Sunday, March 31, 2019

ඒජන්ට්‌ ඔරේන්ජ්වල දිගුකාලීන බලපෑම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 13.03.2019, පි. 13 (Vidusara)

http://www.vidusara.com/2019/03/13/feature4.html



ඒජන්ට්‌ ඔරේන්ජ් (Agent Orange) යනු වියට්‌නාම් යුද්ධය නිසා වඩාත් ප්‍රකට වූ රසායනික සංයෝගයකි. 1965 සිට 1972 දක්‌වා වූ කාලයේ දී පැවැති දෙවැනි ඉන්දු-චීන යුද්ධය හෙවත් වියට්‌නාම් යුද්ධයේ දී මේ රසායන ද්‍රව්‍යයෙන් ලීටර් මිලියන අසූවක්‌ පමණ දකුණු වියට්‌නාමයේ දී භාවිත කර ඇත. එම ප්‍රදේශයේ මීකොං ගංගාවේ ඩෙල්ටාව ආශ්‍රිත ව පිහිටා තිබූ වර්ෂා වනාන්තර, තෙත්බිම් හා වගා බිම්වලට මේ රසායන ද්‍රව්‍යය ඉසීමට ඇමෙරිකානු හමුදාව පියවර ගත්තේ එහි පිහිටා තිබූ වනවැස්‌ම විනාශ කිරීම සඳහා ය. එහි අරමුණ වූයේ එම වනාන්තරවල සතුරන් සැඟවී සිටි ස්‌ථාන හෙළි කරගැනීම, හමුදා කඳවුරු ආශ්‍රිත වනාන්තර හෙළිපෙහෙළි කර තබාගැනීම හා එසේ ම සතුරාගේ ආහාර සැපයුම අඩාළ කිරීම වැනි කරුණු ය.

එහෙත් ඩයොක්‌සින කාණ්‌ඩයේ නම් රසායන ද්‍රව්‍යයක්‌ මඟින් දූෂිත වූ ඒජන්ට්‌ ඔරේන්ජ් රසායන ද්‍රව්‍යය නිසා වියට්‌නාම ජාතිකයන්ට මෙන් ම ඇමෙරිකානු ජාතිකයන්ට ද හානි පැමිණි බව මේ වන විට ප්‍රකට කරුණකි. එය ලෝකයේ බරපතළ රසායනික විපතක්‌ ලෙස ද සැලකිය හැකි ය.

ඒජන්ට්‌ ඔරේන්ජ්වල බලපෑම පිළිබඳ ව පසුගිය කාලයේ දී විවිධ අධ්‍යයන සිදු කර තිබෙයි. එවැනි අධ්‍යයන අතරින් වැඩි ප්‍රමාණයක්‌ ඒවායේ සෞඛ්‍යමය බලපෑම් පිළිබඳ ව සිදු කරන ලද ඒවා ය. විශේෂයෙන් සම හරහා ඒජන්ට්‌ ඔරේන්ඡ් ශරීරගත වීම තුළ ඇති වන දිගුකාලීන බලපෑම් පිළිබඳ ව ඇමෙරිකානු සොල්දාදුවන් සම්බන්ධ ව මූලික වශයෙන් ඇමෙරිකානු සොල්දාදුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයන විශාල ප්‍රමාණයක්‌ දැකිය හැකි ය. එමඟින් හෙළි වන කරුණු අනුව ඒජන්ට්‌ ඔරේන්ජ් යනු බරපතළ බලපෑමක්‌ සිදු කළ හැකි රසායන ද්‍රව්‍යයක්‌ බව මේ අනුව පැහැදිලි ය.

මේ අතර ඒජන්ට්‌ ඔරේන්ජ් නිසා ඇති වන පාරිසරික බලපෑම් සම්බන්ධ ව කලක්‌ තිස්‌සේ යම් යම් අධ්‍යයන සිදු කරන ලදි. එරට තුළ වර්ග කිලෝ මීටර 31,000ක පමණ වනාන්තර ප්‍රමාණයක්‌ මේ රසායන ද්‍රව්‍යය නිසා කොළ හැළී බෙහෙවින් හායනයට ලක්‌ ව ඇත. ඒවා නැවත වන වගා කිරීම ද ගැටලුසහගත වී තිබෙයි.

පාරිසරික බලපෑම් ගැන අධ්‍යයනයක්‌


ඒජන්ට්‌ ඔරේන්ජ් රසායන ද්‍රව්‍යයේ දිගුකාලීන බලපෑම් පිළිබඳ ව සිදු කරන ලද අධ්‍යයනයක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් ව ඇත. එහි දී වියට්‌නාමයේ ආහාර සැපයීමට අද දක්‌වා ම ඩයොක්‌සින ඇතුළු වන ස්‌ථාන හෙවත් උණුසුම් ස්‌ථාන පිළිබඳ ව අවධානයක්‌ යොමු කර ඇත.

ඒ අනුව අවධානය යොමු කර ඇත්තේ ඒජන්ට්‌ ඔරේන්ජ් ඇතුළත් රසායනික සංයෝගවල කෙටිකාලීන හා දිගුකාලීන බලපෑම් වියට්‌නාමයේ ස්‌වාභාවික සම්පත් සඳහා බලපාන අන්දමයි. එහි දී පස, ජලය, අවසාදිත තැන්පතු, මසුන්, ජලජ ජීවීන් ආහාර සැපයුම හා වියට්‌නාම් ජාතිකයන්ගේ සෞඛ්‍යය වැනි කරුණු පිළිබඳ ව අවධානය යොමු කර තිබේ.

ඒජන්ට්‌ ඔරේන්ජ් යනු මූලික වශයෙන් වල්පැළෑටිනාශක දෙකක සංයුක්‌තයකි. ඒ 2, 4, D හා 2, 4, 5, ඔ යනුවෙන් හඳුන්වන ඒවා ය. මේ රසායනික සංයෝග සූර්යාලෝකයට නිරාවරණය වූ විට දින කිහිපයක්‌ හෝ සති කිහිපයක්‌ පමණ කාලයකින් විනාශ වී යන ඒවා ය. එහෙත් ඒජන්ට්‌ ඔරේන්ඡ් නිසා ඇති වන පාරිසරික ගැටලුව ඇති වන්නේ මේවා නිසා නො වේ. එම බලපෑම ඇති වන්නේ ඒජන්ට්‌ ඔරේන්ඡ් නිෂ්පාදනයේ දී ඇති වන අතුරුඵලයක්‌ නිසා ය. ඒ ඩයොක්‌සින TCDD යනුවෙන් හඳුන්වනු ලබන රසායනික සංයෝගයයි. මෙය ඩයොක්‌සින රසායනික සංයෝග පවුලේ වඩාත් ම විෂ සහිත රසායනික සංයෝගය ලෙස හැඳින්වෙයි. මේ රසායන ද්‍රව්‍යය පරිසරයට එක්‌ වූ විට ඒවා දශක ගණනක්‌ හෝ ශතවර්ෂ ගණනාවක්‌ හෝ පරිසරයේ පැවතීමට හැකියාව ඇත. මේ වියට්‌නාමයේ සිදු ව ඇති දෙයයි. මේ රසායන ද්‍රව්‍යයේ දිගුකාලීන පැවැත්ම පිළිබඳ ව පැහැදිලි කිරීම සඳහා විවිධ වාර්තා උපයෝගී කරගෙන ඇත (මේ රසායන ද්‍රව්‍ය පිළිබඳ විස්‌තරයක්‌ සටහන යටතේ එයි).

ඩයොක්‌සින සාන්ද්‍රණය වන ආකාරය


වියට්‌නාමයේ ඒජන්ට්‌ ඔරේන්ජ් පිළිබඳ කතාව ආරම්භ වන්නේ 1960 දශකයේ දී මුලින් ම ඉසීම ආරම්භ වීමෙන් පසු ව ය. එම රසායනිකය ශාකවලට හා පත්‍රවලට පතිත වී ඒවා පසට එකතු වෙයි. එමෙන් ම එම රසායන ද්‍රව්‍ය කෙළිsන් ම පසට එකතු වීම ද සිදු වෙයි. ඩයොක්‌සින TCDD ඉන් පසු ව පසේ කාබනික ද්‍රව්‍ය හා එකතු වීම හා පසේ ඇති මැටි අංශු හා බැඳීම ද සිදු විය හැකි ය. එතැන් සිට මේ රසායනික සංයෝගය තැනින් තැනට ගමන් කළ හැකි ය. ජලයේ අපද්‍රව්‍ය සමඟ තෙත්බිම්, වගුරු බිම්, ගංගා, විල් හා පොකුණු ආදියේ මේ රසායනික ද්‍රව්‍ය තැන්පත් වෙයි. ඩයොක්‌සින TCDD මඟින් දූෂිත වී ඇති අවසාදිත තැන්පතු පත්ලේ බුදින්නන් වන මසුන් හා ඉස්‌සන් වැනි ජීවීන් විසින් ආහාරයට ගනු ලැබෙයි. එම රසායනික ද්‍රව්‍ය එමඟින් ආහාර දාමය ඔස්‌සේ ජෛව සාන්ද්‍රණය වෙමින් වියට්‌නාම ජාතිකයන්ගේ ආහාර දාමයට ද එක්‌ වෙයි. මේ ආකාරයෙන් දූෂිත බවට ලක්‌ ව ඇති ජලාශවල මසුන් ඇල්ලීම තහනම් කර ඇති නමුත්, එවැනි තහනම් නීති ක්‍රියාත්මක කිරීම එරට තුළ අකුරට ම සිදු වන්නක්‌ නො වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ වසර 50කට පමණ පසුව පවා ඩයොක්‌සින මිනිසුන්ගේ ආහාර සැපයුමට එකතුවීම ය.

මේ අධ්‍යයනයේ දී ඉහළ ඩයොක්‌සින TCDD මට්‌ටමක්‌ ඇති පැරැණි ඇමෙරිකානු ගුවන් කඳවුරු බිම් දහයක්‌ පමණ හඳුනාගැනීමට ද හැකියාව ලැබී ඇත. ඒවා පිහිටා ඇත්තේ අද වන විට මිලියන ගණනාවක්‌ වියට්‌නාම ජාතිකයන් පිරිසක්‌ වාසය කරන නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලට ආසන්න ව ය. මේ නිසා ඇති විය හැකි අවදානම ගැන ද යම් අදහසක්‌ ලබාගත හැකි ය. මේ අතරින් වඩාත් අනතුරුදායක ස්‌ථානය ලෙස හඳුනාගෙන ඇත්තේ බියෙන් හොආ (Bien Hoa) නම් ගුවන් කඳවුර ය. එම කඳවුර වනාහි 1970 වර්ෂයේ දී ඒජන්ට්‌ ඔරේන්ජ් ඉසීම නවත්වා දැමීමට ඇමෙරිකාව තීරණය කළ පසු වියට්‌නාමයේ ඒ වන විට ඉතිරි ව තිබූ ඒජන්ට්‌ ඔරේන්ජ් බැරල් එකතු කර රඳවාගැනීමට පියවර ගත් ස්‌ථානයයි. ඒවා පෙර සැකසුමකින් පසුව පැසිෆික්‌ සාගරයේ පිහිටා තිබූ ජොන්ස්‌ටන් දූපතට ප්‍රවාහනය කරන ලද අතර, ඒවා 1977 දී මුහුදේ දී පුළුස්‌සා විනාශ කරන ලදි.

මේ පර්යේෂකයන් ස්‌වකීය අධ්‍යයනය මත පදනම් ව පෙන්වා දෙන පරිදි මේ ඩයොක්‌සින මඟින් දූෂිත වී ඇති පස්‌ සහ අවසාදිත තැන්පතු විනාශ කිරීම සඳහා සුදුසු ම ක්‍රියාමාර්ගය වන්නේ ඒවා පුළුස්‌සා දැමීම ය. ඒ වියට්‌නාමයේ දූෂිත වී ඇති ගුවන් තොටුපොළ කඳවුරු ආශ්‍රිත ප්‍රදේශවල ය. එය මේ සඳහා ගත හැකි වඩාත් වියදම් අධික ම පියවර විය හැකි වුවත්, එය බිම් පිරවුමක හෝ තාවකාලික තැන්පත් කිරීමට වඩා ස්‌ථිර විසඳුමක්‌ වෙයි.


ඒජන්ට්‌ ඔරේන්ජ්


මේ රසායනික ද්‍රව්‍යය සමන්විත වන්නේ මූලික වශයෙන් වල්පැළෑටිනාශක දෙකකිනි. ඒ 2, 4 -D ලෙස ප්‍රකට 2, 4 - ඩය්ක්‌ලෝරො පීනොක්‌සිඇසිටික්‌ අම්ලය (2, 4 - dichloro phenoxyacetic acid) 2, 4, 5 -T ලෙසින් දන්නා 2, 4, 5 - ට්‍රයික්‌ලෝරො පීනොක්‌සිඇසිටික්‌ අම්ලය (2, 4, 5 - trichloro phenoxyacetic acid) යන වල්පැළෑටිනාශක දෙකයි. මේ රසායනික දියුණු කරන ලද්දේ 1940 දශකයේ මැද භාගයේ දී පමණ ය.

එසේ ම 2, 4, 5 -T නිෂ්පාදන ක්‍රියාවලියේ දී යොදාගන්නා අධිවේගී දහන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ ලෙස ජනනය වන අතුරුඵලයක්‌ වන්නේ 2, 3, 7, 8 -ටෙට්‍රාක්‌ලෝරොඩයිබෙන්සොඩයොක්‌සින් (2, 3, 7, 8 - tetrachlorodibenzodioxin) හෙවත් TCDD ලෙස හඳුන්වනු ලබන අතිශය විෂ සහිත ද්‍රව්‍යයයි. මෙය මේදයෙහි දිය වන බැවින් ශරීරගත වූ පසුව ආහාර දාමය ඔස්‌සේ සාන්ද්‍රණය වීම සිදු වෙයි.

මේ තත්ත්වය නිසා 2, 4, 5 -T නිෂ්පාදනය කිරීම 1980 දශකයේ පටන් ලෝකයේ බොහෝ රටවල නවතා දමා ඇත. එහෙත් 2, 4 -D නිෂ්පාදනය හා භාවිතය තවමත් සිදු කරනු ලැබෙයි.

මූලාශ්‍රය ( Open Journal of Soil Science, DOI: 10.4236/ojss.2019.91001)

Thursday, March 14, 2019

විෂය බාහිර ක්‍රියාකාරකම්!!! (​බස් කතා 10)


සති කිහිපයකට පෙර දිනයක මෙම සිදුවීම වූයේ නුගේගොඩින් ගමන් ඇරඹුණු බසයකය. මට පසුපස අසුනේ තරුණයන් දෙදෙනකුගේ කතාව මට ඇසුණි.

ඔවුන්ගේ මාතෘකාව උසස්පෙළ විභාගය බව පැහැදිලි වූයේ "තියරි ක්ලාස්" හා "රිවිෂන් ක්ලාස්" ගැන කතා කළ නිසාය. බයෝ විෂයධාරාව නොවන බව වැටහුනේ "බයෝ අයට පාඩම් කරන්න" ඇති බව එකෙක් කී නිසාය. ධාරා විද්‍යුතය ගැන කී බැවින් ඔවුන් ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන බව සිතාගත හැකිය.

