Wednesday, May 30, 2018

සෙංගමාලය හෙවත් හෙපටයිටිස්‌ බී රෝගය වසර 7,000කට පෙර යුරෝපයේ තිබූ බවට සාධක

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 23.05.2018, පි. 12 (Vidusara)

http://www.vidusara.com/2018/05/23/feature3.html




සෙංගමාලය හෙවත් හෙපටයිටිස්‌ බී රෝගය වර්තමාන ලෝකයේ සැලකිය යුතු හානියක්‌ සිදු කරන හා පැතිරුණු ව්‍යාප්තියක්‌ සහිත වයිරස මඟින් ඇති වන රෝග අතර වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් 2015 වර්ෂයේ දී ලෝකය පුරා මිලියන 257ක පමණ ජනතාවක්‌ මේ රෝගයට ගොදුරු වී ඇති අතර, රෝගය නිසා මූලික වශයෙන් අක්‌මාවේ ඇති වන ගැටලුවලින් මිය ගිය ප්‍රමාණය 887,000ක්‌ පමණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. හෙපටයිටිස්‌ බී රෝගය සඳහා යොදාගන්නා එන්නතක්‌ ද භාවිතයේ තිබිය දී මෙතරම් බරපතළ තත්ත්වයක්‌ ඇති කර තිබීමෙන් රෝගයේ බරපතළ බව පෙනෙයි.

මේ රෝගයේ ඉතිහාසය විද්‍යාඥයන්ට දිගු කලක්‌ තිස්‌සේ ගැටලු සහගත ව තිබූ දෙයකි. හෙපටයිටිස්‌ බී වයිරසය (Hepatitis B virus - HBV) ලෝකයේ කිනම් ප්‍රදේශයක කවර කාලයක දී ආරම්භ වූයේ ද යන්න හා එහි පරිණාමීය ඉතිහාසය පිළිබඳ ව අපැහැදිලි තැන් ගණනාවක්‌ තිබිණි. මේ පිළිබඳ ව සිදු කරන ලද අධ්‍යයනවල දී ඇති වූ ගැටලු සහගත තත්ත්වයක්‌ වූයේ වයිරස හා සම්බන්ධ ව පෞරාණික ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රිත ව අධ්‍යයන කටයුතු සිදු කිරීම අපහසු වීම ය. ඒ පැරැණි ප්‍රාග් ඓතිහාසික මානව ශේෂ ආදියෙන් වයිරස ප්‍රවේණි ද්‍රව්‍ය වන DNA මේ දක්‌වා ලැබී නො තිබීම හේතුවෙනි. මේ තත්ත්වය ඇතැම් විට සමාන කරනු ලබන්නේ ෆොසිල නොමැති ව අද වෙසෙන සතුන් මඟින් පමණක්‌ යොදාගෙන සතුන් පිළිබඳ ව හැදැරීමට ය. ඒ හා සමාන ව අතීතයේ ජීවත් වූ වයිරසවල ප්‍රවේණික ද්‍රව්‍ය නොමැති ව ඒවායේ පරිණාමය ගැන ලබාගත හැක්‌කේ අඩු අදහසකි. මේ අනුව පෞරාණික DNA සොයාගැනීමට හැකි නම් එමඟින් ලැබෙන්නේ මනා සහායකි.

මෑතක දී හෙපටයිටිස්‌ බී රෝගයට හේතු වන වයිරසවල මෙතෙක්‌ සොයාගත් පැරැණි ම ගෙනෝම සොයාගැනීමත් සමඟ මේ රෝගයේ අතීතය පිළිබඳ නව තොරතුරු රැසක්‌ අනාවරණය කරගැනීමට අවස්‌ථාව මේ වන විට උදා වී තිබෙයි. මෑතක දී ප්‍රකාශයට පත් එක්‌ අධ්‍යයනයකින් අදින් වසර 4,500ක්‌ පමණ පැරැණි වයිරස ද, තවත් අධ්‍යයනයකින් අදින් වසර 7,000ක්‌ පමණ පැරැණි වයිරස ද හමු වී ඇත. ඒවා මඟින් හෙළි වන කරුණු පිළිබඳ ව පහත විස්‌තර වෙයි.

