Thursday, April 30, 2020

"මම පිටකොටුවෙ එනකොට බඩ ...."

අද අප්‍රේල් මස 30 වැනි දාය. ෂෝට් ඊට් නොකා සහ පාන් පිටි කෑම අවම වී මාසයකුත් දින දහයක් ගත වී ඇත. ඒත් බත් කන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව දැනේ. ගෙදර ඉන්නා විට නිතර මොනවා හරි කන්නට ඕනෑ වීම එදා සිටම තිබූ පුරුද්දකි. බත් කෑමෙන්ම මහත් වන බව දැන් ප්‍රත්‍යක්ෂය.

ව්‍යායාම කරන්නට කිඹුලාවල යා නොහැකිය. අඛණ්ඩවම ඇඳිරි නීතියය. අප්‍රේල් මාසයටම කියා එළියට ගියේ බේත් ගන්න ගිය දවසේ පමණකි. ඉන්පසුව ගෙදරින් මීටර් 50කට එහා දුරක් ගොස් නැත. එබැවින් කෙසේ හෝ කෑම පාලනය කිරීම හා ව්‍යායාම කිරීම කළ යුතුමය. ගෙදර ඇති පරණ ස්ට්‍රයිඩරය පදින එක මහා කම්මැලි වැඩක් වුව එය කළ යුතුව ඇත. නැතිනම් කියන්නට වෙන්නේ මෙවැන්නකි -

"මම පිටකොටුවෙ එනකොට බඩ මරදානේ"

(දශක තුනකටත් එහා දිනයක 'මම' වෙනුවට 'ඔහු' කියා කියූ මේ කවි පදය මට ඇසුනේ ගුවන්විදුලියේ අලුත් අවුරුදු විකාශයක් අතරදීය. එය එක් නිවේදකයෙකු තවත් අයෙකු ගැන කී හිටිවන කවියක් විය. එහි තවත් පදයක් මතක ඇතත් සියල්ල මතක නැත. ඒ කවිය කීවේ ලලිත් එස් මෛත්‍රීපාල විසින් වාගේ මතකයක්ද තිබේ.)

නව්‍ය කොරෝනාව නිසා පරිසරයට සිදු වූ යහපත තිරසර එකක් බවට පත්කර ගන්නේ කෙසේ ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.04.29, පි. 5 (Vidusara)

E-paper පමණි - http://www.vidusara.com/2020/04/29/feature4.html (jpg ගොනුවකි)


නව්‍ය කොරෝනා ලෙසින් ප‍්‍රකට වූ කොවිඞ්-19 වයිරස වසංගතය හමුවේ ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය දෛනික කටයුතු නැවතී ඇත. කර්මාන්තශාලා, ව්‍යාපාර ඇතුළු සේවා ස්ථාන වැඩි ප‍්‍රමාණයක් වසා දමා ඇති අතර, ඒවා අත්‍යාවශ්‍ය සේවාවලට සීමා වී ඇත. මාර්ග මෙන්ම ගුවන් ප‍්‍රවාහනය ද මුළුමනින්ම පාහේ නැවතී ඇත. මිනිසුන් සංචරණය නොකරන නිසා මාර්ග මෙන්ම වෙනත් සියලූ ස්ථාන පාලූ වී ගොසිනි. ලෝක ආර්ථික වර්ධනය මේ වර්ෂයේදී විශාල අඩුවීමක් පෙන්වන බවද පැහැදිලිය.

මේ තත්ත්වය නිසා පරිසරයේ ඇති වී තිබෙන සුබවාදී තත්ත්ව පිළිබඳව වාර්තා ලෝකයේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වෙයි. මිනිස් ක‍්‍රියාකාරකම් අඩු වී ගොස් පාලූ වී ගිය නගරවලට වනසතුන් පැමිණීම එවැනි එක් සිදුවීමකි. ජල දූෂණය හා මානව කටයුතු අඩු වීම නිසා වැනීසිය වැනි සමහර ප‍්‍රදේශවල එතෙක් ජලයේ දැකිය නොහැකි වූ සතුන් හා ශාක දැන් දැකගත හැකි වී තිබෙයි. එසේම වායු දූෂණය අඩු වීම පිළිබඳව සාධක චීනයෙන් හා තවත් රටවලින් වාර්තා වී ඇත. මෑත කාලයේදී දැකිය නොහැකි වූ හිමාලය කඳුවැටිය යළිත් දැක ගැනීමට එක් ඉන්දියානු නගරයක වැසියන්ට හැකි වී ඇත්තේ ද වායු දූෂණය අඩු වීම නිසාය.

කෙසේ වෙතත් මේපරිසරයට මේ ලැබී ඇති සහනය කෙතරම් කාලයක් පවතිනු ඇත්තේද යන්නය. එය පැහැදිලි ගැටලූවකි. මේ තත්ත්වයට තරමක් හෝ සමාන තත්ත්වයක් ලෙස පෙනෙන්නේ 2008 පමණ ඇති වූ ආර්ථික අර්බුදයයි. ඒ නිසා කර්මාන්ත හා සෙසු කටයුතු අඩපණවීම නිසා හරිතාගාර විමෝචන අඩු විය. 2007 වර්ෂයේදී ලෝකයේ හරිතාගාර වායු විමෝචන ප‍්‍රමාණය පෙර වර්ෂයට වඩා 3.77% කින් ඉහළ ගොස් ඇති අතර, 2008 දී එය ඉහළ ගිසේ 0.65% කින් පමණි. 2009 දී එය 1.10%කින් අඩු විය. එහෙත් ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වීමත් සමඟ 2010 වර්ෂයේදී හරිතාගාර වායු විමෝචන ප‍්‍රමාණය 5.72%කින් ඉහළ ගියේය. එය වාර්තාගත වර්ධනයකි. මේ තත්ත්වය සෙසු පරිසර දූෂකවලට ද පොදුය.

නව කොරෝනා වසංගතය නිසා ද ලෝක ආර්ථිකයේ පිරිහීමක් ඇති විය හැකි බව පැහැදිලිය. ඒ සමඟ කර්මාන්ත, ප‍්‍රවාහන හා බලශක්ති අංශ ආදියේ ඇතිව තිබෙන අඩපණ වීමේ ප‍්‍රථිඵලය ලෙස දැකිය හැකි පාරිසරික වෙනස්කම් කීපයක් ඉහත දක්වන ලදි. මේ තත්ත්වය ශ‍්‍රී ලංකාවේද දැකිය හැකිය. එවැනි සිදුවීම් කිහිපයක් පිළිබඳව වාර්තා වූ අතර හා ඒවා තාවකාලික සහනයක් පමණක් විය හැකි බවද පැහැදිලිය. ඒ සිදුවීම් මෙන්ම අදාළ සහනය දිගුකාලීන තිරසර තත්ත්වයක් බවට පත් කරගැනීමට ඇති හැකියාව ගැන ද විමසීම මේ ලිපියේ අරමුණ වෙයි.


වායු දූෂණය අඩු වී තිබීම


කොළඹ ප‍්‍රදේශයේ වායු දූෂණය අඩු වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් උපුටා දක්වමින් පුවත්පත්වල පළ වි තිබූ කරුණකි. ‘වාතයේ ගුණාත්මක බව පිළිබඳ සුචිය’ අනුව මෑත දිනවල මේ ප‍්‍රදේශයේ වාතය ‘හොඳ’ තත්ත්වයේ පවතී. පෙර වර්ෂවල මාර්තු හා අපේ‍්‍රල් කාලයට සාපේක්ෂව මේ වර්ෂයේදී වායු දූෂණය අඩු වී ඇති බව පැහැදිලිය. එමෙන්ම මේ සමඟම වායුගෝලයට එකුවන කාබන්ඩයොක්සයිඞ් හා සෙසු හරිතාගාර වායු ප‍්‍රමාණය අඩු වී ඇති බවද අප අමතක නොකළ යුතුය.

වායු දූෂණය අඩු වී ඇත්තේ කොළඹ නගරයේ මෙන්ම රටේද බලශක්තිය සඳහා ඉන්ධන දහනයේ වෙනසක් නොමැති තත්ත්වයක් තිබියදීය. නිදසුනක් ලෙස ගතහොත් අපේ‍්‍රල් 27 දින මෙරට විදුලි උත්පාදනයෙන් 39%ක් පමණ ජනනය කර ඇත්තේ තෙල් මගින් ක‍්‍රියාත්මක තාප බලාගාරවලිනි. තවත් 37%ක් ගල්අඟුරුවලිනි. එසේම කර්මාන්තශාලාවලින් සිදුවන විමෝචන ද අවම වී ඇත්තේ ක‍්‍රියාත්මක කර්මාන්ත අඩු නිසාය. ඒ අනුව ප‍්‍රධාන වශයෙන්ම මේ වෙනස සිදුව ඇත්තේ රථවාහන ධාවනය අඩු වීම නිසාය. මේ යහපත් තත්ත්වය දිගටම පවත්වා ගැනීමට නම් කළයුත්තේ කුමක්ද? කර්මාන්ත හා විදුලි බලාගාර රටේ ආර්ථිකයට අවශ්‍ය බැවින් දිගු කාලීනව ඒවා ක‍්‍රියාත්මක නොවී තබාගැනීමට නොහැකිය. එසේ නම් ඉදිරියේදී ද වාහන ධාවනයෙන් නිකුත්වන වායු විමෝචන අඩු කිරීම සඳහා ඉක්මනින් පියවර ගැනීම කළ හැකි එකම දේ වෙයි. එය කළ හැකි එක් ක‍්‍රමයක් වන්නේ පොදු ප‍්‍රවාහන සේවා පුළුල්ව ශක්තිමත් කිරීමෙනි. අනෙක වන්නේ පුද්ගලික වාහන භාවිතය සාධාරණ නොවන අවස්ථා සීමා කිරීමය. නිදසුනක් ලෙස එක් මගියෙකු වෙනුවෙන් එක් වාහනයත් නගරයට ඇතුළු වීම දැක්විය හැකිය. එවැනි පියවර ගැනීමෙන් තවදුරටත් වාහන විමෝචන අඩු කර තබා ගැනීමට හැකිය. මෙහිදී වාහන විමෝචන පරීක්ෂාවෙහි සාර්ථකත්වය ද සමහරුන් ප‍්‍රශ්න කර ඇති අතර ඒ ගැන ද අවධානය යොමු කළ යුතුය. එසේම මේ වන විට කටයුතු ආරම්භ වී ඇති සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘති හා කණු මත දිවෙන දුම්රිය ව්‍යාපෘති වැනි ව්‍යාපෘති මගින් වාහන ධාවනය අඩු කරගත හැකිවනු ඇත. මේවා හැකි ඉක්මනින් ක‍්‍රියාත්මක විය යුතුව තිබේ.


