Wednesday, March 28, 2012

ශ්‍රීලංගම - මහජන සේවයක්‌ සලසන ජාතික සම්පතක්‌

ධනේෂ් විසුම්පෙරුම
(Sri Lanka Transport Board - A national treasure providing public service)

විදුසර, 2012-03-28, පි. 06 (Vidusara, 2012-03-28, p. 06)
http://www.vidusara.com/2012/03/28/feature4.html


ශ්‍රි ලංකා ගමනාගමන මණ්‌ඩලයේ (ශ්‍රීලංගම) සේවක වැඩ වර්ජනයෙන් පසු දිනයක පෞද්ගලික බස්‌ රථයක ගමන් කරමින් සිටිය දී මට එහි රියෑදුරු හා කොන්දොස්‌තර අතර ඇති වූ දෙබසකට සවන් දීමට අවස්‌ථාව ලැබිණි. එහි සාරාංශය වූයේ මහා භාණ්‌ඩාගාරයේ මුදල් ලබා දුන්නේ නොමැති නම් ලංගම බස්‌ දුවන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් එසේ පැවසුවේ ඔවුන් පසු කර ධාවනය වූ ශ්‍රීලංගම බස්‌ රථයක්‌ සමච්චලයට ලක්‌ කරමිනි.

එක්‌ අතකින් මෙය අසාමාන්‍ය දෙබසක්‌ නො වේ. පෞද්ගලික බස්‌ රථ සේවකයන් දෙදෙනකු වෙතින් මෙවන් දෙබසක්‌ අසන්නට ලැබීම ද එතරම් පුදුමයක්‌ නො වේ. එහෙත් මේ හා සමාන අදහස්‌ ඇතැම් විට මාධ්‍යවේදීන් වෙතින් ද ඉඳහිට සාමාන්‍ය ජනතාව වෙතින් ද අසන්නට ලැබේ. පෙර කී වැඩ වර්ජනය පැවැති කාලයේ ග්‍රාමීය ප්‍රදේශවල මෙන්ම නාගරික ප්‍රදේශවල වැසියන් ද තරමක්‌ අපහසුතාවකට ලක්‌ වූ නමුත් වර්ජනය සාමාන්‍ය ජනතාව අතර එතරම් කතාබහකට ලක්‌ වූයේ නැත. (ඒ එය නො දැනුණු නිසා ද විය හැකි ය). එසේ ම පෞද්ගලික බස්‌රථ හිමියන් ගේ බොහෝ විට අසාධාරණ වැඩ වර්ජන පිළිබඳව පිටු පුරා ලිපි ලියන මාධ්‍යවේදීන් ද ශ්‍රීලංගම වැඩ වර්ජනය දුටුවේ නැති තරම් ය. අපේ අදහස අනුව නම් ශ්‍රී ලංගමයේ සේවය නිසි පරිදි වටහා නො ගැනීම නිසා මේ සිදු වී තිබේ.

ශ්‍රී ලංගම යනු ජාතික සම්පතකි


ශ්‍රී ලංගම යනු කුමක්‌ ද යන්න මෙන්ම එමඟින් සිදු වන සේවය පිළිබඳව බොහෝ දෙනාට අවබෝධයක්‌ නැත. කෙටියෙන් පවසන්නේ නම් ශ්‍රී ලංගම යනු තවත් පෞද්ගලික ව්‍යවසායක්‌ හෝ හුදු ව්‍යාපාරයක්‌ නො වේ. එය මහජන සේවයක්‌ හෙවත් ජාතික සම්පතක්‌ සේ සැලකිය යුත්තකි.

අප එසේ පවසන්නේ හේතු සහිත ව ය. අපේ රටේ බොහෝ ප්‍රදේශවල - නගර මෙන්ම ගම්වල පවා - රාත්‍රි හතෙන් අටෙන් පසු ගමන් කිරීමට මගීන්ට ඇති එක ම 'පොදු ප්‍රවාහන සේවය' වන්නේ ශ්‍රී ලංගම ය. පෞද්ගලික බස්‌ රථ බොහෝ විට ගමන් කරන්නේ මඟීන් වැඩි ප්‍රමාණයක්‌ මාර්ගයේ ගැවසෙන කාලයේ දී පමණකි. රාත්‍රියේ දී ධාවන කාලසටහන් ක්‍රියාත්මක වේ දැයි සිතෙන තරමට ඇතැම් මාර්ගවල මේ තත්ත්වය උග්‍ර ය. එහෙත් අදාළ මාර්ගයේ මඟීන් සිටියත් නැතත් ශ්‍රී ලංගම බස්‌රථ නියමිත වේලාවට ධාවනය වේ. බොහෝ මාර්ගවල දිනයේ අවසන් බස්‌ රථ පිළිබඳව සිහිපත් කිරීම මේ සඳහා ප්‍රමාණවත් ය. මේවායින් මඟීන්ට සැලසෙන සේවය ඉමහත් ය.

දිවා කාලයේ දී වුවත් සාමාන්‍යයෙන් පෞද්ගලික බස්‌ රථ ධාවනය වන්නේ නියමිත ධාවන කාලයට වඩා වැඩි කාලයක්‌ ගනිමිනි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් 'කොට කොටා'ය. මේ නිසා මාර්ගයේ නිකරුණේ වැය වන්නේ මඟී ජනතාව ගේ වටිනා කාලයයි. නොඑසේ නම්, රටේ ඵලදායකත්වයයි. එහෙත් ශ්‍රී ලංගම බස්‌ රථ ජනතාව අතර සැලකිල්ලට ලක්‌ ව ඇත්තේ ද ඒවායින් වෙලාවට ගමනක්‌ යා හැකි නිසා ය.

තවත් වැදගත් කරුණක්‌ වන්නේ ශ්‍රී ලංගම මගින් (හෝ රජය විසින් ශ්‍රී ලංගම හරහා) ලබා දී ඇති විවිධ සහනයි. පාසල් සිසුන් සඳහා ලබා දී ඇති වාර ප්‍රවේශපත්‍ර මේ සඳහා හොඳ ම නිදසුන වේ. මේ සහනදායී ක්‍රමවේදය නො වූයේ නම් දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාව අතරින් වැඩි දෙනකු ගේ දරුවන්ට පාසල් යැමට ඇති අවස්‌ථාව ද අහිමි විය හැකි ය.

එසේ ම ආර්ථික වශයෙන් ලාබදායී හෙවත් වාසිසහගත නො වන මාර්ගවල වැඩි වශයෙන් ධාවනය වන්නේ ශ්‍රී ලංගම බස්‌ රථ ය. මෙවැනි මාර්ගවලට බලපත් ලබා දී ධාවනයට යෙදවූ පෞද්ගලික බස්‌රථවල හිමියන් උත්සාහ කරන්නේ යහමින් ආදායමක්‌ ලබා ගත හැකි මාර්ගයකට මාර්ග බලපත් ලබා ගැනීමට ය. එහෙත් මෙවැනි මාර්ගවල ශ්‍රී ලංගම බස්‌ ධාවනය කරනු ලැබේ.

ශ්‍රී ලංගමයේ වර්තමාන තත්ත්වය


2010 වර්ෂය වන විට ශ්‍රී ලංගමයේ බස්‌ රථ ඇණිය 7746ක්‌ බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංගමය දිනකට ධාවනය කළ යුතු බස්‌ රථ ගණන 7131කි. එහෙත් ඒ වර්ෂයේ දී දිනකට සාමාන්‍යයෙන් ධාවනය කර ඇත්තේ බස්‌ රථ 4441ක්‌ පමණකි. මේ අනුව ධාවන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නොහැකි වීමෙන් ලාබ ලැබීම නො ව වියදම් පියවා ගැනීම පවා අපහසු වීම පුදුමයට කරුණක්‌ නො වේ.

2005 වර්ෂයේ දී ශ්‍රී ලංගමය නැවත පිහිටුවීමත් සමඟ එහි ධාවන කිලෝමීටර් ගණන හා මඟී කිලෝමීටර් ගණනේ වර්ධනයක්‌ සිදු ව ඇත. බස්‌ රථ ප්‍රමාණයේ ද වර්ධනයක්‌ සිදු වී ඇත. ආදායම ද වර්ධනය වී ඇති නමුත් මෙහෙයුම් වියදම ඊට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බැවින් අවසානයේ දී සිදු වන්නේ මෙහෙයුම් අලාභයකි.

අප අමතක නො කළ යුතු කරුණක්‌ වන්නේ ශ්‍රී ලංගමයේ ඉතිහාසය තුළ එය (හා එහි අනුප්‍රාප්තික සමාගම්) ලාබ ලබා ඇත්තේ වසර කිහිපයක දී පමණක්‌ බව ය. 1998 වර්ෂයේ දී ශ්‍රි ලංකා මහ බැංකුව මඟින් ප්‍රකාශයට පත් කරන ලද 'නිදහස්‌ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය' නම් වාර්තාව අනුව ඒ 1962-1966 අතර කාලයේ දී හා 1974 වර්ෂයේ දී ය. මේ කෘතියේ 1997 දක්‌වා තෙක්‌ දත්ත ඇතුළත් වන අතර මහ බැංකු වාර්තා අනුව 1998 සිට මේ දක්‌වා ශ්‍රී ලංගම හා එහි පූර්ව අවස්‌ථා මෙහෙයුම් අලාබයක්‌ වාර්තා කරයි.

මේ තත්ත්වය නිසා ශ්‍රී ලංගමට රජය මඟින් සහන ලබා දී තිබේ. වාර ප්‍රවේශපත්‍ර සඳහා ලබා දී ඇති සහන හා ලාබදායී නො වන මාර්ග සඳහා ලබා දී ඇති සහනාධාර මීට නිදසුනකි. මහජන සේවයක්‌ ලෙස මේ ආකාරයෙන් හෝ ශ්‍රී ලංගම පවත්වා ගැනීමට හැකි වී ඇත්තේ මේ නිසා ය. වැඩි බස්‌ රථ ප්‍රමාණයක්‌ ධාවනයට යෙදවිය හැකි නම් මේ අලාභය අඩු කර ගත හැකි ය.

ශ්‍රී ලංගමයේ මේ අලාභයට හේතු වී ඇති කරුණු බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ වී ඇති දේ ය. අධික සේවක පිරිසක්‌ සිටීම, දේශපාලන බලපෑම්, කළමනාකාරිත්වයේ අඩුපාඩු මේ අතරින් ප්‍රකට කරුණු කිහිපයකි. එපමණක්‌ නො ව පෞද්ගලික අංශයේ බස්‌ රථ විසින් මාර්ගයේ ධාවනය වන ශ්‍රී ලංගම බස්‌ රථවල ධාවන වාරවලට අවහිර කරමින් ධාවනය කෙරෙන අවස්‌ථා ද දැක්‌විය හැකි ය. (මේවා පාලනය කිරීම සඳහා කිසිදු බලධාරියකු උත්සාහයක්‌ ගෙන නැති අතර ඇතැම් ශ්‍රී ලංගම සේවක පිරිස්‌ පවා මීට අනුබල දෙන ආකාරයක්‌ තිබීම කණගාටුදායක ය.)

ශ්‍රී ලංගම හා දේශපාලනය

ශ්‍රී ලංගම අද මුහුණ දී ඇති තත්ත්වයට දේශපාලනය ද බලපාන බව සත්‍යයකි. පෙර සඳහන් කර ඇති ආකාරයට අධික සේවක පිරිසක්‌ ශ්‍රී ලංගමයේ සිටින්නේ දේශපාලන බලපෑම් මත අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික සේවක පිරිසක්‌ එයට බඳවා ගෙන ඇති නිසා ය. මෙසේ බඳවා ගෙන ඇති සේවකයන් අතර දේශපාලන බලය සියතට ගෙන කටයුතු කරන සේවකයෝ ද සිටිති. එය ශ්‍රී ලංගමයේ පරිහානියට බලපෑ වක්‍ර දේශපාලන සාධකයක්‌ සේ ගත හැකි ය.

එහෙත් මෙරට බලයේ සිටි දේශපාලන ව්‍යාපාර හා පක්‌ෂවල ප්‍රතිපත්ති ද ශ්‍රී ලංගමයේ පැවැත්ම සඳහා බෙහෙවින් බලපා ඇති ආකාරය එහි ඉතිහාසයෙන් පෙනේ. මේ සමඟ ඇති 1 සටහන මඟින් පෙනෙන ආකාරයට රාජ්‍ය මඟී ප්‍රවාහන සේවයේ බිඳවැටීමට හේතු වූ මධ්‍යගත ව පැවැති ලංගමය කොටස්‌වලට කැඩීම (1978) හා එක්‌ එක්‌ ඩිපෝ මට්‌ටමින් හුදකලා කර ජනතාසන්තක නමින් සමාගම් බවට පත් කිරීම (1990) සිදු වූ කාලයේ දී බලයේ සිටි දේශපාලන පක්‌ෂ හා ඔවුන් ගේ දක්‌ෂිණාංශික ප්‍රතිපත්ති ද ප්‍රකට කරුණු වේ. එසේ ම ලංගම පිහිටුවීමට (1958) මෙන්ම එය ශ්‍රී ලංගම නමින් යළි පිහිටුවීමට (2005) ද මුල් වූ දේශපාලන ව්‍යාපාර හා ඒ වන විට බලයේ සිටි පක්‌ෂ මොනවා ද යන්න ද අපි දනිමු. ඒවා ප්‍රගතිශීලී ප්‍රතිපත්ති දරන පක්‌ෂ ඇතුළත් සන්ධාන වේ. අවසන් වශයෙන් සඳහන් කළ යුත්තේ මහජන සේවයක්‌ ලෙස ශ්‍රී ලංගම

රැකගැනීමට මේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරය සතු වගකීම අනාගතයට ද අදාළ වන බව ය. ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක මේ සේවයේ පැවැත්ම සඳහා ජනතාව සතු ව ද යම් වගකීමක්‌ තිබේ.



1 සටහන: ශ්‍රීලංගමයේ ඉතිහාසය සැකෙවින්

* 1957 අංක 48 දරන මෝටර් ප්‍රවාහන පනත අනුව 'ලංකා ගමනාගමන මණ්‌ඩලය' (ලංගම) පිහිටුවනු ලබන්නේ 1958 වර්ෂයේ ජනවාරි මස පළමු වැනි දා ය. කොළඹ පාර්ලිමේන්තු චතුරස්‍රයේ දී පැවැත්වූ උත්සවයකින් එතෙක්‌ පෞද්ගලික අංශය සතු ව පැවැති බස්‌රථ සේවා ජන සතු (nationalise) කරන ලදි. එතෙක්‌ පෞද්ගලික අයිතියේ හෙවත් 'බස්‌ මුදලාලිලා ගේ' පාලනය යටතේ පැවැති මඟී ප්‍රවාහනය රජයට පවරා ගන්නා ලද්දේ මහජන ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ය. බස්‌ රථ ප්‍රමාණවත් නො වීම, අක්‍රමවත් සේවය, කාලසටහන් පවත්වා නො ගැනීම, නියමිත ගාස්‌තුවට වඩා මඟීන් ගෙන් අය කිරීම මෙන්ම සේවකයන් ගේ අවිනීත හා අධිකාරී හැසිරීම් වැනි කරුණු පිළිබඳව මහජන පැමිණිලි තිබීම සහ 1956 බලයට පත් රජයේ මැතිවරණ පොරොන්දුවක්‌ වීම පෞද්ගලික බස්‌ රථ සේවය ජන සතු කිරීම සඳහා මුල් වූ බව පෙනේ. මේ අනුව එතෙක්‌ කල් සමාගම් 76ක පාලනය යටතේ මාර්ග 1200ක ධාවනය වූ බස්‌රථ 3400ක්‌ පමණ ප්‍රමාණයක්‌ ද සේවකයන් 15000ක්‌ පමණ ද රජයට අනුයුක්‌ත කරන ලදි.

