායු විමෝචන ඉහළ යමින් තිබේ. මෙහි දී වැඩි වශයෙන් බලපෑමක්‌ සිදු වන්නේ කාබන් ඩයොක්‌සයිඩ් වායුවෙන් වුව ද, සෙසු හරිතාගාර වායුවල සාන්ද්‍රණය ද ඉහළ ගොස්‌ ඇත. ලෝක කාලගුණවිද්‍යා සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට 2014 දී ලෝකයේ සාමාන්‍ය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 397.7ක්‌ (ppm) පමණ වූ අතර මේ අගය 2016 වන විට කොටස්‌ 400 ඉක්‌මවා යනු ඇත. මෙය වාර්තාගත වැඩි වීමක්‌ වන අතර පූර්ව කාර්මික අවධියේ පැවැති මට්‌ටමට වඩා 143%ක වර්ධනයකි.

හරිතාගාර වායු සාන්ද්‍රණය මෙන්ම ලෝකයේ උෂ්ණත්වය ද මෑත කාලයේ දී වාර්තාගත අන්දමින් ඉහළ යමින් ඇති බව මේ වන විට පැහැදිලි කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ම වර්ෂ 11න් 10ක්‌ ම වාර්තා වන්නේ 2000 වර්ෂයෙන් පසුව වේ. (අනෙක්‌ උෂ්ණත්වයෙන් අධික වර්ෂය 1998 ය). මේ වන විට වාර්තා වී ඇති උෂ්ණත්වයෙන් අධික ම වර්ෂය වන්නේ ගත වූ 2014 ය.

මෙවැනි තත්ත්වයක ප්‍රතිඵලයක්‌ ලෙස ඉදිරියේ දී ඇති විය හැකි බලපෑම් පිළිබඳව අපට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබේ. මේවා සම්බන්ධව විවිධ පුරෝකථන මෙන්ම ඒ ගැන සවිස්‌තර වශයෙන් ද අප මින් පෙර සාකච්ඡා කර ඇත. දැන් අවශ්‍ය ව ඇත්තේ මේ තත්ත්වය වඩාත් බරපතළ තත්ත්වයකට පැමිණීමට පෙර පාලනය කරගැනීම ය. දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් සම්මුතියක්‌ ඇති වූයේ 1992 වර්ෂයේ දී පමණ ය. ඒ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියයි (UNFCCC). එහෙත් එමගින් මේ තත්ත්වය වැළැක්‌වීමට හෝ පාලනය කිරීමට හෝ පැහැදිලි ඉලක්‌කයක්‌ නො තිබූ අතර, එවැන්නත් ඇති කරගත්තේ 1997 දී ය. ඒ කියෝටෝ සන්ධානයයි. පෙර සඳහන් කළ ආකාරයට ඉන් අපේක්‌ෂිත ඉලක්‌ක වෙත ළඟා වීම අපහසු කරුණක්‌ වුව ද දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා මෙතෙක්‌ ක්‍රියාත්මක වූ එක ම වැඩසටහන වන්නේ කියෝටෝ සන්ධානයයි. පැරිස්‌ සාකච්ඡාවල පසුබිම සැකසෙන්නේ මේ තත්ත්වය පසුබිමේ තබාගනිමිනි.

මතභේදාත්මක කරුණු


අද වන විට පවත්නා තත්ත්වය අනුව ඇතැම් කරුණු සම්බන්ධව මතභේද ඇති බව පැහැදිලි ය. ඉන් එකක්‌ වන්නේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම කළ හැක්‌කේ කවර ප්‍රමාණයකින් ද යන්න ය. මේ වන විට ලෝකයේ රටවල් 168ක්‌ පමණ ප්‍රමාණයක්‌ ස්‌වකීය රටවලට සිදු කළ හැකි වායු සීමා කිරීම හා වෙනත් කරුණු පිළිබඳ පොරොන්දු (INDC) ලබා දී තිබේ. එහෙත් දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බලපෑම් ඇති විය හැකි යෑයි සැලකෙන උෂ්ණත්ව ඉහළ යැමේ සීමාව වන සෙල්සියස්‌ අංශක දෙකක සීමාව ඉක්‌මවා යා නො දී තබාගැනීමට මේවායින් හැකි ද යන්න වැදගත් ම කරුණ වේ. මේ රටවල් ලබා දී ඇති ඉලක්‌ක සියල්ල සම්පූර්ණ කළ ද ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2 ඉක්‌මවා යැම වළක්‌වාගත නොහැකි බව පෙන්වා දී තිබේ. (මේ පිළිබඳව ගණන් බැලීමකට අනුව උක්‌ත පොරොන්දු ඒ අයුරින් ම ඉටු වුව ද, ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2.7ත් 3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. එහෙත් මෙය කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නො ගැනීමෙන් ඇති විය හැකි ප්‍රතිඵලවලට වඩා යහපත් තත්ත්වයකි.)

කෙසේ වෙතත් මේ විමෝචන සීමා කිරීමේ ඉලක්‌ක කරා ළඟා වීම ස්‌වෙච්ඡාවෙන් අත්පත් කරගන්නා ඉලක්‌ක වුව හොත් එහි දී යම් ගැටලුවක්‌ ඇති වේ. ඒවා යම් නෛතික බැඳීමක්‌ සහිත වුව හොත් පමණක්‌ ඉන් යම් ප්‍රතිඵලයක්‌ අපේක්‌ෂා කළ හැකි ය. මෙය දියුණු හා දියුණු වන රටවල් අතර සාකච්ඡාවල කිසියම් මතභේදයක්‌ ඇති තැනකි. පසුගිය සතිය වන විට පෙනී ගොස්‌ තිබූ ආකාරයට ඇතැම් රටවල අපේක්‌ෂාව වන්නේ නෛතික බැඳීමක්‌ සහිත ගිවිසුමක්‌ ඇති නො වනු ඇතැයි යන්න ය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙවැනි අදහසක්‌ පළ කර තිබිණි. එහෙත් ප්‍රංශය මෙන්ම ලෝකය ද අපේක්‌ෂා කරන්නේ නෛතික බැඳීමක්‌ සහිත ශක්‌තිමත් වූ ගිවිසුමකි.

එකඟතාවක්‌ නොමැති අනෙක්‌ වැදගත් කරුණ වන්නේ දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමට හා ඊට අනුහුරු වීමට අදාළ කටයුතු සඳහා දියුණුවන රටවලට ලබා දීමට නියමිත ව ඇති ආධාර මුදල් ප්‍රමාණයයි. මේ පිළිබඳව ඇති අපේක්‌ෂාව වන්නේ ඩොලර් බිලියන 100ක අරමුදලක්‌ වාර්ෂිකව ප්‍රදානය කිරීම ය. එහෙත් මේ දක්‌වා දියුණු රටවල් ඒ ඉලක්‌කය සඳහා දායක වන ආකාරය පැහැදිලි නැත. මේ අධාර මුදල් සැම දියුණු වන රටකට ම වැදගත් වන්නේ පිරිසිදු තාක්‌ෂණය, අනුහුරු වීම ආදි බොහෝ කරුණු සම්බන්ධව ඔවුන් ගේ රටවල ඇති ආර්ථික තත්ත්වය සීමාකාරී බලපෑමක්‌ වන නිසා ය.

මේ කරුණු දෙක සම්බන්ධව කිසියම් සාධනීය විසඳුමක්‌ හෝ එකඟතාවක්‌ ඇති නො වුව හොත් පැරිස්‌ සාකච්ඡා පමණක්‌ නො ව, එහි දී ඇති විය හැකි ගිවිසුමකින් වුව ද ලෝකයට එතරම් යහපතක්‌ අපේක්‌ෂා කළ නොහැකි වනු ඇත.

ලෝකයේ අපේක්‌ෂාව


කෙසේ වෙතත් ලෝකයේ අනාගතය සුරක්‌ෂිත කිරීම සඳහා අවශ්‍ය වන එක්‌ ප්‍රධාන කරුණක්‌ වන්නේ දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බලපෑම්වලට ලෝකය ලක්‌ නො වන ආකාරයේ තත්ත්වයක්‌ ඇති කරගැනීම ය. ඉදිරි දිනවල පැරිසියට රැස්‌ වන ඒ ඒ රටවල නියෝජිතයන් ගේ, විද්‍යාඥයන් ගේ, සමාජ හා පාරිසරික ක්‍රියාකාරීන් ගේ අරමුණ වන්නේ දේශගුණ සමුළුවේ සාකච්ඡා කිසියම් ආකාරයක සාධනීය අවසානයක්‌ දක්‌වා යොමු වනු දැකීම ය.

එහෙත් අවාසනාවකට මෙන් පැරිස්‌ නගරයේ පසුගිය දා සිදු වූ ත්‍රස්‌ත ප්‍රහාරය නිසා එහි ආරක්‌ෂක තත්ත්වය දැඩි කිරීමට ප්‍රංශ රජය කටයුතු කර තිබේ. දේශගුණ සමුළුව අතරතුර දී පා ගමන්, විරෝධතා හා වෙනත් කටයුතු තහනම් කිරීමට රජය තීරණය කර ඇත. මෙය දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව අවධානය යොමු කිරීමේ අටියෙන් විවිධ සමාජ ක්‍රියාකාරීන් සංවිධානය කරන්නට ගිය විරෝධතාවලට ද බලපානු ඇත. විශේෂයෙන් ම අප්‍රිකානු රටවල්, කුඩා දූපත් රාජ්‍ය ආදි හඬක්‌ නොමැති පිරිස්‌වලට තම හඬ ලෝකයට ගෙන යැමට තිබූ අවස්‌ථාවක්‌ වන්නේ මේ වීදි විරෝධතා ය.

පැරිස්‌ සමුළුවට සහභාගි වන රාජ්‍ය නායක මට්‌ටමේ පිරිස්‌වල සහභාගිත්වය අඩු වන බව ද දැනගැනීමට ඇත. ඊට හේතුව වී ඇත්තේ ද පෙර කී ත්‍රස්‌ත ප්‍රහාරය නිසා ඇති වී තිබෙන ආරක්‌ෂාව පිළිබඳ ගැටලු ය. සාමාන්‍යයෙන් මෙවැනි තීරණාත්මක සමුළුවක දී රාජ්‍ය නායකයන් ගේ සහභාගිත්වය කිසියම් ධෛර්යයක්‌ හා ගම්‍යතාවක්‌ එක්‌ කිරීමට හේතු වන බැවින්, රාජ්‍ය නායකයන් ගේ සහභාගිත්වය අඩු වීම ද පැරිස්‌ සාකච්ඡාවලින් සාධනීය ප්‍රතිඵලයක්‌ අත්පත් කරගැනීම සඳහා බලපාන කරුණක්‌ විය හැකි ය.

ලෝකයේ අනාගත සුරක්‌ෂිතතාව පිළිබඳ තීරණ ගන්නා සමුළුවක්‌ වන පැරිස්‌ සමුළුවේ දී වර්ධනය වන ප්‍රවණතා සම්බන්ධව අපට ඉදිරියේ දී දැකගත හැකි ය.

http://www.vidusara.com/2015/11/25/feature1.html

Friday, November 20, 2015

තෙල් සමාගම්වල සටකපට උපක්‍රම හෙළිදරව් වේ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 11.11.2015 (Vidusara)

(Topic: Tactics used by oil companies revealed)

http://www.vidusara.com/2015/11/11/feature3.html




දේශගුණ වෙනස්‌ වීම සත්‍යයක්‌ නො වන බව හෝ ඒ පිළිබඳ විද්‍යාත්මක දැනුමේ අඩුපාඩු ඇති බව පවසමින් ලෝකයේ විවිධ ඛනිජතෙල් සමාගම් කටයුතු කරන ආකාරය ප්‍රකට රහසකි. කාබන්ඩයොක්‌සයිඩ් විමෝචන අධික ලෙස නිකුත් කරන ෆොසිල ඉන්ධන භාවිත සීමා වීමෙන් උක්‌ත සමාගම්වල ආදායම් අහිමි විය හැකි නිසා ඔවුන් මේ ආකාරයෙන් සත්‍ය තොරතුරු නො සලකාහරිමින් කටයුතු කරන බව පෙනේ. ලෝකයේ ධනවත් ම සමාගම් අතර සිටින, මුදල් බලයෙන් මෙන්ම දේශපාලන බලයෙන් ද ශක්‌තිමත් තෙල් සමාගම්වලට මෙවැනි කටයුතු එතරම් අලුත් දේ නො වේ.

මේ සමාගම් ජනතාව ගේ හා ලෝකයේ සුබසිද්ධිය නො සලකා කටයුතු කර ඇත්තේ කෙතරම් වගකීමකින් තොර ආකාරයෙන් ද යන්න, පසුගිය සති කිහිපයක කාලය ඇතුළත ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ අනාවරණය වී ඇති මෙවැනි එක්‌ සිදුවීමක්‌ සම්බන්ධව විස්‌තරවලින් පැහැදිලි වේ. මේ සිදුවීම් ජාලය සම්බන්ධ වන්නේ එක්‌සොන් (Exxon) ලෙස අතීතයේ හන්වන ලද, අද වන විට Exxon Mobil ලෙස හඳුන්වනු ලබන ලෝකයේ විශාලතම තෙල් හා ගෑස්‌ සමාගම සමග ය.

මේ කරුණු අනාවරණය වී ඇත්තේ InsideClimateNews නම් ආයතනයක්‌ විසින් මාස ගණනාවක්‌ තිස්‌සේ සිදු කරන ලද කරුණු සොයාබැලීමක දී ය. ඔවුන් ඒ සඳහා මේ ආයතනයේ සේවය කළ පිරිස්‌, විද්‍යාඥයන් හා පෙඩරල් නිලධාරීන් ආදී පිරිස්‌ රැසකින් තොරතුරු ලබාගෙන ඇති අතර, වැඩි වශයෙන් 1977-1986 අතර කාලයට අයත් එක්‌සොන් සමාගමේ ලියෑවිලි විශාල ප්‍රමාණයක්‌ද පරීක්‌ෂාවට ලක්‌ කර තිබේ.

දේශගුණ වෙනස්‌ වීම දැනගත්තේ 1977 දී


එහි දී අනාවරණය වී ඇති ආකාරයට එක්‌සොන් සමාගම 1977 ජුලි මාසය තරම් ඈත කාලයේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව දැන සිටියේ ය. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වූ ඡේම්ස්‌ බ්ලැක්‌ මේ පිළිබඳව සමාගමට අනාවරණය කර ඇත්තේ මේ මාසයේ දී ය. සමාගමේ කළමනාකාරීත්වයට ඔහු පෙන්වා දී ඇත්තේ ලෝක දේශගුණය සම්බන්ධව මිනිසුන් විසින් සිදු කරනු ලබන ප්‍රමුඛතම බලපෑම ෆොසිල ඉන්ධන දහනය කිරීම හරහා වායුගෝලයට කාබන් ඩයොක්‌සයිඩ් නිකුත් කිරීම බවයි. මේ සිදුවීමෙන් වසරකට පමණ පසුව ඔහු සමාගමට අනාවරණය කර ඇත්තේ වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය දෙගුණයකින් ඉහළ යැමෙන් ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2-3 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි.

මේ සිදුවීම් සිදු වන්නේ දේශගුණ වෙනස්‌ වීම පුළුල් මාතෘකාවක්‌ බවට පත් වීමට වසර 11ක්‌ තරම් ඉහත කාලයේ දී ය. මේ කරුණු අනාවරණය වීමත් සමඟ ම එක්‌සොන් සමාගම ඒ පිළිබඳව දැන සිටියා පමණක්‌ නො ව, සමාගමේ විද්‍යාඥයන් යොදාගනිමින් මාස කිහිපයක්‌ ඇතුළත මේ පිළිබඳ පර්යේෂණ ආරම්භ කර ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් එහි ඉහළ ම විද්‍යාඥයන් කාබන්ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය ගැන පර්යේෂණ කර ඇති අතර, දේශගුණ ආකෘති පවා ගොඩනගා අධ්‍යයන සිදු කර තිබේ. එසේ ම කාබන් ඩයොක්‌සයිඩ් වායුව අවශෝෂණය කරගැනීම සඳහා සාගරයට ඇති හැකියාව පිළිබඳව නෞකාවක්‌ යොදාගනිමින් සිදු කළ අධ්‍යයනයක්‌ සඳහා වරක්‌ ඩොලර් මිලියනයක පමණ මුදලක්‌ වැය කර ඇත. කෙසේ වෙතත් මේ පර්යේෂණ කටයුතු 1980 ගණන්වල මුල දී අඩාළ වූ අතර එතැන් සිට සමාගමේ කටයුතු වෙනස්‌ මගක්‌ ගත් බවක්‌ පෙනේ.

කෙසේ වෙතත් මේ චෝදනා ප්‍රතික්‌ෂේප කිරීමට එක්‌සොන් සමාගම කටයුතු කර ඇති අතර ඔවුන් පවසන්නේ අදාළ සමාගමෙන් මහජනතාවට විවෘත කර ඇති ලේඛන සමූහයක්‌ යොදාගනිමින් මේ චෝදනා එල්ල කර ඇති බවයි.

දේශගුණ සංශයවාදයට උදව් කිරීම


කෙසේ වෙතත් එක්‌සොන් සමාගමේ පසුකාලීන ක්‍රියාකාරකම් වඩාත් ආන්දෝලනාත්මක ය. සමාගම මේ ගැටලුව පිළිබඳව දැනුවත් ව සිටිය ද, දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ යථාර්ථය ඔවුන් දශක කිහිපයක්‌ යන තෙක්‌ පිළිගත්තේ නැත. නිදසුනක්‌ ලෙස ගත හොත් 1988 වර්ෂයේ දී ඇමෙරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයේ කමිටුවක්‌ අමතමින් ඡේම්ස්‌ හැන්සන් නම් නාසා ආයතනය හා සම්බන්ධ ව සිටි ප්‍රකට විද්‍යාඥයා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යමින් තිබෙන බව පවසමින් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව පළමුවරට අවධානය යොමු කළ අවස්‌ථාවේ දී පවා එක්‌සොන් සමාගම සිටියේ වෙනස්‌ මතයක ය - සමාගම පවසා සිටියේ මේ පිළිබඳව ඇති විද්‍යාත්aමක දැනුම මතභේදාත්මක බවයි.

එක්‌සොන් සමාගයේ කටයුතු එතැනින් නැවතුණේ නැත. ඔවුන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව වැරදි තොරතුරු ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල දායකත්වයක්‌ දක්‌වමින් කටයුතු කර ඇති බව වාර්තා වී තිබේ. මේ සඳහා යොදාගත් එක්‌ ක්‍රමයක්‌ වන්නේ දේශගුණ වෙනස්‌ වීම අවතක්‌සේරු කරන කටයුතු සඳහා විවිධ පිටස්‌තර කණ්‌ඩායම්වලට අරමුදල් ලබා දීමයි. නිදසුනක්‌ ලෙස, දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ විද්‍යාත්මක දැනුම ප්‍රශ්න කළ ගෝලීය දේශගුණ සමූහය (Global Climate Coalition) නම් එකතුව පිහිටුවීම සඳහා 1989 වර්ෂයේ දී මේ සමාගම මුල් වී ඇත. (මෙවැනි කණ්‌ඩායම් සඳහා අනුග්‍රහය ලබා දීමට විවිධ තෙල් සමාගම් කටයුතු කළ බව වාර්තා වී ඇත). එසේ ම ඇමෙරිකාව කියෝටෝ සන්ධානයට අත්සන් තැබීම වැළැක්‌වීම සඳහා ද එක්‌සොන් සමාගම කටයුතු කර ඇති බවට ද චෝදනා එල්ල වී ඇත. එතැනින් නො නැවතී කියෝටෝ සන්ධානයට වෙනත් රටවල් එක්‌ වීම වැළැක්‌වීමට පවා කටයුතු කර ඇති බව බව මේ වන විට හෙළි ව ඇත.

එපමණක්‌ නො ව මේ සමාගම මෙන්ම තවත් සමාගම් ගණනාවක්‌ එකතුව සකස්‌ කළ දේශගුණ සැකය මහජනතාව අතරට සන්නිවේදනය කිරීමේ වැඩපිළිවෙළක්‌ සම්බන්ධව කරුණු අනාවරණය කරගැනීමට මීට මාස කිහිපයකට පෙර සැලකිලිමත් විද්‍යාඥයන් ගේ සංගමය (UCS) නම් එකමුතුව විසින් නිකුත් කර ඇති සොයා බැලීමකින් හෙළි වී ඇත. ඔවුන් ගේ අරමුණ වී ඇත්තේ ජනතාව එක්‌ එක්‌ පුද්ගලයා ලෙස දේශගුණ වෙනස්‌ වීම සැක කරනු ලබන තත්ත්වයක්‌ කරා කටයුතු කිරීම බව පැහැදිලි ය. මෙවැනි කටයුතු සඳහා එක්‌සොන් සමාගම විශාල මුදලක්‌ වැය කර ඇති බව ගී්‍රන්පීස්‌ ජාත්‍යන්තරය වැනි සංවිධාන පවා කලක පටන් පෙන්වා දී තිබේ.

මෙහි ඇති වැදගත් ම කරුණ වන්නේ මෙවැනි නොමග යෑවීම් නිසා දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව කටයුතු කිරීම ප්‍රමාද වී ඇති බවයි. මේ නිසා අපතේ ගොස්‌ ඇති කාලය බොහෝ ය. 1988 වර්ෂයෙන් පසු, මේ කරුණු සම්බන්ධව වාද කරමින් ගත කර ඇති කාලය දශක තුනකට ආසන්නය. එහෙත් ලෝකයේ ප්‍රමුඛතම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව සාධනීය පිළියමක්‌ තවමත් දැකිය නොහැකි ය.