ජලයේ ගුණාත්මක බව ඉහළ යෑම


කැලණි ගඟේ ජලයේ ගුණාත්මක බව ඉහළ ගොස් ඇති බව ද මේ ආකාරයෙන් වාර්තා වූ තවත් කරුණකි. මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් වීමෙන් ගංගාවේ ස්ථාන කීපයකින් ලබාගත් නියැදිවලින් මේ බව පෙනී ගොස් ඇත. එයින් පෙනී යන්නේ ජල දූෂණය වැළැක්වීමට මෙතෙක් පැවති නීති අනුව නොහැකි වී ඇති බවද යන්න මෙහිදී මතුවන පැනයයි. ගෙඟ් ජල දූෂණයට බලපෑ කරුණුවලින් මෑත දී වෙනස් වී ඇත්තේ කර්මාන්තශාලාවලින් නිකුත්වන අප ජලය ගඟට මුසු වීම නතර වීම පමණකි. වාහන සේවා ස්ථානවල ද යම් බලපෑමක් ඇති බවය. මෙමගින් පෙනෙන්නේ විවිධ කර්මාන්තශාලාවලින් දැන හෝ නොදැන අප ජලය ගඟට එක්වන බව විය හැකිය.

මේ යහපත් තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හැක්කේ කෙසේද? කර්මාන්ත රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ රැකියා සම්බන්ධවද වැදගත්ය. එසේ නම්, ඒවා ළඟදීම ආරම්භ විය යුතුව ඇත. එබැවින් මේ කර්මාන්තවලින් නිකුත්වන අප ජලය ප‍්‍රතිකාර කිරීම ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බව පෙනේ. අනෙක් කරුණ වන්නේ සේවා ස්ථාන ආදියෙන් නිකුත්වන අපජලය ද පරිසරයට නිකුත් වීම පාලනය කිරීමයි. මේ සඳහා රජයේ බලධාරීන් මෙන්ම අදාළ කඒමාන්ත හිමිකරුවන් ද, ජනතාව ද අවධානය යොමු කිරීම වටියි.


වෙරළ දූෂණය අඩු වෙයි


මේ අතර පසුගියදා වාර්තා වූ තවත් පුවතකට අනුව වෙරළ තීරයට එක් කරනු ලබන ප්ල්ස්ටික් ප‍්‍රමාණය 50% කින් පමණ අඩු වී ඇත. ඒ බව හෙළි වී ඇත්තේ ද රාජ්‍ය ආයතනයක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකදීය. එය වෙරළ තීරයේ දිස්ත‍්‍රික් පහක ස්ථාන ආශ‍්‍රිතව සිදුකරන ලද්දකි. මේ සඳහා මූලික හේතුව ජනයා නිවෙස්වලින් පිටතට යෑම අඩු වීම බව පැවසේ. එමෙන්ම වෙත් ජල දූෂක ද අඩු වී ඇති බවක් ද එහි දක්වා ඇත. මෙය වැදගත් වන්නේ සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක් කිරීම ජගත් මට්ටමේ ගැටලූවකට හේතු වී ඇති නිසාය.

ප්ලාස්ටික් හා සෙසු ඝන අපද්‍රව්‍ය පිළිබඳ ගැටලූව නම් දීර්ඝ කාලයක සිට පැවතෙන්නකි. එහෙත් එය තවත් කාලයක් ගත වීමට පෙර විසඳා ගත යුත්තකි. මේ පිළිබඳව කෙතරම් දැනුම්වත් කර තිබුණද මේ පුරුදු නැතිකර ගැනීමට තවමත් ජනතාවට හැකියාව ලැබී නැත. තුනී පොලිතින් තහනම් කිරීමෙන් වරක් භාවිත කර ඉවත දමන පොලිතීන් බෑග් ප‍්‍රමාණය අඩු කිරීමට ගත් පියවර අසාර්ථක වී ඇති ඇති බව ද පැහැදිලිය. දැන් සිදුව ඇත්තේ වඩා ඝනකම බෑග් වරක් භාවිත කර ඉවත දැමීමක් බව පෙනෙයි. කෙසේ වෙතත් ජනතාව ෂොපින් යෑම ඇතුළුව අනවශ්‍ය ගමන් බිමන් අඩු කර නිවාසවලට සීමා වී සිටි කාලයේදී පොලිතීන් භාවිතය අඩු වී ඇති බවක් පෙවෙයි.


මේ වෙනස තිරසර කිරීමට නම්


මේ තත්ත්වයෙන් පෙන්වන එක් කරුණක් නම් අප මෙතෙක් සිදුකරගෙන ආ කටයුතුවල කිසියම් ගැටලූවක් තිබෙන බවයි. එසේම කොරෝනා නිවාඩුවේ පසුගිය මාසයක කාලයේ පරිසරයට ඇති වූ සහනය හෙවත් වෙනස ජනමාධ්‍යවල තවත් පුවතක් පමණක් බවට පත් වීමට ඉඩ දිය යුතු නැති බව අපේ අදහසයි. පරිසරයේ දැකිය හැකි වූ යහපත් ප‍්‍රතිඵල වර්ධනය කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයක් දැරීම අවශයය.

එවැනි උත්සාහයක් මගින් මුළුමනින්ම නැතත්, ඒ වෙනස කිසියම් ප‍්‍රමාණයකින් හෝ තිරසර එකක් කිරීමට අපට තැත් කළ හැකිය. මේ අත්දැකීම් වායු දූෂණය, ජල දූෂණය හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට නිර්මාණාත්මක අයුරින් ඇතුළත් කළ හැකිය. මෙහි තවත් අභියෝගයක් ඇත. එනම්, කොවිඞ්-19 ගැටලූවත් සමඟ රටේ ආර්ථිකයේ යම් පසුබෑමක් ඇති වීමය. එවැනි තත්ත්වයකදී සමහර පරිසර හිතකාමී කටයුතු සඳහා පිරිවැය සපයා ගැනීම ගැටලූ සහිත විය හැකිය. රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ පරිසර හිතකාමී කාර්යයක් හා අරමුදල් සදහා මේ තත්ත්වය බලපෑ හැකිය. මෙය ලංකාවට පමණක් නොව ලෝකයටම පොදු විය හැකි දෙයකි. එනිසා ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම වැදගත් වනු ඇත. මේ සියලූ කටයුතුවලදී රටේ ජීවත්වන සියලූ දෙනාගේම වගකීමක් ඇති බැවින් සියලූ පාර්ශ්ව දැනුම්වත් කිරීම වැදගත් කටයුත්තක් වනු ඇත. අවශ්‍ය වන්නේ නීති රීති පැනවීම පමණක් නොවේ.

මේ මොහොතේ පරිස්සමෙන්

ධනේෂ් විසුම්පෙරුම



අපි මේ කතා කරන්නේ රට තීරණාත්මක අවස්ථාවක තිබියදීය.

විද්‍යුත් මාධ්‍ය හා අන්තර්ජාලය නිසා අපට හැම පැත්තකින්ම පුවත් ලැබේ. ඒවායේ ඇති වැඩසටහන් ද ෆේස්බුක් හා සෙසු සමාජ මාධ්‍ය නිසා ද අපට සැහැල්ලුවෙන් සිටිය හැකිය (සමහරු ඒ සැහැල්ලුව උපරිමයෙන් ගන්නෙ ගොස් රිමාන්ඩ් වී සිටිති). මෙසේ සැහැල්ලුවෙන් හා විහිළුවෙන් සිටිය ද අපේ රට ඇත්තේ තීරණාත්මක අවස්ථාවකය.

මොහොතක් සිතන්න...

1934-35 වසරේ මාස හතක් තුළ 80,000කට අධික පිරිසක් මිය ගිය මැලේරියා වසංගතය ගැන. රටේ මිලියන එකහමාරකට එදා ඒ රෝගය වැළඳුණා. ඒ වැඩි පිරිසක් රෝගී වෙන්නේ හා මියයන්නේ රටේ තෙත් හා අතරමැදි කලාපවල. මැලේරියාව වියළි කලාප ලෙඩක් හැටියට ප්‍රසිද්ධ උනත්...

