Sunday, April 15, 2012

ජගත් පරිසර විමසුම 118 (Global Environmental Watch, 118)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-04-11, පි. 11 (Vidusara, 2012-04-11, p.11)
http://www.vidusara.com/2012/04/11/feature3.html

විමසුම - ආන්තික කාලගුණ තත්ත්ව, දේශගුණ වෙනස්‌ වීම හා පරිසර පද්ධති
ප්‍රමුඛ පුවත - ඩොල්ෆින් හා කැස්‌බෑවුන්ට වැදගත් වන සාගර ආරක්‌ෂිත ප්‍රදේශ
පුවත් සැකෙවින් - ජෛව ඉන්ධන නිසා පක්‌ෂීන්ට වන බලපෑම අඩු කළ හැකියි / හිම වලසුන් ගේ PCB මට්‌ටම පහළට / ඉන්දියාවේ සුළං විභවය බොහෝ සේ ඉහළයි


විමසුම
ආන්තික කාලගුණ තත්ත්ව, දේශගුණ වෙනස්‌ වීම හා පරිසර පද්ධති

ආන්තික කාලගුණ තත්ත්ව යනු මිනිසුන්ට මෙන්ම ස්‌වාභාවික පරිසරයට ද සැලකිය යුතු බලපෑමක්‌ කළ හැකි තත්ත්වයකි. විවිධ ආන්තික තත්ත්ව නිසා ඇති වන මිනිස්‌ ජීවිත හා දේපොළ හානිය සුවිශාල ය. එසේ ම ඒවා සාමාන්‍ය මානව කටයුතු සඳහා ද තදින් බලපායි. මානව පරිසරයට සිදු වන හානිය නිසා බොහෝ විට එතරම් සැලකිල්ලකට ලක්‌ නො වුණ ද මෙවැනි තත්ත්ව නිසා වනජීවීන්ට හා පරිසරයට සිදු වන හානිය ද සුළුපටු නම් නො වේ.

එසේ ම වර්තමාන ලෝකයේ දැකිය හැකි සංකීර්ණ තත්ත්වයක්‌ වන දේශගුණ වෙනස්‌ වීම හා ආන්තික කාලගුණ තත්ත්ව අතර ඇති බලපෑම මෑත කාලයේ දී වැඩි අවධානයකට ලක්‌ වූ විෂයයකි. මේ සිදුවීම් දෙක අතර යම් සම්බන්ධයක්‌ ඇති ද යන්න ඇතැම් විට විවාදාත්මක ය. දේශගුණ සංශයවාදීන් ගේ අදහස්‌ බැහැර කළ ද ඇතැම් තත්ත්ව පිළිබඳව ඇති සාධකවල යම් යම් ගැටලු පැවතීම මීට හේතුවයි. මේ සම්බන්ව සිදු කරන ලද අධ්‍යයනයක්‌ හා ආන්තික තත්ත්ව ස්‌වාභාවික පරිසරයට සිදු කරන බලපෑම පිළිබඳව කළ පර්යේෂණයක්‌ ගැන මේ සතියේ පරිසර විමසුමේ අවධානය යොමු වේ.

ආන්තික තත්ත්ව හා දේශගුණ වෙනස්‌ වීම අතර සම්බන්ධය පැහැදිලියි


පසුගිය දශකයක පමණ කාලයේ දී ලෝකයේ බොහෝ ප්‍රදේශවල ඇති වූ ආන්තික කාලගුණ තත්ත්ව ප්‍රමාණය අසාමාන්‍ය ආකාරයෙන් අධික ය. මේ ආකාරයෙන් ඇති වන ආන්තික තත්ත්ව අතර ගංවතුර, නියඟය, තාප ප්‍රවාහ, සුළි සුළං හා කුණාටු ආදිය වැඩි අවධානයකට ලක්‌ ව ඇත. මේ සම්බන්ධව සිදු කරන ලද හා පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව මේ ඇතැම් ආන්තික තත්ත්ව අධික වීම අහම්බෙන් සිදු වූවක්‌ නම් නො වේ. මේ ආන්තික තත්ත්ව ඉහළ යැම සිදු වී ඇත්තේ අහම්බෙන් නම් නො වේ. ඊට දේශගුණ වෙනස්‌ වීමේ සම්බන්ධයක්‌ තිබේ.

