Thursday, May 12, 2016

මනෝජ්, ඔබට ජය පතමි

මට ඔහු මුලින්ම හමුවන්නේ 1995-1996 පමණ කාලයේදීය. ඒ එවකට පැවැති පොදුජන එක්සත් පෙරමුණු රජය පැකේජය කරපින්නාගෙන සාම ගමනේ යමින් සිටි වකවානුවයි. එවකට රට බෙදීමට එරෙහිව හා ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි සංවිධාන අතළොස්ස අතර කැපී පෙනෙන කාර්යයක් ඉටු කළේ චින්තන පර්ෂදයයි. මහජන රැස්වීම් හා දේශන, පෝස්ටර් ව්‍යාපාර හා කාලය සඟරාව එ් සඳහා වූ මාධ්‍යය විය. සරසවියේ පළමු වසරේ සිටි මමද චින්තන පර්ෂදයේ කටයුතු හා එක්ව සිටියෙමි.

මහජන පුස්තකාලයේ පැවැති එහි මහජන රැස්වීම්වලදී ඔහු නිතිපතාම වාගේ මට හමු විය. එවකට පාසල් අධ්‍යාපනය හමාර කරමින් සිටි ඔහු ජාතිකත්වයට නැඹුරුව සිටි ඒවැනි කටයුතුවලට මහත් වූ ලැදියාවක් දැක්වූවෙක් විය. අප ආසන්න ප‍්‍රදේශයක ජීවත් වූ බැවින් ඇතැම් විට මග තොටදී හමුව කතා බහ කිරීමට හැකි විය. ඒ මිත‍්‍රත්වය වසර විසිගණනක් ගොස් අදත් තිබේ.

කාලය ගතවද්දී මාධ්‍ය ක්ෂේත‍්‍රයෙන් මා ඈත්වු අතර, ඔහු මාධ්‍ය ක්ෂේත‍්‍රයට පිවිසයේය. එය හුදෙක් වෘත්තීය පුවත්පත්කලාවේදියකු වීමට සීමා නොවූ අතර, ඔහු ජාතිකත්වය පදනම් කරගත් හරවත් මෙහෙවරක් උදෙසා දිගින් දිගටම සිය පෑන මෙහෙයවූයේය. පුවත්පත් කලාවේ පියවරින් පියවර ඉදිරියට ගියේ අපේ රට ජාතිය පිළිබඳ ජාතිකත්වයෙන් යුතු අදහස් ඔහුගේ ලිපිලේඛනවලින් පෙන්වා දෙමිණි. (ඔහු ලියූ දේශපාලන ලිපි පිළිබඳව යම් යම් විවේචන මට තිබුනු අතර ඒවා ඇතැම් විට ඔහුටද පැවසීමි.)

දැන් ඔහු සිය මාධ්‍ය මෙහෙවරේ කිසියම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව පෙනේ. යළි යළිත් නොකීවද මේ සිදුවීම දැන් රටම දනියි. වාර්තා වන ආකාරයට, 'ඉරිදා දිවයින' පළවූ පළ වූ ඒ ආන්දෝලනාත්මක ලිපියේ වගකීම භාරගනිමින් ඔහු රැකියාවෙන් ඉල්ලා අස්වී තිබේ. රැකියාව පසෙකලා එවැනි තීරණයක් ගැනීමට ඔහුට කොන්දක් තිබී ඇත. එ් අසාධාරණය වෙනුවෙන් කතා කරන්නට නිදහස් මාධ්‍ය ඔස්තාර්ලා නොමැත. එසේම රට වෙනුවෙන් ලියූවන්ට එවැනි සහයක් නොලැබෙන බව ඔහු අමුතුවෙන් නොදන්නා අයෙක් නොවේ.

ඉතින්, මනෝජ් අබයදීර නම් වූ මිත‍්‍රය ඔබට ජය පතමි...

Tuesday, April 12, 2016

සැබෑ ලෝකයේ මිතුරු ඇසුර ඉක්‌මවා නො යන ෆේස්‌බුක්‌ මිතුරු ඇසුර

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 5, 08.04.2016

Vidusara - "Facebook friends do not exceed real world friends"

http://www.vidusara.com/2016/04/06/feature1.html



මීට මාස කිහිපයකට පෙර අප දන්නා වැඩිහිටි වෘත්තිකයෙක්‌ මිය ගියේ ය. ඔහු ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට ව සිටි අයෙකි. ඉන් මාස දෙකකට පමණ පසු එළැඹුණු ඔහු ගේ උපන් දිනය වෙනුවෙන් ඔහු ගේ ෆේස්‌බුක්‌ තීරයේ මිතුරන් කිහිප දෙනකු සුබපැතුම් පළ කර ඇති ආකාරය දැකිය හැකි විය. එය ඔහු ගේ සමස්‌ත ෆේස්‌බුක්‌ මිතුරු මිතුරියන් සුළු පිරිසක්‌ වුවත්, එය වැදගත් වන්නේ ඔහු මිය ගිය පුවත නො දන්නා ෆේස්‌බුක්‌ මිතුරන් ද සිටි බවට මෙය සාධකයක්‌ වීම නිසා ය. ෆේස්‌බුක්‌ යොදාගනු ලබන මූලික අරමුණ වන්නේ අපේ මිතුරු මිතුරියන් හා කඩිනමින් සම්බන්ධතා පවත්වාගැනීම හා අපේ අදහස්‌ අපට සමීප පිරිස්‌ වෙත යොමු කිරීම ය. (අපේ රටේ ඇතැම් දේශපාලනඥයන් නො දන්නා නමුත්, මීට දේශපාලන අදහස්‌ ද ඇතුළත් විය හැකි ය). එහෙත් පෙර කී නිදසුනෙන් පෙනෙන්නේ යම් අයකු ගේ ෆේස්‌බුක්‌ මිතුරු ලැයිස්‌තුව දිගු වුව ද, ඔහු ගේ ෆේස්‌බුක්‌ පැතිකඩ (profile) හා විස්‌තර ඔහු ගේ මිතුරක්‌ සියලු දෙනා ම නො බලන බවයි.

මෙය ෆේස්‌බුක්‌ මිතුරන් අතර පමණක්‌ නො ව අපේ සාමාන්‍ය ජීවිතයේ සැබෑ ලෝකයේ මිතුරු-මිතුරියන් සඳහා ද පොදු වූ කරුණකි. අපට කෙතරම් මිතුරු මිතුරියන් සිටිය ද, අප හා සමීප ව ඇසුරු කරන්නේ ඉන් සීමා සහිත පිරිසක්‌ පමණි. කෙසේ වෙතත් බොහෝ දෙනා සිතන පරිදි සැබෑ ජීවිතයේ මිතුරනට වඩා වැඩි පිරිසක්‌ සමග සම්බන්ධතා පැවැත්වීමට ෆේස්‌බුක්‌ වැනි සමාජ ජාල ඔස්‌සේ හැකියාවක්‌ තිබේ. ඒ අඩු කාලයක්‌ තුළ අපේ තොරතුරු වැඩි පිරිසක්‌ වෙත යොමු කළ හැකි නිසා ය. ඇතැමුන් සමාජ ජාල පරිහරණය සඳහා යොමු වීමේ අරමුණ වන්නේ ද මේ කරුණයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, වැඩි මිතුරු පිරිසක්‌ ඇති කරගැනීම හා පහසුවෙන් මිතුරු සම්බන්ධතා පවත්වාගැනීමයි (වෙනත් අරමුණු ඇති පිරිස්‌ ද නැතිවා නො වේ). එහෙත් පසුගිය ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් වූ එක්‌ පර්යේෂණ පත්‍රිකාවකට අනුව, ෆේස්‌බුක්‌ භාවිතයෙන් ඇති කරගත හැකි මිතුරු මිතුරියන් ගණනට ද සීමාවක්‌ තිබේ.

සැබෑ ලෝකයේ මිතුරන් ගණන සීමාසහිත ඇයි?


පළමුව සැබෑ ජීවිතයේ දී අප ඇසුරු කරන මිතුරු මිතුරියන් ගණන සීමා සහිත වන ආකාරය ම`දක්‌ විමසා බලමු. කාලයෙන් කාලයට අප ඇසුරු කරන මිතුරන් වෙනස්‌ වේ. අප පාසල් ගිය කාලයේ මිතුරන් අතරින් අද වන විට තරමක්‌ හෝ සමීප ව ආශ්‍රය කරන්නේ ඉතා සුළු පිරිසකි. සරසවියෙන් පිට වූ පසු සරසවි මිතුරන් අපෙන් ඈත් වීම ඉතා ඉක්‌මනින් සිදු වේ. වැඩිහිටියන් ගේ මිතුරන් වන්නේ සේවා ස්‌ථානයේ අය හා අසල්වැසියන් ය. "සුළෙ`ග් ලෙලෙනා මල් සේ ද`ග පා - අප පාසල් ගිය කාලයේ - යාළුවො අද නැත- වෙන අය එහි ඇත - කාලය මැවු වෙනසක අරුමේ" යන සුප්‍රකට ගීතයෙන් කියෑවෙන්නේ ද මේ යථාර්ථයයි.

කෙසේ වෙතත් එසේ අපේ මිතුරු මිතුරියන් ගණන සීමා වන්නේ කුමක්‌ නිසා ද යන්න අපට ඇතැම් විට නො සිතෙන කරුණකි. මිනිසුන් ගේ මොළය සතු ප්‍රජානන හැකියාව අනුව බහුවිධ සම්බන්ධතා සැකසීමට අප ගේ මොළයට ඇති හැකියාව සීමා වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් එක්‌ වරක දී අපට කතා කළ හැකි මිතුරන් ගණන සීමා සහිත ය. මේ අනුව මිතුරු සම්බන්ධකම් පවත්වාගෙන ගිය හැකි ස්‌වාභාවික කණ්‌ඩායමේ ප්‍රමාණය මිනිසුන් සඳහා 100-200 අතර වේ. එහි සාමාන්‍යය 150ක්‌ සේ සැලකිය හැකි ය. මේ කල්පිතය සමාජ- මස්‌තිෂ්ක කල්පිතය (social brain hypothesis) නම් වන අතර මේ ප්‍රමාණය ඇතැම් විට ඩන්බාර් ගේ අංකය (Dunbar's number) ලෙස හඳුන්වනු ලබන්නේ එය ඉදිරිපත් කළ මහාචාර්ය රොබින් ඩන්බාර් ගේ නමිනි (ඔහු අප මාතෘකා කරගත් අධ්‍යයනයේ කතුවරයා ද වෙයි). ප්‍රයිමේටාවන් ගේ මොළයේ ප්‍රමාණය හා සමාජ කණ්‌ඩායම් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහු එය ඉදිරිපත් කර ඇත. අද වන විට ද දඩයමේ යෙදෙන මානව කණ්‌ඩායම්වල සාමාජිකත්වය මෙවැනි අගයකට සීමා වේ. එසේ ම මේ සම්බන්ධතා පවත්වාගෙන යැම තවදුරටත් සීමා කරනු ලබන්නේ ඒ සඳහා යෙදවිය හැකි කාලය සීමා වීම ම`ගිනි. අපට අපේ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යැම සඳහා යොදාගත හැකි කාලය සීමා වේ. මෙය ස්‌වාභාවිකව සිදු වන්නකි. මෙය අදාළ මිත්‍රත්ව පවත්වාගැනීම සඳහා අපට ඇති කාලය මත තවදුරටත් සීමා වේ.

ෆේස්‌බුක්‌ මිතුරන් ගණන සිතන තරම් ඉහළ නැහැ


ෆේස්‌බුක්‌ මිතුරන් පිළිබඳව සිදු කරන ලද, අප මාතෘකා කරගන්නා අධ්‍යයනයේ දී උත්සාහ දරා ඇත්තේ ෆේස්‌බුක්‌ වැනි සමාජ ජාල යොදාගැනීමෙන් ඉහත සඳහන් කළ බාධක ඉක්‌මවා යා හැකි වේ ද යන්න සොයා බැලීමට ය. මේ සඳහා බ්‍රිතාන්‍ය වාසීන් 3,375ක පමණ පිරිසක්‌ සම්බන්ධ කරගනිමින් සමීක්‌ෂණ දෙකක්‌ පවත්වා තිබේ.

නිතර සමාජ ජාල භාවිත කරන හා ඒ පිළිබඳව තෘප්තිමත් බවකින් යුක්‌ත වූ දෙ දහසක පමණ පිරිසක්‌ සම්බන්ධ කරගත් පළමු සමීක්‌ෂණයේ දී පෙනී ගොස්‌ තිබූ පරිදි, ෆේස්‌බුක්‌ භාවිත කරන්නකුට ඇති සාමාන්‍ය මිතුරන් ගණන ආසන්න වශයෙන් 155ක්‌ (නිශ්චිතව 155.2) පමණ වේ. මෙහි දී කාන්තාවන්ට ඇති මිතුරු මිතුරියන් ගණන පිරිමින්ට වඩා ම`දක්‌ අධික වේ. කාන්තාවන් සඳහා වන සාමාන්‍යය 165.5ක්‌ වූ අතර, පිරිමින් සඳහා එය 145ක්‌ පමණි. අනෙක්‌ සමීක්‌ෂණයට සම්බන්ධ කරගත් 1,375ක්‌ පමණ වූ පිරිසට මූලික වශයෙන් ඇතුළත් ව සිට ඇත්තේ වෘත්තිකයන් ගෙන් සැදුම්ලත් නියෑදියකි. එහි දී හෙළි වූ පරිදි ඔවුන් ගේ මිතුරන් ගණනේ සාමාන්‍යය ආසන්න වශයෙන් 183ක්‌ (නිශ්චිතව 182.8) පමණ විය. එහි දී කාත්නාවන් සඳහා 196.2ක්‌ හා පිරිමින් සඳහා 156.6ක්‌ යන අගය ලැබී තිබේ. අපේක්‌ෂා කළ හැකි ආකාරයට ම, වැඩිහිටි පරපුරේ ෆේස්‌බුක්‌ සාමාජිකයකුට වඩා වැඩි මිතුරන් ප්‍රමාණයක්‌ තරුණයකුට සිටියි.

මේ කියන මිතුරු-මිතුරියන් ගණන සැබෑ ලෝකයේ මිතුරු-මිතුරියන් ප්‍රමාණය පිළිබඳ ඉහත කී සීමාව වන 150 (100-200ක පරාසය) හා මනාව ගැලපේ. ඒ අනුව, සැබෑ ලෝකයේ දී ආශ්‍රය කළ හැකි මිතුරු මිතුරියන් ගණනට වඩා විශාල මිතුරු මිතුරියන් ප්‍රමාණයක්‌ ඇසුරු කිරීමට අවස්‌ථාවක්‌ ෆේස්‌බුක්‌ වැනි සමාජ ජාලවලින් ද අවස්‌ථාවක්‌ නො ලැබේ. මේ අනුව ෆේස්‌බුක්‌ යනු මූලික වශයෙන් දන්නා හඳුනන අය ගෙන් (acquaintances) සමන්විත වූ ජාලයක්‌ මිස සමීප හිතවතුන් ගේ ජාලයක්‌ නො වේ. එසේ ම සැබෑ ලෝකයේ අප ඇසුරු කරන මිතුරන් ගණන සීමා කිරීමට බලපාන සාධක ෆේස්‌බුක්‌ වැනි සමාජ ජාලාවල මිතුරු ඇසුරේ ප්‍රමාණය සීමා කිරීම සඳහා ද බලපාන බව පැහැදිලි ය. මේ බව උක්‌ත සමීක්‌ෂණවල දී මනාව පෙනී ගොස්‌ තිබේ.

ෆේස්‌බුක්‌ ජාලයේ සමීප මිතුරන් අඩුයි


මේ සමීක්‌ෂණයේ දී හෙළි වී ඇති ආකාරයට ෆේස්‌බුක්‌ සාමාජිකයකුට කෙතරම් මිතුරන් සංඛ්‍යාවක්‌ සිටිය ද ඒ අතරින් නියම මිතුරන් (genuine friends) සේ සලකනු ලබන්නේ 27.6%ක්‌ තරම් ප්‍රමාණයකි. එමෙන් ම කිසියම් ආපදාවක්‌ හෝ හදිසි අවස්‌ථාවක දී මානසික හෝ සමාජයීය සහායයක්‌ ලබාගැනීම සඳහා යොමු වන්නේ 4 දෙනකු තරම් වූ කුඩා මිතුරන් ගණනක්‌ වෙත ය. අනෙක්‌ අතට සහනයක්‌ හෝ අනුකම්පාවක්‌ හෝ ලබාගැනීමට අපේක්‌ෂා කරන්නේ 14ක්‌ පමණ වූ මිතුරන් පිරිසක ගෙන් (සමීප මිතුරන්) පමණි. මෙය සැබෑ ලෝකයේ මිතුරු ඇසුරේ දී අප සහාය හා සහනය අපේක්‌ෂාවෙන් සමීප වන මිතුරන් ගේ ගණන හා බෙහෙවින් සමාන බව පෙනේ.

