Tuesday, June 30, 2020

මගේ හදවත පාරන "සැඳෑ අඳුර ලොව ගලන වෙලාව"..

ධනේෂ් විසුම්පෙරුම



මේ ගීතය සෝමතිලක ජයමහගේ මා ප්‍රියකරන ගීත අතරින් එකකි. එයට මා ප්‍රිය කරන්නේ හුදෙක් එහි අරුත නිසාම පමණක් නොවේ. විරහ වේදනාව පිළිබඳව මා මුලින්ම ඇසුවේ හා තේරුම් ගත්තේ මේ ගීය හා බැඳුණු එක්තරා කතාවක් නිසාය.

මගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවක් ලෙස වසර 35ක් පමණ රාජකාරි කළාය. ඒ කාලයේ ඉඳහිට ඇයට කෙටිකාලීන පුහුණුවීම් සඳහා ඇතැම් ආයතනවලට යෑමට සිදු විය. වරක් ඈට අංගොඩ මානසික රෝහලේ පුහුණුවකට යෑමට සිදු විය. ඒ අප මාතර පදිංචිව සිටි, මගේ වයස අවුරුදු තුන-හතරක් පමණ වූ කාලයේය.

එහි නේවාසිකව සිටි සුන්දර තරුණියක් (අපේ අම්මාගේ වචනයෙන් "ලස්සන කෙල්ලෙක්") මේ "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" ගීතය නිතරම ගායනා කළාය. එහි සේවය කළ හෙදියන් පවසා ඇති අන්දමට ඈ මානසික රෝහලට ඇතුළත්ව ඇත්තේ ප්‍රේමය බිඳවැටීමෙන් පසුව ඇති වූ මානසික ගැටලුවක් නිසාය. ඇගේ සුන්දරත්වයත්, ඇය ඒ ගීය ගායනා කළ මිහිරත් නිසා, එහි පුහුණුව ලද සති දෙකක පමණ කාලයේදී මේ ගීතය අපේ අම්මාගේ සිතට තදින්ම කාවැදී තිබේ. පසුකලක මේ ගීතය ඇසුණු සෑම වෙලාවකට පාහේ ඈ අපට මේ කතාව කීවාය, සිහි කළාය.

මා මුලින්ම මේ කතාව ඇසුවේ මට වයස අවුරුදු හත-අටක් පමණ කාලයේය. අදත් මේ ගීතය ඇසෙන හැම විටකම ඒ කතාව මට සිහි වේ. ඒ කිසියම් වේදනාවක්ද සමඟිනි... (අම්මා මේ කතාව කී හැම විටකම නිහඬව මම එය අසා සිටියේ ද ඒ නිසාය).

ප්‍රේමය සුන්දර වන්නාක් මෙන්ම, ප්‍රේමය බිඳ වැටීම අතිශය වේදනාත්මක විය හැකිය.

"සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන් පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබේ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
මහද සෙනෙහි ඔරුවේ නැගි ඔබ
එතෙර වන්න නිබදේ
නිදි ලොව වෙත එතෙර වන්න නිබදේ

නිමල පැතුම් සපුරා ගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
අරුණළු නැගෙනා පැයේ කුසුමක් වෙමි
ජීවන මල් ගොමුවේ
ඔබේ ආදර ජීවන මල් ගොමුවේ"

ගායනය, පද රචනය හා සංගීතය - සෝමතිලක ජයමහ

වසංගත මරණ ගණන් ගැනීමේ ගැටලු

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.06.24, (Vidusara)
Not available online



මේ වන විට ලෝකයේ පැතිර පවත්නා නව්‍ය කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය නිසා සිදු වන මරණ ගණන පිළිබඳ ප්‍රකාශිත සංඛ්‍යාලේඛනවල යම් යම් ගැටලු ඇති වී තිබෙන බව වාර්තා වෙයි. සමහර රටවල මේ රෝගය වැළඳීම නිසා සිදු වූ ඇතැම් මරණ, ඒ රෝගය නිසා සිදු වූ බව වාර්තා වී නොමැති බැවින් නිල සංඛ්‍යාලේඛනවලට ඇතුළත්ව නොමැත. ඒ සඳහා විවිධ හේතු බලපා තිබේ. මේ නිසා ලෝකයේ කොවිඩ්-19 මරණ ගණන මේ ප්‍රකාශිත සංඛ්‍යාවට වඩා ඉහළ විය හැකි බව සමහර විද්‍යාඥයෝ ද අනුමාන කරති. එසේම සැබෑ රෝගීන් ගණන ද මීට වඩා ඉහළ විය හැකිය.

මෙසේ මිය ගිය මෙන්ම රෝගී වූ පිරිසේ ගණන ද නිවැරදිව දැන ගැනීම වැදගත්ය. වසංගත තත්ත්වය, එය ව්‍යාප්ත වන ආකාරය හඳුනා ගැනීම සඳහා මේ කරුණු ඉතා වැදගත්ය. එය රෝගයේ සැබෑ බලපෑම පැහැදිලි කරන අතර, රෝගයේ බලපෑම අඩු කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමටද වැදගත් වෙයි.


වාර්තා නොවීම සඳහා හේතු


මෙවැනි එක් අවස්ථාවක් වන්නේ රෝහල්වලින් පිටත වැඩිහිටි නිවාස ආදියේ සිදු වූ කොඩිඩ්-19 මරණ නිසි ලෙස වාර්තා නොවීමයි. සමහර රටවල් කොරෝනා රෝගයෙන් මියගිය බවට සලකන ලද්දේ රෝහල්ගතව සිට මිය ගිය රෝගීන් පමණි. රෝහලෙන් පිටත මේ රෝගය නිසා මියගිය අය ගණන් කිරීම ආරම්භ කළේ පසුවය. මෙය යුරෝපා රටවල් ගණනාවක සිදුව තිබිණි. මැයි මස 5 වන දා දක්වා ප්‍රංශයේ එවැනි නිවාසවලින් වාර්තා වූ මරණ ගණන 9,471ක් පමණ වී තිබෙයි. ඒවා සියල්ලම නොවෙතත් යම් ගණනක් හෝ කොවිඩ්-19 නිසා සිදු වූ බව බව සිතිය හැක්කේ ඒ ගණන ස්වාභාවිකව සිදුවන මරණ ගණනට වඩා ඉහළය. එම ගණන ඒ වන විට එරටින් වාර්තා වී තිබූ නිල කොවිඩ්-19 මරණ ගණනින් පහෙන් පංගු දෙකක් පමණ විය. ස්පාඤ්ඤය ද පසුව රෝහල්වලින් පිටත මියගිය කොවිඩ්-19 රෝගීන් ගණනය කිරීම ආරම්භ කළේය.

මෑත කාලයේ ඉන්දුනිසියාවේ ඇති වූ මරණ දෙදහසකට අධික ප්‍රමාණයක් කොවිඩ්-19 රෝගයේ උග්‍ර අවස්ථාවේ ලක්ෂණ පෙන්නුම් කරන ඒවා බව වාර්තාවක සඳහන් විය. එහෙත් එම රෝගීන් කොවිඩ්-19 සඳහා පරීක්ෂා කර නැති බැවින් කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට ඇතුළත් වී නැත. එසේ ඇතුළත් නොවූ මරණ ගණන ඒ වන විට එරටින් වාර්තා වී තිබූ නිල කොවිඩ්-19 මරණ ගණන මෙන් තුන් ගුණයක් පමණ විය. ඒවා සියල්ලම කොවිඩ්-19 මරණ බවට පැවසිය නොහැකි නමුත්, මේ අනුව එරට සමස්ත කොවිඩ්-19 මරණ ගණන වඩා ඉහළ විය හැකි බව අනුමාන කළ හැකිය. එමෙන්ම මාර්තු මාසයේදී එරට අගනුවර වන ජකාර්තා නගරයේ සුසාන භූමි වලින් වාර්තා වූ භූමදාන ප්‍රමාණයේ 40%ක පමණ ඉහළ ගොස් තිබිණි.

කොවිඩ්-19 මරණ අඩුවෙන් වාර්තා වීම සඳහා බලපෑ තවත් හේතුවක් වූයේ වාර්තාකරණය සම්බන්ධව පැන වූ සීමාය. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල මියයන රෝගීන්ගේ මරණ සහතිකයේ කොවිඩ්-19 රෝගය නිසා මිය ගිය බව සඳහන් නොකරන ලෙස වෛද්‍යවරුන්ට උපදෙස් දුන් අවස්ථා ගැන ද ටෙලිග්‍රාප් පුවත්පතේ සඳහන් වේ. එසේ කළ හැක්කේ රජයෙන් පත් කළ කමිටුවකින් අනුමත කළ විට බව පැවසේ. ඒ ඉන්දියාවෙනි. එය රෝගය නිසා ඇති වන මරණ ගණන උවමනාවෙන්ම අඩු කර දැක්වීමට කරන ලද්දක් ද යන්න පුවත්පත ප්‍රශ්නකර ඇත. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොවිඩ්-19 මරණ ගණන අඩු අගයක් ගැනීමට හේතුව වාර්තා නොවූ මරණ තිබීම ද යන්න පරීක්ෂා කිරීම සඳහා මධ්‍යම රජය විසින් කමිටුවක් ද පත් කරන ලදි.

මේ අතර රෝගීන්ගේ සංස්කෘතිකමය සීමා නිසා ද මේ රෝගය නිසා ඇති වූ මරණ අඩුවෙන් වාර්තා වී ඇති බව පෙනෙයි. පාකිස්ථානයේ ඇතැම් වැසියන් රෝගියාට කොවිඩ්-19 රෝගය ඇතත්, රෝගියා මියගියහොත් අවමඟුලට ඇති වන සීමා නිසා රෝහලට යෑමට අකමැති වී ඇත. මෙවැනි පිරිස් රෝගය නිසා මියගිය ද, ජාතික මට්ටමේ නිල සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවෙයි.


නිවැරදි සංඛ්‍යා සොයාගත හැකි ක්‍රමයක්


මෙවැනි අවස්ථාවලදී නිවැරදි මරණ ප්‍රමාණය ගණනය කළ හැකි ක්‍රම තිබෙයි. එවැනි එක් සරල ක්‍රමයකදී සිදුකරන්නේ කිසියම් රටක හෝ ප්‍රදේශයක පසුගිය වසර කිහිපයක කිසියම් කාලයක (නිදසුනක් ලෙස කොවිඩ්-19 රෝගය පැවති මාස කිහිපය) ඒ රටක සිදු වී ඇති මරණ ගණනේ සාමාන්‍ය හා සංසන්දනය කිරීමේ දී රෝගය පැවති වසරේ ඒ කාලයේ සිදුවිය හැකි මරණ සංඛ්‍යාව ගණනය කිරීමෙනි. එසේ සාමාන්‍ය වර්ෂයක සිදුවිය හැකි මරණ ගණනට වඩා රෝගයක් පැවති වර්ෂයක වැඩියෙන් සිදුවන මරණ ඇති වී තිබෙන්නේ අදාළ වර්ෂයේ එම කාලයට බලපෑ සාධකයක් නිසාය. එහෙත් එසේ නොවන වෙනත් තත්ත්ව නිසා ඇති වන මරණ ද මේ අතර තිබිය හැකි අතර. ඒවා සම්බන්ධව නිවැරදි කිරීම් කිරීමෙන් කොවිඩ්-19 මරණ ගණන ආසන්න වශයෙන් ගණනය කළ හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි.

මීට එක් නිදසුනක් වන්නේ මාර්තු 17 සිට මැයි 3 දක්වා ස්පාඤ්ඤයේ ඇති වූ මරණ ගණනයි. පසුගිය වසර 12ක සාමාන්‍යය අනුව, සාමාන්‍ය තත්ත්වය යටතේ එරට තුළ මේ කාලයේ ඇති විය හැකි මරණ ගණන 52,697ක් පමණ විය යුතු බව ගණනය ඇත. ඒ මරණ ගණනට අමතරව මේ වර්ෂයේ කොවිඩ්-19 නිසා හඳුනාගත් මරණ ගණන 25,119කි. එහෙත් ඊට අමතරව තවත් මරණ 5,745ක් පමණ ද සිදුව ඇත. මේ මරණ 5,745 තුළ කොවිඩ්-19 වැළඳී හඳුනාගැනීමට නොහැකි වූ මරණ තිබිය හැකිය. එසේම, වෙනත් හේතු නිසා ඇති වූ මරණ මෙන්ම, ‘පූර්ව මර්ත්‍යතාව’ (early mortality) ද තිබිය හැකි බව පෙන්වා දී තිබෙයි. පූර්ව මර්ත්‍යතාව ලෙස හඳුන්වනු ලබන්නේ වියපත් හා වෙනත් රෝගයක් සහිත ආයු අපේක්ෂාව අඩු වී, කොවිඩ්-19 රෝගය වැළදීමෙන් ඉක්මනින් සායනිකව අයහපත් තත්ත්වයකට මරණයට පත්වන අයයි. ඔවුන් මරණයට පත්වන්නේ ඔවුන්ට වැළඳී තිබූ අනෙක් රෝගයක් නිසා වුවද, කොවිඩ්-19 වයිරසය ඒ මරණ කඩිනම් කර ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී රුසියාවේ මොස්කව් හා ශාන්ත පීටර්ස්බර්ග් නගරවල සිදු වූ සියලු මරණ ගණනේ එකතුව පසුගිය වසර පහක ඒ මාසයේදී සිදු වූ මරණවල සාමාන්‍යයට වඩා 2073ක් පමණ ඉහළ වූ විය. එහෙත් අප්‍රේල් මාසයේදී ඒ නගර දෙකෙන් වාර්තා වූ නිල කොවිඩ්-19 මරණ ගණන 629ක් වූ අතර, ඒ ගණන ඉහත ඉලක්කමෙන් අඩු කළ විට, අප්‍රේල් මාසයේදී සිදු වන සාමාන්‍ය මරණ ගණනට වඩා මරණ 1444ක් වැඩියෙන් සිදු වී ඇති බව පෙනෙයි. මේ අතරින් සමහරක් කොවිඩ්-19 නිසා සිදු වූ ඒවා විය හැකිය.
ඇමරිකාවේ පවා මීට සමාන තත්ත්වයක් ඇති වී තිබේ. රෝගය වාර්තා වූ මුල් සති කිහිපයේදී එරටින් වාර්තා වූ අතිරේක මරණ ගණන, කොවිඩ්-19 රෝගයෙන් මියගිය බවට වාර්තා වූ ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ විය. මේ අතිරේක මරණ ගණන අයනු මේ කාලයේදී සාමාන්‍යයෙන් ඇති වන මරණ ගණනට වඩා වැඩියෙන් සිදුවන මරණ ගණනයි.

වර්තමානයේ වැනි වෛද්‍ය, සන්නිවේදන ක්‍රම ප්‍රචලිත කාලයක මෙසේ සිදුවිය හැකි නම්, අතිතයේ පැවති වසංගතවල දී ඇති වූ මරණ ගණන කෙතරම් අක්‍රමවත්ව වාර්තා වී තිබේදැයි යන්න සිතාගත හැකිය. එහෙත් මෙවැනි ක්‍රම යොදාගනිමින් අතීතයේ ඇති වූ වසංගත අවස්ථාවල සිදුව ඇති මරණ ප්‍රමාණය ගණනය කිරීමට පියවර ගෙන තිබේ. එවැනි අවස්ථාවක් ගැන නිදසුනක් ලංකාවෙන් පෙන්වා දීමට හැකිය. ඒ 1918-1920 කාලයේ ලංකාවේ ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ වසංගතය නිසා ඇති වූ මරණ ගණන නිවැරදිව ගණනය කිරීමට යොදාගත් ක්‍රමවේදයයි.


ස්පාඤ්ඤ උණ නිසා ලංකාවේ ඇති වූ මරණ


1918 හා 1920 දක්වා සමස්ත ලෝකයේම ව්‍යාප්ත වූ, ස්පාඤ්ඤ උණ නිමින් වඩාත් ප්‍රකට වූ ඉන්ෆ්ලුවන්සා රෝගය නිසා මරුමුවට පත් වූ මිනිසුන් සංඛ්‍යාව මිලියන 20ත් 100ත් ත් අතර වෙයි. වඩා සාධාරණ අගය වන්නේ මිලියන 50කි.

