Saturday, February 20, 2016

මිනිසුන් සමඟ බල්ලන් හා බළලූන්ගේ ඇති සම්බන්ධය ගැන අපේ දැනුම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 03.02.2016 (Vidusara) - not available online 

විවිධ සතුන් ගෘහාශ්‍රිතකරණය කිරීම කලක් අනාදිමත් කාලයක පටන් මිනිසුන් විසින් සිදුකරන ලද කටයුත්තකි. මේ ආකාරයෙන් ගෘහාශ්‍රිතකරණය කළ සතුන් අතර සුරතලයට ඇතිකිරීමට, විවිධ කටයුතු කරගැනීමට මෙන්ම මස් හා වෙනත් ආහාරමය අවශ්‍යතා සඳහා යොදාගන්නා සත්ත්ව විශේෂද වේ. මේ නිසා මිනිසුන්ට සිය දිවිපැවැත්ම පහසු කරගැනීමට හැකි වූ අතර පහසුවෙන් ආහාර ලබාගැනීමටද අවස්ථාව සැලසිණි.

මෙසේ විවිධ සතුන් ගෘහාශ්‍රිතකරණය කරන ලද්දේ කවර කාලයකදීද යන්න හා එය සිදු වූයේ ලෝකයේ කුමන ප්‍රදේශයක හෝ ප්‍රදේශවලදීද යන්න මේ විෂය ගැන අවධානය යොමුකරන විද්‍යඥයන්ගේ සැලකිල්ලට ලක් වූ කරුණකි. මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනවලින් පෙනෙන ආකාරයට, විවිධ සත්ත්ව විශේෂ ගෘහාශ්‍රිතකරණය සම්බන්ධව විවිධ මතවාද ඉදිරිපත්ව ඇත.

මෙසේ ගෘහාශ්‍රිතකරණය වූ සත්ත්ව විශේෂ අතර බල්ලන්ට හා බළලූන්ට හිමි වන්නේ විශෙAෂ ස්ථානයකි. බල්ලන් යොදාගන්නා ලද්දේ ආරක්ෂාව හා දඩයමට යොදාගැනීමට ඇති හැකියාව මුල්කරගෙන වන අතර, බළලූන් ඇති කිරීම සඳහා හේතු වූයේ ආහාරවලට හානිකරන සතුන් පාලනය කිරීම බව පෙනේ. කෙසේ වෙතත් අද වන විට බල්ලන් හා බළලූන් මිනිසුන්ට සමීප වී ඇත්තේ සුරතල් සතුන් ලෙස ඇති කරන සත්ත්ව විශේෂ දෙකක් ලෙස බව පෙනේ.

බල්ලන් හා බළලූන් ගෘහාශ්‍රිතකරණය කවදා කොතැනක සිදුව තිබේද? ඒ පිළිබඳව අද වන විට අප දන්නා කරුණු මොනවාද? මේ ලිපියේ අරමුණ වන්නේ මෑතකදී පළ වූ අධ්‍යයන කිහිපයක් පදනම් කරගනිමින් බල්ලන් හා බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීම පිළිබඳව අවධානය යොමුකිරීමය.

බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීම ප්‍රදේශ කිහිපයක සිදු වී තිබේ

මේ වන විට ලෝකයේ ගෘහාශ්‍රිත බළලූන් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් වෙසෙන අතර ලෝකයේ වඩාත් සුලබ සුරතල් සත්ත්ව විශේෂය බළලූන්ය. Felis catus ලෙස විද්‍යත්මකව හඳුන්වනු ලබන බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීම පිළිබඳව මෑතක් වන තුරු විශ්වාස කළ පරිදි එය සිදුව ඇත්තේ ලෝකයේ මෑත පෙරදිග හෙවත් නිරිතදිග ආසියාවේ අදින් වසර 10,000කට පමණ පෙර හෙවත් පොදු වර්ෂ පූර්ව 9,000ත් 7,000ත් අතර කාලවකවානුවකදීය. මෑත පෙරදිග හා අප්‍රිකානු ප්‍රදේශවල විසූ බටහිර වල් බළලා (Western Wildcat - Felis silvestris lybica) ලෙස හඳුන්වන බළල් විශේෂය හීලෑ කිරීමෙන් මෙය සිදුව ඇති බව මේ ප්‍රදේශයේ ස්ථාන ගණනාවකින් ලැඛෙන පුරාවිද්‍යාත්මක සාධක අනුව පැහැදිලිය. බළලූන් හා මිනිසුන් අතර මේ සම්බන්ධය ඇති වන්නට ඇත්තේ මිනිසුන් කෘෂිකාර්මික ජීවිතයකට පිවිසුණු පසුව බව විශ්වාස කරනු ලැබේ. විශෙAෂයෙන් බළලූන් හා මිනිසුන් අතර මෙවැනි සමීප සම්බන්ධයක් ඇති වූයේ මිනිසුන් විසින් රැස්කළ ධාන්‍යවලට හානි කළ කෘන්තකයන් වනසා දැමීම සඳහා බළලූන් සිදු කළ කාර්යය නිසා විය හැකිය. ලෝකයේ අද වෙසෙන ගෘහාශ්‍රිතකරණය කර ඇති බළලූන්ගේ ආදිතමයා වන්නේ මෑත පෙරදිග හා අප්‍රිකානු ප්‍රදේශවල විසූ බටහිර වල් බළලා බව මේ වන විට ප්‍රවේණික අධ්‍යයනවලින් තහවුරු වී ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව මෑතකදී ප්‍රකාශයට පත් අධ්‍යයනයකට අනුව පොදු වර්ෂ පූර්ව 3,000 පමණ කාලයේදී (එනම් අදින් වසර 5,000කට පමණ පෙර) චීනයේදී ද බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීමක් සිදුව තිබේ. (මූලාශ්‍රය: PLOS One, DOI: 10.1371/journal.pone.0147295) මේ කරුණු අනාවරණය කරගෙන ඇත්තේ චීනයේ තිබූ කෘෂිකාර්මික වාසභූමි කිහිපයකින් මීට කලකට පෙර හමු වී ඇති පැරණිම බළල් ශේෂවලට අයත් විශේෂය තීරණය කිරීමෙනි. මේ අනුව මේ අස්ථී අයත් වන්නේ කොටි බළලා (Leopard Cat - Prionailurus bengalensis) නමින් හඳුන්වනු ලබන වල් බළල් විශේෂයකටය. කෙසේ වෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ චීනයේදී මේ සඳහා වෙනස් උප විශේෂයක් යොදාගෙන තිබීමයි. චීනයේ පැරණි ජනාවාසවලින් පෙර සඳහන් කළ බටහිර වල් බළලා නම් උප විශේෂය චීනයෙන් වාර්තා නොවේ. මේ බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීමේ ක්‍රියාවලිය මෑත පෙරදිග හා පැරණි ඊීජිප්තුවේ බළලූන් ගෘහාශ්‍රිතකරණය වූ ආකාරය හා සමාන බව මේ පර්යේෂකයන්ගේ මතයයි.

එහෙත් අද වන විට චීනයේ දැකිය හැක්කේද ලෝකයේ වෙනත් රටවල මෙන්ම බටහිර වල් බළලාගෙන් පැවත එන ගෘහාශ්‍රිතකරණය කළ බළලූන්ය. ඒ අනුව කිසියම් කාලයකදී චීනයටද මේ බළල් විශෙAෂය ව්‍යාප්ත වී ඇති අතර පෙර කී කොටි බළලාගෙන් ගෘහාශ්‍රිතකරණය කළ බළලූන් වඳවී ගොස් තිබේ.

මේ චීන අධ්‍යයනයෙන් ලැඛෙන සාධකද සලකා බැලු විට බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීම ලෝකයේ එකිනෙකට වෙනස් ප්‍රදේශ තුනක පමණ සිදුව තිබේ. ඒ් මෑත පෙරදිග, ඊජිප්තුව හා චීනයේය. මේවා එකිනෙකට ස්වාධීනව සිදුව ඇති බව පැහැදිලිය. චීන සිදුවීම වඩාත් වැදගත් වන්නේ එහිදී වෙනස් වල් බළල් විශේෂයක් භාවිත වීම නිසාය.

බල්ලන් ගෘහාශ්‍රිතකරණයේ කාලය තවත් ඈතට යයි?

බල්ලන් හෙවත් Canis lupus familiaris ලෙස විද්‍යත්මකව නම් කරන සත්ත්ව උප විශේෂය ලෝකයේ දැකිය හැකි රූපානුදර්ශීය විවිධත්වයෙන් වැඩිම ගණනක් (එකිනෙකට වෙනස් බල්ලන් වර්ග) ඇති සත්ත්ව විශේෂයක් වේ. දඩයම, සතුන් බලාගැනීම මෙන්ම පාලූව මකා ගැනීම පිණිසද බල්ලන් ඇති කිරීම සිදු වේ.
බල්ලන් ගෘහාශ්‍රිතකරණය කරන ලද්දේ අදින් වසර 15,000ක් පමණ කාලයකට පමණ ඉහත කාලයකදී බව කලක් තිස්සේ පැවති පිළිගත් පැවැති පිළිගත් මතය වූයේ මිනිස් වාසවලින් මේ කාලයේ පටන් බල්ලන්ගේ අස්ථී ශේෂ හමුවීම නිසාය. ඒ අනුව අළු වෘකයන්ගෙන් (Gray wolf - Canis lupus) බල්ලන් ගෘහාශ්‍රිතකරණය කරන ලද බවට ඇති සාධක පිළිගත හැකිය. ඒ දඩයම් යුගයේ සිට ගොවිතැන කරා මිනිසුන් යොමු වූ අවධියේදීය. ඒ අනුව දයමේ සිට ස්ථාවර ස්ථානයක පදිංචි වීම සමඟ බල්ලන් ගෘහාශ්‍රිතකරණය කළ බවට වූ මතයට වැඩි පිළිගැනීමක් ලැබිණි. බල්ලන් යනු මුලින්ම ගෘහාශ්‍රිතකරණයට ලක්වූ සත්ත්ව විශේෂයකි. එහෙත් මෙය සිදු වූයේ ලෝකයේ කුමන ප්‍රදේශයකදීද යන්න ගැන එකඟතාවයක් නොමැති බන පෙනේ.

කෙසේ වෙතත් පසුගිය වසරේදී ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව බල්ලන් එතෙක් සිතූ කාලයට වඩා අතීතයේදී ගෘහාශ්‍රිතකරණය කර ඇතැයි අනාවරණය කර තිබේ. ඒ අනුව සයිබීරියාවෙන් සොයාගත් වසර 35,000ක් තරම් පැරණි වෘකයින්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රිතව සිදුකරන ලද මේ අධ්‍යයනයට අනුව, මේ වෘකයාගේ ප්‍රවේණික ද්‍රව්‍ය වෘකයින් හා බල්ලන් අතර අතරමැදි අවස්ථාවක විය. මේ අනුව වෘකයින්ගෙන් බල්ලන් වෙන්වීම ආරම්භ වන්නේ අදින් වසර 27,000ක් පමණ කාලයකට ඉහතදීය. ඒ අනුව වෘකයින් මිනිසුන් පසුපස යෑම ආරම්භ කළ අතර, ඔවුන් විසින්ම තමන් ගෘහාශ්‍රිතකරණය කිරීමක් සිදුව ඇති බවක් පෙනේ. (මූලාශ්‍රය: Current Biology, DOI: 10.1016/j.cub.2015.04.019) මේ කරුණු අනුව බල්ලන්ගේ ගෘහාශ්‍රිතකරණ ඉතිහාසය සම්බන්ධව තවමත් පැහැදිලි නොවූ තැන් ඇති අතර ඒ සඳහා උපකාරි විය හැකි එක් පැහැදිලි කිරීමක් පසුගිය වසරේ අග භාගයේ පළවිය.

මේ නව අධ්‍යයනයකට අනුව බල්ලන් මුලින්ම ගෘහාශ්‍රිතකරණය කර ඇත්තේ නැගෙනහිර ආසියාවේ දකුණු දිග ප්‍රදේශයේදීය. ඒ අදින් වසර 33,000ක් පමණ කාලයකට ඉහතදීය. ලෝකයේ ප්‍රදේශ ගණනාවකින් ලබාගත් ගෙනෝම යොදාගනිමික් සිදුකර ඇති සවිස්තර DNA අධ්‍යයනයක් (ගහන ප්‍රවේනි විශ්ලේෂණයක්) වන මේ අධ්‍යයනයට අනුව මේ මුල්ම ගෘහාශ්‍රිතකරණය වූ බල්ලන් පැවත එන්නේ චීනයෙන් පැමිණි අළු වෘකයන්ගෙනි. එසේම මේ ප්‍රදේශයේ වසර දහස් ගණනක් පමණ පරිණාමය වන බල්ලන් ඒ ප්‍රදේශයෙන් පිටතට සංක්‍රමණය වීම ආරම්භ වූයේ වසර 15,000කට පමණ පෙරදීය. මුලින්ම මැද පෙරදිග ප්‍රදේශයට හා අප්‍රිකාවට පැමිණි යුරෝපයට බල්ලන් පැමිණියේ වසර 10,000ක් පමණ කාලයකට ඉහතදී බව මේ පර්යේෂකයන්ගේ මතයයි. එසේම මෙසේ ආසියාවෙන් පිටතට ගිය එක් ශාකාවක් නැවත උතුරු චීනයට සංක්‍රමණය වූ අතර, මුල් නැගෙනහිර ආසියානු බල්ලන් සමඟ මිශ්‍රවීමෙන් අනතුරුව ඇමරිකාවටද ව්‍යාප්ත වී තිබේ. (මූලාශ්‍රය: Cell Research, DOI: 10.1038/cr.2015.147)

ගෘහාශ්‍රිතකරණයේ විචිත්‍රත්වය

ලෝකයේ විවිධ ප්‍රදේශවල සමාන තත්ත්ව තිබූ බැවින් සතුන් ගෘහාශ්‍රිතකරණය වීමද ස්වාධීනව ඒ ප්‍රදේශවල සිදුව ඇති බව පැහැදිලිය. මේ තත්ත්ව ඇති වී ඇත්තේ එකිනෙකට සමාන තත්ත්ව හමුවේය. එ නම්, කෘෂිකර්මයේ බිහිවීමත් සමඟය. බළලූන්ට අමතරව ඌරන්ද මෙසේ තැන් කිහිපයක එක හා සමාන ගෘහාශ්‍රිතකරණයක් සිදුව ඇති බව මේ වන විට පැහැදිලිය. බළලූන් සම්බන්ධව ගතහොත් ඉහත සඳහන් චීන අධ්‍යයනය වැදගත් වන්නේ එහිදී වෙනත් විශේෂයක් ගෘහාශ්‍රිතකරණයට ලක් කර ඇති නිසාය. බල්ලන්ගේ මේ පිළිබඳ තවමත් මතභේද ඇකි බව පෙනේ.
මේ අනුව මිනිසුන් විවිධ ප්‍රදේශවල එක හා සමානව වර්ධනය වන අතර, එක හා සමාන සිදුවීම් සිදුව ඇති බව පැහැදිලිය. මෙහිදී එක හා සමාන තත්ත්ව හා අවශ්‍යතා හමු වේ සිදුව ඇති දෙයකි. එසේම මේ ගෘහාශ්‍රිතකරණයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙය අදාළ සතුන් විසින්ම සිදුකර ගත්තක් විය හැකි බවටද සාධක හමුවෙමින් තිබීමයි. මෙය එක් අපූරු හා විචිත්‍ර සිදුවීමක් නොවන්නේද?

Saturday, February 13, 2016

Floods and corrupted governments – what Karu has forgotten

Dhanesh Wisumperuma
The Nation, 29.06.2014

In a statement issued on 6th June, Mr. Karu Jayasuriya, opposition parliamentarian, has said “that according to Buddhist belief, natural disasters such as famine, floods and untimely rains occur in a country when it is ruled by unjust, wicked, corrupt and dishonest rulers. Isn’t that what is happening in our motherland today?” The statement which I saw on a news website was issued on 6th June 2014, just days after the recent floods.

The floods that took place in early this month were devastative. The heavy rains since 1st June caused serious floods and landslides in nine districts in the south-western parts of the country. The worst affected districts were Kalutara, Ratnapura,Gampaha and Galle. Rivers overflowed, several villages and cities were inundated, roads were blocked and transport was interrupted, landslides occurred in several areas. According to the statistics of the Disaster Management Centre, 27 people lost their lives. The disaster affected 29,209 families and 1,762 houses were fully or partially damaged at the peak of the havoc.

Mr. Jayasuriya’s statement shows that he has tried to connect the floods with the all evils of the present rulers in the above mentioned statement. The present government may comprise “unjust, wicked, corrupt and dishonest rulers” as he mentioned, although I am not going to comment or assess on that. However if that theory is accepted and applied to other disasters, there is at least one crucial event Mr. Karu Jauasuriya has forgotten: the floods of May 2003. Interestingly it was a time of a government of which he was a powerful minister and the head of the government disaster relief effort!

Floods of May 2003

Floods that took place after the heavy rains on 17th May 2003 were one of the most devastative floods and landslides of the recent history. It was mentioned in international media as the worst floods in the country in dedades by the BBC and USA today. The worst affected districts were Matara, Ratnapura, Galle and Kaultara while Hambantota and Nuwaraeliya were also affected.

Mr. Ranil Wickramasinghe, the then Prime Minister, was in India at the time and returned to Sri Lanka immediately and action was taken to provide relief to the affected. A committee was appointed to cater the situation of which Mrs. Chandrika Kumaratunga (President of the country) was the chairman, whose name was proposed by the Prime Minister. Mr. Karu Jauasuriya was appointed as the head of a subcommittee appointed for disaster management and who accomplished a commendable job. According to the news reports of those days, almost all political parties supported the relief efforts. The JVP sent their volunteer teams to support the people, while many opposition politicians were engaged in relief efforts. A state newspaper prominently published a photograph of Mr. Ranil Wickramasinghe (then Prime Minister) and Mr. Mahinda Rajapaksa (then Leader of the Oopposition) and Mr. Karu Jayasuriya among others discussing of the floods at Matara Divisional Secretariat.

The damage was so huge and according to the figures presented in the parliament few weeks later, by Mr. Karu Jayasuriya himself. According to his statistics, the total number of deaths was 235, with 19 others were disappeared. The total deaths were stated as 254 as the disappeared were considered dead. The number of affected families was stated as 138,924. A comparison of the floods of 2003 and 2014 in the accompanying table show the scale of the damage caused.

