Wednesday, December 30, 2015

පැරිස්‌ දේශගුණ ගිවිසුම සාර්ථක වීමට නම්...

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 23.12.2016, පිටුව 5 (Vidusara)

http://www.vidusara.com/2015/12/23/feature2.html


මහත් අපේක්‌ෂාසහගතව ආරම්භ වූ පැරිස්‌ දේශගුණ සමුළුව අවසන් වූයේ ජගත් මට්‌ටමේ එකඟතාවකින් යුක්‌ත ව ය. එය, දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා වූ දශක දෙකකට අධික ඉතිහාසයක්‌ ඇති සටනේ වැදගත් සන්ධිස්‌ථානයකි. අප මින් පෙර සඳහන් කර ඇති ආකාරයට ගිවිසුමේ යම් යම් ගැටලු ඇතත්, මේ බරපතළ පාරිසරික අර්බුදයට විසඳුමක්‌ ලබාගැනීමට කිසියම් අවස්‌ථාවක්‌ ලැබී ඇති බවට පැරිස්‌ ගිවිසුම ම සාධකයක්‌ වේ.

මේ ගිවිසුමේ එන එකඟතා අතර වැදගත් කරුණු තුනක්‌ වේ. ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයේ වර්ධනය පූර්ව කාර්මික අවධියේ පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස්‌ අංශක දෙකකට වඩා බෙහෙවින් අඩුවෙන් තබාගැනීමට ද එA ප්‍රමාණය අංශක 1.5ක සීමාවේ තබාගැනීම සඳහා ප්‍රයත්න දැරීමට ද ඇති එකඟතාව ඉන් පළමුවැන්න ය. එසේ ම ලෝකයේ ඒ ඒ රටවල් තම රටවල හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ ඉලක්‌ක හා ඒ සඳහා ගන්නා පියවර ස්‌වෙච්ඡාවෙන් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කිරීම හා කලින් කල ඒවා සමාලෝචනය කිරීම දෙවැනි කරුණ ය. තෙවැනි කරුණ වන්නේ දියුණු වන රටවල දේශගුණ බලපෑම් වැළැක්‌වීම සඳහා ගන්නා පියවර සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනයයි.

මේ ගිවිසුම හා එහි බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවල සැලකිය යුතු තරමින් ආවරණය කර තිබූ අතර, අවාසනාවකට මෙන් අපේ රටේ එවැනි තත්ත්වයක්‌ දැකිය හැකි නො වී ය. පැරිස්‌ ගිවිසුමේ මූලික අංග පිළිබඳව වැඩිදුර විමසා බලන්නට අප සිතුවේ මේ නිසා ය.


විමෝචන සීමාවක්‌ පනවා නො තිබීම

පැරිස්‌ දේශගුණ ගිවිසුමට අනුව, තම රටවල හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා නෛතික බලපෑමක්‌ ඇති නිශ්චිත සීමාවක්‌ කිසිදු රටක්‌ සඳහා පනවා නොමැත. මේ ආකාරයෙන් නිශ්චිත විමෝචන සීමා පැනවීම පිළිබඳ අදහස දේශගුණ සාකච්ඡාවල වර්ධනය පමා කිරීමට හේතුවක්‌ විය. විශේෂයෙන් ඇතැම් දියුණු රටවල් තම රටවලට පමණක්‌ මෙවැනි සීමා පැනවීම සම්බන්ධව විරෝධය පළ කර තිබිණි. පැරිසියේ දී ගිවිසුමක්‌ ඇති වීමට හේතු වූයේ ද මේ ආකාරයෙන් නෛතික සීමා නො පැනවීමට රටවල් එකඟ වීම බව පෙනේ. එසේ ම කිසිදු ගිවිසුමක්‌ නොමැති වුව හොත් ඇති විය හැකි බරපතළ බිඳවැටීම වළක්‌වාගැනීමේ අවශ්‍යතාව ද තිබිණි. වොෂින්ටන් පෝස්‌ට්‌ පුවත්පතේ ලිපියකින් පෙන්වා දුන් ආකාරයට, සාකච්ඡාවල දී වඩා ප්‍රායෝගික ප්‍රවේශයක්‌ අනුගමනය කරමින් මේ ගිවිසුමට එළැඹීම සිදු ව තිබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, නෛතික බැඳීමක්‌ ඇති කරගැනීමට දිගින් දිගට ම ක්‍රියාකාරී වූයේ නම් පැරිසියේ දී කිසිදු ගිවිසුමක්‌ ඇති නො වීමට ඉඩ තිබූ බව බටහිර මාධ්‍ය හා විචාරකයන් ද පවසන කරුණකි.

