ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2012-04-18, පි. 11 (Vidusara, 2012-04-18, p.11)
http://www.vidusara.com/2012/04/18/feature3.html
විමසුම - සුළං බලාගාර මගින් පක්‌ෂීන්ට සිදු වන හානි පිළිබඳ නව පර්යේෂණයක්
ප්‍රමුඛ පුවත - අදිරද පෙන්ගුවින් ගහනය සිතුවාට වඩා අධිකයි
පුවත් සැකෙවින් - පිරිසිදු ජල ඉලක්‌කය ඈතයි? / ඉන්දියාවටත් දේශගුණ පනතක්? / මිහිතල දිනය - අප්‍රේල් 22
විමසුම
සුළං බලාගාර මගින් පක්‌ෂීන්ට සිදු වන හානි පිළිබඳ නව පර්යේෂණයක්
ලෝකයේ භාවිත වන පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභව අතර සුළං බලයට හිමි වන්නේ වැදගත් ස්‌ථානයකි. ලෝකය මුහුණ දී ඇති බලශක්‌ති අර්බුදය නිසාත්, පිරිසිදු බලශක්‌තියක් වන නිසාත් සුළං බලය කෙරේ සැලකිය යුතු අවධානයක් යොමු වී තිබේ. මේ නිසා ඒ සම්බන්ධව සිදු කරනු ලබන ආයෝජන ද ඉහළ ගොස් තිබේ. දියුණු වන රටවල ද වැඩි අවධානයක් මේ පිළිබඳව යොමු වී තිබේ.
කෙසේ වෙතත් සුළං බලයේ දැකිය හැකි යම් යම් සීමා පිළිබඳව මෙන්ම එහි ඇති අහිතකර බලපෑම් පිළිබඳව ද බොහෝ කලක පටන් ජගත් මට්‌ටමෙන් සාකච්ඡාවට ලක් ව ඇත. මෙවැනි එක් අහිතකර බලපෑමක් සේ සැලකෙන්නේ සුළං බලාගාර නිසා පක්‌ෂීන්ට ඇති විය හැකි හානිකර බලපෑම් ය. සුළං ටර්බයිනවල පක්‌ෂීන් ගැටීම නිසා මරණයට පත් විය හැකි අතර මේවා නිසා පරිසර පද්ධතියේ ද වෙනස් වීම් ඇති විය හැකි ය. පසුගිය දා ප්‍රකාශයට පත් මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයක වැදගත්කම නිසා ඒ පිළිබඳව මේ තීරුව ඔස්‌සේ සාකච්ඡා කිරීමට අපි සිතුවෙමු.
සුළං බලාගාර හා පක්‌ෂීන්
බ්‍රිතාන්‍යය පාදක කරගෙන ඇති මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ පක්‌ෂීන් පිළිබඳව කටයුතු කරන සංවිධාන දෙකක් වන පක්‌ෂි අධ්‍යයනය සඳහා වන බ්‍රිතාන්‍ය භාරය (BTO) හා පක්‌ෂි ආරක්‌ෂාව සඳහා වූ රාජකීය සමිතිය (RSPB) සමඟ සම්බන්ධ විද්‍යාඥයන් පිරිසකි. මෙහි දී විවෘත උස්‌බිම් ප්‍රදේශවල පිහිටා ඇති බලාගාර දහ අටක් ඒවා ඉදි කිරීමට පෙර, ඉදි කරමින් පවත්නා අතර හා ඉදි කිරීමෙන් පසු යන අවස්‌ථාවල දී පක්‌ෂි ගහනයේ ඇති වන තත්ත්වය පිළිබඳව පරීක්‌ෂා කර ඇත. ඔවුන් ගේ නිරීක්‌ෂණ පක්‌ෂි විශේෂ දහයක් පිළිබඳව විය. ඉන් වැඩි ප්‍රමාණයක් ජලජ පක්‌ෂීන් ය.