මේ අධ්‍යයනයේ දී පෙන්වා දෙන ආකාරයට මේ ආන්තික තත්ත්ව හා දේශගුණ වෙනස්‌ වීම අතර ඇතැම් විට ඇත්තේ කෙළින් ම පැවසිය හැකි ආකාරයේ සම්බන්ධයක්‌ නො විය හැකි ය. ඒ අතර ඇත්තේ සම්භාවිතාව පිළිබඳ ගැටලුවකි. අදාළ පර්යේෂකයන් මෙසේ පවසන්නේ මෑත දී ඇති වූ ආන්තික තත්ත්ව භෞතික විද්‍යාත්මකව, සංඛ්‍යානමය වශයෙන් හා පරිගණක ආශ්‍රයෙන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරු ව ය. මූලික භෞතික විද්‍යාත්මක සංකල්ප අනුව ඉහළ ගොස්‌ ඇති උෂ්ණත්වය නිසා ආන්තික කාලගුණ තත්ත්ව සුලභබ විය හැකි ය. එසේ ම සංඛ්‍යානමය අධ්‍යයනවලට අනුව වර්ෂාපතන තත්ත්ව ඉහළ ගොස්‌ ඇති බව පැහැදිලි කරුණකි. පරිගණකමය අධ්‍යයන අනුව ද උෂ්ණත්වය හා වර්ෂාපතනයේ ආන්තික තත්ත්ව හා මිහිතලය උණුසුම් වීම අතර සම්බන්ධයක්‌ පවතී. ඒ අනුව මේ සිදුවීම් දෙක අතර යම් රටාවක්‌ ඇති බව පැහැදිලි ය.

මේ අනුව ආන්තික වර්ෂාපතන තත්ත්ව (අධික වැස්‌ස හා වැසි අඩු වීම) හා තාප ප්‍රවාහ ඇති වීම අධික වීම හා දේශගුණ වෙනස්‌ වීම අතර යම් සම්බන්ධයක්‌ ඇති බව පැහැදිලි බව ඔවුන් නිගමනය කර තිබේ. එහෙත් ඉහළ ගොස්‌ ඇති සුළිසුළං හා කුණාටු තීව්‍රතාව හා දේශගුණ වෙනස්‌ වීම අතර සම්බන්ධයක්‌ තිබේ ද යන්න පැවසීමට තරම් දත්ත නොමැති බව මේ අධ්‍යයනයේ නිගමනයයි. කෙසේ වෙතත් ඇතැම් තනි ආන්තික තත්ත්ව සහ ප්‍රාදේශීයව ඇති වන එල් නිනෝ වැනි තත්ත්ව වෙනස්‌වීම් අතර යම් සම්බන්ධයක්‌ පවතී. (මූලාශ්‍රයNature Climate Change, DOI: 10.1038/NCLIMATE1452&

ආන්තික තත්ත්ව ස්‌වාභාවික පරිසරයට බලපාන අයුරු

මේ අතර පසුගිය දා ප්‍රකාශයට පත් වූ තවත් අධ්‍යයනයක අවධානය යොමු වී තිබුණේ ආන්තික තත්ත්ව නිසා ස්‌වාභාවික පරිසර පද්ධතිවලට ඇති වන අහිතකර බලපෑම් සම්බන්ධ ව ය. එහි දී ගණිතමය ආකෘති ඇතුළත් ක්‍රමවේදයක්‌ යොදාගනිමින් පරිසරයේ ඇති වන වෙනස්‌වීම් කුමන ආකාරයකින් අදාළ පරිසර පද්ධතිවලට හා ඒවායේ වාසය කරන ජීවීන්ට බලපාන්නේ ද යන්න විමසා තිබේ.