මේ දුම්කොළ සමාගම්වල උපක්‍රමයමයි


මේ අතර එක්‌සොන් සමාගමේ කටයුතු පිළිබඳව නීතිමය පරීක්‌ෂණයක්‌ අවශ්‍ය බව පාරිසරික ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත. ඒ සඳහා ම සකස්‌ කරන ලද අන්තර්ජාල පෙත්සමක්‌ අත්සන් කිරීම සඳහා ග්‍රීන්පීස්‌ සංවිධානය පසුගිය කාලයේ දී කටයුතු කළේ ය. පසුගිය සතියේ දී වාර්තා වූ පරිදි නිව්යෝක්‌ නීතිපතිවරයා පසුගිය දා මේ කරුණු පිළිබඳව පරීක්‌ෂණයක්‌ දියත් කර ඇති බව ද වාර්තා විය. ඒ අනුව මේ සමාගම දේශගුණ වෙනස්‌ වීමේ අවදානම සම්බන්ධව ජනතාවට ද, තෙල් ව්‍යාපාරයට ද බලපාන ආකාරය ගැන ආයෝජකයන්ට ද අසත්‍ය ප්‍රකාශ කළේ ද යන්න පිළිබඳව අවධානය යොමු ව ඇති බව පෙනේ.

මෙවැනි අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී වැදගත් පූර්වාදර්ශයක්‌ තිබේ. තම නිෂ්පාදනවලින් ඇති විය හැති අනතුරුදායක තත්ත්වය හෙළිදරව් වීමෙන් ව්‍යාපාරවලට ඇති විය හැකි තර්ජනය නිසා දුම්කොළ සමාගම් ද අතීතයේ දී මේ හා සමාන ආකාරයකින් කටයුතු කර තිබේ.

1950 හා 60 දශකවල දී දුම්කොළ සමාගම් දුම්කොළවල ඇති හානිකර හා ඇබ්බැහි කරනසුලු බව පිළිබඳ කරුණු දැන දැන ම ඒවා වසන් කරමින් වෙනත් කරුණු පෙන්වා දෙන්නට හා පසුකාලීනව සැක සහිත වූ පර්යේෂණ සඳහා අරමුදල් ලබා දෙන්නට කටයුතු කර ඇත. එහි අරමුණ වූයේ මහජන මතය වෙනස්‌ කිරීම ය. මේ පිළිබඳව ගත් නීතිමය පියවරක දී ඇමෙරිකාවේ ෆෙඩරල් අධිකරණයක්‌ පෙන්වා දුන්නේ දුම්කොළ සමාගම් විද්‍යාත්මක කරුණු වසන් කිරීම සඳහා කටයුකු කර ඇති බවයි. ඒ ඔවුන් ගේ ආර්ථික වාසි සඳහා ය.

මේ අනුව තෙල් සමාගම් භාවිත කර අත්තේ දුම්කොළ සමාගම් අතීතයේ දී යොදාගත් උපක්‍රම හා සමාන උපක්‍රම බව පෙනේ. දුම්කොළ සමාගම්වල කටයුතු නිසා තර්ජනයට ලක්‌ වූයේ මානව සෞඛ්‍යය වීම ය. තෙල් සමාගම්වල කටයුතු නිසා තර්ජනයට ලක්‌ ව ඇත්තේ සමස්‌ත ලෝකයේ අනාගතය වීම ය. එය මිනිසුන් ගේ ද සියලු ජීවී සංහතියේ ද අනාගතය ද වේ. විද්‍යාව වැනි විශ්වසනීයත්වයෙන් යොදාගත යුතු මෙවලමක්‌ පවා අවශ්‍ය ආකාරයට වෙනස්‌ කර යොමු කරමින් ව්‍යාපාරික අවශ්‍යතා සඳහා යොදාගැනීමට සමාගම් කටයුතු කර තිබීම කණගාටුවට කරුණකි.

http://www.vidusara.com/2015/11/11/feature3.html

Wednesday, November 11, 2015

නූතන මානවයා අප්‍රිකාවෙන් කලින් ම නික්‌මුණු බවට චීනයෙන් ලැබුණු සාධක

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 28.10.2015 (Vidusara)

(Topic: Evidence from China for an early Out of Africa date)

http://www.vidusara.com/2015/10/28/feature2.html




නූතන මානවයා හෙවත් Homo sapiens මානවයා අප්‍රිකා මහාද්වීපයෙන් නික්‌මුණේ අදින් වසර 60,000ක පමණ කාලයකට (වඩා පුළුල් ලෙස ගත හොත් වසර 50,000ත් 75,000ත් අතර කාලයකට) පෙර බව වර්තමානයේ පුළුල් ව පිළිගැනෙන මතය වේ. නූතන මානවයා මිහිතලයේ ජනිත වූයේ අදින් වසර 100,000ත් 200,000ත් අතර කාලයකට පෙර සේ සැලකෙන බැවින් මේ මතය සත්‍ය වීමට වැඩි බරක්‌ තිබේ. මේ මතය 'මෑත දී අප්‍රිකාවෙන් නිකAමීමේ' කල්පිතය (recent Out of Africa hypothesis) ලෙස ද හැඳින්වේ.

මෙසේ පැමිණි මිනිසුන් ගෙන් අප්‍රිකා මහාද්වීපයෙන් පිටත ලෝකයේ වෙනත් ප්‍රදේශවල වර්තමානයේ වාසය කරන මිනිස්‌සු පැවත එති. මේ බව පුරාවිද්‍යාත්මක මෙන්ම ප්‍රවේණි විද්‍යාත්මක අධ්‍යයන තුළින් හෙළි වී ඇති කරුණකි. එහෙත් මෑතක දී චීනයේ ගල් ගුහාවකින් හමු වී ඇති මිනිස්‌ දත් සමූහයක්‌ යොදාගනිමින් නූතන මානවයා අප්‍රිකාවෙන් පිටතට පැමිණි දිනය හා ඉන් පසුව ඔහු ගේ ව්‍යාප්තිය සිදු වූ ආකාරය පිළිබඳව පෙර සඳහන් මත අභියෝගයකට ලක්‌ කරන්නට හැකි වැදගත් කරුණු රැසක්‌ අනාවරණය වී තිබේ.

පසුගිය දා Nature සඟරාවේ පළ වූ මේ අධ්‍යයනයට අනුව මෙතෙක්‌ විශ්වාස කළ කාලය වන වසර 60,000ක කාලයට පෙර දිනයක නූතන මිනිසුන් අප්‍රිකාවෙන් පිට ව ගොස්‌ ඇති බවත් ඔවුන් මෙතෙක්‌ විශ්වාස කළ කාලයට වඩා පෙර ආසියාව වෙත ළඟා වී ඇති බවටත් තොරතුරු ලැබේ. මේ අනුව අදින් වසර 80,000ක්‌ හෝ ඊටත් පෙර කාලයක දී නූතන මානවයන් දකුණු චීනයේ විසූ ව සිතිය හැකි ය. මේ දිනය අප්‍රිකාවෙන් මිනිසුන් පිට වූ දිනය සේ සැලකෙන දිනයට වඩා අවම වශයෙන් වසර 20,000ක්‌ පමණ ඈත දිනයකි. මේ හේතුවෙන් උක්‌ත පර්යේෂණයෙන් හෙළි වන කරුණු පසුගිය දශකයක කාලයේ දී ආසියාවෙන් මේ විෂයය සම්බන්ධව ලැබුණු වැදගත් ම සොයාගැනීමක්‌ සේ සැලකේ.

හුනුගල් ගුහාවකින් ලැබුණු මිනිස්‌ දත්

මේ මානව ෆොසිල සොයාගෙන ඇත්තේ දකුණු චීනයේ හුනාන් පළාතේ ඩාඕක්‌සියාන් (Daoxian) ප්‍රදේශයේ ඇති ෆුයාන් (Fuyan) නම් හුනුගල් ගුහාවකිනි. මෙය වර්ග කිලෝමීටර් 3ක්‌ පමණ ප්‍රදේශයක්‌ තරම් විහිද යන ගුහා පද්ධතියකි. මෙහි මෑත දී සිදු කරන ලද කැණීම්වලින් හමු ව ඇති ෆොසිල අතර මිනිස්‌ දත් 47ක්‌ පමණ තිබී ඇත.

මේ දත්වල රූපවිද්‍යාත්මක (morphological) ලක්‌ෂණ හා ප්‍රමාණය වැනි කරුණු අනුව ඒවා නූතන මානවයාට අයත් බව පෙනී ගොස්‌ තිබේ. මේ දත් ප්‍රමාණයෙන් වෙනත් මානවයන්ට වඩා කුඩා ය. දන්ත මූල සිහින් අතර, දන්ත මස්‌තකය පැතැලි ය. මේ සියලු ලක්‌ෂණ අනුව උක්‌ත ෆොසිල දත් කිසිදු සැකයක්‌ නොමැති ව නූතන මානවයා ගේ දත් හා සමාන ය.

මේ දත් සිර වී තුබුණේ ගුහාවේ කැල්සයිට්‌ පොළොව මත වන අතර ඒ නිසා ඒවා තදින් සිර වී තැන්පත් ව තිබිණි. එම දත් අදාළ කැල්සයිට්‌ ස්‌තරයට වඩා පැරැණි විය යුතු වේ. මේ මත තිබූ අවක්‌ෂේප හුනුගල් ටැඹ (stalagmite) යුරේනියම්-තෝරියම් කාලනිර්ණ සමස්‌ථානික මගින් කාල නිර්ණය කරන ලද අතර, ඒ අනුව ඒවා අදින් වසර 80,000ක්‌ පමණ පැරැණි බව අනාවරණය විය. එසේ නම් ඊට වඩා යටින් හමු වූ ෆොසිල දත් වසර 80,000කට වඩා පැරැණි විය යුතු බව පැහැදිලි ය. මේ පර්යේෂණයේ යෙදුණු විද්‍යාඥයන් පවසන පරිදි ඒවා උපරිම වශයෙන් වසර 120,000ක්‌ පමණ තරම් පැරැණි විය හැකි බව අනුමාන කළ හැකි ය. එසේ ම මේ දත් සමග හයිනාවන්, වඳ ව ගොස්‌ ඇති යෝධ පැන්ඩාවන් හා වෙනත් සත්ත්ව විශේෂ ගණනාවක ශේෂ හමු ව තිබේ. මේ සතුන් ජීවත් වී ඇත්තේ පශ්චාත් ප්ලයිස්‌ටොසීන යුගයේ වන අතර ඒ කාලය අදාළ කාලනිර්ණයෙන් ලැබුණු දින වකවානු හා සමගාමී වේ. මේ දත් අයත් මිනිසුන් එම ලෙනෙහි විසූ බවට සාධක සේ සැලකිය හැකි ගල් ආයුධ හමු නො වූ බැවින් විලෝපීයයන් මේ ශේෂ ගුහාවට ගෙන එන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව පර්යේෂකයන් ගේ අදහස වේ.

මිනිසා අප්‍රිකාවෙන් කලින් ම නික්‌මුණේ ද? දෙවරක්‌ පිට වූයේ ද?

මේ පර්යේෂණය පෙර ආසියාවෙන් ලැබී ඇති නූතන මානවයාට අයත් බවට නිශ්චිතව හඳුනාගෙන ඇති හා කාලනිර්ණය කර ඇති පැරැණි ම ෆොසිල සාධක අදින් වසර 45,000ක්‌ පමණ පැරැණි ඒවා ය. එම සාධක වසර 50,000 - 75,000 අතර කාලයකට පෙර මිනිසුන් අප්‍රිකාවෙන් පිටතට පැමිණියේ ය යන පුළුල් ව පිළිගැනෙන මතය හා සමගාමී වේ. ඉහත සඳහන් කළ පරිදි අද ජීවත් වන මිනිසුන් පැවත එන්නේ මේ මානවයන් ගෙන් ය යන්න පොදු පිළිගැනීම ය.

එහෙත් චීනයෙන් ලැබුණු මේ ෆොසිල සාධකවලින් පෙනෙන්නේ නූතන මානවයන් මෙතෙක්‌ විශ්වාස කළ කාලයට පෙර සමයක අප්‍රිකාවෙන් පිටතට පැමිණි බවයි. මෙවැනි අදහසක්‌ ඉදිරිපත් වූ ප්‍රථම අවස්‌ථාව මෙය නො වේ. මීට පෙර සිදු කරන ලද පර්යේෂණවලින් ද මේ පිළිබඳ අදහස්‌ ඉදිරිපත් කර තිබේ. මීට පෙර අප්‍රිකාවට පිටත ප්‍රදේශවලින් ලැබී ඇති මෙවැනි ෆොසිල සාධක ද වර්තමාන මැදපෙරදිගට අයත් ලෙවන්ට්‌ ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශය (වර්තමාන සිරියාව, ලෙබනනය හා ජොර්දානය ඇතුළත් මධ්‍යධරණී මුහුදට නැෙගනහිරින් පිහිටි ප්‍රදේශය) වෙත නූතන මානවයන් අදින් වසර 125,000කට පමණ ඉහත දී ළඟා වී ඇති බවට සාධක තිබේ. නිදසුනක්‌ ලෙස ඊශ්‍රායලයේ ස්‌ඛූල් (Skhul) හා කෆ්සේ (Qafzeh) වැනි ගුහාවලින් ලැබෙන නූතන මානවයාට අදාළ සාධක වසර 100,000ක්‌ පමණ පැරැණි වේ. එහෙත් මේ මුල් අවස්‌ථාවේ දී අප්‍රිකාවෙන් පිටතට පැමිණි මානවයන් පසු ව ඈත ප්‍රදේශවලට ව්‍යාප්ත වූ බවට සාධක ලැබී නොමැති බැවින් ඔවුන් වඳ වී ගිය බවට සැක කරනු ලැබේ. ඒ නිසා මේ සංක්‍රමණය අසාර්ථක වූ බව මේ වන විට වැඩි පිළිගැනීමකට ලක්‌ ව ඇති මතය වේ.

එහෙත් චීනයෙන් ලැබුණු මේ නවතම සාධක අනුව පෙනෙන්නේ නූතන මිනිසුන් මෙතෙක්‌ විශ්වාස කළ කාලයට පෙර කාලයක දී අප්‍රිකාවෙන් පිටතට ගොස්‌ ආසියාවේ ඈත ප්‍රදේශ කරාද ළඟා වූ බවකි. ඔවුන් වසර 80,000ත් 120,000ත් අතර කාලයක දී දකුණු චීනයේ වාසය කර තිබේ. එය මෙතෙක්‌ පිළිගත් දිනයට වඩා අවම වශයෙන් වසර 30,000ක්‌ පමණ ඈතට ගෙන යැමකි. මේ නව පර්යේෂණයෙන් අනාවරණය වන දත්ත අනුව මුල් සංක්‍රමණය හෝ සංක්‍රමණ අවස්‌ථා අසාර්ථක වූ අප්‍රිකාවෙන් පිට ව ගිය අවස්‌ථා නො වේ. මෙය දකුණුදිග මාර්ගයක්‌ ඔස්‌සේ මිනිසුන් කලකට පෙර ආසියාව දෙසට සංක්‍රමණය වූ බවට ඇති මතය හා ගැලපෙන්නකි. මේ අනුව පෙනෙන කරුණක්‌ වන්නේ නූතන මානවයා එක්‌ වරක්‌ නො ව කිහිප වරක්‌ අප්‍රිකාවෙන් පිටතට ගොස්‌ ඇත යන අදහස තවදුරටත් තහවුරු වන බවයි. පැවැති පාරිසරික තත්ත්ව අනුව මෙවැනි පිට ව යැම් එකකට වඩා සිදු වන්නට බොහෝ සේ අවස්‌ථාව තිබේ. එසේ ම මේ මුල් සංක්‍රමණවලින් පැවත ආ මිනිසුන් පසුකාලීනව සිදු වූ පුළුල් ව පිළිගැනෙන සංක්‍රමණයෙන් හා වෙනත් සංක්‍රමණවලින් පැමිණි මිනිසුන් සමඟ මිශ්‍ර වන්නට ද යම් අවස්‌ථාවක්‌ තිබේ. මේ වන විට ඇති සාධක අනුව වර්තමාන නැෙගනහිර ආසියානුවන් පැවත එන්නේ බටහිර ආසියාවේ දී නියෑන්ඩර්තාල් මිනිසුන් ද සමග මිශ්‍ර වූ නූතන මානවයන් ගෙනි. මේ අනුව පසුව පැමිණි මිනිසුන් නිසා ඉහත කී මුල් සංක්‍රමණිකයන් වඳ වී යන්නට ඇති බවක්‌ ද පෙනේ. ඔවුන් ගේ ප්‍රවේණික දායකත්වය හඳුනාගැනීම අපහසු වී ඇත්තේ එවැන්නක්‌ සිදු වූයේ නම් එය සිදු ව ඇත්තේ බොහෝ ඈත කාලයක විය හැකි නිසා ය. කෙසේ වෙතත්, නූතන මිනිසුන් පැවත එන්නේ පෙර සඳහන් පරිදි වසර 50,000ත් 75,000ත් අතර කාලයක සිදු වූ මෑත දී අප්‍රිකාවෙන් නික්‌මුණු මානවයන් ගෙන් ය යන මතය බැහැර කළ නොහැක්‌කේ ප්‍රවේණික සාධක ඒ සඳහා ශක්‌තිමත් සාක්‌ෂියක්‌ සපයන බැවිනි.

යුරෝපයට යැම පමා වූයේ ඇයි?

කෙසේ වෙතත් මෙහි දී ඇති වන තවත් ගැටලුවක්‌ වන්නේ චීනයට වසර 80,000ක්‌ හෝ ඊට පෙර ළඟා වූ නූතන මිනිසුන් යුරෝපයට ළඟා වූයේ ඊට වඩා බොහෝ මෑත කාලයක දී වීමයි. මේ වන විට ලැබී ඇති සාධක අනුව නූතන මානවයන් පිළිබඳ සාධක යුරෝපයෙන් ලැබෙන්නේ අදින් වසර 45,000ක්‌ පමණ කාලයකට ඉහත දී ය. එසේ නම් චීනයට මිනිසුන් ළඟා වූ සංක්‍රමණ අවස්‌ථාවේ දී, ඔවුන් පෙරදිගට පමණක්‌ පැමිණියේ ඇයි ද යන ගැටලුව මෙහි දී ඇති වේ.

මීට හේතුව ලෙස යම් තර්කානුකූල අදහසක්‌ උක්‌ත පර්යේෂකයන් ඉදිරිපත් කර තිබේ. ඒ කාලය වන විට යුරෝපයේ පදිංචි ව සිටි නියෑන්ඩර්තාල් මානවයන් ගෙන් එල්ල වූ තරගය මේ සඳහා හේතු වන්නට ඇත. මේ තරගය යනු හුදෙක්‌ මේ දෙපිරිස අතර ඇති වූ ගැටුමක්‌ ම නො ව, පරිසරයේ ඇති සම්පත් භාවිත කරන්නට ඇති දක්‌ෂතාව නිසා ඇති වූ තරගයකි. නියෑන්ඩර්තාල් මානවයන් ඒ වන විට යුරෝපා පරිසරයට මනාව හැඩගැසී සිටින්නට ඇති බවත්, නිවර්තන කලාපීය පරිසරයකින් පැමිණි නූතන මානවයා ගේ අතීත නෑදෑයන්ට නියෑන්ඩර්තාල් මානවයන් හා තරග කරන්නට අපහසු වූ බවත් සිතිය හැකි ය. එසේ ම යුරෝපයේ පැවැති ශීත දේශගුණික තත්ත්වයට මේ නූතන මානවයන් එතරම් නො ගැළපෙන්නට ඇත. මේ නිසා නියෑන්ඩර්තාල් මානවයන් ගේ ගහනය අඩු වන තෙක්‌ ම නූතන මිනිසුන්ට බටහිර ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම අසීරු වන්නට ඇත. නියෑන්ඩර්තාල් මානවයන් ගේ ප්‍රවේණික ගැටලු නිසා ඔවුන් ගේ ගහනය අඩු ව ගිය කාලයේ දී නූතන මිනිසුන් යුරෝපයේ ස්‌ථාවර වූ බව පැහැදිලි ය.

මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature15696

http://www.vidusara.com/2015/10/28/feature2.html

Monday, October 26, 2015

මාර්ග තදබදය සඳහා විසඳුමක්‌ තිබේ ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 21.10.2015 (Vidusara)

(Topic: Is there a solution for road traffic?)

http://www.vidusara.com/2015/10/21/feature1.html



කොළඹ හා තදාසන්න නගරවල දැකි ය හැකි මාර්ග තදබදය මෑත කාලයේ දී උග්‍ර වී තිබීම පිළිබඳව මේ වන විට අවධානයක්‌ යොමු ව තිබේ. විශේෂයෙන් ඇතැම් මාර්ගවල හා දවසේ කාර්යබහුල වේලාවල පවත්නා මාර්ග තදබදය හේතුවෙන් ජනතාවට තම රැකියා හා අධ්‍යාපන ආයතනවල ගත කරන කාලයට අමතරව තවත් පැය කිහිපයක කාලයක්‌ ගමනාගමනය සඳහා වෙන් කිරීමට සිදු ව තිබේ. මේ තත්ත්වය අද ඊයේ නො ව කලක පටන් දැකිය හැකි වූ තත්ත්වයකි. එසේ ම මේ නිසා කොළඹ වැනි නගරවල වාහන ධාවනය වන සාමාන්‍ය වේගය අඩු වෙමින් තිබේ. මාර්ග තදබදය නිසා ශ්‍රී ලංකාවට වාර්ෂිකව සිදු වන ආර්ථික පාඩුව රුපියල් බිලියන 40ක්‌ පමණ බව මීට වසර දෙකකට පමණ පෙර පළ වූ වාර්තාවක සඳහන් වේ. මාර්ග තදබදය නිසා වැඩි වේලාවක්‌ මාර්ගවල ධාවනය කිරීමට සිදු වීමෙන් ඇති වන ඉන්ධන නාස්‌තිය හා වායු දූෂක මට්‌ටම ඉහළ යැම මේ සඳහා බලපාන ප්‍රධාන කරුණු වේ. එසේ ම ශ්‍රම බලකායේ කාලය නාස්‌ති වීම නිසා ඵලදායකත්වය පිළිබඳව ඇති වන ගැටලු ද අවධානයට ලක්‌ විය යුතු අංශයකි.