Table: Comparison of flood damage
The damage
May 2003
June 2014
Number of deaths
254
27
Affected families
138,924
29,209
Houses fully and partially destroyed
40,191
1,762
(Sources: 2003 data: Hansard of 03 June 2003 and 2014 data: highest numbers in Situation Reports of Disaster Management Centre)


It should be noted that no one suggested of a link between the activities of the government for the flood disasters at that time. None said that the flood havoc was a result of ‘unjust, wicked, corrupt and dishonest rulers’ at the time in 2003. Instead, all political forces got together and acted to get the country back to the normal situation. The government at the time was of a different nature – the president of the country was from one party and the government in power was from the other main party. Further, there was the time when the truce between the LTTE. It seems that the whole country got together to solve the situation. A proper mechanism to cater disaster situations were also discussed, but such a strategy became a reality, only after the tsunami on 2004.

Floods as a natural disaster

In most of the years, heavy rains resulting floods occur in late May or early June in the south western parts of the country. This is the time when the south-west monsoon starts and atmospheric disturbances taking place during this times result such downpours and eventual floods and landslides. The widely spoken record-flood that inundated Colombo and suburban areas was due to the rains of 2nd June 1992. There were heavy rains and floods in the previous year, 1991.

There arises the validity of the belief Mr. Jayasuriya has pointed out. Is the quality of the rulers is the single cause for natural disasters? There are other causes that affect the natural climatic variations such as monsoons. According to Buddhism, there are five niyama dhammas or natural laws that lead to form material entities. Uthu niyama, one of the above five explain the laws that affect the rains, temperature variations, winds and other seasonal changes. Heavy rainfall in May-June is normal and common in Sri Lanka.

We should not forget that there is a global tendency towards extreme rainfall, untimely rains resulting flash floods. These are in fact more accepted as a result of the climate change, caused mainly by the anthropogenic release of greenhouse gases. However this is primarily the results of the emissions from the developed nations, emitted for the last two and half centuries. Developing nations like us have very insignificant historic contribution for this global phenomenon.

Historical memory loss or simply the forgetting what happened in the past is more serious in the case of politicians. In case of more recent times, what happened is well documented and accessible. Hence it is better if politicians maintain a record of what they did and said in the past. What they have to do is, just do a google search regarding events of the last decade or go through the newspapers.

Thursday, January 28, 2016

ඉන්දියාව සමඟ නව වෙළෙඳ ගිවිසුමක්‌ එපා කියන්නේ ඇයි?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 27.02.2016, පි. 12 (Vidusara)

http://www.vidusara.com/2016/01/27/feature4.html


ලෝකයේ රටවල් සෙසු රටවල් සමඟ නිදහස්‌ වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන තිබීමේ අරමුණ අදාළ රටවලට අෙන්‍යාන්‍ය වශයෙන් ප්‍රතිඵලදායක වන ආකාරයේ වෙළෙඳාමක්‌ වර්ධනය කරගැනීම ය. මෙවැනි නිදහස්‌ වෙළෙඳ ගිවිසුම් මගින් සාමාන්‍යයෙන් සිදු වන්නේ ඒවාට සම්බන්ධ වන රටවල් අතර වෙළෙඳාම සඳහා වූ බාධක ඉවත් කිරීම ය. මීට අදාළ රටවල් එකඟ වන භාණ්‌ඩ සඳහා තීරු බදු ලිහිල් කිරීම වැනි පියවර ඊට ඇතුළත් ය. ජගත් මට්‌ටමේ දී මෙවැනි වෙළෙඳ ගිවිසුම් පවතී. සමස්‌තයක්‌ ලෙස ගත හොත් මේ නිසා ජාත්‍යන්තර වෙළෙඳාම වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජනා වී ඇති වෙළෙඳ ගිවිසුම ශ්‍රී ලංකාවට කෙතරම් වාසිදායක එකක්‌ වේ ද යන්න ගැටලුසහගත ය. භාණ්‌ඩවලට පමණක්‌ නො ව සේවාවලට හා ආයෝජන සඳහා ද බලපාන සේ ඇති කරගැනීමට නියමිත බව පැවසෙන මේ එකඟතාව සඳහා මුලින් යෝජනා වූයේ කලකට ඉහත දී සාකච්ඡාවට ලක්‌ වූ 'සීපා' නම් කෙටි යෙදුමෙන් හැඳින්වෙන ගිවිසුම ය. පසුව 'එට්‌කා' නම් ගිවිසුමක්‌ අත්සන් තබන බව සඳහන් විය. කෙබඳු නමකින් හඳුන්වනු ලැබුව ද, ඉන්දියාව සමඟ කිසියම් වූ ගිවිසුමක්‌ අත්සන් තැබීමට රජය සූදානම් බව පැහැදිලි ය. මුලින් මේ වසරේ පෙබරවාරියේ අත්සන් කිරීමට නියමිත බව පැවසුණු ගිවිසුම ලබන ජූනි මාසයේ පමණ අත්සන් තැබෙන බව පසුගිය දා පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ය.

FTA සිට CEPA හෝ ETCA දක්‌වා

ඉන්දියාව සමඟ රජය පුළුල් වෙළෙඳ ගිවිසුමත් අත්සන් කරනු ලබන්නේ 1998 වර්ෂයේ දී ය. නිදහස්‌ වෙළෙඳ ගිවිසුම (Free Trade Agreement – FTA හෙවත් ISFTA) නම් එම ගිවිසුම 2000 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අතර මෙය භාණ්‌ඩ වෙළෙඳාම සම්බන්ධ වූවකි. මේ සමඟ දෙරට අතර වෙළෙඳාම වර්ධනය වුව ද සමස්‌තයක්‌ ලෙස වෙළෙඳ ශේෂයේ වාසිය පැවතුණේ ඉන්දියාවට ය.

මේ තත්ත්වය හමුවේ දෙරට අතර වඩා පුළුල් ගිවිසුමක්‌ ඇති කරගැනීමට යෝජනා විය. 'සීපා' හෙවත් පූර්ණ ආරථික සහයෝගිතා ගිවිසුම (Comprehensive Economic Partnership Agreement - CEPA) ගිවිසුම නම් වූ එය පළමුව සාකච්ඡාවට ලක්‌ වූයේ පසුගිය සන්ධාන රජය සමයේ 2005 වර්ෂයේ දී ය. සාකච්ඡා වට දහ තුනකින් පසුව මේ ගිවිසුම පිළිබඳ කටයුතු 2008 ජුලි මාසය වන විට සම්පූර්ණ විය. සීපා ගිවිසුම යටතේ භාණ්‌ඩ වෙළෙඳාම පුළුල් කිරීම අපේක්‌ෂා කළ අතර, ඊට අමතරව, සේවා හා ආයෝජන ද ඇතුළත් කිරීමට නියමිත විය. එසේ ම ආර්ථික සහයෝගිතාව ද එහි ඇතුළත් විය. මේ පිළිබඳව ඒ කාලයේ දී ව්‍යාපාර අංශවලින්, දේශීය ව්‍යාපාරිකයන් ගෙන් හා විද්වත් වෘත්තිකයන් ගෙන් සැලකිය යුතු විරෝධයක්‌ පැනනැගිණි. එවකට පැවැති නිදහස්‌ සන්ධාන රජය සීපා ගිවිසුම පිළිබඳ කටයුතු ඉදිරියට ගෙන ගියේ නැත. ඊට බලපෑවේ සීපා යෝජනාවලිය ගැන වූ ගැටලු හා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම නිසා ඇති වී තිබෙන ගැටලු විසඳාගැනීමේ අවශ්‍යතාවයි.

කෙසේ වෙතත් සීපා ගිවිසුම ඇති කරගැනීමේ අදහස ඉන්දියාව අත්හැර නො තිබිණි. සන්ධාන රජය පරාජයට පත් වීමෙන් පසුව සීපා ගිවිසුම යළිත් වරක්‌ කරළියට ආවේ පසුගිය වර්ෂය මුල දී ය. මේ නිසා ඇති විය හැකි බලපෑම් පිළිබඳව උනන්දුවක්‌ දැක්‌වූ පාර්ශ්වවලින් ඒ ගැන විරෝධතා පළ විය. පසුගිය වර්ෂය අවසානයේ දී වර්තමාන රජය ප්‍රකාශ කළේ සීපා ගිවිසුම අත්සන් නො කරන බවත්, ඒ වෙනුවට ඉන්දියාව සමඟ 'එට්‌කා' හෙවත් ආර්ථික හා තාක්‌ෂණික සහයෝගිතා ගිවිසුමක්‌ (Economic and Technology Co-operation Agreement - ETCA) අත්සන් කරන බවත් ය. එය සීපා ගිවිසුමට වඩා වෙනස්‌ වූවක්‌ ලෙස බලධාරීන් පෙන්වා දී තිබුණ ද, එහි බලපෑම තීරණය වන්නේ නමින් නො ව අන්තර්ගත කරුණුවලිනි. මේ යෝජිත ගිවිසුම මෙරට සැම දෙනා ගේ ම සැලකිල්ලට ලක්‌ විය යුතු දෙයක්‌ බව යෝජිත ගිවිසුමට එල්ල වී ඇති විරෝධතා අනුව පෙනේ.

පැවැති ගිවිසුමේ වාසි කාට ද?

ඉන්දියාව වැනි විශාල රටක්‌ හා ශ්‍රී ලංකාව වැනි කුඩා රටක්‌ අතර ඇති කරගන්නා වෙළෙඳ ගිවිසුමකින් ඇති විය හැකි අවාසි හා අහිතකර බලපෑම් ගැන අවධානය යොමු කළ යුතු ය. විශේෂයෙන් භාණ්‌ඩවලට අමතරව සේවා අංශය ද ආවරණය කරන ආකාරයේ වෙළෙඳ ගිවිසුමක දී මේ තත්ත්වය වැදගත් ය.

අද වන විට වසර 15ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක ඉන්දු-ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම පැවැති කාලයේ දී මෙරට හා ඉන්දියාව අතර වෙළෙඳාම වර්ධනය වී ඇත. 2003 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 241.1ක්‌ පමණ වූ මෙරටින් ඉන්දියාවට අපනයනය කරන ලද භාණ්‌ඩවල වටිනාකම 2014 වන විට මිලියන 625ක්‌ පමණ දක්‌වා ඉහළ ගොස්‌ ඇත. මෙය මෙරට වෙළෙඳ ද්‍රව්‍ය සඳහා ඉන්දියානු වෙළෙඳපොළ පුළුල් වීම පිළිබඳ සාධකයක්‌ ලෙස ගත හැකි ය. එහෙත් මේ අතරින් ඇතැම් අපනයනවල හිමිකාරිත්වය ඉන්දියානු ව්‍යාපාරිකයන් සතු වූ අතර මේ නිසා ඉන් ලංකාවට ලැබුණු වාසිය වඩාත් අඩු ය. නිදසුනක්‌ ලෙස වනස්‌පති තෙල් හා තඹ අපනයනය දැක්‌විය හැකි ය. අනෙක්‌ අතට නිදහස්‌ වෙළෙඳ ගිවිසුම යටතේ පවා මෙරට නිෂ්පාදන ද්‍රව්‍ය අපනයනය කිරීමට යැමේ දී බදු නො වන වෙනත් සීමාවලට ලක්‌ වීමට සිදු වූ අවස්‌ථා පිළිබඳව මෙරට ව්‍යාපාරිකයන් ගේ පැමිණිලි තිබේ.

කෙසේ වෙතත් මේ කාලය ඇතුළත ඉන්දියාවෙන් අපේ රටට ආනයනය කර ඇති භාණ්‌ඩවල වටිනාකම මීට වඩා බෙහෙවින් වැඩි ය. 2003 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1075ක්‌ පමණ වූ ඉන්දියානු ආනයනවල වටිනාකම 2014 වන විට මිලියන 3977ක්‌ පමණ තෙක්‌ වර්ධනය වී ඇත. මේ මුළු කාලය ඇතුළත වෙළෙඳ ශේෂයේ වාසිය තිබුණේ ඉන්දියාව දෙසට ය.


සේවා අංශය විවෘත කිරීමේ බලපෑම්

කෙසේ වෙතත් පෙර සඳහන් කළ ආකාරයට ම සීපා ගිවිසුමේ මෙන්ම ඒ වෙනුවට ඇති කරගන්නා වෙනත් ගිවිසුමක වැදගත් ම අංශය වන්නේ සේවා අංශයේ යම් යම් ක්‌ෂේත්‍ර විවෘත කිරීමයි. වෘත්තික ක්‌ෂේත්‍ර ද මේ ආකාරයෙන් විවෘත වීමට අවස්‌ථාව තිබේ. පසුගිය දා රජයේ අමාත්‍යවරයකු ප්‍රකාශ කළ ආකාරයට යම් යම් අංශවල සේවා ඉන්දියාවට විවෘත කිරීමට යෝජනා වී ඇත. ඒ අතර තොරතුරු තාක්‌ෂණ අංශය හා නැව් නිර්මාණය යන අංශය ද වෙයි. මේ සඳහා වෛද්‍ය හා නීති ක්‌ෂේත්‍රය අදාළ නො වන බව අවධාරණය කර තිබිණි. මේ අංශවලින් පැනනැගුණු විරෝධය මීට බලපාන්නට ඇත. (වෛද්‍ය හා ඉංජිනේරු අංශවල වෘත්තිකයන් යෝජිත වෙළෙඳ ගිවිසුම පිළිබඳව අවධානය යොමු කර තිබිණි.)

මේ තත්ත්වය සැලකිය යුතු කරුණකි. විශේෂයෙන් එරට තොරතුරු තාක්‌ෂණ වෘත්තිකයන් විශාල පිරිසක්‌ අර්ධකාලීනව රැකියා කරන පිරිස්‌ වෙති. ඔවුන් මෙරට රැකියා සඳහා ආකර්ෂණය විය හැකි ය. වාර්ෂිකව ඉන්දියාවෙන් පිට වන උපාධිධාරීන් ගණන විශාල ප්‍රමාණයක්‌ වන අතර මේ උපාධිවල ගුණාත්මක බව පිළිබඳ ගැටලු තිබිය හැකි වුව ද, ව්‍යාපාරිකයන් ලාබ ශ්‍රමය සොයන බැවින් ඔවුන් සඳහා වැඩි ඉල්ලුමක්‌ ඇති වීමේ අවස්‌ථාවක්‌ තිබේ. මේ තත්ත්වය ඉන්දියාවට විවෘත කරන හෝ අනාගතයේ දී විවෘත කරනු ලබන සෙසු අංශවලටද පොදු ය. මේ සමඟ ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළට ඉන්දියානු ශ්‍රමිකයන් පැමිණීම සිදු විය හැකි ය.

ලාබ ශ්‍රමය සුලබ ඉන්දියාවේ විරැකියා අනුපාතය ද ඉහළ අගයක්‌ ගනී. එරට තරුණ පිරිස්‌ අතර විරැකියා ප්‍රතිශතය 2013 වර්ෂයේ දී 12.8ක්‌ පමණ විය. ඉහළ අධ්‍යාපනයක්‌ ලද ඉන්දියානුවන් අතර විරැකියාව ඉහළ වීම ද විශේෂයකි. අපේ රටට ආසන්න ව පිහිටා ඇති තමිල්නාඩුවේ පශ්චාත් උපාධිධාරීන් ගෙන් 13.5%ක්‌ පමණ පිරිසක්‌

විරැකියාවෙන් පසු වෙති. එසේ ම ඉන්දියාවේ උපාධිධාරීන් අතරින් වැඩි ම විරැකියාව වන 30% අගය ඇත්තේ ඊට යාබද කේරළ ප්‍රාන්තයේ ය. මෙවැනි තත්ත්වයක දී සේවා අංශය විවෘත කිරීමෙන් සුදුසුකම් සහිත ඉන්දියානුවන් මෙරට රැකියාවලට යොමු වීම ඉහළ යා හැකි ය. (මේ තත්ත්වය විමසීමේ දී අප සැලකිය යුත්තේ අද වන විට සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ විවිධ සුළු රැකියා කරන ඉන්දියානුවන් පිරිස ගැන ය. එසේ කරමින් තිබිය දී අත්අඩංගුවට ගත් පිරිස්‌ ගැන ද පුවත්පත් වාර්තාවල සඳහන් වේ).

එවැනි තත්ත්වයක දී මෙරට ශ්‍රම බලකායේ රැකියා නියුක්‌තියට බලපෑමක්‌ විය හැකි ය. ශ්‍රී ලාංකිකයන්ට මෙරට අදාළ ක්‌ෂේත්‍රවල ඇති රැකියා අවස්‌ථා අඩු විය හැකි අතර, වැටුප් පරිමාණ පවා පහළ යැම සිදු විය හැකි ය. වෙනත් වචනවලින් පවසන්නේ නම් මෙරට ශ්‍රම බලකායට හිමි විය යුතු රැකියා අවස්‌ථා විදේශිකයන්ට ලැබීමට ඉඩ තිබේ. දැනටමත් උපාධිධාරීන් රැකියා නොමැති ව සිටින තත්ත්වයක්‌ හමුවේ, අනාගතයේ දී ඔවුන් ගේ රැකියා වෙළෙඳපොළ විදේශ රටකට විවෘත කිරීම ගැටලු සහගත කරුණකි. මේ තත්ත්වය අපේ රටේ විරැකියාව වර්ධනය වීමට තුඩු දිය හැකි අතර, සුදුසුකම් ලත් වෘත්තිකයන් රට හැර යැමෙන් ඇති වන බුද්ධිගලනය උග්‍ර වීමට ද ඒ තත්ත්වය බලපෑ හැකි ය. එසේ ම තොරතුරු තාක්‌ෂණය වැනි අංශයක රැකියා සොයාගැනීම මෙරට තරුණ තරුණියන්ට අසීරු වුව හොත්, එවැනි අංශවල අධ්‍යාපනය ලැබීමට ඔවුන් අතර ඇති උනන්දුව අඩු වීමෙන් අදාළ අංශයේ සමස්‌ත පිරිහීමක්‌ පවා ඇති විය නොහැක්‌කේ නො වේ.

