Monday, December 3, 2018

මහත්තයා සහ බල්ලා (බස් කථා 8)

මේක වුනේ දැනට මාසයකට විතර කලින්. මාර්ග අංක 17, පානදුර බස් එකක.

​බස් එකේ ඉස්සරහ හරියෙ ඉන්න මහත්තයෙක්, එයාගෙ නෝනට රෑ 8ට විතර බස් එකේ සිට දුරකථනයකින් මෙහෙම කියනවා පසුපස සිටි මට අැසිණි.

"මං එන්න තව පැය දෙකක් වත් යයි ඒයි"

"ගේට්ටුව ලොක් කරන්න එපා"

"බල්ලව ලෙහල දාන්න"

"එයාට රෑට බත් දෙන්න එපා"

ඇහුනෙ මෙච්චරයි. නෝන කීවෙ මොනවද කියල මට දන්නෙ නැහැ. ඉන් පස්සෙ අන්තිමට මහත්තය කිවූ දේ ඇහුනෙත් නැහැ. මං හිතන්නෙ බල්ලට කන්න දෙයක් ගෙන එන බව වෙන්න ඇති කිව්වේ. (නේද?)

නැතිව වෙන දෙයක් නෙවෙයි කියා හිතමු. ඒත් ඒක පිටිපස්සට ඇහුනෙ නැහැ.


Sunday, November 25, 2018

කොකෝවා භාවිතයෙන් චොකලට්‌ නිපදවීමට සිතුවාට වඩා අතීතයක්‌ ඇත

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 14.11.2018, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2018/11/14/feature1.html




චොකලට්‌ යනු ලොකු කුඩා බොහෝ දෙනා කැමත්තක්‌ දක්‌වන රසකැවිල්ලකි. වැඩි වශයෙන් කුඩා දරුවන් අතර ජනප්‍රිය වුව ද චොකලට්‌ සඳහා වැඩිහිටියන් අතර ද ඉල්ලුමක්‌ ඇත. අද වන විට ලෝකයේ ආහාර නිෂ්පාදන කර්මාන්තය තුළ චොකලට්‌ කර්මාන්තය සැලකිය යුතු වැදගත්කමක්‌ ගනියි. එය වාර්ෂික ව ඩොලර් බිලියන දෙකක පමණ වටිනාකමක්‌ ඇති කර්මාන්තයකි. ලොව ප්‍රකට සමාගම් ගණනාවක්‌ චොකලට්‌ කර්මාන්තයේ ආයෝජනය කර ඇත. අද වන විට ලෝක චොකලට්‌ නිෂ්පාදනයේ 3%ක පමණ වාර්ෂික වර්ධනයක්‌ ද දැකිය හැකි ය.

චොකලට්‌ නිෂ්පාදනය කරනු ලබන්නේ කොකෝවා හෙවත් Theobroma cacao ශාකයේ බීජ යොදාගනිමිනි. මේ ශාකයේ නිජබිම ලෙස දිගු කාලයක සිට පිළිගැනුණේ මෙක්‌සිකෝව හා මධ්‍යම ඇමෙරිකානු කලාපයයි. එහෙත් අද වන විට ලෝකයේ කොකෝවා නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක්‌ පමණ ප්‍රමාණයක්‌ සිදු කරනු ලබන්නේ අප්‍රිකානු රටවල ය. ලෝකයේ සමස්‌ත කොකෝවා නිෂ්පාදනය වන ටොන් මිලියන 4.585ක ප්‍රමාණයෙන් ටොන් මිලියන 3.0කට අධික ප්‍රමාණයක්‌ නිපදවනු ලබන්නේ අප්‍රිකානු රටවල ය. වඩාත් නිශ්චිත ව පවසන්නේ නම් සමකයට ආසන්න ව පිහිටා ඇති බටහිර අප්‍රිකානු රටවල ය. එසේ ම කොකෝවා වගාව වාර්ෂික ව ලෝකයේ ව්‍යාප්ත වෙමින් ඇති වගාවකි. 1974ත් 2013ත් අතර කාලයේ දී ලෝකයේ කොකෝවා නිෂ්පාදනය තෙගුණයක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

කොකෝවා ශාකයේ අතීත භාවිතය පිළිබඳ පිළිගත් මතය අනුව කොකෝවා ශාකය ගෘහාශ්‍රිතකරණය කිරීම සිදු වූයේ මෙක්‌සිකෝව ඇතුළුව මධ්‍යම ඇමෙරිකාවේ දී ය. අදින් වර්ෂ 3900කට පමණ පෙර කාලයක දී කොකෝවා භාවිත කළ බවට එම ප්‍රදේශයෙන් සාධක ලැබී ඇත. ඒ අනුව මිනිසුන් කොකෝවා ශාකය ආහාර සඳහා යොදාගැනීම හා වගා කිරීම සිදු කර ඇත්තේ ඒ කාලයේ පටන් බව සැලකේ. මිනිසුන් කොකෝවා බීජ වියළා අඹරාගෙන විවිධ පාන වර්ග ගණනාවක්‌ සකස්‌ කරගත් බවට සාධක තිබෙයි. වෙනත් සුවඳකාරක ද්‍ර්‍රව්‍ය ඊට එකතු කිරීමෙන් උත්සව හා චාරිත්‍රානුකූල උත්සව අවස්‌ථාවල දී පාන සාදාගෙන ඇත. ඒවා සකස්‌ කිරීම, පිළිගැන්වීම හා ගබඩා කිරීම සඳහා යොදාගත් විවිධ බඳුන් වර්ග රැසක්‌ හමු වී ඇති සාධක අතර වෙයි. යුරෝපීයයන් ඇමෙරිකාවට පැමිණෙන අවස්‌ථාව වන විට කොකෝවාවලින් සාදාගන්නා චොකලට්‌ එරට ප්‍රභූවරුන්ගේ ජනප්‍රිය පානයක්‌ වූ බව වාර්තාවල සඳහන් වෙයි. එක්‌ වාර්තාවක සඳහන් වන ආකාරයට ඇස්‌ටෙක්‌ අධිරාජ්‍යයකු වන දෙවැනි මොක්‌ටෙසුමා රජු රනින් කළ බඳුනකින් චොකලට්‌ පානය කර තිබෙයි. එසේ ම කොකෝවා ඇටවලින් තැනූ චොකලට්‌මය පානය මෙන්ම, එහි පලතුරුමය කොටස්‌ යොදාගනිමින් වෙනත් පාන වර්ග ද සකස්‌ කර තිබූ බවට සාධක ලැබී ඇත.

මේ හැරුණු විට කොකෝවා බීජ මධ්‍යම ඇමෙරිකාවේ මුදල් වශයෙන් ද භාවිත කර තිබෙයි. එය ප්‍රධාන වෙළෙඳ ද්‍රව්‍යයක්‌ වූ අතර, යටත් පාලකයන් සිය අවනත බව පෙන්වීම සඳහා කප්පම් ගෙවීම් සඳහා ද යොදාගෙන ඇත. එසේ ම එම කලාපයේ ශිෂ්ටාචාරවල දැකිය හැකි මිථ්‍යා කතාවල ද කොකෝවා නිරූපණය වෙයි. කොකෝවා පිළිබඳව සාධකයක්‌ ලෙස මෙතෙක්‌ කාලයක්‌ එවැනි පුරාවස්‌තු පිළිබඳව අවධානය යොමු කිරීමට සිදු ව ඇත්තේ තෙත් දේශගුණයක්‌ පවත්නා එම කලාපයේ ශාකමය ද්‍රව්‍ය දිරාපත් නො වී පවතින්නේ ඉතා අඩු වශයෙන් නිසා ය.





ඇමෙරිකාවට පැමිණි යුරෝපීයයන් කොකෝවා හඳුනාගත් පසුව ස්‌පාඤ්ඤ ජාතිකයන් විසින් යුරෝපයට චොකලට්‌ හඳුන්වා දෙන ලදි. 17 වැනි සියවස මැදභාගය පමණ වන විට එය යුරෝපයේ බෙහෙවින් ජනප්‍රිය පානයක්‌ විය. ඒ සඳහා තිබූ වැදගත්කම කෙතෙක්‌ ද යන්න කොකෝවා ශාකය හඳුන්වන උද්භිද විද්‍යාත්මක නාමය වන Theobroma යන ගණ නාමයෙහි ග්‍රීක භාෂා අර්ථය 'දෙවියන්ගේ ආහාරය' වීමෙන් පෙනෙයි. සිය යටත්විජිතවල කොකෝවා වගා කිරීම සඳහා යුරෝපීයයන් උනන්දු වූ අතර, ආසියානු හා අප්‍රිකානු රටවල මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල වගා කිරීම සඳහා කොකෝවා ශාකය හඳුන්වා දෙන ලද්දේ මූලික වශයෙන් යුරෝපා ජාතිකයන් විසිනි.


ගෘහාශ්‍රිතකරණයේ දින වකවානු අලුත් වෙයි


කොකෝවා ගෘහාශ්‍රිතකරණය පිළිබඳ ව ඇති පැරැණි ම සාධක ලෙස මෙතෙක්‌ විශ්වාස කරන ලද්දේ ඉහත දැක්‌වූ අදින් වසර 3900ක්‌ පමණ වන දින වකවානුවයි. එහෙත් පසුගිය දා ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව ඊට වඩා වසර 1500ක්‌ පමණ ඉහත කාලයට පෙර කොකෝවා ශාක ගෘහාශ්‍රිතකරණය හා භාවිතය කර ඇති බව හෙළි වී ඇත. එසේ ම මෙතෙක්‌ විශ්වාස කළ ආකාරයට එය සිදු ව ඇත්තේ මධ්‍යම ඇමෙරිකාවේ නො ව දකුණු ඇමෙරිකාවේ ය.

මෙම නව දින වකවානු ලබා දී ඇති පර්යේෂණය සඳහා මූලික පදනම වී ඇත්තේ කොකෝවා ශාකයේ ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳව අනාවරණය වූ කරුණු බව පෙනෙයි. එම ශාකයේ ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනවලින් හෙළි වූ කරුණු අනුව කොකෝවා ශාකයේ හා එයට නෑකම් දක්‌වන ශාක විශේෂවල විවිධත්වය අධික ම ප්‍රදේශය වූයේ සමකාසන්න දකුණු ඇමෙරිකාව ය. එසේ ම එම ශාකය එම ප්‍රදේශයේ වෙසෙන වර්තමාන ස්‌වදේශික ජනතාව සඳහා ද වැදගත් ශාකයක්‌ විය. ඒ එමගින් ලැබෙන ප්‍රයෝජන නිසා ය. මේ නිසා එම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්‌ථානයකින් කොකෝවා ශාකය භාවිතය පිළිබඳ සාධක තිබේ ද යන්න නව අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් විසින් සොයා බලන ලදි.

මෙහි දී හෙළි වී ඇති ආකාරයට ඇමසන් ද්‍රෝණියේ ඉහළ කොටස්‌වල හෙවත් ඇන්ඩීස්‌ කඳුකරය පාමුල ගිනිකොනදිග ඉක්‌වදෝරයේ අදින් වර්ෂ 5300කට පෙර විසූ මිනිසුන් කොකෝවා අස්‌වනු නෙළාගෙන ඒවා මිනිසුන්ගේ පරිභෝජනය සඳහා යොදාගෙන ඇත. එම කොකෝවා ශාක ඉන් වසර 1500කට පසුව මෙක්‌සිකෝවේ භාවිත කළ බවට සාධක ඇති කෝකෝවාවලට සමාන වෙයි.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ඉක්‌වදෝරයේ සාන්ත ආනා - ලා ෆ්ලොරිඩා (Santa Aka – La Florida) නම් පුරාවිද්‍යා ස්‌ථානයෙන් ලැබුණු සෙරමික්‌ බඳුන් පිළිබඳ පරීක්‌ෂාවකිනි. ඔවුන්ට හෙළි වූ පරිදි එම ප්‍රදේශයේ විසූ මායෝ-චින්චිපේ නමින් හඳුන්වන සංස්‌කෘතියට අයත් මිනිසුන් අදින් වර්ෂ 2100 හා 5300 අතර කාලයේ දී කොකෝවා ශාක භාවිත කර ඇත. ඒ අතරින් වඩාත් පැරැණි ම නිශ්චිත සාධක ලැබී තිබෙන්නේ අදින් වර්ෂ 5450ත් 5300ත් අතර කාලයේ දී කොකෝවා ශාක භාවිත කර ඇති බවට ය. ඒ සඳහා සාධක ක්‍රම තුනක්‌ ඔස්‌සේ සැපයීමට ද ඔවුන් සමත් ව ඇත.


ක්‍රම තුනක්‌ යොදාගැනේ


පළමු වැනි ක්‍රමය වන්නේ පිෂ්ට කණිකා හඳුනාගැනීමය. ඒ අනුව මේ සෙරමික්‌ බඳුන්වල හා කැඩුණු කොටස්‌වල ඇතුළත හා කැඩුණු කොටස්‌වල දැකිය හැකි පිෂ්ට කණිකා අධ්‍යයනය කර ඇත. එසේ ලබාගත් පිෂ්ට කණිකා නූතන කොකෝවා ශාකයේ (Theobroma cacao) හා එයට ඥාතිත්වයක්‌ දක්‌වන Herrania ගණයේ වෙනත් වනගත ශාකවල පිෂ්ට කණිකා සමග සංසන්දනය කරන ලද අතර ඒ අනුව ඒවා අයත් වන්නේ කොකෝවා ශාකයට බව එහි දී හෙළි විය. එසේ ශාක ගණය තහවුරු වූ පසුව පර්යේෂකයන් යොමු වී ඇත්තේ මේවායේ කොකෝවා ශාකයේ දැකිය හැකි එහෙත් එහි ඥාතිත්වයක්‌ දක්‌වන ශාකවල දැකිය නොහැකි තියෝබ්‍රොaමීන් (theobromine) යන ඇල්කලොයිඩය පිළිබඳව සොයා බැලීම සඳහා ය. ඒවා එම භාණ්‌ඩවල ඉතිරි ව තිබූ ශේෂවල අතුළත් වී තිබිණි. එම නිදර්ශක අතරින් 28%ක්‌ පමණ තියෝබ්‍රොaමීන් ඇති බව තහවුරු වී ඇත. තුන්වැන්න වන්නේ අදාළ සෙරමික්‌ භාණ්‌ඩවලින් ලබාගත් ශේෂවල පෞරාණික DNA පවතී ද යන්න පරීක්‌ෂා කිරීම ය. එහි දී කොකෝවා ශාකයට සුවිශේෂ වූ DNA අනුපිළිවෙළ සහිත DNA හමු වී තිබෙයි.

මේ අධ්‍යයනයෙන් අනාවරණය වන කරුණු අනුව චොකලට්‌ පරිභෝජනය සඳහා වූ දිනය මෙන්ම කොකෝවා ශාකයේ ගෘහාශ්‍රිතකරණය සඳහා ද වඩාත් පැරැණි දින වකවානුවක්‌ ලබාගැනීමට හැකි වීම වැදගත් ය. එසේ ම එම ගෘහාශ්‍රිතකරණය සිදු වූ ස්‌ථානය පිළිබඳ මෙතෙක්‌ පැවැති මතය ද වෙනස්‌ වී තිබෙයි. එම කරුණු අනුව කොකෝවා වගා කළ පිරිස්‌ මගින් එම ශාකය ආහාරයක්‌ ලෙස (බොහෝ විට පානයක්‌ ලෙස) දකුණු ඇමෙරිකාවේ සිට මධ්‍යම ඇමෙරිකාව දක්‌වා පැතිර යන්නට ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. ඒ අනුව කොකෝවා ශාකය ගෘහාශ්‍රිතකරණය කිරීමේ කතාවේ දැනට දන්නා පැරැණිතම කේන්ද්‍රය වන්නේ ඉහළ ඇමසන් ප්‍රදේශයයි. ඇතැම් විට යුරෝපීයයන් ඇමෙරිකාවට පැමිණි කාලය වන විට දකුණු ඇමෙරිකානු ස්‌වදේශිකයන් අතර කොකෝවා සඳහා ඇති වැදගත්කම අඩු වී ගොස්‌ මධ්‍යම ඇමෙරිකානුවන් අතර ඒ සඳහා ඇති වැදගත්කම ඉහළ ගොස්‌ තිබෙන්නට ඇති බව යෝජනා වී ඇත.

