ධනේෂ් විසුම්පෙරුම
"සීමිත පිරිසකට ඡන්ද බලය හිමි වූ 1921 මැතිවරණය"
ඉරිදා ලංකාදීප, තක්සලාව, 2020.04.26, පි. 10 (Irida Lankadeepa)
Not available online
අපි දැන් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව සිටින්නෙමු. තවත් මාස දෙකක් ඇතුළත දිනයකදී මෙරට ව්‍යවස්ථාදයකය වන පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා යැවීමේ බලය ජනතාවට ලැබී ඇත. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු හා ජාතික ලැයිස්තුව තුළින් මන්ත්‍රීවරුන් 29 දෙනෙකුද පාර්ලිමේන්තුවට පත්කරයැවීම සඳහා රට පුරා වෙසෙන මිලියන පහළොවකට අධික ඡන්දදායක පිරිසක් මේ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වෙයි.
වර්තමානයේ කිසිදු භේදයකින් තොරව සියලු දෙනාටම ඡන්ද බලය හිමි වී ඇත්තේ සර්වජන ඡන්දබලය නිසාය. කිසිදු වෙනසක් හෝ සුදුසුකමක් නොමැතිව පිරිමින් හා කාන්තාවන් ඇතුළු සියලු දෙනාටම හෙවත් සර්වජන ඡන්දබලය මෙරට වැසියන්ට හිමි වූයේ 1931 වර්ෂයේ දීය. ඒ වන විට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විය. ඊට පෙර, 1910 වර්ෂයේ සිට, මෙරට වැසියන්ට හිමිව තිබුණේ සීමිත පිරිසකට ඡන්ද බලය හිමි වූ තත්ත්වයකි.
බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1910 වර්ෂයේ දී සීමිත පිරිසකට ඡන්ද බලයක් ලබාදුන් අවස්ථාව එවකට ආණ්ඩුකාර ධූරය දැරූ හෙන්රි මැකලම් නමින් මැකලම් ප්‍රතිසංස්කරණ ලෙස හඳුන්වනු ලැබේ. ඒ අවස්ථාවේදී ව්‍යවස්ථාදායක සභාවට මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු පත් කිරීමට උගත් පිරිසකට අවස්ථාව ලැබිණි. එහිදී ‘ලාංකික’ (Ceylonese) මන්ත්‍රීවරයා තේරීමට මෙරට වැසි උගත් ලාංකික පිරිසකට අවස්ථාව ලැබිණි. ඒ හැර සෙසු මන්ත්‍රීධූර වූයේ යුරෝපීය (නාගරික) යුරෝපීය (ග්‍රාමීය) හා බර්ගර් යන මන්ත්‍රීධූරයි.
මේ මන්ත්‍රී ධූර ප්‍රමාණය පිළිබඳව සෑහීමට පත් නොවූ ලාංකික නායකයන් අඛණ්ඩව සිදු කළ ඉල්ලීම් අනුව ඡන්ද බලය හිමි ජනතාවගේ ප්‍රමාණය මෙන්ම ඡන්දයෙන් පත්කරගන්නා ලද මන්ත්‍රීවරුන්ගේ ගණන ද පසුව ඉහළට නංවන ලදි. ඒ අනුව මීට වසර සියයකට පමණ පෙර 1920දී පමණ සම්මත වූ මැනිං ප්‍රතිසංස්කරණ අනුව ව්‍යවස්ථාදායක සභාවට ඡන්දයෙන් පත්කරගන්නා මන්ත්‍රීවරුන් ගණන 16ක් දක්වා ඉහළ ගියේය. ඒ යටතේ පවත්වන ලද පළමු මැතිවරණ 1921 වර්ෂයේ මාර්තු හා අප්‍රේල් මාසවල පවත්වන්නට යෙදිණි.
1921 දී ඡන්දදායක සුදුසුකම්
1920 වර්ෂයේ දී ඡන්දදායකයෙකු වීමට අවශ්‍ය වූ සුදුසුකම් ගණනාවක් විය. ඒ අතර බ්‍රිතාන්‍ය විජිතයේ වැසියෙකු වීම, කාන්තාවක නොවීම, වයස අවුරුදු 21ට වැඩිවිය යුතු වීම ආදිය සඳහන් වෙයි. එසේම ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ බසින් කියැවීමට, ලිවීමට හැකි විය යුතු විය. එසේම ඡන්දදායක නාමලේඛනයට නම ඇතුළත් කරන මැතිවරණ කොට්ඨාසයේ එම වසරේ ජුලි 31දිනට පෙර වසරක් පමණ කාලයක් හෝ පදිංචිව සිටිය යුතු විය. එසේම කිසියම් වරදකට මාස තුනකට වැඩි කාලයක් සිර දඬුවම් නියම වී නොතිබීම වැනි අධිකරණයෙන් දඬුවම් නියම වී නොතිබීම හා මානසික වශයන් හොඳ තත්ත්වයක සිටීම ද මෙහි සඳහන් විය. එමෙන්ම සතු විය යුතු වූ දේපොළ පිළිබද නිරණායක ද මීට අයත් විය.