වසර 4,500ක්‌ පැරැණි වයිරස හමු වීම


මුලින් ම ප්‍රකාශයට පත් අධ්‍යයනය Nature සඟරාවේ පළ වූවකි. එහි දී පෙන්වා දී ඇති ආකාරයට මෙතෙක්‌ දන්නා හෙපටයිටිස්‌ බී වයිරසය පිළිබඳ පැරැණි ම සාධක අනාවරණය කරගැනීමට එම පර්යේෂණ කණ්‌ඩායමට හැකියාව ලැබී තිබිණි.

යුරෝපයේ හා ආසියාවේ ප්‍රදේශ ගණනාවකින් හමු වී ඇති, ලෝකඩ යුගයේ සිට මධ්‍යතන යුගය දක්‌වා වූ විවිධ කාල වකවානුවලට අයත් ලෙස කාල නිර්ණය කරන ලද මානව ඇටසැකිලි නිදර්ශක 304කින් ලබාගත් ප්‍රවේණික ද්‍රව්‍ය මේ පර්යේෂකයන්ගේ අවධානයට ලක්‌ වී ඇත. එහි දී එම ඇටසැකිලි අතර තිබී හෙපටයිටිස්‌ බී වයිරසය ආසාදිත ඇටසැකිලි 25ක්‌ පමණ ඔවුන්ට හඳුනාගත හැකි වී තිබෙයි. ඒ අතරින් වයිරසයේ ගෙනෝමය පිළිබඳ ව සවිස්‌තර අධ්‍යයනයක්‌ සිදු කිරීමට තරම් ප්‍රමාණවත් DNA හමු වී ඇත්තේ ඇටසැකිලි 12ක්‌ පමණ ප්‍රමාණයකිනි. එසේ හඳුනාගත් වයිරස ගෙනෝම එකිනෙකට වෙනස්‌ මාදිලි (strains) 12කට අයත් වූ අතර, ඒ අතරින් එකක්‌ මේ වන විට වඳ වී ගොස්‌ ඇති මාදිලියකි.

මේ පර්යේෂණයේ දී හමු වී ඇති පැරැණි ම හෙපටයිටිස්‌ බී වයිරසය සහිත ඇටසැකිල්ල අදින් වසර 4,500ක්‌ පමණ පැරැණි වූවකි. එම නිදර්ශක අතරින් වඩාත් මෑතකාලීන නිදර්ශකය වසර 800ක්‌ පමණ පැරැණි ය. මේ අනුව ලෝකඩ යුගය පමණ වන විට ද හෙපටයිටිස්‌ බී වයිරසය මිනිසුන්ට වැළඳී තිබූ බව පැහැදිලි විය. මෙය හෙපටයිටිස්‌ බී වයිරසය සම්බන්ධ ව මෙන් ම වයිරස සම්බන්ධව ද පැරණිතම ගෙනෝමය අනාවරණය වූ අවස්‌ථාව විය. මෙතෙක්‌ පැවැති අවබෝධය අනුව පැරැණි ම මානව හෙපටයිටිස්‌ බී වයිරස අයත් වූයේ අදින් වසර 450ක්‌ පමණ පෙර කාලයකට ය. මේ අනුව මේ පර්යේෂණයෙන් මේ රෝගයේ ඉතිහාසය බොහෝ ඈතට ගෙන යැමට සමත් විය.

වසර 7,000ක්‌ පැරැණි වයිරස හමු වූ අධ්‍යයනය


කෙසේ වෙතත් පැරැණිතම වයිරස පිළිබඳ දින වකවානු සම්බන්ධ වාර්තාව ඉහත දැක්‌වූ පර්යේෂණයට පවත්වාගත හැකි වූයේ දින කිහිපයක කාලයකට පමණකි. එයට හේතුව වෙනත් පර්යේෂණයක්‌ මඟින් හෙපටයිටිස්‌ බී රෝග වයිරසය අදින් වර්ෂ 7,000කට පමණ පෙර කාලයක දී යුරෝපයේ ව්‍යාප්ත ව තිබූ බව හෙළි කිරීම නිසා ය.

