Monday, March 19, 2012

ජගත් පරිසර විමසුම - 114 (Global Environmental Watch 114)

Published in: Vidusara, 2012-03-12, p. 11
http://www.vidusara.com/2012/03/14/feature3.html

ප්‍රතිස්‌ථාපනයේ දී සොබාදහමට ඉඩ දීම වඩා සාර්ථකයි

පාරිසරික පද්ධති ප්‍රතිස්‌ථාපනය අද ලෝකයේ අවධානයට යොමු වී ඇති එක්‌ ක්‍රියාදාමයකි. මෙහි දී සිදු වන්නේ හායනයට ලක්‌ ව ඇති පරිසර පද්ධති නැවතත් මුල් තත්ත්වයට ගෙන ඒම සඳහා මිනිසුන් මැදිහත් ව කටයුතු කිරීමයි. පරිසර පද්ධතිවලින් ඉටු වන පුළුල් සේවා පිළිබඳව සැලකූ විට මේ ක්‍රමවේදයේ වැදගත්කම සැලකිය යුතු වේ. මේ ක්‍රියාවලිය වැඩි වශයෙන් දැකිය හැක්‌කේ වනාන්තර හා තෙත්බිම් වැනි වැඩි බලපෑමකට ලක්‌ ව ඇති පරිසර පද්ධතිවල ය.

ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ රටේ ද මෙවැනි පරිසර පද්ධති ප්‍රතිස්‌ථාපනය කිරීමට ගන්නා ප්‍රයත්න විශාල ලෙස දැකිය හැකි ය. මේවා ඇතැම් විට ජෛවවිවිධත්වය පිළිබඳව සැලකිල්ලට ගෙන කරනු ලබන අතර ඇතැම් විට පරිසර පද්ධති සේවා වැනි වඩා පුළුල් අරමුණු ඇති ව සිදු කරනු ලබන ඒවා ය. නිදසුනක්‌ ලෙස කාබන් තිර කිරීම වැනි වර්තමාන අවශ්‍යතා දැක්‌විය හැකි ය.

කෙසේ වෙතත් මෙවැනි ඇතැම් අවස්‌ථාවල දී සිදු වන්නේ ස්‌වාභාවික හා විද්‍යාත්මක තත්ත්ව සැලකිල්ලට නො ගෙන සිදු කරන ප්‍රතිස්‌ථාපන කටයුතු ය. ඒවා ඇතැම් විට හුදෙක්‌ මුදල් වියදම් කිරීම සඳහා පමණක්‌ සිදු කරනු ලබන කටයුතු වේ. එවැනි ප්‍රතිස්‌ථාපන කටයුතු ඇතැම් විට අසාර්ථක වේ. අපේ අද අවධානය යොමු වන්නේ මිනිසුන් විසින් ප්‍රතිස්‌ථාපනය කරනු ලබනවාට වඩා ස්‌වාභාවිකව එය සිදු වීමට ඉඩ හැරීම වඩා ඵලදායී බව පෙන්වන මෑත දී ප්‍රකාශයට පත් පරීක්‌ෂණයක්‌ පිළිබඳ ව ය.

වසර 15ක අධ්‍යයනයක්‌

මෙහි දී ඇමෙරිකාවේ ඔහායෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයීය භූමියේ පිහිටා තිබූ වගුරු බිමක්‌ ප්‍රතිස්‌ථාපනය වීමට අවස්‌ථාව ලබා දී තිබේ. අදාළ වගුරු බිම කොටස්‌ දෙකකට බෙදා ඇති අතර ඉන් එක්‌ ප්‍රදේශයක 1994 වර්ෂයේ දී පමණ තෙත්බිම් වෘක්‌ෂලතා සිටුවා ප්‍රතිස්‌ථාපනය කර තිබේ. අනෙක්‌ කොටස ස්‌වාභාවිකව ප්‍රතිස්‌ථාපනය වීමට අවස්‌ථාව සලසා ඇත. හෙක්‌ටයාර එකක පමණ විශාලත්වයකින් යුක්‌ත වූ මේ තෙත්බිම් පරිසර පද්ධති දෙක ම තෙත්බිම් වශයෙන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට ජලය සැපයීමට පමණක්‌ ඔවුන් ක්‍රියා කර තිබේ.

