ධනේෂ් විසුම්පෙරුම
විමසුම - අද තත්ත්වය තුළ අනාගතයේ දී මුහුදු මට්‌ටම මීටර 22කින් ඉහළ යයි?
ප්‍රමුඛ පුවත - ආර්ථික කරුණු නිසා දේශගුණ වෙනස් වීම අමතක වෙමින් තිබේ...
පුවත් සැකෙවින් - ජල දිනයේ අවධානය ආහාර පිළිබඳව / ගුවන් කාබන් බද්දට එරෙහි හඬ ඉහළට / මුහුදු ක්‌ෂීරපායින්ට හානිකර ආක්‌ටික් නැව් ගමනාගමනය
විදුසර, 2012-03-28, පි. 11 (Vidusara, 2012-03-28, p. 11)
http://www.vidusara.com/2012/03/28/feature3.html
අද තත්ත්වය තුළ අනාගතයේ දී මුහුදු මට්‌ටම මීටර 22කින් ඉහළ යයි?
දේශගුණ වෙනස් වීම නිසා ඇති වන ප්‍රතිවිපාක අතර මුහුදු මට්‌ටම ඉහළ යැම වැදගත් වන්නේ එමඟින් ඇති වන ප්‍රතිවිපාක බරපතළ විය හැකි නිසා ය. මේ ආකාරයෙන් ඉහළ යන මුහුදු මට්‌ටම නිසා වෙරළාසන්න බිම් ප්‍රදේශ මුහුදට බිලි වීම අදාළ ප්‍රදේශයේ පිහිටා ඇති මානව ජනාවාසවලට මෙන්ම ස්‌වාභාවික පරිසරය සඳහා ද හානිකර වේ. විශේෂයෙන් මෙවැනි ප්‍රදේශ අධික ලෙස මානව ජනාවාස පිහිටා ඇති ප්‍රදේශ වන බැවින් මුහුදු මට්‌ටමේ සුළු ඉහළ යැමක් නිසා පවා දැඩි බලපෑම් ඇති විය හැකි නිසා ලෝකයේ මේ ගැන වැඩි අවධානයක් පවතී. මුහුදු මට්‌ටම ඉහළ යන වේගය දින වකවානු සහිතව පෙන්වා දීම මේ අධ්‍යයන අතරින් රැසක අරමුණ වී තිබේ. ඒ අනුව ලෝකයේ විවිධ ප්‍රදේශ මුහුණ දෙන බලපෑම ගැන අදහසක් ලබා ගත හැකි ය.
කෙසේ වෙතත් මුහුදු මට්‌ටම ඉහළ යන ප්‍රමාණය පිළිබඳව ඇති පුරෝකථන හා අනාවැකි අතර ද මතභේද පවතී. විශේෂයෙන් දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර්-ආණ්‌ඩු මණ්‌ඩලය (IPCC) මඟින් 2007 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද දේශගුණ ඇගැයීමේ දී පෙන්වා දී ඇත්තේ 2100 වර්ෂය වන විට ලෝකයේ මුහුදු මට්‌ටම ඉහළ යන ප්‍රමාණය සෙන්ටි මීටර් 18ත් 59ත් අතර ප්‍රමාණයකින් විය හැකි බව ය. එහෙත් උක්‌ත ගණනය කිරීම සඳහා ග්ලැසියර දිය වීමෙන් මුහුදට එක් විය හැකි ජල ප්‍රමාණය සලකා බලා නොමැත. ග්ලැසියර දිය වීම පිළිබඳව වඩා මෑත දී කරන ලද අධ්‍යයන ගණනාවකින් පෙන්වා දී ඇත්තේ මුහුදු මට්‌ටම ඉහළ යැම ඊට වඩා ඉහළ විය හැකි බව ය.
මේ අතර ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස් අංශක දෙකක මට්‌ටමේ තබාගත්ත ද, මුහුදු මට්‌ටමේ සැලකිය යුතු තරම් ඉහළ යැමේ අවදානමක් ඇති බව පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. එහෙත් එය ඇති වන්නේ කෙටි කලක් තුළ වේගයෙන් නො ව සෙමින් හා දිගු කාලයක් තුළ ය.