* එතෙක්‌ මධ්‍යගත ව පැවැති ලංගම 1978 වර්ෂයේ ජූනි මාසයේ දී විමධ්‍යගත කරන ලදි. ඒ අනුව ප්‍රාදේශීය ගමනාගමන මණ්‌ඩල 9ක්‌ හා ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්‌ඩලයක්‌ (ශ්‍රීලංමගම) පිහිටුවන ලදි. 1979 වර්ෂයේ දී පෞද්ගලික අංශයේ බස්‌ ධාවනය නැවතත් ආරම්භ වීමත් සමඟ රජයේ ප්‍රවාහන සේවයට දැඩි තරගකාරිත්වයකට මුහුණ දීමට සිදු විය. 1978 වර්ෂයේ දී රාජ්‍ය මඟී බස්‌ රථ සේවයේ මිලියන 456ක්‌ ව පැවැති ධාවන කිලෝමීටර් ප්‍රමාණය 1993 වර්ෂය වන විට 276ක්‌ දක්‌වා අඩු වීමෙන් එය පැහැදිලි ය.

* 1990 වර්ෂයේ දී එතෙක්‌ ප්‍රාදේශීය ගමනාගමන මණ්‌ඩල යටතේ පැවැති බස්‌ ඩිපෝ ස්‌වාධීන සමාගම් බවට පත් කිරීම සිදු විය. මේ අනුව ජනතාසන්තක (peoplised) බස්‌ සමාගම් 93ක්‌ පිහිටුවන ලදි.

* මේ ජනතාසන්තක බස්‌ සමාගම් ද දිගින් දිගට ම පාඩු ලැබීම නිසා 1997 වර්ෂයේ දී මේ බස්‌ සමාගම් එක්‌ කර පොකුරු බස්‌ සමාගම් 11ක්‌ පිහිටුවන ලදි. එහෙත් උතුරේ තවදුරටත් ප්‍රාදේශීය ගමනාගමන මණ්‌ඩලයක්‌ හා සමාගමක්‌ ක්‍රියාත්මක විය.

* 2005 අංක 25 දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩල පනත මඟින් නැවතත් රජයට අයත් මඟී ප්‍රවාහන සේවය යළිත් මධ්‍යගත ව ශ්‍රීලංගම පිහිටුවේ.

Source: http://www.vidusara.com/2012/03/28/feature4.html

ජගත් පරිසර විමසුම - 116 (Global Environmental Watch 116)

ධනේෂ් විසුම්පෙරුම

විමසුම - අද තත්ත්වය තුළ අනාගතයේ දී මුහුදු මට්‌ටම මීටර 22කින් ඉහළ යයි?
ප්‍රමුඛ පුවත - ආර්ථික කරුණු නිසා දේශගුණ වෙනස්‌ වීම අමතක වෙමින් තිබේ...
පුවත් සැකෙවින් - ජල දිනයේ අවධානය ආහාර පිළිබඳව / ගුවන් කාබන් බද්දට එරෙහි හඬ ඉහළට / මුහුදු ක්‌ෂීරපායින්ට හානිකර ආක්‌ටික්‌ නැව් ගමනාගමනය
 

විදුසර, 2012-03-28, පි. 11 (Vidusara, 2012-03-28, p. 11)
http://www.vidusara.com/2012/03/28/feature3.html



අද තත්ත්වය තුළ අනාගතයේ දී මුහුදු මට්‌ටම මීටර 22කින් ඉහළ යයි?

දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වන ප්‍රතිවිපාක අතර මුහුදු මට්‌ටම ඉහළ යැම වැදගත් වන්නේ එමඟින් ඇති වන ප්‍රතිවිපාක බරපතළ විය හැකි නිසා ය. මේ ආකාරයෙන් ඉහළ යන මුහුදු මට්‌ටම නිසා වෙරළාසන්න බිම් ප්‍රදේශ මුහුදට බිලි වීම අදාළ ප්‍රදේශයේ පිහිටා ඇති මානව ජනාවාසවලට මෙන්ම ස්‌වාභාවික පරිසරය සඳහා ද හානිකර වේ. විශේෂයෙන් මෙවැනි ප්‍රදේශ අධික ලෙස මානව ජනාවාස පිහිටා ඇති ප්‍රදේශ වන බැවින් මුහුදු මට්‌ටමේ සුළු ඉහළ යැමක්‌ නිසා පවා දැඩි බලපෑම් ඇති විය හැකි නිසා ලෝකයේ මේ ගැන වැඩි අවධානයක්‌ පවතී. මුහුදු මට්‌ටම ඉහළ යන වේගය දින වකවානු සහිතව පෙන්වා දීම මේ අධ්‍යයන අතරින් රැසක අරමුණ වී තිබේ. ඒ අනුව ලෝකයේ විවිධ ප්‍රදේශ මුහුණ දෙන බලපෑම ගැන අදහසක්‌ ලබා ගත හැකි ය.

කෙසේ වෙතත් මුහුදු මට්‌ටම ඉහළ යන ප්‍රමාණය පිළිබඳව ඇති පුරෝකථන හා අනාවැකි අතර ද මතභේද පවතී. විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර්-ආණ්‌ඩු මණ්‌ඩලය (IPCC) මඟින් 2007 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද දේශගුණ ඇගැයීමේ දී පෙන්වා දී ඇත්තේ 2100 වර්ෂය වන විට ලෝකයේ මුහුදු මට්‌ටම ඉහළ යන ප්‍රමාණය සෙන්ටි මීටර් 18ත් 59ත් අතර ප්‍රමාණයකින් විය හැකි බව ය. එහෙත් උක්‌ත ගණනය කිරීම සඳහා ග්ලැසියර දිය වීමෙන් මුහුදට එක්‌ විය හැකි ජල ප්‍රමාණය සලකා බලා නොමැත. ග්ලැසියර දිය වීම පිළිබඳව වඩා මෑත දී කරන ලද අධ්‍යයන ගණනාවකින් පෙන්වා දී ඇත්තේ මුහුදු මට්‌ටම ඉහළ යැම ඊට වඩා ඉහළ විය හැකි බව ය.

මේ අතර ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකක මට්‌ටමේ තබාගත්ත ද, මුහුදු මට්‌ටමේ සැලකිය යුතු තරම් ඉහළ යැමේ අවදානමක්‌ ඇති බව පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. එහෙත් එය ඇති වන්නේ කෙටි කලක්‌ තුළ වේගයෙන් නො ව සෙමින් හා දිගු කාලයක්‌ තුළ ය.

අතීත මුහුදු මට්‌ටම ඉහළ යැමෙන් අදට එළියක්‌

මේ අධ්‍යයනයේ දී අතීතයේ සිදු වූ මුහුදු මට්‌ටම ඉහළ යැම් මත පදනම් ව අනාගතයේ ඇති විය හැකි තත්ත්වය පිළිබඳව පුරෝකථනයක්‌ සිදු කිරීමට කිසියම් උත්සාහයක්‌ දරා තිබේ. ඒ අනුව අදාළ පර්යේෂකයන් විසින් අවධානය යොමු කර ඇත්තේ අදින් වර්ෂ මිලියන 2.7ත් 3.2ත් අතර කාලයකට ඉහත දී පැවැති පශ්චාත් ප්ලයෝසීන (Pliocene) යුගයේ දී පැවැති මුහුදු මට්‌ටම ඉහළ යැම පිළිබඳව ය. අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ඇමෙරිකාවේ, උතුරු පැසිµsක්‌ සාගරයේ හා නවසීලන්තයේ ප්‍රදේශ තුනක එකිනෙකට වෙනස්‌ ස්‌ථාන තුනකින් ලබාගත් අදාළ යුගයට අයත් අවසාදිත තැන්පතුවල කරන ලද විදුම් මඟින් ලබාගත් මූලද්‍රව්‍ය සමස්‌ථානික පිළිබඳ දත්ත ය.

මේ යුගයේ දී ලෝකයේ වායුගෝලයේ පැවැති තත්ත්වය සුවිශේෂී වේ. ඒ කාලයේ දී වායුගෝලයේ පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය වර්තමාන වායුගෝලයේ පවත්නා සාන්ද්‍රණයට සමාන වන අතර මුහුදේ මතුපිට පැවැති උෂ්ණත්වය අද ප්‍රමාණයට වඩා සෙල්සියස්‌ අංශක 2ක්‌ පමණ ඉහළ ය. ඒ අනුව පර්යේෂකයන් ගේ අවධානය යොමු වන්නේ අදාළ කාලයේ දී ලෝකයේ පැවැති මුහුදු මට්‌ටම කෙතරම් ද යන්න පිළිබඳ ව ය. ඒ අනුව එය අදට වඩා මීටර් 22ක්‌ පමණ ඉහළ වන්නට ඇති බව ඔවුන් නිගමනය කර තිබේ. මෙහි දී පෙන්වා දී ඇති පරිදි එවැනි තත්ත්වයක්‌ ඇති වීමට නම් සමස්‌ත ග්‍රීන්ලන්තය හා බටහිර ඇන්ටාක්‌ටිකාවේ ඇති ග්ලැසියර දිය වී ජලය බවට පත් විය යුතු අතර නැඟෙනහිර ඇන්ටාක්‌ටිකාවේ කිසියම් ප්‍රදේශයක අයිස්‌ දිය වීමක්‌ ද ඇති විය යුතු ය.

අනාගතයට ඇති අදාළතාව

මේ හෙළිදරව් කිරීම් අදට වැදගත් වන්නේ එදා පැවැති තත්ත්ව හා සමාන තත්ත්වයක්‌ අද ද ලෝකයේ පවත්නා නිසා ය. මේ අනුව පෙනෙන්නේ හරිතාගාර ආචරණය නිසා ලෝකයේ ඇති වෙමින් තිබෙන උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකක මට්‌ටමේ තබාගත්ත ද මුහුදු මට්‌ටම ඉහළ යැම සැලකිය යුතු මට්‌ටමක්‌ ගනු ඇති බවය. ඒ අනුව ලෝකයේ මුහුදු මට්‌ටම මීටර් 12ත් 22ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව පුරෝකථනය කර තිබේ. එහෙත් එය සිදු වන්නේ දිගු කාලයක්‌ තුළ ය. ඒ සඳහා සියවස්‌ ගණනාවක්‌ හෝ සහස්‍රක ගණනාවක්‌ ගත වීමට ඉඩක්‌ තිබේ. මේ නිසා මිනිසුන්ට අදාළ තත්ත්වයට අනුහුරු වීමටත් ස්‌වාභාවික පරිසරයට ඒ සඳහා පහසුකම් සැලැස්‌වීමටත් අවස්‌ථාවක්‌ ලැබී ඇත.

එහෙත් ලෝකයේ අද ඇති අනෙක්‌ ගැටලුව වන්නේ ලෝකයේ සමස්‌ත උෂ්ණත්ව ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකක මට්‌ටමේ තබා ගැනීමට හැකි වේ ද යන්න ය. මේ වන විට දේශගුණ වෙනස්‌ වීම පවත්නා තත්ත්වය හා එය පාලනය කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව සැලකූ විට මේ පිළිබඳ සැකයක්‌ ඇති වීම සාධාරණ ය. (මූලාශ්‍රය :Geology, DOI: 10.1130/G32869.1)

ආර්ථික කරුණු නිසා දේශගුණ වෙනස්‌ වීම අමතක වෙමින් තිබේ...

දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර ඇති අවධානය ක්‍රමයෙන් අඩු වෙමින් ඇති බව මේ වන විට ඉතා පැහැදිලි ය. මේ පිළිබඳව මෑත කාලයේ සිදු කරන ලද සමීක්‌ෂණ කිහිපයක්‌ මඟින් ද කරුණු අනාවරණය කර තිබේ. එහෙත් මේ සඳහා බලපා ඇති හේතු සාධක සෙවීමට කර ඇති පර්යේෂණ බෙහෙවින් අඩු ය. මෑත දී අමෙරිකාවේ සිදු කර ඇති එවැනි අධ්‍යයනයක්‌ මඟින් ඇමෙරිකානු ජනතාව අතර ඇති වී තිබෙක වෙනස්‌ වීමට මූලික වූ හේතුවක්‌ හඳුනාගෙන තිබේ.

ඇමෙරිකාවේ ජනතාව අතර දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ඇති සැලකිල්ල 2008 වර්ෂයෙන් පසුව බෙහෙවින් අඩු වී ඇති බව එරට තුළ මෑත කාලයේ දී කළ සමීක්‌ෂණ ගණනාවකින් අනාවරණය වී ඇත. මේ සඳහා බලපා ඇති හේතු සෙවීම සඳහා අප මාතෘකා කරගත් මේ අධ්‍යයනය 1980න් පසුව ගත වූ වසර 30ක පමණ කාලයක්‌ තිස්‌සේ මහජනතාව මිහිතල උණුසුම් වීම හා පරිසරය පිළිබඳව දැක්‌වූ ආකල්ප පිළිබඳ ඇති දත්ත විශ්ලේෂණය කිරීමෙන් සිදු කර ඇත. මේ අධ්‍යයනයේ නිගමනය වන්නේ මෙසේ දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ජනතාව අතර ඇති අවධානය අඩු වීමට ප්‍රධාන හේතුව වන්නේ මෑත දී ඇති වූ ආර්ථික අර්බුදය නිසා හටගත් ආර්ථික අනාරක්‌ෂිතතාව බවයි. මේ පිළිබඳව යුරෝපීය රටවලින් ලැබෙන දත්ත ද මීට සමාන ය. එසේ ම මේ අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට මේ පිළිබඳව ඉදිරිපත් ව ඇති අනෙක්‌ හේතු මඟින් මේ ක්‌ෂණික ආකල්පමය වෙනස්‌ වීම පැහැදිලි කිරීම පහසු නො වේ. (මෙවැනි හේතු අතර කෙටිකාලීන කාලගුණ තත්ත්වවල වෙනස්‌වීම්, මාධ්‍ය ආවරණය පක්‌ෂග්‍රාහී වීම, දේශපාලනීකරණය වැනි කරුණු වේ). මේ තත්ත්වය යළිත් වෙනස්‌ වීමට ඉඩක්‌ තිබේ ද? එය එසේ විය හැක්‌කේ රැකියා වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් වීමෙන් පසුව පමණක්‌ බව ද මේ අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය :Global Environmental Change, DOI: 10.1016/j.gloenvcha.2012.01.002&

ජනතාව අතර ඇති අවධානය අඩු වුව හොත් දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ගන්නා උත්සාහය පිළිබඳව නුදුරු අනාගතයේ දී යහපත් වෙනස්‌කමක්‌ ඇති කිරීමට ජගත් මට්‌ටමේ දී සිදු කරන බලගැන්වීම් අසීරු මට්‌ටමකට පැමිණීමට ඉඩක්‌ තිබේ. විශේෂයෙන් මේ හා සම්බන්ධව ඉදිරියෙන් සිටින යුරෝපා සංගමයේ පවා මෙවැනි තත්ත්වයක්‌ ඇති වුව හොත් එය ගැටලුසහගත විය හැකි ය. අප සැම දා පෙන්වා දී ඇති පරිදි දේශගුණ වෙනස්‌වීමේ අයහපත් ප්‍රතිඵල වැඩි වශයෙන් භුක්‌ති විඳින්නේ දියුණු වන රටවල වැසියන් ය.

පුවත් සැකෙවින්

ජල දිනයේ අවධානය ආහාර පිළිබඳව

මාර්තු මස 22 වැනි දිනට යෙදුණු ලෝක ජල දිනයට පසුගිය සතියේ දී ලෝකයේ අවධානය යොමු විය. මේ වර්ෂයේ " එහි තේමාව සේ යොදාගන්නා ලද්දේ ආහාර සුරක්‌ෂිතතාවය සහ ජලය (Water and Food Security) යන්න ය. ජලය ලෝකයේ ආහාර සුරක්‌ෂිතතාව සඳහා වැදගත් වේ. ජලය ආහාර නිෂ්පාදනය සඳහා ඇති වැදගත් හා සීමාකාරී සාධකයක්‌ ද වේ. මේ නිසා ආහාර සුරක්‌ෂිතභාවය පිළිබඳ කෝණයකින් ජලය පිළිබඳව සැලකිල්ලක්‌ දැක්‌වීම වැදගත් වේ. ජගත් මට්‌ටමේ දින සැමරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාව හා අදාළ සියලු පාර්ශ්ව අතර දැනුවත් කිරීම් ප්‍රවර්ධනය බැවින් මෙය ඉතා වැදගත් බව අපේ හැඟීමයි.