මෙසේ කතාව ඇදී යන විට ඔවුන් පාඩම් කරන හැටි ගැන කතාව යොමුවිය. එක් අයෙක් කීවේ ජනවාරි මාසෙ එයා සෑහෙන වැඩ කළ බවයි. සියයට 20 පමණ පාඩම් කර අවසන් කළ බවයි.

අනෙකා කීවේ ජනවාරි මාසෙ එයාට එතරම් වැඩක් කරගන්නට නොහැකි වූ බවයි. ඔහු ඊට කී හේතුව මට එක්වරම විශ්වාස කළ නොහැකි විය.

"ජනවාරි මාසෙ සෙට් උනා වැඩි උනා. ගැහුවත් වැඩියි. වැඩක් කෙරුනෙම නෑ"

මේ අද දවසේ පාසල්වල තත්ත්වයද? තවමත් යන්තම් අවුරුදු 18 පැන්න අයගේ ජීවිතද...?

අපේ කාලෙත් පිරිමි පාසල් ළමුන් සෙට් උනා. මත්පැනින් සප්පායම් වුනා. එහෙත් බිග්මැච් සමයෙ වගෙ කලාතුරකින් දවසක විතරයි. සිගරැට් බීපු අය හිටියත් එයත් දිනපතා කළ අය නැති තරම්. කළෙත් හොරෙන්. මේ කියනව වගෙ මාසෙට දවස් ගණනක් සෙට් වූ අය එකල හිටියෙ නැති තරම්. 

මේ අද යුගයේ විෂය බාහිර ක්‍රියාකාරකම්ද?

Thursday, February 28, 2019

කාබනික ආහාර ගැනීම මුත්‍රවල පළිබෝධනාශක මට්‌ටම අඩු කරයි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 27.02.2019, පි. 5 (Vidusara)






කාබනික කෘෂිකර්මය හා කාබනික ආහාර නිෂ්පාදන නිසා ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම පිළිබඳ කිසියම් ආකාරයක සාකච්ඡාවක්‌ කලක සිට ලෝකයේ දැකිය හැකි ය. කාබනික ආහාර නිසා ඇති විය හැකි ධනාත්මක සෞඛ්‍යමය බලපෑම් පිළිබඳව කලක සිට ම අවධානයට ලක්‌ වී ඇත. විද්‍යාඥයන් විසින් වරින් වර සිදු කරනු ලබන අධ්‍යයනවලින් හෙළි වන කරුණු අනුව කාබනික කෘෂිකර්මයේ වැදගත්කම තහවුරු වෙමින් ඇති බව සැලකිය හැකි ය. පසුගිය දා ප්‍රකාශයට පත් ව ඇති එක්‌ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය ආහාර වේලක සිට කාබනික ආහාර වේලකට මාරු වී දින කිහිපයක්‌ ඇතුළත මුත්‍රවල පළිබෝධනාශක මට්‌ටම අඩු වන බවයි.

පළිබෝධනාශකවලට නිරාවරණය වීම නිසා ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳ ව මෑත කාලයේ දී සිදු කළ අධ්‍යයන විශාල ප්‍රමාණයකින් කරුණු අනාවරණය වී ඇත. මේ පිළිබඳ ව ඇති දත්ත අනුව ප්‍රජානන හැකියාවේ අඩු වීම, ළමයින්ගේ හැසිරීම හා අවධානය පිළිබඳ ගැටලු, ඇදුම රෝගය, පිළිකා ඇති වීම, ප්‍රජනන සෞඛ්‍යය ආශ්‍රිත ගැටලු, අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ ගැටලු වැනි කරුණු පිළිබඳ ව පැහැදිලි සාධක මේ වන විට අනාවරණය වී තිබෙයි. කෙසේ වෙතත් පොදු වශයෙන් ගත් විට ආහාර ආශ්‍රිත ව ඇති වන පළිබෝධනාශකවලට නිරාවරණය වීම නිසා ඇති වන නිශ්චිත සෞඛ්‍ය බලපෑම් ගැන සිදු කර ඇති අධ්‍යයන ගණන අඩු ය. නිදසුනක්‌ ලෙස පසුගිය වසරේ සිදු කර ඇති එක්‌ අධ්‍යයනයකින් පෙන්වා දී තිබුණේ කාබනික ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කිරීම නිසා හෙවත් පළිබෝධනාශකවලට අඩු වශයෙන් නිරාවරණය වීම නිසා, පිළිකා වර්ග ගණනාවකින් ආරක්‌ෂා වීමට හැකි බවයි.

පසුගිය කාලය තුළ දී විවිධ ආහාරවල හමු වන පළිබෝධනාශක ශේෂ ප්‍රමාණය පිළිබඳ ව ඇමෙරිකාවේ සිදු කර ඇති අධ්‍යයනවලින් කාබනික ආහාරවල දැකිය හැකි පළිබෝධනාශක ශේෂ ප්‍රමාණය අඩු බව හෙළි වී ඇත. ඒ එසේ නො වන සාමාන්‍ය ආහාරවලට සාපේක්‌ෂ ව ය. එසේ ම ඇමෙරිකාවේ සිදු කරන ලද අධ්‍යයනවලින් මින් පෙර අනාවරණය වී ඇත්තේ සාමාන්‍ය ආහාර පරිභෝජනය කරන්නවුන්ට වඩා කාබනික ආහාර පරිභෝජනය කරන්නවුන්ගේ මුත්‍රවල දැකිය හැකි පළිබෝධනාශක ප්‍රමාණය ද අඩු වන බවයි. කෙසේ වෙතත් එම අධ්‍යයන මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ඕගනෝපොස්‌පේට කාණ්‌ඩයේ පළිබෝධනාශකවලට නිරාවරණය වීම සම්බන්ධ ව ය. එසේ ම පයිරත්‍රොයිඩවලට නිරාවරණය වීම සම්බන්ධව ද අඩුවෙන් වුව ද අධ්‍යයන සිදු කර ඇත.

අලුත් අධ්‍යයනයේ පසුබිම


උක්‌ත තත්ත්වය සැලකිල්ලට ගෙන සිදු කර ඇති අප මාතෘකා කරගන්නා පර්යේෂණයේ දී සිදු කර ඇත්තේ තෝරාගත් පවුල් හතරක සාමාජිකයන් ලබාගන්නා ආහාරය අනුව ඔවුන්ගේ මුත්‍රවල පළිබෝධනාශක ශේෂ හමු වන ප්‍රමාණය පිළිබඳ ව විමසා බැලීමයි. ඒ සඳහා යොදාගත් පවුල් 4 ජනවාර්ගික වශයෙන් පමණක්‌ නො ව භූගෝල විද්‍යාත්මක වශයෙන් එකිනෙකට වෙනස්‌ වූ ප්‍රදේශවල ජීවත් වන පවුල් විය. එක්‌ පවුලක සාමාජික සංඛ්‍යාව 3 - 5 අතර ප්‍රමාණයක්‌ විය. ඔවුන් තෝරාගැනීමේ දී සලකා බලා ඇති කරුණු අතර ඔවුන් සාමාන්‍යයෙන් කාබනික ආහාර පරිභෝජනය නො කරන්නවුන් වීම හා ඔවුන්ගේ ආහාරය දින හයක කාලයක්‌ සඳහා වෙනස්‌ කිරීමට ඇති කැමැත්ත ද වෙයි. ඒ අනුව වයස අවුරුදු 36 - 52 අතර වැඩිහිටියන් හත් දෙනකු හා වයස අවුරුදු 4 - 15 අතර ළමයින් නව දෙනකු මේ අධ්‍යයනයට සම්බන්ධ වී ඇත.

අධ්‍යයන දත්ත ලබාගැනීම දින 12ක කාලයක්‌ තිස්‌සේ සිදු කර ඇත. එම පළමු දින පහක කාලයේ එම පවුල්වල සාමාජිකයන් ආහාරයට ගත්තේ ඔවුන් සාමාන්‍යයෙන් එදිනෙදා ආහාරයට ගන්නා කාබනික නො වන නිෂ්පාදන ඇතුළත් ආහාර ය. ඊළඟ දින හයක කාලයේ දී ඔවුන් ආහාරයට ගත්තේ කාබනික ආහාර පමණකි. නිවස, සේවා ස්‌ථානය, පාසල ආදි සියලු ස්‌ථානවල දී ඔවුන්ට සහතික කළ කාබනික ආහාර ලබා දෙන ලදි. එයට සියලු ම වර්ගවල ආහාර ඇතුළත් විය. එය ලබා දෙන ලද්දේ ඔවුන්ට අවශ්‍ය ආහාර පාන පිළිබඳ ලේඛනයක්‌ ලබාගෙන එම ආහාර ද්‍රව්‍ය Rජු ව ම අදාළ පවුල්වලට ලබා දීමෙන් හා කාබනික ආහාරවලින් සමන්විත රාත්‍රී ආහාර වේලක්‌ එවැනි ආහාර සකසන ස්‌ථානවලින් නිවාසවලට සැපයීමෙනි. කාබනික ආහාර වර්ග සපයන ලද දින හයක කාලයේ දී ඒවා අදාළ පවුල්වලට ලබා දී ඇත්තේ නොමිලේ ය.

අධ්‍යයනය පුරා ම දිනපතා ඔවුන්ගේ මුත්‍ර සාම්පල ලබාගන්නා ලද අතර එසේ ලබාගත් සාම්පල 158ක්‌ පර්යේෂණාගාරවලට ගෙනැවිත් පළිබෝධනාශකවලට සහ පළිබෝධනාශක ශරීරයේ දී බිඳ වැටීමේ දී ඇති වන පරිවෘත්තිජ (metabolite) රසායන ද්‍රව්‍ය සඳහා පරීක්‌ෂා කරන ලදි.

පළිබෝධනාශක සඳහා පරීක්‌ෂාව


ඒ අදාළ පළිබෝධනාශක හෝ ඒවා ශරීරගත වීමෙන් පසු නිපදවෙන පරිවෘත්තිජ රසායනික ද්‍රව්‍ය දහ සයක්‌ පරීක්‌ෂා කිරීමෙනි. එහි දී අවධානයට ලක්‌ කර ඇති පළිබෝධනාශක අතර ඕගනෝපොස්‌පේට (ක්‌ලෝර්පයිරිපොස්‌, මැලතියන් හා වෙනත් පළිබෝධනාශක ගණනාවකි) අදාළ ව රසායනික ද්‍රව්‍ය කාණ්‌ඩ පහක්‌ සඳහා පරීක්‌ෂා කර ඇත), පයිරත්‍රොයිඩ (රසායන ද්‍රව්‍ය හතරක්‌ පරීක්‌ෂා කර ඇත), නියෝනිකොටිනොයිඩ (පළිබෝධනාශක දෙකක්‌ සඳහා පරීක්‌ෂා කර ඇත), දිලීරනාශක (තුනක්‌ සඳහා පරීක්‌ෂා කර ඇත) හා එක්‌ වල් පැළෑටිනාශකයක්‌ පිළිබඳ ව අවධානය යොමු කර ඇත. එමඟින් විවිධ රසායන ද්‍රව්‍ය 40කට නිරාවරණය වීම නිරූපණය කරයි. එසේ පරීක්‌ෂා කළ යුතු පළිබෝධනාශක රසායනික ද්‍රව්‍ය මොනවා ද යන්න තීරණය කර ඇත්තේ ඒවා ඇමෙරිකාවේ භාවිත කරන ප්‍රමාණය හා ආහාරවලින් ඒවා හමු ව ඇති සුලබතාව අනුව ය. ඒවා හඳුනාගැනීම සඳහා නවීන තාක්‌ෂණික ක්‍රම යොදාගෙන තිබෙයි. මෙතෙක්‌ වැඩි අධ්‍යයන ගණනක්‌ සිදු ව ඇති ඕගනෝපොස්‌පේටවලට අමතර ව ඉහත සඳහන් සෙසු රසායනික පළිබෝධනාශක ඇමෙරිකාවේ ද වෙනත් රටවල ද භාවිතය ඉහළ යමින් පවතී.

එහි දී ලැබුණු ප්‍රතිඵලය සුවිශේෂී වූවකි. අධ්‍යයනයට සම්බන්ධ වූ පවුල්වල සියලු ම සාමාජිකයන් ඔවුන්ට හුරුපුරුදු සාමාන්‍ය ආහාර ගත් කාලයේ දී ඔවුන්ගේ මුත්‍රවල මේ රසායන ද්‍රව්‍ය මැනිය හැකි ප්‍රමාණවලින් හමු විය. කාබනික ආහාර වේලකට ඔවුන් පිවිසි පසුව ඔවුන්ගේ මුත්‍රවල හමු වන එම රසායන ද්‍රව්‍ය ප්‍රමාණයේ කැපී පෙනෙන අඩු වීමක්‌ දැකිය හැකි විය. පරීක්‌ෂා කළ එක්‌ රසායන ද්‍රව්‍යයක්‌ හැර අනෙක්‌ සියලු රසායන ද්‍රව්‍යවල කැපී පෙනෙන අඩු වීමක්‌ කාබනික ආහාරවලට මාරු වීමෙන් පසුව ඇති වී තිබෙයි.

ඇතැම් රසායන ද්‍රව්‍ය හමු වූ ප්‍රමාණය ඉතා ම කැපී පෙනෙන ආකාරයකින් අඩු වී තිබීම ද මෙහි ඇති විශේෂ සිදුවීමකි. නිදසුනක්‌ ලෙස ගත හොත් එම පුද්ගලයන්ගේ මුත්‍රාවල ඕගනෝපොස්‌පේටයක්‌ වන මැලතියන් මඟින් ඇති වන මැලතියන් ඩයිකාබොක්‌සිලික්‌ අම්ලය හමු වන ප්‍රමාණය කාබනික ආහාර ගන්නා විට 95%කින් පමණ අඩු විය. මෑතක සිට ජනප්‍රිය වී ඇති නියෝනිකොටිනොයිඩ කාණ්‌ඩයට අයත් ක්‌ලොතිඇනිඩින් ප්‍රමාණය 82%ක්‌ තරම් ප්‍රමාණයකින් අඩු වී ඇත. තවත් ඕගනෝපොස්‌පේටයක්‌ වන ක්‌ලෝර්පයිරිපොස්‌වලින් ජනනය වන රසායන ද්‍රව්‍යයක්‌ වන 3, 5, 6 - ට්‍රයික්‌ලෝරො - 2 -පිරිඩිනොල් හමු වීම ද කාබනික ආහාරවලට මාරු වීමෙන් පසුව 60%කින් පමණ අඩු වී ඇත.