මේ මාර්ග තදබදයට හේතුව වන්නේ මේ නාගරික ප්‍රදේශවලට දිනපතා පිවිසෙන මෝටර් රථ ප්‍රමාණය ඉහළ යැම හා ඉහළ යන වාහන ප්‍රමාණයට සරිලන ලෙස ඒ ප්‍රදේශවල මාර්ග පද්ධති පුළුල් නො වීම බව පැහැදිලි ය. මෑත කාලයේ දී මෙරට මාර්ගවල ධාවනය වන වාහන ප්‍රමාණය ඉහළ ගොස්‌ ඇත. මෑත දී වැඩි වාහන ප්‍රමාණයක්‌ මෙරටට ආනයනය කිරීම හා ඉන්ධන මිල පහළ යැම මීට බලපෑ හේතු අතර වේ. 2004 වර්ෂයේ නොවැම්බර් මස ඉදිරිපත් කරන ලද අයවැයෙන් සියලු ම රථවාහනවල බදු විශාල ලෙසින් අඩු වූ අතර, 2015 ජනවාරි මස ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් ඇතැම් මෝටර් වාහනවල බදු මුදල් තවදුරටත් අඩු විය. මේ නිසා 2015 වර්ෂයේ දී මෙරටට වාහන ආනයනය කිරීම ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත.

2015 වර්ෂය මුල දී ඉන්ධන මිල අඩු වීම ද මාර්ගවල වාහන ධාවනය ඉහළ යැමට හේතුවකි. මේ තත්ත්වය නිසා වාහනවල බදු ඉහළ නැංවීම හරහා වාහන ආනයනය අධෛර්යවත් කිරීමෙන් මාර්ග තදබදය අඩු කළ හැකි යෑයි අදහසක්‌ ඉදිරිපත් ව ඇත. එසේ ම ඇතැම් රටවල මෙන් කෝටා ක්‍රමයක්‌ හඳුන්වා දිය යුතු යෑයි ද අදහස්‌ පළ වී ඇත. එහෙත් ජනතාවට තමන් ගේ ම වූ වාහනයක්‌ සාධාරණ මිලකට හිමි කරගැනීමේ අයිතියට බාධා නො කළ යුතු අතර, සබුද්ධික ලෙසින් ඒවා භාවිත කිරීමට හැකියාව හා අවස්‌ථාව තිබිය යුතු වේ.

මේ ඉහළ යන වාහන ප්‍රමාණයට ගැලපෙන ලෙස මාර්ග පද්ධති පුළුල් කිරීම පහසු කරුණක්‌ නො වේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නගරයේ ඇතැම් මාර්ග මෑත කාලයේ දී පුළුල් කරන ලද අතර, මංතීරූ ප්‍රමාණය වැඩි කර ඇත. එහෙත් මෙසේ මාර්ග පුළුල් කිරීමේ දී ඇතැම් මාර්ගවල සිදු ව ඇත්තේ මෙතෙක්‌ පදිකයන් සඳහා වෙන් ව තිබූ අවකාශය මාර්ගය සඳහා යොදාගැනීම ය. දැන් ඇතැම් ප්‍රධාන මාර්ගවල පදිකයන් සඳහා ගමන් කිරීමට මං තීරුවක්‌ නොමැති තරම් ය. මීට හේතුව සම්පූර්ණ මාර්ගය පුළුල් කිරීම සඳහා දෙපස ඉඩම් අත්පත් කරගැනීම අධික වියදම් සහිත කටයුත්තක්‌ වීම විය හැකි ය. මේ අනුව වාසස්‌ථාන හා වෙනත් ගොඩනැගිලිවල පිහිටීම මෙන්ම භූගෝලීය කරුණු නිසා ද නාගරික ප්‍රදේශවල මාර්ග පද්ධති පුළුල් කිරීමට ඇති අවකාශය සීමා සහිත බව පැහැදිලි ය. එසේ ම නගරයේ ඇතැම් මාර්ගවලට නව රථවාහන සැලසුම් ද හඳුන්වා දෙන ලද්දේ මාර්ග තදබදයට විසඳුම් ලෙස ය. මීට වසර කිහිපයකට පෙර කොළඹ නගරයේ ගාලු පාර, කුරුඳුවත්ත හා මරදාන වැනි ප්‍රදේශවල ඇතැම් මාර්ගවල වාහන ධාවනය එක්‌ දෙසකට පමණක්‌ සීමා කළේ මේ සඳහා ය. බොහෝ ප්‍රදේශවල මේ උපක්‍රමය බෙහෙවින් සාර්ථක වූ බව මෙහි දී සඳහන් කළ යුතු ය. එහෙත් මෑත දී රාජගිරියේ සිට හෝ හෝටන් වටරවුම දක්‌වා වූ මාර්ගයේ වාහනය ධාවනය, දිනයේ ඇතැම් වේලාවල එක්‌ දිශාවකට පමණක්‌ සීමා කිරීමට කරන ලද සැලසුම නිසා වෙනදාටත් වඩා අධික රථවාහන තදබදයක්‌ ඇති වූ අතර මේ නිසා එම උත්සාහය අත්හැර දමන ලද බව වාර්තා විය. මේ අනුව ඊට ද ප්‍රායෝගික සීමා ඇති බව පැහැදිලි ය.

රථවාහන තදබදයට විසඳුම් දීම

කෙසේ වෙතත් මාර්ග තදබදය සඳහා ප්‍රායෝගික විසඳුම් මේ පිළිබඳ විශේෂඥයන් විසින් සාකච්ඡා කෙරෙන්නේ කලක පටන් ය. මේ සම්බන්ධ සාකච්ඡාවේ දී ඉදිරිපත් ව ඇති විසඳුම් කිහිපයක්‌ පහත සඳහන් වේ. අවශ්‍ය ව ඇත්තේ මේවා ක්‍රියාත්මක කිරීමයි. මාර්ග තදබදය අධික ප්‍රදේශවලට ඇතුළු වන පෞද්ගලික වාහන ප්‍රමාණය සීමා කිරීම එක්‌ විසඳුමකි. මේ සඳහා විවිධ උපක්‍රම භාවිත කළ හැකි ය. එවැනි පෞද්ගලික වාහනවලින් කිසියම් සැලකිය යුතු බදු මුදලක්‌ අය කිරීම එවැනි උපක්‍රමයකි. නගරයට ඇතුළු වන පෞද්ගලික වාහනවල ආසන ගණනට මගීන් සිටීම අනිවාර්ය කිරීම හා එසේ නොමැති අවස්‌ථාවල දී ගාස්‌තුවක්‌ ගෙවීමට නියම කිරීම ද යෝග්‍ය වූ පිළිවෙතකි.

මෙවැනි පියවරක්‌ ක්‍රියාත්මක වුව හොත් අත්‍යවශ්‍ය කරුණකට හැර නගරයට පෞද්ගලික වාහන ඇතුළු වීම අඩු වනු ඇත. එහෙත් මෙවැනි පියවරකින් එකතු වන මුදල් මාර්ග සංවර්ධනය සඳහා යොදාගැනීම වැදගත් ය. එසේ ම නගරවලට ඇතුළු වන වාහන ගණන නියම කොට සීමා කිරීම ද කළ හැකි ය. ඔත්තේ හා ඉරට්‌ටේ අංක දරන වාහන නිශ්චිත දිනවල දී නගරයට ඇතුළු වීම සීමා කිරීම මීට නිදසුනකි. එනම්, ඔත්තේ අංක දරන වාහන ඔත්තේ දිනවල දී ද, ඉරට්‌ටේ අංක දරන වාහන ඉරට්‌ටේ දිනවල දී ද ඇතුළු වීම සීමා කළ හැකි ය. මෙවැනි ප්‍රයත්නයක්‌ කොළඹ නගරයේ මීට දශක තුනකට හතරකට පෙර ක්‍රියාත්මක කර තිබේ.

මේ පියවර කලින් කලට සාකච්ඡාවට ලක්‌ වී ඇතත්, දැනට ක්‍රියාත්මක නොමැත. ඊට මූලික හේතුව අදාළ ක්‍රියාමාර්ග නිසා සමාජයේ ඇති වන විරෝධය පිළිබඳව මෙරට දේශපාලන බලධාරීන් දක්‌වන සැලකිල්ල විය හැකි ය. කෙසේ වෙතත් මේ ආකාරයෙන් පෞද්ගලික වාහන නාගරික ප්‍රදේශවලට ඇතුළු වීම සීමා කරන්නේ නම්, ඒ වෙනුවට ඔවුනට යොදාගත හැකි විකල්ප ප්‍රවාහන මාධ්‍ය තිබිය යුතු ය. එනම්, දියුණු හා පහසුකම් සහිත පොදු ප්‍රවාහන පද්ධතියක්‌ මෙරට තිබිය යුතු ය. සැබැවින් ම නාගරික මාර්ග තදබදය සඳහා යොදාගත හැකි වඩාත් සුදුසු දීර්ඝකාලීන පිළියම වන්නේ පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම හා රථවාහන හිමියන් පෞද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහන සේවා යොදාගැනීමට යොමු කිරීම ය.

පොදු ප්‍රවාහනයේ අර්බුදය

අපේ රටේ පොදු ප්‍රවාහන සේවය පිළිබඳව ඇති මූලික ගැටලුවක්‌ වන්නේ එහි කාර්යක්‌ෂම බව හා විශ්වසනීය බව කෙතරම් ද යන්න ය. අපේ රටේ පොදු ප්‍රවාහන සේවය යනු මගීන්ට පහසුවෙන් හා කලට වේලාවට ගමන් කළ හැකි ප්‍රවාහන මාධ්‍යයක්‌ නම් නො වේ. පෞද්ගලික බස්‌රථ සේවයට වඩා ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයේ බස්‌ සේවාව මගින් යහපත් සේවාවක්‌ ලබා දුන්න ද, එය ද පෞද්ගලික වාහනයක්‌ වෙනුවට යොදාගත හැකි කාර්යක්‌ෂම ප්‍රවාහන මාධ්‍යයක්‌ නො වේ. අපේ රටේ දුම්රිය සේවය ද මීට එතරම් වෙනස්‌ නො වේ. මේ නිසා පෞද්ගලික වාහන හිමියන් වර්තමාන පොදු ප්‍රවාහන සේවා වෙත යොමු කරගැනීම අපහසු බව පැහැදිලි ය.

අපේ රටේ පොදු ප්‍රවාහන සේවාව වඩාත් දියුණු තත්ත්වයකට ගෙන ඒමේ දී මේ කරුණු ගැන සැලකිලිමත් වීම වැදගත් ය. පහසුවෙන් ගමන් යා හැකි හා කලට වේලාවට ගමනක්‌ යා හැකි පොදු ප්‍රවාහන මාධ්‍යයක්‌ තිබිය යුතු ය. මේ සඳහා අවස්‌ථාව තිබේ. මෙරට අධිවේගී මාර්ගවල දිගු දුර මගී ප්‍රවාහන සේවා බස්‌ රථ ධාවන ආරම්භ කළ අවස්‌ථාවේ දී ඒවා කෙතරම් ජනප්‍රිය වේ ද යන්න තරමක ගැටලුවක්‌ වුව ද මේ වන විට එය බෙහෙවින් ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක්‌ බවට පත් ව තිබේ. නාගරික ප්‍රදේශවල පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවා ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්න මින් ඉහත දී ද කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කර තිබේ. මෙහි දී zපාර්ක්‌ ඇන්ඩ් රයිඩ්Z නමින් නිශ්චිත ස්‌ථානවල සිය මෝටර් රථ නවතා තබා බස්‌ රථවලින් නගරයට යා හැකි සුඛෝපභෝගී ප්‍රවාහන සේවාවක්‌ ස්‌ථාපනය කරන ලදි. කටුබැද්ද ප්‍රදේශයේa මෙවැනි එක්‌ ප්‍රවාහන සේවාවක්‌ ඇරඹිණි. එහෙත් ඒවා එතරම් කලක්‌ ක්‍රියාත්මක නො වී ය. ජනතාව ඒවා වෙත ආකර්ෂණය නො වූ අතර, ඊට මූලික හේතුව වූයේ මාර්ග තදබදයේ අඩුවක්‌ නො වූ නිසා මේ බස්‌ රථවලින් කලට වේලාවට ගමන් කළ නොහැකි වීම බව පෙනේ. එසේ ම මේ බස්‌ රථ සේවාව ක්‍රියාත්මක වූ කාලසටහන හා මගීන් ගේ අවශ්‍යතා පිළිබඳව ද ගැටලු තිබිණි.

පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීමෙන් නාගරික ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමේ දී වැදගත් ම අංශය වන්නේ දුම්රිය පද්ධතිය දියුණු කිරීමයි. නිදසුනක්‌ ලෙස ගත හොත් බොහෝ දුම්රිය මාර්ග මෑත කාලයේ දී දියුණු කර ඇති අතර, මේ නිසා සැලකිය යුතු පිරිසක්‌ දුම්රිය වෙත ආකර්ෂණය වී තිබේ. එහෙත් දුම්රිය සේවය තවදුරටත් දියුණු කළ හැකි ය. දුම්රිය ප්‍රමාදය අවම කිරීම හා වැඩි මගීන් ප්‍රමාණයක්‌ ඇති අවස්‌ථාවල ධාවනය වන දුම්රිය ප්‍රමාණය හා දුම්රියවල මැදිරි ප්‍රමාණය ඉහළ නැංවීමෙන් පොදු ප්‍රවාහන සේවා වර්ධනය වීම සඳහා වැඩි අවස්‌ථාවක්‌ ලබා දිය හැකි ය. එසේ ම කෙටිදුර ධාවනය වන දුම්රියවල ඇති පහසුකම් හා පවිත්‍රතාව පිළිබඳව ද වැඩි අවධානයක්‌ යොමු විය යුතු බව පෙනේ. එසේ ම මෑත කාලයේ දී බලධාරීන් ගේ අවධානයට ලක්‌ ව තිබූ කොළඹ හා අවට ප්‍රදේශ ආශ්‍රිත මොනොරේල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඵලදායි දුම්රිය ප්‍රවාහනයක්‌ සඳහා ඉතා ප්‍රායෝගික විසඳුමක්‌ වනු ඇත.

මේ සියලු කරුණු අනුව නාගරික ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමට නම්, එවැනි ප්‍රදේශවලට ඇතුළු වන පෞද්ගලික වාහන ප්‍රමාණය සීමා කළ හැකි ආකාරයේ නීතිමය සීමා පැනවීම හා ඒ වෙනුවට යොදාගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මක වර්ධනයක්‌ ඇති කිරීම අවශ්‍ය බව පෙනේ. එසේ ම මේ දෙකම සමගාමීව සිදු කළ යුතු බව පැහැදිලි ය. නොඑසේ නම් අපේක්‌ෂිත ප්‍රතිඵල ලැබීම පහසු නො වනු ඇත.

http://www.vidusara.com/2015/10/21/feature1.html

Tuesday, October 20, 2015

දකුණු අප්‍රිකාවෙන් හමු වූ ආදි මානවයා Homo naledi

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, p.5, 07.10.2015 (Vidusara)

(an article on Homo naledi found from South Africa)

http://www.vidusara.com/2015/10/07/feature1.html





දකුණු අප්‍රිකාවේ එක්‌තරා ලෙනකින් හමු වූ ෆොසිල සාධක මගින් නව ආදි මානව විශේෂයක්‌ පසුගිය දා විස්‌තර කරන ලදි. එක්‌ අතකින් නූතන මානවයා අයත් වන Homo ගණය හා සමීප ලක්‌ෂණ පෙන්නුම් කරන මේ සත්ත්වයා තවත් අතකින් අතීතයේ විසූ ප්‍රාථමික මානවයන් හා සමාන ලක්‌ෂණ ද පෙන්වයි. එසේ ම මේ ආදි මානවයන් (Hominin) විසූ කාලය පිළිබඳව තවමත් නිශ්චිත කරුණු හෙළි වී නොමැත.

මේ වන විට Homo naledi (හෝමෝ නැලේඩි) ලෙස විද්‍යාත්මක ව නම් කර ඇති මේ ආදිමානවයා සොයාගැනීම ගත වූ අඩ සියවසක පමණ කාලය ඇතුළත මානව පරිණාමය සම්බන්ධයෙන් සිදු කරන ලද වැදගත් ම අනාවරණයක්‌ සේ සැලකේ.
ෆොසිල සොයාගැනීම

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්‌බර්ග් නගරයට ඊසානදිගින් කිලෝමීටර් පනහකට ආසන්න දුරකින් පිහිටා ඇති ගල් ලෙන් පද්ධතියකින් මේ ආදිමානවයන් ගේ ශේෂ මුලින් ම හමු වන්නේ 2013 වර්ෂයේ දී ලෙන් ගවේෂකයන් දෙදෙනකුට ය. මේ ලෙන් පද්ධතිය රයිසින් ස්‌ටාර් (Rising Star) යන නමින් හඳුන්වන අතර, ගවේෂකයන් එහි ඇති උමං ආදිය ගවේෂණය කර ඇත්තේ 1960 ගණන්වල සිට ය. එහෙත් පෙර කී ගවේෂකයන් දෙදෙනා උනන්දු වී ඇත්තේ එම ලෙනෙහි එතරම් අවධානයක්‌ යොමු නො වූ ප්‍රදේශයක්‌ වෙත ය. එක්‌ ඉතා පටු විවරයකින් රිංගා ගිය ඔවුනට ගැඹුරින් පිහිටා ඇති ඩිනාලෙඩි (Dinaledi) නම් එක්‌ කුඩා ලෙන් කුහරයකට පිවිසීමට හැකි වූ අතර, එම ස්‌ථානයේ මිනිසුන්ට සමාන වූ අස්‌ථි අවශේෂ රාශියක්‌ ඇති බව නිරීක්‌ෂණය කිරීමට හැකි වී තිබේ.

ඔවුන් ගේ තොරතුරු මත මේ පිළිබඳව අවධානය යොමු කළේ ලී බර්ගර් නම් ජොහැන්නස්‌බර්ග්හි විට්‌වෝටර්ස්‌රැන්ඩ් විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා පර්යේෂකයෙකි. එම අස්‌ථි අවශේෂ නූතන මිනිසුන්ට අයත් නො වූ බව පැහැදිලි වූ හෙයින් කැණීමකින් එම ස්‌ථානයේ ඇති අස්‌ථි එක්‌රැස්‌ කිරීමට ඔහු පියවර ගත්තේ ය. අදාළ කුහරයට පිවිසිය හැකි වූයේ කෙසඟ සිරුරුවලින් යුක්‌ත අයට පමණක්‌ වූ නිසා ෆේස්‌බුක්‌ දැන්වීමක්‌ පළ කරන ලදි. අවසානයේ මේ කාර්යය සඳහා යෝග්‍ය සේ තෝරාගැනුණේ කාන්තාවන් සය දෙනකු ගෙන් යුක්‌ත විද්‍යාඥයන් කණ්‌ඩායමකිs.

ඔවුන් ගේ උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙස අදාළ ලෙන් කුහරෙයනි අස්‌ථි ශේෂ විශාල සංඛ්‍යාවක්‌ පර්යේෂකයන්ට අනාවරණය වී තිබේ. මේවා හමු ව ඇත්තේ හුදෙක්‌ කුහරය මතුපිට සෙන්ටිමීටර් 15ක පමණ ගැඹුරට කරන ලද කැණීමකිනි. මිනිසුන් 15 දෙනකුට අයත් අස්‌ථි කොටස්‌ 1550ක්‌ පමණ ඔවුනට හමු විය. එසේ ම ඒවා ඉතා යහපත් තත්ත්වයකින් ආරක්‌ෂා වී තිබීම ද විශේෂත්වයකි. මේ අස්‌ථි ශේෂ අතර විවිධ ශරීර කොටස්‌ තිබිණි. එසේ ම වැඩිහිටියන්, දරුවන් හා ළදරුවන් වැනි විවිධ වයස්‌ කාණ්‌ඩවල පුද්ගලයන් ගේ සිරුරු මේ අතර විය. වැඩිදුර අධ්‍යයනවලින් පසුව මේ සාධක මගින් නව ආදිමානව විශේෂයක්‌ Homo naledi ලෙස විස්‌තර කරන ලදි. එම නම සොතෝ භාෂාවෙන් තරුවට පවසන නම වන naledi යන වදනින් බිඳී එන අතර, එය මේ ශේෂ සොයාගත් ලෙන සිහිපත් කිරීමකි.

නව ආදිමානවයා ගේ ලක්‌ෂණ

පෙර සඳහන් කළ පරිදි ම මේ ආදි මානව විශේෂයේ ඇතැම් ලක්‌ෂණ ප්‍රාථමික තත්ත්වයේ වන අතර ඒවා වඩා සමීප වන්නේ Australopithecus නම් ආදි මානව විශේෂවල ලක්‌ෂණවලට ය. එහෙත් මේ මානවයා ගේ ඇතැම් ලක්‌ෂණ නූතන මිනිසුන්ට නෑදැකම් කීමට තරම් දියුණු තත්ත්වයේ තිබේ.

Homo naledi ගේ හිස්‌කබලේ හැඩය දියුණු හැඩයක්‌ ගත්තක්‌ වන අතර, Homo ගණයට ඔවුන් අයත් කිරීමට තරම් එය උසස්‌ මට්‌ටමේ විය. උක්‌ත ලෙනෙහි කැණීම්වලින් හිස්‌කබල් කොටස්‌ 4ක්‌ ලැබී තිබුණු අතර, ඉන් දෙකක්‌ පිරිමින් ගේ විය. අනෙක්‌ දෙක ගැහැනුන්ට අයත් විය. එහෙත් මේ හිස්‌කබලක කපාල ධාරිතාව නූතන මිනිසුන් ගේ හිස්‌කබලේ ධාරිතාවෙන් අඩක්‌ පමණ වීම ප්‍රාථමික ලක්‌ෂණයකි. Homo naledi පිරිමි හිස්‌කබලක කපාල පරිමාව ඝන සෙන්ටිමීටර් 560ක්‌ පමණ ද, ගැහැනු හිස්‌කබලක ඝන සෙන්ටිමීටර් 465ක්‌ පමණ ද විය. මේ ප්‍රමාණය Homo erectus මානවයා ගේ කපාල ධාරිතාව වූ ඝන සෙන්ටීමීටර් 900ට ද වඩා පැහැදිලිව අඩු වේ. ඒ අනුව අලුතින් සොයාගත් ආදි මානවයා ගේ මොළය සැලකිය යුතු තරම් කුඩා වීම පැහැදිලි වෙනසකි.

