ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 16.12.2015, පිටුව 3 (Vidusara, not available online)
ලෝකයේ අනාගතය සම්බන්ධයෙන් සැලකිය යුතු තරම් වැදගත් ජයග්‍රහණයක් ගැන සටහනක් තැබීමට අවස්ථාවක් මේ සතියේ ලැබී තිබේ. ඒ පැරිසියේදී පසුගිය 12 වැනි දින සම්මත වූ දේශගුණ වෙනස් වීම පිළිබඳ ගිවිසුම පිළිබඳවය. ලෝකය පුරා පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරීන් හා විද්‍යාඥයින් කලක පටන් අපේක්ෂා කළ ජගත් මට්ටමෙන් පිළිගැනීමක් සහිත වූ දේශගුණ ගිවිසුමක් අවසානයේ ඇති වී තිබේ.පැරිස් ගිවිසුමේ ඇති මූලික විශේෂත්වය වන්නේ යුරෝපය හා ඇමරිකාව ඇතුළු දියුණු රටවල්ද, චීනය හා ඉන්දියාව ඇතුළු දියුණුවන රටවල්ද මීට එකඟ වීමය. මේ ගිවිසුමට එකඟ වූ රටවල් ගණන 196ක් පමණ වේ. ඒ අනුව හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා ලෝකයේ සෑම රටක්ම එකඟත්වයක් දැක්වූ පළමු අවස්ථාව මෙය වේ. මේ ගිවිසුමේ ක්‍රියාකාරකම් අදාළ වන්නේ 2020 වර්ෂයේ සිට ඔබ්බටය. මේ ගිවිසුමේ ඇති වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ.
උෂ්ණත්ව ඉලක්කය - ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයේ ඉහළ යෑම පූර්ව කාර්මික අවධියේ පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක දෙකකට වඩා ඛෙහෙවින් අඩුවෙන් (well below) තබාගැනීමට මේ ගිවිසුමෙන් එකඟ වී ඇත. එසේම එම ප්‍රමාණය අංශක 1.5ක සීමාවේ තබාගැනීම සඳහා ප්‍රයත්න දැරීමටද එකඟ වී ඇත. සෙල්සියස් අංශක දෙකේ සීමාව දේශගුණ වෙනස් වීමේ බරපතළ ප්‍රතිවිපාක වළක්වාගැනීම සඳහා ලෝක උෂ්ණත්වය ඉහළ යෑම තිබිය යුතු සීමාව සේ පිළිගැනේ. මේ නිසා අංශක 1.5 ඉලක්කයට යා හැකි නම් ලෝකය වඩාත් ආරක්ෂිත වනු ඇති බව පැහැදිලිය.
හරිතාගාර වායු විමෝචන අඩු කිරීම - සෑම රටක්ම විමෝචනය කරනු ලබන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණයේ උපරිමයට හැකි ඉක්මනින් ළඟා වීමට හා ඉන්පසුව පවත්නා විද්‍යාත්මක දැනුම අනුව විමෝචන වේගයෙන් අඩු කිරීමට පැරිස් ගිවිසුමෙන් එකඟ වී ඇත. දියුණුවන රටවලට මේ උපරිම අගයට ළඟා වීමට වැඩි කාලයක් ගතවන බවද පිළිගෙන ඇත. එසේම මේ සියවසේ දෙවන භාගයේදී හරිතාගාර වායු ප්‍රභව හා ඒවා තැන්පත් වන ක්‍රම අතර සමතුලිතතාවයක් අත්පත් කරගැනීමටද අපේක්ෂා කරනු ලැබේ.