මේ අනුව ලෝක ජල දිනය සමරා රටවල් රැසක විවිධ මට්‌ටමේ වැඩසටහන් උත්සව පවත්වන ලදි.

ගුවන් කාබන් බද්දට එරෙහි හඬ ඉහළට

යුරෝපා සංගමය ගුවන් ප්‍රවාහනයේ දී නිකුත් වන කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන සඳහා බද්දක්‌ නියම කිරීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් එල්ල වන විරෝධය ද ඉහළ යමින් ඇති බව පෙනේ. නිදසුනක්‌ ලෙස ඉන්දියාව තම ගුවන් සමාගම්වලට අදාළ ගෙවීම් නො කරන සේ දැනුම් දී තිබේ. මේ වන විට ගුවන් සමාගම්වලට තම විමෝචන තොරතුරු දැනුම් දෙන ලෙස යුරෝපා සංගමය දැනුම් දී ඇතත්, රජයේ ප්‍රතිපත්තිය නිසා කිසිදු සමාගමක්‌ ඊට අනුකූලතාව නො දක්‌වනු ඇතැයි පෙන්වා දී තිබේ. එසේ ම කාබන් ද මිල දී නො ගන්නා ලෙස දේශීය ගුවන් සමාගම්වලට දැනුම් දී තිබේ.

මේ අතර දකුණු අප්‍රිකාවේ අමාත්‍යවරයෙක්‌ අදාළ කාබන් බද්ද ක්‍රියාත්මක කිරීම වසර දෙකකට අත්හිටුවන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් මේ වැඩපිළිවෙළ යහපත් එකක්‌ බවත්, ඒ නිසා ඇති වන මිල ඉහළ යැම සැලකිය යුතු තරම් නො වන බවත් පෙන්වා දී තිබේ. යුරෝපා සංගමය පසු වන්නේ තම ස්‌ථාවරය වෙනස්‌ නො කරන අදිටනක ය. ඔවුන් පවසන්නේ දශකයකටත් වැඩි කලක්‌ තිස්‌සේ ඔවුන් ජගත් මට්‌ටමෙන් මෙවැනි වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වී ඇති බැවින් යුරෝපා මට්‌ටමෙන් මෙය දියත් කර ඇති බව ය.

මුහුදු ක්‌ෂීරපායින්ට හානිකර ආක්‌ටික්‌ නැව් ගමනාගමනය

ආක්‌ටික්‌ සාගරයේ දැකිය හැකි පා වන අයිස්‌ මට්‌ටම අඩු වීම සමඟ ඒ හරහා සිදු වන නැව් ගමනාගමනය ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. උතුරු අර්ධගෝලයේ ග්‍රීෂ්ම හා සරත් සෘතු කාලයේ සාගරයේ දැකිය හැකි පා වන අයිස්‌ මට්‌ටම බෙහෙවින් තුනී වේ. එහෙත් මේ නිසා අදාළ ප්‍රදේශයේ වාසය කරන තල්මහ, වෝල්රස්‌ හා හිම වළසුන් වැනි සමුද්‍ර ක්‌ෂීරපායින්ට ඇති තර්ජනය ඉහළ යා හැකි බව පෙන්වා දී තිබේ. මේ බව හෙළි වී ඇත්තේ ස්‌වදේශික ජන කොටස්‌ හා රාජ්‍ය නො වන සංවිධානයක්‌ විසින් මෑත දී ඇලස්‌කාවේ පවත්වන ලද සමුළුවක දී ය. මේ ක්‌ෂීරපායී සතුන්ට ඇති හානිය පිළිබඳව අවධානය යොමු කිරීමට මේ සමුළුව කැඳවා තිබිණි.

මේ ආකාරයෙන් තර්ජනයට ලක්‌ වන ඇතැම් සමුද්‍ර ක්‌ෂීරපායින් මේ ප්‍රදේශවල වැසියන් ගේ ආහාර සැපයුමේ වැදගත් තැනක්‌ ගැනීම මෙහි ඇති තවත් වැදගත්කමක්‌ වේ.

Source: http://www.vidusara.com/2012/03/28/feature3.html

Thursday, March 22, 2012

ජගත් පරිසර විමසුම - 115 (Global Environmental Watch 115)

ජගත් පරිසර විමසුම - 115
ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-03-21, පි. 11 (Vidusara, 2012-03-21, p. 11)
http://www.vidusara.com/2012/03/21/feature3.html

පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය: වර්ධනය හා අභියෝග


පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය යනු බලශක්‌ති ක්‌ෂේත්‍රයේ අනාගතය සේ හැඳින්විය හැකි ය. අප එසේ පවසන්නේ ලෝකයේ භාවිත වන ප්‍රධාන බලශක්‌ති ප්‍රභව සියල්ල ම පාහේ සීමාසහිත සම්පත් වන බැවින් හා ඒවා දැනටමත් ක්‌ෂය වෙමින් පවත්නා බැවිනි. වර්තමාන ලෝකයේ බලශක්‌ති අර්බුදයක්‌ දැකිය හැකි ය. ඊට ඇතැම් රටවල වැසියන් ගේ අධික බලශක්‌ති භාවිතය ද හේතුවක්‌ වී ඇති නමුත්, පෙර කී ක්‌ෂය වෙමින් ඇති ඉන්ධන වැඩි වශයෙන් භාවිත වන නිසා මිනිසාට අවශ්‍ය බලශක්‌ති සැපයුම ලබා ගැනීමේ දී පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය භාවිතය වැදගත් ය. මෙහි දී ජල විදුලිය, සුළං බලය හා සූර්ය බලශක්‌තිය වඩා වැදගත් තැනක්‌ ගනියි. මේවා පිරිසිදු බලශක්‌ති ප්‍රභව වීම නිසා ඒවායේ ඇති වැදගත්කම ද ඉහළ ය.

මේ අංශයේ මෑත කාලයේ දී දැකිය හැකි වූ වර්ධනය පිළිබඳ වාර්තාවක්‌ හා අංශයේ අභියෝග පිළිබඳ පුවත් කිහිපයක්‌ පසුගිය දා වාර්තා වී තිබිණි. සතියේ විමසුම තුළින් ඒ ගැන අවධානය යොමු කිරීමට අපි අදහස්‌ කරමු.

පිරිසිදු බලයේ වර්ධනය

පසුගිය දා ප්‍රකාශයට පත් වූ වාර්තාවකට අනුව 2011 වර්ෂය පිරිසිදු බලශක්‌ති අංශයේ වර්ධනයට බොහෝ සේ හිතකර බව පෙනෙන්නට තිබේ. ඒ අනුව අදාළ වර්ෂයේ දී සූර්ය කෝෂ, සුළං බලය හා ජෛව ඉන්ධන යන අංශවල සියයට 31ක පමණ වර්ධනයක්‌ ඇති වී තිබේ. සූර්ය බලයේ සියයට 29ක වර්ධනයක්‌ ද, සුළං බලයේ සියයට 18ක වර්ධනයක්‌ ද ඇති වී තිබේ. (මූලාශ්‍රයCleanEnergy Trends 2012, http://cleanedge.com/reports/clean-energy-trends-2012&

මේ අතර අපට කියෑවීමට ලැබුණු තවත් පුවතකට අනුව 2011 වර්ෂයේ දී මෙගවොට්‌ 41,000ක පමණ ධාරිතාවක්‌ ඇති සුළං ටර්බයින ලෝකය පුරා ස්‌ථාපිත කර තිබේ. ඒ අනුව සමස්‌ත ස්‌ථාපිත ධාරිතාව මෙගාවොට්‌ 238,000ක්‌ පමණ වේ. මේ අනුව යුරෝපයේ විදුලි භාවිතය කරන මට්‌ටමින් සලකන්නේ නම්, ලෝක ජනගහනයෙන් මිලියන 380ක පමණ පිරිසක ගේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට තරම් මේ බලශක්‌ති සැපයුම ප්‍රමාණවත් ය. ඒක පුද්ගල බලශක්‌ති පරිභෝජනය තවදුරටත් තිරසර කළ හැකි නම්, මේ ඉලක්‌කම තවත් ඉහළ නැංවිය හැකි බව ඉතා පැහැදිලි ය.

මේ වන විට ලෝකයේ රටවල් 80ක පමණ සුළං විදුලි ජනක ස්‌ථාපනය කර තිබේ. 2010 වර්ෂයේ දී ලෝකයේ වැඩි ම සුළං බලශක්‌තියක්‌ ස්‌ථාපනය කර ඇත්තේ චීනයයි. ඔවුන් මේ අංශයේ මුල් තැන ගන්නේ වසර කිහිපයක පටන් ය. ඇමෙරිකාව මේ අංශයෙන් දෙවැනි ස්‌ථානයේ පසු වේ. කෙසේ වෙතත් තම රටේ බලශක්‌ති සැපයුමෙන් වැඩි ම ප්‍රමාණයක්‌ සුළං බලය මඟින් ලබාගන්නේ ඩෙන්මාර්කයයි. ඒ ප්‍රමාණය මුළු බලශක්‌ති සැපයුමෙන් සියයට 25ක්‌ තරම් වේ. 2011 හා 2016 අතර කාලයේ දී ලෝකයේ සුළං බලශක්‌ති භාවිතය දෙගුණයකින් පමණ වර්ධනය වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.

අභියෝග නැති වා නො වේ
කෙසේ වෙතත් පිරිසිදු බලශක්‌තිය හමුවේ අභියෝග නැති වා නො වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, පෙර සඳහන් කළ වාර්තාව ම පෙන්වා දෙන පරිදි අවශ්‍ය තරම් ආයෝජන මේ අංශයේ සිදු නො වන බවක්‌ ද දැකිය හැකි ය. එසේ ම මෑත කාලයේ දැකිය හැකි වූ ප්‍රවණතා අනුව තවත් අභියෝග ඇති බවක්‌ පෙනේ.

ලෝකයේ සූර්ය බලය වැඩි වශයෙන් භාවිත කරන රටක්‌ වන ජර්මනියේ ඒ පිළිබඳව ගැටලු සහිත තත්ත්වයක්‌ ඇති වී තිබේ. ජර්මනිය ලෝකයේ ස්‌ථාපිත සූර්ය කෝෂ අතරින් තුනෙන් එකත් අඩකුත් අතර ප්‍රමාණයක්‌ ස්‌ථාපනය කර ඇති රටයි. එහෙත් සූර්ය බලශක්‌තිය සඳහා ලබා දී ඇති සහන අඩු වෙමින් පවැතීම එරට තුළ ගැටලු ඇති වීමට හේතුවයි. ලබන වසරේ දී සහනාධාර සියයට 30කින් පමණ කපා හැරීමට නියමිත ය. මේ නිසා සමාගම් බංකොලොත් වීමට හා සේවක රැකියා අහිමි වීමට පවා ඉඩ ඇති බව වාර්තා විය.

ජර්මනියේ ඇති අනෙක්‌ ගැටලුව වන්නේ සූර්ය බලය එහි උපරිම ක්‌ෂමතාවෙන් ජනනය කිරීමට තරම් වූ සූර්යාලෝකයක්‌ එරටට ලැබෙන්නේ ද යන්න ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ස්‌පාඤ්ඤයට ජර්මනිය මෙන් තුන් ගුණයක්‌ තරම් සූර්යාලෝකයක්‌ ලැබේ. මේ නිසා සූර්ය බලශක්‌තිය භාවිතය ස්‌පාඤ්ඤයේ දී වඩා ලාබදායක ය.

මේ අතර 2020 සඳහා ඇති කර තිබෙන පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය පිළිබඳ ඉලක්‌ක සම්පූර්ණ කිරීම ප්‍රායෝගිකව කළ හැකි වුවත්, යුරෝපා සංගමය 2020න් පසු කාලය සඳහා ඉලක්‌ක නිශ්චිතව ප්‍රකාශ කිරීම නො කළ යුතු බව බ්‍රිතාන්‍ය රජය පෙන්වා දී තිබේ. මේ නිසා අදාළ අංශයේ කර්මාන්ත 2020න් පසු කාලය සඳහා රජයේ සැලසුම් දක්‌වන මෙන් ඉල්ලා තිබේ.

අනාගතය යහපත් වීමට නම්

පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය තවමත් මිලෙන් අධික වීම මේ තත්ත්වය සඳහා බලපා ඇති මූලික හේතුව බව පෙනේ. ඒ නිසා රජයේ සහන හා තාක්‌ෂණික සහය අදාළ අංශවලට දිගින් දිගට ම අවශ්‍ය වී ඇත. එසේ ම තවමත් ෆොසිල ඉන්ධන සඳහා ද ඇතැම් රටවල විශාල සහන ලබා දී ඇති නිසා ඊට වඩා තිරසර පිරිසිදු ඉන්ධන සඳහා සහන ලබා දීම එතරම් ගැටලුවක්‌ නො විය හැකි ය. එහෙත් ලෝක දේශපාලනය තවමත් තීරණ ගන්නේ පරිසරයට ලැබිය යුතු මුල් තැන ලබා දී නො වේ.


පියස්‌සේ වර්ණය හා උණුසුම

සාමාන්‍යයෙන් ගොඩනැඟිලිවල පියෑසි සඳහා භාවිත වන්නේ තද පැහැයෙන් යුක්‌ත වර්ණ ය. එහෙත් මෙහි දී පියස්‌සේ හා ගොඩනැඟිලි තුළ උෂ්ණත්වය ඉහළ යැම එහි අවාසිදායක තත්ත්වයකි. එසේ සිදු වන්නේ කළු හෝ තද පැහැගත් ද්‍රව්‍ය මඟින් සූර්යාලෝකයේ වැඩි තාපයක්‌ අවශෝෂණය කිරීම නිසා ය. එහෙත් පියෑස්‌ස ආවරණය සඳහා ළා පැහැ වර්ණ ඇති ද්‍රව්‍ය යොදා ගැනීම මඟින් ගොඩනැඟිලි තුළ උෂ්ණත්වය අඩු කිරීමට හැකියාව තිබේ. සුදු හා ළා පැහැය මඟින් අඩු තාපයක්‌ අවශෝෂණය කිරීම මේ සඳහා හේතු වේ. මේ නිසා දැන් දැන් ලෝකයේ රටවල් ගණනාවක මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ඇමෙරිකාවේ නිව්යෝක්‌ නගරය මෙවැනි එක්‌ නගරයකි. ඒ නගරයේ ක්‍රියාත්මක වන නියමු වැඩසටහනක්‌ යටතේ සුදු පැහැ පියෑසි යොදාගැනීම ප්‍රචලිත වෙමින් ඇත. ඇමෙරිකාවේ නිව්යෝක්‌ නගරයේ සිදු කරන ලද අධ්‍යයනයක්‌ මඟින් මේ වර්ණ යොදාගැනීමෙන් ඇති විය හැකි වෙනස පර්යේෂණාත්මකව පෙන්වා දීමට හැකි වී තිබේ. 2011 වර්ෂයේ ජුලි මාසයේ 22 වැනි දින, එනම් තාප ප්‍රවාහයක්‌ වාර්තා වූ දිනයේ ඒ නගරයේ වැඩි ම උෂ්ණත්වයක්‌ වාර්තා විය. මේ දිනයේ සුදු පැහැයෙන් යුක්‌ත පියස්‌සක්‌ මතුපිට පැවැති උෂ්ණත්වය තද පැහැගත් පියස්‌සකට වඩා සෙල්සියස්‌ අංශක 23.6ක්‌ තරම් ප්‍රමාණයකින් අඩු වූ බව හෙළි වී ඇත. අනෙක්‌ උණුසුම් දිනවල දී ද සුදු පැහැ පියෑසි ආශ්‍රිතව දැකිය හැකි වූයේ අඩු උෂ්ණත්වයකි.