මේ රෝගය ලංකාවට ද බලපෑ අතර ඒ නිසා මරණයට පත් වූවන් ප්‍රමාණය ඒ දිනවල පළ වූ වාර්තාවල සඳහන් වන්නේ වෙනස් ආකාරයටය. රෙජිස්ටාර් ජනරාල්වරයාගේ සංඛ්‍යාලේඛන අනුව 1918-19 වර්ෂවල මේ රෝගය නිසා මරණයට පත්වූවන්ගේ ගණන 41,916කි. මේ ගණනට නියුමෝනියාවෙන් හා වෙනත් සංකූලතාවලින් මියගිය ගණන අඩංගු වී නැත. එහෙත් 1921 වර්ෂයේ ජන සංගණන වාර්තාවට අනුව මේ ඉන්ෆ්ලුවන්සාවෙන් ඇති වූ මරණ ගණන 57,000කි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව පසුකාලයක විද්‍යාත්මක ක්‍රම භාවිතයෙන් අධ්‍යයනය කර තිබේ. සංගණන වාර්තා හා ලියාපදිංචි කිරීමේ දත්ත භාවිත කරමින් සී. එම්. ලැංග්ෆෝඩ් හා පී. ස්ටෝරි විසින් 1992 වර්ෂයේ පළ කළ එක් අධයයනයකට අනුව මේ ඉන්ෆ්ලුවන්සාව නිසා ලංකාවාසීන් 50,000ක් පමණ මියගිය බව සඳහන් කර ඇත. ඒ ගණන මෙරට එවකට සිටි මුළු ජනගහනයෙන් 1.1%ක් පමණ පිරිසකි.

නියාල් ජොන්සන් හා ජර්ගන් මුලර් විසින් 2002 දී පළ කළ අධ්‍ය්‍යනයකට අනුව ඒ වසංගතයෙන් ලංකාවේ මියගිය ගණන 91,600ක් ලෙසය. වර්නන් අයි ලී හා තවත් අය විසින් සිදු කළ අධ්‍යයනයකදී මේ මරණ ගණන 51,000ත් 91,600ත් අතර ගණනක් විය හැකි බව පෙන්වා දී තිබෙයි.

මේ පිලිබඳව 2014 වර්ෂයේදි පළ වූ සිද්ධාර්ත් චන්ද්‍රා හා දිල්ශානි සරත්චන්ද්‍ර විසින් සිදුකළ අධ්‍යයනයක දී අවධානය යොමු කර ඇත්තේ 1891 සිට 1931 දක්වා වූ සංගනන පහක දත්ත ඇසුරින් සකස් කළ ජනගහනය වර්ධන ආකෘතියකි. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන පරිදි මේ රෝගය නිසා ඇති වූ ජනගහන හානිය මීට පෙර අධ්‍යයනවලින් පෙන්වා දුන් මරණ ප්‍රමාණයට වඩා ඉහළය. එය සංඛ්‍යාත්මකව ගතහොත් 307,000 හා 313,000 අතර වෙයි. එය මෙරට ජනගහනයෙන් 6.7%ක් පමණ වෙයි. එමගින් ලංකාවේ 1918-19 ඇති වූ ඉන්ෆ්ලුවන්සා මරණ අනුපාතය මීට පෙර අධ්‍යයනයවලින් පෙන්වා දුන් ගණනට වඩා සැලකිය යුතු තරම් ඉහළ බව යෝජනා කර ඇත.

Saturday, June 13, 2020

1921 ව්‍යවස්ථාදායක සභා මැතිවරණය - ඡන්දදායකයා හා අපේක්ෂකයා

ධනේෂ් විසුම්පෙරුම

"සීමිත පිරිසකට ඡන්ද බලය හිමි වූ 1921 මැතිවරණය"



ඉරිදා ලංකාදීප, තක්සලාව, 2020.04.26, පි. 10 (Irida Lankadeepa)
Not available online



අපි දැන් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව සිටින්නෙමු. තවත් මාස දෙකක් ඇතුළත දිනයකදී මෙරට ව්‍යවස්ථාදයකය වන පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා යැවීමේ බලය ජනතාවට ලැබී ඇත. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු හා ජාතික ලැයිස්තුව තුළින් මන්ත්‍රීවරුන් 29 දෙනෙකුද පාර්ලිමේන්තුවට පත්කරයැවීම සඳහා රට පුරා වෙසෙන මිලියන පහළොවකට අධික ඡන්දදායක පිරිසක් මේ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වෙයි.

වර්තමානයේ කිසිදු භේදයකින් තොරව සියලු දෙනාටම ඡන්ද බලය හිමි වී ඇත්තේ සර්වජන ඡන්දබලය නිසාය. කිසිදු වෙනසක් හෝ සුදුසුකමක් නොමැතිව පිරිමින් හා කාන්තාවන් ඇතුළු සියලු දෙනාටම හෙවත් සර්වජන ඡන්දබලය මෙරට වැසියන්ට හිමි වූයේ 1931 වර්ෂයේ දීය. ඒ වන විට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විය. ඊට පෙර, 1910 වර්ෂයේ සිට, මෙරට වැසියන්ට හිමිව තිබුණේ සීමිත පිරිසකට ඡන්ද බලය හිමි වූ තත්ත්වයකි.

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1910 වර්ෂයේ දී සීමිත පිරිසකට ඡන්ද බලයක් ලබාදුන් අවස්ථාව එවකට ආණ්ඩුකාර ධූරය දැරූ හෙන්රි මැකලම් නමින් මැකලම් ප්‍රතිසංස්කරණ ලෙස හඳුන්වනු ලැබේ. ඒ අවස්ථාවේදී ව්‍යවස්ථාදායක සභාවට මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු පත් කිරීමට උගත් පිරිසකට අවස්ථාව ලැබිණි. එහිදී ‘ලාංකික’ (Ceylonese) මන්ත්‍රීවරයා තේරීමට මෙරට වැසි උගත් ලාංකික පිරිසකට අවස්ථාව ලැබිණි. ඒ හැර සෙසු මන්ත්‍රීධූර වූයේ යුරෝපීය (නාගරික) යුරෝපීය (ග්‍රාමීය) හා බර්ගර් යන මන්ත්‍රීධූරයි.

මේ මන්ත්‍රී ධූර ප්‍රමාණය පිළිබඳව සෑහීමට පත් නොවූ ලාංකික නායකයන් අඛණ්ඩව සිදු කළ ඉල්ලීම් අනුව ඡන්ද බලය හිමි ජනතාවගේ ප්‍රමාණය මෙන්ම ඡන්දයෙන් පත්කරගන්නා ලද මන්ත්‍රීවරුන්ගේ ගණන ද පසුව ඉහළට නංවන ලදි. ඒ අනුව මීට වසර සියයකට පමණ පෙර 1920දී පමණ සම්මත වූ මැනිං ප්‍රතිසංස්කරණ අනුව ව්‍යවස්ථාදායක සභාවට ඡන්දයෙන් පත්කරගන්නා මන්ත්‍රීවරුන් ගණන 16ක් දක්වා ඉහළ ගියේය. ඒ යටතේ පවත්වන ලද පළමු මැතිවරණ 1921 වර්ෂයේ මාර්තු හා අප්‍රේල් මාසවල පවත්වන්නට යෙදිණි.


1921 දී ඡන්දදායක සුදුසුකම්


1920 වර්ෂයේ දී ඡන්දදායකයෙකු වීමට අවශ්‍ය වූ සුදුසුකම් ගණනාවක් විය. ඒ අතර බ්‍රිතාන්‍ය විජිතයේ වැසියෙකු වීම, කාන්තාවක නොවීම, වයස අවුරුදු 21ට වැඩිවිය යුතු වීම ආදිය සඳහන් වෙයි. එසේම ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ බසින් කියැවීමට, ලිවීමට හැකි විය යුතු විය. එසේම ඡන්දදායක නාමලේඛනයට නම ඇතුළත් කරන මැතිවරණ කොට්ඨාසයේ එම වසරේ ජුලි 31දිනට පෙර වසරක් පමණ කාලයක් හෝ පදිංචිව සිටිය යුතු විය. එසේම කිසියම් වරදකට මාස තුනකට වැඩි කාලයක් සිර දඬුවම් නියම වී නොතිබීම වැනි අධිකරණයෙන් දඬුවම් නියම වී නොතිබීම හා මානසික වශයන් හොඳ තත්ත්වයක සිටීම ද මෙහි සඳහන් විය. එමෙන්ම සතු විය යුතු වූ දේපොළ පිළිබද නිරණායක ද මීට අයත් විය.

කෙසේ වෙතත් 1910 වර්ෂයේදී ඡන්ද හිමියෙකු වීමය නම් අවශ්‍ය වෘත්තීන් නියම කර තිබූ අතර එය 1920 දී ඉවත් කර තිබිණි. 1910 වර්ෂයේ 1910 අංක 13 දරණ ආඥාපනතෙන් නියම කළ පරිදි එසේ ඡන්ද බලය හිමි වීමට තිබිය යුතු සුදුසුකම් අතර, නිශ්චිත වෘත්තීන් ගණනාවක නියුතු වුවන් ඇතුළත් විය. ඒ අතර නීතිඥ, අධිනීතීඥ, නොතාරිස්, වෛද්‍ය, මිනුම්දෝරු, ඉංජිනේරු, නාකරික මන්ත්‍රී, හමුදා නිලධාරීන්, රජයේ විශ්‍රාම වැටුප් හිමියන් වැනි පිරිස් ඇතුළත් විය. එසේම බ්‍රිතාන්‍ය හෝ ඉන්දීය හෝ යටත්විජිත විශ්වවිද්‍යාලයක උපාධිධරයෙකු හෝ උපාධි අපේක්ෂකයෙකු වීමද සුදුසුකමක් විය. එමෙන්ම ජ්‍යේෂ්ඨ හෝ කණිෂ්ඨ කේම්බ්‍රිජ් දේශීය (Cambridge Local) විභාග සමත්වීමඒ සඳහා සුදුසුකමක් ලෙස සැලකිණි. 1910 වර්යේදී පැවති ඡන්දදායකයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් යටතේ 1919 වන විට ඡන්ද බලය හිමි වූ ලාංකිකයන් ගණන වූයේ 3,013ක් තරම් අඩු පිරිසකි. සෙසු පිරිස (යුරෝපීයයන් හා බර්ගර් ජාතිකයන්) සමඟ මුළු එකතුව 6,100කට මදක් වැඩි විය. එය මෙරට ජනගහනයෙන් 0.14%කටත් වඩා අඩු ප්‍රමාණයක් විය.

එතෙක් උගත් ලාංකිකයන්ට සීමා වී තිබූ ලාංකික සභික ධුරවලට ඡන්දය පළ කිරීමේ අයිතිය මැනිං ප්‍රතිසංස්කරණ යටතේ 1920 දි පුළුල් කිරමේදී ඉංග්‍රීසි හා තවත් භාෂාවක් භාවිතය දක්වා පුළුල්ව ඇති බව පෙනේ. ඒ අනුව 1921 වර්ෂයේ පැවති මැතිවරණවලදී ඡන්ද බලය හිමි වූ ලාංකිකයන් ගණන 53000කට ආසන්න අගයක් දක්වා ඉහළ ගියේය. ඔවුහු මන්ත්‍රී ධුර 11කට සභිකයින් තෝරා යැවීමට අවස්ථාව ලදහ. සෙසු සභික ධූර පහක් සමඟ රටේ සමස්ත ඡන්දදායකයින් ගණන 55,000ක් ඉක්මවීය. (වගුව බලන්න) 1921 වන විට මෙරට ජනගහනය 4,498,000ක් වූ බැවින් ඡන්දදායක පිරිස 1.2%ක් තරම් අඩු ප්‍රතිශතයක් ගත්තේය. එහෙත් 1910 නිර්ණායක අනුව සිටි ඡන්දදායකයන් ගණනට වඩා 1921 වන විට ඡන්දදායක පිරිස නව ගුණයක් තරම් වැඩි වූ බව ලංකා නිල් පොත් වාර්තා හා පරිපාලන වාර්තාවල එන සංඛ්‍යාලේඛන අනුව පැහැදිලිය.


1921 දී මන්ත්‍රීවරයෙකු වීමට නම්


1920 මැනිං ප්‍රතිසංස්කරණ යටතේ මෙරට පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාව පෙර පැවති ව්‍යවස්ථාදායක සභාවට වඩා පුළුල් විය. රජයේ ඉහළ නිලධාරීන් පස්දෙනෙකු සභාවට නිල බලයෙන්ම පත් වු අතර, තවත් සභිකයෝ නවදෙනෙක් ද රජයේ නිලධාරීන් වූහ. එමෙන්ම මැතිවරණ මගින් සභිකයන් 16 දෙනෙකු පත් වූ අතර, තවත් 7 දෙනෙකු ආණ්ඩුකාරයා විසින්ද පත්කර ලදි. මුළු සභික ධූර ගණන 37ක් විය. (1910 මැකලම් ප්‍රතිසංස්කරණ යටතේ පිහිටුවන ලද ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයන් ගණන 21ක් පමණක් වූ බැවින් 1920 සභාව වඩා පුළුල් වු බව පැහැදිලිය. මේ සභික ගණන 1923 දී තවදුරටත් ඉහළ නංවන ලදි.)

1920 සැප්තැම්බ්ර් මස 23 දින නිකුත් වූ සභාවේ නියෝග අනුව ව්‍යවස්ථාදායක සභාවට පත් වීම සඳහා 1921 දී පැවති මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය සුදුසුකම් ඉහත දක්වා ඇති ඡන්දදායකයෙකු වීමට අවශ්‍ය වූ සුදුසුකම් හා සමාන බවක් පෙනුණ ද ඊට වඩා ඉහළ මට්ටමක විය. ඒවා මෙසේය.

සභිකධූරයකට ඉල්ලීමට ඉදිරිපත් වන අපේක්ෂකයා මෙරට රජයේ නිලධාරියෙකු නොවිය යුතු විය. ඒ පුද්ගලයාගේ වයස වයස අවුරුදු 25ට වඩා වැඩි විය යුතු විය (ඡන්දදායකයාගේ වයස සීමාව වූයේ අවුරුදු 21කි). එසේම අදාළ තැනැත්තා බ්‍රිතාන්‍ය විජිතයේ පුරවැසියෙකු විය යුතු විය. ඒ තැනැත්තා ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට, කියැවීමට හා ලිවීමට හැකියාව ඇති අයෙකු විය යුතුය. (ඡන්දදායකයකු වීමට පෙර කී භාෂා තුනෙන් දෙකක හැකියාව පමණක් වැදගත් වූ බව පෙනේ)

එම පුද්ගලයා කිසියම් මැතිවරණ කොට්ඨාසයක ඡන්දදායකයෙකු ලෙස ලියාපදිංචිවීමට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතු වූ අතර, එසේ ලියාපදිංචි වී තිබිය යුතු ද විය. ඡන්ද බලය හිමිවන්නේ පිරිමින්ට පමණක් වීම නිසා මෙම කරුණ මගින් අපේක්ෂකත්වය ද පිරිමින්ට සීමා කිරීම දැකිය හැකි විය. එසේම නාමයෝජනා කරනු ලබන දිනයට වහාම පෙර වසර තුනක කාලයක් තමන් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන මැතිවරණ කොට්ඨාසයේ පදිංචි වී සිටිය යුතු විය.

අදාළ අපේක්ෂකයා බංකොලොත් වී නොතිබිය යුතු වූ අතර වස්තුභංගත්වයට පත් වූ බවට ප්‍රකාශයට පත් කර නැති වීම ද සුදුසුකමක් විය. එමෙන්ම අදාළ බලයලත් ආයතනවලින් ඒ තැනැත්තා නීතිය හෝ වෛද්‍ය වෘත්තියේ යෙදීම තහනම් නොකළ අයෙකු වීම ද සුදුසුකමක් විය. ඊට පෙර රාජ්‍ය සේවයේ නියුක්තව සිටි අයෙකු වූයේ නම් රාජ්‍ය සේවයෙන් නෙරපූ අයෙකු නොවිය යුතු විය.

මේ හැරුණු විට එම පුද්ගලයාගේ ආදායම සම්බන්ධවද සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා තිබිණි. ඒ කරුණු තුනකින් එකකි. ඉන් පළමුවැන්න වූයේ රු. 1,500කට නොඅඩු පැහැදිලි වාර්ෂික ආදායමක් තිබීමය. දෙවැන්න රු. 6000කට නොඅඩු වටිනාකමකින් යුක්ත නිශ්චල දේපොළක් ඔහුගේ ‌හෝ ඔහුගේ බිරිඳගේ අයිතිය යටතේ තිබිය යුතු වීමය. තෙවැනි කරුණ වුයේ නාගරික ප්‍රදේශයක නම් රු. 500ක අවම වාර්ෂික වටිනාකමක්ද, වෙනත් ප්‍රදේශයක් නම් රු. 400ක වාර්ෂික වටිනාකමක්ද තිබෙන දේපොළක් අඩුම වශයෙන් වසරක කාලයයක් හිමි වී හෝ බදුකරුවෙකු ලෙස හිමි වී තිබීමය.