හරිතාගාර විමෝචන ඉලක්ක - හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ ඉලක්ක සම්බන්ධව දියුණු රටවල් ආර්ථීක බලපෑමක් ඇති විමෝචන ඉලක්ක අනුගමනය කිරීමේදී පෙරමුණ ගත යුතු බව ගිවිසුමේ දැක්වේ. දියුණුවන රටවල් ඔවුන්ගේ පාලනය කිරීමේ ප්‍රයත්න වැඩිදියුණු කිරීමට දිගටම පියවර ගත යුතු අතර, ආර්ථීක වශයෙන් බලපෑමක් ඇති විමෝචන අඩු කිරීම් හා සීමාකිරීමේ ඉලක්ක වෙත ක්‍රමයෙන් ළඟා විය යුතුය. ඒ ඒ රටවල් විසින් අඩු කළ යුතු විමෝචන ප්‍රමාණය නිශ්චිතව දක්වා නොමැති අතර, තමන්ගේ ඉලක්කය රටවල් විසින්ම ලබාදීම කළ යුතුය. එසේම ඒ ඉලක්කයට ළඟා වීමට ගන්නා පියවර විස්තර කළ යුතු අතර, වසර පහෙන් පහට නව සැලසුම් ඉදිරිපත් කළ යුතු වේ. මේ සමාලෝචන මගින් දැනට රටවල් විසින් ලබාදී ඇති පොරොන්දු ප්‍රමාණවල අඩුව වළක්වා ගැනීම අපේක්ෂා කරන බව පෙනේ.
දියුණුවන රටවලට අරමුදල් සැපයීම - දියුණු වන රටවලට දේශගුණ වෙනස් වීම සඳහා සහයෝගය ලබාදීම පිණිස යොදාගැනීම සඳහා වූ අරමුදලක් සඳහා 2020 වර්ෂය වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 100ක මුදලක් ලබාදීමට දියුණු රටවල් එකඟ වී තිබේ. එසේම 2025 වර්ෂයේදී මේ අරමුදල් ප්‍රමාණය මීට වඩා වැඩි දායකත්වයක් සැපයීම සඳහා එකඟ වීමද විශේෂ සිදුවීමකි.
ගිවිසුමේ ඇති තවත් වැදගත් කරුණක් වන්නේ එය වසර 5කට වරක් පමණ සමාලෝචනය කිරීම සඳහාද එකඟතාවයක් ඇති වී තිබීමයි. මෙය වැදගත් වන්නේ ඒ ඒ රටවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට එහිදී අවස්ථාවක් ලැඛෙන නිසාය.
සම්මත වූ ගිවිසුම, ලබන වසරේ මිහිතල දිනය යෙදෙන අප්‍රේල් මස 22 දින සිට 2017 වර්ෂයේ අප්‍රේල් 17 දින දක්වා අත්සන් තැබීම සඳහා විවෘතව තැඛෙන බව ගිවිසුමේ සඳහන්ය. ඒ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදීය. එය බලාත්මක වන්නේ ලෝකයේ හරිතාගාර විමෝචන අතරින් 55%ක් නිකුත්කිරීම සඳහා වගකිව යුතු රටවල් අවම වශයෙන් 55ක් පමණ ප්‍රමාණයක් ගිවිසුම අපරානුමත කිරීම පිළිබඳ තහවුරු කිරීම් ලබාදීමෙන් දින තිහකට පසුවය.
ගිවිසුමේ අපේක්ෂාව හා යථාර්ථය
ලෝක නායකයින් මෙන්ම සමාජ ක්‍රියාකාරීන්ද පැරිස් ගිවිසුම විවිධ ආකාරයෙන් හඳුන්වා දී ඇත. එය 'මානව ඉතිහාසයේ විශාල පිම්මක්' ලෙසින්ද, 'ඓතිහාසික මොහොතක්' යනුවෙන්ද, 'ලෝකයට ලැබුණු අවසන් අවස්ථාව' ලෙසද සඳහන් වේ. එය සත්‍යයක් වන්නේ ලෝකයේ ප්‍රමුඛතම පාරිසරික ගැටලූවක් පිළිබඳව ජගත් මට්ටමේ එකඟතාවයක් ලැබී තිබීම නිසාය. එහෙත් මේ සාර්ථකත්වය විශේෂයෙන් හුවාදක්වනු ලබන්නේ දේශපාලන නායකයින් බව පැවසිය යුතුය.
