Friday, October 9, 2015

ලෝකයේ අනාගත සංවර්ධනයේ න්‍යාය පත්‍රය - තිරසර සංවර්ධන අභිමතාර්ථ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.09.2015

Sustainable development Goals - the agenda of the future development

Vidusara, 30.09.2015

http://www.vidusara.com/2015/09/30/feature5.html



පසුගිය සතියේ (2015 සැප්. 25-27) ඇමෙරිකාවේ නිව්යෝක්‌ නගරයේ දී පැවැත්වුණු එක්‌සත් ජාතීන් ගේ තිරසර සංවර්ධන සමුළුවේ දී 'තිරසර සංවර්ධන අභිමතාර්ථ' (Sustainable Development Goals) නම් අලුත් ම සංවර්ධන ඉලක්‌ක සමූහය ඇතුළත් තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය නිල වශයෙන් අනුමත කරන ලදි. 'ගෝලීය අභිමතාර්ථ' (Global Goals) ලෙස ද හැඳින්වෙන මේ අභිමතාර්ථ සමූහය ජගත් මට්‌ටමෙන් අනාගත සංවර්ධන සැලසුම් සඳහා පදනම් වන ඉලක්‌ක සමූහයක්‌ වනු ඇත.

මේ නව ඉලක්‌ක පිළිබඳ අවධානය යොමු වන්නේ 2015 වර්ෂය වන විට අත්පත් කරගැනීම සඳහා වූ සංවර්ධන ඉලක්‌ක සමූහයක්‌ වූ 'සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ' (Millennium Development Goals) අසාර්ථක වන බව පෙනී යැමත් සමග ය. 2000 වර්ෂයේ දී ඇති කරගත් මේ ඉලක්‌ක ලෝකයේ රටවල සංවර්ධන වැඩපිළිවෙළ සකස්‌ කිරීමට මෙන්ම සංවර්ධන ආධාර ලබා දීමේ දී ද වැදගත් විය. එහෙත් මේ ඉලක්‌ක කරා ළඟා වීමේ දී ඇතැම් රටවල් මේවා සාර්ථකව අත්පත් කරගන්නා බවක්‌ පෙනුණ ද තවත් රටවලට එසේ කළ නොහැකි බව පැහැදිලි විය. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ වන විට ලෝක ජනගහනයෙන් බිලියනයක්‌ පමණ දිනකට ඩොලර් 1.25කට අඩු ආදායමක්‌ ලබන අතර, මිලියන 800කට අධික පිරිසකට යෑපීමට ප්‍රමාණවත් තරම් ආහාර නොමැත. එමෙන් ම අභිමතාර්ථ අටකට පමණක්‌ සීමා වීම නිසා ඇතැම් අත්‍යවශ්‍ය අංශ ආවරණය නො වූ බවට ද විවේචන තිබිණි. ආර්ථරික සංවර්ධනය මීට නිදසුනකි.

මේ නිසා, සහස්‍ර සංවර්ධන අභිමතාර්ථවලින් ඉදිරියට ගිය ඵලදායී වූ සංවර්ධන අභිමතාර්ථ සමූහයක්‌ ඇති කරගැනීම අවශ්‍ය විය. මේ තත්ත්වය හමුවේ 2012 වර්ෂයේ දී බ්‍රසීලයේ රියෝ ද ජැනේරෝ නගරයේ පැවැති එක්‌සත් ජාතීන් ගේ තිරසර සංවර්ධන සමුළුවේ දී (Rio+20) තිරසර සංවර්ධන අභිමතාර්ථ සමූහයක්‌ සකස්‌ කිරීමට එකඟ වූ අතර ඒ සඳහා විවෘත ක්‍රියාකාරී කණ්‌ඩායමක්‌ ද පිහිටුවීමට තීරණය කරන ලදි. එසේ ම 2015 වර්ෂයෙන් පසු කාලය සඳහා වූ එක්‌සත් ජාතීන් ගේ සංවර්ධන න්‍යායපත්‍රයට මේ නව අභිමතාර්ථ ඇතුළත් කිරීම සඳහා ද එකඟතාව පළ විය.