එසේ ම මේ ආදි මානවයා ගේ අත්ල, මැණික්‌ කටුව හා මහපටැඟිල්ල නූතන මිනිසුන්ට සැලකිය යුතු තරම් සමාන වන අතර, එය මෙවලම් භාවිත කළ බවට සාධකයකි. කෙසේ වෙතත් ඔවුන් ගේ දිගු හා වක්‍ර වූ ඇඟිලි ගස්‌ නැගීමට යෝග්‍ය වන අතර එය ප්‍රාථමික ලක්‌ෂණයකි.

එසේ ම Homo naledi ගේ උරහිස්‌ සකස්‌ වී ඇත්තේ ගස්‌ නැගීමට හා එල්ලී සිටීමට වඩාත් උපකාරී වන ආකාරයෙනි. එසේ ම ශ්‍රොaණි අස්‌ථි පිටතට විහිදීම ප්‍රාථමික ලක්‌ෂණයකි. මේ ආදි මානවයා ගේ පාද අස්‌ථි දිගු වූ අතර සිහින් ද විය. ඒවාට ශක්‌තිමත් මාංශපේශි සම්බන්ධ වූ බවට සාධක දැකිය හැකි වූ අතර මේ ලක්‌ෂණවලින් පෙන්වන්නේ මොවුන් වඩා නවීන ලක්‌ෂණයක්‌ වූ ද්වීපාද සංචරණය කළ බවයි.

මේ ආදි මානවයා ගේ පාදයේ ලක්‌ෂණ ගත් විට මදක්‌ වක්‍ර වූ පා ඇඟිලි තිබීම හැරුණු විට අන් ලක්‌ෂණවලට අනුව මොවුන් ගේ පාද නූතන මිනිසුන් ගේ පාද හා සමාන බවක්‌ පැහැදිලිව නිරීක්‌ෂණය කළ හැකි විය. එසේ ම එහි දැකිය හැකි වූ ආරුක්‌කු හැඩයෙන් පෙනුණේ කාර්යක්‌ෂමව පාද ඈතින් තබා යා හැකි බවයි.

එසේ ම Homo naledi මානවයන් ගේ උස ද වර්තමාන මිනිසා ගේ උසට වඩා පැහැදිලිව අඩු විය. ඒ අනුව, වැඩිහිටි පිරිමියකු අඩි 5ක්‌ පමණ උස්‌ වූ අතර, බරින් රාත්තල් සියයක්‌ පමණ වූ බව ගණන් බලා ඇත. කාන්තාවක ගේ උස හා බර මීට වඩා මදක්‌ අඩු විය.

පරිණාමයේ දී Homo naledi සිටිනුයේ කොතැන ද?

මෙහි දී වැදගත් වන්නේ මේ Homo naledi ආදි මානවයන් ජීවත් ව සිටියේ කුමන කාලයක දී ද යන්න ය. මේ අස්‌ථි ශේෂ හමු ව ඇත්තේ ලෙන මතුපිට මෙන්ම නොගැඹුරු පසින් යට වී තිබිය දී ය. මේ නිසා අප්‍රිකාවේ වෙනත් තැන්වල මෙන් නො ව, සාපේක්‌ෂ කාලනිර්ණ ක්‍රම මගින් මේ ලෙන් කුහරය තුළ දී කාලනිර්ණය කිරීමේ ගැටලුවක්‌ ඇති වී තිබේ. කෙසේ වෙතත් මෙහි ප්‍රධාන පර්යේෂකයා ගේ අදහස වන්නේ නිශ්චිත කාලනිර්ණයක්‌ ඉදිරියේ දී ලබාගත හැකි වේ ය යන්න ය.

මේ ආදි මානවයා ජීවත් වූ කාලය පිළිබඳව මත කිහිපයක්‌ සාකච්ඡාවට ලක්‌ ව ඇත. ඒ අනුව වසර මිලියන දෙකකට වඩා අධික කාලයක්‌ පැරැණි නම්, Homo naledi යනු Homo ගණයේ පැරැණි ම සාධක වේ. මේ අනුව උක්‌ත ආදිමානවයා පරිණාමිකව Australopithecus හා Homo යන ගණවල ආදි මානවයන් අතර සිටි සත්ත්වයකු විය හැකි බවක්‌ පෙනේ. එසේ ම මේ ආදි මානවයා ජීවත් වූයේ වසර මිලියනකට වඩා මෑත කාලයේ දී නම්, ඔහු Homo erectus වැනි වෙනත් Homo ගණයේ වෙනත් මානවයන් හා සමඟ සමකාලීන ව ජීවත් වී ඇති බව පෙනේ. එහෙත් එවැනි වඩා මෑත කාලීන දිනයකට ඇත්තේ අඩු අවස්‌ථාවක්‌ බව පර්යේෂකයන් ගේ මතය වේ.

කෙසේ වෙතත් මේ ආදිමානවයා තරමක්‌ උසස්‌ මට්‌ටමේ මානවයකු බවට සාධක මේ වන විට ද ලැබී තිබීම තරමක්‌ පුදුම සහගත කරුණකි. අස්‌ථි ශේෂ හමු වූ ලෙන තුළින් ගල් ආයුධ හෝ ආහාර අවශේෂ හමු වී නොමැත. එසේ ම ඒ ස්‌ථානයෙහි වෙනත් සත්ත්ව ශේෂ නො තිබූ තරම් ය. (එතැනින් හමු ව ඇත්තේ පක්‌ෂි අස්‌ථි කිහිපයක්‌ පමණි). ඒ අනුව මානවයන් මේ ලෙන තුළ ජීවත් වූ බව සිතීමට සාධක නොමැත. අනෙක්‌ කරුණ වන්නේ මෙවැනි දුෂ්කර තැනක පිහිටි කුටියක මානව අස්‌ථි ශේෂ දැකිය හැකි වූයේ කෙසේ ද යන්න ය. මේ ගැන මත කිහිපයක්‌ ඇත - ඔවුන් මේ ලෙන තුළ කොටු වූයේ ද යන්න එක්‌ මතයකි. එහෙත් මේ අස්‌ථි තැන්පත් ව තිබූ ආකාරය අනුව ඒවා දිගු කාලයක්‌ තිස්‌සේ තැන්පත් කළ ඒවා බව පැහැදිලි විය. සතුන් විසින් මේ අස්‌ථි ගෙනෙනු ලැබ නොමැති බව තහවුරු වූයේ අස්‌ථිවල සපා කෑ ලකුණු දැකිය නොහැකි වූ නිසා ය. එසේ ම ගංවතුරකින් ගසාගෙන ආ බවට වූ මතය බිඳවැටුණේ අස්‌ථි සමඟ ගල් වැනි වෙනත් ද්‍රව්‍ය හමු නො වූ නිසා ය. ඒ අනුව මේ අස්‌ථි අයත් දේහ, ඔවුන් ගේ සගයන් විසින් වුවමනාවෙන් ම මේ ස්‌ථානයේ තබන ලද ඒවා බව පර්යේෂකයෝ අනුමාන කරති. එම අස්‌ථි වෙන් ව ඇත්තේ දේහ දිරාපත් වීමේ දී ය. ඇතැම් විට අදාළ සිරුරු ඉහළ තිබූ කුහරයක තැන්පත් කළ පසුව පහළ කුහරයකට වැටෙන්නට ඇති බව සැලකිය හැකි ය. තමන් ගේ මළවුන්ට මේ ආකාරයෙන් ගරු කිරීමේ මෙවැනි හැසිරීමක්‌ දක්‌වා ඇත්තේ නූතන මානවයන් පමණි. (නියෑන්ඩර්තාල් මානවයන් ඇතැම් විට එවැනි කාර්යයක යෙදුණු බවට ද මතයක්‌ ඇත.) ඒ නිසා මළවුන් පිළිබඳව මෙවැනි හැසිරීමක්‌ සිතිය හැකි වීම ද වැදගත් පරිණාමීය වර්ධනයක්‌ සේ සැලකිය හැකි ය.

මේ කරුණු සියල්ල සලකා බලන විට මේ Homo naledi ආදි මානවයන් පිළිබඳ අනාවරණය මානව පරිණාමයේ සැඟවුණු පුරුකක්‌ අනාවරණ වීමේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ සේ සැලකිය හැකි ය.

මූලාශ්‍රය: eLife, DOI: 10.7554/eLife.09560 yd 10.7554/eLife.09561
(ඡායාරූප:National Geographic වෙබ් අඩවියෙනි.)

http://www.vidusara.com/2015/10/07/feature1.html

Friday, October 9, 2015

ලෝකයේ අනාගත සංවර්ධනයේ න්‍යාය පත්‍රය - තිරසර සංවර්ධන අභිමතාර්ථ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.09.2015

Sustainable development Goals - the agenda of the future development

Vidusara, 30.09.2015

http://www.vidusara.com/2015/09/30/feature5.html



පසුගිය සතියේ (2015 සැප්. 25-27) ඇමෙරිකාවේ නිව්යෝක්‌ නගරයේ දී පැවැත්වුණු එක්‌සත් ජාතීන් ගේ තිරසර සංවර්ධන සමුළුවේ දී 'තිරසර සංවර්ධන අභිමතාර්ථ' (Sustainable Development Goals) නම් අලුත් ම සංවර්ධන ඉලක්‌ක සමූහය ඇතුළත් තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය නිල වශයෙන් අනුමත කරන ලදි. 'ගෝලීය අභිමතාර්ථ' (Global Goals) ලෙස ද හැඳින්වෙන මේ අභිමතාර්ථ සමූහය ජගත් මට්‌ටමෙන් අනාගත සංවර්ධන සැලසුම් සඳහා පදනම් වන ඉලක්‌ක සමූහයක්‌ වනු ඇත.

මේ නව ඉලක්‌ක පිළිබඳ අවධානය යොමු වන්නේ 2015 වර්ෂය වන විට අත්පත් කරගැනීම සඳහා වූ සංවර්ධන ඉලක්‌ක සමූහයක්‌ වූ 'සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ' (Millennium Development Goals) අසාර්ථක වන බව පෙනී යැමත් සමග ය. 2000 වර්ෂයේ දී ඇති කරගත් මේ ඉලක්‌ක ලෝකයේ රටවල සංවර්ධන වැඩපිළිවෙළ සකස්‌ කිරීමට මෙන්ම සංවර්ධන ආධාර ලබා දීමේ දී ද වැදගත් විය. එහෙත් මේ ඉලක්‌ක කරා ළඟා වීමේ දී ඇතැම් රටවල් මේවා සාර්ථකව අත්පත් කරගන්නා බවක්‌ පෙනුණ ද තවත් රටවලට එසේ කළ නොහැකි බව පැහැදිලි විය. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ වන විට ලෝක ජනගහනයෙන් බිලියනයක්‌ පමණ දිනකට ඩොලර් 1.25කට අඩු ආදායමක්‌ ලබන අතර, මිලියන 800කට අධික පිරිසකට යෑපීමට ප්‍රමාණවත් තරම් ආහාර නොමැත. එමෙන් ම අභිමතාර්ථ අටකට පමණක්‌ සීමා වීම නිසා ඇතැම් අත්‍යවශ්‍ය අංශ ආවරණය නො වූ බවට ද විවේචන තිබිණි. ආර්ථරික සංවර්ධනය මීට නිදසුනකි.

මේ නිසා, සහස්‍ර සංවර්ධන අභිමතාර්ථවලින් ඉදිරියට ගිය ඵලදායී වූ සංවර්ධන අභිමතාර්ථ සමූහයක්‌ ඇති කරගැනීම අවශ්‍ය විය. මේ තත්ත්වය හමුවේ 2012 වර්ෂයේ දී බ්‍රසීලයේ රියෝ ද ජැනේරෝ නගරයේ පැවැති එක්‌සත් ජාතීන් ගේ තිරසර සංවර්ධන සමුළුවේ දී (Rio+20) තිරසර සංවර්ධන අභිමතාර්ථ සමූහයක්‌ සකස්‌ කිරීමට එකඟ වූ අතර ඒ සඳහා විවෘත ක්‍රියාකාරී කණ්‌ඩායමක්‌ ද පිහිටුවීමට තීරණය කරන ලදි. එසේ ම 2015 වර්ෂයෙන් පසු කාලය සඳහා වූ එක්‌සත් ජාතීන් ගේ සංවර්ධන න්‍යායපත්‍රයට මේ නව අභිමතාර්ථ ඇතුළත් කිරීම සඳහා ද එකඟතාව පළ විය.

මේ නව අභිමතාර්ථ සකස්‌ කිරීම සඳහා ක්‍රියාකාරී කණ්‌ඩායමට රටවල් 70ක පමණ නියෝජිතයන් අයත් වූ අතර, එහි අවසන් කෙටුම්පත 2014 ජූලි මාසය වන විට සකස්‌ වී තිබිණි. මෙහි දී අනුගමනය කරන ලද ක්‍රියාවලිය මෙතෙක්‌ අනුගමනය කරන ලද පුළුල් ම ක්‍රියාවලියක්‌ සේ සැලකේ. එසේ සකස්‌ කරන ලද අභිමතාර්ථ සමූහය ඇතුළත් පශ්චාත් 2015 සංවර්ධන න්‍යාය පත්‍රය 2014 වර්ෂයේ පැවැති එක්‌සත් ජාතීන් ගේ මහා මණ්‌ඩලයේ 68 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ලදි. ඉන් පසු සාමාජික රටවල අදහස්‌ ද සැලකිල්ලට ගෙන 2015 අගෝස්‌තු මාසය වන විට පොදු එකඟතාවක්‌ ඇති කර ගැනිණි.

ඒ අනුව පසුගිය සති අන්තයේ ඇමෙරිකාවේ නිව්යෝක්‌ නගරයේ දී පැවැති සමුළුවේ දී අනුමත කරන ලද්දේ 'ලෝකය පරිවර්තනය කිරීම( තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යායපත්‍රය' (Transforming our world: the 2030 Agenda for Sustainable Development) යනුවෙන් හැඳින්වෙන මේ රාමුවයි.

තිරසර සංවර්ධන අභිමතාර්ථ

මේ තිරසර සංවර්ධන අභිමතාර්ථවලට අභිමතාර්ථ (goals) 17ක්‌ හා ඒ හා සම්බන්ධ ඉලක්‌ක (targets) 169ක්‌ පමණ ඇතුළත් ය. මේවා තිරසර සංවර්ධනය හා සම්බන්ධ අංශ රැසක්‌ ආවරණය කරයි. මේ අභිමතාර්ථ හා ඉලක්‌ක 2016 ජනවාරි මස පළමුවැනි දා සිට බලපැවැත්වෙනු ඇති අතර ඒවා සාක්‌ෂාත් කරගැනීමේ අවසන් ඉලක්‌කය වන්නේ 2030 වර්ෂයයි. එනම් වසර පහළොවක පමණ කාලයකි.

තිරසර සංවර්ධන අභිමතාර්ථවල වැදගත් කරුණක්‌ වන්නේ මෙය ලෝකයේ සැම රටකට ම අදාළ ඒවා වීමයි. (සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ බොහෝ දුරට දියුණු වන රටවලට අදාළ විය). එසේ ම සංවර්ධනය සඳහා අදාළ අංශ වැඩි ප්‍රමාණයක්‌ ආවරණය වන ලෙස වැඩි අභිමතාර්ථ ගණනක්‌ තිබීම ද තිරසර සංවර්ධන අභිමතාර්ථවල වැදගත් වර්ධනයකි. මෙතෙක්‌ එතරම් සාකච්ඡාවට නො ගැනුණු කාන්තාවන් බලගැන්වීම, සාමය හා ආරක්‌ෂාව හා යහපාලනය වැනි සංකල්ප ඊට ඇතුළත් ව තිබීම මීට නිදසුන් වේ.

අනාගත ලෝකයේ සංවර්ධනය සැලසුම් වනු ඇත්තේ මේ නව අභිමතාර්ථ මත පදනම් වෙමිනි. ඉදිරියේ දී සියලු රටවල් මේ අභිමතාර්ථ සිය සංවර්ධන ප්‍රතිපත්තිවලට ඇතුළත් කරගනු ඇත. එහෙත් එය අභියෝගයක්‌ විය හැකි බව පැහැදිලි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් මේ ඉලක්‌ක අත්පත් කරගැනීමට නම් ඒ සඳහා සැලකිය යුතු ආයෝජනයක්‌ සිදු කළ යුතු වේ. ආන්තික දරිද්‍රතාව නැති කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 66ක පමණ මුදලක්‌ අවශ්‍ය බව ගණන් බලා තිබේ. එසේ ම ජලය, කෘෂිකර්මය, ප්‍රවාහනය හා බලශක්‌තිය වැනි යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා වාර්ෂිකව අවශ්‍ය කරන මුදල ද විශාල ය. සමස්‌තයක්‌ ලෙස මේ ඉලක්‌ක අත්පත් කරගැනීමට නම් වාර්ෂිකව ඩොලර් ටි්‍රලියන 3ක්‌ අවශ්‍ය බව පෙන්වා දී තිබේ. මේ මුදල් සොයාගන්නේ කෙසේ ද යන්න මෙහි දී ඇති ගැටලුව වේ. ඒ ඒ රටවල මහජන මුදල් මෙන්ම ආධාර මුදල් තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්‌ෂාත් කරගැනීම සඳහා යොදාගන්නා ප්‍රධාන මූල්‍ය ප්‍රභවය වනු ඇත. එහෙත් බදු ප්‍රතිපත්ති වෙනස්‌ කිරීම හරහා පෞද්ගලික අංශයෙන් ද, දූෂණය හා නීතිවිරෝධී මූල්‍ය කටයුතු නැවැත්වීම මගින් ද අරමුදල් සම්පාදනය කිරීම ගැන ද අවධානය යොමු වී ඇති බව පෙනේ. කෙසේ වෙතත්, පසුගිය ජුලි මාසයේ දී ඉතියෝපියාවේ දී පැවැති සමුළුවක දී පැහැදිලි වූයේ මේ අභිමතාර්ථ සාක්‌ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කරගැනීම අසීරු විය හැකි ය යන්න අවධානයට ලක්‌ විය යුතු යුතු කරුණක්‌ බවයි.

මේ අනුව නව ඉලක්‌ක අත්පත් කරගැනීම අභියෝගයක්‌ බව පැහැදිලි ය. කෙසේ වෙතත් මේ අභියෝග ජයගනිමින්, තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්‌ෂාත් කරගැනීමට කටයුතු කරනු ඇති බවත්, එමගින් ලෝකයේ යම් පරිවර්තනයක්‌ ඇති කළ හැකි වනු ඇතැයි ද යන්නත් ලෝකයේ ම අපේක්‌ෂාව වේ.

අභිමතාර්ථ හා ඉලක්‌ක


තිරසර සංවර්ධන අභිමතාර්ථ 17 හා ඒවාට අයත් ඉලක්‌ක 169 අතරින් වැදගත් ඉලක්‌ක මෙසේ ය. (අදාළ ඉලක්‌ක සියල්ල මෙහි සඳහන් නො වන බව කරුණාවෙන් සලකන්න).

1. දරිද්‍රතාව එහි සැම ආකාරයකින් ම සැම තැනින් ම අවසන් කිරීම


  • ආන්තික දරිද්‍රතාව (දිනකට ඩොලර් 1.25ට අඩු ආදායම් ලබන) 2030 වන විට මුලිනුපුටා දැමීම.
  • ඒ ඒ රටවල ජාතික නිර්ණායක අනුව දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාව ගේ ප්‍රමාණය 2030 වන විට අඩකින් පමණ අඩු කිරීම.
  • 2030 වන විට දුප්පත් හා අවදානම් කාණ්‌ඩයේ ජනතාවට ආර්ථික සම්පත්වලට සමාන ප්‍රවේශයක්‌ තිබීම.
  • දුප්පත් හා අවදානම් ජන කොටස්‌ දේශගුණය හා සම්බන්ධ ආන්තික තත්ත්ව හා ආපදා අවස්‌ථාවලින් ඇති වන බලපෑම්වලට ඔරොත්තු දීම.

2. කුසගින්නේ පසු වීම අවසන් කිරීම, ආහාර සුරක්‌ෂිතතාව හා ඉහළ පෝෂණයක්‌ අත්පත් කරගැනීම හා තිරසර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම

  • 2030 වර්ෂය වන විට ජනතාව කුසගින්නේ පසු වීම නිමා කිරීම හා සැම ජන කොටසකට ම ආරක්‌ෂිත, පෝෂණයෙන් යුක්‌ත, ප්‍රමාණවත් ආහාර වසර පුරා ලැබීම තහවුරු කිරීම.
  • 2030 වර්ෂය වන විට විවිධ මන්දපෝෂණ තත්ත්ව අවසන් කිරීම හා වසර 5ට අඩු දරුවන් ගේ වයසට සරිලන උසක්‌ නොමැති වීම හා උසට සරිලන බරක්‌ නොමැති වීම පිළිබඳ ඉලක්‌කවලට 2025 දී ළඟා වීම.
  • 2030 වන විට කෘෂිකාර්මික ඵලදායකත්වය දෙගුණයක්‌ කිරීම, කුඩා පරිමාණ ආහාර නිෂ්පාදකයන් ගේ ආදායම දෙගුණයක්‌ කිරීම.
  • 2030 වන විට තිරසර ආහාර නිෂ්පාදන පද්ධති තහවුරු කිරීම හා ප්‍රත්‍යස්‌ථ කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීම.
  • 2020 වන විට බීජ, වගා කරන භෝග, ඇති කරන හා ගෘහාශ්‍රිතකරණය කළ සතුන් හා එAවායේ වල් දර්ශ හා විශේෂවල විවිධත්වය ආරක්‌ෂා කිරීම.