අතීත මුහුදු මට්‌ටම ඉහළ යැමෙන් අදට එළියක්
මේ අධ්‍යයනයේ දී අතීතයේ සිදු වූ මුහුදු මට්‌ටම ඉහළ යැම් මත පදනම් ව අනාගතයේ ඇති විය හැකි තත්ත්වය පිළිබඳව පුරෝකථනයක් සිදු කිරීමට කිසියම් උත්සාහයක් දරා තිබේ. ඒ අනුව අදාළ පර්යේෂකයන් විසින් අවධානය යොමු කර ඇත්තේ අදින් වර්ෂ මිලියන 2.7ත් 3.2ත් අතර කාලයකට ඉහත දී පැවැති පශ්චාත් ප්ලයෝසීන (Pliocene) යුගයේ දී පැවැති මුහුදු මට්‌ටම ඉහළ යැම පිළිබඳව ය. අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ඇමෙරිකාවේ, උතුරු පැසිµsක් සාගරයේ හා නවසීලන්තයේ ප්‍රදේශ තුනක එකිනෙකට වෙනස් ස්‌ථාන තුනකින් ලබාගත් අදාළ යුගයට අයත් අවසාදිත තැන්පතුවල කරන ලද විදුම් මඟින් ලබාගත් මූලද්‍රව්‍ය සමස්‌ථානික පිළිබඳ දත්ත ය.
මේ යුගයේ දී ලෝකයේ වායුගෝලයේ පැවැති තත්ත්වය සුවිශේෂී වේ. ඒ කාලයේ දී වායුගෝලයේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය වර්තමාන වායුගෝලයේ පවත්නා සාන්ද්‍රණයට සමාන වන අතර මුහුදේ මතුපිට පැවැති උෂ්ණත්වය අද ප්‍රමාණයට වඩා සෙල්සියස් අංශක 2ක් පමණ ඉහළ ය. ඒ අනුව පර්යේෂකයන් ගේ අවධානය යොමු වන්නේ අදාළ කාලයේ දී ලෝකයේ පැවැති මුහුදු මට්‌ටම කෙතරම් ද යන්න පිළිබඳ ව ය. ඒ අනුව එය අදට වඩා මීටර් 22ක් පමණ ඉහළ වන්නට ඇති බව ඔවුන් නිගමනය කර තිබේ. මෙහි දී පෙන්වා දී ඇති පරිදි එවැනි තත්ත්වයක් ඇති වීමට නම් සමස්‌ත ග්‍රීන්ලන්තය හා බටහිර ඇන්ටාක්‌ටිකාවේ ඇති ග්ලැසියර දිය වී ජලය බවට පත් විය යුතු අතර නැඟෙනහිර ඇන්ටාක්‌ටිකාවේ කිසියම් ප්‍රදේශයක අයිස් දිය වීමක් ද ඇති විය යුතු ය.
අනාගතයට ඇති අදාළතාව
මේ හෙළිදරව් කිරීම් අදට වැදගත් වන්නේ එදා පැවැති තත්ත්ව හා සමාන තත්ත්වයක් අද ද ලෝකයේ පවත්නා නිසා ය. මේ අනුව පෙනෙන්නේ හරිතාගාර ආචරණය නිසා ලෝකයේ ඇති වෙමින් තිබෙන උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස් අංශක දෙකක මට්‌ටමේ තබාගත්ත ද මුහුදු මට්‌ටම ඉහළ යැම සැලකිය යුතු මට්‌ටමක් ගනු ඇති බවය. ඒ අනුව ලෝකයේ මුහුදු මට්‌ටම මීටර් 12ත් 22ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව පුරෝකථනය කර තිබේ. එහෙත් එය සිදු වන්නේ දිගු කාලයක් තුළ ය. ඒ සඳහා සියවස් ගණනාවක් හෝ සහස්‍රක ගණනාවක් ගත වීමට ඉඩක් තිබේ. මේ නිසා මිනිසුන්ට අදාළ තත්ත්වයට අනුහුරු වීමටත් ස්‌වාභාවික පරිසරයට ඒ සඳහා පහසුකම් සැලැස්‌වීමටත් අවස්‌ථාවක් ලැබී ඇත.
එහෙත් ලෝකයේ අද ඇති අනෙක් ගැටලුව වන්නේ ලෝකයේ සමස්‌ත උෂ්ණත්ව ඉහළ යැම සෙල්සියස් අංශක දෙකක මට්‌ටමේ තබා ගැනීමට හැකි වේ ද යන්න ය. මේ වන විට දේශගුණ වෙනස් වීම පවත්නා තත්ත්වය හා එය පාලනය කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව සැලකූ විට මේ පිළිබඳ සැකයක් ඇති වීම සාධාරණ ය. (මූලාශ්‍රය :Geology, DOI: 10.1130/G32869.1)
ආර්ථික කරුණු නිසා දේශගුණ වෙනස් වීම අමතක වෙමින් තිබේ...