අනෙක්‌ අතට මේ ආකාරයෙන් නෛතික බලපෑමක්‌ සිදු කළ හැකි හරිතාගාර වායු විමෝචන සීමා තිබුණේ නම්, ඇතැම් රටවල ඊට එකඟතාව ලබාගැනීම අසීරු විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, එවැනි තත්ත්වයක්‌ තිබුණේ නම් ඇමෙරිකානු ජනාධිපති බැරැක්‌ ඔබාමාට ඊට අත්සන් තැබීම පෙර එරට සෙනෙට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබාගැනීමට සිදු වේ. වර්තමාන ඇමෙරිකානු සෙනෙට්‌ මණ්‌ඩලය යනු සාම්ප්‍රදායික වශයෙන් ෆොසිල ඉන්ධන කර්මාන්තය ප්‍රිය කරන රිපබ්ලිකන් පාක්‌ෂිකයන් සිය බලය තහවුරු කරගෙන ඇති තැනකි. මේ නිසා හරිතාගාර වායු විමෝචන සීමා ඉලක්‌ක නොමැති ගිවිසුමක්‌ සම්මත වීම නිසා ඇමෙරිකානු ජනාධිපතිවරයා ගේ 'ජාම බේරාගැනීමට්‌ හැකි වී තිබේ.

ස්‌වෙච්ඡා කැපවීම ප්‍රමාණවත් වේ ද?

දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා අත්‍යවශ්‍ය යෑයි සැලකෙන හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා පැරිස්‌ ගිවිසුමෙන් දක්‌වා ඇත්තේ කිසියම් ආකාරයක ස්‌වෙච්ඡා ප්‍රවේශයකි. ඒ අනුව අදාළ රටවල් සියල්ල තම රටවල හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා වූ ඉලක්‌ක හා යෝජනා ඇතුළත් අපේක්‌ෂිත ජාතික නිශ්චිත කළ දායකත්වය (Intended Nationally Determined Contribution) ප්‍රතිඥාවක්‌ ලබා දිය යුතු ය. ඉන්පසුව මේ ඉලක්‌ක අත්පත් කරගැනීම සඳහා කටයුතු කළ යුතු අතර වසර කිහිපයකට වරක්‌ මේවා සමාලෝචනය කිරීම සඳහා ද ඔවුන් එකඟ වී ඇත.

මේ අනුව දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා ඉදිරිපත් ව ඇති මූලික පියවර සඳහා ලෝකයේ රටවල සැබෑ කැප වීම අත්‍යවශ්‍ය බව පැහැදිලි ය. මෙය කෙතරම් සාර්ථක වනු ඇති ද යන්න තීරණය වන්නේ මේ රටවල උනන්දුව මත ය. දේශපාලන හා වෙනත් හේතු නිසා රටක ප්‍රතිපත්තියේ යම් වෙනසක්‌ සිදු වුව හොත්, යම් රටක්‌ මේ ඉලක්‌කවලින් ඈත් විය හැකි අතර, එහි දී ලෝකයට මේ ගිවිසුම යටතේ ගත හැකි පියවරක්‌ - දිය හැකි දඬුවමක්‌ - නොමැති වීම මෙහි ඇති ගැටලුව වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇමෙරිකාවේ ඇතැම් රිපබ්ලිකන් පාක්‌ෂික නියෝජිතයන් ඔබාමා ගේ දේශගුණ සැලසුම් පරාජය කිරීමට අදහස්‌ කරන බව ප්‍රකට කරුණකි. එසේ නම්, ඉදිරියේ දී ඇමෙරිකාව ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව එරට තුළ පොදු දේශපාලන එකඟතාවක්‌ තවමත් නොමැති බව පැහැදිලි ය.

