Sunday, March 6, 2016

මිනිසුන් වානරයන් වෙතින් වෙන් වීමේ දින වකවානු පිළිබඳ විවිධ මත

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 02.03.2015, පි. 5 (Vidusara)


http://www.vidusara.com/2016/03/02/feature2.html



මිනිසුන් හා වානරයන් අතර ඇති පරිණාමික ඥාතිත්වය පිළිබඳව අද වන විට විවාදයක්‌ නොමැත. ඒ පිළිබඳ විද්‍යාත්මක තොරතුරු පසුගිය සියවස්‌ එක හමාරකට ආසන්න කාලයේ දී අනාවරණය වී තිබේ. මිනිසුන්, ගොරිල්ලන් හා චිම්පන්සින් වැනි වානරයන් (apes) අයත් වන්නේ ජීව විද්‍යාත්මකව හොමිනිඩේ (Hominidae) නමින් හඳුන්වන ලබන කුලයට ය. මීට අයත් වන්නේ ඔරංඋටං, ගොරිල්ලන්, චම්පන්සින් හා බොනොබෝවන් සහ මිනිසුන් ය. හොමිනිඩේ කුලය අයත් වන්නේ අග්‍රේශ ගෝත්‍රයට ය. (Primates).

මේ සතුන් එකිනෙකා ගෙන් වෙන් වීම ආරම්භ වන්නේ ඈත අතීතයේ දී ය. කිසියම් දවසක මිනිසුන් හා වෙනත් මහා වානර විශේෂවලට පොදු වූ ආදිතමයෙක්‌ හෙවත් පූර්වජයෙක්‌ ජීවත් වී තිබේ. කිසියම් හේතුවක්‌ නිසා මේ පොදු පූර්වජයා ගෙන් පැවත එන සතුන් ශාඛා ඔස්‌සේ වෙන් ව පරිණාමය වීමෙන් අද දැකිය හැකි එකිනෙකට වෙනස්‌ වූ විශේෂ ඇති වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් ගොරිල්ලන් අයත් ශාඛාව හා මිනිසුන් හා චිම්පන්සින් අයත් ශාඛාව වෙන් වීම පිළිබඳව දැක්‌විය හැකි ය. එසේ ම ඊට වඩා පසු කාලයක දී ඇති වූ මිනිසුන් හා චිම්පන්සින් අයත් ශාඛාවේ වෙන් වීම් ද මෙවැනි වූ තවත් සිදුවීමකි. අනෙක්‌ අතට මිනිසුන් අයත් ශාඛාවේ ද විවිධ බෙදීම් ඇති වී විවිධ මානවරූපී විශේෂ ගණනාවක්‌ අතීතයේ දී ජීවත් වී වඳ වී ගොස්‌ තිබේ.

මේ පරිණාමික ශාඛා වෙන් වූයේ කවර දා ද යන්න පරිණාම විද්‍යාඥයන් ගේ අවධානයට ලක්‌ වූ පර්යේෂණාංශයකි. විශේෂයෙන් වානරයන් ගෙන් මිනිසුන් වෙන් වූ කාල වකවානුව පිළිබඳව ගත වූ සියවස්‌ එක හමාරක පමණ කාලය තුළ විවිධ මක ඉදිරිපත් වී ඇත. අද වන විට පරිණාමීය වශයෙන් ඇති වූ වර්ධනයන් පිළිබඳ කාල නිර්ණය කිරීම සඳහා යොදාගන්නා විද්‍යාත්මක ක්‍රම දෙකක්‌ හඳුනාගත හැකි ය. ඉන් පළමුවැන්න ෆොසිල සාධක මගින් ලැබෙන දින වකවානු ය. ෆොසිල සඳහා දින නිර්ණය කිරීමේ කාල නිර්ණ ක්‍රම මගින් මෙහි දී කාලය නිර්ණය කරනු ලැබේ. දෙවැනි ක්‍රමය වන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රයෙන් සිදු කරන අධ්‍යයන වේ. මෙහි දී සතුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍යවල ඇති වී තිබෙන වෙනස්‌කම් යොදාගනිමින් දින වකවානු ගණනය කිරීම සිදු වේ.

මේ දක්‌වා සිදු කර ඇති පර්යේෂණවලින් මේ පරිණාමික ශාඛා වෙන් වීමට ලබා දී ඇති දින වකවානු විවිධ ය. එය වඩා මෑත කාලයකට ගෙන ආ 1960 දශකයේ දී සිදු කරන ලද පර්යේෂණයක්‌ මගින් දක්‌වා තිබුණේ මිනිසුන් හා අප්‍රිකානු මහා වානරයන් වෙන් වූයේ අදින් වසර මිලියන 5කට පමණ පෙර කාලයක දී බව ය. එය ෆොසිල සාධකවලින් පෙන්වා තිබූ කාලයට වඩා බෙහෙවින් මෑත දිනයක්‌ වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් පසුකාලීනව කරන ලද ප්‍රවේණික අධ්‍යයනවලින් දක්‌වා තිබුණේ මෙය මිලියන 4-6 අතර කාලයකට පෙර සිදු වූවක්‌ විය හැකි බවයි. කෙසේ වෙතත්, ෆොසිල සාධකවල දින වකවානු හා මේවා අතර ඇති නො ගැලපීම යම් ආකාරයක ගැටලුවක්‌ වූ බව සැබැවි. මේ පිළිබඳව මෑත කාලයේ දී සිදු කළ, පහත සැකෙවින් විස්‌තර කරන පර්යේෂණ කීපයක ප්‍රතිඵල මගින් පෙන්වන්නේ මේ කාලවකවානු තවදුරටත් සංශෝධනය වන බවයි.

