Tuesday, January 30, 2018

​කට කැඩිච්ච කතා 01 - දොඩම් ගෙඩි දෙක

(මේ කතා පටන් ගන්න හිතුවෙ අහල තියන එකකින්. මේක 1970 මැතිවරණ කාලෙ සිදුවුණු එකක්. අදින් දශක දෙකකට විතර කලින් මේ කතාව මට කිව්වෙ පුවත්පත් වාර්තාකරුවෙකුද වූ මගේ දහම්පාසැල් ගුරුවරයෙක්. එ්ක කිව්වෙ දහම්පාසැල් කාලෙන් පස්සෙ හමු වූ විටකදි හොඳේ)

කොළඹට නුදුරු මැතිවරණ කොට්ඨාසයකට තරග කළ අපේක්ෂකයින් දෙදෙනෙකු පිළිබඳවයි මේ කතාව. එක් අයෙක් ආරෝහ පරිණාහ දේහධාරි පුද්ගලයෙක්. ඔහු ඒ වන විට පැවැති ආණ්ඩු පක්ෂයේ සෙනෙට් මන්ත්‍රීවරයෙක්. අනෙක් තැනැත්තා ඒ වන විට එම ආසනය 1965 මැතිවරණයෙන් ජය ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කළ විපක්ෂ මන්ත්‍රීවරයායි. ඔහු එතරම් උස මහත අයෙකු නොවුනත් බොහොම දක්ෂ චතුර කථිකයෙක්.

ඉතින් දවසක් අර සද්දන්ත අපේක්‍ෂකයා එයාලගේ ආණ්ඩුවේ බලයත් හිතට අරන් තිබ්බ රැස්වීමකදී මෙහෙම කිව්වාලු.

"මාත් එක්ක මේ ආසනේට තරග කරන අපේක්ෂකයා දොඩම් ගෙඩි දෙකක්වත් උස නැති කෙනෙක්"

ඊට දින කීපයකට පසුව, අර කතාවට ලැබෙන්න ඕන උත්තරේ අර උස මහත නැති විපක්ෂයේ මුඛරි අපේක්ෂකයාගෙන් එම ස්ථානයේදීම ලැබුනලු. ඒ ඔවුන්ගේ පක්ෂයේ රැස්වීමකදී. ඒ මෙහෙම.

"මම දොඩම් ගෙඩි දෙකක්වත් උස නෑ කියපු කෙනාට මං මෙහෙම කියන්න කැමතියි - මගේ දොඩම් ගෙඩි දෙක මිරිකල දුන්නොත් උන්නැහේට මාසයක් නා ගන්න අැති වෙයි කියල..."

ඡන්ද ප්‍රතිඵල අනුව ඒ උස මහත නැති පුද්ගලයා විශිෂ්ට ජයක් ලැබුවා. ඔහුගේ පක්ෂයත් විශිෂ්ට ජයක් ලැබුවා. ඔහු මෙරට දේශපාලනයේ විශිෂ්ටයෙක්. එ් අාසනය එකල වමේ අාසනයක්.

අර සද්දන්තයාට තමන්ගේ පක්‍ෂයෙන් කැපිලි අාවා. අන්තිමට ඉන් ඉවත් වී  අර ප්‍රතිවාදියාගේ පක්ෂයට එක් වීමට සිදුවුනා. ඔහුට අන්තිමේ ජනතා වරමින් පාර්ලිමේන්තුවට පත්වීමට අවස්ථාවක් ලැබුනේ 1989දි. එදා ඔවුන් දෙදෙනාම එකම පක්ෂයෙන් ඒ පාර්ලිමේන්තුව නියෝජනය කළා. 

No comments:

Post a Comment