Monday, May 21, 2018

දොඩම් ශාකයේ සම්භවය හිමාලය පාමුල ප‍්‍රදේශයක සිදුව තිබේ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 18.04.2018, පි. 11 (Vidusara)

Not available online


දොඩම් ගණයේ ශාක ලෝකයේ වඩාත් වවනු ලබන පලතුරු ශාක අතරට ඇතුළත් වේ. දෙහි, දොඩම් වර්ග, නාරන් වර්ග, ජම්බෝල ආදි වශයෙන් අපේ රටේද විවිධ Citrus ගණයට අයත් ශාක ගණනාවක් දැකිය හැකිය. මේවා අයත්වන්නේ Rutaceae කුලයටය. ලෝකය පුරා විවිධ රටවල Citrus ගණයේ ශාක වගා කරනු ලබන්නේ එ්වා රසවත් පලතුරු ශාක වන නිසාය. මෙම ශාකවලින් ලබාගන්නා පලතුරුවලට ඇති ඉල්ලූම නිසා ආර්ථික භෝග ලෙස මේවාට වැදගත්කමක් තිබේ.

Citrus ගණයේ ශාකවල සම්භවය පිළිබඳව විද්‍යාඥයින් අතර පැහැදිලි අවබෝධයක් නොතිබිණි. මේ පිළිබඳව ගත වු වසර සියයක පමණ කාලය ඇතුළත විවිධ මත පළ වී තිබිණි. එහෙත් සාමාන්‍යයෙන් විශ්වාස කරන ලද්දේ මේ ශාකවල සම්භවය අග්නිදිග ආසියාවේ සිදු වූ බවයි. මෑතකදී ප‍්‍රවේණික සාධක යොදාගනිමින් සිදුකර ඇති අධ්‍යයනයකින් මේ සම්බන්ධව වඩාත් පිළිගත හැකි ආකාරයේ මතයක් ඉදිරිපත් කර ඇත.

එමගින් හෙළි වන ආකාරයට මේ ශාකවල සම්භවය හිමාලය කඳුකරයේ ගිනිකොන දිග ප‍්‍රදේශයේ කඳුකරයට පහළ ප‍්‍රදේශ බව පෙන්වා දී ඇත. ක්‍සඑරමි Citrus ගණයේ ශාකවල DNA පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයක් වන එයට අනුව මෙම ශාකවල සම්භවය සිදුව ඇත්තේ අදින් වර්ෂ මිලියන 8කට පමණ ඉහත කාලයකදීය. මේ අනුව Citrus ගණයේ ශාකවල පරිණාමීය ඉතිහාසය මෙම අධ්‍යයනයෙන් වඩා පැහැදිලි වී තිබෙයි.

ජෙනෝම පිළිබඳ අධ්‍යයනයක්

දොඩම් අයත් වන Citrus ගණයේ ශාකවල ස්වාභාවික ව්‍යාප්තිය දකුණු හා අග්නිදිග ආසියාවේ විශාල ප‍්‍රදේශයක් බව සාමාන්‍යයෙන් පිළිගත් කරුණක් බව පෙර සඳහන් කළෙමු. එහෙත් දොඩම්වල භූගෝලවිද්‍යාත්මක ආරම්භය, කාලය හා ව්‍යාප්ත වීම පිළිබඳ මෙතෙක් අපැහැදිලි වීම සඳහා බලපෑ එක් හේතුවක් වූයේ මේ ශාකවල ජෙනෝමය පිළිබඳව ඇති දැනුම අසම්පූර්ණ වීමයි. උක්ත අධ්‍යයනයේදී අවධානය යොමු කර ඇත්තේ එ් පිළිබඳවය.

මෙහිදී පර්යේෂකයන් සිදුකර ඇත්තේ Citrus ගණයේ ශාක 58ක් හා ඊට සමීපත්වයක් දක්වන Poncirus හා Severinia යන ශාක ගණවල ශාක 2ක ජෙනෝම විශ්ලේෂණය කිරීමයි. එ් සඳහා ඉන් පෙර කළ අධ්‍යයනවලින් හෙළි වී ඇති ජෙනෝම මෙන්ම මෙම පර්යේෂණය සඳහාම ජෙනෝම අධ්‍යයනය කිරිම සිදු කර ඇත. එ් අනුව එමගින් ස්වාභාවික Citrus ගණයේ විශේෂ 10ක් හඳුනාගැනීමට මෙම පර්යේෂකයන්ට හැකියාව ලැබී තිබෙයි.

මේ අනුව Citrus ගණයේ සම්භවය සිදු වූ ප‍්‍රදේශය පිළිබඳව හෙළි වී ඇති කරුණ වන්නේ එ්වා ඇසෑමයේ නැගෙනහිර ප‍්‍රදේශය, උතුරු මියන්මාරය හා යුනාන් ප‍්‍රාන්තයේ බටහිර ප‍්‍රදේශය ද ඇතුළත් භූගෝලීය කලාපයක සම්භවය වී ඇති බවයි. එහි ස්වාභාවිකව දැකිය හැකි වූ විශේෂවලින් නූතන Citrus ගණයේ ශාක ඇති වී තිබෙයි.

