Friday, February 16, 2018

මිනිසුන් අප්‍රිකාවෙන් පිට වූ දිනය වඩාත් පැරැණි බවට තවත් සාධක

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 14.02.2018. පි. 4 (Vidusara)

http://www.vidusara.com/2018/02/14/feature1.html





නූතන මිනිසා හෙවත් Homo sapiens sapiens මානවයා අදින් වර්ෂ 200,000කට පමණ ඉහත දී අප්‍රිකාවේ බිහි වී ලෝකයේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වූ බවට ඇති මතය පුළුල් ලෙස පිළිගත් මතයකි. මේ වන විට ඇති එක්‌ මතයක්‌ වන නූතන මිනිසා අප්‍රිකාවෙන් පිට වී ඇත්තේ අදින් වර්ෂ 50,000ත් 75,000ත් අතර කාලයකට පමණ ඉහත දී ය. (එහි සාමාන්‍යය වසර 60,000 ලෙස ද සැලකේ). අද වාසය කරන මිනිසුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රිත ව සිදු කරන ලද අධ්‍යයන මඟින් ද මේ මතය සඳහා වැඩි නැඹුරුවක්‌ ලැබී ඇත. එහෙත් මිනිසා අප්‍රිකාවෙන් නික්‌මුණු දිනය මීට වඩා පැරැණි බවත් එය අදින් වසර 100,000ත් 125,000 අතර කාලයකට පමණ පෙර සිදු වූ බවත් පැවසෙන මතයක්‌ ද තිබෙයි. මේ අනුව නූතන මිනිසා එක්‌ වරක්‌ නො ව කිහිප වරක්‌ අප්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ බවක්‌ යෝජනා වී ඇත. ඒ අප්‍රිකාවෙන් කලින් පිට වූ ඇතැම් නූතන මිනිසුන් ගෙන් පැවත එන්නන් පසුව ආ ප්‍රවාහයක්‌ තුළ යටපත් වී යන්නට ඇත යන අදහසිනි.

මේ දෙවැනි මතය සඳහා සාධක ලැබී ඇත්තේ වඩා මෑත කාලයේ දී ය. පසුගිය වර්ෂයේ මොරොක්‌කෝවෙන් හමු වූ නූතන මානව ෆොසිල පෙන්වා දෙන ලද්දේ නූතන මානවයා අදින් වසර 300,000ක්‌ පමණ කාලයකට හෙවත් මෙතෙක්‌ විශ්වාස කළාට වඩා වසර 100,000කට කාලයකට පෙර එම ප්‍රදේශයේ වාසය කළ බවයි. ඒ උතුරු අප්‍රිකාවේ වීම සුවිශේෂ ය. අනෙක්‌ අතට තවත් සාධක අනුව පෙනී ගොස්‌ ඇත්තේ අදින් වසර 60,000කට වඩා කාලයකට පෙර නූතන මානවයා පිළිබඳ සාධක ආසියාවෙන් හා ඔස්‌ටේ්‍රලියාවෙන් ලැබී ඇති බවයි. චීනයෙන් වසර 120,000කට පෙර ද, ඉන්දුනීසියාවෙන් වසර 73,000කට පමණ පෙර ද, ඔස්‌ට්‍රේලියාවෙන් වසර 65,000කට පමණ පෙර ද මේ සාධක ලැබී ඇත. මේ අනුව අප්‍රිකාවෙන් නූතන මානවයා කලින් නික්‌මීම පිළිබඳ සාධක වඩා ශක්‌තිමත් බව පැහැදිලි ය. එමෙන් ම මෑත දී ලැබී ඇති ප්‍රවේණික සාධක මඟින් පෙනී ගොස්‌ ඇත්තේ අප්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ නූතන මානවයා ඒ වන විට එම ප්‍රදේශවල ජීවත් වූ වෙනත් ආදි මානව විශේෂ වන නියෑන්ඩර්තාල් හා ඩෙනිසෝවන් වැනි මානවයන් හා අභිජනනය කරන ලද බවයි.


Homo sapiens sapiens මානවයා වැදගත් වන්නේ සමස්‌ත ලෝකය ම ජයගැනීමට සමත් වූ එක ම මානවයා ඔහු වන බැවිනි. Australopithecus මානවයන් අප්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ බවක්‌ වාර්තා වී නොමැත. එසේ ම නියෑන්ඩර්තාල් මානවයන් අප්‍රිකාවට පැමිණි බවට සාධක හමු නො වෙයි. එමෙන් ම Homo erectus මානවයන් අප්‍රිකාවෙන් පිටතට ගොස්‌ ආසියාව, යුරෝපය ඇතුළත් පැරැණි ලෝකයේ (Old World) බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වූ නමුත්, ඔස්‌ට්‍රේලියාවට හා නව ලෝකය හෙවත් ඇමෙරිකානු මහාද්වීපයට ව්‍යාප්ත වූයේ නැත. එහෙත් Homo sapiens sapiens මානවයා සමස්‌ත ලෝකය පුරා ම ව්‍යාප්ත වී තිබේ.

කෙසේ වෙතත් පසුගිය ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවකින් නූතන මානවයා මෙතෙක්‌ පිළිගත් දිනවලට වඩා පෙර වකවානුවක දී අප්‍රිකාවෙන් නික්‌මුණු බවට තවත් සාධකයක්‌ ඉදිරිපත් කර ඇත. එම සාධක ලැබෙන්නේ ඊශ්‍රායලයෙනි.

ඊශ්‍රායලයෙන් ලැබුණු ෆොසිලය


මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ඊශ්‍රායලයේ ගල් ලෙනකින් 2002 වර්ෂයේ දී ලැබුණු ෆොසිලයකි. එය අප්‍රිකාවෙන් පිටත දී හමු වූ නූතන මානවයා ගේ මෙතෙක්‌ දන්නා පැරැණි ම ෆොසිලය බව මෙහි දී පෙන්වා දී ඇති අතර ඒ පිළිබඳව ඇති දින වකවානු වර්ෂ දස දහස්‌ ගණනකින් අතීතයට ගෙන යැමට යෝජනා කරයි. කෙසේ වෙතත් මෙහි දින වකවානු පිළිබඳ ව මතභේද ද පවතියි.

ඊශ්‍රායලයේ කාර්මල් (Mount Carmel) කන්දේ බටහිර බෑවුමේ පිහිටා ඇති මිස්‌ලියා (Misliya) ගුහාව නම් ගුහාවෙන් හමු වී ඇති මේ ෆොසිලය මානව උඩු හනුවක කොටසකි. එහි දත් අටක්‌ පමණ ශේෂ ව තිබේ. මේ ෆොසිලය එකිනෙකට වෙනස්‌ ක්‍රම තුනක්‌ යොදාගනිමින් කාල නිර්ණය කර ඇති අතර ඒ අනුව අදින් වසර 177,000ක්‌ හා 194,000ක්‌ අතර කාලයකට අයත් ලෙස කාල නිර්ණය කර තිබේ (එහි සාමාන්‍යය වසර 185,000ක්‌ පමණ වේ).

මේ ෆොසිලයේ ව්‍යුහ විද්‍යාත්මක ස්‌වභාවය හඳුනාගැනීමට මේ පර්යේෂකයන් උත්සාහ කර ඇත. එය නූතන මානවයා ගේ හා අප්‍රිකාවෙන්, යුරෝපයෙන් හා ආසියාවෙන් හමු වී ඇති ආදි මානවයන් හා සංසන්දනය කිරීම සිදු කර තිබෙයි. එහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට එය වඩාත් සමීප වී ඇත්තේ නූතන මානවයා හෙවත් Homo sapiens sapiens සමඟ ය. මේ සඳහා පරිගණක ආශ්‍රිත නවීන තාක්‌ෂණික උපක්‍රම භාවිත කර තිබේ.

මේ ෆොසිලයට ලබා දී ඇති කාල නිර්ණය අනුව නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වූ දිනය මෙතෙක්‌ දන්නා දිනයට වඩා වසර 50,000ක්‌ පමණ පමණ ඈතට යන බව උක්‌ත පර්යේෂකයන් ගේ අදහස වේ. මෙතෙක්‌ පැවැති පැරැණි ම සාධකය වන්නේ අදින් වසර 90,000ත් 120,000ත් අතර කාලයකට දින නියම කර තිබූ ස්‌කුල් (Skhul) හා කෆ්සේ (Qafzeh) නම් ඊශ්‍රායලයේ ම පිහිටා ඇති ස්‌ථානවලින් හමු වී ඇති මානව ශේෂ ය. ඒ අනුව ඒවාට වඩා මේ මිස්‌ලියා ෆොසිලය වසර 50,000ක්‌ පමණ පැරැණි බව පර්යේෂකයන් ගේ මතයයි.

එමෙන් ම මේ ෆොසිලය හමු වූ ලෙනෙන් විශේෂ වර්ගයක ශිලා මෙවලම් හමු වීම ද වැදගත් සොයාගැනීමක්‌ ලෙස දක්‌වා ඇත. ලෙවලියොස්‌ (Levallois) මෙවලම් ලෙස හඳුන්වා ඇති මේ මෙවලම් පැතලි, තුනී තියුණු මුවහතක්‌ සහිත ආයුධ වර්ගයකි. මේවා මානව ප්‍රාග් ඉතිහාසයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස සැලකේ. මොරොක්‌කෝවේ ජෙබෙල් ඉර්හුද් ස්‌ථානයෙන් මෙන් ම ඉහත සඳහන් ඊශ්‍රායලයේ මිස්‌ලියා ගුහාවෙන් ද මේ වර්ගයේ ශිලා මෙවලම් හමු වීම වැදගත් ය. මේවා ඇතැම් විට නූතන මානවයන් විසින් සොයාගන්නා ලද ආයුධ වර්ගයක්‌ වීමට අවස්‌ථාව ඇති බව ඔවුන් දක්‌වා ඇති අතර, එම තාක්‌ෂණය මේ මානවයන්ට අප්‍රිකාවෙන් පිටතට යැමට උපකාරී වූවා ද විය හැකි බවට ද අදහසක්‌ මතු කර තිබෙයි.

මතභේද පවතී


කෙසේ වෙතත් මේ ෆොසිලය හා එමඟින් ඉදිරිපත් කරන මත පිළිබඳ ව ඇතැම් විද්‍යාඥයන් අතර සැක සහිත බවක්‌ ඇති බව ද පෙනේ. එය නූතන මානවයා ගේ බවට පිළිගත හැකි සාධක තිබේ ද යන්න ගැන ඇතැම් විද්‍යාඥයන් අතර සැකයක්‌ ඇති බව පෙනෙයි. ඒ සඳහා භාවිත කර ඇති සාධක කෙතරම් දුරට පිළිගත හැකි ඒවා වන්නේ ද යන්න ඔවුන් මතු කර ඇති පැනය වෙයි. අනෙක්‌ විශේෂවලට වඩා මේ ෆොසිලය Homo sapiens විශේෂයට සමාන වුව ද, එය එක්‌ අස්‌ථි කොටසක්‌ පමණක්‌ බව ඔවුන් පෙන්වා දී තිබේ. එසේ ම එක්‌ විද්‍යාඥයකු පෙන්වා දී ඇති ආකාරයට එම ෆොසිලයේ, දත් වඩාත් නූතන ස්‌වභාවයක්‌ දක්‌වයි.

ඉහත සඳහන් කළ මේ මානව ශේෂ සමඟ හමු වන ශිලා මෙවලම් පිළිබඳ ව ද මතභේද ඇත. නූතන මානවයා බිහි වීමට පෙර කාලයකට දින නියම කර ඇති ස්‌ථානවලින් ද මේ වර්ගයේ ආයුධ හමු වන බව ඇතැම් විද්‍යාඥයන් දක්‌වා තිබෙයි. මේවා නියෑන්ඩර්තාල් වැනි මානවයන් ගේ වාසස්‌ථානවලින් ද හමු වන බවක්‌ ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ සොයාගැනීම මඟින් මෑත දී අනාවරණය වූ තවත් කරුණක්‌ පිළිබඳ ව සාධක ලැබෙයි. එනම් අප්‍රිකාවෙන් පිටත විසූ නියෑන්ඩර්තාල් හා ඩෙනිසෝවන් වැනි මේ වන විට වඳ වී ගොස්‌ ඇති ආදි මානවයන් හා නූතන මානවයන් අතර අන්තර් සම්බන්ධතා පැවැති බවට ප්‍රවේණික පර්යේෂණ මඟින් දක්‌වා ඇති මතයට මෙමඟින් වැඩි අවස්‌ථාවක්‌ ලැබීමයි. වඩා කලින් අප්‍රිකාවෙන් නික්‌මුණු නූතන මානවයන් හා ආදි මානව විශේෂ අතර මෙවැනි සම්බන්ධතා අන්තර් සම්බන්ධතා ඇති වීමේ අවස්‌ථාව අධික ය.

මේ කරුණු අනුව නූතන මානවයා අප්‍රිකාවෙන් නික්‌මීම පිළිබඳව ඇති මතවාද තවදුරටත් සංකීර්ණ වන බව පැහැදිලි ය. එසේ ම නූතන මානවයා ගේ බිහි වීම පිළිබඳ දින වකවානු ද මේ අනුව වෙනස්‌ විය හැකි ය. අනෙක්‌ අතට අප්‍රිකාවෙන් නික්‌මීම එක්‌ වරක්‌ නො ව කිහිප වරක්‌ සිදු වූ නික්‌මීමක්‌ විය හැකි බව ද පෙනෙයි. කලින් නික්‌මුණු මානව ප්‍රවාහය පසු කලක ආ ප්‍රවාහයෙන් යටපත් වී ගියා වීමට ද හැකි ය. ප්‍රවේණික පර්යේෂණවලින් පෙනෙන පරිදි වසර 60,000කට පමණ පෙර අප්‍රිකාවෙන් පිටතට පැමිණි නූතන මානව ප්‍රවාහයක්‌ වර්තමාන මානවයන් අතර ප්‍රධාන ප්‍රවාහය වන්නේ ඒ නිසා විය හැකි ය.

මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.aap8369

Thursday, February 1, 2018

අපි නිදහස් ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 31.01.2018 පි. 4 (Vidusara)


ශ‍්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය 2018 වර්ෂයේ පෙබරවාරි මස 4 වැනි දාට යෙදී ඇත. 1948 පෙබරවාරි මාසයේ ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවේ ඩොමීනියන් තත්ත්වයේ පාලනයක් සහිතවය. එනම්, ඉන් පසුවද මෙරට රජු හෝ රැජින වූයේ බි‍්‍රතාන්‍යයේ රජු හෝ රැජින විය. ඔහු හෝ ඇයගේ නියෝජිතයා වූයේ අග‍්‍රාණ්ඩුකාරවරයාය. (එහෙත් ඊට තිබූ බලය සීමා සහිත විය) මේ තත්ත්වය වෙනස් වී ශ‍්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ 1972 වර්ෂයේ මැයි මස 22 වන දිනදීය. ඇතැම් අයට අමතකව ඇති එම සිදුවීම මෙරට නිදහස පූර්ණ වූ අවස්ථාව සේ සැලකිය හැකිය.