ගිවිසුම ගැන තවත් කල්පනා කළ යුතුය

මේ සියලු කරුණු අනුව පෙනෙන්නේ ඉන්දියාව සමඟ මෙවැනි වෙළෙඳ ගිවිසුමක්‌ අත්සන් කිරීමට පෙර ඒ පිළිබඳ වඩා පුළුල් සාකච්ඡාවක්‌ ඇති කිරීම අත්‍යවශ්‍ය බව ය. යෝජිත ගිවිසුම ගැන අදහස්‌ දක්‌වමින් රජයේ දේශපාලන නියෝජිතයකු පසුගිය දා ජනමාධ්‍ය වෙත පවසා තිබුණේ 100%ක්‌ වාසිදායක ගිවිසුම් ඇති කරගත නොහැකි බවයි. එය සත්‍යයකි. එහෙත් එවැනි අවස්‌ථාවක දී යම් ගිවිසුමකින් සිදු විය හැකි අවාසිය ගැන අප වඩාත් සැලකිලිමත් විය යුතු වේ. එසේ නො වුව හොත් ඇති විය හැක්‌කේ බරපතළ තත්ත්වයකි.

අපේ රටට ඇති විය හැකි අවාසි හා අයහපත් බලපෑම් බරපතළ විය හැකි නම් එවැනි ගිවිසුමකට එළැඹීමෙන් වැළකී සිටීමට ද රජයට හැකියාව තිබිය යුතු ය. ඉන්දියාව අපේ අසල්වැසි බලවත් රාජ්‍යයක්‌ වුව ද, අපේ රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට මෙරට ජනතාව වෙනුවෙන් පත් ව සිටින රජයකට හැකියාව තිබිය යුතු වේ. (2008 වර්ෂයේ දී එවකට පැවැති රජය සීපා ගිවිසුමට එළැඹීමෙන් වැළකී සිටි බව මෙහි දී සඳහන් කළ යුතු ය).

වර්තමාන රජය මේ පිළිබඳව සැලකිලිමත් නො වී ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුමක්‌ අත්සන් කරන්නේ නම්, ඉන්දියානු බලපෑම හා දේශපාලන අවශ්‍යතා මත උක්‌ත ගිවිසුම ඇති කරගැනීමට වර්තමාන රජය පෙලඹී සිටින බවට එල්ල වී ඇති චෝදනාවට තල්ලුවක්‌ ලැබෙනු ඇත.

http://www.vidusara.com/2016/01/27/feature4.html

Wednesday, January 27, 2016

පරිගණකයෙන් නිර්මාණය කෙරුණු නූතන මානවයා ගේ හා නියෑන්ඩර්තාල් මානවයා ගේ පොදු පූර්වජයා

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.12.2015, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2015/12/30/viduindex.htm




මානව පරිණාමය යනු සත්ත්ව පරිණාමයේ එක්‌ අසිරිමත් කතාවකි. අද පොළොව මත වෙසෙන බුද්ධිමත් ම ජීවියා ලෙස සැලකෙන මිනිසුන් ඒ තත්ත්වය දක්‌වා කාලය සමග ක්‍රමයෙන් වෙනස්‌ වූ ආකාරය මේ කතාවෙන් දැක්‌වේ. ඒ කතාවේ අතීතයේ අපට පෙර ජීවත් වූ අපේ පූර්වජයන් පිළිබඳව කරුණු අනාවරණය වන්නේ ෆොසිල සාධක ආශ්‍රයෙනි. එහෙත් අප සතු ෆොසිල සාධක පිළිබඳ දැනුම සම්පූර්ණ එකක්‌ නො වේ. තවමත් මානව පරිණාමය කතාවේ හිස්‌තැන් සම්පූර්ණ කිරීම සඳහා යොදාගත හැකි ෆොසිල සාධක හමු වේ.

නියෑන්ඩර්තාල් මානවයා (Homo neanderthalensis) හා නූතන මානවයා (Homo sapiens) යන විශේෂ දෙකට පොදු වූ පූර්වජයකු සිටි බව අප දන්නා කරුණකි. මේ වන විට ඇති දත්තවලට අනුව අදින් වසර 781,000ත් 126,000ක්‌ පමණ අතීතයේ පැවැති මධ්‍ය ප්ලයිස්‌ටොසීන (Middle Pleistocene) සමයේ දී ඒ පොදු පූර්වජයා ගෙන් මේ මානව විශේෂ දෙක වෙන් වූ බව සැලකේ. එහෙත් මේ කාලයට අයත් ෆොසිල සාධක බෙහෙවින් අඩු බැවින්, මේ පොදු පූර්වජ මානවයා කෙබඳු වූයේ ද යන්න මෙතෙක්‌ අනාවරණය නො වූ කරුණක්‌ විය.

මේ පොදු පූර්වජයා පිළිබඳව සිදු කරන ලද අපූරු පර්යේෂණයක්‌ පිළිබඳව පසුගිය දිනක වාර්තා විය. ඒ උක්‌ත මානව විශේෂ දෙකේ ලක්‌ෂණ යොදාගනිමින්, ඔවුන් ගේ පොදු පූර්වජයා ගේ ත්‍රිමාන අතථ්‍ය (virtual) හිස්‌කබලක්‌ නිර්මාණය කිරීමට කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක්‌ සමත් ව තිබූ පුවතයි.

පොදු පූර්වජයා නිර්මාණය

මේ අපූරු කටයුත්ත සඳහා වසර මිලියක දෙකක පමණ කාලයක්‌ පුරා පැතිර ගිය මානව ෆොසිල හිස්‌කබල් විශාල ප්‍රමාණයක්‌ මේ පර්යේෂකයන් විසින් අධ්‍යයනය කරන ලදි. එයට Homo erectus, නියෑන්ඩර්තාල් මානව මෙන්ම Homo sapiens ෆොසිල ද ඇතුළත් වේ. මේ ෆොසිල හිස්‌කබල්වල මතුපිට ඇති ඉම් සලකුණු (landmarks) 797ක්‌ හඳුනාගන්නා ලද අතර, ඒවායේ ඇති වී තිබෙන වෙනස්‌කම් හරහා කිසියම් පරිණාමීය රාමුවක්‌ ගොඩනගාගැනීමට ඔවුනට හැකියාව ලැබිණි. මේ වෙනස්‌කම් මත, හිස්‌කබල් ව්‍යqහයේ පරිණාමය පිළිබඳව කිසියම් කාලරාමුවක්‌ ගොඩනගාගැනිණි. එසේ ම නූතන මානවයා ගේ පරිලෝකනය කරන ලද හිස්‌කබලක්‌ ද සමග සමපාත කරන ලදි. මෙමගින් අතීතයේ විසූ පොදු පූර්වජයා ගේ හිස්‌කබල නිර්මාණය කරා යා හැකි ක්‍රමවේදයක්‌ නිර්මාණය කිරීමට මේ පර්යේෂකයන් පිරිස සමත් ව තිබේ.

මේ අනුව අදින් වසර 100,000ත් 800,000ත් අතර කාලයකට ඉහත දී පැවැති මධ්‍ය ප්ලයිස්‌ටොසීන යුගයේ දී ජීවත් වූ, නියෑන්ඩර්තාල් හා නූතන මානව යන විශේෂ දෙකේ පූර්වජයා තුළ මේ ලක්‌ෂණ නිරූපණය වූ ආකාරය දැක්‌වීමට හැකියාව ලැබී ඇත.

මානව පරිණාමයේ මේ බෙදීම සිදු වූයේ යෑයි අනුමාන කරනු ලබන කාලවකවානු තුනකට අදාළ වන හිස්‌කබල් තුනක්‌ පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට පර්යේෂකයන් පියවර ගෙන තිබේ. මේ දක්‌වා හමු වී ඇති ප්ලයිස්‌ටොසීන යුගයට අයත් මානව ෆොසිල ස්‌වල්පයක්‌ හා මේ ඩිජිටල් හිස්‌කබල් සංසන්දනය කිරීමට මේ පර්යේෂකයෝ ඉන්පසුව පියවර ගත් හ. ඉන් නූතන මිනිසා ගේ හා නියෑන්ඩර්තාල් මානවයා ගේ පොදු පූර්වජයා ගේ හිස්‌කබල කෙබඳු වන්නට ඇත් ද යන්න හා මේ වෙන් වීම සිදු වූයේ කවර දා ද යන්න තවදුරටත් නිශ්චිත වශයෙන් අවබෝධ කරගැනීමට ඔවුනට හැකියාව ලැබී ඇත.



මේ අනුව උක්‌ත විශේෂ දෙකට පොදු වූ පූර්වජයා ගෙන් බෙදී ගොස්‌ මේ මානව විශේෂ දෙක ඇති වී තිබෙන්නේ අදින් වසර 700,000කට පමණ පෙර කාලයක දී බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. 1 රූපයේ දෙවැනි පේළියේ දැක්‌වෙන්නේ පරිගණක ආශ්‍රිතව ඔවුන් නිර්මාණය කළ හිස්‌කබල ය. කෙසේ වෙතත්, මීට පෙර සිදු කර ඇති DNA ආශ්‍රිත පර්යේෂණවලින් පෙන්වා දී ඇති පරිදි මේ බෙදීම සිදු ව ඇත්තේ අදින් වසර 400,000කට පමණ ඉහත කාලයක " ය.

පොදු පූර්ජවයා ගේ ලක්‌ෂණ

මේ කල්පිත පොදු පූර්වජයා ගේ හිස්‌කබලේ නූතන මානවයා ගේ මෙන්ම නියෑන්ඩර්තාල් මානවයා ගේ ද ලක්‌ෂණ දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, නියෑන්ඩර්තාල් මානවයා ගේ දැකිය හැකි දිගැටි ස්‌වභාවයක්‌ ගත් හිස්‌කබලට හේතු වූ හිස්‌කබල පිටුපස ඇති කැපී පෙනෙන නෙරුමක මුල් අවස්‌ථාවක්‌ වන වර්ධනයක්‌ මෙහි දැකිය හැකි ය. මේ දිගැටි ස්‌වභාවය නිසා නියෑන්ඩර්තාල් මානවයන් ගේ අපර කපාල නෙරුම (occipital bun) ලෙස හඳුන්වන ලක්‌ෂණය විය.

අනෙක්‌ අතට මේ කල්පිත පොදු පූර්වජයා ගේ කම්මුල් අස්‌ථිවල දැකිය හැක්‌කේ නූතන මානවයා ගේ ඇති මටසිලුටු ලක්‌ෂණ සහිත මුහුණට හේතු වූ ස්‌වභාවයේ ලක්‌ෂණ ය. නියෑන්ඩර්තාල් මානවයන් ගේ මේ ප්‍රදේශයේ ඇත්තේ වැඩි ඝනකමකින් යුක්‌ත වූ අස්‌ථි වන අතර මේ නිසා ඔවුන් ගේ මුහුණ වඩා ඉලිප්පුණු හා නෙරා සිටි ස්‌වභාවයක්‌ ගත්තේ ය.

හිස්‌කබලේ ඇහි බැමට ඉහළින් පිහිටා තිබූ අස්‌ථිමය වැටියේ මහත හා ඝනකම ස්‌වභාවය පොදුවේ සියලු ආදි මානවයන් අතර දැකිය හැකි ය. එය මුල් Homo ගණයේ මානවයන් ගේ හා නියෑන්ඩර්තාල් මානවයන් ගේ ද පැහැදිලිව පෙනේ. මේ කැපී පෙනෙන ගැටියක්‌ බඳු ස්‌වභාවය මේ කල්පිත පොදු පූර්වජයා ගේ ද හමු වේ. කෙසේ වෙතත් Homo sapiens මානවයන් ගේ මේ ලක්‌ෂණය දැකිය නොහැකි ය.

මේ අනුව මේ පොදු පූර්වජයා වඩාත් සමාන වන්නේ අතීතයේ සිටි නියෑන්ඩර්තාල් මානවයන්ට වන අතර, ගත වී ඇති කාලයත් සමඟ එය පුදුමයට කරුණක්‌ නො වන බව පර්යේෂකයන් ගේ මතයයි. ගත වී ඇති කාලයත් සමඟ නූතන මිනිසා ගේ අද දැකිය හැකි සියලු අංග වර්ධනය වී ඇත. විශේෂයෙන් අප්‍රිකාවේ විසූ සුළු ජන කොටසක ගේ සිට අද ලෝකය පුරා වාසය කරන බිලියන හතක්‌ පමණ වූ මිනිසුන් දක්‌වා වූ ඉතිහාසයක්‌ ඇති Homo sapiens නූතන මානවයන් ගේ පරිණාමීය ඉතිහාසයේ එවැන්නක්‌ සිදු විය හැකි ය.

මේ පොදු පූර්වජයා බිහි වන්නට ඇත්තේ ද අප්‍රිකාවේ බව මේ පර්යේෂකයන් ගේ අදහස වන අතර, ඔවුන් යුරේසියාවේ සැලකිය යුතු ප්‍රදේශයක්‌ පුරා ජීවත් ව සිටි බව ද සැලකේ. එමෙන් ම මේ පොදු පූර්වජයන් Homo heidelbergensis ලෙස හඳුන්වනු ලැබූ විශේෂයේ එක්‌ ගහනයක්‌ විය හැකි බවට මීට පෙර ඉදිරිපත් කර ඇති අදහස ද විය හැක්‌කක්‌ බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. Homo heidelbergensis මානවයෝ අදින් වසර 800,000ත් 1,300,000 පමණ කාලයකට පෙර බිහි වූ අතර අප්‍රිකාව, යුරෝපය හා බටහිර ආසියාව යන ප්‍රදේශවල ජීවත් වූ හ. ඔවුන් අදින් වසර 200,000ත් අතර කාලයකට පෙර වඳ ව ගිය බව සැලකේ.


නව ක්‍රමවේදයේ වැදගත්කම හා සීමා

මේ ආකාරයෙන් පරිගණක ආශ්‍රිත ව අතථ්‍ය ෆොසිල නිර්මාණය කිරීමේ තාක්‌ෂණය කිසියම් තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ ලෙස වැදගත් ය. විශේෂයෙන් පරිණාමීය ගැටලුවක්‌ විසඳාගැනීම සඳහා ෆොසිල සාධක නොමැති අවස්‌ථාවල දී කල්පිතයක්‌ පරීක්‌ෂා කිරීම සඳහා මේ තාක්‌ෂණය යොදාගැනීමට හැකියාව තිබේ. ඕනෑ ම සත්ත්ව කණ්‌ඩායමක්‌ සඳහා මෙය යොදාගත හැකි වීම මෙහි ඇති වැදගත් කරුණකි.

කෙසේ වෙතත් මේ අධ්‍යයනයේ ඇති සීමා කිහිපයක්‌ පිළිබඳව ද සඳහන් කළ යුතු වේ. ඉන් පළමුවැන්න වන්නේ මෙසේ පරිගණක ආශ්‍රිතව නිර්මාණය කරනු ලබන හිස්‌කබල හෝ අස්‌ථි නිවැරැදි ම සත්‍යය නො පෙන්විය හැකි බව ය. තවත් වැදගත් කරුණක්‌ වන්නේ මේ හිස්‌කබල හෝ වෙනත් අස්‌ථි කොටස්‌ අතථ්‍ය ලෙස නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ෆොසිල සාධකවල සම්පූර්ණ බව මත අදාළ නිර්මාණයේ ස්‌වභාවය ද තීරණය වන බව ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, නියෑන්ඩර්තාල් හා හෝමෝ සේපියන් මානවයන් අතර අන්තරාභිජනනයක්‌ සිදු වී ඇති බැවින්, මේ හිස්‌කබල් යොදාගැනීමේ දී එසේ නො වූ ඒවා භාවිත වූයේ ද යන්න එක්‌ වැදගත් කරුණකි.

කෙසේ වෙතත් මෙහි දී නවීන තාක්‌ෂණය යොදාගනිමින් පොදු පූර්වජයකු ගේ ස්‌වභාවය තේරුම්ගැනීමට යම් හැකියාවක්‌ ලැබී ඇත. එය නව්‍ය තාක්‌ෂණික උපක්‍රමයකි. ෆොසිල වාර්තාවේ ඇති අඩුපාඩු වළක්‌වාගැනීම සඳහා මේ නිසා කිසියම් සහායත් ලැබී තිබේ. අනාගතයේ සිදු කරන පර්යේෂණ මගින් සැබෑ ෆොසිල සොයාගැනීමට හැකි වුව හොත් මේ තාක්‌ෂණයේ නිවැරැදි බව කෙතරම් ද යන්න වටහාගත හැකි ය.

මේ අධ්‍යයනය පිළිබඳ වාර්තාව පළ වී ඇත්තේ Journal of Human Evolution සඟරාවේ ය.

http://www.vidusara.com/2015/12/30/viduindex.htm

සාගරයේ උණුසුම වැඩි වීමෙන් ඉන්දියානු සාගරයේ නිෂ්පාදිතාව අඩු වේ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 5, 13.01.2016 (Vidusara)

http://www.vidusara.com/2016/01/13/feature2.html



සාගර ආහාර ජාලයේ වැදගත් කාර්යයක්‌ සිදු කරන ජීවී කාණ්‌ඩයක්‌ ලෙස ශාක ප්ලවාංග දැක්‌විය හැකි ය. ඇසට නො පෙනෙන තරම් කුඩා ජීවී කාණ්‌ඩයක්‌ වන මේවා විශාල වශයෙන් දැකිය හැකි විට, ජලය මතුපිට කොළ පැහැයෙන් දිස්‌ වේ. මේ කොළ පැහැයට හේතුව වන්නේ ඒවායේ ඇතුළත් හරිතප්‍රද ය. ශාක ප්ලවාංගවල වැදගත්කම තීරණය වන්නේ එය ප්‍රාථමික නිෂ්පාදකයකු වීම නිසා ය. සාගරයේ ඉතා විශාල ප්‍රමාණවලින් හමු වන බැවින් ලෝකයේ සිදු වන සමස්‌ත ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියෙන් 50%ක්‌ පමණ සිදු කරන්නේ මේ ශාක ප්ලවාංග ය.