එහෙත් ලෝපුරා විද්‍යාඥයින් හා කි්‍රයාකාරීන් වැඩිදෙනා අතර මේ පිළිබඳව ඇත්තේ මධ්‍යස්ථ අදහසකි. මේ ගිවිසුම පිළිබඳව ගැඹුරින් සැලකූ විට එහි යම් යම් අඩුපාඩු ඇති පැහැදිලිය. නිදසුනක් ලෙස ගතහොත් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී නොමැත. හරිතාගාර විමෝචන විශාල ලෙස නිකුත් කරන දියුණු රටවලට පවා එවැනි ඉලක්ක ලබාදී නැත. ලෝකයේ රටවල් විසින් විමෝචන අඩුකිරීමේ ඉලක්ක ලබාදීම හා එම ඉලක්කය සමාලෝචනය කිරීම නෛතික බැඳීමක් ඇති කරුණු වේ. එහෙත් මේ ඉලක්කය ස්ව කැමැත්තෙන් ලබාදෙන්නක් මිස නෛතික බැඳීමක් ඇති එකක් නොවන බැවින් එය අත්පත් කරගැනීමට අසමත් වන රටවලට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයක් නොමැති බව පෙනේ. ඒ සඳහා නෛතික බැඳීමක් නොමැත. අනෙක් අතට ලෝකයේ රටවල් 188ක් ස්වේච්ඡාවෙන් ලබාදී ඇති විමෝචන සීමා කිරීමේ ඉලක්ක අත්පත් කරගත්තද ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.7ක් හෝ ඊට වඩා ඉහළ යන බව පෙන්වාදී ඇති බව අප අමතක නොකළ යුතුය.
එසේම හරිතාගාර විමෝචන පිළිබඳව දියුණු රටවලට ඇති ඓතිහාසික වගකීම පිළිබඳ සඳහනද ගිවිසුමේ නොමැති වීම තුළ මෙය සැලකිය යුතු තත්ත්වයකි. දියුණු හා දියුණුවන රටවල් අතර වෙනසද කැපී නොපෙනේ. දියුණු රටවලට දුප්පත් රටවලට අරමුදල් සැපයීම පිළිබඳවද නෛතික වගකීමක් ගිවිසුමේ දැකිය නොහැකිය. මේ සියලූ කරුණු අනුව ඉන්දියාවේ විද්‍යාව හා පරිසරය පිළිබඳ ආයතනය (CSE) මෙය දුබල හා අපේක්ෂා තබාගත හැකි ගිවිසුමක් නොවන බව දක්වා තිබේ. මෙය වඩාත් ඍජුව දක්වමින් පැරිස් ගිවිසුම 'වංචාවක් හා බොරුවක් බව' පවසන දේශගුණ විද්‍යාඥ ජේම්ස් හැන්සන්, පොරොන්දු මිස ක්‍රියාකාරිත්වයක් එහි දැකිය නොහැකි බවද සඳහන් කරයි.
පැරිස් ගිවිසුමේ සාර්ථකත්වය සඳහා රටවල්වල ස්වේච්ඡා ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් බව පැහැදිලිය. ඒ සඳහා සියලූ රටවල අවංක කැපවීම අත්‍යවශ්‍යය. ගිවිසුමට එකඟ වුවද ඇතැම් රටක ඇති විය හැකි දේශපාලන වෙනස්වීම් මත මේ උනන්දුව වෙනස් වීමටද අවස්ථාව ඇත. නෛතික බැඳීම බරපතළ නොවන තත්ත්වයක් තුළ මෙය බලපෑමක් කළ හැකි තත්ත්වයකි. 1997දී අත්සන් කළ කියෝටෝ සන්ධානය ක්‍රියාත්මක වීම 2005 දක්වා පමා වූයේ අත්සන් කළ දියුණු රටවල් ගිවිසුම අපරානුමත කිරීම පමාවීම නිසාය. කෙසේ වෙතත් කියෝටෝ සන්ධානය මෙන් නොව, මේ නව ගිවිසුම ලෝකයේ සියලූ රටවලට අදාළ වන්නකි.
මේ කරුණු අනුව කිසිත් නැතිවාට වඩා පැරිස් ගිවිසුම තිබීම හොඳ බව පැවසිය හැකිය. එහි සාර්ථකත්වය තීරණය වන්නේ ඉදිරියේදී ලෝකයේ රටවල් දැන් එය ක්‍රියාත්මක කරන ආකාරය මතය.
No comments:
Post a Comment