එදා ලෙඩේ වැඩියෙන්ම පැතිරුනේ දැදුරු-මහ-කැලණි හා කළු ගං නිම්නවල - කෑගල්ල, කුරුණෑගල, කොළඹ (එදා ගම්පහ තිබ්බෙ කොළඹට), කළුතර, රත්නපුර දිස්ත්‍රික්ක සහ මහනුවර, මාතලේ ආදි මහවැලි ගඟ නිම්නය ආශ්‍රිත දිස්ත්‍රික්ක. නිතර මැලේරියාව තිබුණු වියළි කලාපෙට වඩා එදා වසංගතය ‌මේ ප්‍රදේශවල බරපතළ උනා.

එදා ගෙවල් පිටින් රෝගී උනා. ‌හැකි විදියකට යම්කිසි බෙහෙතක් ගත්තු ඔවුන් එදා ඔවුන් ‌මොකද කළේ?

- ඉන්ටර්නෙට් සොයාගෙන වත් නෑ. නූතන පරිගණක හා ජංගම දුරකථන නිපදවලත් නෑ.
- ඒ කීවෙ වෙබ් සයිට්වලට යන්න බෑ, යූටියුබ් යන්න බෑ. ෆේස්බුක් නෑ, අනිත් ඒවත් නෑ.
- රූපවාහිනිය රටට එන්න කියලා හිතල තිබ්බෙවත් නෑ. ඒ තාක්ෂණය ලෝකෙ තිබ්බෙත් මුල්අදියරක.
- එදා රේඩියෝ එකක් තිබ්බෙ එහෙමත් ගෙදරක. චැනල් තිබ්බෙ එකයි මට මතක විදියට.
- පත්තර නම් තිබ්බා. ඒ උනත් කන්නවත් සල්ලි නැතිව හිටපු සාමාන්‍ය මිනිස්සුන්ට මොන පත්තර ගැනිල්ලක්ද?

ඉතින් එදා ඒ මිනිස්සු කොහොම ඉන්න ඇතිද? අසනීප නිසා යන්න එන්න බෑ. සමහර විට ගෙදර හැමෝම එකවරටම ලෙඩ වෙලා. කෑමක් හොයාගන්න යන්න බෑ. සනීප උන අයගෙත් ශරීර ශක්තිය පිරිහිලා නිසා මහන්සි වී වගා කටයුත්තක්වත් කරගන්න බෑ. කුලී වැඩක් කරගන්නවත් බෑ. සමහර ගම්වල ජනගහනයෙන් 80%කට වඩා ‌ලෙඩ උනා. ඒ සමඟම රටේ ආහාර හිඟයක්, සාගතයක් ආවා. රජයෙන් හා තවත් සංවිධානවලින් දුන් දෙයකින් තමයි යන්තම් පණ ගැටගසා ගත්තෙ. ("සූරියමල් ව්‍යාපාරය" හා "පරිප්පු මහත්තයා" (ඇන් ඇම්) කළ කාර්යය අදත් රටේ සිහිපත් කරන්නෙ එනිසයි.)

එදා ලංකාව පැවති‌යේ බ්‍රිතාන්‍ය පාලනය යට‌‌තේ. එදා පැවති රජය ජනතාවට ‌බෙහෙත් දීම සඳහා එතෙක් පැවති ‌රෝහල් හා ‌බෙහෙත්ශාලාවලට අමතරව තාවකාලික වගෙම ජංගම ‌බෙහෙත්ශාලා පවා දැම්මා. මදුරුවන් ‌බෝවන ස්ථානවල එය වැළැක්වීමට පියවරගත්තා. (මැලේරියාව මර්ධනය සඳහා මෙරට බලධාරීන් ඊටත් ‌බොහෝ කලක සිට විවිධ පියවර ‌ගෙන තිබුණුු බව වාර්තාවල ‌මොනවට සඳහන් ‌වෙනවා. ක්විනින් දෙන්නේ 19 සියවසත දෙවන භාගයේ පමණ සිට. පළවෙනි මැලේරියා මර්දන මධ්‍යස්ථානය 1911දි හදන්නේ කුරුණෑගල. රජයේ මැලේරේයාවේදියෙක් පත්කරන්නේ 1921දි. මදුරුවන් බෝවන තැන් පිරවීම, හින්දවීම, තෙල් ගැසීම හා කීටයන් ආහාරයට ගන්නා මසුන් හඳුන්වා දීමත් කෙරුණා. ඉංග්‍රීසි මෙන්ම දේශීය නිලධාරීන් ද මේවායේ සේවය කළා. ලංකාවේ ඩීඩීටී ගහන්නේ 1946 සිට)

එදාට වඩා අද සාක්ෂරතාවය හොඳයි. සෞඛ්‍ය පහසුකම් හොඳයි. හැම ජනමාධ්‍යයක්ම තොරතුරු හා අවශ්‍ය පණිවුඩය ගෙනියනවා.

එහෙනම් ඇයි අපේ අය පිස්සු නටන්නෙ? අර ඇඳිරිනීති අවවාද නොතකා ඇවිදින්නෙ? ඒ මදිවට පාටි දාන්නෙ!

ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම ආයතන ගණනකට බාරදීල ඊයෙ පෙරේදා ඒක සාර්ථකව කරගෙන යද්දි ඇඳිරි නීතිය නොතකා ජනතාව ඒ තොග කඩවලට ගිය නිසයි ඊයෙ අන්තිමට කඩ වහන්න උනේ. (මෙහෙ කට්ටියත්) එහෙම වැඩිපුර ගිහින් තියෙන්නේ සිල්ලර කඩවල කට්ටියලු - තොග මිලට අරන් පස්සේ වැඩිමිලට පස්ස දොරෙන් විකුණන්න. (එවැනි කඩේක ඊයේ පොල් රු. 125යි... මේ අයගේ අවස්ථාවාදිකම... ලැජ්ජයි!)

ඒ වගේම, රජය මගින් ආහාර ද්‍රව්‍ය හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිසි ලෙස ගෙනයෑමට පියවර ගැනීමත් වැදගත්බව පැහැදිලියි.

මොකද අපේ පැත්තට කිසිම එකක් ආවෙ නෑ ඊයෙ දවසට නම්. මහරගමට අයත් ජනගහනය අධික නාගරික ප්‍රදේශයක්. ‌මේ ගමේම සමහර පැතිවලට ඇවිත්.

ඉවසීමෙන් ඉමු. ‌මේ රජය ඔවුන් සතු වගකීම කරාවි. මොකද මේක රටට වගේම ඔවුන්ටත් තීරණාත්මක අවස්ථාවක්.

ඒ වගෙම ‌මේ ලද විවේකයෙදි වත්ත පිටියත් සූදානම් කරගනිමු. එන වැස්සෙදි ‌මොනවහරි කන ‌දෙයක් වවාගන්න.

(කියෙව්වට ස්තුතියි. එහෙනං දැන් වැඩ කරමු.)

වැඩි විස්තර අවශ්‍ය නම්, S.A. Meegama‌ගේ Famine, Fevers and Fear කෘතියේ ‌මේ වසංගතය හා මැලේරියා මර්ධනය ගැන එන පරිච්ඡේදය කියවන්න. ඉන්ටර්නෙට් එකෙත් සෑහෙන විශ්ව්සනීය ‌තොරතුරු තියනවා.



මුල් සංස්කරණ

(2020.03.28)

Fcebook පුවතට ‌මෙතැනින් පිවිසෙන්න. (අදහස් දැක්වීම් කියවන්න)

අරුණා‌ලෝකය Facebook පිටුවේ පළකිරීමට ‌මෙතැනින් පිවිසෙන්න

ශ්‍රී ලංකාව කැලඹූ අතීත වසංගත

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.03.25, පි. 6 (Vidusara)

Not available online


ලෝකයේ කාලයෙන් කාලයට ව්‍යාප්ත වූ විවිධ වසංගත රෝගවලට වරින්වර ශ‍්‍රී ලංකාව ද ලක් වී ඇත. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටි දූපතක් ලෙස ලංකාව පිළිබඳව විදේශීය ජාතීන් දැක්වූ උනන්දුව හා නාවුක ගමනාගමනයේ සන්ධිස්ථානයක පිහිටීම නිසා ලංකාව හරහා ගමන් කරන පිරිස විශාල වීම ඊට හේතු විය.

ඈත අතීතයේ අපේ රටේ ඇති වූ විවිධ රෝග සම්බන්ධව අපේ ඉතිහාසයේ ඇත්තේ කෙටි සඳහන් වීම් කීපයකි. නිදසුනක් ලෙස රත්තාක්ෂි රෝගය දැක්විය හැකිය. එහෙත් 19 හා 20 සියවස්වල ඇති වූ වසංගත සම්බන්ධව ප‍්‍රමාණවත් වාර්තා අපේ රටේ දැකිය හැකිය. වසූරිය, කොලරාව, මහාමාරිය, ඉන්ෆ්ලූවන්සාව හා මැලේරියාව වැනි රෝග වඩා බරපතළ බලපෑම් කළ ඒවා වන්නේ වසංගත ලෙස පැතිරීමෙන් ඒවායින් සැලකිය යුතු පිරිසක් මරණයට පත් වූ නිසාය. මේ ඒ පිළිබඳව සිදුකරන කෙටි විමසීමකි.

