Tuesday, October 6, 2015

වගකීම් සහගත පාරිසරික සංචරණය

ධනේෂ් විසුම්පෙරුම

(Responsible tourism)

විදුසර, පි. 5, Vidusara, 23.09.2015

http://www.vidusara.com/2015/09/23/feature1.html



සංචාරක කර්මාන්තය හෙවත් සංචරණය අපේ රටේ වේගයෙන් වර්ධනය වන අංශ අතරින් එකකි. 2009 වර්ෂයෙන් පසුව රටේ ඇති වී තිබෙන සාමකාමී වාතාවරණය තුළ මෑත කාලයේ සංචාරක කර්මාන්තයේ වේගවත් වර්ධනයක්‌ ඇති විය. නිදසුනක්‌ ලෙස ගත හොත් 2009 වර්ෂයේ දී මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් ගේ ප්‍රමාණය 447,000ක්‌ පමණ වූ අතර, 2014 වර්ෂයේ දී මේ ප්‍රමාණය 1,500,000 ඉක්‌මවා ගොස්‌ තිබේ. එසේ ම දේශීය සංචාරකයන් ද විශාල ලෙසින් අපේ රටේ පිහිටි විවිධ සංචාරක ස්‌ථාන නැරඹීමට යැම දැන් දැකිය හැකි ය. මෙය අපේ රටේ ආර්ථිකය සඳහා වැදගත් වන අංශයක්‌ වේ.

දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ගේ ආකර්ෂණයට ලක්‌ වූ මෙරට දැකිය හැකි ස්‌ථාන අතර ස්‌වාභාවික පරිසර පද්ධති බෙහෙවින් වැදගත් තැනක්‌ ගනියි. නිදසුනක්‌ ලෙස ගත හොත් රට වටා පිහිටි වෙරළ තීරය හා ජාතික වනෝද්‍යාන ආදිය දැක්‌විය හැකි ය. විශේෂයෙන් වනජීවීන් හා ස්‌වාභාවික පරිසරය සම්බන්ධව ගත හොත් අපේ රටේ සැලකිය යුතු විවිධත්වයක්‌ තිබීම නිසා සංචාරක කර්මාන්තයට යෝග්‍ය වටපිටාවක්‌ රටේ පවතී.

කෙසේ වෙතත්, අපේ රටේ වනෝද්‍යාන දෙකකින් මෑත කාලයේ දී වාර්තා වූ සිදුවීම් දෙකක්‌ අපේ සංචාරක කර්මාන්තය පිළිබඳව සිතා බැලිය යුතු කරුණු කිහිපයක්‌ සිහිපත් කර දෙයි. ඉන් පළමුවැන්න වන්නේ යාල වනෝද්‍යානයේ දී වාහනයක ගැටී කොටියකු මිය යැමේ සිදු වීමයි. දෙවැන්න වන්නේ මින්නේරිය වනෝද්‍යානයේ දී දැකිය හැකි වූ සංචාරකයන් ගේ අනුමත කළ නොහැකි හැසිරීම් ය.

වාහනවල ගැටීමෙන් වනජීවීන්ට අනතුරු


පසුගිය අගෝස්‌තු මස අවසන් සතියේ දිනක උදෑසන යාල ජාතික උද්‍යානයේ මාර්ගයක තිබී කොටි දෙනක ගේ සිරුරක්‌ හමු වීම මින් පළමු සිදුවීමයි. කොඳු ඇට පෙළට සිදු වූ හානිය නිසා සිදු ව තිබූ එම මරණයට හේතුව වාහනයක ගැටීම විය හැකි බව බලධාරීන් විසින් සැක කරන ලදි. මේ සඳහා වගකිවයුත්තේ රාත්‍රි කාලයේ මේ වනෝද්‍යානයේ සංචාරක බංගලාවක රාත්‍රිය ගත කළ පිරිසක්‌, රාත්‍රි කාලයේ වනෝද්‍යානයේ නීති විරෝධී ව සිදු කළ සංචාරයක්‌ බව ඇතැම් පාර්ශ්ව විසින් පෙන්වා දෙනු ලැබ තිබිණි. මේ ලිපිය ලියන මොහොත වන විට ද මේ සිදුවීම සම්බන්ධ සත්‍යය අනාවරණය වී නො තිබිණි.