මූලාශ්‍රය: Nature Ecology: Evolution, DOI: 10.1038/s41559-018-0697-x

Tuesday, November 6, 2018

චීනයේ අපද්‍රව්‍ය ආනයන තහනම නිසා ලෝකය වෙනස්‌ වන හැටි

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 31.10.2018, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2018/10/31/feature1.html


පසුගිය වර්ෂයේ දී චීන රජය එරටට ආනයනය කරනු ලබන ඇතැම් පසුභාවිත අපද්‍රව්‍ය වර්ග ආනයනය කිරීම තහනම් කිරීමට තීරණය කළේ ය. 1980 දශකයේ පමණ සිට චීනය ප්ලාස්‌ටික්‌ ඇතුළු ද්විතීයික අමුද්‍රව්‍ය හෙවත් භාවිත කරන ලද ද්‍රව්‍ය ආනයනය කිරීමේ යෙදී සිටියේ ය. ඒවා යොදාගන්නා ලද්දේ ප්‍රතිචක්‍රීකරණය මඟින් විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිත කළ හැකි දේ ලබාගැනීම සඳහා ය. එමඟින් සම්පත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය ආනයනය කරන රටවල් අතර මුල් තැන චීනයට හිමි විය. සංඛ්‍යාලේඛන ආශ්‍රිත ව දක්‌වන්නේ නම්, 1992 වර්ෂයේ සිට 2016 දක්‌වා ගත වූ කාලයේ දී ලෝකයේ එක්‌ රටකින් තවත් රටකට අපනයනය කරන ලද ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අතරන් 45%ක්‌ පමණ ආනයනය කර ඇත්තේ චීනයයි.

කෙසේ වෙතත් 2017 වර්ෂයේ දී චීන රජය තීරණය කළේ කාර්මික නො වන අපද්‍රව්‍ය වර්ග ගණනාවක්‌ ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට ය. පාරිසරික හේතු සඳහන් කරමින් ප්‍රකාශයට පත් කරන ලද මේ තහනම අදාළ වූයේ විවිධ ද්‍රව්‍ය 24ක්‌ වැනි ප්‍රමාණයක ය. ඊට ප්ලාස්‌ටික්‌ කාණ්‌ඩ කිහිපයක්‌ හා කඩදාසි වැනි වර්ග ගණනාවක්‌ අයත් විය. එය ක්‍රියාත්මක වූයේ පසුගිය වර්ෂයේ දෙසැම්බර් 31 පමණ පටන් ය. කෙසේ වෙතත් ඇතැම් වාර්තාවකට අනුව චීනයේ අරමුණ වන්නේ එරට තුළ නිපදවෙන අපද්‍රව්‍ය එරට තුළ ම භාවිත කිරීම ය. එසේ ම එය ආරක්‌ෂණවාදී පියවරක්‌ ලෙස හඳුන්වා දී තිබෙයි.

යළිත් 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේ පමණ ඝන අපද්‍රව්‍ය ලෙස සඳහන් කරන අපද්‍රව්‍ය වර්ග 32ක්‌ ආනයනය කිරීම තහනම් කළේ ය. මේ යටතේ වර්ග 16ක්‌ පමණ මේ වර්ෂයේ දෙසැම්බර් 31 දින සිට ද, තවත් වර්ග 16 ක්‌ 2019 දෙසැම්බර් අග භාගයේ පමණ සිට ද එරටට ආනයනය කිරීම තහනම් කරනු ලැබෙනු ඇත. මේ වර්ග අතරට ප්ලාස්‌ටික්‌ වර්ග කිහිපයක්‌ පමණක්‌ නො ව දැවමය ද්‍රව්‍ය හා ලෝහමය අපද්‍රව්‍ය ද ඇතුළත් වේ.

මේ පිළිබඳ ව ලෝකයේ අවධානය යොමු වූයේ මෙසේ චීනය ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය ආනයනය සීමා කිරීමත් ඒ හා සමඟ ලෝකයේ එකතු වන අපද්‍රව්‍යවලට කුමක්‌ සිදු වන්නේ ද යන ප්‍රශ්නය නිසා ය.

ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය


ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය කිරීම මෑත කාලයේ ඉතා වේගයෙන් වර්ධනය වූවකි. නිදසුනක්‌ ලෙස ගත හොත් 1950 වර්ෂයේ දී ටොන් මිලියන 2ක්‌ පමණක්‌ වූ සමස්‌ත ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය 2015 වර්ෂය වන විට ටොන් මිලියන 322ක්‌ පමණ දක්‌වා ඉහළ ගොස්‌ ඇත. ප්ලාස්‌ටික්‌වල දැකිය හැකි විවිධ භාවිත කිරීම් නිසා එය අද දවසේ ලෝකයට අත්‍යවශ්‍ය දෙයක්‌ බවට පත් ව ඇත. එසේ ම ලෝකයේ ප්ලාස්‌ටික්‌ අතරින් 40%ක්‌ පමණ භාවිත කරනු ලබන්නේ ආවරණ හෙවත් පැකේජින් ද්‍රව්‍ය ලෙස වීම මෙහි ඇති වැදගත්කම මෙන් ම ඉවත දමන ප්‍රමාණය ද පෙන්වයි. එසේ ම එක්‌ වරක්‌ පමණක්‌ භාවිතයට ගැනීමෙන් පසුව ඉවත ලන ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය අධික වීම නිසා එය අපද්‍රව්‍ය ජනනයට හේතු වී ඇත.

ලෝකයේ රටවල් ගණනාවක්‌ මේ ගැටලුවට මුහුණ දී සිටියි. ඒ සඳහා බොහෝ රටවල් ගත් පියවරක්‌ වූයේ තම රටේ ජනනය වන අපද්‍රව්‍ය වෙනත් රටකට අපනයනය කිරීම ය. ප්ලාස්‌ටික්‌ හා සෙසු අපද්‍රව්‍ය අපනයනය කරන රටවල් අතර මුලින් ම පසු වන්නේ ඉහළ ආදායම් ලබන රටවල් ය. එසේ මෙවැනි ද්‍රව්‍ය ආනයනය කරන්නේ දිළිඳු රටවල් වීම වැදගත් ය. එම රටවල දී එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර යළිත් භාවිතයට ගත හැකි දේ ලබාගැනෙයි. එම ක්‍රියාවලිය රැකියා අවස්‌ථා ජනනය කර ආර්ථික වශයෙන් ඵලදායී වී ඇති නමුත් ඒ නිසා ඇතැම් රටක මානව සෞඛ්‍යයට හා පරිසරයට බලපෑම් සිදු කර ඇත.

දැන් චීනය ගෙන ඇති පියවර හේතුවෙන් මෙහි කිසියම් ආකාරයක අර්බුදයක්‌ ඇති කර තිබෙයි. එක්‌ ගණනය කිරීමකට අනුව, චීනය ක්‍රියාත්මක කර ඇති තහනම නිසා 2030 වර්ෂය වන විට ප්ලාස්‌ටික්‌ ටොන් මිලියන 111ක්‌ පමණ ප්‍රමාණයකට සිදු වන්නේ කුමක්‌ ද යන ගැටලුව ඇති වේ. එතෙක්‌ කල් නො ගිය ද, තම රටවල ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍යවලට සිදු කරන්නේ කුමක්‌ ද යන්න සිතා බැලීමට රටවල් ගණනාවකට මේ වන විට ද සිදු වී ඇත. විශේෂයෙන් 2018 ජනවාරි මස එම තහනම ක්‍රියාත්මක වීමත් සමඟ තත්ත්වය කෙතරම් බරපතළ වූවක්‌ ද යන්න පැහැදිලි වී ඇත.

චීනයේ තීරණයෙන් ඇති වූ බලපෑම


පළමු ව සිදුව ඇත්තේ අපද්‍රව්‍ය එකතු කරන ස්‌ථාන අපද්‍රව්‍යවලින් පිරී යැමට පටන්ගැනීම ය. එම රටවල මෙවැනි දේ ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදු වන නමුත්, අපනයනය කිරීම නැවතීම නිසා ඒ රටවල ප්‍රතිචක්‍රීකරණ ධාරිතාව ඉක්‌මවා යැම ඉක්‌මනින් වාර්තා විය.

පසුගිය දා වාර්තා වූ පරිදි ජපානයේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු වීම ගැටලුවක්‌ වී ඇත. ජපානයේ එකතු වන ටොන් මිලයන 1.5ක්‌ පමණ වන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අතරින් අඩක්‌ පමණ එරටින් වෙනත් රටවලට අපනයනය කර ඇත. දැන් මේ ප්‍රමාණය රට තුළ එකතු වීමෙන් ප්‍රශ්න මතු වී ඇත. එරට පළාත් පාලන ආයතන අතරින් රැසක්‌ ම මේ ප්ලාස්‌ටික්‌ බැහැර කිරීම සඳහා ස්‌ථාන නොමැති වීමේ ගැටලුවට මුහුණ පා ඇත. එරට ප්‍රතිචක්‍රීකරණයේ යෙදෙන ආයතනවල ධාරිතාව ඉක්‌මවා ලීම මේ ගැටලුවට හේතුව වී ඇත. මේ වන විට ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය සැකසුම් කටයුතු දේශීය ව සිදු කිරීමේ හැකියාව දියුණු කිරීමට එරට අපේක්‌ෂා කරයි.

මේ නව තත්ත්වය හමුවේ රටවල් කිහිපයක්‌ කඩිනම් සැලසුම් දියත් කර ඇත. මේ වර්ෂයේ ජනවාරි මස බ්‍රිතාන්‍යයේ අගමැතිනිය පවසා තිබුණේ වසර 25ක්‌ ඇතුළත වැළැක්‌විය හැකි අපද්‍රව්‍ය නැවැත්වීම සඳහා පියවර ගන්නා බවයි. එරට තුළ ජනනය වන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය අතරෙන් තුනෙන් දෙකක්‌ පමණ බ්‍රිතාන්‍යය අපනයනය කළේ ය.

යුරෝපා සංගමය ද වරක්‌ පමණක්‌ භාවිත කරන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන තහනම් කිරීමේ යෝජනාවක්‌ පසුගිය මැයි මාසයේ පමණ ද ප්‍රකාශයට පත් කරන ලදි. එයට අනුව විකල්ප ලෙස භාවිත කළ හැකි ද්‍රව්‍ය ඇති අවස්‌ථාවල දී වරක්‌ පමණක්‌ භාවිත කරන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන භාවිතය තහනම් කිරීමට හා එසේ නොමැති අවස්‌ථාවල දී භාවිතය සීමා කිරීමට ද යෝජනා කර ඇත. කෙසේ වෙතත් අදාළ ක්‍රමවේදය තුළ මේ යෝජනාව සම්මත ව නීතියක්‌ බවට පත් වන්නට වසර කිහිපයක කාලයක්‌ ගත විය හැකි ය. පසුගිය සතියේ එම යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එසේ ම ඊට පෙර යුරෝපා සංගමය මඟින් ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය සඳහා උපායමාර්ගයක්‌ ද දියත් කරන ලදි.

මේ තහනම පිළිබඳ ව අදහස්‌ පළ කළ ඇමෙරිකාව චීනයෙන් ඉල්ලා තිබුණේ එය නැවත සලකා බලන මෙන් ය. ඒ මේ වර්ෂයේ මුල් භාගයේ ය. එය ඇමෙරිකාව හා චීනය අතර වෙළෙඳ යුද්ධයක්‌ බවට ද පත්වෙමින් තිබූ බවක්‌ දැකිය හැකි විය.

විසඳුමක්‌ සොයා


මේ සඳහා විසඳුම් ලෙස වෙනත් රටවලට එම ද්‍රව්‍ය අපනයනය කිරීම දක්‌වා ඇතත්, තවත් රටවල් චීනය ගත් පියවර හා සමාන පියවර ගැනීම පිළිබඳව ද අසන්නට ලැබෙයි. ප්ලාස්‌ටික්‌ හා වෙනත් ඝන අපදව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා ආනයනය කරන තවත් රටවල ද මේ හා සමාන ගැටලු තිබෙයි. මේ මාසය මුල ද මලයාසියාව ද මෙවැනි අපද්‍රව්‍ය ආනයනය සඳහා මාස තුනක තහනමක්‌ පනවා ඇත. මලයාසියාව ලෝකයේ දියුණු රටවල ප්ලාස්‌ටික්‌ කසළ බඳුන වීමට අපේක්‌ෂා නො කරන බව එරට විද්‍යා, තාක්‌ෂණ, පරිසර හා දේශගුණ වෙනස්‌වීම පිළිබඳ අමාත්‍යවරයා පවසා තිබෙයි. වියට්‌නාමය ද තාවකාලික ආනයන තහනමක්‌ පනවා ඇති බවක්‌ වාර්තා වෙයි. තායිලන්තය 2021 වර්ෂයේ සිට ආනයන තහනම් කිරීම සඳහා පියවර ගන්නා බවක්‌ සඳහන් කර ඇත. මේ රටවල් තුනේ සීමා කිරීම වඩාත් බලපානු ඇත්තේ එම රටවලට සිය ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අපනයනය කරන ඇමෙරිකාවට ය.

අනෙක්‌ අතට මේ ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලියෙහි යෙදෙන ඇතැම් රටවල එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා අවශ්‍ය ආරක්‌ෂිත තත්ත්ව නොමැති විය හැකි ය. එය එම රටවල ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳ ව ගැටලු ඇති කරන්නකි.

මෑතක ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් පෙන්වා ඇත්තේ මේ තත්ත්වය අනුව ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ද්‍රව්‍ය සම්බන්ධයෙන් එම ප්‍රමාණය අඩු කිරීම සඳහා අවශ්‍ය අදහස්‌ හා ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බව ය. මෙහි දී අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වන ලෙස ඇතැම් ද්‍රව්‍ය නැවත සකස්‌ කිරීම වැනි පියවර අවශ්‍ය විය හැකි ය.

අවසානයේ දී පෙනෙන්නේ චීනයේ ඉහත කී අපද්‍රව්‍ය ආනයන සීමා කිරීම ලෝකයට යම් කිසි ආකාරයකින් වෙස්‌වලාගත් ආශිර්වාදයක්‌ වී ඇති බවයි. එයට හේතුව ඒ නිසා ප්‍රතිචක්‍රීකරණය මෙන් ම සබුද්ධික ආකාරයෙන් ප්ලාස්‌ටික්‌ හා සෙසු ද්‍රව්‍ය භාවිතය වේගවත් වීමට අවස්‌ථාවක්‌ සැලසීම ය. මෙය ප්ලාස්‌ටික්‌ පරිසර දූෂණය පිළිබඳ සෙසු බලපෑම් සමඟ ගත් විට සාධනීය ප්‍රතිඵල අත්පත් කරමින් ඇති බව පෙනේ.

http://www.vidusara.com/2018/10/31/feature1.html

Thursday, October 25, 2018

දේශගුණ වෙනස්‌ වීම හමුවේ ජෛව විවිධත්වය ආරක්‌ෂා කිරීම අභියෝගයක

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 17.10.2018, පි. 7 (Vidusara)
http://www.vidusara.com/2018/10/17/feature3.html




වර්තමාන ලෝකයේ බරපතළ ම පාරිසරික අර්බුදය ලෙස අවිවාදයෙන් හැඳින්වෙන දේශගුණ වෙනස්‌ වීම නිසා බොහෝ අංශවලට බලපෑම් ඇති වෙයි. එවැනි බලපෑම් අතර, ලෝකයේ ජෛව විවිධත්වයට ඇති විය හැකි බලපෑම අහිතකර හා නිෂේධනීය විය හැකි බව පුළුල් ලෙස පිළිගැනෙන කරුණකි. එවැනි බලපෑම් පිළිබඳ සාධක ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙයි. එමෙන් ම මේ බලපෑම් පිළිබඳ ව විවිධ පුරෝකථන ඇති අතර, එහෙත් ඒ සම්බන්ධ ව අප ඉදිරියේ ඇත්තේ පැහැදිලි හා සම්පූර්ණ අදහස්‌ නො වීම කණගාටුදායක ය.