මේ භූමි ප්‍රදේශ දෙක පිළිබඳව ඉන් වසර පහළොවකට පමණ පසු යළි අධ්‍යයනය කර තිබේ. මෙහි දී හෙළි වී ඇත්තේ තෙත්බිමේ මුල් තත්ත්වය කෙබඳු වුවත්, භූමියේ පසු කාලීන තත්ත්වය සඳහා එය එතරම් බලපෑමක්‌ නො කරන බව ය. මුලින් මිනිසුන් එහි සැලසුම සඳහා සම්බන්ධ වුවත් පසුව කාලයත් සමඟ එය ස්‌වාභාවිකව තීරණය වන බව පෙනී ගොස්‌ තිබේ.

ප්‍රතිස්‌ථාපනයේ විශේෂතා


මේ තෙත්බිම් දෙකේ දැකිය හැකි තත්ත්ව පිළිබඳ සංසන්දයක්‌ වසර පහළොවකට පසු සිදු කර ඇත. මේ තෙත්බිම් දෙකෙන් වැඩි ප්‍රජා විවිධත්වයක්‌ දැකිය හැකි වී ඇත්තේ සිටුවනු ලැබූ තෙත්බිමේ ය. කෙසේ වෙතත් එහි මුලින් සිටුවූ දේශීය ශාක 13ක්‌ අතරින් වසර 15කට පසු දැකිය හැකි වී ඇත්තේ ශාක 9ක්‌ පමණකි. එසේ ම ස්‌වාභාවිකව ප්‍රතිස්‌ථාපනය වූ තෙත්බිමේ මේ ශාක අතරින් වසර පහළොවකට පසු දැකිය හැකි වී ඇත්තේ 2ක්‌ පමණකි. එහෙත් මේ තෙත්බිම් දෙකේ දැකිය හැකි සමස්‌ත ශාක ප්‍රමාණය ආසන්න වශයෙන් සමාන මට්‌ටමක පවතී. එසේ ම මේ කාලය තුළ දී සෙසු ජෛවවිවිධත්වය අතින් ද මේ තෙත්බිම් දෙක ම ඉහළ තත්ත්වයකට පැමිණ තිබේ.

කෙසේ වෙතත් ස්‌වාභාවිකව ප්‍රතිස්‌ථාපනය වූ තෙත්බිමේ නිෂ්පාද්‍යතාව සිටුවනු ලැබූ තෙත්බිමට වඩා අධික ය. මුල දී එහි කාබනික ද්‍රව්‍ය නිෂ්පාද්‍යතාව අඩු වුවත් පසුව එය සිටුවනු ලැබූ තෙත්බිමට වඩා වැඩි වී තිබේ. වසර 15 අවසානයේ දී ඒ අගය මෙගා ග්‍රෑම් 8ක්‌ පමණ ඉහළ මට්‌ටමක තිබී ඇත. එය සැලකිය යුතු වෙනසකි. එසේ ම ස්‌වාභාවික ප්‍රතිස්‌ථාපනයට ලක්‌ වූ තෙත්බිමේ තිර කරනු ලැබ ඇති කාබන් ප්‍රමාණය වර්ග මීටරයට වර්ෂයකට ග්‍රෑම් 266ක්‌ පමණ වන අතර සිටුවනු ලැබූ තෙත්බිමේ එය ග්‍රෑම් 219ක්‌ පමණ විය. කෙසේ වෙතත් මේ මට්‌ටම ස්‌වාභාවික තෙත්බිමකට වඩා ඉහළ අගයක්‌ ගැනීම වැදගත් වේ.

ස්‌වාභාවික තෙත්බිමේ දැකිය හැකි වූ එක ම අඩුපාඩුව වූයේ එයින් පිට වන මීතේන් ප්‍රමාණය අනෙක්‌ තෙත්බිමට වඩා ඉහළ වීම පමණි. එහෙත් මේ තෙත්බිමේ දැකිය හැකි ඉහළ කාබන් තිර කිරීමේ වේගය නිසා ඉන් මීතේන් නිසා ඇති වන පාඩුව පිරිමසාගත හැකි ය.

