Saturday, February 20, 2016

මිනිසුන් සමඟ බල්ලන් හා බළලූන්ගේ ඇති සම්බන්ධය ගැන අපේ දැනුම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 03.02.2016 (Vidusara) - not available online 

විවිධ සතුන් ගෘහාශ්‍රිතකරණය කිරීම කලක් අනාදිමත් කාලයක පටන් මිනිසුන් විසින් සිදුකරන ලද කටයුත්තකි. මේ ආකාරයෙන් ගෘහාශ්‍රිතකරණය කළ සතුන් අතර සුරතලයට ඇතිකිරීමට, විවිධ කටයුතු කරගැනීමට මෙන්ම මස් හා වෙනත් ආහාරමය අවශ්‍යතා සඳහා යොදාගන්නා සත්ත්ව විශේෂද වේ. මේ නිසා මිනිසුන්ට සිය දිවිපැවැත්ම පහසු කරගැනීමට හැකි වූ අතර පහසුවෙන් ආහාර ලබාගැනීමටද අවස්ථාව සැලසිණි.

මෙසේ විවිධ සතුන් ගෘහාශ්‍රිතකරණය කරන ලද්දේ කවර කාලයකදීද යන්න හා එය සිදු වූයේ ලෝකයේ කුමන ප්‍රදේශයක හෝ ප්‍රදේශවලදීද යන්න මේ විෂය ගැන අවධානය යොමුකරන විද්‍යඥයන්ගේ සැලකිල්ලට ලක් වූ කරුණකි. මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනවලින් පෙනෙන ආකාරයට, විවිධ සත්ත්ව විශේෂ ගෘහාශ්‍රිතකරණය සම්බන්ධව විවිධ මතවාද ඉදිරිපත්ව ඇත.

මෙසේ ගෘහාශ්‍රිතකරණය වූ සත්ත්ව විශේෂ අතර බල්ලන්ට හා බළලූන්ට හිමි වන්නේ විශෙAෂ ස්ථානයකි. බල්ලන් යොදාගන්නා ලද්දේ ආරක්ෂාව හා දඩයමට යොදාගැනීමට ඇති හැකියාව මුල්කරගෙන වන අතර, බළලූන් ඇති කිරීම සඳහා හේතු වූයේ ආහාරවලට හානිකරන සතුන් පාලනය කිරීම බව පෙනේ. කෙසේ වෙතත් අද වන විට බල්ලන් හා බළලූන් මිනිසුන්ට සමීප වී ඇත්තේ සුරතල් සතුන් ලෙස ඇති කරන සත්ත්ව විශේෂ දෙකක් ලෙස බව පෙනේ.

බල්ලන් හා බළලූන් ගෘහාශ්‍රිතකරණය කවදා කොතැනක සිදුව තිබේද? ඒ පිළිබඳව අද වන විට අප දන්නා කරුණු මොනවාද? මේ ලිපියේ අරමුණ වන්නේ මෑතකදී පළ වූ අධ්‍යයන කිහිපයක් පදනම් කරගනිමින් බල්ලන් හා බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීම පිළිබඳව අවධානය යොමුකිරීමය.

බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීම ප්‍රදේශ කිහිපයක සිදු වී තිබේ