කෙසේ වෙතත් ජෛව විවිධත්වයට ඇති වන බලපෑම් පිළිබඳ ව පරිසර විද්‍යාඥයන් වැඩි අවධානයක්‌ යොමු කිරීම නිසා ඒ පිළිබඳ ව සිදු කරනු ලබන අධ්‍යයන නිතර ම වාර්තා වෙයි. පසුගිය දා ප්‍රකාශයට පත් වූ මෙවැනි අධ්‍යයන දෙකකින් ජෛව විවිධත්වය මුහුණ දී ඇති අනාගත ගැටලුවේ තරම පිළිබඳ ව වාර්තා විය. ඒවායේ යොදාගෙන ඇති ක්‍රමවේදය වැදගත් වෙයි. ඒ අතීතයේ පැවැති ජෛව විවිධත්වය මුහුණ දුන් දේශගුණ වෙනස්‌ වීමේ සිදුවීම් පිළිබඳ සාධක යොදාගනිමින් අනාගතය පිළිබඳ ව පුරෝකථනය කිරීමට උත්සාහ දරන නිසා ය.

නව තත්ත්වවලට අනුහුරු වීමේ වැදගත්කම


අතීතයේ ඇති විවිධ වූ පාරිසරික වෙනස්‌වීම්වල දී ශාක හා සතුන් ඒ සඳහා ප්‍රතිචාර දක්‌වා ඇති ආකාරය පිළිබඳ ව සිදු කරන ලද අපේ අවධානයට ලක්‌ වූ පළමු අධ්‍යයනයට අනුව එවැනි වෙනස්‌ වීම් සඳහා විවිධ ජීවීන් දක්‌වන ප්‍රතිචාර වන්නේ එම තත්ත්වයට අනුහුරු වීම, සංක්‍රමණය වීම හෝ වඳ වී යැම ය. (Trends in Ecology and Evolution, DOI: 10.1016/j.tree.2018.07.005).

සතුන් හා ශාක, දේශගුණ වෙනස්‌ වීමට දක්‌වන මූලික ප්‍රතිචාරය වන්නේ යෝග්‍ය පරිසරයක්‌ ඇති ප්‍රදේශවලට සංක්‍රමණය වීම බව මෙතෙක්‌ කලක්‌ වැඩි වශයෙන් පිළිගන්නා ලදි. එහෙත් අදාළ ප්‍රදේශයේ පාරිසරික තත්ත්වවලට අනුහුරු වීම ද ප්‍රායෝගික ව සිදු කළ හැකි දෙයකි. මෙහි දී එම ජීවීන්ගේ හැසිරීමේ හා දේහ ස්‌වභාවයේ වෙනස්‌කම් ද සිදු විය හැකි ය. මේ අනුහුරු වීම් ජීවීන්ගේ පැවැත්ම සඳහා ඉතා වැදගත් බව මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත. එහෙත් මෙය සෙමින් සිදු වන ක්‍රියාවලියකි. එසේ වෙනස්‌ වූ පරිසර තත්ත්වවලට හැඩගැසීමට හෝ වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වීමට නොහැකි වුව හොත් සිදු වන්නේ එම ජීවී විශේෂ වඳ වී යැමේ අවදානමක්‌ ඇති වීම ය. මේ ආකාරයෙන් දේශගුණ වෙනස්‌ වීම නිසා වඳ වී ගිය ජීවී විශේෂ දැකිය හැකි ය.

එසේ ම මේ අධ්‍යයනයෙන් හඳුනාගෙන ඇති ආකාරයට වර්තමාන ලෝක පරිසරයේ තත්ත්වය අනුව ඇති වෙමින් පවත්නා වෙනස්‌කම්වල විශාලත්වය හා වෙනස්‌ වීම් ඇති වන වේගය ඉතා විශාල බව දේශගුණ ආකෘති අනුව පෙනෙයි. එසේ ම පසුගිය වසර මිලියනයක්‌ පමණ කාලයේ මෙවැනි තරම් හෝ මෙවැනි වේගයකින් යුක්‌ත වෙනස්‌කම් ඇති වී නොමැති තරම් බව එම කාලයට අයත් ෆොසිල පිළිබඳ ව උක්‌ත අධ්‍යයනයේ දී සිදු කළ සොයාබැලීම් අනුව පැහැදිලි ය. මේ අධ්‍යයනය එම කාලය පිළිබඳ ව අද වන විට ඇති දැනුම සම්බන්ධ ව යළි විමසා බලන්නකි. ඒ අනුව වර්තමානයේ ඇති වන තත්ත්වය හමුවේ අනාගතයේ දී ජෛව විවිධත්වයට ඇති විය හැකි බලපෑම් පිළිබඳ දැනුම හා ආකෘති වැඩිදියුණු කළ යුතු ය. එවැනි පියවරක්‌ හරහා ලබාගන්නා වැඩි අවබෝධයක්‌ මේ ජීවීන් සංරක්‌ෂණය සඳහා අවශ්‍ය වෙයි.

මේ අධ්‍යයනයෙන් පැහැදිලි ව පෙනෙන්නේ අනාගත දේශගුණ වෙනස්‌ වීම හමුවේ ජෛව විවිධත්වය මුහුණ දී ඇති අනතුරේ තරම බරපතළ විය හැකි බවයි. අද දැකිය හැකි පාරිසරික වෙනස්‌කම්වලින් අවදානමකට ලක්‌ වන ජීවී විශේෂවලට ඊට අනුහුරු වීමට හෝ සංක්‍රමණය වීමට හෝ නොහැකි වුව හොත් සිදු විය හැක්‌කේ ඒවා වඳ වී යැම ය. එය ලෝකයේ ජෛව විවිධත්වයට ඇති බරපතළ තර්ජනයක්‌ බව අමුතුවෙන් කිව යුතු නො වෙයි.

භෞමික පරිසර පද්ධති අවදානමක


දේශගුණ වෙනස්‌ වීම හේතුවෙන් ලෝකයේ බොහෝ භෞමික පරිසර පද්ධති අවදානමකට මුහුණ පා ඇති බව අප මාතෘකා කරගත් දෙවැනි අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත. හරිතාගාර වායු විමෝචන පිළිබඳ ව වර්තමානයේ කටයුතු කරන ආකාරයට ම දිගින් දිගට ම කටයුතු කරනු ලැබුව හොත් හෙවත් හරිතාගාර වායු විමෝචන විශාල ප්‍රමාණයකින් අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු නො ලැබුව හොත් මේ තත්ත්වය ඇති විය හැකි ය. (මූලාශ්‍රය Science, DOI: 10.1126/science.aan5360).

මේ අධ්‍යයනයේ දී යොදගෙන ඇත්තේ පශ්චාත් ග්ලැසියර අවධිය හෙවත් උෂ්ණත්වය ඉහළ ගිය කාලවකවානුවට අයත් ෆොසිල පිළිබඳ සිදු කර ඇති ප්‍රකාශිත අධ්‍යයනයි. මේ ෆොසිල අයත් කාලවකවානුව ආරම්භ වන්නේ අදට වර්ෂ 21,000ක්‌ පමණ පෙර කාලයක දී ආරම්භ වූ කාලයේ දී ය. මෙහි දී ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ඇති ශාක පරාග ශා ශාක ෆොසිල නිදර්ශක පිළිබඳ අධ්‍යයන 594ක දත්ත යොදාගෙන ඇත. ඒවායේ කාලනිර්ණය වන්නේ අදින් වර්ෂ 21,000ත් 14,000ත් අතර කාලයක්‌ බව සඳහන් වෙයි. එම කාලයේ දී ඇති වූ උෂ්ණත්වය ඉහළ යැම ආසන්න වශයෙන් ඉදිරි වර්ෂ 100 - 150 පමණ කාලයේ දී ඇති විය හැකි යෑයි පුරෝකථනය කර ඇති උෂ්ණත්ව වර්ධනයට සමාන ය. එනම් එය සෙල්සියස්‌ අංශක 4ත් 7ත් (4 - 70C) අතර ප්‍රමාණයක උෂ්ණත්ව වර්ධනයකි.

මේ වෙනස්‌කම් ඇති වූ කාලයේ දී ලෝකයේ විවිධ ප්‍රදේශවල වෘක්‌ෂලතාවලට සිදු වූ දේ වටහාගැනීම මේ අධ්‍යයනයෙහි අරමුණ විය. ෆොසිල අධ්‍යයන මඟින් හෙළි වන දත්තවලින් හෙළි වන වෘක්‌ෂලතාදියේ වෙනස්‌ වීම් හා අදාළ කාලයේ පැවැති දේශගුණ තත්ත්වය පිළිබඳ දත්ත මඟින් හෙළි වන දේශගුණයේ වෙනස්‌ වීම් මෙහි දී සංසන්දනය කර ඇත. එහි දී පෙනී ගොස්‌ ඇති පරිදි භෞමික පරිසර පද්ධති පරිසරයේ උෂ්ණත්වයේ ඉහළ යැමට ඉතා සංවේදී වෙයි.

එවැනි තත්ත්වයක්‌ අනාගතයේ දී ද ඇති වීමට අවස්‌ථාවක්‌ පවතී. ඒ වර්තමාන දේශගුණ වෙනස්‌ වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. මේ අනුව විවිධ හරිතාගාර වායු විමෝචන තත්ත්ව යටතේ අනාගතයේ දී ඇති වනු ඇති බවට පුරෝකථනය කර ඇති උෂ්ණත්වය ඉහළ යැම හමුවේ විවිධ පරිසර පද්ධතිවල වෙනස්‌ වීම් ගැන අවබෝධයක්‌ ලබාගැනීම මේ අධ්‍යයනයේ අනෙක්‌ අරමුණ වී ඇත.

මේ අනුව දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා කිසිදු පියවරක්‌ නො ගෙන කටයුතු අද මෙන් ම ඉදිරියට ද සිදු වුව හොත් ලෝකයේ වෘක්‌ෂලතා දර්ශවල මහා පරිමාණ වෙනස්‌වීම් ඇති වීමේ සම්භාවිතාව 60%ක්‌ තරම් අධික විය හැකි ය. එහෙත් 2015 වර්ෂයේ දී ඇති කරගත් පැරිස්‌ ගිවිසුමේ දී එකඟ වූ ඉලක්‌ක අත්පත් කරගැනීමට කටයුතු කළ හැකි නම් වෘක්‌ෂලතා දර්ශවල මහා පරිමාණ වෙනස්‌වීම් ඇති වීමට ඇති හැකියාව 45%කට වඩා අඩු කරගත හැකි ය.

මෙසේ පරිසර පද්ධතිවල වෘක්‌ෂලතාදියේ ඇති විය හැකි වෙනස්‌කම් නිසා එම පරිසර පද්ධතිය මුළුමනින් ම පාහේ වෙනස්‌ ආකාරයක්‌ ගත හැකි ය. එය පරිසරයේ විශේෂ විවිධත්වයට ද තීරණාත්මක ආකාරයෙන් බලපාන කරුණකි. මෙය හුදෙක්‌ පුරෝකථනයක්‌ පමණක්‌ නො වෙයි. මෙවැනි බරපතළ තත්ත්වයේ වෙනස්‌ වීම් මේ වන විට ද සිදු වෙමින් තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් ලැව් ගිනි හා වනාන්තර මිය යැම වැනි තත්ත්ව නිසා ඇමරිකාවේ වෘක්‌ෂලතා කලාපවල ඇති වන වෙනස්‌කම් මේ වන විට ද පැහැදිලි ය.

මෙසේ පරිසර පද්ධතිවල මහා පරිමාණ වෙනස්‌වීම් ඇති වීම හුදෙක්‌ ජෛව විවිධත්වයට පමණක්‌ නො ව වෙනත් කරුණු සඳහා ද බලපෑ හැකි දෙයකි. නිදසුනක්‌ ලෙස ගත හොත්, ජලය සංචිත කිරීම, කාබන් සංචය කිරීම, හා සෞන්දර්යාත්මක හා විනෝද ක්‍රීඩා වැනි කටයුතු සඳහා වැදගත් පරිසර පද්ධති මේ ආකාරයෙන් වෙනස්‌ වීමට හැකියාව ඇත. මෙසේ පරිසර පද්ධති සේවාවලට බලපෑමක්‌ ඇති වීම වැදගත් කරුණකි.

ජෛව විවිධත්වය කෙරේ ඇති අවධානය


දේශගුණ වෙනස්‌ වීම හමුවේ ජෛව විවිධත්වය කෙතරම් අවදානමකට මුහුණ පා තිබුණ ද ඒ පිළිබඳ ව ලෝකයේ ඇති වී ඇති අවධානය තරමක්‌ අඩු බවක්‌ මේ සම්බන්ධ ව ඇති ප්‍රවණතා ගැන අවධානයෙන් බලන විට පෙනෙයි. දේශගුණ වෙනස්‌ වීමෙන් ඇතිවන බලපෑම් අතර වැඩි අවධානයක්‌ යොමු වන්නේ මිනිසුන්ට ඝෘජු ව බලපාන ගැටලු කෙරෙහි ය. එය ප්‍රායෝගික ව සිදු විය හැකි නමුත්, මිනිසුන්ට එය බලපාන හේතුවෙන් පවා මෙතෙක්‌ මේ ගැටලුව විසඳීමට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නො වෙයි.

විද්‍යාඥයන් අතර ජෛව විවිධත්වය පිළිබඳ ව වැඩි අවධානයක්‌ යොමු ව තිබුණ ද එය තීරණ ගැනීමේ මට්‌ටමට එන විට එතරම් වැදගත් සාධකයක්‌ ද යන ගැටලුව තවමත් දැකිය හැකි ය. කෙසේ වෙතත් මේ තත්ත්වය වෙනස්‌ කළ හැක්‌කේ විද්‍යාත්මක දත්ත මත පදනම් ව සිදු කරනු ලබන ක්‍රියාකාරකම් හරහා බව පැහැදිලි ය. දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා සාධනීය වූ පියවර ගැනීම හැකි ඉක්‌මනින් කළ යුතු බව පැහැදිලි ය. නොඑසේ නම් දේශගුණ වෙනස්‌ වීමේ අභියෝගය හමුවේ ජෛව විවිධත්වය ආරක්‌ෂා කිරීම ප්‍රායෝගික නො වන්නක්‌ විය හැකි ය.

http://www.vidusara.com/2018/10/17/feature3.html

Wednesday, October 10, 2018

මැඩගස්‌කරයේ අලි කුරුල්ලන් වඳ වීමට මිනිසුන් හේතුවක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 03.10.2018, පි. 11(Vidusara)

http://www.vidusara.com/2018/10/03/feature1.html



අලි කුරුල්ලන් ලෙස හඳුන්වනු ලබන්නේ මිහිතලයේ ජීවත් වූ විශාලතම පක්ෂී විශේෂ ලෙස දැනට හඳුනාගෙන ඇති පක්ෂී විශේෂ කිහිපයකි. මේ පක්ෂීන් අතීතයේ දී මැඩගස්‌කරයේ සුලබ ව දැකිය හැකි වූ පක්ෂී විශේෂ වූ අතර පසු කලක වඳ වී ගොස්‌ ඇත. පෙනුමෙන් පැස්‌බරකු වැනි වූ පක්ෂීන් වන මේ අලි කුරුල්ලන් යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ Aepyornis, Mullerornis හා Vorombe යන විශේෂ තුනට අයත් පක්ෂී විශේෂ 9 දෙනෙකි. උසින් මීටර් 3ක්‌ පමණ වන මේ පක්ෂීන් බරින් ටොන් භාගයක්‌ පමණ වූ බව ගණන් බලා ඇත. ඔවුන්ගේ බිත්තර ඇතැම් ඩයිනසෝර සත්ත්වයන්ගේ බිත්තරවලට ද වඩා විශාල වූ බවක්‌ පැවසෙයි.