ගොරිල්ලන් හා මිනිසුන් වෙන් වීම


ගොරිල්ලන් හා මිනිසුන්, චිම්පන්සින් හා බොනබෝවන් ඇතුළත් පරිණාමීය ශාඛාවේ වෙන් වීම ඇති වූ දිනය පිළිබඳව කලක්‌ තිස්‌සේ පැවැති විශ්වාසය වූයේ එය වසර මිලියන 6-7 අතර කාලයකට පෙර සිදු වන්නට ඇති බවයි. එහෙත් 2012 වර්ෂයේ දී Proceedings of the National Academy of Sciences සඟරාවේ ප්‍රකාශයට පත් අධ්‍යයනයකින් පෙන්වා දුන් ආකාරයට මේ වෙන් වීම සිදු වූයේ අදින් වසර මිලියන 8කට හෝ ඊට පෙර කාලයක දී ය. මේ අධ්‍යයනයේ ඇති තවත් වැදගත්කමක්‌ වූයේ එහ දී ප්‍රවේණික අධ්‍යයන හා ෆොසිල සාධක අතර යම් සමානත්වයක්‌ ඇති බව ප්‍රකාශයට පත් වීමයි. (මූලාශ්‍රය- Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1211740109)

මේ අතර මිනිසුන් හා ගොරිල්ලන් අතර ඇති වූ වෙන් වීම සිදු වූයේ අදින් වසර මිලියන 10කට හෝ ඊට පෙර බව පසුගිය මස Nature සඟරාවේ පළ වූ නවතම අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. ඒ සඳහා පදනම් වී ඇත්තේ ඉතියෝපියාවේ කොරෝරා ප්‍රදේශයෙන් (Chorora Formation) ලැබුණු Chororapithecus abyssinicus නම්, මේ වන විට වඳ වී ගොස්‌ ඇති අප දන්නා පැරැණි ම ගොරිල්ලා විශේෂයේ ෆොසිල වූ දත් සමූහයක්‌ පිළිබඳව කළ අධ්‍යයන ය. එසේ ම අදාළ ෆොසිල හමු ව ඇති ස්‌තර සඳහා ලැබී ඇති කාලවකවානුව වන්නේ අදින් වසර මිලියන 8ක්‌ පමණ ඉහත කාලවකවානුවකි. මේ වානර විශේෂය පිළිබඳව විද්‍යාත්මක ලෝකයට අනාවරණය වූයේ 2007 තරම් මෑත කාලයක දී ය. මේ සත්ත්වයා ගොරිල්ලන් විශේෂයක්‌ බව තහවුරු වූයේ මේ දත් හා අද ජීවත් වන ගොරිල්ලන්ට ඇති සමානතාව නිසා ය. වසර මිලියන 8කට පෙර ගොරිල්ලන් වෙන ම විශේෂයක්‌ ලෙස වර්ධනය වී තිබුණේ නම්, ගොරිල්ලන් හා මිනිසුන්ට පොදු වූ පූර්වජයා වාසය කර ඇත්තේ මීට වඩා පෙර කාලයක බව පැහැදිලි ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, ගොරිල්ලන් හා මිනිසුන් අයත් ශාඛා වෙන් වීම සිදු ව ඇත්තේ වසර මිලියන 8කට වඩා පෙර දී ය. ඒ වන් වීම අදින් මිලියන 10-11කට පමණ පෙර කාලයක දී සිදු වන්නට ඇති බව මෙහි දී නිගමනය කර ඇත. මේ දිනය මෙතෙක්‌ විශ්වාස කළ කාලවකවානුවට වඩා වසර මිලියන දෙකක්‌ පමණ පෙර කාලයකි. එසේ ම මෙහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට මේ සත්ත්ව විශේෂය ජීවත් ව ඇත්තේ යුරේසියාවේ නො ව අප්‍රිකාවේ ය. (මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature16510)

චිම්පන්සින් ගෙන් වෙන් වූ දිනය


2012 වර්ෂයේ දී ප්‍රකාශිත, පෙර සඳහන් කළ Proceedings of the National Academy of Sciences සඟරාවේ පළ වූ ඉහත සඳහන් අධ්‍යයනයෙන් මිනිසුන් හා චිම්පන්සින් එකිනෙකා ගෙන් වෙන් වූයේ අඩු වශයෙන් වසර මිලියන 7-8ක්‌ පමණ කාලයකට පෙර බව දක්‌වා තිබිණි. එසේ ම මෙහි දී අදාළ කාල වකවානුව මිලියන 13ක්‌ පමණ තරම් ඈත විය හැකි බව ද දක්‌වා තිබිණි. මෙහි දී කලින් පැවැති වසර මිලියන 4-6 අතර කාලය වඩා වඩා ඈත කාලයකට ගෙන යැමක්‌ විය.