මේ අනුව අනාවරණය වී ඇත්තේ අධ්‍යයනය කළ බොහෝ පක්‌ෂීන්ට බලපෑම් සිදු වන්නේ සුළං ටර්බයින ඉදි කිරීමේ දී මිස ඒවා ක්‍රියාත්මක වීමේ දී නො වන බව ය. එසේ ම වෙනස් පක්‌ෂි විශේෂවලට මේ බලපෑම විවිධ විය හැකි ය. නිදසුනක් ලෙස ගත හොත්, ඇතැම් විශේෂවල ගහනය බලාගාර ඉදි කිරීමේ දී අඩු වුවත් එය පසුව නැවත යථා තත්ත්වයට පත් වී ඇත. තවත් සමහර පක්‌ෂීන් ගේ ගහන එසේ යළිත් යථා තත්ත්වයට පත් නො වී දිගින් දිගට ම අඩු ව ගොස් තිබේ. මෙවැනි පක්‌ෂි විශේෂ අතර මහවටුවන් (Curlew) හා කැස්‌වටුවන් (Snipe) ඇති අතර ඔවුන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව එහි දැක්‌වේ. මේ පක්‌ෂි විශේෂ මිනිස් කටයුතුවලට සංවේදී වන අතර මෑත දශක කිහිපයක කාලයේ දී ඔවුන් ගේ ගහන අඩුවීම් එරටින් වාර්තා වී තිබේ. එසේ ම බලාගාර ඉදි කිරීමෙන් පසු තවත් පක්‌ෂි ගහනවල වර්ධනය වීමක් ද සිදු වේ. ප්‍රදේශයේ වෘක්‌ෂලතා වෙනස් කිරීමෙන් (පෙරළා දැමීමෙන්) ඔවුන්ට ආහාර සොයාගැනීමට හෝ වාසස්‌ථාන තැනීමට වැඩි අවස්‌ථාවක් උදා වී ඇති බවක් පෙනේ.
එසේ ම සුළං ටර්බයිනවල උස හා ජනනය වන විදුලි බලය වැනි කරුණු හා පක්‌ෂීන්ට වන බලපෑම අතර සම්බන්ධයක් නොමැති බව මෙහි දී අනාවරණය වී ඇත. අධ්‍යයනයට ලක් කළ පක්‌ෂි විශේෂ සුළං ටර්බයින හා ගැටීමක් සිදු නො වන බවක් මේ වාර්තාවේ සඳහන් වේ.
මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහි දී යෝජනා වී තිබේ. නිදසුනක් ලෙස ගත හොත් බලාගාර ඉදි කිරීම සම්බන්ධ පරිසර අධ්‍යයනවල දී ඉදි කිරීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම හා ඉදි කිරීම් කටයුතු පක්‌ෂීන් ගේ අභිජනන කාලයේ දී සිදු නො කිරීම වැනි පියවර දක්‌වා යා හැකි ය.
සමස්‌තයක් ලෙස ගත හොත් සුළං බලාගාර හා පක්‌ෂීන්ට සිදු වන බලපෑම පිළිබඳව මෙතෙක් ප්‍රකාශයට පත් ව ඇති වාර්තාවලින් පෙන්වා දෙන තරම් පෙනෙන තත්ත්වය අහිතකර නොමැති බව මේ අධ්‍යයනයෙන් පැවසේ. (මූලාශ්‍රයJournalof Applied Ecology, DOI: 10.1111/j.1365-2664.2012.02110.x)
වැදගත් කරුණු අනාවරණයක්
මේ අධ්‍යයනයෙහි යම් යම් සීමා ඇති බවක් පෙනේ. එය භූගෝලීය වශයෙන් සීමාසහිත ප්‍රදේශයක සිදු කර ඇත. ඒ නිසා පක්‌ෂීන් ගේ ගැවසීම අධික ප්‍රදේශවල ඇති වන බලපෑම මීට වඩා වෙනස් විය හැකි ය. අනෙක් අතට මේ අධ්‍යයනයේ දී විශාල මාංශභක්‌ෂක පක්‌ෂීන් පිළිබඳව අධ්‍යයනය කර නොමැති අතර සුළං ටර්බයින හා ගැටීම් වැඩි වශයෙන් වාර්තා වන්නේ මේ පක්‌ෂීන් හා සම්බන්ධ ව ය.
කෙසේ වෙතත් මෙහි දී අනාවරණය වන වැදගත් කරුණක් නම් මෙහි දී යොදාගෙන ඇති ක්‍රමවේදයයි. එනම් සුළං බලාගාරවලින් සිදු විය හැකි බලපෑමක් තිබේ නම්, එය අදාළ ස්‌ථානයේ අඛණ්‌ඩව සිදු කරන ලද අධ්‍යයනයක් මඟින් අනාවරණය කර ගැනීම ය. එනම් ටර්බයින ඉදි කිරීමට, ඉදි කරන අවස්‌ථාවේ දී හා ඉදි කිරීමෙන් පසු යනුවෙන් පක්‌ෂීන්ට ඇති විය හැකි බලපෑම ක්‍රමානකූලව සෙයා බැලීම ය. මේ හා සමාන අධ්‍යයන ඕනෑ ම රටක සිදු කළ හැකි බව ද පෙනේ. එසේ ම මේ ගැන විමසීමේ දී පැහැදිලි වන වැදගත් ම කරුණ වන්නේ සුළං බලාගාර ඉදි කිරීමේ දී අදාළ ප්‍රදේශයේ පක්‌ෂීන් ගේ ගැවසීම හා සුලබතාව පිළිබඳව කරුණු සලකා බැලීම වැදගත් බව ය.