අදින් වර්ෂ මිලියන 88කට ඉහත දී මැඩගස්‌කර දූපත ඉන්දියානු උප මහාද්වීපයෙන් වෙන් වූ පසුව අලි කුරුල්ලන් හා වෙනත් මහා සත්ත්ව විශේෂ ගණනාවක්‌ එහි වාසය කර තිබෙයි. මේ පක්ෂී විශේෂ මැඩගස්‌කරයෙන් වඳ වී ගොස්‌ ඇත්තේ අදින් වර්ෂ 1,000කට පමණ පෙර කාලයක බව සැලකේ. එහෙත් එසේ සිදු වූයේ කුමන හේතුවක්‌ නිසා ද යන්න නිශ්චිත ව නො දන්නා කරුණකි. ඒ සඳහා මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මූලික වශයෙන් බලපෑ බවට මත පළ වී තිබෙයි.

මෑත දී මේ පිළිබඳ ව සිදු කරන ලද අධ්‍යයනයකින් මැඩගස්‌කරයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයන් හා මේ පක්ෂීන් අතර පැවැති සම්බන්ධය පිළිබඳ ව කරුණු අනාවරණය වී ඇත. කරුණු දෙකක්‌ නිසා මෙය වැදගත් සොයාගැනීමක්‌ බවට පත් වෙයි. මිනිසුන් එම කාලයේ දී මේ කුරුල්ලන් දඩයම් කර ආහාරයට ගැනීම හා එය පක්ෂීන්ගේ වඳ වී යැම සඳහා යම් බලපෑමක්‌ විය හැකි වීම ගැන අනාවරණය වන කරුණ මින් පළමුවැන්න ය. දෙවැන්න වන්නේ මැඩගස්‌කරයේ මිනිස්‌ වාසස්‌ථාන ඇති වූ කාලවකවානුව පිළිබඳ ව ඉන් ලැබෙන සාධක ය.

අලි කුරුල්ලන්, දඩයම් කරන ලද බවට සාධක


මැඩගස්‌කරයේ දකුණු - මධ්‍යම ප්‍රදේශයේ 2008 වර්ෂයේ දී සිදු කරන ලද මැණික්‌ ගැරීමක දී හමු වූ අස්‌ථි ශේෂ පිළිබඳ ව පුවතකින් මේ අධ්‍යයනය පිළිබඳ කතාව ආරම්භ වෙයි. ඒ පිළිබඳ ව සිදු කරන ලද අධ්‍යයන මඟින් එම ස්‌ථානයෙන් සත්ත්ව විශේෂ ගණනාවකට අයත් අස්‌ථි අවශේෂ හඳුනාගැනීමට හැකි වී ඇත්තේ 2016 වර්ෂයේ දී ය. එම අස්‌ථි එකතුවේ මහා ලීමර වීශේෂවල, හිපපෝටේමස්‌ විශේෂයක, යෝධ ඉබ්බන් හා කිඹුලන්ගේ අස්‌ථි ශේෂ මෙන් ම අලි කුරුල්ලන්ට අයත් වන අස්‌ථි ශේෂ ද තිබී ඇත.

එම ස්‌ථානයෙන් හඳුනාගත් Aepyornis maximus විශේෂයට අයත් අලි කුරුල්ලකුගේ අස්‌ථි ශේෂ පරීක්‌ෂා කළ පර්යේෂකයන්ට ඒවායේ තිබී මිනිසුන් විසින් සිදු කරන ලද කැපුම් සලකුණු හඳුනාගැනීමට හැකි විය. මේවා මිනිසුන් එම සතා දඩයම් කිරීමෙන් පසු ව මස්‌ කිරීමේ දී ඇති වූ ගැඹුරු කැපුම් සලකුණු සේ විස්‌තර කර ඇත. මේ අස්‌ථිවල කොලැජන් නිදර්ශක විකිරණශීලී කාබන් කාල නිර්ණයට ලක්‌ කිරීමෙන් ඒවා අදින් වර්ෂ 10,500කට පමණ (වඩා නිවැරැදි ව පවසන්නේ නම් අදින් වර්ෂ 10,721 සිට 10,511 ක්‌ පමණ කාල පරාසයකට අයත්) පෙර විසූ සතකුගේ බවට කාල නිර්ණය කර තිබෙයි.


මෙය වැදගත් සොයාගැනීමක්‌ බවට පත් වන්නේ කරුණු දෙකක්‌ නිසා ය. ඉන් එකක්‌ වන්නේ මේ පක්ෂීන් හා මිනිසුන් අතර තිබූ සම්බන්ධතාව මින් අනාවරණය වීම ය. දෙවැන්න වන්නේ මැඩගස්‌කරයේ මිනිස්‌ වාසස්‌ථාන ඇති වීම පිළිබඳ ව ඉන් ලැබෙන සාධකවල වැදගත්කම ය.

මේ පක්ෂීන් දඩයම් කිරීම නිසා ඔවුන්ගේ වඳ වී යැමට මිනිසුන් හේතු වී ඇති බව මේ දත්ත අනුව පෙනෙයි. බරින් ටොන් භාගයක්‌ පමණ වූ මේ පක්ෂීන් ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාරයේ වැදගත් තැනක්‌ ගන්නට ඇත. එසේ ම මේ පක්ෂීන්ගේ බිත්තර ද මිනිසුන් විසින් ආහාරයට ගනු ලබන්නට ඇතැයි සැලකෙයි. එවැනි එක්‌ බිත්තරයක්‌ කිකිළි බිත්තර 150ක්‌ පමණ තරම් විශාල ය.

එක්‌තරා කාලයක දී මැඩගස්‌කරයේ සුලබ පක්ෂීයකු වූ මේ පක්ෂීන් අවසන් වශයෙන් වඳ වී යන්නට ඇත්තේ අදින් වසර 1,000කට පමණ පෙර පමණ බව සැලකේ. එසේ ම මේ ආකාරයෙන් මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා මහා ලීමරයන් වැනි තවත් මහා සත්ත්ව විශේෂ ද වඳ වී යන්නට ඇති බවක්‌ සැලකෙයි. කෙසේ වෙතත් මෙසේ මිනිසුන් අදින් වසර 10,000කට පමණ ඉහත කාලයක දී මේ පක්ෂීන් දඩයම් කර තිබීම හා අදින් වසර 1,000ක්‌ පමණ කාලයකට ඉහත කාලයක්‌ දක්‌වා මේ පක්ෂීන් වඳ වී නො ගොස්‌ පැවතීම වැදගත් කරුණකි. ඉන් පැහැදිලි වන්නේ මිනිසුන්ගේ දඩයම නිසා කෙටි කාලයක්‌ ඇතුළත පක්ෂීන් වඳ වී යැමට වඩා සිදු ව ඇත්තේ මිනිසුන් හා පක්ෂීන් වසර දහස්‌ ගණනක්‌ පමණ එක ම පරිසරයක පැවතීම හෙවත් සහජීවනයක්‌ තිබීම විය හැකි ය.

මෙසේ මිනිසුන් මැඩගස්‌කරය ජනාවාස කරගෙන පසුව කෙටි කාලයක්‌ තුළ මේ පක්ෂීන් වඳ වී නො යැමෙන් පුළුල් ව පිළිගන්නා එක්‌තරා සිද්ධාන්තයක්‌ මැඩගස්‌කරයට වලංගු නැති බව ද හෙළි වෙයි. ඒ මීට දශක හතරකට පමණ පෙර පෝල් මාටින් නම් පුරාවිද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද කල්පිතයකි. ඉන් පැවසුණේ ලෝකයේ විවිධ ප්‍රදේශවල විසූ මහා ක්ෂීරපායින් වැනි සතුන් මිය යැමට හා වඳ වී යැමට බලපෑ ප්‍රධාන හේතුවක්‌ වූයේ එම පරිසරයට අලුතින් හදිසියේ පැමිණි මිනිසුන්ගේ ප්‍රහාරාත්මක දඩයම් ක්‍රමවේදය බවයි. මිනිසුන් විසින් අධික ලෙස දඩයම් කරනු ලැබීම, දේශගුණ වෙනස්‌ වීම වැනි ස්‌වාභාවික සාධකවලට වඩා වැඩි හේතුවක්‌ බව දක්‌වා තිබිණි. මෙය ඇතැම් සත්ත්ව විශේෂ හා භූගෝලීය ප්‍රදේශ සම්බන්ධ ව සත්‍ය බව මේ වන විට තහවුරු වී ඇත. නවසීලන්තයේ අතීතයේ වාසය කළ විශාල පක්ෂී විශේෂයක්‌ වූ මොආ වඳ වී ගියේ පොලිනීසියානුවන් එරටට පැමිණ සියවස්‌ දෙකක්‌ පමණ කාලයක්‌ ඇතුළත දී බව පැහැදිලි ය.

කෙසේ වෙතත් දැන් මැඩගස්‌කරයෙන් ලැබී ඇති සාධක අනුව පෙනෙන්නේ එරට තුළ පැවැති තත්ත්වය සඳහා එම කල්පිතය එතරම් සාර්ථක පැහැදිලි කිරීමක්‌ නො වන බවයි. එයට හේතුව වන්නේ මේ මහා පක්ෂීන් සමඟ අඩු වශයෙන් මිනිසුන් වසර 9,000ක්‌ පමණ කාලයක්‌ සහජීවනයක්‌ හෙවත් එක ම පරිසරයක වාසය කර ඇති බවක්‌ පෙනී යැම ය. එමෙන් ම අවසානයේ දී අලි කුරුල්ලා වැනි පක්ෂීන් වඳ වී ගියේ ගොවිතැන් කළ ප්‍රජාව මැඩගස්‌කරයට පැමිණි පසුව බව මේ පර්යේෂකයන්ගේ මතය වෙයි. එම පිරිස්‌ රට පුරා ව්‍යාප්ත වූ පසුව හා පරිසරය වෙනස්‌ කළ පසුව ඇති වූ දඩයම් පීඩනය හමුවේ මේ පක්ෂීන් වඳ වී ගොස්‌ ඇත.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් මිනිසුන් විසින් සිදු කරන ලද බලපෑම හේතුවෙන් මහා සත්ත්වයන් වඳ වී යැම සිදු වීම පිළිබඳ අදහස මැඩගස්‌කරය සඳහා සත්‍ය නො වේ යන මතය සඳහා අභියෝග නැතිවා නො වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් මැඩගස්‌කරයේ මේ තත්ත්වය ඇති වූයේ එහි විසූ මානව ජනගහනය කුඩා වීම නිසා හෝ කෙටි කාලයක්‌ තුළ පමණක්‌ එම බලපෑම තිබූ නිසා හෝ විය හැකි ය. මේ නිසා මේ මානව ජනාවාස ව්‍යාප්තකරණය පිළිබඳ ව තවදුරටත් අධ්‍යයන සිදු කළ යුතු ව ඇත.

මැඩගස්‌කරයට මිනිසුන් පැමිණි දින වකවානු


මේ අධ්‍යයනයේ දී මිනිස්‌ ජනාවාස පිළිබඳ ව ලැබෙන දින වකවානු මැඩගස්‌කරයට මිනිසුන් පැමිණි කාලය පිළිබඳ ව යළි සිතා බැලීමට පොලඹවයි. උක්‌ත අධ්‍යයනයෙන් හෙළි වන කාලවකවානුව වන අදින් වර්ෂ 10,500කට පෙර කාලය යනු එම දූපතේ මිනිස්‌ වාසය පිළිබඳ ව ලැබෙන පැරැණි ම දින වකවානුවයි.

මැඩගස්‌කරයේ මානව ජනාවාස ඇති වූයේ අදින් වසර 2,500 - 4,000 අතර කාලයේ දී බව මේ දක්‌වා වූ පිළිගැනීම ය. අදින් වර්ෂ 2,400කට පෙර කාලයකට දින නියම කර ඇති වඳ වී ගිය ලීමර් විශේෂයක (Palaeopropithecus ingens) කැපුම් සලකුණු සහිත අස්‌ථිවලින් මේ සඳහා සාධක ලැබෙයි. එසේ ම අදින් වර්ෂ 4,000කට පෙර පමණ සිට මිනිසුන් විසූ බවට සාධක ලෙස ගත හැකි කැපුම් සලකුණු සහිත හිපපොටේමස්‌ අස්‌ථි ද එරටින් හමු වී ඇත. එසේ ම තවත් ප්‍රදේශවලින් අදින් වසර 4,000ක්‌ පමණ පැරැණි ක්‌ෂqද්‍ර ශිලා මෙවලම් ලැබී තිබෙයි.

නව අධ්‍යයනය අනුව මැඩගස්‌කරය ජනාවාස කරගත් දිනය අඩු ම වශයෙන් වර්ෂ 6,000කින් පමණ ප්‍රමාණයකින් අතීතයට හෙවත් අදින් වර්ෂ 10,500ක්‌ දක්‌වා අතීතයට යයි. මේ පැරැණි ම ජනාවාස ඇති කරගත් මිනිසුන් පිළිබඳ තවත් බොහෝ කරුණු අනාවරණය කරගත යුතු ව තිබෙයි. එසේ ම මේ දක්‌වා ඉහත කී ආකාරයේ කැපීම් ඇති කිරීම සඳහා යොදාගත් ශිලා මෙවලම් හමු වී නොමැත. ඒවා හමු වුව හොත් එම මානව කොට්‌ඨාසය ජීවත් වූ ආකාරය සම්බන්ධ ව කරුණු හෙළි කරගත හැකි ය. එසේ ම ඔවුන් කෙතරම් කාලයක්‌ දූපතේ වාසය කළේ ද යන්න අනාවරණය කරගත හැකි වනු ඇත. මේ සඳහා අනාගතයේ දී වැඩිදුර පර්යේෂණ සිදු කළ යුතු බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

කෙසේ වෙතත් වගා කටයුතුවල නියෑළෙන ජනතාවක්‌ මේ දූපතේ සිටියේ පොදු වර්ෂ 500 පමණ කාලයෙන් පසුව බව සාමාන්‍යයෙන් සැලකෙයි. මේ දක්‌වා මැඩගස්‌කරය පිළිගැනෙන්නේ මිනිසුන් විසින් අවසන් වශයෙන් හෙවත් වඩාත් මෑත කාලයේ දී වාසස්‌ථාන කරගන්නා ලද තැනක්‌ ලෙසිනි. ඒ ඇන්ටාක්‌ටිකාව හැරුණු විට ය.

මූලාශ්‍රය : Science Advances, DOI: 10.1126/sciadv.aat6925

Thursday, September 20, 2018

සුදු කබර බෝ නොවේ (බස් කතා 7)

මේ සිදුවීම වුනේ මීට දින කීපයකට පෙර බත්තරමුල්ලේ සිට මා ගිය 177 බසයක.

බසයේ එතරම් සෙනඟ හිටියේ නැහැ. මා සිටි අසුනට වම් පස අසුනේ හිඳ සිටියේ ප‍්‍රකට සමාගමක සේවය කරන යුවතියක් (යුනිෆෝම් එකෙන් කිව්වෙ). ඇය හිඳගත් වෙලාවේ සිට ජීවත්හි වුනේ ජංගම දුරකථනය සමගින් (මමත් හිටියෙ එහෙම උනත්, වටපිට වෙන දේ ගැන අවධානය තිබුනා).

ටික දුරක් ගිය පසුව ඉදිරි අසුනක සිටි පියෙක් සිය කුඩා දියණිය වඩාගෙන මා සිටි අසුනට ඉදිරි අසුනෙන් හිඳ ගත්තා. ඔහු සුදු කබර රෝගියෙක්. ඔහුගේ සාමාන්‍ය සම අඳුරු පැහැ නිසා රෝගී සම කැපී පෙනෙනවා.