මේ වන විට ලෝකයේ ගෘහාශ්‍රිත බළලූන් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් වෙසෙන අතර ලෝකයේ වඩාත් සුලබ සුරතල් සත්ත්ව විශේෂය බළලූන්ය. Felis catus ලෙස විද්‍යත්මකව හඳුන්වනු ලබන බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීම පිළිබඳව මෑතක් වන තුරු විශ්වාස කළ පරිදි එය සිදුව ඇත්තේ ලෝකයේ මෑත පෙරදිග හෙවත් නිරිතදිග ආසියාවේ අදින් වසර 10,000කට පමණ පෙර හෙවත් පොදු වර්ෂ පූර්ව 9,000ත් 7,000ත් අතර කාලවකවානුවකදීය. මෑත පෙරදිග හා අප්‍රිකානු ප්‍රදේශවල විසූ බටහිර වල් බළලා (Western Wildcat - Felis silvestris lybica) ලෙස හඳුන්වන බළල් විශේෂය හීලෑ කිරීමෙන් මෙය සිදුව ඇති බව මේ ප්‍රදේශයේ ස්ථාන ගණනාවකින් ලැඛෙන පුරාවිද්‍යාත්මක සාධක අනුව පැහැදිලිය. බළලූන් හා මිනිසුන් අතර මේ සම්බන්ධය ඇති වන්නට ඇත්තේ මිනිසුන් කෘෂිකාර්මික ජීවිතයකට පිවිසුණු පසුව බව විශ්වාස කරනු ලැබේ. විශෙAෂයෙන් බළලූන් හා මිනිසුන් අතර මෙවැනි සමීප සම්බන්ධයක් ඇති වූයේ මිනිසුන් විසින් රැස්කළ ධාන්‍යවලට හානි කළ කෘන්තකයන් වනසා දැමීම සඳහා බළලූන් සිදු කළ කාර්යය නිසා විය හැකිය. ලෝකයේ අද වෙසෙන ගෘහාශ්‍රිතකරණය කර ඇති බළලූන්ගේ ආදිතමයා වන්නේ මෑත පෙරදිග හා අප්‍රිකානු ප්‍රදේශවල විසූ බටහිර වල් බළලා බව මේ වන විට ප්‍රවේණික අධ්‍යයනවලින් තහවුරු වී ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව මෑතකදී ප්‍රකාශයට පත් අධ්‍යයනයකට අනුව පොදු වර්ෂ පූර්ව 3,000 පමණ කාලයේදී (එනම් අදින් වසර 5,000කට පමණ පෙර) චීනයේදී ද බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීමක් සිදුව තිබේ. (මූලාශ්‍රය: PLOS One, DOI: 10.1371/journal.pone.0147295) මේ කරුණු අනාවරණය කරගෙන ඇත්තේ චීනයේ තිබූ කෘෂිකාර්මික වාසභූමි කිහිපයකින් මීට කලකට පෙර හමු වී ඇති පැරණිම බළල් ශේෂවලට අයත් විශේෂය තීරණය කිරීමෙනි. මේ අනුව මේ අස්ථී අයත් වන්නේ කොටි බළලා (Leopard Cat - Prionailurus bengalensis) නමින් හඳුන්වනු ලබන වල් බළල් විශේෂයකටය. කෙසේ වෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ චීනයේදී මේ සඳහා වෙනස් උප විශේෂයක් යොදාගෙන තිබීමයි. චීනයේ පැරණි ජනාවාසවලින් පෙර සඳහන් කළ බටහිර වල් බළලා නම් උප විශේෂය චීනයෙන් වාර්තා නොවේ. මේ බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීමේ ක්‍රියාවලිය මෑත පෙරදිග හා පැරණි ඊීජිප්තුවේ බළලූන් ගෘහාශ්‍රිතකරණය වූ ආකාරය හා සමාන බව මේ පර්යේෂකයන්ගේ මතයයි.

එහෙත් අද වන විට චීනයේ දැකිය හැක්කේද ලෝකයේ වෙනත් රටවල මෙන්ම බටහිර වල් බළලාගෙන් පැවත එන ගෘහාශ්‍රිතකරණය කළ බළලූන්ය. ඒ අනුව කිසියම් කාලයකදී චීනයටද මේ බළල් විශෙAෂය ව්‍යාප්ත වී ඇති අතර පෙර කී කොටි බළලාගෙන් ගෘහාශ්‍රිතකරණය කළ බළලූන් වඳවී ගොස් තිබේ.

