Thursday, April 5, 2012

ජගත් පරිසර විමසුම 117 (Global Environmental Watch, 117)

ධනේෂ් විසුම්පෙරුම

විමසුම - මිහිකත හෝරාව හා ලෝකය
ප්‍රමුඛ පුවත - ආක්‍රමණික ශාක විශේෂවල ව්‍යාප්තිය සඳහා දේශගුණය තීරණාත්මක වේ
පුවත් සැකෙවින් - ඔරංඔටං වාසනාවන්තයි? / ජපානයේ සුනාමි අවදානම / බ්‍රිතාන්‍යයේ ළමයි පරිසරයෙන් ඈත් වෙති


විදුසර, 2012-04-04, පි. 11 (Vidusara, 2012-04-04, p.11) 
http://www.vidusara.com/2012/04/04/feature3.html


විමසුම
මිහිකත හෝරාව හා ලෝකය

රැසක දී පසුගිය සෙනසුරාදා රාත්‍රියේ දී සමරන ලදි. එදින පරිසරය පිළිබඳව කිසියම් හෝ සංවේදීතාවක්‌ දක්‌වන ලෝකවාසී ජනතාව විසින් තම රටේ වේලාවෙන් රාත්‍රී 8.30 සිට පැයක පමණ කාලයක්‌ අනවශ්‍ය විදුලි පහන් නිවා දමන ලදි. මේ හා සම්බන්ධව අපේ රටේ ද යම් උනන්දුවක්‌ දැකිය හැකි වූ අතර එය රාජ්‍ය මට්‌ටමේ සැලකිල්ලට ලක්‌ වීම ද වැදගත් සිදු වීමකි.

මිහිකත හෝරාවේ දී සිදු වන්නේ පාරිසරික වශයෙන් තිරසර වූ ක්‍රියාකාරකම් අරභයා අප විසින් දක්‌වනු ලබන සැලකිල්ල සංකේතවත් කිරීම සඳහා පැයක කාලයක්‌ අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම ය. මෙය කිසියම් ආකාරයකින් සංකේතාත්මක විරෝධතාවක්‌ සේ දැකිය හැකි ය. අනෙක්‌ අතට එය ලෝකය පුරා ජීවත් වන විවිධත්වයෙන් අනූන ජනතාවක්‌ කිසියම් එක්‌ අරමුණක්‌ වෙනුවෙන් සාමූහිකව එක්‌ කරනු ලබන ක්‍රියාකාරිත්වයක්‌ ද වේ.

මිහිකත හෝරාව (Earth hour) සැමරීම ආරම්භ වන්නේ ඉතා මෑත කාලයේ දී ය. නිශ්චිතව පවසන්නේ නම් සොබාදහම පිළිබඳ ලෝක ව්‍යාප්ත අරමුදල (WWF) හා සිඩ්නි හෙරල්ඩ් පුවත්පත විසින් ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ දී 2007 වර්ෂයේ මාර්තු මාසයේ අවසන් සෙනසුරාදා දින මේ වැඩසටහන ආරම්භ කරන ලදි. එය පරිසරය සඳහා ජනතාව ආකර්ෂණය කිරීම සඳහා නව ව්‍යාපාරයක්‌ සෙවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස බිහි වූ බව පෙනේ. පළමු වරට ක්‍රියාත්මක කිරීමේ දී එදා සිඩ්නි නගරයේ වැසියන් මිලියන 2.2ක්‌ පමණ ඊට දායකත්වය දක්‌වා තිබේ. ඊළඟ වර්ෂයේ දී එය ඔස්‌ටේ්‍රලියාවෙන් පිටතට ව්‍යාප්ත වූ අතර ක්‍රමයෙන් රටවල් හා නගර ඊට එක්‌ වීමත් සමඟ අද වන විට ස්‌වෙච්ඡාවෙන් සිදු වන පාරිසරික ක්‍රියාකාරකම් අතර ප්‍රමුඛතම ක්‍රියාකාරකමක්‌ වේ. මේ වන විට සොබාදහම පිළිබඳ ලෝක ව්‍යාප්ත අරමුදලේ හා ඛැද ඊමරබැඑඑ නම් දැන්වීම් ප්‍රචාරණ ආයතනයේ සහයෝගීතාවක්‌ ලෙස මේ හෝරාව සැමරීම ක්‍රියාත්මක වේ.

