Monday, April 30, 2012

ජගත් පරිසර විමසුම 120 (Global Environmental Watch, 120)

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2012-04-25, පි. 11 (Vidusara, 2012-04-25, p.11)
http://www.vidusara.com/2012/04/25/feature3.html

විමසුම - නැනෝ තාක්‌ෂණය පරිසරයේ යහපතටත්?
ප්‍රමුඛ පුවත - උෂ්ණත්වයේ විචල්‍ය වීම වියපත් වූවන්ට බලපාන ආකාරය
පුවත් සැකෙවින් - අප්‍රිකාවේ සුවිසල් භූගත ජල සංචිතයක්‌? / BPA අඩු මාත්‍රාවලිනුත් අහිතකර බලපෑම් / තම සැපයුම් දාම පරීක්‌ෂාවට ඇපල් සමාගම එකඟ වේ



විමසුම
නැනෝ තාක්‌ෂණය පරිසරයේ යහපතටත්?

නැනෝ තාක්‌ෂණය ලෝකයේ වඩාත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන තාක්‌ෂණයක්‌ ලෙස හැඳින්විය හැකි ය. එහි ඇති බොහෝ ඵලදායී ප්‍රයෝජන පිළිබඳව බොහෝ දේ සාකච්ඡා වී තිබේ. නූතන විද්‍යාවෙන් මෙතෙක්‌ ලබා ගත නොහැකි වූ ප්‍රයෝජන රැසක්‌ මේ තාක්‌ෂණය භාවිතයෙන් ලබා ගත හැකි ය. ඒ නිසා මානව සංවර්ධනයේ අනාගතය සම්බන්ධයෙන් නැනෝ තාක්‌ෂණයේ කාර්යභාරය කෙබඳු දැයි යන්න ඉතා පැහැදිලි ය.

එහෙත් නැනෝ තාක්‌ෂණයේ පාරිසරික හා මානව සෞඛ්‍ය බලපෑම් පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව පැහැදිලි ය. එහෙත් මේ සතියේ අපේ අවධානය යොමු කරන්නට සිතුවේ නැනෝ තාක්‌ෂණයේ පරිසර හිතකාමී භාවිත කිහිපයක්‌ සම්බන්ධව පසුගිය දා වාර්තා වී තිබූ අධ්‍යයන තුනක්‌ පිළිබඳ ව ය. එනම් පරිසරය ආරක්‌ෂා කරගැනීමට හේතු වන ක්‍රියාවලි සඳහා නැනෝ තාක්‌ෂණය යොදා ගත හැකි ආකාරය පිළිබඳව මේවායින් පෙන්වා දෙයි.

සූර්ය කෝෂ සඳහා නැනෝ නළ

සූර්ය කෝෂ වැඩිදියුණු කිරීම සඳහා නැනෝ තාක්‌ෂණය යොදා ගත හැකි බව පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක්‌ මඟින් පෙන්වා දී තිබේ. එහි දී අවධානයට යොමු වී ඇත්තේ DSC වර්ගයේ සුර්යකෝෂ (ddye-sensiti'ed solar cells) වැඩිදියුණු කිරීම පිළිබඳ ව ය. සිලිකන් මත පදනම් වූ සූර්යකෝෂවලට වඩා පහසුවෙන් මේ වර්ගයේ සූර්ය කෝෂ තැනීමට හැකි වුවත් එහි එක්‌ ප්‍රධාන ගැටලුවක්‌ වූයේ කාර්යක්‌ෂමතාව අඩු වීමයි.

එහෙත් ප්ලැටිනම් ඉලෙක්‌ට්‍රොaඩ වෙනුවට DSC වර්ගයේ සූර්යකෝෂ (ddye-sensiti'ed solar cells) සඳහා කාබන් නැනෝ ටියුබ යොදා ගත හැකි බව නව පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. මේ නිසා උක්‌ත වර්ගයේ කෝෂ වඩා ලාබදායී මෙන්ම වඩා කාර්යක්‌ෂ්ම ද වේ. සූර්ය බලය පරිසර හිතකාමී බලශක්‌තියක්‌ වන අතර සූර්ය බලය ලාබදායී වීම පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ක්‌ෂේත්‍රයට ද වැදගත් ය. කෙසේ වෙතත් මේ තාක්‌ෂණය වර්ධනය වීම සඳහා තවත් කලක්‌ ගත විය හැකි ය. (මූලාශ්‍රයScientific Reports, DOI: 10.1038/srep00368)