ෆේස්‌බුක්‌ මිතුරන් ලෙස විශාල පිරිසක්‌ වෙන් වුව ද ඒ තුළ මෙවැනි තත්ත්වයක්‌ ඇති වන්නට එක්‌ හේතුවක්‌ වන්නේ සැබෑ ලෝකයේ දී අපට සමීප මිතුරන් හා දන්නා හඳුනන අය හෙවත් දුරස්‌ථ මිතුරන් (acquaintances) සිටිය ද ෆේස්‌බුක්‌ සමාජ ජාලයේ දී මෙය එකක්‌ සේ සැලකීම ය.

මේ අනුව සිය ගණන් ෆේස්‌බුක්‌ මිතුරන් සිටි පමණින් තමන්ට විශාල මිතුරු ජාලයක්‌ පවත්වාගෙන යා හැකි යෑයි සිතීම එක්‌තරා ආකාරයකට විහිළුවක්‌ බව මේ පර්යේෂකයා ගේ මතයයි. කෙසේ වෙතත් කාලයත් සමග තම මිත්‍රත්වයන් දියාරු වී වියෑකී යැමේ වේගය අඩු කිරීම සඳහා ෆේස්‌බුක්‌ ජාලය උපකාරී වන බව සත්‍යයකි. එහෙත් කාලයත් සම`ග ඕනෑ ම මිතුරකු දන්නා හඳුනන අයකු බවට පත් වීම වැළැක්‌වීම සඳහා ෆේස්‌බුක්‌ හෝ වෙනත් සමාජ ජාලයකට හැකියාවක්‌ නොමැත. එසේ වීම වැළැක්‌වීමට නම්, අප අපේ මිතුරු- මිතුරියන් කලින් කල සැබෑ ලෝකයේ දී මුහුණට මුහුණ මුණගැසීම අත්‍යවශ්‍ය වේ.

මේ අනුව සමීප සම්බන්ධකම් ඇති මිතුරන් හමු වන්නේ සැබෑ ලෝකයේ සාම්ප්‍රදායික ක්‍රමයට මුහුණට මුහුණ හමු වන මිත්‍රත්වයක දී පමණක්‌ බව මේ අධ්‍යයනයෙන් පෙනේ. මේ අනුව ෆේස්‌බුක්‌ ඔස්‌සේ මිතුරන් හා ගනුදෙනු කිරීමට අප යොදාගන්නා හුවමාරු කිරීම් (Share) හා කැමැත්ත දැක්‌වීම් (Like) වැනි ප්‍රතිචාරවලට වඩා සැබෑ ලෝකයේ මිතුරන් හා අප කරන ක්‍රියාකාරකම් වන අත්දැකීම් බෙදාගැනීම, සුහද කතාබහ හා කෑම-බීම බෙදාහදාගැනීම වැනි දේට බැඳීම් ඇති කිරීමේ හා පවත්වාගැනීමේ හැකියාවක්‌ ඇති බව පෙනේ. (මූලාශ්‍රය: Royal Society Open Science, DOI: 10.1098/rsos.150292)

http://www.vidusara.com/2016/04/06/feature1.html

ඔස්ට්‍රේලියාවේ විශාල සතුන්ගේ වඳ වීමට මිනිසුන්ද වගකිව යුතුයි


ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 5, 23.03.2016

(Vidusara, 23.03.2016) - "Humans responsible for the extinction of large animals in Australia"

Not available in Vidusara website


ඔස්ට්‍රේලියා මහාද්වීපයේ අතීතයේ වාසය කළ, අද දැකිය නොහැකි බරින් හා ප්‍රමාණයෙන් විශාල සත්ත්වයින් පිළිබඳ සාධක ලැබෙන්නේ අදින් වසර 170කට පෙර කාලයක පමණ සිටය. එම මහාද්වීපයේ වාසය කළ එවැනි කිලෝග්‍රෑම් 45ට වඩා බර සත්ත්ව විශේෂ ගණනාවක් පිළිබඳ ශේෂ ලෙන් තුලින් හා විල් පතුල්වලින් ලැබී තිබේ. මේ සත්ත්ව විශේෂ අතර බරින් විශාල කැන්ගරු විශේෂයක්, විශාල වොම්බැට් සත්ත්වයෙක් හා මාංශභක්ෂකයකු වන සිංහයා ලෙස හඳුන්වන සත්ත්වයා මෙන්ම විශාල කබරයකු වැනි සතෙක්ද සිටියි.

කෙසේ වෙතත් මේ සත්ත්ව විශේෂ අතරින් 85%ක් තරම් ප්‍රමාණයක් අතීතයේ කිසියම් කාලයකදී වඳවී ගොස් තිබේ. ඒ සඳහා බලපා ඇති හේතු පිළිබඳව මතභේද තිබේ. මේ වන විට වැඩි පිළිගැනීමක් ඇති හේතු දෙකක් දැක්වෙන අතර, ඒ දේශගුණයේ ඇති වූ වෙනස්වීම් හා මිනිසුන්ගේ බලපෑමයි. අදින් වසර 60,000ත් 40,000ත් අතර කාලයේදී ඔස්ට්‍රේලියාවේ කාලගුණය දැඩි වියළි තත්ත්වයකට පත් වී ඇත. එහෙත් ඉන් පෙර ඇති වූ වඩා බරපතළ දේශගුණික වෙනස්වීම්වලදී පවා මේ සත්ත්ව විශේෂ ආරක්ෂා වී තිබීම නිසා මේ කාලයේ ඇති වූ දේශගුණික වෙනස් වීම් උක්ත සත්ත්ව විශේෂවල වඳවීයාමට බලපෑ එකම හේතුව විය නොහැකි බව වැඩි පිලිගැනීමක් ඇති මතය වේ.

මිනිසුන් ඔස්ට්‍රේලියාවට පැමිණි දිනය නිශ්චිතව නොදන්නා නමුත්, අදින් වසර 47,000ක් පමණ පෙර කාලයක් වන විට එහි බොහෝ ප්‍රදේශ දක්වා ව්‍යාප්තව සිටි බවට මේ වන විට සාධක ලැබී ඇත. එමෙන්ම අදින් වසර 40,000ත් 50,000ත් අතර කාලයකදී පෙර කී විශාල සතුන්ගේ අවසන් පොසිල සාධක හමු වේ. මේ දිනවල ඇති සමගාමී බව නිසා මිනිසුන්ගේ ව්‍යාප්ත වීම හා ඉහත කී විශාල සතුන්ගේ වඳවී යාම අතර කිසියම් සම්බන්ධයක් ඇති බවට අනුමාන කළ හැකිය.

මිනිසුන් විසින් දඩයම් කිරීම වැනි කරුණු නිසා මේ විශාල ප්‍රමාණයේ සතුන් වඳව යන්නට ඇති බව මේ වන විට විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇති අදහසකි. එහෙත්, මිනිසුන් ඒ සඳහා සාධකයක් වී ඇති බවට සැකයක් නොමැතිව පිළිගත හැකි සාධක මෙතෙක් හමු වී නොතිබීම මේ මතය සඳහාද ගැටලූවක් විය.

අතීතයේ විසූ මේ සතුන්ගේ ශේෂ හමුවීම හා අධ්‍යයනය කිරීම එතරම් පහසු කරුණක් නොවන්නේ එරට දැකිය හැකි පසේ ස්වභාවය නිසා මේ අස්ථි හා වෙනත් ශේෂ පහසුවෙන් ජීර්ණය වීම නිසාය. එසේම ඒවා වඩාත් පැරණි වීමද නිසා එවැනි සාධක හමු නොවන ස්වභාවයක් දැකිය හැකි විය. එහෙත් මේ වර්ෂයේදී ප්‍රකාශයට පත් වූ, නවතම පර්යේෂණයකින් මිනිසුන් හා ඔස්ට්‍රේලියාවේ අතීතයේ විසූ සතුන් අතර තිබූ සම්බන්ධය හා එම සතුන්ගේ වඳවී යාමට මිනිසුන්ද වගකිව යුතු බවට ඍජු සාධක හෙළිදරව් කර ඇත. මේ අනුව ඔස්ට්‍රේලියාවේ විසූ විශාල පක්ෂියකුගේ වඳවී යාම සඳහා මිනිසුන්ගේ කටයුතු තීරණාත්මකව බලපා ඇති බව පැහැදිලිය. මෙවැනි සාධකයක් නිසැකව ලැබුණු අවස්ථාවක් ලෙසද මෙය දැක්විය හැකිය.

වඳව ගිය පක්ෂියා


මේ අධ්‍යයනය සඳහා පදනම් වන්නේ ඔස්ට්‍රේලියාවේ වාසය කළ විශාල ප්‍රමාණයේ පක්ෂියකුගේ බිත්තරවල පොසිලමය සාධක පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකි. Genyornis newtoni ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වනු ලබන මේ පක්ෂියා මීටර් දෙකකට අධික උසකින් යුතු අතර බරින්, කිලෝග්‍රෑම් 200ක් පමණ වේ. එසේම මේ පක්ෂියාට පියෑඹීමට නොහැකිය.

මේ පක්ෂීන් ඔස්ට්‍රේලියාවට මිනිසුන් පැමැණීමට පෙර සිටම එහි වාසය කළ සතෙක් වන අතර, කිසියම් කලකදී වඳවී ගොස් ඇත. මේ පක්ෂියාගේ බිත්තර දමන වැලි වැටි වැනි ස්ථාන ආශ්‍රිතව පුරාස්ථානවලින් මේ පක්ෂින්ගේ බිත්තර කටු ලැබෙන අතර ඔස්ට්‍රේලියාව පුරා ස්ථාන දෙදහසකින් පමණ ලැබී ඇති Genyornis පක්ෂීන්ගේ බිත්තර කටුවල කාලනිර්ණය අනුව ඒවා අතරින් වඩාත්ම මෑත කාලීන ඒවා වසර වසර 44,000ත් 54,000ත් අතර කාලයට අයත් බව පැහැදිලි විය. ප්‍රකාශ උත්තේජිත සන්දීප්තතා කාලනිර්ණ (OSL - Optically stimulated luminescence dating) කාලනිර්ණ ක්‍රමය මගින් අදාළ බිත්තරකටුවල අඩංගු ක්වාට්ස් කණිකා අවසන් වරට සූර්යාලෝකයට නිරාවරණය වූ දිනය ගණන් බලා ඇත.

Genyornis පක්ෂින්ගේ බිත්තර කටු අතර, ගින්නෙන් පුළුස්සා ඇති බවට සාධක සහිත බිත්තරකටු මහාද්වීපයේ ස්ථාන 200ක් පමණ ප්‍රමාණයකින් ලැබී ඇත. ඒ ඔස්ට්‍රේලියා දකුණු දිග හා බටහිර ප්‍රදේශයේ ස්ථානවලිනි. මේවා විවිධ ආකාරයෙන් කළු පැහැගැන්වී අති අතර, අක්‍රමවත් දහනයක් පිළිබඳව සාධක සපයයි. මේ බිත්තර කටු සඳහා විකිරණශීලී කාබන් කාලනිර්ණ (Radiocarbon dating) ක්‍රමය යටතේ දින නියම කර ඇති අතර ඉන් පෙනී ගොස් ඇත්තේ ඒවා වසර 47,000ක වඩා පැරණි ඒවා බවයි.

මිනිසුන් විසින් මේ පක්ෂීන්ගේ බිත්තර එකතු කර, පුළුස්සා ආහාරයට ගත් බවට සාක්ෂියක් ලෙස මේ බව සැලකිය හැකිය. එසේ නම් Genyornis පක්ෂින්ගේ බිත්තර එකතු කරගත් මිනිසුන් එම ස්ථානයේදී හෝ ආසන්න ප්‍රදේශයකදී ගිනිගොඩක් ගසා පිළිස්සීමෙන් පසුව මේ පක්ෂි බිත්තර ආහාරයට ගෙන ඇත. මේ කටු ඉන් පසු අවට ප්‍රදේශයට විසිකර දමා තිබේ. මේ පක්ෂී බිත්තරයක් බරින් කිලෝග්‍රෑම් 1.5ක් පමණ වන බැවින් එය සැලකිය යුතු ආහාරයක් වූ බව සිතිය හැකිය. එහෙත් මේ පිළිස්සුම් සලකුණු ඇති වූයේ මිනිසුන් විසින් පිළිස්සීමෙන්ද යන්නද තහවුරු කරගැනීම පෙර කී පර්යේෂකයන් පිරිසට වැදගත් විය.

බිත්තර පිළිස්සුවේ මිනිසුන්ද?


බිත්තර කටුවල තිබූ පිළිස්සුම් සලකුණුවල යම් විවිධත්වයක් පැවැති බව ඉහත සඳහන් කරන ලදි. ඇතැම් අවස්ථාවල දැකිය හැකි වූ අඩක් පිළිස්සුණු ස්වභාවය, විවිධ උෂ්ණත්ව යටතේ මේවා පිළිස්සූ බවට සාධක ලෙස සැලකිය හැකිය.

මේ පිළිස්සීම් මිනිසුන් විසින් ඇති කළ ගිනි නිසා ඇති වූ ඒවාද, නැතහොත් ඒවා ඔස්ට්‍රේලියාවේ සුලභව ඇති වන ලැව් ගිනි නිසා ඇති වූ පිළිස්සීම්ද යන්න නිසැකව තහවුරු කරගන්නා ලද්දේ තවත් ක්‍රමවේදයක් යොදාගනිමිනි. මේ සඳහා ඇමයිනෝ අම්ල වියෝජනය වන ක්‍රමය භාවිත කර ඇත. කාලයත් සමග බිත්තර කටුවල ඇති ඇමයිනෝ අම්ල ජීරණය වන රටාවක් තිබේ. එහෙත් බිත්තරයක එක් පැත්තක් පමණක් පිළිස්සීමේදී පිළිසේසන ප්‍රදේශයේ ඇමැයිනෝ අම්ල සම්පූර්ණයෙන්ම වියෝජනය වී විනාශ වේ. එහෙත් එහි අනෙක් අන්තයේ කටුවේ ඇමයිනෝ අම්ල විනාශ නොවී ඉතිරි විය හැකිය. මේ පිළිස්සූ බිත්තර කටු කැබැලි රැුසක දැකිය හැකි එක් ලක්ෂණයක් වූයේ එක් අන්තයක ඇමයිනෝ අම්ල සම්පූර්ණයෙන් විනාශ වී තිබීම හා අනෙක් අන්තයේ අවම වශයෙන් විනාශ වී තිබීමය. එවැන්නක් ඇති විය හැක්කේ එක් ප්‍රදේශයක් පමණක් ගින්නට ලක් කිරීම නිසා බව පර්යේෂකයන්ගේ මතය වේ. එනම්, මිනිසුන් විසින් ගින්නේ ලා පිළිස්සීමෙනි.

මේවා ලැව් ගිනි නිසා ඇති වූ පිළිස්සීම් නොවන බවට තවත් සාධක තිබේ. ඇතැම් බිත්තරවල ඇති පිළිස්සුම් සෙල්සියස් අංශක 500ක පමණ උෂ්ණත්වයකට රත් වූ බවක් දැකිය හැකිය හැකිය. මෙවැනි වෙනස්කමක් ස්වාභාවිකව ඇති වන ලැව් ගිනිවලදී ඇති නොවේ.

ඔස්ට්‍රේලියාවේ දැනටද දැකිය හැකි එමු (Dromaius) නම් පක්ෂියාගේ බිත්තර කටු මේ ආකාරයෙන් විවිධ තැන්පතුවලින් හමු වන්නේ අදින් වසර 100,000 කපමණ පෙර කාලයක සිටය. එහෙත් එමු පක්ෂීන්ගේ පිළිස්සුම් සලකුණු සහිත බිත්තර කටු හමුවන්නේද Genyornis පක්ෂියාගේ පිළිස්සුම් ලකුණු සහිත බිත්තර කටු හමුවන කාලය හා සමගාමී කාලයක පටන්ය. එනම්, අදින් වසර 50,000කට පමණ පෙර කාලයක සිටය. එයද මිනිසුන් මුලින්ම ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වූ කාලවකවානුව හා මැනවින් ගැලපේ. එමු පක්ෂින්ගේ බිත්තර, ඔස්ට්‍රේලියාවේ විසූ ආදිවාසින් විසින් දිගින් දිගටම ගින්නේ පුළුස්සා ආහාරයට ගත් බවට සාධක නූතන යුගය දක්වාම ව්‍යාප්ත වූ පුරාවිද්‍යාත්මක සාධක අතරින් හමු වේ.