මේ වර්ෂයේ මිහිකත හෝරාව

වසරින් වසර ලෝකයේ තව තවත් නගර මිහිකත හෝරාව සැමරීම සඳහා දායක වන අතර මේ වර්ෂයේ දී ලෝකයේ රටවල් 147ක නගර 6000කට අධික ප්‍රමාණයක්‌ ඒ හා සම්බන්ධ වන බව වාර්තා වී තිබිණි. මෙහි දී විදුලි බුබුළු නිවා දමා මීට සම්බන්ධ වූ පාර්ශ්ව අතර සුවිශේෂ ආයතන හා ස්‌ථාන වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, ප්‍රංශයේ අයිෆල් කුලුන, ලන්ඩනයේ බිග්බෙන් ඔරලෝසුව හා පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල දැක්‌විය හැකි ය. ලෝකයේ තවත් නගර ගණනාවක සුවිශේෂී වැදගත්කමකින් යුක්‌ත ස්‌ථාන ද මීට සම්බන්ධ විය. ලෝකය පුරා විවිධ ප්‍රදේශවල වාසය කරන ජනතාවක්‌, එක ම දිනයක නිශ්චිත වේලාවක දී එකම අරමුණක්‌ වෙනුවෙන් සම්බන්ධ වීම මෙහි ඇති වැදගත් ම කරුණ වේ.

මේ වර්ෂයේ දී මිහිකත හෝරාව සඳහා අන් වර්ෂවලට වඩා වැඩි වශයෙන් පරිගණක පාදක කරගනිමින් සමාජ මාධ්‍ය යොදාගැනීම දැකිය හැකි විය. එය අදාළ පණිවිඩය ජනතාව අතරට ගෙන යැම සඳහා ද බෙහෙවින් දායක විය.

ශ්‍රී ලංකාවේ දායකත්වය

අපේ රටේ මේ වර්ෂයේ දී මිහිකත හෝරාව සැමරීම රාජ්‍ය මට්‌ටමේ උත්සවයක්‌ ලෙස ක්‍රියාත්මක විය. ඒ නිමිත්තෙන් රටේ නායකයා ගේ ප්‍රධානත්වයෙන් යුතුව මහනුවර ජනපති මැඳුරේ දී උත්සවයක්‌ පවත්වා තිබේ. ඒ විදුලි ආලෝකයෙන් තොර ව වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් අපේ රටේ ජනතාව අතරින් කෙතරම් පිරිසක්‌ මිහිකත හෝරාව සැමරීම සඳහා දායක වූයේ ද යන්න සොයාබැලීම වැදගත් ය. නිදසුනක්‌ ලෙස අදාළ පැයේ දී විදුලි පරිභෝජනයේ යම් වෙනස්‌කමක්‌ ඇති වී තිබේ ද යන්න මෙහි දී සැලකිල්ලට ගත හැකි ය. මෙරට විදුලි පරිභෝජනයේ යම් වෙනස්‌කමක්‌ ඇති වී තිබේ නම් හා ඊට හේතු වී ඇත්තේ මේ හෝරාව සැමරීම නම්, ජනතාව මිහිකත හෝරාව හා සම්බන්ධ කර ගැනීමට හැකි වූ බවක්‌ සිතිය හැකි ය. එය මේ ව්‍යායාමයේ සාර්ථකත්වය පෙන්වන්නකි. එය අපේ ජනතාව කෙතරම් දුරට පාරිසරික වශයෙන් සංවේදී ද හා සවිඤ්ඤාණික ද යන්න දැක්‌වීමට ද වැදගත් වනු ඇත. මේ ලියන මොහොත දක්‌වාත් එවැන්නක්‌ අපට දැනගැනීමට ලැබුණේ නැත.