ශක්‌ති හානිය වැළැක්‌වීමට නැනෝ තාක්‌ෂණය

අප සැලකිලිමත් වූ දෙවැනි අධ්‍යයනය නැනෝ තාක්‌ෂණය පරිසරයට වක්‍ර වශයෙන් ප්‍රයෝජනවන් වන ක්‍රමයකි. මෙහි දී උණුසුම් නළ හා එන්ජින් ආදියේ විවිධ කොටස්‌වලින් හානි වන තාප ශක්‌තිය යළිත් භාවිත කළ හැකි ක්‍රමයක්‌ දියුණු කර ඇත. ලෙඩ් ටෙලුරයිඩ් රසායනික ද්‍රව්‍යයේ නැනෝ ස්‌ඵටික ආලේපිත වීදුරු කෙඳිති මඟින්, හානි වන තාපය විද්යුතය බවට පත් කිරීම මෙහි දී සිදු වේ. මෙවැනි 'තාපවිද්යුත්' (thermoelectric) ද්‍රව්‍යයක එක්‌ පැත්තක්‌ උණුසුම් වන විට අනෙක්‌ පැත්තට ගලා යන ඉලෙක්‌ට්‍රොන ධාරාවක්‌ නිසා විද්යුතය නිපදවේ. ඒ අනුව හානියට ලක්‌ වන තාප ශක්‌තිය විද්යුතය වශයෙන් යළි භාවිතයට ගත හැකි ය.

මේ තාක්‌ෂණය වැඩිදියුණු කිරීමෙන් කර්මාන්ත ශාලා, බලාගාර හා වාහනවලින් හානි වන ශක්‌තියෙන් කොටසක්‌ ආපසු භාවිත කළ හැකි ය. බලශක්‌ති හානිය අවම කිරීමෙන් පරිසරයට විශාල යහපතක්‌ සිදු වේ. හානි වූ ශක්‌තිය නිපදවීමේ දී සිදු වන පාරිසරික බලපෑම අඩු කර ගත හැකි වීම ඊට හේතුව වේ. එහෙත් මෙහි දී භාවිත වන ඊයම් හා ටෙලුරියම් යන විෂ සහිත ද්‍රව්‍ය වෙනුවට වෙනත් රසායනික සංයෝග භාවිත කිරීමට ඇති හැකියාව අදාළ පර්යේෂකයන් ගේ අවධානයට ලක්‌ ව තිබේ. (මූලාශ්‍රයNanoLetters, DOI: 10.1021/nl300524j)

තෙල් කාන්දුවල දීත් නැනෝ තාක්‌ෂණය

ජලයට සිදු වන තෙල් කාන්දුවීම් පාරිසරික වශයෙන් විශාල බලපෑමක්‌ ඇති කළ හැකි අනතුරු අතර වේ. මෙවැනි අනතුරක දී ජලයට එක්‌ වන තෙල් අවශෝෂණය කළ හැකි ද්‍රව්‍යයක්‌ නැනෝ තාක්‌ෂණය යොදාගනිමින් දියුණු කර ඇති බව පසුගිය දා පළ වූ පර්යේෂණ වාර්තාවක්‌ අනුව පෙනේ.

මෙහි දී කාබන් නැනෝ ටියුබ තැනීමේ දී ඊට බොරෝන් එක්‌ කිරීමෙන් දැඩි එහෙත් ස්‌පොංජිමය ද්‍රව්‍යයක්‌ තනා තිබේ. මේවායේ ඇති විශේෂත්වය වන්නේ ඒවා ජලය හා සම්බන්ධ නො වීම හා තෙල් හා සම්බන්ධ වීම ය. මේ නිසා ජලය සමග ඇති තෙල් ඉවත් කිරීමට මේ නැනෝ ස්‌පොංජි සුදුසු අතර තවත් අවශ්‍යතා සඳහා ද යොදා ගත හැකි ය. මේ ද්‍රව්‍ය නැවත නැවතත් භාවිත කළ හැකි වීම තවත් වැදගත් කරුණකි. (මූලාශ්‍රයScientificReports, DOI: 10.1038/srep00363)