මේ අධ්‍යයනයට අනුව විශේෂ සාරතාව (species richness) අතින් ඉහළ පරිසර පද්ධතිවලට ආන්තික තත්ත්ව නිසා වැඩි බලපෑමක්‌ ඇති විය හැකි ය. මෙවැනි පරිසර පද්ධතියක එක්‌ පෝෂක මට්‌ටමක හමු වන ජීවී විශේෂ ප්‍රමාණය අධික වන අතර එවැනි එක්‌ විශේෂයකින් දැකිය හැකි ජීවීන් ප්‍රමාණය අඩු වීමට පුළුවන. ඒ අන්තර් විශේෂ තරගය නිසා ය. එහෙත් මේ නිසා පාරිසරික වෙනස්‌වීම්වල දී සීමිත ප්‍රමාණයකින් හමු වන ජීවී විශේෂ සම්පූර්ණයෙන් ම වඳ වී යැමේ අවදානමක්‌ තිබේ. මේ නිසා සමස්‌ත ආහාර දාමයේ ම යම් බිඳවැටීමක්‌ ඇති විය හැකි අතර අනුපිළිවෙළින් විවිධ පෝෂක මට්‌ටම්වල සිටින ජීවී විශේෂ වඳ වී යැමට හැකියාව පවතී. මේ තත්ත්වය ප්‍රපතන වඳ වීමක්‌ (cascading extinction) යනුවෙන් හැඳින්වේ. කොරල්පර හා නිවර්තන වනාන්තර මෙවැනි අවදානමක්‌ ඇති පරිසර පද්ධති සඳහා නිදසුන් වේ.

එහෙත් අඩු ජීවී විශේෂ සංඛ්‍යාවකට අයත් ජීවීන් විශාල වශයෙන් හමු වන පරිසර පද්ධතිවලට ආන්තික තත්ත්වවලින් ඇති වන බලපෑම මීට වඩා අඩු ය. සාමාන්‍යයෙන් විශේෂ සාරතාව පරිසර පද්ධතියක වැදගත් වූවක්‌ සේ සැලකුණ ද එය ඇතැම් ජීවී විශේෂවල පැවැත්මට හානිකර විය හැකි අවස්‌ථා ද ඇති බව මේ අනුව පෙනේ. (මූලාශ්‍රය Ecology and Evolution, DOI: 10.1002/ece3.218)



ප්‍රමුඛ පුවත
ඩොල්ෆින් හා කැස්‌බෑවුන්ට වැදගත් වන සාගර ආරක්‌ෂිත ප්‍රදේශ

සාගර ආරක්‌ෂිත ප්‍රදේශ ලෝකයේ මේ වන විට වැඩි අවධානයට යොමු වී ඇති මාතෘකාවකි. මේවා වැදගත් වන්නේ මේ වන විටත් වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇති සාගර ජීවීන් හා සාගර පරිසර පද්ධති ආරක්‌ෂා කර ගැනීම සඳහා ය. විශේෂයෙන් අධික ලෙස මසුන් ඇල්ලීම හා වෙනත් මානව කටයුතු නිසා මේ අවශ්‍යතාව ඇති වී තිබේ. දැන් දැන් මෙවැනි ප්‍රදේශ පිහිටුවීම ද ඉහළ ගොස්‌ ඇත. මේ පිළිබඳව අපේ අවධානය යොමු කිරීමට හේතු වන පර්යේෂණ දෙකක ප්‍රතිඵල පසුගිය දා වාර්තා විය.

ඉන් පළමුවැන්න කොළ කැස්‌බෑවුන් (Chelonia mydas) පිළිබඳව සිදු කරන ලද්දකි. එහි දී පෙන්වා දී ඇති පරිදි මේ කැස්‌බෑවුන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයකට ආරක්‌ෂිතව ජීවත් වීම සඳහා සාගර ආරක්‌ෂිත ප්‍රදේශ උපකාරී වේ. රටවල් 10ක පර්යේෂණ කණ්‌ඩායම් විසින් චන්ද්‍රිකා තාක්‌ෂණය යොදාගනිමින් කැස්‌බෑවුන් පිරිසක ගේ සංචරණ පිළිබඳව කරන ලද මේ අධ්‍යයනයේ දී හෙළි වී ඇති ආකාරයට එම කොළ කැස්‌බෑවුන් අතරින් සියයට 35ක්‌ පමණ ප්‍රමාණයක්‌ වාසය කරන්නේ සාගර ආරක්‌ෂිත ප්‍රදේශවල ය. එසේ ම මේ කැස්‌බෑවුන් හමු වීම ද අධික වී ඇත්තේ වඩා විශාල, ආරක්‌ෂිත බවින් ඉහළ හා වඩා පැරැණි ආරක්‌ෂිත ප්‍රදේශවල වීම ද වැදගත් ය. සාගර ආරක්‌ෂිත ප්‍රදේශ අතර කැස්‌බෑවුන් වැඩි වශයෙන් ගැවසෙන නොගැඹුරු මුහුදු ප්‍රදේශ අඩු වුවත් මේ පර්යේෂණයෙන් අනාවරණය වන කරුණුවලින් පෙනෙන්නේ තිබෙන ආරක්‌ෂිත ප්‍රදේශවල වැදගත්කම වඩා ඉහළ බවකි. (මූලාශ්‍රයGlobal Ecology and Biogeography,DOI: 10.1111/j.1466-8238.2011.00757.x)