වසර මිලියන ගණනකට පෙර අපර මයෝසීන යුගයෙදී ඉහත සඳහන් ප‍්‍රදේශයේ දේශගුණය වෙනස් වී දුර්වල මෝසම් තත්ත්වයක් ඇති වීම හා වියළි කාලගුණයක් ඇති වීම සිදු වී ඇත. එම කාලයේදී මෙම ශාක නව විශේෂ හටගැනීමකට හෙවත් විශේෂ පරිණාමයකට (speciation) ලක්ව ඇත. එසේම මේ විශේෂ අදාළ සම්භවය සිදු වූ ප‍්‍රදේශයෙන් පිටත ප‍්‍රදේශවලටද ව්‍යාප්ත වී ඇත. එ් අනුව අග්නිදිග ආසියාව පුරා මෙම ශාක පැතිරගොස් තිබෙයි. එතැනින් මෙම ශාක ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත. අදින් වසර මිලියන 4කට පමණ පෙර මෙම ශාක ඔස්ටේ‍්‍රලියාව වෙත ව්‍යාප්ත වී ඇත. මෙසේ ස්වාභාවිකව ව්‍යාප්ත වූ ශාක මෙන්ම පසුකලක මිනිසුන් විසින් ගෘහාශ‍්‍රිතකරණය කිරීම නිසාද Citrus ගණයේ ශාකවල ප‍්‍රභේද ගණනාවක් අද වන විට දැකිය හැකි වෙයි.

මේ අනුව අප අද දකින Citrus ගණයේ ශාක වසර මිලියන ගණනාවක පරිණාමයකින් හා ඉන් පසුව එම ශාක අතරින් සමහරක් යොදාගනිමින් මිනිසුන් විසින් වසර දහස් ගණනාවක් තිස්සේ සිදුකරන ලද අභිජනන ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලය බව පැහැදිලිය.

සාමාන්‍යයෙන් Citrus ගණයේ ශාක පිළිබඳව ලැබී ඇති පොසිල සාධක අල්පය. එහෙත් නිරිත දිග චීනයේ යූනෑන් හි ලින්කැන් (Lincang) ප‍්‍රදේශයෙන් ලැබී ඇති පොසිලගත වූ ක්‍සඑරමි Citrus linczangensis ශාකයේ පත‍්‍රයකට ලබාදී ඇති කාල වකවානුව වන්නේ එය වසර මිලියන 8ක් පමණ පැරණි බවයි. එම දින වකවානුව මෙම අධ්‍යයනයේදී හෙළි වන Citrus ගණයේ ශාකවල සම්භවය පිළිබඳ කාලවකවානුව හා සමාන වීම මෙහි ඇති විශේෂත්වයකි.

ප‍්‍රායෝගික භාවිත පිළිබඳ අපේක්ෂා

පරිණාමීය ඉතිහාසය පිළිබඳව සිදුකරන ලද මෙම හෙළිදරව් වීම හැරුණු විට මේ පර්යේෂණයෙන් ලැබෙන වඩාත් ප‍්‍රායෝගික ප‍්‍රතිලාභද ඇති බව උක්ත පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. එයට හේතුව වන්නේ Citrus ගණයේ ශාකවල ජෙනෝමය පිළිබඳව වැඩි විස්තර ලැබී ඇති නිසාය.

මේ අනුව මෙම ශාකවලට වැළඳෙන රෝගවලට හා පළිබෝධකයන්ට ඔරොත්තු දිය හැකි ප‍්‍රභේද සොයාගැනීම සඳහා මෙමගින් යම් අවස්ථාවක් ලැබෙයි. විශේෂයෙන් මේ වන විටද බරපතළ හානිකර තත්ත්ව ඇති කර තිබෙන ඇතැම් රෝගවලට පිළියම් ලෙස යොදාගත හැකි ප‍්‍රතිරෝධී ලක්ෂණ දරණ ජානමය තත්ත්ව සහිත ශාක මෙහිදී හඳුනාගත හැකිය. එ්වා යොදා ගනිමින් නව Citrus ශාක ප‍්‍රභේද හා විශේෂ වුවද බිහි කිරීමට අවස්ථාවක් ලැබිය හැකිය. මෙය Citrus ශාක පිළිබඳව හා එ් මත පදනම්ව ඇති පලතුරු කර්මාන්තයට ඉතා වැදගත් වනු ඇත. මේ වන විටද මෙවැනි ඇතැම් රෝග නිසා Citrus ශාක වගාවට සැලකිය යුතු තරම් තර්ජනයක් ඇති වී තිබෙන බැවින් මෙම ප‍්‍රායෝගික භාවිතය ඉතා ඵලදායී වනු ඇත.

මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/nature25447


Citrus ගණයේ ශාකවල ආරම්භය සිදු වු ප‍්‍රදේශය හා අතීත ව්‍යාප්තිය සිදු වූ මාර්ග දැක්වෙන රූපයක්. තරු ලකුණින් දැක්වෙන්නේ Citrus linczangensis විශේෂයේ පොසිල ශාක පත‍්‍රයක් හමු වූ ස්ථානය පහත සඳහන් සිතියමෙහි දැක්වෙයි.

No comments:

Post a Comment