ප්ලවාංග-භක්‌ෂක මසුන් හා වෙනත් ජීවීන්, ඇතැම් මසුන් ගේ කීට අවස්‌ථා රැසක්‌ ම යෑපෙන්නේ මේ ප්‍රාථමික නිෂ්පාදකයා වන ශාක ප්ලවාංග ආහාරයට ගැනීමෙනි. මේ කුඩා මසුන් ආහාරයට ගන්නා විශාල මසුන් විශේෂ විශාල සංඛ්‍යාවක්‌ සාගරයේ ජීවත් වේ. මේ නිසා සාගර ආහාර ජාලයේ ආරම්භකයා හෙවත් ඊට පාදක වන ජීවී කාණ්‌ඩය වන්නේ ශාක ප්ලවාංග ය. මේ අනුව ශාක ප්ලවාංගවල වැදගත්කම ඉතා පැහැදිලි ය.

කෙසේ වෙතත් මේ ශාක ප්ලවාංග සාගරයේ සිදු වන විවිධ වෙනස්‌කම්වලට ද සංවේදී වේ. නිදසනක්‌ ලෙස ගත හොත් සාගරයේ උෂ්ණත්වය ඉහළ යැම, සාගරයේ දැකිය හැකි පෝෂක ප්‍රමාණය වැනි සාධක ගණනාවක්‌ ශාක ප්ලවාංගවල පැවත්ම සඳහා වැදගත් වන සීමාකාරී සාධක වේ. මෑතක දී සිදු කරන ලද මෙවැනි එක්‌ අධ්‍යයනයකින් දක්‌වා ඇති ආකාරයට ඉන්දියානු සාගරයේ බටහිර ප්‍රදේශයේ ශාක ප්ලවාංගවල කැපී පෙනෙන අඩු වීමක්‌ වාර්තා වේ.

ශාක ප්ලවාංග අඩු වේ

ඉන්දියානු සාගරයේ බටහිර කලාපය යනු විශාලතම ශාක ප්ලවාංග අතිගහනයක්‌ (phytoplankton blooms) ඇති වන කලාපයකි. මේ කලාපය පදනම් කරගෙන සිදු කර ඇති උක්‌ත අධ්‍යයනයේ දී යොදාගෙන ඇති එක්‌ දත්ත සමූහයක්‌ වන්නේ බහුවිධ චන්ද්‍රිකා දත්ත මගින් ලබාගත් හරිතප්‍රද ප්‍රමාණය සම්බන්ධ දත්ත ය. මේ මගින් වසර 16ක පමණ අඛණ්‌ඩ කාලයක්‌ සඳහා වූ දත්ත රැස්‌ කරගෙන තිබේ. මේ වසර ප්‍රමාණය නිවර්තන සාගර කලාපවල ඇති වන කිසියම් ප්‍රවණතාවයක්‌ හඳුනාගැනීම සඳහා ප්‍රමාණවත් යෑයි සිතනු ලබන ප්‍රමාණයට සමාන වන අගයකි. එසේ ම ඓතිහාසික වශයෙන් හරිතප්‍රදවල ප්‍රමාණය පිළිබඳ දත්ත ලබාගෙන ඇත්තේ බහුවිධ ආකෘතියක්‌ යොදාගැනීමෙනි.

මේ දත්ත මගින් හෙළි වී ඇති පරිදි මේ කලාපයේ ශාක ප්ලවාංගවල කැපී පෙනෙන අඩු වීමක්‌ දැකිය හැකි ය. වඩාත් පැහැදිලිව පවසන්නේ නම්, පසුගිය වසර හැටක පමණ කාලය ඇතුළත එහි ශාක ප්ලවාංග ප්‍රමාණය 20%ක්‌ පමණ ප්‍රමාණයකින් අඩු වී තිබේ. එසේ ම චන්ද්‍රිකා දත්ත අනුව, මෑත දී ගත වූ වසර 16ක පමණ කාලයේ දී මේ ප්ලවාංග අඩු වීම වඩාත් වේගවත් බව පෙනේ. ඒ ප්‍රමාණය 30%ක්‌ පමණ තරම් බව ද මේ පර්යේෂකයන්ගේ අදහස වේ.

සාගරයේ උණුසුම බලපාන අයුරු

මෙසේ සිදු වීමට හේතුව වන්නේ බටහිර ඉන්දියානු සාගරයේ සාමාන්‍ය උෂ්ණත්වයේ දැකිය හැකි වේගවත් වර්ධනයයි. මේ සාගර ප්‍රදේශයේ උෂ්ණත්වය පසුගිය ශතවර්ෂයක කාලය තුළ සෙල්සියස්‌ අංශක 1.2ක සාමාන්‍ය අගයකින් පමණ ඉහළ ගොස්‌ තිබේ. ලෝකයේ ගොඩබිම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යැමේ සාමාන්‍යය වන සෙල්සියස්‌ අශක 0.8ක ප්‍රමාණය හා සංසන්දනය කරන විට මෙය විශාල අගයකි.

මේ උෂ්ණත්වය ඉහළ යැම ශාක ප්ලවාංගවල අඩු වීම සඳහා බලපාන ආකාරය ද ඔවුන් පැහැදිලි කර තිබේ. මෙසේ උෂ්ණත්වය ඉහළ යැම හා සමග සාගරයේ මතුපිට ජලයේ ඝනත්වය අඩු වන අතර, වැඩි ඝනත්වයකින් යුක්‌ත ජලය ඊට වඩා පහළ මට්‌ටමකින් පවතියි. සිරස්‌ ස්‌තරීභවනය (vertical stratification) ලෙස හැඳින්වෙන මේ තත්ත්වය හේතුවෙන් සාගරයේ මතුපිට හා පහළ ප්‍රදේශ අතර ජලය සිරස්‌ව මිශ්‍ර වීම සිදු නො වේ. මෙය වැදගත් වන්නේ පෝෂක අතින් වඩා පොහොසත් වන්නේ සාගරයේ වඩා ගැඹුරු ප්‍රදේශවල ඇති ජලය වීම නිසා ය. ශාක ප්ලවාංග වර්ධනය වන්නේ එAවායේ වර්ධනය සඳහා අවශ්‍ය තරම් ආලෝකයක්‌ ලැබෙන සාගර මතුපිට පිහිටා ඇති කලාපයේ ය. ආලෝකය තිබුණ ද සාගරයේ ගැඹුර මට්‌ටම්වල සිය සාගර ජලය මතුපිට වෙත නො පැමිණීම නිසා, ශාක ප්ලවාංගවල වර්ධනය සඳහා ප්‍රමාණවත් තරම් පෝෂණයක්‌ නො ලැබී යයි.

මේ තත්ත්වය නිසා වර්තමානයේ ඉහතා ඉහළ නිෂ්පාදිතාවක්‌ ඇති සාගර කලාපයක්‌ වන මේ සාගර ප්‍රදේශයේ අනාගතයේ දී පාරිසරික වශයෙන් දැඩි පිරිහීමක්‌ ඇති විය හැකි බව මේ පර්යේෂකයන් ගේ අදහස වේ. මේ සඳහා ඔවුන් භාවිත කර ඇති වදන වන්නේ 'පාරිසරික කාන්තාරයක්‌' (ecological desert) යන්න ය.

සෙසු පර්යේෂණවලට වඩා වෙනස්‌

කෙසේ වෙතත් මේ පර්යෙAෂණයෙන් හෙළි වූ කරුණු මේ විෂය සම්බන්ධව මෑතක දී සිදු කරන ලද වෙනත් පර්යේෂණවලින් අනාවරණය වූ කරුණුවලට වඩා වෙනස්‌ ය.

මීට පෙර ප්‍රකාශයට පත් වූ ඇතැම් පර්යේෂණ වාර්තා කිහිපයකින් ම දැක්‌වෙන්නේ ඉන්දියානු සාගර කලාපයේ පවත්නා ශාක ප්ලවාංග ප්‍රමාණයේ වේගවත් වර්ධනයක්‌ මෑත කාලයේ දී දැකිය හැකි බවකි. නිදසුනක්‌ ලෙස ගත හොත් 2006 වර්ෂයේ දී ප්‍රකාශිත එක්‌ පර්යේෂණයකට අනුව වෙනත් බොහෝ නිවර්තන කලාපීය සාගර ප්‍රදේශවල දළ ප්‍රාථමික නිෂ්පාදනයේ අඩු වීමක්‌ දැකිය හැකි වුවත් ඉන්දීය සාගර ප්‍රදේශයේ ප්‍රාථමික නිෂ්පාදනයේ වර්ධනයක්‌ ඇති වූ බවක්‌ පෙන්වා දෙයි (මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature05317). එසේ ම බටහිර ඉන්දීය සාගරයේ ශාක ප්ලවාංගවල 350% පමණ වර්ධනයක්‌ ඇති බවට එක්‌ අධ්‍යයන වාර්තාවකින් සංඛ්‍යාත්මකව දක්‌වා තිබීම ද විශේෂයකි. එහි දී අදාළ තත්ත්වයට හේතුව සේ පෙන්වා දී ඇත්තේ මෝසම් සුළං වර්ධනය වීමයි. (මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.1106610).

එහෙත් අප මාතෘකා කරගත් අධ්‍යයනයේ කතුවරුන් පෙන්වා දෙන්නේ ශාක ප්ලවාංගවල වර්ධනයක්‌ දැක්‌වූ අධ්‍යයනවල අවධානයට ලක්‌ ව ඇත්තේ කෙටි කාලයක්‌ සඳහා අදාළ දත්ත බවයි. එහෙත් මෙවැනි කරුණක්‌ සම්බන්ධව පැහැදිලි කිරීම සඳහා වඩා දිගු කාලයක්‌ ආවරණය කරන පරිදි දත්ත ලබාගත යුතු වේ. අප සාකච්ඡා කරන අධ්‍යයනය දිගුකාලීන දත්ත යොදාගත් අධ්‍යයනයකි. කෙටිකාලීන වශයෙන් ශාක ප්ලවාංග ප්‍රමාණයේ යම් යම් කැපී පෙනෙන වෙනස්‌කම් ඇති විය හැකි ය. නිදසුනක්‌ ලෙස පෙර සඳහන් කරන ලද අධ්‍යයනවල දී යොදාගත් කාලවකවානුවේ දී ශාක ප්ලවාංගවල වර්ධනයක්‌ සිදු වී ඇත. විශේෂයෙන් 1998-2005 අතර කාලයේ දී මෙවැනි වර්ධනයක්‌ දැකිය හැකි වී ඇත. එසේ සිදු ව ඇත්තේ 1998 දී පැවැති එල් නිනෝ තත්ත්වය නිසා උණුසුම් වූ සාගරය ඉන් පසුව පැමිණි ලා නිනා තත්ත්වය නිසා සිසිල් වීමයි. එහෙත් වඩා දිගුකාලීන දත්ත අනුව සිදු ව ඇත්තේ ප්ලවාංගවල අඩු වීමකි. විශේෂයෙන් දේශගුණ ආකෘති මගින් දක්‌වා ඇති පරිදි දිගුකාලීන වශයෙන් සිදු වන්නේ උෂ්ණත්ව ඉහළ යැමක්‌ වන නිසා බටහිර ඉන්දීය සාගරයේ ඇති විය හැකි තත්ත්වය අවධානයට යොමු කළ යුතු තත්ත්වයකි.

ආහාර ජාලය සඳහා වූ බලපෑම

ශාක ප්ලවාංගවල වැදගත්කම වන්නේ ඒවා සාගර ආහාර ජාලයේ පදනම වීම බව ඉහත දක්‌වන ලදි. මේ නිසා ශාක ප්ලවාංගවල සුලබතාව මත සාගරයේ හමු වන විවිධ මසුන් ගේ සුලබතාවය තීරණය වේ. මේ අතර ධීවර කර්මාන්තය සඳහා ද වැදගත් වන මත්ස්‍ය විශේෂ ගණනාවක්‌ ද වෙයි. අප සාකච්ඡා කරන ඉන්දීය සාගර කලාපය සම්බන්ධයෙන් ද මෙය වැදගත් වේ.

ඉන්දීය සාගරයෙන් අල්ලාගනු ලබන ටූනා මත්ස්‍යයන් ප්‍රමාණය ලෝකයේ සමස්‌ත ටූනා අස්‌වැන්නෙන් 20%ක්‌ තරම් වේ. විශේෂයෙන් මේ මසුන් ගේ ව්‍යාප්තිය සඳහා බලපාන එක්‌ සාධකයක්‌ වන්නේ ශාක ප්ලවාංග සුලබතාවයි. ශාක ප්ලවාංග අඩු වීමත් සමඟ මේ මත්ස්‍ය නිෂ්පාදනයට යම් බලපෑමක්‌ විය හැකි ය.

මේ තත්ත්වයේ බලපෑම ධීවර කර්මාන්තයට හා මත්ස්‍ය නිෂ්පාදනයට පමණක්‌ සීමා නො වන බව ද පැහැදිලි ය. විශේෂයෙන් ඉන්දීය සාගර කලාපයේ රටවල ආහාර සුරක්‌ෂිතතාවට මෙන්ම ඒ කලාපයේ සිට සාගර නිෂ්පාදන අපනයනය කරනු ලබන රටවලට ද මෙය අහිතකර ලෙස බලපෑ හැකි ය. මේ වන විට ද කලාපයේ මත්ස්‍ය අස්‌වනු අඩු වී ඇති බවට සාධක තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, පසුගිය දශක පහක පමණ කාලයක දත්ත පිළිබඳව සැලකූ විට ඉන්දීය සාගරයේ ටූනා මත්ස්‍ය අස්‌වැන්න 50%-90% අතර ප්‍රමාණයකින් අඩු වී තිබේ. මේ සඳහා බලපා ඇති එක්‌ කරුණක්‌ වන්නේ අධික ලෙස ධීවර කර්මාන්තයේ යෙදීම වුව ද, ශාක ප්ලවාංග අඩු වීම නිසා මේ තත්ත්වය වඩාත් උග්‍ර විය හැකි ය.

අනෙක්‌ අතට මේ ශාල ප්ලවාංගවලින් සිදු වන සේවා අතර ඇත්තේ ආහාර නිෂ්පාදනය පමණක්‌ නො වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, සූර්යතාපය අවශෝෂණය කරගැනීමට ද හැකියාවක්‌ ඇති බැවින් සාගරයේ උෂ්ණත්වය අඩු කිරීම සඳහා ද මේ ශාක ප්ලවාංගවලින් යම් බලපෑමක්‌ ඇති වේ.

මේ සියලු හේතු නිසා ඉන්දීය සාගරයේ මේ කලාපයේ ඇති වන වෙනස්‌කම් පිළිබඳව වඩාත් හොඳින් නිරීක්‌ෂණය කිරීමේ ඇති වැදගත්කම ද මේ පර්යේෂකයන් අවධාරණය කර ඇත.

(මූලාශ්‍රය: Geophysical Research Letters, DOI: 10.1002/2015GL066979)

http://www.vidusara.com/2016/01/13/feature2.html

Monday, January 4, 2016

චෙන්නායි ගංවතුරෙන් ඉස්‌මතු වන ආන්තික වර්ෂාපතනයේ බලපෑම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 09.12.2015, පිටුව 5 (Vidusara)

http://www.vidusara.com/2015/12/09/feature1.html


පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නගරයේ ඇති වූ ගංවතුර නිසා ඇති වූ බරපතළ තත්ත්වය එරට පමණක්‌ නො ව ලෝකයේ බොහෝ දෙනා ගේ සාකච්ඡාවට ලක්‌ වූ කරුණක්‌ විය. නොවැම්බර් මාසයේ පටන් දකුණු ඉන්දියාවේ ඇති වූ කාලගුණ වෙනස්‌ වීමත් සමඟ ඉන්දියාවේ කොරමන්ඩල් වෙරළ තීරයේ පිහිටි ප්‍රදේශ ගණනාවකට ම දැඩි වර්ෂාපතනයක්‌ ලැබිණි. මේ නිසා තමිල්නාඩුව, ආන්ද්‍රd ප්‍රදේශ් හා පොන්ඩිචෙරි වැනි ප්‍රාන්තවල දැඩි ගංවතුර තත්ත්වයක්‌ ඇති විය.

කෙටි කාලයක්‌ තුළ ඇති වූ අධික වර්ෂාපතනය නිසා තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර මෙන්ම එරට සිව්වැනි විශාලතම නගරය වන චෙන්නායි නගරයේ විශාල ප්‍රදේශයක්‌ ගංවතුරට යට වූ අතර එය ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට හා එදිනෙදා ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක්‌ ඇති කළේ ය. විදුලිය, ජලය වැනි පොදු පහසුකම් අවහිර වූ අතර, ප්‍රවාහනය ඇනහිට තිබිණි. එසේ ම සෞඛ්‍ය ගැටලු ද ඇති වෙමින් තිබිණි. චෙන්නායි නගරයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගංවතුරින් යට වීම නිසා දින කිහිපයක්‌ ගුවන් කොටුපොළ වසා තැබීමට සිදු විය. 19 වැනි සියවසේ දී ආරම්භ කළ දින පටන් අඛණ්‌ඩව ප්‍රකාශයට පත් කරන ලද 'ද හින්දු' පුවත්පතේ මුද්‍රණය එක්‌ දිනයක දී අත්හිටුවීමට සිදු වූයේ ගංවතුරෙන් උද්ගත වූ ප්‍රවාහන අපහසුතා නිසා ය. මේ ගංවතුර නිසා නිසා ඇති වූ ආර්ථික බලපෑම ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක්‌ පමණ වන බව මූලික ගණන් බැලීම්වලින් හෙළි වී තිබේ.

අප මෙහි දැක්‌වූයේ චෙන්නායි නගරය පමණක්‌ වුව ද, තමිල්නාඩු ප්‍රාන්තයේ තවත් දිස්‌ත්‍රික්‌ක ගණනාවක්‌ මෙන්ම දකුණු ඉන්දියාවේ තවත් ප්‍රාන්ත කිහිපයක ප්‍රදේශ ද මේ ගංවතුරේ බලපෑමට ලක්‌ ව තිබිණි.