මේ නව අභිමතාර්ථ සකස්‌ කිරීම සඳහා ක්‍රියාකාරී කණ්‌ඩායමට රටවල් 70ක පමණ නියෝජිතයන් අයත් වූ අතර, එහි අවසන් කෙටුම්පත 2014 ජූලි මාසය වන විට සකස්‌ වී තිබිණි. මෙහි දී අනුගමනය කරන ලද ක්‍රියාවලිය මෙතෙක්‌ අනුගමනය කරන ලද පුළුල් ම ක්‍රියාවලියක්‌ සේ සැලකේ. එසේ සකස්‌ කරන ලද අභිමතාර්ථ සමූහය ඇතුළත් පශ්චාත් 2015 සංවර්ධන න්‍යාය පත්‍රය 2014 වර්ෂයේ පැවැති එක්‌සත් ජාතීන් ගේ මහා මණ්‌ඩලයේ 68 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ලදි. ඉන් පසු සාමාජික රටවල අදහස්‌ ද සැලකිල්ලට ගෙන 2015 අගෝස්‌තු මාසය වන විට පොදු එකඟතාවක්‌ ඇති කර ගැනිණි.

ඒ අනුව පසුගිය සති අන්තයේ ඇමෙරිකාවේ නිව්යෝක්‌ නගරයේ දී පැවැති සමුළුවේ දී අනුමත කරන ලද්දේ 'ලෝකය පරිවර්තනය කිරීම( තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යායපත්‍රය' (Transforming our world: the 2030 Agenda for Sustainable Development) යනුවෙන් හැඳින්වෙන මේ රාමුවයි.

තිරසර සංවර්ධන අභිමතාර්ථ

මේ තිරසර සංවර්ධන අභිමතාර්ථවලට අභිමතාර්ථ (goals) 17ක්‌ හා ඒ හා සම්බන්ධ ඉලක්‌ක (targets) 169ක්‌ පමණ ඇතුළත් ය. මේවා තිරසර සංවර්ධනය හා සම්බන්ධ අංශ රැසක්‌ ආවරණය කරයි. මේ අභිමතාර්ථ හා ඉලක්‌ක 2016 ජනවාරි මස පළමුවැනි දා සිට බලපැවැත්වෙනු ඇති අතර ඒවා සාක්‌ෂාත් කරගැනීමේ අවසන් ඉලක්‌කය වන්නේ 2030 වර්ෂයයි. එනම් වසර පහළොවක පමණ කාලයකි.

තිරසර සංවර්ධන අභිමතාර්ථවල වැදගත් කරුණක්‌ වන්නේ මෙය ලෝකයේ සැම රටකට ම අදාළ ඒවා වීමයි. (සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ බොහෝ දුරට දියුණු වන රටවලට අදාළ විය). එසේ ම සංවර්ධනය සඳහා අදාළ අංශ වැඩි ප්‍රමාණයක්‌ ආවරණය වන ලෙස වැඩි අභිමතාර්ථ ගණනක්‌ තිබීම ද තිරසර සංවර්ධන අභිමතාර්ථවල වැදගත් වර්ධනයකි. මෙතෙක්‌ එතරම් සාකච්ඡාවට නො ගැනුණු කාන්තාවන් බලගැන්වීම, සාමය හා ආරක්‌ෂාව හා යහපාලනය වැනි සංකල්ප ඊට ඇතුළත් ව තිබීම මීට නිදසුන් වේ.

අනාගත ලෝකයේ සංවර්ධනය සැලසුම් වනු ඇත්තේ මේ නව අභිමතාර්ථ මත පදනම් වෙමිනි. ඉදිරියේ දී සියලු රටවල් මේ අභිමතාර්ථ සිය සංවර්ධන ප්‍රතිපත්තිවලට ඇතුළත් කරගනු ඇත. එහෙත් එය අභියෝගයක්‌ විය හැකි බව පැහැදිලි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් මේ ඉලක්‌ක අත්පත් කරගැනීමට නම් ඒ සඳහා සැලකිය යුතු ආයෝජනයක්‌ සිදු කළ යුතු වේ. ආන්තික දරිද්‍රතාව නැති කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 66ක පමණ මුදලක්‌ අවශ්‍ය බව ගණන් බලා තිබේ. එසේ ම ජලය, කෘෂිකර්මය, ප්‍රවාහනය හා බලශක්‌තිය වැනි යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා වාර්ෂිකව අවශ්‍ය කරන මුදල ද විශාල ය. සමස්‌තයක්‌ ලෙස මේ ඉලක්‌ක අත්පත් කරගැනීමට නම් වාර්ෂිකව ඩොලර් ටි්‍රලියන 3ක්‌ අවශ්‍ය බව පෙන්වා දී තිබේ. මේ මුදල් සොයාගන්නේ කෙසේ ද යන්න මෙහි දී ඇති ගැටලුව වේ. ඒ ඒ රටවල මහජන මුදල් මෙන්ම ආධාර මුදල් තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්‌ෂාත් කරගැනීම සඳහා යොදාගන්නා ප්‍රධාන මූල්‍ය ප්‍රභවය වනු ඇත. එහෙත් බදු ප්‍රතිපත්ති වෙනස්‌ කිරීම හරහා පෞද්ගලික අංශයෙන් ද, දූෂණය හා නීතිවිරෝධී මූල්‍ය කටයුතු නැවැත්වීම මගින් ද අරමුදල් සම්පාදනය කිරීම ගැන ද අවධානය යොමු වී ඇති බව පෙනේ. කෙසේ වෙතත්, පසුගිය ජුලි මාසයේ දී ඉතියෝපියාවේ දී පැවැති සමුළුවක දී පැහැදිලි වූයේ මේ අභිමතාර්ථ සාක්‌ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කරගැනීම අසීරු විය හැකි ය යන්න අවධානයට ලක්‌ විය යුතු යුතු කරුණක්‌ බවයි.