සමස්‌තයක්‌ ලෙස ගත් විට ලෝකය පුරා ජනතාව පරිසරය වෙනුවෙන් එක්‌ කරන තවත් ව්‍යායාමයක්‌ සේ මේ හෝරාව හැඳින්විය හැකි ය. අප දන්නා පරිදි, 1970 වර්ෂයේ දී මිහිතල දිනය ආරම්භ වන්නේ පරිසරයට සිදු වෙමින් පැවැති හානිය පිළිබඳව විශේෂ උනන්දුවන් දැක්‌වූ පිරිසක්‌ විසින් ස්‌වෙච්ඡාවෙන් සංවිධානය කරන ලද දිනයක්‌ ලෙසිනි. මෙවැනි ප්‍රයත්නවල විශේෂත්වය වන්නේ පරිසරය හා සම්බන්ධ කරුණු පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙවැනි දින, හෝරා ආදිය යොදාගත හැකි නිසා ය. ඉන් තනි පුද්ගලයන් අතර, සමාජයක මෙන්ම රටක පවා වෙනසක්‌ සිදු කළ හැකි ය. වර්තමානයේ දී ඇති වී තිබෙන ගැටලුව වන්නේ ද අද දවසේ පාරිසරික ගැටලු හා ඒවායේ බරපතළ බව පිළිබඳව ලෝකයේ සංවේදීතාව අඩු වීම ය. පරිසරය ලෝකයේ මුල් පෙළේ ගැටලු අතරින් ඈත් වෙමින් ඇති බවක්‌ පෙනේ. එවැනි තත්ත්වයක්‌ වෙනස්‌ කිරීමට ජනතාව අතරින් නැඟී එන මිහිකත හෝරාව වැනි වැඩසටහන් වැඩි වැඩියෙන් අවශ්‍ය වේ.

ප්‍රමුඛ පුවත
ආක්‍රමණික ශාක විශේෂවල ව්‍යාප්තිය සඳහා දේශගුණය තීරණාත්මක වේ
ආගන්තුක ආක්‍රමණික ශාක විශේෂ ලෝකයේ බරපතළ පාරිසරික ගැටලුවක්‌ බව ප්‍රකට කරුණකි. මේ ආක්‍රමණික ශාක විශේෂවල ස්‌ථාපිත වීම සඳහා දේශගුණය තීරණාත්මක ලෙස බලපාන බව පසුගිය දා පළ වූ අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වේ. මේ අනුව බොහෝ ආක්‍රමණික ශාක විශේෂ ස්‌ථාපිත වන්නේ ඒ ශාකවල නිජබිම හා සමාන වූ දේශගුණික තත්ත්ව පවත්නා ප්‍රදේශවල ය.

මේ අධ්‍යයනය සඳහා ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති ආක්‍රමණික ශාක විශේෂ 50ක්‌ පිළිබඳ විස්‌තර යොදාගෙන තිබේ. දිගු කලක්‌ තිස්‌සේ සිදු කරන ලද හැදෑරීම්වලට අනුව ආක්‍රමණික ශාකවල ව්‍යාප්තිය හා දේශගුණය අතර ඇති සම්බන්ධය පිළිබඳව වඩාත් ශක්‌තිමත් සාධක මෙහි දී ලැබී තිබේ. හෙළි වී ඇති තොරතුරු අනුව ශාක සාර්ථකව ස්‌ථාපිත වන්නේ ඔවුන් ගේ මුල් දේශගුණික තත්ත්වය හා සදෘශ්‍ය වූ තත්ත්ව ඇති ප්‍රදේශවල ය. අධ්‍යයනය කළ ශාක අතරින් ඊට වඩා වෙනස්‌ ආකාරයෙන් ව්‍යාප්ත වන්නේ ශාක විශේෂ 7ක්‌ තරම් අඩු ප්‍රමාණයක්‌ පමණි. මේ කරුණු මත පදනම් ව ශාකවල ආක්‍රමණික ස්‌වභාවය ඇති විය හැකි ප්‍රදේශ නිර්ණය කිරීම සඳහා දේශගුණය පිළිබඳ කරුණු යොදාගැනීමේ හැකියාව තිබේ.