චෙන්නායි නගරයේ ඇති වූ දැඩි ගංවතුර සඳහා බලපෑ එක්‌ හේතුවක්‌ ලෙස දක්‌වා ඇත්තේ කෙටි කාලයක්‌ තුළ අධික වර්ෂාපතනයක්‌ ලැබීම ය. පැය විසි හතරක්‌ තුළ එම නගරයට ලැබුණු වර්ෂාව මිලිමීටර් 374ක්‌ වූ අතර, නොවැම්බර් මාසයේ දී සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාව මෙන් තුන් ගුණයක පමණ වර්ෂාවක්‌ මේ වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ලැබී තිබේ. මේ නිසා නගරයේ රැඳුණු අධික වැසි ජලය බැස යැම අවහිර වීම ද ගංවතුර තත්ත්වයට බලපෑ තවත් හේතුවකි. මේ සඳහා හේතු වී ඇත්තේ අක්‍රමවත් ලෙස හා ඇතැම් විට නීති විරෝධී ව සිදු ව ඇති සංවර්ධන කටයුතු ය. අක්‍රමවත් නාගරිකකරණය චෙන්නායි ගංවතුර සඳහා බලපා ඇතැයි ඉන්දියාවේ විද්‍යාව හා පරිසරය පිළිබඳ මධ්‍යස්‌ථානය (CSE) පෙන්වා දී තිබේ. විශේෂයෙන් චෙන්නායි නගරයේ ජලාශවල ධාරිතාව මෑත කාලයේ දී ක්‍රමයෙන් අඩු වී ඇති අතර ගංවතුර තත්ත්වයට එය ද හේතුවකි. 1980 දශකයේ දී චෙන්නායි නගරයේ පැවැති ජලාශ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක ධාරිතාව මේ වන විට අඩු වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත්, චෙන්නායි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජලාශ 19ක ධාරිතාව, 1980 දශකයේ දී හෙක්‌ටයාර 1130ක්‌ වූ අතර 2000 දශකය වන විට එය හෙක්‌ටයාර 645ක්‌ පමණ තෙක්‌ අඩු වී ඇත. මේ නිසා වැඩි ජලය රඳවාගැනීමට මේ ජලාශවලට නොහැකි වීමෙන් ගංවතුර තත්ත්වය ඉහළ යයි. එමෙන් ම මේ ප්‍රදේශයට ඇදහැළෙන වර්ෂාපතනය ප්‍රදේශයට ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනයට වඩා බෙහෙවින් අධික බව හා ඊට දේශගුණ වෙනස්‌ වීම යම් සම්බන්ධයක්‌ ඇති බව ද මේ පිළිබඳ පර්යේෂකයන් ගේ අදහස වේ.


බැංකොක්‌ මහා ගංවතුර

මෙවැනි ම සිදුවීමක්‌ මීට වසර කිහිපයකට පෙර 2011 වර්ෂයේ දී තායිලන්තයේ ඇති විය. එරට මෝසම් වැසි සමයේ දී ඇති වූ අධික වැසි හේතුවෙන් ඒ වසරේ ජුලි මස සිට 2012 වර්ෂයේ ජනවාරි දක්‌වා රටේ උතුරු ප්‍රදේශවල හටගත් ගංවතුර තත්ත්වය පසුව රටේ දකුණුදිග ප්‍රදේශවලට ද බලපෑවේ ය. මේ නිසා කෘෂි බිම් විශාල ප්‍රමාණයක්‌ ද ජලයෙන් යට වූ අතර ම සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක්‌ එල්ල විය. සමස්‌තයක්‌ ලෙස තායිලන්තයේ පළාත් 77ක්‌ අතරින් 65කට පමණ බලපෑ මේ මහා ගංවතුර තත්ත්වය ජල පරිමාව හා බලපෑමට ලක්‌ වූ ජනතාව ගේ ගණන අනුව එරට මෙතෙක්‌ වාර්තා වී ඇති විශාලතම ගංවතුර වේ.



එරට අගනුවර වූ බැංකොක්‌ නගරය ගංවතුරින් යට වූයේ වසර අවසානය ආසන්නයේ දී වන අතර එය නගරයට වසර සියයකින් පමණ බලපෑ විශාලතම ගංවතුර බව වාර්තා වේ. නගරයට ආසන්න ව එරට පිහිටි ප්‍රකට කර්මාන්ත පුර හතක්‌ ම ගංවතුරේ බලපෑම නිසා දිගු කලක්‌ තිස්‌සේ වසා දමන ලදි. එපමණක්‌ නො ව, ඇතැම් ප්‍රකට කර්මාන්ත ශාලා වසා දැමීමට පවා මේ තත්ත්වය හේතු විය. මේ ගංවතුර නිසා ඇති වූ ආර්ථික හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 45කට අධික බව ගණන් බලා තිබේ. ලෝක බැංකුව පවසන ආකාරයට මෙය ලෝකයේ වැඩි ම ආර්ථික හානියක්‌ ඇති වූ ස්‌වාභාවික ව්‍යසන අතරින් සිව්වැනි තැනට එයි. මේ ගංවතුර තායිලන්තයට පමණක්‌ නො ව ඇතැම් අංශවලින් සමස්‌ත ලෝකයට ම බලපෑවේ ය. ගංවතුරින් අඩපණ වූ කර්මාන්තශාලාවල සැපයුම් ඇණහිටීම හේතුවෙන් පරිගණක සඳහා අවශ්‍ය දෘඪ තැටි නිෂ්පාදනය හා සැපයුම පිළිබඳව හා ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු රැසක්‌ 2012 වර්ෂයේ දී ඇති විය.

බැංකොක්‌ ගංවතුර සඳහා බලපෑ හේතු අතර නගරය ජලගැලුම් නිම්නයක පිහිටා තිබීම, නගරය පහත් ප්‍රදේශයක පිහිටා තිබීම, නගරය ක්‍රමයෙන් ගිලා බසිමින් තිබීම හා එහි ජලාපවහන පද්ධතියේ ඇති ගැටලු ආදිය පෙන්වා දී තිබේ. එමෙන් ම සමස්‌තයක්‌ ලෙස අදාළ ගංවතුර තත්ත්වය සඳහා ද සාමාන්‍ය අගය ඉක්‌මවා ලැබුණු අධික වර්ෂාපතන තත්ත්වය ද හේතු වී ඇත. (මේ පිළිබඳව මතභේද ඇති බවක්‌ ඇතැම් වාර්තාවල දැක්‌වෙන නමුත්, කරුණු විමසා බලන විට පෙනෙන්නේ ඒ කාලයේ දී තායිලන්තයට අධික වර්ෂාපතනයක්‌ ලැබුණු බවයි.)

ආන්තික කාලගුණ තත්ත්ව හා දේශගුණ වෙනස්‌ වීම

මේ වාර්තාගත මට්‌ටමේ ගංවතුර සිදුවීම් දෙක සඳහා බලපෑ ආන්තික දේශගුණ තත්ත්වය වන්නේ අධික වර්ෂාපතනයයි. එසේ ම කෙටි කාලයක්‌ තුළ දැඩි වර්ෂාපතනයක්‌ පතිත වීම ද උක්‌ත තත්ත්වය සඳහා බලපා ඇත. මෙවැනි ආන්තික තත්ත්ව සඳහා දේශගුණ වෙනස්‌ වීම බලපාන බවට මේ වන විට සැලකිය යුතු පිළිගැනීමක්‌ තිබේ.

2013 වර්ෂයේ දී නිකුත් වූ පස්‌වැනි දේශගුණ ඇගැයීම් වාර්තාවේ පළමු වාර්තාවේ දක්‌වා ඇති ආකාරයට ආන්තික කාලගුණ හා දේශගුණ තත්ත්වවල වෙනස්‌කම් 1950 දශකයෙන් පසුව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. මේ අනුව අධික වර්ෂාපතන තත්ත්ව ඇති විමේ අවස්‌ථා ගණන ඉහළ ගිය ප්‍රදේශ ප්‍රමාණය ඒවා පහළ ගිය ප්‍රදේශ ප්‍රමාණයට වඩා අධික ය. යුරෝපයේ මෙන්ම ඇමෙරිකාවේ ද මෙවැනි අධික වර්ෂාපතන තත්ත්ව ඇති වීමේ වාර ගණන හෝ ඒවායේ තීව්‍රතාව ඉහළ ගොස්‌ ඇති බවට සාධක ඇත. වෙනත් මහාද්වීපවල ද මෙවැනි වෙනස්‌කම් ඇති වී තිබෙන බව පෙනේ. මේ කරුණු විද්‍යාත්මකව ගත් විට බෙහෙවින් තාර්කික ය. පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යැම හා සමඟ වැඩි ජල ප්‍රමාණයක්‌ වාෂ්ප වන බැවින් වර්ෂාපතනය ඉහළ යැමේ වැඩි ඉඩක්‌ තිබේ. ඒ සඳහා වෙනත් සාධක ද එක්‌ වූ විට ආන්තික කාලගුණ තත්ත්ව සුලබ වීමට මෙන්ම එවැනි තත්ත්වයක දී ඇති වන තීව්‍රතාව ඉහළ යැමටද විශාල ඉඩක්‌ පවතියි.

ප්‍රකාශිත වෙනත් පර්යේෂණ අනුව ද මේ සඳහා තවත් සාධක තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, 2006 වර්ෂයේ දී ඉන්දියාවේ පූනේහි පිහිටි නිවර්තන කාලගුණ විද්‍යාව පිළිබඳ ඉන්දීය ආයතනය නම් ආයතනයක්‌ මගින් ප්‍රකාශයට පත් එක්‌ අධ්‍යයනයකට අනුව, ඉන්දියාවේ ආන්තික වර්ෂාපතන තත්ත්වවල සංඛ්‍යාතය (වාර ගණන) හා තීව්‍රතාව ඉහළ ගොස්‌ ඇත. එසේ ම මේ වර්ෂයේ දී ජර්මනියේ පර්යේෂණායතනයක්‌ පෙන්වා දී ඇති ආකාරයට පසුගිය වසර තිහක පමණ කාලයේ දී ඇති වූ අධික වර්ෂාපතන සිදුවීම් අතරින් 12%ක්‌ පමණ ප්‍රමාණයක්‌ සඳහා දේශගුණ වෙනස්‌ වීම හේතු වී ඇති බවයි.

නගර ආරක්‌ෂිත ද?

මෙවැනි තත්ත්වයක්‌ තුළ චෙන්නායි හා බැංකොක්‌ වැනි නගර පමණක්‌ නො ව, ගංවතුර තර්ජනයට ලක්‌ ව ඇති වෙනත් ප්‍රදේශ හා නගර සම්බන්ධයෙන් ලෝකයේ වැඩි අවධානයක්‌ යොමු විය යුතු ය. මේ ඇතැම් නගර හා ප්‍රදේශ මුහුදු මට්‌ටම ඉහළ යැමේ අහිතකර බලපෑමට ද ලක්‌ විය හැකි ප්‍රදේශ ද වේ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය එක්‌ ව සකස්‌ කරන ලද වාර්තාවකට අනුව ආසියාවේ මහා නගර අතරින් තුනක්‌ දේශගුණ වෙනස්‌ වීම නිසා තර්ජනයට ලක්‌ ව තිබේ. ඒ බැංකොක්‌, හෝචිමිං නගරය හා මැනිලා යන නගර ය. 2005 වර්ෂයේ දී ඇමෙරිකාවේ නිව් ඕර්ලියන්ස්‌ ප්‍රදේශයට බලපෑ කැතරිනා සුළිකුණාටුව වැනි ආන්තික තත්ත්ව ද මෙවැනි බලපෑම් අතර වේ.

කෙසේ වෙතත් මෙවැනි නාගරික ගංවතුර තත්ත්වයක දී ඇති වන හානිය වඩාත් උග්‍ර වීමට බලපාන වෙනත් හේතු ද තිබේ. එකක්‌ වන්නේ මේ අවදානම් තත්ත්වයේ ඇති නගරවල කලක පටන් දැකිය හැකි වේගවත් නාගරීකකරණයයි. වර්ධනය වන ජනගහනය නිසා මේ ප්‍රදේශවල ඇති වන ගංවතුර තත්ත්වයක දී ඇති සිදු විය හැකි ජීවිත හා දේපළ හානි මෙන්ම විපතට පත්වන්නන් ගේ ප්‍රමාණය ද ඉහළ යයි. එසේ ම මේ නාගරික ප්‍රදේශවල ඇති වී තිබෙන භූගෝලීය වෙනස්‌කම් ද මේ තත්ත්වය උග්‍ර කිරීමට බලපායි. නිදසුනක්‌ ලෙස මේ ප්‍රදේශවල තෙත් බිම් ගොඩ කිරීම නිසා වර්ෂා ජලය බැහැර කිරීමට පරිසරයක්‌ නොමැති තරම් ය.

නගර සම්බන්ධ ව ගත හොත්, ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ මෙන්ම පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ නගරය ද විටින් විට ඇති වන ජලගැලීම්වලින් පීඩා විඳියි. විශේෂයෙන් අධික වර්ෂාපතනයකින් පසුව ඇති වන ගංවතුර තර්ජනය මේ නගරවල කැපී පෙනෙන සිදුවීමකි. මේ නිසා ඇතැම් වර්ෂවල දී සුළු ගංවතුර තත්ත්ව ඇති වීම වසරකට කිහිප වරක්‌ ම සිදු වේ. 1992 වර්ෂයේ ජුනි මස මුල දී මෙන්ම යළිත් 2000 දශකයේ මුල් භාගයේ දී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇති වූ ඉතා දැඩි ගංවතුර තත්ත්වය මෙහි වාර්තාගත අවස්‌ථා ලෙස දැක්‌විය හැකි ය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පරිසරයට මිනිසුන් විසින් සිදු කරනු ලැබ ඇති වෙනස්‌කම් ගැන අවධානයක්‌ යොමු වූයේ මේ අවස්‌ථාවල දී ය.

එසේ ම වර්ෂාව අපේක්‌ෂා නො කරන කාලවකවානුවල දී අධික වැසි හා ගංවතුර ඇති වීම අපේ රටේ බොහෝ ප්‍රදේශවල දැන් දැන් දැකගත හැකිය. නිදසුනක්‌ ලෙස ගත හොත්, සාමාන්‍යයෙන් අධික වර්ෂාවක්‌ අපේක්‌ෂා නො කරන කාල වකවානුවක්‌ වන මහ කන්නයේ වී අස්‌වනු නෙළන කාලයේ දී අධික වැසි ඇති වීම හා ක්‌ෂණිකව ඇති වූ ගංවතුර අවස්‌ථා මෑත කාලයේ දී වාර්තා වූවා අපට මතක ය. මෙවැනි සිදුවීම් මෙරට ජන ජීවිතයට දැඩි බලපෑම් කළ හැකි ආකාරයේ ඒවා ය.

මේ තත්ත්වය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද නගරවල ඇති සුරක්‌ෂිත බව පිළිබඳ සාකච්ඡාවක්‌ සඳහා අවස්‌ථාව වේ. විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීම නිසා අනාගතයේ ඇති විය හැකි අවදානම ඉහළ යා හැකි ය. මේ වන විට ජගත් දේශගුණ සමුළුව ප්‍රංශයේ පැරිස්‌ නගරයේ දී පැවැත්වෙමින් ඇති අතර, චෙන්නායි ගංවතුර ද එහි අවධානයට ලක්‌ වනු නිසැක ය. (2013 වර්ෂයේ දී පෝලන්තයේ වෝර්සෝ නගරයේ දේශගුණ සමුළුව පැවැත්වෙමින් තිබිය දී පිලිපීනයේ ඇති වූ කුණාටුව ද මෙවැනි සාකච්ඡාවකට මග පෑදුවේ ය.)

Wednesday, December 30, 2015

පැරිස්‌ දේශගුණ ගිවිසුම සාර්ථක වීමට නම්...

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 23.12.2016, පිටුව 5 (Vidusara)

http://www.vidusara.com/2015/12/23/feature2.html


මහත් අපේක්‌ෂාසහගතව ආරම්භ වූ පැරිස්‌ දේශගුණ සමුළුව අවසන් වූයේ ජගත් මට්‌ටමේ එකඟතාවකින් යුක්‌ත ව ය. එය, දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා වූ දශක දෙකකට අධික ඉතිහාසයක්‌ ඇති සටනේ වැදගත් සන්ධිස්‌ථානයකි. අප මින් පෙර සඳහන් කර ඇති ආකාරයට ගිවිසුමේ යම් යම් ගැටලු ඇතත්, මේ බරපතළ පාරිසරික අර්බුදයට විසඳුමක්‌ ලබාගැනීමට කිසියම් අවස්‌ථාවක්‌ ලැබී ඇති බවට පැරිස්‌ ගිවිසුම ම සාධකයක්‌ වේ.

මේ ගිවිසුමේ එන එකඟතා අතර වැදගත් කරුණු තුනක්‌ වේ. ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයේ වර්ධනය පූර්ව කාර්මික අවධියේ පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස්‌ අංශක දෙකකට වඩා බෙහෙවින් අඩුවෙන් තබාගැනීමට ද එA ප්‍රමාණය අංශක 1.5ක සීමාවේ තබාගැනීම සඳහා ප්‍රයත්න දැරීමට ද ඇති එකඟතාව ඉන් පළමුවැන්න ය. එසේ ම ලෝකයේ ඒ ඒ රටවල් තම රටවල හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ ඉලක්‌ක හා ඒ සඳහා ගන්නා පියවර ස්‌වෙච්ඡාවෙන් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කිරීම හා කලින් කල ඒවා සමාලෝචනය කිරීම දෙවැනි කරුණ ය. තෙවැනි කරුණ වන්නේ දියුණු වන රටවල දේශගුණ බලපෑම් වැළැක්‌වීම සඳහා ගන්නා පියවර සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනයයි.

මේ ගිවිසුම හා එහි බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවල සැලකිය යුතු තරමින් ආවරණය කර තිබූ අතර, අවාසනාවකට මෙන් අපේ රටේ එවැනි තත්ත්වයක්‌ දැකිය හැකි නො වී ය. පැරිස්‌ ගිවිසුමේ මූලික අංග පිළිබඳව වැඩිදුර විමසා බලන්නට අප සිතුවේ මේ නිසා ය.