මෙරට හැත්තෑ වන නිදහස් උත්සවයේ බි‍්‍රතාන්‍ය රැජින නියෝජනය කරමින් බි‍්‍රතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු වන එඞ්වඞ් කුමරු සහභාගි වන බව වාර්තා වෙයි. මීට පෙරදීද බි‍්‍රතාන්‍ය රාජකීයයන් අපේ රටේ නිදහස් උළෙලවලට සහභාගි වී ඇත. නිදහසක් ලෙස ගතහොත්, 1998 වර්ෂයේ පැවැති 50වන නිදහස් උත්සවය සඳහා බි‍්‍රතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු මෙරටට පැමිණියේය. එහෙත් බි‍්‍රතාන්‍යයන් යටත්විජිතයක් ලෙස මෙරට පාලනය කළ සමයේ සිදු වූ දේ අනුව ඔවුන් හා එක්ව හෝ නිදහස සැමරිය හැකිද යන්න අපට නම් ගැටලුවකි.

එහෙත් මෙරට තීරණ ගන්නා ඇතැමුන්ගේ අතීත ක‍්‍රියාකාරකම් අනුව එය එතරම් පුදුමයක් නොවේ. පෘතුගීසීන් මෙරටට පැමිණ වසර 500ක් සම්පූර්ණ වීමට නියමිත වූ 2005 වර්ෂයේදී පෘතුගාලයෙන් නියෝජිතයන් මෙරටට ගෙන්වීමට හෝ දෙරටේම උත්සවාකාරයෙන් සැමරීම සඳහා මෙරට ඇතැම් දේශපාලන නායකයින්ට අවශ්‍යතාවයක් පැවැති බව වාර්තා වෙයි. පෘතුගීසීන් මෙරට සිදු කළ මහා විනාශය, අපේ රට හා සංස්කෘතිය උඩු යටිකුරු කළ වෙනසක් ඇති කළේය. එය පරාධීන සමයක ආරම්භය ද විය. වාසනාවකට මෙන් 2004දී සිදු වූ ආණ්ඩු මාරුවත් සමඟ එම සැලසුම් වෙනස් විය.
 
1796 සිට මෙරට පහතරට ප‍්‍රදේශවලත්, 1815 සිට සමස්ත රට තුළ බි‍්‍රතාන්‍යයන් විසින් සිදුකරන ලද පාලනය යටතේ මෙරට තුළ ඇති වූ වෙනස්කම් මෙරට අනෙක් යටත්විජිත පාලන සමයවල සිදු වූ දේට වඩා එතරම් වෙනස් නොවේ. මේ පිළිබඳව අංශ කිහිපයකින් පමණක් මෙහිදී සලකා බලමු.

පරිසරය හා සම්පත් සූරාකෑම


ශ‍්‍රී ලංකාවේ පරිසරය සම්බන්ධව බි‍්‍රතාන්‍ය පාලනය යටතේ සැලකිය යුතු විනාශයක් සිදුව ඇත. අතීතයේ සිට මෙරට මධ්‍ය කඳුකර ප‍්‍රදේශය වැසී තිබුනේ වනාන්තරවලිනි. උඩරට රාජධානි සමයේ පවා විශාල වනාන්තර බිම් ප‍්‍රමාණයක් රාජධානියේ ආරක්ෂිත වී තිබිණි. එහෙත් බි‍්‍රතාන්‍ය පාලන සමයේදී වනාන්තරවලින් වැසී ගොස් තිබූ විශාල ප‍්‍රදේශයක් පළමුව කෝපි වගාව සඳහා ද, පසුව තේ වගාවට හා රබර් වගාව සඳහා ද එළිපෙහෙළි කරන ලදි. බි‍්‍රතාන්‍ය ඉඩම් ප‍්‍රතිපත්තිය අනුව, විවිධ නීති රීති යටතේ පුද්ගලික මෙන්ම විහාර දේවාල සතු ඉඩම්ද රජයට ලබාගෙන වතුවගා සඳහා යොදාගන්නා ලදි.

බි‍්‍රතාන්‍යයන් මෙරට හැරයන අවස්ථාව වන විට මේ වතුවගාවලින් වැසී ගොස් තිබූ බිම් ප‍්‍රමාණය මේ වනාන්තර විනාශයේ තරම පෙන්වයි. 1948 වර්ෂය වන විට ශ‍්‍රී ලංකාවේ පැවැති රබර් වගාබිම් ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 2,660ක් (හෙක්ටයාර 266,000) වූ අතර, 1950 වන විට තේ වගාව සඳහා වර්ග කිලෝමීටර් 2,250ක් (හෙක්ටයාර 225,000) යොදාගෙන තිබිණි. එ් අනුව තේ හා රබර් වගා දෙක සඳහා පමණක් එළි කර තිබූ තෙත් කලාපීය බිම් ප‍්‍රමාණය ඒ අනුව වර්ග කිලෝමීටර් 4,910ක් හෙවත් රටේ බිම් ප‍්‍රමාණයෙන් 7.48%ක් පමණ වෙයි. පොල්, කෝපි, කොකෝවා, ආදි වතු වගාද මෙකල ව්‍යාප්ත වී තිබිණි. මේ සඳහා යොදාගත් බිම් අතරින් වැඩි ප‍්‍රමාණක් වනාන්තර වෙයි.
මෙහි ඇති වැදගත් කරුණු දෙකක් ඇත. ඉන් පළමුවැන්න මේ වගා සඳහා එළි පෙහෙළි කරන ලද වනාන්තර සියල්ලම හෝ වැඩි ප‍්‍රමාණයක් ජෛව විවිධත්වයෙන් ඉහළ තෙත් කලාපීය වනාන්තර වීමය. අනෙක් වැදගත් කරුණ වන්නේ මේ වනාන්තර එළි කර භූමිය ලබාගන්නා ලද්දේ මෙරට වැසියන්ගේ යැපුම් අවශ්‍යතාවයක් සඳහා නොව අපනයනය සඳහා සිදුකරන ලද නිෂ්පාදනයක් වෙනුවෙනි. එහි ලාභය උපයන ලද්දේ බි‍්‍රතාන්‍යයන් හා බි‍්‍රතාන්‍ය සමාගම් විසිනි. 

මේ ආකාරයටම බි‍්‍රතාන්‍ය යුගයේදී වියළි කලාපයේ පිහිටා තිබූ වනාන්තර ප‍්‍රදේශ විශාල වශයෙන් හෙළි පෙහෙළි කරන ලදි. ඒ දැව ලබාගැනීම පිණිසය. කළුවර, බුරුත වැනි දැව සඳහා තිබූ ඉහළ ඉල්ලූම සඳහා දැව හෙලීම නිසා ඇති වූ තත්ත්වය පරිපාලන වාර්තාවල සඳහන් වෙයි. පාලනයකින් තොරව ඇති වූ මේ තත්ත්වය නිසා, එම වනාන්තර හා ඇතැම් දැව වර්ග තුරන්ව හා හැකි බව බි‍්‍රතාන්‍ය නිලධාරීන් විසින්ම සඳහන් කර ඇත. මෙම තත්ත්වය පාලනය කර දැව ලබාගැනීම විධිමත් කිරීම කැලෑ දෙපාර්තමේන්තුවක් ඇති කිරීම සඳහා මූලික වූ හේතුව විය. එහි මුල් අවස්ථාවේදී සංරක්ෂණ අරමුණක් නොවීය.

මේ හැරුණු කොට මෙරට තිබූ වෙනත් සම්පත්ද හුදු ආර්ථික වාසි වෙනුවෙන් උකහාගැනීම බි‍්‍රතාන්‍ය සමයේදී සිදු විය. මිනිරන් කර්මාන්තය මීට නිදසුනකි.

යටිතල පහසුකම් ඇතිකිරීම


බි‍්‍රතාන්‍යයන් විසින් සිදු කළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙරට වැසියන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන ලද්දක් හෝ ඉන් මෙරට වැසියන්ට යහපතක් සැලසුනු බවක් ඇතැම් අය විසින් පුන පුනා දක්වන කරුණකි. එහෙත් එය සැබැවින්ම එසේද යන්නද විමසා බැලිය යුත්තකි.

බි‍්‍රතාන්‍යයන් ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මහා මාර්ග ඉදි කළේ මූලික වශයෙන්ම මෙරට පාලනය පහසුවෙන් පවත්වා ගැනීම සඳහාය. උඩරට ප‍්‍රදේශ හා පහතරට ප‍්‍රදේශ සම්බන්ධ කරමින් මහාමාර්ග ඉදිකිරීම පිළිබඳව සැලකීමෙන් ඒ බව පැහැදිලිව පෙනෙයි. අනෙක් අතට විවිධ ප‍්‍රදේශවලදී ජනතාව විසින් රජයෙන් ඉල්ලා සිටි ඇතැම් මාර්ග ඉදිකිරීම සඳහා බි‍්‍රතාන්‍ය පාලකයින් උනන්දුවක් නොදැක්වීම මීට මනා නිදසුනකි. එවැනි අවස්ථාවලදී ඇතැම් මාර්ග ජනතාව විසින්ම තනාගත් අවස්ථා තිබෙයි.

එසේම බි‍්‍රතාන්‍යයන් විසින් දුම්රිය මාර්ග ඉදි කළේ වතු වගාව ව්‍යාප්ත වීම හා සමඟ එ්වායේ නිෂ්පාදන පහසුවෙන් කොළඹ වරාය වෙත ප‍්‍රවාහනය කිරීම අරමුණු කරගනිමිනි. දුම්රිය මාර්ග ව්‍යාප්ත වූ ප‍්‍රදේශ පිළිබඳව විමසා බැලීමේදී මේ තත්ත්වය මනාව පැහැදිලි වෙයි. ඇතැම් නිලධාරින් විසින් ජනතාවගේ යහපතට හේතුවන ලෙස නම් කරන ලද දුම්රිය මාර්ග ඉදිකිරීම රජය විසින් ප‍්‍රතික්ෂේප කරන ලද්දේ ඒවායින් ආර්ථික වශයෙන් යහපතක් නොසැලසෙන බව පවසමිනි. මේ සඳහා හොඳම නිදසුන වන්නේ මාතරින් ඔබ්බට හම්බන්තොට දක්වා දුම්රිය මාර්ගයක් තැනීම පිළිබඳ යෝජනාවට අත් වූ ඉරණම සැලකීමේදීය. එය මුලින්ම යෝජනාව වූයේ 1894දී තරම්ය. විටින් විට දිසාපතිවරුන් ඉල්ලීම් සිදුකරන ලද නමුත් හම්බන්තොට දක්වා වූ දුම්රිය මාර්ගයක් සඳහා වූ මිණුම් කටයුතු පවා සිදුකරන ලද්දේ 1921-22 වර්ෂවලදීය. එ් සඳහා වූ ඇස්තමේන්තුද සකස් කරන ලදි. එහෙත් 1925 දී පත් කරන ලද කොමිසමක නිර්දේශ මත එම යෝජනාව ක‍්‍රියාත්මක කිරීම නවත්වන ලදි. එයට හේතුව වූයේ ඉන් වියදමට සරිලන ආදායමක් නොලැබීමය. (ඉන් දශක ගණනාවකට පසුව මේ දුම්රිය මාර්ගය යළි ඉදිකිරීම සඳහා 1990 දශකයේදී හා 2000 දශකයේදී උත්සාහ ගත්තද එ්වා අසාර්ථක විය. එය මේ වන විට ඉදි කෙරෙමින් තිබෙයි.)
 
එසේම මෙරට සියලූ දුම්රිය මාර්ග ඉදිකිරීමේදී විවිධ කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්, පෙත්සම් ආදිය අනුව පෙනෙන්නේ එය හුදෙක් පහසු කාර්යයක් නොවු බවයි. එසේම වතු වගා පැවැති ප‍්‍රදේශවලට දුම්රිය මාර්ග ව්‍යාප්ත කිරීමේදී අදාළ වගාවල නිෂ්පාදනවලින් අතිරේක බද්දක් ගෙවිය යුතු වූ අවස්ථා තිබෙයි.

වාරිමාර්ග දියුණු කළේ ඇයි?


බි‍්‍රතාන්‍ය සමයේ මෙරට වාරිකර්මාන්ත අලූත්වැඩියා කිරීම සඳහා කිසියම් පියවරක් ගෙන ඇති බව සත්‍යයකි. එහෙත් එ් ඔවුන් මෙරට පාලනය කිරීම පටන්ගෙන අඩ සියවසක් පමණ ගත වූ පසුවය. ඊට පෙර එවැනි උත්සාහයක් ගෙන නොමැති තරම්ය. ඊට හේතුව මෙරටට සහල් ආනයනය කිරීම සඳහා දැරිය යුතු වූ අධික වියදම නිසා ඉන්දියාව හා මෙරට අතර තිබූ වෙළෙඳ ශේෂය යහපත් තත්ත්වයක පවත්වා ගැනීමට ඇති වූ අවශ්‍යතාවයයි. 

එසේම රජයේ වියදමින් වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමේදී එම වැව්වලින් ජලය ලබාගන්නා ගොවීන් කිසියම් කාලයක් යනතුරු වැඩි බදු මුදලක් ගෙවිය යුතු විය. එය අස්වැන්නෙන් 10%ක් පමණ විය. රජයේ අපේක්ෂාව වූයේ එමගින් අදාළ කටයුතු සඳහා වූ වියදම පියවා ගැනීමය.

නිදහස් අරගලය


ඇතැමුන් සිතන්නේ මෙරට නිදහස් ලබාගත්තේ ලේ හැලූණු අරගලයකින් නොවන නිසා සුද්දා කැමැත්තෙන් රට අපට දී ගිය බවකි. එහෙත් එය එසේ නොවේ. 1818 හා 1848 වැනි නිදහස් සටන්ද (ඇතැමුන්ට මේවා කැරලිය) එ් හැරුණු විට වරින් වර බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව මෙරට තුළ ඇති වූ කුඩා ප‍්‍රමාණයේ නැගී සිටීම්ද සියල්ල බි‍්‍රතාන්‍යයින් විසින් මර්දනය කරන ලදි. 1818 හා 1848 ඇති වූ අරගල මර්දනය කළ අතිශය ක‍්‍රෑර ආකරය අපි අසා ඇත්තෙමු. විශේෂයෙන් 1818 වෙල්ලස්සෙන් ඇරඹුනු නිදහස් අරගලය ඉතා කෲර ලෙස මර්දනය කරන ලද්දේ විශාල විනාශයක් රටට සිදුකරමිනි. සියලූ ගම් බිම් කෙත් වතු පාළු කර, වයස අවුරුදු දහසයට වඩා වැඩි පිරිමින් මරාදමා සිදු කළ විනාශය බරපතළය. එදා වෙල්ලස්ස වැනි ප‍්‍රදේශවල කළ ජන හා දේපොළ විනාශය සැලකිය යුතු කාලයක් යනතුරු එම පළාත් රටේ සෙසු පළාත්වලට වඩා පසුබා තිබිණි. 1848 අරගලයද මර්දනය කරන ලද්දේ ක‍්‍රෑර ආකාරයෙනි. 1915දී ඇති වූ සිංහල-මුස්ලිම් කෝලාහලය අවස්ථාවේදී පවා එ් වන විට නැගී එමින් තිබූ ජාතික නායකත්වය මර්දනය කිරීමට උත්සාහ ගත් බව පැහැදිලි කරුණකි.