යාල ජාතික උද්‍යානයේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් යොමු වී ඇත්තේ කොටින් පිළිබඳව ය. මේ නිසා කොටින් සුලබව දැකිය හැක්‌කේ කොතැන ද එතැනට යැමට සංචාරකයෝ පෙලඹෙති. විවිධ සංචාරක සේවා සපයන්නන් ගේ හා මාර්ගෝපදේශකයන් ගේ අපේක්‌ෂාව වන්නේ හැකිතාක්‌ සංචාරකයන් ඒ වෙත ගෙන යැම ය. මේ සඳහා ජීප් රථ රියදුරන් හා මාර්ගෝපදේශකයන් ගත් එක්‌ පියවරක්‌ වූයේ කිසියම් ස්‌ථානයක කොටින් දුටු විට ජංගම දුරකථන යොදාගනිමින් අනෙක්‌ පිරිස්‌ වෙත ඒ බව සන්නිවේදනය කිරීම ය. ඒ අනුව සෙසු පිරිස්‌ ද අදාළ ප්‍රදේශයට කඩිනමින් ළඟා වන්නේ ජීප් රථ අධික වේගයෙන් ධාවනය කරමිනි. මෙසේ ඇති වන තරගයේ එක්‌ ප්‍රතිඵලයක්‌ වන්නේ මෙවැනි අනපේක්‌ෂිත අනතුරු සිදු වී, වනසතුන්ට වෙන් කර ඇති ආරක්‌ෂිත භූමිය තුළ ම ඔවුන් මිය යැම ය.

යාල ජාතික උද්‍යානය තුළ මෙවැනි සිදුවීම් කිහිපයක්‌ මින් පෙර ද වාර්තා වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත්, 2011 ඔක්‌තෝබර් මාසයේ දී පටනංගල ප්‍රදේශයේ දී ද, 2013 වර්ෂයේ මුල් භාගයේ දී ද, මෙවැනි සිදුවීම් වාර්තා වී තිබේ. මේ ආකාරයෙන් රිය අනතුරු නිසා මිය යන්නේ කොටින් පමණක්‌ නො වේ. මුවන් ආදි වෙනත් වනසතුන් ද මේ ආකාරයෙන් මරණයට පත් වීම් පිළිබඳව වනෝද්‍යානවලින් වාර්තා වේ. අනෙක්‌ අතට වාහනවල ගැටීමෙන් මිය යන සෙසු සතුන් පිළිබඳව මෙතරම් අවධානයක්‌ යොමු වන්නේ නැත.

මෙවැනි අනතුරු මරණ යාල දී අධිකව දැකිය හැක්‌කේ එයට පැමිණෙන සංචාරකයන් ගණන හා වාහන ප්‍රමාණය අධික වීම නිසා ය. යාල ජාතික උද්‍යානය ගත හොත් එය අපේ රටේ වැඩි ම සෆාරි ජීප් රථ ප්‍රමාණයක්‌ සේවා සපයන ජාතික උද්‍යානය ද වේ. විශේෂයෙන් සති අන්ත දිනවල දී මේ ප්‍රදේශවලට සංචාරකයන් ගේ පැමිණීම බෙහෙවින් ඉහළ යයි. ඒ නිසා සිදු විය හැකි වනසතුන් ගේ මරණ හා සතුන් ගේ චර්යාරටාවලට ඇති වන බාධා වීම් වළක්‌වාලීමට කිසියම් පියවරක්‌ ගැනීම අවශ්‍ය බව පැහැදිලි ය. මේ දෙවැනි කරුණ, එනම් අධික සංචාරකයන් ප්‍රමාණයක්‌ සංචරණයේ යෙදීම නිසා වනසතුන්ට යම් ආතතියක්‌ ඇති කිරීම අවධානයට ලක්‌ විය යුතු කරුණකි. වනජීවීන් ගේ සාමාන්‍ය ජීවන පිළිවෙත්වලට අධික සංචරණයෙන් සිදු වන බාධා වීම් පිළිබඳව වාර්තා වී ඇත.