විමෝචන සීමාවක්‌ පනවා නො තිබීම

පැරිස්‌ දේශගුණ ගිවිසුමට අනුව, තම රටවල හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා නෛතික බලපෑමක්‌ ඇති නිශ්චිත සීමාවක්‌ කිසිදු රටක්‌ සඳහා පනවා නොමැත. මේ ආකාරයෙන් නිශ්චිත විමෝචන සීමා පැනවීම පිළිබඳ අදහස දේශගුණ සාකච්ඡාවල වර්ධනය පමා කිරීමට හේතුවක්‌ විය. විශේෂයෙන් ඇතැම් දියුණු රටවල් තම රටවලට පමණක්‌ මෙවැනි සීමා පැනවීම සම්බන්ධව විරෝධය පළ කර තිබිණි. පැරිසියේ දී ගිවිසුමක්‌ ඇති වීමට හේතු වූයේ ද මේ ආකාරයෙන් නෛතික සීමා නො පැනවීමට රටවල් එකඟ වීම බව පෙනේ. එසේ ම කිසිදු ගිවිසුමක්‌ නොමැති වුව හොත් ඇති විය හැකි බරපතළ බිඳවැටීම වළක්‌වාගැනීමේ අවශ්‍යතාව ද තිබිණි. වොෂින්ටන් පෝස්‌ට්‌ පුවත්පතේ ලිපියකින් පෙන්වා දුන් ආකාරයට, සාකච්ඡාවල දී වඩා ප්‍රායෝගික ප්‍රවේශයක්‌ අනුගමනය කරමින් මේ ගිවිසුමට එළැඹීම සිදු ව තිබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, නෛතික බැඳීමක්‌ ඇති කරගැනීමට දිගින් දිගට ම ක්‍රියාකාරී වූයේ නම් පැරිසියේ දී කිසිදු ගිවිසුමක්‌ ඇති නො වීමට ඉඩ තිබූ බව බටහිර මාධ්‍ය හා විචාරකයන් ද පවසන කරුණකි.

අනෙක්‌ අතට මේ ආකාරයෙන් නෛතික බලපෑමක්‌ සිදු කළ හැකි හරිතාගාර වායු විමෝචන සීමා තිබුණේ නම්, ඇතැම් රටවල ඊට එකඟතාව ලබාගැනීම අසීරු විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, එවැනි තත්ත්වයක්‌ තිබුණේ නම් ඇමෙරිකානු ජනාධිපති බැරැක්‌ ඔබාමාට ඊට අත්සන් තැබීම පෙර එරට සෙනෙට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබාගැනීමට සිදු වේ. වර්තමාන ඇමෙරිකානු සෙනෙට්‌ මණ්‌ඩලය යනු සාම්ප්‍රදායික වශයෙන් ෆොසිල ඉන්ධන කර්මාන්තය ප්‍රිය කරන රිපබ්ලිකන් පාක්‌ෂිකයන් සිය බලය තහවුරු කරගෙන ඇති තැනකි. මේ නිසා හරිතාගාර වායු විමෝචන සීමා ඉලක්‌ක නොමැති ගිවිසුමක්‌ සම්මත වීම නිසා ඇමෙරිකානු ජනාධිපතිවරයා ගේ 'ජාම බේරාගැනීමට්‌ හැකි වී තිබේ.

ස්‌වෙච්ඡා කැපවීම ප්‍රමාණවත් වේ ද?

දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා අත්‍යවශ්‍ය යෑයි සැලකෙන හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා පැරිස්‌ ගිවිසුමෙන් දක්‌වා ඇත්තේ කිසියම් ආකාරයක ස්‌වෙච්ඡා ප්‍රවේශයකි. ඒ අනුව අදාළ රටවල් සියල්ල තම රටවල හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා වූ ඉලක්‌ක හා යෝජනා ඇතුළත් අපේක්‌ෂිත ජාතික නිශ්චිත කළ දායකත්වය (Intended Nationally Determined Contribution) ප්‍රතිඥාවක්‌ ලබා දිය යුතු ය. ඉන්පසුව මේ ඉලක්‌ක අත්පත් කරගැනීම සඳහා කටයුතු කළ යුතු අතර වසර කිහිපයකට වරක්‌ මේවා සමාලෝචනය කිරීම සඳහා ද ඔවුන් එකඟ වී ඇත.

මේ අනුව දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා ඉදිරිපත් ව ඇති මූලික පියවර සඳහා ලෝකයේ රටවල සැබෑ කැප වීම අත්‍යවශ්‍ය බව පැහැදිලි ය. මෙය කෙතරම් සාර්ථක වනු ඇති ද යන්න තීරණය වන්නේ මේ රටවල උනන්දුව මත ය. දේශපාලන හා වෙනත් හේතු නිසා රටක ප්‍රතිපත්තියේ යම් වෙනසක්‌ සිදු වුව හොත්, යම් රටක්‌ මේ ඉලක්‌කවලින් ඈත් විය හැකි අතර, එහි දී ලෝකයට මේ ගිවිසුම යටතේ ගත හැකි පියවරක්‌ - දිය හැකි දඬුවමක්‌ - නොමැති වීම මෙහි ඇති ගැටලුව වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇමෙරිකාවේ ඇතැම් රිපබ්ලිකන් පාක්‌ෂික නියෝජිතයන් ඔබාමා ගේ දේශගුණ සැලසුම් පරාජය කිරීමට අදහස්‌ කරන බව ප්‍රකට කරුණකි. එසේ නම්, ඉදිරියේ දී ඇමෙරිකාව ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව එරට තුළ පොදු දේශපාලන එකඟතාවක්‌ තවමත් නොමැති බව පැහැදිලි ය.

මේ තත්ත්වයට විසඳුමක්‌ ලෙස වසර කිහිපයකට වරක්‌ මේ රටවල ක්‍රියාකාරිත්වය සමාලෝචනය කිරීම යෝග්‍ය වුවත්, එය කෙතරම් දුරට සාර්ථක විය හැකි ද යන්න ගැන කල් තබා අනාවැකි කීම පහසු නැත. එහෙත් රටක හෝ රටවල අසාර්ථකත්වය සමස්‌ත ක්‍රියාවලියට ම බලපෑමක්‌ ඇති කළ හැකි බව පැහැදිලි ය.

මේ ප්‍රවේශයේ සාර්ථකත්වය ගැන සැකයක්‌ ඇති වුව ද එය එක්‌තරා ආකාරයක නව අත්හදාබැලීමකි. මෙය පහළ සිට ඉහළට තීරණ ගැනීමේ ප්‍රවේශයක්‌ හෙවත් උඩු අත් ප්‍රවේශයක්‌ (bottom-up approach) වන අතර, මෙතෙක්‌ පැවැති පිළිවෙතට වඩා මුළුමනින් ම වෙනස්‌ ය.

මෙවැනි මූලධර්මයක්‌ පිළිබඳ යෝජනාවක්‌ දේශගුණ සාකච්ඡාවලට මුලින් ම ගෙන එන ලද්දේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා නෛතික සීමා පැණවීම පිළිබඳව දැඩි විරෝධයක්‌ දැක්‌වූ ඇමෙරිකානු ජනාධිපතිවරයකු වූ ජෝර්ඡ් ඩබ්ලිව්. බුෂ් ගේ නියෝජිතයන් විසින් 2007 වර්ෂයේ දී පමණ ය. එවැනි ස්‌වෙච්ඡා ක්‍රමයක්‌ හා එය නිරීක්‌ෂණය කිරීමේ ක්‍රමයක්‌ ඔහු ගේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලදි. අවසානයේ දී ලෝකය පිළිගෙන ඇත්තේ ද එA මූලධර්මය මත පදනම් වූ ක්‍රමයකි. එදා බුෂ් පාලනය යටතේ යෝජනා කළේ ලෝකයේ විශාලතම ආර්ථික ඇති රටවල් එවැන්නක්‌ කළ යුතු බව වුව ද, අද එය ලෝකයේ දියුණු හා දියුණු වන රටවල් සියල්ලට ම අදාළව ක්‍රියාත්මක වීම මෙහි ඇති විශේෂත්වයකි.

දියුණු වන රටවලට ලැබුණු දේ

දියුණු වන රටවල දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වී තිබෙන බලපෑම් වැළැක්‌වීම සඳහා කටයුතු කිරීමේ දී ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්‌ වන්නේ ප්‍රමාණවත් අරමුදල් නොමැති වීමයි. එසේ ම තමන් පොරොන්දු වී ඇති හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීම ද බොහෝ රටවලට ගැටලුවකි. මේ අනුව පැරිස්‌ ගිවිසුමෙන් පොරොන්දු වී ඇති ඩොලර් බිලියන 100ක අරමුදල මේ රටවලට වැදගත් වනු ඇත. එසේ ම එය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වීමට අවස්‌ථාවක්‌ තිබීම ද වැදගත් ය.

මේ අරමුදල පිළිබඳව පොරොන්දු ලැබීම නිසා දියුණු වන රටවල් ද පැරිස්‌ ගිවිසුමට එකඟ වූ බවක්‌ දැකිය හැකි ය. එය ඇතැම් විට හඳුන්වා දී ඇත්තේ කිසියම් ආකාරයකින් 'හීලෑ වූ' බවක්‌ ලෙස ය. එසේ ම කිසියම් හෝ ගිවිසුමක්‌ ඇති කරගැනීමේ අවශ්‍යතාව ද මේ රටවල එකඟතාව ලැබීමට බලපා ඇත. අවසානයේ දී දියුණු රටවලට අදාළව මෙතෙක්‌ සඳහන් වූ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ඓතිහාසික වගකීම සම්බන්ධ අදහස්‌ ඉවත් වී තිබේ.

මේ විසඳුමක ආරම්භයකි?

මේ සියලු කරුණු අනුව, 'හපන්නට දත් නැති' වුව ද, පැරිස්‌ ගිවිසුම කිසිදු එකඟතාවක්‌ නොමැති ව ඉදිරියට යනවාට වඩා හොඳ ය. මෙය නිශ්චිත විසඳුමකට වඩා විසඳුම් සඳහා වූ ආරම්භයක්‌ ලෙස සැලකිය හැකි ය. මෙතෙක්‌ කලක්‌ යා යුතු මග නො දැන එහා මෙහා දෝලනය වෙමින් තිබූ දේශගුණ වෙනස්‌ වීම සඳහා විසඳුම් සෙවීමේ කිසියම් මගක්‌ වෙත පිවිස තිබේ. එය ආපසු යැමක්‌ සේ සැලකිය හැකි වුව ද, අඛණ්‌ඩව උත්සාහ දැරීමෙන් හා බල කිරීමෙන් දේශගුණ වෙනස්‌ වීමට යම් සාධනීය විසඳුමක්‌ ලබාගැනීමට අවස්‌ථාවක්‌ ද ඇති බව පැහැදිලි ය.

විශේෂයෙන් මේ ගිවිසුම මගින් ඇති කරගෙන ඇති සෙල්සියස්‌ අංශක දෙකේ උෂ්ණත්ව ඉලක්‌කයේ රැඳී සිටීම ද අභියෝගයකි. මේ වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියේ පැවැති අගයට වඩා සෙල්සියස්‌ අංශකයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස්‌ ඇත. එසේ නම් ගිවිසුමේ පවසා ඇති පරිදි අංශක 1.5ක සීමාව ඉක්‌මවා නො යැමට නම් බොහෝ දේ කළ යුතු බව පැහැදිලි ය. ගැටලුව ඇත්තේ මේ සියල්ල එක්‌ එක්‌ රටවල් ස්‌වෙච්ඡාවෙන් කළ යුතු දේ වීමත්, එසේ නො කළ හොත් කළ හැකි දෙයක්‌ නොමැති වීමත් ය.

මේ කරුණු සියල්ල සලකා බලන විට එක්‌ එක්‌ රට තමන් ලබා දී ඇති ප්‍රතිඥාවට අනුව කටයුතු කිරීම තහවුරු කිරීමේ වගකීම ඒ රටවල ආණ්‌ඩු බලධාරීන්ට පමණක්‌ සීමා වුව හොත් එය මේ ගිවිසුම සාර්ථක කරගැනීමට බලපාන්නක්‌ බව පැහැදිලි ය. මේ අනුව සිය රටවල බලධාරීන් අදාළ රටේ දේශගුණ ප්‍රතිඥාවලින් ඈතට යා නො දී ඒ ඉලක්‌කවල රඳවා තබාගැනීම සඳහා අවශ්‍ය බල කිරීම හා යොමු කිරීම සඳහා වගකීමක්‌ ඒ රටවල විද්‍යාඥයන්, දේශපාලන, පරිසර හා සමාජ ක්‍රියාකාරීන් හා සාමාන්‍ය ජනතාවට පැවරේ. මෙහි දී දේශගුණ පිළිවෙත් හා බද්ධ වූ බැංකු ණය වැනි වෙනත් ගෝලීය මට්‌ටමේ යාන්ත්‍රණ මගින් ලැබෙන සීමා කිරීම් ද වැදගත් විය හැකි බව පෙනේ.

http://www.vidusara.com/2015/12/23/feature2.html

පැරිස් දේශගුණ ගිවිසුම සම්මත වේ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 16.12.2015, පිටුව 3 (Vidusara, not available online)

ලෝකයේ අනාගතය සම්බන්ධයෙන් සැලකිය යුතු තරම් වැදගත් ජයග්‍රහණයක් ගැන සටහනක් තැබීමට අවස්ථාවක් මේ සතියේ ලැබී තිබේ. ඒ පැරිසියේදී පසුගිය 12 වැනි දින සම්මත වූ දේශගුණ වෙනස් වීම පිළිබඳ ගිවිසුම පිළිබඳවය. ලෝකය පුරා පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරීන් හා විද්‍යාඥයින් කලක පටන් අපේක්ෂා කළ ජගත් මට්ටමෙන් පිළිගැනීමක් සහිත වූ දේශගුණ ගිවිසුමක් අවසානයේ ඇති වී තිබේ.

පැරිස් ගිවිසුමේ ඇති මූලික විශේෂත්වය වන්නේ යුරෝපය හා ඇමරිකාව ඇතුළු දියුණු රටවල්ද, චීනය හා ඉන්දියාව ඇතුළු දියුණුවන රටවල්ද මීට එකඟ වීමය. මේ ගිවිසුමට එකඟ වූ රටවල් ගණන 196ක් පමණ වේ. ඒ අනුව හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා ලෝකයේ සෑම රටක්ම එකඟත්වයක් දැක්වූ පළමු අවස්ථාව මෙය වේ. මේ ගිවිසුමේ ක්‍රියාකාරකම් අදාළ වන්නේ 2020 වර්ෂයේ සිට ඔබ්බටය. මේ ගිවිසුමේ ඇති වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ.

උෂ්ණත්ව ඉලක්කය - ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයේ ඉහළ යෑම පූර්ව කාර්මික අවධියේ පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක දෙකකට වඩා ඛෙහෙවින් අඩුවෙන් (well below) තබාගැනීමට මේ ගිවිසුමෙන් එකඟ වී ඇත. එසේම එම ප්‍රමාණය අංශක 1.5ක සීමාවේ තබාගැනීම සඳහා ප්‍රයත්න දැරීමටද එකඟ වී ඇත. සෙල්සියස් අංශක දෙකේ සීමාව දේශගුණ වෙනස් වීමේ බරපතළ ප්‍රතිවිපාක වළක්වාගැනීම සඳහා ලෝක උෂ්ණත්වය ඉහළ යෑම තිබිය යුතු සීමාව සේ පිළිගැනේ. මේ නිසා අංශක 1.5 ඉලක්කයට යා හැකි නම් ලෝකය වඩාත් ආරක්ෂිත වනු ඇති බව පැහැදිලිය.

හරිතාගාර වායු විමෝචන අඩු කිරීම - සෑම රටක්ම විමෝචනය කරනු ලබන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණයේ උපරිමයට හැකි ඉක්මනින් ළඟා වීමට හා ඉන්පසුව පවත්නා විද්‍යාත්මක දැනුම අනුව විමෝචන වේගයෙන් අඩු කිරීමට පැරිස් ගිවිසුමෙන් එකඟ වී ඇත. දියුණුවන රටවලට මේ උපරිම අගයට ළඟා වීමට වැඩි කාලයක් ගතවන බවද පිළිගෙන ඇත. එසේම මේ සියවසේ දෙවන භාගයේදී හරිතාගාර වායු ප්‍රභව හා ඒවා තැන්පත් වන ක්‍රම අතර සමතුලිතතාවයක් අත්පත් කරගැනීමටද අපේක්ෂා කරනු ලැබේ.

හරිතාගාර විමෝචන ඉලක්ක - හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ ඉලක්ක සම්බන්ධව දියුණු රටවල් ආර්ථීක බලපෑමක් ඇති විමෝචන ඉලක්ක අනුගමනය කිරීමේදී පෙරමුණ ගත යුතු බව ගිවිසුමේ දැක්වේ. දියුණුවන රටවල් ඔවුන්ගේ පාලනය කිරීමේ ප්‍රයත්න වැඩිදියුණු කිරීමට දිගටම පියවර ගත යුතු අතර, ආර්ථීක වශයෙන් බලපෑමක් ඇති විමෝචන අඩු කිරීම් හා සීමාකිරීමේ ඉලක්ක වෙත ක්‍රමයෙන් ළඟා විය යුතුය. ඒ ඒ රටවල් විසින් අඩු කළ යුතු විමෝචන ප්‍රමාණය නිශ්චිතව දක්වා නොමැති අතර, තමන්ගේ ඉලක්කය රටවල් විසින්ම ලබාදීම කළ යුතුය. එසේම ඒ ඉලක්කයට ළඟා වීමට ගන්නා පියවර විස්තර කළ යුතු අතර, වසර පහෙන් පහට නව සැලසුම් ඉදිරිපත් කළ යුතු වේ. මේ සමාලෝචන මගින් දැනට රටවල් විසින් ලබාදී ඇති පොරොන්දු ප්‍රමාණවල අඩුව වළක්වා ගැනීම අපේක්ෂා කරන බව පෙනේ.

දියුණුවන රටවලට අරමුදල් සැපයීම - දියුණු වන රටවලට දේශගුණ වෙනස් වීම සඳහා සහයෝගය ලබාදීම පිණිස යොදාගැනීම සඳහා වූ අරමුදලක් සඳහා 2020 වර්ෂය වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 100ක මුදලක් ලබාදීමට දියුණු රටවල් එකඟ වී තිබේ. එසේම 2025 වර්ෂයේදී මේ අරමුදල් ප්‍රමාණය මීට වඩා වැඩි දායකත්වයක් සැපයීම සඳහා එකඟ වීමද විශේෂ සිදුවීමකි.

ගිවිසුමේ ඇති තවත් වැදගත් කරුණක් වන්නේ එය වසර 5කට වරක් පමණ සමාලෝචනය කිරීම සඳහාද එකඟතාවයක් ඇති වී තිබීමයි. මෙය වැදගත් වන්නේ ඒ ඒ රටවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට එහිදී අවස්ථාවක් ලැඛෙන නිසාය.