මේ කරුණු අනුව පෙනෙන්නේ ව්‍යවස්ථාදායක සභාවට ඉල්ලුම් කිරීමේදී සැලකිය යුතු සුදුසුකම් ප්‍රමාණයක් පිළිබඳව අවධානය යොමු කර තිබූ බවයි. එදා පැවැති අධ්‍යාපන මට්ටම අනුව මේ සභික ධූර සඳහා ඉදිරිපත් වී ඇත්තේ සැලකිය යුතු ඉහළ අධ්‍යාපනයක් ලද පිරිසක් බව පැහැදිලිය.


1921 මැතිවරණ ප්‍රතිඵල


මේ යටතේ ව්‍යවස්ථාදායක සභාවට සභිකයක් තේරීමේ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවු අතර සභික ධූර 16න් 11ක් සඳහාම සභිකයන් පත් වී ඇත්තේ නිතරඟයෙනි. ඉතිරි කොට්ඨාස පහ සඳහා 1921 අප්‍රේල් මස 21 වන දින ඡන්ද විමසීම් පවත්වන ලදි. මෙහිදී එම කොට්ඨාසවල ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රතිශතය 70%ක් ඉක්මවා තිබීම විශේෂත්වයකි.

සමස්ත ව්‍යවස්ථාදායක සභාවට පත් වූ සභිකයන් මෙසේ දැක්විය හැකිය.





මන්ත්‍රී ප්‍රතිලාභ


මෙසේ සුදුසුකම් මත සභික අපේක්ෂකත්වය ලැබ සභික ධූරයක් ලබාගන්නා තේරුණු මන්ත්‍රීවරුන්ට ලැබුණු ප්‍රතිලාභ මොනවාද? ඔවුන්ට ඒ සඳහා වැටුපක් නම් හිමි නොවීය. එහෙත් මේ මැතිවරණයට ඉදිරිපත් වීමට මෙන්ම ජයගැනීම ද මගින් ජනතාව නියෝජනය කිරීමටද හැකිය. එය ඔවුන්ගේ ප්‍රජා නායකත්වය තවදුරටත් තහවුරු කරන අවස්ථාවක් වෙයි. ඉහත දැක්වූ මැතිවරණයට ඉදිරිපත් වූ හා ජයගත් අයගේ පසුබිම ගත්විට වැඩි පිරිසක් සාම්ප්‍රදායික ප්‍රභූ නායකත්වයේ සිටි අය බවද පෙනේ.

මැතිවරණය ජයගැනීමට ගත් විවිධ උත්සාහ ගැනද ඇතැම් විට අසන්නට ලැබෙයි. රත්නපුර දිස්ත්‍රික්කයේ රටේ මහත්මයෙක් එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරයේ යෙදීම පිළිබඳ චෝදනායක් ඇති වූ අවස්ථාවේදී එහි තමන් ඔහු කැඳවා ප්‍රශ්න කළ බව දිසාපති සඳහන් කරයි. ඔහු ඒ අවස්ථාවේදී අදාළ නීති රෙගුලාසි ගැන රජයේ සේවකයන් දැනුම්වත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. රටේ මහත්මයා යනු දිස්ත්‍රික්කයක සිටින දේශීය නිලධාරීන් අතර ඉහළ මට්ටමේ රජයේ සේවකයෙකි. මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු වෙනුවෙන් සහාය වීමට ඔහුට බලයක් හිමි නොවීය. මේ සමඟ අපට සිහිපත් වන්නේ අද සිටින රජයේ සේවකයන් අපේක්ෂකයන් වෙනුවෙන් සහාය දක්වන ආකාරයයි.

නායකත්වය හා ප්‍රජා සේවය වෙනුවෙන් කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලබා දේශපාලනයට පිවිසියේ එදාය. එහෙත් අද තත්ත්වය වෙනස්ය. අද මෙරට නායකයන් දේශපාලනයට පැමිණෙන්නේ කුමකටද යන්න ගැන ජනතාව සාකච්ඡා වන්නේ ඒ නිසාය. අද මැතිවරණයකදී එක් මන්ත්‍රී අපේක්ෂකයෙකු විසින් වියදම් කරනු ලබන මුදල කෙතරම්ද යන්න ගැන සාකච්ඡාවක් ඇති වී තිබේ. ඒ ප්‍රමාණය ඔවුන්ට ලැබෙන වැටුපෙන් හා දීමනාවලින් වසර පහක් තුළ ඉපැයීමට නොහැකිය. එබැවින් අධික මුදලක් වියදම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට ප්‍රයත්න දරන්නේ කුමකටද යන්න ගැන කුකුසක් මතු වීම සාධාරණය.
 
(මූලිකවශයෙන් සමකාලීන මූලාශ්‍ර ද පසුකාලීන මූලාශ්‍ර කිහිපයක් ද උපයෝගි කරගනිමින් ලියන ලද්දකි)

Tuesday, June 9, 2020

අතීත මතක මාවතක පියනැගුවෙමි

ධනේෂ් විසුම්පෙරුම




නුගේගොඩට නුදුරුව පිහිටි අතුරු මාර්ග කීපයක පා ගමනින් යන්නට මට පසුගිය කාලයේ (කොරෝනා නිවාඩුවට පෙර) සිදු විය. මගේ දිවියේ වසර දොළහකටත් අධික කාලයක් අප පවුලේ අය පදිංචිව සිටියේ ඉන් එක් මාවතක පිහිටි ඇනෙක්සියකය. ඊට මගේ පාසැල් සමයේ වසර 12ක්ම හෙවත් ළමා කාලයම පාහේ අයත්ය. 1992 වර්ෂයේ ඒ නිවසින් අපේම වූ නිවසකට පැමිණි දාට පසු මා ඒ පාරේ ගියේ වරක් දෙවරක් පමණි. ඒ ද වාහනවලය.

පසුගියදා මට යළි ඒ මාවතේ හා යාබද මාවත් කීපයක පයින් ඇවිද යන්නට අවස්ථාව ලැබුණේ වසර පහලොවකට පමණ පසුවය. එසේ පිය නැගූ හැම දිනක්ම ජීවිතයේ මතක රැසක් අවදි කළේය. ඒ සමහරක් සුන්දරය, තවත් ඒවා වේදනාත්මකය. ඒ මතක සමහරක් සටහන් කිරීමට මට සිතුනේ ඒවා එතරම්ම සිතේ තැන්පත්ව ඇති නිසාය.

එදා තාර දමා තිබුන ද තැනින් තැන ගල් ගැල වී ඇති තිබූ ඒ මාවත් තුනම අද වන විට කාපට් දමා ඇත. එසේම ඒවාට සම්බන්ධ වූ පස් පාරවල් ක‌ොන්ක්‍රීට් කර ඇත. නැතිනම් ගල් අල්ලා තිබිණි. එදා ඉඳහිට වාහන ධාවනය වූ මේ පාරවල දැන් වෙනදාට වඩා වාහන දැකිය හැකිය. ඒවා නවීන පන්නයේ අලුත් වාහනය.

එදා මට පුරුදු නිවෙස් රැසක් තිබූ තැන්වල අද වෙනත් නිවෙස් ඉදි වී ඇත. මම ඉංග්‍රීසි පංති ගිය ගූරුවරයෙකුගේ හා ගුරුතුමියකගේ නිවෙස් දෙකක් තිබූ තැන්වල දැන් නවීන නිවාස ඉදිවී ඇත. එක් ගුරුවරියකගේ නිවස මා ඉතා ප්‍රිය කළ පැරණි පන්නයේ ආලින්දයක් තිබූ නිවසක් විය. ඒ පැත්තේ තිබූ අතලොස්සක් වූ එවන් නිවාස අතරින් හොඳ තත්ත්වයේ තිබූ සුන්දරම නිවස වූයේ එයයි. අද එතැන තිබුණේ තට්ටු දෙකක නිවෙසකි. මේ මතකය සිහි වී එතුමිය මට දුන් ඉංග්‍රීසි අරාබි නිසොල්ලාසය පොත සොයා බැලුවෙමි. එය මගේ පොත් එකතුවේ විය!

මගේ මිතුරන් විසූ නිවෙස්ද වෙනස් වී ඇත. ඒවායේ අලුත් පන්නයේ, තට්ටු දෙකේ තුනේ නිවාස ඉදි වී ඇත. ඒවායේ ස්වරූපය අනුව නේවාසික පරිසරයක් ලෙස සමස්ත ප්‍රදේශයේම තත්ත්වය ඉහළ ගොස් ඇති බව පැහැදිලි විය. එදා තිබූ කෙටි තාප්ප හා වැටවල් වෙනුවට අද උස් තාප්ප ඉදි වී තිබිණි. එයින් දැක්වුණේ මිනිසුන් එකිනෙකාගෙන් දුරස් වී ඇති අන්දමයි. අප පදිංචිව සිටි නිවසට යාබදව පිහිටි අක්කරයක පමණ ඉඩමක් මැද එක් පැරණි නිවසක් තිබූ තැනක අද නිවාස ගණනාවක් ඉදිව ඇත. ඒ ඉඩම බෙදා විකිණීම ආරම්භ වූයේ අප එහි සිටි කාලයේදීමය.

අලුතින් ඉදි වී තිබෙන බොහෝ නිවෙස්වල වාසය කරන්නේ මුල්පදිංචිකරුවන් නොවේ. ගේට්ටුවේ හෝ තාප්පයේ නම් සඳහන් කර තිබූ එකදු නිවෙසක හෝ මට පුරුදු නමක් හමු නොවීය. එසේම ඇතැම් නිවෙසක් විකුණා ඇත්තේ ඒ මිතුරු මිතුරියන්ගේ උසස් අධ්‍යාපනය සඳහා බව ඒ දිනවලම දැනගන්නට ලැබිණි. තවත් පවුල් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වූයේ මේ ප්‍රදේශයේ වූ ඉඩම වැඩි මුදලකට විකුණා, ලොකු ඉඩමක් ගෙන දරුවන්ට ද බෙදා දීම සඳහාය. (කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තමා උපන් ගම් පිටින් ආ අයට විකුණා ඈත ප්‍රදේශවලට යෑම පසුගිය දශක කීපය තුල දැකිය හැකි විය).

එහෙත් වෙනස් නොවී තවමත් එදා මෙන්ම තිබූ නිවාස කීපයක්ම මට හඳුනාගත හැකි විය. ඉන් එකක් ඒ අයම පදිංචි නිවසක් බව මම දන්නේ එහි වෙසෙන්නේ ප්‍රසිද්ධ අයෙකු නිසාය. අනෙක් නිවස නම් නිසි නඩත්තුවක් නොමැතිව පැවති අතර ගබඩාවක් ලෙස භාවිත වන බවක් පෙනිණි.

පාරේ එතරම් වාහන ධාවනය නොවූ එකල අප පදිංචිව සිටි මාවතේ අප ක්‍රිකට් සෙල්ලම් කළේ මේ පින්තූරයේ පෙනෙන ඉසව්වේය. මදක් බෑවුම් සහිත ඒ පාරේ වාහන යන විට සෙල්ලම නවතා කඩුල්ල (පුටුවක් හෝ ලෑලි කැබැල්ලකි) පාරෙන් ඉවත්කරමින් "පාරෙ ක්‍රිකට්" ගැසූ හැටි සිහි විය. ඉදහිට අවට නිවසක ජනෙල් වීදුරුවක් බිඳුණු පසු ක්‍රිකට් ක්‍රීඩාවට සති කිහිපයක තහනමක් පැනෙවෙයි. එහෙත් එවැන්නක් සිදු වූයේ කලාතුරකිනි. මේ පාරෙන් හැරී යන අපේ නිවෙස හා තවත් නිවාස දහයක් පමණ පිහිටි ගුරුපාරේ දුවද්දී ගසක මුලක් පැටලී වැටී දකුණු අත දෙවන වරටද කඩාගත් හැටි මට මතක් විය. මතකයේ හැටියට ඒ 1980 ඔක්තෝබර් මාසයේ මුල දිනයක දීය.

අපේ නිවෙස් අසල විසූ පවුල්වල අය ම‌ගේ මතකයට ආවේ නිතැතින්මය. වැඩිහිටියන්, මෙන්ම සමවයස් මිතුරු මිතුරියන් ගණනාවකගේ මුහුණු සිතේ ඇදී ගියේය. ඒ ඇතැම් අය ගැන මතකය සුන්දරය. පෙර සඳහන් කළ පරිදිම ඒ අය වැඩිදෙනා අද වන විට නිවෙස් විකුණා හෝ විවාහ වී හෝ ප්‍රදේශය අත්හැර ගොසිනි. අපේ නිවෙස් අසල සිටි මට වඩා වසරක් බාල නිවුන් සොහොයුරන් දෙදෙනෙකු සක්‍රිය හමුදා සේවයේය. ඔවුන්ගේ වැඩිමල් සොයුරිය මට වසරකට දෙකකට වරක් හමුවන නිසා ඔවුන් ගැන දන්නෙමි. එක් අයෙකු යුද්ධයේදී තුවාලද ලද්දේය. ඔවුන්ගේ ඥාතීන් වූ සම වයස් මිතුරියන් දෙදෙනෙකු ද අපේ මිතුරු සමූහයේ විය. ඉන් එක් යුවතියක් දකුණු පළාතේ රැකියාවකට ගොස් ඒ ප්‍රදේශයටම දීග ගොසිනි. අනෙක් තරුණියගේ පවුලේ අය පදිංචිය වෙනස් කළේ අප එහි සිටි කාලයේදීමය. මේ සිව්දෙනා මෙන්ම සමහර විට මේ පවුල්වල වැඩිමහල් සොයුරු සොයුරියන් මෙන්ම වැඩිහිටි ඥාතීන් ද ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ගුරුපාරේ කළ ටින් කැඩීමට ද එක් වූහ. මේ සිව්දෙනාම මට 1992න් පසු හමු වී නැත.

ඒ මාවතේ එකල උදේ හවස දුටු "නෙතට පියදසුන්" වූ ඇතැම් අය ගැන මතකය ගෙන ආවේ නම් මදක් සුන්දර වූ ද මදක් දොම්නසකින් යුක්ත වූද හැඟීමකි. මම ඒ බොහෝ දෙනා හඳුනාගත්තේ දහම්පාසලෙනි. එසේම, අතිරේක පංතිවල, මහමග, බසයේ ද හමු වූ ඔවුන් වැඩි දෙනා මට බාලය. එයින් එවකට කුඩා දැරියන් දෙදෙනෙකුගේ නම් මෙන්ම මුහුණු ද තාමත් මතකය. ඒ ඔවුන් දහම්පාසලේදී හමු වූ නිසාත්, එහි සමිති සමාගම් කටයුතුවල යෙදුණු නිසාය. මේ සමහර මිතුරු මිතුරියන් ඉන්නා ඡායාරූප මා සතුව ඇත. ඒවා සමහරක් බොඳව ගොස් ඇතත්, මතකය ඊට වඩා ප්‍රබලය.

පෙර සඳහන් කළ අද ගබඩාවක් වී ඇති නිවසේ කලක් පදිංචිව සිටි මගේ වයසට සමාන වයසක සිටි යුවතිය මට ඒ නිවස දුටු විටම සිහිවිය. බෙහෙවින් රූමත් වූ ඇය අප දැන සිටි සෙසුු යුවතියන්ට වඩා පොෂ් පෙනුමක්ද සතු වූවාය. ඇය ගියේ ප්‍රකට කතෝලික පාසලකටය. වසරකටත් අධික කාලයක් අපි බොහෝ දිනවල උදේ එකම බස් එකේ පාසල් ගියද කිසිදිනක කතා කර නැත්තෙමු. ඇගේ නිවස ආසන්නයේ සිටි අපේ යාළුවන් දැමූ නම තාමත් මතකය. ඇය අඳින ඇඳුම් නිසා වැටුණු ඒ නම ඇය කිසිදිනෙක දැන සිටියාදැයි නොදනිමි. දවසක් සවස ඒ නික්නේම් එක මට කී මිතුරා සමඟ ඒ වචනය සන්ධි කළ හැටි සාමාන්‍ය පෙළ සිංහල දැනුමින් වටහා ගන්නට උත්සාහ කළෙමු. ඔහු අද අප අතර නැත. ඔහු පසු කලක යුධ හමුදාවට බැඳී උතුරේදී රට වෙනුවෙන් දිවි පුදකළේය. ඔහු ගැන මතක වේදනාත්මකය. ඔහුගේ වැඩිමල් සොයුරිය මට පසුකලක වරක් දෙවරක් හමු වී ඇතත් කතා කරන්නට අවස්ථාවක් ලැබී නැත.

ඉදහිට හමුවන ඒ පැත්තේ මිතුරෙකුගෙන් මෙවැනි තොරතුරු දැන ගතිමි. ඒ පැත්තේ පදිංචිව සිටි අයියා කෙනෙක් මට ඊයේ පෙරේදා ෆේස්බුක් එකෙන්මු හමු විය. 1990 ගණන්වලම ඒ ප්‍රදේශය හැර ගිය පවුලක වැඩමලා වූ ඔහු ළඟ දී දිනක් මට දුරකථනයෙන්ද ඇමතීය.

