Monday, May 21, 2018

බතල ශාකයේ ව්‍යාප්තිය පිළිබඳව අලුත් මතයක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 02.05.2018, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2018/05/02/feature3.html


බතල හෙවත් Ipomoea batatas යනු ලෝකයේ බෙහෙවින් ආහාරයට ගන්නා අල භෝග අතරින් එකක්‌ සේ සැලකේ. ඇමෙරිකා මහාද්වීපය නිජබිම් කරගත් බතල අද වන විට ආහාර භෝගයක්‌ ලෙස ලෝකයේ නිවර්තන හා උපනිවර්තන කලාපීය රටවල් රැසක ව්‍යාප්ත ව ඇත්තේ එහි ඇති මේ ආහාරමය වැදගත්කම නිසා ය.

බතල ඇමෙරිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ ව වඩා ප්‍රකට කතාවක්‌ මෙන් ම එතරම් ප්‍රකට නො වන කතාවක්‌ ද තිබෙයි. කොලොම්බස්‌ ඇමෙරිකාවට පැමිණෙන විට මධ්‍යම හා දකුණු ඇමෙරිකානු වැසියන් ආහාරය සඳහා බතල වගා කිරීම සිදු කර ඇත. එහි දී යුරෝපීයයන් විසින් මුලින් ම හඳුනාගන්නා ලද බතල ශාකය පසුව යුරෝපයට හා ආසියාවට හඳුන්වා දෙන ලද අතර ලෝකය පුරා ව්‍යාප්ත විය.

ඊට සියවස්‌ දෙකකට පමණ පසුව පොලිනීසියානු දූපත්, හවායි හා නවගිනියාව අතර පැසිෆික්‌ දූපත්වලින් බතල සොයාගැනීමෙන් මේ ශාකයේ ව්‍යාප්තිය පිළිබඳ ව තිබූ මතවාද ගැටලුකාරී තත්ත්වයකට පත් විය. එක්‌ මුල් ශාකයකින් ඇති වී මෙතරම් ප්‍රදේශයක එය ව්‍යාප්ත වූයේ කෙසේ ද යන්න ඇති වූ එක්‌ ගැටලුවකි. එසේ ම මෙසේ පැසිෆික්‌ දූපත්වලට බතල ශාක හඳුන්වා දීම මෙතෙක්‌ නො හඳුනන ජන කණ්‌ඩායමක්‌ විසින් සිදු කරන ලද්දේ ද යන්න තවත් ගැටලුවක්‌ විය. ඒ පිළිබඳ ව තිබූ තවත් අදහසක්‌ වූයේ පැසිෆික්‌ දූපත්වාසීන් සාගර තරණයේ දක්‌ෂයන් වූ බැවින් ඔවුන් දකුණු ඇමෙරිකාවට පැමිණි මුහුදු ගමනක දී බතල ලබාගත් බවයි. ඒ කොලොම්බස්‌ ඇමෙරිකාවට පැමිණීමට බොහෝ කාලයකට පෙර කාලයකට පෙර දී ය. මේ සඳහා ඉදිරිපත් කර ඇති එක්‌ සාධකයක්‌ වන්නේ පේරු රාජ්‍යයෙහි බතල සඳහා භාවිත වන එක්‌ නමක්‌ වන Cumara හා සමාන නාමයක්‌ වන Kumara යන්න නවසීලන්තයේ භාවිත වීමයි.

පුරාවිද්‍යාත්මක අධ්‍යයනවලින් හෙළි වී ඇති ආකාරයට අදින් වසර 700කට පමණ පෙර පවා පොලිනීසියානු දූපත්වල බතල තිබී ඇත. ඒ අනුව ඇතැම් පර්යේෂකයන් විශ්වාස කළ පරිදි බතල පොලිනීසියානු දූපත්වලට පැතිරෙන්නේ යුරෝපීය ආගමනයෙන් පසුව නො වේ. ඉන් පෙර කාලයක දී බතල එම ප්‍රදේශවලට පැමිණ තිබෙයි.