දෙවැනි අධ්‍යයනයේ දී අනාවරණය වී ඇත්තේ වඩා විශාල ආරක්‌ෂිත ප්‍රදේශ ඩොල්ෆින් සතුන් සඳහා ඵලදායී වන බව ය. නවසීලන්තය ආසන්න මුහුදේ පිහිටා ඇති සාගර ආරක්‌ෂිත ප්‍රදේශයක වසර විසි එකක්‌ තිස්‌සේ කරන ලද ඩොල්ෆින් නිරීක්‌ෂණ මත මේ පර්යේෂණය සිදු කර තිබේ. ඊට අනුව 1988 දී අදාළ ආරක්‌ෂිත ප්‍රදේශය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු හෙක්‌ටර් ගේ ඩොල්ෆින් (Cephalorhynchus hectori) නම් විශේෂයේ මධ්‍යන්‍ය ප්‍රවර්තන සම්භාවීතාව (meansurvival probability) සියයට 5.4කින් පමණ ඉහළ ගොස්‌ තිබේ. මෙය සාගර ක්‌ෂීරපායින් ගේ ආරක්‌ෂාව සඳහා සාගර ආරක්‌ෂිත ප්‍රදේශවල දායකත්වය නිශ්චිතව පෙන්වා දෙන පළමු අධ්‍යයනයක්‌ සේ දක්‌වා ඇත. එසේ ම ඉන් පෙන්වා දෙන තවත් කරුණක්‌ වන්නේ ආරක්‌ෂිත ප්‍රදේශයේ විශාලත්වය ද මෙහි දී වැදගත් බව ය. (මූලාශ්‍රය Journal of Applied
Ecology, DOI: 10.1111/j.1365-2664.2012.02121.x)

පුවත් සැකෙවින්

ජෛව ඉන්ධන නිසා පක්‌ෂීන්ට වන බලපෑම අඩු කළ හැකියි

ජෛව ඉන්ධන වගා කිරීම නිසා වනජීවීන්ට සිදු වන බලපෑම් අඩු කළ හැකි ක්‍රමවේදයක්‌ අධ්‍යයනයක්‌ මඟින් පෙන්වා දී තිබේ. වැඩි වශයෙන් ගොවිපොළ ආශ්‍රිතව ජීවත් වන පරිසරය පිළිබඳ දර්ශක විශේෂයක්‌ සේ යොදාගන්නා පක්‌ෂි විශේෂයක්‌ වන Alauda arvensis ආශ්‍රයෙන් මේ අධ්‍යයනය සිදු කර ඇත.

මෙහි දී හෙළි වී ඇති ආකාරයට ජෛව ඉන්ධන භෝග වගාව නිසා ඇති විය හැකි අහිතකර බලපෑම් පාලනය කළ හැකි ආකාරයක්‌ තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, භූ දර්ශනය සකස්‌ කරන ආකාරය මත මේ පක්‌ෂීන් ගේ පැවැත්ම රඳා පවතී. භූ දර්ශනයේ විවිධත්වයක්‌ පවතී නම් එය මේ පක්‌ෂීන් සඳහා වඩා යෝග්‍ය වේ. නිදසුනක්‌ වශයෙන් ගත හොත් විවිධ භෝග වගා කිරීම හා කුඩා, අතරින් පතර ස්‌වාභාවික පරිසර පද්ධති පැවතීම දැක්‌විය හැකි ය. එසේ ම වගා භූමිය කුඩා වන්නේ නම් පක්‌ෂීන් ගේ සුලබතාවට ඉන් බලපෑමක්‌ නැති අතර භෝග වගා කරනු ලබන භූමි ප්‍රමාණය විශාල වන්නේ නම් කිසියම් සංරක්‌ෂණ ක්‍රියාමාර්ගයක්‌ යොදාගැනීම අවශ්‍ය වේ. (මූලාශ්‍රයGlobal Change BiologyBioenergy, DOI: 10.1111/j.1757-1707.2012.01170.x)