වෙනත් ප්‍රදේශවල පදිංචියට ගොස් ඇති ඇතැමුන් එදායින් පසු කෙදිනකවත් මගතොටකදී හෝ දැක නැත. එසේම තාමත් ඒ ප්‍රදේශයේ පදිංචි ටික දෙනා අතරින් මට හමු වී ඇත්තේ ද කීප‌ දෙනෙකු පමණකි. එම පෙදෙසින් අප පිටමංව ගත වූ සියවස් කාලකට අධික කාලයේ යළිත් හමු වී නැති අය බොහෝය. ෆේස්බුක් අඩවියෙහි ද මට තාමත් හමු ව ඇත්තේ ද දෙදෙනෙකු පමණය.

මට නිතැතින්ම සිහු වූයේ ටී.එම්. ජයරත්න ගයන මේ ගීතයයි. ඒ ගීතයේ කියැවෙන සන්දර්භය වෙනස් වූවත් මේ කොටස මගේ මතකයනට ද අදාළ බව සිතිණි.

''මේ පුංචි රටේ - කෙදිනක හෝ
මතු කවදා හෝ - යළි අප හමුවේවි''

මේ මා දකින්නේ කාලය මැවු වෙනසක අරුමයයි. ඒ කාලය දෙස මා බැලූවේ සිහින් ශෝකයක් හා සියුම් සතුටක්ද ඇතිව වුවද යම් උපේක්ෂාවකින්ද යුක්තවය. එසේ සිතීමට හැකි වීමම සතුටකි... මේ සටහන තබා අවසන් වූ මොහ‌ොතේ සිතට දැනුණේ මද සැහැල්ලවකි.

සැබැවින්ම එය මතක මාවතක පියනැගීමක් ම විය.

2020.06.08

Sunday, June 7, 2020

වසංගත නිසා අතීතයේ සීමා වූ ආගමික උත්සව

ධනේෂ් විසුම්පෙරුම


ඉරිදා ලංකාදීප, 2020.06.07, තක්සලාව, පි. 7 (Sunday Lankadeepa)

http://www.lankadeepa.lk/sunday/thaksalawa/55-573177


සමස්ත ලෝකයටම බලපා ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය නිසා අපේ රටේ විවිධ අංශවලට බලපෑම් ඇති වී තිබෙයි. මේ අතර අපේ රටේ ආගමික උත්සවවලට හා වන්දනා ගමන්වලට ද සීමා ඇති වී ඇත. වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමයේ අවසාන මාස දෙකක කාලය මෙහි බලපෑමට ලක් විය. බෞද්ධයින්ගේ වැදගත්ම පසළොස්වක පොහොය වන වෙසක් පොහොය ගෙවී ගියේ බොහෝ දුරට පන්සල් යෑමෙන් තොරව තම තමන්ගේ නිවෙස්වල ආගමික කටයුතුවල යෙදෙමිනි.

මේ ලිපිය ලියන අවස්ථාව වන විට මේ වර්ෂයේ පොසොන් පොහොය ද ඒ හා සමානව ගත වෙන්නක් බවට පත්ව ඇත. කිතුනු බැතිමතුන්ගේ වැදගත් ආගමික උත්සවයක් වන මහ සිකුරාදා සහ පාස්කු ඉරුදින ආගමික කටයුතු ද ප්‍රසිද්ධ රැස්වීම්වලින් තොරව ගෙවී ගියේ අප්‍රේල් මාසයේ දීය. මැයි මාසයට යෙදුණු ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවයද ගෙවී ගියේ ප්‍රසිද්ධ ආගමික කටයුතු නොමැතිවය. මේ ආකාරයෙන් ආගමික කටයුතු සම්බන්ධව පසුගිය මාස තුනක පමණ කාලය පුරා පවත්නා මේ තත්ත්වය ගැන සමාජයේ යම් සාකච්ඡාවක් ද ඇති ව තිබෙනු දක්නට ලැබිණි.

මේ ආකාරයෙන් ආගමික උත්සව සඳහා සීමා පනවනු ලැබූයේ රජයේ බලධාරීන් විසින් පැනවූ සීමා කිරීම් නිසාය. එසේ සිදුකර ඇත්තේ පවත්නා කොවිඩ්-19 වසංගත රෝගය තවදුරටත් රට පුරා ව්‍යාප්ත වීම වලක්වා ගැනීම සඳහාය. අද පමණක් නොව මෙවැනි පියවර ගත් අවස්ථා රැසක්ම අපේ රටේ අතීතයේ දැකිය හැකිය. විශේෂයෙන් මෙවැනි සිදුවීම් ගැන වාර්තා දැකිය හැකි බ්‍රිතාන්‍ය පාලන සමයේ දී කොළරාව, මහාමාරිය, වසූරිය හා උණ සන්නිපාතය වැනි රෝග ඇති වූ අවස්ථා ගණනාවක්ම වාර්තා වෙයි. එවැනි අවස්ථාවල රෝගය ව්‍යා​ප්ත වීම වැලැක්වීම සඳහා ගෙන ඇති පියවර අතර අදාළ ආගමික උත්සවය පැවැත්වීම තහනම් කිරීම හෝ නැවැත්වීම, සහභාගි විය හැකි පිරිස සීමා කිරීම මෙන්ම ඇතැම් අවස්ථාවකදී ඒ උත්සවවලට සහභාගිවන වන්දනාකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම ද වෙයි. කතරගම, දෙවුන්දර, තලවිල, මඩු වැනි ස්ථානවල පවත්වන ආගමික උත්සව මේ බලපෑමට ලක්වූ උත්සව අතර වෙයි. 20 වැනි සියවසේ මුල් කාලයේදී ලංකාවේ ඇති වූ විවිධ වසංගත තත්ත්ව හමුවේ ප්‍රකට ආගමික උත්සවවලට ඇති වූ බලපෑම් ගැන සාකච්ඡා කිරීම මෙම ලිපිය මගින් සිදුකරනු ලැබේ.


කතරගම උත්සව


ඌව පළාතේ දකුණු කෙළවරට වෙන්නට පිහිටා ඇති කතරගම දේවාලය හා කිරිවෙහෙර මෙරට සුප්‍රකට ආගමික උත්සව පැවැත්වෙන ස්ථානයකි. දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් මේ උත්සවවලට සහභාගි වෙති. කතරගම වෙත ළඟා වීමට හැකි මාර්ග ගණනාවක්ම පවතී.

කතරගම ආගමික උත්සව හා සම්බන්ධව බලධාරීන්ගේ අවධානය යොමු වූ අවස්ථා ගණනාවක්ම මේ කාලයේදී හඳුනාගත හැකිය. 1919 වර්ෂයේ දී කතරගම දී පැවැත්වීමට නියමිතව තිබූ උත්සව දෙකම නවත්වන ලද්දේ කොළරා වසංගතය නිසාය. මේ වර්ෂයේ පැතිර ගිය කොළරා වසංගතයෙන් ඌව පළාතට හා දකුණු පළාතට සැලකිය යුතු බලපෑමක් සිදු වූ බව ඌවේ ආණ්ඩුවේ එ්ජන්තවරයාගේ වාර්තා අනුව පෙනෙයි. නිදසුනක් ලෙස ගතහොත් ඌව පළාතෙන් වාර්තා වූ රෝගීන් 131 දෙනාගෙන් 92ක් පමණ මියගොස් ඇත. රෝගය මුලින්ම වාර්තා වූ බදුල්ල නගරයේ මරණ 16ක් පමණ ඇති වී තිබෙයි. එමෙන්ම මෙම රෝගය බදුල්ලේ සිට තල්දෙන, එගොඩවෙල හා මීගහකිවුල හා මහියංගණ වැනි ප්‍රදේශ දක්වා පැතිර ගියේය. එසේම පළාතේ දකුණු ප්‍රදේශය ගැන සැලකූ විට, කොටමුදුන, බුත්තල, වැල්ලවාය හා තෙලු‍ල්ල දක්වා ද එදා රෝගය තදින් ව්‍යාප්ත විය. මේ නිසා කතරගම ආගමික උත්සව නතර කිරීම එදා බලධාරීන් ගත් නැණවත් තීරණයක් බව පෙනේ. මක් නිසා ද යත් එවැනි තැනක රෝගය තදින් ව්‍යාප්ත වීමට මෙන්ම, රට පුරා පැතිර යෑමට පවා අවස්ථාව තිබූ නිසාය. මේ බව තහවුරු වෙන්නේ කතරගමට නුදුරින් පිහිටා ඇති හම්බන්තොට, තිස්ස යන ප්‍රදේශවලද මේ කාලයේදීම ‌රෝගය ඉතා තදින් ව්‍යාප්ත වූ නිසාය. කතරගම උත්සවවලට සහභාගිවන විශාල පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කය හරහා ද ගමන් කරති.

මේ ආකාරයටම 1914 වර්ෂයේදී කතරගම ජූලි මාසයේ පැවැත්වෙන ප්‍රධාන උත්සවය වන ඇසළ උත්සවය තහනම් කරන ලද්දේ කතරගම ප්‍රදේශයේම පැතිරගිය වසූරිය වසංගතය නිසාය. ඒ වර්ෂයේ ව්‍යාප්ත වූ වසූරිය වසංගතය වසර මැද බදුල්ලේ නමුණුකුළ ආසන්නයේ වතුයායක මුලින්ම ඇති වී බදුල්ල, පස්සර, ලු‍නුගල හා කතරගම දක්වාම ව්‍යාප්ත වී ඇත. රෝගීන් 87ක් හමු වූ බවක්, මරණ 24ක් සිදු වූ බවක් වාර්තා වෙයි.


දෙවුන්දර උත්සවය


මාතර නගරයට නුදුරින් පිහිටා ඇති දෙවුන්දර උපුල්වන් දේවාලය ආශ්‍රිතව පැවැත්වෙන ඇසළ පෙරහර මෙන්ම ඒ ආශ්‍රිතව පැවැත්වෙන සල්පිල් සහිත උත්සවය ඒ ප්‍රදේශයේම ඉතා ප්‍රකට උත්සවයකි. එයද රටේ පැතිර ගිය වසංගත තත්ත්වවල බලපෑමට ලක්විය.

1919 වර්ෂයේ ඇති වූ කොළරා රෝගය වඩාත්ම බලපා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයට බව ඉහත සඳහන් කරන ලදී. හම්බන්තොට නගරයේ පමණක් රෝගීන් 252ක් පමණ මියගොස් ඇත. හම්බන්තොටින් ජූලි මාසයේ වාර්තා වූ රෝගය එතැනින් තිස්ස ප්‍රදේශයට හා තංගල්ලට ද ව්‍යාප්ත වී ඇත. මේ හේතුව නිසා යාබද මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දෙවුන්දර දේවාලය ආශ්‍රිත වාර්ෂික උත්සවය නොපවත්වන ලදී.

එසේම ඇතැම් වර්ෂවලදී දෙවුන්දර ආගමික උත්සවයට සහභාගි වූ අයගේ ප්‍රමාණය සීමා කළ බවට වාර්තා ඇත. නිදසුනක් ලෙස මහාමාරිය හා වසූරිය රෝගය ලංකාවේ සෙසු ප්‍රදේශ ගණනාවක පැතිර තිබූ 1914 වර්ෂයේදී දෙවුන්දර උත්සවයට සහභාගි වීමේ අවදානම ගැන ජනතාවට අනතුරු හඟවා ඇත. මේ නිසා එයට සහභාගි වූ ජනතාව කැපී පෙනෙන ආකාරයෙන් අඩු වූ බව වාර්තා වෙයි. මේ නිසා එහි සේවය සඳහා යොදවන ලද පොලිස් නිලධාරින් ප්‍රමාණයද අඩු කරන ලද බව මාතර දිස්ත්‍රික්කයේ උප ඒජන්තවරයා සඳහන් කර ඇත.


තලවිල පල්ලියේ උත්සවය


කල්පිටිය අර්ධද්වීපයේ පිහිටා ඇති ප්‍රකට කතෝලික දේවස්ථානයක් වන තලවිල ශාන්ත ආනා පල්ලියේ වාර්ෂික මංගල්ලය ද මේ කාලයේ ඇතැම් අවස්ථාවල වසංගතවල බලපෑමට ලක් වී ඇත. 1919 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ තලවිල මංගල්ලය නොපවත්වන ලදී. එයට බලපෑවේ ඒ වෙන විට මෙරට පැතිර තිබූ ඉන්ෆ්ලු‍වන්සා උණ වසංගතයේ බලපෑමය. කතෝලික ජනතාව සැලකිය යුතු පිරිසක් වාසය කළ පුත්තලම දිස්ත්‍රික්කයේ දකුණු ප්‍රදේශයට හා බස්නාහිර පළාතට එම උණ රෝගය තදින් බලපා තිබිණි. (මේ සඳහන් කරන්නේ 1918 සිට 1920 දක්වා කාලයේදී අවම වශයෙන් ලංකාවාසීන් 57,000ක් පමණ පිරිසකට මරු කැඳවූ ස්පාඤ්ඤ උණ වසංගතය ගැනය).

එමෙන්ම එම වර්ෂයේ ජූලි මාසයේ පවත්වන ලද උත්සවය ද වෙනත් වර්ෂවලට වඩා කුඩා පරිමාණයේ උත්සවයක් ලෙස පවත්වන ලද්දේ රටේ බොහෝ ප්‍රදේශවල සහල් හිඟයක් පැවති නිසාය. එම උත්සවයට සහභාගි වීම සඳහා අවස්ථාව ලබා දෙන ලද්දේ උත්සව දින ගණනට ප්‍රමාණවත් තරම් සහල් ප්‍රමාණයක් ළඟ තිබූ අයට පමණක් බව උප ඒජන්ත තැනගේ වාර්තාවල සඳහන්ය. එවැනි තත්ත්වයක් තිබියදී පවා අවසන් දින උත්සවයට හත්දහසක් පමණ පිරිසක් සහභාගි වී ඇත. වෙළෙඳාම් කටයුතුවල ඇති වූ ගැටලු‍ ද, යුද්ධය නිසා ඇති වූ සීමා ද නිසා පළමු වැනි ලෝක යුද්ධය පැවති සමයේදීද මේ උත්සවයට සහභාගි වූවන් ගණන සාමාන්‍ය අගයට වඩා අඩු වූ බව සඳහන් වේ. 1918 වර්ෂයේදී එවැනි තත්ත්වයක් ඇති වූ අතර, මේ තත්ත්වය රටේ බොහෝ ආගමික උත්සවවලට සහභාගි වූ ජනතාව අඩු වීමට බලපා තිබිණි.


හැටන්වල කතෝලික උත්සවය


හැටන් නගරයේ පැවැත්වෙන ශාන්ත ආනා රෝමානු කතෝලික උත්සවය නොපැවැත් වූ අවස්ථාවක් පිළිබඳව ද මේ කාලයේදී වාර්තා වෙයි. 1918 වර්ෂයේ ජූලි මාසය වෙන විට පැතිර තිබූ මහාමාරිය වසංගත තත්ත්වය නිසා ඒ මාසයේ 27 හා 28 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික උත්සවය දින නියමයක් නොමැතිව කල් දැමූ බව ඒ සඳහා මැදිහත් වූ මධ්‍යම පළාතේ ආණ්ඩුවේ එ්ජන්තවරයා සඳහන් කරයි. ඒ වන විට රෝගය නාවලපිටිය ප්‍රදේශයේ පැතිර තිබූ අතර, අවට ප්‍රදේශවල වතු ආශ්‍රිතව සේවය කරන පිරිස් උත්සව සමයේදී හැටන් නගරයට පැමිණීම වැලැක්වීමට අසීරු වූ නිසා එම පියවර ගත් බව ඒ වාර්තාවල සඳහන් වෙයි.