එමෙන් ම මේ දක්‌වා සිදු කර ඇති ප්‍රවේණික පර්යේෂණවලින් ද තත්ත්වය තවත් සංකීර්ණ කර තිබිණි. සමහර පර්යේෂණවලින් පෙන්වා දී තිබුණේ බතල එක්‌ වල් දර්ශකයකින් පමණක්‌ ආරම්භ වූ බව වන අතර, තවත් අධ්‍යයනවලින් එය ඉතිහාසයේ දෙවරක්‌ සිදු ව ඇති බවක්‌ පෙන්වා දී තිබිණි. එය මේ පිළිබඳව ඇති දැනුම තවදුරටත් ගැටලු සහගත කරන්නක්‌ විය. මේ දෙවැනි මතය අනුව, දකුණු ඇමෙරිකානුවන් විසින් ගෘහාශ්‍රිතකරණය කරන ලද බතල පොලිනීසියානුවන් විසින් ලබාගනු ලැබ තිබෙයි. යුරෝපීයයන් වෙත ලැබී ඇත්තේ මධ්‍යම ඇමෙරිකානුවන් විසින් ගෘහාශ්‍රිතකරණය කරන ලද දෙවැනි බතල ප්‍රභේදයකි.


පුළුල් ප්‍රවේණික අධ්‍යයනයක්‌


පැසිෆික්‌ දූපත්වල බතල ශාකයේ සම්භවය පිළිබඳව ඇති ගැටලුව නිරාකරණය කිරීම සඳහා පර්යේෂකයන් පිරිසක්‌ සිදු කර ඇති මෑතක දී ප්‍රකාශයට පත් කර ඇති අධ්‍යයනය බතල ශාකය පිළිබඳව DNA යොදාගනිමින් මෙතෙක්‌ සිදු කරන ලද වඩාත් ම පුළුල් අධ්‍යයනය වෙයි.

මේ අධ්‍යයනය සඳහා ලෝකයේ දැකිය හැකි ශාකාගාර හා කෞතුකාගාර ගණනාවක ඇතුළත් වන බතල ශාක මෙන් ම ඒවායේ වල් දර්ශවල නිදර්ශකවලින් ප්‍රවේණික ද්‍රව්‍ය ලබාගෙන ඒවායේ DNA විශ්ලේෂණය කිරීමට මේ පර්යේෂකයන් පිරිස සමත් ව ඇත. එහි දී මීට පෙර සිදු කරන ලද අධ්‍යයනවලට වඩා වැඩි ප්‍රවේණික ද්‍රව්‍ය ප්‍රමාණයක්‌ ලබාගැනීමට ද ඔවුන් සමත් වීම විශේෂත්වයකි. ඒ සඳහා අති නවීන DNA අනුක්‍රමය සැකසීමේ ක්‍රම යොදාගෙන තිබෙයි.

බතල ශාකයේ ප්‍රවේණික සම්භවය පිළිබඳව මේ අධ්‍යයනයෙන් පැහැදිලි වී ඇත්තේ ලෝකයේ දැකිය හැකි සියලු බතල ප්‍රභේදවල පූර්වජයා වන්නේ එක්‌ වල් ශාකයක්‌ බවයි. ළඟ ම ඥාතිත්වය දක්‌වන මේ ශාකය වන්නේ කැරිබියානු ප්‍රදේශවල වැවෙන Ipomoea trifida නම් ශාකයයි. මේ විද්‍යාඥයන්ට අනුව මේ ශාකයේ පුෂ්ප බතල ශාකයේ පුෂ්පවලට ද බොහෝ සේ සමාන වෙයි. එහෙත් Ipomoea trifida ශාකයේ දැකිය හැක්‌කේ කුඩා පැන්සලක්‌ වැනි අලයකි. එය ආහාරයට ගත හැකි අලයක්‌ නො වෙයි.

මේ පර්යේෂණයේ දී ගණන් බලා ඇති ආකාරයට බතල ශාකයේ පූර්වජයන් Ipomoea trifida ශාකයෙන් වෙන් වී ඇත්තේ අදින් වසර 800,000කට පමණ පෙර දී ය.