වසූරිය


Variola ගණයට අයත් වයිරස මගින් පැතිරෙන බෝවන රෝගයක් වන වසූරිය (smallpox) වසංගත නිසා ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල වරින්වර මරණ රැසක් ඇති විය. අතීතයේ සිට වරින්වර ලංකාවේ පැතිරී තිබෙන වසූරිය රෝගය මෙරටට ව්‍යාප්ත වීම සඳහා යාබද ඉන්දියානු උපමහාද්වීපය හා පැවති සම්බන්ධතා හේතු වූ බව විශ්වාස කරනු ලැබේ. මහනුවර රාජධානියේ වසූරිය පැතිරීම නිසා රජු හා ප‍්‍රධානීන් මහනුවර නගරය තාවකාලිකව අත්හැර දැමු අවස්ථා ද වාර්තා වෙයි. 1796 වර්ෂයේදී ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලා ගත් බි‍්‍රතාන්‍යයෝ 1802 වර්ෂයේදී වසූරිය සඳහා ප‍්‍රතිශක්තිකරණයක් ලෙස එන්නත් ලබාදීම ආරම්භ කළහ. ඒ, ඊට වසර කීපයකට පෙර එඞ්වඞ් ජෙනර් විසින් ලෝකයට හඳුන්වා දුන් එන්නත් ක‍්‍රමය මගිනි. එහෙත් ඉන් පසුව ද කලින් කල වසූරිය වසංගත ඇති වී තිබෙයි. ඊට එක් හේතුවක් වූයේ එන්නත් කිරීම වැඩි වශයෙන් මුහුදුබඩ පළාත්වලට සීමා වීමත්, එය රටේ අභ්‍යන්තර ප‍්‍රදේශවලට පිවිසියේ පසු කාලයක වීම නිසාත්ය. 1819 වර්ෂයේදී ඇති වූ වසංගතයෙන් 4,000ක් පමණ පිරිසක් මියගොස් ඇත. එසේම පසුකලක වතු වගාව සඳහා ඉන්දියාවේ සිට පැමිණි කම්කරුවන් නිසා මේ රෝගය යළි යළිත් ඇති වු අවස්ථා දැකිය හැකිය. කෙසේ වෙතත් අඛණ්ඩව ක‍්‍රියාත්මක වූ එන්නත් දීම නිසා වරින්වර ඇති වූ උච්චාවචන සහිතව වුව ද වසූරිය රෝගීන් ගණන හා මරණ ගණන ක‍්‍රමයෙන් අඩු කරගැනීමට හැකි විය. 1870 හා 1880 දශකවල මේ රෝගය යළි හිස එස වූ වර්ෂ කීපයක් තිබිණි. කෙසේ හෝ එන්නත් දීමේ වැඩපිළිවෙල නිසා 1930 දශකය වන විට වසූරිය රෝගීන් ගණන බෙහෙවින් අඩු කරගත හැකි විය. වසූරිය රෝගීන් පිළිබඳ වාර්තා සහිත කාල වකවානුව ගතහොත්, ලංකාවෙන් එකම වසුරිය රෝගියකු හෝ මරණයක් හෝ වාර්තා වී නැති පළමු වර්ෂය වූයේ 1938 වර්ෂයයි. අද වන විට මේ රෝගය ලෝකයෙන් මුලිනුපුටා දමා ඇති රෝගයකි.

කොලරාව


කොලරාව ඇතිවන්නේ Vibrio cholerae නම් බැක්ටීරියාව මගිනි. මේ රෝගය අතීතයේ සිට ඉන්දියානු උපමහාද්වීපයේ පැවති බව පෙන්වා දී ඇති අතර වාර්තා අනුව මෑතකාලයේ පළමුවරට ඇති වී තිබෙන්නේ 1819දී පමණය. මේ රෝගය ජනතාව අතර මහත් බියක් ඇති කිරීමට හේතු වූයේ එය වැළඳුණු පිරිස් අතරින් වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර නොකළහොත් මිය යෑම නිසාය. 1840-1950 අතර කාලයේදී ලංකාවේදී කොලරාව වැළඳුණු රෝගීන් අතරින් 60%කට අධික ප‍්‍රතිශකයක් පමණ මියගොස් ඇත. එසේම රෝගය වේගයෙන් පැතිරීම ජනතාව අතර බිය ඇති කිරීමට ද හේතු විය. 1821 වර්ෂයේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ දෙදහසකට අධික පිරිසක් මේ රෝගයෙන් මරුමුවට පත් වූහ. යාපනය අර්ධද්වීපයේ ඇති වූ කොලරා වසංගතය නිසා 1855, 1866-67, 1876-77 වැනි වර්ෂවලදී විශාල මරණ ගණනක් සිදුවිය. මේ සඳහා හේතු වූ කරුණු අතර සනීපාරක්ෂක පහසුකම් ප‍්‍රමාණවත් නොවීම මූලික වූ බව ඒ පිළිබඳව කරුණු සෙවීම සඳහා පත් කළ කොලරා කොමිසම මගින් අනාවරණය කරගෙන ඇත. ලංකාවේ ඇති වූ කොලරා වසංගත අතරින් 1877 වසරේ ඇති වූ වසංගතයෙන් 11,963ක් මියගිය බව සඳහන් වේ. මෙම රෝගය නැවත නැවත මතු වීම සඳහා වතු වගා සඳහා ජනතාව ඉන්දියාවේ සිට කම්කරු පිරිස් මෙරටට ගෙන ඒම ද හේතු විය. මේ අතර ඔවුන් ආ සංක‍්‍රමණ මාර්ග ඔස්සේ පිහිටා ඇති ප‍්‍රදේශවල ද කොලරාව ව්‍යාප්ත විය. කොළඹ නගරය ඇතුළුව රටේ විවිධ ප‍්‍රදේශවල කොලරා වසංගත ඇති විය. මේ තත්ත්වයට පිළියමක් ලෙස සමහර වර්ෂවලදී ඇතැම් ආගමික උත්සව පවා තහනම් කර ඇත. ඒ එවැනි අවස්ථාවල රෝගය පැතිරීමට ඇති අවස්ථාව ඉහළ වීමය.

මහාමාරිය


මහාමාරිය (Plague) රෝගය Yersinia pestis නම් බැක්ටීරියාව නිසා වැළදෙන්නකි. මෙම රෝගය අතීතයේ සිට ලෝකයේ ව්‍යාප්ත වූ රෝගයක් වන අතර යුරෝපයේ විනාශකාරී වසංගත තත්ත්ව ඇති වීමට හේතුවක් වී ඇත. ලංකාවට මේ රෝගය ව්‍යාප්ත වීමට ඉන්දියාව සමඟ පැවති සම්බන්ධතා හේතුවක් වී ඇක. අපේ රටේ තැනින් තැන ඇති වූ මහාමාරිය වසංගත තත්ත්වය නිසා සැලකිය යුතු මරණ ගණනක් ඇති විය. 1914දී කොළඹ දී, ඇති වු වසංගතයෙන් 381ක් මියගියහ. එසේම රටේ නගර ගණනාවක මේ රෝගය ව්‍යාප්ත වීම හා මරණ ඇති වීම වරින්වර සිදුවිය. මේ රෝගය පැතිරවීම සඳහා මීයන්ගෙන් සිදුවන බලපෑම නිසා සහල් වැනි ධාන්‍ය ආරක්ෂිත ලෙස ගබඩා කිරීමේ අවශ්‍යතාවය ඇති විය. පිටකොටුවේ පිහිටා තිබූ චාමර්ස් ධාන්‍යාගාර සංකීර්ණය ගොඩනගන ලද්දේ ආනයනය කරන ධාන්‍ය ගබඩා කිරීම සඳහාය.

ස්පාඤ්ඤ උණ


1918-20 වර්ෂවල දී ලෝකයම වෙලාගත් H1N1 කුලයට අයත් ඉන්ෆ්ලූවන්සා වෛරසයක් වූ ස්පාඤ්ඤ උණ රෝගය ලංකාවේ ද පැතිරුණු අතර බරපතළ බලපෑමක් ඇති කළේය. කොළඹ වරාය හරහා මේ රෝගය ලංකාවට පිවිසි බව අනුමාන කරන රෝගය ලංකාව පුරාම පාහේ ව්‍යාප්ත වූයේය. 1918 අගෝස්තු මාසයේ ච ඒ වර්ෂයේ සැප්තැම්බර් සිට නොවැම්බර් මාසවල ද යළිත් 1919 මුලදීද වසංගතයක් සේ ව්‍යාප්ත විය. මේ රෝගය ජනතාවට අලූත් එකක් වු නිසා රෝගය බෝවන ආකාරය පිළිබඳව කලක් යනතුරු ගැමියන් හඳුනාගෙන නැත. ඒ නිසා රෝගී වූ නෑදෑ-හිතවතුන්ගේ සුවදුක් විමසීමට යෑම නිසා රෝගය ව්‍යාප්ත විය. රෝගීන් සෙසු අයගෙන් වෙන් කර තැබීම වැදගත් බව ජනතාවට අවබෝධ කරවීම බෙහෙවින් අවශ්‍ය වූ නිසා ඒ ගැන උපදෙස් සහිත පත‍්‍රිකා දහස් ගණනින් බෙදා හැර තිබෙයි. මෙම රෝගයේ බලපෑම පෙනෙන්නේ ඉන් ඇති වූ මරණ ගණන විමසූ විටය. රෙජිස්ටාර් ජනරාල්ගේ වාර්තා අනුව එම ඉන්ෆ්ලූවන්සාවෙන් ඇති වූ මරණ ගණන 41,916කි. එහෙත් එය 57,000ක් බව සංගණන වාර්තාවල සඳහන්ය. මෑත කාලයේ සිදු කළ අධ්‍යයන දෙකකින් මේ වසංගතය නිසා ඇති වූ මරණ ගණන 91,000 හා 307,000 තරම් ඉහළ විය හැකි බව පෙන්වා දී ඇත.