මේ අනුව නව ඉලක්‌ක අත්පත් කරගැනීම අභියෝගයක්‌ බව පැහැදිලි ය. කෙසේ වෙතත් මේ අභියෝග ජයගනිමින්, තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්‌ෂාත් කරගැනීමට කටයුතු කරනු ඇති බවත්, එමගින් ලෝකයේ යම් පරිවර්තනයක්‌ ඇති කළ හැකි වනු ඇතැයි ද යන්නත් ලෝකයේ ම අපේක්‌ෂාව වේ.

අභිමතාර්ථ හා ඉලක්‌ක


තිරසර සංවර්ධන අභිමතාර්ථ 17 හා ඒවාට අයත් ඉලක්‌ක 169 අතරින් වැදගත් ඉලක්‌ක මෙසේ ය. (අදාළ ඉලක්‌ක සියල්ල මෙහි සඳහන් නො වන බව කරුණාවෙන් සලකන්න).

1. දරිද්‍රතාව එහි සැම ආකාරයකින් ම සැම තැනින් ම අවසන් කිරීම


  • ආන්තික දරිද්‍රතාව (දිනකට ඩොලර් 1.25ට අඩු ආදායම් ලබන) 2030 වන විට මුලිනුපුටා දැමීම.
  • ඒ ඒ රටවල ජාතික නිර්ණායක අනුව දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාව ගේ ප්‍රමාණය 2030 වන විට අඩකින් පමණ අඩු කිරීම.
  • 2030 වන විට දුප්පත් හා අවදානම් කාණ්‌ඩයේ ජනතාවට ආර්ථික සම්පත්වලට සමාන ප්‍රවේශයක්‌ තිබීම.
  • දුප්පත් හා අවදානම් ජන කොටස්‌ දේශගුණය හා සම්බන්ධ ආන්තික තත්ත්ව හා ආපදා අවස්‌ථාවලින් ඇති වන බලපෑම්වලට ඔරොත්තු දීම.

2. කුසගින්නේ පසු වීම අවසන් කිරීම, ආහාර සුරක්‌ෂිතතාව හා ඉහළ පෝෂණයක්‌ අත්පත් කරගැනීම හා තිරසර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම

  • 2030 වර්ෂය වන විට ජනතාව කුසගින්නේ පසු වීම නිමා කිරීම හා සැම ජන කොටසකට ම ආරක්‌ෂිත, පෝෂණයෙන් යුක්‌ත, ප්‍රමාණවත් ආහාර වසර පුරා ලැබීම තහවුරු කිරීම.
  • 2030 වර්ෂය වන විට විවිධ මන්දපෝෂණ තත්ත්ව අවසන් කිරීම හා වසර 5ට අඩු දරුවන් ගේ වයසට සරිලන උසක්‌ නොමැති වීම හා උසට සරිලන බරක්‌ නොමැති වීම පිළිබඳ ඉලක්‌කවලට 2025 දී ළඟා වීම.
  • 2030 වන විට කෘෂිකාර්මික ඵලදායකත්වය දෙගුණයක්‌ කිරීම, කුඩා පරිමාණ ආහාර නිෂ්පාදකයන් ගේ ආදායම දෙගුණයක්‌ කිරීම.
  • 2030 වන විට තිරසර ආහාර නිෂ්පාදන පද්ධති තහවුරු කිරීම හා ප්‍රත්‍යස්‌ථ කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීම.
  • 2020 වන විට බීජ, වගා කරන භෝග, ඇති කරන හා ගෘහාශ්‍රිතකරණය කළ සතුන් හා එAවායේ වල් දර්ශ හා විශේෂවල විවිධත්වය ආරක්‌ෂා කිරීම.