ඔවුන් මෙහි දී පැසිෆික්‌ දූපත්වලින් හමු වී ඇති බතල ශාකවල අතීතය පිළිබඳව ද සොයා බැලීමට උත්සාහ කර ඇත. නිදසුනක්‌ ලෙස සුප්‍රකට දේශ ගවේෂකයකු වූ කපිතාන් කුක්‌ට 18 වැනි සියවසේ දී පොලිනීසියාවෙන් හමු වූ බතල නිදර්ශක පිළිබඳව ප්‍රවේණික ද්‍රව්‍ය අධ්‍යයනයට ලක්‌ කර ඇත. ඒ ලන්ඩනයේ ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් ව ඇති නිදර්ශකයක්‌ යොදාගනිමිනි.

මෙහි දී පෙනී ගොස්‌ ඇත්තේ පොලිනීසියානු බතල ප්‍රවේණික වශයෙන් වෙනස්‌ බවයි. සෙසු බතල ප්‍රභේදවලින් එම බතල වෙන් ව ගොස්‌ ඇත්තේ අදින් වසර 111,000කට පමණ පෙර දී ය. මෙහි ඇති වැදගත්කම වන්නේ එම කාල වකවානුව අනුව එවැනි කාලයක දී පොලිනීසියානු දූපත්වලට බතල රැගෙන ඒමට මිනිසුන්ට හැකියාවක්‌ නො වීම ය. මිනිසුන් නවගිනියාවට පැමිණියේ අදින් වසර 50,000කට පමණ පෙර වන අතර, පැසිෆික්‌ දූපත්වලට පැමිණියේ ඊටත් පසු කලක හෙවත් වඩාත් මෑත කාලයක දී ය.

මේ අනුව පැසිෆික්‌ දූපත්වලට බතල ගෙන ආවේ කිසිදු මිනිස්‌ කණ්‌ඩායමක්‌ වීමට ඇති අවස්‌ථාව බෙහෙවින් සීමිත බව පෙනෙයි. එම දූපත් වාසීන් හෝ ස්‌පාඤ්ඤ ජාතිකයන් හෝ ඇමෙරිකාවෙන් බතල ගෙන ආ බවට ඇති මතය නිවැරැදි නො වන බව මේ පර්යේෂකයන් ගේ අදහස වෙයි.

එහෙත් මෙහි දී පැන නැඟෙන ගැටලුව වන්නේ එතරම් කාලයකට ඉහත දී ඇමෙරිකාවේ සිට පොලිනීසියානු දූපත්වලට බතල රැගෙන ගියේ කවුරුන් ද යන්න ය. එය මිනිසුන් විසින් සිදු නො කළේ නම් එය සිදු වූයේ කෙසේ ද? මේ පිළිබඳව අපූරු පැහැදිලි කිරීමක්‌ මේ පර්යේෂකයන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව පක්‌ෂීන් හා සාගර රළ වැනි ස්‌වාභාවික සාධක මේ සඳහා හේතු වන්නට ඇති බව ඔවුන් යෝජනා කර තිබෙයි. මුහුදේ පාවීමෙන් මෙවැනි අල වර්ගවලට ඈත ප්‍රදේශවලට ළඟා විය හැකි ය. එසේ ම අල වර්ග වැනි ශාක කොටස්‌ පක්‌ෂීන් විසින් දුර ප්‍රදේශවලට ගෙන යනු ලැබීම දැකිය හැකි ය.

මෙවැනි තවත් ශාක වර්ග පිළිබඳව සාධක හෙළි වී තිබෙයි. හවායි දූපත්වල පිහිටා ඇති වියළි වනාන්තරවල පමණක්‌ දැකිය හැකි Hawaiian moonflower නම් ශාකයේ ළඟ ම ඥාතිත්වයක්‌ දැකිය හැකි ශාක දැකිය හැකි වන්නේ මෙක්‌සිකෝවේ ය. එම ශාකය එහි ඥාති ශාකවලින් වෙන් වූයේ අවම වශයෙන් අදින් වසර මිලියනයකට පමණ ඉහත දී බව විද්‍යාඥයන් ගේ මතය වෙයි.