මේ දෙවැනි පර්යේෂණය, ඉදිරියේ දී පළ කිරීම සඳහා eLife සඟරාව මඟින් පිළිගෙන ඇති පර්යේෂණ වාර්තාවකි. එම අධ්‍යයනයේ දී ජර්මනියේ නව ශිලා යුගයේ හා මධ්‍යතන යුගයට අයත් ස්‌ථානවල සිදු කරන ලද කැණීම්වලින් ලබාගත් මානව ඇටසැකිලිවල, දත්වලින් ලබාගත් නිදර්ශක විශ්ලේෂණය කිරීමට පියවර ගෙන තිබෙයි. මේවායේ කාල නිර්ණය පොදු වර්ෂ පූර්ව 5,000 සිට පොදු වර්ෂ 1,200 දක්‌වා වූ කාලවලට අයත් විය.

ඔවුන් මේ නිදර්ශක වයිරස විෂබීජවලට පරීක්‌ෂා කර ඇති අතර, එහි දී පුද්ගලයන් තිදෙනකුට අයත් ඇටසැකිලිවලින් හෙපටයිටිස්‌ බී වයිරස හමු වී තිබෙයි. වයිරසවල ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රයෙන් සම්පූර්ණ ගෙනෝමය ගොඩනැඟීමට හැකි වී ඇති අතර, ඉන් ඇටසැකිලි දෙකක්‌ අදින් වසර 7,000ක්‌ හා 5,000ක්‌ පමණ පැරැණි වේ. අනෙක්‌ ඇටසැකිල්ල මධ්‍යතන යුගයට අයත් බවට කාලනිර්ණය කර ඇත.

මේ අනුව පෙර සඳහන් කරන ලද අධ්‍යයනයෙන් හෙළි වූ කාලවකවානුවලට වඩා පැරැණි හෙපටයිටිස්‌ බී වයිරස පිළිබඳව අනාවරණය කරගැනීමට හැකියාව ලැබී තිබීම මේ අධ්‍යයනයේ ඇති වැදගත් කරුණ වෙයි.

එසේ ම මේ පෞරාණික වයිරස DNA මාදිලිවලට නෑකම් කියන මාදිලි මේ වන විට දැකිය නොහැකි වීම ද විශේෂයකි. මේ අනුව ඒවා විශේෂිත පරම්පරාවකට (lineage) අයත් බව සිතිය හැකි අතර පසුකාලීන ව වඳ වී ගිය වයිරස මාදිලි විය හැකි ය. අදින් වසර 7,000ක්‌ හා 5,000ක්‌ පමණ පැරැණි වයිරස දෙක බොහෝ දුරට සමීප ඥාතිත්වයක්‌ දක්‌වන අතර. එම වයිරස මාදිලි වර්තමානයේ චිම්පන්සි හා ගොරිල්ලා සතුන් අතර ඇති හෙපටයිටිස්‌ බී වයිරසයට වඩාත් සමීප වෙයි. අනෙක්‌ අතට මධ්‍යතන යුගයෙන් හමු වී ඇති වයිරස මාදිලිය නූතන හෙපටයිටිස්‌ බී වයිරස මාදිලියට වඩාත් සමීප වුව ද, එය ද ප්‍රවේණික වශයෙන් වෙනත් පරපුරකට අයත් බව හෙළි වී ඇත.

පෞරාණික DNA පිළිබඳ අධ්‍යයනවල වැදගත්කම


මේ කරුණු විමසීමේ දී පෙනෙන්නේ හෙපටයිටිස්‌ බී වයිරසයේ අතීතය පිළිබඳ ව පැහැදිලි සාධක ලැබී ඇති බවයි. මීට පෙර 16 වැනි සියවසේ පමණ දින නියම කර ඇති මමීවලින් ලැබී ඇති හෙපටයිටිස්‌ බී වයිරස නූතන වයිරස මාදිලිවලට සමීප ඥාතිත්aවයක්‌ දැක්‌වූ ඒවා විය. මේ නිසා පසුගිය වසර 500ක කාලයේ දී මේ වයිරසවල වෙනසක්‌ වී නො තිබීම තරමක පුදුමයට කරුණක්‌ වී තිබිණි. දැන් එම ගැටලුව ද පැහැදිලි වී ඇත.