මේ තත්ත්වයට විසඳුමක්‌ ලෙස වසර කිහිපයකට වරක්‌ මේ රටවල ක්‍රියාකාරිත්වය සමාලෝචනය කිරීම යෝග්‍ය වුවත්, එය කෙතරම් දුරට සාර්ථක විය හැකි ද යන්න ගැන කල් තබා අනාවැකි කීම පහසු නැත. එහෙත් රටක හෝ රටවල අසාර්ථකත්වය සමස්‌ත ක්‍රියාවලියට ම බලපෑමක්‌ ඇති කළ හැකි බව පැහැදිලි ය.

මේ ප්‍රවේශයේ සාර්ථකත්වය ගැන සැකයක්‌ ඇති වුව ද එය එක්‌තරා ආකාරයක නව අත්හදාබැලීමකි. මෙය පහළ සිට ඉහළට තීරණ ගැනීමේ ප්‍රවේශයක්‌ හෙවත් උඩු අත් ප්‍රවේශයක්‌ (bottom-up approach) වන අතර, මෙතෙක්‌ පැවැති පිළිවෙතට වඩා මුළුමනින් ම වෙනස්‌ ය.

මෙවැනි මූලධර්මයක්‌ පිළිබඳ යෝජනාවක්‌ දේශගුණ සාකච්ඡාවලට මුලින් ම ගෙන එන ලද්දේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා නෛතික සීමා පැණවීම පිළිබඳව දැඩි විරෝධයක්‌ දැක්‌වූ ඇමෙරිකානු ජනාධිපතිවරයකු වූ ජෝර්ඡ් ඩබ්ලිව්. බුෂ් ගේ නියෝජිතයන් විසින් 2007 වර්ෂයේ දී පමණ ය. එවැනි ස්‌වෙච්ඡා ක්‍රමයක්‌ හා එය නිරීක්‌ෂණය කිරීමේ ක්‍රමයක්‌ ඔහු ගේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලදි. අවසානයේ දී ලෝකය පිළිගෙන ඇත්තේ ද එA මූලධර්මය මත පදනම් වූ ක්‍රමයකි. එදා බුෂ් පාලනය යටතේ යෝජනා කළේ ලෝකයේ විශාලතම ආර්ථික ඇති රටවල් එවැන්නක්‌ කළ යුතු බව වුව ද, අද එය ලෝකයේ දියුණු හා දියුණු වන රටවල් සියල්ලට ම අදාළව ක්‍රියාත්මක වීම මෙහි ඇති විශේෂත්වයකි.

දියුණු වන රටවලට ලැබුණු දේ

දියුණු වන රටවල දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වී තිබෙන බලපෑම් වැළැක්‌වීම සඳහා කටයුතු කිරීමේ දී ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්‌ වන්නේ ප්‍රමාණවත් අරමුදල් නොමැති වීමයි. එසේ ම තමන් පොරොන්දු වී ඇති හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීම ද බොහෝ රටවලට ගැටලුවකි. මේ අනුව පැරිස්‌ ගිවිසුමෙන් පොරොන්දු වී ඇති ඩොලර් බිලියන 100ක අරමුදල මේ රටවලට වැදගත් වනු ඇත. එසේ ම එය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වීමට අවස්‌ථාවක්‌ තිබීම ද වැදගත් ය.