කෙසේ වෙතත් 1910 වර්ෂයේදී ඡන්ද හිමියෙකු වීමය නම් අවශ්‍ය වෘත්තීන් නියම කර තිබූ අතර එය 1920 දී ඉවත් කර තිබිණි. 1910 වර්ෂයේ 1910 අංක 13 දරණ ආඥාපනතෙන් නියම කළ පරිදි එසේ ඡන්ද බලය හිමි වීමට තිබිය යුතු සුදුසුකම් අතර, නිශ්චිත වෘත්තීන් ගණනාවක නියුතු වුවන් ඇතුළත් විය. ඒ අතර නීතිඥ, අධිනීතීඥ, නොතාරිස්, වෛද්‍ය, මිනුම්දෝරු, ඉංජිනේරු, නාකරික මන්ත්‍රී, හමුදා නිලධාරීන්, රජයේ විශ්‍රාම වැටුප් හිමියන් වැනි පිරිස් ඇතුළත් විය. එසේම බ්‍රිතාන්‍ය හෝ ඉන්දීය හෝ යටත්විජිත විශ්වවිද්‍යාලයක උපාධිධරයෙකු හෝ උපාධි අපේක්ෂකයෙකු වීමද සුදුසුකමක් විය. එමෙන්ම ජ්‍යේෂ්ඨ හෝ කණිෂ්ඨ කේම්බ්‍රිජ් දේශීය (Cambridge Local) විභාග සමත්වීමඒ සඳහා සුදුසුකමක් ලෙස සැලකිණි. 1910 වර්යේදී පැවති ඡන්දදායකයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් යටතේ 1919 වන විට ඡන්ද බලය හිමි වූ ලාංකිකයන් ගණන වූයේ 3,013ක් තරම් අඩු පිරිසකි. සෙසු පිරිස (යුරෝපීයයන් හා බර්ගර් ජාතිකයන්) සමඟ මුළු එකතුව 6,100කට මදක් වැඩි විය. එය මෙරට ජනගහනයෙන් 0.14%කටත් වඩා අඩු ප්‍රමාණයක් විය.
එතෙක් උගත් ලාංකිකයන්ට සීමා වී තිබූ ලාංකික සභික ධුරවලට ඡන්දය පළ කිරීමේ අයිතිය මැනිං ප්‍රතිසංස්කරණ යටතේ 1920 දි පුළුල් කිරමේදී ඉංග්‍රීසි හා තවත් භාෂාවක් භාවිතය දක්වා පුළුල්ව ඇති බව පෙනේ. ඒ අනුව 1921 වර්ෂයේ පැවති මැතිවරණවලදී ඡන්ද බලය හිමි වූ ලාංකිකයන් ගණන 53000කට ආසන්න අගයක් දක්වා ඉහළ ගියේය. ඔවුහු මන්ත්‍රී ධුර 11කට සභිකයින් තෝරා යැවීමට අවස්ථාව ලදහ. සෙසු සභික ධූර පහක් සමඟ රටේ සමස්ත ඡන්දදායකයින් ගණන 55,000ක් ඉක්මවීය. (වගුව බලන්න) 1921 වන විට මෙරට ජනගහනය 4,498,000ක් වූ බැවින් ඡන්දදායක පිරිස 1.2%ක් තරම් අඩු ප්‍රතිශතයක් ගත්තේය. එහෙත් 1910 නිර්ණායක අනුව සිටි ඡන්දදායකයන් ගණනට වඩා 1921 වන විට ඡන්දදායක පිරිස නව ගුණයක් තරම් වැඩි වූ බව ලංකා නිල් පොත් වාර්තා හා පරිපාලන වාර්තාවල එන සංඛ්‍යාලේඛන අනුව පැහැදිලිය.
1921 දී මන්ත්‍රීවරයෙකු වීමට නම්
1920 මැනිං ප්‍රතිසංස්කරණ යටතේ මෙරට පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාව පෙර පැවති ව්‍යවස්ථාදායක සභාවට වඩා පුළුල් විය. රජයේ ඉහළ නිලධාරීන් පස්දෙනෙකු සභාවට නිල බලයෙන්ම පත් වු අතර, තවත් සභිකයෝ නවදෙනෙක් ද රජයේ නිලධාරීන් වූහ. එමෙන්ම මැතිවරණ මගින් සභිකයන් 16 දෙනෙකු පත් වූ අතර, තවත් 7 දෙනෙකු ආණ්ඩුකාරයා විසින්ද පත්කර ලදි. මුළු සභික ධූර ගණන 37ක් විය. (1910 මැකලම් ප්‍රතිසංස්කරණ යටතේ පිහිටුවන ලද ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයන් ගණන 21ක් පමණක් වූ බැවින් 1920 සභාව වඩා පුළුල් වු බව පැහැදිලිය. මේ සභික ගණන 1923 දී තවදුරටත් ඉහළ නංවන ලදි.)