සෙසු පරිසර පද්ධති සේවා පිළිබඳව සැලකීමේ දී මේ තෙත්බිම් දෙකේ ම දැකිය හැකි වී ඇත්තේ බොහෝ දුරට සමාන තත්ත්වයකි. කෙසේ වෙතත් අවශ්‍ය සියලු තත්ත්ව සම්පූර්ණ කරන බැවින් තෙත්බිම් ප්‍රතිස්‌ථාපනයේ ඇති වැදගත්කම මේ අධ්‍යයනය තුළින් යළිත් තහවරු කර ඇත. (මූලාශ්‍රය BioScience,DOI: 10.1525/bio.2012.62.3.5)

ප්‍රතිස්‌ථාපනයේ දී ස්‌වභාවයට ඉඩ දීම

මේ අධ්‍යයනය එක්‌ ස්‌ථානයක සිදු කරන ලද තරමක්‌ දිගුකාලීන අධ්‍යයනයක්‌ වුවත් ඒ පිළිබඳව සටහන් කළ යුතු යෑයි අප සිතුවේ ස්‌වභාවධර්මයේ විශිෂ්ටත්වය මෙයින් යළිත් තහවුරු වන නිසා ය. ස්‌වභාව ධර්මය විශිෂ්ට නිර්මාණකරුවෙක්‌ වේ. අනෙක්‌ අතට සොබාදහම අනුකරණය කරමින් මිනිසුන් විසින් සිදු කරනු ලබන පාරිසරික ප්‍රතිස්‌ථාපන කටයුතුවල දී පවා ස්‌වභාවය මිනිසුන්ට වඩා ඉදිරියෙන් සිටියි. මේ අනුව පාරිසරික ප්‍රතිස්‌ථාපනයේ දී හැකි හැම විට ම අවශ්‍ය මූලික තත්ත්ව සැපයීම පමණක්‌ සිදු කිරීම ප්‍රමාණවත් බව පෙනේ. සෙසු වර්ධනය ස්‌වාභාවිකව සිදු විය හැකි ය. මෙය වැදගත් වන්නේ ප්‍රතිස්‌ථාපන කටයුතුවල දී මූල්‍ය ප්‍රතිපාදන සීමාකාරී වන බැවිනි.

ජපාන න්‍යෂ්ටික අනතුරේ පළමු සංවත්සරය

පසුගිය ඉරු දින, එනම් මාර්තු 11 වැනි දා, ජපාන වැසියෝ ටොහොකු භූමිකම්පාවේ හා සුනාමියේ පළමු සංවත්සරය අනුස්‌මරණය කළ හ. එදින රට පුරා පුරා ජනතාව මේ අනතුරින් මිය ගිය හා අතුරුදන් වූ විසි දහසක පමණ පිරිස සිහිපත් කළ බව මාධ්‍ය වාර්තාවල පළ විය.

මේ භූමිකම්පාවේ නම එතරම් ප්‍රකට එකක්‌ නො වේ. එය ලෝකය පුරා ප්‍රසිද්ධ වූයේ එහි බලපෑම නිසා ඇති වූ වඩාත් භයානක අනතුරක්‌ නිසා ය. ඒ ෆුකුෂිමා ප්‍රදේශයේ පිහිටා තිබූ න්‍යෂ්ටික බලාගාරයක ඇති වූ අනතුරයි. භූමිකම්පාවේ හා සුනාමියේ බලපෑම නිසා ෆුකුෂිමාහි පිහිටා තිබූ න්‍යෂ්ටික බලාගාරයක සිසිලන පද්ධතියේ ඇති වූ බිඳ වැටීම මේ අනතුරට හේතු විය. මේ නිසා ප්‍රතික්‍රියාකාරක හතරක්‌ අධික තාපනයට ලක්‌ වූ අතර ගිනි හා පිපිරීම් නිසා විකිරණ කාන්දු වීමක්‌ සිදු විය. බොහෝ සේ උත්සාහ දැරීමෙන් පසුව මාස කිහිපයකින් මේ න්‍යෂ්ටික බලාගාරය සිසිල් වසාදැමීමකට ලක්‌ කරන ලදි. එය ඉදිරි කාලයේ දී සම්පූර්ණයෙන් ම වසා දැමීමට නියමිත ය.

