ධනේෂ් විසුම්පෙරුම
(Commercialisation and cultural invasion of the Sinhala New Year)
විදුසර, 2012-04-04, පි. 09 (Vidusara, 2012-04-04, p. 09)
http://www.vidusara.com/2012/04/04/feature6.html
තවත් සිංහල අවුරුද්දක් එළැඹෙමින් තිබේ. මේ උත්සව සමයයි. එළැඹෙන අවුරුද්ද සඳහා සූදානම් වන ආකාරය නගරයේ මෙන් ම ගමේ ද දැක ගත හැකි ය. අවුරුද්දට අලුත් ඇඳුම් හා වෙනත් භාණ්‌ඩ මිලට ගැනීම සඳහා ඇඳුම් පැළඳුම් සාප්පුවල හා වෙනත් කඩ සාප්පුවල බොහෝ දෙනා රැස් කන ආකාරයක් දැකිය හැකි ය. බොහෝ ප්‍රදේශවල අවුරුදු උත්සව ද සංවිධානය වෙමින් තිබේ. නාගරික ප්‍රදේශවල නැවතී රැකියාවල යෙදෙන පිරිස් මේ වන විට කල් බලමින් සිටින්නේ, දින දහයේ නිවාඩුව රැගෙන ගමේ යැම සඳහා ය. බොහෝ දෙනා ගේ කතාබහේ මාතෘකාව ද අලුත් අවුරුද්ද ය. මෙය ගමත් නගරයත් වෙනස් කිරීමට හා නව්‍ය බවක් එක් කිරීමට හැකි සමයකි.
අලුත් අවුරුද්ද හා මූලික ව සම්බන්ධ වන්නේ තාරකා ශාස්‌ත්‍රය බව පැවසිය හැකි ය. තාරකා රාශි දොළහකින් යුක්‌ත වූ රාශි චක්‍රයේ අවසන් රාශිය සේ සැලකෙන මීන රාශියේ සිට පළමු රාශිය වන මේෂ රාශියට සූර්යයා සංක්‍රමණය වීම මේ උත්සවය හා සම්බන්ධ වේ. වර්තමානයේ දී අලුත් අවුරුද්ද එළැඹෙන්නේ අප්‍රේල් මාසයේ දී ය. (අතීතයේ දී මේ දිනය මාර්තු අග භාගයේ දී යෙදුණු බවට සාධක තිබේ. එය ප්‍රායෝගික ව විය හැකි දෙයකි). මේ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවේ දී සිංහලයන් මෙන් ම දමිළ හින්දූන් විසින් ද සමරනු ලබන බැවින් එය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලෙස නිල වශයෙන් හඳුන්වනු ලැබේ. (එහෙත් මේ ලිපියේ දී 'සිංහල අවුරුද්ද' යන යෙදුම යොදා ගන්නේ එය අපට වඩා සමීප යෙදුම වන නිසා ය. සිංහලයන් විසින් සමරනු ලබන්නේ සිංහල අවුරුද්ද ය. දමිළ ජාතිකයන් විසින් ඔවුන්ට අනන්‍ය සේ සමරනු ලබන්නේ ඔවුන් ගේ අලුත් අවුරුද්ද ය. අප මේ සංස්‌කෘතික විවිධත්වය පිළිගත යුතු ය.)
මේ කාලය රටේ ග්‍රාමීය ජනතාව ගෙන් වැඩි පිරිසකට කිසියම් විවේකී සමයකි. ගොවියා තම අස්‌වනු නෙළා අවසන් ව තිබේ. මේ නිසා තමන් ගේ සංස්‌කෘතික අංග යොදාගනිමින් අපූරු උත්සවයක් නිර්මාණය කිරීමට ඔවුහු සමත් වූ හ. එහි දී විවිධ චාරිත්‍ර වාරිත්‍ර සඳහා විශේෂ තැනක් ලබා දී ඇති අතර එතුළින් ඔවුන් ගේ ජීවිත නව්‍යතාවකින් යුක්‌ත ව යළි ආරම්භ කිරීමට හා සම්බන්ධතා අලුත් කර ගැනීමට ද අවස්‌ථාවක් ලැබේ. එය අලුත් අවුරුද්දේ හරය විය. එසේ ම සිංහල අවුරුද්ද තවදුරටත් සමාජ උත්සවයක් වන්නේ, ආගමික, කලා හා ක්‍රීඩා ආදී විවිධ අංශ සඳහා යොමු වූ විවිධ අංග ඊට ඇතුළත් වන නිසා ය. අපට සාමාන්‍යයෙන් අසන්නට නො ලැබෙන සිංහල ජන ගී අසන්නට ලැබෙන්නේ මේ කාලයේ දී ය. සාමාන්‍යයෙන් අප අතර දැකිය නො හැකි ජන ක්‍රීඩා ගණනාවක් ද මේ දින කිහිපයක කාලයේ දී සමාජයේ දැකිය හැකි ය. අපේ සංස්‌කෘතියේ අනන්‍ය අංග සේ සැලකිය හැකි මේවායේ පැවැත්ම තහවුරු කිරීම සඳහා අලුත් අවුරුද්ද ඉතා වැදගත් වේ. සරල ව පවසන්නේ නම්, සිංහල අලුත් අවුරුද්ද සංස්‌කෘතික මංගල්‍යයකි.