මේ කරුණෙහි ඇති වැදගත්කම වන්නේ ළා පැහැ පියස්‌සක්‌ යොදාගැනීමෙන් නාගරික උෂ්ණ දූපත් (urban heat island) බලපෑම වැළැක්‌වීමට අවස්‌ථාවක්‌ ලැබීමයි. නගරවල භාවිත වන විවිධ ද්‍රව්‍ය මඟින් තාපය වැඩි වශයෙන් අවශෝෂණය කිරීම නිසා මේ තත්ත්වය ඇති වේ. එහෙත් මේ ළා පැහැ පියෑසි නිසා අදාළ බලපෑම අඩු කිරීමට අවස්‌ථාවක්‌ ලැබී තිබේ. ඒ සඳහා විශේෂිත දැනුමක්‌ ඇති සේවකයන් අවශ්‍ය නො වන නිසා මෙය ප්‍රායෝගික වශයෙන් ද වැදගත් වේ.

එමෙන්ම උෂ්ණත්වය ඉහළ යන විට නිවාස හා වෙනත් ගොඩනැඟිලි සිසිල් කිරීම සඳහා අධික විදුලියක්‌ වැය වන බැවින් මෙවැනි උපක්‍රම යොදාගැනීමෙන් අදාළ නිවාසවල විදුලි භාවිතය අඩු කළ හැකි වේ. එය අදාළ නගරයේ හෝ ප්‍රදේශයේ හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ද හේතුවක්‌ වේ. (මූලාශ්‍රයEnvironmental Research Letters,DOI: 10.1088/1748-9326/7/1/014029&

පුවත් සැකෙවින්

කාබන් බද්දට ඇමෙරිකාවේ විද්වතුන් ගේ සහාය


ගුවන් ප්‍රවාහනයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන සඳහා බද්දක්‌ ඇති කිරීමට යුරෝපා සංගමය ගෙන ඇති තීරණය පිළිබඳව අපි මේ තීරුව ඔස්‌සේ සාකච්ඡා කළෙමු. මේ මුලපිරීමේ තිබෙන යහපත් ප්‍රතිලාභ සම්බන්ධව මෙන්ම, ඊට විරුද්ධ ව සිටින රටවල් පිළිබඳව ද ඒ නිසා ඇති වී තිබෙන ගැටලුසහගත තත්ත්වය පිළිබඳව ද වරින්වර පෙන්වා දෙන ලදි.

ඇමෙරිකාව මේ කාබන් බද්ද ගැන විරෝධය දක්‌වන රටවල් අතර වේ. එහෙත් ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයන් විසි හය දෙනකු එක්‌ ව මෑතක දී එරට ජනාධිපතිවරයා වෙත ලිපියක්‌ යවමින් අදාළ විරෝධය ඉවත් කර ගන්නා මෙන් ඉල්ලා තිබේ. ඔවුන් පෙන්වා දෙන ආකාරයට යුරෝපා සංගමය විසින් සිදු කරනු ලැබ ඇත්තේ ඉහළ යමින් ඇති ගුවන් ප්‍රවාහන විමෝචන පාලනය කිරීමට ගත හැකි වැදගත් ම උත්සාහයයි. මේ පිරිසට නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයන් පස්‌ දෙනකු අයත් වීම ද විශේෂිත ය.

මේ අතර යුරෝපා සංගමයේ රටවල් මේ සම්බන්ධව දැඩි ස්‌ථාවරයක සිටින බව පෙනේ. ඔවුන් පවසන පරිදි ජාත්‍යන්තර සිවිල් ගුවන් ප්‍රවාහන සංවිධානය (ෂCAධ) ගුවන් ප්‍රවාහන විමෝචන පාලනය සම්බන්ධව විකල්පයක්‌ ඉදිරිපත් කරන්නේ නම් පමණක්‌ මේ බද්ද ගැන සලකා බැලීමට ඔවුන් සූදානම් ය.


සමනළයන්ට හානි කරන වල්පැළෑටි නාශක

සුලබව භාවිත කරනු ලබන වල්පැළෑටි නාශක තුනක්‌ ඇමෙරිකාවේ වාසය කරන සමනළ විශේෂයක ගහනවලට බරපතළ බලපෑම් සිදු කරන බව පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් හෙළි වී තිබේ. ඒ ට්‍රයික්‌ලෝරපිර් (Triclopyr), සෙතොක්‌සයිඩිම් (Sethoxydim) හා ඉමාසාපිර් (Imazapyr) නම් රසායන ද්‍රව්‍ය තුනක බලපෑම් පිළිබඳවයි. මේවායේ සාමාන්‍යයෙන් භාවිත කරනු ලබන මාත්‍රාවට නිරාවරණය වූ විට අදාළ සමනළ විශේෂයේ පිලා අවස්‌ථාවේ සිට සුහුඹුල් අවස්‌ථාවට පත් වන පිලවුන් ප්‍රමාණය සියයට 24ත් 36ත් අතර ප්‍රමාණයකින් අඩු වේ. එසේ ම මේ රසායන ද්‍රව්‍ය අදාළ සමනළයන්ට බලපාන ආකාරය එකිනෙකින් වෙනස්‌ ය.

මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන තවත් කරුණක්‌ වන්නේ ඒ ප්‍රදේශයේ ම වාසය කරන, මේ විශේෂයට සමීප නෑකමක්‌ ඇති වඳ වීමේ තර්ජනයකට ලක්‌ ව සිටින වෙනත් සමනළ විශේෂයකට ද සමාන ආකාරයෙන් බලපෑමට හැකි බව ය. (මූලාශ්‍රයEnvironmental Pollution, DOI: 10.1016/j.envpol.2012.01.011)


බ්‍රිතාන්‍යයේ බැජරයන් මරා දැමීම

බ්‍රිතාන්‍යයේ ජීවත්වන බැජරයන් නමින් හඳුන්වන ක්‌ෂීරපායී සතුන් ගේ ගහනය පාලනය කිරීම සඳහා නිශ්චිත ප්‍රදේශවල සිටින සතුන් තෝරා මරා දැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන් යම් මතගැටුමක්‌ ඇති වී තිබේ. එහි අරමුණ වන්නේ ගවයන් අතර ඇති වන ක්‌ෂයරෝගය පාලනය කිරීම සඳහා තෝරාගත් ප්‍රදේශවල ජීවත් වන බැජර ගහනය සියයට 70කින් පමණ අඩු කිරීමයි. ගව ක්‌ෂය රෝගය වැළඳීම නිසා ගවයන් දස දහස්‌ ගණනක්‌ තරම් වාර්ෂිකව මිය යන අතර එහි ආර්ථික බලපෑම පවුම් මිලියන සියයක්‌ පමණ බව ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් මීට එරෙහිව ද මතයක්‌ ගොඩනැඟී ඇත. එහි දී පෙන්වා දී ඇත්තේ මේ ආකාරයෙන් බැජරයන් මරා දැමීම උක්‌ත රෝගය පාලනය කිරීමේ පිරිවැය ඵලදායී විසඳුමක්‌ නො විය හැකි බවයි. එසේ ම ඔවුන් සාමාන්‍ය වාසස්‌ථාන ප්‍රදේශවලින් පිටතට යැම නිසා ගව ක්‌ෂය රෝගය වෙනත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත වීමේ අවදානමක්‌ ද ඇති බව පෙන්වා දී තිබේ.

Monday, March 19, 2012

ජගත් පරිසර විමසුම - 114 (Global Environmental Watch 114)

Published in: Vidusara, 2012-03-12, p. 11
http://www.vidusara.com/2012/03/14/feature3.html

ප්‍රතිස්‌ථාපනයේ දී සොබාදහමට ඉඩ දීම වඩා සාර්ථකයි

පාරිසරික පද්ධති ප්‍රතිස්‌ථාපනය අද ලෝකයේ අවධානයට යොමු වී ඇති එක්‌ ක්‍රියාදාමයකි. මෙහි දී සිදු වන්නේ හායනයට ලක්‌ ව ඇති පරිසර පද්ධති නැවතත් මුල් තත්ත්වයට ගෙන ඒම සඳහා මිනිසුන් මැදිහත් ව කටයුතු කිරීමයි. පරිසර පද්ධතිවලින් ඉටු වන පුළුල් සේවා පිළිබඳව සැලකූ විට මේ ක්‍රමවේදයේ වැදගත්කම සැලකිය යුතු වේ. මේ ක්‍රියාවලිය වැඩි වශයෙන් දැකිය හැක්‌කේ වනාන්තර හා තෙත්බිම් වැනි වැඩි බලපෑමකට ලක්‌ ව ඇති පරිසර පද්ධතිවල ය.

ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ රටේ ද මෙවැනි පරිසර පද්ධති ප්‍රතිස්‌ථාපනය කිරීමට ගන්නා ප්‍රයත්න විශාල ලෙස දැකිය හැකි ය. මේවා ඇතැම් විට ජෛවවිවිධත්වය පිළිබඳව සැලකිල්ලට ගෙන කරනු ලබන අතර ඇතැම් විට පරිසර පද්ධති සේවා වැනි වඩා පුළුල් අරමුණු ඇති ව සිදු කරනු ලබන ඒවා ය. නිදසුනක්‌ ලෙස කාබන් තිර කිරීම වැනි වර්තමාන අවශ්‍යතා දැක්‌විය හැකි ය.

කෙසේ වෙතත් මෙවැනි ඇතැම් අවස්‌ථාවල දී සිදු වන්නේ ස්‌වාභාවික හා විද්‍යාත්මක තත්ත්ව සැලකිල්ලට නො ගෙන සිදු කරන ප්‍රතිස්‌ථාපන කටයුතු ය. ඒවා ඇතැම් විට හුදෙක්‌ මුදල් වියදම් කිරීම සඳහා පමණක්‌ සිදු කරනු ලබන කටයුතු වේ. එවැනි ප්‍රතිස්‌ථාපන කටයුතු ඇතැම් විට අසාර්ථක වේ. අපේ අද අවධානය යොමු වන්නේ මිනිසුන් විසින් ප්‍රතිස්‌ථාපනය කරනු ලබනවාට වඩා ස්‌වාභාවිකව එය සිදු වීමට ඉඩ හැරීම වඩා ඵලදායී බව පෙන්වන මෑත දී ප්‍රකාශයට පත් පරීක්‌ෂණයක්‌ පිළිබඳ ව ය.

වසර 15ක අධ්‍යයනයක්‌

මෙහි දී ඇමෙරිකාවේ ඔහායෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයීය භූමියේ පිහිටා තිබූ වගුරු බිමක්‌ ප්‍රතිස්‌ථාපනය වීමට අවස්‌ථාව ලබා දී තිබේ. අදාළ වගුරු බිම කොටස්‌ දෙකකට බෙදා ඇති අතර ඉන් එක්‌ ප්‍රදේශයක 1994 වර්ෂයේ දී පමණ තෙත්බිම් වෘක්‌ෂලතා සිටුවා ප්‍රතිස්‌ථාපනය කර තිබේ. අනෙක්‌ කොටස ස්‌වාභාවිකව ප්‍රතිස්‌ථාපනය වීමට අවස්‌ථාව සලසා ඇත. හෙක්‌ටයාර එකක පමණ විශාලත්වයකින් යුක්‌ත වූ මේ තෙත්බිම් පරිසර පද්ධති දෙක ම තෙත්බිම් වශයෙන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට ජලය සැපයීමට පමණක්‌ ඔවුන් ක්‍රියා කර තිබේ.

මේ භූමි ප්‍රදේශ දෙක පිළිබඳව ඉන් වසර පහළොවකට පමණ පසු යළි අධ්‍යයනය කර තිබේ. මෙහි දී හෙළි වී ඇත්තේ තෙත්බිමේ මුල් තත්ත්වය කෙබඳු වුවත්, භූමියේ පසු කාලීන තත්ත්වය සඳහා එය එතරම් බලපෑමක්‌ නො කරන බව ය. මුලින් මිනිසුන් එහි සැලසුම සඳහා සම්බන්ධ වුවත් පසුව කාලයත් සමඟ එය ස්‌වාභාවිකව තීරණය වන බව පෙනී ගොස්‌ තිබේ.

ප්‍රතිස්‌ථාපනයේ විශේෂතා


මේ තෙත්බිම් දෙකේ දැකිය හැකි තත්ත්ව පිළිබඳ සංසන්දයක්‌ වසර පහළොවකට පසු සිදු කර ඇත. මේ තෙත්බිම් දෙකෙන් වැඩි ප්‍රජා විවිධත්වයක්‌ දැකිය හැකි වී ඇත්තේ සිටුවනු ලැබූ තෙත්බිමේ ය. කෙසේ වෙතත් එහි මුලින් සිටුවූ දේශීය ශාක 13ක්‌ අතරින් වසර 15කට පසු දැකිය හැකි වී ඇත්තේ ශාක 9ක්‌ පමණකි. එසේ ම ස්‌වාභාවිකව ප්‍රතිස්‌ථාපනය වූ තෙත්බිමේ මේ ශාක අතරින් වසර පහළොවකට පසු දැකිය හැකි වී ඇත්තේ 2ක්‌ පමණකි. එහෙත් මේ තෙත්බිම් දෙකේ දැකිය හැකි සමස්‌ත ශාක ප්‍රමාණය ආසන්න වශයෙන් සමාන මට්‌ටමක පවතී. එසේ ම මේ කාලය තුළ දී සෙසු ජෛවවිවිධත්වය අතින් ද මේ තෙත්බිම් දෙක ම ඉහළ තත්ත්වයකට පැමිණ තිබේ.

කෙසේ වෙතත් ස්‌වාභාවිකව ප්‍රතිස්‌ථාපනය වූ තෙත්බිමේ නිෂ්පාද්‍යතාව සිටුවනු ලැබූ තෙත්බිමට වඩා අධික ය. මුල දී එහි කාබනික ද්‍රව්‍ය නිෂ්පාද්‍යතාව අඩු වුවත් පසුව එය සිටුවනු ලැබූ තෙත්බිමට වඩා වැඩි වී තිබේ. වසර 15 අවසානයේ දී ඒ අගය මෙගා ග්‍රෑම් 8ක්‌ පමණ ඉහළ මට්‌ටමක තිබී ඇත. එය සැලකිය යුතු වෙනසකි. එසේ ම ස්‌වාභාවික ප්‍රතිස්‌ථාපනයට ලක්‌ වූ තෙත්බිමේ තිර කරනු ලැබ ඇති කාබන් ප්‍රමාණය වර්ග මීටරයට වර්ෂයකට ග්‍රෑම් 266ක්‌ පමණ වන අතර සිටුවනු ලැබූ තෙත්බිමේ එය ග්‍රෑම් 219ක්‌ පමණ විය. කෙසේ වෙතත් මේ මට්‌ටම ස්‌වාභාවික තෙත්බිමකට වඩා ඉහළ අගයක්‌ ගැනීම වැදගත් වේ.

ස්‌වාභාවික තෙත්බිමේ දැකිය හැකි වූ එක ම අඩුපාඩුව වූයේ එයින් පිට වන මීතේන් ප්‍රමාණය අනෙක්‌ තෙත්බිමට වඩා ඉහළ වීම පමණි. එහෙත් මේ තෙත්බිමේ දැකිය හැකි ඉහළ කාබන් තිර කිරීමේ වේගය නිසා ඉන් මීතේන් නිසා ඇති වන පාඩුව පිරිමසාගත හැකි ය.