මිනිසුන් විසින් Genyornis පක්ෂින්ගේ බිත්තර පුළුස්සා ආහාරයට ගැනීම සඳහා දිගින් දිගටම යොදාගැනීමෙන් එම පක්ෂීන්ගේ අභිජනනය සඳහා යම් බලපෑමක් ඇති වූ බව පැහැදිලිය. එය අදාළ පක්ෂි ගහනයේ ස්ථාවරත්වයට බලපෑ අතර, අවසානයේදී පක්ෂීන්ගේ වඳවී යාම සඳහා තීරණාත්මක ලෙස හේතු වූ බව පැහැදිලිය. (මූලාශ්‍රය: Nature Communications, DOI: 10.1038/ncomms10496)

Saturday, March 12, 2016

මහනුවර රථවාහන තදබදය, වායු දූෂණය හා මාර්ග වසා තැබීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 09.03.2016, පි. 5 

Vidusara - Kandy traffic, air pollution and closed road

http://www.vidusara.com/2016/03/09/feature2.html



මධ්‍යම පළාතේ අගනුවර වන මහනුවර නගරයේ පවත්නා රථවාහන තදබදය පිළිබඳව සංවාදයක්‌ මේ වන විට සමාජයේ සාකච්ඡාවට ලක්‌ ව ඇති ආකාරය දැකගත හැකි ය. මෙහි දී අවධානයට ලක්‌ වූ කරුණු අතර, නගරයේ අධික රථවාහන තදබදය, වාහන ධාවනය පිළිබඳ යම් යම් සීමා හඳුන්වා දීම හා දළදා මාළිගය අසලින් වැටී ඇති මාර්ගය විවෘත නො කිරීම පිළිබඳව යම් සංවාදයක්‌ ද දැකගත හැකි ය.

මහනුවර නගරය පිහිටා ඇත්තේ හාත්පසින් වට වූ පහත් භූමියක්‌ ලෙස ය. ප්‍රධාන වශයෙන් හන්තාන හා හුන්නස්‌ගිරි කඳුවැටිවලින් ද, බහිරවකන්ද වැනි තවත් කඳුවලින් ද වට වී ඇති පහත් බිමක්‌ ලෙස මහනුවර නරගය හැඳින්විය හැකි ය. මේ නිසා එය සමාන කළ හැක්‌කේ බේසමකට ය. මේ භූගෝලීය පිහිටීමේ ප්‍රතිඵලය වන්නේ මේ ප්‍රදේශයේ එකතු වන වායු විමෝචන, මේ ප්‍රදේශයෙන් පිටවීම සිදු වන්නේ සෙමින් වීම ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් විවිධ වායු දූෂක ඇතුළත් වාතය නගරයේ වැඩි සාන්ද්‍රණයකින් දැකිය හැකි ය.

විද්‍යාත්මක අධ්‍යයනවලින් හෙළි වී ඇති ආකාරයට මහනුවර නගරයේ දැකිය හැකි වායු දූෂණ ගැටලුව කොළඹ නගරයට වඩා ඉහළ ය. මේ නිසා නගරයේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල වැසියන් අතර ශ්වසන රෝග බහුල බව ද වාර්තාවල සඳහන් වේ. රථවාහන මෙන්ම ඉන්ධන බලාගාර පිහිටා ඇති කොළඹ නගරයේ විමෝචනය වන වායු දූෂක ප්‍රමාණය අධික වුව ද, මුහුදට ආසන්න ව පිහිටා ඇති බැවින් දූෂිත වාතය විසිරී ඉවත් වී යයි. මේ නිසා කොළඹ නගරයේ දූෂිත වාතයේ සාන්ද්‍රණය වසරේ වැඩි කාලයක්‌ තිස්‌සේ ඉහළ අගයක්‌ නො ගනී. (මුහුදු සුළෙග් බලපෑම අඩු කාලවල දී කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යන බව අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ).

දළදා මාළිගය අසල මාර්ගයේ අර්බුදය


මහනුවර නගරයේ වාහන තදබදය සමග ම සාකච්ඡාවට ගැනෙන තවත් කරුණක්‌ වන්නේ මේ වන විට වසා දමා ඇති මාර්ගය එනම් දළදා මාළිගය අසලින් වැටී ඇති මාර්ගය විවෘත කිරීම ය. මේ මාර්ගය A 26 දරන මහනුවර සිට මහියංගනය හරහා පදියතලාව දක්‌වා දිවෙන මාර්ගය වේ. එසේ ම ඊට හාරගම මාර්ගය වැනි මාර්ග කිහිපයකින් මහනුවර නගරයට පිවිසෙන ජනතාවට ඇති ප්‍රධාන මාර්ගයයි. දළදා මාළිගයේ ආරක්‌ෂාව සඳහා මේ මාර්ගයේ කොටසක්‌ වසා දමන ලද්දේ මීට වසර ගණනාවකට පෙර වන අතර ඒ කාලය අතර කෙටි කාලයක්‌ එය විවෘත ව තබා ඇත. දළදා මාළිගයට පැමිණෙන ඕනෑ ම අයකුට පෙනෙන පරිදි, ඒ මාර්ගය වසා දැමීමෙන් පසු ප්‍රදේශයේ ඇති වී තිබෙන්නේ ඉතා නිස්‌කලංක වටපිටාවකි. එය ආගමික ස්‌ථානයක්‌ සඳහා ඉතා යෝග්‍ය තත්ත්වයක්‌ බව ඕනෑ ම ආගමක අනුගාමිකයකුට වැටහෙන කරුණකි. දළදා මාළිගය යනු මෙරට බෞද්ධයන් ගේ වැදගත් ම පූජනීය ස්‌ථානයක්‌ බව අප අමතක නො කළ යුතු ය.

එහෙත් ඉන්පසුව මේ මාර්ගයේ පැමිණෙන වාහන නුවර වැව වටා ගමන් කර නගරයට පිවිසිය යුතු විය. මේ සඳහා කිලෝමීටර් එක හමාරක පමණ දුරක්‌ අමතරව ගමන් කළ යුතු වූ අතර, ඒ නිසා හා ඇති වන වාහන තදබදය නිසාත් මේ සඳහා වැඩි කාලයක්‌ ගත වේ. එහි දී විමෝචනය වන වායු දූෂක නගරයේ වායු දූෂණය සඳහා දායක විය හැකි බව සත්‍යයකි. මේ පිළිබඳව සිදු කර ඇති පර්යේෂණවලින් ද මීට සාධක ලැබී තිබේ. මේ නිසා අදාළ මාර්ගය වෙනුවට විකල්ප ද කලක සිට යෝජනා වී තිබේ. වැවට ඉහළින් නව මාර්ගයක්‌ ඉදි කිරීම, වැවට යටින් උමං මාර්ගයක්‌ තැනීම හා උඩවත්ත කැළේ හරහා මාර්ගයක්‌ ඉදි කිරීම මේ විකල්ප අතර වේ. එහෙත් මේ සියල්ල සැලකිය යුතු බලපෑමක්‌ සහිත ඒවා ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, වැවට ඉහළින් මාර්ගයක්‌ ඉදි කිරීම නගරයේ සුන්දරත්වයට බලපෑමක්‌ ඇති කරන අතර උඩවත්ත කැළේ හරහා මාර්ගයක්‌ ඉදි කිරීම ද එම සුවිශේෂ පරිසරයට සැලකිය යුතු බලපෑමක්‌ ඇති කරන්නකි.

එහෙත් මහනුවර නගරයේ රථවාහන තදබදයට හා වායු දූෂණයට එක ම හේතුව දළදා මාළිගය අසලින් වැටී ඇති මාර්ගය වසා තැබීම නම් නො වේ. දළදා වීදියේ වසා ඇති කොටස විවෘත කිරීමෙන් මහනුවර නගරයේ වාහන තදබදය අඩු කිරීම සඳහා ලැබෙන දායකත්වය 10%ක්‌ පමණ තරම් බව පසුගිය දා මේ පිළිබඳව ඩේලි නිව්ස්‌ පුවත්පතට ලිපියක්‌ සම්පාදනය කරන පේරාදෙණිය සරසවියේ ආචාර්ය ජයලත් එදිරිසිංහ මහතා පවසා තිබිණි. මහනුවර නගරය හුරු පුරුදු කවරකු හට ද මෙය පුදුමයක්‌ නො වේ. නගරයට වැඩි වාහන ප්‍රමාණයක්‌ පැමිණෙන්නේ කටුගස්‌තොට හරහා සහ පේරාදෙණිය හරහා ය. කටුගස්‌තොට හරහා ප්‍රධාන මාර්ග තුනක්‌ ඔස්‌සේ පැමිණෙන වාහන නගරයට ඇතුළු වේ. පේරාදෙණිය හරහා ප්‍රධාන මාර්ග දෙකක්‌ ඔස්‌සේ පැමිණෙන වාහන නගරයට ඇතුළු වේ. එසේම තවත් මාර්ග ගණනාවක්‌ ද තිබේ. අනෙක්‌ අතට පෙර කී මාර්ගය විවෘත කිරීමෙන් තව තවත් වාහන වැඩි වශයෙන් ඒ ඔස්‌සේ නගරයට ඇතුළු වීමට ඉඩ තිබේ. එබැවින් රථවාහන තදබදයට හා වායු දූෂණයට විසඳුම් සෙවිය යුත්තේ සමස්‌ත මාර්ග පද්ධතියම පිළිබඳව සලකා බැලීමෙනි.

එසේ තිබිය දී, හුදෙක්‌ මේ සියල්ලට විසඳුමක්‌ ලෙස දළදා මාළිගය අසල ඇති මාර්ගය විවෘත කරගැනීම සඳහා පමණක්‌ බල කරමින් උද්ඝෝෂණ පැවැත්වීම දැකිය හැකි ය. මේ කණ්‌ඩායම් පසුපස වෙනත් අරමුණු සහිත පිරිසක්‌ සිටින්නේ ද යනුවෙන් සමාජයේ හා සමාජ ජාල තුළ ඇති වී තිබෙන සැකය සාධාරණ බව පෙනෙන්නේ මේ නිසා ය.

පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය


මහනුවර නගරයේ රථවාහන තදබදය සඳහා විසඳුමක්‌ ලෙස කාර්යබහුල වේලාවල දී නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක වාහන ධාවනය තනි අතට සිදු කිරීම ආරම්භ කර ඇති බව ඉතා මෑත දී වාර්තා විය. කොළඹ නගරයේ දී අප අත්දැක ඇති ආකාරයට, මේ පියවර වාහන තදබදය සඳහා සුදුසු විසඳුමකි. වායු දූෂණය අඩු කිරීම සඳහා එය දායක වනු ඇත්තේ සීමා සහිතව ය. නගරයේ වායු දූෂණයට විසඳුම සෙවිය යුත්තේ රථවාහන පැමිණීම සීමා කිරීමෙන් හෝ වාහනවලින් නිකුත් වන වායු දූෂක අවම කිරීමෙනි. එය කළ හැකි නම්, රථවාහන තදබදයට ද විසඳුමක්‌ ලැබෙනු ඇත. නගරයේ ඇති ගොඩනැගිලි අතරින් රැසක්‌ පැරැණි ගොඩනැගිලි වන නිසා නගරයේ මාර්ග පුළුල් කිරීම ද අසීරු කරුණක්‌ වන නිසා වාහන ධාවනය සීමා කිරීම වැදගත් වේ.

ඒ සඳහා ගත හැකි හොඳ ම ක්‍රමවේදය පොදු ප්‍රවාහන සේවා විධිමත් ව ප්‍රවර්ධනය කර ජනතාව ඒ වෙත යොමු කිරීම ය. දුම්රිය සේවාව විධිමත් කිරීම හා නගර සේවා බස්‌ රථ සේවාවක්‌ ඇති කිරීම මේ සඳහා ගත හැකි පියවර අතර වේ. මේ පිළිබඳ යම් යම් යෝජනා ඉදිරිපත් ව ඇති බව ද වාර්තා වී තිබේ.

පේරාදෙණිය දෙස සිට මහනුවරට ළගා විය හැකි ප්‍රධාන දුම්රිය මාර්ගය ඔස්‌සේ ගම්පොළ දෙසින් මෙන්ම කඩුගන්නාව දෙසින් ද මගීන්ට පැමිණිය හැකි ය. අනෙක්‌ දුම්රිය මාර්ගය පැමිණෙන්නේ මාතලේ දිසාවෙනි. මේ නිසා එම දුම්රිය මාර්ග දෙක පුළුල් කිරීම හා කෙටිදුර ධාවනය වන දුම්රිය ප්‍රමාණය ඉහළ නැංවීම මගින් නගරයට පැමිණෙන රථවාහන ප්‍රමාණය අඩු කළ හැකි ය. ඒ දුම්රිය ගමන් ගාස්‌තු අඩු බැවින් ඒ සඳහා මගී ආකර්ෂණය ඇති වන හෙයිනි.

නගර සේවා බස්‌රථ සේවාවක්‌ ආරම්භ කිරීම ද මේ සඳහා වැදගත් පියවරකි. එය සමගාස්‌තු සේවාවක්‌ වන්නේ නම් වඩාත් යෝග්‍ය බව මේ ගැන අදහස්‌ දක්‌වන්නවුන් පෙන්වා දී ඇත. ඒ හා සමගාමීව, දුරගමන් බස්‌ රථ නගරයට ඇතුළු වීම සීමා කරමින් දුරගමන් බස්‌නැවතුම්පොළවල් නගරයෙන් පිටත පිහිටුවීම වැදගත් ය. එසේ ම නගරයට පැමිණෙන බස්‌ රථවල ගමනාන්ත මහනුවරට සීමා නොකර මහනුවර හරහා වෙනත් ප්‍රදේශවලට දිගු කිරීම ද යෝග්‍ය පියවරකි. අතීතයේ දී මේ පියවර පැවැති බව ඇතැම් බස්‌රථ ගමන්මාර්ග දෙස බැලූ විට පෙනේ.

කෙසේ වෙතත්, ජනතාව පොදු ප්‍රවාහන සේවා වෙත යොමු වීමට නම්, දියුණු, පහසුකම් සහිත හා කලට වේලාවට ගමන් කළ හැකි විශ්වසනීය පොදු ප්‍රවාහන සේවාවක්‌ අවශ්‍ය බව පිළිගත යුතු කරුණකි. ඒ සඳහා වන මැදිහත් වීමක දී රජයට අයත් දුම්රිය සේවාව හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයට වැදගත් කාර්යයක්‌ සිදු කළ හැකි ය. අනෙක්‌ අතට, පෞද්ගලික වාහනවලින් ගමන් කර, වාහන නවතා ගමන් කළ හැකි ක්‍රමවේදයක්‌ (Park and Ride) සඳහා පහසුකම් සැපයිය හැකි වාහන නැවතුම් පොළවල් මහනුවර නගරයෙන් පිටත සන්ධිස්‌ථානවල පිහිටි බස්‌නැවතුම්පොළ හා දුම්රිය ස්‌ථාන ආශ්‍රිතව ඉදි කිරීම ද අත්‍යවශ්‍ය ය. කෙසේ වෙතත් කොළඹ නගරයේ මේ විසඳුම ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටලු ඇති නො වීමට පියවර ගැනීම ද වැදගත් ය.

පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවාවක්‌ තිබේ නම්, පෞද්ගලික වාහන ධාවනය සීමා කිරීමට පියවර ගැනීම කළ හැකි ය. නිදසුනක්‌ ලෙස නගරයට පිවිසෙන පෞද්ගලික වාහනවලින් ගාස්‌තු අය කිරීම, ඔත්තේ-ඉරට්‌ටේ අංක සහිත වාහන සඳහා නගරයට පිවිසිය හැකි නිශ්චිත දින නියම කිරීම වැනි පියවර දැක්‌විය හැකි ය. විදුලියෙන් ධාවනය වන වාහන සඳහා එවැනි සීමා ඉවත් කිරීම ද ප්‍රායෝගික ය. අනෙක්‌ අතට මහනුවර නගරයට පැමිණීමේ අවශ්‍යතාවක්‌ නොමැති වාහන සඳහා නගරය මගහැර යා හැකි වෙනත් මාර්ග තැනීමෙන් (by pass roads) පහසුකම් සැපයිය හැකි ය.

මහනුවරින් ආදර්ශයක්‌?


කෙසේ වෙතත් ඉහත සඳහන් යෝජනා ද ඇතුළු යෝජනා රැසක්‌ මේ පිළිබඳව කටයුතු කරන ආයතන හා කමිටුවල බලධාරීන් සාකච්ඡාවට ගෙන ඇති ඒවා ය. එහෙත් සාධනීය පියවර පවා ක්‍රියාත්මක කිරීමට එතරම් උත්සාහ නො ගැනෙනා බවට ද විවේචන ඇත. ඒ එම යෝජනා ඇතැම් පිරිස්‌වල අසතුටට හේතු විය හැකි නිසා විය හැකි ය. මේ නිසා උමං මාර්ග හා ගුවන් පාලම් වැනි යෝජනාවලට වැඩි සැලකිල්ලක්‌ ඇති වී තිබේ. එහෙත් සිදු විය යුත්තේ එය නො වේ. නගරයට එන වාහනවලට පහසුකම් සැපයීම මෙන්ම නගරයේ වායු දූෂණය පාලනයට නිසි පියවර ගැනීම ද වැදගත් ය. එන නගරයේ මෙන්ම දිස්‌ත්‍රික්‌කයේ ම වැසියන් ගේ සෞඛ්‍යය සඳහා බලපාන්නකි.