අනුරාධපුර උත්සව සමය


අනුරාධපුරයේ වෙසක් හා පොසොන් උත්සව එකල පවා බෞද්ධයන් විශාල වශයෙන් සහභාගි වූ උත්සව අතර විය. 1914 වර්ෂයේ කොළඹ සහ තවත් ප්‍රදේශවල බරපතළ මහාමාරිය වසංගතයක් පැවැති අවස්ථාවේදී පවා අනුරාධපුර පොසොන් උත්සවය පවත්වන ලද්දේ සෞඛ්‍ය අාරක්ෂාව සම්බන්ධව ගත් ඉතා දැඩි ආරක්ෂක පියවර යටතේය. උණ හා වෙනත් රෝග ලක්ෂණ සහිත පිරිස් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් අනුරාධපුරයේ රඳවා තබන ලදී. එමෙන්ම, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද, අනුරාධපුර ‘ලෝකල් බෝඩ්’ හෙවත් පළාත් මණ්ඩලයේ (වර්තමාන නගර සභාවට සමාන පළාත් පාලන ඒකකය) නිලධාරින්ද, ගම්මුලාදෑනීන් ඇතුළු දේශීය නිලධාරීන්ද මෙසේ වන්දනාකරුවන් අතර ගැවසෙමින් රෝගීන් සිටින්නේදැයි පරීක්ෂා කර තිබෙයි. සනීපාරක්ෂක පහසුකම් ද වෙනදාට වඩා සපයා තිබූ අතර, වන්දනා සමය අවසන් වූ වහාම නගරය මුළුමනින්ම පවිත්‍ර කර තිබේ. ඔවුන් ගත් මේ පියවර සාර්ථක වූ බව සඳහන් කරන අනුරාධපුරයේ ආණ්ඩුවේ ඒජන්තවරයා, වන්දනා සමයේදී කිසිදු මහාමාරිය රෝගියෙකු වාර්තා නොවූ බවද පවසයි. මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ සාමාන්‍යයෙන් 5,400ක් පමණ වාසය කරන මේ නගරයට ඒ වර්ෂයේ පැමිණි වන්දනාකරුවන්ගේ ගණන 60,000ක් පමණ බව සඳහන් වන නිසාය. එවකට අනුරාධපුර නගරය පිහිටා තිබුණේ වර්තමාන පූජානගරය ආශ්‍රිතව වන අතර, අද පවත්නා අනුරාධපුර නගරය (නව නගරය) නිර්මාණය වන්නේ ලංකාව නිදහස ලැබීමෙන් පසුවය.


ශ්‍රීපාද වන්දනාව


මේ කාලයේදී වරක් ශ්‍රී පාද වන්දනාව සම්බන්ධවද ගැටලු‍වක් ඇති වී තිබෙයි. එයද 1914 දී කොළඹ ඇති වූ මහාමාරිය වසංගත සමයේදීය. ශ්‍රී පාද වන්දනා සමයේ රෝග ව්‍යාප්ත වීම පිළිබඳව අවදානමක් ඇති වූ අතර, කොළඹ සිට පැමිණෙන වන්දනාකරුවන් මගින් මධ්‍යම පළාතට ද රෝගය ව්‍යාප්ත විය හැකියැයි සැකයක් විය. එහෙත් වෙනත් වන්දනා ගමන් මෙන් වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව සීමා කිරීමද කළ නොහැකි බව සඳහන් කරන සබරගමු පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා ඒ සඳහා වෙනත් පියවරක් ගෙන ඇත.

ඒ අනුව, විවිධ ස්ථානවලදී වන්දනාකරුවන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට තීරණය කරන ලදී. එම වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරන ලද්දේ වන්දනාවේ යෑම සඳහා වැඩි පිරිසක් දුම්රියෙන් පැමිණ බසින ස්ථාන වූ කුරුවිට හා රත්නපුරයේදී හා රත්නපුර රෝහලේදීය. මේ වන විට සබරගමු හෙවත් රත්නපුර දුම්රිය මාර්ගය ලෙස හැඳින්වෙන දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දිගු කර තිබිණි. එකල පුංචි කෝච්චිය ශ්‍රී පාද වන්දනාව සඳහා යොදාගත් මූලික ප්‍රවාහන මාධ්‍යයක් ද විය (අවාසනාවකට මෙන් අවිස්සාවේල්ල සිට රත්නපුර හරහා ඕපනායක දක්වා වූ මේ දුම්රිය මාර්ගය අද වන විට ගලවා දමා ඇත.) මේ සඳහාම කුරුවිටට නුදුරු හිග්ගස්හේන ප්‍රදේශයේ මාර්ගයේ පොලිස් ආරක්ෂක මුරපොළක් පිහිටුවන ලද අතර, එමගින් මහාමාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් වන්දනා මාර්ගවලට යොමු කිරීමට හා වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට යොමු කරන ලදී. ඒජන්තවරයා පවසන ආකාරයට, මහාමාරිය පැතිර තිබූ කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශවලින් පැමිණි වන්දනාකරුවන් ගණන සැලකූ විට මේ වන්දනා සමය තුළ මහාමාරිය හෝ වෙනත් බරපතළ වසංගතයක් හමු නොවීම සතුටු විය හැකි කරුණක් විය.


http://www.lankadeepa.lk/sunday/thaksalawa/55-573177

Sunday, May 31, 2020

සිතුවාට වඩා කලක් පැවති නියැන්ඩර්තාල් හා නූතන මානව සම්බන්ධය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.05.27, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/05/27/feature2.html


නුතන මානවයින් සහ නියැන්ඩර්තාල් මානවයින් කිසියම් කාලයක් යුරෝපයේ එකම ප්‍රදේශවල වාසය කළ බව මේ වන විට පිළිගන්නා කරුණකි. නූතන මානවයාගේ සමීපතම ඥාතියා ලෙස සැලකෙන නියැන්ඩර්තාල් මානවයින් වඳවී ගියේ අදින් වසර 40,000කට පමණ පෙර බව සැලකේ. ඒ අනුව එම මානව විශේෂ දෙක අතර විවිධ අන්තර් සම්බන්ෂතා ඇති වූ බව පැහැදිලිය. ඒ සඳහා ප්‍රවේණික හා වෙනත් සාධක මේ වන විට ලැබී තිබෙයි.

මේ මානව විශේෂ දෙක කෙතරම් කාලයකට පෙර එකිනෙකා හමු වූයේද යන්න පිළිබඳ අලුත් තොරතුරු පසුගියදා අනාවරණය වී ඇත්තේ බල්ගේරියාවේ උතුරු ප්‍රදේශයේ ලෙනකින් ලැබී ඇති නූතන මානව අවශේෂ සම්බන්ධව සිදුකරන ලද අධ්‍යයනයකිනි. එම සාධක හිමි මානව ශේෂවල දින නිර්ණය අනුව ඔවුන් වාසය කර ඇති පැරණිම දිනය අදින් වසර 46,000ක් තරම් ඈතට යයි. එය යුරෝපයෙන් ලැබී ඇති නුතන මානවයින්ගේ පැරණිම සාධක වන අතර, ඒවා මෙතෙක් පැවති දිනවලට වඩා වසර දෙදහසක් පමණ පැරණි දිනයකි. ඒ අනුව නුතන මානවයින් හා නියැන්ඩර්තාල් මානවයින්ද මෙතෙක් සිතුවාට වඩා වැඩි කාලයක් එකම ප්‍රදේශයක වාසය කර තිබේ.


කැනීමෙන් අනාවරණය වී ඇති දේ

බල්ගේරියාවේ බචෝ කිරෝ (Bacho Kiro cave) නම් ගල් ලෙනකින් ලැබී හමු වූ මානව අස්ථි හා දත් සම්බන්ධව මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ පසුගියදා පළ වූ අධ්‍යයන වාර්තා දෙකකිනි. ඒවායේ ව්‍යුහවිද්‍යාත්මක වැදගත්කම අනුව ඒවා මානවයින්ට අයත් බව සලකා ඇත. මේ අස්ථි ශේෂ නූතන මානවයින්ගේ බව පෙන්වා දෙන එක් පර්යේෂණ පත්‍රිකාවකින් ඒ දත් නූතන මිනිසාට පිහිටන ඒවා බවත් නියැන්ඩර්තාල් මනෙවයින්ට අයත් නොවන බවත් දක්වා ඇත. එසේම මේ ශේෂවලින් DNA ලබාගැනීමට මේ පර්යේෂකයින්ට හැකියාව ලැබී ඇති අතර, එයින් පෙනීගොස් ඇත්තේද ඒවා නුතන මානවයාට අයත් බවය. මේ අස්ථි ශේෂ සමඟ තවත් පුරාවස්තු ලැබී ඇත. ශිලා ආයුධ හා අස්ථිවලින් කළ ආභරණ මේ අතර වෙයි.

දෙවන අධ්‍යයනය සිදු කර ඇත්තේ මේවායේ කාලනිර්ණය සම්බන්ධවය. එම මානව අස්ථි හා දත් මෙන්ම ඒ සමඟ හමු වී ඇති සත්ත්ව ශේෂවල විකිරණශීලී කාබන් 14 කාලනිර්ණය අනුව ඒවා අයත් වන්නේ අදින් වසර 45,820ත් 43,650ත් අතර කාලයකට බව පෙනී ගොස් ඇත. (මෙහි පැරණිම කාලය වසර 46,940ක් දක්වා විය හැකි බවද දක්වා ඇත) එය අයත්වන්නේ මූලික ඉහළ පුරාශිලා අවධිය (Initial Upper Palaeolithic) ලෙස හඳුන්වනු ලබන අවධියටයි. එය නූතන මානවයින් පිළිබඳව යුරෝපයෙන් ලැබී ඇති පැරණිතම සාධකයක් වේ. මීට පෙර බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයෙන් ලැබී තිබූ අස්ථි මගින් ලැබුණු කාලනිර්ණයේ (44,200-41,500 අතර) සහ ඉතාලියේ ස්ථානයකින් ලැබී තිබූ දත්වලට අදාළ කාලනිර්ණයේ (43,000-45,000) දැක්වෙන නූතන මානවයා පිළිබඳ පැරණිතම දිනයට වඩා ස්පාඤ්ඤයෙන් ලැබුණු මේ නව දිනවකවානුවල පැරණිතම දිනව වඩාත් පැරණිය. එසේම බ්‍රිතාන්‍යයේ හා ඉතාලියේ මානව ශේෂ සම්බන්ධව දින නියම කර ඇත්තේ ඒ අස්ථි සමඟ හමු වී ඇති ද්‍රව්‍යවලට දිය නියම කිරීමෙනි. එහෙත් ස්පාඤ්ඤ ලෙනෙහි ලැබී ඇති මානව ශේෂ කාලිර්ණය කිරීමේ දී ඒ සඳහා මානව අස්ථි ද කාලනිර්ණය කර ඇත.


එකම ප්‍රදේශවල ජීවත්වූ ඥාති මානවයෝ

මෙම නව අධ්‍යයනයෙන් නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයින් කෙතරම් කාලයක් එකම ප්‍රදේශයක ජීවත්වූවාද යන්න ගැන කාලයක් තිස්සේ පවත්නා විවාදයට තවත් සාධක සපයයි. මේ අනුව අවම වශයෙන් මේ මානව විශේෂ දෙක යුරෝපයේ වසර පන්දහසක් පමණ කාලයක්වත් අඩුම වශයෙන් එකම පරිසරයක වාසය කර ඇත. එය මෙතෙක් සිතුවාට වඩා වැඩි කාලයක් එකම ප්‍රදේශවල වාසය කර ඇති බව පැහැදිලිය. ඒ කාලය තවත් වසර 2,000කින් පමණ ඈතට ගෙන යෑමට මේ නව අධ්‍යයනය සමත් වී ඇත.

ඒ කාලයේදී ඒ වන විටත් පිරිහෙමින් පැවති නියාන්ඩර්තාල් ගහන යුරෝපයේ තැනින් තැන ජීවත් වූ කාලයකි. කෙසේ වෙතත් මුළු යුරෝපය පුරාම මේ මානව විශේෂ දෙක අතර පැවතියේ එකම ආකාරයක සම්බන්ධයක් නොවේ. ඇතැම් ප්‍රදේශයවල නියැන්ඩර්තාල් හා නූතන මානවයින් අතර සම්බන්ධය කෙතරම් ද යත්, ඒ විශේෂ අතර අනත්රාභිජනනය සිදුව ඇති බවට සාධක තිබෙයි. මේ වන විට මානව ජෙනෝමයෙන් 1%-4%ක් පමණ ප්‍රතිශතයක් නියැන්ඩර්තාල් ජාන වීම මීට සාක්ෂි වේ. එසේම 2017 වර්ෂයේදී පළ වූ අධයයනයකට අනුව නියැන්ඩර්තාල් මානවයාගේ මුවේ ජීවත් වූ බැක්ටීරියාවක් මිනිසාගේ මුඛයෙන් හමුවීමෙන් පෙනී යන්නේ ද මේ විශේෂ දෙක අතර තිබූ යම් යම් සම්බන්ධතා පිළිබඳවය.
කෙසේ වෙතත් තවත් ප්‍රදේශවල නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයින් සමඟ මිශ්‍ර නොවී හුදකලාව ජීවත් වී ඇත. එසේම නියැන්ඩර්තාල් මානවයින් කෙටි කාලයක් තුළ වඳ වී ගියේ නැති බව මේ වන විට පිළිගැනේ. ඔවුන්ගේ ගහනය අඩු වු බවට සාධක දැකිය හැකිය. නිදසුනක් ලෙස ගතහොත් ඇතැම් ස්ථානවලින් ලැබී ඇති නියැන්ඩර්තාල් ප්‍රවේණික ද්‍රව්‍යවලින් පෙනීගොස් ඇත්තේ සුළු පිරිසක් තුළ ඇති වූ සහාභිජනනය (inbreeding) නිසා ඔවුන්ගේ ජාන කිටුවේ ඇති වූ පිරිහී ගිය තත්ත්වයයි. 

එමෙන්ම මුලින්ම යුරෝපයට පැමිණි නූතන මානවයින් කුඩා ගහන ලෙස පැමිණි බවට සාධක තිබේ. විශාල නියැන්ඩර්තාල් ගහනයක් ජීවත් වූ පරිසරයකදී මේ නූතන මානවයින්ගේ පැවැත්ම ස්ථිර එකක් නොවූ බවක් පෙනේ.DNA සාධක මගින් පෙනී යන්නේ මේ මුල් පදිංචිකරුවන් පසුකාලීන නූතන මානව ගහනවල ජාන කිටුවට දැක්වු දායකත්වය අවම අගයක් වු බවයි.


නියැන්ඩර්තාල් මනවයා පිළිබඳ මෑතදී අනාවරණය වූ කරුණු


නියැන්ඩර්තාල් මානවයා හෙවත් Homo neanderthalensis යනු අදින් වර්ෂ 400,000ත් 40,000ත් අතර කාලය තුළ ජීවත් වූ ආදි මානවයෙකි. ඔහු වාසය කර ඇත්තේ යුරෝපයේ සහ නිරිතදිග හා මධ්‍යම ආසියාවේ බවට සාධක මේ වන විට ලැබී ඇත. නිශ්චිත වශයෙන් නව මානවයකුගේ බව පිළිගත් නියැන්ඩර්තාල් මානව පොසිල මුලින්ම 1856 වර්ෂයේදී හඳුනාගත් ජර්මනියේ නියැන්ඩර් නිම්න ප‍්‍රදේශය නිසා මේ මානවයාට හ් නම යෙදෙයි. එහෙත් මේ මානවයාට අයත් පොසිල ඉන් පෙර ද සොයා ගෙන තිබේ. 1829 දී වර්තමාන බෙල්ජියමෙන්, 1848 දී ජිබ්රල්ටාර් ප‍්‍රදේශයෙන් ද හමු වූ හිස්කබල් මීට සාධක වේ. මේ මානවයා නූතන මිනිසා හෙවත් Homo sapiens ගේ වඩාත්ම සමීපතම මානවයා සේ සැලකේ. 
 
මෑත කාලයේදී නියැන්ඩර්තාල් මානවයින් පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ තොරතුරු අනුව පහත සඳහන් වැදගත් කරුණු අනාවරණය වේ.

