Tuesday, October 20, 2015

දකුණු අප්‍රිකාවෙන් හමු වූ ආදි මානවයා Homo naledi

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, p.5, 07.10.2015 (Vidusara)

(an article on Homo naledi found from South Africa)

http://www.vidusara.com/2015/10/07/feature1.html





දකුණු අප්‍රිකාවේ එක්‌තරා ලෙනකින් හමු වූ ෆොසිල සාධක මගින් නව ආදි මානව විශේෂයක්‌ පසුගිය දා විස්‌තර කරන ලදි. එක්‌ අතකින් නූතන මානවයා අයත් වන Homo ගණය හා සමීප ලක්‌ෂණ පෙන්නුම් කරන මේ සත්ත්වයා තවත් අතකින් අතීතයේ විසූ ප්‍රාථමික මානවයන් හා සමාන ලක්‌ෂණ ද පෙන්වයි. එසේ ම මේ ආදි මානවයන් (Hominin) විසූ කාලය පිළිබඳව තවමත් නිශ්චිත කරුණු හෙළි වී නොමැත.

මේ වන විට Homo naledi (හෝමෝ නැලේඩි) ලෙස විද්‍යාත්මක ව නම් කර ඇති මේ ආදිමානවයා සොයාගැනීම ගත වූ අඩ සියවසක පමණ කාලය ඇතුළත මානව පරිණාමය සම්බන්ධයෙන් සිදු කරන ලද වැදගත් ම අනාවරණයක්‌ සේ සැලකේ.
ෆොසිල සොයාගැනීම

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්‌බර්ග් නගරයට ඊසානදිගින් කිලෝමීටර් පනහකට ආසන්න දුරකින් පිහිටා ඇති ගල් ලෙන් පද්ධතියකින් මේ ආදිමානවයන් ගේ ශේෂ මුලින් ම හමු වන්නේ 2013 වර්ෂයේ දී ලෙන් ගවේෂකයන් දෙදෙනකුට ය. මේ ලෙන් පද්ධතිය රයිසින් ස්‌ටාර් (Rising Star) යන නමින් හඳුන්වන අතර, ගවේෂකයන් එහි ඇති උමං ආදිය ගවේෂණය කර ඇත්තේ 1960 ගණන්වල සිට ය. එහෙත් පෙර කී ගවේෂකයන් දෙදෙනා උනන්දු වී ඇත්තේ එම ලෙනෙහි එතරම් අවධානයක්‌ යොමු නො වූ ප්‍රදේශයක්‌ වෙත ය. එක්‌ ඉතා පටු විවරයකින් රිංගා ගිය ඔවුනට ගැඹුරින් පිහිටා ඇති ඩිනාලෙඩි (Dinaledi) නම් එක්‌ කුඩා ලෙන් කුහරයකට පිවිසීමට හැකි වූ අතර, එම ස්‌ථානයේ මිනිසුන්ට සමාන වූ අස්‌ථි අවශේෂ රාශියක්‌ ඇති බව නිරීක්‌ෂණය කිරීමට හැකි වී තිබේ.

ඔවුන් ගේ තොරතුරු මත මේ පිළිබඳව අවධානය යොමු කළේ ලී බර්ගර් නම් ජොහැන්නස්‌බර්ග්හි විට්‌වෝටර්ස්‌රැන්ඩ් විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා පර්යේෂකයෙකි. එම අස්‌ථි අවශේෂ නූතන මිනිසුන්ට අයත් නො වූ බව පැහැදිලි වූ හෙයින් කැණීමකින් එම ස්‌ථානයේ ඇති අස්‌ථි එක්‌රැස්‌ කිරීමට ඔහු පියවර ගත්තේ ය. අදාළ කුහරයට පිවිසිය හැකි වූයේ කෙසඟ සිරුරුවලින් යුක්‌ත අයට පමණක්‌ වූ නිසා ෆේස්‌බුක්‌ දැන්වීමක්‌ පළ කරන ලදි. අවසානයේ මේ කාර්යය සඳහා යෝග්‍ය සේ තෝරාගැනුණේ කාන්තාවන් සය දෙනකු ගෙන් යුක්‌ත විද්‍යාඥයන් කණ්‌ඩායමකිs.