කෙසේ වෙතත්, පැවැති ලෝක දේශපාලන තත්ත්වය තුළ 1948දී බි‍්‍රතාන්‍යයට මෙරටට නිදහස ලබාදීමට සිදු විය. එහෙත් එය අහසින් වැටුණු නිදහසක් නම් නොවේ. මෙරට නායකයින් හා වැසියන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක ප‍්‍රතිඵලයක් බව ඉතිහාසය හදාරන්නවුන්ට රහසක් නොවේ. අනෙක් අතට අද අප අත් දකින තවත් බොහෝ ගැටලූද බි‍්‍රතාන්‍ය පාලනයේ ප‍්‍රතිඵල වෙයි. මීට නිදසුන ඔවුන්ගේ බෙදා පාලනය කිරීමේ න්‍යායයේ ප‍්‍රතිඵලයක් වූ ජනවාර්ගික අර්බුදයයි (එවැන්නක් තිබේ නම්).
 
මේ කරුණු අනුව ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය පාලනයේ සැබෑ තත්ත්වය පිළිබඳව විමසන විට බි‍්‍රතාන්‍යයන් සමඟ සහයෝගයෙන් මෙරට නිදහස් දිනය සැමරිය හැකිද යන්න ඉතිහාසය දෙස යථාර්ථවාදීව සිතන ඕනෑම අයෙකුට නැගෙන පැනයකි. එහෙත් අපේ රටේ ඇතැමුන් තවමත් මානසිකව බි‍්‍රතාන්‍යයෙන් හෝ බටහිරින් නිදහස් වී නොමැති වීම කණගාටුවට කරුණකි.

Tuesday, January 30, 2018

​කට කැඩිච්ච කතා 01 - දොඩම් ගෙඩි දෙක

(මේ කතා පටන් ගන්න හිතුවෙ අහල තියන එකකින්. මේක 1970 මැතිවරණ කාලෙ සිදුවුණු එකක්. අදින් දශක දෙකකට විතර කලින් මේ කතාව මට කිව්වෙ පුවත්පත් වාර්තාකරුවෙකුද වූ මගේ දහම්පාසැල් ගුරුවරයෙක්. එ්ක කිව්වෙ දහම්පාසැල් කාලෙන් පස්සෙ හමු වූ විටකදි හොඳේ)

කොළඹට නුදුරු මැතිවරණ කොට්ඨාසයකට තරග කළ අපේක්ෂකයින් දෙදෙනෙකු පිළිබඳවයි මේ කතාව. එක් අයෙක් ආරෝහ පරිණාහ දේහධාරි පුද්ගලයෙක්. ඔහු ඒ වන විට පැවැති ආණ්ඩු පක්ෂයේ සෙනෙට් මන්ත්‍රීවරයෙක්. අනෙක් තැනැත්තා ඒ වන විට එම ආසනය 1965 මැතිවරණයෙන් ජය ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කළ විපක්ෂ මන්ත්‍රීවරයායි. ඔහු එතරම් උස මහත අයෙකු නොවුනත් බොහොම දක්ෂ චතුර කථිකයෙක්.

ඉතින් දවසක් අර සද්දන්ත අපේක්‍ෂකයා එයාලගේ ආණ්ඩුවේ බලයත් හිතට අරන් තිබ්බ රැස්වීමකදී මෙහෙම කිව්වාලු.

"මාත් එක්ක මේ ආසනේට තරග කරන අපේක්ෂකයා දොඩම් ගෙඩි දෙකක්වත් උස නැති කෙනෙක්"

ඊට දින කීපයකට පසුව, අර කතාවට ලැබෙන්න ඕන උත්තරේ අර උස මහත නැති විපක්ෂයේ මුඛරි අපේක්ෂකයාගෙන් එම ස්ථානයේදීම ලැබුනලු. ඒ ඔවුන්ගේ පක්ෂයේ රැස්වීමකදී. ඒ මෙහෙම.

"මම දොඩම් ගෙඩි දෙකක්වත් උස නෑ කියපු කෙනාට මං මෙහෙම කියන්න කැමතියි - මගේ දොඩම් ගෙඩි දෙක මිරිකල දුන්නොත් උන්නැහේට මාසයක් නා ගන්න අැති වෙයි කියල..."

ඡන්ද ප්‍රතිඵල අනුව ඒ උස මහත නැති පුද්ගලයා විශිෂ්ට ජයක් ලැබුවා. ඔහුගේ පක්ෂයත් විශිෂ්ට ජයක් ලැබුවා. ඔහු මෙරට දේශපාලනයේ විශිෂ්ටයෙක්. එ් අාසනය එකල වමේ අාසනයක්.

අර සද්දන්තයාට තමන්ගේ පක්‍ෂයෙන් කැපිලි අාවා. අන්තිමට ඉන් ඉවත් වී  අර ප්‍රතිවාදියාගේ පක්ෂයට එක් වීමට සිදුවුනා. ඔහුට අන්තිමේ ජනතා වරමින් පාර්ලිමේන්තුවට පත්වීමට අවස්ථාවක් ලැබුනේ 1989දි. එදා ඔවුන් දෙදෙනාම එකම පක්ෂයෙන් ඒ පාර්ලිමේන්තුව නියෝජනය කළා. 

Saturday, January 27, 2018

එළිමහන් ක්‍රියාකාරකම්වලින් පසුව සිසු අවධානය ඉහළට

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.01.2018 පි. 4 (Vidusara)

http://www.vidusara.com/2018/01/24/feature1.html




ස්‌වාභාවික පරිසරයෙන් මිනිසුන්ට ලැබෙන බොහෝ ප්‍රයෝජන පිළිබඳව අපි දනිමු. ඒ අතර විවිධ ඝෘජු හා වක්‍ර සේවා වෙයි. උද්‍යාන, ගහකොළ හා වනජීවීන් වැනි ස්‌වාභාවික පරිසරයේ නොයෙක්‌ සංරචකවලට නිරාවරණය වූ පුද්ගලයන්ට ලැබෙන ප්‍රයෝජන මේ අතර තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් ශාරීරික ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම, මානසික ආතතිය අඩු කරවීම, අවධානය ප්‍රාණවත් වීම හා සක්‍රියභාවය ඉහළ යැම වැනි කරුණු දැක්‌විය හැකි ය.

මේ තත්ත්වය ළමයින් ගේ පාසල් අධ්‍යාපනයේ දී ද දැකිය හැකි කරුණකි. සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනයේ ප්‍රමුඛතාවක්‌ ලැබෙන්නේ පන්ති කාමරය ඇතුළත පවත්වනු ලබන ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා ය. එහෙත් පන්ති කාමරයෙන් පිටත එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරනු ලබන අධ්‍යාපන කටයුතු සඳහා යම් අවධානයක්‌ යොමු වී ඇත. ගසක්‌ යට, තණ පිටියක සිදු කරන පාඩමක්‌ යනු ළමයින්ට පංති කාමරයේ සිදු කරනු ලබන සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට වඩා යම් වෙනසක්‌ ලබා දෙන්නකි. ඒ සඳහා පාසල් ළමයින් ගේ, විශේෂයෙන් ප්‍රාථමික පංතිවල පසු වන කුඩා ළමයින් අතර, වැඩි උනන්දුවක්‌ ද දැකගත හැකි ය.

පරිසරය පාදක කරගත් ක්‍රියාකාරකම් අනාගතයේ දී පරිසරය පිළිබඳව විමසුමක්‌ සහිත පරපුරක්‌ බිහි කිරීමට උපකාරී වෙයි. දරුවන් සිය ළමා කාලයේ දී ලබන පරිසරය පිළිබඳ ධනාත්මක අත්දැකීම් ඔවුන් ගේ වැඩිහිටි වයසේ දී පරිසර හිතවාදී හැසිරීම් ඇති වීම සඳහා වැදගත් වන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙන කරුණකි. මේ අනුව ස්‌වාභාවික පරිසරය පාදක කරගත් පාඩම්වල කිසියම් වැදගත්කමක්‌ ඇති බව පැහැදිලි ය.

වර්තමානය වන විට බොහෝ යුරෝපීය රටවල විධිමත් පාසල් අධ්‍යාපන ක්‍රමවේදය තුළ ස්‌වභාවික පරිසරයේ සිදු කරන පාඩම් වැඩසටහන් සඳහා වැදගත් තැනක්‌ ලබා දීම සඳහා කටයුතු කර තිබෙයි. එහෙත් ඇමෙරිකාවේ පෙර පාසල් පද්ධතියේ හැර පාසල් අධ්‍යාපනය තුළ මේ සඳහා ලබා දී ඇත්තේ අඩු අවධානයක්‌ බව පැවසෙයි. මේ සඳහා එක්‌ හේතුවක්‌ සේ සැලකෙන්නේ එවැනි එළිමහන් අධ්‍යාපන කටයුත්තක දී ළමයින් ගේ අවධානය කේන්ද්‍රගත කර තබාගැනීමට අපහසු බවට ගුරුවරුන් තුළ ඇති විශ්වාසයයි.

කෙසේ වෙතත්, එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරනු ලබන පාඩමකින් පසු ව ළමයින් ස්‌වකීය පාසල් කටයුතුවලට සම්බන්ධ වීම හා අවධානය ඉහළ යන බව පසුගිය දා නිකුත් වූ අධ්‍යයනයකින් අනාවරණය කර ඇත. මේ නිසා එවැනි අධ්‍යාපන සැසියකින් පසු ව සිදු කරන ගෘහාශ්‍රිත පාඩමක දී එම ගුරුවරුන්ට බාධාවකින් තොර ව දෙගුණයක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ ඉගැන්වීමේ කටයුතුවල නියෑළීමට හැකියාව පවතී. මෙය වැදගත් වන්නේ ස්‌වාභාවික පරිසර තත්ත්ව යටතේ සිදු කරනු ලබන අධ්‍යාපන කටයුතු මගින් ලැබෙන මෙ වැනි ප්‍රතිලාභ සම්බන්ධව පැහැදිලි කිරීම් වැදගත් වන නිසා ය.

ඇමරිකානු අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනයේ දී එම අධ්‍යයන කණ්‌ඩායම, පරීක්‌ෂා කිරීම සඳහා යොමු කළ කල්පිතය වූයේ ස්‌වාභාවික පරිසරයේ එළිමහනේ සිදු කරනු ලබන පාඩමක්‌ මගින් ඊට පසුව වහා ම සිදු කරනු ලබන පන්ති කාමරය ආශ්‍රිත පාඩම්වල දී දක්‌වන අවධානය හා පාඩමට සම්බන්ධ වීම ඉහළ යන බවයි.

උක්‌ත අධ්‍යයනය සිදු කර ඇත්තේ වයස අවුරුදු 9 - 10 අතර වයසේ පසු වන තුන්වැනි ශ්‍රේණියේ පංති දෙකක ළමයින් පදනම් කරගනිමිනි. ඒ ඇමෙරිකාවේ දී ය. එහි දී පරෙස්‌සමෙන් තෝරාගන්නා ලද ගැළපෙන ආකාරයේ පාඩම් දෙකක්‌ එක්‌ පාඩමක්‌ එළිමහනේ ද, ඒ හා සමාන අනෙක්‌ පාඩම පන්ති කාමරයක්‌ ඇතුළත ද වශයෙන් සති දහයක කාලයක්‌ ළමයින්ට උගන්වා තිබෙයි. මෙය පළපුරුදු ගුරුවරයකු විසින් මෙන් ම එසේ නො වන ගුරුවරයකු විසින් ද සිදු කරනු ලැබ ඇත. ඔවුන් ගේ එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ පාඩම සඳහා තෝරාගෙන තිබුණේ පාසලෙන් පිටත පිහිටා ඇති කුඩා වනාන්තරයක්‌ පෙනෙන දුර පිහිටි තණබිමකි. මේ පාඩම සාමාන්‍යයෙන් මිනිත්තු 40ක කාලයක්‌ ගත වූ පාඩමකි. ඊට පන්ති කාමරයේ සිට අදාළ එළිමහන් ස්‌ථානයට ගමන් කරන කාලය ද අයත් ය.

මේ සැම එළිමහන් හා ගෘහස්‌ථ පාඩම් සැසියකින් පසු ව කෙටි මිනිත්තු 5ක විවේකයක්‌ ලැබේ. ඉන් පසුව ආ මිනිත්තු 20ක නිරීක්‌ෂණ කාල පරිච්ඡේදවල දී ළමයින් කෙතරම් දුරට අධ්‍යාපන කාර්යයේ නිරත වූයේ ද යන්න ගුරුවරුන් විසින් මැනීම සිදු කරන ලදි. මේ නිරීක්‌ෂණය කරන ලද කාල සීමාවේ දී ළමයින් ගේ අවධානය අන් අතකට යොමු වූ අවස්‌ථා පිළිබඳව ගණනය කිරීම සිදු කර ඇත. ඒ 'ඉඳගන්න', 'වැඩ කරන්න' වැනි යෙදුම් යොදා ළමයින් ගේ අවධානය පාඩම් කටයුතු සඳහා යොමු කළ යුතු වූ අවස්‌ථා ප්‍රමාණය ගණන් කිරීමෙනි. එසේ ම පන්තියේ දී ලබාගන්නා ලද ඡායාරූප පිටස්‌තර නිරීක්‌ෂකයකු විසින් නිරීක්‌ෂණය කරන ලදුව ළමයින් කෙතරම් හොඳින් පාඩම් කටයුතුවල නිරත වූයේ ද යන්න නිරීක්‌ෂණය කර ඇත. ඒ අනුව ළමයින් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීම පිළිබඳව ලකුණු ලබා දී ඇත. එහෙත් ඒ ඡායාරූප එළිමහන් සැසියකට පසු ද, ගෘහස්‌ථ සැසියකට පසු ද යන්න නිරීක්‌ෂකයන් හට හෙළි කර නොමැත. ගුරුවරුන් ද ළමයින් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීම සඳහා ලකුණු ලබා දී තිබෙයි.