දේශගුණ වෙනස් වීම පිළිබඳ ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර ඇති අවධානය ක්‍රමයෙන් අඩු වෙමින් ඇති බව මේ වන විට ඉතා පැහැදිලි ය. මේ පිළිබඳව මෑත කාලයේ සිදු කරන ලද සමීක්‌ෂණ කිහිපයක් මඟින් ද කරුණු අනාවරණය කර තිබේ. එහෙත් මේ සඳහා බලපා ඇති හේතු සාධක සෙවීමට කර ඇති පර්යේෂණ බෙහෙවින් අඩු ය. මෑත දී අමෙරිකාවේ සිදු කර ඇති එවැනි අධ්‍යයනයක් මඟින් ඇමෙරිකානු ජනතාව අතර ඇති වී තිබෙක වෙනස් වීමට මූලික වූ හේතුවක් හඳුනාගෙන තිබේ.
ඇමෙරිකාවේ ජනතාව අතර දේශගුණ වෙනස් වීම සම්බන්ධව ඇති සැලකිල්ල 2008 වර්ෂයෙන් පසුව බෙහෙවින් අඩු වී ඇති බව එරට තුළ මෑත කාලයේ දී කළ සමීක්‌ෂණ ගණනාවකින් අනාවරණය වී ඇත. මේ සඳහා බලපා ඇති හේතු සෙවීම සඳහා අප මාතෘකා කරගත් මේ අධ්‍යයනය 1980න් පසුව ගත වූ වසර 30ක පමණ කාලයක් තිස්‌සේ මහජනතාව මිහිතල උණුසුම් වීම හා පරිසරය පිළිබඳව දැක්‌වූ ආකල්ප පිළිබඳ ඇති දත්ත විශ්ලේෂණය කිරීමෙන් සිදු කර ඇත. මේ අධ්‍යයනයේ නිගමනය වන්නේ මෙසේ දේශගුණ වෙනස් වීම සම්බන්ධව ජනතාව අතර ඇති අවධානය අඩු වීමට ප්‍රධාන හේතුව වන්නේ මෑත දී ඇති වූ ආර්ථික අර්බුදය නිසා හටගත් ආර්ථික අනාරක්‌ෂිතතාව බවයි. මේ පිළිබඳව යුරෝපීය රටවලින් ලැබෙන දත්ත ද මීට සමාන ය. එසේ ම මේ අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට මේ පිළිබඳව ඉදිරිපත් ව ඇති අනෙක් හේතු මඟින් මේ ක්‌ෂණික ආකල්පමය වෙනස් වීම පැහැදිලි කිරීම පහසු නො වේ. (මෙවැනි හේතු අතර කෙටිකාලීන කාලගුණ තත්ත්වවල වෙනස්‌වීම්, මාධ්‍ය ආවරණය පක්‌ෂග්‍රාහී වීම, දේශපාලනීකරණය වැනි කරුණු වේ). මේ තත්ත්වය යළිත් වෙනස් වීමට ඉඩක් තිබේ ද? එය එසේ විය හැක්‌කේ රැකියා වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් වීමෙන් පසුව පමණක් බව ද මේ අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය :Global Environmental Change, DOI: 10.1016/j.gloenvcha.2012.01.002&
ජනතාව අතර ඇති අවධානය අඩු වුව හොත් දේශගුණ වෙනස් වීම වැළැක්‌වීම සඳහා ගන්නා උත්සාහය පිළිබඳව නුදුරු අනාගතයේ දී යහපත් වෙනස්‌කමක් ඇති කිරීමට ජගත් මට්‌ටමේ දී සිදු කරන බලගැන්වීම් අසීරු මට්‌ටමකට පැමිණීමට ඉඩක් තිබේ. විශේෂයෙන් මේ හා සම්බන්ධව ඉදිරියෙන් සිටින යුරෝපා සංගමයේ පවා මෙවැනි තත්ත්වයක් ඇති වුව හොත් එය ගැටලුසහගත විය හැකි ය. අප සැම දා පෙන්වා දී ඇති පරිදි දේශගුණ වෙනස්‌වීමේ අයහපත් ප්‍රතිඵල වැඩි වශයෙන් භුක්‌ති විඳින්නේ දියුණු වන රටවල වැසියන් ය.