ඔවුන් ගේ උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙස අදාළ ලෙන් කුහරෙයනි අස්‌ථි ශේෂ විශාල සංඛ්‍යාවක්‌ පර්යේෂකයන්ට අනාවරණය වී තිබේ. මේවා හමු ව ඇත්තේ හුදෙක්‌ කුහරය මතුපිට සෙන්ටිමීටර් 15ක පමණ ගැඹුරට කරන ලද කැණීමකිනි. මිනිසුන් 15 දෙනකුට අයත් අස්‌ථි කොටස්‌ 1550ක්‌ පමණ ඔවුනට හමු විය. එසේ ම ඒවා ඉතා යහපත් තත්ත්වයකින් ආරක්‌ෂා වී තිබීම ද විශේෂත්වයකි. මේ අස්‌ථි ශේෂ අතර විවිධ ශරීර කොටස්‌ තිබිණි. එසේ ම වැඩිහිටියන්, දරුවන් හා ළදරුවන් වැනි විවිධ වයස්‌ කාණ්‌ඩවල පුද්ගලයන් ගේ සිරුරු මේ අතර විය. වැඩිදුර අධ්‍යයනවලින් පසුව මේ සාධක මගින් නව ආදිමානව විශේෂයක්‌ Homo naledi ලෙස විස්‌තර කරන ලදි. එම නම සොතෝ භාෂාවෙන් තරුවට පවසන නම වන naledi යන වදනින් බිඳී එන අතර, එය මේ ශේෂ සොයාගත් ලෙන සිහිපත් කිරීමකි.

නව ආදිමානවයා ගේ ලක්‌ෂණ

පෙර සඳහන් කළ පරිදි ම මේ ආදි මානව විශේෂයේ ඇතැම් ලක්‌ෂණ ප්‍රාථමික තත්ත්වයේ වන අතර ඒවා වඩා සමීප වන්නේ Australopithecus නම් ආදි මානව විශේෂවල ලක්‌ෂණවලට ය. එහෙත් මේ මානවයා ගේ ඇතැම් ලක්‌ෂණ නූතන මිනිසුන්ට නෑදැකම් කීමට තරම් දියුණු තත්ත්වයේ තිබේ.

Homo naledi ගේ හිස්‌කබලේ හැඩය දියුණු හැඩයක්‌ ගත්තක්‌ වන අතර, Homo ගණයට ඔවුන් අයත් කිරීමට තරම් එය උසස්‌ මට්‌ටමේ විය. උක්‌ත ලෙනෙහි කැණීම්වලින් හිස්‌කබල් කොටස්‌ 4ක්‌ ලැබී තිබුණු අතර, ඉන් දෙකක්‌ පිරිමින් ගේ විය. අනෙක්‌ දෙක ගැහැනුන්ට අයත් විය. එහෙත් මේ හිස්‌කබලක කපාල ධාරිතාව නූතන මිනිසුන් ගේ හිස්‌කබලේ ධාරිතාවෙන් අඩක්‌ පමණ වීම ප්‍රාථමික ලක්‌ෂණයකි. Homo naledi පිරිමි හිස්‌කබලක කපාල පරිමාව ඝන සෙන්ටිමීටර් 560ක්‌ පමණ ද, ගැහැනු හිස්‌කබලක ඝන සෙන්ටිමීටර් 465ක්‌ පමණ ද විය. මේ ප්‍රමාණය Homo erectus මානවයා ගේ කපාල ධාරිතාව වූ ඝන සෙන්ටීමීටර් 900ට ද වඩා පැහැදිලිව අඩු වේ. ඒ අනුව අලුතින් සොයාගත් ආදි මානවයා ගේ මොළය සැලකිය යුතු තරම් කුඩා වීම පැහැදිලි වෙනසකි.

එසේ ම මේ ආදි මානවයා ගේ අත්ල, මැණික්‌ කටුව හා මහපටැඟිල්ල නූතන මිනිසුන්ට සැලකිය යුතු තරම් සමාන වන අතර, එය මෙවලම් භාවිත කළ බවට සාධකයකි. කෙසේ වෙතත් ඔවුන් ගේ දිගු හා වක්‍ර වූ ඇඟිලි ගස්‌ නැගීමට යෝග්‍ය වන අතර එය ප්‍රාථමික ලක්‌ෂණයකි.