දැන් ඔහු සිටින්නේ අර තරුණියට ආසන්නට, සමාන්තරව අනෙක් පසින් අසුන් ගෙන. අර තරුණිය වරක් ඔහු දෙස බැලුවා පමණයි... වහාම ජනේලයෙන් අනෙක් පස බලාගත්තා. ඇය සිටින්නේ ඔහු සිටින අසුනෙහිත් නොවේ. එහෙත් ඇයට එම දසුන ප‍්‍රිය දසුනක් නොවූ බව පැහැදිලි වූනේ ඇය ඉන් පසුවද නෙත් කොනින් වරින් වර ඔහු දෙස බැලූ බැල්මෙන්... ඇයට ජංගම දුරකථනයේ ජීවිතය අමතකම උනා.

සුදු කබර ඇති වන්නේ සමේ සෙෙලවල වර්ණය ඇති කිරීමට හේතුවන මෙලනින් ජනනයේ ඇති වන ගැටලුවක් මතයි. එය බෝ වන රෝගයක් නොවේ. එහෙත් ඇතැමුන් මේ රෝගීන් දෙස වපර ඇසින් බලන ආකාරය කණගාටුදායකයි.

Wednesday, September 12, 2018

බීම බට පිළිබඳ කතිකාවෙන් මතුවන පුද්ගලික වගකීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 05.09.2018, පි.9 (Vidusara)

http://www.vidusara.com/2018/09/05/feature2.html



ප්ලාස්‌ටික්‌ පිළිබඳ ව කටයුතු කරන එක්‌ ෆේස්‌බුක්‌ පිටුවක පළ වූ අපූරු දැන්වීමක්‌ මේ සමඟ ඇති ඡායාරූපයේ දැක්‌වෙයි. පෙනෙන ආකාරයට විදේශීය රටක අලෙවි සලක දැකිය හැකි වූ දැන්වීමක්‌ බව පෙනෙයි. එහි සඳහන් වැකියෙහි සිංහල අරුත මෙසේ ය.

"මෙය එක්‌ බීම බටයක්‌ පමණයි"
බිලියන 8ක ජනතාවක්‌ එසේ පැවසූ හ.

මේ වැකියෙන් දැක්‌වෙන්නේ සැලකිය යුතු පිරිසක්‌ අතර ඇති එක්‌තරා පොදු හැඟීමකි. වරක්‌ භාවිතයෙන් පසුව ඉවත ලන ප්ලාස්‌ටික්‌ බීම බට (ස්‌ට්‍රෝ) එසේ ඉවත දැමීම නිසා සැලකිය යුතු පරිසර දූෂණයක්‌ ඇති වෙයි. මේ පිළිබඳ සාමාන්‍ය ජනතාව අතර ඇති හැඟීමක්‌ වන්නේ මා භාවිත කරන්නේ එක බීම බටයක්‌ පමණයි යන අදහසයි. එහෙත් බොහෝ දෙනා එසේ සිතා ප්ලාස්‌ටික්‌ බීම බට භාවිත කරන විට පරිසරයට එකතු වන බීම බට ප්‍රමාණය අති විශාල ය. තම තමන් පෞද්ගලික ව පරිහරණය කරනු ලබන්නේ එකක්‌ පමණක්‌ වුව ද, සියලු දෙනා එසේ පරිහරණය කිරීමෙන් සමස්‌තයක්‌ ලෙස පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය ගැන අවබෝධයක්‌ නොමැති වීම මෙයට නිදසුනකි. මෙය අදාළ වන්නේ ප්ලාස්‌ටික්‌ බීම බටවලට පමණක්‌ නො වෙයි. වරක්‌ භාවිතයෙන් පසු ඉවත ලන බොහෝ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනවලට ද මෙය අදාළ ය.

ප්ලාස්‌ටික්‌ බීම බට යනු අපේ රටේ ජනතාව අතර ද එදිනෙදා අධික ලෙස භාවිත වන්නකි. බීම බෝතල්, කිරි පැකට්‌ ආදිය පමණක්‌ නො ව, තැඹිලි ගෙඩියක්‌ පානය කිරීමේ දී පවා දැන් දැන් මේ බීම බට භාවිත වෙයි. බීම බෝතලයක්‌ පානය කරන ඇතැම් අවස්‌ථාවක දී අප බීම බටයක්‌ ප්‍රතිෙක්‌ෂේප කරන විට එම වෙළෙන්දන් විස්‌මයට පත් වන බවක්‌ ද පෙනෙයි. ඒ තරමට බීම බට අත්‍යවශ්‍ය දෙයක්‌ වී ඇත.

ප්ලාස්‌ටික්‌ බීම බට පිළිබඳ ව හා ඉන් ඇති වන බලපෑම පිළිබඳ ව මඳක්‌ සාකච්ඡා කිරීමට සිතුවේ මේ නිසා ය.

ප්ලාස්‌ටික්‌ බීම බටවල කතාව


බීම බට භාවිතයට සැලකිය යුතු අතීතයක්‌ ඇත. ඈත අතීතයේ පැවැති සුමේරියානු ශිෂ්ටාචාරයේ විසූවන් මත්පැන් පානය සඳහා විවිධ ලෝහවලින් කළ බීම බට භාවිත කර ඇති බවට සාධක පවතී. පසු කාලයක ඇමෙරිකාවේ බීම වර්ග පානය කිරීම සඳහා රයි තෘණවල බටයක්‌ වැනි කොටස යොදාගත් බව සඳහන් වෙයි. කඩදාසිවලින් තැනූ බීම බට සඳහා පළමු ව පේටන්ට්‌ බලපත්‍රයක්‌ ලබාගෙන ඇත්තේ 1888 වර්ෂයේ දී පමණ ය. ඒ ඇමෙරිකානු ජාතික මාර්වින් ස්‌ටෝන් නමැත්තා ය. භාවිතයේ පහසුව සඳහා මැදින් නැමුණු බීම බට භාවිතය ආරම්භ වන්නේ 1930 දශකයේ දී පමණ ය.

ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන ජනප්‍රිය වීමත් සමඟ ප්ලාස්‌ටික්‌ බීම බට නිෂ්පාදනය ආරම්භ වෙයි. 1960 දශකයේ දී පමණ ප්ලාස්‌ටික්‌ බීම බට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ වී ඇත. කඩදාසි බීම බටවලට වඩා කල් පැවතීම, ලාභදායක වීම වැනි කරුණු නිසා මේවා නිෂ්පාදනය බෙහෙවින් වේගයෙන් වර්ධනය වූයේ ය. මේවායෙන් ඇති විය හැකි පරිසර බලපෑම පිළිබඳ ව මෑතක්‌ වන තුරු කිසිවකු අවධානය යොමු කළේ නැත.

ප්ලාස්‌ටික්‌ බීම බට භාවිතය පිළිබඳ ව ඇති සංඛ්‍යාලේඛන අපගේ අවධානයට යොමු විය යුතු ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ඇමෙරිකාවේ එක්‌ දිනයක දී භාවිත වන ප්ලාස්‌ටික්‌ බීම බට ප්‍රමාණය මිලියන 500ක්‌ පමණ බව එක්‌ ගණන් බැලීමකින් හෙළි ව ඇත (මේ ප්‍රමාණය පිළිබඳ ව ඊට වඩා අඩු වෙනත් ගණනය කිරීම් ද වෙයි). එසේ ම බ්‍රිතාන්‍යයේ එක්‌ වර්ෂයක දී භාවිත වන බීම බට ප්‍රමාණය බිලියන 8.5ක්‌ පමණ බවට ගණන් බලා ඇති අතර, එය ඊට වඩා අධික විය හැකි බවට ද අදහස්‌ පළ වී ඇත. කෙසේ වෙතත් මෙහි ගැටලුව මතු වන්නේ ප්‍රමාණයේ නො ව ඒවා භාවිතයෙන් පසු ඉවත දැමීම හා ඒවා දිරා යැමට දිගු කාලයක්‌ අවශ්‍ය වීම නිසා බව පොදුවේ පිළිගැනෙන කරුණකි.

පරිසරය දූෂණය වීම


ප්ලාස්‌ටික්‌ බීම බට අතරින් වැඩි ප්‍රමාණයක්‌ ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ඒවා ය. එහෙත් ඒවා ප්‍රතිචක්‍රිකරණය කිරීම නිසි ලෙස සිදු නො වේ. මේ නිසා වෙරළ පිරිසිදු කිරීම්වල දී (beach clean-up) හමු වන ප්‍රධාන ම ද්‍රව්‍ය දහය අතර ප්ලාස්‌ටික්‌ බීම බට ද වෙයි. කෙසේ වෙතත් බර අනුව ගත් විට බීම බටවල ප්‍රමාණය අඩු ය. අධ්‍යයනවලින් පෙන්වා දී ඇති ආකාරයට වාර්ෂික ව සාගරයට එකතු වන ටොන් මිලියන 8ක්‌ පමණ වන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අතර ප්ලාස්‌ටික්‌ බීම බට ඇත්තේ 0.025%ක්‌ තරම් අඩු ප්‍රමාණයකි.

ප්ලාස්‌ටික්‌ බීම බට නිසා ඇති වන පරිසර දූෂණය සමස්‌ත ප්ලාස්‌ටික්‌ පරිසර දූෂණයෙන් සුළු කොටසකට පමණක්‌ දායක වන බව සැබෑවකි. එහෙත් එය වරක්‌ භාවිතයෙන් පසු ඉවත දමන නිෂ්පාදනයක්‌ වීම පාරිසරික ක්‍රියාකාරිකයන් අතර මෙවැනි විරෝධයක්‌ ජනනය කිරීම සඳහා වැදගත් වී ඇති බව පෙනෙයි. එය එක්‌ වරක්‌ භාවිත කර ඉවත ලන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන පාලනය කිරීමෙහි දී ඉදිරි පියවරක්‌ වී ඇත. එබැවින් ප්ලාස්‌ටික්‌ බීම බට තහනම් කිරීම සඳහා පුළුල් ආකාරයේ ව්‍යාපාරයක්‌ මේ වන විට ක්‍රියාත්මක වෙයි. ඒ වැඩි වශයෙන් දියුණු රටවල ය.

ප්ලාස්‌ටික්‌ බීම බට යොදාගනිමින් පානය කරන බොහෝ නිෂ්පාදන ඒවා යොදා නො ගනිමින් පානය කිරීමට හැකි ය. ඒවා අත්හැරීමට අපේ හැසිරීමේ විශාල වෙනසක්‌ සිදු කළ යුතු නො වීම මේ සඳහා ඇති එක්‌ සාධනීය තත්ත්වයකි. එහෙත් මෙවැනි දේ සාගරයට හා පරිසරයට එක්‌ වීම වැළැක්‌වීමට අපද්‍රව්‍ය එකතු කිරීම විධිමත් කිරීම තුළින් හැකියාව ඇති බව කර්මාන්ත අංශයේ අදහස වෙයි. ඒ බොහෝ බීම බට ප්‍රතිචක්‍රිකරණය කළ හැකි නිසා ය. එහෙත් ඊට වැඩි දෙයක්‌ කළ යුතු ය යන අදහස මේ ගැන උනන්දුවක්‌ දක්‌වන්නවුන් අතර ඇති බව පෙනෙයි. ප්ලාස්‌ටික්‌ බීම බට සම්පූර්ණයෙන් තහනම් කිරීමක්‌ පිළිබඳ ව යෝජනා කරනු ලබන්නේ මේ නිසා ය.

විකල්ප තිබේ ද?


ප්ලාස්‌ටික්‌ බීම බට තහනම් කළ හොත් ඒ වෙනුවට භාවිත කළ හැකි විකල්පය කවරේ ද යන්න ගැන කලක සිට අවධානය යොමු ව ඇත. විශේෂයෙන් තිරසර විකල්පයක්‌ සොයාගැනීම තරමක අභියෝගයක්‌ වී ඇති බව පෙනෙයි. උණුසුමට හා සිසිලට ඔරොත්තු දෙන නිෂ්පාදනයක්‌ සොයාගැනීම ඉන් එකකි. එසේ ම ඇතැම් විශේෂිත තත්ත්ව යටතේ බීම බට අත්‍යවශ්‍ය වෙයි. නිදසුනක්‌ ලෙස ආබාධිතයන් දැක්‌විය හැකි ය. එසේ ම පැකට්‌ කරන ලද බීම වර්ග පානය සඳහා බීම බට අවශ්‍ය බව පැහැදිලි ය. පසුගිය මාසයේ National Geographic වෙබ් අඩවියේ පළ වූ ලිපියකට අනුව ප්ලාස්‌ටික්‌ බීම බට භාවිතය අවසන් කිරීම තරමක්‌ සංකීර්ණ කාර්යයකි.

එම තත්ත්වය යටතේ ප්ලාස්‌ටික්‌ බීම බට සඳහා විවිධ පරිසර හිතකාමී විකල්ප ගණනාවක්‌ ඉදිරිපත් ව ඇති බව පෙනෙයි. ඒ ඉක්‌මනින් දිරා යන, ජෛවහායනයට ලක්‌ වන නිෂ්පාදන වෙයි. මේ අතරින් වඩාත් ම වේගයෙන් ව්‍යාප්ත වන්නේ කඩදාසිවලින් කළ බීම බට ය. ඒ හැරුණු විට පැස්‌ටා, උණ හා පිදුරුවලින් තනන ලද බීම බට පිළිබඳව ද මේවා නිෂ්පාදනය කරන සමාගම්වල අවධානය යොමු වී ඇත. කෙසේ වෙතත් මේ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක නිෂ්පාදන වියදම ප්ලාස්‌ටික්‌ බටවලට වඩා අධික වනු ඇත.

ප්ලාස්‌ටික්‌ බීම බට තහනම


පෙර සඳහන් කර ඇති පරිදි ප්ලාස්‌ටික්‌ බීම බටවලට එරෙහි ව යම් සමාජ මතයක්‌ තැනීමට බටහිර දියුණු රටවලට හැකි වී තිබෙයි. මේ අනුව සැලකිය යුතු ඉදිරි පියවර ද එම රටවල දැකිය හැකි ය. ඇතැම් ආයතන හා නගරවල මේ වන විට ප්ලාස්‌ටික්‌ බීම බට භාවිතය සීමා කිරීමට පියවර ගෙන තිබීම මීට නිදසුන් ය.

ඇමෙරිකාවේ ප්ලාස්‌ටික්‌ බීම බට තහනම් කරන ලද පළමු ප්‍රධාන නගරය වන්නේ සිsයෑටල් නගරයයි. නිව්යෝක්‌ හා වොෂින්ටන් ඩී.සී. ප්‍රදේශවල ද ප්ලාස්‌ටික්‌ බීම බට තහනම් කිරීම සඳහා වූ යෝජනා ඉදිරිපත් ව ඇත. මියාමි බීච් හා මලිබු වැනි නගරවල කිසියම් සීමිත තහනමක්‌ ක්‍රියාත්මක වෙයි. මේ වන විට මහා බ්‍රිතාන්‍යයේ ද බීම බට තහනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක්‌ තිබෙයි.

එසේ ම ඇතැම් ප්‍රකට ආයතන ඉදිරියේ දී ප්ලාස්‌ටික්‌ බීම බට භාවිතය අවසන් කරන බව ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතර මැරියට්‌ හෝටල, ඇලස්‌කා එයාර්ලයින් හා ඇමෙරිකන් එයාලයින් වැනි ආයතන ද තවත් අවන්හල් ජාල කිහිපයක්‌ ද වෙයි. බ්‍රිතාන්‍යයේ මැක්‌ඩොනල්ඩ් ආයතන ද ලබන සැප්තැම්බර් සිට ප්ලාස්‌ටික්‌ බීම බට වෙනුවට කඩදාසි බට භාවිතයට ගන්නා බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් විචාරකයන් පෙන්වා දී ඇති පරිදි ප්ලාස්‌ටික්‌ බීම බට සීමා කිරීමට පියවර ගෙන ඇති ආයතන බොහොමයක්‌ මේ වන විට ද පාරිසරික වගකීම පිළිබඳ ව අවධානයක්‌ යොමු කර ඇති ආයතන වෙයි. එසේ ම මේ නගර ද කිසියම් ආකාරයකට වාමවාදී දේශපාලන නැඹුරුවක්‌ ඇති නගර සේ දක්‌වා ඇත.