ඒ අනුව හෙළි වී ඇත්තේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරන ලද එළිමහන් පාඩමකින් පසු ව එම ළමයින් වඩාත් අවධානයකින් (attention) යුතු ව සිය පාසල් කටයුතුවලට සම්බන්ධ (engage) වූ බව ය. මේ අනුව එළිමහන් පාඩමකින් පසු සිදු කරන ලද පන්ති කාමර පාඩමක දී බාධාවකින් තොර ව සාමාන්‍ය කාලසීමාව මෙන් දෙගුණයක පමණ කාලයක්‌ සිය පාඩම කරගෙන යැමට එම ගුරුවරුන්ට හැකියාවක්‌ ලැබී තිබෙයි. මෙය වැදගත් හෙළිදරව්වකි. එසේ ම ගුරුවරයා වෙනස්‌ වීම, උපදේශාත්මක ප්‍රවේශය, පන්තියේ ළමයින් ගණන, පන්ති කාමරය වැනි කරුණු, වසරේ කාලය, දවසේ කාලය වැනි කරුණු අනුව මේ වෙනස පැහැදිලි කළ නො හැකි බව ද මේ පර්යේෂකයන් දක්‌වා ඇත. එසේ ම ස්‌වභාවික පරිසරය පදනම් කරගත් අධ්‍යාපන පාඩම් පිළිබඳ සුබවාදී ලෙස සැලකූ ගුරුවරයකුට මෙන් ම එවැනි පාඩම් පිළිබඳව නිශේධනාත්මක අදහස්‌ තිබූ ගුරුවරයකුට ද ලැබුණේ සමාන ප්‍රතිඵල වීම විශේෂත්වයකි.

එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරන ලද පාඩම්වලින් පන්ති කාමරයේ අධ්‍යාපන කටයුතුවලට සිදු වූ බලපෑම සම්බන්ධ ව සිදු කරන ලද පළමු අධ්‍යයනය මෙය බව සඳහන් වෙයි.

අනාගතයට ඇති ප්‍රයෝජනය


ළමයින් සම්බන්ධව මීට පෙර සිදු කර ඇති මෙවැනි අධ්‍යයනවලින් පෙන්වා දී ඇති කරුණක්‌ වන්නේ පන්ති කාමරයේ ජනේලයක්‌ තුළින් පෙනෙන හරිතවත් පරිසරයක දර්ශනයකින් පවා ළමයින් ගේ අවධානය සම්බන්ධ ව යම් සාධනීය බලපෑමක්‌ ඇති කළ හැකි බවයි.

එහෙත් ඇතැම් ගුරුවරුන් එළිමහනේ පාඩම් කටයුතු සිදු කිරීමට මැළිකමක්‌ දක්‌වන බව වෙනත් රටවල සිදු කර ඇති අධ්‍යයනවලින් ද පෙනී ගොස්‌ ඇති දෙයකි. එයට හේතුව එළිමහනේ සිදු කරන පාඩම් කටයුතු මගින් ළමයින් තුළ අධි-කලබලකාරිත්වයක්‌ හෝ අධික උත්තේජනයක්‌ (overexcite) හෝ ඇති වීම නිසා ඉන් පසුව පන්ති කාමරයේ කටයුතුවලට ඔවුනට සිය මනස යොමු කිරීම අපහසු විය හැකි නිසා ය.

එහෙත් මේ පර්යේෂණ කණ්‌ඩායමේ අධ්‍යයන ප්‍රතිඵල අනුව පෙනී ගොස්‌ ඇත්තේ ළමයින් පාසලේ කටයුතුවලට වඩාත් සම්බන්ධ වී ඇත්තේ එළිමහන් පාඩමකින් පසු ව බවයි. සාමාන්‍යයෙන් විශ්වාස කරන පරිදි එවැනි පාඩමකින් පසුව ළමයින් අධික ලෙස කලබලකාරී බවට පත් වීමක්‌ හෝ අවධානය නොමැති බවක්‌ නො දැක්‌වූ අතර, ඔවුන් ස්‌වකීය පාසල් කටයුතුවලට වඩාත් සම්බන්ධ වීම හා අධික අවධානයක්‌ ඇති වීම දැකිය හැකි විය.

මේ අනුව එළිමහනේ සිදු කරනු ලබන පාඩම් කටයුතු සිසුන් අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ වීම (engage) වැඩිදියුණු කිරීම සඳහා යෝග්‍ය අඩු වියදම් හා පහසු ක්‍රමවේදයක්‌ විය හැකි බව මේ පර්යේෂකයන් දක්‌වා තිබෙයි. මෙය සලකා බැලිය යුතු කරුණක්‌ වන්නේ ඒ නිසා ය. එසේ ම ඔවුන් විධිමත් අධ්‍යාපනයේ දී සොබාදහම පදනම් කරගත් එළිමහන් පාඩම්වලට තවදුරටත් වැඩි අවස්‌ථාවක්‌ ලබා දිය යුතු බව ද දක්‌වා තිබෙයි. එය ප්‍රවර්ධනය කළ යුතු තත්ත්වයකි.

කෙසේ වෙතත් මේ තත්ත්වය සැම රටකට ම, සැම පාසලකට ම එක සේ සාධාරණ යෑයි කීමට අප හදිසි විය යුතු නැත. පාසලේ පිහිටීම හා වටපිටාව මෙන්ම එය එළිමහන් පාඩමක්‌ සිදු කිරීමට සුදුසු ස්‌ථානයක්‌ පවතින්නේ ද යන්න වැදගත් කරුණකි. ආසන්න ප්‍රදේශයේ ස්‌වාභාවික දර්ශනයක්‌ නොමැති ප්‍රදේශවල පිහිටා ඇති පාසල් පවතී. එසේ ම මෙවැනි එළිමහන් ක්‍රියාකාරකමක්‌ පැවැත්වීම සඳහා පාසල තුළ ද අවශ්‍ය වටපිටාවක්‌ තිබිය යුතු අතර, යෝග්‍ය කාලයක්‌ ද තිබිය යුතු ය. ඇතැම් විට මෙවැනි ක්‍රියාකාරකම් සමහර නිවර්තන කලාපීය රටවලට නො ගැළපෙනු ඇතැයි සිතීමට ද ඉඩක්‌ තිබෙයි. ඒ පරිසරයේ පවත්නා අධික උෂ්ණත්වය නිසා ය. අප රට වැනි රටක නම් මදුරුවන් දෂ්ටනය වැනි අතුරු විපාක ද වළක්‌වාගැනීමට විධිවිධාන යෙදීමට සිදු වේ. කෙසේ වෙතත්, දවසේ ඒ සඳහා නියමිත කාලය සකස්‌ කරගැනීම ඇතුළු අදාළ පියවර ගැනීමෙන් එම තත්ත්ව වෙනස්‌ කළ හැකි ය. එසේ ම සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රියාකාරකම් පවත්වනුයේ ප්‍රාථමික පංතිවලට ය. එහෙත් වඩා වැඩුණු සිසුන් වෙත ද මෙවැනි කටයුතුවලට සම්බන්ධ වීමට හැකියාව තිබෙයි. එය ද සලකා බැලිය යුතු කරුණකි.

මූලාශ්‍රය: Frontiers in Psychology, DOI:10.3389/fpsyg.2017.02253

http://www.vidusara.com/2018/01/24/feature1.html

Monday, January 22, 2018

වාරිමාර්ග තාක්‌ෂණයත් සේද මාර්ගය දිගේ හුවමාරු වූ හැටි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 17.01.2018, පි. 13 (Vidusara)

http://www.vidusara.com/2018/01/17/feature4.html



සේද මාර්ගය යනුවෙන් හදුන්වනු ලබන්නේ ලෝකයේ පෙරදිග හා අපරදිග ප්‍රදේශ යා කරමින් අතීතයේ පැවැති වෙළෙඳ මාර්ගයකි. පෙරදිග ලෝකයේ චීනය හා අපරදිග ලෝකයේ පිහිටි රෝමය මේ සේද මාවතේ ගමනාන්ත විය. සාමාන්‍යයෙන් ගොඩබිම් සේද මාර්ගය වඩා ප්‍රකට වන අතර, පිළිබඳ ව මෙන් ම සමුද්‍රීය සේද මාර්ගයක්‌ පිළිබඳව ද විද්වතුන් පෙන්වා දී තිබේ.

මේ සේද මාර්ගය ඔස්‌සේ විවිධ ද්‍රව්‍ය වෙළෙඳාම් විය. ඒ ආකාරයෙන් පෙරදිග සිට අපරදිග වෙත අලෙවි කරන ලද ද්‍රව්‍ය අතර සේද ප්‍රධාන තැනක්‌ ගත්තේ ය. වූල්, රන් හා රිදී පෙරදිග දෙසට ගිය ද්‍රව්‍ය අතර විය.

එමෙන් ම සේද මාවත ඔස්‌සේ වෙළෙඳ ද්‍රව්‍ය පමණක්‌ නො ව අදහස්‌ ද හුවමාරු වී ඇති බව පැහැදිලි ය. එමෙන් ම මේ මාර්ගය දිගේ ජන සංක්‍රමණ සිදු විය. රෝග ව්‍යාප්ත විය. දැනුම හුවමාරු විය. ආගම් පැතිරිණි.

සේද මාර්ගය ඔස්‌සේ හුවමාරු වූ මෙ වැනි එක්‌ වැදගත් දැනුමක්‌ පිළිබඳ ව පසුගිය දා ප්‍රකාශයට පත් අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දී ඇත. ඒ සේද මාර්ගය ඔස්‌සේ වාරිමාර්ග තාක්‌ෂණය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ අදහසකි. ඒ වර්තමාන වයඹදිග චීනයේ පිහිටා ඇති ප්‍රදේශයකින් ලැබුණු සාධක පදනම් කරගනිමිනි. එම දැනුම මගින් ලෝකයේ වඩාත් වියළි කාන්තාර දේශගුණයක්‌ ඇති ප්‍රදේශයක ජීවත් වූ ජන පිරිසකට වගා කිරීමට හා සතුන් ඇති කිරීමට සුදුසු අවස්‌ථාවක්‌, අදින් වසර 1600ක්‌ තරම් ඈත කාලයක දී අවස්‌ථාවක්‌ ලැබීම මෙහි ඇති වැදගත්කම වෙයි.

නවීන ශිල්ප ක්‍රම භාවිත කළ අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනයට ලක්‌ වූ ස්‌ථානය චීනයේ මධ්‍යම සිංජියාං පළාතේ ටියෙන් ෂාන් කදු පාමුල පිහිටා ඇති, මෑත දී අනාවරණය කරගත් ස්‌ථානයකි. මොහුචහාන්ගොයුකොයු (Mohuchahangoukou) නම් වන එම ප්‍රදේශයේ මතුපිට දැකිය හැක්‌කේ තැන තැන දැකිය හැකි රවුම් ගල් හා වැල්ලෙන් පිරුණු මාර්ගවලින් යුක්‌තු වූ භූමියකි. එහි විසූ මිනිසුන් ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සාධක එහි හමු නො වූ තරම් විය.

එහෙත් චන්ද්‍රිකා ඡායාරූප හා පොළොවෙන් මීටර් 30කට උඩින් සිට ෙඩ්‍රාaන කැමරා මගින් ලබාගත් ඡායාරූප යොදාගනිමින් සිදු කරන ලද විශ්ලේෂණයක දී අනාවරණය වී ඇත්තේ අපූරු තොරතුරු සමුදායකි. ඒ අනුව ජලය රදවාගැනීම සඳහා සැකසූ වේලි, වාරි ඇළ මාර්ග හා කුඩා වගා බිම් සමූහයකට ජලය සපයන කුඩා ප්‍රමාණයේ ජලාශ ගණනාවක්‌ හදුනාගැනීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත. ඒ සම්බන්ධ ශේෂ මනා ව ඉතිරි වී තිබිණි. මෙ වැනි වාරිමාර්ග පද්ධති පිහිටා තිබූ ප්‍රදේශ හතක්‌ මොහුචහාන් (Mohuchahan) ගංගාව දිගේ පිහිටා ඇති බව උක්‌ත අධ්‍යයනයේ දී සොයාගෙන තිබේ.

එසේ ම එ වැනි එක්‌ ස්‌ථානයක ක්‌ෂේත්‍රයේ එහි සිදු කරන ලද මූලික පරීක්‌ෂණ කැණීම් මගින් කරුණු ගණනාවක්‌ අනාවරණය වී ඇත. මේ කැණීම්වලින් අනාවරණය වූ පරිදි එහි පැවැති ඇළ මාර්ග සාපේක්‍ෂ ව පටු වූ අතර ගැඹුරින් ද ඉතා අඩු විය. එසේ ම විසිරී ගොස්‌ ඇති ගොවි නිවාස හා සුසාන භූමි පිළිබඳව ද කරුණු අනාවරණය වී ඇත.


මෙහි ඇති විශේෂත්වය වන්නේ එම ප්‍රදේශයේ ඓතිහාසික වර්ෂාපතනය වාර්ෂික ව මිලිමීටර් 66ක්‌ තරම් අඩු ප්‍රමාණයක්‌ බව හෙළි වී ඇති නිසා ය. එම වර්ෂා ජල ප්‍රමාණය නියගයට වඩාත් හොඳින් ඔරොත්තු දෙන තණ හාල් (මිලට්‌) වැනි ධාන්‍ය වගා කිරීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණයෙන් පහෙන් එකක්‌ පමණ වෙයි. පර්යේෂකයන් විශ්වාස කරන්නේ වාරිමාර්ග යොදාගනිමින් මේ ප්‍රදේශයේ මිලට්‌, බාර්ලි, තිරිගු හා ඇතැම් විට මිදි වගා කිරීම සිදු කරන්නට ඇති බවයි.

මේ වාරිමාර්ග ක්‍රමය කාල නිර්ණය කර ඇත්තේ පොදු වර්ෂ 3-4 ශතවර්ෂවල දී පමණ ඉදි කරන ලද්දක්‌ විය හැකි බවට ය. එසේ වාරිමාර්ග පද්ධතියක්‌ ඉදි කිරීමෙහි අරමුණ වන්නට ඇත්තේ ඔවුන් ගේ වගාව සඳහා වැඩි භෝග ගණනක්‌ එකතු කරගැනීම විය හැකි බව ද දක්‌වා තිබේ.

වාරිමාර්ග තාක්‌ෂණය ලැබුණේ කොතැනින් ද?


මේ වාරි තාක්‌ෂණය මේ ප්‍රදේශයට ලැබුණේ කුමන ප්‍රදේශයකින් ද යන්න පර්යේෂකයන් ගේ අවධානයට ලක්‌ වූ තවත් කරුණකි.

චීනයේ සිංජියාන් (Xinjiang) කලාපයට ප්‍රධාන වාරි තාක්‌ෂණය ලැබෙන්නේ පොදු වර්ෂ පූර්ව 206 සිට පොදු වර්ෂ 220 දක්‌වා කාලයේ දී චීනයේ පැවැති හන් රාජවංශ සමයේ බව මේ වන විට පවත්නා සාමාන්‍ය පිළිගැනීම වෙයි. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇති ආකාරයට මේ මොහුචුහාන් නිම්නයේ හමු වන වාරි තාක්‌ෂණික ක්‍රම හන් රාජවංශ සමයේ හදුන්වා දුන් වාරිමාර්ග තාක්‌ෂණයට වඩා පැරැණි එකක්‌ විය හැකි ය.