ජනතාව ගේ අවශ්‍යතා ද සැලකිල්ලට ගනිමින්, පරිසර හිතවාදී විසඳුමක්‌ ලබා දී රටට ම වැදගත් ආදර්ශයක්‌ හෙවත් මොඩලයක්‌ බිහි කරන්නට මෙය කදිම අවස්‌ථාවකි. ඊට අදාළ තත්ත්ව ගණනාවක්‌ ම මහනුවර තිබේ. මහනුවර නගරයේ ජනගහනය මෙන්ම දෛනිකව නගරයට පැමිණෙන පිරිස ද කොළඹ නගරයට සාපේක්‌ෂව අඩු ය. එසේ ම මහනුවර නගරයේ පවත්නා දේශගුණ තත්ත්වය වඩාත් සෞම්‍ය ය. මේ සඳහා අවශ්‍ය වන්නේ ඊට අදාළ බලධාරීන් ගේ අවධානය හා ජනතාව ගේ සහයෝගයෙන් ඍජුව පියවර ගැනීමයි.

http://www.vidusara.com/2016/03/09/feature2.html

Sunday, March 6, 2016

මිනිසුන් වානරයන් වෙතින් වෙන් වීමේ දින වකවානු පිළිබඳ විවිධ මත

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 02.03.2015, පි. 5 (Vidusara)


http://www.vidusara.com/2016/03/02/feature2.html



මිනිසුන් හා වානරයන් අතර ඇති පරිණාමික ඥාතිත්වය පිළිබඳව අද වන විට විවාදයක්‌ නොමැත. ඒ පිළිබඳ විද්‍යාත්මක තොරතුරු පසුගිය සියවස්‌ එක හමාරකට ආසන්න කාලයේ දී අනාවරණය වී තිබේ. මිනිසුන්, ගොරිල්ලන් හා චිම්පන්සින් වැනි වානරයන් (apes) අයත් වන්නේ ජීව විද්‍යාත්මකව හොමිනිඩේ (Hominidae) නමින් හඳුන්වන ලබන කුලයට ය. මීට අයත් වන්නේ ඔරංඋටං, ගොරිල්ලන්, චම්පන්සින් හා බොනොබෝවන් සහ මිනිසුන් ය. හොමිනිඩේ කුලය අයත් වන්නේ අග්‍රේශ ගෝත්‍රයට ය. (Primates).

මේ සතුන් එකිනෙකා ගෙන් වෙන් වීම ආරම්භ වන්නේ ඈත අතීතයේ දී ය. කිසියම් දවසක මිනිසුන් හා වෙනත් මහා වානර විශේෂවලට පොදු වූ ආදිතමයෙක්‌ හෙවත් පූර්වජයෙක්‌ ජීවත් වී තිබේ. කිසියම් හේතුවක්‌ නිසා මේ පොදු පූර්වජයා ගෙන් පැවත එන සතුන් ශාඛා ඔස්‌සේ වෙන් ව පරිණාමය වීමෙන් අද දැකිය හැකි එකිනෙකට වෙනස්‌ වූ විශේෂ ඇති වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් ගොරිල්ලන් අයත් ශාඛාව හා මිනිසුන් හා චිම්පන්සින් අයත් ශාඛාව වෙන් වීම පිළිබඳව දැක්‌විය හැකි ය. එසේ ම ඊට වඩා පසු කාලයක දී ඇති වූ මිනිසුන් හා චිම්පන්සින් අයත් ශාඛාවේ වෙන් වීම් ද මෙවැනි වූ තවත් සිදුවීමකි. අනෙක්‌ අතට මිනිසුන් අයත් ශාඛාවේ ද විවිධ බෙදීම් ඇති වී විවිධ මානවරූපී විශේෂ ගණනාවක්‌ අතීතයේ දී ජීවත් වී වඳ වී ගොස්‌ තිබේ.

මේ පරිණාමික ශාඛා වෙන් වූයේ කවර දා ද යන්න පරිණාම විද්‍යාඥයන් ගේ අවධානයට ලක්‌ වූ පර්යේෂණාංශයකි. විශේෂයෙන් වානරයන් ගෙන් මිනිසුන් වෙන් වූ කාල වකවානුව පිළිබඳව ගත වූ සියවස්‌ එක හමාරක පමණ කාලය තුළ විවිධ මක ඉදිරිපත් වී ඇත. අද වන විට පරිණාමීය වශයෙන් ඇති වූ වර්ධනයන් පිළිබඳ කාල නිර්ණය කිරීම සඳහා යොදාගන්නා විද්‍යාත්මක ක්‍රම දෙකක්‌ හඳුනාගත හැකි ය. ඉන් පළමුවැන්න ෆොසිල සාධක මගින් ලැබෙන දින වකවානු ය. ෆොසිල සඳහා දින නිර්ණය කිරීමේ කාල නිර්ණ ක්‍රම මගින් මෙහි දී කාලය නිර්ණය කරනු ලැබේ. දෙවැනි ක්‍රමය වන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රයෙන් සිදු කරන අධ්‍යයන වේ. මෙහි දී සතුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍යවල ඇති වී තිබෙන වෙනස්‌කම් යොදාගනිමින් දින වකවානු ගණනය කිරීම සිදු වේ.

මේ දක්‌වා සිදු කර ඇති පර්යේෂණවලින් මේ පරිණාමික ශාඛා වෙන් වීමට ලබා දී ඇති දින වකවානු විවිධ ය. එය වඩා මෑත කාලයකට ගෙන ආ 1960 දශකයේ දී සිදු කරන ලද පර්යේෂණයක්‌ මගින් දක්‌වා තිබුණේ මිනිසුන් හා අප්‍රිකානු මහා වානරයන් වෙන් වූයේ අදින් වසර මිලියන 5කට පමණ පෙර කාලයක දී බව ය. එය ෆොසිල සාධකවලින් පෙන්වා තිබූ කාලයට වඩා බෙහෙවින් මෑත දිනයක්‌ වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් පසුකාලීනව කරන ලද ප්‍රවේණික අධ්‍යයනවලින් දක්‌වා තිබුණේ මෙය මිලියන 4-6 අතර කාලයකට පෙර සිදු වූවක්‌ විය හැකි බවයි. කෙසේ වෙතත්, ෆොසිල සාධකවල දින වකවානු හා මේවා අතර ඇති නො ගැලපීම යම් ආකාරයක ගැටලුවක්‌ වූ බව සැබැවි. මේ පිළිබඳව මෑත කාලයේ දී සිදු කළ, පහත සැකෙවින් විස්‌තර කරන පර්යේෂණ කීපයක ප්‍රතිඵල මගින් පෙන්වන්නේ මේ කාලවකවානු තවදුරටත් සංශෝධනය වන බවයි.

ගොරිල්ලන් හා මිනිසුන් වෙන් වීම


ගොරිල්ලන් හා මිනිසුන්, චිම්පන්සින් හා බොනබෝවන් ඇතුළත් පරිණාමීය ශාඛාවේ වෙන් වීම ඇති වූ දිනය පිළිබඳව කලක්‌ තිස්‌සේ පැවැති විශ්වාසය වූයේ එය වසර මිලියන 6-7 අතර කාලයකට පෙර සිදු වන්නට ඇති බවයි. එහෙත් 2012 වර්ෂයේ දී Proceedings of the National Academy of Sciences සඟරාවේ ප්‍රකාශයට පත් අධ්‍යයනයකින් පෙන්වා දුන් ආකාරයට මේ වෙන් වීම සිදු වූයේ අදින් වසර මිලියන 8කට හෝ ඊට පෙර කාලයක දී ය. මේ අධ්‍යයනයේ ඇති තවත් වැදගත්කමක්‌ වූයේ එහ දී ප්‍රවේණික අධ්‍යයන හා ෆොසිල සාධක අතර යම් සමානත්වයක්‌ ඇති බව ප්‍රකාශයට පත් වීමයි. (මූලාශ්‍රය- Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1211740109)

මේ අතර මිනිසුන් හා ගොරිල්ලන් අතර ඇති වූ වෙන් වීම සිදු වූයේ අදින් වසර මිලියන 10කට හෝ ඊට පෙර බව පසුගිය මස Nature සඟරාවේ පළ වූ නවතම අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. ඒ සඳහා පදනම් වී ඇත්තේ ඉතියෝපියාවේ කොරෝරා ප්‍රදේශයෙන් (Chorora Formation) ලැබුණු Chororapithecus abyssinicus නම්, මේ වන විට වඳ වී ගොස්‌ ඇති අප දන්නා පැරැණි ම ගොරිල්ලා විශේෂයේ ෆොසිල වූ දත් සමූහයක්‌ පිළිබඳව කළ අධ්‍යයන ය. එසේ ම අදාළ ෆොසිල හමු ව ඇති ස්‌තර සඳහා ලැබී ඇති කාලවකවානුව වන්නේ අදින් වසර මිලියන 8ක්‌ පමණ ඉහත කාලවකවානුවකි. මේ වානර විශේෂය පිළිබඳව විද්‍යාත්මක ලෝකයට අනාවරණය වූයේ 2007 තරම් මෑත කාලයක දී ය. මේ සත්ත්වයා ගොරිල්ලන් විශේෂයක්‌ බව තහවුරු වූයේ මේ දත් හා අද ජීවත් වන ගොරිල්ලන්ට ඇති සමානතාව නිසා ය. වසර මිලියන 8කට පෙර ගොරිල්ලන් වෙන ම විශේෂයක්‌ ලෙස වර්ධනය වී තිබුණේ නම්, ගොරිල්ලන් හා මිනිසුන්ට පොදු වූ පූර්වජයා වාසය කර ඇත්තේ මීට වඩා පෙර කාලයක බව පැහැදිලි ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, ගොරිල්ලන් හා මිනිසුන් අයත් ශාඛා වෙන් වීම සිදු ව ඇත්තේ වසර මිලියන 8කට වඩා පෙර දී ය. ඒ වන් වීම අදින් මිලියන 10-11කට පමණ පෙර කාලයක දී සිදු වන්නට ඇති බව මෙහි දී නිගමනය කර ඇත. මේ දිනය මෙතෙක්‌ විශ්වාස කළ කාලවකවානුවට වඩා වසර මිලියන දෙකක්‌ පමණ පෙර කාලයකි. එසේ ම මෙහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට මේ සත්ත්ව විශේෂය ජීවත් ව ඇත්තේ යුරේසියාවේ නො ව අප්‍රිකාවේ ය. (මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature16510)

චිම්පන්සින් ගෙන් වෙන් වූ දිනය


2012 වර්ෂයේ දී ප්‍රකාශිත, පෙර සඳහන් කළ Proceedings of the National Academy of Sciences සඟරාවේ පළ වූ ඉහත සඳහන් අධ්‍යයනයෙන් මිනිසුන් හා චිම්පන්සින් එකිනෙකා ගෙන් වෙන් වූයේ අඩු වශයෙන් වසර මිලියන 7-8ක්‌ පමණ කාලයකට පෙර බව දක්‌වා තිබිණි. එසේ ම මෙහි දී අදාළ කාල වකවානුව මිලියන 13ක්‌ පමණ තරම් ඈත විය හැකි බව ද දක්‌වා තිබිණි. මෙහි දී කලින් පැවැති වසර මිලියන 4-6 අතර කාලය වඩා වඩා ඈත කාලයකට ගෙන යැමක්‌ විය.

එහෙත් 2016 වර්ෂය මුල දී Proceedings of the National Academy of Sciences සඟරාවේ පළ වූ අධ්‍යයන වාර්තාවක චිම්පන්සින් හා මිනිසුන් වෙන් වීම අදින් වසර මිලියන 6.6ක්‌ පමණ කාලයකට ඉහත දී සිදු වන්නට ඇති බව සඳහන් විය. එහි දී භාවිත කර ඇත්තේ ප්‍රවේණික ද්‍රව්‍යවල ඇති වූ වෙනස්‌ වීම් පිළිබඳ ක්‍රමවේදයකි. වඩා සවිස්‌තරව පවසන්නේ නම්, ප්‍රවේණි ද්‍රව්‍යවල සිදු වූ විකෘති අනුව අතීතයට සිදු කරන කාලය මැන බැලීමකි. එය මිනිසුන් ගේ හා චිම්පන්සින් ගේ ප්‍රවේණි ද්‍රව්‍යවල ඇති වෙනස්‌කම් හා මේ විකෘති ඇති වන වේගය සංසන්දනය කිරීමෙන් සිදු කළ පර්යේෂණයකි. එහි ප්‍රතිඵල අනුව අදාළ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ විකෘති ඇති වීමේ වේගය වර්තමානය වන විට අඩු වී ඇති බවයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් මේ විකෘති ඇති වීම සෙමින් සිදු වන (mutational slowdown) බවයි. ඒ අනුව මෙතෙක්‌ පැවැති විශ්වාසයට වඩා මෑත කාලයක දී මිනිසුන් හා චිම්පන්සින් එකිනෙකා ගෙන් වෙන් වූ බව මෙහි දී යෝජනා කර තිබේ. (මූලාශ්‍රය( Proceedings of the National Academy of Sciences,DOI: 10.1073/pnas.1515798113)

අප ඉහත සඳහන් කළ, පසුගිය මාසයේ Nature සඟරාවේ පළ වූ අධ්‍යයනයෙන් දැක්‌වෙන ආකාරයට චිම්පන්සින් හා මිනිසුන් එකිනෙකා ගෙන් වෙන් වන්නට ඇත්තේ අදින් වසර මිලියන 8කට පමණ ඉහත දී ය. මේ අනුව අදාළ කාල වකවානු කලින් විශ්වාස කළ කාලවකවානුවේ සමීපයට ගෙන යැමක්‌ සේ සැලකිය හැකි ය.

පර්යේෂණ සම්පූර්ණ ද?


මේ මත පිළිබඳව විමසා බැලීමේ දී පෙනෙන්නේ, පරිණාමයේ මේ වැදගත් සිදුවීම් දෙක සඳහා වඩා පිළිගත් නිශ්චිත දිනවකවානුවක්‌ ලබා දීම සඳහා තවත් සාධක ලැබිය යුතු බවයි. විමසිල්ලෙන් බැලූ විට පෙනෙන වැදගත් කරුණක්‌ වන්නේ ෆොසිල සාධක යොදාගනිමින් කරන අධ්‍යයනවලින් ලැබෙන දින වකවානු හා ප්‍රවේණි විද්‍යාත්මක අධ්‍යයනවලින් ලබාගන්නා දින වකවානු අතර යම් ආකාරයක පරස්‌පරයක්‌ හා නො ගැලපීමක්‌ ඇති බවයි. මෙය මානව පරිණාමය සම්බන්ධයෙන් පමණක්‌ නො ව වෙනත් කරුණුවල දී ද පෙනී ගොස්‌ ඇති කරුණකි. ඇතැම් විට මේ ක්‍රමවේදවල අප අද නො දන්නා කිසියම් අඩුපාඩුවක්‌ තිබිය හැකි ය.

විද්‍යාත්මක ක්‍රමයේ දී මේ ආකාරයෙන් යෝජනා වන දින වකවානු වෙනත් පර්යේෂණවලින් යළිත් වෙනස්‌ වීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. යම් දිනයක්‌ සඳහා වැඩි පිළිගැනීමක්‌ ලැබෙන්නේ ඒවා තහවුරු වීම සඳහා තවදුරටත් සාධක ලැබීමෙනි. ඒ අනුව ඉදිරියේ දී මානව පරිණාමය සම්බන්ධව ලැබෙන ෆොසිල හා ප්‍රවේණි විද්‍යාත්මක පර්යේෂණ අනුව ඉහත කී දිනවකවානු වඩාත් පැහැදිලි වනු ඇති බව පමණක්‌ අපට පැවසිය හැකි ය.

http://www.vidusara.com/2016/03/02/feature2.html

Saturday, February 20, 2016

මිනිසුන් සමඟ බල්ලන් හා බළලූන්ගේ ඇති සම්බන්ධය ගැන අපේ දැනුම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 03.02.2016 (Vidusara) - not available online 

විවිධ සතුන් ගෘහාශ්‍රිතකරණය කිරීම කලක් අනාදිමත් කාලයක පටන් මිනිසුන් විසින් සිදුකරන ලද කටයුත්තකි. මේ ආකාරයෙන් ගෘහාශ්‍රිතකරණය කළ සතුන් අතර සුරතලයට ඇතිකිරීමට, විවිධ කටයුතු කරගැනීමට මෙන්ම මස් හා වෙනත් ආහාරමය අවශ්‍යතා සඳහා යොදාගන්නා සත්ත්ව විශේෂද වේ. මේ නිසා මිනිසුන්ට සිය දිවිපැවැත්ම පහසු කරගැනීමට හැකි වූ අතර පහසුවෙන් ආහාර ලබාගැනීමටද අවස්ථාව සැලසිණි.

මෙසේ විවිධ සතුන් ගෘහාශ්‍රිතකරණය කරන ලද්දේ කවර කාලයකදීද යන්න හා එය සිදු වූයේ ලෝකයේ කුමන ප්‍රදේශයක හෝ ප්‍රදේශවලදීද යන්න මේ විෂය ගැන අවධානය යොමුකරන විද්‍යඥයන්ගේ සැලකිල්ලට ලක් වූ කරුණකි. මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනවලින් පෙනෙන ආකාරයට, විවිධ සත්ත්ව විශේෂ ගෘහාශ්‍රිතකරණය සම්බන්ධව විවිධ මතවාද ඉදිරිපත්ව ඇත.