  • නියැන්ඩර්තාල් මිනිසා අප්‍රිකාවෙන් පිටවීම - නියැන්ඩර්තාල් මානවයින් අදින් වසර 400,000ත් 800,000ත් අතර කාලයකට ඉහත දී අප‍්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ බවට සාධක තිබේ. ඔවුන්ගේ පරිණාමයේ වැඩි කොටසක් නූතන ප‍්‍රංශය, ස්පාඤ්ඤය, පර්මනිය හා රුසියාවේ ඇතැම් ප‍්‍රදේශවල සිදු වී ඇති බව පෙන්වා දී තිබේ. සම්පූර්ණ නියැන්ඩර්තාල් ලක්ෂණ සහිත මානවයින් දැකිය හැක්කේ වර්ෂ 130,000කට පමණ ඉහත පටන් බවට ද අදහසක් ඇත.
  • නියැන්ඩර්තාල් ආහාරය - නියැන්ඩර්තාල් මානවයින් වැඩි වශයෙන් ආහාරයට ගන්නා ලද්දේ වෙනත් සතුන්ගේ මස් බව කලක් තිස්සේ තිබූ පිළිගැනීමය. එහෙත් මේ මානවයින් ශාකමය ද්‍රව්‍යද යම් පමණකින් හෝ ආහාරයට ගත් බවට මේ වන විට පවත්නා පළමු ඍජු සාධක ස්පාඥ්ඤයේ ලෙනකින් ලැබුණේ 2014දී පමණය. මේ අනුව දේශගුණික හේතුන් මත නියැන්ඩර්තාල් මානවයින් ශාකමය ආහාර ද ගත් බව සිතිය හැකිය.
  • නියැන්ඩර්තාල් ගෙනෝමය - 1997 දී නියැන්ඩර්තාල් මානවයින්ගේ ගෙනෝමය අධ්‍යයනය කිරීම ආරම්භ වූ අතර, මේ වන විට සිතියම්ගත කර ඇත. ඒ අනුව අප‍්‍රිකානුවන් නොවන නූතන මානවයින්ගේ ප‍්‍රවේණික ද්‍රව්‍ය අතරින් 1%ත් 4%ත් අතර ප‍්‍රමාණයක් පැමිණ තිබෙන්නේ නියැන්ඩර්තාල් මානවයින්ගෙන් බව අධ්‍යයන ගණනාවකින් හෙළි වී තිබෙයි. නියැන්ඩර්තාල් හා වර්තමාන මිනිසුන් පිරිසකගේ ගෙනෝමය සංසන්දනය කිරීමෙන් ඇතැම් රෝග සඳහා අදාළ වන DNA කොටස් නියැන්ඩර්තාල් මානවයින්ගෙන් ලැබී ඇති බව පෙනී ගොස් ඇත. ඒ ප‍්‍රවේණික ද්‍රව්‍ය වර්තමාන අප‍්‍රිකානු මිනිසුන්ගේ ප‍්‍රවේණික ද්‍රව්‍ය අතර නොතිබීම හෝ ඉතා අඩු වශයෙන් පැවතීමෙන් පෙනෙන්නේ නියැන්ඩර්තාල් ප‍්‍රවේණික ද්‍රව්‍ය සම්මිශ‍්‍රණය වීම සිදු වී ඇත්තේ අප‍්‍රිකාවෙන් පිටතට පැමිණි නූතන මානවයාගේ ආදිතමයින් සමඟ බවය.
  • සංජානන හැකියාව - 2018 වර්ෂයේදී පළ වූ අධ්‍යයනයකින් පෙන්වා දෙන ලද්දේ ස්පාඤ්ඤයේ ලෙන් ගණනාවකින් හමු වූ පුරාශිලා චිත්‍ර නියැන්ඩර්තාල් මානවයින් විසින් නිර්මාණය කරන ලද බවයි. ඒවායේ දින වකවානු අනුව ඒවා අදින් වර්ෂ 64,800කට වඩා පැරණිය. ඒ කාලය නූතන මානවයින් එම ප්‍රදේශයේ වාසයට පැමිණීමට පෙර කාලයකට බව ඉතා පැහැදිලිය. ඒ අනුව නියැන්ඩර්තාල් මානවයින්ට සංකේතාත්මක චින්තනයේ හා කලාත්මක හැකියාවක් තිබූ බව පැහැදිලි විය.
  • වඳ වී ගිය දිනය - නියැන්ඩර්තාල් මානවයින් යුරෝපයෙන් වඳ වී යාම ගියේ අදින් වසර 39,000ත් 41,000ත් අතර කාලයක දී බව 2014 වර්ෂයේ දී පෙන්වා දෙන ලද්දේ 95%ක විශ්වසනීයත්වයකින් යුක්තවය. නූතන මානවයින්ගෙන් ඇති වූ තරඟය හා නූතන මානවයින් සමඟ මිශ‍්‍ර වීම ද මේ මානවයාගේ වඳ වී යෑමට හේතු වූ බව විශ්වාස කරනු ලැබෙයි. එසේම නියැන්ඩර්තාල් ගහනවල ජාන කිටුව ද පිරිහී ගොස් තිබිණි.


මූලාශ්‍ර

Nature Ecologt and Evolution, DOI: 10.1038/s41559-020-1136-3
Journal Link - https://www.nature.com/articles/s41559-020-1136-3

Nature, DOI: 10.1038/s41586-020-2259-z
Journal Link - https://www.nature.com/articles/s41586-020-2259-z

Saturday, May 23, 2020

අමතක නොකළ යුතු අංක එකේ අර්බුදය!

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2020.0520, පි. 7 (Vidusara)

http://www.vidusara.com/2020/05/20/feature2.html


අද ලෝකයේ අවධානයට ලක්ව ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ නව්‍ය කොරෝනා හෙවත් කොවිඩ්-19 රෝගය හා එහි ව්‍යාප්තිය නිසා ඇති වී තිබෙන තත්ත්වයයි. මේ වන විට බොහෝ රටවල ආර්ථිකය හා සමාජයේ සියලු අංශ පාහේ බරපතළ අර්බුදයකට ලක් වී ඇත්තේ මේ වසංගත තත්ත්වය නිසාය. සිය රටවල ආර්ථිකය හැකි ඉක්මනින් යළි යථාතත්ත්වයට පත් කිරීම බොහෝ රටවල නායකයින්ගේ හා බලධාරීන්ගේ ඉලක්කය බවට පත්වෙමින් තිබෙයි. කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා ලෝකයේ පවත්නා සෙසු අර්බුද අමතක වී ගොස් තිබේද යන්න ඇතැම් විටක සිතෙයි.

පසුගිය අප්‍රේල් මස 22 වැනි දිනට යෙදුණු මිහිතල දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මේ තත්ත්වය පෙන්වා දුන්නේය. නව්‍ය කොරෝනා වයිරස් වසංගතයේ බලපෑම තිබියදී වුවත්, ලෝකය මේ වන විට මුහුණ දී තිබෙන “බරපතළ පාරිසරික හදිසි” තත්ත්වය අමතක නොකළ යුතු බව ඔහු පැවසුවේය. මෙහිදී ඔහු අදහස් කළ එක් ප්‍රධාන පාරිසරික අර්බුදයක් වන්නේ දේශගුණ වෙනස් වීමය.
මේ අතර මෑතදී වාර්තා වූ පර්යේෂණ දෙකකින් දේශගුණ වෙනස් වීමේ ඇති බරපතළ ස්වභාවය ගැන පෙන්වා දී තිබෙයි.


වසර 50කදී දරාගත නොහැකි උෂ්ණත්වයක්

මේ මාසය මුලදී Proceedings of the National Academy of Sciences සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, මිනිසුන්ට දරාගත නොහැකි තරම් වූ උෂ්ණත්වයක් ඇතුළත ජීවත්වන ජනතාවගේ ප්‍රමාණය ඉදිරි වර්ෂ පනහක් පමණ කාලය අවසානයේ දී බිලියනයත් බිලියන තුනත් අතර වනු ඇති බවයි. එම උපරිම ප්‍රමාණය ලෝකයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ විය හැකිය. එසේ ඉහළ ගිය උෂ්ණත්වය දැකිය හැකි ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වය සහරා කාන්තාරයේ උණුසුමින් ඉහළම ප්‍රදේශ හා සමාන වූ උෂ්ණත්වයකින් යුක්ත වන ඇත. මේ අධ්‍යයනයෙන් පෙන්වන තත්ත්වය විද්‍යාඥයින් මෙතෙක් නොසිතූ තරම් බරපතළ තත්ත්වයක් පෙන්වයි. ඒ බව උක්ත අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයින්ගේ අදහස ද වෙයි. 

වර්තමාන මානව ජනාවාසවල ව්‍යාප්තිය සම්බන්ධව සිදුකර තිබෙන මේ අධ්‍යයනය අනුව, අද ලෝකයේ ජීවත්වන මිනිසුන් අතරින් වැඩි ප්‍රමාණයක් ජීවත්වන්නේ සෙල්සියස් අංශක 6ත් 28ත් අතර වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වයක් පවත්නා ප්‍රදේශවලය. (එනම් මිනිසුන් වාසය කරන ප්‍රදේශවල මධ්‍යන්‍ය වාර්ෂික උෂ්ණත්වය අංශක 13ක් පමණ වේ) එය මීනිසුන්ගේ පැවැත්මට සුදුසුම උෂ්ණත්ව පරාසය ද වෙයි. එහෙත් අද වන විට මිනිසුන් විසින් සිදුකරන ලද දේශගුණ වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශවල උෂ්ණත්වය ද ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙයි. එහි ප්‍රතිඵලය වන්නේ මේ ඇතැම් ප්‍රදේශවල දරාගත නොහැකි තරම් ඉහළ උෂ්ණත්වයක් ඇති වීමය. 

මේ අනුව තවත් වසර පනහක් ඇතුළත ලෝකයේ උෂ්ණත්වය අංශක 3කින් ඉහළ ගියහොත්, ලෝක ජනගහනයෙන් බිලියන 1ත් 3ත් අතර පිරිසක් ජීවත්වනු ඇත්තේ සෙල්සියස් අංශක 29ක් පමණ වූ සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයකය. උපරිම තත්ත්වය යටතේ ඉන්දියාවේ මිලියන 1200ක්, නයිජීරියාවේ මිලියන 485ක්, පාකිස්තානයේ, ඉන්දුනීසියාවේ හා සුඩානයේ මිලියන 100ක් බැගින් වූ පිරිසක් මේ අධික උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයේ වෙසෙන ජනතාවට අයත් වනු ඇත. අද මෙවැනි උෂ්ණත්වයක් දැකිය හැක්කේ ලෝකයේ බිම් ප්‍රමාණයෙන් 0.8ක් තරම් වූ ඉතා සීමිත ප්‍රදේශයක පමණකි. 

උක්ත අධ්‍යයනයෙන් හෙළි වන පරිදි ඉහළ යන සෑම සෙල්සියස් අංශයකටම ලෝකය පුරා බිලියනයක පමණ පිරිසක් වාසය කරන ප්‍රදේශ එවැනි අධික සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති තත්ත්වයකට පත්වෙයි. එම ජනතාවට එම ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමට හෝ ඒ තත්ත්වයට අනුහුරු වී ජීවත්වීමට සිදුවනු ඇත. ඒ සඳහා අවශ්‍ය සම්පත් හා මූල්‍ය පහසුකම් ඒ රටවල ජනතාවට ඒ වන විට පවතිනු ඇතිද? නිදසුනක් ලෙස ගහොත් ඒ අධික උෂ්ණ තත්ත්ව යටතේ වගා කටයුතු පවා සීමා විය හැකිය. (මූලාශ්‍රය - Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1910114117)


ආන්තික තත්ත්වවල ඉහළ යෑමත්


මිනිසුන් මරණයට පත් කිරීමට තරම් හේතුවන ආන්තික ආර්ද්‍රතාවය හා තාපය නිසා ඇති වන තත්ත්වය සම්බන්ධව අවධානය යොමුකරමින් සිදුකරන ලද අධ්‍යයනයකට අනුව 1979 සිට 2017 දක්වා ගත වූ කාලයේදී ලෝකයේ එවැනි සිදුවීම් ඇති වූ අවස්ථා ගණන දෙගුණයක් පමණ විය හැකිය. ලෝකය උණුසුම් වීම නිසා ඇතිවිය හැකි යැයි දක්වා තිබූ බරපතළ අන්දමේ සිද්ධි වන මෙවැනි සිදුවීම් ඇති විය හැක්කේ මේ සියවසේ මැදභාගයෙන් පසු කාලයක බව මීට පෙර අදහස් කර තිබූ නමුත්, ඒවා මේ වන විටත් ඇතිවෙමින් තිබෙන බව -Science Advances සඟරාවේ පළ වූ මේ අධ්‍යයනයේන පෙනෙයි. එම කරුණ දේශගුණ විද්‍යාඥයින්ට තරමක් විස්මය ජනක වී ඇත. 

සාමාන්‍ය වියළි තත්ත්වවලදී ශරීරයට දහඩිය දමන අතර ඒවා වාෂ්ප වී යෑමෙන් යම් පහසුවක් දැනෙයි. එහෙත් අධික ආර්ද්‍රතාවයක් ඇති විට මේ වාෂ්පීකරණය අඩු වන අතර ඇතැම් විට නැවතීමටද හැකිය. එවිට දේහයේ උෂ්ණත්වය ඉහළ යන අතර ඉන්ද්‍රිය අකර්මණ්‍ය වී මරණය පවා සිදුවිය හැකිය. මිනිසුන්ගේ පැවැත්මට බලපාන මේ උෂ්ණත්වය හෙවත් “තෙත්-බල්බ උෂ්ණත්වය” (wet-bulb temperature) සෙල්සියස් අංශක 35 ඉක්මවීම බරපතළ බලපෑමක් ඇති කරයි. මේ අගය මිනිසුන්ගේ කායික විද්‍යාත්මක ක්‍රියකාරිත්වයේ ඉහළ සීමාව වෙයි. (එහෙත් ඊට වඩා අඩු අගයවලදී ද බරපතළ සෞඛ්‍ය හානි ඇති විය හැකිය). දැනටමත් ඇතැම් උප නිවර්තන වෙරළාසන්න ස්ථානවලින් මේ තත්ත්වය වාර්තා වී තිබෙයි. ඒවා ඇතිවිය හැකි යැයි අනුමාන කරන ලද්දේ ආර්ද්‍රතාවය ගැටලුවක් බවට පත්ව ඇති නිවර්තන හා උප නිවර්තන කලාපීය රටවලය.
මෙම අධ්‍යයනයට අනුව අදින් දශක කීපයකට පසුව ඇති වෙතැයි අපේක්ෂා කළ මෙවැනි සිදුවීම් දැනටමක් ඇතිවෙමින් පවතී. ඒවා පවත්නා කාල සීමාව වැඩිවෙමින් ඇති අතර, ඒවායේ බලපෑමට ලක්වන ප්‍රදේශ ප්‍රමාණය ද මිහිතලය උණුසුම් වීම හා සාපේක්ෂව ඉහළ යනු ඇත. මෙසේ පෙර සිදු කළ අධ්‍යයනවලට වඩා වෙනස් ප්‍රතිඵලයක් මෙම අධ්‍යයනයේදී ලැබී ඇත්තේ භාවිත කර ඇති දත්ත නිසාය. පෙර සිදුකරන ලද අධ්‍යයනවලදී යොදාගෙන ඇත්තේ විශාල ප්‍රදේශවල පැය කීපයක පමණ කාලයක් මුළුල්ලේ පැවති ආර්ද්‍රතාවයේ හා උෂ්ණත්වයේ සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් මේ අධ්‍යයනයේදී යොදාගෙන තිබෙන්නේ ලෝකය පුරා කාලගුණ මධ්‍යස්ථාන 7877කින් ලබාගත් පැයෙන් පැයට ලබාගත් දත්තය. එමගින් කෙටිකාලීනව පැවති හා කුඩා ප්‍රදේශයකට බලපෑ සිදුවීම් පවා හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වී තිබෙයි. එසේම මීට පෙර හඳුනාගැනීමට නොහැකි වූ එවැනි සිදුවීම් ගණනාවක් හඳුනාගැනීමට ද හැකි වී තිබෙයි. (මූලාශ්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.aaw1838)


අනාගතය වෙනුවෙන් අප කළ යුතු දේ

මේ තත්ත්වය අනුව දේශගුණ වෙනස් වීඹ පාලනයට හෙවත් හරිතාගාර විමෝචන පාලනය සඳහා කටයුතු කිරීමට කඩිනම් විය යුතු බව පැහැදිලිව පෙනේ. එය පශ්චාත්-කොරෝනා සමයේදී යළිත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේදී වැදගත්ය.