මේ ප්‍රදේශයට උතුරින් පිහිටා ඇති ටියෙන් ෂාන් කදුකර ප්‍රදේශය හරහා චීනය හා මෑත පෙරදිග කලාපය යා කළ ප්‍රාග් ඓතිහාසික සේද මාවතේ මාර්ගය වැටී තිබිණි. මේ මාර්ග ඔස්‌සේ පිහිටා තිබූ කදුකර ප්‍රදේශවල සතුන් ඇති කරමින් ජීවත් වූ කණ්‌ඩායම් අතර විශාල ප්‍රමාණයේ හුවමාරු කිරීම් ඇති වූ බවට මතයක්‌ තිබෙයි. පැරැණි සංචාරක දිවිපෙවෙතක්‌ ගෙවූ එම කණ්‌ඩායම් අතර ගෘහාශ්‍රිතකරණය වූ විවිධ මුල් භෝග වර්ගවල බීජ හුවමාරු වූ බව මේ වන විට සිදු කර ඇති පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ඒ ඔවුන් විවිධ කාලවකවානුවල දී සිය සත්ත්ව රංචු ඝෘතුමය තණබිම්වලට ගෙන යන අවස්‌ථාවල දී ය.

මේ ආකාරයට ම මුල් වාරි තාක්‌ෂණය පිළිබඳ දැනුම ද කණ්‌ඩායමෙන් කණ්‌ඩායමට හුවමාරු වන්නට ඇති බව මේ පර්යේෂකයන් ගේ අදහස වෙයි. ඒ ක්‍රියාවලිය වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ සිදු වූවක්‌ විය හැකි ය.

මේ පර්යේෂකයන් පෙන්වා දී ඇති පරිදි කුඩා පරිමාණයේ වාරිමාර්ග පද්ධති පිළිබඳ සාධක උක්‌ත ප්‍රදේශයට බටහිරදිගින් පිහිටා ඇති, ගිනිකොනදිග තුර්ක්‌මේනිස්‌ථානයේ ගියෝකිසූර් (Geokysur) ගංගා ඩෙල්ටාවේ පොදු වර්ෂ පූර්ව 3000 පමණ කාලයේ පමණ පැවැතී තිබෙයි. එසේ ම තවත් බටහිරට වන්නට පිහිටා ඇති, පොදු වර්ෂ පූර්ව 5000ට පමණ අයත් ලෙස කාලනිර්ණය කර ඇති ඉරානයේ ටෙපේ ගස්‌ ටවීලා (Tepe Gaz Tavila‌) ජනාවාසයෙන් ද මෙ වැනි වාරි පද්ධති පිළිබඳ සාධක හමු වී ඇත. එසේ ම කාන්තාර සහිත පරිසරයක්‌ වූ දකුණු ජෝර්දානයේ වාඩි ෙෆ්නාන් (Wadi Faynan) ගොවි ප්‍රජාව පශ්චාත් ලෝකඩ යුගයේ භාවිත කර ඇති වාරිමාර්ග රටාව ඉහත කී අධ්‍යයනයෙන් හෙළි වූ වාරිමාර්ග රටාව හා බොහෝ දුරට සර්වසම වෙයි. මේ අනුව මේ තාක්‌ෂණය සේද මාවත ඔස්‌සේ පැමිණි බව යෝජනා කිරීම සාධාරණ වීමට වැඩි අවස්‌ථාවක්‌ තිබෙයි.

මේ අධ්‍යයනයේ දී අනාවරණය වූ වාරිමාර්ග පද්ධතිවල ඇති විශේෂත්වය වන්නේ ඒවා ප්‍රමාණයෙන් වඩා කුඩා පරිමාණයේ ඒවා වීම ය. අධ්‍යයනයේ දී හදුනාගත් එ වැනි පද්ධති හතකින් ම ජලය සැපයීමට හැකියාව ඇත්තේ අක්‌කර 500ක්‌ පමණ ප්‍රදේශයකට පමණක්‌ වීම නිදසුනකි. එහෙත් හන් රාජවංශය සමයේ හදුන්වා දී ඇත්තේ මහා පරිමාණ වාරිමාර්ග පද්ධති වන අතර, ඒවායින් වඩා විශාල භූමි ප්‍රදේශයකට ජලය සැපයීමට හැකියාව පවතී. එසේ ම ඒවායේ දී යොදාගත් දීර්ඝ, ගැඹුරු හා පුළුල් වූ ඝෘජු ඇළ මාර්ග පද්ධතිය මගින් අක්‌කර 12000ක්‌ පමණ ප්‍රදේශයකට වාරි ජලය සැපයීමට ද හැකි විය.

එසේ ම ගොවීන් සුළු පිරිසකට වසර කිහිපයක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ අඩු ප්‍රයත්නයකින් මොහුචහාන්හි දී හමු වූ වැනි කුඩා වාරි පද්ධතියක්‌ තැනිය හැකි වීම ද වැදගත් වෙයි. එහෙත් හන් රාජවංශය සමයේ දී ඉදි කරන ලද වාරි ව්‍යාපෘතියක්‌ සඳහා විශාල ශ්‍රමයක්‌ හා අමුද්‍රව්‍ය (පස්‌) ප්‍රමාණයක්‌ අවශ්‍ය විය.

තවත් වැදගත් කරුණක්‌ වන්නේ හන් රාජවංශය සමයේ විශාල පරිමාණයේ වාරි පද්ධති මේ කලාපයට හදුන්වා දුන්න ද, මුලින් හදුනාගත් කුඩා පරිමාණ වාරිමාර්ග තාක්‌ෂණික ක්‍රම භාවිතයෙන් ඉවත් නො වී තිබීම ම ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ අධ්‍යයනයෙන් අනාවරණය වූ වාරිමාර්ග තනා ඇත්තේ හා භාවිත කර ඇත්තේ හන් රාජවංශය සමයෙන් පසු ව ය.

මේ අනුව බෝග වර්ග සමග ම වාරි තාක්‌ෂණය ද චීනයේ සිංජියැං ප්‍රදේශයට ප්‍රාග් ඓතිහාසික යුගයේ දී ම වාගේ පැමිණ ඇති බව පැහැදිලි ය. ඒ අන්තර් ආසියාතික මංපෙත (Inner Asian Mountain Corridor) ඔස්‌සේ බව ද පෙනෙයි. මේ අනුව තාක්‌ෂණික දැනුම ජන කණ්‌ඩායම් අතර හුවමාරු වූ ආකාරය පෙන්වන පර්යේෂණයක්‌ ලෙස මෙය වැදගත් වෙයි.

මූලාශ්‍රය( Archaeological Research in Asia, DOI: 10.1016/j.ara.2017.09.005

http://www.vidusara.com/2018/01/17/feature4.html

Tuesday, January 16, 2018

සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනය අඩු වීම සඳහා හේතු වූ අතීත දේශගුණ වෙනස්‌ වීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 10.01.2018, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2018/01/10/feature4.html




ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ හා බෝර්නියෝ දූපතේ වාසය කරන සුමාත්‍රානු රයිනෝසිරස්‌ (Sumatran Rhinoceros) ලෙස හැඳින්වෙන රයිනෝසිරස්‌ විශේෂය ලෝකයේ ජීවත් වන රයිනෝ විශේෂ පහ අතරින් කුඩා ම විශේෂය වෙයි. Dicerorhinus sumatrensis ලෙස සත්ත්ව විද්‍යාත්මක ව හැඳින්වෙන මේ සත්ත්ව විශේෂය Dicerorhinus ගණයට අයත් වන එක ම විශේෂයයි. එම විශේෂයේ උප විශේෂ තුනක්‌ පිළිබඳ ව වාර්තා වන අතර, එක්‌ විශේෂයක්‌ මේ වන විට වඳ වී ගොස්‌ ඇති සේ සැලකේ.

සුමාත්‍රානු රයිනෝසිරස්‌ කෙතරම් දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇත්තේ ද යත්, IUCN රක්‌ත ලේඛනයේ 'දැඩි අන්තරායක' (Critically Endangered) තත්ත්වයේ ලා සැලකෙන සත්ත්ව විශේෂයකි. 2011 වර්ෂය වන විට ස්‌වාභාවික පරිසරයේ මේ විශේෂයට අයත් රයිනෝ සතුන් 216ක්‌ පමණ හමු වූ බව වාර්තා වෙයි. එහෙත් ඇතැම් මෑතකාලීන ගණන් බැලීම්වලට අනුව දැන් මේ ගණන සියයකටත් වඩා අඩු ය. අතීතයේ දී මේ සතුන් ගේ ව්‍යාප්තියේ උතුරු සීමාව ඉන්දියාව සිට ලාඕසය දක්‌වා වූ අතර, දකුණු සීමාව ඉන්දුනීසියානු දූපත් විය. එහෙත් අද වන විට මේ සතුන් වාසය කරන්නේ සුමාත්‍රා දූපතේ හා බෝර්නියෝ දූපතේ පමණකි. මැලේසියානු අර්ධද්වීපයේ මේ සතුන් ජීවත් වන්නේ ද යන්න සැකසහිත බව පෙන්වා දී තිබෙයි. මේ සතුන් පත් ව ඇති බරපතළ ම තර්ජනය වන්නේ අං ලබාගැනීම සඳහා දඩයම් කිරීමයි. එසේ ම මේ සත්ත්වයා ගේ දේහ කොටස්‌ විවිධ ඖෂධීය අවශ්‍යතා සඳහා යොදාගැනීම ද දැකිය හැකි ය. ශතවර්ෂ ගණනාවක්‌ තිස්‌සේ සිදු වූ මේ දඩයම් කිරීම නිසා සුමාත්‍රානු රයිනෝසිරස්‌ අද වන විට වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇති බව පිළිගැනෙයි.

කෙසේ වෙතත්, මේ සතුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය සම්බන්ධ ව මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයකින් අපූරු කරුණක්‌ අනාවරණය වී ඇත. ඒ අනුව, මේ රයිනෝ විශේෂයේ ගහනය අඩු වීමට බලපෑ හේතු ආරම්භ වූයේ අද ඊයේ නො ව, අදින් වසර මිලියනයකට පමණ කාලයකට පෙර පැවැති ප්ලයිස්‌ටොසීන යුගයේ මැද භාගයේ දී පමණ ය.

ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ඇමෙරිකාවේ සින්සිනාටි සත්ත්වෝද්‍යානයේ වාසය කළ සුමාත්‍රානු රයිනෝසිරස්‌ සතෙකු ගෙන් ලබාගත් නිදර්ශකයකින් උකහාගත් ගෙනෝමයකි. ඉපු (Ipuh) නමින් හැඳින්වුණු එම සත්ත්වයා වසර 22ක්‌ පමණ කාලයක්‌ එම සත්ත්වෝද්‍යානයේ වාසය කර 2013 වර්ෂයේ දී මිය ගොස්‌ ඇත. එම සතා ගෙන් පැවත එන රයිනෝ සත්තු මේ වන විට ඉන්දුනීසියාවේ අභය භූමිවල වාසය කරති.

මේ ප්‍රවේණික ද්‍රව්‍ය යොදාගනිමින් Pairwise Sequential Markovian Coalescent (PSMC) නම් අණුක විද්‍යාත්මක තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ යොදාගනිමින් එම සතුන් ගේ ප්‍රවේණික ඉතිහාසයක්‌ ගොඩනැංවීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත. මෙහි දී එක්‌ ජීවියකු ගේ ගෙනෝම අනුක්‍රමයක්‌ (genome sequence) යොදාගනිමින් එම ජීවියා අයත් විශේෂයේ ගහනයේ විශාලත්වයේ ඉතිහාසය ගොඩනැංවීමට හැකියාව ලැබෙයි. මෙය දුර්ලභ හෝ වඳ වී ගිය හෝ විශේෂ අධ්‍යයනය කිරීමේ දී විශේෂයෙන් වැදගත් වන ක්‍රමවේදයකි. උක්‌ත අධ්‍යයනයේ දී ද මේ ක්‍රමවේදයෙන් ලබාගත් දත්ත හා පාරිසරික නිෙ€ත ආකෘතියක්‌ සම්බන්ධ කරමින් අතීතයේ සිදු වූ දේශගුණ වෙනස්‌ වීම් මේ සතුන් ගේ ගහනයේ විශාලත්වයට බලපා ඇති ආකාරය අවබෝධ කරගැනීමට මේ පර්යේෂකයෝ උත්සාහ කළ හ.

සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනයේ වෙනස්‌ වීම්


සුමාත්‍රානු රයිනෝ ගහනය ඉතිහාසයේ දී උච්චාවචනය වූ ආකාරය මේ ප්‍රවේණික දත්ත අනුව පැහැදිලි වී තිබෙයි. මේ සතුන් ගේ ගහනයේ උපරිම ප්‍රමාණය දැකිය හැකි වී ඇත්තේ සුන්ඩාලන්තය නමින් හඳුන්වනු ලබන බිම් ප්‍රදේශය පැවැති කාල සීමාවේ ය. සුන්ඩාලන්තය යනු අදින් වසර මිලියන 2.6ක පමණ කාලයකට පෙර පටන් මුහුදු මට්‌ටම පහළ ගොස්‌ තිබූ කාලයේ දී අග්නිදිග ආසියාවේ දැකිය හැකි වූ විශාල ගොඩබිම් ප්‍රදේශයකි. ඊට මලයාසියානු අර්ධද්වීපය, සුමාත්‍රා, ජාවා හා බෝර්නියෝ යන වර්තමානය වන විට දූපත් බවට පත් ව ඇති ප්‍රදේශ ඇතුළත් විය. මේවා එක ම ගොඩබිමක්‌ ලෙස සම්බන්ධ වී තිබූ අතර ඒ අනුව මේ දූපත් ආසියා මහාද්වීපයට ද සම්බන්ධ ව තිබිණි. මේ අනුව මේ ප්‍රදේශවල සත්ත්ව සංක්‍රමණ සිදු වූ බව පැහැදිලි වෙයි. පසුව මුහුදු මට්‌ටම ඉහළ යැමේ දී මේ ප්‍රදේශ සමහරක්‌ දූපත් බවට පත් වූ අතර විශාල ප්‍රදේශයක්‌ මුහුදුබත් විය. (සිතියම බලන්න) මේ කලාපය ජෛවභූගෝල විද්‍යාත්මක ව (biogeographically) වැදගත් කලාපයක්‌ සේ සැලකේ.

සුන්ඩාලන්තය පැවැති කාලයේ දී, එනම් අදින් වසර 950,000ක්‌ පමණ කාල සීමාවකට පෙර සුමාත්‍රානු රයිනෝ ගහනය එහි උපරිම විශාලත්වයට ළඟා වූ බව ප්‍රවේණික දත්ත අනුව මේ විද්‍යාඥයන් ගේ අදහස වෙයි. එහි උපරිම ප්‍රමාණය ඇස්‌තමේන්තුගත කර ඇත්තේ සතුන් 57,800ක්‌ පමණ ලෙස ය. මේ ප්‍රමාණය සඵල ගහන විශාලත්වය (Effective population size) ලෙස හැඳින්වෙයි. එමඟින් අදහස්‌ වන්නේ යම් ගහනයක අභිජනනය කරන සතුන් ගේ ප්‍රමාණය, වැඩිහිටි සතුන් ගේ ප්‍රමාණය, පිළිබඳ සංඛ්‍යාවකි. සතුන් ගේ ගහනයේ මේ වර්ධනය සිදු වී ඇත්තේ මුල් ප්ලයිස්‌ටොසීන යුගයේ සිට මධ්‍ය ප්ලයිස්‌ටොසීන යුගය දක්‌වා වූ කාලයේ දී ය.