නැනෝ තාක්‌ෂණයේ පරිසර සලකුණ

කෙසේ වෙතත් මේ පරිසර හිතකාමී විය හැකි භාවිත තිබූ පමණින් නැනෝ තාක්‌ෂණයේ ඇති සෙසු අහිතකර බලපෑම් අපට සම්පූර්ණයෙන් අමතක කළ නොහැකි ය. එය අප විසින් නිසි ලෙස හසුරුවා ගත යුතු තවත් තාක්‌ෂණයක්‌ පමණි. ඕනෑ ම තාක්‌ෂණයක මෙන් මෙහි ද ඇති අහිතකර බලපෑම් සම්බන්ධව ලෝකය සතු දැනුම තවමත් පවතින්නේ මුල් අවස්‌ථාවක ය. විශේෂයෙන් පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම් සම්බන්ධව කරුණු රැසක්‌ මේ වන විටත් හෙළිදරව් වී තිබේ. (මේ පිළිබඳව අප මේ විමසුම ඔස්‌සේ ද සාකච්ඡාවට ලක්‌ කර තිබේ)

මේ නිසා ලෝකය උත්සාහ කළ යුත්තේ එවැනි බලපෑම් පිළිබඳව අදට වඩා වැඩි අවධානයක්‌ යොමු කරමින් හා ඒවා නිරාකරණය කරගනිමින් නැනෝ තාක්‌ෂණය සබුද්ධිකව භාවිත කිරීම ය. එවිට ලෝකයට ලබා ගත හැකි ප්‍රයෝජන රාශියකි.



ප්‍රමුඛ පුවත
උෂ්ණත්වයේ විචල්‍ය වීම වියපත් වූවන්ට බලපාන ආකාරය

ග්‍රීෂ්ම සෘතුවේ දී ඇමෙරිකාවේ ඇති වන උෂ්ණත්ව විචල්‍යතාව සුළු ඉහළ යැමක්‌ වුවත් ඉන් බරපතළ ආබාධ සහිත වියපත් වූවන්ට දැඩි බලපෑමක්‌ ඇති විය හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මේ විචල්‍යතාව සාමාන්‍ය අගයට වඩා සෙල්සියස්‌ අංශක එකකින් වැඩි වීමෙන් පවා බොහෝ විට මෙවැනි තත්ත්වයක්‌ ඇති වීමේ අවස්‌ථාවක්‌ තිබේ. ඒ නිසා මේ වියපත් පිරිස්‌වල ආයු අපේක්‌ෂාව අඩු වන අතර ඒ නිසා වාර්ෂිකව සිදු වන මරණ ප්‍රමාණය ද තවදුරටත් ඉහළ යා හැකි ය.

මේ පරීක්‌ෂණය සඳහා යොදාගෙන ඇත්තේ 1985 වර්ෂයේ සිට 2006 දක්‌වා කාලයට අයත් බරපතළ ලෙස රෝගාබාධවලට ලක්‌ වූ වයස අවුරුදු 65ට වඩා වියපත් පුද්ගලයන් මිලියන 3.7ක්‌ පමණ පිරිසක ගේ වෛද්‍ය වාර්තා ය. ඔවුන් සියල්ලෝ ම පාහේ ඇමෙරිකාවේ නාගරික ප්‍රදේශවල වාසය කළ පිරිස්‌ ය. ග්‍රීෂ්ම සෘතුවේ උෂ්ණත්වය පමණක්‌ නො ව මෙවැනි පිරිස්‌වල මරණයට හේතු වන වෙනත් සාධක ගණනාවක්‌ පිළිබඳව ද මෙහි දී අවධානයට ලක්‌ ව තිබේ.