වෙනත් කරුණු


මේ අධ්‍යයනයේ දී යොදාගත් නියෑදිය කුඩා වීම ඇතැම් විට විවේචනයට ලක්‌ විය හැකි කරුණකි. එහෙත් එහි දී මුත්‍ර නියෑදි සැලකිය යුතු ප්‍රමාණයක්‌ පරීක්‌ෂා කර ඇත. එසේ ම අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන සමාලෝචනයකට ලක්‌ කළ පර්යේෂණ පත්‍රිකාවක්‌ බැවින් එහි විද්‍යාත්මක බව පිළිබඳ ගැටලුවක්‌ ඇතිs බවක්‌ නො පෙනේ. අනෙක්‌ අතට එම අධ්‍යයනයට ලක්‌ කළ පිරිස නිවසින් පිටත දී පළිබෝධනාශකවලට නිරාවරණය වන්නේ ද යන්න ගැන ලැබුණු තොරතුරු ප්‍රමාණවත් නො වන බව පර්යේෂකයන්ගේ අදහස වෙයි.

මේ සියලු කරුණු ගැන අවධානය යොමු කරන පර්යේෂකයන් පවසන්නේ කාබනික ආහාර ගැනීමට යොමු වීමෙන් මිනිසුන්ගේ මුත්‍රවල හමු වන පළිබෝධනාශක ප්‍රමාණය කැපී පෙනෙන අයුරින් අඩු වන බවයි. එනම්, කාබනික ආහාර හඳුන්වා දීමෙන් පසු ආහාර මඟින් පළිබෝධනාශකවලට නිරාවරණය වීම අඩු වූ බවයි. කෙසේ වෙතත්, අද වන විට ලෝකයේ ඉතා පුළුල් ලෙස භාවිත වන විනාශකාරී කාණ්‌ඩයක්‌ වන නියෝනිකොටිනොයිඩ කාණ්‌ඩයේ රසායන ද්‍රව්‍යවලට ආහාර හරහා නිරාවරණය වීම පිළිබඳ ව තක්‌සේරු කිරීමට තවදුරටත් අධ්‍යයන අවශ්‍ය වන බව ද මෙහි දී පර්යේෂකයෝ පෙන්වා දෙති.

මූලාශ්‍රය : Environmental Research, DOI: 10.1016/j.envres.2019.01.024

ඇමරිකාවේ ස්වදේශික ජනතාව මියයෑම කුඩා අයිස් යුගයට හේතු වූ හැටි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 06.02.2019, පි. 13 (Vidusara)

Not available on Online version



මිනිසුන්ගේ කටයුතුවල බලපෑමෙන් ලෝක දේශගුණයේ වෙනස් වීම ආරම්භ වන්නේ කාර්මික විප්ලවයෙන් පසුව බව සාමාන්‍ය පිළිගැනීමයි. අද අප දකින දේශගුණ වෙනස් වීම කාර්මික විප්ලවයෙන් පසුව ඉහළ ගිය හරිතාගාර වායු විමෝචන නිසා ඇති වීම මෙයට හේතුවයි. එහෙත් පසුගියදා ප‍්‍රකාශයට පත් අධ්‍යයනයකට අනුව, මිනිසුන්ගේ කටයුතු නිසා දේශගුණයේ වෙනස් වීම් සිදුකිරීම ආරම්භ වී ඇත්තේ යුරෝපීයයන් විසින් ඇමරිකානු මහාද්වීප යටත් කරගනිමින් ජනපදකරණය සිදුකිරීමත් සම`ගය.

එයින් අනාවරණය වන පරිදි යුරෝපීයයන්ගේ පැමිණි පසුව උතුරු හා දකුණු ඇමරිකා මහාද්වීපවල වාසය කළ ස්වදේශික ජනගහනය විශාල ලෙස අඩු වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම මහාද්වීපවල අත්හැර දමන ලද ගොවිබිම් වනගත විය. එම වනාන්තර වර්ධනය සඳහා වායුගෝලයේ තිබූ කාබන් ඩයොක්සයිඞ් වායුව අවශෝෂණය කරගන්නා ලදි. ඒ තත්ත්වය 16 වන සියවස අවසානයේ හා 17වන සියවස මුලදී ලෝකයේ උෂ්ණත්වයේ වාර්තා වී ඇති අඩුවීමට බලපෑ එක් හේතුවක් බව මෙම පර්යේෂණයෙන් යෝජනා කර තිබෙයි.


කුඩා අයිස් යුගය


‘කුඩා අයිස් යුගය’ (Little Ice Age) ලෙස හඳුන්වන්නේ 1500 ගණන්වල අග හා 1600 ගණන්වල මුලදී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය මදක් අඩු වීම නිසා ඇති වූ ශීත දේශගුණික ස්වභාවයයි. ඓතිහාසික වාර්තා අනුව එය යුරෝපයේ ප‍්‍රදේශ ගණනාවකින් වාර්තා වෙයි. ලන්ඩනයේ තේම්ස් නදියේ අයිස් මිදීම සෑම වර්ෂයකදීම පාහේ සිදුවීම එක් කැපීපෙනෙන සිදුවීමකි. එසේම පෘතුගාලයේ හිම කුණාටු වඩාත්ම සුලභ වූයේද එකලය. කෘෂිකර්මයට බාධා ඇතිවීම නිසා ඇතිවූ සාගත තත්ත්ව බොහෝ යුරෝපීය රටවල දැකිය හැකි විය.

එකල වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද‍්‍රණය මිලියනයකට කොටස් 7-10 අතර ප‍්‍රමාණයකින් අඩු වූ බව විද්‍යාත්මක දත්ත අනුව පෙනෙයි. ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් ලබාගන්නා ලද අයිස් මදවලින් මේ සඳහා සාධක ලැබෙයි. එම අයිස් මදවල සිරවී ඇති වායු බුබුළුවල ඇතුළත් වායු සංයුතිය අනුව, එකල කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණයේ යම් පැහැදිලි අඩුවීමක් දැකිය හැකිය. මෙම විමෝචන අඩුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.15කින් පමණ පහළ ගොස් ඇත. එම විමෝචන අඩුවීම සැලකිය යුතු අගයක් වන නමුත් වර්තමාන විමෝචන වර්ධනය හා සංසන්දනය කරන විට කුඩා අගයකි. අද වන විට එක් වර්ෂයකදී ඉහළ යන කාබන්ඩයොක්සයිඞ් සාන්ද්‍රණය මිලියනයකට කොටස් 3ක් පමණ වෙයි.

මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු ගණනාවක ප‍්‍රතිඵලයක් ලෙස දක්වා ඇත. ඒ අතර විශාල ගිනි කඳු පිපිරීම් සමූහයක් ඇති වීම, සූර්යයාගේ ක‍්‍රියාකාරීත්වයේ තාවකාලිකව මන්දගාමී බවක් ඇති වීම යන කරුණු ඒ අතර වෙයි. මෙම ස්වාභාවික ක‍්‍රියාවලි නිසා උෂ්ණත්වය අඩු වී යම් සිසිල් වීමක් අඩුවී ඇති විය හැකි නමුත්, එවැනි ස්වාභාවික සංසිද්ධි නිසා සිදු විය හැකි බව පැහැදිලි කරන උෂ්ණත්වය අඩු වීම මෙන් දෙගුණයක පමණ සිසිල් වීමක් මේ කාලයේදී සිදුවී ඇත. ඒ අනුව ඊට බලපෑ සාධක මොනවාද යන්න පිළිබඳව අලූත් පැහැදිලි කිරීමක් මෙම නව පර්යේෂණයෙන් ලැබෙයි.


ඇමරිකා මහාද්වීපවල සිදු වූ ‘මහා මියයෑම’


පසුකලෙක ඇමරිකානු මහාද්වීප ලෙස නම් කරනු ලැබූ ප‍්‍රදේශයට 1492 වර්ෂයේදී යුරෝපීයයන් පැමිණීමත් සමග එහි විශාල වෙනස්කම් සිදු විය. ඒ ‘නව ලෝකය’ ලෙසද හඳුන්වන ලද එම ප‍්‍රදේශ යුරෝපීයයන් විසින් ජනපදකරණය කිරීමත් සම`ගය.

යුරෝපීයයන්ගේ පැමිණීමෙන් පසු එළැඹි දශක කිහිපයක කාලයේදී ඇමරිකානු මහාද්වීපවල ජීවත් වූ ස්වදේශිකයන් අතිවිශාල පිරිසක් මරුමුවට පත් ව තිබේ. ‘මහා මියයාම’ (Great Dying) ලෙස හඳුන්වා ඇති මේ සඳහා විවිධ හේතු බලපා ඇත. යුරෝපයෙන් පැමිණි ආගන්තුක රෝග ව්‍යාප්ත වීම (වසූරිය, සරම්ප ආදි), සටන් සංග‍්‍රාම, වහලූන් ලෙස අල්ලා ගැනීම හා සමාජයේ සිදුවූ බිඳ වැටීම වැනි හේතු මේ අතර වෙයි. මෙය මහා ඝාතනයක් ලෙසද සැලකේ.

යුරෝපීයයන් ඇමරිකානු මහාද්වීපවලට පැමිණීමට පෙර, ඒවායේ විසූ ස්වදේශික ජනගහනය කෙතරම්ද යන්න මෙම අධ්‍යයනය සඳහා පර්යේෂකයන් විසින්ගණනය කර ඇත. එම මහාද්වීපවල විවිධ ප‍්‍රදේශවල අතීත ජනගහනය පිළිබඳව සිදුකර ඇති අධ්‍යයන 119ක් යොදාගනිමින් උතුරු හා දකුණු මහාද්වීපවල ජනගහනය අනුමාන කර තිබෙයි. ඒ අනුව මිලියන 60.5ක සාමාන්‍ය ජනගහනයක් 15වන සියවස අවසන්වන විට ඇමරිකානු මහාද්වීපවල විසූ බව දක්වා ඇත. (එහි අවම අගය මිලියන 44.8ක්ද උපරිම අගය මිලියන 78.2ක්ද වෙයි*. එම අගය එවකට ලෝකයේ විසූ ජනගහනයෙන් සියයට දහයක් පමණ වේ.

ඉහත කී විවිධ සාධකවල බලපෑම නිසා 1600 පමණ වන විට එම මහද්වීපවල විසූ ස්වදේශික ජනගහනය මිලියන 5-6 තරම් දක්වා අඩු විය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, ස්වදේශික ජනගහනය මිලියන 56කින් පමණ හෙවත් 90%කින් පමණ අඩු වී තිබෙයි. මෙය අතිවිශාල ජනගහන අඩුවීමකි.


වගා බිම් වනගත වීම හා විමෝචන අඩු වීම


මේ අයුරින් ජනගහනය අඩු වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ස්වදේශිකයන් විසින් වගා කරන ලද අතිවිශාල කෘෂි බිම් ප‍්‍රමාණයක් අත්හැර දමන ලදි. ඒවායේ වේගයෙන් වැවෙන ශාක සහ වෙනත් වෘක්ෂලතා වර්ධනය විය. ඒ අනුව වගා බිම් වනාන්තර සහ සැවනා බිම් වැනි වෙනත් වෘක්ෂලතා බිම් බවට ක‍්‍රමයෙන් පරිවර්තනය වී ඇත. යුරෝපීයයන්ගේ පැමිණීමට පෙර පැවති ස්වදේශික ශිෂ්ටාචාර යටතේ වගා කරන ලද භූමි ප‍්‍රමාණය පර්යේෂකයන් විසින් ගණන් බලා ඇත. එහි ඒක පුද්ගල සාමාන්‍යය හෙක්ටාර 1.04ක් පමණ වෙයි. මේ අනුව ජනගහනය අඩු වීම හා සම`ග භාවිත කිරීම අත්හරින ලද භූමි ප‍්‍රමාණය හෙක්ටයාර මිලියන 55.8ක් පමණ වෙයි. සංසන්දනාත්මකව ගතහොත් එය නූතන ප‍්‍රංශයේ භූමි ප‍්‍රමාණයට ආසන්න වශයෙන් සමානය.

කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචනය පිළිබඳව මෙම වෙනස්කම් අ`ගුරු පිළිබඳ සහ වාර්තා සහ ඇමරිකාවෙන් සොයාගත් පරාග තැන්පතුවලින් ද පැහැදිලි වෙයි. මධ්‍යම ඇමරිකානු කෘෂිකර්මයේදී මෙවලමක් ලෙස ගිනිතැබීම යොදාගත් බව අ`ගුරු හමුවීමෙන් පැහැදිලිය. එහෙත් අ`ගුරු හමුවීම අඩුවීම සම`ග ගොවිබිම් සැකසීමේදී ගිනිතැබීම් යොදා ගැනීම අඩු වී ඇති බවත් එ් සඳහා ජනගහනය අඩුවීමද හේතු ඇති බව සමහර ස්ථාන ආශ‍්‍රිත අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත. එසේම තැන්පතුවලින් හමුවන පරාග වර්ග අනුව අදාළ කාලයේදී වගා කරන ලද්දේද නැතහොත් වගාබිම් වනගත වීද යන්න හෙළි වෙයි. එවැනි අධ්‍යයන සිදු කළ ස්ථාන අතරින් අඩක පමණ පෙනී ගොස් ඇත්තේ ගොවිබිම්වල වනාන්තර බවට පරිවර්තනය වූ බවකි.

මෙසේ වනාන්තර වර්ධනය වීමත් සම`ග වායුගෝලීය කාබන් ඩයොක්සයිඞ් වායුවෙන් විශාල ප‍්‍රමාණයක් එම ශාක මගින් අවශෝෂණය කරගෙන තිබෙයි. මෙම අධ්‍යයනයේදී ගණනය කර දක්වා ඇති ආකාරයට, කාබන් පීකො ග‍්‍රෑම් 7.4ක් පමණ ප‍්‍රමාණයක් මෙම වනාන්තර මගින් අවශෝෂණය කර ඇත. මෙසේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් මට්ටම මිලියනයකට කොටස් 3.5කින් පමණ අඩු වීම 1500-1600 පමණ කාලයේ ලෝකයේ උෂ්ණත්වය අඩු වීමට එක් සාධකයක්වූ බව මෙම පර්යේෂකයන්ගේ අදහසයි.


මිනිසුන් දේශගුණය වෙනස් කළ දිනය පැරණියි


මිනිසුන් විසින් දේශගුණයට සිදුකරන බලපෑම කාර්මික විප්ලවයෙන් පසු යුගයේ ඇති වූ බව මෙතෙක් වැඩි පිළිගැනීමකට ලක්ව තිබූ මතය විය. එහෙත් උක්ත අධ්‍යයනයෙන් පැහැදිලි වන කරුණක් වන්නේ මානව ක‍්‍රියාකාරකම් දේශගුණ වෙනස් වීමට බලපෑමක් කර ඇත්තේ ඉන් පෙර කාලයේ දී සිට බවයි.