සෙසු පරිසර පද්ධති සේවා පිළිබඳව සැලකීමේ දී මේ තෙත්බිම් දෙකේ ම දැකිය හැකි වී ඇත්තේ බොහෝ දුරට සමාන තත්ත්වයකි. කෙසේ වෙතත් අවශ්‍ය සියලු තත්ත්ව සම්පූර්ණ කරන බැවින් තෙත්බිම් ප්‍රතිස්‌ථාපනයේ ඇති වැදගත්කම මේ අධ්‍යයනය තුළින් යළිත් තහවරු කර ඇත. (මූලාශ්‍රය BioScience,DOI: 10.1525/bio.2012.62.3.5)

ප්‍රතිස්‌ථාපනයේ දී ස්‌වභාවයට ඉඩ දීම

මේ අධ්‍යයනය එක්‌ ස්‌ථානයක සිදු කරන ලද තරමක්‌ දිගුකාලීන අධ්‍යයනයක්‌ වුවත් ඒ පිළිබඳව සටහන් කළ යුතු යෑයි අප සිතුවේ ස්‌වභාවධර්මයේ විශිෂ්ටත්වය මෙයින් යළිත් තහවුරු වන නිසා ය. ස්‌වභාව ධර්මය විශිෂ්ට නිර්මාණකරුවෙක්‌ වේ. අනෙක්‌ අතට සොබාදහම අනුකරණය කරමින් මිනිසුන් විසින් සිදු කරනු ලබන පාරිසරික ප්‍රතිස්‌ථාපන කටයුතුවල දී පවා ස්‌වභාවය මිනිසුන්ට වඩා ඉදිරියෙන් සිටියි. මේ අනුව පාරිසරික ප්‍රතිස්‌ථාපනයේ දී හැකි හැම විට ම අවශ්‍ය මූලික තත්ත්ව සැපයීම පමණක්‌ සිදු කිරීම ප්‍රමාණවත් බව පෙනේ. සෙසු වර්ධනය ස්‌වාභාවිකව සිදු විය හැකි ය. මෙය වැදගත් වන්නේ ප්‍රතිස්‌ථාපන කටයුතුවල දී මූල්‍ය ප්‍රතිපාදන සීමාකාරී වන බැවිනි.

ජපාන න්‍යෂ්ටික අනතුරේ පළමු සංවත්සරය

පසුගිය ඉරු දින, එනම් මාර්තු 11 වැනි දා, ජපාන වැසියෝ ටොහොකු භූමිකම්පාවේ හා සුනාමියේ පළමු සංවත්සරය අනුස්‌මරණය කළ හ. එදින රට පුරා පුරා ජනතාව මේ අනතුරින් මිය ගිය හා අතුරුදන් වූ විසි දහසක පමණ පිරිස සිහිපත් කළ බව මාධ්‍ය වාර්තාවල පළ විය.

මේ භූමිකම්පාවේ නම එතරම් ප්‍රකට එකක්‌ නො වේ. එය ලෝකය පුරා ප්‍රසිද්ධ වූයේ එහි බලපෑම නිසා ඇති වූ වඩාත් භයානක අනතුරක්‌ නිසා ය. ඒ ෆුකුෂිමා ප්‍රදේශයේ පිහිටා තිබූ න්‍යෂ්ටික බලාගාරයක ඇති වූ අනතුරයි. භූමිකම්පාවේ හා සුනාමියේ බලපෑම නිසා ෆුකුෂිමාහි පිහිටා තිබූ න්‍යෂ්ටික බලාගාරයක සිසිලන පද්ධතියේ ඇති වූ බිඳ වැටීම මේ අනතුරට හේතු විය. මේ නිසා ප්‍රතික්‍රියාකාරක හතරක්‌ අධික තාපනයට ලක්‌ වූ අතර ගිනි හා පිපිරීම් නිසා විකිරණ කාන්දු වීමක්‌ සිදු විය. බොහෝ සේ උත්සාහ දැරීමෙන් පසුව මාස කිහිපයකින් මේ න්‍යෂ්ටික බලාගාරය සිසිල් වසාදැමීමකට ලක්‌ කරන ලදි. එය ඉදිරි කාලයේ දී සම්පූර්ණයෙන් ම වසා දැමීමට නියමිත ය.

මේ අනතුරින් ඇති වූ විකිරණ කාන්දුව නිසා අසූ දහසක්‌ පමණ පිරිසක්‌ තමන් පදිංචි ප්‍රදේශවලින් ඉවත් කරන ලද අතර කිලෝමීටර් 20ක අරයයක්‌ ඇති කලාපයක්‌ අදටත් පවතින්නේ ජනතාව ගෙන් තොර ව ය. අද වන විටත් ඔවුන් ජීවත් වන්නේ වෙනත් ප්‍රදේශවල හෝ අවතැන් වූවන් සඳහා සකස්‌ කළ රැඳවුම් ස්‌ථානවල ය. ෆුකුෂිමා අර්බුදය තවමත් මුළුමනින් ම අවසන් වී නැත. එසේ ම අනතුරෙන් හානියට පත් බොහෝ ප්‍රදේශ යථා තත්ත්වයට පත් වීම සිදු වන්නේ බොහෝ සෙමින් බවට ද චෝදනා එල්ල වී තිබේ.

මේ 1986 දී ඇති වූ චර්නොබිල් බලාගාරයේ න්‍යෂ්ටික අනතුරෙන් පසු ඇති වූ බරපතළ ම අනතුර වේ. එනම් මේ අනතුර න්‍යෂ්ටික අනතුරු පිළිබඳ පරිමාණයේ හත්වැනි මට්‌ටමට අයත් බව පසුව පෙන්වා දෙන ලදි. මෙමඟින් ගම්‍ය වූයේ න්‍යෂ්ටික බලයේ ඇති අනතුරුදායක බවයි. මේ නිසා න්‍යෂ්ටික බලයේ කිසියම් පසුබෑමක්‌ ඇති වූ අතර එය ෆුකුෂිමා අනතුරින් පසු ලෝකය පුරා දැකිය හැකි විය. මෙහි දී සාකච්ඡාවට ලක්‌ වූ වැදගත් ම කරුණ වන්නේ න්‍යෂ්ටික බලාගාරවල ආරක්‌ෂාව සම්බන්ධ තාක්‌ෂණය දියුණු විය යුතු බව ය. ෆුකුෂිමා අනතුර ගැන ගත වූ වර්ෂය තුළ අප බොහෝ සේ කතා කළ නමුත්, ඊට වර්ෂයක්‌ සම්පූර්ණ වන මේ මොහොතේ දී ද යළි එය සටහන් කර තැබීම යෝග්‍ය යෑයි සිතමු.


තල්මහ දඩයම් සමය කලින් නිමා වේ

ඇන්ටාක්‌ටික්‌ සාගරයේ වාර්ෂික තල්මහ දඩයමේ යෙදෙන ජපාන යාත්‍රා පෙළ ආපසු තම රට බලා ගමන් ආරම්භ කළ බව දින කිහිපයකට පෙර වාර්තා විය. ඔවුන් විසින් ම ප්‍රකාශයට පත් කරගන්නා ලද තල්මහ කෝටාව වන 900ක්‌ වන අතර ඉන් තුනෙන් එකක්‌ පමණ ප්‍රමාණයක්‌ හෝ අල්ලා ගැනීමෙන් පසු මේ වර්ෂයේ දඩයම නිමා කිරීම මෙහි ඇති විශේෂිත කරුණයි. ඔවුන් මින්කි තල්මසුන් 266ක්‌ හා එක්‌ වරල් තල්මහ සතකු පමණක්‌ අල්ලා ගෙන තිබේ.

මේ ආකාරයෙන් ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට තල්මහ අල්ලා ගැනීමට නොහැකි වූයේ කාලගුණ තත්ත්වය හා තල්මහ දඩයමට විරෝධය දක්‌වන කණ්‌ඩායම්වල කඩාකප්පල්කාරී කටයුතු බව ජපාන බලධාරීන් පෙන්වා දී ඇත. මෙවැනි පාරිසරික කණ්‌ඩායම් කිහිපයක්‌ සැම වර්ෂයක දී ම අදාළ දඩයම් යාත්‍රා පෙළ පසුපසින් ගමන් කරයි. ඔවුන් ජපන් යාත්‍රා සමඟ ගැටුම් ඇති කරගත් අවස්‌ථා ද තිබේ.


මුහුදු පැළෑටිවලින් ජෛව ඉන්ධන?

ජෛව ඉන්ධන යනු ලෝකය මුහුණ දී ඇති ඉන්ධන අර්බුදයට පිළියමක්‌ සේ ඉදිරිපත් ව ඇති විකල්පයකි. එහෙත් ඒ හා සම්බන්ධව ඇති ගැටලු කිහිපයක්‌ නිසා ජෛව ඉන්ධන පිළිබඳව ලෝකයේ පුළුල් සාකච්ඡාවක්‌ පවතී. විශේෂයෙන් ජෛව ඉන්ධන නිපදවීම සඳහා යෝග්‍ය භෝග වගා කිරීමේ දී ඇති විය හැකි ඉඩම් ගැටලු හා එහි අවසන් ඵලය විය හැකි ආහාර අර්බුදයක්‌ ඇති වීමේ හැකියාව නිසා මේ තත්ත්වය ඇති වී තිබේ.

මේ සඳහා පිළිතුරක්‌ ලෙස මුහුදු පැළෑටිවලින් ජෛව ඉන්ධන නිපදවීමට ඇති හැකියාව පිළිබඳව පැවැත්වෙන පර්යේෂණ පිළිබඳ පුවතක්‌ මෑත දී වාර්තා විය. මුහුදු වෙරළට ආසන්න සාගරයේ වැවෙන මේ ඇල්ගා වර්ග වගා කිරීම හා අස්‌වනු නෙළීම ගැන මේ වන විට අධ්‍යයන සිදු වේ. මේ ඇල්ගාවල ඇති තවත් ප්‍රයෝජනයක්‌ වන්නේ ජලයේ ඇති අධික පෝෂක පරිසරයෙන් ඉවත් කිරීම ද ඉන් සිදුවීමයි. ගොඩබිම ඉඩම් අවශ්‍යතාවට බලපෑමක්‌ නො වන නිසා මේ වේගයෙන් වර්ධනය වන ඇල්ගා විශේෂ භාවිතයෙන් ජෛව ඉන්ධන නිපදවීම ගැන යම් බලාපොරොත්තුවක්‌ තබා ගත හැකි විකල්පයක්‌ බව පෙනේ.


සාගරය ආම්ලික වීම වේගවත්

සාගර ජලය ආම්ලික වීම ලෝක ඉතිහාසයේ මෙතෙක්‌ සිදු නො වූ තරම් වේගවත් විය හැකි බව අධ්‍යයනයක්‌ මඟින් පෙන්වා දී තිබේ. පසුගිය වසර මිලියන තුන් සියයක පමණ කාලය තුළ ලෝකයේ ඇති වූ වඳ වී යැම්වල දී වර්තමානයේ සිදු වන මට්‌ටම හා සමාන වූ ආම්ලිකකරණයක්‌ අතීතයේ දී ඇති වී තිබෙන්නේ එක්‌ වතාවක්‌ පමණි. අතීත වඳ වී යැම්වල දී කාබන් ඩයොක්‌සයිඩ් වායුව විශාල ලෙස පරිසරයට එක්‌ වූ අතර ඊට හේතු වූයේ ස්‌වාභාවික ක්‍රියාවලීන් ය. ලෝකයේ වර්තමාන හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ යැමට හේතුව මිනිසුන් විසින් නිකුත් කරනු ලබන කාබන් ඩයොක්‌සයිඩ් වායුවයි.

වර්තමාන කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන පිළිබඳව සැලකූ විට අනාගතයේ ඇති විය හැකි ආම්ලිකකරණය බරපතළ වන බව මේ අධ්‍යයනයේ දී පැහැදිලි කර තිබේ. මේ අධ්‍යයනය භූ විද්‍යාත්මක දත්ත භාවිත කරමින් සාගරය ආම්ලික වීම පිළිබඳව සිදු කරන ලද පළමු අධ්‍යයනය සේ සැලකේ. සාගරය ආම්ලිකකරණය බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි තත්ත්වයකි. (මූලාශ්‍රය DOI: 10.1126/science. 1208277)

(http://www.vidusara.com/2012/03/14/feature3.html)

Friday, March 16, 2012

ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතය පාරිසරික දෘෂ්ටි කෝණයකින්

විදුසර, 2012-03-07, පි. 9

පසුගිය දෙසැම්බර් මාසයේ අපේ රටේ ඇති වූ එළව`ඵ කූඩ අර්බුදය රටේ ජන ජීවීතයට කළ හෝ කළ බව පැවසෙන හෝ බලපෑම බොහෝ දෙනාට තවමත් මතක ඇතැයි සිතමු. එළව`ඵ හා පලතුරු ප්‍රවාහනය සඳහා ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතය අනිවාර්ය කිරීමට එරෙහි ව දියත් වූ වැඩ වර්ජනය නිසා එළව`ඵ හි`ගයක්‌ නිර්මාණය වූ අතර එළව`ඵවල මිල ගණන් තරමක්‌ ඉහළ ගියේ ය.

කෙසේ වෙතත් මේ අර්බුදය අවස්‌ථාවේ දී එය අවශ්‍ය පමණට වඩා උලුප්පා දැක්‌වූවා දෝ යි අපට සිතේ. ජීවන වියදම නිසා ජනතාව කුසගින්නේ පසු වන බවක්‌ පැවසූ දේශපාලන නායකයන් හා ඇතැම් මාධ්‍යවේදීන් මේ එළව`ඵ කූඩ අර්බුදය හමුවේ දී ජනතාව එළව`ඵ නොමැති ව බඩගින්නේ පසු වූ බව කීම ඊට නිදසුනකි. ඒ ප්‍රකාශවලින් ජනිත වන්නේ වෙනත් දිනවල දී ජනතාව කුස පිරෙන්නට ආහාර ගත් බව හා එළව`ඵ නොමැති වීම හා මිල ඉහළ යැම නිසා කුසගින්නේ සිටි බවක්‌ වැනි අදහසකි. අපට මේ අදහස්‌ දෙක පිළිබඳව ම සැක ඇති අතර එළව`ඵ මිල ඉහළ යැම එතරම් දැඩි බලපෑමක්‌ කළ බව ද නො පිළිගනිමු. ඒ දිනවල ජනතාව අතර වෙනත් ආහාර ද්‍රව්‍ය (පරිප්පු හා වෙනත් ධාන්‍ය වැනි) පරිභෝජනය ඉහළ ගිය බව නම් සත්‍යයකි. අනෙක්‌ අතට එළව`ඵ හා පලතුරුවල මිල ඉහළ පහළ යැම වර්ෂයේ ඇතැම් කාලවල අපේ රටේ සාමාන්‍යයෙන් ඇති වේ. (මේ දිනවල මිල පහළ ගොස්‌ ඇති ආකාරය අපට ඉතා පැහැදිලිව පෙනේ. ඊට ප්ලාස්‌ටික්‌ හා වෙනත් ඇසුරුම් භාවිතය ද එක්‌ හේතුවක්‌ වී තිබේ ද යන්න පැහැදිලි නැත.) ඒ නිසා අපට සිතෙන්නේ මේ උද්ඝෝෂණ පසුපස දේශපාලන, ව්‍යාපාරික හා වෙනත් විවිධ වුවමනාවන් තිබූ පිරිස්‌ සිටි බව ය. දශකයකට පෙර පටන් රජයේ ආයතන විසින් සැලසුම් කර, වසර ගණනක්‌ තිස්‌සේ වෙළෙන්දන්, ගොවීන් හා ජනතාව දැනුවත් කිරීමෙන් පසුව ක්‍රියාත්මක වූ මේ පියවර හදිසියේ ක්‍රියාත්මක කරන ලද්දක්‌ ලෙස ඇතැම් අය විසින් හ`දුන්වනු ලැබීම ද මීට සාධකයකි. (අවාසනාවකට මෙන් අර්බුද මානසිකත්වයේ පසු වන රටේ ඇතැම් මාධ්‍යවේදීන් ද රජයේ ආයතන මේ පිළිබඳව වසර ගණනාවක්‌ තිස්‌සේ ගත් උත්සාහය නො දැකීම කණගාටුවට කරුණකි.)