එසේ ම Homo naledi ගේ උරහිස්‌ සකස්‌ වී ඇත්තේ ගස්‌ නැගීමට හා එල්ලී සිටීමට වඩාත් උපකාරී වන ආකාරයෙනි. එසේ ම ශ්‍රොaණි අස්‌ථි පිටතට විහිදීම ප්‍රාථමික ලක්‌ෂණයකි. මේ ආදි මානවයා ගේ පාද අස්‌ථි දිගු වූ අතර සිහින් ද විය. ඒවාට ශක්‌තිමත් මාංශපේශි සම්බන්ධ වූ බවට සාධක දැකිය හැකි වූ අතර මේ ලක්‌ෂණවලින් පෙන්වන්නේ මොවුන් වඩා නවීන ලක්‌ෂණයක්‌ වූ ද්වීපාද සංචරණය කළ බවයි.

මේ ආදි මානවයා ගේ පාදයේ ලක්‌ෂණ ගත් විට මදක්‌ වක්‍ර වූ පා ඇඟිලි තිබීම හැරුණු විට අන් ලක්‌ෂණවලට අනුව මොවුන් ගේ පාද නූතන මිනිසුන් ගේ පාද හා සමාන බවක්‌ පැහැදිලිව නිරීක්‌ෂණය කළ හැකි විය. එසේ ම එහි දැකිය හැකි වූ ආරුක්‌කු හැඩයෙන් පෙනුණේ කාර්යක්‌ෂමව පාද ඈතින් තබා යා හැකි බවයි.

එසේ ම Homo naledi මානවයන් ගේ උස ද වර්තමාන මිනිසා ගේ උසට වඩා පැහැදිලිව අඩු විය. ඒ අනුව, වැඩිහිටි පිරිමියකු අඩි 5ක්‌ පමණ උස්‌ වූ අතර, බරින් රාත්තල් සියයක්‌ පමණ වූ බව ගණන් බලා ඇත. කාන්තාවක ගේ උස හා බර මීට වඩා මදක්‌ අඩු විය.

පරිණාමයේ දී Homo naledi සිටිනුයේ කොතැන ද?

මෙහි දී වැදගත් වන්නේ මේ Homo naledi ආදි මානවයන් ජීවත් ව සිටියේ කුමන කාලයක දී ද යන්න ය. මේ අස්‌ථි ශේෂ හමු ව ඇත්තේ ලෙන මතුපිට මෙන්ම නොගැඹුරු පසින් යට වී තිබිය දී ය. මේ නිසා අප්‍රිකාවේ වෙනත් තැන්වල මෙන් නො ව, සාපේක්‌ෂ කාලනිර්ණ ක්‍රම මගින් මේ ලෙන් කුහරය තුළ දී කාලනිර්ණය කිරීමේ ගැටලුවක්‌ ඇති වී තිබේ. කෙසේ වෙතත් මෙහි ප්‍රධාන පර්යේෂකයා ගේ අදහස වන්නේ නිශ්චිත කාලනිර්ණයක්‌ ඉදිරියේ දී ලබාගත හැකි වේ ය යන්න ය.

මේ ආදි මානවයා ජීවත් වූ කාලය පිළිබඳව මත කිහිපයක්‌ සාකච්ඡාවට ලක්‌ ව ඇත. ඒ අනුව වසර මිලියන දෙකකට වඩා අධික කාලයක්‌ පැරැණි නම්, Homo naledi යනු Homo ගණයේ පැරැණි ම සාධක වේ. මේ අනුව උක්‌ත ආදිමානවයා පරිණාමිකව Australopithecus හා Homo යන ගණවල ආදි මානවයන් අතර සිටි සත්ත්වයකු විය හැකි බවක්‌ පෙනේ. එසේ ම මේ ආදි මානවයා ජීවත් වූයේ වසර මිලියනකට වඩා මෑත කාලයේ දී නම්, ඔහු Homo erectus වැනි වෙනත් Homo ගණයේ වෙනත් මානවයන් හා සමඟ සමකාලීන ව ජීවත් වී ඇති බව පෙනේ. එහෙත් එවැනි වඩා මෑත කාලීන දිනයකට ඇත්තේ අඩු අවස්‌ථාවක්‌ බව පර්යේෂකයන් ගේ මතය වේ.