මැලේරියාව


Plasmodium ගණයට අයත් ක්ෂුද්‍රජීවී විශේෂ මගින් බෝ වන මැලේරියා රෝගය ව්‍යාප්ත වන්නේ මදුරුවන් මගිනි. අතීතයේ සිටම කලින් කල අපේ රටේ විවිධ ප‍්‍රදේශවල බරපතළ බලපෑම් ඇති කළ රෝගයක් විය. සැලකිය යුතු පිරිසක් එම වසංගතවලින් මරණයට පත් වූහ. එමෙන්ම ශාරීරික වශයෙන් ඇති වන බලපෑම් නිසා වැඩකටයුතු කරගැනීම අපහසු වීමද මේ රෝගීන්ට බලපෑවේය. වරින්වර ඇති වූ මැලේරියා වසංගත දරුණු තත්ත්වයක් ගත් අතර, 1934-35 කාලයේ ඇති වූ වසංගතය මේ අතරින් වඩාත් බරපතළ වූවකි. ඒ සිදුවීම මතකයේ ඇති වැඩිහිටියන් තවමත් අප අතර සිටීම හා ඒ හා සම්බන්ධ වූ සමාජ-දේශපාලනික තත්ත්ව නිසා මේ සිදුවීම සෙසු වසංගතවලට වඩා ප‍්‍රකට සිදුවීමකි. මේ මැලේරියා වසංගතය වැඩි වශයෙන් බලපෑවේ ජනගහනය ද අධික වූ දිස්ත‍්‍රික්ක කීපයකටය. මිලියන එකහමාරක් පමණ ජනගහනයකට රෝගය වැළඳුණු අතර මරණයට පත් වූ පිරිස 80,000කි. පමණ වූ බව සැලකේ. ඉන් සිදු වු හානිය බරපතළ කිරීමට හේතුව වූයේ ඒ සමඟ ඇති වූ සාගත තත්ත්වයයි.

උගත යුතු පාඩම්


අප මේ කතා කළේ ගත වූ සියවස් දෙකක පමණ කාලයේ ඇති වූ වසංගත පිළිබඳවය. ඉහත දැක්වූ රෝග හැරුණුවිට පරංගි (Yaws) හා ක්ෂයරෝගය ද මේ කාලයේ ඇති වූ වසංගත සේ සැලකිය හැකිය.

එදා පැවති වසංගත ගැන විමසීමෙන් අපට උගත හැකි දේ බොහෝය. නිදසුනක් ලෙස එක් කරුණක් සඳහන් කරමු. එදාට වඩා සෞඛ්‍ය පහසුකම් දියුණු හා රෝග මර්ධනය කිරීමේ හැකියාව පවතින අද වැනි කාලයක රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳව ජනතාව අතරට තොරතුරු සන්නිවේදනය කිරීම ද පහසුවෙන් හා කාර්යක්ෂමව කළ හැකිය. මේ නිසා වසංගත වැනි තත්ත්වවලදී ගත යුතු පියවර ගැන දැනුම්වත් කිරීම පහසු බව සිතේ. නිදසුනක් ලෙස පෙර සඳහන් කළ 1918-20 උණ සන්නිපාත අවස්ථාවේදී පත‍්‍රිකා හා රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් දැනුම්වත් කළ ද අද ඒ සඳහා විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාල ආදිය යොදාගැනීම දැකිය හැකි විය. එහෙත්, එසේ තිබියදීත් මේ ලිපිය ලියන අවස්ථාවේදී ද ව්‍යාප්ත වෙමින් ඇති නව කොරෝනා වයිසරය වැළඳීම වැළක්වීමට නම්, එකිනෙකා ගැටීම අඩු කිරීම හා නිරෝධායනය අවශ්‍ය බවට ජනතාව දැනුම්වත් කිරීමට කෙතරම් උත්සාහයක් දැරිය යුතු වීද යන්න අපි අත්දුටුවෙමු. එබැවින් අතීතයෙන් අප උගත යුතු පාඩම් එයයි.

(මූලාශ‍්‍ර - වසූරිය, කොලරාව, මහාමාරිය හා මැලේරියාව පිළිබඳ තොරතුරු සඳහා ආචාර්ය එස්. ඒ. මීගම විසින් රචිත Famine, Fevers and Fear කෘතිය ප‍්‍රධාන මූලාශ‍්‍රය විය. ස්පාඤ්ඤ උණ පිළිබඳ කරුණු සඳහා සමකාලීන රජයේ වාර්තා, දිනපොත් හා පසුකාලීන මූලාශ‍්‍ර යොදාගන්නා ලදි.)

Monday, April 13, 2020

මිනිස් ස්වභාවය පෙන්වන දුම්කොළ හා කංසා

නවලෝකය ‌හෙවත් ඇමරිකානු මහාද්වීප නිජබිම් කරගත් දුම්කොළ ශාකය ඔසුවක් ‌ලෙස හා ආගමික හා උත්සවවල මුලින්ම භාවිත කළේ ද ඒ ප්‍රදේශයේ විසූ ස්වදේශිකයන්ය. ඇමරිකාවට ගිය යුරෝපීයයන් ඒ ශාකය යුරෝපයට ගෙන ආවේ විස්මයජනක ඔසුවක් ලෙසින්ය. එම ශාකයේ ඖෂධීය ගුණ දන්නා නමුත් අද එය ප්‍රධාන වශයෙන් වගාකරන්නේ හා භාවිත වන්නේ කුමක් සඳහා ද? දුම්වැටි නිෂ්පාදනය සඳහාය.

මධ්‍යම ආසියාව නිජබිම් කරගත් කංසා විවිධ භාවිතයක් තිබූ ශාකයකි. ආහාරයක්, ඉන්ධනයක්, පෝෂක සපයන්නක්, කඩදාසි නිපදවීමට, ගොඩනැගිලි ද්‍රව්‍යයක්, ඔෳෂධයක් හා රෙදිපිළි තැනීමට ආදි ලෙස විවිධ අවශ්‍යතා සඳහා යොදාගෙන ඇත. එහෙත් කංසා අද භාවිත‍ වන්නේ ඔසුවක් හෝ අන් ප්‍රයෝජනකට නොව මත්ද්‍රව්‍යයක් ලෙසය.

අද යමක් කියැවීමේ දී මේ දෙකේම ඖසධ භාවිතය ගැන කියැවීමට ලැබිණි.

මේ දෙකම ලංකාවට හඳුන්වා දුන් ශාක වේ. දුම්කොළ 16 සියවස අග හෝ 17 සියවස මුලදී පෘතුගීසීන් විසින් හඳුන්වා දෙන ලද්දකි. කංසා කෝට්ටේ යුගය වන විටද මෙරට පැවති අතර, අග්නිදිග හා නැගෙනහිර ආසියාව හා සමීප සම්බන්ධතා පැවති කාලයේ සේද මාවත ඔස්සේ පැමිණි බව සිතිය හැකිය. මේවා ඉන් පසු අපට කෙතරම් අත්‍යවශ්‍ය වී තිබේද යත් බුලත් විටට සමහරුන්ට දුම්කොළ නැතිවම බැරිය!

මේ දෙකේම භාවිතය අපට පෙන්වන්නේ කුමක්ද? යහපත් භාවිත රැසක් තිබිය දී මිනිසුන් ඒවා භාවිත කර ඇත්තේ හුදු විනෝදාස්වාදයට, රැල්ලට හා සෞඛ්‍යයට හිතකර නොවන කටයුතු සඳහා බවයි.

අද අප අන්තර්ජාලය, Facebook, Youtube ආදිය භාවිත කරන්නේ ද ඒ ආකාරයටම නොවේද? පහසුවෙන් නාස්තියට, ‌නොමඟට හා නරකට ‌යොමු වීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. අද ‌හෝ ‌හෙට අප වෙනස් කරගත යුත්තේ ද එයයි. අවාසනාවකට මෙන් එයද අභියෝගාත්මක කාර්යයකි. බුලත් විටෙන් දුම්කොළ ඉවත් කිරීමට ගත් උත්සාහය සමහරුන්ට බරපතළ ගැටලුවක් වූ අයුරු මතකද?

ධනේෂ් විසුම්පෙරුම

13.04.2020

Saturday, April 11, 2020

"පුදුම හදිස්සියක්නෙ මෙයාට" (කට කැඩිච්ච කතා 04)

මාස ගණනකට ‌පෙර දවසක් උදේ වරුවෙ මං සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න පුරුදු පාමසියට ගියා. එදා පේන්න හිටියෙ සාමාන්‍යයෙන් ඉන්න තරුණ ගැහැණු ලමයා විතරයි.

මම මට අවශ්‍ය බෙහෙත් හා ප්‍රමාණ ගැන කියද්දි, ටිකක් නවීන ‌මොඩ් පන්නයෙ තරුණයෙක් ඇවිත් පාමසියෙ කවුන්ටරෙන් කවුන්ටරේට ඔළුව දමමින් "කෝ කවුද ඉන්නෙ" කියලා අසමින් මුදල් ගෙවන කවුන්ටරේ පැත්තට බලමින් ගියා. ඒ පාමසියෙ බෙහෙත් දෙන කුඩා කවුන්ටර් 3ක් පමණ තියනවා. මුදල් ගෙවන්න තිබ්බෙ තව තැනක.