මේ චීන අධ්‍යයනයෙන් ලැඛෙන සාධකද සලකා බැලු විට බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීම ලෝකයේ එකිනෙකට වෙනස් ප්‍රදේශ තුනක පමණ සිදුව තිබේ. ඒ් මෑත පෙරදිග, ඊජිප්තුව හා චීනයේය. මේවා එකිනෙකට ස්වාධීනව සිදුව ඇති බව පැහැදිලිය. චීන සිදුවීම වඩාත් වැදගත් වන්නේ එහිදී වෙනස් වල් බළල් විශේෂයක් භාවිත වීම නිසාය.

බල්ලන් ගෘහාශ්‍රිතකරණයේ කාලය තවත් ඈතට යයි?

බල්ලන් හෙවත් Canis lupus familiaris ලෙස විද්‍යත්මකව නම් කරන සත්ත්ව උප විශේෂය ලෝකයේ දැකිය හැකි රූපානුදර්ශීය විවිධත්වයෙන් වැඩිම ගණනක් (එකිනෙකට වෙනස් බල්ලන් වර්ග) ඇති සත්ත්ව විශේෂයක් වේ. දඩයම, සතුන් බලාගැනීම මෙන්ම පාලූව මකා ගැනීම පිණිසද බල්ලන් ඇති කිරීම සිදු වේ.
බල්ලන් ගෘහාශ්‍රිතකරණය කරන ලද්දේ අදින් වසර 15,000ක් පමණ කාලයකට පමණ ඉහත කාලයකදී බව කලක් තිස්සේ පැවති පිළිගත් පැවැති පිළිගත් මතය වූයේ මිනිස් වාසවලින් මේ කාලයේ පටන් බල්ලන්ගේ අස්ථී ශේෂ හමුවීම නිසාය. ඒ අනුව අළු වෘකයන්ගෙන් (Gray wolf - Canis lupus) බල්ලන් ගෘහාශ්‍රිතකරණය කරන ලද බවට ඇති සාධක පිළිගත හැකිය. ඒ දඩයම් යුගයේ සිට ගොවිතැන කරා මිනිසුන් යොමු වූ අවධියේදීය. ඒ අනුව දයමේ සිට ස්ථාවර ස්ථානයක පදිංචි වීම සමඟ බල්ලන් ගෘහාශ්‍රිතකරණය කළ බවට වූ මතයට වැඩි පිළිගැනීමක් ලැබිණි. බල්ලන් යනු මුලින්ම ගෘහාශ්‍රිතකරණයට ලක්වූ සත්ත්ව විශේෂයකි. එහෙත් මෙය සිදු වූයේ ලෝකයේ කුමන ප්‍රදේශයකදීද යන්න ගැන එකඟතාවයක් නොමැති බන පෙනේ.

කෙසේ වෙතත් පසුගිය වසරේදී ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව බල්ලන් එතෙක් සිතූ කාලයට වඩා අතීතයේදී ගෘහාශ්‍රිතකරණය කර ඇතැයි අනාවරණය කර තිබේ. ඒ අනුව සයිබීරියාවෙන් සොයාගත් වසර 35,000ක් තරම් පැරණි වෘකයින්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රිතව සිදුකරන ලද මේ අධ්‍යයනයට අනුව, මේ වෘකයාගේ ප්‍රවේණික ද්‍රව්‍ය වෘකයින් හා බල්ලන් අතර අතරමැදි අවස්ථාවක විය. මේ අනුව වෘකයින්ගෙන් බල්ලන් වෙන්වීම ආරම්භ වන්නේ අදින් වසර 27,000ක් පමණ කාලයකට ඉහතදීය. ඒ අනුව වෘකයින් මිනිසුන් පසුපස යෑම ආරම්භ කළ අතර, ඔවුන් විසින්ම තමන් ගෘහාශ්‍රිතකරණය කිරීමක් සිදුව ඇති බවක් පෙනේ. (මූලාශ්‍රය: Current Biology, DOI: 10.1016/j.cub.2015.04.019) මේ කරුණු අනුව බල්ලන්ගේ ගෘහාශ්‍රිතකරණ ඉතිහාසය සම්බන්ධව තවමත් පැහැදිලි නොවූ තැන් ඇති අතර ඒ සඳහා උපකාරි විය හැකි එක් පැහැදිලි කිරීමක් පසුගිය වසරේ අග භාගයේ පළවිය.