මිනිසා තමන් සංක්‍රමණය වන අවස්‌ථාවල දී තමාට ප්‍රයෝජනවත් ශාක හා සතුන් රැගෙන යැම අතීතයේ පටන් සිදු කර තිබේ. එහෙත් ලෝකයේ ආක්‍රමණික ශාක ව්‍යාප්ත වීම විශාල වශයෙන් සිදු වූයේ අදින් ශතවර්ෂ පහකට පමණ පෙර අධිරාජ්‍යවාදී රටවල් යටත්විජිත සොයා යැම ආරම්භ වීම හා සමඟ ය. ඒ සමඟ අහම්බෙන් හෝ වුවමනාවෙන් ම හෝ ලෝකයේ විවිධ ප්‍රදේශ අතර ශාක විශේෂ හුවමාරු වීම ආරම්භ විය. මේ අතරින් ඇතැම් විශේෂ සෙසු විශේෂ අභිබවා ව්‍යාප්ත වී තිබේ. ආගන්තුක ආක්‍රමණික ශාක බවට පත් වන්නේ මේ ශාක විශේෂ ය. මේවා නිසා ඇති වී තිබෙන ගැටලු රාශියකි. ඒවා ඇතැම් අවස්‌ථාවල බරපතළ තත්ත්ව වේ. එවැනි තත්ත්වයක්‌ තුළ ආක්‍රමණික තත්ත්ව ඇති කළ හැකි විශේෂ පිළිබඳව කල් තබා දැනගත හැකි නම් එය ඉතා වැදගත් වේ. අනෙක්‌ අතට වර්තමානයේ ලෝකයේ බරපතළ ම පාරිසරික අභියෝගය වන දේශගුණ වෙනස්‌ වීම හමුවේ දේශීය ශාක මුහුණ දෙන තර්ජන අතරට ආක්‍රමණික ශාක ද එක්‌ වී තිබේ. (මූලාශ්‍රය Science, DOI: 10.1126/science.1215933)

පුවත් සැකෙවින්

ඔරංඔටං වාසනාවන්තයි?

මිනිසුන් ගේ සංචරණය නිසා වනජීවීන්ට හා පරිසරයට ඇති වන බලපෑම පිළිබඳව සිදු කරනු ලබන අධ්‍යයන දැන් දැන් වැඩි වශයෙන් කියෑවීමට ලැබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් පසුගිය සතියේ දී අපට කියෑවීමට ලැබුණු පුවතකට අනුව පරිසර සංචාරකයන්ට වසරක්‌ වැනි දිගු කාලයක්‌ තිස්‌සේ වරින්වර මුහුණ දෙන ඔරංඔටං සතුන් ඒ සමඟ යම් ආතතියකට මුහුණ දෙන බවක්‌ දක්‌නට ලැබුණ ද ඉන් දිගුකාලීන වූ හෝ දැඩි වූ හෝ බලපෑමක්‌ ඇති වන බවක්‌ නම් නො පෙනේ.

මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ ඉන්දුනීසියාවේ බෝර්නියෝ දූපතේ වාසය කරන ඔරංඔටං (Pongo pygmaeus morio) සතුන් හා සම්බන්ධ ව ය. මෙහි දී පරිසර සංචාරකයන් හමු වූ දිනයේ දී ඔවුන් ගේ ශරීරයේ දැකිය හැකි වූ ආතතික හෝර්මෝනයක්‌ වන කෝටිසෝල් මට්‌ටම දැඩි ලෙස ඉහළ යන බවත් ඉන් පසු එය යළි යථා තත්ත්වයට පත් වන බවත් පෙන්වා දී තිබේ. ඒ අනුව ඔරංඔටං සතුන් කිසියම් ආකාරයකින් වාසනාවන්ත වන බවක්‌ සිතේ. ඒ මීට වඩා වෙනස්‌ ප්‍රතිචාර අනෙක්‌ සතුන් වෙතින් දැකිය හැකි වන නිසා ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇතැම් සත්තු එවැනි තත්ත්ව හමුවේ ස්‌ථිර වෙනස්‌කම් දක්‌වති. (මූලාශ්‍රය PLoS ONE, DOI: 10.1371/journal.pone.0033357)