3. නිරෝගී ජීවිතයක්‌ තහවුරු කිරීම හා සියලු දෙනාට, සැම වයසක දී ම යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම
  • ගෝලීය මාතෘ මරණ අනුපාතය 2030 වර්ෂය වන විට සජීවී දරු උපත් 100,000කට 70 දක්‌වා අඩු කිරීම.
  • අලූත උපන් දරුවන් ගේ හා වයස අවුරුදු 5ට අඩු දරුවන් ගේ වළක්‌වාගත හැකි මරණ 2030 වන විට අවසන් කිරීම, අලුත උපන් දරුවන් ගේ මරණ ප්‍රමාණය උපත් 1,000කට 12 දක්‌වා අඩු කිරීම හා අවුරුදු 5ට අඩු දරුවන් ගේ මරණ ප්‍රමාණය උපත් 1000කට 25 දක්‌වා අඩු කිරීම.
  • 2030 වන විට ඒඩ්ස්‌, ක්‌ෂයරෝගය, මැලේරියාව හා වෙනත් නිවර්තන කලාපීය රෝග මුලිනුපුටා දැමීම හා සෙංගමාලය, ජලය මගින් බෝ වන රෝග හා බෝ වන රෝග වැළැක්‌වීම.
  • 2020 වන විට මාර්ග අනතුරුවලින් සිදු වන මරණ හා තුවාල වීම් අඩකින් අඩු කිරීම.
  • සුදුසු පරිදි දුම්කොළ පාලනය පිළිබඳ රාමුගත සම්මුතිය ක්‍රියාත්මක කිරීම ශක්‌තිමත් කිරීම.

4. සමාන හා අන්තර්ග්‍රහණීය (inclusive- සියලු සමාජ ස්‌තරයන්ට අවස්‌ථාවක්‌ ලැබෙන) වූ අධ්‍යාපනයක්‌ ලැබීම තහවුරු කිරීම හා සැමට ජීවිත කාලය පුරා අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථා ප්‍රවර්ධනය

  • 2030 වන විට සියලු ගැහැනු හා පිරිමි ළමයින් නිදහස්‌, සමාන හා ගුණාත්මක බවින් යුක්‌ත වූ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයක්‌ ලැබීම තහවුරු කිරීම.
  • 2030 වන විට සියලු ගැහැනු හා පිරිමි ළමයින්, උසස්‌ තත්ත්වයේ පූර්ව ළමා විය සංවර්ධනයක්‌ සඳහා ප්‍රවේශය ලැබීම.
  • 2030 වන විට සියලු ගැහැනු හා පිරිමි සඳහා දරාගත හැකි හා ගුණාත්මක වූ තාක්‌ෂණික, වෘත්තීය හා තෘතීයික අධ්‍යාපනයක්‌ (විශ්වවිද්‍යාලය ද ඇතුළු) සඳහා සමාන ප්‍රවේශයක්‌ ලැබීම තහවුරු කිරීම.
  • 2030 වන විට සියලු තරුණ පිරිස්‌ හා වැඩිහිටියන් අතරින් සැලකිය යුතු පිරිසක ගේ සාක්‌ෂරතාව හා සංඛ්‍යා හැකියාව ලැබීම තහවුරු කිරීම.
  • දියුණු වන හා විශේෂයෙන් අඩු දියුණු රටවලට ලබා දෙන අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම.

5. ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය අත්පත් කරගැනීම හා කාන්තාවන් හා ගැහැනු ළමයින් බලගැන්වීම

  • කාන්තාවන් හා ගැහැනු ළමයින්ට එරෙහි ව සිදු වන සැම ආකාරයක ම වෙනස්‌කම් අවසන් කිරීම.
  • කාන්තාවන් හා ගැහැනු ළමයින්ට එරෙහි ව පොදු හා පෞද්ගලික ස්‌ථානවල සිදු වන සියලු ආකාරයේ ප්‍රචණ්‌ඩතා අවසන් කිරීම.
  • තීරණ ගන්නා දේශපාලන, ආර්ථික හා පොදු ජීවිතයේ සියලු මට්‌ටම්වල දී කාන්තාවන් ගේ පූර්ණ හා ඵලදායී සහභාගිත්වය හා නායකත්වය සඳහා වන අවස්‌ථා තහවුරු කිරීම.