එමෙන්ම Anthropocene හෙවත් මානව යුගය යනුවෙන් මේ වන විට යෝජනා වී ඇති නව භූගෝලීය යුගයේ ආරම්භය ලෙස සැලකිය හැක්කේ කුමන කාලයක සිටද යන්න ගැන ඇති අවශ්‍ය භෞතික සාධක ගැන ඇත්තේ මදභේදයකි. මෙම අධ්‍යයනයෙන් එ් සඳහාද නව අදහසක් එක් කර ඇත. ඇතැම් කණ්ඩායම් පවසන්නේ 1950 දශකයෙන් පසු එළැඹුණු කාර්මික නිෂ්පාදන කටයුතු වඩාත් වේගවත් වූ යුගයේ සිට සිදුව ඇති තැන්පතුවල මේ පිළිබඳ පැහැදිලි සාධක ඇති බවයි. එහෙත් කාර්මික විප්ලවයට සියවස් දෙකකට පමණ ඉහතදී පවා මිනිසුන්ගේ කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස ගෝලීය වූ වෙනසක් ලෝකයේ ඇති වී තිබෙන බවට භෞතික සාධක අප මාතෘකා කරගත් අධ්‍යයනයෙන් ලැබෙයි.

එමෙන්ම මෙම අධ්‍යයනයෙන් තවත් වැදගත් කරුණක් පිළිබඳවද ආලෝකයක් සපයයි. ඒ වර්තමාන දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා විසඳුමක් ලෙස ඉදිරිපත් වී ඇති වනාන්තර වගාව සම්බන්ධවයි. මේ අධ්‍යයනයට අනුව ප‍්‍රංශය තරම් විශාල භූමි ප‍්‍රදේශයක වනාන්තර වර්ධනය වීමෙන් වායුගෝලීය කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය අඩු වී ඇත්තේ සුළු ප‍්‍රමාණයකිනි. ඒ අනුව වනවගාවෙන් කාබන් ඩයොක්සයිඞ් විමෝචන ඉවත් කළ හැකි වුවත් ඒ සඳහා ඉතා විශාල ප‍්‍රමාණයකින් වනවගා කිරීම සිදු කළ යුතු බවක් පෙනෙයි. සමස්තයක් ලෙස කුඩා අයිස් යුගයේදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය මිලිනයකට කොටස් 7-10 පමණ ප‍්‍රමාණයකින් අඩු විය. ඉන් කොටස් 3ක් අඩු වූයේ ඉහත සඳහන් කළ ඇමරිකාවේ සිදු වූ ගොවිබිම් වනගත වීමෙනි. එහෙත් වර්තමාන ලෝකයේ කාබන් ඩයොක්සයිඞ් වායු සාන්ද්‍රණය එක් වසරකදී මිලියනයකට කොටස් 3කින් පමණ ඉහළ යයි.

මූලාශ‍්‍රය: Quaternary Science Reviews, DOI: 10.1016/j.quascirev.2018.12.004

Sunday, February 24, 2019

රැකගත යුතු ඓතිහාසික වීදි ලාම්පු කණු

ධනේෂ් විසුම්පෙරුම


දිවයින, 24.02.2019, විශේෂාංග පිටුව. IX (Divaina)

http://divaina.com/sunday/index.php/visheshanga2/8490-03-78?fbclid=IwAR3Ld0id1sfsjBEVxJour_-uHqgqdkGCjx8wUXoNwuhiaz523Xy1q0XKerc



සති කීපයකට පෙර සිදු වූ මාර්ග අනතුරු දෙකකින් මෙරට නගර දෙකක පිහිටා තිබූ ඓතිහාසික වටිනාකමක් ඇති විසිතුරු වීදි ලාම්පු කණු දෙකකට බරපතළ හානි සිදුවිය. ඉන් එකක් පිහිටියේ මාතලේ නගරයේ වන අතර අනෙක පිහිටා ඇත්තේ පාදුක්ක නගරයේය.

එම ලාම්පු කණු ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍යයට යටත්ව තිබූ කාලයේ සිදු වූ වැදගත් සිදුවීම් දෙකක් සිහිපත් කිරීමේ අරමුණ ඇතිව පිහිටුවන ලද සමරු ලාම්පු කණු දෙකකි. එබැවින් ඒවාට ඓතිහාසික වැදගත්කමක් ඇත.

මාතලේ වික්ටෝරියා ජුබිලි ලාම්පුව


මාතලේ නගර ශාලාව අසල පිහිටි අනතුරට ලක්වූ ලාම්පු කණුව ඉදිකරන ලද්දේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කිරුළ දැරූ වික්ටෝරියා රැජින රාජප‍්‍රාප්තියට පැමිණ වසර 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි. ඒ 1897 වර්ෂයේදීය. 1837 දී සිදුවූ ඇයගේ රාජ්‍යත්වයට පැමිණීමේ 50 වැනි සංවත්සරය 1887දී ද 60 වැනි සංවත්සරය 1897 වර්ෂයේදී ද උත්සවාකාරයෙන් සමරා ඇත. ඒ සඳහා වූ ජුබිලි උත්සව එවකට බි‍්‍රතාන්‍යයේ යටත්විජිත වූ ලංකාව ද ඇතුළු රටවල් ගණනාවක පැවතියේය.

ඒ වෙනුවෙන් වූ උත්සව ගණනාවක් මෙරට විවිධ නගරවල පවත්වා ඇත. මාතලේ නගරයේ පැවැති ජුබිලි උත්සවය සඳහා අවශ්‍ය වියදම සපයා ගන්නා ලද්දේ පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කිරීමෙනි. උත්සවයට එකතු කළ මුදල් වැය කර ඉතිරි වූ මුදල ද යෙදවීමෙන් මෙම ලාම්පුව ඉදිකරන ලද්දේ 1897 වර්ෂයේ දී බව වාර්තාවල සඳහන් වේ. එම ලාම්පුව සවිකර ඇති පාදස්ථයේ Victoria 1837-1897 යන වදන් පෙළ දැක ගත හැකිය.


පාදුක්කේ පිහිටි සාම සමරු ලාම්පුව


පාදුක්ක නගරයේ පිහිටි ලාම්පු කණුව 1919 වර්ෂයේ දී පිහිටවූවකි. එමගින් සමරනු ලබන්නේ පළමු ලෝක මහා සංග‍්‍රාමය අවසානයේ දී 1919 වර්ෂයේ ජුලි මස සාම ගිවිසුමකට එළැඹීමය. පාදස්ථ පුවරුවේ සඳහන්වන අන්දමට එය ඉදිකර ඇත්තේ සාම අනුස්මරණ කමිටුව (The Peace Memorial Committee) විසිනි.

1914 දී ආරම්භ වී 1918 වර්ෂයේ දී අවසන් වූ පළමු ලෝක මහා සංග‍්‍රාමයේ දී ජර්මනිය ප‍්‍රමුඛ මධ්‍යම බලවතුන්ට එරෙහිව මිත‍්‍ර බලවතුන් සටන් කරන ලදි. එවකට මෙරට පාලනය කළ බි‍්‍රතාන්‍යය මිත‍්‍ර බලවතුන් අතර ප‍්‍රමුඛ රටක් විය. මෙරට සේවය කළ බි‍්‍රතාන්‍ය ජාතිකයන් විශාල පිරිසක්ද ස්වදේශිකයන් පිරිසක්ද බි‍්‍රතාන්‍ය හමුදාවට බැඳී සටන්බිමට ගියහ. ඉන් හාරසිය හතළිහකට අධික පිරිසක් එහිදී මිය ගියහ. එසේම යුද්ධය මෙරට ආර්ථිකයට ද යම් බලපෑමක් සිදුකළේය.

එබැවින් 1918 නොවැම්බර් මාසයේ ඇති වූ සටන් විරාමය හා 1919 ජුලි මාසයේ දී අත්සන් කළ සාම ගිවිසුම සැමරිය යුතු සිදුවීමක් විය. ඒ සඳහා වූ සමරු උත්සව ලංකාවේද පවත්වා ඇත. ඉන්පසු ඉදි වූ යුද ස්මාරක මෙන්ම සාම සමරු ස්මාරක ද මෙරට දැකිය හැකිය. වැවිලි ආර්ථිකය තුළ එවකට වැදගත් මධ්‍යස්ථානයක් වූ පාදුක්ක නගරයේ ද සෙසු නගරවල මෙන්ම සමාජයීය වශයෙන් වැදගත් උත්සව අවස්ථා සමරා ඇත. යුද්ධයේ අවසානය සමරා උක්ත ලාම්පු කණුව එවැනි සාම සමරු ස්මාරකයකි. 

     


මේ ස්මාරකවල ආරක්ෂාව


චීනච්චට්ටි ලෝහයෙන් කළ මෙම කණු, ශිලාමය පාදස්ථයක් මත ඉදිකර ඇත. ඒවායේ ඉහළින් පිහිටි ලාම්පු සහිත කණු කොටස් අනතුරුවලින් බිඳී ගොසිනි. මේ ලාම්පු කණු කොටස් නැවත ප‍්‍රතිසංස්කරණය කළ හැකි යැයි අපි සිතමු. කෙසේ වෙතත් නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වුවද මෙවැනි අනතුරකට යළිත් ලක් වීමේ අවදානමක් නැතිවා නොවේ.

එයට හේතුව එම ලාම්පු කණු දෙකම පිහිටා ඇත්තේ ප‍්‍රධාන මාර්ගවල මංසන්ධිවල වීමය. මේ වනවිට එම කණු පිහිටා ඇත්තේ පාර මධ්‍යයේය. ඒවා වටා වටරවුමක් හෝ වෙනත් එවැනි ආරක්ෂිත ප‍්‍රදේශයක් නැත. ඒනිසා මෙම සිහිවටන කණු දෙකම යළිත් අනතුරුවලට ලක්වීමේ අවදානමක පවති. (මාතලේ නගරයේ ්-9 මාර්ගය අසල වටරවුමක පිහිටි වෙනත් ලාම්පු කණුවක් වටරවුමක් මැද පිහිටි ආරක්ෂිත ලාම්පු කණුවකට නිදසුනකි. එය 1920 දශකයේ ඉදිකරන ලද්දකි.*

ඒනිසා මහාමාර්ග මැද හෝ ආසන්නයේ ඇති සිහිවටනවල අනාගතය යළිත් සලකා බැලිය යුතු බව පෙනේ. අතීතයේදී ඒවා මුලින්ම පිහිටුවන ලද දැනටත් ඇති ස්ථානවලම මෙම සිහිවටන ආරක්ෂිතව පවත්වා ගැනීමට හැකි නම් එයට ප‍්‍රමුඛතාවය හිමිවිය යුතු බවට සැකයක් නැත. එහෙත් මාර්ග පුළුල් කිරීම හා රථවාහන ධාවනයෙන් ඇතිවිය හැකි අනතුරුවලට ලක්වීමේ අවදානමක්වේ නම් ඒ ගැන නැවත සිතා බැලිය යුතු වේ.

එවැනි අවස්ථාවකදී ස්මාරක එම ස්ථානයෙන් ඉවත් කොට වඩාත් ආරක්ෂිත සහ වඩාත් සුදුසු ස්ථානයක එම සිහිවටන නැවත ස්ථාපිත කිරීම යෝග්‍යය. නිදසුනක් ලෙස ගතහොත් උක්ත ලාම්පු කණු සඳහා ප‍්‍රමාණවත් අවකාශයක් ඇති ස්ථාන මෙම නගරවල සොයාගත හැකි බවට සැකයක් නැත. එවැනි තැනක අදාළ ස්මාරකයේ අතීතය පිළිබඳ සටහනක් සහිතව නැවත ස්ථාපිත කිරීම කළ හැකිය.

යටත්විජිත සමය සිහිපත් කරන සිහිවටන බව සත්‍යයක් වුවද මෙම ලාම්පු කණු දැන් මෙරට ඉතිහාසයට අයත් සිහිවටන වේ. එබැවින් මෙම ලාම්පු කණු ප‍්‍රතිසංස්කරණය කර ආරක්ෂා කරගැනීම සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි සිතමු.

ඡායාරූප - භූෂණ කල්හාර හා බන්දුල සිසිර කුමාර

Wednesday, February 20, 2019

ඒ කියන්නෙ තුන පහු වෙලාද? (බස් කථා 9)

​ගෙවල් ළඟින් බසයකට නැග දොර අසලම අසුනේ හිඳගතිමි

"වෙලාව කීයද?" එහා පැත්තේ හිඳ සිටි තරුණිය විමසුවාය.

"හතරයි" ඒ මගේ උත්තරය.

"ඒ කියන්නෙ තුන පහු වෙලාද?" ඇගෙන් තවත් පැනයක්. ඒ ප්‍රශ්නය නිසා මම ඇගේ මුහුණ බැලුවේ 3 හා 4 තේරුම්ගත නොහැකි කෙනා බලන්නටය.

ඒ සිතිවිල්ල ගැන මට සැණෙකින් කණගාටුවක් ඇතිවිය. ඈ බුද්ධි වර්ධනයේ ගැටලු සහිත තරුණියකි. මේ මාර්ගයේ එවැනි ළමුන් හා තරුණ තරුණියන් යනු නිතර මම දැක ඇත්තෙමි. එවැනි අය සඳහා වූ පාසලක් අවට තැනක ඇති බව නිලඇඳුම් ලාගත් ළමුන්ගෙන් පෙනිණි.

මේ අය ඇතැම් කරුණු වටහාගත නොහැකි අයයි. ඔවුන් බොහෝවිට ගමන් යන්නේ ඥාතියෙකු සමගය. මේ තරුණියද කිසිවෙකු හා පැමිණ ඇතිවා ද විය හැකිය.

මේ අප සමාජයේ වෙසෙන අපේ අවධානය හා සහාය අවශ්‍ය පිරිසකි.

Tuesday, February 5, 2019

දන්ත මැලියම්වලින් හෙළි වූ අත්පිටපත් තැනීම සඳහා කාන්තා දායකත්වය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 30.01.2019, පි. 10  (Vidusara)

http://www.vidusara.com/2019/01/30/feature4.html





මුද්‍රණ ශිල්පය නො පැවැති මධ්‍යතන යුරෝපයේ පොත්පත් සකස්‌ කරන ලද්දේ අතින් ලිවීමෙනි. වෙන වෙන ම සකස්‌ කරන ලද මේ ලේඛන නිර්මාණය කිරීම සඳහා අධික කාලයක්‌ මෙන් ම අධික මුදලක්‌ ද වැය වන්නට ඇත. එබැවින් පොත් දුර්ලභ දෙයක්‌ වූ අතර, මෙසේ නිපදවන ලද පොත් භාවිත කරන ලද්දේ ආගමික සංස්‌ථාවල සාමාජිකයන් හා ප්‍රභූවරුන් වැනි කණ්‌ඩායම් පමණකි. එමෙන් ම එම කෘති බොහෝ විට ආගමික ග්‍රන්ථ ද විය. බොහෝ විට විශ්වාස කරන ලද්දේ පොත් නිපදවීම සඳහා වැඩි දායකත්වයක්‌ ලබා දුන්නේ පිරිමින් බවයි.

කෙසේ වෙතත් මධ්‍යතන යුගයේ මෙවැනි අත්පිටපත් ලේඛන සකස්‌ කිරීමේ දී කාන්තාවන් ගෙන් ලැබුණු දායකත්වය පිළිබඳ ව පැහැදිලි කරන පර්යේෂණ වාර්තාවක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් විය. ඒ අනුව කාන්තාවන් ද මේ අත්පිටපත් ලේඛන සකස්‌ කිරීමේ දී සැලකිය යුතු දායකත්වයක්‌ ලබා දී ඇත. එමෙන් ම මේ පර්යේෂණය සඳහා යොදාගත් ද්‍රව්‍ය සහ ඒ සඳහා අනුගමනය කරන ලද ක්‍රමවේදය ද සුවිශේෂ වැදගත්කමක්‌ ගනියි.