කෙසේ වෙතත් මේ ලිපියේ අරමුණ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම නම් නො වේ. අපේ අරමුණ එළව`ඵ හා පලතුරු සඳහා ප්ලාස්‌ටික්‌ ඇසුරුම් භාවිතයට ගැනීමේ පාරිසරික ප්‍රතිලාභ ගැන විමසීම ය. එය එක්‌තරා අතකින් සංකීර්ණ තත්ත්වයක්‌ වන්නේ ප්ලාස්‌ටික්‌ හා පරිසරය සාමාන්‍යයෙන් එකට කියෑවෙන වචන දෙකක්‌ නො වන නිසා ය.

ප්ලාස්‌ටික්‌ කූඩ යනු සබුද්ධික භාවිතයක්‌ ද?

ප්ලාස්‌ටික්‌ යනු පාරිසරික වශයෙන් අහිතකර බලපෑම් ඇති කරන ද්‍රව්‍යයක්‌ බව ප්‍රකට හා පිළිගත් කරුණකි. ඒ ප්ලාස්‌ටික්‌ දිරාපත් වීමට ඉතා දිගු කාලයක්‌ ගත වන නිසා ය. එහි ප්‍රතිඵලය වන්නේ ඉවත ලන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍යයක්‌ ලෙස පරිසරයේ එකතු වීම ය. වරක්‌ හෝ දෙකක්‌ භාවිත කර ඉවත දැමීම නිසා ගැටලු මතු වී ඇති සිලි සිලි මලු ආදි විවිධ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන මේ තත්ත්වය උග්‍ර කරවයි.

එහෙත් ඇතැම් අවශ්‍යතා සඳහා ප්ලාස්‌ටික්‌ භාවිත කිරීම කළ යුතු ම වේ. විශේෂයෙන් සෞඛ්‍යය හා සනීපාරක්‌ෂාව හා සම්බන්ධව සලකන විට ප්ලාස්‌ටික්‌වලින් තනන ලද ද්‍රව්‍ය භාවිතය සිදු කළ යුතු ව තිබේ. ඒ අනුව ප්ලාස්‌ටික්‌ අත්‍යවශ්‍ය හා දීර්ඝකාලීන පරිහරණය කළ හැකි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සාධාරණ බව පෙනේ. මේ ප්ලාස්‌ටික්‌ සබුද්ධික ලෙස භාවිතයක්‌ සේ දැක්‌විය හැකි ය.

එළව`ඵ හා පලතුරු ප්‍රවාහනය සඳහා ප්ලාස්‌ටික්‌වලින් තැනූ ඇසුරුම් යොදාගැනීම ද මෙවැනි සබුද්ධික භාවිතයක්‌ සේ ගත හැකි ය. ඒ හුදෙක්‌ උක්‌ත කූඩ නැවත නැවතත් භාවිතයට ගැනීම නිසා පමණක්‌ නො වේ. ඒ නිසා පොලිතින් මලු හා ගෝනි ඇතු`ඵ ඉක්‌මනින් ඉවත දමනු ලබන සම්පත් නාස්‌ති වීම වැළකීම හා පරිසර දූෂණය අඩු වීමත් පහත විස්‌තර කරනු ලබන වෙනත් පාරිසරික ප්‍රතිලාභත් නිසා ය.

පසු අස්‌වනු හානිය අවම කිරීම

එළව`ඵ හා පලතුරු ප්‍රවාහනයේ දී 30-40% අතර තරම් වන පසු අස්‌වනු හානියක්‌ ඇති වන බව පිළිගැනේ. ඇතැම් විට 50% තරම් බව දක්‌වා ඇති මේ හානිය ඇති වන්නේ ගොවියා ගේ සිට පාරිභෝගිකයා දක්‌වා මේ ද්‍රව්‍ය ළ`ගා වන අතරතුර දී ය. 2010 දී ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් 'ශ්‍රී ලංකාව: ආසියාවේ නැඟී එන ආශ්චර්යය' ((Sri Lanka The Emerging Wonder of Asia) නමින් ප්‍රකාශයට පත් කර ඇති රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුවට අනුව මේ හානිය 30-35% අතර වේ. තවත් වාර්තාවක්‌ අනුව වාර්ෂිකව මේ ආකාරයෙන් විනාශ වන එළව`ඵ හා පලතුරු ප්‍රමාණය ටොන් 270,000ක්‌ පමණ වන අතර එහි වටිනාකම මුදල් වශයෙන් ගන්නේ නම් රුපියල් මිලියන 9,000ක්‌ පමණ බව පෙන්වා දී තිබේ. (කෙසේ වෙතත් මෑත දී පළ වූ පුවතකට අනුව පසු අස්‌වනු හානිය මෙපමණ නො වන බවක්‌ පෙන්වා දී තිබිණි. එහෙත් මේ පිළිබඳ වැඩි විස්‌තර මෙතෙක්‌ ප්‍රකාශයට පත් ව නොමැත.)

එළව`ඵ හා පලතුරුවල පසු අස්‌වනු හානියෙන් සැලකිය යුතු කොටසක්‌ හෙවත් නාස්‌තියක්‌ සිදු වන්නේ ඒවා ගොවියා ගේ සිට පාරිභෝගිකයා දක්‌වා ප්‍රවාහනය කිරීමේ විවිධ අවස්‌ථාවල දී ය. ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතය ප්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ වූයේ මේ හානිය අවම කිරීම ය. පෙර සඳහන් කළ පරිදි මේ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයන හා සැලසුම් සඳහා දශක දෙකකට ආසන්න අතීතයක්‌ ද ඇත.

පෙර සඳහන් කරන ලද රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුවට අනුව ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතය හා නූතන තාක්‌ෂණය යොදාගැනීම මඟින් එළව`ඵවල පසු අස්‌වනු හානිය 2015 දී 5%ක්‌ දක්‌වාත්, 2020 දී 2% දක්‌වාත් අඩු කිරීමට අපේක්‌ෂිත ය. මෙතරම් විශාල අගයකින් ප්‍රායෝගිකව පසු අස්‌වනු හානිය අඩු කළ හැකි ද යන්න ඇතැම් විට මතභේදාත්මක විය හැකි නමුත්, එයින් සැලකිය යුතු තරමකින් අඩු කළ හැකි බව ඉතා පැහැදිලි ය. 

වෙනත් පාරිසරික ප්‍රතිලාභ

ප්ලාස්‌ටික්‌ හා වෙනත් යෝග්‍ය කූඩ භාවිතයෙන් ඇති විය හැකි එක්‌ ප්‍රතිඵලයක්‌ වන්නේ මෙතෙක්‌ කලක්‌ අපතේ ගිය අස්‌වැන්නෙන් කොටසක්‌ භාවිතයට හෙවත් පරිභෝජනයට ගැනීමට අවස්‌ථාව ලැබීම ය. මේ අනුව සිදු විය හැක්‌කේ මෙතෙක්‌ වගා බිමෙන් ලබාගත් අස්‌වැන්න මඟින් ම වැඩි ජනතාවකට ආහාර සැපයීමට හැකි වීම ය. නිදසුනක්‌ ලෙස ගත හොත් පෙර සඳහන් කරන ලද රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුවට අනුව 2009 වර්ෂයේ අපේ රටේ එළව`ඵ නිෂ්පාදනය මෙටි්‍රක්‌ ටොන් 840,450කි. මේ ප්‍රමාණයෙන් සියයට 30ක්‌ නාස්‌ති වේ නම් එය ආසන්න වශයෙන් ටොන් 250,000ක්‌ පමණ වේ. ඉන් අඩක්‌ මේ නව නීතිය නිසා ආරක්‌ෂා කර ගත හැකි නම්, එය ටොන් 125,000ක්‌ පමණ වේ. උක්‌ත වාර්තාවේ ම දැක්‌වෙන පරිදි 2015 වර්ෂයේ රටේ අපේක්‌ෂිත එළව`ඵ නිෂ්පාදන ඉලක්‌කය ටොන් 1,200,000ක්‌ වේ. ඒ අනුව 2009-2015 අතර කාලයේ දී එළව`ඵ නිෂ්පාදනයට අලුතින් එකතු කළ යුතු ප්‍රමාණය ටොන් 360,000ක්‌ පමණ වේ. මේ ඇසුරුම් භාවිතය නිසා වැඩි කළ යුතු එළව`ඵ නිෂ්පාදනයෙන් තුනෙන් එකක්‌ පමණ ලබා දීමට අවස්‌ථාවක්‌ තිබේ. මෙය සිදු කළ හැක්‌කේ අලුතින් ඉඩම් වගා කිරීමෙන් තොර ව වීම වැදගත් ය. එය පාරිසරික වශයෙන් වැදගත් වේ. අප එසේ පවසන්නේ කෘෂිකර්මය බෙහෙවින් පරිසරය හා සම්බන්ධ වන නිසා ය. නිදසුනක්‌ ලෙස ගත හොත් වගාවට අවශ්‍ය නව ඉඩම් ලබාගන්නේ බොහෝ විට වනාන්තර හා තෙත්බිම් වැනි ස්‌වාභාවික පරිසර පද්ධති වෙනස්‌ කිරීමෙනි. නව ඉඩම් භාවිතයක්‌ නොමැති ව වෙළෙඳ පොළට පැමිණෙන එළව`ඵ හා පලතුරු ප්‍රමාණය ඉහළ යන්නේ නම් එය පරිසරයට හිතකර වන්නේ මේ නිසා ය. මේ අනුව නව ඉඩම්වල වගා කිරීමට අවශ්‍ය ජලය ඇතු`ඵ තවත් ස්‌වාභාවික සම්පත් ද ඉතිරි වේ.

සාමාන්‍යයෙන් වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය සීමාසහිත වීමේ තත්ත්වය තුළ වැඩි අස්‌වැන්නක්‌ ලබා ගැනීම සඳහා වැඩි වැඩියෙන් පොහොර හා පළිබෝධනාශක යෙදීමට ගොවීහු පෙලඹෙති. මේ නිසා මේ රසායනික ද්‍රව්‍යවලින් සිදු වන, දැනටමත් බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ ව ඇති, පරිසර දූෂණය තවත් ඉහළ යා හැකි ය. දැනටනිපදවනු ලබන අස්‌වැන්නෙන් වැඩි පිරිසකට ආහාර සැපයීමට හැකිනම්, දිගුකාලීන වශයෙන් මෙවැනි රසායනික ද්‍රව්‍ය භාවිතයේ අඩුවීමක්‌ හෝ වැඩි නොවීමක්‌ සිදු විය හැකිය. එය පරිසරයට යහපතක්‌ වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.මේ අනුව ප්ලාස්‌ටික්‌ හා වෙනත් යෝග්‍ය ඇසුරුම් වර්ග භාවිතය පාරිසරික වශයෙන් යහපත් වන අංශ ඇති බව පැහැදිලිය. මේ වන විට ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතය ක්‍රමයෙන් ස්‌ථාවර වෙමින් පවත්නා බව පෙනේ. ඒ හා සම්බන්ධ නීති ලිහිල් වීම ද ඊට බලපාන්නට ඇත. එහෙත් මෙහි ඇති වාසි නිසි පරිදි අවබෝධ කරගැනීමත් සම`ග ඉදිරියේ දී මෙය තවත් ප්‍රචලිත වනු ඇත.



ඇසුරුම් පිළිබඳ නියෝග

පසුගිය කාලයේ ආන්දෝලනයකට ලක්‌වූ ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතය සම්බන්ධ නියෝගවලට අනුව එළව`ඵ හා පලතුරු ඇසුරුම සඳහා යොදාගත හැක්‌කේ ප්ලාස්‌ටික්‌වලින් තැනූ ඇසුරුම් පමණක්‌ නොවේ. ඒ සඳහා ඝන කඩදාසි හෝ දැවවලින් තනා ඇති ඇසුරුම් ද භාවිත කළ හැකිය. කෙසේ වෙතත් මේ නියෝග පැනවීමේ සිට වෙනස්‌ වූ ආකාරය අවධානය යොමු විය යුතු කරුණකි.

මේ නියෝග පනවා ඇත්තේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 10 (1) (ආ) (සස) වගන්තිය යටතේ ඇති බලතල අනුවය. මේ අනුව 2011 ජනවාරි 10 දිනැති අංක 1688/4 දරන අතිවිශේෂ ගැසට්‌ පත්‍රය මගින් දේශීයව නිෂ්පාදිත සියලූ එළව`ඵ සහ පලතුරු නෙළීමේ දී රැස්‌කිරීමේ දී, ගබඩා කිරීමේ දී, ප්‍රවාහනය කිරීමේ දී, අලෙවිය සඳහා ඉදිරිපත් කිරීමේ දී හෝ ප්‍රදර්ශනය කිරීමේ දී, ප්ලාස්‌ටික්‌ හෝ ඝන කඩදාසි හෝ දැව වලින් සකසා ඇති ඇසුරුම් භාවිත කළ යුතු බව සියලූ දේශීය එළව`ඵ සහ පළතුරු නිෂ්පාදකයින්, ප්‍රවාහනය කරන්නන්, බෙදාහරින්නන් හා වෙළෙන්දන් වෙත නියම කරන ලදි. එසේම එක්‌ ඇසුරුමක ඇසිරිය හැකි උපරිම එළව`ඵ හෝ පළතුරු වල ශුද්ධ බර කිලෝග්‍රෑම් 25 නොඉක්‌මවිය යුතු බව ද මේ නියෝගවල ඇතුළත් විය.

එහෙත් මේ නියෝග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූයේ නැත. 2011 ඔක්‌තෝබර් 17 දිනැති අංක 1728/5 දරන අතිවිශේෂ ගැසට්‌ පත්‍රය මගින් මේ ආකාරයෙන් ප්ලාස්‌ටික්‌ හෝ ඝන කඩදාසි හෝ දැව වලින් සකසා ඇති ඇසුරුම් භාවිතා කිරීම එළව`ඵ හා පලතුරු රැස්‌කිම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම සඳහා පමණක්‌ සීමා කරන ලදි. නෙලීමේ දී හා අලෙවිය සඳහා ඉදිරිපත් කිරීමේ දී හෝ ප්‍රදර්ශනය කිරීමේ දී මේවා යොදාගැනීමට තිබූ අවශ්‍යතාවය එහි දී ඉවත් කර තිබේ. එසේම නම් කරන ලද එළව`ඵ වර්ග 24ක්‌ හා පළතුරු විශේෂ 13ක්‌ සඳහා පමණක්‌ මේ නියෝග අදාළ කෙරිණි. පෙර සඳහන් කරන ලද කිලෝග්‍රෑම් 25 සීමාව ද මෙහි දී ඉවත්කර ඇති බව පෙනේ. මේ විධාන 2011 නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වීමට නියමිත විය. යම් යම් පිරිස්‌ විසින් විවිධ අරමුණු ඇතිව විරෝධතා ඇති කළේ මේ නියෝග ක්‍රියාත්මක කිරීමත් සම`ග ය.

ඉන් අනතුරුව අනුව 2012 ජනවාරි 13 දිනැති අංක 1740/22 දරණ අතිවිශේෂ ගැසට්‌ පත්‍රය මගින් පෙර කී වර්ග තුනට අයත් ඇසුරුම් රැස්‌කිරීමේ දී, ගබඩා කිරීමේ දී, ප්‍රවාහනය කිරීමේ දී භාවිතයට නියම කරන ලද අතර එය නම් කරන ලද එළව`ඵ වර්ග 11ක්‌ හා පළතුරු විශේෂ 10ක්‌ සඳහා පමණක්‌ සීමා කෙරිණි. මේ නිවේදනය අනුව නිෂ්පාදකයින්ට මේ නියෝග අදාළ නොවේ. මේ නියෝග 2012 ජනවාරි මස 15 පටන් ක්‍රියාත්මක අතර අදට වලංගු වේ.