පුවත් සැකෙවින්
ජල දිනයේ අවධානය ආහාර පිළිබඳව
මාර්තු මස 22 වැනි දිනට යෙදුණු ලෝක ජල දිනයට පසුගිය සතියේ දී ලෝකයේ අවධානය යොමු විය. මේ වර්ෂයේ " එහි තේමාව සේ යොදාගන්නා ලද්දේ ආහාර සුරක්‌ෂිතතාවය සහ ජලය (Water and Food Security) යන්න ය. ජලය ලෝකයේ ආහාර සුරක්‌ෂිතතාව සඳහා වැදගත් වේ. ජලය ආහාර නිෂ්පාදනය සඳහා ඇති වැදගත් හා සීමාකාරී සාධකයක් ද වේ. මේ නිසා ආහාර සුරක්‌ෂිතභාවය පිළිබඳ කෝණයකින් ජලය පිළිබඳව සැලකිල්ලක් දැක්‌වීම වැදගත් වේ. ජගත් මට්‌ටමේ දින සැමරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාව හා අදාළ සියලු පාර්ශ්ව අතර දැනුවත් කිරීම් ප්‍රවර්ධනය බැවින් මෙය ඉතා වැදගත් බව අපේ හැඟීමයි.
මේ අනුව ලෝක ජල දිනය සමරා රටවල් රැසක විවිධ මට්‌ටමේ වැඩසටහන් උත්සව පවත්වන ලදි.
ගුවන් කාබන් බද්දට එරෙහි හඬ ඉහළට
යුරෝපා සංගමය ගුවන් ප්‍රවාහනයේ දී නිකුත් වන කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන සඳහා බද්දක් නියම කිරීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් එල්ල වන විරෝධය ද ඉහළ යමින් ඇති බව පෙනේ. නිදසුනක් ලෙස ඉන්දියාව තම ගුවන් සමාගම්වලට අදාළ ගෙවීම් නො කරන සේ දැනුම් දී තිබේ. මේ වන විට ගුවන් සමාගම්වලට තම විමෝචන තොරතුරු දැනුම් දෙන ලෙස යුරෝපා සංගමය දැනුම් දී ඇතත්, රජයේ ප්‍රතිපත්තිය නිසා කිසිදු සමාගමක් ඊට අනුකූලතාව නො දක්‌වනු ඇතැයි පෙන්වා දී තිබේ. එසේ ම කාබන් ද මිල දී නො ගන්නා ලෙස දේශීය ගුවන් සමාගම්වලට දැනුම් දී තිබේ.
මේ අතර දකුණු අප්‍රිකාවේ අමාත්‍යවරයෙක් අදාළ කාබන් බද්ද ක්‍රියාත්මක කිරීම වසර දෙකකට අත්හිටුවන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් මේ වැඩපිළිවෙළ යහපත් එකක් බවත්, ඒ නිසා ඇති වන මිල ඉහළ යැම සැලකිය යුතු තරම් නො වන බවත් පෙන්වා දී තිබේ. යුරෝපා සංගමය පසු වන්නේ තම ස්‌ථාවරය වෙනස් නො කරන අදිටනක ය. ඔවුන් පවසන්නේ දශකයකටත් වැඩි කලක් තිස්‌සේ ඔවුන් ජගත් මට්‌ටමෙන් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වී ඇති බැවින් යුරෝපා මට්‌ටමෙන් මෙය දියත් කර ඇති බව ය.
මුහුදු ක්‌ෂීරපායින්ට හානිකර ආක්‌ටික් නැව් ගමනාගමනය
ආක්‌ටික් සාගරයේ දැකිය හැකි පා වන අයිස් මට්‌ටම අඩු වීම සමඟ ඒ හරහා සිදු වන නැව් ගමනාගමනය ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. උතුරු අර්ධගෝලයේ ග්‍රීෂ්ම හා සරත් සෘතු කාලයේ සාගරයේ දැකිය හැකි පා වන අයිස් මට්‌ටම බෙහෙවින් තුනී වේ. එහෙත් මේ නිසා අදාළ ප්‍රදේශයේ වාසය කරන තල්මහ, වෝල්රස් හා හිම වළසුන් වැනි සමුද්‍ර ක්‌ෂීරපායින්ට ඇති තර්ජනය ඉහළ යා හැකි බව පෙන්වා දී තිබේ. මේ බව හෙළි වී ඇත්තේ ස්‌වදේශික ජන කොටස් හා රාජ්‍ය නො වන සංවිධානයක් විසින් මෑත දී ඇලස්‌කාවේ පවත්වන ලද සමුළුවක දී ය. මේ ක්‌ෂීරපායී සතුන්ට ඇති හානිය පිළිබඳව අවධානය යොමු කිරීමට මේ සමුළුව කැඳවා තිබිණි.
මේ ආකාරයෙන් තර්ජනයට ලක් වන ඇතැම් සමුද්‍ර ක්‌ෂීරපායින් මේ ප්‍රදේශවල වැසියන් ගේ ආහාර සැපයුමේ වැදගත් තැනක් ගැනීම මෙහි ඇති තවත් වැදගත්කමක් වේ.
Source: http://www.vidusara.com/2012/03/28/feature3.html
No comments:
Post a Comment