6. සැමට ජලය ලැබීම හා තිරසර කළමනාකරණය හා හා සනීපාරක්‌ෂාව ලැබීම තහවුරු කිරීම

  • සියලු දෙනාට ම ආරක්‌ෂිත හා මිල දරාගත හැකි පානීය ජලය ලබාගැනීමට ජගත් මට්‌ටමින් සමාන අවස්‌ථා ලැබීම 2030 වන විට තහවුරු කිරීම.
  • 2030 වන විට ප්‍රමාණවත් හා සමාන සනීපාරක්‌ෂාවක්‌ හා ස්‌වස්‌ථතාවක්‌ ලැබීමේ අවස්‌ථා සියලු දෙනාට ම අත්පත් කරගැනීම.
  • ජල දූෂණය අඩු කිරීම, හානිකර රසායන ද්‍රව්‍ය හා ද්‍රව්‍ය එක්‌ කිරීම අවසන් කිරීම හා පිළියම් නො කරන ලද අපජල ප්‍රමාණය අඩක්‌ බවට පත් කිරීම හා ජල ප්‍රතිචක්‍රිකරණය හා ආරක්‌ෂිත නැවත භාවිතය ඉහළ නැංවීම මගින් ජලයේ ගුණාත්මක බව 2030 වන විට වැඩිදියුණු කිරීම.
  • 2030 වන විට සියලු අංශවල ජල භාවිතයේ කාර්යක්‌ෂමතාව සැලකිය යුතු තරම් ඉහළ නැංවීම, ජල හිඟය දුරලීම සඳහා මිදිය සැපයීම හා ජල හිඟයෙන් පීඩා විඳින ජන ප්‍රමාණය අඩු කිරීම.
  • ජලාශ්‍රිත පරිසර පද්ධති ආරක්‌ෂා කිරීම හා ප්‍රතිස්‌ථාපනය කිරීම.
  • ජලය හා සනීපාරක්‌ෂාව කළමනාකරණය වර්ධනය කිරීමේ දී ප්‍රාදේශීය ප්‍රජාව ගේ සහභාගිත්වය ශක්‌තිමත් කිරීම හා සහාය දීම.

7. දරාගත හැකි, විශ්වස්‍ය වූ, තිරසර හා නූතන බලශක්‌තිය සඳහා ප්‍රවේශය සැමට තහවුරු කිරීම

  • 2030 වන විට දරාගත හැකි, විශ්වස්‍ය හා නවීන බලශක්‌ති සේවා ලැබීම තහවුරු කිරීම.
  • 2030 වන විට ජගත් බලශක්‌ති මිශ්‍රණයේ ඇති පුනර්ජනනය කළ හැකි විදුලිබල ප්‍රමාණය සැලකිය යුතු තරම් ඉහළ නැංවීම.
  • බලශක්‌ති කාර්යක්‌ෂමතාව වර්ධනයේ ජගත් මට්‌ටමේ වේගය 2030 වන විට දෙගුණ කිරීම.
  • පිරිසිදු බලශක්‌තිය පිළිබඳ පර්යේෂණ හා තාක්‌ෂණය පිළිබඳව ජාත්‍යන්තර සහයෝගිතාව 2030 වන විට වැඩිදියුණු කිරීම.

8. දරාගත හැකි, අන්තර්ග්‍රහණීය සහ තිරසර ආර්ථික වර්ධනයක්‌, සම්පූර්ණ හා ඵලදායී රැකියාවක්‌ හා සැමට ගෞරවාන්විත වෘත්තියක්‌ ලැබීම ප්‍රවර්ධනය කිරීම

  • ජාතික තත්ත්ව අනුව එAක පුද්ගල ආර්ථික වර්ධනය පවත්වාගැනීම හා විශේෂයෙන්, අඩු සංවර්ධනයක්‌ ඇති රටවල දළ දේශීය නිෂ්පාදිතයේ 7%ක වර්ධනයක්‌ වාර්ෂිකව පවත්වාගැනීම.
  • විවිධාංගීකරණය, තාක්‌ෂණික දියුණුව හා නව සොයාගැනීම් මගින් ඉහළ මට්‌ටමක ආර්ථික ඵලදායිත්වයක්‌ ලබාගැනීම.
  • නිෂ්පාදනයේ හා පරිභෝජනයේ දී ජගත් මට්‌ටමේ සම්පත් කාර්යක්‌ෂමතාව 2030 වන විට වර්ධනය කරගැනීම හා ආර්ථික සංවර්ධනය පරිසර හායනයෙන් වියුග්මනය කිරීම.
  • 2020 වන විට රැකියාවක, අධ්‍යාපනයේ හෝ පුහුණුවක යෙදී නො සිටින තරුණ පිරිසේ ප්‍රමාණය සැලකිය යුතු තරම් අඩු කිරීම.
  • කම්කරු අයිතීන් සුරක්‌ෂිත කිරීම හා ආරක්‌ෂිත සේවා පරිසරයක්‌ තිබීම ප්‍රවර්ධනය කිරීම.