ජපානයේ සුනාමි අවදානම

ජපානයේ 2011 වර්ෂයේ දී ඇති වූ භූමිකම්පාව හා සමාන භූමිකම්පාවකින් මීටර් 34ක්‌ පමණ තරම් උස සුනාමියක්‌ වුවත් ඇති විය හැකි බව එරට විශේෂඥයන් පිරිසක්‌ විසින් පසුගිය දා සකස්‌ කරන ලද වාර්තාවක්‌ අනුව පෙනේ. එවැන්නක්‌ ඇති වුව හොත් ජපානයේ පැසිෆික්‌ වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක්‌ දැඩි හානියකට ලක්‌ විය හැකි ය.

මෙතෙක්‌ කලක්‌ පුරෝකථනය කර තිබුණේ රිච්ටර් පරිමාණයේ 9 ප්‍රමාණයේ භූමිකම්පාවකින් ඇති විය හැක්‌කේ මීටර් 20ක පමණ සුනාමියක්‌ බව ය. එහෙත් මේ නව අධ්‍යයනය සුනාමි අවදානම තවත් ඉහළ නංවයි. මින් පෙනෙන්නේ සුනාමි තත්ත්වයක දී ඇති විය හැකි හානිය මෙතෙක්‌ සිතා සිටියාට වඩා අධික විය හැකි බව ය. ඒ අනුව න්‍යෂ්ටික බලාගාර ආදි වැදගත් ස්‌ථානවල ආරක්‌ෂාව පිළිබඳව යළිත් සිතීමට සිදු වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, පසුගිය වර්ෂයේ ඇති වූ මීටර් 14ක්‌ පමණ උස්‌ සුනාමියේ දී අනතුරට ලක්‌ වූ ෆුකුෂිමා බලාගාරය සැලසුම් කර තිබුණේ මීටර් 6ක ප්‍රමාණයේ සුනාමියකට ඔරොත්තු දීමට පමණි.

බ්‍රිතාන්‍යයේ ළමයි පරිසරයෙන් ඈත් වෙති

බ්‍රිතාන්‍යයේ ළමයින් පරිසරය හා මිශ්‍ර වීමෙන් ඈත් වෙමින් ඇති බව වාර්තාවකින් හෙළි වී තිබේ. ළමයින් නිවාස තුළ වැඩි වශයෙන් සිටීමට හේතු වී ඇත්තේ තදබදය, වීඩියෝ සඳහා ඇති ඇල්ම හා මාපියන් ගේ අදහස්‌ ය.

මේ තත්ත්වය ඔවුන් ගේ සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා ද යම් බලපෑමක්‌ සිදු කර ඇති බව ඉන් පෙන්වා දී තිබේ. බ්‍රිතාන්‍ය ළමයින් පරිසරයෙන් ලබා ගන්නා දැනුම අඩු වේ. පොත පතෙන් ඉගෙන ගන්නා දේට වඩා බාහිර පරිසරයේ දී ළමයින් උගන්නා දේ වැඩි බලපෑමක්‌ කළ හැකි බව පිළිගන්නා කරුණකි. එසේ ම ළමයින් අතර දැකිය හැකි ඇතැම් රෝග තත්ත්ව ඉහළ යැමට ද පරිසරයෙන් ඈත් වීම බලපා තිබේ. අනෙක්‌ අතට තම ළමා කාලය පිළිබඳව ඇති තෘප්තිමත් බව අඩු වීමට ද මෙය හේතු විය හැකි ය. 'සොබාදහම ඌනතාබාධය' (nature deficit disorder) නමින් හඳුන්වන මේ තත්ත්වය වැළැක්‌වීම සඳහා පියවර ගත යුතු බව අදාළ වාර්තාව පළ කළ ආයතනය කියයි. (මූලාශ්‍රය Natural Childhood, 2012,www.nationaltrust.org.uk )

Source: http://www.vidusara.com/2012/04/04/feature3.html

No comments:

Post a Comment