මෙසේ ගෘහාශ්‍රිතකරණය වූ සත්ත්ව විශේෂ අතර බල්ලන්ට හා බළලූන්ට හිමි වන්නේ විශෙAෂ ස්ථානයකි. බල්ලන් යොදාගන්නා ලද්දේ ආරක්ෂාව හා දඩයමට යොදාගැනීමට ඇති හැකියාව මුල්කරගෙන වන අතර, බළලූන් ඇති කිරීම සඳහා හේතු වූයේ ආහාරවලට හානිකරන සතුන් පාලනය කිරීම බව පෙනේ. කෙසේ වෙතත් අද වන විට බල්ලන් හා බළලූන් මිනිසුන්ට සමීප වී ඇත්තේ සුරතල් සතුන් ලෙස ඇති කරන සත්ත්ව විශේෂ දෙකක් ලෙස බව පෙනේ.

බල්ලන් හා බළලූන් ගෘහාශ්‍රිතකරණය කවදා කොතැනක සිදුව තිබේද? ඒ පිළිබඳව අද වන විට අප දන්නා කරුණු මොනවාද? මේ ලිපියේ අරමුණ වන්නේ මෑතකදී පළ වූ අධ්‍යයන කිහිපයක් පදනම් කරගනිමින් බල්ලන් හා බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීම පිළිබඳව අවධානය යොමුකිරීමය.

බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීම ප්‍රදේශ කිහිපයක සිදු වී තිබේ

මේ වන විට ලෝකයේ ගෘහාශ්‍රිත බළලූන් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් වෙසෙන අතර ලෝකයේ වඩාත් සුලබ සුරතල් සත්ත්ව විශේෂය බළලූන්ය. Felis catus ලෙස විද්‍යත්මකව හඳුන්වනු ලබන බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීම පිළිබඳව මෑතක් වන තුරු විශ්වාස කළ පරිදි එය සිදුව ඇත්තේ ලෝකයේ මෑත පෙරදිග හෙවත් නිරිතදිග ආසියාවේ අදින් වසර 10,000කට පමණ පෙර හෙවත් පොදු වර්ෂ පූර්ව 9,000ත් 7,000ත් අතර කාලවකවානුවකදීය. මෑත පෙරදිග හා අප්‍රිකානු ප්‍රදේශවල විසූ බටහිර වල් බළලා (Western Wildcat - Felis silvestris lybica) ලෙස හඳුන්වන බළල් විශේෂය හීලෑ කිරීමෙන් මෙය සිදුව ඇති බව මේ ප්‍රදේශයේ ස්ථාන ගණනාවකින් ලැඛෙන පුරාවිද්‍යාත්මක සාධක අනුව පැහැදිලිය. බළලූන් හා මිනිසුන් අතර මේ සම්බන්ධය ඇති වන්නට ඇත්තේ මිනිසුන් කෘෂිකාර්මික ජීවිතයකට පිවිසුණු පසුව බව විශ්වාස කරනු ලැබේ. විශෙAෂයෙන් බළලූන් හා මිනිසුන් අතර මෙවැනි සමීප සම්බන්ධයක් ඇති වූයේ මිනිසුන් විසින් රැස්කළ ධාන්‍යවලට හානි කළ කෘන්තකයන් වනසා දැමීම සඳහා බළලූන් සිදු කළ කාර්යය නිසා විය හැකිය. ලෝකයේ අද වෙසෙන ගෘහාශ්‍රිතකරණය කර ඇති බළලූන්ගේ ආදිතමයා වන්නේ මෑත පෙරදිග හා අප්‍රිකානු ප්‍රදේශවල විසූ බටහිර වල් බළලා බව මේ වන විට ප්‍රවේණික අධ්‍යයනවලින් තහවුරු වී ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව මෑතකදී ප්‍රකාශයට පත් අධ්‍යයනයකට අනුව පොදු වර්ෂ පූර්ව 3,000 පමණ කාලයේදී (එනම් අදින් වසර 5,000කට පමණ පෙර) චීනයේදී ද බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීමක් සිදුව තිබේ. (මූලාශ්‍රය: PLOS One, DOI: 10.1371/journal.pone.0147295) මේ කරුණු අනාවරණය කරගෙන ඇත්තේ චීනයේ තිබූ කෘෂිකාර්මික වාසභූමි කිහිපයකින් මීට කලකට පෙර හමු වී ඇති පැරණිම බළල් ශේෂවලට අයත් විශේෂය තීරණය කිරීමෙනි. මේ අනුව මේ අස්ථී අයත් වන්නේ කොටි බළලා (Leopard Cat - Prionailurus bengalensis) නමින් හඳුන්වනු ලබන වල් බළල් විශේෂයකටය. කෙසේ වෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ චීනයේදී මේ සඳහා වෙනස් උප විශේෂයක් යොදාගෙන තිබීමයි. චීනයේ පැරණි ජනාවාසවලින් පෙර සඳහන් කළ බටහිර වල් බළලා නම් උප විශේෂය චීනයෙන් වාර්තා නොවේ. මේ බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීමේ ක්‍රියාවලිය මෑත පෙරදිග හා පැරණි ඊීජිප්තුවේ බළලූන් ගෘහාශ්‍රිතකරණය වූ ආකාරය හා සමාන බව මේ පර්යේෂකයන්ගේ මතයයි.

එහෙත් අද වන විට චීනයේ දැකිය හැක්කේද ලෝකයේ වෙනත් රටවල මෙන්ම බටහිර වල් බළලාගෙන් පැවත එන ගෘහාශ්‍රිතකරණය කළ බළලූන්ය. ඒ අනුව කිසියම් කාලයකදී චීනයටද මේ බළල් විශෙAෂය ව්‍යාප්ත වී ඇති අතර පෙර කී කොටි බළලාගෙන් ගෘහාශ්‍රිතකරණය කළ බළලූන් වඳවී ගොස් තිබේ.

මේ චීන අධ්‍යයනයෙන් ලැඛෙන සාධකද සලකා බැලු විට බළලූන් ගෘහාශ්‍රිතකරණය කිරීම ලෝකයේ එකිනෙකට වෙනස් ප්‍රදේශ තුනක පමණ සිදුව තිබේ. ඒ් මෑත පෙරදිග, ඊජිප්තුව හා චීනයේය. මේවා එකිනෙකට ස්වාධීනව සිදුව ඇති බව පැහැදිලිය. චීන සිදුවීම වඩාත් වැදගත් වන්නේ එහිදී වෙනස් වල් බළල් විශේෂයක් භාවිත වීම නිසාය.

බල්ලන් ගෘහාශ්‍රිතකරණයේ කාලය තවත් ඈතට යයි?

බල්ලන් හෙවත් Canis lupus familiaris ලෙස විද්‍යත්මකව නම් කරන සත්ත්ව උප විශේෂය ලෝකයේ දැකිය හැකි රූපානුදර්ශීය විවිධත්වයෙන් වැඩිම ගණනක් (එකිනෙකට වෙනස් බල්ලන් වර්ග) ඇති සත්ත්ව විශේෂයක් වේ. දඩයම, සතුන් බලාගැනීම මෙන්ම පාලූව මකා ගැනීම පිණිසද බල්ලන් ඇති කිරීම සිදු වේ.
බල්ලන් ගෘහාශ්‍රිතකරණය කරන ලද්දේ අදින් වසර 15,000ක් පමණ කාලයකට පමණ ඉහත කාලයකදී බව කලක් තිස්සේ පැවති පිළිගත් පැවැති පිළිගත් මතය වූයේ මිනිස් වාසවලින් මේ කාලයේ පටන් බල්ලන්ගේ අස්ථී ශේෂ හමුවීම නිසාය. ඒ අනුව අළු වෘකයන්ගෙන් (Gray wolf - Canis lupus) බල්ලන් ගෘහාශ්‍රිතකරණය කරන ලද බවට ඇති සාධක පිළිගත හැකිය. ඒ දඩයම් යුගයේ සිට ගොවිතැන කරා මිනිසුන් යොමු වූ අවධියේදීය. ඒ අනුව දයමේ සිට ස්ථාවර ස්ථානයක පදිංචි වීම සමඟ බල්ලන් ගෘහාශ්‍රිතකරණය කළ බවට වූ මතයට වැඩි පිළිගැනීමක් ලැබිණි. බල්ලන් යනු මුලින්ම ගෘහාශ්‍රිතකරණයට ලක්වූ සත්ත්ව විශේෂයකි. එහෙත් මෙය සිදු වූයේ ලෝකයේ කුමන ප්‍රදේශයකදීද යන්න ගැන එකඟතාවයක් නොමැති බන පෙනේ.

කෙසේ වෙතත් පසුගිය වසරේදී ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව බල්ලන් එතෙක් සිතූ කාලයට වඩා අතීතයේදී ගෘහාශ්‍රිතකරණය කර ඇතැයි අනාවරණය කර තිබේ. ඒ අනුව සයිබීරියාවෙන් සොයාගත් වසර 35,000ක් තරම් පැරණි වෘකයින්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රිතව සිදුකරන ලද මේ අධ්‍යයනයට අනුව, මේ වෘකයාගේ ප්‍රවේණික ද්‍රව්‍ය වෘකයින් හා බල්ලන් අතර අතරමැදි අවස්ථාවක විය. මේ අනුව වෘකයින්ගෙන් බල්ලන් වෙන්වීම ආරම්භ වන්නේ අදින් වසර 27,000ක් පමණ කාලයකට ඉහතදීය. ඒ අනුව වෘකයින් මිනිසුන් පසුපස යෑම ආරම්භ කළ අතර, ඔවුන් විසින්ම තමන් ගෘහාශ්‍රිතකරණය කිරීමක් සිදුව ඇති බවක් පෙනේ. (මූලාශ්‍රය: Current Biology, DOI: 10.1016/j.cub.2015.04.019) මේ කරුණු අනුව බල්ලන්ගේ ගෘහාශ්‍රිතකරණ ඉතිහාසය සම්බන්ධව තවමත් පැහැදිලි නොවූ තැන් ඇති අතර ඒ සඳහා උපකාරි විය හැකි එක් පැහැදිලි කිරීමක් පසුගිය වසරේ අග භාගයේ පළවිය.

මේ නව අධ්‍යයනයකට අනුව බල්ලන් මුලින්ම ගෘහාශ්‍රිතකරණය කර ඇත්තේ නැගෙනහිර ආසියාවේ දකුණු දිග ප්‍රදේශයේදීය. ඒ අදින් වසර 33,000ක් පමණ කාලයකට ඉහතදීය. ලෝකයේ ප්‍රදේශ ගණනාවකින් ලබාගත් ගෙනෝම යොදාගනිමික් සිදුකර ඇති සවිස්තර DNA අධ්‍යයනයක් (ගහන ප්‍රවේනි විශ්ලේෂණයක්) වන මේ අධ්‍යයනයට අනුව මේ මුල්ම ගෘහාශ්‍රිතකරණය වූ බල්ලන් පැවත එන්නේ චීනයෙන් පැමිණි අළු වෘකයන්ගෙනි. එසේම මේ ප්‍රදේශයේ වසර දහස් ගණනක් පමණ පරිණාමය වන බල්ලන් ඒ ප්‍රදේශයෙන් පිටතට සංක්‍රමණය වීම ආරම්භ වූයේ වසර 15,000කට පමණ පෙරදීය. මුලින්ම මැද පෙරදිග ප්‍රදේශයට හා අප්‍රිකාවට පැමිණි යුරෝපයට බල්ලන් පැමිණියේ වසර 10,000ක් පමණ කාලයකට ඉහතදී බව මේ පර්යේෂකයන්ගේ මතයයි. එසේම මෙසේ ආසියාවෙන් පිටතට ගිය එක් ශාකාවක් නැවත උතුරු චීනයට සංක්‍රමණය වූ අතර, මුල් නැගෙනහිර ආසියානු බල්ලන් සමඟ මිශ්‍රවීමෙන් අනතුරුව ඇමරිකාවටද ව්‍යාප්ත වී තිබේ. (මූලාශ්‍රය: Cell Research, DOI: 10.1038/cr.2015.147)

ගෘහාශ්‍රිතකරණයේ විචිත්‍රත්වය

ලෝකයේ විවිධ ප්‍රදේශවල සමාන තත්ත්ව තිබූ බැවින් සතුන් ගෘහාශ්‍රිතකරණය වීමද ස්වාධීනව ඒ ප්‍රදේශවල සිදුව ඇති බව පැහැදිලිය. මේ තත්ත්ව ඇති වී ඇත්තේ එකිනෙකට සමාන තත්ත්ව හමුවේය. එ නම්, කෘෂිකර්මයේ බිහිවීමත් සමඟය. බළලූන්ට අමතරව ඌරන්ද මෙසේ තැන් කිහිපයක එක හා සමාන ගෘහාශ්‍රිතකරණයක් සිදුව ඇති බව මේ වන විට පැහැදිලිය. බළලූන් සම්බන්ධව ගතහොත් ඉහත සඳහන් චීන අධ්‍යයනය වැදගත් වන්නේ එහිදී වෙනත් විශේෂයක් ගෘහාශ්‍රිතකරණයට ලක් කර ඇති නිසාය. බල්ලන්ගේ මේ පිළිබඳ තවමත් මතභේද ඇකි බව පෙනේ.
මේ අනුව මිනිසුන් විවිධ ප්‍රදේශවල එක හා සමානව වර්ධනය වන අතර, එක හා සමාන සිදුවීම් සිදුව ඇති බව පැහැදිලිය. මෙහිදී එක හා සමාන තත්ත්ව හා අවශ්‍යතා හමු වේ සිදුව ඇති දෙයකි. එසේම මේ ගෘහාශ්‍රිතකරණයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙය අදාළ සතුන් විසින්ම සිදුකර ගත්තක් විය හැකි බවටද සාධක හමුවෙමින් තිබීමයි. මෙය එක් අපූරු හා විචිත්‍ර සිදුවීමක් නොවන්නේද?

Saturday, February 13, 2016

Floods and corrupted governments – what Karu has forgotten

Dhanesh Wisumperuma
The Nation, 29.06.2014

In a statement issued on 6th June, Mr. Karu Jayasuriya, opposition parliamentarian, has said “that according to Buddhist belief, natural disasters such as famine, floods and untimely rains occur in a country when it is ruled by unjust, wicked, corrupt and dishonest rulers. Isn’t that what is happening in our motherland today?” The statement which I saw on a news website was issued on 6th June 2014, just days after the recent floods.

The floods that took place in early this month were devastative. The heavy rains since 1st June caused serious floods and landslides in nine districts in the south-western parts of the country. The worst affected districts were Kalutara, Ratnapura,Gampaha and Galle. Rivers overflowed, several villages and cities were inundated, roads were blocked and transport was interrupted, landslides occurred in several areas. According to the statistics of the Disaster Management Centre, 27 people lost their lives. The disaster affected 29,209 families and 1,762 houses were fully or partially damaged at the peak of the havoc.

Mr. Jayasuriya’s statement shows that he has tried to connect the floods with the all evils of the present rulers in the above mentioned statement. The present government may comprise “unjust, wicked, corrupt and dishonest rulers” as he mentioned, although I am not going to comment or assess on that. However if that theory is accepted and applied to other disasters, there is at least one crucial event Mr. Karu Jauasuriya has forgotten: the floods of May 2003. Interestingly it was a time of a government of which he was a powerful minister and the head of the government disaster relief effort!

Floods of May 2003

Floods that took place after the heavy rains on 17th May 2003 were one of the most devastative floods and landslides of the recent history. It was mentioned in international media as the worst floods in the country in dedades by the BBC and USA today. The worst affected districts were Matara, Ratnapura, Galle and Kaultara while Hambantota and Nuwaraeliya were also affected.

Mr. Ranil Wickramasinghe, the then Prime Minister, was in India at the time and returned to Sri Lanka immediately and action was taken to provide relief to the affected. A committee was appointed to cater the situation of which Mrs. Chandrika Kumaratunga (President of the country) was the chairman, whose name was proposed by the Prime Minister. Mr. Karu Jauasuriya was appointed as the head of a subcommittee appointed for disaster management and who accomplished a commendable job. According to the news reports of those days, almost all political parties supported the relief efforts. The JVP sent their volunteer teams to support the people, while many opposition politicians were engaged in relief efforts. A state newspaper prominently published a photograph of Mr. Ranil Wickramasinghe (then Prime Minister) and Mr. Mahinda Rajapaksa (then Leader of the Oopposition) and Mr. Karu Jayasuriya among others discussing of the floods at Matara Divisional Secretariat.

The damage was so huge and according to the figures presented in the parliament few weeks later, by Mr. Karu Jayasuriya himself. According to his statistics, the total number of deaths was 235, with 19 others were disappeared. The total deaths were stated as 254 as the disappeared were considered dead. The number of affected families was stated as 138,924. A comparison of the floods of 2003 and 2014 in the accompanying table show the scale of the damage caused.