මේ ඇතැම් ආයතන මේ තීරණය ගැනීම සඳහා පෙලඹුණේ බීම බට විරෝධී කණ්‌ඩායම් හා පොදුවේ ජනතාව වෙතින් ආ ඉල්ලීම් නිසා ය. තවත් ආයතනවල එය ඉහළ නිලධාරීන් විසින් ගන්නා ලද තීරණයක්‌ විය. එහෙත් ඒ සියල්ලට හේතු වූයේ ප්ලාස්‌ටික්‌ බීම බට සම්බන්ධ ව ඇති වූ කතිකාවයි. විශේෂයෙන් ප්ලාස්‌ටික්‌ බීම බට පිළිබඳ ප්‍රකාශයට පත් වූ සංඛ්‍යාලේඛන හා එමඟින් ඇති වන බලපෑම් මේ වෙනස සිදු කිරීමට දායක වී ඇති බව පෙනෙයි. නූතන සමාජයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්‌ ලෙස සැලකුණ ද, ප්ලාස්‌ටික්‌ බීම බට අත්‍යවශ්‍ය නැති බව හා ඒවාට විකල්ප ඇති බව ලෝකය අද වන විට පිළිගනිමින් තිබීම තිරසරභාවය සම්බන්ධ ව වැදගත් ය.

Tuesday, August 28, 2018

නූතන මානවයා පරිසරයට අනුහුරු වීම සෙසු ආදි මානවයන්ට වඩා ඉදිරියෙන්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 15.08.2018, පි. 11, (Vidusara)

http://www.vidusara.com/2018/08/15/feature4.html





Homo ගණයේ සෙසු විශේෂ අභිබවා Homo sapiens හෙවත් නූතන මානවයාගේ සාර්ථකත්වයට හේතු වූ කරුණු මොනවා ද යන්න ද කලක්‌ තිස්‌සේ පර්යේෂකයන්ගේ අවධානයට යොමු වූ කරුණකි. ඒ සම්බන්ධ ව මේ දක්‌වා යම් හෝ පිළිගැනීමකට ලක්‌ ව ඇති කරුණු අතර, සංකේත භාවිතයට ඇති හැකියාව (symbolism) හා ප්‍රජානන වෙනස්‌කම් (cognitive changes) වැනි කරුණු වෙයි. එම අංශවල දැකිය හැකි දියුණුව නිසා අප අයත් වන නූතන මානවයා සෙසු මානවයන් අභිබවා ඉදිරියට ගිය බව එම අදහස්‌වලින් පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳ ව නව කල්පිතයක්‌ පර්යේෂකයන් දෙදෙනකු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම කල්පිතයට අනුව ලෝකය පුරා විවිධ වූ හා ආන්තික වූ පරිසර අත්පත් කරගැනීමට නූතන මානව විශේෂයට ඇති හැකියාව හේතුවෙන් අනෙක්‌ Homo විශේෂ ඉක්‌මවා ලීමට හා අපේ විශේෂය මේ ගණයේ ඉතිරි ව ඇති අවසන් විශේෂය වීමට අවස්‌ථාව ලැබී ඇත. ඒ අනුව ඔවුන් ඉදිරිපත් කරන නූතන මානවයාගේ සුවිශේෂ පාරිසරික ස්‌ථානගත වීම ගෝලීය වූ සාකල්‍යකරුවකු වූ විශේෂඥයකු (generalist specialist) ලෙස හඳුන්වා දී තිබෙයි. මේ අනුව නූතන මානව විශේෂය පාරිසරික වශයෙන් සුවිශේෂ වූයේ කෙසේ ද යන්න තේරුම් ගැනීම පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

අධ්‍යයනයේ පසුබිම


මේ පර්යේෂණ පත්‍රිකාව සඳහා පදනම් වී ඇත්තේ මධ්‍ය හා අපර ප්ලයිස්‌ටොසීන යුගයේ දී (අදින් වසර 300,000 සිට 12,000 දක්‌වා වූ කාලයේ දී) අප්‍රිකාවේ හා ඉන් පිටත ප්‍රදේශවල සිදු වූ ආදි මානවයන්ගේ ව්‍යාප්තිය පුරාවිද්‍යාත්මක හා පුරාපරිසර විද්‍යාත්මක දත්ත යොදාගනිමින් සිදු කරන ලද සවිස්‌තර සමාලෝචනයකි.

මෙහි දී Homo sapiens හෙවත් නූතන මානව විශේෂය හා ඔවුන්ට පෙර හා ඔවුන්ට සමකාලීන ව විසූ මානව විශේෂ වූ Homo erectus හා Homo neanderthalensis වැනි විශේෂ හා පරිසරය අතර පැවැති සම්බන්ධතාව පිළිබඳ ව අවධානය යොමු කර ඇත. එහි දී පැවැති පාරිසරික තත්ත්ව හා ඒවාට අනුහුරු වූ ආකාරය පිළිබඳ ව සැලකිල්ල යොමු කර තිබෙයි. අපේ පූර්වජයන්ට හා සමකාලීන වෙනත් Homo ගණයේ සාමාජිකයන්ට වඩා නූතන මානවයන් වෙනස්‌ වූ එක්‌ ප්‍රධාන කරුණක්‌ වූයේ ඔවුන් කාන්තාර, නිවර්තන වනාන්නර, ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශ හා ප්‍රාග් ආක්‌ටික්‌ ප්‍රදේශ වැනි අභියෝගාත්මක පරිසර ගණනාවක්‌ ජනාවාස කරගැනීම ය. එපමණක්‌ නො ව මේ ඇතැම් ආන්තික පරිසරවලට අනුහුරු වීමේ දී දැක්‌වූ විශේෂිතභාවය ද වැදගත් විය.

අනාවරණය වූ කරුණු


මේ පර්යේෂණ පත්‍රිකාවේ දී ඉදිරිපත් කර ඇති වැදගත් හෙළි කිරීම් මෙසේ සැකෙවින් දැක්‌විය හැකි ය. සෙසු Homo විශේෂ අතරින් Homo erectus මානවයා වැනි මානවයන් අප්‍රිකාවෙන් පිටත ඇතැම් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත. එහි දී මේ මානවයන් වනාන්තර හා තෘණබිම් වැනි පරිසර පද්ධති භාවිත කර ඇති බව මේ වන විට ලැබී ඇති සත්ත්ව, ශාක ආදි අවශේෂ මඟින් පෙනී ගොස්‌ ඇත. Homo florensis වැනි මානව විශේෂයක්‌ නිවර්තන වනාන්තර භාවිත කර ඇති බවට අදහස්‌ පළ වී ඇතත් ඒ පිළිබඳ ව තවමත් ප්‍රමාණවත් හා පිළිගත හැකි සාධක නොමැති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

Homo neanderthalensis මානවයා පිළිබඳ ව මීට වඩා වෙනස්‌ අදහසක්‌ තිබුණේ ඔවුන් වඩා ඉහළ අක්‌ෂාංශ ප්‍රදේශ වන යුරේසියානු ප්‍රදේශවල වාසය කළ නිසා ය. අදින් වසර 250,000ත් 40,000ත් අතර කාලයේ වාසය කළ ඔවුන් ඒ පිළිබඳ ව විශේෂඥතාවක්‌ දැක්‌වූ බවට අදහසක්‌ විය. මේ සඳහා පදනම් කරගෙන ඇත්තේ ශීත කාලගුණ තත්ත්වයට ඔරොත්තු දෙන මුහුණු හැඩයක්‌ තිබීම හා වූලි මැමත් වැනි මහා ක්‌ෂිරපායී විශේෂ දඩයම් කිරීම සඳහා පෙලඹීමයි. කෙසේ වෙතත්, මේ පිළිබඳව ඇති සාධක විමසා බැලූ මේ පර්යේෂකයන්ගේ නිගමනය වූයේ නියෑන්ඩර්තාල් මානවයන්ගේ අවධානය මූලික වශයෙන් යොමු වූයේ වනාන්තර හා තෘණභූමි සහිත විවිධ පරිසර පද්ධතිවලට බවයි. ඔවුන් මධ්‍යධරණී ප්‍රදේශවල සිට සෞම්‍ය කලාපීය උතුරු යුරේසියාව දක්‌වා වූ ප්‍රදේශයක විවිධ සතුන් දඩයම් කිරීමේ යෙදී ඇත.

එහෙත් මේ Homo විශේෂ සමඟ සංසන්දනය කරන විට නූතන මානවයා වඩා විශාල විවිධත්වයක්‌ සහිත හා ආන්තික තත්ත්ව සහිත පරිසරයන්හි සිය වාසස්‌ථාන පිහිටුවීමට සමත් විය. අදින් වසර 80,000ත් 50,000ත් අතර කාලයකට ඉහත දී ඔවුහු ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශවල ජනාවාස ඇති කරගත්තෝ ය. අදින් වසර 45,000කට පමණ පෙර කාලය වන විට ආක්‌ටික්‌ ප්‍රදේශ ගණනාවක හා ආසියාවේ, මෙලනීසියාවේ හා ඇමෙරිකාවේ නිවර්තන වනාන්තර තුළ ද වාසස්‌ථාන ඇති කරගෙන තිබිණි. එසේ ම උතුරු අප්‍රිකාවේ, අරාබි අර්ධද්වීපයේ හා වයඹදිග ඉන්දියාවේ කාන්තාර ප්‍රදේශවල නූතන මානවයන් ව්‍යාප්ත වූ බව පෙන්වන සාධක ලැබීමත් සමඟ ඔවුන් නව ප්‍රදේශවලට අනුහුරු වීමේ දී දැක්‌වූ දක්‌ෂතාව මනාව පැහැදිලි වෙයි. එසේ ම ටිබෙට්‌ හා ඇන්ඩීස්‌ කඳුකරය වැනි ඉහළ උන්නතාංශයක්‌ හා ආන්තික තත්ත්ව සහිත පරිසරවලට හැඩගැසීමට හැකි වීම මේ විශේෂයේ ඉදිරි පැවැත්මට වැදගත් විය. එසේ ම මේ හැකියාව නූතන මානවයාගේ නව්‍ය වූ හැකියාවක්‌ විය.

සුවිශේෂී තත්ත්වය


මේ පාරිසරික වශයෙන් වූ සුවිකාර්යතාවට (plasticity) - එනම් බෙහෙවින් එකිනෙකට විවිධ වූ පරිසර අත්පත් කරගැනීමට ඇති හැකියාවට - හේතුව හා එහි ආරම්භය තරමක්‌ අපැහැදිලි ය. එය ඇතැම් විට Homo sapiens නූතන මානව විශේෂයේ අදින් වසර 300,000ත් 200,000ත් අතර සිදු වූ ආරම්භය හා බැඳුණු එකක්‌ විය හැකි ය. එය සාමාන්‍යයෙන් පිළිගැනෙන කරුණකි. එහෙත් මෙසේ නව පරිසර පද්ධතිවලට නූතන මානවයා අනුහුරු වීමේ දක්‌ෂතාවට හේතු වූ කරුණු අනාගතයේ දී වඩාත් පැහැදිලි විය හැකි ය.

මේ ආකාරයෙන් ලෝකයේ මහාද්වීපවලින් බහුතරයක විවිධ වූ පරිසර පද්ධතිවල මානව පැවැත්ම සඳහා සාධක ලැබීම පසුපස නව පාරිසරික නිකේතනයක්‌ හෙවත් අවකාශයක්‌ ඇති බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. එය ඔවුන් දක්‌වන්නේ පෙර සඳහන් කළ 'සාකල්‍යකරුවකු වූ විශේෂඥයකු' යනුවෙනි. මෙහි සාකල්‍යකරුවකු ලෙස හඳුන්වනු ලබන්නේ විවිධ වූ වෙනස්‌ සම්පත් භාවිත කළ හැකි හා විවිධ වූ පාරිසරික තත්ත්වවල වාසය කළ හැකි මිනිසුන් ය. එහෙත් විශේෂඥතාව යනුවෙන් මෙහි දී හඳුන්වන්නේ සීමිත ආහාර වර්ග ප්‍රමාණයක්‌ හා පරිසරයට ඔරොත්තු දිය හැකි සීමිත වූ පිරිස්‌ පිළිබඳව ය. කෙසේ වෙතත් නූතන මිනිසුන් මේ විශේෂඥ ගහන පිළිබඳ ලක්‌ෂණ (කඳුකර වැසි වනාන්තරවාසීන් හා පුරාආක්‌ටික්‌ මැමත් දඩයක්‌කරුවන් වැනි) මෙන් ම සාකල්‍යයික ගහන පිළිබඳ ලක්‌ෂණ ද දරයි.

මේ තත්ත්වය නූතන මානවයාගේ පැවැත්ම සඳහා වැදගත් වී ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ හැකියාව සඳහා ඥාතීත්වයක්‌ නොමැති තම විශේෂයේ වෙනත් සාමාජිකයන් සමඟ පුළුල් ලෙස ඇති කරගත් සහයෝගිතාව වැදගත් වන්නට ඇත. එවැනි අය සමඟ ආහාර බෙදා ගැනීම, දිගු දුරක වාසය කරන පිරිස්‌ සමඟ ද්‍රව්‍ය හුවමාරු කරගැනීම හා චාරිත්‍රමය සම්බන්ධතා මඟින් පරිසරයේ විවිධ අංශවල හා දේශගුණයේ විචල්‍යතාවලට අනුහුරු වීමට මිනිසුන්ට ඇති හැකියාව ඉහළ නැංවූ බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය සෙසු Homo විශේෂ පරයා ව්‍යාප්ත වීමට මෙන් ම ඔවුන් අභිබවා යැමට ද දායක වන්නට ඇත. මේ අනුව සමුච්චිත (cumulative) සංස්‌කෘතික දැනුමක්‌ එක්‌රැස්‌ කරගැනීම, එය භාවිත කිරීම හා ඊළඟ පරපුරට ලබා දීම අපේ මානව විශේෂයේ සාර්ථකත්වයට හේතු විය. මේ දැනුම ද්‍රව්‍යමය මෙන් ම අදහස්‌වලින් යුත් දැනුමක්‌ වන්නට ඇත. මේ දැනුම සාකල්‍යයික විශේෂඥතා නිකේතය ඇති කිරීමේ දී ඵලදායී වන්නට ඇත.

තවත් කල්පිතයක්‌ ලෙස


අප මාතෘකා කරගත් පර්යේෂණ පත්‍රිකාවෙන් නූතන මානව විශේෂයේ සාර්ථකත්වයට හා සැම මහාද්වීපයක ම හා පරිසරයක ම පාහේ ව්‍යාප්ත වීමට ඔවුන් සතු වූ දක්‌ෂතාව පැහැදිලි කළ හැකි පාරිසරික දෘෂ්ටිකෝණයක්‌ සපයා ඇත. අපගේ විශේෂයේ ආරම්භය හා ස්‌වභාවය පිළිබඳ ව මේ පාරිසරික දෘෂ්ටිකෝණය වැදගත් ය.

කෙසේ වෙතත් පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මේ අදහස අපූරු කල්පිතයකි. එය පිළිගත හැකි මෙන් ම, ප්‍රාමාණික සාධක ඉදිරිපත් කිරීම මඟින් ප්‍රතික්‌ෂේප කළ හැකි එකක්‌ බවත් මේ පර්යේෂකයන්ගේ පිළිගැනීමයි. කෙසේ වෙතත්, මේ නව අදහස මඟින් ආන්තික පරිසරවල පුරාවිද්‍යාත්මක ගවේෂණ හා අධ්‍යයන සිදු කිරීම බෙහෙවින් දිරිමත් කරනු ලැබෙයි. එවැනි ස්‌ථාන රැසක්‌ ම මේ දක්‌වා එතරම් සැලකිල්ලට ලක්‌ නො වූ ස්‌ථාන වෙයි. විශේෂයෙන් නූතන මානවයාගේ පරිණාමය හා සම්බන්ධව තොටිල්ල සේ සැලකිය හැකි කාලයට (වසර 300,000ක්‌ හෝ 200,000ක්‌) අයත් පැරැණි සාධක පිළිබඳ ව වඩා සවිස්‌තර ව හැදෑරීම ඉතා වැදගත් බව ඔවුන්ගේ අදහස වෙයි.