මේ අනුව ග්‍රීෂ්ම සෘතුවේ ඇති වන උෂ්ණත්ව විචල්‍යතාව එක්‌ සෙල්සියස්‌ අංශකයකින් ඉහළ ගිය විට බරපතළ රෝග ඇති වියපත් වූවන් ගේ මරණ අනුපාතිකය 2.8% ත් 4.0% අතර ප්‍රමාණයකින් ඉහළ යන බව නිගමනය කර තිබේ. මෙහි දී වැඩි ම බලපෑමක්‌ සිදු වී ඇත්තේ දියවැඩියා රෝගීන්ට වන අතර අඩු ම බලපෑමක්‌ සිදු වී ඇත්තේ හදවත් රෝගීන් හට ය. එක්‌ වරක්‌ හෘදයාබාධයකට ලක්‌ වූ පිරිස්‌ හා දැඩි පෙනහලු ආබාධවලට ලක්‌ ව සිටි රෝගීන්ට ඇති වන බලපෑම අතරමැදි තත්ත්වයක පවතී. මේ තත්ත්වය අනුව ඇමෙරිකාවේ සිදු වන වාර්ෂික මරණ ප්‍රමාණය ග්‍රීෂ්ම සෘතුවේ මේ උෂ්ණත්ව විචල්‍යතාව ඉහළ යැම නිසා 10000කින් පමණ ඉහළ යා හැකි බව ද ගණන් බලා තිබේ.

මෙහි දී අනාවරණය වූ තවත් කරුණක්‌ නම් මේ මරණ අනුපාතිකය දුප්පත් අප්‍රිකානු පිරිස්‌ අතර මීට වඩා අධික බව ය. එසේ ම වඩා හරිතවත් නාගරික ප්‍රදේශවල වාසය කරන පිරිස්‌වලට එහි ඇති බලපෑම වඩා අඩු වේ. මේ අධ්‍යයනය වැදගත් එකක්‌ වන්නේ ග්‍රීෂ්ම සෘතුවේ දී ඇති විය හැකි තාප ප්‍රවාහ (heat waves) පමණක්‌ නො ව පරිසර උෂ්ණත්වයේ ඇති වන සුළු විචල්‍යතා පවා මානව සෞඛ්‍යයට දැඩි ලෙසින් බලපා හැකි බවක්‌ ඉන් හෙළි වී ඇති නිසා ය. (මූලාශ්‍රයProceedingsof the National Academy of Sciences, DOI:10.1073/pnas.1113070109)


පුවත් සැකෙවින්
අප්‍රිකාවේ සුවිසල් භූගත ජල සංචිතයක්‌?

අප්‍රිකාව යනු ජල හිඟයෙන් දැඩි ලෙස පීඩාවට පත් ව ඇති රටවල් හා ප්‍රදේශ රැසකින් සමන්විත මහාද්වීපයකි. ලෝකයේ විශාලතම කාන්තාර ප්‍රදේශ දැකිය හැක්‌කේ ද අප්‍රිකාවේ ය. එහෙත් ඒ මහාද්වීපයේ සුවිශාල භූගත ජල සංචිතයක්‌ ඇති බවක්‌ පසුගිය දා සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

මෙසේ අප්‍රිකා මහාද්වීපයේ දැකිය හැකි භූගත ජලධරවල ඇති ජල ප්‍රමාණය පොළොව මතුපිට දැකිය හැකි ප්‍රමාණය මෙන් සිය ගුණයක්‌ පමණ තරම් වේ. මේ දත්ත මත සකස්‌ කරන ලද සිතියමක්‌ මඟින් අදාළ භූ ජලධරවල පිහිටීම පෙන්වා දී ඇත. ඒ අනුව ජල හිඟයක්‌ ඇති ඇතැම් රටවල භූගත ව විශාල ජල සංචිතයත් ඇති බව පෙනේ. මේ ඇතැම් ජලධර අවසන් වශයෙන් පිරී ගියේ වසර දහස්‌ ගණනක්‌ තරම් අතීතයේ ය.