Table: Comparison of flood damage
The damage
May 2003
June 2014
Number of deaths
254
27
Affected families
138,924
29,209
Houses fully and partially destroyed
40,191
1,762
(Sources: 2003 data: Hansard of 03 June 2003 and 2014 data: highest numbers in Situation Reports of Disaster Management Centre)


It should be noted that no one suggested of a link between the activities of the government for the flood disasters at that time. None said that the flood havoc was a result of ‘unjust, wicked, corrupt and dishonest rulers’ at the time in 2003. Instead, all political forces got together and acted to get the country back to the normal situation. The government at the time was of a different nature – the president of the country was from one party and the government in power was from the other main party. Further, there was the time when the truce between the LTTE. It seems that the whole country got together to solve the situation. A proper mechanism to cater disaster situations were also discussed, but such a strategy became a reality, only after the tsunami on 2004.

Floods as a natural disaster

In most of the years, heavy rains resulting floods occur in late May or early June in the south western parts of the country. This is the time when the south-west monsoon starts and atmospheric disturbances taking place during this times result such downpours and eventual floods and landslides. The widely spoken record-flood that inundated Colombo and suburban areas was due to the rains of 2nd June 1992. There were heavy rains and floods in the previous year, 1991.

There arises the validity of the belief Mr. Jayasuriya has pointed out. Is the quality of the rulers is the single cause for natural disasters? There are other causes that affect the natural climatic variations such as monsoons. According to Buddhism, there are five niyama dhammas or natural laws that lead to form material entities. Uthu niyama, one of the above five explain the laws that affect the rains, temperature variations, winds and other seasonal changes. Heavy rainfall in May-June is normal and common in Sri Lanka.

We should not forget that there is a global tendency towards extreme rainfall, untimely rains resulting flash floods. These are in fact more accepted as a result of the climate change, caused mainly by the anthropogenic release of greenhouse gases. However this is primarily the results of the emissions from the developed nations, emitted for the last two and half centuries. Developing nations like us have very insignificant historic contribution for this global phenomenon.

Historical memory loss or simply the forgetting what happened in the past is more serious in the case of politicians. In case of more recent times, what happened is well documented and accessible. Hence it is better if politicians maintain a record of what they did and said in the past. What they have to do is, just do a google search regarding events of the last decade or go through the newspapers.

Thursday, January 28, 2016

ඉන්දියාව සමඟ නව වෙළෙඳ ගිවිසුමක්‌ එපා කියන්නේ ඇයි?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 27.02.2016, පි. 12 (Vidusara)

http://www.vidusara.com/2016/01/27/feature4.html


ලෝකයේ රටවල් සෙසු රටවල් සමඟ නිදහස්‌ වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන තිබීමේ අරමුණ අදාළ රටවලට අෙන්‍යාන්‍ය වශයෙන් ප්‍රතිඵලදායක වන ආකාරයේ වෙළෙඳාමක්‌ වර්ධනය කරගැනීම ය. මෙවැනි නිදහස්‌ වෙළෙඳ ගිවිසුම් මගින් සාමාන්‍යයෙන් සිදු වන්නේ ඒවාට සම්බන්ධ වන රටවල් අතර වෙළෙඳාම සඳහා වූ බාධක ඉවත් කිරීම ය. මීට අදාළ රටවල් එකඟ වන භාණ්‌ඩ සඳහා තීරු බදු ලිහිල් කිරීම වැනි පියවර ඊට ඇතුළත් ය. ජගත් මට්‌ටමේ දී මෙවැනි වෙළෙඳ ගිවිසුම් පවතී. සමස්‌තයක්‌ ලෙස ගත හොත් මේ නිසා ජාත්‍යන්තර වෙළෙඳාම වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජනා වී ඇති වෙළෙඳ ගිවිසුම ශ්‍රී ලංකාවට කෙතරම් වාසිදායක එකක්‌ වේ ද යන්න ගැටලුසහගත ය. භාණ්‌ඩවලට පමණක්‌ නො ව සේවාවලට හා ආයෝජන සඳහා ද බලපාන සේ ඇති කරගැනීමට නියමිත බව පැවසෙන මේ එකඟතාව සඳහා මුලින් යෝජනා වූයේ කලකට ඉහත දී සාකච්ඡාවට ලක්‌ වූ 'සීපා' නම් කෙටි යෙදුමෙන් හැඳින්වෙන ගිවිසුම ය. පසුව 'එට්‌කා' නම් ගිවිසුමක්‌ අත්සන් තබන බව සඳහන් විය. කෙබඳු නමකින් හඳුන්වනු ලැබුව ද, ඉන්දියාව සමඟ කිසියම් වූ ගිවිසුමක්‌ අත්සන් තැබීමට රජය සූදානම් බව පැහැදිලි ය. මුලින් මේ වසරේ පෙබරවාරියේ අත්සන් කිරීමට නියමිත බව පැවසුණු ගිවිසුම ලබන ජූනි මාසයේ පමණ අත්සන් තැබෙන බව පසුගිය දා පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ය.

FTA සිට CEPA හෝ ETCA දක්‌වා

ඉන්දියාව සමඟ රජය පුළුල් වෙළෙඳ ගිවිසුමත් අත්සන් කරනු ලබන්නේ 1998 වර්ෂයේ දී ය. නිදහස්‌ වෙළෙඳ ගිවිසුම (Free Trade Agreement – FTA හෙවත් ISFTA) නම් එම ගිවිසුම 2000 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අතර මෙය භාණ්‌ඩ වෙළෙඳාම සම්බන්ධ වූවකි. මේ සමඟ දෙරට අතර වෙළෙඳාම වර්ධනය වුව ද සමස්‌තයක්‌ ලෙස වෙළෙඳ ශේෂයේ වාසිය පැවතුණේ ඉන්දියාවට ය.

මේ තත්ත්වය හමුවේ දෙරට අතර වඩා පුළුල් ගිවිසුමක්‌ ඇති කරගැනීමට යෝජනා විය. 'සීපා' හෙවත් පූර්ණ ආරථික සහයෝගිතා ගිවිසුම (Comprehensive Economic Partnership Agreement - CEPA) ගිවිසුම නම් වූ එය පළමුව සාකච්ඡාවට ලක්‌ වූයේ පසුගිය සන්ධාන රජය සමයේ 2005 වර්ෂයේ දී ය. සාකච්ඡා වට දහ තුනකින් පසුව මේ ගිවිසුම පිළිබඳ කටයුතු 2008 ජුලි මාසය වන විට සම්පූර්ණ විය. සීපා ගිවිසුම යටතේ භාණ්‌ඩ වෙළෙඳාම පුළුල් කිරීම අපේක්‌ෂා කළ අතර, ඊට අමතරව, සේවා හා ආයෝජන ද ඇතුළත් කිරීමට නියමිත විය. එසේ ම ආර්ථික සහයෝගිතාව ද එහි ඇතුළත් විය. මේ පිළිබඳව ඒ කාලයේ දී ව්‍යාපාර අංශවලින්, දේශීය ව්‍යාපාරිකයන් ගෙන් හා විද්වත් වෘත්තිකයන් ගෙන් සැලකිය යුතු විරෝධයක්‌ පැනනැගිණි. එවකට පැවැති නිදහස්‌ සන්ධාන රජය සීපා ගිවිසුම පිළිබඳ කටයුතු ඉදිරියට ගෙන ගියේ නැත. ඊට බලපෑවේ සීපා යෝජනාවලිය ගැන වූ ගැටලු හා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම නිසා ඇති වී තිබෙන ගැටලු විසඳාගැනීමේ අවශ්‍යතාවයි.

කෙසේ වෙතත් සීපා ගිවිසුම ඇති කරගැනීමේ අදහස ඉන්දියාව අත්හැර නො තිබිණි. සන්ධාන රජය පරාජයට පත් වීමෙන් පසුව සීපා ගිවිසුම යළිත් වරක්‌ කරළියට ආවේ පසුගිය වර්ෂය මුල දී ය. මේ නිසා ඇති විය හැකි බලපෑම් පිළිබඳව උනන්දුවක්‌ දැක්‌වූ පාර්ශ්වවලින් ඒ ගැන විරෝධතා පළ විය. පසුගිය වර්ෂය අවසානයේ දී වර්තමාන රජය ප්‍රකාශ කළේ සීපා ගිවිසුම අත්සන් නො කරන බවත්, ඒ වෙනුවට ඉන්දියාව සමඟ 'එට්‌කා' හෙවත් ආර්ථික හා තාක්‌ෂණික සහයෝගිතා ගිවිසුමක්‌ (Economic and Technology Co-operation Agreement - ETCA) අත්සන් කරන බවත් ය. එය සීපා ගිවිසුමට වඩා වෙනස්‌ වූවක්‌ ලෙස බලධාරීන් පෙන්වා දී තිබුණ ද, එහි බලපෑම තීරණය වන්නේ නමින් නො ව අන්තර්ගත කරුණුවලිනි. මේ යෝජිත ගිවිසුම මෙරට සැම දෙනා ගේ ම සැලකිල්ලට ලක්‌ විය යුතු දෙයක්‌ බව යෝජිත ගිවිසුමට එල්ල වී ඇති විරෝධතා අනුව පෙනේ.

පැවැති ගිවිසුමේ වාසි කාට ද?

ඉන්දියාව වැනි විශාල රටක්‌ හා ශ්‍රී ලංකාව වැනි කුඩා රටක්‌ අතර ඇති කරගන්නා වෙළෙඳ ගිවිසුමකින් ඇති විය හැකි අවාසි හා අහිතකර බලපෑම් ගැන අවධානය යොමු කළ යුතු ය. විශේෂයෙන් භාණ්‌ඩවලට අමතරව සේවා අංශය ද ආවරණය කරන ආකාරයේ වෙළෙඳ ගිවිසුමක දී මේ තත්ත්වය වැදගත් ය.

අද වන විට වසර 15ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක ඉන්දු-ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම පැවැති කාලයේ දී මෙරට හා ඉන්දියාව අතර වෙළෙඳාම වර්ධනය වී ඇත. 2003 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 241.1ක්‌ පමණ වූ මෙරටින් ඉන්දියාවට අපනයනය කරන ලද භාණ්‌ඩවල වටිනාකම 2014 වන විට මිලියන 625ක්‌ පමණ දක්‌වා ඉහළ ගොස්‌ ඇත. මෙය මෙරට වෙළෙඳ ද්‍රව්‍ය සඳහා ඉන්දියානු වෙළෙඳපොළ පුළුල් වීම පිළිබඳ සාධකයක්‌ ලෙස ගත හැකි ය. එහෙත් මේ අතරින් ඇතැම් අපනයනවල හිමිකාරිත්වය ඉන්දියානු ව්‍යාපාරිකයන් සතු වූ අතර මේ නිසා ඉන් ලංකාවට ලැබුණු වාසිය වඩාත් අඩු ය. නිදසුනක්‌ ලෙස වනස්‌පති තෙල් හා තඹ අපනයනය දැක්‌විය හැකි ය. අනෙක්‌ අතට නිදහස්‌ වෙළෙඳ ගිවිසුම යටතේ පවා මෙරට නිෂ්පාදන ද්‍රව්‍ය අපනයනය කිරීමට යැමේ දී බදු නො වන වෙනත් සීමාවලට ලක්‌ වීමට සිදු වූ අවස්‌ථා පිළිබඳව මෙරට ව්‍යාපාරිකයන් ගේ පැමිණිලි තිබේ.

කෙසේ වෙතත් මේ කාලය ඇතුළත ඉන්දියාවෙන් අපේ රටට ආනයනය කර ඇති භාණ්‌ඩවල වටිනාකම මීට වඩා බෙහෙවින් වැඩි ය. 2003 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1075ක්‌ පමණ වූ ඉන්දියානු ආනයනවල වටිනාකම 2014 වන විට මිලියන 3977ක්‌ පමණ තෙක්‌ වර්ධනය වී ඇත. මේ මුළු කාලය ඇතුළත වෙළෙඳ ශේෂයේ වාසිය තිබුණේ ඉන්දියාව දෙසට ය.


සේවා අංශය විවෘත කිරීමේ බලපෑම්

කෙසේ වෙතත් පෙර සඳහන් කළ ආකාරයට ම සීපා ගිවිසුමේ මෙන්ම ඒ වෙනුවට ඇති කරගන්නා වෙනත් ගිවිසුමක වැදගත් ම අංශය වන්නේ සේවා අංශයේ යම් යම් ක්‌ෂේත්‍ර විවෘත කිරීමයි. වෘත්තික ක්‌ෂේත්‍ර ද මේ ආකාරයෙන් විවෘත වීමට අවස්‌ථාව තිබේ. පසුගිය දා රජයේ අමාත්‍යවරයකු ප්‍රකාශ කළ ආකාරයට යම් යම් අංශවල සේවා ඉන්දියාවට විවෘත කිරීමට යෝජනා වී ඇත. ඒ අතර තොරතුරු තාක්‌ෂණ අංශය හා නැව් නිර්මාණය යන අංශය ද වෙයි. මේ සඳහා වෛද්‍ය හා නීති ක්‌ෂේත්‍රය අදාළ නො වන බව අවධාරණය කර තිබිණි. මේ අංශවලින් පැනනැගුණු විරෝධය මීට බලපාන්නට ඇත. (වෛද්‍ය හා ඉංජිනේරු අංශවල වෘත්තිකයන් යෝජිත වෙළෙඳ ගිවිසුම පිළිබඳව අවධානය යොමු කර තිබිණි.)

මේ තත්ත්වය සැලකිය යුතු කරුණකි. විශේෂයෙන් එරට තොරතුරු තාක්‌ෂණ වෘත්තිකයන් විශාල පිරිසක්‌ අර්ධකාලීනව රැකියා කරන පිරිස්‌ වෙති. ඔවුන් මෙරට රැකියා සඳහා ආකර්ෂණය විය හැකි ය. වාර්ෂිකව ඉන්දියාවෙන් පිට වන උපාධිධාරීන් ගණන විශාල ප්‍රමාණයක්‌ වන අතර මේ උපාධිවල ගුණාත්මක බව පිළිබඳ ගැටලු තිබිය හැකි වුව ද, ව්‍යාපාරිකයන් ලාබ ශ්‍රමය සොයන බැවින් ඔවුන් සඳහා වැඩි ඉල්ලුමක්‌ ඇති වීමේ අවස්‌ථාවක්‌ තිබේ. මේ තත්ත්වය ඉන්දියාවට විවෘත කරන හෝ අනාගතයේ දී විවෘත කරනු ලබන සෙසු අංශවලටද පොදු ය. මේ සමඟ ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළට ඉන්දියානු ශ්‍රමිකයන් පැමිණීම සිදු විය හැකි ය.

ලාබ ශ්‍රමය සුලබ ඉන්දියාවේ විරැකියා අනුපාතය ද ඉහළ අගයක්‌ ගනී. එරට තරුණ පිරිස්‌ අතර විරැකියා ප්‍රතිශතය 2013 වර්ෂයේ දී 12.8ක්‌ පමණ විය. ඉහළ අධ්‍යාපනයක්‌ ලද ඉන්දියානුවන් අතර විරැකියාව ඉහළ වීම ද විශේෂයකි. අපේ රටට ආසන්න ව පිහිටා ඇති තමිල්නාඩුවේ පශ්චාත් උපාධිධාරීන් ගෙන් 13.5%ක්‌ පමණ පිරිසක්‌

විරැකියාවෙන් පසු වෙති. එසේ ම ඉන්දියාවේ උපාධිධාරීන් අතරින් වැඩි ම විරැකියාව වන 30% අගය ඇත්තේ ඊට යාබද කේරළ ප්‍රාන්තයේ ය. මෙවැනි තත්ත්වයක දී සේවා අංශය විවෘත කිරීමෙන් සුදුසුකම් සහිත ඉන්දියානුවන් මෙරට රැකියාවලට යොමු වීම ඉහළ යා හැකි ය. (මේ තත්ත්වය විමසීමේ දී අප සැලකිය යුත්තේ අද වන විට සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ විවිධ සුළු රැකියා කරන ඉන්දියානුවන් පිරිස ගැන ය. එසේ කරමින් තිබිය දී අත්අඩංගුවට ගත් පිරිස්‌ ගැන ද පුවත්පත් වාර්තාවල සඳහන් වේ).