ඉහත සඳහන් කරන ලද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයා විසින් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන ලද, කොරෝනා වසංගතයෙන් පසු යථාතත්ත්වයට පත්වන ලෝකයට වැදගත් පියවර මෙසේය. හරිත හෙවත් පිරිසිදු ව්‍යාපාර හා රැකියා අවස්ථා ඇති කිරීම, ජනතාව‌ගේ බදු මුදල් හරිත රැකියා හා තිරසර වර්ධනයක් සඳහා යොදාගැනීම, ජනතාව හා සමාජය දේශගුණ වෙනස් වීමට වැඩිදුරටත් ඔරොත්තු දෙන ලෙස මුදල් වැය කිරීම, පොසිල ඉන්ධන සඳහා ලබාදෙන සහනාධාර නවතා දැමීම, පරිසර දූෂකයන් ඒ පරිසර දූෂණය සඳහා වන්දි ගෙවීම හා ලෝකය එක්ව කටයුතු කිරීම යන කරුණු ඔහු දක්වා ඇති පියවර අතර වෙයි.
මෙවැනි අදහස් තවත් අයගෙන් ඉදිරිපත්ව ඇත. එංගලන්ත බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන මාක් කාර්නි පවසා තිබුණේ කාර්මික රටවල් කොරෝනා අර්බුදයෙන් පසුව හරිතවත් ආර්ථිකයක් වෙත පෙළඹිය යුතු බවයි. පවිත්‍ර බලශක්තියේ වැදගත්කම ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකුවන මැල්කම් ටර්න්බුල් ද පවසා තිබිණි.
ලෝකයේ නගරාධිපතිවරුන්ගේ එකතුවක් නිකුත් කළ නිවේදනයකින්ද කියැවුනේ කොවිඩ්-19න් පසුව ලෝකය යළි යථා තත්ත්වයට පත් වීම සඳහා සකස් කරන සැලසුම්වලදී දේශගුණ වෙනස්වීම පාලනය එහි වැදගත් අංශයක් විය යුතු බවයි. ලෝකය බරපතළ දේශගුණ ව්‍යසනයකින් මිදීමට නම්, අද පවත්නා සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස් වීම අත්‍යවශ්‍ය බව මෙහි සඳහන් වේ. මෙහි අවධානය විශේෂයෙන් යොමුව ඇත්තේ නාගරික සමාජ සම්බන්ධවය. පයින් යෑම, බයිසිකල් පැදීම, වැනි පිරිසිදු පිළිවෙත් ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීමේ වැදගත්කම එහිදී අවධාරණය කර ඇති කරුණු හතකින් යුක්ත නිවේදනයේ දැක්වෙයි. එමෙන්ම හරිත රැකියා හා බලශක්ති කාර්යක්ෂමතාවය සම්බන්ධව අවධානය යොමු කිරීමේ ඇති වැදගත්කමද එහි දක්වා ඇත. ලෝක ජනගහනයෙන් මිලියන 750ක් වාසය කරන නගරවල නගරාධිපතිවරු මේ ප්‍රකාශයට එකඟ වී ඇත.
වර්තමාන වසංගතයෙන් මෙන්ම ඒ නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන්ද මිදී ඉදිරියට යන ලෝකයට දැන් අවශ්‍යව ඇත්තේ තවත් අර්බුදයක් ඇති වීම වලක්වාලීමටය. ලෝක ආර්ථිකය තිරසර, හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමය. පිරිසිදු බලශක්තිය, හරිත රැකියා, හරිත ආයෝජන ආදිය තිරසර ආර්ථිකයකට අත්‍යාවශ්‍ය දේ බව මේ වන විට පැහැදිලිය. එහෙත් ඒ සඳහා යන මග අභියෝග රහිත වූවක් නම් නොවේ.

http://www.vidusara.com/2020/05/20/feature2.html

Wednesday, May 13, 2020

හැඳුනුම්පත් අංකයට අනුව නිවසෙන් එළියට ගියෙමි

ධනේෂ් විසුම්පෙරුම

කොරෝනා ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ අප්‍රේල් 10 හා 30 දිනවලදි ගෙදරින් එළියට ගියාට පස්සෙ එළියට ගියෙ ඊයෙ - මැයි 12. ඒ තමයි පවත්නා සීමා පරිදි, හැඳුනුම්පත් අංකයට අනුව මට එළියට යන්න පුළුවන් දවස. තලවතුගොඩටයි, ගෙවල් ළඟ හන්දියටයි ගියාම දැක්කෙ මෙහෙම.

පාරෙ ගිය අයගෙන් හුඟක් අය මුව වැසුම් දාලා. 90%ක් විතර කියන්න පුළුවන්. එහෙම නැති වගෙම, මීටරේ පරතරේ නැතිව අනුන්ගෙ ඇඟේ වැදෙමින් පාරේ ගිය කීපදෙනාගෙන් වැඩි දෙනෙක් අර මොනවත් නොදන්න ඒත් පණ්ඩිත පෙනුම ඇති අය (ඕන නං එයාලගෙ දේශපාලන පක්ෂත් හිතාගත හැකි).

මහජන බැංකුවෙ මීටරේ පරතරේට පෝලිම. ටික ටික ඇතුළට දාන්නෙ. දොරේ ගහල තිබ්බා කොරෝනාවෙන් වැළකීම ගැන සවිස්තර පෝස්ටරයක්. හැමෝම බැංකුව ඇතුළට ගිහින් ඇවිත් අත් සෝදනවා. ඒකට එළියෙ සබන් හා වතුර තියලා තිබ්බා. මං ගියෙ ATM එකට. එතනත් කට්ටිය මීටරේට පෝලිම - ඒත් වෙනදා තරම් නෑ. ඒකෙ ගහල තිබ්බා ඇතුළට යන්න කලින් අත් සෝදන්න කියා. මට කලින් හිටි කෙනයි මට පස්සෙ හිටි කෙනයි අත් සේදුවෙ නෑ. ඒත් මම නං හේදුවා.

බේත්ගන්න පාමසියට ගියා. ඒකෙත් මීටරේට පෝලිම - ඒත් හතරපස් දෙනයිග මට මතක් උනේ මාර්තු මාසෙ අග ඇඳිරිනීතිය ඉවත් කළ දවසෙ මං පැය දෙකකට කිට්ටුව පෝලිමේ හිටිය හැටි. අද බේත් ගන්න පුළුවන් කවුන්ටර් ගානට හෝ බේත් සොයන සේවක පිරිසේ ගානට තමයි ඇතුළට දාන්නෙ. සැනිටයිසර්වලින් අත සෝදලා ඉන්පස්සෙ අර ඔලුවට අල්ලන උණ මීටරෙන් උනත් බලලා තමයි ඇතුළට දාන්නෙ. දොර අරින්න වහන්න හිටියෙ පාමසියෙම සේවකයෙක්. පාමසියෙ කවුන්ටරේ කවුළුව ඉතා කුඩා කරලා. වැඩියෙන්ම විකිණෙන සැනිටයිසර් හා මාස්ක් වර්ග තමයි හැම පැත්තෙම පේන්න තියෙන්නෙ. සැනිටයිසර් වර්ග 10-15ක්වත් තියෙන්න ඇති. (තලවතුගොඩට යන්න මූලික හේතුව වුණේ මං ගන්න බෙහෙත් වර්ග සියල්ලම තිබෙන මේ පැත්තෙ එකම පාමසිය එහි පිහිටා තිබීම)

ඉන්පස්සෙ ගියා මීට් ෂොප් එකට. එළියෙ වීදුරුවෙ උපදෙස් සහිත පෝස්ටරයක් ගහලා. ඇතුළෙ සෙනඟ නම් නෑ. සේවිකාවන් දෙදෙනෙක් සිටියා. එක් කෙනෙක් මාස්ක් දාලා. අනිත් කෙනා මාස්ක් එක දාල තිබ්බෙ නිකටට. එයාගෙ ලස්සන වැහෙයි කියල දුකට වෙන්නැති. අවශ්‍ය දේ අරන් ඉවර වෙලා මං "මාස්ක් එක හරියට දාල හිටියනම් නේද හොඳ" කීවා. එතකොටත් එයා නාසය කසනවා!

හන්දියේ බාර්, කෑම කඩ ආදිය සියල්ල වහලා. සිල්ලර කඩ, වෛද්‍ය මධ්‍යස්ථාන, හාඩ්වෙයාර්, සමහර කමියුනිකේෂන් හා සැලූන් වැනි කඩ ඇරලා. එළියට පේන gents' සැලූන් එකේ නම් කොණ්ඩය කපන තැනැත්තා ඇඟම වැහෙන්න ඇඳුමක් ඇඳලා, මුව වැසුමක් දාලා හිටියේ.

එලවළු කඩේ මුදලාලිත් එයාගෙ නිකටේ ආරක්ෂාවට මාස්ක් එකක් දාල හිටියා. ඒ හින්ද වෙන්නැති. පුරුදු පරිදි ෂර්ට් එකත් නැතිව තමයි හිටියෙ. නොකියා කියන්නෙ 'මගෙනේ කඩේ. ඕන නං වරෙන්' කියලා වෙන්නැති. ඒත් වැඩි පිරිසරකට නිරාවරණය වෙන්නෙ එයා බව එයාට අමතක වෙලා වගේ.

මාලු කඩේ මීටර් බාගෙ දුරට පෝලිම. හැබැයි හැමෝම මුව වැසුම් දාල හිටියෙ. හන්දියෙ රටකජු-කඩල කඩෙත් ඇරලා!

අතරමග පාර අයිනෙ කුඹුරු යායෙ පාරට කිට්ටු කොටස් එළි කරලා තිබ්බා. පුරන් වී තිබූ කුඹුරු පවා සුද්ද කරලා. සාමාන්‍යයෙන් වගාකරන ඒවා සීසාලා හෝ වපුරලා තිබ්බා. මට පෙනුණු විදියට කිසියම් සංවර්ධන වැඩක් වගෙයි පෙනුණෙ.

සුපර්මාකට් එකට ගියාම එතන සෑහෙන වෙලාවක් පෝලිමේ. මීටරේ පරතරේට. එළියට එන පිරිසේ ගානට තමයි එක්කෙනා, දෙන්න බැගින් ඇතුළට යොමුකරන්නෙ. ඒකත් සැනිටයිසර්වලින් අතසෝදවලා. සෙනඟ අඩුයි. සමහර භාණ්ඩ වර්ගත් අඩුයි. ඒ වගෙම සමහර වෙළඳ නාමවල භාණ්ඩත් අඩුයි.

හාඩ්වෙයාර් එකකට ගියෙ පොඩි පයිප්ප බාස් වැඩක් කරන්න බඩු මිලදී ගන්න. දෙකකටම යන්න උනා. එකක සේවකයා හොඳ මාස්ක් එකක් දාල හිටියට මුදලාලි හිටියෙ ලේන්සුවක් දාගෙන - එයා සල්ලි ගන්න එක විතරක් කරන නිසා වෙන්න ඇති.

එතන බඩු ගන්න ඉන්නකොට තරුණයෙක් ඇවිත් ත්‍රිවීල්වලට දාන ඉටිකොලයක් ගත්තා. ඒ අපේ ගෙවල් පාර හන්දියෙ වාහනය එලවන අයෙක් බව ඇඳිනුවෙ කටහඬින්. මොකද මාස්ක් දාලනෙ. "ආපහු වාහනේ දුවන්න ගත්තා" කියලා ඔහු කීවා. ඔහු කී විදියට එතන වාහන දුවන හුඟක් අය ආපසු වාහන ධාවනයට ඇවිත්. දැන් අර රියැදුරු හා මගීන් වෙන් කරන ඉටිකොලයක් තමයි ගත්තෙ.

පහුගිය කාලෙදි එලවළු අලෙවි කළ ත්‍රිවීලයක් ආපසු පාරෙ යන බව දුටුවා.

මොනව උනත් තලවතුගොඩත්, ගෙවල් ළඟ හන්දියෙත්, ගෙවල් පාර හන්දියෙත් සෙනඟ හා පාරිභෝගිකයො අඩුයි. සෑහෙන අඩුයි. එක චෙක් පොයින්ට් එකක තාම වැඩ. ඒත් ගෙවල් ළඟ හන්දියෙ තිබූ චෙක් පොයින්ට් එක නෑ.

ආ අමතක උනා. උඩහමුල්ල ඩිපෝවෙ කාර්මික සේවා රථ දෙකක්ම මේ කෙටි වෙලාවෙදි කෙටි දුරකදි දැක්කා. වෙනදට එතරම් දකින්නෙ නෑ. හේතුව දන්නෙ නෑ.

2020.05.13

Saturday, May 2, 2020

සුනීත සහ සුමංගල කියවීමි

ධනේෂ් විසුම්පෙරුම


සුනීත සහ සුමංගල (යොවුන් නවතකාවකි)
කුසුම්සිරි විජයවර්ධන (2019) 


ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල - රු. 450/=


‘සුනීත සහ සුමංගල’ යනු අප හිතවත් ලේඛක කුසුම්සිරි විජයවර්ධන විසින් ලියන ලද යොවුන් නවතකාවකි. පොතක් කියවීම සඳහා දැන් මට ගත වන කාලය වැඩි නිසා මට කලින් එය කියැවූයේ මගේ දියණිය මෙතාෂාය. මගේ ඉල්ලීම මත ඈ මට ලියා දුන් අදහස් කීපයකි මේ:-


මේ කතාවේ සාරාංශය -  
සුනීත පොඩි හාමුදුරුවෝ ගැන -

ඈ කැමතිම චරිතය -


ඒ ඇගේ අදහස්ය. ‘සුනීත සහ සුමංගල’ ගැන මට සිතුණු දේ මෙහි සටහන් කිරීමට සිතුවෙමි. 

පොත් කියවන්නට ඇබ්බැහි වූ කාලයේ සිට මම යොවුන් නව කතා කියැවීමට විශේෂ කැමැත්තක් දැක්වීමි. එය අදටත් එසේමය. ඒවායේ ත්‍රාසජනක හා වීර ක්‍රියා සුලබය. සිංහල කතාවල නිදන් සොරුන් පිළිබඳ කතා ඉංග්‍රීසි කතාවලට වඩා සුලබය. එවැනි කතා එදා ළමුන් ලෙස ද, අද වැඩිහිටියන් ලෙස ද මම මහත් ආස්වාදයෙන් රසවිඳිමි. කුසුම්සිරි ඔහුගේ අලුත්ම කෘතියෙන් අපව වෙනස් මාතෘකාවක් වෙත ගෙනයයි.

බහු වාර්ගික ජනතාවක් වාසය කරන ප්‍රදේශයක් වන මල්වානේ පිහිටා ඇති විහාරයක්, එහි වෙසෙන භික්ෂූන් හා ගම වටා ගෙතී ඇති ‘සුනීත සහ සුමංගල’ යනු වීර ක්‍රියා ඇතුළත් නවකතාවලින් ඔබ්බට ගිය එකකි. කතාවේ කතා නායකයා සුනීත පොඩි හාමුදුරුවන්ය. නායක හිමියන් හා සුමංගල දෙවැනි හාමුදුරුවන් විහාරයේ වෙසෙන සෙසු භික්ෂූන් වහන්සේලාය. සුනීත හිමියන්ගේ මිතුරන්, දායකයින්, ගමේ සිංහල හා මුස්ලිම් වැසියන් කීපදෙනෙකු මේ කතාවේ සෙසු චරිත අතර වේ. සුනීත පොඩි හාමුදුරවන්ගේ චරිතය කතාව පුරා මතුව එන්නේ ආදර්ශමත් චරිතයක් වශයෙනි. තරුණ වයසේදී වෙනත් හරයන් පිළිගෙන නොමග ගොස් සිටි සුමංගල තෙරණුවන් යහමගට පැමිණීම සඳහා හේතු වන්නේ ද සුනීත පොඩි හාමුදුරුවන්ගේ හැසිරීම හා එතුළින් එහිමියන්ට ලැබෙන පිළිගැනීම බව පෙනෙයි. සුනීත හිමියන්ගේ කටයුතු නිසා පන්සලේ ද, ගමේ ද සිදුවන වෙනස්වීම් පාදක කරගත් මේ කෘතිය අපේ සමාජයේ ඇති මූලික ගැටලු දෙකක් ආමන්ත්‍රණය කරන බවක් මට සිතෙයි.

ඉන් පළමුවැන්න ජාතික සමගියේ ඇති වැදගත්කම හා එය ඇති කළ හැකි ආකාරයයි. අන්තවාදී පෙළඹවීමකට නතු වී නැතිතාක්, වාර්ගික විවිධත්වය ඉහළ බොහෝ ස්ථානවල සාමකාමී ජනජීවිතයක් දැකිය හැකි බව ඉතිහාසය විමසීමේදී පෙනෙයි. ඕනෑම සමාජයක වෙසෙන ඕනෑම ජනවර්ගයක, ඕනෑම ආගමත් අදහන පිරිස් අතර අන්තවාදී අදහස් දරන්නන් සිටිය හැකිය. මේ කතාවේ ද අන්තවාදීන් විසින් සිදුකරන වාර්ගික ගැටුම් පිළිබඳව මෙන්ම ඒවා වැළැක්වීම සඳහා පන්සල හා සෙසු සමාජය සාර්ථකව මැදිහත් වන ආකාරය ගැන සඳහන් වේ. කුසුම්සිරි මේ උපුටා දක්වන්නේ අපේ ගම්වල ආගමික හා සමාජ නායකත්වයේ මෙහෙයවීමෙන් හැමදාමත් පවත්වා ගැනීමට යෙදුණු ඒ සැබෑ ජාතික සමගියයි. ජාතීන් අතර සමගිය ඇති කිරීමේලා ගමේ පන්සල විසින් සැමදා ලබා දී ඇති නායකත්වය මේ කතාවේ යළි ඉස්මතු වේ. අද කෘත්‍රිමව ඇති කරන්නට යන සංහිදියාවට වඩා එය සාර්ථක ක්‍රමවේදයක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සිය අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් අන්‍යාගමිකයන් පිළිබඳව අවබෝධයෙන් යුක්තව හා එකට ජීවත් වන හැටි කියා දෙන කතාවක් සේ මේ කතාව හැඳින්විය හැකිය. කතා නායකයා වන සුනීත පොඩි හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් පන්සලේ මෙන්ම දායක පිරිස්වල සිත්වල ද යම් යම් වෙනස්කම් ඇති වේ. එහෙත් පන්සලේ නායක හාමුදුරුවන්ගේ චරිතය තුළ එ් අවබෝධය හා සහජීවනය හැමදාමත් පැවතියේය. එය නැතිව ගොස් තිබුණේ, දෙවැනි හාමුදුරුවන්ගෙන් නියෝජනය වන, පහසුවෙන් නොමඟ යා හැකි නූතන තරුණ පරපුර තුළය. සිය ආදර්ශයෙන් හා මැදිහත්වීමෙන් සුනීත සාමනේරයන් විසින් එය යළි ස්ථාපිත කරනු ලැබේ.

