Thursday, March 2, 2017

ට්‍රම්ප් ගේ ඇමෙරිකාව,දේශගුණ වෙනස්‌ වීම හා විද්‍යාව

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 15.02.2017, පි. 14-15

http://www.vidusara.com/2017/02/15/feature2.html

ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වීමෙන් පසු ඉදිරියේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ඇති විය හැකි බලපෑම් ගැන දැඩි සාකච්ඡාවක්‌ මේ වන විට ඇති වී තිබේ. ඊට හේතු වී ඇත්තේ ජනාධිපතිවරණ සමයේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ට්‍රaප්‍රකාශ කළ දේ ය. ඉන් එකක්‌ වූයේ දේශගුණ වෙනස්‌ වීම චීනය විසින් ඇති කරන ලද මිථ්‍යාවක්‌ බවයි. එසේ ම තමන් බලයට පත් වූ පසුව දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ පැරිස්‌ ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වන බව ද පෙන්වා දී තිබිණි. ට්‍රම්ප් ප්‍රකට වූයේ දේශගුණ සංශයවාදියකු හෙවත් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ විද්‍යාත්මක දැනුම ප්‍රශ්න කරන්නකු ලෙස ය. ඔහු ගේ කණ්‌ඩායමේ සමීපතමයන් බොහෝ දෙනා ද එබඳු අය ලෙස ප්‍රකට වූවන් විය. එසේ ම ෙµdසිල ඉන්ධන කර්මාන්තයට සහයෝගය දෙන ප්‍රතිපත්තියක්‌ ඔහු අනුගමනය කළ අතර, ඔහු ගේ ප්‍රබල ආධාකරුවන් අතර ද එවැනි අය දැකිය හැකි විය.

ධනේෂ් විසුම්පෙරුමමේ නිසා බලයට පත් වූ පසුව ට්‍රම්ප් කුමන ආකාරයකින් කටයුතු කරනු ඇති ද යන්න ගැටලුවක්‌ වී තිබිණි. මේ වන විට ට්‍රම්ප් පාලනය විසින් ගනු ලැබ ඇති පියවර නිසා ඇති වී තිබෙන තත්ත්වය කෙසේ ද යන්න ඇමෙරිකාවට මෙන්ම සමස්‌ත ලෝකයට ද වැදගත් වේ.

රාජ්‍ය ආයතනවලට බලපෑම් කිරීම


ජනාධිපති ධූරයේ වැඩ භාරගත් පසුව ට්‍රම්ප් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව ගත් පියවර කිහිපයක්‌ වාර්තා විය. එරට පාරිසරික ආරක්‌ෂණ ඒජන්සිය (Environmental Protection Agency) සම්බන්ධව ඇති වී තිබෙන අර්බුදය මෙවැනි එක්‌ ගැටලුවකි.

එ්ජන්සියේ වෙබ් අඩවියේ දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ වෙබ් පිටුවේ ඇති තොරතුරු ඉවත් කරන ලෙස ට්‍රම්ප් පාලනය නියම කර ඇති බව පළමුව මාධ්‍ය මගින් වාර්තා වූ කරුණ ය. එහෙත් මහජනතාව හා මාධ්‍ය ඔස්‌සේ ඇති වූ ප්‍රචාරයත් සම`ග ට්‍රම්ප් පාලනය මඳක්‌ පසුබා ඇති බව පෙනේ. පසුව වාර්තා වූයේ එහි ඇතුළත් තොරතුරු සමාලෝචනයකට ලක්‌ කරන බව ය. අප මේ සටහන තබන පෙබරවාරි මස 10 දින වන විට ද අදාළ වෙබ් පිටුව එ්ජන්සි වෙබ් අඩවියේ දැකිය හැකි ය (www.epa.gov/climatechange). කෙසේ වෙතත් ඉදිරියේ දී මේ වෙබ් අඩවියට කුමක්‌ සිදු වේ ද යන්න අපැහැදිලි ය.