දන්ත මැලියම්වල රැඳුණු නිල් පැහැයක්‌


මේ අධ්‍යයනය සඳහා පදනම වන්නේ ජර්මනියේ ඩැල්හෙයිම් (Dalheim) නම් ප්‍රදේශයේ පිහිටා තිබූ ආරාමයකි. එය පිළිබඳ ලිත සාධක ඇත්තේ අඩු වශයෙන් වන අතර, එම ස්‌ථානය පිළිබඳ ව කියෑවෙන පැරැණි ම ලේඛන, දහ තුන් වැනි සියවසට පමණ අයත් ය. එම ආරාමය ආරම්භ කළ දිනය පිළිබඳ පැහැදිලි සාධක නොමැති අතර, දහවැනි සියවසේ පමණ සිට එහි කාන්තාවන් සඳහා වෙන් වූ ආරාම සංකීර්ණයක්‌ පැවැති බව විශ්වාස කරනු ලැබේ.

මේ ආරාමයේ සුසාන භූමියෙහි වළ දමා තිබූ කාන්තා සිරුරු ගණනාවක්‌ කැණීම්වලින් සොයාගෙන ඇත. ඒ අතර එහි වූ එක්‌ කාන්තාවකගේ හිස්‌ කබලකින් මේ අධ්‍යයනයට වස්‌තු විෂය වූ සොයාගැනීම සිදු කිරීමට පුරාවිද්‍යාඥයන්ට හැකියාව ලැබිණ. පොදු වර්ෂ 1000 - 1200 අතර කාලයේ දී මිය ගිය බවට කාල නිර්ණය කර ඇති එම තැනැත්තිය ඒ වන විට වයස අවුරුදු 45 - 60 අතර කාන්තාවකි. පූජකවරියක බව සැලකෙන එම කාන්තාවගේ ඇටසැකිල්ලෙන් පෙනී ගිය ආකාරයට ඇය අස්‌ථි සම්බන්ධ රෝගාබාධ හෝ විෂබීජවලින් හෝ පීඩා විඳි බවක්‌ හෝ තුවාල හෝ දැකිය හැකි වී නැත. එම ඇටසැකිල්ලෙහි පැවැති විශේෂත්වය වූයේ ඇයගේ හිස්‌කබලේ යටි හනුවේ දත් අතර රැඳී තිබූ දන්ත මැලියම්වල කැල්සනීභූත ව තිබූ කිසියම් නිල් පැහැති ද්‍රව්‍යයකි.

එම දන්ත මැලියම් දිය කර හැරීමේ දී කුඩා නිල් පැහැති අංශු විශාල ප්‍රමාණයක්‌ නිදහස්‌ වී ඇත. විවිධ වූ වර්ණාවලීමාන (Spectrographic) ක්‍රම යොදාගනිමින් එම නිල් පැහැති ද්‍රව්‍යය කුමක්‌ දැයි හඳුනාගැනීමට පර්යේෂකයන් උත්සාහ කර තිබේ. ඒ අනුව අනාවරණය වී ඇත්තේ ඒවා ලැපිස්‌ ලසූලි (lapis lazuli) නම් ඛනිජමය ද්‍රව්‍යය බවයි.

දුර්ලභ හා මිලෙන් අධික ද්‍රව්‍යයක්‌ වූ ලැපිස්‌ ලසූලි පාෂාණය අතීතයේ සිට යොදාගන්නා ලද්දේ අල්ට්‍රාමරයින් (Ultramarine) ලෙස ද හඳුන්වන වර්ණකය තැනීම සඳහා ය. අතීතයේ සිට ලැපිස්‌ ලසූලි ලබාගන්නා ලද්දේ හා අදට ද වැඩි ම නිෂ්පාදනයක්‌ සිදු කරනු ලබන්නේ ඇෆ්ඝනිස්‌ථානයේ ය.

ලැපිස්‌ ලසූලි දත්වලට පැමිණියේ කෙසේ ද?


මෙහි දී ඇති වූ ගැටලුව වූයේ මේ කාන්තාවගේ දන්ත මැලියම්වල නිල් පැහැති වර්ණකය ලබා දුන් ලැපිස්‌ ලසූලි පැමිණියේ කෙසේ ද යන්නයි. වර්ණක සංයෝගය දත්වල පැතිරී තිබූ ආකාරය පිළිබඳ ව සැලකිල්ලට ගත් විද්‍යාඥයන් එවැන්නක්‌ සිදු විය හැකි විවිධ ආකාර පිළිබඳ ව අවධානය යොමු කළ අතර එවැනි විය හැකි එක්‌ සිදුවීමක්‌ හඳුනාගැනීමට හැකි විය.

ඔවුන් යෝජනා කරන පරිදි මේ කාන්තාව අදාළ වර්ණක යොදාගනිමින් චිත්‍ර අඳින්නට ඇති අතර එසේ චිත්‍ර අඳින අතරතුර තීන්ත සහිත බුරුසුව දිවෙන් ලෙවකෑම සිදු කර තිබේ. අමුතු සිරිතක්‌ වූ එය කාලයක්‌ සිදු කරන විට දන්ත මැලියම්වල නිල් පැහැති එම වර්ණකය තැන්පත් ව කැල්සනීභූත වී ඇත.

අප මේ ලිපිය ආරම්භයේ දී සඳහන් කළ පරිදි, මධ්‍යතන යුගයේ නිකුත් කරන ලද ග්‍රන්ථ අතර සිතුවම් රැසකින් සමන්විත වූ ග්‍රන්ථ ද විය. විවිධ කුඩා රූප, පිටු මායිම් ආදිය දිළිසෙන වර්ණවලින් යුක්‌ත ව මේ ග්‍රන්ථවල වර්ණගන්වා තිබිණි. ඉතා ආකර්ෂණීය වූ ඒවා හඳුන්වනු ලබන්නේ දීප්තිමත් අත්පිටපත් (Illuminated Manuscripts) ලෙස ය. එකින් එක පිටපතේ සිතුවම් අඳිමින් මේ පොත් සකස්‌ කිරීම බෙහෙවින් කාලය ගත වන අධික වෙහෙසක්‌ දැරිය යුතු කටයුත්තක්‌ විය. මේ සිතුවම් වර්ණ ගැන්වීම සඳහා රන්, රිදී වැනි දේ මෙන් ම වෙනත් ද්‍රව්‍යවලින් ලබාගත් දිළිසෙන වර්ණ භාවිත කර ඇත. ලැපිස්‌ ලසූලි යනු දිළිසෙන නිල් පැහැය ලබාගැනීම සඳහා යොදාගත් එවැනි ද්‍රව්‍යයකි. ලැපිස්‌ ලසූලි දුර්ලභ හා රන් හා සමාන වටිනා ද්‍රව්‍යයක්‌ විය. එමඟින් නිෂ්පාදනය කරන වර්ණකය හා රන් හා රිදී වැනි මිල අධික ද්‍රව්‍ය යොදාගනු ලැබූයේ ඉතා වටිනා ග්‍රන්ථ අත්පිටපත් නිපදවීම සඳහා ය.

ග්‍රන්ථ නිෂ්පාදනයේ ලා කාන්තාවගේ දායකත්වය


ග්‍රාමීය ප්‍රදේශයක පිහිටා ඇති මෙවැනි ආරාමයකින් මිල අධික වූ වර්ණක භාවිතය පිළිබඳ ව සාධක ලැබීම මෙන් ම ඒවා කාන්තාවකගේ මුඛය තුළින් හමු වීම ඉතා දුර්ලභ නො සිතූ විරූ සිදුවීමකි. එවැනි වටිනා මිල අධික අත්පිටපත් නිර්මාණය කිරීමේ අවස්‌ථාව ලැබෙන්නේ සාමාන්‍ය ශිල්පියකුට වඩා කැපී පෙනෙන සුවිශේෂී හැකියාවක්‌ තිබූ ග්‍රන්ථ ලියන්නන්ට සහ චිත්‍ර අඳින්නන්ට විය යුතු ය. එසේ නම් මේ කාන්තාව එවැනි ශිල්පීය දක්‌ෂතා තිබූ අයකු විය යුතු බවට නිගමනය කර ඇත. එසේ ම එම කාන්තාව මේ බෙහෙවින් චිත්‍ර අඩංගු ආගමික අත්පිටපත් සකස්‌ කිරීමේ ක්‍රියාවලියේ යෙදුණු බව පෙනෙයි.

ජර්මනිය මෙවැනි ග්‍රන්ථ නිෂ්පාදනය පිළිබඳ ව මධ්‍යස්‌ථානයක්‌ වූ බවට සාධක ඇතත් ඒ කාර්යයේ දී කාන්තාවන් දැක්‌වූ දායකත්වය පිළිබඳ ව ඇති සාධක විරල ය. එම කාලයේ දී ග්‍රන්ථ නිර්මාණය කිරීමේ නිරත වූ ලියන්නන් සහ චිත්‍ර ශිල්පීන් ඒවායේ අත්සන් තැබීමක්‌ සිදු නො කළ අතර, එය විශේෂයෙන් කාන්තාවන්ට අදාළ විය. ඒ ආකාරයෙන් ම කාන්තාවන් ග්‍රන්ථ සැකසීමේ කර්මාන්තයේ යෙදුණු බවට ඇති සාධක අඩු බැවින් විද්වතුන් සිතන්නේ මේ කර්මාන්තයේ කාන්තාවන් නියෑළුණේ ඉතා අඩු වශයෙන් බව ය.

මේ පර්යේෂණයෙන් අනාවරණය වන කරුණු දිගු කලක්‌ තිස්‌සේ පැවැති මේ අදහස අභියෝගයට ලක්‌ කරයි. එපමණක්‌ නො ව අදාළ කාන්තාවකගේ පුද්ගල පැවැත්ම පිළිබඳව මෙමඟින් සාධක සපයා දෙයි. විශේෂයෙන් බොහෝ ඈතින් පිහිටා ඇති ඇෆ්ඝනිස්‌ථානයෙන් ලබාගත් ලැපිස්‌ ලසූලි ජර්මනියේ මේ ග්‍රාමීය ප්‍රදේශය වෙත ළඟා වූයේ කෙසේ ද යන්න වැදගත් කරුණකි. එම ඛනිජ ඊජිප්තුව හා කොන්ස්‌තන්තිනෝපලය හරහා වැටුණු වෙළෙඳ මාර්ගයක්‌ ඔස්‌සේ මධ්‍යතන ජර්මනියට ළඟා වූ අතර ඒවා මේ ආරාමය පිහිටා තිබූ ග්‍රාමයේ දී ද ලබාගත හැකි විය. එමඟින් පෙනෙන්නේ සංකීර්ණ වූ ගෝලීය වෙළෙඳ ජාලය එවකට පැවැති බව ය. එකොළොස්‌ වැනි සියවසේ පමණ වර්ධනය වෙමින් තිබූ යුරෝපීය ආර්ථිකය ඇතුළත මේ කාන්තාවට සිය නිර්මාණ සඳහා මේ වටිනා ඛනිජ ද්‍රව්‍ය යොදාගැනීමට අවස්‌ථාව ලැබේ. එසේ ම මෙමඟින් පෙනෙන්නේ යුරෝපයේ මේ වර්ණය සඳහා ඉහළ යන ඉල්ලුමක්‌ පැවැති බව ය. එය වැදගත් අනාවරණයකි.

මේ කරුණු අනුව සිතුවම්වලින් විචිත්‍ර කරන ලද අත්පිටපත් නිර්මාණයේ දී කාන්තාවන් සැලකිය යුතු කාර්යභාරයක්‌ ඉටු කළ බවට පළමු ඝෘජු සාධකය ලැබී ඇත. එය වැදගත් සොයාගැනීමක්‌ වන්නේ කාන්තාවන් එම කාලයේ දී ද සැලකිය යුතු කාර්යයක්‌ ඉටු නො කළ බවට පවත්නා මතයට මෙමඟින් අභියෝග කරන නිසා ය.

මූලාශ්‍රය : Science Advances, DOI: 10.1126/sciadv.aau7126



ලැපිස් ලසූලි (Lapis lazuli)


ඈත අතීතයේදී නූතන ඇෆ්ඝනිස්ථානයෙන් පමණක් ලබාගත් ලැපිස් ලසූලි යනු එක්තරා පාෂාණ වර්ගයකි. එ්වා යොදාගනිමින් අල්ට‍්‍රාමැරයින් (ultramarine) ලෙසින් හඳුන්වනු ලබන දිලිසෙන නිල් පැහැ වර්ණකය නිපදවීම අතීතයේ පටන් සිදු කර තිබේ. ඒවා වෙළෙඳ මාර්ග ඔස්සේ බොහෝ දුර ඈත ප‍්‍රදේශ වලට අලෙවි කිරීමද සිදු කර ඇත.

ලංකාවේ ද ලැපිස් ලසූලි භාවිතා කරන බවට සාධක තිබේ. එකල මේවා හඳුන්වා ඇත්තේ වේළුරිය බව විශ්වාස කෙරේ. මෙහි ඇති වැදගත්කම වන්නේ මෙවැනි අගනා ද්ව‍රව්ල‍යවලට කිසියම් අඩවි විශාල ඉල්ලීමක් මෙරට තිබූ බවය. මෙම ඛනිජය වෛදූර්ය යනුවෙන් ඉන්දීය මූලාශ‍්‍රයවල හඳුන්වා ඇත.
මෙම ඛනිජය යොදාගනිමින් වර්ණක උපදවනු ලබන්නේ ලැපිස් ලසූලි අඹරා කුඩා කොටස් බවට පත් කිරීමෙනි. 19වන සියවසේදී කෘත‍්‍රිම ක‍්‍රමයකට මේ හා සමාන වූ අල්ට‍්‍රාමැරයින් වර්ණක සොයාගන්නා තෙක් මේවා ඉතා මිල අධික විය.


Saturday, January 19, 2019

ඇමෙරිකා-මෙක්‌සිකෝ දේශ සීමා තාප්පයෙන් ජෛව විවිධත්වයට තර්ජනයක්‌?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 16.01.2019 පි. 13 (Vidusara)

http://www.vidusara.com/2019/01/16/feature3.html


මෙක්‌සිකෝවේ සිට ඇමෙරිකාවට සිදු වන නීති විරෝධී ජන සංක්‍රමණ වළක්‌වා ලීම සඳහා දෙරට අතර දේශසීමාව දිගේ බාධක තාප්පයක්‌ ඉදි කරන්නට ඇමෙරිකාව පියවර ගෙන දැන් කලක්‌ ගත වී ඇත. එරට දේශපාලන අරමුණු වෙනුවෙන් ඉදි කරනු ලබන මේ තාප්පය උතුරු ඇමෙරිකාවේ ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපෑ හැකි බව විද්‍යාඥයන් පිරිසක්‌ පෙන්වා දී තිබෙයි.