3. නිරෝගී ජීවිතයක්‌ තහවුරු කිරීම හා සියලු දෙනාට, සැම වයසක දී ම යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම
  • ගෝලීය මාතෘ මරණ අනුපාතය 2030 වර්ෂය වන විට සජීවී දරු උපත් 100,000කට 70 දක්‌වා අඩු කිරීම.
  • අලූත උපන් දරුවන් ගේ හා වයස අවුරුදු 5ට අඩු දරුවන් ගේ වළක්‌වාගත හැකි මරණ 2030 වන විට අවසන් කිරීම, අලුත උපන් දරුවන් ගේ මරණ ප්‍රමාණය උපත් 1,000කට 12 දක්‌වා අඩු කිරීම හා අවුරුදු 5ට අඩු දරුවන් ගේ මරණ ප්‍රමාණය උපත් 1000කට 25 දක්‌වා අඩු කිරීම.
  • 2030 වන විට ඒඩ්ස්‌, ක්‌ෂයරෝගය, මැලේරියාව හා වෙනත් නිවර්තන කලාපීය රෝග මුලිනුපුටා දැමීම හා සෙංගමාලය, ජලය මගින් බෝ වන රෝග හා බෝ වන රෝග වැළැක්‌වීම.
  • 2020 වන විට මාර්ග අනතුරුවලින් සිදු වන මරණ හා තුවාල වීම් අඩකින් අඩු කිරීම.
  • සුදුසු පරිදි දුම්කොළ පාලනය පිළිබඳ රාමුගත සම්මුතිය ක්‍රියාත්මක කිරීම ශක්‌තිමත් කිරීම.

4. සමාන හා අන්තර්ග්‍රහණීය (inclusive- සියලු සමාජ ස්‌තරයන්ට අවස්‌ථාවක්‌ ලැබෙන) වූ අධ්‍යාපනයක්‌ ලැබීම තහවුරු කිරීම හා සැමට ජීවිත කාලය පුරා අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථා ප්‍රවර්ධනය

  • 2030 වන විට සියලු ගැහැනු හා පිරිමි ළමයින් නිදහස්‌, සමාන හා ගුණාත්මක බවින් යුක්‌ත වූ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයක්‌ ලැබීම තහවුරු කිරීම.
  • 2030 වන විට සියලු ගැහැනු හා පිරිමි ළමයින්, උසස්‌ තත්ත්වයේ පූර්ව ළමා විය සංවර්ධනයක්‌ සඳහා ප්‍රවේශය ලැබීම.
  • 2030 වන විට සියලු ගැහැනු හා පිරිමි සඳහා දරාගත හැකි හා ගුණාත්මක වූ තාක්‌ෂණික, වෘත්තීය හා තෘතීයික අධ්‍යාපනයක්‌ (විශ්වවිද්‍යාලය ද ඇතුළු) සඳහා සමාන ප්‍රවේශයක්‌ ලැබීම තහවුරු කිරීම.
  • 2030 වන විට සියලු තරුණ පිරිස්‌ හා වැඩිහිටියන් අතරින් සැලකිය යුතු පිරිසක ගේ සාක්‌ෂරතාව හා සංඛ්‍යා හැකියාව ලැබීම තහවුරු කිරීම.
  • දියුණු වන හා විශේෂයෙන් අඩු දියුණු රටවලට ලබා දෙන අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම.

5. ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය අත්පත් කරගැනීම හා කාන්තාවන් හා ගැහැනු ළමයින් බලගැන්වීම

  • කාන්තාවන් හා ගැහැනු ළමයින්ට එරෙහි ව සිදු වන සැම ආකාරයක ම වෙනස්‌කම් අවසන් කිරීම.
  • කාන්තාවන් හා ගැහැනු ළමයින්ට එරෙහි ව පොදු හා පෞද්ගලික ස්‌ථානවල සිදු වන සියලු ආකාරයේ ප්‍රචණ්‌ඩතා අවසන් කිරීම.
  • තීරණ ගන්නා දේශපාලන, ආර්ථික හා පොදු ජීවිතයේ සියලු මට්‌ටම්වල දී කාන්තාවන් ගේ පූර්ණ හා ඵලදායී සහභාගිත්වය හා නායකත්වය සඳහා වන අවස්‌ථා තහවුරු කිරීම.

6. සැමට ජලය ලැබීම හා තිරසර කළමනාකරණය හා හා සනීපාරක්‌ෂාව ලැබීම තහවුරු කිරීම

  • සියලු දෙනාට ම ආරක්‌ෂිත හා මිල දරාගත හැකි පානීය ජලය ලබාගැනීමට ජගත් මට්‌ටමින් සමාන අවස්‌ථා ලැබීම 2030 වන විට තහවුරු කිරීම.
  • 2030 වන විට ප්‍රමාණවත් හා සමාන සනීපාරක්‌ෂාවක්‌ හා ස්‌වස්‌ථතාවක්‌ ලැබීමේ අවස්‌ථා සියලු දෙනාට ම අත්පත් කරගැනීම.
  • ජල දූෂණය අඩු කිරීම, හානිකර රසායන ද්‍රව්‍ය හා ද්‍රව්‍ය එක්‌ කිරීම අවසන් කිරීම හා පිළියම් නො කරන ලද අපජල ප්‍රමාණය අඩක්‌ බවට පත් කිරීම හා ජල ප්‍රතිචක්‍රිකරණය හා ආරක්‌ෂිත නැවත භාවිතය ඉහළ නැංවීම මගින් ජලයේ ගුණාත්මක බව 2030 වන විට වැඩිදියුණු කිරීම.
  • 2030 වන විට සියලු අංශවල ජල භාවිතයේ කාර්යක්‌ෂමතාව සැලකිය යුතු තරම් ඉහළ නැංවීම, ජල හිඟය දුරලීම සඳහා මිදිය සැපයීම හා ජල හිඟයෙන් පීඩා විඳින ජන ප්‍රමාණය අඩු කිරීම.
  • ජලාශ්‍රිත පරිසර පද්ධති ආරක්‌ෂා කිරීම හා ප්‍රතිස්‌ථාපනය කිරීම.
  • ජලය හා සනීපාරක්‌ෂාව කළමනාකරණය වර්ධනය කිරීමේ දී ප්‍රාදේශීය ප්‍රජාව ගේ සහභාගිත්වය ශක්‌තිමත් කිරීම හා සහාය දීම.

7. දරාගත හැකි, විශ්වස්‍ය වූ, තිරසර හා නූතන බලශක්‌තිය සඳහා ප්‍රවේශය සැමට තහවුරු කිරීම

  • 2030 වන විට දරාගත හැකි, විශ්වස්‍ය හා නවීන බලශක්‌ති සේවා ලැබීම තහවුරු කිරීම.
  • 2030 වන විට ජගත් බලශක්‌ති මිශ්‍රණයේ ඇති පුනර්ජනනය කළ හැකි විදුලිබල ප්‍රමාණය සැලකිය යුතු තරම් ඉහළ නැංවීම.
  • බලශක්‌ති කාර්යක්‌ෂමතාව වර්ධනයේ ජගත් මට්‌ටමේ වේගය 2030 වන විට දෙගුණ කිරීම.
  • පිරිසිදු බලශක්‌තිය පිළිබඳ පර්යේෂණ හා තාක්‌ෂණය පිළිබඳව ජාත්‍යන්තර සහයෝගිතාව 2030 වන විට වැඩිදියුණු කිරීම.

8. දරාගත හැකි, අන්තර්ග්‍රහණීය සහ තිරසර ආර්ථික වර්ධනයක්‌, සම්පූර්ණ හා ඵලදායී රැකියාවක්‌ හා සැමට ගෞරවාන්විත වෘත්තියක්‌ ලැබීම ප්‍රවර්ධනය කිරීම

  • ජාතික තත්ත්ව අනුව එAක පුද්ගල ආර්ථික වර්ධනය පවත්වාගැනීම හා විශේෂයෙන්, අඩු සංවර්ධනයක්‌ ඇති රටවල දළ දේශීය නිෂ්පාදිතයේ 7%ක වර්ධනයක්‌ වාර්ෂිකව පවත්වාගැනීම.
  • විවිධාංගීකරණය, තාක්‌ෂණික දියුණුව හා නව සොයාගැනීම් මගින් ඉහළ මට්‌ටමක ආර්ථික ඵලදායිත්වයක්‌ ලබාගැනීම.
  • නිෂ්පාදනයේ හා පරිභෝජනයේ දී ජගත් මට්‌ටමේ සම්පත් කාර්යක්‌ෂමතාව 2030 වන විට වර්ධනය කරගැනීම හා ආර්ථික සංවර්ධනය පරිසර හායනයෙන් වියුග්මනය කිරීම.
  • 2020 වන විට රැකියාවක, අධ්‍යාපනයේ හෝ පුහුණුවක යෙදී නො සිටින තරුණ පිරිසේ ප්‍රමාණය සැලකිය යුතු තරම් අඩු කිරීම.
  • කම්කරු අයිතීන් සුරක්‌ෂිත කිරීම හා ආරක්‌ෂිත සේවා පරිසරයක්‌ තිබීම ප්‍රවර්ධනය කිරීම.

9. ප්‍රත්‍යස්‌ථ වූ යටිතල පහසුකම් තැනීම, අන්තර්ග්‍රහණය හා තිරසර කාර්මිකකරණයක්‌ ප්‍රවර්ධනය, නවෝත්පාදනය ධෛර්යවත් කිරීම

  • අන්තර්ග්‍රහණය හා තිරසර කාර්මිකකරණයක්‌ ප්‍රවර්ධනය කිරීම හා කර්මාන්ත අංශය රැකියා ප්‍රමාණයට හා දළ ජාතික නිෂ්පාදනයට දක්‌වන දායකත්වය 2030 වන විට සැලකිය යුතු තරමින් ඉහළ නැංවීම.
  • විශේෂයෙන් දියුණු වන රටවල කුඩා පරිමාණයේ කර්මාන්ත හා ව්‍යාපාරවලට ලැබෙන මූල්‍ය පහසුකම් හා වෙළෙඳපොළ සඳහා ඇති ප්‍රවේශය ඉහළ නැංවීම.
  • 2030 වන විට යටිතල පහසුකම් හා කර්මාන්ත වැඩිදියුණු කිරීමෙන් එAවා තිරසර කිරීම, සම්පත් භාවිතයේ කාර්යක්‌ෂමතාව ඉහළ නැංවීම, පිරිසිදු හා පරිසර හිතකාමී තාක්‌ෂණය යොදාගැනීම.

10. රටවල් ඇතුළත හා රටවල් අතර ඇති අසමානතාව අඩු කිරීම

  • රටක ජනගහනයේ අඩු ආදායමක්‌ ලබන 40%ක්‌ පමණ පිරිස ගේ ආර්ථික වර්ධනය 2030 වන විට එහි ජාතික සාමාන්‍යයට වඩා ඉහළ තත්ත්වයක පවත්වාගැනීම.
  • වයස, ස්‌ත්‍රී-පුරුෂභාවය, ආබාධිත බව ආදී කරුණු නො සලකා සමාජ, ආර්ථික හා දේශපාලනමය වශයෙන් 2030 වන විට සියලු දෙනා අන්තර්ග්‍රහණය කිරීම ප්‍රවර්ධනය.
  • පිස්‌කල්, වැටුප් හා සමාජ ආරක්‌ෂණ ප්‍රතිපත්ති පිළිගැනීමෙන් වැඩි සමානතාවක්‌ අත්පත් කරගැනීම.

11. නගර හා මානව ජනාවාස අන්තර්ග්‍රහණය, ආරක්‌ෂිත, ප්‍රත්‍යස්‌ථ හා තිරසර බවට පත් කිරීම

  • 2030 වන විට සියලු දෙනාට ම ප්‍රමාණවත්, ආරක්‌ෂිත හා මිල දරාගත හැකි නිවාස ලැබීම තහවුරු කිරීම.
  • ආරක්‌ෂිත, මිල දරාගත හැකි, තිරසර ප්‍රවාහන පද්ධති සඳහා වූ ප්‍රවේශය සියලු දෙනාට ම 2030 වන විට ලබා දීම, මාර්ග ආරක්‌ෂාව වැඩි දියුණු කිරීම හා පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම.
  • 2030 වන විට තිරසර නාගරීකකරණය වැඩිදියුණු කිරීම.
  • ලෝකයේ සංස්‌කෘතික හා ස්‌වාභාවික උරුමය ආරක්‌ෂා කිරීමට ගන්නා උත්සාහය ශක්‌තිමත් කිරීම.
  • වාතයේ ගුණාත්මක බව හා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂ සැලකිල්ලකින් යුක්‌තව නගරවල ඒක පුද්ගල පාරිසරික බලපෑම 2030 වන විට අඩු කිරීම.
  • සම්පත් කාර්යක්‌ෂමතාව, අන්තර්ග්‍රහණීය බව, දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම හා අනුහුරු වීම, ආපදාවලට ප්‍රත්‍යස්‌ථ වීම වැනි කරුණු පිළිබඳව ප්‍රතිපත්ති හා සැලසුම් ඇති කිරීම සඳහා යොමු වූ නගර හා මානව ජනාවාස ප්‍රමාණය 2020 වන විට ඉහළ නැංවීම.

12. තිරසර පරිභෝජන හා නිෂ්පාදන රටා තහවුරු කිරීම

  • තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය පිළිබඳ දස අවුරුදු රාමුව ක්‍රියාත්මක කිරීම.
  • ස්‌වාභාවික සම්පත් තිරසර කළමනාකරණය හා කාර්යක්‌ෂම භාවිතය 2030 වන විට අත්පත් කරගැනීම.
  • සිල්ලර අලෙවිසල් හා පාරිභෝගික මට්‌ටමින් සිදු වන ඒක පුද්ගල ආහාර අපතේ යැම 2030 වන විට අඩක්‌ බවට පත් කිරීම.
  • රසායන ද්‍රව්‍ය හා සියලු අපද්‍රව්‍ය 2020 වන විට තිරසර ආකාරයෙන් කළමනාකරණය කිරීම.
  • වැළැක්‌වීම, අඩු කිරීම, ප්‍රතිචක්‍රිකරණය හා ප්‍රතිභාවිතය හරහා අපද්‍රව්‍ය ජනනය වීම 2030 වන විට සැලකිය යුතු තරමින් අඩු කිරීම.
  • තිරසර සංචරණයේ තිරසර සංවර්ධන බලපෑම් නිරීක්‌ෂණය සඳහා මෙවලම් නිර්මාණය හා ක්‍රියාත්මක කිරීම.

13. දේශගුණ වෙනස්‌ වීම හා එහි බලපෑම් වැළැක්‌වීම සඳහා කඩිනම් පියවර ගැනීම
  • දේශගුණය හා සම්බන්ධ ආපදා හා ස්‌වාභාවික ආපදා සම්බන්ධව ප්‍රත්‍යස්‌ථ බව හා අනුහුරු වීමේ ධාරිතාව ශක්‌තිමත් කිරීම.
  • ජාතික ප්‍රතිපත්ති, උපායමාර්ග හා සැලසුම් සඳහා දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ පියවර එAකාබද්ධ කිරීම.
  • දේශගුණ වෙනස්‌වීම අවම කිරීම, අනුහුරු වීම හා බලපෑම් අඩු කිරීම හා පූර්ව අනතුරු හැඟවීම් පිළිබඳව අධ්‍යාපනය, අවබෝධය හා ධාරිතාව වර්ධනය කිරීම.
  • දියුණු වන රටවල දේශගුණ වෙනස්‌ වීම හා එහි බලපෑම් වැළැක්‌වීම සඳහා 2020 වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 100ක අරමුදලක්‌ දියුණු රටවල දායකත්වයෙන් සම්පාදනය කිරීමේ ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීම.
14. සාගර. මුහුදු හා සමුද්‍රීය සම්පත් සංරක්‌ෂණය කිරීම හා තිරසර සංවර්ධනය සඳහා යොදාගැනීම
  • සියලූ ආකාරයේ සාගර දූෂණය 2025 වන විට වැළැක්‌වීම හා සැලකිය යුතු තරම් අඩු කිරීම.
  • සාගර හා වෙරළ පරිසර පද්ධති 2020 වන විට තිරසර ආකාරයෙන් කළමනාකරණය කිරීම හා ආරක්‌ෂා කිරීම.
  • සාගරය ආම්ලිකකරණය වීමේ බලපෑම් අවම කිරීම හා පිළියම් යෙදීම.
  • සාගරයේ ධීවර අස්‌වනු නෙළීම හා අධික ලෙස මසුන් මැරීම, නීති විරෝධී ව ධීවර සම්පත නෙළීම, හානිකර ධීවර උපක්‍රම භාවිතය 2020 වන විට සාර්ථකව පාලනය කිරීම.
  • 2020 වන විට ලෝකයේ සාගර හා වෙරළ ප්‍රදේශවලින් 10%ක්‌ පමණ සංරක්‌ෂණය කිරීම.
15. භෞමික පරිසර පද්ධති ආරක්‌ෂා කිරීම, ප්‍රතිස්‌ථාපනය කිරීම හා තිරසර භාවිතය ප්‍රවර්ධනය කිරීම, වනාන්තර තිරසර ආකාරයෙන් කළමනාකරණය කිරීම, කාන්තාරණය වැළැක්‌වීම, භූමි හායනය නවත්වා එය ප්‍රතිවර්තනය කිරීම හා ජෛව විවිධත්වය අහිමි වීම නැවැත්වීම
  • 2020 වන විට භෞමික හා අභ්‍යන්තර මිරිදිය පරිසර පද්ධති සංරක්‌ෂණය, ප්‍රතිස්‌ථාපනය හා තිරසර භාවිතය තහවුරු කිරීම.
  • 2020 වන විට සියලු වනාන්තර තිරසර කළමනාකරණය ප්‍රවර්ධනය හා ක්‍රියාත්මක කිරීම, වන විනාශය නැවැත්වීම, හායනයට ලක්‌ වූ වනාන්තර ප්‍රතිස්‌ථාපනය කිරීම, නැවත වන වගාව හා වන වගාව වැඩි කිරීම. 
  • 2030 වන විට කාන්තාරණය වැළැක්‌වීම, හායනයට ලක්‌ වූ භූමිය හා පස ප්‍රතිස්‌ථාපනය කිරීම.
  • 2030 වන විට කඳුකර පරිසර පද්ධති සංරක්‌ෂණය කිරීම.
  • ස්‌වාභාවික වාසස්‌ථාන හායනය අඩු කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම, ජෛව විවිධත්වය අහිමි වීම නැවැත්වීම හා තර්ජනයට ලක්‌ ව ඇති විශේෂ වඳ වී යැම 2020 වන විට වැළැක්‌වීම.
  • ප්‍රවේණික සම්පත් භාවිතයේ ප්‍රතිලාභ සාධාරණ අයුරින් බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීම.
  • දඩයම, ආරක්‌ෂිත විශේෂ නීතිවිරෝධී ව ප්‍රවාහනය කිරීම හා නිතිවිරෝධී වනජීවී ද්‍රව්‍ය ඉල්ලුම හා සැපයුම පාලනය සඳහා කඩිනම් පියවර ගැනීම. 
  • ආක්‍රමණික විශේෂ හඳුන්වා දීම වැළැක්‌වීමට හා ඒවායේ බලපෑම් සැලකිය යුතු මට්‌ටමින් අඩු කිරීමට අවශ්‍ය පියවර 2020 වන විට හඳුන්වා දීම හා ප්‍රමුඛතා විශේෂ මුලිනුපුටා දැමීම.
  • ජෛව විවිධත්ව හා පරිසර පද්ධති වටිනාකම් ජාතික හා ප්‍රාදේශීය සැලසුම් සඳහා එක්‌ කරගැනීම.
  • පරිසර පද්ධති හා ජෛව විවිධත්වය සංරක්‌ෂණය හා තිරසර භාවිතය සඳහා මූල්‍ය සම්පත් සංචලනය හා වර්ධනය කිරීම.
16. තිරසර සංවර්ධනය සඳහා වූ සාමකාමී හා අන්තර්ග්‍රහණය වූ සමාජ ප්‍රවර්ධනය හා සැමට සාධාරණය සඳහා ප්‍රවේශය සැපයීම හා වග වීමක්‌ සහිත හා අන්තර්ග්‍රහණය වූ ආයතන සැම මට්‌ටමක ම ස්‌ථාපිත කිරීම
  • ගැටුම් හා ඒ නිසා ඇති වන මරණ සැම ප්‍රදේශයකින් ම සැලකිය යුතු තරම් අඩු කිරීම.
  • ළමයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසන, අපහරණය ආදිය අවසන් කිරීම.
  • ජාතික හා ජාත්‍යන්තර මට්‌ටමින් නීතියේ පාලනය ප්‍රවර්ධනය කිරීම.
  • සියලු ආකාරයේ අල්ලස හා දූෂණය සැලකිය යුතු තරමින් අඩු කිරීම.
  • සියලු මට්‌ටම්වල දී වගවීමක්‌ සහිත හා විනිවිදභාවයෙන් යුතු ආයතන වර්ධනය කිරීම.
17. තිරසර සංවර්ධනය සඳහා වූ ගෝලීය සහයෝගිතාව ක්‍රියාත්මක කිරීමේ හා නව ජීවයක්‌ දීමේ මාර්ග ශක්‌තිමත් කිරීම
  • දේශීය සම්පත් සංචලනය (mobilization - යෙදවීම) ශක්‌තිමත් කිරීම. 
  • දියුණු වන රටවලට අතිරේක මූල්‍ය සම්පත් සංචලනය.
  • උතුරු-දකුණු, දකුණු-දකුණු හා කලාපීය හා ජාත්‍යන්තර සම්බන්ධතා මගින් විද්‍යාව, තාක්‌ෂණය හා නවෝත්පාදනය පිළිබඳ කටයුතු කිරීම.
  • පරිසර හිතකාමී තාක්‌ෂණය දියුණු වන රටවලට ලබා දීම හා දියුණු කිරීම. 
  • දියුණු වන රටවල තිරසර සංවර්ධන අභිමතාර්ථ සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය ධාරිතා සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා දීම.
  • දියුණු වන රටවල අපනයන වර්ධනය කිරීම හා අඩු දියුණු රටවල අපනයන ප්‍රමාණය 2020 වන විට දෙගුණයක්‌ බවට වර්ධනය කිරීම.