එහෙත් මේ සංස්‌කෘතික මංගල්‍යයේ 'සංස්‌කෘතිය' ක්‍රමයෙන් වෙනස් වෙමින් ඇති බවක් අපට සිතේ. එය ඇතැම් විට අපට නො දැනෙන තරම් ය. මේ පිළිබඳ ව අප විසින් නිරීක්‌ෂණය කරන ලද කරුණු කිහිපයක් මේ ලිපිය තුළින් ඉදිරිපත් කිරීමට අදහස් කරමු. එය වාණිජකරණයක් ලෙසින් හා සංස්‌කෘතික ආක්‍රමණයක් ලෙසින් සිදු වන බව අපේ අදහසයි.
වාණිජකරණය වන සිංහල අවුරුද්ද
සිංහල අලුත් අවුරුද්දේ දැකිය හැකි එක් වෙනස් වීමක් වන්නේ, එය බොහෝ වේගයෙන් වාණිජකරණය වෙමින් තිබීමයි. එය මෑත දී වඩාත් වේගයෙන් සිදු වන බවක් අපට හැෙ`ග්. සිංහල අලුත් අවුරුද්ද වාණිජ උත්සවයක් බවට පත් වෙමින් ඇති ආකාරය ක්‍රම දෙකකින් සිදු වන බවක් දැකිය හැකි ය.
මින් පළමුවැන්න වන්නේ, එය වෙළෙන්දන්ට හා වෙළෙඳ ආයතනවලට තම භාණ්‌ඩ අලෙවි කර ගැනීමට අවස්‌ථාවක් වී තිබීම ය. විවිධ අලෙවි උපක්‍රම භාවිත කරමින් පාරිභෝගිකයා සූරාකන්නට හා රවටන්නට වෙළෙඳුන් දරන උත්සාහය අපට නගරයේ සාප්පුවල සිට ගමේ පොළ දක්‌වා ම දැකිය හැකි ය. විශේෂයෙන් අලුත් ඇඳුම් පැළඳුම් හා විවිධ භාණ්‌ඩ සඳහා ඉල්ලුමක් ඇති බැවින් එවැනි භාණ්‌ඩ අලෙවියේ දී මේ තත්ත්වය වඩාත් දැකිය හැකි ය. මීට අලුතින් එක් වී ඇති දෙයක් නම් විවිධ විදුලි උපකරණ 'සේල්' දමා ඇති නිසා බොහෝ අඩු මිලට ලබා ගත හැකි වීමයි. මේවා ඇතැම් විට යම් යම් හේතු මත අඩු මිලට මිස නියම මිලට අලෙවි කළ නො හැකි දේ ය. එසේ ම නව උපකරණවල සැබෑ අවශ්‍යතාවක් නොමැති වුවත් ලාබෙට ලැබෙන නිසා ම ඇතැම් පාරිභෝගිකයෝ මේවා මිල දී ගනිති. මේ අලෙවිකරණයේ තත්ත්වය අලුත් අවුරුද්දට පමණක් නො ව වෙසක් උත්සවය හා නත්තල වැනි ආගමික උත්සව කාලවල දී පවා දැකිය හැකි ය. පාරිභෝගිකයන් මේවාට හසු වන්නේ ඔවුන් සබුද්ධික පරිහරණයක් කෙරේ යොමු වී නොමැති නිසා ය.
වාණිජකරණයේ අනෙක් මුහුණුවර වන්නේ, අලුත් අවුරුද්ද සඳහා ම වූ නව වෙළෙඳපොළක් නිර්මාණය වී තිබීම ය. මේ නව වෙළෙඳපොළ ඇති වී තිබෙන්නේ, වැඩි වශයෙන් නාගරික ජනතාව ඉලක්‌ක කරගෙන ය. නිදසුනක් ලෙස ගත හොත් සිංහල අවුරුදු කෑම මේසයේ අත්‍යවශ්‍ය අංග වන සාම්ප්‍රදායික රසකැවිලි හා වෙනත් ආහාර වර්ග තැනීමට නො හැකි හෝ ඊට වේලාවක් නොමැති ගෘහණියන් වෙනුවෙන් නිර්මාණය වූ වෙළෙඳපොළක් ඇත. ඔබට අවශ්‍ය ඕනෑ ම සාම්ප්‍රදායික අවුරුදු කැවිලි වර්ගයක් දැන් නගරයේ වෙළෙඳසල්වලින් ලබා ගත හැකි ය. ඒවා අලෙවි කරන්නේ ද ජීවිතයේ පළමුවරට රෙද්ද-හැට්‌ටය ඇඳගත් තරුණියන් ය.