මේ අනතුරින් ඇති වූ විකිරණ කාන්දුව නිසා අසූ දහසක්‌ පමණ පිරිසක්‌ තමන් පදිංචි ප්‍රදේශවලින් ඉවත් කරන ලද අතර කිලෝමීටර් 20ක අරයයක්‌ ඇති කලාපයක්‌ අදටත් පවතින්නේ ජනතාව ගෙන් තොර ව ය. අද වන විටත් ඔවුන් ජීවත් වන්නේ වෙනත් ප්‍රදේශවල හෝ අවතැන් වූවන් සඳහා සකස්‌ කළ රැඳවුම් ස්‌ථානවල ය. ෆුකුෂිමා අර්බුදය තවමත් මුළුමනින් ම අවසන් වී නැත. එසේ ම අනතුරෙන් හානියට පත් බොහෝ ප්‍රදේශ යථා තත්ත්වයට පත් වීම සිදු වන්නේ බොහෝ සෙමින් බවට ද චෝදනා එල්ල වී තිබේ.

මේ 1986 දී ඇති වූ චර්නොබිල් බලාගාරයේ න්‍යෂ්ටික අනතුරෙන් පසු ඇති වූ බරපතළ ම අනතුර වේ. එනම් මේ අනතුර න්‍යෂ්ටික අනතුරු පිළිබඳ පරිමාණයේ හත්වැනි මට්‌ටමට අයත් බව පසුව පෙන්වා දෙන ලදි. මෙමඟින් ගම්‍ය වූයේ න්‍යෂ්ටික බලයේ ඇති අනතුරුදායක බවයි. මේ නිසා න්‍යෂ්ටික බලයේ කිසියම් පසුබෑමක්‌ ඇති වූ අතර එය ෆුකුෂිමා අනතුරින් පසු ලෝකය පුරා දැකිය හැකි විය. මෙහි දී සාකච්ඡාවට ලක්‌ වූ වැදගත් ම කරුණ වන්නේ න්‍යෂ්ටික බලාගාරවල ආරක්‌ෂාව සම්බන්ධ තාක්‌ෂණය දියුණු විය යුතු බව ය. ෆුකුෂිමා අනතුර ගැන ගත වූ වර්ෂය තුළ අප බොහෝ සේ කතා කළ නමුත්, ඊට වර්ෂයක්‌ සම්පූර්ණ වන මේ මොහොතේ දී ද යළි එය සටහන් කර තැබීම යෝග්‍ය යෑයි සිතමු.


තල්මහ දඩයම් සමය කලින් නිමා වේ

ඇන්ටාක්‌ටික්‌ සාගරයේ වාර්ෂික තල්මහ දඩයමේ යෙදෙන ජපාන යාත්‍රා පෙළ ආපසු තම රට බලා ගමන් ආරම්භ කළ බව දින කිහිපයකට පෙර වාර්තා විය. ඔවුන් විසින් ම ප්‍රකාශයට පත් කරගන්නා ලද තල්මහ කෝටාව වන 900ක්‌ වන අතර ඉන් තුනෙන් එකක්‌ පමණ ප්‍රමාණයක්‌ හෝ අල්ලා ගැනීමෙන් පසු මේ වර්ෂයේ දඩයම නිමා කිරීම මෙහි ඇති විශේෂිත කරුණයි. ඔවුන් මින්කි තල්මසුන් 266ක්‌ හා එක්‌ වරල් තල්මහ සතකු පමණක්‌ අල්ලා ගෙන තිබේ.

මේ ආකාරයෙන් ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට තල්මහ අල්ලා ගැනීමට නොහැකි වූයේ කාලගුණ තත්ත්වය හා තල්මහ දඩයමට විරෝධය දක්‌වන කණ්‌ඩායම්වල කඩාකප්පල්කාරී කටයුතු බව ජපාන බලධාරීන් පෙන්වා දී ඇත. මෙවැනි පාරිසරික කණ්‌ඩායම් කිහිපයක්‌ සැම වර්ෂයක දී ම අදාළ දඩයම් යාත්‍රා පෙළ පසුපසින් ගමන් කරයි. ඔවුන් ජපන් යාත්‍රා සමඟ ගැටුම් ඇති කරගත් අවස්‌ථා ද තිබේ.