එහෙත් අයිස්‌ යුගයේ අවසානයේ දී මුහුදු මට්‌ටම ඉහළ යැම නිසා පෙර කී සුන්ඩාලන්තයෙන් විශාල කොටසක්‌ මුහුදුබත් විය. එයට අයත් භූමි ප්‍රදේශයේ කොටස්‌ සමහරක්‌ දූපත් බවට පත් ව මහාද්වීපයෙන් වෙන් විය. බෝර්නියෝ, ජාවා, සුමාත්‍රා දූපත් මෙසේ මලයාසියානු අර්ධද්වීපයෙන් වෙන් වීම සිදු විය. ඒ සමඟ අදින් වසර 12,000ක්‌ පමණ කාලයකට පෙර කාලය වන විට මේ කලාපයේ විශාල ක්‌ෂීරපායින් පීඩා විඳින්නට පටන්ගෙන තිබිණි. සුමාත්‍රානු රයිනෝසිරස්‌ ද ඉන් එක්‌ විශේෂයක්‌ විය.

සුමාත්‍රානු රයිනෝ වැනි සතුන් දූපත්වලට කොටු වූ අතර ඒ සමඟ මේ සතුන්ට ජීවත් වීම සඳහා යෝග්‍ය වූ පරිසරය විශාල ලෙසින් අඩු වීම හා වාසස්‌ථාන කඩ කඩ වීමෙන් ගහන වෙන් වීම දැකිය හැකි විය. අදින් වසර 9,000ක්‌ පමණ වන විට මේ සතුන් ගේ සඵල ගහන විශාලත්වය 700ක්‌ පමණ ප්‍රමාණයක්‌ දක්‌වා අඩු වී තිබූ බව මේ අධ්‍යයනයේ ප්‍රවේණික සාධක මඟින් හෙළි වෙයි. මේ සඳහා බලපෑ සාධකය වූයේ දේශගුණ වෙනස්‌ වීමයි.

ගහනයේ විශාලත්වය අඩු වීම නිසා සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනයේ ප්‍රවේණික විවිධත්වය අඩු වීම සිදු වී ඇත. ඒ සමඟ එදා අඩු වූ රයිනෝ ගහනය කිසිදු දිනයක යථා තත්ත්වයකට පත් වූ බවක්‌ නො පෙනෙන බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. මේ අනුව සුමාත්‍රානු රයිනෝ විශේෂය බොහෝ කාලයක්‌ තිස්‌සේ වඳ වී යැමේ මාවතේ ගමන් කරමින් සිට ඇති බව මේ විද්‍යාඥයන් ගේ අදහස වෙයි.

මානව බලපෑම


රයිනෝ සතුන් ගේ වාසස්‌ථාන වූ වනාන්තර බිම් විනාශ කිරීම හා රයිනෝ දඩයම් කිරීම වැනි මෑත කාලයේ දී මිනිසුන් විසින් සිදු කරන ලද කටයුතු ඒ වන විටත් ජාන විවිධත්වයෙන් පිරිහීමට පත් ව තිබූ මේ රයිනෝ සතුන් වඳ වී යැමේ අවදානම තවදුරටත් වර්ධනය කිරීම සඳහා හේතු වූ බව ද පැහැදිලි ය. ප්‍රවේණික විවිධත්වය අඩු සත්ත්ව විශේෂයක්‌ මිනිසුන් ගේ දඩයමට ලක්‌ වීම නිසා දැඩි අවදානමකට ලක්‌ වීමට අවස්‌ථාවක්‌ ඇත.

හොලෝසීන යුගයේ දී වනාන්තර හෙළි කිරීම මෙන් ම රයිනෝ සතුන් දඩයම් කිරීම ද මිනිසුන් විසින් සිදු කරන ලද බවට සාධක පවතියි. නිදසුනක්‌ ලෙස බෝර්නියෝ දූපතේ නියා ගුහාව වැනි ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ස්‌ථානවලින් ලැබී ඇති සාධක දැක්‌විය හැකි ය. ඒ අපර ප්ලයිස්‌ටොසීන සමයේ දී ය. මේ අනුව මෑත අතීතයේ දී රයිනෝ ගහනය අඩු වීම සඳහා මානව ක්‍රියාකාරිත්වය ද බලපා ඇති බව පැහැදිලි ය.

මේ කරුණු අනාවරණය වීම රයිනෝ සංරක්‌ෂණය පිළිබඳ ව වර්තමානයේ ඇති වී තිබෙන උත්සාහය අසාර්ථක විය හැකි යෑයි අවතක්‌සේරු කරනු නො ලැබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනය අද මුහුණ පා ඇති තර්ජන වැළැක්‌වීම කළ නොහැකි යෑයි අවතක්‌සේරු කිරීමක්‌ ඉන් අදහස්‌ නො වෙයි. එහෙත් මේ විශේෂයේ ගහනයේ තත්ත්වය වඩා පුළුල් වූ පාරිසරික හා පරිණාමික සන්දර්භයක පිහිටුවනු ලැබීමට මේ අධ්‍යයනය මඟින් උපකාරයක්‌ ලැබෙන බව මේ පර්යේෂකයන් ගේ අදහස වෙයි. එසේ ම පරිණාමීය වශයෙන් ඇති ප්‍රවණතා හඳුනාගනු ලැබීම සංරක්‌ෂණ උත්සාහය සාර්ථක කරගැනීම සඳහා වැදගත් බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ වෙතත් සුමාත්‍රානු රයිනෝසිරස්‌ සංරක්‌ෂණය පෙරටත් වඩා අභියෝගයක්‌ බව නම් පැහැදිලි ය.

මූලාශ්‍රය: Current Biology, DOI: 10.1016/j.cub.2017.11.021

Friday, January 5, 2018

දුව කී කතා 01 - බුලත් කොළෙන් වතුර බීම

(අලියා හා කූඹියාගේ කතා මාලාවට අයත් විය යුතු යැයි සිතෙන මේ බොහොම කෙටි කතාව මම ඇහුවේ දුවගෙනි. මේක අපි එ් දවස්වල අැසූ අලි-කූඹි කතා වගේම එයාලත් ඉස්කෝලෙදි ළමුන් අතර අසන ලද ප්‍රශ්නයකි.)

ඔන්න එක්තරා යාළු අලියෙකුයි හා කූඹියෙකුයි හිටියා. දවසක් මේ දෙන්නට ලොකුම ලොකු වතුර තිබහක් ඇති වුනා. බොන්න වතුර ටිකක් සොයාගෙන සොයාගෙන හැම තැනම අැවිද ගිය එයාල දෙන්නට කොහෙවත්ම වතුර හමු උනේ නැහැ. කොහොමහරි අන්තිමටම එයාලට වතුර චුට්ටක් හමුවුනා. එ් බුලත් කොළේක තිබිලයි.

ඉතින් බොහොම අමාරුවෙන් බුලත් කොළෙන් හොයාගත්ත එ් වතුරවලින් ටිකක් කූඹියා නම් බිව්වා. ඒත් අලියා බිව්වෙ නෑ.

ඇයි ඒ?
.
.
.
.
.
.
.
.
.
.

අලියා (පට්ට) යූඇන්පි කාරයෙකි. එයාට බුලත් කොළ පේන්න බෑනෙ.

(මේක ගැලපෙන්නෙ අතීතයට හොඳේ)

05.01.2018

Wednesday, January 3, 2018

දොඩම් වගාව නිසා වර්ධනය වූ සිසිලියේ මාෆියා කල්ලි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 27.12.2017, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2017/12/27/feature4.html




මධ්‍යධරණී මුහුදේ ඉතාලියට යාබද ව පිහිටා ඇති සිසිලි දූපතේ මාෆියා කල්ලි බිහි වන්නේ 19 වැනි සියවසේ දී පමණ ය. මේ කල්ලි කෙටි කාලයක්‌ ඇතුළත ඉතාලියේ ආර්ථික හා දේශපාලන අංශවලට සැලකිය යුතු තරම් බලපෑමක්‌ කළ හැකි තත්ත්වයට දියුණු විය. එසේ ම එය පසුකලක ඇමෙරිකාවට හා තවත් රටවලට ද යම් බලපෑමක්‌ ඇති කර තිබේ. විශේෂයෙන් මෑත යුගයේ දී යුරෝපයේ ආර්ථික කටයුතුවලට සැලකිය යුතු තරම් අහිතකර ආකාරයේ බලපෑමක්‌ ඇති කළ ආයතනයක්‌ ලෙස මාෆියා කල්ලි සැලකෙයි. එදා සිට මේ දක්‌වා මේ කල්ලිවල අපරාධ පිළිබඳව බොහෝ දේ සාකච්ඡා වී තිබේ.

මේ මාෆියා කල්ලි බිහි වීමට හා වර්ධනය වීමට බලපෑ සාධක මොනවා ද යන්න මේ සම්බන්ධව පර්යේෂණවල යෙදෙන පර්යේෂකයන්ට කලක පටන් ම පැවැති ගැටලුවක්‌ වෙයි. එම හේතු පිළිබඳව මේ දක්‌වා යම් යම් අදහස්‌ ඉදිරිපත් ව ඇතත්, ඒ පිළිබඳව මෙතෙක්‌ හරිහැටි පැහැදිලි වී නො තිබිණි.

මේ විෂය සම්බන්ධව පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයන වාර්තාවකින් හදුනාගෙන ඇති ආකාරයට, සිසිලි දූපතේ වගා කරන ලද දොඩම් සහ ලෙමන් සඳහා පැවැති ඉල්ලුම 19 වැනි සියවසේ දී වේගයෙන් ඉහළ යැම මාෆියා කල්ලිවල වර්ධනය සඳහා බලපෑ හේතුව ලෙස හදුනාගෙන තිබේ.

ඓතිහාසික වාර්තා පිළිබඳ අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනය සමකාලීන ලිත වාර්තා ප්‍රභව දෙකක්‌ පාදක කර ගනිමින් සිදු කරන ලද්දකි. 19 වැනි සියවසේ දෙවැනි භාගයේ දී ගොනු කරන ලද දත්ත යොදාගනිමින් මේ අධ්‍යයනය සිදු කර තිබේ.

සිසිලි දූපතේ දොඩම් කුලයේ ශාක වගාවට සැලකිය යුතු අතීතයක්‌ තිබේ. 10 වැනි සියවසේ අරාබි ජාතිකයන් මුලින් ම තිත්ත දොඩම් (bitter orange - Citrus higaradia) සිසිලි දූපතට හදුන්වා දුන් බව මේ වන විට අනාවරණය වී ඇති ඓතිහාසික වාර්තා අනුව පැහැදිලි ය. සිසිලි දූපතේ පැවැති දේශගුණ තත්ත්වය, සරු පස මේ ශාකයේ ව්‍යාප්තිය සඳහා යෝග්‍ය විය. මේ ශාකය ලෙමන් හා දොඩම් බද්ධ කිරීම සඳහා සුලබ ව යොදාගන්නා ශාකයකි. කෙසේ වෙතත් මේ වගාව දූපතේ පැතිර ගිය ද, 19 වැනි සියවසට පෙර මේ පලතුරු සඳහා දේශීයව හෝ අන්තර්ජාතික වශයෙන් හෝ එතරම් ඉල්ලුමක්‌ තිබී නොමැත.

මේ තත්ත්වය වෙනස්‌ වූයේ ශීතාද රෝගය (scurvy) රෝගය සඳහා ප්‍රතිකාරයක්‌ ලෙස ඉහත සඳහන් Citrus කුලයේ පලතුරු භාවිත කිරීම සුදුසු යෑයි සොයාගැනීමත් සමග ය. එය සිදු වූයේ 18 වැනි සියවසේ මැද භාගයේ දී ඡේම්ස්‌ ලින්ඩ් විසින් සිදු කරන ලද පරීක්‌ෂණයක්‌ සමග ය. එම සොයාගැනීම හේතුවෙන් දොඩම් හා ලෙමන් වැනි පලතුරුවල ප්‍රායෝගික භාවිතය බෙහෙවින් පුළුල් විය. ඒ සමග පලතුරු හා යුෂ ලෙස භාවිතය සඳහා ඒවාට ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ ගියේ ය.

මෙසේ විදේශීය වශයෙන් ඇති වූ අධික ඉල්ලුම නිසා ඒ වන විටත් දොඩම් වැනි පලතුරු සඳහා ප්‍රසිද්ධ වූ සිසිලියේ පලතුරු නිෂ්පාදනය කරන ප්‍රදේශවල ආදායම් 1800 ගණන්වල දී බෙහෙවින් වර්ධනය විය. 19 වැනි සියවස මැද භාගයේ දී පමණ (1850 පමණ වන විට) සිසිලියෙන් අපනයනය කරන ලද ලෙමන්, දොඩම් හා එහි නිෂ්පාදනවල කැපී පෙනෙන වර්ධනයක්‌ දැකිය හැකි වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් සිසිලියේ මෙසීනා වරායෙන් 1837 දී අපනයනය කළ ලෙමන් යුෂ බැරල් ප්‍රමාණය 740ක්‌ වූ අතර එය 1850 වන විට බැරල් 20,707ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

දොඩම් නිෂ්පාදනවලින් අධික ලාභයක්‌ ලැබිය හැකි බැවින් දොඩම් වගාව මේ කාලයේ දී ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇත. ඒ සමග දොඩම් අපනයනය හා ඉන් ලැබෙන ආදායම ද වේගයෙන් වර්ධනය වී තිබේ. එක්‌ වාර්තාවකින් පෙන්වා දෙන ආකාරයට දූපතේ සෙසු ප්‍රදේශවල හෙක්‌ටයාරයක භූමියකින් ලබාගත හැකි ලාභය මෙන් 60 ගුණයක ලාභයක්‌ දොඩම් හා ලෙමන් වගාවලින් ලබාගත හැකි විය.

මාෆියා කල්ලිවල වර්ධනය


මාෆියා (Mafia) කණ්‌ඩායම්වල ආරම්භය සිදු වූයේ ඉතාලියේ එක්‌සත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ වීමට පෙර බව විශ්වාස කරනු ලැබේ. ආරම්භක සමයේ දී ඔවුන් පෙනී සිටින්නේ අසාධාරණයට එරෙහි ව සිටි එඩිතර හා දිරිමත් පිරිසක්‌ ලෙසිනි. සමාජයේ ද ඔවුන් පිළිබඳව නිශේධනීය අදහසක්‌ දැකිය හැකි නො වූ අතර, ඔවුන් විසින් සිදු කරන ලද අපරාධ ලෙස හැඳින්විය හැකි ක්‍රියා සම්බන්ධව පවා ප්‍රාදේශීය ප්‍රජාව ගේ ගෞරවය එම කණ්‌ඩායම්වලට ලැබී තිබේ.