එවැනි තත්ත්වයක දී මෙරට ශ්‍රම බලකායේ රැකියා නියුක්‌තියට බලපෑමක්‌ විය හැකි ය. ශ්‍රී ලාංකිකයන්ට මෙරට අදාළ ක්‌ෂේත්‍රවල ඇති රැකියා අවස්‌ථා අඩු විය හැකි අතර, වැටුප් පරිමාණ පවා පහළ යැම සිදු විය හැකි ය. වෙනත් වචනවලින් පවසන්නේ නම් මෙරට ශ්‍රම බලකායට හිමි විය යුතු රැකියා අවස්‌ථා විදේශිකයන්ට ලැබීමට ඉඩ තිබේ. දැනටමත් උපාධිධාරීන් රැකියා නොමැති ව සිටින තත්ත්වයක්‌ හමුවේ, අනාගතයේ දී ඔවුන් ගේ රැකියා වෙළෙඳපොළ විදේශ රටකට විවෘත කිරීම ගැටලු සහගත කරුණකි. මේ තත්ත්වය අපේ රටේ විරැකියාව වර්ධනය වීමට තුඩු දිය හැකි අතර, සුදුසුකම් ලත් වෘත්තිකයන් රට හැර යැමෙන් ඇති වන බුද්ධිගලනය උග්‍ර වීමට ද ඒ තත්ත්වය බලපෑ හැකි ය. එසේ ම තොරතුරු තාක්‌ෂණය වැනි අංශයක රැකියා සොයාගැනීම මෙරට තරුණ තරුණියන්ට අසීරු වුව හොත්, එවැනි අංශවල අධ්‍යාපනය ලැබීමට ඔවුන් අතර ඇති උනන්දුව අඩු වීමෙන් අදාළ අංශයේ සමස්‌ත පිරිහීමක්‌ පවා ඇති විය නොහැක්‌කේ නො වේ.

ගිවිසුම ගැන තවත් කල්පනා කළ යුතුය

මේ සියලු කරුණු අනුව පෙනෙන්නේ ඉන්දියාව සමඟ මෙවැනි වෙළෙඳ ගිවිසුමක්‌ අත්සන් කිරීමට පෙර ඒ පිළිබඳ වඩා පුළුල් සාකච්ඡාවක්‌ ඇති කිරීම අත්‍යවශ්‍ය බව ය. යෝජිත ගිවිසුම ගැන අදහස්‌ දක්‌වමින් රජයේ දේශපාලන නියෝජිතයකු පසුගිය දා ජනමාධ්‍ය වෙත පවසා තිබුණේ 100%ක්‌ වාසිදායක ගිවිසුම් ඇති කරගත නොහැකි බවයි. එය සත්‍යයකි. එහෙත් එවැනි අවස්‌ථාවක දී යම් ගිවිසුමකින් සිදු විය හැකි අවාසිය ගැන අප වඩාත් සැලකිලිමත් විය යුතු වේ. එසේ නො වුව හොත් ඇති විය හැක්‌කේ බරපතළ තත්ත්වයකි.

අපේ රටට ඇති විය හැකි අවාසි හා අයහපත් බලපෑම් බරපතළ විය හැකි නම් එවැනි ගිවිසුමකට එළැඹීමෙන් වැළකී සිටීමට ද රජයට හැකියාව තිබිය යුතු ය. ඉන්දියාව අපේ අසල්වැසි බලවත් රාජ්‍යයක්‌ වුව ද, අපේ රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට මෙරට ජනතාව වෙනුවෙන් පත් ව සිටින රජයකට හැකියාව තිබිය යුතු වේ. (2008 වර්ෂයේ දී එවකට පැවැති රජය සීපා ගිවිසුමට එළැඹීමෙන් වැළකී සිටි බව මෙහි දී සඳහන් කළ යුතු ය).

වර්තමාන රජය මේ පිළිබඳව සැලකිලිමත් නො වී ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුමක්‌ අත්සන් කරන්නේ නම්, ඉන්දියානු බලපෑම හා දේශපාලන අවශ්‍යතා මත උක්‌ත ගිවිසුම ඇති කරගැනීමට වර්තමාන රජය පෙලඹී සිටින බවට එල්ල වී ඇති චෝදනාවට තල්ලුවක්‌ ලැබෙනු ඇත.

http://www.vidusara.com/2016/01/27/feature4.html

Wednesday, January 27, 2016

පරිගණකයෙන් නිර්මාණය කෙරුණු නූතන මානවයා ගේ හා නියෑන්ඩර්තාල් මානවයා ගේ පොදු පූර්වජයා

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.12.2015, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2015/12/30/viduindex.htm




මානව පරිණාමය යනු සත්ත්ව පරිණාමයේ එක්‌ අසිරිමත් කතාවකි. අද පොළොව මත වෙසෙන බුද්ධිමත් ම ජීවියා ලෙස සැලකෙන මිනිසුන් ඒ තත්ත්වය දක්‌වා කාලය සමග ක්‍රමයෙන් වෙනස්‌ වූ ආකාරය මේ කතාවෙන් දැක්‌වේ. ඒ කතාවේ අතීතයේ අපට පෙර ජීවත් වූ අපේ පූර්වජයන් පිළිබඳව කරුණු අනාවරණය වන්නේ ෆොසිල සාධක ආශ්‍රයෙනි. එහෙත් අප සතු ෆොසිල සාධක පිළිබඳ දැනුම සම්පූර්ණ එකක්‌ නො වේ. තවමත් මානව පරිණාමය කතාවේ හිස්‌තැන් සම්පූර්ණ කිරීම සඳහා යොදාගත හැකි ෆොසිල සාධක හමු වේ.

නියෑන්ඩර්තාල් මානවයා (Homo neanderthalensis) හා නූතන මානවයා (Homo sapiens) යන විශේෂ දෙකට පොදු වූ පූර්වජයකු සිටි බව අප දන්නා කරුණකි. මේ වන විට ඇති දත්තවලට අනුව අදින් වසර 781,000ත් 126,000ක්‌ පමණ අතීතයේ පැවැති මධ්‍ය ප්ලයිස්‌ටොසීන (Middle Pleistocene) සමයේ දී ඒ පොදු පූර්වජයා ගෙන් මේ මානව විශේෂ දෙක වෙන් වූ බව සැලකේ. එහෙත් මේ කාලයට අයත් ෆොසිල සාධක බෙහෙවින් අඩු බැවින්, මේ පොදු පූර්වජ මානවයා කෙබඳු වූයේ ද යන්න මෙතෙක්‌ අනාවරණය නො වූ කරුණක්‌ විය.

මේ පොදු පූර්වජයා පිළිබඳව සිදු කරන ලද අපූරු පර්යේෂණයක්‌ පිළිබඳව පසුගිය දිනක වාර්තා විය. ඒ උක්‌ත මානව විශේෂ දෙකේ ලක්‌ෂණ යොදාගනිමින්, ඔවුන් ගේ පොදු පූර්වජයා ගේ ත්‍රිමාන අතථ්‍ය (virtual) හිස්‌කබලක්‌ නිර්මාණය කිරීමට කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක්‌ සමත් ව තිබූ පුවතයි.

පොදු පූර්වජයා නිර්මාණය

මේ අපූරු කටයුත්ත සඳහා වසර මිලියක දෙකක පමණ කාලයක්‌ පුරා පැතිර ගිය මානව ෆොසිල හිස්‌කබල් විශාල ප්‍රමාණයක්‌ මේ පර්යේෂකයන් විසින් අධ්‍යයනය කරන ලදි. එයට Homo erectus, නියෑන්ඩර්තාල් මානව මෙන්ම Homo sapiens ෆොසිල ද ඇතුළත් වේ. මේ ෆොසිල හිස්‌කබල්වල මතුපිට ඇති ඉම් සලකුණු (landmarks) 797ක්‌ හඳුනාගන්නා ලද අතර, ඒවායේ ඇති වී තිබෙන වෙනස්‌කම් හරහා කිසියම් පරිණාමීය රාමුවක්‌ ගොඩනගාගැනීමට ඔවුනට හැකියාව ලැබිණි. මේ වෙනස්‌කම් මත, හිස්‌කබල් ව්‍යqහයේ පරිණාමය පිළිබඳව කිසියම් කාලරාමුවක්‌ ගොඩනගාගැනිණි. එසේ ම නූතන මානවයා ගේ පරිලෝකනය කරන ලද හිස්‌කබලක්‌ ද සමග සමපාත කරන ලදි. මෙමගින් අතීතයේ විසූ පොදු පූර්වජයා ගේ හිස්‌කබල නිර්මාණය කරා යා හැකි ක්‍රමවේදයක්‌ නිර්මාණය කිරීමට මේ පර්යේෂකයන් පිරිස සමත් ව තිබේ.

මේ අනුව අදින් වසර 100,000ත් 800,000ත් අතර කාලයකට ඉහත දී පැවැති මධ්‍ය ප්ලයිස්‌ටොසීන යුගයේ දී ජීවත් වූ, නියෑන්ඩර්තාල් හා නූතන මානව යන විශේෂ දෙකේ පූර්වජයා තුළ මේ ලක්‌ෂණ නිරූපණය වූ ආකාරය දැක්‌වීමට හැකියාව ලැබී ඇත.

මානව පරිණාමයේ මේ බෙදීම සිදු වූයේ යෑයි අනුමාන කරනු ලබන කාලවකවානු තුනකට අදාළ වන හිස්‌කබල් තුනක්‌ පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට පර්යේෂකයන් පියවර ගෙන තිබේ. මේ දක්‌වා හමු වී ඇති ප්ලයිස්‌ටොසීන යුගයට අයත් මානව ෆොසිල ස්‌වල්පයක්‌ හා මේ ඩිජිටල් හිස්‌කබල් සංසන්දනය කිරීමට මේ පර්යේෂකයෝ ඉන්පසුව පියවර ගත් හ. ඉන් නූතන මිනිසා ගේ හා නියෑන්ඩර්තාල් මානවයා ගේ පොදු පූර්වජයා ගේ හිස්‌කබල කෙබඳු වන්නට ඇත් ද යන්න හා මේ වෙන් වීම සිදු වූයේ කවර දා ද යන්න තවදුරටත් නිශ්චිත වශයෙන් අවබෝධ කරගැනීමට ඔවුනට හැකියාව ලැබී ඇත.



මේ අනුව උක්‌ත විශේෂ දෙකට පොදු වූ පූර්වජයා ගෙන් බෙදී ගොස්‌ මේ මානව විශේෂ දෙක ඇති වී තිබෙන්නේ අදින් වසර 700,000කට පමණ පෙර කාලයක දී බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. 1 රූපයේ දෙවැනි පේළියේ දැක්‌වෙන්නේ පරිගණක ආශ්‍රිතව ඔවුන් නිර්මාණය කළ හිස්‌කබල ය. කෙසේ වෙතත්, මීට පෙර සිදු කර ඇති DNA ආශ්‍රිත පර්යේෂණවලින් පෙන්වා දී ඇති පරිදි මේ බෙදීම සිදු ව ඇත්තේ අදින් වසර 400,000කට පමණ ඉහත කාලයක " ය.

පොදු පූර්ජවයා ගේ ලක්‌ෂණ

මේ කල්පිත පොදු පූර්වජයා ගේ හිස්‌කබලේ නූතන මානවයා ගේ මෙන්ම නියෑන්ඩර්තාල් මානවයා ගේ ද ලක්‌ෂණ දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, නියෑන්ඩර්තාල් මානවයා ගේ දැකිය හැකි දිගැටි ස්‌වභාවයක්‌ ගත් හිස්‌කබලට හේතු වූ හිස්‌කබල පිටුපස ඇති කැපී පෙනෙන නෙරුමක මුල් අවස්‌ථාවක්‌ වන වර්ධනයක්‌ මෙහි දැකිය හැකි ය. මේ දිගැටි ස්‌වභාවය නිසා නියෑන්ඩර්තාල් මානවයන් ගේ අපර කපාල නෙරුම (occipital bun) ලෙස හඳුන්වන ලක්‌ෂණය විය.

අනෙක්‌ අතට මේ කල්පිත පොදු පූර්වජයා ගේ කම්මුල් අස්‌ථිවල දැකිය හැක්‌කේ නූතන මානවයා ගේ ඇති මටසිලුටු ලක්‌ෂණ සහිත මුහුණට හේතු වූ ස්‌වභාවයේ ලක්‌ෂණ ය. නියෑන්ඩර්තාල් මානවයන් ගේ මේ ප්‍රදේශයේ ඇත්තේ වැඩි ඝනකමකින් යුක්‌ත වූ අස්‌ථි වන අතර මේ නිසා ඔවුන් ගේ මුහුණ වඩා ඉලිප්පුණු හා නෙරා සිටි ස්‌වභාවයක්‌ ගත්තේ ය.

හිස්‌කබලේ ඇහි බැමට ඉහළින් පිහිටා තිබූ අස්‌ථිමය වැටියේ මහත හා ඝනකම ස්‌වභාවය පොදුවේ සියලු ආදි මානවයන් අතර දැකිය හැකි ය. එය මුල් Homo ගණයේ මානවයන් ගේ හා නියෑන්ඩර්තාල් මානවයන් ගේ ද පැහැදිලිව පෙනේ. මේ කැපී පෙනෙන ගැටියක්‌ බඳු ස්‌වභාවය මේ කල්පිත පොදු පූර්වජයා ගේ ද හමු වේ. කෙසේ වෙතත් Homo sapiens මානවයන් ගේ මේ ලක්‌ෂණය දැකිය නොහැකි ය.

මේ අනුව මේ පොදු පූර්වජයා වඩාත් සමාන වන්නේ අතීතයේ සිටි නියෑන්ඩර්තාල් මානවයන්ට වන අතර, ගත වී ඇති කාලයත් සමඟ එය පුදුමයට කරුණක්‌ නො වන බව පර්යේෂකයන් ගේ මතයයි. ගත වී ඇති කාලයත් සමඟ නූතන මිනිසා ගේ අද දැකිය හැකි සියලු අංග වර්ධනය වී ඇත. විශේෂයෙන් අප්‍රිකාවේ විසූ සුළු ජන කොටසක ගේ සිට අද ලෝකය පුරා වාසය කරන බිලියන හතක්‌ පමණ වූ මිනිසුන් දක්‌වා වූ ඉතිහාසයක්‌ ඇති Homo sapiens නූතන මානවයන් ගේ පරිණාමීය ඉතිහාසයේ එවැන්නක්‌ සිදු විය හැකි ය.

මේ පොදු පූර්වජයා බිහි වන්නට ඇත්තේ ද අප්‍රිකාවේ බව මේ පර්යේෂකයන් ගේ අදහස වන අතර, ඔවුන් යුරේසියාවේ සැලකිය යුතු ප්‍රදේශයක්‌ පුරා ජීවත් ව සිටි බව ද සැලකේ. එමෙන් ම මේ පොදු පූර්වජයන් Homo heidelbergensis ලෙස හඳුන්වනු ලැබූ විශේෂයේ එක්‌ ගහනයක්‌ විය හැකි බවට මීට පෙර ඉදිරිපත් කර ඇති අදහස ද විය හැක්‌කක්‌ බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. Homo heidelbergensis මානවයෝ අදින් වසර 800,000ත් 1,300,000 පමණ කාලයකට පෙර බිහි වූ අතර අප්‍රිකාව, යුරෝපය හා බටහිර ආසියාව යන ප්‍රදේශවල ජීවත් වූ හ. ඔවුන් අදින් වසර 200,000ත් අතර කාලයකට පෙර වඳ ව ගිය බව සැලකේ.


නව ක්‍රමවේදයේ වැදගත්කම හා සීමා

මේ ආකාරයෙන් පරිගණක ආශ්‍රිත ව අතථ්‍ය ෆොසිල නිර්මාණය කිරීමේ තාක්‌ෂණය කිසියම් තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ ලෙස වැදගත් ය. විශේෂයෙන් පරිණාමීය ගැටලුවක්‌ විසඳාගැනීම සඳහා ෆොසිල සාධක නොමැති අවස්‌ථාවල දී කල්පිතයක්‌ පරීක්‌ෂා කිරීම සඳහා මේ තාක්‌ෂණය යොදාගැනීමට හැකියාව තිබේ. ඕනෑ ම සත්ත්ව කණ්‌ඩායමක්‌ සඳහා මෙය යොදාගත හැකි වීම මෙහි ඇති වැදගත් කරුණකි.

කෙසේ වෙතත් මේ අධ්‍යයනයේ ඇති සීමා කිහිපයක්‌ පිළිබඳව ද සඳහන් කළ යුතු වේ. ඉන් පළමුවැන්න වන්නේ මෙසේ පරිගණක ආශ්‍රිතව නිර්මාණය කරනු ලබන හිස්‌කබල හෝ අස්‌ථි නිවැරැදි ම සත්‍යය නො පෙන්විය හැකි බව ය. තවත් වැදගත් කරුණක්‌ වන්නේ මේ හිස්‌කබල හෝ වෙනත් අස්‌ථි කොටස්‌ අතථ්‍ය ලෙස නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ෆොසිල සාධකවල සම්පූර්ණ බව මත අදාළ නිර්මාණයේ ස්‌වභාවය ද තීරණය වන බව ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, නියෑන්ඩර්තාල් හා හෝමෝ සේපියන් මානවයන් අතර අන්තරාභිජනනයක්‌ සිදු වී ඇති බැවින්, මේ හිස්‌කබල් යොදාගැනීමේ දී එසේ නො වූ ඒවා භාවිත වූයේ ද යන්න එක්‌ වැදගත් කරුණකි.