9. ප්‍රත්‍යස්‌ථ වූ යටිතල පහසුකම් තැනීම, අන්තර්ග්‍රහණය හා තිරසර කාර්මිකකරණයක්‌ ප්‍රවර්ධනය, නවෝත්පාදනය ධෛර්යවත් කිරීම

  • අන්තර්ග්‍රහණය හා තිරසර කාර්මිකකරණයක්‌ ප්‍රවර්ධනය කිරීම හා කර්මාන්ත අංශය රැකියා ප්‍රමාණයට හා දළ ජාතික නිෂ්පාදනයට දක්‌වන දායකත්වය 2030 වන විට සැලකිය යුතු තරමින් ඉහළ නැංවීම.
  • විශේෂයෙන් දියුණු වන රටවල කුඩා පරිමාණයේ කර්මාන්ත හා ව්‍යාපාරවලට ලැබෙන මූල්‍ය පහසුකම් හා වෙළෙඳපොළ සඳහා ඇති ප්‍රවේශය ඉහළ නැංවීම.
  • 2030 වන විට යටිතල පහසුකම් හා කර්මාන්ත වැඩිදියුණු කිරීමෙන් එAවා තිරසර කිරීම, සම්පත් භාවිතයේ කාර්යක්‌ෂමතාව ඉහළ නැංවීම, පිරිසිදු හා පරිසර හිතකාමී තාක්‌ෂණය යොදාගැනීම.

10. රටවල් ඇතුළත හා රටවල් අතර ඇති අසමානතාව අඩු කිරීම

  • රටක ජනගහනයේ අඩු ආදායමක්‌ ලබන 40%ක්‌ පමණ පිරිස ගේ ආර්ථික වර්ධනය 2030 වන විට එහි ජාතික සාමාන්‍යයට වඩා ඉහළ තත්ත්වයක පවත්වාගැනීම.
  • වයස, ස්‌ත්‍රී-පුරුෂභාවය, ආබාධිත බව ආදී කරුණු නො සලකා සමාජ, ආර්ථික හා දේශපාලනමය වශයෙන් 2030 වන විට සියලු දෙනා අන්තර්ග්‍රහණය කිරීම ප්‍රවර්ධනය.
  • පිස්‌කල්, වැටුප් හා සමාජ ආරක්‌ෂණ ප්‍රතිපත්ති පිළිගැනීමෙන් වැඩි සමානතාවක්‌ අත්පත් කරගැනීම.

11. නගර හා මානව ජනාවාස අන්තර්ග්‍රහණය, ආරක්‌ෂිත, ප්‍රත්‍යස්‌ථ හා තිරසර බවට පත් කිරීම

  • 2030 වන විට සියලු දෙනාට ම ප්‍රමාණවත්, ආරක්‌ෂිත හා මිල දරාගත හැකි නිවාස ලැබීම තහවුරු කිරීම.
  • ආරක්‌ෂිත, මිල දරාගත හැකි, තිරසර ප්‍රවාහන පද්ධති සඳහා වූ ප්‍රවේශය සියලු දෙනාට ම 2030 වන විට ලබා දීම, මාර්ග ආරක්‌ෂාව වැඩි දියුණු කිරීම හා පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම.
  • 2030 වන විට තිරසර නාගරීකකරණය වැඩිදියුණු කිරීම.
  • ලෝකයේ සංස්‌කෘතික හා ස්‌වාභාවික උරුමය ආරක්‌ෂා කිරීමට ගන්නා උත්සාහය ශක්‌තිමත් කිරීම.
  • වාතයේ ගුණාත්මක බව හා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂ සැලකිල්ලකින් යුක්‌තව නගරවල ඒක පුද්ගල පාරිසරික බලපෑම 2030 වන විට අඩු කිරීම.
  • සම්පත් කාර්යක්‌ෂමතාව, අන්තර්ග්‍රහණීය බව, දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම හා අනුහුරු වීම, ආපදාවලට ප්‍රත්‍යස්‌ථ වීම වැනි කරුණු පිළිබඳව ප්‍රතිපත්ති හා සැලසුම් ඇති කිරීම සඳහා යොමු වූ නගර හා මානව ජනාවාස ප්‍රමාණය 2020 වන විට ඉහළ නැංවීම.