දොඩම් හා ලෙමන් වැනි පලතුරු සඳහා ඇති වූ අධික ඉල්ලුමත් සමග එම පලතුරු අපනයනයෙන් සිසිලි දූපතේ නිෂ්පාදකයන්ට අධික ආදායමක්‌ ලැබිය හැකි වූ ප්‍රදේශවල මාෆියා කල්ලි වර්ධනය වූ ආකාරය උක්‌ත අධ්‍යයනයෙන් අනාවරණය වේ. ඉහත සඳහන් පරිදි ඒ වන විට මාෆියා කල්ලි ඇති වී තිබිණි. එහෙත් ඒවායේ කැපී පෙනෙන ආකාරයේ වර්ධනයක්‌ සිදු වන්නේ දොඩම් හා ලෙමන් වගාවේ ව්‍යාප්තියත් සමග බව ඉහත කී දත්ත ආශ්‍රයෙන් පෙන්වා දී ඇත.

මෙය සිදුවී ඇති ආකාරය මෙසේ සරල ව පැහැදිලි කළ හැකි ය. සිසිලියේ ඉතිහාසය තුළ පෞද්ගලික දේපළ පාලනය පිළිබඳ නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට 1861 දී ඉතාලිය එක්‌සත් වීමෙන් පසුව හෝ ඊට පෙර පැවැති පාලනයට හෝ නොහැකි විය. මේ තත්ත්වයේ ප්‍රයෝජනය ගත්තේ මාෆියා කල්ලිකරුවන් ය. නීතියේ පාලනය දුර්වල වූ පරිසරයක, දොඩම් වගාබිම් විවිධ කොල්ලකරුවන් ගෙන් ආරක්‌ෂා කිරීම, නිෂ්පාදකයා හා අපනයනකරු අතර අතරමැදියන් ලෙස ක්‍රියා කිරීම වැනි කටයුතු මාෆියා කල්ලි මගින් සිදු කර තිබේ. මාෆියා කල්ලි සාමාජිකයන් කුලියට ගැනීමට දොඩම් නිෂ්පාදකයන්ට සිදු වූ බව ද පෙන්වා දී ඇත. ඒ ආරක්‍ෂාව අවශ්‍ය වූ අවස්‌ථාවල දී ය. ඇතැම් අවස්‌ථාවල දී දොඩම් වගාවේ බොහෝ පියවරවලට මාෆියා කල්ලි සාමාජිකයන් දායක වී ඇති අවස්‌ථා පිළිබඳව ද හෙළි වී ඇත.

මේ කරුණු අනුව පෙනී ගොස්‌ ඇත්තේ සිසිලි දූපතේ මාෆියා කල්ලිවල වර්ධනය වීම සඳහා අන්තර්ජාතික ඉල්ලුමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඉහළ ගිය දොඩම් හා ලෙමන් නිෂ්පාදනය හේතු වී ඇති බවයි.

ආර්ථික සාධකවල වැදගත්කම


මේ අධ්‍යයනය විසින් හෙළි කරනු ලබන්නේ ආර්ථික වශයෙන් වැදගත් වූ පාරිසරික හා කෘෂිකාර්මික සාධක නූතන සමාජ දේශපාලන තත්ත්ව හැඩගැසීමේ ලා වැදගත් හා තීරණාත්මක කාර්යයක්‌ සිදු කර ඇති එක්‌ අවස්‌ථාවකි. දොඩම් වැනි නිෂ්පාදනයක්‌ සඳහා ඇති වූ ඉල්ලුම නිසා මාෆියා කල්ලි වැනි ව්‍යqහයක්‌ වර්ධනය වීමට බලපා තිබීම මෙතෙක්‌ නො දැන සිටි, එහෙත් වැදගත් සිදු වීමකි. පසුකාලීනව සිදු වූ මාෆියා කල්ලිවල පරිණාමය හා සමග ඒවා මගින් සිදු ව ඇති අහිතකර බලපෑම ලෝකයේ රටවල් ගණනාවකට ම දැනී ඇති කරුණකි.

මෙය සමාජ හා දේශපාලන ඉතිහාසය සම්බන්ධව මෙන් ම පාරිසරික හා කෘෂිකාර්මික ඉතිහාසය සම්බන්ධයෙන් ද වැදගත් අධ්‍යයනයක්‌ සේ සැලකිය හැකි ය.

ස්‌කර්වි රෝගය

ස්‌කර්වි (Scurvy) හෙවත් ශීතාද රෝගය යනු ප්‍රමාණවත් තරම් විටමින් සී ප්‍රමාණයක්‌ ආහාර මගින් නො ලැබී යැම නිසා ඇති වන තත්ත්වයකි. මේ රෝගය පිළිබඳව ඈත අතීතයේ සිට වාර්තා වී ඇති එය කලක්‌ බොහෝ බරපතළ රෝගයක්‌ සේ සැලකිණි.

කෙසේ වෙතත් මේ රෝගය වැඩි අවධානයකට ලක්‌ වූයේ දීර්ඝ නාවික ගමන්වල දී නාවිකයන් අතර අධික මරණ ඇති වීමට මේ රෝගය හේතු වූ නිසා ය. මේ නිසා දිර්ඝ මුහුදු ගමන් සීමා කිරීම සඳහා ද මේ රෝගය බලපා ඇත. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ සේවය කළ වෛද්‍යවරයකු වූ ඡේම්ස්‌ ලින්ඩ් ගේ පරීක්‌ෂණවලින් හෙළි වූයේ අතිරේක ආහාරයක්‌ ලෙස දොඩම් වැනි සිට්‌රස්‌ කුලයේ පලතුරු ලබා දීම මගින් මේ රෝගය සුව කළ හැකි බව ය. 1740 දශකයේ අග භාගයේ දී පමණ ඔහු සිදු කළ මේ පර්යේෂණය ලෝකයේ මුල් ම පාලිත සායනික පරීක්‌ෂණය (controlled clinical experiments) ලෙස සැලකෙන අතර ඒ පිළිබඳව 1753 දී පමණ ප්‍රකාශයට පත් විය. එහෙත් ස්‌කර්වි රෝගය සඳහා ප්‍රතිකාරයක්‌ ලෙස නාවික ගමන්වල දී සිට්‌රස්‌ යුෂ නිත්‍ය ලෙසින් ලබා දීම නාවික හමුදාවල සිරිතක්‌ බවට පත් වීම සඳහා තවත් කලක්‌ ගත වී ඇත.

අද වන විට මේ රෝගය ලෝකයේ දුර්ලභ රෝගයක්‌ සේ සැලකේ. එය මේ වන විට දැකිය හැක්‌කේ ඇතැම් දියුණු වන රටවල මන්දපෝෂණයෙන් පෙළෙන පිරිස්‌ අතර හා ඇතැම් සුවිශේෂ ජන කණ්‌ඩායම් අතර පමණකි. එනම් මානසික රෝගීන්, අසාමාන්‍ය ආහාර රටා ඇති අය, මත්පැනට ඇබ්බැහි වූවන්, වියපත් වූවන් වැනි සමබර තත්ත්වයේ ආහාර වේලක්‌ නො ලබන පිරිස්‌ අතර ය.

මූලාශ්‍රය: The Journal of Economic History, DOI: 10.1017/S002205071700078X

http://www.vidusara.com/2017/12/27/feature4.html

Monday, December 25, 2017

දළ පූට්‌ටුවා ගේ ඝාතනය මාකට්‌ කිරීම හා අලි සංරක්‌ෂණය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 05, 13.12.2017 (Vidusara)

http://www.vidusara.com/2017/12/13/feature1.html




පසුගිය දා දළ ලබාගැනීම සඳහා වෙඩි තබා මරා දමන ලද ගල්ගමුවේ දළ පූට්‌ටුවා ඇතා ගැන සටහනක්‌ තැබීම සඳහා සූදානම් වන විට අපූරු කෙටි පණිවිඩයක්‌ ජංගම දුරකථනයට ලැබුණේ ය. එම කෙටි පණිවිඩයෙන් කියෑවුණේ 'මෑතක දී රට ම කතා වුණු දළ පූට්‌ටුවා ගැන ඔබ මෙතෙක්‌ නො දන්නා කතා මෙතනින් බලන්න' කියා යූ ටියුබ් සබැඳියක ලිපිනයක්‌ එවූ පණිවිඩයකි. මේ කෙටි පණිවිඩය දළ පූට්‌ටුවා මේ දිනවල 'මාකට්‌' වී ඇති බවට මනා සාධකයක්‌ සපයයි. (අදාළ අංකය වැනි අප ඉල්ලා ලියාපදිංචි වී නොමැති සේවා අංකවලින් මෙවැනි කෙටි පණිවිඩ ලැබීම පාරිභෝගික අයිතියක්‌ උල්ලංඝනය වීමක්‌ සේ සැලකිය හැකි වීම වෙන ම කරුණකි.)

දළ පූට්‌ටුවා හෝ හරියට ම කිව හොත් ඒ සතා මරා දැමීම පිළිබඳව සමාජයේ සාකච්ඡාවක්‌ ඇති වීම වැදගත් කරුණකි. ඒ වසරකට දෙ සිය පනහක්‌ පමණ අලි ඇතුන් අපේ රටේ මිය යන නිසා ය. එහෙත් මේ සාකච්ඡාව කෙතෙක්‌ සාධාරණීය ද යන්න වැදගත් වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් දළ පූට්‌ටුවා ගේ ඝාතනය බෙහෙවින් අලෙවි වූයේ සමාජ ජාලවල සහ ඕපාදූප වෙබ් අඩවිවල ය. මේ ඇතැම් සටහන් හුදෙක්‌ ඝාතකයන්ට සාප කිරීමට හා බලධාරීන්ට දෙස්‌ තැබීමට වෙන් වූ ඒවා ය. තවත් ඒවා හුදෙක්‌ ම ආවේගකාරී විය. තවත් ඒවායේ විවිධ යෝජනා දක්‌වා තිබිණි. නිදසුනක්‌ ලෙස දළ ඇතුනට ආරක්‌ෂාව ලබා දීම සඳහා මේ සමාජ ජාල සංරක්‌ෂකයන් ඉදිරිපත් කළ යෝජනා අතර රේඩියෝ කොලර් සවි කිරීම හා ඇතුන්ට ආරක්‌ෂක අංශවලින් ආරක්‌ෂාව ලබා දීම වැනි යෝජනා තිබිණි. දළ ලබාගැනීම සඳහා දඩයම් කිරීම වළක්‌වාලීමට මේ පළමු උපක්‍රමයෙන් සහායක්‌ නො ලැබෙන බව ඒ තාක්‌ෂණය දන්නා අයට පැහැදිලි කරුණකි. එසේ ම විශාල මෙන්ම වනගත ප්‍රදේශයක සරන අපේ රටේ ඇතකුට ආරක්‌ෂාව ලබා දීම කිසිසේත් ප්‍රායෝගික නො වන්නකි.

අනෙකක්‌ තබා මේ කතාව දිගින් දිගට ඇදී ගොස්‌ සමාජ ජාලවල බෙහෙවින් සිටින සංරක්‌ෂකයන් ගේ චෝදනාවට හා 'කටගැස්‌මට' බෙහෙවින් ලක්‌ ව ඇති සංස්‌කෘතික අවශ්‍යතා සඳහා හීලෑ අලින් ලබා දීම විවේචනය කිරීම දක්‌වා ම මේ කතාව දික්‌ගැසී ගොස්‌ තිබිණි. (පෙරහැර වැනි සංස්‌කෘතික අවශ්‍යතා සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් අවශ්‍ය අලින් ලබා දීම සඳහා වැඩපිළිවෙළක්‌ තිබිය යුතු බව අපේ මතය වන අතර, අලින් අනිසි භාවිතය අධික බැවින් පෞද්ගලික අයිතිය ප්‍රවර්ධනය අයෝග්‍ය බව අපේ මතයයි.)

අලි - මිනිස්‌ ගැටුම අවම කරගැනීම සඳහා මෙන්ම, වන අලින් ආරක්‌ෂා කිරීම සඳහා වනජීවී බලධාරීන් විසින් මෙතෙක්‌ ගත් සියලු පියවර අවතක්‌සේරු කරන බවක්‌ මේ ඇතැම් අදහස්‌ තුළ දැකිය හැකි විය. එය සාධාරණ නො වන බව අලි - මිනිස්‌ ගැටුම ගැන ප්‍රාමාණික අවබෝධයක්‌ ඇති අය දන්නා කරුණකි. එසේ ම සමාජ ජාලවල දැකිය හැකි වූ පමණ ඉක්‌මවා ගිය ආකාරයේ ප්‍රතිචාර හා පුවත්වලින් මතු වන්නේ මේ කරුණ දක්‌වාලමින් සමාජයේ කිසියම් හඬක්‌ මතු කිරීමේ අවශ්‍යතාවක්‌ යම් පිරිසකට තිබූ බව ද යන ගැටලුව ද අපට ඇති විය. ඒවායේ පළ වූ සටහන් මෙන්ම ඒවාට දැක්‌වූ ප්‍රතිචාරවල ද කිසියම් කෘත්‍රිම ආකාරයක්‌ ගත් බවක්‌ ද පෙනිණි. කාට හෝ ඩෑෂ් පහරක්‌ එල්ල කිරීම සඳහා බෝලය ඔසවා දීමක්‌ මේ තුළ දැකිය නොහැක්‌කේ නො වේ.

දළ පූට්‌ටුවා ගේ මරණය


දළ පූට්‌ටුවන් පරිසර ප්‍රේමීන් මෙන්ම ජනතාව අතර වැඩි අවධානයකට ලක්‌ වන්නේ ඔවුන් ගේ ඇත් දළවල පිහිටීමේ දැකිය හැකි සුවිශේෂ ලක්‌ෂණය නිසා ය. දළ යුග්මය ඉදිරියට පැමිණ හොඬවැල ඉදිරිපසින් එකට පූට්‌ටු වී පිහිටීම මෙහි දී දැකිය හැකි ය. එම තත්ත්වය නිසා මෙවැනි සතුන්ට හොඬවැල පහසුවෙන් පිටතට ගැනීමට නොහැකි වෙයි. එම අහසුතාව සමඟ දිවි ගෙවීමට මේ සතුන්ට සිදු වේ. මෙවැනි ප්‍රකට දළ පූට්‌ටුවකු යාල හා කුමන ප්‍රදේශවල වාසය කළ අතර, වෙඩි වැදුණු තුවාල හේතුවෙන් එම ඇතා මිය ගියේ 2007 වර්ෂයේ දී පමණ ය. අපේ මතකයේ හැටියට ඒ තුවාල සඳහා ප්‍රතිකාර කරමින් තිබිය දී ය. එහෙත් එදා මෙවැනි හා හෝවක්‌ ඇති කිරීමට තරම් සමාජ ජාල හෝ අන්තර්ජාලය ප්‍රබලව තිබුණේ නැත.