මූලාශ්‍රය : Nature Human Behaviour, DOI: 10.1038/s41562-018-0394-4

Thursday, August 23, 2018

කෘෂිකර්මයේ යෙදීමට පෙර මිනිසුන් පාන් නිපදවූ බවට සාධක

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 01.08.2017, පි. 09 (Vidusara)

http://www.vidusara.com/2018/08/01/feature3.html



මිනිසුන්ගේ ආහාර අතරින් පාන් යනු ලෝකයේ බොහෝ ප්‍රදේශවල වාසය කරන ජනතාවක්‌ සිය ප්‍රධාන ආහාරය ලෙස ගනු ලබන ආහාරයකි. ශ්‍රමය වැඩි වශයෙන් අවශ්‍ය ආහාරයක්‌ වුවත් පාන් නිෂ්පාදනය තරමක්‌ සරල ක්‍රියාවලියකි. මේ නිසා සහල් ප්‍රධාන ආහාරය වන ලෝකයේ ප්‍රදේශ කිහිපයක හැරෙන්නට ලෝකයේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන ආහාරය ලෙස භාවිත කරනු ලබන්නේ පාන් ය. එසේ ම විවිධ ධාන්‍ය වර්ග යොදාගනිමින් පාන් සැකසීම ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදු කරනු ලැබෙයි. පාන් වර්ග ද විවිධාකර වන අතර, එම විවිධත්වය නිසා අද වන විට පාන් යනු ඇතැම් රටවල සංස්‌කෘතික අනන්‍යතාවේ වැදගත් සංකේතයක්‌ බවට ද පත් ව ඇත.

කෙසේ වෙතත් පාන් භාවිතයේ ආරම්භය සිදු වූයේ කවර දා ද යන්න පිළිබඳ ව ඇත්තේ එතරම් පැහැදිලි අවබෝධයක්‌ නම් නො වේ. බොහෝ පුරාවිද්‍යාඥයන් අනුමාන කරන ලෙස පාන් නිෂ්පාදනය මුලින් ම සිදු වූයේ අවම වශයෙන් අදින් වර්ෂ 9,100කට පමණ පෙර නවශිලා යුගයේ දී පමණ දී ය. පාන් පිළිබඳ පැරැණි සාධක යුරෝපයේ හා නිරිතදිග ආසියාවේ නවශිලා යුගයේ පුරාස්‌ථානවලින් ලැබෙන අතර, ඒවා ගෘහාශ්‍රිතකරණය කරන ලද ශාක වර්ග භාවිත කරන ලද කෘෂිකාර්මික ප්‍රජාව හා සම්බන්ධ වෙයි.

කෙසේ වෙතත් සරු වන්ද්‍රවංකය ලෙසින් හඳුන්වන ප්‍රදේශයේ (නයිල් නිම්නයේ සිට ලෙවන්ට්‌ ලෙස හඳුන්වන ප්‍රදේශය හරහා ඇනටෝලියාවට හා මෙසපොතේමියාව දක්‌වා වූ ප්‍රදේශය) ගෘහාශ්‍රිතකරණය කරන ලද ධාන්‍යවල වල් දර්ශ හමු වන අතර එහි විසූ දඩයක්‌කාර ඵලවැල එකතු කරන්නන් මේ තෘණ වර්ගවලින් පිටි නිපදවීම කරන්නට ඇති බවට සාධක තිබෙයි. මේ ප්‍රදේශවල පුරා ස්‌ථාන සමහරකින් ලැබී ඇති පිළිස්‌සුණු ශේෂවලින් මෙන් ම ඇඹරුම් ගල් හා වෙනත් ආයුධ මඟින් පෙනී ගොස්‌ ඇත්තේ ඔවුන් වල් තිරිඟු, රයි, බාර්ලි මෙන් ම මාෂ යෙදාගැනීමට පටන්ගෙන තිබූ බවකි. එහෙත් මේ ද්‍රව්‍ය සොයාගනිමින් ඔවුන් නිෂ්පාදනය කරන ලද්දේ පාන් ද, නැත හොත් කැඳ හෝ බියර් වැනි ආහාරමය ද්‍රව්‍යයක්‌ ද යන්න සාධක සහිත ව පැහැදිලි වී නැත. මේ නිසා මිනිසුන් කෘෂිකර්මයට පිවිසීමට පෙර පාන් නිෂ්පාදනයේ යෙදුණේ ද යන්න පිළිබඳ ව ඝෘජු සාධක මෙතෙක්‌ ලැබී තිබුණේ නැත.



කෙසේ වෙතත් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලවලට අනුව මිනිසුන් කෘෂිකර්මයේ නියෑළීම ආරම්භ කරන්නට අවම වශයෙන් වසර 4,000ක්‌ පමණ කාලයකට පෙර, පාන් නිෂ්පාදනයේ යෙදුණු බවට සාධක ලැබී තිබෙයි.

ජෝර්දානයේ පුරාස්‌ථානයකින් හමු වූ සාධක


මේ පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත්තේ ඊසානදිග ජෝර්දානයේ බ්ලැක්‌ ඩෙස්‌ර්ට්‌ හෙවත් කළු කාන්තාරය නම් ප්‍රදේශයේ පිහිටා ඇති ශුබේඛා 1 (Shubayqa 1) නම් පුරාවිද්‍යා ස්‌ථානයෙනි. 1990 දශකයේ දී මුලින් ම සොයාගෙන කැණීම් කරන ලද මේ ස්‌ථානයේ 2012 - 2015 කාලයේ දී සිදු කරන ලද කැණීම්වලින් පුරාශිලා යුගයේ යෑයි සැක කෙරෙන නිවසක ගල් අතුරන ලද ගෙබිමක්‌ හමු වී ඇත. එහි මධ්‍යයේ වූ ගිනි උදුන මීටරයක්‌ පමණ විෂ්කම්භයකින් යුක්‌ත ගලින් මායිම් කරන ලද එකකි. අදාළ පළමු උදුන අවසන් වශයෙන් භාවිත කළ පසුව, මීටර් 0.5ක්‌ පමණ ඝන තැන්පතුවකට යට වී ආරක්‌ෂා වී තිබිණි. ඒ මත පසු ව තවත් උදුනක්‌ තනා තිබෙයි. මේ ස්‌ථානය අදින් වර්ෂ 11,700 සිට 14,500 පමණ අතර කාලයකට අයත් බවට කාලනිර්ණය කර ඇත. (ඡායාරූපය).



මේ ස්‌ථානයේ ගිනි උදුන අසලින් ශාකමය ද්‍රව්‍යවල ශේෂ 65,000කට අධික ප්‍රමාණයක්‌ හමු වීම මේ කැණීමෙහි දී සිදු කරන ලද වැදගත් ම සොයාගැනීමයි. මෙතරම් අධික ශාක ශේෂ සමූහයක්‌ මේ ප්‍රදේශයේ පුරාස්‌ථානයකින් හමු වීම විශේෂ සිදු වීමකි. එම කාලයට අයත් නිරිතදිග ආසියානු ප්‍රදේශයකින් ශාක ශේෂ විශාල ලෙස හමු වීම දුර්ලභ වීම එයට හේතුවයි.

මේ ශාක ශේෂ සමූහය තුළ විවිධ තක්‌සෝන (taxa) 95කට පමණ අයත් ශාක ශේෂ ඇති බවට හඳුනාගෙන ඇත. ඉන් 50,000කට අධික ප්‍රමාණයක්‌ ඇත්තේ එක්‌තරා අල වර්ගයකි. එසේ ම තවත් ශාක විශේෂ ගණනාවක ශේෂ මෙහි දී හමු වී ඇත. ඒ අතර රනිල භෝගයක්‌, තිරිඟු වර්ගයක්‌, බාර්ලි හා ඕට්‌ හමු වී ඇත. මීට අමතර ව කර වුණු (charred) ආහාර ශේෂ 642ක එකතුවක්‌ ද හමු වී තිබෙයි. පුරාවිද්‍යා කැණීම්වලින් හමු වන මෙවැනි ආහාර ද්‍රව්‍ය පිළිබඳ ව එතරම් ක්‍රමානුකූල ව අධ්‍යයනය කර නොමැති අතර, ඒවායෙන් අතීත මානවයන්ගේ ආහාර තේරීම, සැකසීම හා පරිභෝජනය පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි ය. මේ අධ්‍යයනයේ දී මේ ආහාර ශේෂ අතරින් පාන් වැනි යනුවෙන් වර්ග කරන ලද ආහාර ශේෂ 24 ක්‌ පිළිබඳව අවධානයට ලක්‌ කර ඇත. ඉන් 22ක්‌ පැරැණි උදුනෙන් ද, 02ක්‌ මතුපිට තිබූ පසුකාලීන උඳුන අසලින් ද ලැබී ඇති ඒවා ය.

මෙහි දී ඒවායේ ප්‍රමාණය, වයනය, අංශුමය ස්‌වභාවය වැනි කරුණු අඩු විශාලනයකින් යුක්‌ත අන්වීක්‌ෂ හරහා පරීක්‌ෂා කර ඇත. එසේ ම ඒවායේ ඇතුළත් ශාකමය ද්‍රව්‍ය හා න්‍යාසයේ ලක්‌ෂණ පිළිබඳ කරුණු (අවකාශ ප්‍රමාණය හා වර්ගය) අනාවරණය සඳහා පරිලෝකන ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂ යොදාගෙන තිබෙයි. පුරාවිද්‍යාත්මක ස්‌ථානවලින් හමු වන පාන් වැනි ද්‍රව්‍ය හඳුනාගැනීම පහසු කරුණක්‌ නො වෙයි. ඔවුන් මෙහි දී එවැනි ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා යොදාගත හැකි ක්‍රමවේදයක්‌ ද දියුණු කර ඇත. පරිලෝකන ඉලෙක්‌ට්‍රොaන අන්වීක්‌ෂය භාවිතයෙන් එක්‌ එක්‌ ආහාර කොටසෙහි ඇතුළත් ක්‌ෂුද්‍ර ව්‍යqහය හා අංශු වර්ග හඳුනාගැනීමට පර්යේෂකයන් සමත් වී ඇත. එසේ හඳුනාගත් දේ නූතන පුරාඋද්භිද විද්‍යාත්මක නිදර්ශක සමඟ සංසන්දනය කිරීම සිදු කර තිබෙයි. මේ ආහාර කොටස්‌ ඉතා කුඩා ප්‍රමාණයේ ඒවා වුව ද දියුණු කරන ලද තාක්‌ෂණය යටතේ ඒවා හඳුනාගැනීමට මේ අනුව හැකියාව ලැබී ඇත. පිෂ්ටය පිළිබඳ ව පරීක්‌ෂා කිරීම් ද සිදු කර තිබෙයි.

මේ තොරතුරු අනුව මේ ශේෂ පිෂ්ටයෙන් සමන්විත වූ බව හෙළි වී තිබෙයි. එසේ ම ඒවායේ අවකාශවල ව්‍යqහය හා න්‍යාසයේ ව්‍යාප්ත වී ඇති ස්‌වභාවය අනුව මේවා පැතලි පාන් (flatbread) ලෙස හඳුන්වන වර්ගයේ පාන් බව පෙන්වා දී ඇත. මේවා යුරෝපයේ හා තුර්කියේ නවශිලා සහ රෝමානු පුරාස්‌ථානවලින් හමු වී ඇති නුමුහුන් පාන් හා සමාන වෙයි.

මේ පාන් නිපදවීමට යොදාගත් ද්‍රව්‍ය අතර තිරිඟු විශේෂයක්‌, රයි, මිලට්‌ හා ඕට්‌ වැනි ධාන්‍ය වර්ගවල වල් පූර්වජයන් වූ ධාන්‍ය වර්ග තිබී ඇත. මේවා අඹරා, අනා සකස්‌ කරගෙන පාන් නිපදවීම සඳහා යොදාගෙන ඇත.

කෘෂිකර්මයට වඩා පැරැණි පාන්


මේ උදුන් අසලින් හමු වූ ශාක ශේෂ අදින් වර්ෂ 14,400 හා 14,200 අතර කාලයකට අයත් ලෙස දින නියම කර ඇත. ඒ සඳහා විකිරණශීලී කාබන් කාලනිර්ණ හතක්‌ පමණ යොදාගෙන තිබෙයි. මේ දිනය මේ දක්‌වා පාන් නිෂ්පාදනය පිළිබඳ ව ලැබී ඇති වඩාත් පැරැණි ම ඝෘජු සාධකය වෙයි. මීට පෙර පාන් නිෂ්පාදනය පිළිබඳ ව ඇති පැරැණි ම නිශ්චිත සාධකය වූයේ තුර්කියේ පුරාස්‌ථානයකින් ලැබුණු අදින් වර්ෂ 9,100ක්‌ පමණ පැරැණි සාධකයකි. එම දිනයට වඩා ජෝර්දානයේ පුරාස්‌ථානයෙන් ලැබෙන දිනය වසර 4,000ක්‌ පමණ වත් පැරැණි බව පැහැදිලි ය.

එය කෘෂිකර්මය ආරම්භය පිළිබඳ ව මෙතෙක්‌ ලැබී ඇති පැරැණි ම සාධකවලට වඩා ද පැරැණි ය. ඒ අනුව පාන් වැනි ආහාර වර්ග නිෂ්පාදනය කිරීම කෘෂිකර්මයේ ආරම්භයට පෙර සිදු ව ඇති බව පැහැදිලි ය. වෙනත් ලෙසකින් පවසන්නේ නම් අනුව ශාක වගා කිරීමට පෙර පාන් පිsළිස්‌සීම පිළිබඳ ව මිනිසුන් දැන සිටි බවක්‌ පෙනෙයි. මිනිසුන් පරිසරයෙන් සොයාගත් ස්‌වාභාවික ව වැවුණු ශාක යොදාගනිමින් පාන් නිෂ්පාදනය කර ඇත.

පාන් පිළියෙල කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ එකකි. ධාන්‍ය පොතු ඉවත් කිරීම, ඇඹරීම, ඇනීම හා පිළිස්‌සීම වැනි සංකීර්ණ, කාලය හා ශ්‍රමය අවශ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියකි. එවැනි ආහාරයක්‌ නිෂ්පාදනය කිරීම සඳහා එම යුගයේ මානවයන් යොමු වීමෙන් එම ආහාරයේ තිබූ විශේෂත්වය හෝ වැදගත්කම හෝ පැහැදිලි වෙයි. මේ ආහාරය වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීම ඔවුන්ට අවශ්‍ය වන්නට ද ඇත. ඒ අනුව වනගත ව වැවී තිබූ ධාන්‍ය භාවිත කරමින් පාන් නිෂ්පාදනය කළ හැකි වීම නිසා ඒ වන විට දඩයම හා ඵලවැල එකතු කිරීම (hunter gathering) සිදු කළ මානවයන් ධාන්‍ය වගා කිරීම සඳහා යොමු වන්නට ද බලපෑමක්‌ කරන්නට ඇති බව මේ පර්යේෂකයන් විසින් යෝජනා කර ඇත. එය නවශිලා යුගයේ දී සිදු වූ කෘෂිකාර්මික විප්ලවයට හේතු වන්නට ද ඇත.

එසේ ම මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ ව ඇති පුරාවිද්‍යා ෙක්‌ෂaත්‍රයෙන් මේ දක්‌වා ලැබී ඇති සාධක අනුව එම ස්‌ථානයේ විසූ මිනිසුන් තැනින් තැනට යන දිවිපෙවෙතක්‌ වෙනුවට වඩා නිශ්චල වූ දිවිපෙවෙතක්‌ ගෙවූ බව ද පෙනී ගොස්‌ ඇත. ඔවුන් භාවිත කර ඇති ඇඹරුම් ගල් හා කැපුම් ගල් අනුව පෙනී ගොස්‌ ඇත්තේ ඔවුන් වඩා වෙනස්‌ ආකාරයකින් හා වඩා ඵලදායි ආකාරයෙන් ශාක භාවිතය සඳහා යොමු ව ඇති බවයි.