12. තිරසර පරිභෝජන හා නිෂ්පාදන රටා තහවුරු කිරීම

  • තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය පිළිබඳ දස අවුරුදු රාමුව ක්‍රියාත්මක කිරීම.
  • ස්‌වාභාවික සම්පත් තිරසර කළමනාකරණය හා කාර්යක්‌ෂම භාවිතය 2030 වන විට අත්පත් කරගැනීම.
  • සිල්ලර අලෙවිසල් හා පාරිභෝගික මට්‌ටමින් සිදු වන ඒක පුද්ගල ආහාර අපතේ යැම 2030 වන විට අඩක්‌ බවට පත් කිරීම.
  • රසායන ද්‍රව්‍ය හා සියලු අපද්‍රව්‍ය 2020 වන විට තිරසර ආකාරයෙන් කළමනාකරණය කිරීම.
  • වැළැක්‌වීම, අඩු කිරීම, ප්‍රතිචක්‍රිකරණය හා ප්‍රතිභාවිතය හරහා අපද්‍රව්‍ය ජනනය වීම 2030 වන විට සැලකිය යුතු තරමින් අඩු කිරීම.
  • තිරසර සංචරණයේ තිරසර සංවර්ධන බලපෑම් නිරීක්‌ෂණය සඳහා මෙවලම් නිර්මාණය හා ක්‍රියාත්මක කිරීම.