ගල්ගමුව දළ පූට්‌ටුවා ගේ මරණය අවාසනාවන්ත සිදුවීමක්‌ බවට සැකයක්‌ නැත. විශාල ප්‍රදේශයක සැරිසරමින් මිනිස්‌ වාසස්‌ථාන අතර සැරිසරමින් දිවි ගෙවූ මේ සත්ත්වයා මිනිසුන් ගෙන් බොහෝ සෙයින් බැට කා ඇති සත්ත්වයෙකි. එක්‌ ඇසක්‌ අන්ධ වූ අතර අනෙක්‌ ඇසේ ද පෙනීම බෙහෙවින් දුර්වල වීමට හේතුව වී ඇත්තේ මිනිසුන් ගෙන් සිදු වූ ගැහැට ය. කලින් කල මේ ඇතා සමාජයේ අවධානයට ලක්‌ වූ අතර බලධාරීන් ගේ අවධානයට ද ලක්‌ ව තිබූ බව වාර්තා අනුව පැහැදිලි ය. දැනට අනාවරණය වී ඇති ආකාරයට මේ හස්‌තියා මරා දමා ඇත්තේ ඇත් දළ හා ගජමුතු ලබා ගැනීම සඳහා ය. ඇත් දළ යුගලයක්‌ අලෙවි කිරීමට යැමේ දී අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අනාවරණය වී ඇති තොරතුරු මත කළ සොයාබැලීම්වල දී කහල්ල පල්ලෙකැලේ රක්‌ෂsතය තුළ ස්‌ථානයක තිබී ඇතා ගේ මළසිරුර හමු වී ඇත. ඒ වන විට දිරා යමින් තිබූ දේහය පිළිබඳව කළ පරීක්‌ෂණවලින් ඇතා මරා දැමීම ගැන කරුණු රැසක්‌ අනාවරණය වී ඇත. හිසට හා උදරයට වෙඩි තබා මේ සතා ඝාතනය කර ඇති අතර ඉන් පසුව දළ කපා ඉවත් කර ඇති බව හෙළි වී තිබේ.

මෙරට වෙසෙන දළ ඇති ඇතුන් ප්‍රමාණය මෙරට අලි ගහනයෙන් ඉතා අඩු ප්‍රමාණයකි. 2011 වර්ෂයේ දී මෙරට සිදු කරන ලද අලි සංගණනයේ දී වාර්තා වූ දළ සහිත පිරිමි සතුන් ගේ ගණන 122කි. එනම්, සමස්‌ත පිරිමි සතුන් අතරින් 6.5%ක්‌ තරම් ප්‍රමාණයකි. මේ ප්‍රමාණය ආසියානු අලින් අතර සාපේක්‌ෂව අඩු අගයක්‌ ගන්නා බව සෙසු රටවල සංඛ්‍යා සමඟ සංසන්දනය කරන විට පෙනේ. ඒ අනුව දළ ඇතුන් යනු දිනෙන් දින දැකීමට අපහසු සතුන් වෙමින් ඇති බව පැහැදිලි කරුණකි.

දළ ලබා ගැනීම සඳහා ඇතුන් මරා දැමීම දිගුකාලීන වශයෙන් ගැටලුකාරී තත්ත්වයක්‌ ඇති කරන බව පැහැදිලි ය. දළ සඳහා මේ වන විට ඉල්ලුමක්‌ පවතින්නේ ඒවා ළඟ තබාගැනීමට කැමැති ධනවත් ප්‍රභූ පැළැන්තිය අතර බව පැහැදිලි ය. දළ යොදාගනිමින් විසිතුරු භාණ්‌ඩ නිපදවීමේ කර්මාන්තයක්‌ මේ වන විට අපේ රටේ නොමැත. එහෙයින් ඇත් දළ සඳහා ධනවතුන් හා නැඟී එන ධනවතුන් අතර ඇති කැමැත්ත වැනි ආකල්ප වෙනස්‌ කිරීමට සමාජ ජාල යොදාගැනීමට හැකි නම් එය කාට වත් සාප කරමින් සිටිනවාට වඩා ඵලදායී එකක්‌ විය හැකි ය. විහාරස්‌ථානවල බොහෝ විට ඇත්තේ මිය ගිය හීලෑ ඇතුන් ගේ දළ වන අතර, ප්‍රභූ නිවෙස්‌වල හීලෑ ඇතුන් ගේ දළ මෙන්ම අතීතයේ (හෝ මෑත දී) දඩයම් කළ ඇතුන් ගේ දළ ද තිබිය හැකි ය.

අලි ඇතුන් කෙරෙහි ඇති ආකල්ප


මේ අවස්‌ථාවේ දී අලි - මිනිස්‌ ගැටුම හා අලි ඇතුන් කෙරෙහි සාමාන්‍ය ජනතාව දක්‌වන ආකල්ප ගැන යමක්‌ පැවසීම සුදුසු යැයි හැඟෙයි. මේ ආකල්පවල මිශ්‍ර ස්‌වභාවයක්‌ දැකිය හැකි ය. එය හුදෙක්‌ කළු හෝ සුදු නො වන අතර මිශ්‍ර හැඟීමක්‌ වේ. ගොඩබිම දැකිය හැකි විශාල ම සතා මෙන්ම සංස්‌කෘතික හා ආගමික වටිනාකමක්‌ ද ඇති හෙයින් අලින් කෙරෙහි සාමාන්‍ය ජනතාව අතර කරුණාවක්‌ දැකිය හැකි වෙයි. එයට බුදුදහමින් ලැබුණු අහිංසාව පිළිබඳ ශික්‌ෂණය ද එක්‌ හේතුවක්‌ බව පිළිගත හැකි කරුණකි.

එහෙත් අලින් ගෙන් සිදු වන ගැහැටවල දී අලින් පිළිබඳ ආකල්පය වෛරයක්‌ හෝ ද්වේෂයක්‌ හෝ බවට පත් වීම දැකිය හැකි ය. විශේෂයෙන් සමාජයේ පීඩාවට පත් ව ඇති  හා නූගත් පිරිස්‌ තුළ ඒ තත්ත්වය දැකිය හැකි ය. එය අද ඊයේ සිට නො ව අතීතයේ සිට ම දැකිය හැකි ය. එය අවබෝධ කරගැනීම එතරම් සංකීර්ණ කරුණක්‌ නො වන්නේ මිනිසුන් සෙසු මිනිසුන් පිළිබඳව ද දක්‌වන්නේ මෙවැනි ආකල්පයක්‌ වන නිසා ය. මිනිසුන් අනෙක්‌ මිනිසුන්ට එරෙහි ව, තමන් ගේ ම මිතුරන්ව සිටි අයට එරෙහි ව පවා, කෙතරම් අපරාධ කරන්නේ ද?

අලින් ගෙන් සිදු වන හානිවල දී අලින්ට එරෙහි ව ක්‍රෑර ලෙස ක්‍රියා කරන ආකාරය පිළිබඳ වාර්තා අපට අවම වශයෙන් පෘතුගීසින් මෙරට වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ කාලයේ සිට හමු වේ. ඒ අනුව අලින්ට වෙඩි තැබීම් පමණක්‌ නො ව, හොඬවැලට උණු තෙල් දැමීම, අලින් මතට ගිනි අඟුරු දැමීම වැනි සිදුවීම් පිළිබඳ වාර්තා මේ කාලයේ දී අපට හමු වේ. ඊට පෙර එවැනි උපක්‍රම යොදාගත්තේ ද යන්න අප නො දන්නා බව පමණක්‌ පැවසිය හැකි ය.

අලි ගහනයේ කැපී පෙනෙන වර්ධනයක්‌ සිදු වූ අවස්‌ථාවල දී ඉන් පීඩාවට පත් වූ ජනතාව ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්‌වා ඇති බව වාර්තා අනුව පෙනේ. පෘතුගීසි සමයේ අලි ඇල්ලීම ආදායම් මාර්ගයක්‌ වූ අතර, අලි ගහනය වැඩි වූ ප්‍රදේශ පිළිබඳව පෘතුගීසි නිලධාරීන්ට ගම්වැසියන් දැනුම් දුන් අවස්‌ථා පිළිබඳව සඳහන් වෙයි. මෙය සමාන කළ හැක්‌කේ අලි ඇතුන් ගෙන් සිදු වන ගැහැටවලට විසඳුම් ඉල්ලා මිනිසුන් වීදි බැස පාරවල් වසාගෙන අද සිදු කරන උද්ඝෝෂණය කිරීම් සමඟ ය.

එමෙන් ම අවශ්‍ය තරම් වාර්තා සහිත 19 - 20 සියවස්‌ පිළිබඳව සැලකූ විට පෙනෙන කරුණක්‌ වන්නේ අලින් ගෙන් සිදු වන වගා හානි හා වෙනත් ගැහැට පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කරන්නේ ද ප්‍රදේශවාසී ජනතාව බවයි. ඉන් පසුව අදාළ ප්‍රදේශයේ අලින් ඇල්ලීමට හෝ වෙඩි තැබීමට නියෝග කිරීම දැකිය හැකි විය. ඇතැම් විට ඒ සඳහා වූ බලපත්‍රය ලබා දෙන්නේ නොමිලේ ම ය. එහි දී ඉදිරිපත් වන්නේ දඩයමට රුචිකමක්‌ දක්‌වන "ක්‍රීඩා ලෝලී" සුදු ජාතිකයන් හෝ දේශීය ප්‍රභූන් ය. මොවුන්ට මඟ පෙන්වන්නේ අදාළ ප්‍රදේශයේ ගමේ ප්‍රධානීන් හා ගම්වැසියන් ය. ප්‍රශ්නකාරී අලි ඇතුන් ගෙන් මිදීම එදා ජනතාව ගේ වගා බිම්වල හා ජීවිතවල ආරක්‌ෂාව සඳහා අවශ්‍ය වූ දෙයකි. අප මෙය තේරුම්ගත යුත්තේ එදා පැවැති සන්දර්භය සමඟ ය (මෙය වතු වගාබිම් ආශ්‍රිත ව හුදු ක්‍රීඩාවක්‌ ලෙස ම සිදු වූ අලි දඩයම සමඟ පටලවා නො ගත යුතු ය).

කෙසේ වෙතත් මෙසේ තමන්ට හානි කරන අලින් සමඟ බද්ධ වෛරයක්‌ මේ ජනතාව තුළ දැකිය නොහැක්‌කේ ඔවුන්ට අලියා සංස්‌කෘතික හා ආගමික වශයෙන් වැදගත් සත්ත්වයකු වන නිසා ය. ජාතක පොතේ එන අලින්, නුවර පෙරහැරේ යන ඇතුන් ආදි වශයෙන් අලි ඇතුන් සංස්‌කෘතික වශයෙන් මිනිසුන්ට සමීප සත්ත්වයෙක්‌ වෙයි. මේ හේතුවෙන් අලි ඇතුන් පිළිබඳ ව ස්‌වාභාවිකව ජනනය වන අනුකම්පාවක්‌ ද මිනිසුන් තුළ දැකිය හැකි වේ. වගා ළිඳකට වැටුණු, ඇලකට වැටුණු, තුවාල වූ කරදරයට පත් වුණු අලියකු හෝ ඇතෙකු හෝ බේරා හරින්නට ගමේ ම මිනිසුන් ඉදිරිපත් වන්නේ මේ නිසා ය. ඇතැම් විට ඒ තමන් ගේ වගා පාලු කරන්නා වූ වන අලියා ම බව ඔවුහු දනිති. එහෙත් ඔවුහු එම අලියා වෙනුවෙන් අනුකම්පා කරති.

http://www.vidusara.com/2017/12/13/feature1.html

Thursday, December 7, 2017

ලොතරැයියක් අරන් අදිමු (බස් කතා 6)

(ධනේෂ් විසුම්පෙරුම)

මේ සිදුවීම සිදු වූයේ 1980 ගණන්වල අගදීය. එ් මම නාවල පදිංචිව සිටි කාලයයි. මම එ් දිනවල පාසල් ගියේ 173 තොටළඟ බසයෙනි. මට්ටක්කුලිය ඩිපා්ෙවෙන් ධාවනය වුණු පිටකෝට්ටේ- තොටළඟ බස් හැර එ් පාරේ පුද්ගලික බස් රථ ධාවනය වූයේ නුගේගොඩ-තොටළඟ (?) හෝ කොටුව ලෙසිනි. පුද්ගලික බස් කිව්වාට එ්වා සියල්ලම පාහේ කුඩා එල්ෆ් වර්ගයේ වෑන් රථ විය. (පසුකලක මේ මාර්ගයේද විශාල බස් රථ ධාවනය විය*).

සීසන් තිබුනත් අැතැම් දවස්වල ලංගම බස් නැතිව ප්‍රයිවට් බස්වල යන්න සිදු වූ අවස්ථා අැත. මේ එවැනි දවසක සිදු වූ සිදුවීමකි.

එදත් එල්ෆ් වෑන් රථයක දොරේ එල්ලී විජයබා මාවතේ සිට නාරාහේන්පිට දක්වා යෑමට මට සිදු විය. වෑන් එක අැතුළට රිංගා ගන්නට මට හැකි වුනේ නාරාහේන්පිටදීය. එ් දවස්වල අද මෙන් නාරාහේන්පිටට මහා සෙනගක් නොසිටියත් තරමක සෙනගක් සිටි බව මතකය.

බසය තුළට පිවිසි මට මේ දෙබස අැසුනේ බසයේ අසුනක හිඳ සිටි, පාසැලට යමින් සිටි කුඩා දැරියක හා පියෙකුගෙනි. ඔවුන්ටද අසුනක් ලැබුනේ එ් වෙලාවේ විය යුතුය. බසයේ අධික තදබදය නිසා එ් දැරිය පීඩාවට පත්ව සිටි බව පෙනිනි.

දියණිය - "තාත්තෙ මට නං බස් එකේ ඉස්කෝලෙ යන්න බැහැ." අැය කීවේ මුහුණ පුළුටු කරගෙන විය යුතුය.

පියා - "එ් වුනාට දුවේ අපි ඉස්කෝලේ යන්න ඔ්නැනෙ"

දියණිය - "අපි කාර් එකක් ගනිමුකො" දුව කීවාය.

පියා - "එ්කට ලොතරැයියක්වත් අැදෙන්න ඔ්න දුවේ"

දියණිය - "එහෙනම් අපි ලොතරැයියක් අරන් අදිමුකො තාත්තෙ" එ් දියණියගේ අපූරු යෝජනාවයි.

දෙබස අැසුණු අයට සිනා නැගුණත් කිසිවකු හඩ නගා සිනා සුනේ නැති බව මට මතකය. එ් අැය මේ කිසිවක් හරි හැටි නොදත් කුඩා දියණියක් නිසා විය යුතුය.

එ් දියණිය අද වැඩි මහලු තැනැත්තියක් විය යුතුය. අද එ් වයසේ දියණියන් සිටින තැනැත්තියක් විය හැකිය.

* 173 ශ්‍රීලංගම බස් සේවය අඩු වී ගොස් නතර වූයේ 1990 දශකයේදී පමණය. පසුකලක උඩහමුල්ල ඩිපෝවෙන් එක් බසයක් පමණක් ධාවනය වුවද එයද දැන් නැත. මෑතක් තෙක් නුගේගොඩ-කොටුව අතර ධාවනය වූ පුද්ගලික බස් රථ ධාවනය නතර වූයේ 2015 මුලදී අලුත් අාණ්ඩුව පැමිණි දවස්වලය. දැන් එහෙම මාර්ග අංකයක් නුගේගොඩ පැත්තෙන් නම් නැත.