Tuesday, October 6, 2015

වගකීම් සහගත පාරිසරික සංචරණය

ධනේෂ් විසුම්පෙරුම

(Responsible tourism)

විදුසර, පි. 5, Vidusara, 23.09.2015

http://www.vidusara.com/2015/09/23/feature1.html



සංචාරක කර්මාන්තය හෙවත් සංචරණය අපේ රටේ වේගයෙන් වර්ධනය වන අංශ අතරින් එකකි. 2009 වර්ෂයෙන් පසුව රටේ ඇති වී තිබෙන සාමකාමී වාතාවරණය තුළ මෑත කාලයේ සංචාරක කර්මාන්තයේ වේගවත් වර්ධනයක්‌ ඇති විය. නිදසුනක්‌ ලෙස ගත හොත් 2009 වර්ෂයේ දී මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් ගේ ප්‍රමාණය 447,000ක්‌ පමණ වූ අතර, 2014 වර්ෂයේ දී මේ ප්‍රමාණය 1,500,000 ඉක්‌මවා ගොස්‌ තිබේ. එසේ ම දේශීය සංචාරකයන් ද විශාල ලෙසින් අපේ රටේ පිහිටි විවිධ සංචාරක ස්‌ථාන නැරඹීමට යැම දැන් දැකිය හැකි ය. මෙය අපේ රටේ ආර්ථිකය සඳහා වැදගත් වන අංශයක්‌ වේ.

දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ගේ ආකර්ෂණයට ලක්‌ වූ මෙරට දැකිය හැකි ස්‌ථාන අතර ස්‌වාභාවික පරිසර පද්ධති බෙහෙවින් වැදගත් තැනක්‌ ගනියි. නිදසුනක්‌ ලෙස ගත හොත් රට වටා පිහිටි වෙරළ තීරය හා ජාතික වනෝද්‍යාන ආදිය දැක්‌විය හැකි ය. විශේෂයෙන් වනජීවීන් හා ස්‌වාභාවික පරිසරය සම්බන්ධව ගත හොත් අපේ රටේ සැලකිය යුතු විවිධත්වයක්‌ තිබීම නිසා සංචාරක කර්මාන්තයට යෝග්‍ය වටපිටාවක්‌ රටේ පවතී.

කෙසේ වෙතත්, අපේ රටේ වනෝද්‍යාන දෙකකින් මෑත කාලයේ දී වාර්තා වූ සිදුවීම් දෙකක්‌ අපේ සංචාරක කර්මාන්තය පිළිබඳව සිතා බැලිය යුතු කරුණු කිහිපයක්‌ සිහිපත් කර දෙයි. ඉන් පළමුවැන්න වන්නේ යාල වනෝද්‍යානයේ දී වාහනයක ගැටී කොටියකු මිය යැමේ සිදු වීමයි. දෙවැන්න වන්නේ මින්නේරිය වනෝද්‍යානයේ දී දැකිය හැකි වූ සංචාරකයන් ගේ අනුමත කළ නොහැකි හැසිරීම් ය.

වාහනවල ගැටීමෙන් වනජීවීන්ට අනතුරු


පසුගිය අගෝස්‌තු මස අවසන් සතියේ දිනක උදෑසන යාල ජාතික උද්‍යානයේ මාර්ගයක තිබී කොටි දෙනක ගේ සිරුරක්‌ හමු වීම මින් පළමු සිදුවීමයි. කොඳු ඇට පෙළට සිදු වූ හානිය නිසා සිදු ව තිබූ එම මරණයට හේතුව වාහනයක ගැටීම විය හැකි බව බලධාරීන් විසින් සැක කරන ලදි. මේ සඳහා වගකිවයුත්තේ රාත්‍රි කාලයේ මේ වනෝද්‍යානයේ සංචාරක බංගලාවක රාත්‍රිය ගත කළ පිරිසක්‌, රාත්‍රි කාලයේ වනෝද්‍යානයේ නීති විරෝධී ව සිදු කළ සංචාරයක්‌ බව ඇතැම් පාර්ශ්ව විසින් පෙන්වා දෙනු ලැබ තිබිණි. මේ ලිපිය ලියන මොහොත වන විට ද මේ සිදුවීම සම්බන්ධ සත්‍යය අනාවරණය වී නො තිබිණි.

යාල ජාතික උද්‍යානයේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් යොමු වී ඇත්තේ කොටින් පිළිබඳව ය. මේ නිසා කොටින් සුලබව දැකිය හැක්‌කේ කොතැන ද එතැනට යැමට සංචාරකයෝ පෙලඹෙති. විවිධ සංචාරක සේවා සපයන්නන් ගේ හා මාර්ගෝපදේශකයන් ගේ අපේක්‌ෂාව වන්නේ හැකිතාක්‌ සංචාරකයන් ඒ වෙත ගෙන යැම ය. මේ සඳහා ජීප් රථ රියදුරන් හා මාර්ගෝපදේශකයන් ගත් එක්‌ පියවරක්‌ වූයේ කිසියම් ස්‌ථානයක කොටින් දුටු විට ජංගම දුරකථන යොදාගනිමින් අනෙක්‌ පිරිස්‌ වෙත ඒ බව සන්නිවේදනය කිරීම ය. ඒ අනුව සෙසු පිරිස්‌ ද අදාළ ප්‍රදේශයට කඩිනමින් ළඟා වන්නේ ජීප් රථ අධික වේගයෙන් ධාවනය කරමිනි. මෙසේ ඇති වන තරගයේ එක්‌ ප්‍රතිඵලයක්‌ වන්නේ මෙවැනි අනපේක්‌ෂිත අනතුරු සිදු වී, වනසතුන්ට වෙන් කර ඇති ආරක්‌ෂිත භූමිය තුළ ම ඔවුන් මිය යැම ය.

යාල ජාතික උද්‍යානය තුළ මෙවැනි සිදුවීම් කිහිපයක්‌ මින් පෙර ද වාර්තා වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත්, 2011 ඔක්‌තෝබර් මාසයේ දී පටනංගල ප්‍රදේශයේ දී ද, 2013 වර්ෂයේ මුල් භාගයේ දී ද, මෙවැනි සිදුවීම් වාර්තා වී තිබේ. මේ ආකාරයෙන් රිය අනතුරු නිසා මිය යන්නේ කොටින් පමණක්‌ නො වේ. මුවන් ආදි වෙනත් වනසතුන් ද මේ ආකාරයෙන් මරණයට පත් වීම් පිළිබඳව වනෝද්‍යානවලින් වාර්තා වේ. අනෙක්‌ අතට වාහනවල ගැටීමෙන් මිය යන සෙසු සතුන් පිළිබඳව මෙතරම් අවධානයක්‌ යොමු වන්නේ නැත.

මෙවැනි අනතුරු මරණ යාල දී අධිකව දැකිය හැක්‌කේ එයට පැමිණෙන සංචාරකයන් ගණන හා වාහන ප්‍රමාණය අධික වීම නිසා ය. යාල ජාතික උද්‍යානය ගත හොත් එය අපේ රටේ වැඩි ම සෆාරි ජීප් රථ ප්‍රමාණයක්‌ සේවා සපයන ජාතික උද්‍යානය ද වේ. විශේෂයෙන් සති අන්ත දිනවල දී මේ ප්‍රදේශවලට සංචාරකයන් ගේ පැමිණීම බෙහෙවින් ඉහළ යයි. ඒ නිසා සිදු විය හැකි වනසතුන් ගේ මරණ හා සතුන් ගේ චර්යාරටාවලට ඇති වන බාධා වීම් වළක්‌වාලීමට කිසියම් පියවරක්‌ ගැනීම අවශ්‍ය බව පැහැදිලි ය. මේ දෙවැනි කරුණ, එනම් අධික සංචාරකයන් ප්‍රමාණයක්‌ සංචරණයේ යෙදීම නිසා වනසතුන්ට යම් ආතතියක්‌ ඇති කිරීම අවධානයට ලක්‌ විය යුතු කරුණකි. වනජීවීන් ගේ සාමාන්‍ය ජීවන පිළිවෙත්වලට අධික සංචරණයෙන් සිදු වන බාධා වීම් පිළිබඳව වාර්තා වී ඇත.

මේ තත්ත්වය සඳහා යෙදිය හැකි විසඳුම් ඇතැම් විට සාකච්ඡාවට ලක්‌ ව ඇත. නිදසුනක්‌ ලෙස වාහනවල අධික වේගය වැළැක්‌වීම සඳහා මාර්ග බාධක පිහිටුවීම එවැනි යෝජනාවකි. මෑතක දී ගත් එක්‌ පියවරක්‌ වූයේ ජංගම දුරකථන භාවිත කිරීම පාලනය කිරීමයි. එහි සාර්ථකත්වය පිළිබඳව තවමත් පැහැදිලි නැත. එක්‌ වාර්තාවකට අනුව, තවමත් මෙය සිදු කරන්නේ කඩින් කඩ ය. අනෙක්‌ අතට සති අන්ත වැනි ඇතැම් දිනවල අධික සංචාරකයන් පිරිසක්‌ පැමිණීම අධෛර්යවත් කිරීමට කිසියම් සාධනීය පියවරක්‌ ගත හැකි නම් එය වඩා ඵලදායී විය හැකි ය. නිදසුනක්‌ ලෙස දින අනුව වෙනස්‌ ගාස්‌තු ක්‍රමයක්‌ අනුගමනය කිරීම දැක්‌විය හැකි ය. මීට කලකට පෙර අත්හදා බලන ලද, මාර්ගවල එක්‌ දිශාවකට පමණක්‌ ගමන් කිරීමේ ක්‍රමවේදය යම් තරමකින් හෝ සාර්ථක වූ බව තතු දන්නවුන් ගේ අදහස වේ.

සංචාරක විනය


සංචරණය හා සම්බන්ධව මෑතක දී වාර්තා වූ අනෙක්‌ වැදගත් සිදුවීම වූයේ මින්නේරිය වනෝද්‍යානය නැරඹීමට ගිය සංචාරකයන් පිරිසක ගේ අනිසි හැසිරීම සම්බන්ධ ව ය. සංචාරකයන්ට අවසර නොමැති කාර්යයක නියෑළීම සම්බන්ධව ඔවුනට කරුණු වටහා දීමට වනජීවී නිලධාරීන් උත්සාහ ගත් අවස්‌ථාවක දී ඔවුන් වනජීවී නිලධාරීන්ට බාධා වන ආකාරයෙන් හැසිරුණු ආකාරය දැක්‌වෙන වීඩියෝවක්‌ එක්‌තරා පෞද්ගලික රූපවාහිනි නාළිකාවක විකාශය වූ අතර එය සමාජ ජාල ඔස්‌සේ ද ප්‍රචාරය විය.

ජාතික උද්‍යානවල සංචාරකයන් සඳහා ඇති නීති පද්ධතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරය බොහෝ ස්‌ථානවල නිතර දැකිය හැකි කරුණකි. විශේෂයෙන් අදාළ වනෝද්‍යාන ඇතුළත සංචාරකයන්ට වාහනවලින් බැසීමට අවසර නොමැති ස්‌ථානවල දී වාහනවලින් බැසීම මෙවැනි එක්‌ කරුණකි. එසේ ම මත්පැන් හා දුම්වැටි පානය කිරීම වැනි දේ වනෝද්‍යානවල සම්පූර්ණයෙන් ම තහනම් වන නමුත් සංචාරකයන් එවැනි කාර්යයන්හි යෙදෙන ආකාරය දැකීම එතරම් දුර්ලභ නො වේ. අනෙක්‌ අතට අපද්‍රව්‍ය බැහැර ලීම ද ජාතික වනෝද්‍යාන තුළ දැකිය හැකි මෙවැනි අනිසි හැසිරීමකි. එය වනජීවීන් ගේ පැවැත්මට අහිතකර ලෙස බලපාන කරුණක්‌ බවට ද පත් ව ඇත.

මේ තත්ත්වය වනෝද්‍යාන හා වෙනත් ස්‌වාභාවික භූ දර්ශන නැරඹීමට යන සංචාරකයන් ගේ හැසිරීම සම්බන්ධව ගැටලු ඇති කරන්නකි. වනෝද්‍යාන තුළ කළ යුතු හා නො කළ යුතු දේ පිළිබඳව කෙතරම් දැනුම් දී ඇතත් සංචාරකයන් ගේ හැසිරීම පිළිබඳ බොහෝ ගැටලු තිබේ.

මේ කරුණු අනුව පෙනෙන්නේ අපේ රටේ පවත්නා සංචාරක සංස්‌කෘතියේ වගකීම් රහිත ස්‌වභාවයයි. විශේෂයෙන් දේශීය සංචාරකයන් අතරින් වැඩි පිරිසක්‌ සංචාරයේ යෙදෙන්නේ හුදෙක්‌ විනෝදය සඳහා පමණි. කෑම-බීම-නෑම අපේ සංචාරකයන් ගේ සංචරණයේ මූලික අපේක්‌ෂාව බව පෙනේ. එසේ ම ඔවුන් මේ ස්‌වකීය විනෝදය නිසා පරිසරයට හා සෙසු සංචාරකයන්ට ඇති වන බලපෑම් පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කරන්නේ ද නැත. මේ තත්ත්වය කඩිනමින් වෙනස්‌ විය යුතු බව අපේ රටේ පරිසරයට ඇලුම් කරන අයට නම් අමුතුවෙන් කිව යුතු නො වේ.

මෙහි දී වැදගත් වන්නේ වගකීම් සහිත සංචරණයක්‌ වෙත යොමු වීමයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, අපට කළ හැකි එක්‌ දෙයක්‌ වන්නේ සංචාරකයන් ලෙස නො කළ යුතු දේ මොනවා ද යන්න පැහැදිලිව වටහාගැනීමයි. ජාතික උද්‍යානවලට පැමිණෙන සංචාරකයන් පිරිස හුදෙක්‌ සංඛ්‍යාත්මකව වර්ධනය කිරීම වෙනුවට අද කළ යුතු ව ඇත්තේ සංචාරකයන් ගේ විනයවත් බව හා වගකීම් සහිත සංචරණයක්‌ වෙනුවෙන් කටයුතු කිරීමයි. හුදෙක්‌ යටිතල පහසුකම් පමණක්‌ නො ව, සංචාරක විනය වැනි කරුණු පිළිබඳව ද සංචාරක ප්‍රවර්ධනයේ දී අවධානය යොමු විය යුතු ව තිබේ. මේ සඳහා තරාතිරම නො බලා සංචාරකයන්ට බලපාන නීති රීති දැඩිව අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. මෙහි දී සංචාරක ම`ගපෙන්වන්නන් හා සෆාරි ජීප් රථ රියදුරන් වඩා වගකීමෙන් කටයුතු කිරීම සඳහා යොමු කිරීම ද අත්‍යවශ්‍ය වේ.

මේ කරුණු සලකා බලන විට උක්‌ත කරුණු සම්බන්ධව කිසියම් පිළියමක්‌ නො යෙදුව හොත්, සංචාරක කර්මාන්තය වැනි ආර්ථික වර්ධනයට තිරසර දායකත්වයක්‌ ලබාගත හැකි අංශයක ආදායම් මාර්ග බිඳ වැටීමට පවා ඉඩ තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් යාල ජාතික උද්‍යානය වැනි ස්‌ථානවල ඇති අධික තදබදය නිසා ඇතැම් විට සංචාරකයන් එහි සංචාරය කිරීමට උනන්දුවක්‌ නො දක්‌වන තත්ත්වයක්‌ ඇති වීමට පවා ඉඩ තිබේ.

Thursday, September 10, 2015

කැලණි ගඟේ ජල දුෂණය කෙරෙහි යොමු වූ අවධානය ප්‍රමාණවත් ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 09.09.2015, 5 පිටුව (Vidusara)

(Do we have sufficient attention of pollution of Kelani River?)

http://www.vidusara.com/2015/09/09/feature2.html



බියගම පිහිටා ඇති කොකාකෝලා සමාගම් පරිශ්‍රයේ සිදු වූ අනතුරක්‌ හේතුවෙන් කැලණි ගඟට ඩීසල් එක්‌ වීමේ සිදුවීම ගැන මුලින් ම දැනගැනීමට ලැබෙන්නේ පසුගිය අගෝස්‌තු 17 වැනි දින ය. එම සමාගම් පරිශ්‍රයේ සිදු කරන ලද කිසියම් ඉදිකිරීම් කටයුත්තක දී ඩීසල් ගෙන යන නළයකට හානි වී ඩීසල් කාන්දු වී තිබේ. එදින සේවයේ නියුතු වූ සමාගම් සේවක පිරිස්‌ අදාළ තෙල් කාන්දුව නතර කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විට ද සැලකිය යුතු තෙල් ප්‍රමාණයක්‌ කැලණි ගඟට එක්‌ වී තිබේ. (මේ ප්‍රමාණය තෙල් ලීටර් 1900ක්‌ පමණ බව එක්‌ වාර්තාවක සඳහන් විය.) කොළඹ හා අවට ප්‍රදේශ රැසකට ජලය සපයන අඹතලේ ජල පවිත්‍රාගාරය පිහිටා ඇත්තේ කැලණි ගඟේ මේ ප්‍රදේශයට වඩා පහළිනි. මේ නිසා ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන ලද අතර බලධාරින් විසින් ගඟෙන් ජලය ලබාගැනීම නවතා දමා මේ තෙල් ඇතුළත් ජලය ගඟ දිගේ පහළට ගසා ගෙන යැමට සලස්‌වා තිබිණි.

කෙසේ වෙතත් යළිත් අගෝස්‌තු මස 28 වැනි දින කැලණි ගඟේ ජලයේ තෙල් තට්‌ටුවක්‌ ඇති බව අනාවරණය විය. ඒ නිසා කෙටි දැනුම් දීමකින් පසුව එදින කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ හා දෙහිවල-ගල්කිස්‌ස යන මහ නගරසභා බලප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන ලදි. මේ තත්ත්වය ඇති වීමට හේතු වූයේ ගඟේ ඉවුරුවල තිබූ තෙල් කාන්දුවේ අපද්‍රව්‍ය ඒ දිනවල ඇති වූ අධික වර්ෂාවට සේදී ගොස්‌ ගඟට එක්‌ වීම බව බලධාරීන් විසින් හෙළි කරන ලදි. අපවිත්‍ර ජලය ගඟ පහළට ගසා යැමට හා පවිත්‍රාගාරයේ පිරිසිදු කිරීම් සඳහා රාජ්‍ය බලධාරීන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා ජල සැපයුම එදින සවස්‌ වන විට යථා තත්ත්වයට පත් කරගත හැකි විය. මේ කටයුතු සඳහා වැය වී ඇත්තේ මහජන මුදල් ය.

මේ තෙල් කාන්දුව පිළිබඳව අවශ්‍ය නීතිමය පියවර ගත් මධ්‍යම පරිසර අධිකාරිය පළමුව අදාළ සමාගමේ පරිසර ආරක්‌ෂක බලපත්‍රය තහනම් කළ අතර, ඒ සමඟ සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවන ලදි. පසුව අගෝස්‌තු මස 31 දින එම තහනම ඉවත් කරන ලද අතර ඒ පරිසර අධිකාරිය පවසන පරිදි ඒ කොන්දේසි සහිත ව ය. සමාගම තවදුරටත් තෙල් කාන්දු වීම් ඇති නො වන ලෙස ක්‍රියා කිරීම මීට හේතුව සේ දක්‌වා තිබිණි. එසේ ම අධිකාරීන් විසින් නියම කරන ලද නිර්දේශ සපුරා ලීම මේ කියන කොන්දේසි අතර වේ. ඒ සමඟ සමාගමේ නිෂ්පාදන කටයුතු යළිත් ආරම්භ වූ බව ද වාර්තා විය. මේ අතර අපවිත්‍ර තෙල් ඉවත් කිරීම හා ජල පොම්පාගාරයේ ඇති වූ හානි සඳහා වූ වියදම ප්‍රතිපුර්ණය කිරීමට අදාළ සමාගම එකඟ වී ඇති බවක්‌ පුවත්පත්වල වාර්තා විය. එක්‌ වාර්තාවකට අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයට සිදු වූ අලාභය රුපියල් මිලියන 130කට අධික බව පැවසේ. මේ අලාභයට තෙල් නිසා අපවිත්‍ර වීමෙන් පාරිභෝගිකයන්ට බෙදාහැරීමට නොහැකි වූ ජලය ලීටර් 200,000ක්‌, පවිත්‍රාගාරයේ තෙල් පිරිසිදු කරන ජල පෙරණ හා ජල තටාක පිරිසිදු කිරීම හා මේ කටයුතු සඳහා යොදාගත් අතිරේක සේවකයන් හා අතිරේක බලශක්‌තිය සඳහා වූ වියදම ද අයත් බව පෙනේ. මේ අතර ගඟේ ජලය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා මැදිහත් වූ සාගර පරිසර ආරක්‌ෂණ අධිකාරිය හා සේවා සැපයූ පෞද්ගලික ආයතනයකින් ද රු. 177,000 ක්‌ හා මිලියන 1.45ක්‌ ලෙස වියදම් ඉල්ලා ඇති බව වාර්තා වී තිබේ. මේ අනුව සමස්‌ත වියදම මීට වඩා ඉහළ යා හැකි අතර, එය අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ වෙත යොමු විය හැකි ය.