මුහුදු පැළෑටිවලින් ජෛව ඉන්ධන?

ජෛව ඉන්ධන යනු ලෝකය මුහුණ දී ඇති ඉන්ධන අර්බුදයට පිළියමක්‌ සේ ඉදිරිපත් ව ඇති විකල්පයකි. එහෙත් ඒ හා සම්බන්ධව ඇති ගැටලු කිහිපයක්‌ නිසා ජෛව ඉන්ධන පිළිබඳව ලෝකයේ පුළුල් සාකච්ඡාවක්‌ පවතී. විශේෂයෙන් ජෛව ඉන්ධන නිපදවීම සඳහා යෝග්‍ය භෝග වගා කිරීමේ දී ඇති විය හැකි ඉඩම් ගැටලු හා එහි අවසන් ඵලය විය හැකි ආහාර අර්බුදයක්‌ ඇති වීමේ හැකියාව නිසා මේ තත්ත්වය ඇති වී තිබේ.

මේ සඳහා පිළිතුරක්‌ ලෙස මුහුදු පැළෑටිවලින් ජෛව ඉන්ධන නිපදවීමට ඇති හැකියාව පිළිබඳව පැවැත්වෙන පර්යේෂණ පිළිබඳ පුවතක්‌ මෑත දී වාර්තා විය. මුහුදු වෙරළට ආසන්න සාගරයේ වැවෙන මේ ඇල්ගා වර්ග වගා කිරීම හා අස්‌වනු නෙළීම ගැන මේ වන විට අධ්‍යයන සිදු වේ. මේ ඇල්ගාවල ඇති තවත් ප්‍රයෝජනයක්‌ වන්නේ ජලයේ ඇති අධික පෝෂක පරිසරයෙන් ඉවත් කිරීම ද ඉන් සිදුවීමයි. ගොඩබිම ඉඩම් අවශ්‍යතාවට බලපෑමක්‌ නො වන නිසා මේ වේගයෙන් වර්ධනය වන ඇල්ගා විශේෂ භාවිතයෙන් ජෛව ඉන්ධන නිපදවීම ගැන යම් බලාපොරොත්තුවක්‌ තබා ගත හැකි විකල්පයක්‌ බව පෙනේ.


සාගරය ආම්ලික වීම වේගවත්

සාගර ජලය ආම්ලික වීම ලෝක ඉතිහාසයේ මෙතෙක්‌ සිදු නො වූ තරම් වේගවත් විය හැකි බව අධ්‍යයනයක්‌ මඟින් පෙන්වා දී තිබේ. පසුගිය වසර මිලියන තුන් සියයක පමණ කාලය තුළ ලෝකයේ ඇති වූ වඳ වී යැම්වල දී වර්තමානයේ සිදු වන මට්‌ටම හා සමාන වූ ආම්ලිකකරණයක්‌ අතීතයේ දී ඇති වී තිබෙන්නේ එක්‌ වතාවක්‌ පමණි. අතීත වඳ වී යැම්වල දී කාබන් ඩයොක්‌සයිඩ් වායුව විශාල ලෙස පරිසරයට එක්‌ වූ අතර ඊට හේතු වූයේ ස්‌වාභාවික ක්‍රියාවලීන් ය. ලෝකයේ වර්තමාන හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ යැමට හේතුව මිනිසුන් විසින් නිකුත් කරනු ලබන කාබන් ඩයොක්‌සයිඩ් වායුවයි.

වර්තමාන කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන පිළිබඳව සැලකූ විට අනාගතයේ ඇති විය හැකි ආම්ලිකකරණය බරපතළ වන බව මේ අධ්‍යයනයේ දී පැහැදිලි කර තිබේ. මේ අධ්‍යයනය භූ විද්‍යාත්මක දත්ත භාවිත කරමින් සාගරය ආම්ලික වීම පිළිබඳව සිදු කරන ලද පළමු අධ්‍යයනය සේ සැලකේ. සාගරය ආම්ලිකකරණය බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි තත්ත්වයකි. (මූලාශ්‍රය DOI: 10.1126/science. 1208277)

(http://www.vidusara.com/2012/03/14/feature3.html)

No comments:

Post a Comment