මේ ආකාරයෙන් කැවිලි තැනීමට නො හැකි අවස්‌ථාවල ඒ සඳහා වෙනත් විකල්ප හඳුන්වා දී ම ද සිදු වේ. බුලත් හුරුල්ලේ හැඩයට තනන ලද කේක් ද දැන් වෙළෙඳපොළේ ඇති නිසා බුලත් හුරුල්ල කපා ආහාරයට ගැනීමට පවා දැන් හැකි ය. මේ වෙළෙඳපොළ නිසා නාගරික ජනතාව අතර අලුත් අවුරුද්දේ සම්ප්‍රදාය රැකෙන බවට අයෙක් තර්ක කළ හැකි ය. එහෙත් තම නිවසේ කැවුමක් බැදීමට නො හැකි වීම හෝ හැකියා ව තිබිය දී පවා ඒවා නිවසේ නො තැනීම යනු සිංහල අවුරුද්ද අපේ ජීවිතවලින් පිටස්‌තර වෙමින් පවතින බවට සාධකයකි. චාරිත්‍ර වාරිත්‍ර හැර අන් සියල්ල කඩෙන් ලබා ගැනීමට හැකි දිනයක් ළ`ග දී ම එළැඹෙන බවක් අපට පෙනේ.
වාණිජකරණයට ලක් ව ඇති සියල්ල බාහිර දේ ලෙස සලකා එය අලුත් අවුරුද්දේ හරයට බලපෑමක් නො කරන බවට කෙරෙන තර්ක ඇතත්, එය එසේ ම ද යන්න ගැටලුවකි. මෙය තවදුරටත් සමාජ විද්‍යාත්මක ව විමසා බැලිය යුතු තත්ත්වයක් බව අපේ අදහසයි.
සංස්‌කෘතික ආක්‍රමණය
සිංහල අලුත් අවුරුද්ද යනු සිංහල සංස්‌කෘතියේ පිළිබිඹුවක් බව අපි පැවසීමු. ඇතැම් සංස්‌කෘතිකාංග රැකී තිබෙන්නේ මේ කාලයේ දී එය සමාජයේ භාවිතයට ගැනෙන නිසා බව පෙර සඳහන් කරන ලදි. විශේෂයෙන් ජන ගී, ජන ක්‍රීඩා ආදිය මීට නිදසුන් ය. මේවා පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමට හේතුව වන්නේ, අවුරුදු සමයේ දී ඒවා භාවිතයට ගැනෙන නිසා ය.
එහෙත් මේ වන විට මේ තත්ත්වයට යම් තර්ජනයක් ඇති වී තිබෙන බවක් පෙනේ. නිදසුනක් ලෙස ගත හොත් මේ වන විට මාධ්‍ය ඔස්‌සේ සිංහල අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරනු ලබන ඇතැම් උත්සව මඟින් මේ සංස්‌කෘතික තේමා සිංහල අලුත් අවුරුද්දෙන් ඉවතට ගෙන යන බවක් පෙනේ. ජනමාධ්‍ය ආයතනවලින් සංවිධානය කරනු ලබන අවුරුදු කුමරිය තේරීමේ තරග එවැනි අවස්‌ථා සඳහා එක් නිදසුනකි.
පසුගිය වසරේ එක් රූපවාහිනි චැනලයකින් විකාශය වූ එක් අලුත් අවුරුදු උත්සවයක වූ අවුරුදු කුමාරි තේරීමේ තරගයක එක් අංගයක් වූයේ, බටහිර සංගීත තාලයකට පා තැබූ අවුරුදු කුමරියන් ය. ඔවුන් සැරසී සිටියේ ද බටහිර විලාසිතාවලිනි. මෙය සිංහල අවුරුද්දට අදාළ වූයේ කෙසේ ද යන්න අපට නම් ගැටලුවක් විය. අවුරුදු කුමාරි තේරීමේ තරගවල දී අප දකින්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්වලින් යුක්‌ත තරුණියන් ය. එහෙත් මේ තරගයේ දී අප දුටුවේ අවුරුදු කුමාරි තේරීමේ තරගය බටහිර මෝස්‌තරයේ රූප සුන්දරියන් තේරීම දක්‌වා ගෙන ඒමට කළ උත්සාහයකි. (කෙසේ වෙතත් මෙවැනි කෝලම්වලින් තොර ව අවුරුදු උත්සවයකට ගැළපෙන ආකාරයෙන් අවුරුදු කුමරියන් තේරූ ආකාරය ඇතැම් රූපවාහිනි චැනලවලින් අප දුටු බව ද සඳහන් කළ යුතු ය). අපේ රටේ මාධ්‍ය මඟින් සිදු කරනු ලබන සංස්‌කෘතික ආක්‍රමණයට මෙය ද නිදසුනක් සේ සිතමු. අනෙක් අතට සිංහල හෝ දෙමළ සංස්‌කෘතිය හෝ අලුත් අවුරුද්ද හෝ ගැන සැබෑ අවබෝධයකින් තොර වූවන් විසින් සකස් කරනු ලබන හෝ නිර්මාණය කරනු ලබන මෙවැනි වැඩසටහන්වලින් සැබෑ අවුරුද්දක් නිරූපණය වන්නේ ද යන්න සැක සහිත ය. එහෙත් මේ ක්‍රමයට ගැමි අවුරුදු උත්සව ආක්‍රමණය කිරීමට ද අවස්‌ථාවක් ඇති බව අප අමතක නො කළ යුතු ය.