මේ බව දුටු අර තරුණිය "පුදුම හදිස්සියක්නෙ මෙයාට" කියලා මට කියලා ඔහු ගිය පැත්තට ගියා. ඔහු එවිට හිටියෙ මුදල් ගෙවන තැනට කිට්ටුම කවුන්ටරේ ළඟ.

ඔහු ගිහින් ගත්තෙ කොන්ඩොම් පැකට් එකක්. මුදල් ගෙවා බඩු අරන් ඔහු යන්න ගියාම, අර තරුණිය බලනවා ඔහු යන දිහා. මං හිතන්නෙ ඒ තරුණයාට තිබුණු හදිසිය මොකද්ද කියලා අර නංගිට තේරෙන්න ඇති. මම හිනා නොවී හිටියෙ ටිකක් අමාරුවෙන්.

ධනේෂ් විසුම්පෙරුම

දෙලොවක් අතර සහ Hit & Run

ධනේෂ් විසුම්පෙරුම


දෙලොවක් අතර කී විට පැහැදිලි වන්නේ කිසියම් ගැටලුවක් නිසා තීරණයක් ගත නොහැකිව, වරදකාරී හැඟීම නිසා වියවුලක පැටලී සිටින මානසික තත්ත්වයකි. Hit & Run කී විට එහි අර්ථය ද පැහැදිලිය - එ නම් වාහනයක අනතුරක් සිදු කර පළා ගිය අවස්ථාවකි (එහි වෙනත් අර්ථ ද ඇත). 

මේ දෙකම චිත්‍රපටවල නම්ය. එකක් ලංකාවේ නිපද වූ චිත්‍රපටයක් වන අතර, අනෙක ඇමරිකානු චිත්‍රපටයකි. එහි සමානකම ඇත්තේ කතා තේමාවේය. ඒ දෙකම hit & run සිදුවීම් නිසා දොලොවක් අතර අතරමං වූ පුද්ගලයින් දෙදෙනෙකු ගැන කියැවේ.

දෙලොවක් අතර


'දෙලොවක් අතර' චිත්‍රපටය රිය අනතුරකින් පසු පොලිසියට වාර්තා නොකර පලා යන රියැදුරෙකුගේ සිතේ ඇති වන වරදකාරී හැඟීම නිසා ඇති වන ගැටුම නිරූපණය කරයි. ඉහළ සමාජයේ පවුලක සාමාජිකයෙකු වන නිශ්ශංක විජේසිංහ, චිත්‍රා නම් යෙහෙළියක සමඟ සමාජශාලාවක නැටුමකට ගොස් ආපසු පැමිණෙන අතර, අධික වැස්ස මධ්‍යයේ සිදුවන අනතුරකින් අයෙකු තුවාල ලබයි. නිශ්ශංක හා යෙහෙළිය අනතුරෙන් පසු සිදුවීමෙන් පලා යති. එහෙත් අනතුර සැඟවීම නිසා නිශ්ශංක මෙන්ම යෙහෙළිය ද මානසිකව පීඩාවට පත්වෙති. පොලීස් පරීක්ෂණ අතර, අනතුර දුටු අයෙකුගේ සාක්ෂි මත සැකය නිශ්ශංක වෙත යොමු වේ. එහෙත් ඔහුගේ පවුලේ අය එය වසන් කිරීමට සිය බලය පාවිච්චි කරමින් හැකි දේ කරති. නිදසුනක් ලෙස පවුලේ සේවකයා එය කළ බව පොලිසියට පවසන්නේ නිශ්ශංකගේ පියාය. ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබේ. පසුව තුවාලකරු මියයන අතර, සේවකයා පොලිස් අත්අඩංගුවට පත් වේ. ඒ වන විට ද වරදකාරී හැඟීම නිසා මානසික පීඩාවට පත්ව සිටින නිශ්ශංකට තවදුරටත් තත්ත්වය දරාගත නොහැකි වෙයි. අවසානයේදී චිත්‍රා සමඟ කළ කතාබහකින් පසුව ඔහු ඇය හා සමඟ කුරුඳුවත්ත පොලීසියට පිවිසීමෙන් කතාව නිමා ‌වෙයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණයක් වන '‌දෙලොවක් අතර' 1966දී තිරගත වී ඇත. ටෝනි රණසිංහ ප්‍රධාන භූමිකාව කළ පළමු චිත්‍රපටය මෙය බව මම අසා ඇත්තෙමි.

Hit & Run


පසුගියදා මුල් වරට 'දෙලොවක් අතර' චිත්‍රපටය නැරඹීමෙන් පසු මට සිහි වූයේ පසුව 1999 දී විකාශය වූ ඇමරිකානු රූපවාහිනී චිත්‍රපටයක් වන 'Hit & Run' චිත්‍රපටයයි. එහි කතාවට අනුව දෙදරු මවක වන ජොආනා කෙන්ඩල් වැසි සහිත අවස්ථාවක සිය රථය ධාවනය කරන අතර, ඇගේ අවධානය ගිලිහී ගොස් කුඩාගැහැණු දරුවෙකු අනතුරට පත් වේ. හදිසි ඇමතුම් අංකයකට දුරකථන ඇමතුමක් දී ආපසු පැමිණෙන ඇය, එහි ඇති කලබලකාරී තත්ත්වය දැක අනතුර සිදු කළේ තමන් බව නොපවසා එතැනින් නික්ම යයි. එහෙත් පසුව සිතේ ඇතිවන වරදකාරී හැඟීම නිසා මානසික වශයෙන් දැඩි පීඩාවකට පත් වන ඇය සමාජය ඒ සිදුවීම ගැන කතා කරන ආකාරයෙන් තවදුරටත් ව්‍යාකූල වේ. පොලිසියේ සැකය ද ඈ වෙත යොමු වන අතර, අවසානයේ ඇය පොලිසීයට බාර වන්නීය. ඉන් පසුව ඇයගේ ජීවිතයේ ඇති වූ වෙනස්කම් - පවුලේ ගැටලු හා වෙන්වීම් - වැනි සිදුවීම් ඔස්සේද කතාව ගලා යයි. චිත්‍රපටය අවසන් වන්නේ ඇය සිය දියණියන් දෙදෙනා බැලීමට යාමෙනි. සත්‍ය කතාවක් මත පදනම්ව ඩෑන් ලෙර්නර් (Dan Lerner) විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය මම දෙවරක් රූපවාහිනි‌යෙන් නරඹා ඇත්තෙමි. (මෙම තේමාව සහිත තවත් චිත්‍රපට බටහිර ඇති බව සඳහන් වේ.)

'‌දෙලොවක් අතර' චිත්‍රපටයේ ටෝනි රණසිංහ (නිශ්ශංක) මෙන්ම 'Hit & Run' චිත්‍රපටයේ මාගරට් කොලින් (ජොආනා) ද ඉතා විශිෂ්ට රඟපෑමක යෙදෙති. තමන් සිදු කළේ වරදක් බව දැනුනු පසුව සිතේ ඇති වන ව්‍යාකූලත්වය හා මානසික ගැටුම් ඉතා සියුම් ලෙස විවරණය කරමින් ‌මේ දෙදෙනාම අපූරු රංගනයක යෙදී ඇත. එය කෙතරම් ද යත් එවැනි වරදක් කිසිදා නොකළ අයෙකු තුළ ද වරදකාරී හැගීම් ඇති වී දෙලොවක් අතරට පිවිසෙන්නාක් බඳුය. ටෝනි මෙන්ම හෝ ඔහුටත් වඩා දක්ෂ චරිත නිරූපණයක් මාගරට් විසින් කළ බවක් ද මට සි‌තෙයි. 


(ඡායාරූප අන්තර්ජාලයෙනි)

11.04.2020

Tuesday, March 10, 2020

පැමිණ ගිය නුඹට

මේ නිහඬ රා්‍රියේ
කලකින් ඔබ පැමිණි වග
ඒ සිහින් සරයෙන්
මා සවනට ඇසුණා

පිළිගැනුමට ගිය මට
ඔ‌බෙ සුවඳ දැනුණා
ඔය නෙතින් ගලාගිය
කඳුළක සිසිලස
මා සුරතට දැනුණා

එනමුත් ඇයි නුඹ
ආ සැනින් මා දමා
නික්මුණේ ‌නොකියාම
සුවඳ පමණක් තබා

වාසනා නැතිද තව
මා හා රැදෙන්නට.
ජීවය පුබුදන්නට..
ජීවිතය දෙන්නට...
.
.
.
"වර්ෂා"...,
ඔබෙනි මේ විමසුම

ධනේෂ් විසුම්පෙරුම
2020.03.10

ජාතිකවාදී රාජ්‍ය හා පරිසර සංරක්‌ෂණය...

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.03.04, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/03/04/feature1.html


ජාතිකවාදය (Nationalism) හා පරිසර ආරක්‌ෂාව යනු එකට යන ගමන් නො කරන සංකල්ප දෙකක්‌ බව සාමාන්‍යයෙන් පිළිගත් කරුණකි. මේ සඳහා බොහෝ දෙනා දක්‌වන නිදසුනක්‌ වන්නේ ජාතිකවාදී මතවාදයක්‌ සහිත රජයයක්‌ බලයට පත් වූ රටවල පරිසර ප්‍රතිපත්ති වෙනස්‌ වන අන්දමයි.