ප්‍රමුඛ පුවත
අදිරද පෙන්ගුවින් ගහනය සිතුවාට වඩා අධිකයි
ඇන්ටාක්‌ටික් මහාද්වීපයේ දැකිය හැකි අධිරද පෙන්ගුවින් හෙවත් එම්පරර් පෙන්ගුවින් (Aptenodytes fosteri) ගහනය මෙතෙක් පැවැති අගය මෙන් දෙගුණයක් පමණ වන බව චන්ද්‍රිකා තාක්‌ෂණය යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක දී හෙළි වී තිබේ.
මෙය සිදු කළ හැකි වූයේ අයිස්‌වලින් වැසී පවත්නා ඇන්ටාක්‌ටික් මහාද්වීපය සුදු පැහැ වීම නිසා ඒ මත පෙන්ගුවින් සතුන් තද පැහැයෙන් පෙනෙන නිසා ය. උක්‌ත අධ්‍යයනයේ දී සමස්‌ත ඇන්ටාක්‌ටික් වෙරළ තීරය ආවරණය වන පරිදි 2009 වර්ෂයේ පෙන්ගුවින් අභිජනන සමයේ දී ලබාගත් වන්ද්‍රිකා ඡායාරූප යොදාගෙන ඇත. එහි දී පළමුව පෙන්ගුවින් ජනපද ඇති ස්‌ථාන ඔවුන aගේ මළද්‍රව්‍ය මඟින් හඳුනාගෙන තිබේ. ඉන් පසුව ඉහළ විභේදනයක් ඇති චන්ද්‍රිකා ඡායාරූප යොදාගනිමින් නව ක්‍රමවේදයකට අනුව ඔවුන් ගණනය කර තිබේ. ඔවුන් ගේ සෙවනැලි හා මළද්‍රව්‍යවලින් සතුන් වෙන් කර ගැනීම සඳහා මෙහි දී උපක්‍රමයක් යොදාගෙන තිබීම විශේෂයකි. අවසානයේ දී පෙන්ගුවින් සතුන් වාසය කරන ප්‍රදේශය පමණක්
නිවැරැදිව හඳුනාගෙන ඔවුන් ගේ ගහන ඝනත්වය මත පදනම් ව ගහනයේ සිටින සතුන් ප්‍රමාණය ගණනය කර ඇත. මේ අධ්‍යයනයෙන් පෙන්ගුවින් ජනපද 46ක් හඳුනාගෙන ඇති අතර ඉන් කිහිපයක් පමණ මෙතෙක් හඳුනාගෙන නො තිබූ ඒවා වීම විශේෂිත ය.
මේ අනුව ඇන්ටාක්‌ටිකාවේ වාසය කරන අධිරද පෙන්ගුවින් සතුන් ප්‍රමාණය 595,000ක් පමණ වේ. මින් පෙර පැවැති ඇස්‌තමේන්තුව වූයේ මේ සතුන් 270,000-350,000 අතර ප්‍රමාණයක් හමු වන බව ය. ඒ අනුව නව ගණනය මේ සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ දමා තිබේ.
මෙය අභ්‍යවකාශයේ සිට කිසියම් සත්ත්ව විශේෂයක් පිළිබඳව සිදු කරන ලද පළමු විස්‌තරාත්මක අධ්‍යයනය සේ සැලකේ. මේ පෙන්ගුවින් විශේෂය දේශගුණ වෙනස් වීම නිසා තර්ජනයකට ලක් විය හැකි සේ සැලකේ. ඒ පිළිබඳ සිදු කරනු ලබන අධ්‍යයන සඳහා ඔවුන් ගේ සැබෑ ගහනය පිළිබඳ නිවැරැදි සංඛ්‍යාලේඛන නව අධ්‍යයනයෙන් ලැබී තිබීම අධිරද පෙන්ගුවින් සංරක්‌ෂණයේ ලා වැදගත් කරුණකි. (මූලාශ්‍රය PLoSOne,DOI:10.1371/journal.pone.0033751)
පුවත් සැකෙවින්
පිරිසිදු ජල ඉලක්‌කය ඈතයි?
පිරිසිදු ජල සැපයුමක් ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්‌කය ඇතැම් රටවල දී මෙතෙක් සිතා සිටියාට වඩා කල් යන බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක් අනුව පෙනේ. මීට හේතුව අදාළ රටවල ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ දත්ත මේ රටවල සහස්‍ර සංවර්ධන අභිමථාර්ථවල ප්‍රගතිය දැක්‌වීමේ වාර්තාවලට ඒකාබද්ධ කිරීමට නොහැකි වීම බව ද දක්‌වා තිබේ.