එසේ ම දැන් දැන් රටේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන අවුරුදු උත්සව ද වාණිජකරණයට ලක් ව ඇති බවක් පෙනේ. ඇතැම් අවුරුදු උත්සව යනු, පැහැදිලි ව ම වෙළෙඳ ආයතන අතර තරගයකි. බැලු බැලු අත පෙනෙන්නේ දැන්වීම් පුවරු ය. සියලු සැරසිලි දැන්වීම්වලින් යුක්‌ත ය. මේ දැන්වීම් කලාපයේ තැන් තැන්වල අවුරුදු ක්‍රීඩා හා වෙනත් අංග ක්‍රියාත්මක කරන ආකාරය දැකිය හැකි ය.
සංස්‌කෘතිය යනු, වෙනස් වන දෙයක් බැවින් අප මෙය උපේක්‌ෂාවෙන් බාර ගත යුතු බව ඇතැම් අයකු පැවසීමට ඉඩ තිබේ. එහෙත් එය එසේ ම ද? නැත. සංස්‌කෘතික උරුමයක් ඇති ජන වර්ගයක් ලෙස අප අපේ සංස්‌කෘතියට වැද්ද ගත යුත්තේ අපට ගැළපෙන දේ පමණකි. එවැනි වූ හර පද්ධතියක් අප සතු ව තිබේ. අප පෙර සඳහන් කළ පරිදි හෙළ ගී, හෙළ ක්‍රීඩා ආදිය පිළිබඳ සාකච්ඡා කරමින් ඒවායේ සංස්‌කෘතික උරුමය පිළිබඳ ව සාකච්ඡා කරමින් අවුරුද්ද යනු සංස්‌කෘතික මංගල්‍යයකැ'යි කියමින් සිට මඳ වේලාවකින් බටහිර ගීතවල තාලයට බටහිර ඇඳුම් ඇඳගෙන පැමිණෙන රූප සුන්දරියන් අතරින් අවුරුදු කුමරියක තේරීම සිංහල අලුත් අවුරුද්ද ද? ජනමාධ්‍ය ආයතනයකින් කළ පමණින් මෙය නිවැරැදි ද?
සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු අපේ සංස්‌කෘතියේ සියලු හර ඉවත් වී යන ආකාරය අප දෑත් බැඳගෙන හා මුව වසාගෙන බලා සිටිය යුතු නො වේ. එසේ වුව හොත් සමරන්නට සිදු වන්නේ 'සිංහල අලුත් අවුරුද්ද' ද යන ගැටලුව අපට ඇති වේ. මේ වාණිජකරණයෙන් හා සංස්‌කෘතිකමය ආක්‍රමණයෙන් සිංහල අවුරුද්දේ හරය ආරක්‌ෂා කර ගැනීම අභියෝගයක් විය හැකි ය. එහෙත් 'සිංහල අලුත් අවුරුද්ද' තවදුරටත් සිංහල සංස්‌කෘතික උළෙලක් වීමට නම් එය එසේ විය යුතු ය. මෙහි දී මේ වාණිජකරණය හා සංස්‌කෘතික ආක්‍රමණය සඳහා සෘජු ව දායක වී ඇති ජනමාධ්‍ය සතු විශාල වගකීමක් වේ. අවාසනාවකට මෙන් අපේ රටේ සමහර ජනමාධ්‍ය ආයතන තම වගකීම් නිසි ආකාරයෙන් ඉටු කරන්නේ ද යන්න පිළිතුරු දීම අනවශ්‍ය ප්‍රශ්නයක් බව අපේ අදහසයි.
Source: http://www.vidusara.com/2012/04/04/feature6.html
No comments:
Post a Comment