අදාළ නියෝග වලංගු වන එළව`ඵ හා පලතුරු


· එළව`ඵ ( තක්‌කාලි, තිබ්බටු, කැරට්‌, කරවිල, තුඹ කරවිල, මල්ගෝවා, බෙල් පෙපර්, සලාද කොළ, නිවිති, මා`ඵ මිරිස්‌ හා පිපිඤ්ඤා
· පළතුරු ( පැපොල්, පේර, අලිගැටපේර, දොඩම්, දෝඵම්, මිදි, පෙයාස්‌, මැංගුස්‌, ස්‌ට්‍රොබෙරි හා පැෂන්පෲට්‌

ධනේෂ් විසුම්පෙරුම

http://www.vidusara.com/2012/03/07/feature7.html

Thursday, March 15, 2012

ශ්‍රී ලංගමයේ අගය දැනුනේ ද?

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) හෙවත් අපේ රටේ ජනතාවට රජයට අයත් පොදු බස් මගී ප්‍රවාහන සේවයේ අගය අද වන විට ජනතාවට යන්තමින් හෝ තේරුම් යන්නට ඇතැයි අපට සිතේ. ඇතැම් මාර්ගවල ගමනාගමනය සැලකිය යුතු තරම් අඩාල වී ඇති බවක් පෙනේ. විශේෂයෙන් ශ්‍රීලංගම මගින් පමණක් ම සේවා සැපයෙන සමහර ග්‍රාමීය (ඒ නිසාම වේලාවට ගමන් කළ හැකි) මාර්ගවල මේ තත්ත්වය දැකිය හැකිය. ඇතැම් කාර්යාල සේවා අඩාල වීම නිසා රජයේ සේවකයින් අපහසුතාවයට පත්ව තිබේ. (බලන්න http://www.divaina.com/2012/03/15/news02.html)

ශ්‍රීලංගම සේවකයන්ගේ මේ වර්ජනයට හේතු වී ඇති ඉල්ලීම් ගැන ඉහත පුවතේ ස‍ඳහන් කරුණ හැර යමක් සවිස්තරව අසන්නට ලැබනේ නැත. සාමාන්‍යයෙන් ජනතාව අපහසුතාවයට පත් කරන වර්ජන අනුමත කළ නොහැකි නමුත් ශ්‍රීලංගම සේවකයින්ගේ ඉල්ලීම් සාධාරණ නම් ඒවෙනුවෙන් ඉවසා සිටීම ශ්‍රීලංගම විසින් වෙනදා මගීන්ට සපයන  සේවය වෙනුවෙන් කරන ගරු කිරීමකි. අපේ රටේ පොදු ප්‍රවාහන සේවයෙන් සාපේක්ෂව ගුණාත්මක බවින් ඉහළ සේවයක් සපයන්නේ ශ්‍රීලංගම හා දුම්රිය සේවය පමණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

වෙනදා පුද්ගලික බස් රථ සේවයේ ඇතිවන හා ඇතැම්විට අසාධාරණ වර්ජන පිළිබ‍ඳව පිටු පුරා පොල්ගෙඩි අකුරින් ලියන පුවත්පත්වල මේ පිළිබඳව හා එහි බලපෑම ගැන ලියැවී තිබුණේ මද වශයෙනි. එය මදක් කණගාටුවට කරුණකි. අනෙකක් තබා අපේ සාමාන්‍ය ජනතාව පවා මේ ගැන අවධානය යොමු කර ඇත්තේ මද වශයෙනි.

අවසන් වශයෙන් කිවයුත්තේ වර්ජනය ඉක්මනින් නිම වී ශ්‍රීලංගම බස් රථ නැවත සේවයේ යෙදෙනු දැකීම අපේ අපේක්ෂාව බවය. කලට වෙලාවට ගමනක් යන්නට, ආත්මාභිමානයෙන් යුතුව මගීන් සේ ගමන් කරන්නට හා අපේ ගමන් ගාස්තුවෙන් රටේ සංවර්ධනයට සේවය කරන්නට එවිට අපටත් යළි හැකි වනු ඇත.

ධනේෂ් විසුම්පෙරුම
2012-03-15

Saturday, March 10, 2012

රියෝ+20 සූදානම

තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව හෙවත් වඩාත් ජනප්‍රිය වචනවලින් පවසන්නේ නම්, ‘රියෝ+20‘ සමුළුව මේ වර්ෂයේ ජුනි මාසයේ දී බ්‍රසීලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. මෙය 1992 වර්ෂයෙන් පසුව පැවැත්වෙන විශාලතම පරිසර සමුළුව බව පෙනෙන්නට තිබේ. මෙය ගත වූ වසර 20ක පමණ කාලයේ දී ලෝකයේ පරිසර සංරක්ෂණය හා සම්බන්ධව සිදු වූ කටයුතු පිළිබඳ සමාලෝචනයක් කිරීමට ද අවස්ථාවකි. ලෝකයේ බොහෝ දේ මෙන්ම මේ පිළිබ‍ඳව ද දැකිය හැක්කේ මිශ්‍ර ප්‍රතිඵල බව අපේ හැඟීමය.

ලෝකය පුරා විසිර සිටින වඩා යහපත් පරිසරයක් අපේක්ෂා කරන පරිසරවේදීන්, විද්‍යාඥයින් හා විවිධ සංවිධානවල මේ සමුළුව ඇති උනන්දුව හා අපේක්ෂා බොහෝය. එසේම ලෝකය මේ පිළිබඳව සූදානම් වෙමින් සිටියි. නිදසුනක් ලෙස මේ සමුළුවේ දී එකඟ වීමේ අරමුණින් යුතුව මේ වන විට ගිවිසුමක කෙටුම්පතක් සකස් වී තිබේ. එය නම් කර ඇත්තේ ‘අපට අවශ්‍ය අනාගතය‘ යනුවෙනි. උක්ත ගිවිසුම නෛතික වශයෙන් බලපැවැත්වෙන්නක් නොවූවද ඉන් ලෝකයේ ඇති විය හැකි වෙනස්කම් බොහෝය. 1992 දී පිළිගන්නා ලද 21 වැනි සියවසේ න්‍යාය පත්‍රය මේ සඳහා නිදසුනක් වේ.

කෙසේ වෙතත් මේ සමුළුව පැවැත්වෙන්නේ ජගත් පරිසර ව්‍යාපාරය යම් ආකාරයක පසුබෑමකට ලක්ව ඇති අවස්ථාවක වීම විශේෂිතය. අප එසේ ස‍ඳහන් කරන්නේ ලෝකයේ වඩාත් බරපතළ පාරිසරික අර්බුදයක් වන දේශගුණ වෙනස්වීම පිළිබඳව ඇති වී තිබෙන තත්ත්වය නිසාය. දේශගුණ වෙනස්විම සම්බන්ධව ප්‍රාමාණික පියවරක් ගැනීමට ලෝකයේ ඇතැම් රටවල් මගින් ඇති කර තිබෙන බාධා නිසා මේ තත්ත්වය උදා වී ඇත. මේ නිසා සමස්තයක් ලෙස ජගත් පරිසර ව්‍යාපාරයේ යම් පසුබැසීමක් ඇති කාලයක් ලෙස අද දවස හැඳින්විය හැකිය. ලෝකයේ දේශපාලන නායකයින්ට පවත්නා තත්ත්වය අවබෝධ කර දීමට හා අවශ්‍ය කරන ගම්‍යතාවය ලබා ගැනීමට මේ සමුළුවට හැකියාව තිබේ ද යන්න අපට නුදුරු අනාගතයේ දී නිරික්ෂණය කළ හැකිය. මේ සමුළුව සාර්ථක වේවායි යන්න අපේ පැතුමයි.

මේ පිළිබඳව ම විසින් විදුසර පුවත්පතට ලියූ ලිපි කිහිපයක්

'අපට අවශ්‍ය අනාගතය' : රියෝ + 20 සමුළුවේ ගිවිසුමේ කෙටුම්පත (ජගත් පරිසර විමසුම 90, විදුසර 2012-01-25)
http://www.vidusara.com/2012/01/25/feature3.html

පරිසරය අනතුරේ - අභියෝග හා අවස්‌ථා (ජගත් පරිසර විමසුම 96, විදුසර 2011-11-09)
http://www.vidusara.com/2011/11/09/feature3.html

මිහිතල සමුළුවෙන් විසි වසරකට පසු...
(ජගත් පරිසර විමසුම 90, විදුසර 2011-09-21)
http://www.vidusara.com/2011/09/21/feature3.html

වැදගත් වෙබ් අඩවි හා ලේඛන
එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවිය - http://www.uncsd2012.org/
මෙහි දී අනුමත කිරීමට අපේක්ෂා කරන ගිවිසුමේ මූලික කෙටුම්පත - http://www.uncsd2012.org/rio20/futurewewant.html

Thursday, March 8, 2012

ජගත් පරිසර විමසුම 112 (2012-02-29)


ජගත් පරිසර විමසුම 112  
(Global Environmental Watch, Vidusara, 2012-02-29, p.11)
 

විමසුම - සාම්ප්‍රදායික ගොවි දින දර්ශනය හා දේශගුණ වෙනස්‌ වීම
ප්‍රමුඛ පුවත - නැනෝ අංශුවල තවත් බලපෑම්
පුවත් සැකෙවින් - ඩීප් වෝටර් හොරයිසන් තෙල් අනතුර අධිකරණයට / ඉන්දියානු ගැටලුවලට සංවිධානවලට දොස්‌/ ගුවන් කාබන් බදු විරෝධය සීමිතයි?


සාම්ප්‍රදායික ගොවි දින දර්ශනය හා දේශගුණ වෙනස්‌ වීම

දේශගුණ වෙනස්‌ වීම නිසා විවිධ අංශවලට ඇති විය හැකි බලපෑම් අතරින් කෘෂිකර්මයට ඇති විය හැකි බලපෑම ලෝකයේ බොහෝ රටවල් වැඩි අවධානයක්‌ යොමු කර ඇත. ඒ පිළිබඳව බොහෝ පර්යේෂණ සිදු කරනු ලබන අතර එහි බලපෑම් අවම කිරීම සඳහා ද බොහෝ පියවර ගෙන තිබේ. මේ සඳහා හේතුව වී ඇත්තේ කෘෂිකර්මය ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයේ වැදගත් අංශයක්‌ වීම ය.

සාම්ප්‍රදායික දැනුම ලෝකයේ රටවල් රැසක ගොවීන් තම කෘෂි කටයුතු සඳහා යොදා ගනු ලබන්නකි. මෙහි ඇති සාධනීය අංග ගණනාවක්‌ ද වේ. විශේෂයෙන් ස්‌වභාව ධර්මයේ වෙනස්‌ වීම් හා අනුගත වන බැවින් ද තිරසර වන බැවින් ද ඒ පිළිබඳව වර්තමානයේ ද වැඩි අවධානයක්‌ යොමු වී තිබේ. දේශගුණ වෙනස්‌ වීම වැනි නූතන ගැටලු සඳහා ද යොදාගත හැකි මෙවලමක්‌ වශයෙන් මේ දැනුම දැක්‌විය හැකි ය.

චීන ගොවි දින දර්ශනය

මේ ආකාරයෙන් සාම්ප්‍රදායික දැනුම විශාල ලෙසින් භාවිත කරන ගොවි පිරිසක්‌ ඇති රටක්‌ ලෙස චීනය දැක්‌විය හැකි ය. ඔවුන් තම වගා කටයුතු සඳහා පුළුල් ලෙස යොදාගන්නා එක්‌ අංගයක්‌ ලෙස චීනයේ සාම්ප්‍රදායික ගොවි දින දර්ශනය දැක්‌විය හැකි ය.

මේ දින දර්ශනය හා සම්බන්ධ අංගයක්‌ ලෙස ඇති 'සූර්ය වාර' විසි හතරකින් දක්‌වා ඇත්තේ සෘතුමය චක්‍රයේ එකිනෙකට වෙනස්‌ වූ විවිධ අවස්‌ථා විසි හතරකි. මාසයකට දෙකක්‌ ලෙස ඇතුළත් වන මේ වාර ගණන අනුව එහි ඇතුළත් විවිධ අංග අතර සෘතුමය වෙනස්‌වීම් මෙන්ම භෝග වර්ධනය හා සම්බන්ධ සිදුවීම් ද වේ. නිදසුනක්‌ ලෙස 'මහා ශීතල', 'මහා උණුසුම', 'වැසි ජලය', 'කෘමීන් අවදි වීම' හා 'කරල් මේරීම' වැනි අවධි දැක්‌විය හැකි ය. ඒවාට ගැලපෙන ආකාරයෙන් තම කෘෂි කටයුතු සැලසුම් කර ගැනීම චීන ගොවීහු සිදු කරති. නූතන කෘෂි විද්‍යාත්මක දැනුමට මෙන්ම මේ දැනුමට ද චීන ගොවීන් අතර සැලකිය යුතු අවධානයක්‌ තිබේ.

දේශගුණ වෙනස්‌ වීමේ අභියෝගය

වර්තමාන දේශගුණ වෙනස්‌ වීම නිසා උක්‌ත දින දර්ශනයට ඇති විය හැක්‌කේ කුමන ආකාරයේ බලපෑමක්‌ ද යන්න සෙවීම පිළිබඳව සිදු කළ අධ්‍යයනයක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් විය. එහි දී අදාළ පර්යේෂකයන් යොදාගෙන ඇත්තේ 1960ත් 2008 අතර කාලයේ දී චීනය පුරා විවිධ කාලගුණ මධ්‍යස්‌ථානවලින් ලබාගත් උෂ්ණත්ව වාර්තා ය. ඒ අනුව රටේ මධ්‍යන්‍ය උෂ්ණත්වය වෙනස්‌ වී ඇති ආකාරය ඔවුන් ගණනය කර තිබේ. ඉන් පෙනී ගොස්‌ ඇත්තේ රටේ මධ්‍යන්‍ය උෂ්ණත්වය මඳක්‌ ඉහළ ගොස්‌ ඇති බව ය. ඒ අනුව ග්‍රීෂ්ම කාලය දින පහළොවකින් පමණ දිගු වී ඇති අතර ශීත කාලය ඒ හා සමාන දින ගණනකින් කෙටි වී තිබේ. මෙය සැලකිය යුතු තරම් බලපෑමක්‌ කළ හැක්‌කකි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට 'මහා ශීත කාලයේ' දින ගණන සියයට 60කට ආසන්න ප්‍රමාණයකින් අඩු වී ඇති අතර 'මහා උණුසුමේ' දින ගණන සියයට 80ක්‌ පමණ ඉහළ ගොස්‌ තිබේ.

මේ වෙනස්‌ වීමට හැඩගැසීම සඳහා සාම්ප්‍රදායික කෘෂි දින දර්ශනය ද වෙනස්‌ කිරීම අවශ්‍ය බව මේ පර්යේෂකයන් අවධාරණය කර තිබේ. එසේ නො වුව හොත් මේ දින දර්ශනය යල් පැන යා හැකි ය. ඔවුන් මේ සඳහා අවශ්‍ය වෙනස්‌ වීම් ද යෝජනා කර ඇත. විශේෂයෙන් වසන්තය හා ග්‍රීෂ්ම කාලයට අදාළ කෘෂි කටයුතු ඉදිරියට ගෙන ඒම අවශ්‍ය ය.

කෙසේ වෙතත් මේ පර්යේෂණයේ අඩුපාඩු නැතිවා නො වේ. ඉන් එකක්‌ වන්නේ මෙය උෂ්ණත්වයේ ඇති වී තිබෙන වෙනස්‌වීම් පිළිබඳව පමණක්‌ අවධානය යොමු කර තිබීම ය. කෘෂිකර්මය සඳහා යොදාගන්නා ශාකවල සෘතුමය වෙනස්‌ වීම් මෙහි දී අවධානයට ලක්‌ ව නොමැති වීම අඩුවක්‌ සේ දක්‌වා තිබේ. මේ වන විටත් ලෝකයේ එවැනි අනුහුරු වීම් ද වාර්තා වී තිබේ.