කෙසේ වෙතත් මේ භූගත ජල සංචිතය භාවිතයේ දී මහා පරිමාණයෙන් විදීම් සිදු කර මේ ජලය ලබා ගැනීම කළ හැකි හොඳ ම ක්‍රමය නො වේ. අත් පොම්ප හා කුඩා ප්‍රමාණයේ විදීම් යොදා ගැනීම යෝග්‍ය බව පර්යේෂකයන් ගේ අදහස වේ. (මූලාශ්‍රය(Environmental Research Letters,DOI: 10.1088/1748-9326/7/2/024009)

BPA අඩු මාත්‍රාවලිනුත් අහිතකර බලපෑම්

බීපීඒ යනුවෙන් කෙටියෙන් හඳුන්වනු ලබන බයිස්‌පිනෝල් ඒ (bisphenol A) යනු තරමක්‌ ආන්දෝලනයට ලක්‌ ව ඇති එහෙත් විශාල ලෙසින් භාවිතයට ගන්නා ද්‍රව්‍යයකි. බොහෝ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනවල ඇතුළත් මේ රසායන ද්‍රව්‍යය නිසා ඇති වන අහිතකර බලපෑම් පිළිබඳව විවිධ අධ්‍යයන සිදු කර තිබේ. එවැනි මෑත දී පළ වූ පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ කුඩා කාලයේ දී මේ රසායන ද්‍රව්‍යයට නිරාවරණය වීම, මසුන් ගේ මතකය හා ඉගෙනීමේ හැකියාව කෙරේ බලපාන බව ය.

මෙහි දී අනාවරණය වී ඇති පරිදි කලල අවස්‌ථාවේ මේ රසායන ද්‍රව්‍යයට සුළු වශයෙන් නිරාවරණය වූ සීබ්‍රා µsෂ් මසුන් ගේ ඉගෙනීමේ හැකියාවට හා මතකයට ගැටලු ඇති වී තිබේ. ඒ ඉගෙනීමේ හැකියාව හා මතකය පරීක්‌ෂා කිරීමට යොදාගන්නා පරීක්‌ෂාවලට අනුව ය. මේ තත්ත්වය රසදිය මඟින් මාළුන්ට ඇති කරන තත්ත්වය හා සමාන ය.

බයිස්‌පිනෝල් ඒ වැඩි මාත්‍රාවකට නිරාවරණය වීම නිසා බලපෑම් ඇති වන බව ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී තිබුණ ද අඩු මාත්‍රාවකින් පවා නිරාවරණය වීම ගැටලුසහගත බව මේ නව පරීක්‌ෂණයේ දී හෙළි ව තිබේ. ඒ අනුව වෙනත් සත්ත්ව කාණ්‌ඩ සම්බන්ධව ද එහි ඇති බලපෑම් ගැන ද තවදුරටත් හැදෑරීම වැදගත් වේ. (මූලාශ්‍රයToxicology, DOI: 10.1016/j.tox.2011.11.001)

තම සැපයුම් දාම පරීක්‌ෂාවට ඇපල් සමාගම එකඟ වේ

ලෝක ප්‍රකට පරිගණක සමාගමක්‌ වන ඇපල් සමාගම තම සැපයුම් දාමයේ ඇති චීන සමාගමක පරිසර දූෂණ පාලන විගණනයක්‌ සිදු කිරීමට තීරණය කර තිබේ. මීට හේතුව වී ඇත්තේ සැපයුම් සිදු කරන කම්හල්වල පරිසර දූෂණ පාලනය පිළිබඳව යම් යම් ගැටලු ඇති වී තිබීමයි. එවැනි එක්‌ සමාගමක පාරිසරික විගණනයක්‌ මේ මස අවසානයේ දී පමණ සිදු කිරීමට නියමිත ය.

චීනයේ පාරිසරික කටයුතු පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සංවිධානයක්‌ වන මහජන හා පාරිසරික කටයුතු ආයතනය (IPEA) මඟින් කලක්‌ තිස්‌සේ සිදු කරන ලද අධ්‍යයන මේ සඳහා හේතු වී තිබේ. ඔවුන් ගේ වාර්තා සම්බන්ධව දිගු කලක්‌ නිසි ප්‍රතිචාරයක්‌ නො දැක්‌වූ ඇපල් සමාගම මෙවැනි තීරණයක්‌ ගැනීම යහපත් තත්ත්වයක්‌ බව පෙනේ.

Source: http://www.vidusara.com/2012/04/25/feature3.html

No comments:

Post a Comment