මූලාශ්‍රය: Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1801071115

Wednesday, August 8, 2018

චීනයෙන් හමු වූ ගිබන් විශේෂය වඳ වී ගියේ මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 18.07.2017, පි. 06 (Vidusara)

http://www.vidusara.com/2018/07/18/feature1.html




චීනයේ පැරැණි සුසානයක තිබී හමු වූ සත්ත්ව අස්‌ථි ශේෂ අතර තිබී මෙතෙක්‌ විද්‍යාත්මක ව විස්‌තර කර නොමැති ගිබන් වානර විශේෂයකට අයත් ශේෂ හඳුනාගැනීමට විද්‍යඥයන් පිරිසක්‌ සමත් වූ බව පසුගිය දා වාර්තා විය. මෙසේ හමු ව ඇති ගිබන් විශේෂය අද ලෝකයේ දැකිය නොහැකි වඳ වී ගිය ගිබන් විශේෂයකි. ඒ අනුව මිනිසුන් ජීවී විශේෂ තර්ජනයට ලක්‌ කර ඇත්තේ හා වඳ වී යැමට සලස්‌වා ඇත්තේ සැලකිය යුතු තරම් අතීතයේ සිට බවට ද සාධක මෙමඟින් ලැබෙන බව මේ පර්යේෂකයන්ගේ මතය වෙයි.

මේ සොයාගැනීම සිදු කර ඇත්තේ මධ්‍යම චීනයේ ෂාන්ක්‌සි පළාතේ සියාන් (Xi'an) ආසන්නයේ පිහිටා ඇති සුසානයකිනි. අතීතයේ ප්‍රබල අධිරාජ්‍යයක කේන්ද්‍රස්‌ථානය ලෙස පැවැති ප්‍රදේශයක්‌ වන එම ප්‍රදේශයෙන් මේ සුසානය සොයාගන්නා ලද්දේ 2004 වර්ෂයේ දී පමණ ය. සුසානයේ පිහිටීම හා ලැබුණු පුරාවස්‌තු අනුව එහි දින නියම කර ඇත්තේ අදින් වසර 2,200ත් 2,300ත් අතර කාලයකට අයත් වූවක්‌ ලෙස ය. එසේ ම එම සුසානය අයත් වන්නේ සියා (Lady Xia‌) ලෙස හඳුන්වනු ලබන වංශවත් කාන්තාවකට ලෙස ද නිගමනය කර ඇත. ඇය චීනයේ පළමු අධිරාජයා ලෙස සැලකෙන ක්‌සිං ෂිසුආග් (Qin Shi Huang) අධිරාජයාගේ මිත්තණියයි. පොදු වර්ෂ පූර්ව 256 සිට 210 දක්‌වා රාජ්‍යත්වය දැරූ මේ අධිරාජයා චීනයේ විශාල ප්‍රදේශයක්‌ එක්‌සත් කර සිය අධිරාජ්‍යය ගොඩනඟාගත්තේ ය. එසේ ම ඔහු චීන මහා ප්‍රාකාරය තැනීමට ද මුල් වූයේ ය. ලෝක ප්‍රකට මැටි සොල්දාදුවන් දැකිය හැකි සුසාන ගෘහය ඔහුගේ දේහය තැන්පත් කළ සුසාන ගෘහය වෙයි.

පෙර සඳහන් කාන්තාවගේ සුසානය කැණීමෙන් ලැබී ඇති ද්‍රව්‍ය අතර විවිධ සත්ත්ව ශේෂ රැසක්‌ තිබී ඇත. ඒ අතර ලින්ක්‌ස්‌ මුවන්, දිවියන් හා කළු වළසුන් වැනි සතුන්ගේ අස්‌ථිමය ශේෂ විය. ඒ අතර තිබී මේ අධ්‍යයනයේ යෙදුණු පිරිසට අදාළ ගිබන් අස්‌ථි ශේෂ නිරීක්‌ෂණයට අවස්‌ථාව ලැබෙන්නේ 2011 වර්ෂයේ දී පමණ ය. කැණීමෙන් හමු වූ මේ ප්‍රයිමේටා අස්‌ථි ශේෂ මේ පර්යේෂකයන්ගේ අවධානයට ලක්‌ වූයේ එම හිස්‌ කබල කොටස හා හනු කොටස මේ වන විට දන්නා ගිබන් වානරයකුට සමාන නො වන බව ඔවුන්ට පෙනී ගිය නිසා ය.

ගිබන් විශේෂය හඳුනාගැනීම

ඩිජිටල් පරිලෝකනය මඟින් ලබාගත් දත්ත යොදාගනිමින් ආසියාවේ ගිබන් සතුන් සිය ගණනකගේ හිස්‌කබල් සමඟ මේ නව හිස්‌කබල සංසන්දනය කර ඇති අතර, බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ කෞතුකාගාරවල ඇති නිදර්ශක එකතු හා සමඟ ද සංසන්දනය කර තිබෙයි. එහි දී පෙනී ගොස්‌ ඇති පරිදි, මේ හිස්‌කබල පැහැදිලි වෙනස්‌කම් සහිත ව ඉස්‌මතු වී ඇති බව පෙනී ගොස්‌ ඇත. කෙසේ වෙතත් මේ හිස්‌කබලෙන් DNA ලබාගැනීමට පර්යේෂකයන්ට හැකියාවක්‌ ලැබී නැත.

මෙසේ ලැබුණු ගිබන් හිස්‌කබලේ තොරතුරු යොදාගෙන පර්යේෂකයන් අධිතාක්‌ෂණික ආකෘතික ක්‍රමවේද යොදාගෙන මේ ගිබන් වානරයන් අතර නව විශේෂයක්‌ මෙන් ම නව ගණයක්‌ ද වන බව අනාවරණය කරගෙන ඇත. මෙසේ සොයාගත් ගිබන් වානර විශේෂය නම් කර ඇත්තේ Junzi imperialis යනුවෙනි. මේ ගිබන් සත්ත්වයාගේ මුහුණේ ස්‌වභාවය සාපේක්‌ෂ ව වඩා පැතලි වූවක්‌ වන අතර එය ප්‍රමාණයෙන් කුඩා වූවකි. එසේ ම මොවුන්ගේ රදනක දත් සත්ත්වයාගේ ප්‍රමාණයට සාපේක්‌ෂ ව දික්‌ වූ බව ද දක්‌වා ඇත. එසේ ම අද වන විට මේ ගිබන් විශේෂය වඳ වී ගොසිනි. මේ අනුව වඳ වී ගිය ගිබන් වානර විශේෂ ගණන දෙකක්‌ දක්‌වා ඉහළ යයි.

මේ නව විශේෂය ජීවත් වන්නට ඇත්තේ වර්තමානයේ ගිබන් වාසය කරන ප්‍රදේශවලට වඩා උතුරට වන්නට විය හැකි ය. අතීත චීනයෙන් ගිබන් පිළිබඳ ව වාර්තා තිබුණ ද වර්තමානය වන විට ගිබන් වානරයන් හමු වන්නේ මධ්‍යම චීනයට බොහෝ ඈතින් ය.

ගිබන් පිළිබඳ වාර්තා ඓතිහාසික චීන ලේඛන අතර එයි. නිදසුනක්‌ ලෙස අටවැනි සියවසේ චීන කවියකු වූ ලි බායි (Li Bai) විසින් යෑංට්‌සි ගෙග් ගල්පර අතරේ ගිබන් වානරයන්ගේ හඩ රැව් දෙන ආකාරය පිළිබඳ ව සටහන් තබා ඇත. එහෙත් අද වන විට යෑංට්‌සි ගෙග් ෙද්‍රdaණියේ තවදුරටත් ගිබන් වානරයන් දැකිය නොහැකි ය. එසේ ම චීනයේ පැරැණි චිත්‍රවල සඳහන් වන සමේ වර්ණ රටාවලින් යුක්‌ත ගිබන් වානරයන් අද වෙනත් ප්‍රදේශවල දැකිය හැකි වානරයන් අතර දැකිය හැකි නො වේ. චිත්‍රවල ඉතා කැපී පෙනෙන ආකාරයෙන් නිරූපණය කර ඇති බැවින් එම ගිබන් වානරයන් මධ්‍යම චීනයේ කිසියම් කාලයක සුලබ ව දැකිය හැකි වූ බව පර්යේෂකයන්ගේ අදහසයි. මේ පිළිබඳ ව සාධකයක්‌ ලෙස මේ සුසානයෙන් ලැබී ඇති ගිබන් අස්‌ථි ශේෂ සැලකිය හැකි ය. මේ අනුව උක්‌ත වඳ වී ගිය විශේෂය චිත්‍රවල හා ඓතිහාසික වාර්තාවල සටහන් වන්නේ ද යන්න සිතීම සාධාරණ ය.

චීන සංස්‌කෘතිය තුළ ගිබන් වානරයන් උසස්‌ ලක්‌ෂණ තිබූ සතුන් සේ සැලකිණි. මේ සතුන් වඳුරන් හා සංසන්දනය කරමින් මේ බව දක්‌වා ඇත. ඒ නිසා ගිබන් වානරයන් වංශවතුන් අතර සුරතල් සතුන් සේ ඇති කරන ලද බව ද සඳහන් වෙයි. චිත්‍රවල ගිබන් වානරයන් සටහන් වීමට මෙය ද එක්‌ හේතුවකි.

වඳ වී යැමට මිනිසුන්ගේ සම්බන්ධය

එසේ නම් මේ ගිබන් වානරයන්ට සිදු වූයේ කුමක්‌ ද? මේ ගිබන් විශේෂය මීට ශතවර්ෂ කීපයකට පෙර පමණ කාලයක්‌ දක්‌වා (එනම් 18 වැනි සියවස පමණ) ජීවත් වී ඇති, ගිබන් විශේෂයක්‌ විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි. මේ ගිබන් විශේෂයේ වඳ වී යැම සඳහා බලපා ඇති මූලික හේතු වන්නේ පරිසරය සම්බන්ධ ව මිනිසුන් විසින් එල්ල කරන ලද පීඩනය විය හැකි ය.

මෙසේ උක්‌ත සත්ත්වයා සුසානයක රැඳවීම මඟින් පෙනෙන්නේ එම සත්ත්වයා සුරතල් සතෙකු ලෙස ඇති කරන ලද බව ය. එවැනි භාවිතයක්‌ අදාළ විශේෂයේ සතුන්ට ඉතා බරපතළ ලෙස හානිකර විය හැකි දෙයකි. විශේෂයෙන් සුරතලයට ඇති කිරීම සඳහා ලබාගන්නේ කුඩා පැටවකු ය. එවැනි පැටවකු පරිසරයෙන් ලබාගැනීමේ දී බොහෝ විට එම පැටවාගේ මව මරා දැමීම සිදු වෙයි. එය තවදුරටත් ගැටලු සහිත විය හැක්‌කේ එය සමස්‌තයක්‌ ලෙස මුළු ගිබන් කණ්‌ඩායමේ ම ව්‍යුහයට බලපාන්නක්‌ විය හැකි නිසා ය. සුරතල් සතුන් ලෙස ඇති කිරීමට ලබාගැනීම ද සතුන්ගේ වඳ වී යැමට හේතුවක්‌ විය හැකි ය.

ඓතිහාසික දත්ත අනුව පෙනී ගොස්‌ ඇත්තේ මිනිසුන් විසින් එල්ල කරන ලද දඩයම හා වාසස්‌ථාන විනාශය වැනි වෙනත් පීඩන තත්ත්ව හේතුවෙන් ද ගිබන් සතුන් වඳ වී යා හැකි බවයි. මේ සියලු තත්ත්ව හේතුවෙන් මේ සුසානයෙන් හමු වූ විශේෂයට අයත් ගිබන් සතුන් වඳ වී යැමට බෙහෙවින් ඉඩ ඇත. මේ අනුව මිනිසුන්ගේ ඝෘජු ක්‍රියාකාරිත්වය නිසා මිහිතලයෙන් වඳ වී ගිය පළමු ජීවී විශේෂය මේ ජීවියා විය හැකි ය. (අද චීනයේ වාසය කරන ගිබන් විශේෂ දැකිය හැක්‌කේ චීනයේ දකුණු දෙසට හා ඈතට වන්නට පිහිටා ඇති ප්‍රදේශයකිනි. ඒ වෙනත් විශේෂ වෙයි)

මේ දක්‌වා දඩයම් කිරීම නිසා හෝ වාසස්‌ථාන විනාශ වීම නිසා හෝ වඳ වී ගිය ප්‍රයිමේටා විශේෂයක්‌ පිළිබඳ ව වාර්තා වී තිබුණේ නැත. එහෙත් මේ නව සොයාගැනීම ගිබන් වානරයන් මුහුණ පා ඇති තත්ත්වය සම්බන්ධ ව පෙන්වා දෙයි. අද වන විට ලෝකයේ ජීවත් වන අග්‍රේෂයන් හෙවත් ප්‍රයිමේටාවන් ජීවත් වන්නේ දැඩි වඳ වීමේ තර්ජනයකට ලක්‌ ව ය.

අනෙක්‌ අතට මිනිසුන් විසින් කොපමණ ප්‍රයිමේටා විශේෂ ගණනකගේ වඳ වීම සඳහා දායක වී තිබේ ද යන්න ඇතැම් විට අප මෙතෙක්‌ අවතක්‌සේරුවට ලක්‌ කර ඇතැයි යන්න මේ පර්යේෂණයෙන් මතු කරන තවත් කරුණකි. අප නො දන්නා දේ තවත් තිබිය හැකි ය. අනෙක්‌ අතට අද ජීවත් වන සියලු ජීවී විශේෂ මුහුණ පා ඇති තර්ජනයේ තරම ද මේ අනුව පෙනෙයි. මේ ජීවීන්ගේ ආරක්‌ෂාව හා පැවැත්ම පවතින්නේ මිනිසුන්ගේ දායකත්වය මත ය.

මූලාශ්‍රය : Science, DOI: 10.1126/science.aao4903

සටහන - ගිබන් විවිධත්වය



ගිබන් යනු ක්‌ෂිරපායි වර්ගයේ Primates ගෝත්‍රයට අයත් Hylobatidae කුලයට අයත් වානර විශේෂ වේ. මොවුන් කුඩා වානරයන් (Lesser apes) ලෙස මහා වානරයන් ගෙන් (Great apes - චිම්පන්සි, ගොරිල්ලා, ඔරංඋටං හා මිනිසුන්) මූලික ව වෙන් කරගනු ලබන්නේ ප්‍රමාණයෙන් කුඩා වීමෙනි.

මේ වන විට ලෝකයේ ජීවත් වන ගිබන් විශේෂ ගණන 18ක්‌ පමණ වෙයි. ඒ විශේෂ 18 ගණ හතරකට (04) අයත් ය. එසේ ම මේ ලිපියේ සඳහන් වන වඳ වී ගිය විශේෂය ද ඇතුළත් ව ගණ දෙකකට (02) අයත් වඳ වී ගිය විශේෂ දෙකක්‌ පිළිබඳව ද වාර්තා වෙයි. මේ අනුව ගිබන් විශේෂ 20ක්‌ පිළිබඳ ව ලෝකයෙන් වාර්තා වී ඇත.

අප දන්නා ගිබන් සත්ත්වයන් වාසය කරන්නේ ආසියාවේ ය. ඒ නිවර්තන හා උප නිවර්තන කලාපයට අයත් රටවල් කිහිපයක පමණකි. බංගලාදේශය හා නැඟෙනහිර ඉන්දියාවේ සිට චීනයේ දකුණුදිග ප්‍රදේශවල හා අග්නිදිග ආසියානු රටවල් දක්‌වා වූ කලාපයක ද හා ඉන්දුනීසියානු දූපත් කිහිපයක ද මේ සතුන් දැකගත හැකි ය.