පර්යේෂණයේ වැදගත්කම

අප මාතෘකා කරගත් මේ අධ්‍යයනය මඟින් වැදගත් අංශයක්‌ පිළිබඳව අවධානයක්‌ යොමු කර ඇති බව සත්‍යයකි. ඉන් කියෑවෙන්නේ සාම්ප්‍රදායික දැනුමට දේශගුණ වෙනස්‌ වීමෙන් කිසියම් තර්ජනයක්‌ ඇති විය හැකි බව ය. දේශගුණ වෙනස්‌ වීමට හැඩගැසීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි දැනුම සම්ප්‍රදායක්‌ සේ සැලකෙන සාම්ප්‍රදායික දැනුම ද දේශගුණ වෙනස්‌ වීමට හැඩගැසීම අවශ්‍ය බව මේ අනුව පැහැදිලි ය. සාමාන්‍යයෙන් මේ දැනුම පරිණාමය වන්නක්‌ හෙවත් ජනතාව ගේ අත්දැකීම් අනුව වෙනස්‌ වන්නක්‌ වන හෙයින් එය අසීරු කරුණක්‌ නො විය හැකි ය.

මේ පර්යේෂණයෙන් මතු වන කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම ලෝකයේ සෙසු රටවලට ප්‍රයෝජනවත් විය හැකි ය. විශේෂයෙන් සැලකිය යුතු තරම් වූ සෘතුමය බලපෑමක්‌ ඇති කලාපවල මේ තත්ත්වය විශේෂයෙන් වැදගත් වේ. විශේෂයෙන් කෘෂි ආර්ථිකයක්‌ ඇති රටවලට එය වැදගත් වන්නේ කෘෂිකර්මයේ ඇති වන බිඳ වැටීමක්‌ සමස්‌ත සමාජ-ආර්ථික පද්ධතියේ ම බිඳ වැටීමක්‌ සඳහා වුව ද හේතු විය හැකි බැවිනි. (මූලාශ්‍රය Chinese Science Bulletin, DOI:10.1007/s11434-011-4724-4)



නැනෝ අංශුවල තවත් බලපෑම්

ආහාර හා ඖෂධ සමඟ මිනිසුන් ගේ ශරීරගත වන නැනෝ පරිමාණයේ අංශු නිසා ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම් මෙතෙක්‌ කලක්‌ සිතා සිටියාට වඩා බරපතළ ඒවා විය හැකි බව අලුත් ම අධ්‍යයනයක්‌ මඟින් පෙන්වා දී තිබේ.

මෙහි දී අවධානය යොමු වී ඇත්තේ බොහෝ ආහාර හා විටමින් ඇතුළු අංශුවල ඇතුළත් වන පොලිස්‌ටයිරීන් නැනෝ අංශුවලින් ඇති කරන බලපෑම් පිළිබඳව ය. මේ නැනෝ අංශු වර්ගය පිළිබඳව බොහෝ අධ්‍යයන සිදු කර ඇති අතර ඒවා මානව පරිභෝජනය සඳහා ගැටලුවක්‌ ඇති නො කරන බව සැලකේ. පොලිස්‌ටයිරින් නැනෝ අංශු ඇමෙරිකාවේ අදාළ ආයතනවල අනුමැතිය ලැබී ඇති සංඝටකයක්‌ ද වේ. උක්‌ත අධ්‍යයනයේ දී කුකුළන් ගේ දේහ සෛලවලට යකඩ උරාගැනීම සඳහා අදාළ නැනෝ අංශුවලින් ඇති කරන බලපෑම පිළිබඳව අවධානය යොමු වී තිබේ. කුකුළන් ගේ දේහවල යකඩ අවශෝෂණය කරන ආකාරය මිනිසුන් ගේ දේහවල යකඩ අවශෝෂණය කිරීමට සමාන වන නිසා මේ අධ්‍යයනය සඳහා කුකුළන් යොදාගෙන තිබේ.

මෙහි දී පෙනී ගොස්‌ ඇති පරිදි මේ අංශු කෙටී කාලීනව එහෙත් විශාල ප්‍රමාණයකින් දේහගත වීමක්‌ සිදු වුව හොත් ඉන් සෛලවල යකඩ අවශෝෂණය සඳහා නිශේධනීය බලපෑමක්‌ ඇති වේ. අදාළ නැනෝ අංශු ශරීරගත වී තරමක වේලාවක්‌ යන තුරු යකඩ අවශෝෂණය කිරීමේ වේගය අඩු වී ඇති බව නිරීක්‌ෂණය කර තිබේ. අනෙක්‌ අතට දිගුකාලීනව (අඩු සාන්ද්‍රණයකින් යුක්‌ත ව දෙසතියක්‌ පමණ කාලයක්‌) ඊට නිරාවරණය වීම නිසා ආන්ත්‍රික සෛලවල ව්‍යුහයේ යම් යම් වෙනස්‌ වීම් සිදු වන අතර, ආන්ත්‍රික අංගුලිකා සෛලවල වර්ග ප්‍රමාණය වැඩි වීම නිසා යකඩ වැඩි ප්‍රමාණයක්‌ අවශෝෂණයට අවස්‌ථාවක්‌ ඉන් ලැබේ. මේ අධ්‍යයනයේ දී යොදාගන්නා ලද බහිර්රෝපණය කර ඇති මිනිස්‌ අන්ත්‍ර සෛලවල ද මේ හා සමාන තත්ත්ව නිරීක්‌ෂණය කර ඇත.

මේ අනුව නැනෝ අංශු පිළිබඳව අප දන්නා කරුණු ගැන යළිත් සිතා බැලිය යුතු බව පැහැදිලි ය. විශේෂයෙන් නැනෝ තාක්‌ෂණයේ වර්ධනයත් සමඟ අපේ පරිසරයේ නැනෝ අංශු බහුල වී මිනිසුන් නැනෝ අංශුවලට නිරාවරණය වීම ද දිනෙන් දින ඉහළ යයි. එබැවින් ඉන් ඇති විය හැකි අයහපත් බලපෑම් පාලනය කිරීම සඳහා මෙවැනි අධ්‍යයන මඟින් හෙළි වන කරුණු බෙහෙවින් වැදගත් වේ. (මූලාශ්‍රය Natuසෘe Nanotechnology, DOI:
10.1038/nnano.2012.3&

ඩීප් වෝටර් හොරයිසන් තෙල් අනතුර අධිකරණයට

2010 වර්ෂයේ දී ඇමෙරිකාවට නුදුරු මෙක්‌සිකෝ බොක්‌කේ ඇති වූ තෙල් ළිං අනතුර ඇමරිකාවේ ඇති වූ බරපතළ ම තෙල් ළිං අනතුර සේ සැලකේ. මේ පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ වීමට මේ වන විට කටයුතු සූදානම් වී තිබේ. BP සමාගම හා තවත් සමාගම් කිහිපයක්‌ වගඋත්තරකරුවන් කරමින් පැවරීමට යන මේ නඩුවේ පැමිණිල්ලට පෙත්සම්කරුවන් 130,000ක්‌, පෙඩරල් රජය හා ලුසියානා හා ඇලබාමා යන ප්‍රාන්තවල ආණ්‌ඩු ද ඇතුළත් වේ.

මේ නඩුව පැමිණිලිකරුවන් ප්‍රමාණය අතින් මෙන්ම සංකීර්ණත්වය අතින් ද වැදගත්කමක්‌ ගනු ඇති බව පෙනේ. එහි දී විද්‍යාත්මක කරුණුවලට ද වැදගත් තැනක්‌ හිමි වනු ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් එහි පැමිණිල්ලේ පළමු සාක්‌ෂිකරු වනු ඇත්තේ කාර්මික අනතුරු පිළිබඳ විශේෂඥයකු සේ සැලකෙන මහාචාර්ය රොබර්ට්‌ බියා ය. නඩුවෙන් අගතියට පත් පාර්ශ්වයට සාධාරණයක්‌ වනු ඇති බව අපේක්‌ෂා කරන නමුත් පරිසරය හා සෙසු ජීවීන්ට මේ වන විට හානි සිදු වී අවසන් ය.

ඉන්දියානු ගැටලුවලට සංවිධානවලට දොස්‌

පසුගියදා Science සඟරාවට ප්‍රකාශයක්‌ කළ ඉන්දීය අගමැති මන්මෝහන් සිං, ඉන්දියාවේ ඇති වී තිබෙන ඇතැම් ගැටලුවලට හේතුව රාජ්‍ය නො වන සංවිධාන දක්‌වන විරෝධය බව දක්‌වා තිබිණි. නිදසුනක්‌ ලෙස බලවත් ජනතා විරෝධය නිසා නතර වී ඇති තමිල්නාඩුවේ කූඩාන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු පමා වීමට හේතුව මේ රාජ්‍ය නො වන සංවිධානවල කටයුතු බව පැවසූ ඔහු ඉන් වැඩි ප්‍රමාණයක්‌ ඇමෙරිකාව පාදක කරගත් සංවිධාන බව පවසා තිබේ. ඔහු පෙන්වා දුන්නේ මේ පිරිස්‌ ඉන්දියාවේ ඉහළ යන බලශක්‌ති අවශ්‍යතාව තේරුම් නො ගන්නා බව ය.

ජාන විකරණය කළ භෝග ඉන්දියාවේ වගා කිරීමට විරෝධය දක්‌වන සංවිධාන ද ඇමෙරිකානු හා ස්‌කැන්ඩිනේවියානු අරමුදල් මත යෑපෙන රාජ්‍ය නො වන සංවිධාන බව ද අගමැතිවරයා තවදුරටත් පෙන්වා දී තිබේ. ආර්ථික කරුණු මිස සමාජ හා පාරිසරික කරුණුවල වැදගත්කම පිළිබඳව අවධානය යොමු නො කරන තුන්වැනි ලෝකයේ රටවල පොදු දේශපාලන තත්ත්වය මේ මඟින් ද විදහා දැක්‌වෙන බව අප ගේ හැඟීමයි. ඒ තත්ත්වය ජයගැනීම මේ රටවල වැසියන් ගේ අපේක්‌ෂාව විය යුතු ය.

ගුවන් කාබන් බදු විරෝධය සීමිතයි?

යුරෝපා සංගමය මඟින් ක්‍රියාත්මක කර ඇති ගුවන් කාබන් බද්ද පිළිබඳව සීමාසහිත පියවර කිහිපයක්‌ ගැනීමට ඊට විරෝධය දක්‌වන දක්‌වන රටවල් පසුගිය සතියේ මොස්‌කව් නගරයේ දී පැවැති රැස්‌වීමක දී තීරණය කර තිබේ. ඒ අනුව කලින් අපේක්‌ෂා කරන ලද පරිදි ගුවන් ප්‍රවාහනය හා සම්බන්ධ චිකාගෝ සම්මුතිය යටතේ යුරෝපා සංගමයට එරෙහි ව නීතිමය පියවරක්‌ ගැනීම ඉක්‌මනින් සිදු වන බවක්‌ නො පෙනේ.

මේ බද්ද අනුව ගෙවිය යුතු මුදල විශාල මුදලක්‌ නො වන බව මේ වන විට පැහැදිලි අතර, අත්ලාන්තික්‌ සාගරය හරහා ගුවන් ගමනක යෙදෙන ගුවන් මගියකු ගෙන් අතිරේකව අය කරනු ලබන මුදල ඩොලර් 2-3ක්‌ තරම් විය හැකි ය. ගුවන් ප්‍රවාහන විමෝචන ලෝකයේ සමස්‌ත හරිතාගාර විමෝචන අතරින් 2%ක්‌ තරම් අඩු වුවත් එය ඉතා වේගයෙන් වර්ධනය වන්නකි. මේ නිසා යුරෝපා සංගමය ගෙන ඇති ගුවන් ප්‍රවාහන විමෝචන අඩු කිරීමේ ප්‍රයත්නය පැසසුම් කටයුතු ය. එය ජගත් මට්‌ටමින් ක්‍රියාත්මක වනු දැකීම ඔවුන් ගේ ද අරමුණ වේ.

Online: http://www.vidusara.com/2012/02/29/feature3.html

Monday, March 5, 2012

A CFL story .... How it can conserves energ & save money!

One CFL (Compact Florescent Bulb) bulb I used and became defunct on 3/3/2012 was in use for 1 year, 2 months and 15 days (= 440 days). I decided to find out the profit/ loss from using this particular bulb.

Total energy saved:
It was a 23W bulb and used at an average of 5 hours a day.

Hence, the total energy consumed by its total lifetime is = 23W x 5 hours x 440 days = 50600W = 50 KWh


If I used a 100W incandescent bulb (23W CFL= 115W incandescent) instead, my total consumption could be = 100W x 5 hours x 440 days = 220,000W = 220 KWh

I've saved more than 4 times of energy by using this CFL!

How much money I saved?

My houses electricity bill is around 2000/= per 150 units and the average cost of a unit of a unit is Rs 13.33 and the total money I paid for the CFL bulb = 50kWh x Rs 13.33  = Rs 666.66

If I used the incandescent type I could have paid  = 220kWh x Rs 13.33  = Rs 2932.60 (This could be more than this amount, as the rate increased with the number of units used)

The cost of the CFL bulb = 400/= and hence the total cost for the period = 400 + 666.66 = Rs. 1066.66
The cost of the incandescent bulb = 75/= hence the total cost for the period could be = 75 + 2932.60 = Rs. 3007.60

Even I used the CFL bulb for just 440 days, the money I saved is Rs. 1940.94!

The minimum lifetine of a CFL is 6000 hours, but I used this one for ~ 2200 hours. If I was able to use the CFL for the average lifetime, I could have saved more money.

Although this post have some calculations, you must have enlightened of how we can save energy and money.
Saved Energy, Saved money!!!

Dhanesh Wisumperuma
2012-03-05

Friday, March 2, 2012

මාර්තු 2 වැනි දිනයක...

අද මාර්තු මස දෙවැනි දාය. මේ ඓතිහාසික දිනයක් වේ. ඒ 1815 වර්ෂයේ ඇති වූ සිදුවීමක් නිසාය. ඒ වසර දෙදහස් තුන්සියයක් පමණ කාලයක් ලංකාවේ පැවැති රාජධානිය සිංහලයන් විසින්ම බ්‍රිතාන්‍යයන්ට පාවාදීම හා සම්බන්ධ සිදුවීමක් නිසාය. ඒ පිළිබඳ ගිවිසුම මෙදින අත්සන් කරන ලද බව පැවසේ.

කෙසේ වෙතත් එ දින සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ඉතිහාසඥයන් අතර මත භේද තිබේ.  නිදසුනක් ලෙස උක්ත ගිවිසුම මෙදින අත්සන් කළ බවට සැක මතු වී තිබේ. ඊට එක් හේතුවක් වන්නේ ඇතැම් උඩරට නියෝජිතයන් විසින් උක්ත ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පසු දිනයක වීම නිසාය. මේ නිසා පිළිගත හැකි වඩාත් නිවැරදි කරුණ වන්නේ මෙදින සිදු වූයේ හුදෙක් අදාළ ගිවිසුම කියැවීම පමණක් බව පෙන්වා දී තිබේ. ඒ කුමක් වුවත් මේ ගිවිසුමෙන් පසු සමස්ත ලංකාව ඉතිහාසයේ පළමු වරට විදේශීය බලවේගයකට යටත් වූ අතර අපට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුනේ 1948 දී ය.

මේ බව සිහිපත් කිරීම වැදගත් වන්නේ මේ මොහොතේ අපේ රට එවැනිම අවදානමකට ලක්ව ඇති නිසාය. ඔබ දන්නා පරිදි ඒ බටහිර කුමන්ත්‍රණයකි. රටක් ලෙස එය ජය ගැනීමට හැකිවේවායි පතමු.

මේ අවස්ථාවේ දී මාර්තු 2 දිනවල අපේ රට හා සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයක් ද සිහිපත් කිරීම වටී.

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ කරන ලද්දේ 1951 වර්ෂයේ  මාර්තු 2 වැනිදාවකය.
  • හෙළ බසට වැඩ කළ විද්වතෙක් වන කුමාරතුංග මුනිදාසයන් උපත ලද්දේ මාර්තු 2 දාකය.
  • නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයකු වූ රන්ජන් විජේරත්න ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබවේ 1991 මාර්තු 2දිනය.