1920 සැප්තැම්බ්ර් මස 23 දින නිකුත් වූ සභාවේ නියෝග අනුව ව්‍යවස්ථාදායක සභාවට පත් වීම සඳහා 1921 දී පැවති මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය සුදුසුකම් ඉහත දක්වා ඇති ඡන්දදායකයෙකු වීමට අවශ්‍ය වූ සුදුසුකම් හා සමාන බවක් පෙනුණ ද ඊට වඩා ඉහළ මට්ටමක විය. ඒවා මෙසේය.
සභිකධූරයකට ඉල්ලීමට ඉදිරිපත් වන අපේක්ෂකයා මෙරට රජයේ නිලධාරියෙකු නොවිය යුතු විය. ඒ පුද්ගලයාගේ වයස වයස අවුරුදු 25ට වඩා වැඩි විය යුතු විය (ඡන්දදායකයාගේ වයස සීමාව වූයේ අවුරුදු 21කි). එසේම අදාළ තැනැත්තා බ්‍රිතාන්‍ය විජිතයේ පුරවැසියෙකු විය යුතු විය. ඒ තැනැත්තා ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට, කියැවීමට හා ලිවීමට හැකියාව ඇති අයෙකු විය යුතුය. (ඡන්දදායකයකු වීමට පෙර කී භාෂා තුනෙන් දෙකක හැකියාව පමණක් වැදගත් වූ බව පෙනේ)
එම පුද්ගලයා කිසියම් මැතිවරණ කොට්ඨාසයක ඡන්දදායකයෙකු ලෙස ලියාපදිංචිවීමට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතු වූ අතර, එසේ ලියාපදිංචි වී තිබිය යුතු ද විය. ඡන්ද බලය හිමිවන්නේ පිරිමින්ට පමණක් වීම නිසා මෙම කරුණ මගින් අපේක්ෂකත්වය ද පිරිමින්ට සීමා කිරීම දැකිය හැකි විය. එසේම නාමයෝජනා කරනු ලබන දිනයට වහාම පෙර වසර තුනක කාලයක් තමන් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන මැතිවරණ කොට්ඨාසයේ පදිංචි වී සිටිය යුතු විය.
අදාළ අපේක්ෂකයා බංකොලොත් වී නොතිබිය යුතු වූ අතර වස්තුභංගත්වයට පත් වූ බවට ප්‍රකාශයට පත් කර නැති වීම ද සුදුසුකමක් විය. එමෙන්ම අදාළ බලයලත් ආයතනවලින් ඒ තැනැත්තා නීතිය හෝ වෛද්‍ය වෘත්තියේ යෙදීම තහනම් නොකළ අයෙකු වීම ද සුදුසුකමක් විය. ඊට පෙර රාජ්‍ය සේවයේ නියුක්තව සිටි අයෙකු වූයේ නම් රාජ්‍ය සේවයෙන් නෙරපූ අයෙකු නොවිය යුතු විය.
මේ හැරුණු විට එම පුද්ගලයාගේ ආදායම සම්බන්ධවද සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා තිබිණි. ඒ කරුණු තුනකින් එකකි. ඉන් පළමුවැන්න වූයේ රු. 1,500කට නොඅඩු පැහැදිලි වාර්ෂික ආදායමක් තිබීමය. දෙවැන්න රු. 6000කට නොඅඩු වටිනාකමකින් යුක්ත නිශ්චල දේපොළක් ඔහුගේ හෝ ඔහුගේ බිරිඳගේ අයිතිය යටතේ තිබිය යුතු වීමය. තෙවැනි කරුණ වුයේ නාගරික ප්‍රදේශයක නම් රු. 500ක අවම වාර්ෂික වටිනාකමක්ද, වෙනත් ප්‍රදේශයක් නම් රු. 400ක වාර්ෂික වටිනාකමක්ද තිබෙන දේපොළක් අඩුම වශයෙන් වසරක කාලයයක් හිමි වී හෝ බදුකරුවෙකු ලෙස හිමි වී තිබීමය.