මේ සඳහා ඇති ආසන්න ම ජගත් මට්‌ටමේ උදාහරණය වන්නේ නූතන ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ එරට ඇති වී තිබෙන වෙනස්‌කම් ය. ඔහු බලයට පත් වීමට පෙර අට වසරක කාලයක්‌ එරට පාලනය කළ ඩිමොක්‍රටික්‌ පාක්‌ෂික ජනාධිපති බැරැක්‌ ඔබාමාගේ කාලයේ දී, ඊට පෙර ඇමෙරිකාව ගෙන ගිය පරිසර ප්‍රතිපත්තිවල යම් වෙනස්‌කම් ඇති විය. නිදසුනක්‌ ලෙස ගත හොත් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව අවශ්‍ය පියවර ගැනීමට ඇමෙරිකාව ප්‍රමාද වීම දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ලෝකය ගත් උත්සාහයට බරපතළ ගැටලුවක්‌ වී තිබිණි. එහෙත් ඔබාමා පාලනය යටතේ ඒ තත්ත්වය තරමක්‌ වෙනස්‌ වී සුබවාදී ප්‍රවේශයක්‌ දැකිය හැකි විය. අවාසනාවකට මෙන් ඔබාමා පාලනය යටතේ ගත් පරිසර හිතකාමී පියවර ගණනාවක්‌ ම ආපසු හැරවීමට හෝ නවතා දැමීම සඳහා හෝ ඉන්පසුව බලයට පැමිණි ට්‍රම්ප් ක්‍රියා කළේ ය. දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව මේ වන විට ඇති වැදගත් ම එකඟතාව වන පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වීම සඳහා ද ට්‍රම්ප් පාලනය යටතේ ඇමෙරිකාව තීරණය කළේ ය. දේශීය වශයෙන් ද ඔහු ගත් ඇතැම් පියවර ද පාරිසරික වශයෙන් අහිතකර වූ බව ප්‍රකට කරුණකි.

සාමාන්‍යයෙන් ජාතිකවාදී මෙන්ම දක්‌ෂිණාංශික දේශපාලන ව්‍යාපාර පරිසරය හා සම්බන්ධව අසුබවාදී එකක්‌ බව පිළිගැනෙයි. එයට හේතුව දක්‌ෂිණාංශික පක්‌ෂ පරිසර කරුණු දෙස බලන්නේ ද ජාතික වූ හා සංස්‌කෘතික ඇසින් මෙන්ම භූමිය පිළිබඳ ඇසින් ද යන දෙකෙන් ම වන නිසා ය. මේ නිසා ඔවුන් පාරිසරික ගැටලු සම්බන්ධ ව ගන්නා ප්‍රවේශය දේශීය එකක්‌ වන අතර ජගත් මට්‌ටමේ එකක්‌ නො වේ.


ජාතික දේශසීමා ඉක්‌මවා ගිය පරිසර ගැටලු


එහෙත් සමහර පාරිසරික ගැටලු ජාතික මට්‌ටමෙන් ඔබ්බට ගිය ඒවා වෙයි. ඒවාට මිනිසුන් විසින් සකස්‌ කරගනු ලැබ ඇති දේශසීමා වලංගු නො වේ. මෙවැනි තත්ත්ව ලෝකයේ දැකිය හැකි වූයේ බොහෝ කලක පටන් ය. අම්ල වැසි මෙන්ම රටවල් හරහා ගලා යන ගංගාවල දැකිය හැකි ජල දූෂණය වැනි අර්බුද සමඟ ජාතික රාජ්‍ය ම`ගින් පාලනය කළ නොහැකි පාරිසරික ගැටලු ඇති බව ලෝකයට පැහැදිලි විය. ඒ ගැටලුවලින් පරිසරය හා ඒ ඒ රටවල ජනතාව ආරක්‌ෂා කරගැනීමට නම් ජාතික මට්‌ටමින් ඔබ්බට ගිය විසඳුම් අවශ්‍ය විය. එවැනි අවස්‌ථාවක දී ජගත් මට්‌ටමේ උත්සාහයක්‌ අවශ්‍ය විය. එම ගැටලු විසඳීමේ අරමුණ ඇති ව ගත් ප්‍රයත්න නිසා නූතන ජගත් පරිසර ව්‍යාපාරය ද ක්‍රමයෙන් වර්ධනය වූයේ ය. එහි දී බොහෝ රාජ්‍ය ස්‌වකීය දේශපාලන ප්‍රතිපත්ති කෙසේ වෙතත් ජගත් මට්‌ටමේ ක්‍රියාමාර්ගවලට අනුගත වූයේ එම ගැටලුවල බරපතළ තත්ත්වය නිසා ය.

අද දැකිය හැකි බරපතළ පාරිසරික ගැටලු වන දේශගුණ වෙනස්‌ වීම හා ඕසෝන් ස්‌තරය විනාශ වීම වැනි ගැටලු මේ සඳහා හොඳ ම නිදසුන් වෙයි. ඕසෝන් ස්‌තරය ආරක්‌ෂා කරගැනීම ලෝකයේ සියලු ම රාජ්‍ය එක්‌ ව ගත් ජගත් මට්‌ටමේ උත්සාහයක ප්‍රතිඵලයකි. ඒ සඳහා වන ජාතික ප්‍රතිපත්ති අතර ම ජගත් මට්‌ටමෙන් ඇති කරගත් එකඟතා සමඟ කටයුතු කිරීම අවශ්‍ය විය. අද වන විට දේශගුණ වෙනස්‌ වීම සඳහා ද ගෝලීය මට්‌ටමේ ක්‍රියාකාරිත්වයක්‌ අවශ්‍ය ව තිබෙයි. ඒ වර්තමාන දේශගුණ වෙනස්‌ වීමේ අහිතකර බලපෑම් ලෝකයේ සියලු රටවලට එක ලෙස බලපාන බැවිනි. එය ඒ ඒ රටවල් සිදු කරන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය මත ර`දා පවතින්නක්‌ නම් නො වේ. (තවමත් දැකිය හැකි දේශගුණ සංශයවාදීන් විවිධ රටවල සිටිය ද, හරිතාගාර වායු විමෝචනය වීම, මිහිතල උණුසුම් වීම හා දේශගුණ වෙනස්‌ වීම මේ වන විට පිළිගත් බරපතළ පාරිසරික අර්බුදයකි). අද අපේ රට වුව ද අද මුහුණ පා ඇති තත්ත්වය එබඳු ය - අපේ හරිතාගාර වායු දායකත්වය කෙබඳු වුවත් අපට එහි බලපෑමට ලක්‌ වීමට සිදු වෙයි. මෙවැනි තවත් ගැටලුවක්‌ ලෙස ආසියානු දුඹුරු වලාව ලෙසින් හඳුන්වන ලද ආසියානු කලාපයේ දැකිය හැකි පරිසර දූෂක වායුවලින් සමන්විත වලාව දැක්‌විය හැකි ය.


ජාතිකවාදී පරිසරවාදයක්‌?


කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ හඳුනාගෙන ඇති ප්‍රවණතා අතර පරිසර හිතවාදී ලක්‌ෂණ සහිත ජාතිකවාදී ප්‍රවණතා පිළිබඳව ද සඳහන් වේ.

පරිසර ජාතිකවාදය (Eco-nationalism) යනුවෙන් හඳුන්වනු ලබන්නේ එවැනි ලක්‌ෂණ සහිත මතවාදයකි. එය හරිත ජාතිකවාදය (Green nationalism) හෙවත් පාරිසරික ජාතිකවාදය (Ecological nationalism) යනුවෙන් ද ඇතැම් විට හඳුන්වනු ලැබේ. එහි දැකිය හැකි ලක්‌ෂණ වන්නේ ජාතිකමය ලක්‌ෂණ සහිත පරිසර දෘෂ්ටියක්‌ තිබීම ය. නිදසුනක්‌ ලෙස විදේශීය රටවලින් ආනයනය කරනු ලබන ඉන්ධන හා බලශක්‌තිය වෙනුවට විකල්පය ලෙස තම රට ඇතුළත ප්‍රමාණවත් තරම් බලශක්‌තියක්‌ ජනනය කිරීම දැක්‌විය හැකි ය. මෙසේ තම රටේ දී බලශක්‌තිය ජනනය කිරීම ම`ගින් බලශක්‌තියෙන් ස්‌වයංපෝෂිත වූ රටක්‌ ලෙස බ්‍රසීලය දක්‌වනු ලැබේ. කෙසේ වෙතත් බලශක්‌තිය ම රටේ ම නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදය සඳහා ලෝකයේ සෙසු රටවල් ද උත්සාහ කර ඇතත්, එය අසාර්ථක වූ අවස්‌ථා ද දැකගත හැකි ය.