එහෙත් 2016 වර්ෂය මුල දී Proceedings of the National Academy of Sciences සඟරාවේ පළ වූ අධ්‍යයන වාර්තාවක චිම්පන්සින් හා මිනිසුන් වෙන් වීම අදින් වසර මිලියන 6.6ක්‌ පමණ කාලයකට ඉහත දී සිදු වන්නට ඇති බව සඳහන් විය. එහි දී භාවිත කර ඇත්තේ ප්‍රවේණික ද්‍රව්‍යවල ඇති වූ වෙනස්‌ වීම් පිළිබඳ ක්‍රමවේදයකි. වඩා සවිස්‌තරව පවසන්නේ නම්, ප්‍රවේණි ද්‍රව්‍යවල සිදු වූ විකෘති අනුව අතීතයට සිදු කරන කාලය මැන බැලීමකි. එය මිනිසුන් ගේ හා චිම්පන්සින් ගේ ප්‍රවේණි ද්‍රව්‍යවල ඇති වෙනස්‌කම් හා මේ විකෘති ඇති වන වේගය සංසන්දනය කිරීමෙන් සිදු කළ පර්යේෂණයකි. එහි ප්‍රතිඵල අනුව අදාළ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ විකෘති ඇති වීමේ වේගය වර්තමානය වන විට අඩු වී ඇති බවයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් මේ විකෘති ඇති වීම සෙමින් සිදු වන (mutational slowdown) බවයි. ඒ අනුව මෙතෙක්‌ පැවැති විශ්වාසයට වඩා මෑත කාලයක දී මිනිසුන් හා චිම්පන්සින් එකිනෙකා ගෙන් වෙන් වූ බව මෙහි දී යෝජනා කර තිබේ. (මූලාශ්‍රය( Proceedings of the National Academy of Sciences,DOI: 10.1073/pnas.1515798113)

අප ඉහත සඳහන් කළ, පසුගිය මාසයේ Nature සඟරාවේ පළ වූ අධ්‍යයනයෙන් දැක්‌වෙන ආකාරයට චිම්පන්සින් හා මිනිසුන් එකිනෙකා ගෙන් වෙන් වන්නට ඇත්තේ අදින් වසර මිලියන 8කට පමණ ඉහත දී ය. මේ අනුව අදාළ කාල වකවානු කලින් විශ්වාස කළ කාලවකවානුවේ සමීපයට ගෙන යැමක්‌ සේ සැලකිය හැකි ය.

පර්යේෂණ සම්පූර්ණ ද?


මේ මත පිළිබඳව විමසා බැලීමේ දී පෙනෙන්නේ, පරිණාමයේ මේ වැදගත් සිදුවීම් දෙක සඳහා වඩා පිළිගත් නිශ්චිත දිනවකවානුවක්‌ ලබා දීම සඳහා තවත් සාධක ලැබිය යුතු බවයි. විමසිල්ලෙන් බැලූ විට පෙනෙන වැදගත් කරුණක්‌ වන්නේ ෆොසිල සාධක යොදාගනිමින් කරන අධ්‍යයනවලින් ලැබෙන දින වකවානු හා ප්‍රවේණි විද්‍යාත්මක අධ්‍යයනවලින් ලබාගන්නා දින වකවානු අතර යම් ආකාරයක පරස්‌පරයක්‌ හා නො ගැලපීමක්‌ ඇති බවයි. මෙය මානව පරිණාමය සම්බන්ධයෙන් පමණක්‌ නො ව වෙනත් කරුණුවල දී ද පෙනී ගොස්‌ ඇති කරුණකි. ඇතැම් විට මේ ක්‍රමවේදවල අප අද නො දන්නා කිසියම් අඩුපාඩුවක්‌ තිබිය හැකි ය.

විද්‍යාත්මක ක්‍රමයේ දී මේ ආකාරයෙන් යෝජනා වන දින වකවානු වෙනත් පර්යේෂණවලින් යළිත් වෙනස්‌ වීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. යම් දිනයක්‌ සඳහා වැඩි පිළිගැනීමක්‌ ලැබෙන්නේ ඒවා තහවුරු වීම සඳහා තවදුරටත් සාධක ලැබීමෙනි. ඒ අනුව ඉදිරියේ දී මානව පරිණාමය සම්බන්ධව ලැබෙන ෆොසිල හා ප්‍රවේණි විද්‍යාත්මක පර්යේෂණ අනුව ඉහත කී දිනවකවානු වඩාත් පැහැදිලි වනු ඇති බව පමණක්‌ අපට පැවසිය හැකි ය.

http://www.vidusara.com/2016/03/02/feature2.html

No comments:

Post a Comment