මේ අරමුදල පිළිබඳව පොරොන්දු ලැබීම නිසා දියුණු වන රටවල් ද පැරිස්‌ ගිවිසුමට එකඟ වූ බවක්‌ දැකිය හැකි ය. එය ඇතැම් විට හඳුන්වා දී ඇත්තේ කිසියම් ආකාරයකින් 'හීලෑ වූ' බවක්‌ ලෙස ය. එසේ ම කිසියම් හෝ ගිවිසුමක්‌ ඇති කරගැනීමේ අවශ්‍යතාව ද මේ රටවල එකඟතාව ලැබීමට බලපා ඇත. අවසානයේ දී දියුණු රටවලට අදාළව මෙතෙක්‌ සඳහන් වූ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ඓතිහාසික වගකීම සම්බන්ධ අදහස්‌ ඉවත් වී තිබේ.

මේ විසඳුමක ආරම්භයකි?

මේ සියලු කරුණු අනුව, 'හපන්නට දත් නැති' වුව ද, පැරිස්‌ ගිවිසුම කිසිදු එකඟතාවක්‌ නොමැති ව ඉදිරියට යනවාට වඩා හොඳ ය. මෙය නිශ්චිත විසඳුමකට වඩා විසඳුම් සඳහා වූ ආරම්භයක්‌ ලෙස සැලකිය හැකි ය. මෙතෙක්‌ කලක්‌ යා යුතු මග නො දැන එහා මෙහා දෝලනය වෙමින් තිබූ දේශගුණ වෙනස්‌ වීම සඳහා විසඳුම් සෙවීමේ කිසියම් මගක්‌ වෙත පිවිස තිබේ. එය ආපසු යැමක්‌ සේ සැලකිය හැකි වුව ද, අඛණ්‌ඩව උත්සාහ දැරීමෙන් හා බල කිරීමෙන් දේශගුණ වෙනස්‌ වීමට යම් සාධනීය විසඳුමක්‌ ලබාගැනීමට අවස්‌ථාවක්‌ ද ඇති බව පැහැදිලි ය.

විශේෂයෙන් මේ ගිවිසුම මගින් ඇති කරගෙන ඇති සෙල්සියස්‌ අංශක දෙකේ උෂ්ණත්ව ඉලක්‌කයේ රැඳී සිටීම ද අභියෝගයකි. මේ වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියේ පැවැති අගයට වඩා සෙල්සියස්‌ අංශකයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ ඇත. එසේ නම් ගිවිසුමේ පවසා ඇති පරිදි අංශක 1.5ක සීමාව ඉක්‌මවා නො යැමට නම් බොහෝ දේ කළ යුතු බව පැහැදිලි ය. ගැටලුව ඇත්තේ මේ සියල්ල එක්‌ එක්‌ රටවල් ස්‌වෙච්ඡාවෙන් කළ යුතු දේ වීමත්, එසේ නො කළ හොත් කළ හැකි දෙයක්‌ නොමැති වීමත් ය.

මේ කරුණු සියල්ල සලකා බලන විට එක්‌ එක්‌ රට තමන් ලබා දී ඇති ප්‍රතිඥාවට අනුව කටයුතු කිරීම තහවුරු කිරීමේ වගකීම ඒ රටවල ආණ්‌ඩු බලධාරීන්ට පමණක්‌ සීමා වුව හොත් එය මේ ගිවිසුම සාර්ථක කරගැනීමට බලපාන්නක්‌ බව පැහැදිලි ය. මේ අනුව සිය රටවල බලධාරීන් අදාළ රටේ දේශගුණ ප්‍රතිඥාවලින් ඈතට යා නො දී ඒ ඉලක්‌කවල රඳවා තබාගැනීම සඳහා අවශ්‍ය බල කිරීම හා යොමු කිරීම සඳහා වගකීමක්‌ ඒ රටවල විද්‍යාඥයන්, දේශපාලන, පරිසර හා සමාජ ක්‍රියාකාරීන් හා සාමාන්‍ය ජනතාවට පැවරේ. මෙහි දී දේශගුණ පිළිවෙත් හා බද්ධ වූ බැංකු ණය වැනි වෙනත් ගෝලීය මට්‌ටමේ යාන්ත්‍රණ මගින් ලැබෙන සීමා කිරීම් ද වැදගත් විය හැකි බව පෙනේ.

http://www.vidusara.com/2015/12/23/feature2.html

No comments:

Post a Comment