කෙසේ වෙතත් මේ මතයට එකඟ නො වන පිරිස්‌ ද ඇති බව පෙනෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ ස්‌පාඤ්ඤ ජාතිකයන් ඇමෙරිකාවට පැමිණි පසුව ඇති වූ වෙනස්‌ වීම් සමඟ බතල ශාකයේ විවිධත්වයෙන් විශාල ප්‍රමාණයක්‌ නැති ව යන්නට ඇති බව ය. පැසිෆික්‌ සාගරයේ දූපත්වල ගෙන ගිය බතලවලට සම්බන්ධ ප්‍රවේණික ද්‍රව්‍ය මේ නිසා ඒ කාලය වන විට අතුරුදන් ව තිබෙන්නට ඇත යන්න ඔවුන් ගේ අදහසයි.

කෙසේ වෙතත් උක්‌ත පර්යේෂණය අනුව බතල ශාකයේ මුල් ව්‍යාප්තිය සඳහා මිනිසුන් නො ව වෙනත් සාධක හේතු වී ඇති බව පැහැදිලි ය. ස්‌වාභාවික ක්‍රම මඟින් බතල ශාකය ඇමෙරිකාවේ සිට පැසිෆික්‌ දූපත්වලට ව්‍යාප්ත වී ඇත.

මූලාශ්‍රය : Current Biology, DOI: 10.1016/j.cub.2018.03.020


ශ්‍රී ලංකාවට බතල පැමිණියේ කවදා ද ?


බතල යනු ශ්‍රී ලංකාවේ ද බෙහෙවින් ම ජනප්‍රිය ආහාර භෝගයකි. එය අප රටේ කෙතරම් ජනප්‍රිය වී තිබේ ද යත් මෙය ඇමෙරිකා මහාද්වීපය නිජබිම කරගත් භෝගයක්‌ බව පිළිගැනීම පවා ඇතැමුන්ට අසීරු විය හැකි ය. අප දන්නා ආකාරයට බතල ශාකයට ඒ නම සැදුණු ආකාරය පිළිබඳව ද බොහෝ දෙනා දන්නා ජන කතාවක්‌ පවා තිබෙයි. බතල හා සම්බන්ධ බතලවත්ත වැනි ස්‌ථාන නාම ගණනාවකි. එහෙත් මේ බොහෝ ස්‌ථාන නාමවලට ඇත්තේ මෑතකාලීන ප්‍රභවයක්‌ බව පෙනේ.

1670 දශකයේ දී මෙරට විසූ පෝල් හර්මන් විසින් එකතු කළ ශාක එකතුවේ බතල ශාකය දැකිය නො හැකි වීම ද විශේෂත්වයකි. 1824 දී සිය A Catalogue of the Indigenous and Exotic Plants Growing in Ceylon කෘතියේ බතල ඇතුළත් කර ඇති ඇලෙක්‌සැන්ඩර් මුන්, එය වගා කරන භෝග බව සඳහන් කරයි. ඔහු සුදු, රතු, කොච්චි, පත්තෑ සහ කහ යනුවෙන් ප්‍රභේද පහක්‌ ගැන ද සඳහන් කර තිබෙයි. හෙන්රි ට්‍රයිමන් සිය Flora of Ceylon කෘතියේ තෙවැනි කාණ්‌ඩයේ (1890 දශකයේ මුද්‍රිත) සඳහන් කරන්නේ ද බතල ස්‌වාභාවික පරිසරයේ දැකිය නො හැකි බව හා අත්හැර දැමූ ගෙවතුවල දැකිය හැකි බව ය. මේ අනුව උදය රාජපක්‌ෂ සිය Traditional food plants in Sri Lanka කෘතියේ සඳහන් කරන පරිදි බතල යනු ඕලන්ද ජාතිකයන් විසින් මෙරටට ගෙන එන ලද ශාකයක්‌ යන්න නිවැරැදි බව පෙනෙයි.

එසේ ම මෙරට ශාක නාම පිළිබඳ ව සාහිත්‍ය කෘතිවල යෙදී ඇති නම් පිළිබඳ ව අධ්‍යයනයක්‌ සිදු කර ඇති තිස්‌මඩ නන්දාරාම හිමියන් ගේ උද්භිද නාම ප්‍රදීපිකා කෘතියේ සඳහන් පරිදි බතල යන නම ඇතුළත් කෘතිය එහිමියන්ට හමු ව ඇත්තේ 1920 දශකයට අයත් කාටර් ගේ ශබ්දකෝෂයේ පමණකි.

No comments:

Post a Comment