මේ නව අධ්‍යයනයකට අනුව බල්ලන් මුලින්ම ගෘහාශ්‍රිතකරණය කර ඇත්තේ නැගෙනහිර ආසියාවේ දකුණු දිග ප්‍රදේශයේදීය. ඒ අදින් වසර 33,000ක් පමණ කාලයකට ඉහතදීය. ලෝකයේ ප්‍රදේශ ගණනාවකින් ලබාගත් ගෙනෝම යොදාගනිමික් සිදුකර ඇති සවිස්තර DNA අධ්‍යයනයක් (ගහන ප්‍රවේනි විශ්ලේෂණයක්) වන මේ අධ්‍යයනයට අනුව මේ මුල්ම ගෘහාශ්‍රිතකරණය වූ බල්ලන් පැවත එන්නේ චීනයෙන් පැමිණි අළු වෘකයන්ගෙනි. එසේම මේ ප්‍රදේශයේ වසර දහස් ගණනක් පමණ පරිණාමය වන බල්ලන් ඒ ප්‍රදේශයෙන් පිටතට සංක්‍රමණය වීම ආරම්භ වූයේ වසර 15,000කට පමණ පෙරදීය. මුලින්ම මැද පෙරදිග ප්‍රදේශයට හා අප්‍රිකාවට පැමිණි යුරෝපයට බල්ලන් පැමිණියේ වසර 10,000ක් පමණ කාලයකට ඉහතදී බව මේ පර්යේෂකයන්ගේ මතයයි. එසේම මෙසේ ආසියාවෙන් පිටතට ගිය එක් ශාකාවක් නැවත උතුරු චීනයට සංක්‍රමණය වූ අතර, මුල් නැගෙනහිර ආසියානු බල්ලන් සමඟ මිශ්‍රවීමෙන් අනතුරුව ඇමරිකාවටද ව්‍යාප්ත වී තිබේ. (මූලාශ්‍රය: Cell Research, DOI: 10.1038/cr.2015.147)

ගෘහාශ්‍රිතකරණයේ විචිත්‍රත්වය

ලෝකයේ විවිධ ප්‍රදේශවල සමාන තත්ත්ව තිබූ බැවින් සතුන් ගෘහාශ්‍රිතකරණය වීමද ස්වාධීනව ඒ ප්‍රදේශවල සිදුව ඇති බව පැහැදිලිය. මේ තත්ත්ව ඇති වී ඇත්තේ එකිනෙකට සමාන තත්ත්ව හමුවේය. එ නම්, කෘෂිකර්මයේ බිහිවීමත් සමඟය. බළලූන්ට අමතරව ඌරන්ද මෙසේ තැන් කිහිපයක එක හා සමාන ගෘහාශ්‍රිතකරණයක් සිදුව ඇති බව මේ වන විට පැහැදිලිය. බළලූන් සම්බන්ධව ගතහොත් ඉහත සඳහන් චීන අධ්‍යයනය වැදගත් වන්නේ එහිදී වෙනත් විශේෂයක් ගෘහාශ්‍රිතකරණයට ලක් කර ඇති නිසාය. බල්ලන්ගේ මේ පිළිබඳ තවමත් මතභේද ඇකි බව පෙනේ.
මේ අනුව මිනිසුන් විවිධ ප්‍රදේශවල එක හා සමානව වර්ධනය වන අතර, එක හා සමාන සිදුවීම් සිදුව ඇති බව පැහැදිලිය. මෙහිදී එක හා සමාන තත්ත්ව හා අවශ්‍යතා හමු වේ සිදුව ඇති දෙයකි. එසේම මේ ගෘහාශ්‍රිතකරණයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙය අදාළ සතුන් විසින්ම සිදුකර ගත්තක් විය හැකි බවටද සාධක හමුවෙමින් තිබීමයි. මෙය එක් අපූරු හා විචිත්‍ර සිදුවීමක් නොවන්නේද?

No comments:

Post a Comment