මේ බව අනාවරණය වී ඇත්තේ 2004-2005 අතර කාලයේ දී ලෝකයේ රටවල් පහක සිදු කර ඇති සමීක්‌ෂණ පිළිබඳව පර්යේෂකයන් පිරිසක් විසින් යළිත් සිදු කරන ලද විශ්ලේෂණයක දී ය. ඒ අනුව හෙළි වී ඇත්තේ ඇතැම් රටවල දී ජලය සම්බන්ධ සහස්‍ර සංවර්ධන ඉලක්‌ක අත්පත් කරගැනීම පිළිබඳ ප්‍රගතිය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වන බව ය. මේ අතර ඉතියෝපියාව, නිකරගුවා හා නයිජීරියාව යන රටවල් වේ. මීට හේතුව යොදාගෙන ඇති දත්ත ජාතික හෝ ජාත්‍යන්තර ප්‍රමිති හා නො ගැලපීමයි.
මේ අනුව පෙනෙන්නේ අදාළ රටවල් ජලය පිළිබඳ සහස්‍ර සංවර්ධන ඉලක්‌ක අත්පත් කර ගැනීමේ දී මීට වඩා කටයුතු කළ යුතු බවකි. මේ තත්ත්වය දියුණු වන රටවල් සමහරක වෙනත් අංශ හා සම්බන්ධව පවා දැකිය හැකි කරුණක් වේ. (මූලාශ්‍රය Bulletin of the World HealthOrganization, DOI: 10.2471/BLT.11.094284)
ඉන්දියාවටත් දේශගුණ පනතක්?
ඉන්දියාවේ බිජු ජනතා දාල් නම් පක්‌ෂයක මන්ත්‍රීවරයකු විසින් පෞද්ගලික පනතක් ලෙස එරට පාර්ලිමේන්තුව හෙවත් ලෝක් සභාවට දේශගුණ වෙනස් වීම සම්බන්ධ සවිස්‌තර නීති රීති ඉල්ලා පනත් කෙටුම්පතක් ගොනු කර තිබේ. මෙහි දී ඉල්ලා ඇත්තේ හරිතාගාර වායු විමෝචන වැළැක්‌වීමට හෝ ලිහිල් කිරීමට හා බලශක්‌ති කාර්යක්‌ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය එක් නීතියක් පැනවීමට රජය කටයුතු කළ යුතු බව ය.
ඉන්දියාවේ පුවත්පත් වාර්තා කරන ආකාරයට මේ යෝජිත පනත සම්මත වීමට ඇති ඉඩ අඩු නමුත්, එහි ඇති වැදගත්කම වන්නේ රජයට ද දේශගුණ වෙනස් වීම සම්බන්ධ කටයුතුවල දී අදට වඩා ක්‍රියාකාරී වීමට සිදු වීම ය. මේ වන විට වේගවත් කාර්මිකකරණයක් හඹා යන ඉන්දියාව මෙන්ම තවත් රටවල් කිහිපයක් ඇතැම් කරුණුවල දී නම්‍යශීලී බවක් අනුගමනය නො කරන බවක් පෙනේ. එය ද දේශගුණ වෙනස් වීම සම්බන්ධව ජාත්‍යන්තර සාකච්ඡාවල අසාර්ථකත්වයට හේතුවක් බව පැහැදිලි ය.
මිහිතල දිනය - අප්‍රේල් 22
මිහිතල දිනය අප්‍රේල් මස 22ට යෙදේ. එය ලෝකයේ වර්තමාන පරිසර සංරක්‌ෂණ ව්‍යාපාරයේ මුල් අදියරේ කිසියම් සන්ධිස්‌ථානයක් සේ සැලකිය හැකි ය. එය 1970 වර්ෂයේ දී ආරම්භ වූයේ අධික පරිසර හානියක් දැකිය හැකි වූ හා නූතන අධි පරිභෝජනවාදී ජීවන ශෛලියේ තිඹිරිගෙය සේ සැලකිය හැකි ඇමෙරිකාවේ දී ය. එහෙත් එය ජාත්‍යන්තර වශයෙන් සමරනු ලබන දිනයක් බවට පත් වූයේ 1990 දී පමණ ය. මේ වර්ෂයේ දී එය ශ්‍රී ලංකාවේ දී සමරන ලද නමුත් එය එතරම් ප්‍රකට වූයේ නැත.
මේ අතර 2009 වර්ෂයේ දී එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ මහා මණ්‌ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවක් අනුව 'ජාත්‍යන්තර මිහිතල මාතා දිනය' (International Mother Earth Day) යනුවෙන් ද අප්‍රේල් 22 දිනය පිළිගන්නා ලදි. මෙය තවමත් එතරම් ප්‍රසිද්ධියට පත් වී නැති බවක් පෙනේ.
Source: http://www.vidusara.com/2012/04/18/feature3.html
No comments:
Post a Comment