ඇමෙරිකාවට නීති විරෝධී ව සිදු වන ජන සංක්‍රමණ නිසා බරපතළ සමාජයීය හා ආර්ථික ගැටලු ඇති වීමට පිළියමක්‌ ලෙස මේ දේශ සීමා තාප්පය ගොඩනැඟීම ආරම්භ වන්නේ 2005 පමණ කාලයේ දී ය. ඇමෙරිකාවේ නව මෙක්‌සිකෝ, ටෙක්‌සාස්‌ හා කැලිෆොaනියා යන ප්‍රාන්තවල දකුණු සීමාව ඔස්‌සේ මේ දේශ සීමාව පිහිටා ඇත. සැතපුම් 1,953ක්‌ (කිලෝ මීටර් 3,200ක්‌) පමණ දිගු වන එම දේශ සීමාවෙහි ඉදි වන බාධක තාප්පයේ සැතපුම් 600ක්‌ පමණ මේ වන විට ඉදි කර ඇති අතර, තවත් සැලකිය යුතු කොටසක්‌ ඉදි කිරීමට නියමිත ය. පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී එරට වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් එක්‌ මැතිවරණ පොරොන්දුවක්‌ වූයේ එරට දකුණුදිග දේශ සීමාව ඔස්‌සේ මහා තාප්පය ඉදි කිරීම සම්පූර්ණ කිරීමයි. ඒ සඳහා අරමුදල් සපයාගැනීම සඳහා මේ වන විට විවිධ පියවර ගෙන තිබෙයි.

ඇමෙරිකා-මෙක්‌සිකෝ දෙරටෙහි දේශ සීමාව ඔස්‌සේ ඉදි කෙරෙමින් පවත්නා මේ තාප්පය පිළිබඳ ව වැඩි වශයෙන් සාකච්ඡා වී ඇත්තේ ජන සංක්‍රමණ පාලනය සහ දේශපාලනය යන මාතෘකා ඔස්‌සේ ය. මේ ඉදිකිරීම පිළිබඳ ව මෙක්‌සිකෝව එතරම් කැමැත්තක්‌ දක්‌වා නොමැත. කෙසේ වෙතත් එම බාධකය මඟින් උතුරු ඇමෙරිකාවේ ජෛව විවිධත්වය සම්බන්ධ ව ඇති විය හැකි අහිතකර බලපෑම ගැන මෑතක දී පළ වූ ලිපියකින් පෙන්වා දී ඇත. පසුගිය වර්ෂයේ ඔක්‌තෝබර් මාසයේ දී BioScience සඟරාවේ පළ වූ එම ලිපිය ලෝකය පුරා රටවල් 43ක විද්‍යාඥයන් 2,370ක්‌ පමණ දෙනාගේ එකඟතාවෙන් ප්‍රකාශයට පත් කරන ලදි. දේශ සීමා තාප්පය මඟින් ඇති විය හැකි පාරිසරික බලපෑම සැලකිය යුතු තරම් බව පෙන්වා දෙන මේ වාර්තාවට අනුව එම තාප්පය කලාපයේ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් 'ව්‍යසනයක්‌' විය හැකි බවට අනතුරු හඟවා තිබෙයි.

දේශ සීමාව ආශ්‍රිත ජෛව විවිධත්වය


මෙසේ අවධානය යොමු වූ ප්‍රදේශය සැලකූ විට එය අධික පරිසර පද්ධති විවිධත්වයකින් යුක්‌ත භූ දර්ශනයක්‌ පවත්නා භූමි ප්‍රදේශයකි. මේ පාරිසරික විවිධත්වය ආන්තික කාන්තාර තත්ත්වවල සිට අධික වර්ෂාපතනයක්‌ ලැබෙන තෙත්බිම් දක්‌වා විවිධ ආකාරයේ වෙයි. මේ ප්‍රදේශයේ ඉහළ ජෛව විවිධත්වයක්‌ පවත්නා බව අධ්‍යයනවලින් හෙළි ව ඇති, අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන කරුණකි.

මේ දෙරටෙහි දේශ සීමාව ප්‍රදේශයේ සත්ත්ව විශේෂ 1,077ක ප්‍රමාණයක්‌ ද, ශාක විශේෂ 429ක ප්‍රමාණයක්‌ වාසය කරන බව මේ වන විට හඳුනාගෙන තිබෙයි. අදාළ ප්‍රදේශයේ පවත්නා පාරිසරික තත්ත්වවලට එහි වෙසෙන මේ ජීවී විශේෂ හැඩගැසී ඇත. දේශ සීමාව හරහා ද වැටී ඇති ඔවුන්ගේ සංක්‍රමණ මාර්ග ඔස්‌සේ එහා මෙහා ගමන් කිරීමෙන් ආහාර සොයාගැනීමට මෙන් ම ආන්තික තත්ත්ව ඇති කාල වකවානු ගත කිරීමට ද ඔවුන් හැඩගැසී ඇත. ලෝක සංරක්‌ෂණ සංගමය (IUCN) මඟින් ප්‍රකාශිත දැඩි තර්ජිත (Critically Endangered), තර්ජිත (Endangered) හා අවදානම් (Vulnerable) යන තර්ජනයට ලක්‌ වූ ජීවී විශේෂ අයත් ප්‍රධාන කාණ්‌ඩ තුනට මේ අතරින් විශේෂ හැට දෙකක්‌ (62) පමණ අයත් වෙයි.

තාප්පයේ බලපෑම


දැනටමත් ඉදි කර හා ඉදි කෙරෙමින් ඇති තාප්පය මඟින් ඉහත කී ජීවී විශේෂවල වාසභූමිය හෙවත් අඩවිය බෙදී යයි. පියැඹිය නොහැකි ජීවී විශේෂ 346කට පමණ තරණය කළ නොහැකි බාධකයක්‌ බවට මේ දේශ සීමා තාප්පය පත් වී ඇත. එමඟින් උක්‌ත ජීවීන් දැනට හැසිරෙන අඩවියෙන් 50%ක්‌ පමණ අහිමි වීමේ අවදානමක්‌ ඇති වෙයි. එසේ ම එතරම් උසට පියැඹිය නොහැකි පක්‌ෂි විශේෂවලට පවා මේ තාප්පය බාධකයක්‌ වන බව දක්‌වා ඇත.

කලින් එක ම භූමියක්‌ ව පැවැති ප්‍රදේශයේ ජීවත් වන ජීවී විශේෂවල වාසස්‌ථාන අන්තරාදායක ලෙස කඩ කඩ වීම (fragmentation) මඟින් මේ ජීවී විශේෂවල ප්‍රවේණික ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව අඩු වෙයි. එනම් ජීවී විශේෂවල ගහන අතර ප්‍රවේණික ද්‍රව්‍ය හුවමාරුවට බරපතළ බලපෑමක්‌ ඇතිවිය හැකි ය. මේ නිසා එක ම ගහනය තුළ අන්තර් අභිජනනය කිරීමෙන් ජාන කිටුව සීමා වී ප්‍රවේණික වශයෙන් දුර්වල සත්ත්ව විශේෂ ඇති විය හැකි ය. අද වන විට අප්‍රිකාවේ වෙසෙන චීටා සතුන් මුහුණ දී ඇති මෙවැනි ම ප්‍රවේණික ගැටලුව එම සතුන්ගේ පැවැත්මට තීරණාත්මක ලෙස බලපාන්නකි. එවැනි තත්ත්ව ඇමෙරිකා-මෙක්‌සිකෝ දේශ සීමාව ආශ්‍රිත ප්‍රදේශයේ ද ඇති විය හැකි බව පර්යේෂකයන් පෙන්වා දී තිබෙයි.

එදිනෙදා පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර හා ජලය වැනි සම්පත්වලට ප්‍රවේශ වීමට ද මේ තාප්පය නිසා එහි වෙසෙන ජීවීන්ට -විශේෂයෙන් සතුන්ට - අවහිරතා ඇති වෙයි. එමෙන් ම වසරේ ඇතැම් කාල වකවානුවල දී ඇති වන ගංවතුර තත්ත්ව සඳහා ද මේ දේශ සීමා තාප්පයෙන් බලපෑමක්‌ ඇති වේ. ගංවතුර බැස නො ගොස්‌ රදා පැවතීමට තාප්පය හේතු වන අතර ඇතැම් ප්‍රදේශවල දී මෙය වනජීවීන්ට සහ වෘක්‌ෂලතාවලට හානිකර ලෙස බලපානු ඇති බවට අනතුරු හඟවා ඇත. ගංවතුරට යට වීම නිසා මේ ජීවී විශේෂ මිය යැමේ අවස්‌ථාව ඉහළ යයි. එසේ ම දැඩි නියඟය හා තාප ප්‍රවාහ වැනි ස්‌වාභාවික ව්‍යසන අවස්‌ථාවල දී එයට ලක්‌ වන ජීවී විශේෂවල ජීවිත පවත්වාගැනීමට වැදගත් වන ආහාර සහ ජලය සීමා තාප්පයේ අනෙක්‌ පස පැවතිය ද එය තරණය කළ නොහැකි ජීවීන්ට සිදු වන්නේ විනාශයට පත් වීමට ය.

අනෙක්‌ අතට එම දේශ සීමා තාප්පය හුදෙක්‌ භෞතික තාප්පයක්‌ පමණක්‌ නො වේ. එය ඉදි කිරීම සඳහා යොදාගන්නා විශාල ඉදිකිරීම් වාහන මේ සංවේදී සහ පරිසර පද්ධතියට හා එහි වෙසෙන ජීවී විශේෂවලට බාධා ඇති කරයි. එසේ ම ආලෝකය සහ ශබ්දය දූෂණය මඟින් දිවා කාලයේ මෙන් ම රාත්‍රී කාලයේ හැසිරෙන ජීවී විශේෂවලට ද යම් බලපෑමක්‌ ඇති වෙයි. එමෙන් ම බාධක තාප්පය ඉදි කිරීමෙන් පසුව එම තාප්පය අසල ප්‍රදේශයේ ගමන් කරන ආරක්‌ෂක වාහන සහ මාර්ගවල ඇති වන තත්ත්වය ද මේ ජීව විශේෂවල පැවැත්මට බලපෑමක්‌ කළ හැකි එකකි. 2017 වර්ෂය වන විට ඉදි කර ඇති සීමා තාප්ප සඳහා කිලෝ මීටර් 8,000ක පමණ මාර්ග පද්ධතියක්‌ ඉදි කර ඇති බව ද සඳහන් වෙයි. එසේ ම මේ කාණ්‌ඩයට නො වැටෙන තවත් දුෂ්කර වූ මාර්ග විශාල ප්‍රමාණයක්‌ ද පවතියි.

මේ තර්ජනය හමුවේ ඇතැම් ජීවී විශේෂ වඳ වී යැමට තරම් හැකි තත්ත්ව ඇති විය හැකි ය.

අවධානය අඩු ඇයි?


මේ කරුණ පිළිබඳ ව අවධානය අඩු වීම සඳහා හේතුවක්‌ වී ඇත්තේ 2005 දී සම්මත වූ Real ID Act නම් පනතකිනි. එමඟින් ජෛව විවිධත්වයට ඇති විය හැකි බලපෑම් වළක්‌වා ලීමට උපකාර විය හැකි තර්ජනයට ලක්‌ වූ ජීවී විශේෂ පිළිබඳ පනත (Endangered Species Act) හා ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත (National Environmental Policy Act) යටතේ පවත්නා ඇතැම් ප්‍රතිපාදන නො සලකා හැරීමට එරට ආරක්‌ෂක අංශවලට හැකියාව ලබා දී තිබෙයි. මෙය දේශ සීමා තාප්පයේ ඉදිකිරීම් කටයුතු නිසා පරිසරයට හා ජෛව විවිධත්වයට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව අවධානයට ලක්‌ වීම හා මහජන මැදිහත් වීමක්‌ සිදු කිරීමට ඇති අවස්‌ථාව අහිමි කර ඇත. මෙසේ පරිසරය සහ මහජන සෞඛ්‍යයේ ආරක්‌ෂාව වෙනුවෙන් පෙර පැවැති ඇමෙරිකානු රජයයන් විසින් සම්මත කරන ලද වැදගත් නීති නො සලකා හැරීම ද ගැටලුවකි.

මේ කරුණු අනුව පෙනෙන්නේ ඉහළ ජෛව විවිධත්වයක්‌ පවත්නා ප්‍රදේශයක ජීවීන්ගේ පැවැත්ම මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයෙන් එක්‌ පරම්පරාවක කාලයක්‌ ඇතුළත දී වෙනස්‌ කරන්නට ඉඩ ඇති බවයි. මේ ජෛව විවිධත්වය වසර මිලියන ගණනාවක්‌ තිස්‌සේ පරිණාමයට ලක්‌ වූවක්‌ වන බැවින් ඒ ගැන ආඩම්බර විය නොහැකි බව ඒ පිළිබඳ ව පළ වූ ලිපියක තවදුරටත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ ව අවධානය යොමු කරන්නේ නම් එය නතර කිරීමට ද හැකියාවක්‌ ඇත. ඒ මේ සීමා තාප්පය ඉදිකිරීම සඳහා ඇති ප්‍රතිපාදන නතර කිරීම මඟිනි. එරට දේශපාලනඥයන්ට ඒ සඳහා අවස්‌ථාවක්‌ හා හැකියාව ඇති බව පෙන්වා දී තිබෙයි. එසේ ම අවශ්‍ය නම් සංක්‍රමණ පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ප්‍රමාණවත් දියුණු තාක්‌ෂණයක්‌ පවත්නා බව ද වැඩිදුරටත් පෙන්වා දී ඇත.

සමස්‌තයක්‌ ලෙස ගත් විට ඇමෙරිකාව සිය ජාතික ආරක්‌ෂාව පිළිබඳ දේශපාලන අවශ්‍යතාව සඳහා එරට මෙන් ම මෙක්‌සිකෝවේ ද ජෛව විවිධත්වය අවදානමකට ලක්‌ කර ඇති බව මේ අනුව පෙනෙයි. මෙය මානව මූලික අරමුණු නිසා පාරිසරික ප්‍රමුඛතා අවතක්‌සේරු වූ තවත් අවස්‌ථාවක්‌ ලෙස සැලකිය හැකි ය. එමෙන් ම ඇමෙරිකාවේ නූතන පාලනය වෙනත් කරුණු පිළිබඳ ව ගෙන ඇති පියවර හා සංසන්දනය කරන විට එය එතරම් පුදුමයට කරුණක්‌ ද නො වෙයි.