සම්මත වූ ගිවිසුම, ලබන වසරේ මිහිතල දිනය යෙදෙන අප්‍රේල් මස 22 දින සිට 2017 වර්ෂයේ අප්‍රේල් 17 දින දක්වා අත්සන් තැබීම සඳහා විවෘතව තැඛෙන බව ගිවිසුමේ සඳහන්ය. ඒ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදීය. එය බලාත්මක වන්නේ ලෝකයේ හරිතාගාර විමෝචන අතරින් 55%ක් නිකුත්කිරීම සඳහා වගකිව යුතු රටවල් අවම වශයෙන් 55ක් පමණ ප්‍රමාණයක් ගිවිසුම අපරානුමත කිරීම පිළිබඳ තහවුරු කිරීම් ලබාදීමෙන් දින තිහකට පසුවය.

ගිවිසුමේ අපේක්ෂාව හා යථාර්ථය

ලෝක නායකයින් මෙන්ම සමාජ ක්‍රියාකාරීන්ද පැරිස් ගිවිසුම විවිධ ආකාරයෙන් හඳුන්වා දී ඇත. එය 'මානව ඉතිහාසයේ විශාල පිම්මක්' ලෙසින්ද, 'ඓතිහාසික මොහොතක්' යනුවෙන්ද, 'ලෝකයට ලැබුණු අවසන් අවස්ථාව' ලෙසද සඳහන් වේ. එය සත්‍යයක් වන්නේ ලෝකයේ ප්‍රමුඛතම පාරිසරික ගැටලූවක් පිළිබඳව ජගත් මට්ටමේ එකඟතාවයක් ලැබී තිබීම නිසාය. එහෙත් මේ සාර්ථකත්වය විශේෂයෙන් හුවාදක්වනු ලබන්නේ දේශපාලන නායකයින් බව පැවසිය යුතුය.

එහෙත් ලෝපුරා විද්‍යාඥයින් හා කි්‍රයාකාරීන් වැඩිදෙනා අතර මේ පිළිබඳව ඇත්තේ මධ්‍යස්ථ අදහසකි. මේ ගිවිසුම පිළිබඳව ගැඹුරින් සැලකූ විට එහි යම් යම් අඩුපාඩු ඇති පැහැදිලිය. නිදසුනක් ලෙස ගතහොත් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී නොමැත. හරිතාගාර විමෝචන විශාල ලෙස නිකුත් කරන දියුණු රටවලට පවා එවැනි ඉලක්ක ලබාදී නැත. ලෝකයේ රටවල් විසින් විමෝචන අඩුකිරීමේ ඉලක්ක ලබාදීම හා එම ඉලක්කය සමාලෝචනය කිරීම නෛතික බැඳීමක් ඇති කරුණු වේ. එහෙත් මේ ඉලක්කය ස්ව කැමැත්තෙන් ලබාදෙන්නක් මිස නෛතික බැඳීමක් ඇති එකක් නොවන බැවින් එය අත්පත් කරගැනීමට අසමත් වන රටවලට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයක් නොමැති බව පෙනේ. ඒ සඳහා නෛතික බැඳීමක් නොමැත. අනෙක් අතට ලෝකයේ රටවල් 188ක් ස්වේච්ඡාවෙන් ලබාදී ඇති විමෝචන සීමා කිරීමේ ඉලක්ක අත්පත් කරගත්තද ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.7ක් හෝ ඊට වඩා ඉහළ යන බව පෙන්වාදී ඇති බව අප අමතක නොකළ යුතුය.

එසේම හරිතාගාර විමෝචන පිළිබඳව දියුණු රටවලට ඇති ඓතිහාසික වගකීම පිළිබඳ සඳහනද ගිවිසුමේ නොමැති වීම තුළ මෙය සැලකිය යුතු තත්ත්වයකි. දියුණු හා දියුණුවන රටවල් අතර වෙනසද කැපී නොපෙනේ. දියුණු රටවලට දුප්පත් රටවලට අරමුදල් සැපයීම පිළිබඳවද නෛතික වගකීමක් ගිවිසුමේ දැකිය නොහැකිය. මේ සියලූ කරුණු අනුව ඉන්දියාවේ විද්‍යාව හා පරිසරය පිළිබඳ ආයතනය (CSE) මෙය දුබල හා අපේක්ෂා තබාගත හැකි ගිවිසුමක් නොවන බව දක්වා තිබේ. මෙය වඩාත් ඍජුව දක්වමින් පැරිස් ගිවිසුම 'වංචාවක් හා බොරුවක් බව' පවසන දේශගුණ විද්‍යාඥ ජේම්ස් හැන්සන්, පොරොන්දු මිස ක්‍රියාකාරිත්වයක් එහි දැකිය නොහැකි බවද සඳහන් කරයි.

පැරිස් ගිවිසුමේ සාර්ථකත්වය සඳහා රටවල්වල ස්වේච්ඡා ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් බව පැහැදිලිය. ඒ සඳහා සියලූ රටවල අවංක කැපවීම අත්‍යවශ්‍යය. ගිවිසුමට එකඟ වුවද ඇතැම් රටක ඇති විය හැකි දේශපාලන වෙනස්වීම් මත මේ උනන්දුව වෙනස් වීමටද අවස්ථාව ඇත. නෛතික බැඳීම බරපතළ නොවන තත්ත්වයක් තුළ මෙය බලපෑමක් කළ හැකි තත්ත්වයකි. 1997දී අත්සන් කළ කියෝටෝ සන්ධානය ක්‍රියාත්මක වීම 2005 දක්වා පමා වූයේ අත්සන් කළ දියුණු රටවල් ගිවිසුම අපරානුමත කිරීම පමාවීම නිසාය. කෙසේ වෙතත් කියෝටෝ සන්ධානය මෙන් නොව, මේ නව ගිවිසුම ලෝකයේ සියලූ රටවලට අදාළ වන්නකි.
මේ කරුණු අනුව කිසිත් නැතිවාට වඩා පැරිස් ගිවිසුම තිබීම හොඳ බව පැවසිය හැකිය. එහි සාර්ථකත්වය තීරණය වන්නේ ඉදිරියේදී ලෝකයේ රටවල් දැන් එය ක්‍රියාත්මක කරන ආකාරය මතය.

Thursday, November 26, 2015

පැරිස්‌ දේශගුණ සමුළුවෙන් ප්‍රශ්නය විසඳේ ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 25.11.2015, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2015/11/25/feature1.html




නොවැම්බර් 30 වැනි ඉරිදා ප්‍රංශයේ පැරිස්‌ නුවර දී ආරම්භ වන ජගත් දේශගුණ සමුළුව යනු සැම වසරක ම අවසානයේ දී පවත්වනු ලබන දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) තවත් එක්‌ පාර්ශ්වකරුවන් ගේ සමුළුවක්‌ (COP) පමණක්‌ නො වේ. එය ලෝකයේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක එකකි. වර්තමාන ලෝකයේ දැකිය හැකි බරපතළ ම (එහෙත් මේ බරපතළකම අවබෝධ කරගෙන නොමැති) පාරිසරික ගැටලුව සේ සැලකෙන දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ කිසියම් සාධනීය පියවරක්‌ අපේක්‌ෂාවෙන් සිදු වන්නකි.

දේශගුණ වෙනස්‌ වීමේ බරපතළකම වටහාගත් දින පටන්, මෙවැනි ගිවිසුමක්‌ අපේක්‌ෂාවේ තිබුණු අතර, 2009 වර්ෂයේ දී කෝපන්හේගන් දේශගුණ සමුළුවේ දී එවැන්නක්‌ අපේක්‌ෂා කරන ලදි. එහෙත් කිසිවකු අපේක්‌ෂා නො කළ ආකාරයෙන් එම සමුළුව කිසිදු එකඟතාවක්‌ නොමැති ව අවසන් විය. ඉන් පසුව, 2011 වර්ෂයේ දී පැවැති ඩර්බන් දේශගුණ සමුළුවේ දී ලෝකය එකඟ වූයේ, 2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නෛතික බලපෑමක්‌ ඇති එකඟතාවකට 2015 වර්ෂයේ දී එළැඹීමට ය. විශේෂයෙන් හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ දී ගිවිසුමකට ලෝකයේ සියලු රටවල් සම්බන්ධ විය යුතු බවට ද එකඟතාවක්‌ ඩර්බන්හි දී පොදුවේ ඇති වී තිබිණි. ලෝකයේ සැම රටකට ම හරිතාගාර විමෝචන සීමා කිරීමේ පොදු එහෙත් එකිනෙකට වෙනස්‌ මට්‌ටමේ වගකීම් ලැබිය යුතු බව මින් අදහස්‌ විය.

ඉන් පෙර දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ක්‍රියාක්‌මක වූ එක ම පිළියම වූයේ 1997 දී අත්සන් තබන ලද කියෝටෝ සන්ධානයයි. ඒ අනුව, දියුණු කාර්මික රටවල් පමණක්‌ සිය හරිතාගාර වායු විමෝචන සීමා කළ යුතු විය. ආර්ථික කරුණුවලට ප්‍රමුඛතාව ලබා දුන් ඇතැම් රටවල් කියෝටෝ සන්ධානයට මුල පටන් ම විරුද්ධ වූ අතර, එවකට ලෝකයේ වැඩි ම හරිතාගාර වායු විමෝචකයා වූ ඇමෙරිකාව ද කියෝටෝ සන්ධානයට අත්සන් තැබීම ප්‍රතික්‌ෂේප කළේ ය. තවත් රටවල් සන්ධානයට එක්‌ වීම පමා වූ බැවින් එය බලාත්මක තත්ත්වයට පත් වූයේ ද 2005 වර්ෂයේ දී පමණ ය. අවසානයේ දී 2012 වර්ෂයේ දී එහි මුල් ඉලක්‌කගත කාලසීමාව අවසන් වන විට, සන්ධානය අසාර්ථක එකක්‌ බව පැහැදිලි ව පෙනෙන්නට තිබිණි. කාර්මික රටවල් ස්‌වකීය හරිතාගාර වායු විමෝචන 1990 මට්‌ටමට සාපේක්‌ෂව විවිධ ප්‍රමාණවලින් (සාමාන්‍යයක්‌ ලෙස ගත හොත් 5.5%කින්) අඩු කළ යුතු වුව ද, ඒ බොහෝ රටවල වායු විමෝචන ඉහළ ගොස්‌ තිබිණි.

2012 සිට ගත වූ කාලයේ දී මේ සම්බන්ධව සාකච්ඡා ඇති වූ අතර ලබන සතියේ පැරිස්‌ සමුළුව අවසානයේ දී ඇති කරගැනීමට නියමිත ව ඇත්තේ මේ ගිවිසුමයි. මේ ගිවිසුම තුළ ලෝකයේ රටවල් සියල්ලට ම පොදු වගකීමක්‌ හා නෛතික බැඳීමක්‌ සහිත ආකාරයේ එකක්‌ වනු ඇතැයි අපේක්‌ෂිත ය.

ගැටලුවේ තරම


මේ වන විට ලෝකයේ විමෝචනය වන හරිතාගාර වායු විමෝචන ඉහළ යමින් තිබේ. මෙහි දී වැඩි වශයෙන් බලපෑමක්‌ සිදු වන්නේ කාබන් ඩයොක්‌සයිඩ් වායුවෙන් වුව ද, සෙසු හරිතාගාර වායුවල සාන්ද්‍රණය ද ඉහළ ගොස්‌ ඇත. ලෝක කාලගුණවිද්‍යා සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට 2014 දී ලෝකයේ සාමාන්‍ය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 397.7ක්‌ (ppm) පමණ වූ අතර මේ අගය 2016 වන විට කොටස්‌ 400 ඉක්‌මවා යනු ඇත. මෙය වාර්තාගත වැඩි වීමක්‌ වන අතර පූර්ව කාර්මික අවධියේ පැවැති මට්‌ටමට වඩා 143%ක වර්ධනයකි.

හරිතාගාර වායු සාන්ද්‍රණය මෙන්ම ලෝකයේ උෂ්ණත්වය ද මෑත කාලයේ දී වාර්තාගත අන්දමින් ඉහළ යමින් ඇති බව මේ වන විට පැහැදිලි කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ම වර්ෂ 11න් 10ක්‌ ම වාර්තා වන්නේ 2000 වර්ෂයෙන් පසුව වේ. (අනෙක්‌ උෂ්ණත්වයෙන් අධික වර්ෂය 1998 ය). මේ වන විට වාර්තා වී ඇති උෂ්ණත්වයෙන් අධික ම වර්ෂය වන්නේ ගත වූ 2014 ය.

මෙවැනි තත්ත්වයක ප්‍රතිඵලයක්‌ ලෙස ඉදිරියේ දී ඇති විය හැකි බලපෑම් පිළිබඳව අපට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබේ. මේවා සම්බන්ධව විවිධ පුරෝකථන මෙන්ම ඒ ගැන සවිස්‌තර වශයෙන් ද අප මින් පෙර සාකච්ඡා කර ඇත. දැන් අවශ්‍ය ව ඇත්තේ මේ තත්ත්වය වඩාත් බරපතළ තත්ත්වයකට පැමිණීමට පෙර පාලනය කරගැනීම ය. දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් සම්මුතියක්‌ ඇති වූයේ 1992 වර්ෂයේ දී පමණ ය. ඒ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියයි (UNFCCC). එහෙත් එමගින් මේ තත්ත්වය වැළැක්‌වීමට හෝ පාලනය කිරීමට හෝ පැහැදිලි ඉලක්‌කයක්‌ නො තිබූ අතර, එවැන්නත් ඇති කරගත්තේ 1997 දී ය. ඒ කියෝටෝ සන්ධානයයි. පෙර සඳහන් කළ ආකාරයට ඉන් අපේක්‌ෂිත ඉලක්‌ක වෙත ළඟා වීම අපහසු කරුණක්‌ වුව ද දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා මෙතෙක්‌ ක්‍රියාත්මක වූ එක ම වැඩසටහන වන්නේ කියෝටෝ සන්ධානයයි. පැරිස්‌ සාකච්ඡාවල පසුබිම සැකසෙන්නේ මේ තත්ත්වය පසුබිමේ තබාගනිමිනි.

මතභේදාත්මක කරුණු


අද වන විට පවත්නා තත්ත්වය අනුව ඇතැම් කරුණු සම්බන්ධව මතභේද ඇති බව පැහැදිලි ය. ඉන් එකක්‌ වන්නේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම කළ හැක්‌කේ කවර ප්‍රමාණයකින් ද යන්න ය. මේ වන විට ලෝකයේ රටවල් 168ක්‌ පමණ ප්‍රමාණයක්‌ ස්‌වකීය රටවලට සිදු කළ හැකි වායු සීමා කිරීම හා වෙනත් කරුණු පිළිබඳ පොරොන්දු (INDC) ලබා දී තිබේ. එහෙත් දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බලපෑම් ඇති විය හැකි යෑයි සැලකෙන උෂ්ණත්ව ඉහළ යැමේ සීමාව වන සෙල්සියස්‌ අංශක දෙකක සීමාව ඉක්‌මවා යා නො දී තබාගැනීමට මේවායින් හැකි ද යන්න වැදගත් ම කරුණ වේ. මේ රටවල් ලබා දී ඇති ඉලක්‌ක සියල්ල සම්පූර්ණ කළ ද ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2 ඉක්‌මවා යැම වළක්‌වාගත නොහැකි බව පෙන්වා දී තිබේ. (මේ පිළිබඳව ගණන් බැලීමකට අනුව උක්‌ත පොරොන්දු ඒ අයුරින් ම ඉටු වුව ද, ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2.7ත් 3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. එහෙත් මෙය කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නො ගැනීමෙන් ඇති විය හැකි ප්‍රතිඵලවලට වඩා යහපත් තත්ත්වයකි.)

කෙසේ වෙතත් මේ විමෝචන සීමා කිරීමේ ඉලක්‌ක කරා ළඟා වීම ස්‌වෙච්ඡාවෙන් අත්පත් කරගන්නා ඉලක්‌ක වුව හොත් එහි දී යම් ගැටලුවක්‌ ඇති වේ. ඒවා යම් නෛතික බැඳීමක්‌ සහිත වුව හොත් පමණක්‌ ඉන් යම් ප්‍රතිඵලයක්‌ අපේක්‌ෂා කළ හැකි ය. මෙය දියුණු හා දියුණු වන රටවල් අතර සාකච්ඡාවල කිසියම් මතභේදයක්‌ ඇති තැනකි. පසුගිය සතිය වන විට පෙනී ගොස්‌ තිබූ ආකාරයට ඇතැම් රටවල අපේක්‌ෂාව වන්නේ නෛතික බැඳීමක්‌ සහිත ගිවිසුමක්‌ ඇති නො වනු ඇතැයි යන්න ය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙවැනි අදහසක්‌ පළ කර තිබිණි. එහෙත් ප්‍රංශය මෙන්ම ලෝකය ද අපේක්‌ෂා කරන්නේ නෛතික බැඳීමක්‌ සහිත ශක්‌තිමත් වූ ගිවිසුමකි.

එකඟතාවක්‌ නොමැති අනෙක්‌ වැදගත් කරුණ වන්නේ දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමට හා ඊට අනුහුරු වීමට අදාළ කටයුතු සඳහා දියුණුවන රටවලට ලබා දීමට නියමිත ව ඇති ආධාර මුදල් ප්‍රමාණයයි. මේ පිළිබඳව ඇති අපේක්‌ෂාව වන්නේ ඩොලර් බිලියන 100ක අරමුදලක්‌ වාර්ෂිකව ප්‍රදානය කිරීම ය. එහෙත් මේ දක්‌වා දියුණු රටවල් ඒ ඉලක්‌කය සඳහා දායක වන ආකාරය පැහැදිලි නැත. මේ අධාර මුදල් සැම දියුණු වන රටකට ම වැදගත් වන්නේ පිරිසිදු තාක්‌ෂණය, අනුහුරු වීම ආදි බොහෝ කරුණු සම්බන්ධව ඔවුන් ගේ රටවල ඇති ආර්ථික තත්ත්වය සීමාකාරී බලපෑමක්‌ වන නිසා ය.