කෙසේ වෙතත් පසුගිය ඉරිදා පුවත්පතකට ජල සම්පාදන මණ්‌ඩලයේ සභාපතිවරයා පවසා තිබූ ආකාරයට ඉන්දියාවට යෑවූ ජල නිදර්ශක සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණවලින් හෙළි ව ඇති පරිදි, ගංගා ජලයේ අඩංගුව තිබුණේ මෙතිලින් වර්ගයේ කාබනික සංයෝගයකි. ඇතැම් සාම්පලයක අදාළ සංයෝගය ලීටරයකට මිලි ග්‍රෑම් 0.5ක පමණ මට්‌ටමින් හමු වී ඇති බව ද වාර්තා වේ. (මේ කරුණ අදාළ සිදුවීම පිළිබඳ ගැටලූ ඇති කරන අතර, ඒ ගැන වැඩිදුර තොරතුරු ඉදිරියේ දී අපේක්‌ෂා කළ හැකි ය.)

රතුපස්‌වල හා කැලණි ගඟ


උක්‌ත සිදුවීම පිළිබඳව විමසිල්ලෙන් බැලීමේ දී පෙනී ගිය කරුණක්‌ වන්නේ මේ තෙල් කාන්දුව නිසා කැලණි ගඟ දූෂණය වීම හා ජලය අපවිත්‍ර වීම ගැන සමාජයේ එතරම් අවධානයක්‌ යොමු නො වූ බවයි. අනෙකක්‌ තබා ජනමාධ්‍යවල ද මේ පිළිබඳව මුලින් දැකිය හැකි වූයේ අඩු උනන්දුවකි. කෙසේ වෙතත් සමාජ ජාල වෙබ් අඩවි ඔස්‌සේ මේ පිළිබඳව බොහෝ දේ සාකච්ඡාවට ලක්‌ විය. ඒවා අතර රජයේ බලධාරීන් ගේ නො සැලකිල්ලේ සිට අදාළ සමාගමේ නිෂ්පාදන ප්‍රතික්‌ෂේප කිරීම දක්‌වා වූ විවිධ කරුණු උලූප්පා දක්‌වා තිබිණි. පුදුමයකට මෙන් සමාජයේ මෙවැනි සිදුවීම් පිළිබඳ කටයුතු කරන පරිසර හා සමාජ සංවිධාන හා ක්‍රියාකාරීන් අතර පවා මේ සිදුවීම පිළිබඳව ප්‍රමාණවත් ක්‍රියාකාරිත්වයක්‌ දැකිය නොහැකි විය.

රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක ගේ පානීය ජල සැපයුම හා ගංගාවක්‌ දූෂණය වීම මෙසේ රටේ එතරම් අවධානයක්‌ යොමු නො වූයේ ඇයි ද යන්න ම`දක්‌ විමසීම වැදගත් කරුණකි. එහි දී අපට මෑතක දී ඇති වූ රතුපස්‌වල ජල ගැටලූව පිළිබඳව අවධානය යොමු කළ හැකි ය.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති රතුපස්‌වල ප්‍රදේශයේ පානීය ජලයේ ආම්ලිකතාව ඉහළ යැමට හේතුව කම්හලකින් නිකුත් වූ රසායනික ද්‍රව්‍ය බව ජනතාව ගේ චෝදනාව විය. එහෙත් විද්‍යාත්මක පර්යේෂණවලින් ඒ බව සනාථ නො වූ බව රාජ්‍ය බලධාරීන් ගේ මතය විය. එහෙත් ප්‍රදේශවාසී ජනතාව අදාළ සමාගම වසා දමන තෙක්‌ උද්ඝෝෂණය කළ හ. මේ සඳහා ඇතැම් දේශපාලන බලවේග මෙන්ම රාජ්‍ය නො වන සංවිධාන හා ක්‍රියාකාරීන් ගේ මැදිහත් වීම දැකිය හැකි විය. එසේ ම එය පැවැති රජයට එරෙහි උද්ඝෝෂණයක්‌ බවට ද පත් විය. මේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස ජීවිත කිහිපයක්‌ අහිමි වූ අතර අදාළ කම්හල එතැනින් ඉවත් කරගන්නා ලදි. එසේ ම ජනතාවට පානීය නළ ජල සැපයුමක්‌ ලබා දීමට ද රජය පියවර ගත්තේ ය. ඒ දිනවල රතුපස්‌වල පිළිබඳව කතා කළ අය අතර, පරිසරවේදීන්, දේශපාලනඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද වූ අතර එය කිසියම් ආකාරයක ජාතික ප්‍රශ්නයක්‌ බවට පත් වූ බවක්‌ දැකිය හැකි විය.

කෙසේ වෙතත්, පසුගිය දා කැලණි ගඟට තෙල් නිකුත් වූ අවස්‌ථාවේ දී රටේ එවැනි තත්ත්වයක්‌ දක්‌නට නො වී ය. මේ සිදුවීමෙන් ඇති වූ බලපෑම් පිළිබඳව කිසිදු දේශපාලන බලවේගයක්‌ හෝ රාජ්‍ය නො වන සංවිධාන හෝ සැලකිය යුතු තරම් උනන්දුවක්‌ දැක්‌වූ බවක්‌ අසන්නට දකින්නට නො ලැබිණි. එසේ ම ඇතැම් ක්‍රියාකාරීන් පවා සිය ෆේස්‌බුක්‌ ගිණුමේ කළ ප්‍රකාශයකින් හෝ සටහන් කිහිපයකින් ඔබ්බට ගිය බවක්‌ දැකිය හැකි නො වී ය. බැලු බැල්මට පෙනුණේ මේ පිළිබඳව ජනතාව ද එතරම් උනන්දුවක්‌ නො දැක්‌වූ බවකි. නැත හොත්, එය ගැන කතා කරන්නට කිසිවක්‌ නොමැති ද යන්න පවා ගැටලූවක්‌ විය. එසේ ම මුල් ම තෙල් කාන්දුව ඇති වූයේ අගෝස්‌තු 17 දින වුවත්, මේ ගැන තරමක්‌ හෝ සාකච්ඡාවක්‌ දැකිය හැකි වූයේ පසුගිය 28 වැනි දින කොළඹ හා අවට ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන ලැබූ පසු ව ය. එසේ ම ඇතැම් ප්‍රදේශවල ජලයේ තෙල් සහිත බව හා දුගඳක්‌ දැනුණු පසුව ය. ඒ අනුව මේ ගැටලූව ජනතාවට දැනුණේ පානීය ජලයේ අර්බුදයක්‌ ඇති වූ පසුව බව පෙනේ.

ගංගා පරිසරය නොවැදගත් ද?


මෙහි දී මතු වන කරුණු කිහිපයක්‌ පවතී. ඉන් පළමුවැන්න වන්නේ කැලණි ගඟ පරිසර පද්ධතියට තෙල් එකතු වීම නිසා කිසියම් ආකාරයක පරිසර දූෂණයක්‌ සිදු වූ බව වැදගත් නො වූයේ ද යන්න ය. එය මිනිසුන්ට බලපාන බව වටහාගත් අවස්‌ථාවේ දී පමණක්‌ ඒ ගැන සැලකිල්ලක්‌ යොමු වුයේ ඇයි? ගඟ සහ ගංගා පරිසරයට මින් සිදු වූ බලපෑම ගැන කිසිදු අවධානයක්‌ යොමු නො වී ය. එහෙත් අදාළ තෙල් කාන්දුව සිදු වූ ප්‍රදේශයේ දී හෝ මේ ගංගා පරිසරයට කිසියම් බලපෑමක්‌ ඇති වූ බව පැහැදිලි ය.

කැලණි ගඟ යනු මෙරට ප්‍රධාන ගංගා අතරින් සැලකිය යුතු තරම් දූෂණයකට ලක්‌ වූ පරිසර පද්ධතියකි. අවිස්‌සාවේල්ල සිට පහළ ප්‍රදේශ තෙක්‌ කැලණි ගඟ ආසන්නයේ ඇති කර්මාන්තශාලාවලින් කැලණි ගඟට අපද්‍රව්‍ය එකතු වීම බොහෝ කාලයක සිට සිදු වන්නකි. එහෙත් මේ පිළිබඳව බලධාරීන් ගේ සැලකිල්ල ප්‍රමාණවත් තරම් යොමු ව තිබේ ද යන්න සැකසහිත ය.

රජයේ ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙහි දී වැදගත් කරුණක්‌ අනාවරණය වී ඇත. ඒ උක්‌ත සිදුවීමේ දී ඇති වූ ජල දූෂණයට හේතු වූයේ කුමන රසායනික ද්‍රව්‍යයක්‌ ද යන්න තීරණය කිêමට අවශ්‍ය පරීක්‌ෂණ සිදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් මෙරට නො තිබූ බවයි. ඒ නිසා අදාළ ජල නිදර්ශක ඉන්දියාවට යෑවීමට සිදු වූ බව බලධාරීන් මාධ්‍යවලට පවසා තිබිණි. මෙවැනි සිදුවීමක දී ඇති වන ප්‍රමාදය වැළැක්‌වීමට එවැනි රසායන ද්‍රව්‍ය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්‌ෂණ සඳහා වූ පහසුකම් මෙරට ස්‌ථාපිත කළ යුතු ව තිබේ.

අවසන් වශයෙන් පැවසිය යුත්තේ මෙවැනි තත්ත්වයක්‌ අනාගතයේ දී ඇති වීමට ඉඩ නො තැබීම සියලූ පාර්ශ්වවල වගකීමක්‌ බව ය. ජලය යනු හුදෙක්‌ මිනිසුන් ගේ පානය පිණිස පවත්නා සම්පතක්‌ පමණක්‌ නො ව, සෙසු ජීවීන් ගේ පැවැත්ම සඳහා ද වැදගත් වන ස්‌වාභාවික සම්පතක්‌ බව අප සිහි තබාගත යුතු ය.

http://www.vidusara.com/2015/09/09/feature2.html

Monday, September 7, 2015

අළු යට ගිනි ලෙස තවමත් පවතින දේශගුණ සංශයවාදය

(Climate skepticism has not died.)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 02.09.2015 (Vidusara)

http://www.vidusara.com/2015/09/02/feature2.html




දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කිරීම හෙවත් දේශගුණ සංශයවාදය (climate skepticism) පිළිබඳ ලියෑවෙන මේ ලිපිය ආරම්භ කිරීම සඳහා පළමුව පෞද්ගලික අත්දැකීම් දෙකක්‌ ඉදිරිපත් කිරීමට අදහස්‌ කළේ ඉන් කියෑවෙන පණිවිඩය ඉතා පැහැදිලි නිසා ය.

කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයකින් මෑත දී සිය අධ්‍යාපනය හමාර කළ මගේ ඥාති තරුණයකු පසුගිය දා මුණගැසුණු අවස්‌ථාවක කීවේ ලෝකයේ දේශගුණ වෙනස්‌ වීමක්‌ නොමැති බව හා එය අසත්‍යයක්‌ බව ය. ඔහු ගේ පදනම පිළිබඳව බැලූ විට ඔහු විදේශීය විෂයමාලාවකින්, වාණිජ්‍යය විෂය ධාරාවක්‌, ඉංග්‍රීසි බසින් හැදෑරූ අයෙක්‌ විය. අප හමු වූ අවස්‌ථාවේ දී ද ඔහු සූදානම් වෙමින් සිටියේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයයක පාඨමාලාවක්‌ හැදෑරීම පිණිස විදේශගත වීම සඳහා ය. මට මෙහි දී ඇති වූ ගැටලුව වූයේ වර්තමාන තරුණ පරපුරේ කෙතරම් පිරිසක්‌ මෙවැනි අදහස්‌ දරන්නේද යන්න ය.

මේ අතර වර්තමානයේ කැනඩාවේ ජීවත් වන මගේ සරසවි සගයකු මීට කලකට පෙර එරට දැකිය හැකි වූ අධික හිමපතන අවස්‌ථාවක දී ඔහු ගේ සමාජ ජාල ගිණුමක සටහනක්‌ තබමින් පැවසුවේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ඔහු තවදුරටත් විශ්වාස නො කරන බවකි. මේ මිත්‍රයා මෙරට සිටිය දී පරිසර ක්‍රියාකාරියකු ලෙස කටයුතු කළ අතර පරිසර අංශයක රැකියාවක්‌ ද කළේ ය. එවැනි වෙනසක්‌ ඔහු තුළ ඇති වූයේ කෙසේ ද යන්න පිළිබඳව මට එළැඹිය හැකි හොඳ ම නිගමනය වූයේ, මේ වෙනස සඳහා ඔහු අද ජීවත් වන පරිසරයේ පැවැති සාමාන්‍ය විශ්වාසයේ යම් බලපෑමක්‌ හේතු වන්නට ඇති බව ය.

මේ දෙදෙනා දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව දක්‌වන අදහස්‌ පිළිබඳව සැලකූ විට මට සිතුණේ දේශගුණ සංශයවාදය කිසියම් ආකාරයකින් නව ප්‍රවේශයක්‌ ගෙන ඇති බවයි. එA නූතන පරපුරේ අදහස්‌ සමඟ හා ආන්තික දේශගුණ තත්ත්ව සමඟ මතු වන්නක්‌ ලෙසිනි. සමස්‌තයක්‌ ලෙස ජගත් මට්‌ටමේ දී දේශගුණ සංශයවාදයේ අද තත්ත්වය පිළිබඳව මදක්‌ විමසීමට මට සිතුණේ මේ නිසාවෙනි.

දේශගුණ සංශයවාදය


දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සාකච්ඡාවේ ආරම්භයේ පටන් ම ඒ පිළිබඳ විද්‍යාත්මක සාධක ගැන මෙන්ම ඒ සඳහා හේතු වූ කරුණු මොනවා ද යන්න සම්බන්ධව අවිනිශ්චිතතා තිබූ බවට සැකයක්‌ නොමැත. මේ නිසා දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ දිගින් දිගට ම සිදු කරන ලද පර්යේෂණ මත පදනම් ව දේශගුණ වෙනස්‌ වීම මේ වන විට ද සිදු වන බවත්, ඒ සඳහා මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වයේ පැහැදිලි බලපෑමක්‌ පවත්නා බවත් අද වන විට පෙන්වා දී තිබේ. දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ඇගැයීම් වාර්තා පෙළෙන් පෙළට මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වයේ බලපෑම් පිළිබඳ සාධක ඉහළ ගොස්‌ ඇති බැවින් ඒ සම්බන්ධ විශ්වාසය ඉහළ ගොස්‌ තිබේ.

ඒ කෙසේ වෙතත් මේ පර්යේෂණ හා ඒවායේ ඇතුළත් කරුණු සම්බන්ධව සැක කරන විද්‍යාඥයන් හා වෙනත් පිරිස්‌ ලෝකයේ එදා සිට ම දැකිය හැකි විය. මේ පිරිස්‌ ඇතැම් විටක මේ පර්යේෂණවල අඩුපාඩු දැක්‌වූ අතර, තවත් අවස්‌ථාවක දී ඔවුන් ගේ ම තර්ක හා පර්යේෂණ මගින් දේශගුණ වෙනස්‌ වීම යනු හුදෙක්‌ ස්‌වාභාවික වූ සංසිද්ධියක්‌ බව පෙන්වා දීමට උත්සාහ කළ ආකාරය දැකිය හැකි විය. මේ පිරිස්‌ හඳුන්වන ලද්දේ දේශගුණ සංශයවාදීන් යන නමිනි.

කෙසේ වෙතත් මෙසේ දේශගුණ සංශයවාදීන් ලෙස අදහස්‌ දැක්‌වූ විද්‍යාඥයන් අතර ප්‍රකට හා පිළිගත් ප්‍රකාශන ඇති පර්යේෂකයන් සිටියේ අඩු වශයෙනි. නිදසුනක්‌ ලෙස ගත හොත් 2012 වර්ෂයේ දී Wall Street Journalys 'දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව කලබල විය යුතු නැහැ' (No Need to Panic About Global Warming) යනුවෙන් අදහස්‌ දැක්‌වීමක්‌ කළ විද්‍යාඥයන් 16 දෙනකු අතරින් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව පිළිගත් පර්යේකයන් සිටියේ සිව් දෙනකු පමණක්‌ බව ඒ දිනවල ජනමාධ්‍ය ඔස්‌සේ පෙන්වා දී තිබිණි. එසේ ම ඔවුන් අතරින් ඇතැම් අයට ෙµdසිල ඉන්ධන කර්මාන්තය හා සම්බන්ධකම් තිබූ බව ද ඒ දිනවල වාර්තා වී තිබිණි.

දේශගුණ වෙනස්‌ වීමට දායක වූ, ඒ නිසා ම කිසියම් තර්ජනයකට ලක්‌ ව තිබූ ෆොසිල ඉන්ධන හා බලශක්‌ති කර්මාන්තයේ යෙදුණු ආයතන මේ දේශගුණ සංශයවාදීන්ට සහයෝගය දීම ආචාරධර්ම පිළිබඳව ගැටලු ඇති කරන්නකි. ඔවුන් ගේ අභිප්‍රාය වූයේ දේශගුණ වෙනස්‌ වීම යනු මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වයක්‌ නිසා සිදු වූවක්‌ නො වන බව තහවුරු කිරීම ය. ඇතැම් විට පෙන්වා දී ඇති පරිදි සංශයවාදී ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ දුම්කොළ සමාගම් අතීතයේ දී ක්‍රියාත්මක වූ ආකාරය හා සමාන ආකාරයකට ය. ඒ දුම්පානය කිරීම සෞඛ්‍යයට හානිකර බවට වූ විද්‍යාත්මක අවවාද හා සාධක සැකකිරීම සඳහා දුම්කොළ සමාගම් ක්‍රියාත්මක වූ ආකාරය හා සමාන ආකාරයකට ය.

සමාජය තුළ සංශයවාදය


මේ සංශයවාදීන් අතර සිටියේ හුදෙක්‌ විද්‍යාඥයන් පමණක්‌ නො වේ. ඇතැම් ජනමාධ්‍ය පවා සංශයවාදී යනුවෙන් හැඳින්විය හැකි විය. එසේ ම ඇතැම් දේශපාලන පක්‌ෂ හා දේශපාලනඥයන් ද ඒ ගණයට ඇතුළත් කළ හැකි විය. ඇතැම් දියුණු රටවල ගතානුගතික දේශපාලනමය අදහස්‌ දැරූ කණ්‌ඩායම් මේ සංශයවාදී අදහස්‌වල එල්බ සිටින අයුරු ද දැකිය හැකි ය. ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්‌ෂය හා ඔස්‌ටේ්‍රලියාවේ ලිබරල් පක්‌ෂය මේ සඳහා නිදසුන් ය. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් රටවල් දේශගුණ සටනින් ඈත් වීම සඳහා පියවර ගත් ආකාරය ද පෙනේ. කැනඩාව හා ඔස්‌ටේ්‍රලියාව මීට නිදසුන් සේ දැක්‌විය හැකි ය. මේ රටවල් සංශයවාදයේ තර්ක උපයෝගි කරගනිමින් විද්‍යාත්මක සාධක නොමැති බව දක්‌වමින් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා ප්‍රමාණවත් වූ ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කළ ආකාරය අපි දුටුවෙමු. මේ නිසා දේශගුණ සංශයවාදය දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමේ සටනට බාධා කළේ ය.

සාමාන්‍ය ජනතාව අතර දේශගුණ වෙනස්‌ වීම නො පිළිගන්නා පිරිස කෙතරම් ද යන්න ද වැදගත් ය. මේ අතරින් පිරිසක්‌ දේශගුණ වෙනස්‌ වීමක්‌ සිදු නො වන බව සිතන අය වන අතර, තවත් කණ්‌ඩායමක්‌ එසේ ම එය සිදු වෙතත්, ඊට මිනිසුන් වගකිව යුතු යෑයි නො සිතන පිරිසකි. මෙහි ඇති බලපෑම වන්නේ දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ස්‌වෙච්ඡාවෙන් සිදු කරන කටයුතු සඳහා සාමාන්‍ය ජනතාව ගේ දායකත්වය වැදගත් වන නිසා ය. කෙසේ වෙතත් දියුණු කාර්මික රටවල් සියල්ලේ ම මේ තත්ත්වය දැකිය හැකි නො වේ. ඇමෙරිකාවේ තරම් සංශයවාදීන් ප්‍රමාණයක්‌ හෝ සංශයවාදිත්වයක්‌ යුරෝපයේ දැකිය නොහැකි ය. එසේ ම යුරෝපයේ රටවල් රැසක්‌ ම දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා කැපී පෙනෙන ආකාරයෙන් ඉදිරිපත් ව කටයුතු කරමින් සිටියි.

සංශයවාදය අවසන් ද?


2013/14 වර්ෂයේ දී පළ වූ පස්‌වැනි දේශගුණ ඇගැයීම් වාර්තාවේ දක්‌වා ඇති ආකාරයට විසි වැනි සියවසේ මැදභාගයේ සිට ඇති ව තිබෙන උණුසුම් වීම සඳහා ප්‍රමුඛ හේතුව මිනිසුන් ගේ බලපෑම බවට 'අතිශයින් විය හැකි' (extremely likely) බව විශ්වාස ය. මේ විශ්වාසය එක්‌ එක්‌ ඇගැයීම් වාර්තාවෙන් වාර්තාවට වර්ධනය විය. ඒ අනුව, විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව විශ්වාස කරන්නේ නම්, තවදුරටත් මේ පිළිබඳව සැකසංකා තබාගත හැකි ද යන්න ගැටලුවකි.

බොහෝ දියුණු රටවල විද්‍යාඥයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්‌වා සංශයවාදී අදහස්‌ දරන පිරිස්‌ ප්‍රමාණය මේ වන විට අඩු වී ඇති අතර එය යහපත් ප්‍රවණතාවකි. එහෙත් එය සම්පූර්ණයෙන් ම පහ වී ගොස්‌ ඇති බවක්‌ මින් අදහස්‌ නො වේ.