කෙසේ වෙතත් මෙහි දී නවීන තාක්‌ෂණය යොදාගනිමින් පොදු පූර්වජයකු ගේ ස්‌වභාවය තේරුම්ගැනීමට යම් හැකියාවක්‌ ලැබී ඇත. එය නව්‍ය තාක්‌ෂණික උපක්‍රමයකි. ෆොසිල වාර්තාවේ ඇති අඩුපාඩු වළක්‌වාගැනීම සඳහා මේ නිසා කිසියම් සහායත් ලැබී තිබේ. අනාගතයේ සිදු කරන පර්යේෂණ මගින් සැබෑ ෆොසිල සොයාගැනීමට හැකි වුව හොත් මේ තාක්‌ෂණයේ නිවැරැදි බව කෙතරම් ද යන්න වටහාගත හැකි ය.

මේ අධ්‍යයනය පිළිබඳ වාර්තාව පළ වී ඇත්තේ Journal of Human Evolution සඟරාවේ ය.

http://www.vidusara.com/2015/12/30/viduindex.htm

සාගරයේ උණුසුම වැඩි වීමෙන් ඉන්දියානු සාගරයේ නිෂ්පාදිතාව අඩු වේ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, පි. 5, 13.01.2016 (Vidusara)

http://www.vidusara.com/2016/01/13/feature2.html



සාගර ආහාර ජාලයේ වැදගත් කාර්යයක්‌ සිදු කරන ජීවී කාණ්‌ඩයක්‌ ලෙස ශාක ප්ලවාංග දැක්‌විය හැකි ය. ඇසට නො පෙනෙන තරම් කුඩා ජීවී කාණ්‌ඩයක්‌ වන මේවා විශාල වශයෙන් දැකිය හැකි විට, ජලය මතුපිට කොළ පැහැයෙන් දිස්‌ වේ. මේ කොළ පැහැයට හේතුව වන්නේ ඒවායේ ඇතුළත් හරිතප්‍රද ය. ශාක ප්ලවාංගවල වැදගත්කම තීරණය වන්නේ එය ප්‍රාථමික නිෂ්පාදකයකු වීම නිසා ය. සාගරයේ ඉතා විශාල ප්‍රමාණවලින් හමු වන බැවින් ලෝකයේ සිදු වන සමස්‌ත ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියෙන් 50%ක්‌ පමණ සිදු කරන්නේ මේ ශාක ප්ලවාංග ය.

ප්ලවාංග-භක්‌ෂක මසුන් හා වෙනත් ජීවීන්, ඇතැම් මසුන් ගේ කීට අවස්‌ථා රැසක්‌ ම යෑපෙන්නේ මේ ප්‍රාථමික නිෂ්පාදකයා වන ශාක ප්ලවාංග ආහාරයට ගැනීමෙනි. මේ කුඩා මසුන් ආහාරයට ගන්නා විශාල මසුන් විශේෂ විශාල සංඛ්‍යාවක්‌ සාගරයේ ජීවත් වේ. මේ නිසා සාගර ආහාර ජාලයේ ආරම්භකයා හෙවත් ඊට පාදක වන ජීවී කාණ්‌ඩය වන්නේ ශාක ප්ලවාංග ය. මේ අනුව ශාක ප්ලවාංගවල වැදගත්කම ඉතා පැහැදිලි ය.

කෙසේ වෙතත් මේ ශාක ප්ලවාංග සාගරයේ සිදු වන විවිධ වෙනස්‌කම්වලට ද සංවේදී වේ. නිදසනක්‌ ලෙස ගත හොත් සාගරයේ උෂ්ණත්වය ඉහළ යැම, සාගරයේ දැකිය හැකි පෝෂක ප්‍රමාණය වැනි සාධක ගණනාවක්‌ ශාක ප්ලවාංගවල පැවත්ම සඳහා වැදගත් වන සීමාකාරී සාධක වේ. මෑතක දී සිදු කරන ලද මෙවැනි එක්‌ අධ්‍යයනයකින් දක්‌වා ඇති ආකාරයට ඉන්දියානු සාගරයේ බටහිර ප්‍රදේශයේ ශාක ප්ලවාංගවල කැපී පෙනෙන අඩු වීමක්‌ වාර්තා වේ.

ශාක ප්ලවාංග අඩු වේ

ඉන්දියානු සාගරයේ බටහිර කලාපය යනු විශාලතම ශාක ප්ලවාංග අතිගහනයක්‌ (phytoplankton blooms) ඇති වන කලාපයකි. මේ කලාපය පදනම් කරගෙන සිදු කර ඇති උක්‌ත අධ්‍යයනයේ දී යොදාගෙන ඇති එක්‌ දත්ත සමූහයක්‌ වන්නේ බහුවිධ චන්ද්‍රිකා දත්ත මගින් ලබාගත් හරිතප්‍රද ප්‍රමාණය සම්බන්ධ දත්ත ය. මේ මගින් වසර 16ක පමණ අඛණ්‌ඩ කාලයක්‌ සඳහා වූ දත්ත රැස්‌ කරගෙන තිබේ. මේ වසර ප්‍රමාණය නිවර්තන සාගර කලාපවල ඇති වන කිසියම් ප්‍රවණතාවයක්‌ හඳුනාගැනීම සඳහා ප්‍රමාණවත් යෑයි සිතනු ලබන ප්‍රමාණයට සමාන වන අගයකි. එසේ ම ඓතිහාසික වශයෙන් හරිතප්‍රදවල ප්‍රමාණය පිළිබඳ දත්ත ලබාගෙන ඇත්තේ බහුවිධ ආකෘතියක්‌ යොදාගැනීමෙනි.

මේ දත්ත මගින් හෙළි වී ඇති පරිදි මේ කලාපයේ ශාක ප්ලවාංගවල කැපී පෙනෙන අඩු වීමක්‌ දැකිය හැකි ය. වඩාත් පැහැදිලිව පවසන්නේ නම්, පසුගිය වසර හැටක පමණ කාලය ඇතුළත එහි ශාක ප්ලවාංග ප්‍රමාණය 20%ක්‌ පමණ ප්‍රමාණයකින් අඩු වී තිබේ. එසේ ම චන්ද්‍රිකා දත්ත අනුව, මෑත දී ගත වූ වසර 16ක පමණ කාලයේ දී මේ ප්ලවාංග අඩු වීම වඩාත් වේගවත් බව පෙනේ. ඒ ප්‍රමාණය 30%ක්‌ පමණ තරම් බව ද මේ පර්යේෂකයන්ගේ අදහස වේ.

සාගරයේ උණුසුම බලපාන අයුරු

මෙසේ සිදු වීමට හේතුව වන්නේ බටහිර ඉන්දියානු සාගරයේ සාමාන්‍ය උෂ්ණත්වයේ දැකිය හැකි වේගවත් වර්ධනයයි. මේ සාගර ප්‍රදේශයේ උෂ්ණත්වය පසුගිය ශතවර්ෂයක කාලය තුළ සෙල්සියස්‌ අංශක 1.2ක සාමාන්‍ය අගයකින් පමණ ඉහළ ගොස්‌ තිබේ. ලෝකයේ ගොඩබිම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යැමේ සාමාන්‍යය වන සෙල්සියස්‌ අශක 0.8ක ප්‍රමාණය හා සංසන්දනය කරන විට මෙය විශාල අගයකි.

මේ උෂ්ණත්වය ඉහළ යැම ශාක ප්ලවාංගවල අඩු වීම සඳහා බලපාන ආකාරය ද ඔවුන් පැහැදිලි කර තිබේ. මෙසේ උෂ්ණත්වය ඉහළ යැම හා සමග සාගරයේ මතුපිට ජලයේ ඝනත්වය අඩු වන අතර, වැඩි ඝනත්වයකින් යුක්‌ත ජලය ඊට වඩා පහළ මට්‌ටමකින් පවතියි. සිරස්‌ ස්‌තරීභවනය (vertical stratification) ලෙස හැඳින්වෙන මේ තත්ත්වය හේතුවෙන් සාගරයේ මතුපිට හා පහළ ප්‍රදේශ අතර ජලය සිරස්‌ව මිශ්‍ර වීම සිදු නො වේ. මෙය වැදගත් වන්නේ පෝෂක අතින් වඩා පොහොසත් වන්නේ සාගරයේ වඩා ගැඹුරු ප්‍රදේශවල ඇති ජලය වීම නිසා ය. ශාක ප්ලවාංග වර්ධනය වන්නේ එAවායේ වර්ධනය සඳහා අවශ්‍ය තරම් ආලෝකයක්‌ ලැබෙන සාගර මතුපිට පිහිටා ඇති කලාපයේ ය. ආලෝකය තිබුණ ද සාගරයේ ගැඹුර මට්‌ටම්වල සිය සාගර ජලය මතුපිට වෙත නො පැමිණීම නිසා, ශාක ප්ලවාංගවල වර්ධනය සඳහා ප්‍රමාණවත් තරම් පෝෂණයක්‌ නො ලැබී යයි.

මේ තත්ත්වය නිසා වර්තමානයේ ඉහතා ඉහළ නිෂ්පාදිතාවක්‌ ඇති සාගර කලාපයක්‌ වන මේ සාගර ප්‍රදේශයේ අනාගතයේ දී පාරිසරික වශයෙන් දැඩි පිරිහීමක්‌ ඇති විය හැකි බව මේ පර්යේෂකයන් ගේ අදහස වේ. මේ සඳහා ඔවුන් භාවිත කර ඇති වදන වන්නේ 'පාරිසරික කාන්තාරයක්‌' (ecological desert) යන්න ය.

සෙසු පර්යේෂණවලට වඩා වෙනස්‌

කෙසේ වෙතත් මේ පර්යෙAෂණයෙන් හෙළි වූ කරුණු මේ විෂය සම්බන්ධව මෑතක දී සිදු කරන ලද වෙනත් පර්යේෂණවලින් අනාවරණය වූ කරුණුවලට වඩා වෙනස්‌ ය.

මීට පෙර ප්‍රකාශයට පත් වූ ඇතැම් පර්යේෂණ වාර්තා කිහිපයකින් ම දැක්‌වෙන්නේ ඉන්දියානු සාගර කලාපයේ පවත්නා ශාක ප්ලවාංග ප්‍රමාණයේ වේගවත් වර්ධනයක්‌ මෑත කාලයේ දී දැකිය හැකි බවකි. නිදසුනක්‌ ලෙස ගත හොත් 2006 වර්ෂයේ දී ප්‍රකාශිත එක්‌ පර්යේෂණයකට අනුව වෙනත් බොහෝ නිවර්තන කලාපීය සාගර ප්‍රදේශවල දළ ප්‍රාථමික නිෂ්පාදනයේ අඩු වීමක්‌ දැකිය හැකි වුවත් ඉන්දීය සාගර ප්‍රදේශයේ ප්‍රාථමික නිෂ්පාදනයේ වර්ධනයක්‌ ඇති වූ බවක්‌ පෙන්වා දෙයි (මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature05317). එසේ ම බටහිර ඉන්දීය සාගරයේ ශාක ප්ලවාංගවල 350% පමණ වර්ධනයක්‌ ඇති බවට එක්‌ අධ්‍යයන වාර්තාවකින් සංඛ්‍යාත්මකව දක්‌වා තිබීම ද විශේෂයකි. එහි දී අදාළ තත්ත්වයට හේතුව සේ පෙන්වා දී ඇත්තේ මෝසම් සුළං වර්ධනය වීමයි. (මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.1106610).

එහෙත් අප මාතෘකා කරගත් අධ්‍යයනයේ කතුවරුන් පෙන්වා දෙන්නේ ශාක ප්ලවාංගවල වර්ධනයක්‌ දැක්‌වූ අධ්‍යයනවල අවධානයට ලක්‌ ව ඇත්තේ කෙටි කාලයක්‌ සඳහා අදාළ දත්ත බවයි. එහෙත් මෙවැනි කරුණක්‌ සම්බන්ධව පැහැදිලි කිරීම සඳහා වඩා දිගු කාලයක්‌ ආවරණය කරන පරිදි දත්ත ලබාගත යුතු වේ. අප සාකච්ඡා කරන අධ්‍යයනය දිගුකාලීන දත්ත යොදාගත් අධ්‍යයනයකි. කෙටිකාලීන වශයෙන් ශාක ප්ලවාංග ප්‍රමාණයේ යම් යම් කැපී පෙනෙන වෙනස්‌කම් ඇති විය හැකි ය. නිදසුනක්‌ ලෙස පෙර සඳහන් කරන ලද අධ්‍යයනවල දී යොදාගත් කාලවකවානුවේ දී ශාක ප්ලවාංගවල වර්ධනයක්‌ සිදු වී ඇත. විශේෂයෙන් 1998-2005 අතර කාලයේ දී මෙවැනි වර්ධනයක්‌ දැකිය හැකි වී ඇත. එසේ සිදු ව ඇත්තේ 1998 දී පැවැති එල් නිනෝ තත්ත්වය නිසා උණුසුම් වූ සාගරය ඉන් පසුව පැමිණි ලා නිනා තත්ත්වය නිසා සිසිල් වීමයි. එහෙත් වඩා දිගුකාලීන දත්ත අනුව සිදු ව ඇත්තේ ප්ලවාංගවල අඩු වීමකි. විශේෂයෙන් දේශගුණ ආකෘති මගින් දක්‌වා ඇති පරිදි දිගුකාලීන වශයෙන් සිදු වන්නේ උෂ්ණත්ව ඉහළ යැමක්‌ වන නිසා බටහිර ඉන්දීය සාගරයේ ඇති විය හැකි තත්ත්වය අවධානයට යොමු කළ යුතු තත්ත්වයකි.

ආහාර ජාලය සඳහා වූ බලපෑම

ශාක ප්ලවාංගවල වැදගත්කම වන්නේ ඒවා සාගර ආහාර ජාලයේ පදනම වීම බව ඉහත දක්‌වන ලදි. මේ නිසා ශාක ප්ලවාංගවල සුලබතාව මත සාගරයේ හමු වන විවිධ මසුන් ගේ සුලබතාවය තීරණය වේ. මේ අතර ධීවර කර්මාන්තය සඳහා ද වැදගත් වන මත්ස්‍ය විශේෂ ගණනාවක්‌ ද වෙයි. අප සාකච්ඡා කරන ඉන්දීය සාගර කලාපය සම්බන්ධයෙන් ද මෙය වැදගත් වේ.

ඉන්දීය සාගරයෙන් අල්ලාගනු ලබන ටූනා මත්ස්‍යයන් ප්‍රමාණය ලෝකයේ සමස්‌ත ටූනා අස්‌වැන්නෙන් 20%ක්‌ තරම් වේ. විශේෂයෙන් මේ මසුන් ගේ ව්‍යාප්තිය සඳහා බලපාන එක්‌ සාධකයක්‌ වන්නේ ශාක ප්ලවාංග සුලබතාවයි. ශාක ප්ලවාංග අඩු වීමත් සමඟ මේ මත්ස්‍ය නිෂ්පාදනයට යම් බලපෑමක්‌ විය හැකි ය.

මේ තත්ත්වයේ බලපෑම ධීවර කර්මාන්තයට හා මත්ස්‍ය නිෂ්පාදනයට පමණක්‌ සීමා නො වන බව ද පැහැදිලි ය. විශේෂයෙන් ඉන්දීය සාගර කලාපයේ රටවල ආහාර සුරක්‌ෂිතතාවට මෙන්ම ඒ කලාපයේ සිට සාගර නිෂ්පාදන අපනයනය කරනු ලබන රටවලට ද මෙය අහිතකර ලෙස බලපෑ හැකි ය. මේ වන විට ද කලාපයේ මත්ස්‍ය අස්‌වනු අඩු වී ඇති බවට සාධක තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, පසුගිය දශක පහක පමණ කාලයක දත්ත පිළිබඳව සැලකූ විට ඉන්දීය සාගරයේ ටූනා මත්ස්‍ය අස්‌වැන්න 50%-90% අතර ප්‍රමාණයකින් අඩු වී තිබේ. මේ සඳහා බලපා ඇති එක්‌ කරුණක්‌ වන්නේ අධික ලෙස ධීවර කර්මාන්තයේ යෙදීම වුව ද, ශාක ප්ලවාංග අඩු වීම නිසා මේ තත්ත්වය වඩාත් උග්‍ර විය හැකි ය.

අනෙක්‌ අතට මේ ශාල ප්ලවාංගවලින් සිදු වන සේවා අතර ඇත්තේ ආහාර නිෂ්පාදනය පමණක්‌ නො වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, සූර්යතාපය අවශෝෂණය කරගැනීමට ද හැකියාවක්‌ ඇති බැවින් සාගරයේ උෂ්ණත්වය අඩු කිරීම සඳහා ද මේ ශාක ප්ලවාංගවලින් යම් බලපෑමක්‌ ඇති වේ.

මේ සියලු හේතු නිසා ඉන්දීය සාගරයේ මේ කලාපයේ ඇති වන වෙනස්‌කම් පිළිබඳව වඩාත් හොඳින් නිරීක්‌ෂණය කිරීමේ ඇති වැදගත්කම ද මේ පර්යේෂකයන් අවධාරණය කර ඇත.

(මූලාශ්‍රය: Geophysical Research Letters, DOI: 10.1002/2015GL066979)

http://www.vidusara.com/2016/01/13/feature2.html