13. දේශගුණ වෙනස්‌ වීම හා එහි බලපෑම් වැළැක්‌වීම සඳහා කඩිනම් පියවර ගැනීම
  • දේශගුණය හා සම්බන්ධ ආපදා හා ස්‌වාභාවික ආපදා සම්බන්ධව ප්‍රත්‍යස්‌ථ බව හා අනුහුරු වීමේ ධාරිතාව ශක්‌තිමත් කිරීම.
  • ජාතික ප්‍රතිපත්ති, උපායමාර්ග හා සැලසුම් සඳහා දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ පියවර එAකාබද්ධ කිරීම.
  • දේශගුණ වෙනස්‌වීම අවම කිරීම, අනුහුරු වීම හා බලපෑම් අඩු කිරීම හා පූර්ව අනතුරු හැඟවීම් පිළිබඳව අධ්‍යාපනය, අවබෝධය හා ධාරිතාව වර්ධනය කිරීම.
  • දියුණු වන රටවල දේශගුණ වෙනස්‌ වීම හා එහි බලපෑම් වැළැක්‌වීම සඳහා 2020 වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 100ක අරමුදලක්‌ දියුණු රටවල දායකත්වයෙන් සම්පාදනය කිරීමේ ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීම.
14. සාගර. මුහුදු හා සමුද්‍රීය සම්පත් සංරක්‌ෂණය කිරීම හා තිරසර සංවර්ධනය සඳහා යොදාගැනීම
  • සියලූ ආකාරයේ සාගර දූෂණය 2025 වන විට වැළැක්‌වීම හා සැලකිය යුතු තරම් අඩු කිරීම.
  • සාගර හා වෙරළ පරිසර පද්ධති 2020 වන විට තිරසර ආකාරයෙන් කළමනාකරණය කිරීම හා ආරක්‌ෂා කිරීම.
  • සාගරය ආම්ලිකකරණය වීමේ බලපෑම් අවම කිරීම හා පිළියම් යෙදීම.
  • සාගරයේ ධීවර අස්‌වනු නෙළීම හා අධික ලෙස මසුන් මැරීම, නීති විරෝධී ව ධීවර සම්පත නෙළීම, හානිකර ධීවර උපක්‍රම භාවිතය 2020 වන විට සාර්ථකව පාලනය කිරීම.
  • 2020 වන විට ලෝකයේ සාගර හා වෙරළ ප්‍රදේශවලින් 10%ක්‌ පමණ සංරක්‌ෂණය කිරීම.
15. භෞමික පරිසර පද්ධති ආරක්‌ෂා කිරීම, ප්‍රතිස්‌ථාපනය කිරීම හා තිරසර භාවිතය ප්‍රවර්ධනය කිරීම, වනාන්තර තිරසර ආකාරයෙන් කළමනාකරණය කිරීම, කාන්තාරණය වැළැක්‌වීම, භූමි හායනය නවත්වා එය ප්‍රතිවර්තනය කිරීම හා ජෛව විවිධත්වය අහිමි වීම නැවැත්වීම
  • 2020 වන විට භෞමික හා අභ්‍යන්තර මිරිදිය පරිසර පද්ධති සංරක්‌ෂණය, ප්‍රතිස්‌ථාපනය හා තිරසර භාවිතය තහවුරු කිරීම.
  • 2020 වන විට සියලු වනාන්තර තිරසර කළමනාකරණය ප්‍රවර්ධනය හා ක්‍රියාත්මක කිරීම, වන විනාශය නැවැත්වීම, හායනයට ලක්‌ වූ වනාන්තර ප්‍රතිස්‌ථාපනය කිරීම, නැවත වන වගාව හා වන වගාව වැඩි කිරීම. 
  • 2030 වන විට කාන්තාරණය වැළැක්‌වීම, හායනයට ලක්‌ වූ භූමිය හා පස ප්‍රතිස්‌ථාපනය කිරීම.
  • 2030 වන විට කඳුකර පරිසර පද්ධති සංරක්‌ෂණය කිරීම.
  • ස්‌වාභාවික වාසස්‌ථාන හායනය අඩු කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම, ජෛව විවිධත්වය අහිමි වීම නැවැත්වීම හා තර්ජනයට ලක්‌ ව ඇති විශේෂ වඳ වී යැම 2020 වන විට වැළැක්‌වීම.
  • ප්‍රවේණික සම්පත් භාවිතයේ ප්‍රතිලාභ සාධාරණ අයුරින් බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීම.
  • දඩයම, ආරක්‌ෂිත විශේෂ නීතිවිරෝධී ව ප්‍රවාහනය කිරීම හා නිතිවිරෝධී වනජීවී ද්‍රව්‍ය ඉල්ලුම හා සැපයුම පාලනය සඳහා කඩිනම් පියවර ගැනීම. 
  • ආක්‍රමණික විශේෂ හඳුන්වා දීම වැළැක්‌වීමට හා ඒවායේ බලපෑම් සැලකිය යුතු මට්‌ටමින් අඩු කිරීමට අවශ්‍ය පියවර 2020 වන විට හඳුන්වා දීම හා ප්‍රමුඛතා විශේෂ මුලිනුපුටා දැමීම.
  • ජෛව විවිධත්ව හා පරිසර පද්ධති වටිනාකම් ජාතික හා ප්‍රාදේශීය සැලසුම් සඳහා එක්‌ කරගැනීම.
  • පරිසර පද්ධති හා ජෛව විවිධත්වය සංරක්‌ෂණය හා තිරසර භාවිතය සඳහා මූල්‍ය සම්පත් සංචලනය හා වර්ධනය කිරීම.
16. තිරසර සංවර්ධනය සඳහා වූ සාමකාමී හා අන්තර්ග්‍රහණය වූ සමාජ ප්‍රවර්ධනය හා සැමට සාධාරණය සඳහා ප්‍රවේශය සැපයීම හා වග වීමක්‌ සහිත හා අන්තර්ග්‍රහණය වූ ආයතන සැම මට්‌ටමක ම ස්‌ථාපිත කිරීම
  • ගැටුම් හා ඒ නිසා ඇති වන මරණ සැම ප්‍රදේශයකින් ම සැලකිය යුතු තරම් අඩු කිරීම.
  • ළමයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසන, අපහරණය ආදිය අවසන් කිරීම.
  • ජාතික හා ජාත්‍යන්තර මට්‌ටමින් නීතියේ පාලනය ප්‍රවර්ධනය කිරීම.
  • සියලු ආකාරයේ අල්ලස හා දූෂණය සැලකිය යුතු තරමින් අඩු කිරීම.
  • සියලු මට්‌ටම්වල දී වගවීමක්‌ සහිත හා විනිවිදභාවයෙන් යුතු ආයතන වර්ධනය කිරීම.
17. තිරසර සංවර්ධනය සඳහා වූ ගෝලීය සහයෝගිතාව ක්‍රියාත්මක කිරීමේ හා නව ජීවයක්‌ දීමේ මාර්ග ශක්‌තිමත් කිරීම
  • දේශීය සම්පත් සංචලනය (mobilization - යෙදවීම) ශක්‌තිමත් කිරීම. 
  • දියුණු වන රටවලට අතිරේක මූල්‍ය සම්පත් සංචලනය.
  • උතුරු-දකුණු, දකුණු-දකුණු හා කලාපීය හා ජාත්‍යන්තර සම්බන්ධතා මගින් විද්‍යාව, තාක්‌ෂණය හා නවෝත්පාදනය පිළිබඳ කටයුතු කිරීම.
  • පරිසර හිතකාමී තාක්‌ෂණය දියුණු වන රටවලට ලබා දීම හා දියුණු කිරීම. 
  • දියුණු වන රටවල තිරසර සංවර්ධන අභිමතාර්ථ සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය ධාරිතා සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා දීම.
  • දියුණු වන රටවල අපනයන වර්ධනය කිරීම හා අඩු දියුණු රටවල අපනයන ප්‍රමාණය 2020 වන විට දෙගුණයක්‌ බවට වර්ධනය කිරීම.

No comments:

Post a Comment