හිම වලසුන් ගේ PCB මට්‌ටම පහළට

නෝර්වේ දේශයේ උතුරු ප්‍රදේශයේ වාසය කරන හිම වලසුන් ගේ (Ursus maritimus&) දේහවල PCB ලෙසින් කෙටියෙන් හඳුන්වනු ලබන පොලික්‌ලෝරිනේටඩ් බයිෙµනිල් හා ඒ ආශ්‍රිත රසායනික ද්‍රව්‍ය අඩංගු බව සොයා ගන්නා ලද්දේ කලකට පෙර දී ය. විශේෂයෙන් මේ ද්‍රව්‍ය නිපදවීම හා භාවිතය බෙහෙවින් සීමා වී තිබූ තත්ත්වය හමුවේ මෙය වඩාත් සැලකිය යුතු කරුණක්‌ විය.

මේ සම්බන්ධව මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මේ වන විට තත්ත්වය තරමක්‌ යහපත් බව පෙනේ. එහි දී පෙන්වා දී ඇති පරිදි PCB හා ඒ හා සම්බන්ධිත වෙනත් රසායනික ද්‍රව්‍ය හිම වලස්‌ පැටවුන් ගේ රුධිරයේ හමු වන ප්‍රමාණය 1997/1998 හා 2008 අතර කාලයේ දී සියයට 59කින් පමණ පහළ ගොස්‌ තිබේ. එසේ ම මේ කාලය තුළ වැඩුණු මවු වලසුන් ගේ රුධිරයේ තිබූ PCB මට්‌ටම ද සියයට 55කින් පමණ අඩු වී ඇත. කෙසේ වෙතත් හිම වලසුන් අතර ඇති PCB සාන්ද්‍රණය වන සතුන් හා මිනිසුන් අතර අහිතකර ප්‍රතිඵල පෙන්වන සාන්ද්‍රණයට වඩා තවමත් ඉහළ වීම ගැටලුව තවමත් නිමා වී නැති බව පෙන්වා දෙයි. (මූලාශ්‍රයScience ofThe Total Environment, DOI: 10.1016/j.scitotenv.2011.12.033)

ඉන්දියාවේ සුළං විභවය බොහෝ සේ ඉහළයි

සුළං බලයෙන් විදුලිය නිපදවීම සඳහා ඉන්දියාවේ පවත්නා විභවය මෙතෙක්‌ සිතා සිටියාට වඩා අධික බව පසුගිය දා කළ ඇගැයීමකින් හෙළි වී ඇත. ඒ අනුව දැනට ඇස්‌තමේන්තු කර ඇති ප්‍රමාණය වන ගිගාවොට්‌ 102 මෙන් විසි ගුණයත් තිස්‌ ගුණයත් අතර ප්‍රමාණයක්‌ අධික විදුලි බලයක්‌ සුළඟ මඟින් ලබා ගැනීමට හැකි ය. මෙහි දී අදාළ සුළං ටර්බයිනවල උස අනුව තීරණය වේ.

ඉන්දියාව බරපතළ විදුලිබල අර්බුදයක්‌ දැකිය හැකි රටක්‌ වන අතර විදුලිබල ඉල්ලුම ද ඉතා වේගයෙන් ඉහළ යමින් තිබේ. සුළං බලයේ පිරිවැය ද තරගකාරී තත්ත්වයක්‌ දක්‌වා ක්‍රමයෙන් අඩු වෙමින් පවත්නා බැවින් එවැනි පුනර්ජනනය කළ හැකි විදුලිබල ප්‍රභවයක්‌ ලෙස සුළං බලයේ ඇති ප්‍රයෝජනය අමුතුවෙන් කිව යුතු නො වේ. (මූලාශ්‍රයReassessing WindPotential Estimates for India: Economic and Policy Implications, 2012, http://ies.lbl.gov/node/473)

Source: http://www.vidusara.com/2012/04/11/feature3.html 

No comments:

Post a Comment