මූලාශ්‍රය : BioScience, DOI: 10.1093/biosci/biy063

මෙතෙක්‌ සිදු වූ බරපතළ ම මහා වඳ වීම සඳහා මිහිතලය උණුසුම් වීම මූලික හේතුවක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 09.01.2019 පි. 7 (Vidusara)

http://www.vidusara.com/2019/01/09/feature2.html


ලෝකයේ සිදු ව ඇති මහා වඳ වීම් පහ අතරින් වඩාත් බරපතළ ම හෙවත් වැඩි ම ජීවී විශේෂ ප්‍රමාණයක්‌ වඳ වී ගිය සිදුවීම 'මහා මිය යැම' (Great Dying) ලෙස හඳුන්වනු ලැබෙයි. අදින් වර්ෂ මිලියන 252ක්‌ පමණ කාලයකට පෙර පර්මියානු යුගය නමින් හඳුන්වනු ලබන භූ විද්‍යාත්මක යුගයේ අවසානයේ දී පමණ මේ මහා වඳ වීම සිදු විය. ඒ පිළිබඳ ව අවසාදිත තැන්පතු හා ෆොසිලගත ජීවීන් යොදාගනිමින් සිදු කර ඇති අධ්‍යයනවලට අනුව මෙය මිහි මත ජීවය හා සම්බන්ධ ව ඇති වූ බරපතළ ම අහිතකර සිදුවීම ලෙස සැලකිය හැකි ය.

එම මහා වඳ වීමේ දී සාගරයේ ජීවත් වූ ජීවීන් අතරින් 96%ක්‌ පමණ තරම් ප්‍රමාණයක්‌ සහ භෞමික ව ජීවත් වූ පෘෂ්ඨවංශී ජීවී විශේෂ අතරින් 70%ක්‌ පමණ ප්‍රමාණයක්‌ ද වඳ වී ගොස්‌ ඇත. එම අවස්‌ථාවේ දී ඇති වූ විනාශය කෙතරම් බරපතළ වූයේ ද යත් වෘක්‌ෂ, කෘමීන්, පැළෑටි, කටුස්‌සන් හා ක්‌ෂqද්‍ර ජීවීන් වැනි ඇතැම් කාණ්‌ඩවල ජීවීන් සහමුලින් ම පාහේ වඳ වී යැමට තරම් ආසන්න වී තිබෙයි. එසේ ම ඉන් පසුව පෘථිවිය මත ජීවය යළිත් වර්ධනය වී, ඉහළ ජෛව විවිධත්වයක්‌ ඇති වීමට තවත් වර්ෂ මිලියන ගණනක්‌ ගත විය.

මේ මහා වඳ වීම ඇති වීමට හේතුව හෝ හේතු කුමක්‌ වී ද යන්න ගැන විවිධ විද්‍යාත්මක මත ඉදිරිපත් වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත්, මෙයට හේතු වූයේ මහා උල්කාවක්‌ පෘථිවිය මතට පතිත වීම බවට වූ මතය දැක්‌විය හැකි ය. එහෙත් එම මහා වඳ වීම පිළිබඳ ව සිදු කර ඇති නවතම අධ්‍යයනයකට අනුව එම කාලයේ දී වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ ගොස්‌ මිහිතලය ඉතා වේගයෙන් උණුසුම් වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් සාගර ජලයේ පවත්නා ඔක්‌සිජන් ප්‍රමාණය පහළ ගොස්‌ ඇත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සාගර ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්‌සිජන් ප්‍රමාණයක්‌ නො ලැබීම මේ තත්ත්වයට හේතු වී තිබෙයි.

උෂ්ණත්වය ඉහළ යැම තීරණාත්මක වීම


මෙසේ කෙටි කාලයක්‌ ඇතුළත හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ ගියේ කෙසේ ද යන්න මීළඟට ඇති වන ගැටලුව වෙයි. ඒ කාලයේ දී ඇති වූ ගිනිකඳු පිපිරීම් මාලාවක්‌ නිසා මෙසේ හරිතාගාර වායු විශාල ලෙසින් වායුගෝලයට නිකුත් වූ බව මේ වන විට පැහැදිලි කර ඇත. මේ මහා ගිනිකඳු විදාරණය වීම් සිදු වූයේ සයිබීරියාව ප්‍රදේශයේ බව ද පර්යේෂණවලින් පෙන්වා දී තිබෙයි. මේ යමහල් විදාරණ වීම් අදාළ මහා වඳ වීම ඇති වීමට වසර 300,000ක පමණ කාලයකට පෙර පමණ සිට ආරම්භ වූ ඒවා වෙයි. මේවා නිසා ඇති වූ හරිතාගාර වායු විමෝචන අතර කාබන්ඩයෝක්‌සයිඩ් හා මීතේන් මූලික වෙයි.

මේ හරිතාගාර වායු අධික ලෙස සාන්ද්‍රණය වීම නිසා ගොඩබිම සහ මුහුදේ උෂ්ණත්වය විශාල වශයෙන් ඉහළ ගොස්‌ ඇත. එකල ලෝකයේ සාගර උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක දහයකින් පමණ ඉහළ ගිය බව මේ අධ්‍යයනයෙන් පෙන්වා දී තිබෙයි. ඉහළ උෂ්ණත්වයක දී සාගර ජලයේ පවත්නා ඔක්‌සිජන් ප්‍රමාණය අඩු වීම සිදු වන්නකි. එය ජීවීන් සඳහා තීරණාත්මක වූ සාධකය වී ඇති බව මේ පර්යේෂකයන් පැහැදිලි කර ඇත. මෙසේ සාගර ජලයේ අඩු ඔක්‌සිජන් සාන්ද්‍රණයක්‌ තිබීම නිසා ඇති වන ඔක්‌සිජන් ඌනතාව (hypoxia‌) සාගර ජීවීන්ට ගැටලු ඇති කර තිබෙයි. ජීවියකුගේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්‌සිජන් නො ලැබීම නිසා ඇති වන තත්ත්වය බරපතළ ය.

පරිසරයේ උෂ්ණත්වය ඉහළ යැමත් සමඟ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය ද ඉහළ යයි. ඊට ප්‍රමාණවත් තරම් ඔක්‌සිජන් සැපයීමට නොහැකි වීමෙන් එම ජීවීන් මිය යන්නට ඇති බව මේ අධ්‍යයනයෙන් සිදු කර ඇති පැහැදිලි කිරීමෙන් පෙනෙයි. එසේ ජීවීන් මිය ගොස්‌ ඇත්තේ මහා පරිමාණයෙනි.

පර්යේෂණය හා ප්‍රතිඵල


මේ අධ්‍යයනයේ දී ආකෘතිකමය පරීක්‌ෂණයක්‌ ද සිදු කර ඇත. එවකට පැවැති භූගෝලීය ඒකකයේ මහාද්වීප එක්‌ ව තිබූ ඒකකයක්‌ විය. එසේ ම එවකට සාගරයේ පැවැති උෂ්ණත්වය ද වර්තමාන උෂ්ණත්වයට සමාන බවත් ඔක්‌සිජන් මට්‌ටම වර්තමානයේ පවත්නා ඔක්‌සිජන් මට්‌ටමට සමාන බවත් දක්‌වා තිබෙයි. එසේ තිබිය දී අදාළ ආකෘතියේ හරිතාගාර වායු මට්‌ටම එහි උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 10කින් ඉහළ යන තරමට ඉහළ නංවා ඇත. එය එකල පැවැති තත්ත්වයට සමාන ය. එම ආකෘතිය හමුවේ සාගරයේ විස්‌මයජනක වෙනස්‌ වීම් සිදු ව ඇත. නිදසුනක්‌ ලෙස එහි පැවැති ඔක්‌සිජන් ප්‍රමාණයෙන් 80%ක්‌ පමණ ඊට අහිමි වී ඇත. සාගර පත්ලේ අඩක්‌ පමණ ප්‍රදේශයක්‌ - විශේෂයෙන් වඩා ගැඹුරු ස්‌ථාන - ඔක්‌සිජන් රහිත කලාප බවට පත් විය.

ඉන් පසුව මෙසේ ඔක්‌සිජන් හා උෂ්ණත්වය විචල්‍ය වීම සාගර ජීවීන්ට බලපාන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා වර්තමානයේ ජීවත් වන විශේෂ 61ක එවැනි තත්ත්වවලට ලක්‌ කළ අවස්‌ථා පිළිබඳ ව සිදු කර ඇති විද්‍යාගාර අධ්‍යයන යොදාගෙන ඇත. ඊට මසුන්, ක්‍රස්‌ටේෂියාවන්, බෙල්ලන්, කොරල් හා මෝරුන් පිළිබඳ ව සිදු කළ අධ්‍යයන ඇතුළත් වෙයි. එම දත්ත සමඟ හා පුරාදේශගුණ දත්ත යොදාගනිමින් ජීවීන් වඳ වී ගිය ආකාරය ලේඛනගත කිරීමට උත්සාහ කර ඇත.

එහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට, ඉහළ ගිය උෂ්ණත්වය නිසා තමන් කලින් වාසය කළ වාසස්‌ථානයේ ම අඛණ්‌ඩ ව පැවැත්මට හැකියාව ලැබී ඇත්තේ ඉතා අඩු ජීවීන් ප්‍රමාණයකට පමණකි. සෙසු විශේෂ වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වී ඇත. නැත හොත් වඳ වී ගොස්‌ ඇත.

මෙසේ ඔක්‌සිජන් ප්‍රමාණය අඩු වීම ජීවී විශේෂ විශාල වශයෙන් වඳ වී යැම වඩාත් බරපතළ වන්නට ඇත්තේ ලෝකයේ ධ්‍රැව ප්‍රදේශවලට ආසන්න ව බව ද මේ පර්යේෂකයන් පෙන්වා දී ඇත. ඒ සඳහා මූලික හේතුව වී ඇත්තේ එම ප්‍රදේශවල විසූ ජීවීන්ට ඉහළ යන උෂ්ණත්වයට හා අඩු වන ඔක්‌සිජන් ප්‍රමාණයට හැඩගැසීම සඳහා ප්‍රමාණවත් අනුහුරු වීම් නො තිබීම ය. ශීතල අධික හා ඔක්‌සිජන් ඉහළ සාගර ජීවිතයකට අනුවර්තනය වී සිටි ජීවීන්ට, නව තත්ත්ව යටතේ ගැළපෙන වෙනත් ප්‍රදේශයක්‌ සොයාගැනීමට නොමැත. ඒ නිසා වැඩි වශයෙන් හෝ මුළුමනින් ම පාහේ වඳ වී ගොස්‌ ඇත්තේ වැඩි ඔක්‌සිජන් අවශ්‍යතාවක්‌ සහිත වූ ශීත ප්‍රදේශවල විසූ ජීවීන් ය. නිවර්තන කලාපයේ විසූ ජීවීන්ට ද මේ තත්ත්වය අහිතකර ලෙස බලපෑ නමුත් ඉහළ යන උෂ්ණත්වයට මෙන් ම අඩු ඔක්‌සිජන් තත්ත්වවලට ද අනුහුරු වීමට හැකියාවක්‌ ඇති එම ජීවීන්ට වඩා අඩු උෂ්ණත්වයක්‌ ඇති හා ඔක්‌සිජන් සාන්ද්‍රණය ඉහළ වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය විය හැකි විය. එසේ ම තමන්ට ගැළපෙන ප්‍රදේශ ද එම ජීවීන්ට සොයාගැනීමට අවස්‌ථාවක්‌ තිබිණි.

එසේ ම මේ කාලය හෙවත් අපර පර්මියානු (late Permian) යුගයට අදාළ වූ ෆොසිල සාධක පිළිබඳ දත්ත පාදක යොදාගෙන ඒ පිළිබඳ ව විමසීමේ දී පෙනී ගොස්‌ ඇත්තේ ද නිවර්තන කලාපයෙන් ඈත පිහිටා ඇති ප්‍රදේශවල හෙවත් ධ්‍රැව ප්‍රදේශවලට ආසන්න ව ජීවත් වූ ජීවීන් වඳ වී ගිය අවස්‌ථා අධික බවයි.

වෙනත් සාධකවල බලපෑම


මේ කරුණු අනුව මුහුදේ උෂ්ණත්වය ඉහළ යැම හා ඒ නිසා ඇති වන ඔක්‌සිජන් ඌනතාව මඟින් උක්‌ත මහා වඳ වීම නිසා වඳ ව ගිය සාගර ජීවීන් අතරින් අඩක්‌ පමණ ප්‍රමාණයකගේ වඳ වී යැමට හේතු සාධක සපයයි. ඉතිරි ජීවී විශේෂවල වඳ වී යැම සඳහා හේතු වන්නට ඇත්තේ සාගර ජලය ආම්ලිකකරණය වීම හා ප්‍රභාසංශ්ලේෂණය කරන ජීවීන්ගේ නිෂ්පාද්‍යතාවේ ඇති වූ වෙනස්‌ වීම් විය හැකි බව උක්‌ත පර්යේෂකයන්ගේ මතය වෙයි. ගිනිකඳු පිපිරීම් නිසා ඕසෝන් ස්‌තරයේ ඇති වූ සිදුරු හරහා පෙළොවට පතිත වූ පාරජම්බුල කිරණ හේතුවෙන් ලෝකයේ ශාකවල වඳ භාවයක්‌ හටගන්නට ඇති බව ද දක්‌වා තිබෙයි. එසේ ම සාගරය ආම්ලිකකරණය වීම වඩාත් බලපාන්නට ඇත්තේ නිවර්තන කලාපීය ජීවීන්ට බව ද පෙන්වා දී ඇත.

උෂ්ණත්වය ඉහළ ගිය අවස්‌ථාවල දී ඇති වන ඔක්‌සිජන් ඌනතාව, සාගර ජීවී විශේෂ මිය යැමට හා වඳ වී යැමට හේතු වූ බවට ඇති සාධක කලක පටන් ඇති අතර විවිධ පරිසර නිකේත අනුව එහි බලපෑම වෙනස්‌ වන ආකාරය මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ ව ඇති නව අංශයකි.

මේ පර්යේෂණයෙන් මතු කරනු ලබන තවත් වැදගත් කරුණක්‌ තිබෙයි. එනම් එදා පැවැති තත්ත්වය හෙවත් හරිතාගාර වායු විමෝචනය වර්ධනය වීම හා ඒ නිසා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම යනු අද ලෝකයේ ඇති වෙමින් පවත්නා තත්ත්වය හා සමාන තත්ත්වයක්‌ බවයි. අද පවත්නා තත්ත්වයෙන් ම කටයුතු සිදු වුව හොත්, 2100 වර්ෂය පමණ වන විට ලෝකයේ සාගරවල උෂ්ණත්වය අපර පර්මියානු යුගයේ පැවැති උෂ්ණත්වය මෙන් 20%ක්‌ පමණ අගයකට ළඟා විය හැකි ය. තවදුරටත් කටයුතු ඒ ආකාරයෙන් ම සිදු වුව හොත් 2300 වර්ෂය පමණ වන විට සාගර උෂ්ණත්වය එම මහා වඳ වීම පැවැති අවධියේ තිබූ උෂ්ණත්වය මෙන් 35% - 50% අතර අගයකට ළඟා විය හැකි ය. ඒ අනුව මේ අධ්‍යයනය තුළින් පෙන්වා දෙන එක්‌ කරුණක්‌ වන්නේ මානව මූලික දේශගුණ වෙනස්‌ වීමක්‌ මඟින් වුව ද ඇති විය හැකි මහා වඳ වීමක්‌ ඇති වීමේ ඇති හැකියාව පිළිබඳ ව ය.