කෙසේ වෙතත් මේ ආදිමානවයා තරමක්‌ උසස්‌ මට්‌ටමේ මානවයකු බවට සාධක මේ වන විට ද ලැබී තිබීම තරමක්‌ පුදුම සහගත කරුණකි. අස්‌ථි ශේෂ හමු වූ ලෙන තුළින් ගල් ආයුධ හෝ ආහාර අවශේෂ හමු වී නොමැත. එසේ ම ඒ ස්‌ථානයෙහි වෙනත් සත්ත්ව ශේෂ නො තිබූ තරම් ය. (එතැනින් හමු ව ඇත්තේ පක්‌ෂි අස්‌ථි කිහිපයක්‌ පමණි). ඒ අනුව මානවයන් මේ ලෙන තුළ ජීවත් වූ බව සිතීමට සාධක නොමැත. අනෙක්‌ කරුණ වන්නේ මෙවැනි දුෂ්කර තැනක පිහිටි කුටියක මානව අස්‌ථි ශේෂ දැකිය හැකි වූයේ කෙසේ ද යන්න ය. මේ ගැන මත කිහිපයක්‌ ඇත - ඔවුන් මේ ලෙන තුළ කොටු වූයේ ද යන්න එක්‌ මතයකි. එහෙත් මේ අස්‌ථි තැන්පත් ව තිබූ ආකාරය අනුව ඒවා දිගු කාලයක්‌ තිස්‌සේ තැන්පත් කළ ඒවා බව පැහැදිලි විය. සතුන් විසින් මේ අස්‌ථි ගෙනෙනු ලැබ නොමැති බව තහවුරු වූයේ අස්‌ථිවල සපා කෑ ලකුණු දැකිය නොහැකි වූ නිසා ය. එසේ ම ගංවතුරකින් ගසාගෙන ආ බවට වූ මතය බිඳවැටුණේ අස්‌ථි සමඟ ගල් වැනි වෙනත් ද්‍රව්‍ය හමු නො වූ නිසා ය. ඒ අනුව මේ අස්‌ථි අයත් දේහ, ඔවුන් ගේ සගයන් විසින් වුවමනාවෙන් ම මේ ස්‌ථානයේ තබන ලද ඒවා බව පර්යේෂකයෝ අනුමාන කරති. එම අස්‌ථි වෙන් ව ඇත්තේ දේහ දිරාපත් වීමේ දී ය. ඇතැම් විට අදාළ සිරුරු ඉහළ තිබූ කුහරයක තැන්පත් කළ පසුව පහළ කුහරයකට වැටෙන්නට ඇති බව සැලකිය හැකි ය. තමන් ගේ මළවුන්ට මේ ආකාරයෙන් ගරු කිරීමේ මෙවැනි හැසිරීමක්‌ දක්‌වා ඇත්තේ නූතන මානවයන් පමණි. (නියෑන්ඩර්තාල් මානවයන් ඇතැම් විට එවැනි කාර්යයක යෙදුණු බවට ද මතයක්‌ ඇත.) ඒ නිසා මළවුන් පිළිබඳව මෙවැනි හැසිරීමක්‌ සිතිය හැකි වීම ද වැදගත් පරිණාමීය වර්ධනයක්‌ සේ සැලකිය හැකි ය.

මේ කරුණු සියල්ල සලකා බලන විට මේ Homo naledi ආදි මානවයන් පිළිබඳ අනාවරණය මානව පරිණාමයේ සැඟවුණු පුරුකක්‌ අනාවරණ වීමේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ සේ සැලකිය හැකි ය.

මූලාශ්‍රය: eLife, DOI: 10.7554/eLife.09560 yd 10.7554/eLife.09561
(ඡායාරූප:National Geographic වෙබ් අඩවියෙනි.)

http://www.vidusara.com/2015/10/07/feature1.html

No comments:

Post a Comment