මේ තත්ත්වය සඳහා යෙදිය හැකි විසඳුම් ඇතැම් විට සාකච්ඡාවට ලක්‌ ව ඇත. නිදසුනක්‌ ලෙස වාහනවල අධික වේගය වැළැක්‌වීම සඳහා මාර්ග බාධක පිහිටුවීම එවැනි යෝජනාවකි. මෑතක දී ගත් එක්‌ පියවරක්‌ වූයේ ජංගම දුරකථන භාවිත කිරීම පාලනය කිරීමයි. එහි සාර්ථකත්වය පිළිබඳව තවමත් පැහැදිලි නැත. එක්‌ වාර්තාවකට අනුව, තවමත් මෙය සිදු කරන්නේ කඩින් කඩ ය. අනෙක්‌ අතට සති අන්ත වැනි ඇතැම් දිනවල අධික සංචාරකයන් පිරිසක්‌ පැමිණීම අධෛර්යවත් කිරීමට කිසියම් සාධනීය පියවරක්‌ ගත හැකි නම් එය වඩා ඵලදායී විය හැකි ය. නිදසුනක්‌ ලෙස දින අනුව වෙනස්‌ ගාස්‌තු ක්‍රමයක්‌ අනුගමනය කිරීම දැක්‌විය හැකි ය. මීට කලකට පෙර අත්හදා බලන ලද, මාර්ගවල එක්‌ දිශාවකට පමණක්‌ ගමන් කිරීමේ ක්‍රමවේදය යම් තරමකින් හෝ සාර්ථක වූ බව තතු දන්නවුන් ගේ අදහස වේ.

සංචාරක විනය


සංචරණය හා සම්බන්ධව මෑතක දී වාර්තා වූ අනෙක්‌ වැදගත් සිදුවීම වූයේ මින්නේරිය වනෝද්‍යානය නැරඹීමට ගිය සංචාරකයන් පිරිසක ගේ අනිසි හැසිරීම සම්බන්ධ ව ය. සංචාරකයන්ට අවසර නොමැති කාර්යයක නියෑළීම සම්බන්ධව ඔවුනට කරුණු වටහා දීමට වනජීවී නිලධාරීන් උත්සාහ ගත් අවස්‌ථාවක දී ඔවුන් වනජීවී නිලධාරීන්ට බාධා වන ආකාරයෙන් හැසිරුණු ආකාරය දැක්‌වෙන වීඩියෝවක්‌ එක්‌තරා පෞද්ගලික රූපවාහිනි නාළිකාවක විකාශය වූ අතර එය සමාජ ජාල ඔස්‌සේ ද ප්‍රචාරය විය.

ජාතික උද්‍යානවල සංචාරකයන් සඳහා ඇති නීති පද්ධතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරය බොහෝ ස්‌ථානවල නිතර දැකිය හැකි කරුණකි. විශේෂයෙන් අදාළ වනෝද්‍යාන ඇතුළත සංචාරකයන්ට වාහනවලින් බැසීමට අවසර නොමැති ස්‌ථානවල දී වාහනවලින් බැසීම මෙවැනි එක්‌ කරුණකි. එසේ ම මත්පැන් හා දුම්වැටි පානය කිරීම වැනි දේ වනෝද්‍යානවල සම්පූර්ණයෙන් ම තහනම් වන නමුත් සංචාරකයන් එවැනි කාර්යයන්හි යෙදෙන ආකාරය දැකීම එතරම් දුර්ලභ නො වේ. අනෙක්‌ අතට අපද්‍රව්‍ය බැහැර ලීම ද ජාතික වනෝද්‍යාන තුළ දැකිය හැකි මෙවැනි අනිසි හැසිරීමකි. එය වනජීවීන් ගේ පැවැත්මට අහිතකර ලෙස බලපාන කරුණක්‌ බවට ද පත් ව ඇත.