එමෙන් ම මේ ආකාරයෙන් සිදු කරන තවත් ජාතිකවාදී හා පරිසර හිතවාදී ක්‍රියාවක්‌ වන්නේ දේශීය ව දැකිය හැකි ජීවී විශේෂ හා භූදර්ශනවල වැදගත්කම හා සංකේතාත්මකව හුවා දැක්‌වීමයි. සංරක්‌ෂණ කටයුතුවල දී එවැනි දේශීය ජීවී විශේෂ හා භූ දර්ශන සඳහා ප්‍රමුඛතාව ලබා දීම දැකිය හැකි ය. මෙතෙක්‌ කල් වන වගා වැනි කටයුතු සඳහා යොදාගත් විදේශීය ශාක වෙනුවට දේශීය ශාක පමණක්‌ යොදාගැනීම දැක්‌විය හැකි ය. මෙය දේශපාලන දෘෂ්ටියකින් කෙසේ වෙතත්, පාරිසරික දෘෂ්ටියකින් සමහර රටවල් ම`ගින් ක්‍රියාත්මක කරනු ලබන්නකි. එහි පාරිසරික ප්‍රයෝජන ද බෙහෙවින් ඇත. මේ ආකාරයෙන් පාරිසරික වශයෙන් වැදගත් භූ දර්ශන ජාතිකමය වැශයෙන් වැදගත් සේ දක්‌වන අවස්‌ථා සඳහා නිදසුන් බොහෝ රටවලින් අපට ලැබේ. නිදසුනක්‌ ලෙස ඕස්‌ටේ්‍රලියාවේ පිහිටා ඇති මහා බාධක පරය දැක්‌විය හැකි ය. එය එරට විසින් සලකනු ලබන්නේ ජාතික වශයෙන් වැදගත් වූ සම්පතක්‌ ලෙස ය. එමෙන් ම සමහර රටවල් විසින් තම රටවල ජෛව විවිධත්වයෙහි සංකේතයක්‌ බඳු ජීවී විශේෂ හා පරිසර පද්ධති සඳහා ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී සංරක්‌ෂණ ප්‍රයත්න පවා මෙවැනි ක්‍රියාවලි සඳහා සාධක වෙයි.

පරිසර ජාතිකවාදය යම් ආකාරයකින් දේශපාලන වශයෙන් වැදගත් වූ අවස්‌ථා ඇති බව පෙන්වා දී තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් සෝවියට්‌ දේශය බිඳවැටීම සඳහා එහි සාමාජිකත්වය දැරූ විවිධ රටවල් තුළ පෙලඹවීමක්‌ ඇති කළ එක්‌ කරුණක්‌ ලෙස මෙය දක්‌වා ඇත. සෝවියට්‌ දේශය යටතේ පැවැති සමූහාණ්‌ඩු වූ එස්‌තෝනියාව, ලිතුවේනියාව හා යුකේ්‍රනය වැනි රටවල ඇති වූ නිදහස්‌ අරගල සඳහා සැලකිය යුතු බලපෑමක්‌ පාරිසරික විරෝධතා නිසා ඇති වූ බව සඳහන් වෙයි. ඒ වැඩි වශයෙන් න්‍යෂ්ටික බලයට විරෝධය පාමින් සිදු කරන ලද විරෝධතා ය. කෙසේ වෙතත් රුසියානුවන් විසින් සෝවියට්‌ සමූහාණ්‌ඩුවල සම්පත් කොල්ලකෑම හා ඒ රටවල ස්‌වාභාවික පදනම විනාශ කිරීමට කටයුතු කිරීම ද සෝවියට්‌ පාලනය Rජු ව සිදු කළ බව පෙනේ. ඒ නිසා ඇති වූ පරිසර හායනය එම සමූහාණ්‌ඩුවල ඇති වූ නිදහස්‌ ව්‍යාපාරවලට උත්තේජනයක්‌ සපයා ඇත.

කෙසේ වෙතත් පරිසර ජාතිකවාදය යන්නෙන් පරිසරය හෙවත් සොබාදහම සංස්‌කෘතික පරිසරයෙන් පිටත පවතින ව්‍යqහයක්‌ ලෙස සැලකීමක්‌ ද දැකිය හැකි ය. ඒ අනුව එය මානව සංස්‌කෘතියෙන් බාහිර වූ දෙයක්‌ වන අතර, හැකි හැම විට ම නොඉඳුල් ව හා ආරක්‌ෂිත ව තැබීමට කටයුතු කළ යුතු බවක්‌ මෙහි දී කියෑවේ. මෙවැනි ක්‍රියාවලියක්‌ දැකිය හැකි රටවල් සඳහා නිදසුන් ලෙස ඕස්‌ටේ්‍රලියාව හා නවසීලන්තය වැනි රටවල් දක්‌වා ඇත.

මේ පරිසර ජාතිකවාදය දේශපාලන ප්‍රතිපත්ති හා සම්බන්ධ වූ වැදගත් අවස්‌ථාවක්‌ ලෙස ඇතැම් දේශපාලන පක්‌ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති දක්‌වා ඇත. ඒ සඳහා නිදසුනක්‌ ලෙස බ්‍රිතාන්‍ය ජාතික පක්‌ෂය විසින් 2005 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද එක්‌ ප්‍රතිපත්තියක්‌ දැක්‌විය හැකි ය. ඒ අනුව ඔවුන් බලයට පත් වුව හොත් එරටට පැමිණෙන මහා පරිමාණ විදේශක සංක්‍රමණ නැවැත්වීම සඳහා කටයුතු කරන බව පොරොන්දුවක්‌ විය. එම`ගින් එරට තුළ ඇති එක ම සැබෑ පරිසරවාදී 'හරිත' පක්‌ෂය ඔවුන් බව ද දක්‌වා තිබිණි. ඒ, සංක්‍රමණ නැවතීමත් සමඟ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම වැනි කටයුතු සඳහා අවශ්‍ය සම්පත් හා අවකාශය ඉතිරි වන නිසා ය.


බටහිර පරිසර වාදය හා පෙරදිග අපි


කෙසේ වෙතත් අපේ රට වැනි පෙරදිග රටවල අනාදිමත් කාලයක සිය පැවතියේ පරිසරය හා සහජීවනයෙන් එකට ජීවත් වූ ජීවන ක්‍රමයකි. පරිසරය හා බැඳුණු සංස්‌කෘතියකින් යුක්‌ත මේ රටවල චින්තනය එය මානවකේන්ද්‍රීය වූ බටහිර චින්තනයට වඩා වෙනස්‌ වූවකි. එහෙත් අවාසනාවකට මෙන්, සියවස්‌ ගණනාවක යටත්විජිත වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද අප විසින් අනුගමනය කරනු ලබන්නේ බටහිර සංවර්ධන ආකෘතියයි. එවැනි තත්ත්වයක්‌ ඇතුළත බටහිර පරිසරවාදය ම මෙරට තුළ ද අද වන විට ඇති වී තිබීම පුදුමයක්‌ නො වේ.

අද අප වැනි රටවල් හමුවේ ඇති අභියෝගය වන්නේ අපේ සංස්‌කෘතික වටිනාකම් තුළ පැවැති පරිසර හිතකාමී ජීවන රටාව නැවතත් ස්‌ථාපිත කිරීමට හැකි සංවර්ධන ආකෘතියක්‌ සකස්‌ කිරීම ය. එහෙත් මෙහි දී බටහිර සංවර්ධන ආකෘතියෙන් හා බටහිර විද්‍යාවෙන් ගත යුතු දේ තිබිය හැකි බව පැහැදිලි ය. ජාතිකවාදී මතවාදයක්‌ තුළ මෙය සිදු කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව පෙනේ.

Monday, March 9, 2020

ඉස්කොලෙ කතා 2 - පස්සෙන් යන්න එපා කී ‌දෙක

මේ සිද්ධිය අපි 10 ‌හෝ 11 පන්තියෙ හිටිය කාලෙ වූ දෙයක්.

දවසක් කිසියම් රැස්වීමක් සඳහා අපේ පංතිවල ළමුන් ශාලාවට කැඳවූවා. කාරණය නම් මට මතක නෑ. එදා අපේ විදුහල්පති තුමා අපූරු කාරණයක්  සිහිකළා. (ඒක කීවෙ අපේ යාළුවෙක් බස් එකෙන් වැටිලා තුවාලයක් කරගෙන හිටි නිසාද කියලා නම් මතක නෑ)

"ළමයි පස්සෙන් පන්නන්න ඕන නැති දේවල් දෙකක් තියනවා."

"එකක් තමයි බස්. අනෙක තමයි ගෑණු ළමයි."

"මොකද කියලා දන්නවද?" දැන් ‌කොල්ලො ටික හරිම උනන්දුවෙන් අහගෙන ඉන්නවා.

"මොකද ඕව එකක් ගියාට ඊට පස්සෙන් තව ඒවා එනවා."

අපි ඉතින් විදුහල්පතිතුමා වගෙම ගුරුවරුත් දුන්නු අනෙක් අවවාද පිළිගත්තට, අපේ ගොඩක් කොල්ලො අඩුවෙන්ම සැලකිල්ලට ගත් අවවාදය ‌මේක වෙන්න ඕන. ඒ ‌නොපිළිගැනීම බස් සම්බන්ධයෙන් වගෙම ගෑණු ළමයි සම්බන්ධයෙනුත් ‌පොදුයි!

මගෙම අත්දැකීමෙන් කියන්නෙ. 138 බස් එකක් පස්සෙන් එල්ලෙන්න ගිහින් වැටුනෙ නුගේගොඩ ‌බෝ ගහ ළඟදි. 173 බස් එකකින් බහින්න ගිහින් වැටුනෙ කුරුඳුවත්තෙ ‌පොලිසිය ඉස්සරහදි.

අනිත් කාරණය ගැන උදාහරණ කියන්න ඕන නෑනෙ!

ධනේෂ් විසුම්පෙරුම
2020.03.09