මේ කරුණු අනුව පෙනෙන්නේ ව්‍යවස්ථාදායක සභාවට ඉල්ලුම් කිරීමේදී සැලකිය යුතු සුදුසුකම් ප්‍රමාණයක් පිළිබඳව අවධානය යොමු කර තිබූ බවයි. එදා පැවැති අධ්‍යාපන මට්ටම අනුව මේ සභික ධූර සඳහා ඉදිරිපත් වී ඇත්තේ සැලකිය යුතු ඉහළ අධ්‍යාපනයක් ලද පිරිසක් බව පැහැදිලිය.
1921 මැතිවරණ ප්‍රතිඵල
මේ යටතේ ව්‍යවස්ථාදායක සභාවට සභිකයක් තේරීමේ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවු අතර සභික ධූර 16න් 11ක් සඳහාම සභිකයන් පත් වී ඇත්තේ නිතරඟයෙනි. ඉතිරි කොට්ඨාස පහ සඳහා 1921 අප්‍රේල් මස 21 වන දින ඡන්ද විමසීම් පවත්වන ලදි. මෙහිදී එම කොට්ඨාසවල ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රතිශතය 70%ක් ඉක්මවා තිබීම විශේෂත්වයකි.
සමස්ත ව්‍යවස්ථාදායක සභාවට පත් වූ සභිකයන් මෙසේ දැක්විය හැකිය.
මන්ත්‍රී ප්‍රතිලාභ
මෙසේ සුදුසුකම් මත සභික අපේක්ෂකත්වය ලැබ සභික ධූරයක් ලබාගන්නා තේරුණු මන්ත්‍රීවරුන්ට ලැබුණු ප්‍රතිලාභ මොනවාද? ඔවුන්ට ඒ සඳහා වැටුපක් නම් හිමි නොවීය. එහෙත් මේ මැතිවරණයට ඉදිරිපත් වීමට මෙන්ම ජයගැනීම ද මගින් ජනතාව නියෝජනය කිරීමටද හැකිය. එය ඔවුන්ගේ ප්‍රජා නායකත්වය තවදුරටත් තහවුරු කරන අවස්ථාවක් වෙයි. ඉහත දැක්වූ මැතිවරණයට ඉදිරිපත් වූ හා ජයගත් අයගේ පසුබිම ගත්විට වැඩි පිරිසක් සාම්ප්‍රදායික ප්‍රභූ නායකත්වයේ සිටි අය බවද පෙනේ.
මැතිවරණය ජයගැනීමට ගත් විවිධ උත්සාහ ගැනද ඇතැම් විට අසන්නට ලැබෙයි. රත්නපුර දිස්ත්‍රික්කයේ රටේ මහත්මයෙක් එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරයේ යෙදීම පිළිබඳ චෝදනායක් ඇති වූ අවස්ථාවේදී එහි තමන් ඔහු කැඳවා ප්‍රශ්න කළ බව දිසාපති සඳහන් කරයි. ඔහු ඒ අවස්ථාවේදී අදාළ නීති රෙගුලාසි ගැන රජයේ සේවකයන් දැනුම්වත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. රටේ මහත්මයා යනු දිස්ත්‍රික්කයක සිටින දේශීය නිලධාරීන් අතර ඉහළ මට්ටමේ රජයේ සේවකයෙකි. මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු වෙනුවෙන් සහාය වීමට ඔහුට බලයක් හිමි නොවීය. මේ සමඟ අපට සිහිපත් වන්නේ අද සිටින රජයේ සේවකයන් අපේක්ෂකයන් වෙනුවෙන් සහාය දක්වන ආකාරයයි.
නායකත්වය හා ප්‍රජා සේවය වෙනුවෙන් කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලබා දේශපාලනයට පිවිසියේ එදාය. එහෙත් අද තත්ත්වය වෙනස්ය. අද මෙරට නායකයන් දේශපාලනයට පැමිණෙන්නේ කුමකටද යන්න ගැන ජනතාව සාකච්ඡා වන්නේ ඒ නිසාය. අද මැතිවරණයකදී එක් මන්ත්‍රී අපේක්ෂකයෙකු විසින් වියදම් කරනු ලබන මුදල කෙතරම්ද යන්න ගැන සාකච්ඡාවක් ඇති වී තිබේ. ඒ ප්‍රමාණය ඔවුන්ට ලැබෙන වැටුපෙන් හා දීමනාවලින් වසර පහක් තුළ ඉපැයීමට නොහැකිය. එබැවින් අධික මුදලක් වියදම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට ප්‍රයත්න දරන්නේ කුමකටද යන්න ගැන කුකුසක් මතු වීම සාධාරණය.
(මූලිකවශයෙන් සමකාලීන මූලාශ්‍ර ද පසුකාලීන මූලාශ්‍ර කිහිපයක් ද උපයෝගි කරගනිමින් ලියන ලද්දකි)
No comments:
Post a Comment