මූලාශ්‍රය : Science, DOI: 10.1126/aat1327

Sunday, December 23, 2018

පෝලන්ත සමුළුවේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ඉදිරි පියවරක්‌ සටහන් වී ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 19.12.2018 පි. 6 (Vidusara)

http://www.vidusara.com/2018/12/19/feature1.html



පෝලන්තයේ කටෝවිස්‌ නගරයේ දී පසුගිය දෙසතියක කාලය තිස්‌සේ පැවැති වාර්ෂික දේශගුණ සමුළුව පසුගිය සති අන්තයේ දී අවසන් විය. ඊට දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) 24 වැනි පාර්ශ්වකරුවන්ගේ රැස්‌වීම හා තවත් සමාන්තර රැස්‌වීම් ගණනාවක්‌ අයත් ය.

එහි දී මේ වන විට දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා එක ම පිළිගත් විසඳුම ලෙස ඉදිරිපත් ව ඇති පැරිස්‌ දේශගුණ ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ ව යම් එකඟතාවකට පැමිණ ඇති බව පෙනෙයි. අවසාන මොහොතේ කාබන් වෙළෙඳපොළ පිළිබඳ ව යම් ගැටලු සහගත තත්ත්වයක්‌ ඇති වූ බවක්‌ වාර්තා වන නමුත්, එක්‌ අමතර දිනයක්‌ අවසානයේ දී යම් සාධනීය වූ ප්‍රතිඵලයක්‌ අත්පත් කරගෙන ඇති බවක්‌ පෙනෙයි. අවසානයේ දී ඇති කරගත් එකඟතාව පිළිබඳ ව හා වෙනත් වැදගත් කරුණු පහත සඳහන් වෙයි.

පොදු නීති පද්ධතියක්‌


පෝලන්ත සමුළුවේ දී ඇති කරගත් වැදගත් එකඟතාවක්‌ වූයේ සියලු රටවලට පොදු වූ නීති පොතක්‌ හෙවත් නීති පද්ධතියක්‌ ඇති කරගැනීමට එකඟ වීම ය. එක්‌ එක්‌ රටවල් හෝ රටවල් කාණ්‌ඩ අනුව පවත්නා වෙනස්‌කම් මත වෙනස්‌ වන නීති පද්ධතියක්‌ වෙනුවට සියලු රටවලට පොදු වූ එක්‌ නීති පද්ධතියක්‌ එහි දී අවධානයට ලක්‌ ව ඇත. මෙවැන්නකට එරෙහි ව අදහස්‌ දැක්‌වූ චීනය වැනි රටවල් එවැනි අදහසක්‌ සඳහා එකඟ වීම ද වැදගත් කරුණකි. එතරම් සරල කරුණක්‌ නො වූ මේ නීති පොත සම්බන්ධ ව එකඟතාවකට පැමිණීම තාéණික වශයෙන් දුෂ්කර කරුණක්‌ වූ බැවින් එය අත්පත් කරගැනීම කිසියම් ජයග්‍රහණයක්‌ ලෙස සැලකිය හැකි ය. විශේෂයෙන් රට රටවල් අතර ඇති වෙනස්‌කම් හා කාල රාමුවල ඇති වෙනස්‌කම් තිබිය දී මෙවැනි එකඟතාවකට පැමිණිය හැකි වීම වැදගත් ය.

මෙසේ ඇති කරගන්නා නීති පද්ධතිය ඉදිරියේ දී පැරිස්‌ ගිවිසුමේ ක්‍රියාත්මක නීති පද්ධතිය වනු ඇත. මෙමඟින් ඒ ඒ රට රටවල විමෝචන නිරීéණය හා වාර්තා කිරීම සම්බන්ධ ව සමාන ව කටයුතු කිරීම සිදු වනු ඇත. මෙහි දී එකඟ වී ඇති ආකාරයට, තම රටවල වාර්තා ලබා නො දෙන රටවල් ඒ පිළිබඳ ව විමසීමකට ලක්‌ වනු ඇත. මේ නීති පද්ධතිය අනුව පැරිස්‌ ගිවිසුම යටතේ ලබා දී ඇති කාබන් විමෝචන සීමා කිරීමේ පොරොන්දු ඉටු කිරීමට සියලු රටවල් කටයුතු කරනු ඇතැයි අපේක්‌ෂාවක්‌ ඇති වී තිබෙයි. මෙසේ විනිවිදභාවයෙන් යුක්‌ත ක්‍රමවේදයක්‌ ලැබීමෙන් සාර්ථක ලෙස සියලු රටවල කටයුතු පිළිබඳ ව ලෝකයට දැනගැනීමට හැකියාව ලැබෙයි. එසේ ම මේ දක්‌වා පැරිස්‌ ගිවිසුම අපරානුමත නො කළ රටවලට දැන් නීති පද්ධතිය පිළිබඳ ව පැහැදිලි කිරීමක්‌ ඇති නිසා එයින් ඈත් වීමට නො හැකි වනු ඇත.

එසේ ම දුප්පත් රටවලට දේශගුණ මූල්‍ය සහන ලබා දීම පිළිබඳ ව අදහස්‌ ද මේ යටතේ එයි. 2020 වර්ෂය වන විට වාර්ෂික ව ඩොලර් බිලියන 100ක මුදලක්‌ බැගින් දියුණුවල රටවල් සඳහා ලබා දීම නැවත ඉල්ලා ඇත. එය දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යැම සඳහා තිබූ බරපතළ බාධකයකි.

කෙසේ වෙතත් මේ නීති පද්ධතිය පිළිබඳ ව එකඟතාව කෙතරම් ප්‍රමාණවත් ද යන්න ගැන සමහර පරිසර ක්‍රියාකාරිකයන් අතර එකඟතාවක්‌ නොමැති බව දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස මෙමඟින් අදාළ ක්‍රියාවලියේ දියුණුවක්‌ සංකේතවත් කරන නමුත්, ලෝකය හා සම්බන්ධ ව සැලකූ විට එය ප්‍රමාණවත් ප්‍රතිඵලයක්‌ අත්පත් කර දෙන්නේ ද යන්න මෙහි දී මතු කර ඇති ගැටලුවයි. ඒ නිසා පෝලන්ත සමුළුව ක්‍රියාකාරී ප්‍රතිඵලයක්‌ අත්පත් කරගැනීමට තිබූ අවස්‌ථාවක්‌ ගිලිහුණු එකක්‌ සේ ඇතැමුන් පෙන්වා දී ඇත. එයින් කියෑවෙන්නේ මේ එකඟතාව ලෝකයේ දැන් ඇති වී තිබෙන කඩිනමින් කටයුතු කිරීමට ඇති අවශ්‍යතාව හා සංසන්දනය කරන විට ප්‍රමාණවත් නො විය හැකි බවයි. නිදසුනක්‌ ලෙස ගත් විට එක්‌ නියෝජිතයකු පවසා ඇත්තේ "මේ කළ හැකි දෙය වන අතර, අවශ්‍ය දේ නො වෙයි" යනුවෙනි.

කෙසේ වෙතත්, කිසියම් හෝ නීති පොතක්‌ පිළිබඳ ව එකඟතාවක්‌ ඇති වීම වැදගත් ය.

හරිතාගාර වායු විමෝචන සීමා කිරීම


2020 වර්ෂය වන විට රටවල් තමන්ගේ කාබන් විමෝචන සීමා කළ යුතු මට්‌ටම සඳහා පදනම වන ජාතිකමය වශයෙන් නිර්ණය කළ දායකත්වයේ නව සැලසුම් දැනුම් දෙන ලෙස රටවලින් ඉල්ලා ඇත. මෑත කාලයේ දී පළ වූ බොහෝ විද්‍යාත්මක වාර්තාවලින් නැවත නැවත පෙන්වා දී තිබුණේ මේ වන විට ප්‍රකාශිත ජාතිකමය වශයෙන් නිර්ණය කළ දායකත්වය මඟින් රටවල් පොරොන්දු වී ඇති කාබන් විමෝචන කපා හැරීමේ ප්‍රමාණය පැරිස්‌ ගිවිසුමෙන් අපේක්‌ෂා කර ඇති ඉලක්‌ක අත්පත් කරගැනීම සඳහා ප්‍රමාණවත් නො වන බවයි.

මේ සමුළුවේ දී ද කාබන්ඩයොක්‌සයිඩ් ඇතුළු හරිතාගාර වායු විමෝචන කඩිනමින් කපා හැරීමේ ඇති වැදගත්කම බොහෝ පාර්ශ්ව විසින් පෙන්වා දෙනු ලැබ ඇත. ඒ පිළිබඳ ව ලෝකයේ ඇතැම් රටවල් මුහුණපා ඇති තත්ත්වය වඩාත් බරපතළ බව පැහැදිලි ය.

රට රටවල් අතර වෙනස්‌කම්


දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමට අවශ්‍ය අන්තර්ජාතික සහයෝගය පිළිබඳ ව ඇති ගැටලු මේ සමුළුවේ දී අවධානයට ලක්‌ වූ කරුණකි. එයට මූලික හේතුවක්‌ ලෙස ඒ ඒ රටවල දේශපාලනයේ දී ජාතිකත්වය හා සම්බන්ධ කණ්‌ඩායම් ඉදිරියට පැමිණීම හා බලය ලබාගැනීම දක්‌වා තිබෙයි. එහි දී අදාළ රටවල ප්‍රතිපත්ති වෙනස්‌ වීමෙන් හුදෙක්‌ ජාතික වැදගත්කමක්‌ ඇති කරුණු පමණක්‌ සැලකිල්ලට ලක්‌ වීම මීට හේතුවයි. කෙසේ වෙතත්, මේ නිසා දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ව කටයුතු කිරීමේ දී පසුබෑමක්‌ ඇති වී තිබෙයි. ඇමෙරිකාවේ ජනාධිපති ධූරයට ට්‍රම්ප් පත් වීමෙන් පසුව එරටේ දේශගුණ ප්‍රතිපත්තිවල ඇති වී තිබෙන වෙනස්‌ වීම් මීට නිදසුනකි. එසේ ම මෑත කාලයේ දී බ්‍රසීලයේ ඇති වී තිබෙන දේශපාලන වෙනස්‌ වීම් ද ඊට නිදසුනක්‌ සේ දක්‌වා ඇත.

මේ විවිධ වූ අදහස්‌ ඇති රටවල් අතර තවමත් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ව කටයුතු කිරීමේ දී රටවල් අතර ඇති උනන්දුව සමාන ආකාරයෙන් පවත්වාගැනීමට හැකි වීම වැදගත් ය. ඒ පිළිබඳ ව රටවල් අතර ඇති උත්සාහයේ අඩුවක්‌ නො වීම වැදගත් සේ සැලකෙයි. මේ වන තෙක්‌ ඇති එකඟතාව සම්බන්ධ ව සියලු ම රටවල් පාහේ එකඟ වී තිබීම මේ සඳහා හේතුවයි.

දේශගුණ වාර්තාවට වූ දේ


පසුගිය ඔක්‌තෝබර් මාසයේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලය (IPCC) නිකුත් කළ වාර්තාව පිළිගැනීමට ඇතැම් රටවල් විරුද්ධත්වය පළ කිරීම මේ දේශගුණ සමුළුවේ දී සිදු විය. එම වාර්තාවෙන් පෙන්වා දී තිබුණේ ලෝකය අපේක්‌ෂා කරන ඉලක්‌කය වන සෙල්සියස්‌ අංශක 1.5 සීමාව ඇතුළත ලෝක උෂ්ණත්වය ඉහළ යැම පවත්වාගැනීම අපහසු වන බව හා අංශක 3ක පමණ උෂ්ණත්ව වර්ධනයක්‌ සිදු විය හැකි බව ය. උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 1.5කට සීමා කිරීමට නම්, 2030 වර්ෂය වන විට ලෝකයේ මුළු කාබන්ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය අද මට්‌ටමට වඩා 45%කින් පමණ අඩු කළ යුතු බව ද එහි දක්‌වා ඇත. ඒ සඳහා කඩිනමින්, පුළුල් හා ඇතැම් විට මෙතෙක්‌ නො සිතූ ආකාරයේ පියවර ගත යුතු වෙයි. ඒ වාර්තාව ලෝකය පුරා, විද්‍යාඥයන් හා පරිසරවේදීන් අතර පිළිගැනීමකට ලක්‌ විය.

පෝලන්ත සමුළුවේ දී එම වාර්තාව පිළිගැනීම පිළිබඳ ව රටවල් කිහිපයක්‌ එරෙහි විය. එම රටවල අදහස වූයේ අදාළ වාර්තාව පිළිබඳ ව සටහන් කරන (take note) බවක්‌ සඳහන් කළ යුතු බවයි. කෙසේ වෙතත් සෙසු රටවල් විසින් දිගින් දිගට ම සිදු කරන ලද මැදිහත් වීම නිසා අවසානයේ දී මේ දේශගුණ සමුළුවේ දී මේ වාර්තාව සම්පූර්ණ කළ බව පිළිගැනීමට හා එය භාවිත කිරීමට රටවලට ආරාධනා කිරීමට එකඟ වී ඇත. වාර්තාව පිළිගැනීම තරම් නො වුව ද මෙය වැදගත් ප්‍රතිදානයකි. ෂඡCC ආයතනය පිළිබඳ ව හා විද්‍යාත්මක දත්ත පිළිගැනීමට එකඟ වීම සතුටුදායක කරුණකි. එහෙත් එය ප්‍රමාණවත් නො වන බව විද්‍යාඥයන් හා පරිසරවේදීන්ගේ අදහස වෙයි.

වෙනත් කරුණු


අනෙක්‌ අතට දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ව වැදගත් සාධකයක්‌ ලෙස සැලකෙන ගල් අඟුරු භාවිතය ප්‍රවර්ධනය කරන ආකාරයේ කටයුතු ගැන ඇමෙරිකාව හා පෝලන්තය උනන්දු වූ බවක්‌ පැවසේ. එම රටවල් ගල් අඟුරු මත තදින් යෑපෙන රටවල් අතර වෙයි. එබැවින් දේශගුණ සමුළුවේ දී එවැන්නක්‌ සිදු වීම පරිසර ක්‍රියාකාරිකයන්ගේ විවේචනයට ලක්‌ විය.

මේ සමුළුවේ දී තරුණ පිරිස්‌වල ක්‍රියාකාරිත්වයේ හා ඉදිරිපත් වීමේ පැහැදිලි වර්ධනයක්‌ දැකිය හැකි වූ බව සඳහන් වෙයි. විවිධ රටවල් නියෝජනය කරමින් සමුළුව හා ඊට සමගාමී ව පැවැති වැඩසටහන්වලට සම්බන්ධ වූ මේ පිරිස්‌ අනුව පෙනෙන්නේ ලෝකයේ තරුණ පිරිස්‌ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ව දක්‌වන උනන්දුවයි. එය වැදගත් වන්නේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අරගලයට එමඟින් ජවයක්‌ ලැබෙන නිසා ය.