මේ කරුණු දෙක සම්බන්ධව කිසියම් සාධනීය විසඳුමක්‌ හෝ එකඟතාවක්‌ ඇති නො වුව හොත් පැරිස්‌ සාකච්ඡා පමණක්‌ නො ව, එහි දී ඇති විය හැකි ගිවිසුමකින් වුව ද ලෝකයට එතරම් යහපතක්‌ අපේක්‌ෂා කළ නොහැකි වනු ඇත.

ලෝකයේ අපේක්‌ෂාව


කෙසේ වෙතත් ලෝකයේ අනාගතය සුරක්‌ෂිත කිරීම සඳහා අවශ්‍ය වන එක්‌ ප්‍රධාන කරුණක්‌ වන්නේ දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බලපෑම්වලට ලෝකය ලක්‌ නො වන ආකාරයේ තත්ත්වයක්‌ ඇති කරගැනීම ය. ඉදිරි දිනවල පැරිසියට රැස්‌ වන ඒ ඒ රටවල නියෝජිතයන් ගේ, විද්‍යාඥයන් ගේ, සමාජ හා පාරිසරික ක්‍රියාකාරීන් ගේ අරමුණ වන්නේ දේශගුණ සමුළුවේ සාකච්ඡා කිසියම් ආකාරයක සාධනීය අවසානයක්‌ දක්‌වා යොමු වනු දැකීම ය.

එහෙත් අවාසනාවකට මෙන් පැරිස්‌ නගරයේ පසුගිය දා සිදු වූ ත්‍රස්‌ත ප්‍රහාරය නිසා එහි ආරක්‌ෂක තත්ත්වය දැඩි කිරීමට ප්‍රංශ රජය කටයුතු කර තිබේ. දේශගුණ සමුළුව අතරතුර දී පා ගමන්, විරෝධතා හා වෙනත් කටයුතු තහනම් කිරීමට රජය තීරණය කර ඇත. මෙය දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව අවධානය යොමු කිරීමේ අටියෙන් විවිධ සමාජ ක්‍රියාකාරීන් සංවිධානය කරන්නට ගිය විරෝධතාවලට ද බලපානු ඇත. විශේෂයෙන් ම අප්‍රිකානු රටවල්, කුඩා දූපත් රාජ්‍ය ආදි හඬක්‌ නොමැති පිරිස්‌වලට තම හඬ ලෝකයට ගෙන යැමට තිබූ අවස්‌ථාවක්‌ වන්නේ මේ වීදි විරෝධතා ය.

පැරිස්‌ සමුළුවට සහභාගි වන රාජ්‍ය නායක මට්‌ටමේ පිරිස්‌වල සහභාගිත්වය අඩු වන බව ද දැනගැනීමට ඇත. ඊට හේතුව වී ඇත්තේ ද පෙර කී ත්‍රස්‌ත ප්‍රහාරය නිසා ඇති වී තිබෙන ආරක්‌ෂාව පිළිබඳ ගැටලු ය. සාමාන්‍යයෙන් මෙවැනි තීරණාත්මක සමුළුවක දී රාජ්‍ය නායකයන් ගේ සහභාගිත්වය කිසියම් ධෛර්යයක්‌ හා ගම්‍යතාවක්‌ එක්‌ කිරීමට හේතු වන බැවින්, රාජ්‍ය නායකයන් ගේ සහභාගිත්වය අඩු වීම ද පැරිස්‌ සාකච්ඡාවලින් සාධනීය ප්‍රතිඵලයක්‌ අත්පත් කරගැනීම සඳහා බලපාන කරුණක්‌ විය හැකි ය.

ලෝකයේ අනාගත සුරක්‌ෂිතතාව පිළිබඳ තීරණ ගන්නා සමුළුවක්‌ වන පැරිස්‌ සමුළුවේ දී වර්ධනය වන ප්‍රවණතා සම්බන්ධව අපට ඉදිරියේ දී දැකගත හැකි ය.

http://www.vidusara.com/2015/11/25/feature1.html

Friday, November 20, 2015

තෙල් සමාගම්වල සටකපට උපක්‍රම හෙළිදරව් වේ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 11.11.2015 (Vidusara)

(Topic: Tactics used by oil companies revealed)

http://www.vidusara.com/2015/11/11/feature3.html




දේශගුණ වෙනස්‌ වීම සත්‍යයක්‌ නො වන බව හෝ ඒ පිළිබඳ විද්‍යාත්මක දැනුමේ අඩුපාඩු ඇති බව පවසමින් ලෝකයේ විවිධ ඛනිජතෙල් සමාගම් කටයුතු කරන ආකාරය ප්‍රකට රහසකි. කාබන්ඩයොක්‌සයිඩ් විමෝචන අධික ලෙස නිකුත් කරන ෆොසිල ඉන්ධන භාවිත සීමා වීමෙන් උක්‌ත සමාගම්වල ආදායම් අහිමි විය හැකි නිසා ඔවුන් මේ ආකාරයෙන් සත්‍ය තොරතුරු නො සලකාහරිමින් කටයුතු කරන බව පෙනේ. ලෝකයේ ධනවත් ම සමාගම් අතර සිටින, මුදල් බලයෙන් මෙන්ම දේශපාලන බලයෙන් ද ශක්‌තිමත් තෙල් සමාගම්වලට මෙවැනි කටයුතු එතරම් අලුත් දේ නො වේ.

මේ සමාගම් ජනතාව ගේ හා ලෝකයේ සුබසිද්ධිය නො සලකා කටයුතු කර ඇත්තේ කෙතරම් වගකීමකින් තොර ආකාරයෙන් ද යන්න, පසුගිය සති කිහිපයක කාලය ඇතුළත ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ අනාවරණය වී ඇති මෙවැනි එක්‌ සිදුවීමක්‌ සම්බන්ධව විස්‌තරවලින් පැහැදිලි වේ. මේ සිදුවීම් ජාලය සම්බන්ධ වන්නේ එක්‌සොන් (Exxon) ලෙස අතීතයේ හන්වන ලද, අද වන විට Exxon Mobil ලෙස හඳුන්වනු ලබන ලෝකයේ විශාලතම තෙල් හා ගෑස්‌ සමාගම සමග ය.

මේ කරුණු අනාවරණය වී ඇත්තේ InsideClimateNews නම් ආයතනයක්‌ විසින් මාස ගණනාවක්‌ තිස්‌සේ සිදු කරන ලද කරුණු සොයාබැලීමක දී ය. ඔවුන් ඒ සඳහා මේ ආයතනයේ සේවය කළ පිරිස්‌, විද්‍යාඥයන් හා පෙඩරල් නිලධාරීන් ආදී පිරිස්‌ රැසකින් තොරතුරු ලබාගෙන ඇති අතර, වැඩි වශයෙන් 1977-1986 අතර කාලයට අයත් එක්‌සොන් සමාගමේ ලියෑවිලි විශාල ප්‍රමාණයක්‌ද පරීක්‌ෂාවට ලක්‌ කර තිබේ.

දේශගුණ වෙනස්‌ වීම දැනගත්තේ 1977 දී


එහි දී අනාවරණය වී ඇති ආකාරයට එක්‌සොන් සමාගම 1977 ජුලි මාසය තරම් ඈත කාලයේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව දැන සිටියේ ය. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වූ ඡේම්ස්‌ බ්ලැක්‌ මේ පිළිබඳව සමාගමට අනාවරණය කර ඇත්තේ මේ මාසයේ දී ය. සමාගමේ කළමනාකාරීත්වයට ඔහු පෙන්වා දී ඇත්තේ ලෝක දේශගුණය සම්බන්ධව මිනිසුන් විසින් සිදු කරනු ලබන ප්‍රමුඛතම බලපෑම ෆොසිල ඉන්ධන දහනය කිරීම හරහා වායුගෝලයට කාබන් ඩයොක්‌සයිඩ් නිකුත් කිරීම බවයි. මේ සිදුවීමෙන් වසරකට පමණ පසුව ඔහු සමාගමට අනාවරණය කර ඇත්තේ වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය දෙගුණයකින් ඉහළ යැමෙන් ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2-3 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි.

මේ සිදුවීම් සිදු වන්නේ දේශගුණ වෙනස්‌ වීම පුළුල් මාතෘකාවක්‌ බවට පත් වීමට වසර 11ක්‌ තරම් ඉහත කාලයේ දී ය. මේ කරුණු අනාවරණය වීමත් සමඟ ම එක්‌සොන් සමාගම ඒ පිළිබඳව දැන සිටියා පමණක්‌ නො ව, සමාගමේ විද්‍යාඥයන් යොදාගනිමින් මාස කිහිපයක්‌ ඇතුළත මේ පිළිබඳ පර්යේෂණ ආරම්භ කර ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් එහි ඉහළ ම විද්‍යාඥයන් කාබන්ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය ගැන පර්යේෂණ කර ඇති අතර, දේශගුණ ආකෘති පවා ගොඩනගා අධ්‍යයන සිදු කර තිබේ. එසේ ම කාබන් ඩයොක්‌සයිඩ් වායුව අවශෝෂණය කරගැනීම සඳහා සාගරයට ඇති හැකියාව පිළිබඳව නෞකාවක්‌ යොදාගනිමින් සිදු කළ අධ්‍යයනයක්‌ සඳහා වරක්‌ ඩොලර් මිලියනයක පමණ මුදලක්‌ වැය කර ඇත. කෙසේ වෙතත් මේ පර්යේෂණ කටයුතු 1980 ගණන්වල මුල දී අඩාළ වූ අතර එතැන් සිට සමාගමේ කටයුතු වෙනස්‌ මගක්‌ ගත් බවක්‌ පෙනේ.

කෙසේ වෙතත් මේ චෝදනා ප්‍රතික්‌ෂේප කිරීමට එක්‌සොන් සමාගම කටයුතු කර ඇති අතර ඔවුන් පවසන්නේ අදාළ සමාගමෙන් මහජනතාවට විවෘත කර ඇති ලේඛන සමූහයක්‌ යොදාගනිමින් මේ චෝදනා එල්ල කර ඇති බවයි.

දේශගුණ සංශයවාදයට උදව් කිරීම


කෙසේ වෙතත් එක්‌සොන් සමාගමේ පසුකාලීන ක්‍රියාකාරකම් වඩාත් ආන්දෝලනාත්මක ය. සමාගම මේ ගැටලුව පිළිබඳව දැනුවත් ව සිටිය ද, දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ යථාර්ථය ඔවුන් දශක කිහිපයක්‌ යන තෙක්‌ පිළිගත්තේ නැත. නිදසුනක්‌ ලෙස ගත හොත් 1988 වර්ෂයේ දී ඇමෙරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයේ කමිටුවක්‌ අමතමින් ඡේම්ස්‌ හැන්සන් නම් නාසා ආයතනය හා සම්බන්ධ ව සිටි ප්‍රකට විද්‍යාඥයා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යමින් තිබෙන බව පවසමින් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව පළමුවරට අවධානය යොමු කළ අවස්‌ථාවේ දී පවා එක්‌සොන් සමාගම සිටියේ වෙනස්‌ මතයක ය - සමාගම පවසා සිටියේ මේ පිළිබඳව ඇති විද්‍යාත්aමක දැනුම මතභේදාත්මක බවයි.

එක්‌සොන් සමාගයේ කටයුතු එතැනින් නැවතුණේ නැත. ඔවුන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව වැරදි තොරතුරු ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල දායකත්වයක්‌ දක්‌වමින් කටයුතු කර ඇති බව වාර්තා වී තිබේ. මේ සඳහා යොදාගත් එක්‌ ක්‍රමයක්‌ වන්නේ දේශගුණ වෙනස්‌ වීම අවතක්‌සේරු කරන කටයුතු සඳහා විවිධ පිටස්‌තර කණ්‌ඩායම්වලට අරමුදල් ලබා දීමයි. නිදසුනක්‌ ලෙස, දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ විද්‍යාත්මක දැනුම ප්‍රශ්න කළ ගෝලීය දේශගුණ සමූහය (Global Climate Coalition) නම් එකතුව පිහිටුවීම සඳහා 1989 වර්ෂයේ දී මේ සමාගම මුල් වී ඇත. (මෙවැනි කණ්‌ඩායම් සඳහා අනුග්‍රහය ලබා දීමට විවිධ තෙල් සමාගම් කටයුතු කළ බව වාර්තා වී ඇත). එසේ ම ඇමෙරිකාව කියෝටෝ සන්ධානයට අත්සන් තැබීම වැළැක්‌වීම සඳහා ද එක්‌සොන් සමාගම කටයුතු කර ඇති බවට ද චෝදනා එල්ල වී ඇත. එතැනින් නො නැවතී කියෝටෝ සන්ධානයට වෙනත් රටවල් එක්‌ වීම වැළැක්‌වීමට පවා කටයුතු කර ඇති බව බව මේ වන විට හෙළි ව ඇත.

එපමණක්‌ නො ව මේ සමාගම මෙන්ම තවත් සමාගම් ගණනාවක්‌ එකතුව සකස්‌ කළ දේශගුණ සැකය මහජනතාව අතරට සන්නිවේදනය කිරීමේ වැඩපිළිවෙළක්‌ සම්බන්ධව කරුණු අනාවරණය කරගැනීමට මීට මාස කිහිපයකට පෙර සැලකිලිමත් විද්‍යාඥයන් ගේ සංගමය (UCS) නම් එකමුතුව විසින් නිකුත් කර ඇති සොයා බැලීමකින් හෙළි වී ඇත. ඔවුන් ගේ අරමුණ වී ඇත්තේ ජනතාව එක්‌ එක්‌ පුද්ගලයා ලෙස දේශගුණ වෙනස්‌ වීම සැක කරනු ලබන තත්ත්වයක්‌ කරා කටයුතු කිරීම බව පැහැදිලි ය. මෙවැනි කටයුතු සඳහා එක්‌සොන් සමාගම විශාල මුදලක්‌ වැය කර ඇති බව ගී්‍රන්පීස්‌ ජාත්‍යන්තරය වැනි සංවිධාන පවා කලක පටන් පෙන්වා දී තිබේ.

මෙහි ඇති වැදගත් ම කරුණ වන්නේ මෙවැනි නොමග යෑවීම් නිසා දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව කටයුතු කිරීම ප්‍රමාද වී ඇති බවයි. මේ නිසා අපතේ ගොස්‌ ඇති කාලය බොහෝ ය. 1988 වර්ෂයෙන් පසු, මේ කරුණු සම්බන්ධව වාද කරමින් ගත කර ඇති කාලය දශක තුනකට ආසන්නය. එහෙත් ලෝකයේ ප්‍රමුඛතම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව සාධනීය පිළියමක්‌ තවමත් දැකිය නොහැකි ය.

මේ දුම්කොළ සමාගම්වල උපක්‍රමයමයි


මේ අතර එක්‌සොන් සමාගමේ කටයුතු පිළිබඳව නීතිමය පරීක්‌ෂණයක්‌ අවශ්‍ය බව පාරිසරික ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත. ඒ සඳහා ම සකස්‌ කරන ලද අන්තර්ජාල පෙත්සමක්‌ අත්සන් කිරීම සඳහා ග්‍රීන්පීස්‌ සංවිධානය පසුගිය කාලයේ දී කටයුතු කළේ ය. පසුගිය සතියේ දී වාර්තා වූ පරිදි නිව්යෝක්‌ නීතිපතිවරයා පසුගිය දා මේ කරුණු පිළිබඳව පරීක්‌ෂණයක්‌ දියත් කර ඇති බව ද වාර්තා විය. ඒ අනුව මේ සමාගම දේශගුණ වෙනස්‌ වීමේ අවදානම සම්බන්ධව ජනතාවට ද, තෙල් ව්‍යාපාරයට ද බලපාන ආකාරය ගැන ආයෝජකයන්ට ද අසත්‍ය ප්‍රකාශ කළේ ද යන්න පිළිබඳව අවධානය යොමු ව ඇති බව පෙනේ.

මෙවැනි අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී වැදගත් පූර්වාදර්ශයක්‌ තිබේ. තම නිෂ්පාදනවලින් ඇති විය හැති අනතුරුදායක තත්ත්වය හෙළිදරව් වීමෙන් ව්‍යාපාරවලට ඇති විය හැකි තර්ජනය නිසා දුම්කොළ සමාගම් ද අතීතයේ දී මේ හා සමාන ආකාරයකින් කටයුතු කර තිබේ.

1950 හා 60 දශකවල දී දුම්කොළ සමාගම් දුම්කොළවල ඇති හානිකර හා ඇබ්බැහි කරනසුලු බව පිළිබඳ කරුණු දැන දැන ම ඒවා වසන් කරමින් වෙනත් කරුණු පෙන්වා දෙන්නට හා පසුකාලීනව සැක සහිත වූ පර්යේෂණ සඳහා අරමුදල් ලබා දෙන්නට කටයුතු කර ඇත. එහි අරමුණ වූයේ මහජන මතය වෙනස්‌ කිරීම ය. මේ පිළිබඳව ගත් නීතිමය පියවරක දී ඇමෙරිකාවේ ෆෙඩරල් අධිකරණයක්‌ පෙන්වා දුන්නේ දුම්කොළ සමාගම් විද්‍යාත්මක කරුණු වසන් කිරීම සඳහා කටයුකු කර ඇති බවයි. ඒ ඔවුන් ගේ ආර්ථික වාසි සඳහා ය.

මේ අනුව තෙල් සමාගම් භාවිත කර අත්තේ දුම්කොළ සමාගම් අතීතයේ දී යොදාගත් උපක්‍රම හා සමාන උපක්‍රම බව පෙනේ. දුම්කොළ සමාගම්වල කටයුතු නිසා තර්ජනයට ලක්‌ වූයේ මානව සෞඛ්‍යය වීම ය. තෙල් සමාගම්වල කටයුතු නිසා තර්ජනයට ලක්‌ ව ඇත්තේ සමස්‌ත ලෝකයේ අනාගතය වීම ය. එය මිනිසුන් ගේ ද සියලු ජීවී සංහතියේ ද අනාගතය ද වේ. විද්‍යාව වැනි විශ්වසනීයත්වයෙන් යොදාගත යුතු මෙවලමක්‌ පවා අවශ්‍ය ආකාරයට වෙනස්‌ කර යොමු කරමින් ව්‍යාපාරික අවශ්‍යතා සඳහා යොදාගැනීමට සමාගම් කටයුතු කර තිබීම කණගාටුවට කරුණකි.

http://www.vidusara.com/2015/11/11/feature3.html