මේ තත්ත්වය වනෝද්‍යාන හා වෙනත් ස්‌වාභාවික භූ දර්ශන නැරඹීමට යන සංචාරකයන් ගේ හැසිරීම සම්බන්ධව ගැටලු ඇති කරන්නකි. වනෝද්‍යාන තුළ කළ යුතු හා නො කළ යුතු දේ පිළිබඳව කෙතරම් දැනුම් දී ඇතත් සංචාරකයන් ගේ හැසිරීම පිළිබඳ බොහෝ ගැටලු තිබේ.

මේ කරුණු අනුව පෙනෙන්නේ අපේ රටේ පවත්නා සංචාරක සංස්‌කෘතියේ වගකීම් රහිත ස්‌වභාවයයි. විශේෂයෙන් දේශීය සංචාරකයන් අතරින් වැඩි පිරිසක්‌ සංචාරයේ යෙදෙන්නේ හුදෙක්‌ විනෝදය සඳහා පමණි. කෑම-බීම-නෑම අපේ සංචාරකයන් ගේ සංචරණයේ මූලික අපේක්‌ෂාව බව පෙනේ. එසේ ම ඔවුන් මේ ස්‌වකීය විනෝදය නිසා පරිසරයට හා සෙසු සංචාරකයන්ට ඇති වන බලපෑම් පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කරන්නේ ද නැත. මේ තත්ත්වය කඩිනමින් වෙනස්‌ විය යුතු බව අපේ රටේ පරිසරයට ඇලුම් කරන අයට නම් අමුතුවෙන් කිව යුතු නො වේ.

මෙහි දී වැදගත් වන්නේ වගකීම් සහිත සංචරණයක්‌ වෙත යොමු වීමයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, අපට කළ හැකි එක්‌ දෙයක්‌ වන්නේ සංචාරකයන් ලෙස නො කළ යුතු දේ මොනවා ද යන්න පැහැදිලිව වටහාගැනීමයි. ජාතික උද්‍යානවලට පැමිණෙන සංචාරකයන් පිරිස හුදෙක්‌ සංඛ්‍යාත්මකව වර්ධනය කිරීම වෙනුවට අද කළ යුතු ව ඇත්තේ සංචාරකයන් ගේ විනයවත් බව හා වගකීම් සහිත සංචරණයක්‌ වෙනුවෙන් කටයුතු කිරීමයි. හුදෙක්‌ යටිතල පහසුකම් පමණක්‌ නො ව, සංචාරක විනය වැනි කරුණු පිළිබඳව ද සංචාරක ප්‍රවර්ධනයේ දී අවධානය යොමු විය යුතු ව තිබේ. මේ සඳහා තරාතිරම නො බලා සංචාරකයන්ට බලපාන නීති රීති දැඩිව අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. මෙහි දී සංචාරක ම`ගපෙන්වන්නන් හා සෆාරි ජීප් රථ රියදුරන් වඩා වගකීමෙන් කටයුතු කිරීම සඳහා යොමු කිරීම ද අත්‍යවශ්‍ය වේ.

මේ කරුණු සලකා බලන විට උක්‌ත කරුණු සම්බන්ධව කිසියම් පිළියමක්‌ නො යෙදුව හොත්, සංචාරක කර්මාන්තය වැනි ආර්ථික වර්ධනයට තිරසර දායකත්වයක්‌ ලබාගත හැකි අංශයක ආදායම් මාර්ග බිඳ වැටීමට පවා ඉඩ තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් යාල ජාතික උද්‍යානය වැනි ස්‌ථානවල ඇති අධික තදබදය නිසා ඇතැම් විට සංචාරකයන් එහි සංචාරය කිරීමට උනන්දුවක්‌ නො දක්‌වන තත්ත්වයක්‌ ඇති වීමට පවා ඉඩ තිබේ.

No comments:

Post a Comment