පසුගිය ජුලි මාසයේ දී Global Environmental Change සඟරාවේ ප්‍රකාශයට පත් වූ අධ්‍යයන වාර්තාවකට අනුව (10.1016/j.gloenvcha.2015.05.003) දේශගුණ සංශයවාදීන් ගේ ප්‍රමාණය පිළිබඳ අදහසක්‌ ලබාගත හැකි ය. කාර්මික රටවල් 14ක එක හා සමාන සමීක්‌ෂණ යොදාගනිමින් සිදු කර ඇති මේ විශ්ලේෂණයට අනුව ලෝකයේ වැඩි ම සංශයවාදී ජනතාවක්‌ වාසය කරන්නේ ඔස්‌ටේ්‍රලියාවේ ය. එA එරට ජනගහනයෙන් 17%ක්‌ පමණ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කරන බැවිනි. දෙවැනි තැනට එන නෝර්වේ රාජ්‍යයේ මේ ප්‍රමාණය 15කි. තුන්වැනි තැන පසු වන නවසීලන්ත ජනගහනයෙන් 13%ක්‌ සංශයවාදීන් වන අතර, අප බොහෝ දෙනා විශ්වාස කරන ඇමෙරිකාවේ ජනගහනයෙන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කරන්නේ 12%ක්‌ පමණ පිරිසකි. එරට පසු වන්නේ සිව්වැනි ස්‌ථානයේ ය. බ්‍රිතාන්‍යය, ස්‌වීඩනය හා පින්ලන්තයේ ජනගහනයෙන් 10%ක්‌ පමණ දේශගුණ සංශයවාදීන් වන බව ද මේ වාර්තාවේ දක්‌වා ඇත. අඩු ම ජනතාවක්‌ සංශයවාදීන් වන්නේ ස්‌පාඤ්ඤයේ වන අතර ඒ 2%ක්‌ පමණ පිරිසකි. (කෙසේ වෙතත් මේ අධ්‍යයනය සඳහා පදනම් කරගෙන ඇත්තේ මේ රටවල 2010-11 දී පමණ කාලයේ දී සිදු කර ඇති සමීක්‌ෂණ බව සැලකිය යුතු ය).

මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇති තවත් වැදගත් කරුණක්‌ වන්නේ අධික හරිතාගාර වායු විමෝචන ප්‍රමාණයක්‌ තිබීම හා සංශයවාදිත්වය අනුලෝමව සමානුපාතික වන බවයි. එසේ ම අදාළ රට කෙතරම් දුරට අවදානම් සහිත තත්ත්වයක පවතින්නේ ද යන්න ද අනුලෝමව සමානුපාතික වේ. එසේ ම මේ අධ්‍යයනයෙන් පැහැදිලි කර ඇති ආකාරයට සංශයවාදී වීමට බලපාන මූලික කරුණු හා සාධක කිහිපයක්‌ ද වේ. දේශපාලනික වශයෙන් ගතානුගතික (කන්සර්වේටිව්) අදහස්‌ දැරීම ඉන් එකකි. එසේ ම පිරිමින් අතර සංශයවාදීන් බහුල ය. එසේ ම පරිසරය පිළිබඳව දක්‌වන අඩු සැලකිල්ල සංශයවාදිත්වය සඳහා බලපාන තවත් සාධකයකි.

කෙසේ වෙතත් මේ අනුව පෙනෙන්නේ සංශයවාදිත්වය හා සංශයවාදීන් ගේ ගණන මේ වන විට කැපී පෙනෙන ආකාරයෙන් අඩු ව තිබුණ ද, එය අළු යට ඇති ගිනි සේ රැඳී ඇති බවකි. නිදසුනක්‌ ලෙසින් ගත හොත්, අද පවා කිසියම් අධික සිසිල් කාලගුණ තත්ත්වයක්‌, අධික වැසි සහිත තත්ත්වයක්‌ ඇති වුව හොත් මේ සංශයවාදී අදහස්‌ දක්‌වන්නවුන් විවිධ මට්‌ටම්වලින් කරළියට පැමිණෙන ආකාරය අඩුවෙන් වුව ද දැකිය හැකි ය. විශේෂයෙන් පෙර සඳහන් කර ඇති ආකාරයට යම් යම් වෙනත් අවශ්‍යතා ඇති පිරිස්‌ මේ අතර සිටින බව සැලකිය යුතු ය.

කෙසේ වෙතත් දේශගුණ වෙනස්‌ වීම යනු අද වන විට සිදු වෙමින් ඇති දෙයක්‌ හෙවත් යථාර්ථයක්‌ ය යන්න හා සම්බන්ධව විවාදයක්‌ නොමැති බව සඳහන් කළ හැකි ය. වර්තමාන විද්‍යාත්මක දත්ත අනුව ඒ ගැන සැකයක්‌ නැත.

http://www.vidusara.com/2015/09/02/feature2.html

Friday, August 28, 2015

මැතිවරණ ප්‍රතිපත්තිවල එන පරිසර ප්‍රතිපත්ති පිළිබඳ විමසුමක්‌

(A review of environmental policies found in political manifestos)

ධනේෂ් විසුම්පෙරුම‍ | Dhanesh Wisumperuma

විදුසර (Vidusara), 12.08.2015
http://www.vidusara.com/2015/08/12/feature4.html


අගෝස්‌තු මස දහ හත් වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් මේ වන විට රට ම සූදානම් වෙමින් තිබේ. ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාව පාලනය කරනු ලබන ප්‍රතිපත්ති තීරණය කරනු ලබන්නේ මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන පක්‌ෂයේ ප්‍රතිපත්ති මත ය. මේ වන විට මැතිවරණයට තරග කරන ප්‍රධාන පක්‌ෂ තුනේ මැතිවරණ ප්‍රකාශන තුනක්‌ ප්‍රකාශයට පත් ව තිබේ.

එක්‌සත් ජාතික පක්‌ෂය ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය "මාස 60කින් අලුත් රටක්‌ හදන පංචවිධ ක්‍රියාවලිය" නම් වේ. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ "අනාගතයට සහතිකයක්‌" යනුවෙනි. ජනතා විමුක්‌ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනය "හෘද සාක්‌ෂියේ සම්මුතිය" නමිනි.

මැතිවරණයට ඉදිරිපත් ව ඇති මේ ප්‍රධාන පක්‌ෂ තුනේ පරිසර ප්‍රතිපත්ති පිළිබඳව මදක්‌ විමසා බැලීමට අප සිතුවේ අදාළ පක්‌ෂ මෙරට පරිසරය පිළිබඳ දැවෙන කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විසඳුම් මොනවා ද යන්න ගැන විමසීම කාලීන අවශ්‍යතාවක්‌ සේ අප දකින නිසා ය.

මෙරට ප්‍රධාන දේශපාලන පක්‌ෂ තුන 2015 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශනවල පරිසරය හා සම්බන්ධ ප්‍රතිපත්ති පිළිබඳව සැලකූ විට ඉන් වඩාත් කැපී පෙනෙන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ (එජනිස) හා ජනතා විමුක්‌ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රතිපත්ති ප්‍රකාශන බව පෙනේ. එම පක්‌ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල පරිසරය වෙනුවෙන් වෙන ම කොටසක්‌ වෙන් කර අංශ රැසක්‌a ඔස්‌සේ කරුණු දක්‌වා තිබේ. එවැනි වෙන ම අංශයක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයේ (එජාප) ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැකිය නොහැකි වුව ද පරිසරය හා අදාළ කරුණු ගණනාවක්‌ එම පක්‌ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වෙනත් තැන්වල හා තිරසර සංවර්ධනය කොටසේ ඇතුළත් ය. පහත දැක්‌වෙන්නේ අදාළ වැදගත් කරුණු ප්‍රධාන මාතෘකා යටතේ ගොනු කර දැක්‌වීමට අප ගත් උත්සාහයකි.


පක්‌ෂ තුනේ ප්‍රධාන පරිසර ප්‍රතිපත්ති


  • ප්‍රතිපත්තිමය කරුණු හා දිගු කාලීන සැලසුම් - ශ්‍රී ලංකාව සඳහා භූවිද්‍යා සැලැස්‌මක්‌ වසරක්‌ තුළ සම්පාදනය කරන බව සඳහන් කරන එජාපය පවසන්නේ ඒ අනුව ජාතික පරිසර ප්‍රතිපත්තියක්‌ සකස්‌ කරන බවයි. ජනාවාස හා නගර නිර්මාණය වැනි කරුණු මේ භූ විද්‍යා සැලැස්‌ම අනුව තීරණය වේ. එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන පරිදි මෙරට භූමිය ඉදිරි වසර 500ක කාලයක්‌ සඳහා සැලසුම් කිරීමට අදහස්‌ කෙරෙයි. මේ සැලසුම් ඉදිරි රාජ්‍ය ප්‍රතිපත්තියක්‌ බවට පත් කිරීම ඔවුන් ගේ අපේක්‌ෂාව වේ. ස්‌වාභාවික සම්පත් සංරක්‌ෂණය හා කළමනාකරණය සඳහා ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමට හා පරිසරයට අදාළ වර්තමානයේ පවත්නා පනත් හා රෙගුලාසි සමාලෝචනය කර ශක්‌තිමත් කිරීමට කටයුතු කරන බව ජවිපෙ සඳහන් කරයි.
  • ආරක්‌ෂිත ප්‍රදේශ හා වනාන්තර - සංරක්‌ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමිභාග ආරක්‌ෂා කරගැනීමට හා ඒවායේ මායිම්වල සුරක්‌ෂිතභාවය තහවුරු කිරීමට කටයුතු කරන බව එජාපය පවසයි. ශ්‍රී ලංකාව හරිත දේශයක්‌ ලෙස පවත්වාගැනීමේ අරමුණින් සියලු වනාන්තර මිනුම් කිරීම, මායිම් සලකුණු කොට විනාශ වීමේ තර්ජනයට ලක්‌ ව ඇති වනාන්තර නැවත ප්‍රතිෂ්ඨාපනය සිදු කරන අතර, රජය හා පෞද්ගලික අංශය උපයෝගී කරගනිමින් නැවත වන වගා වැඩපිළිවෙළක්‌ දියත් කරන්නට කටයුතු කරන බව එජනිස සඳහන් කරයි. රක්‌ෂිත ප්‍රදේශවල රැකවරණය තහවුරු කිරීම, ඒවා ඛණ්‌ඩනය වීම වළක්‌වා ජාලගත කිරීම, අනාරක්‌ෂිත පරිසර පද්ධති රක්‌ෂිත ප්‍රදේශ කිරීම යන කරුණු ජවිපෙ ඉදිරිපත් කර ඇත. වන වගාව පිළිබඳව සඳහන් කරන ජවිපෙ විශේෂයෙන් සඳහන් කරන කරුණක්‌ වන්නේ ෆයිනස්‌, ටර්පන්ටයින් වැනි වගා වෙනුවට දේශීය ශාක වගා මහා පරිමාණයෙන් ව්‍යාප්ත කරන බවකි. 
  • ජලපෝෂක ප්‍රදේශ සංරක්‌ෂණය - භූගත ජල සම්පත ආරක්‌ෂා කරගැනීමේ අරමුණින් ජලපෝෂක ප්‍රදේශ සංරක්‌ෂණය සඳහා පියවර ගන්නා බව එජාපය සඳහන් කරයි. ජල පෝෂක ප්‍රදේශ සංරක්‌ෂණය පිළිබඳව ජවිපෙ ද සඳහන් කර තිබේ.
  • පරිසර දූෂණය - පරිසර දූෂණය වැළැක්‌වීම සඳහා පියවර ගැනීම මේ පක්‌ෂවල පරිසර ප්‍රතිපත්තියේ එක්‌ මූලික අංගයකි. වායු, ජල, පාංශු, ශබ්ද හා දෘෂ්ටි යන පංචවිධ පරිසර දූෂණය වැළැක්‌වීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දෙන බව එජනිස පවසයි. ජවිපෙ පවසන්නේ ස්‌වාභාවික පරිසරය, ජලය, වෙරළ, භූමිය, වාතය, ස්‌වභාවධර්මයේ හඩ දූෂණය වීම වැළැක්‌වීමට අවශ්‍ය තාක්‌ෂණික මගපෙන්වීම හා නීතිය දැඩිව ක්‍රියාත්මක කරවීම සිදු කරන බවයි. 
  • රසායනික පොහොර හා පළිබෝධනාශක - පරිසර හිතකාමී ගොවිතැන නම් මාතෘකාව යටතේ කාබනික ගොවිතැන මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළ අල්ලාගැනීම හා රටේ ආහාර ස්‌වෛරීත්වය හා ආරක්‌ෂාව තහවුරු කිරීම ගැන එජාපය සඳහන් කරයි. මිනිසාට හා පරිසරයට හානිකර කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය තහනම් කර ඇති බැවින්, ජීව හිතවාදී කෘෂි රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය සහ භාවිතය දිරිගැන්වීමට පියවර ගන්නා බව ඔවුන් මේ යටතේ තවදුරටත් දක්‌වා ඇත. ප්‍රමිතියකින් තොර පළිබෝධනාශක හා පොහොර ආනයනය හා විකිණීම නැවැත්වීමට අවශ්‍ය නීති සම්මත කරන බවත් එAවා කඩ කරන පිරිස්‌වලට එරෙහි ව දැඩි ව නීsතිය ක්‍රියාත්මක කරන බවත් එජනිස පවසයි. වස විස නැති ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා රසායනික පොහොර හා පළිබෝධනාශකවලින් තොර ගොවිතැන සඳහා විශේෂ සහන දෙන බව ද එජනිස පවසයි.
  • කැළිකසළ ගැටලුව - ජාත්‍යන්තර ප්‍රමිතිකරණයකට යටත් ව කසළ කළමනාකරණය කිරීම හා කසළ බලශක්‌ති නිෂ්පාදනයට හා පොහොර නිෂ්පාදනයට යොදාගැනීම පිළිබඳව එජනිස සඳහන් කරයි. ජවිපෙ සිය ප්‍රකාශනයේ සඳහන් කරන්නේ අපද්‍රව්‍ය කළමනාකරණයේ වගකීම හිමි පළාත්පාලන ආයතනවල එම වගකීම අත් හළ නොහැකි එකක්‌ බවට පත් කරන බව හා ඊට අවශ්‍ය තාක්‌ෂණික මගපෙන්වීම සිදු කරන බව ය. එසේ ම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඊට එරෙහි ව කටයුතු කරන ආයතන ගැන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
  • වෙරළාරක්‌ෂක නීති - වෙරළාරක්‌ෂක නීති පද්ධතිය ශක්‌තිමත් කිරීමට කටයුතු කරන බව එජනිසය සඳහන් කර තිබේ.
  • පරිසර නීතිය ක්‍රියාත්මක කිරීම - අභයභූමි හා වනවිනාශයට හා වනසත්ත්ව සංහාරයට වගකිවයුතු චූදිතයන් නීතිය හමුවට පමුණුවා දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බව එජනිස සඳහන් කරයි. ජවිපෙ සඳහන් කරන්නේ පරිසර නීති ක්‍රියාත්මක කිරීම සඳහා මනා අන්තර් සම්බන්ධතාවක්‌ සහිත ආයතනික පද්ධතියක්‌ ස්‌ථාපිත කරන බවයි. 
  • පරිසර අධ්‍යාපනය - පරිසර අධ්‍යාපනය සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට හඳුන්වා දීමට කටයුතු කරන බව එජනිස සඳහන් කරයි. පාසල් අධ්‍යාපන ක්‌ෂේත්‍රය තුළට පරිසර විෂය ඇතුළත් කරන බව සඳහන් කරන ජවිපෙ පරිසරය සුරැකීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ අධ්‍යාපන වැඩසටහන් ද සකස්‌ කරන බව කියයි.
  • පරිසර ගැටලු විසඳීම සඳහා ප්‍රජා සහභාගිත්වය - රාජ්‍ය නිලධාරීන්, පරිසර සංවිධාන හා පරිසරවේදීන් ඇතුළත් පරිසර කමිටු පිහිටුවා එතුළින් ප්‍රදේශයේ පරිසර ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමට පියවර ගන්නා බව ජවිපෙ පවසයි. 
  • සංවර්ධනය හා පරිසරය හා ස්‌වාභාවික සම්පත්- 2005 වර්ෂයේ සිට ක්‍රියාත්මක කළ සංවර්ධන ක්‍රියාවලියේදී පරිසර හිතවාදී ප්‍රතිපත්ති ප්‍රමුඛතාවයේ ලා සලකමින් පරිසරය සුරැකි බව එජනිස සිය ප්‍රකාශනයේ සඳහන් කරයි. එසේ ම සිය අනාගත සංවර්ධන සැලසුම්වල දී සතාසීපාවාට හා පරිසරයට අයත් අවකාශයට මනාව ගරු කිරීමට ද ඔවුන් පොරොන්දු වී ඇත. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර නිසි ශක්‍යතා ඇගැයීම් ක්‍රියාවලියක්‌ සිදු කරන අතර, එහි දී ස්‌වාභාවික සම්පත්වලට හා ජනතාව ගේ යහපැවැත්මට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීමට හා විකල්ප සංරක්‌ෂණ ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජවිපෙ පවසයි.
  • බලශක්‌ති සංරක්‌ෂණය - සුළං, සූර්ය, මුහුදු රළ, ස්‌වාභාවික ගෑස්‌ වැනි විකල්ප බලශක්‌ති උත්පාදනයට විශේෂ සහනාධාර සපයන බව එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ. බලශක්‌ති අවම ලෙස භාවිත කරන පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදි කරන බව එජාප වැඩිදුරටත් පවසයි. පුනර්ජනනීය බලශක්‌ති පද්ධතියක්‌ ගොඩනැගීමට පියවර ගන්නා බව ජවිපෙ ද සඳහන් කරන අතර, ප්‍රවාහනය හා ගොඩනැගිලි වැනි අංශවල බලශක්‌ති සංරක්‌ෂණය අත්‍යවශ්‍ය අරමුණක්‌ සේ සලකා නීති සම්පාදනයට සහාය ලබා දීමට කටයුතු කරන බව ද ඔවුහු සඳහන් කරති.

විශේෂ මාතෘකා

  • රුක්‌ රෝපණය - රජයේ හෝ පෞද්ගලික අවශ්‍යතාවක්‌ සඳහා කපා හෙළන සැම ගසකට ම ගස්‌ 2ක්‌ සිටුවීමට එජනිස සිය මැතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දු වී තිබේ.
  • අලි මිනිස්‌ ගැටුම - අලි-මිනිස්‌ ගැටුම පවත්වා ප්‍රදේශවල රජයේ නියෝජිතයන්, ගැමියන් හා වනජීවී සංවිධානවල නියෝජිතයන්ගෙන් යුත් කමිටු ස්‌ථාපනය කරන බව හා ඒ ප්‍රදේශවල කඩිනමින් විදුලි වැට ඉදි කරන බවත් එජාප මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වේ. ජවිපෙ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවසන්නේ මෙය ද ඇතුළුව පරිසරය හා මිනිසා ගැටෙන සියලු ප්‍රශ්න සඳහා විද්‍යාත්මක කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවයි.
  • පරිසර හානි දැනුම් දීමේ මධ්‍යස්‌ථානය - පැය 24 ම හා දින 365 පුරා ක්‍රියාත්මක පරිසර හානි දැනුම් දීමේ මධ්‍යස්‌ථානයක්‌ ස්‌ථාපනය කරන බව ජවිපෙ පවසයි.

පරිසරය නො සලකා හැර තිබේ ද?


මේ ප්‍රතිපත්ති විමසා බලන විට පරිසරය පිළිබඳ කරුණු සම්බන්ධව ප්‍රධාන පක්‌ෂ තුන ම කිසියම් හෝ අවධානයක්‌ යොමු කර ඇති බවක්‌ පෙනේ. පරිසරය දේශපාලන ප්‍රතිපත්තිවලට පැමිණෙන්නේ මෑත කාලයක සිට ය. කෙසේ වෙතත් පරිසරය යනු මැතිවරණයේ දී ඉදිරිපත් වන දේශපාලන ප්‍රතිපත්ති මාලාවකට පමණක්‌ සීමා වූ කරණක්‌ බව අපේ පොදු අත්දැකීමයි. අන් ආකාරයකින් පවසන්නේ නම් බලයට පත් වන පක්‌ෂය කුමක්‌ වුව, ඔවුන් ලබා දුන් පරිසර පොරොන්දු සියල්ල ම ඉටු කරන බව අපට අපේක්‌ෂා කළ නොහැකි බව ය.

මෙය බොහෝ සාමාන්‍ය දෙයකි. එයට හේතුව දියුණු වන රටක්‌ ලෙස මානව සංවර්ධන අරමුණුවල දී වෙනත් අංශවලට වැඩි අවධානයක්‌ යොමු වන අතර, පරිසරය පිළිබඳ කරුණුවලට යොමු වන්නේ අඩු සැලකිල්ලක්‌ වීම ය. රටේ ආර්ථිකය ද, සංවර්ධන අරමුණු ද මීට බලපාන වෙනත් සාධක වෙයි.

අනෙක්‌ අතට මැතිවරණයක දී ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ දී සලකා බලන සාධක අතර, පරිසර ප්‍රතිපත්තිවලට හිමි වන්නේ ද සාපේක්‌ෂව අඩු ස්‌ථානයකි. දේශපාලන පක්‌ෂවල සෙසු ප්‍රතිපත්ති ඡන්දදායකයින්ට බෙහෙවින් වැදගත් වේ. ඇතැම් අයට වැදගත් වන්නේ රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳ වැඩපිළිවෙළ ය. තවත් අයට වැදගත් වන්නේ ජාතික ආරක්‌ෂාව, රටේ ඒකීයභාවය, භෞමික අඛණ්‌ඩතාව, ස්‌වෛරීභාවය වැනි ජාතිකමය කරුණු ය. මේ නිසා පරිසර ප්‍රතිපත්තිවල වැදගත්කම සීමිත බව අප පිළිගත යුතු ව ඇත. මේ තත්ත්වය අපේ රටට පමණක්‌ පොදු වූවක්‌ නොව, ජගත් මට්‌ටමේ යථාර්ථයකි. දියුණු මට්‌ටමේ රටවල වූව ද දේශපාලන තීරණ ගැනීමේ දී වඩාත් වැදගත් වන්නේ මූලික වශයෙන් ආර්ථික සංවර්ධනය වැනි කරුණු මිස පාරිසරික කරුණු නො වේ. එහෙත් ඉන් කියෑවෙන්නේ පාරිසරික කරුණු කිසිසේත් නොවැදගත් බවක්‌ නො වේ.