මේ සොයාගැනීම් යොදාගනිමින් හෙපටයිටිස්‌ බී රෝගයේ ඓතිහාසික ව්‍යාප්තිය හා විකසනය හැදෑරීමට හැකියාව ලැබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් පෙර තිබූ එක්‌ මතයක්‌ වූයේ හෙපටයිටිස්‌ බී රෝගය නව ලෝකයේ හෙවත් ඇමෙරිකානු මහාද්වීපවල බිහි වී, පසුව අදින් වසර 500කට පමණ ඉහත කාලයේ දී යුරෝපයට හා සෙසු ලෝකයට ව්‍යාප්ත වූ රෝගයක්‌ වන බවයි. එහෙත් මේ සොයාගැනීම් අනුව එම මතය බිඳ වැටෙයි.

මේ කරුණු මඟින් පෙනී ගොස්‌ ඇත්තේ මේ වයිරසයේ ඉතිහාසය වඩා සංකීර්ණ වූ එකක්‌ වන්නට තවත් අවස්‌ථාව ඇති බවයි. මේ පිළිබඳ ව තවදුරටත් පැහැදිලි කරගැනීමට නම් තව තවත් පෞරාණික DNA මෙන් ම නූතන DNA ද, ගොරිල්ලා හා චිම්පන්සි DNA ද අධ්‍යයනයට ලක්‌ කිරීම වැදගත් බව පර්යේෂකයන්ගේ අදහස වෙයි.

මේ අධ්‍යයනවලින් අනාවරණය වී ඇත්තේ මෙතෙක්‌ කලකට ලෝකයේ නැවත ගොඩනඟන ලද පැරැණිතම වයිරස ගෙනෝමය මෙය බවයි. දින කිහිපයක්‌ ඇතුළත ඒ පිළිබඳ වාර්තාව අලුත් කරනු ලැබූව ද පර්යේෂණ ක්‍රමවේද ඉදිරියට ගෙන යැම සම්බන්ධ ව මේ අධ්‍යයන දෙක ම එක සේ වැදගත් බව පැහැදිලි ය.

පෞරාණික වයිරස පිළිබඳ මේ අධ්‍යයන ක්‍රමවේදය අනෙක්‌ වයිරස පිළිබඳ පර්යේෂණ සඳහා යොදාගැනීමට හැකියාව තිබෙයි. ඒ රුධිරය හා සම්බන්ධ රෝග පිළිබඳව අනාගතයේ දී සිදු කරන පර්යේෂණ සඳහා

පැරැණි මානව අස්‌ථි ශේෂ ආදියෙන් ලබාගන්නා පෞරාණික මානව DNA යොදාගැනීමට ඇති හැකියාව මේ අධ්‍යයනවලින් පැහැදිලි වී ඇති නිසා ය. එමඟින් ලබාගන්නා වයිරසවල ප්‍රවේණික ව්‍යුහය හා විකසනය වීම පිළිබඳ ව අවබෝධය ඉදිරියේ දී එම රෝග සඳහා ප්‍රතිකාර ලෙස එන්නත් නිෂ්පාදනය සඳහා නව මංපෙත් විවර කර දෙනු ඇතැයි සිතිය හැකි ය.

මූලාශ්‍රය: eLife, DOI: 10.7554/eLife.36666 හා Nature, DOI: 10.1038/s41586-018-0097-z

ඡායාරූපය: ජර්මනියෙන් හමු වූ හෙපටයිටිස්‌ බී රෝගය වැළඳුණු අයකු ගේ හිස්‌කබලක්‌

No comments:

Post a Comment