මෙම කතාවේ කුසුම්සිරි මතු කරන දෙවන සමාජ ගැටලුව වර්තමාන තාරුණ්‍යය පිළිගන්නා හා අනුගමනය කරන විශ්වාස හා හර පද්ධති මොනවාද යන්නයි. මූලික වශයෙන් සුමංගල හිමියන්ගේ හා ඔහුගේ යහළුවන්ගේ චරිත හරහා පෙන්වන්නේ මෙයයි. භික්ෂුවක වුවත්, එහිමියන් නූතන තරුණ පරපුර පිළිගන්නා වටිනාකම් හා සංස්කෘතිය අනුගමනය කරන්නෙකි. ඒ නිසා නායක හිමියන් හා ගැටෙන අවස්ථා කීපයක්ද කතාවේ එයි. ගමෙන් පිට වෙනම යාළු පිරිසක් ආශ්‍රය කළ උන් වහන්සේගේ අදහසක් වන “මගේ තරුණ අදහස්වලට, වයසට ගැළපෙන කෙනෙක් ඔය හැට පැනපු දායකයො අතර නෑ” යන්න ඉන් එකකි. ගිහි ඇඳුමකට මාරු වී සංගීත සංදර්ශනයක් නැරඹීමට යෑම තවත් එකකි. මිතුරන් සමඟ බියර් පානය කිරීම ද එවැනි සිදුවීමකි. සුමංගල හිමියන්ට ඇති වන ස්මාර්ට් ජංගම දුරකථනයක් ලබාගැනීමට ඇති ආශාව ඒ පරපුරේ මූලික අවශ්‍යතාවක් බඳුය. එසේම මේ පරපුර සිය අවශ්‍යතා කෙසේ හෝ සපුරා ගැනීමට පසුබට වන්නේ ද නැත. බල්ලන් මරා හෝ සල්ලි සොයන පිරිස් වෙසෙන සමාජයක් ගැන එහි සඳහන් වෙයි. පිරිවෙනක ඉගෙන ගත් තරුණයෙක් ඒ පන්සලෙන් සොරාගත් පුස්කොළ පොතක් අලෙවි කරන සිදුවීම මීට නිදසුනකි. ආගමික හා වෙනත් කරුණු ගැන ලියැවුණු මිල කළ නොහැකි පුස්කොළ පොත් ඇන්ටික් හෙවත් පැරණි බඩු ලෙස අලෙවි වූ අවස්ථා රටේ සිදුව ඇත. ඒ කෙසේ හෝ මුදල් පමණක් සොයන පිරිසට රටේ සංස්කෘතික උරුමය ගැන අවබෝධයක් නොමැති නිසාය (එය නම් තරුණ පරපුරට පමණක් සීමා වූවක් නොවේ).


කතාවේ මා දුටු වටිනාකම් කීපයක්


කෙසේ වෙතත් මේ මූලික තේමාව හැර ‘සුනීත සහ සුමංගල’ කතාවෙන් කුසුම්සිරි පවසන තවත් වටිනාකම් කීපයක් මට හඳුනා ගැනීමට හැකි විය.

ඉන් එකක් වන්නේ පරිසරය හා ළමුන් අතර තිබෙන හා තිබිය යුතු සමීප සම්බන්ධතාවයයි. ඉමිටියාස්, තෙදස්, රවිඳු, රංගන හා චතුර යන මිතුරන් හා සුනීත සාමනේරයන්ගේ ගිහි කළ මිතුරන් සමඟ සිදුකරන එදිනෙදා ක්‍රියාකාරකම් පරිසරය හා බද්ධ වූ ඒවාය. වන පලතුරු ගැන පාසලේ ගුරුවරයා ප්‍රශ්නයක් ඇසූ අවස්ථාවේ දී ඒවා නම් කරන්නේ ඉමිටියාස්ය. එසේම ඔවුන් “පහුරුවෙල අද්දර කැලෑවට ගිහින් පලතුරු කඩනවා” යන්න ගමේ වෙසෙන සැබෑ ළමයා මතුකරයි. එයට පිළිතුරු දෙන ගුරුවරයා පවසන්නේ “අන්න ඒක හොඳ වැඩක්. ඔය ළමයි වටපිටාව ගැන අවබෝධයෙන් හිටියොත් ශිෂ්‍යත්වෙ පාස් වෙන එක මහ කජ්ජක් නෙවෙයි.” මෙය පරිසරය පිළිබඳ අවධානය යොමු කිරීම අධ්‍යාපනය සඳහා කෙතරම් වැදගත්ද යන්න වටහා දෙන්නකි.

මේ කතාවේ දී කුසුම්සිරි මල්වාන හා අවට ප්‍රදේශය ගැනද සැලකිය යුතු විස්තරයක් සිදු කරයි. ගමේ ළමයි, ඔවුන්ට කළ හැකි දේ යනාදිය කියයි. වේගයෙන් වෙනස්වෙමින් පැවතුන ද මේ කියන ස්ථාන තවමත් මල්වාන හා ඒ අවට ඇත. මල්වානේ, මාපිටිගම කැලණි ගඟ අවට, කිඹුල්විල පැත්තේ හා වවුල්කැලේ දෙතුන් වරක් ඇවිදින්නට ගිය මගේ මතකයද යළිත් අලුත් කිරීමට ඒ විස්තරය සමත් විය. එහි නොගිය අයෙකු තුළ ද මේ ප්‍රදේශයේ පරිසරය ගැන චිත්ත රූප මැවීමට කුසුම්සිරි කතාවේ තැනින් තැන කෙටියෙන් වුවද සිදුකරන විස්තර පොහොසත්ය.

එසේම ගංවතුර ගැන එන විස්තරය කැලණි ගඟබඩ පිහිටි මේ ප්‍රදේශයට සදාකාලිකව මෙන් උරුම වී ඇති ස්වාභාවික ව්‍යසනය ගැන විස්තරයකි. එවැනි අවස්ථාවක අපේ මිනිසුන් අතර ඇති, වහා පිහිටට පැමිණෙන ගුණය කුසුම්සිරි මෙහිදී මනාව දක්වා ඇත. එවැනි අවස්ථාවලදී පිහිට වීමේදී කිසිදු වාර්ගික විශේෂත්වයක් අපේ ජනතාව අතර මෑතක් වනතුරුම පැවතියේ නම් නැත. පැරණි පුවත්පත් හා වෙනත් වාර්තා අනුව පෙනෙන්නේ දකුණේ ජනතාව ආපදාවකට ලක් වු විට උතුරේ ජනතාව ද, උතුරු නැගෙනහිර ජනතාව ආපදාවකට ලක් වූ විට දකුණේ ජනතාවද පිහිටට පැමිණී ආකාරයයි. සමහර විට විදේශවලින් ද අධාර ලැබිණි. තවත් අවස්ථාවල දී අපි සමහර රටවලට සහන ලබා දී ඇත. වඩාත් මෑතකදී ඇති වූ සුනාමි ව්‍යසනය අවස්ථාවේදී මේ තත්ත්වය අපි මනාව දුටුවෙමු. අවාසනාවකට මෙන්, සහන සැලසීමේදී වාර්ගික වශයෙන් වෙන් වූ තත්ත්ව මෑත කාලයේ සිට අපි දැක ඇත්තෙමු. (අතීතයේ පැවති ආපදාවලදී අනුන්ට පිහිට වූ හැටි ලිපියක් මෙතැනින් කියවන්න)

තවත් අපූරු නිරූපණයක් වන්නේ දරුවන් තුළ දැකිය හැකි විවිධ රුචිකත්වයන් හා දක්ෂතා කාලය සමඟ වෙනස්වන ආකාරයයි. ළමුන්ගේ ජීවිතවල අද වන විට ඇතිවෙමින් පවත්නා වෙනස සැලකිය යුත්තකි. අද ළමුන්ගේ කැමැත්ත ඇත්තේ අප කුඩා කාලයේ සිදු කළ දේට නොවේ. ඇතැම් ළමුන් සරුංගල් යැවීමට හා කැලේ ඇවිදිමින් ගඩා ගෙඩි කෑමට කැමැත්ත දක්වති. ඒ කටයුතුවලට සහභාගි වන අතරම, මේ කතාවේ රවිඳුගේ කැමැත්ත ඇත්තේ ටැබ් එක සමඟ ගේම් ගැසීමටය. ඒ නිසා ඔහුට හා මිතුරන්ට කතා පැටලෙන අතරම, අනතුරට ලක්වීම ද සිදු වේ (මේ කතාව කියැ වූ මගේදුවගේ ප්‍රියතම චරිතය රවිඳු වීමට හේතුව ද මේ ඩිජිටල් මෙවලම්වලට ඇගේ ඇති කැමැත්තය. ඈ මට පැවසූ පරිදි රවිඳු ටැබ් එකෙන් ගේම් ගැසුවාට ඉගෙන ගන්නටද උනන්දුය. ඈ ද එසේය). දරුවන් අතර මෙන්ම, භික්ෂුවක් තුළද මේ ඩිජිටල් මෙවලම්වලට කැමැත්ත ඇති වන හැටි කුසුම්සිරි කතාවේ පවසයි. කෙසේ වෙතත්, පසුකලක සිය ජීවිතයේ වෙනසක් සිදුවීමත් සමඟ සුමංගල හාමුදුරුවෝ තමන් කලින් ඒවායින් අපේක්ෂා කළ දේට වඩා වෙනස් ප්‍රයෝජනයක් ඉන් ලබන බවද පෙනේ. මිනිසුන් විසින්ම නිර්මාණය කළ මෙවැනි මෙවලම්වලින් යහපත් ලෙස භාවිත කිරීම මිනිසුන් සතු දෙයක්ම බව පැහැදිලිය. සමාජ මාධ්‍ය හා චැට් ගෘප් ළමුන්ගේ අධ්‍යාපනය සඳහා යහපත් ලෙසින් භාවිත වන හැටි කොරෝනා නිවාඩුවේ සිටින අපි මේ වන විට දනිමු. (කුසුම්සිරි විජයවර්ධන ලියූ 2018 වර්ෂයේදී පළ වූ ‘ෆැන්ටසියාව’ නවකතාවෙන් ඩිජිටල් මෙවලම් නූතන සමාජයේ ජීවිතවලට බලපා ඇති ආකාරය පෙන්වා දුන්නේය. ඒ පොත මා දුටු ආකාරය මෙතැනින් කියවන්න).

මේ කතාවේ සඳහන් වන තවත් කරුණක් වන්නේ අධ්‍යාපනයේ වැදගත්කමයි. සුනීත හිමියන් ඉගෙනීමට දක්ෂය. නායක හිමියන්ගේ අපේක්ෂාව වන්නේ සුමංගල හිමියන් විශ්ව විද්‍යාලයට පිවිසෙනු දැකීමය. කතාවේ කියැවෙන පරිදි සුමංගල හිමියන් පළමු වතාවේ උසස් පෙළ විභාගය සමත් වන්නේ යාන්තමිනි. එහෙත් උන් වහන්සේ නැවත වතාවක් විභාගයට පෙනී සිටීමට මෙන්ම වෙහෙස වී වැඩ කිරීමට ද අධිෂ්ඨාන කරගත්හ. විභාග අසමත් වීම නිසා මෙන්ම, ඊයේ පෙරේදා වාර්තා වූ පරිදි සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ 9ක් නොලැබූ නිසා සියදිවි නසාගන්නා ළමුන් සිටින රටක මේ අදහස වැදගත්ය. විභාග යනු ජීවිතයම නොවෙතත්, විභාග සමත් වීමද අවශ්‍ය වේ.

කුසුම්සිරි ඔහුට හුරු සරල හා කතා කරන භාෂාව මේ කතාව කීම සඳහා යොදාගෙන ඇත. එය කතාව කියැවීමේදී වඩා පහසුවක් ගෙන දෙයි. එහෙත් ලිඛිත භාෂාවෙන් වුවද කියවීමට රුචි වන ආකාරයේ කතාවක් කීම අපහසු නොවන බව කුසුම්සිරි දන්නා බව සිතමි. එසේම එක් එක් පරිච්ඡේදය මුල දී උපුටා දක්වා ඇත්තේ මූලික වශයෙන්ම සුනීත පොඩි හාමුදුරුවන්ගේ සිතිවිල්ල හෝ ප්‍රකාශය අපට ද මොහොතක් සිතීමට නැඹුරු කරවන්නකි. ඒ සටහන නිරූපණය කර ඇති ආකාරය, අකුරුවල ප්‍රමාණය වෙනස් වූවා නම් සුදුසු යැයි මට සිතේ.

මේ කතාව අනුව වරක් නොමග ගොස් සිටි අයෙකුට තමන් අතින් සිදු වූ වැරදි මෙන්ම විශ්වාස කළ හරයන් නිවැරදි කරගෙන යහපත් මිනිසුන් වීමට තවත් අවස්ථාවක් ඇති බව පැහැදිලිය. ඒ සඳහා තවත් අයෙකුගේ උත්ප්‍රේරණයක් අවශ්‍ය විය හැකිය. එය පමණක් නොව තමන්ගේ අධිෂ්ඨානය ද අවශ්‍යය. සුමංගල හිමියන්ගේ සිදුවීම මීට අගනා නිදසුනකි. එමෙන්ම කීපවරක් සොරකම් කර හමුවන තරුණයෙකු යහමගට ගැනීමේ සිදුවීම ද මෙවැන්නකි. මේවා හුදෙක් පොත්වල එන කතාවල පමණක් නොව සැබෑ ජීවිතයේදීද සිදු වන සිදුවීම් බව පැවසීම අසත්‍යයක් නොවේ.

අවසාන වශයෙන් මෙසේ සඳහන් කරමි. කලා කෘතියකින් එය පරිශීලනය කරන්නා ආනන්දයෙන් ප‍්‍රඥාවට ගෙන යා යුතු බවට කියමනක් ඇත. එහෙත් රටේ පළ වන සමහර පොත් පාඨකයා ගෙන යන්නේ ආනන්දයෙන් මරදානට හෝ ආමර්වීදියටය. එවැනි නිර්මාණ අතර, කියවන ඕනෑම අයෙකුට පණිවුඩයක් දෙන කුසුම්සිරිගේ ‘සුනීත හා සුමංගල’ බෙහෙවින් අගය කළ යුත්තකි.

2020.05.01

Thursday, April 30, 2020

"මම පිටකොටුවෙ එනකොට බඩ ...."

අද අප්‍රේල් මස 30 වැනි දාය. ෂෝට් ඊට් නොකා සහ පාන් පිටි කෑම අවම වී මාසයකුත් දින දහයක් ගත වී ඇත. ඒත් බත් කන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව දැනේ. ගෙදර ඉන්නා විට නිතර මොනවා හරි කන්නට ඕනෑ වීම එදා සිටම තිබූ පුරුද්දකි. බත් කෑමෙන්ම මහත් වන බව දැන් ප්‍රත්‍යක්ෂය.

ව්‍යායාම කරන්නට කිඹුලාවල යා නොහැකිය. අඛණ්ඩවම ඇඳිරි නීතියය. අප්‍රේල් මාසයටම කියා එළියට ගියේ බේත් ගන්න ගිය දවසේ පමණකි. ඉන්පසුව ගෙදරින් මීටර් 50කට එහා දුරක් ගොස් නැත. එබැවින් කෙසේ හෝ කෑම පාලනය කිරීම හා ව්‍යායාම කිරීම කළ යුතුමය. ගෙදර ඇති පරණ ස්ට්‍රයිඩරය පදින එක මහා කම්මැලි වැඩක් වුව එය කළ යුතුව ඇත. නැතිනම් කියන්නට වෙන්නේ මෙවැන්නකි -

"මම පිටකොටුවෙ එනකොට බඩ මරදානේ"

(දශක තුනකටත් එහා දිනයක 'මම' වෙනුවට 'ඔහු' කියා කියූ මේ කවි පදය මට ඇසුනේ ගුවන්විදුලියේ අලුත් අවුරුදු විකාශයක් අතරදීය. එය එක් නිවේදකයෙකු තවත් අයෙකු ගැන කී හිටිවන කවියක් විය. එහි තවත් පදයක් මතක ඇතත් සියල්ල මතක නැත. ඒ කවිය කීවේ ලලිත් එස් මෛත්‍රීපාල විසින් වාගේ මතකයක්ද තිබේ.)