එ්ජන්සිය මුහුණ පා ඇති අභියෝගය එය ඉක්‌මවා යයි. එහි මීළ`ග ප්‍රධානියා ලෙස නම් කර ඇති ස්‌කොට්‌ පෘයිට්‌ යනු පරිසර දූෂකයන් වෙනුවෙන් ඒජන්සියට එරෙහි ව වාර ගණනාවක්‌ ම අධිකරණ ක්‍රියාමාර්ග ගත් අයෙකි. එ් අනුව කුමන ආකාරයේ ප්‍රතිසංස්‌කරණ එහි ඇති වේ ද යන්න ගැටලුවකි. ට්‍රම්ප් ජනාධිපතිවරණ සමයේ පැවසූ දේ අනුව ගත් විට එ්ජන්සිය අහෝසි කිරීම, මධ්‍යම (පෙඩරල්) රජය විසින් ඊට ලබා දෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම හා එහි බලතල විමධ්‍යගත කර ප්‍රාන්තවලට පැවරීමට කටයුතු කිරීම සිදු විය හැකි බව පැවසේ. කෙසේ වෙතත් එම`ගින් කරන ලද සාධනීය කාර්යභාරයට යම් යම් බාධා ඇති විය හැකි බව නම් ඉතා පැහැදිලි ය.

එසේ ම පාරිසරික ආරක්‌ෂක එ්ජන්සිය විසින් ප්‍රකාශයට පත් කරන අධ්‍යයන ප්‍රසිද්ධ කිරීමට පෙර සමාලෝචනය කළ යුතු බවට ද නියම කර තිබේ. මෙවැනි ම නියෝගයක්‌ ඇමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ද නියෝග කර ඇති බව ද පුවත්පත්වල පළ විය. මෙය අදාළ පර්යේෂණ විස්‌තර ආදිය මාධ්‍ය වෙත ලබා දීම පාලනය කිරීමට දරන ප්‍රයත්නයක්‌ බව පැහැදිලි ය. මෙසේ සමාලෝචනය කිරීමට යන්නේ ට්‍රම්ප් ගේ දේශපාලන හිතවාදීන් පිරිසක්‌ බව ද වාර්තා වේ. ඒ අනුව විද්‍යාත්මක දැනුම දේශපාලන අධිකාරියේ බලපෑමට ලක්‌ කිරීමක්‌ සිදු වෙමින් පවත්නා බව පෙනේ.

පාරිසරික එ්ජන්සියේ කටයුතු එරට නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ කමිටුවක්‌ හමුවේ තදින් විෙච්චනයට ලක්‌ ව ඇත. එහි නියෝග දේශපාලනීකරණය වූ විද්‍යාවක්‌ බවට චෝදනා එල්ල වී ඇති අතර, ආයතනයේ තීරණ ගැනීමේ ක්‍රමවේදයේ ප්‍රතිසංස්‌කරණ ඇති කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව එ්ජන්සියේ කටයුතුවල යම් පාලනයක්‌ සිදු කිරීම නව රජයේ අපේක්‌ෂාව බව පැහැදිලි ය. එසේ ම ඒජන්සියේ උපදේශක මණ්‌ඩලය සමබර නොමැති බවට ද ඔවුන් චෝදනා එල්ල කර ඇත.

ඇතැම් ඇමෙරිකානු රාජ්‍ය ආයතන ට්‍රම්ප් ගේ ජයග්‍රහණයෙන් පසුව ස්‌වයං වාරණයක්‌ ක්‍රියාත්මක කළ බවක්‌ දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, රෝග පාලනය හා වැළැක්‌වීම සඳහා වූ මධ්‍යස්‌ථානය (Central Disease Control and Prevention) නම් ආයතනය කලක්‌ තිස්‌සේ සංවිධානය කළ දේශගුණ වෙනස්‌ වීමේ සෞඛ්‍ය බලපෑම් නම් සමුළුවක්‌ හදිසියේ අවලංගු කළේ ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිව්රුම් දීමට පෙරතුව ය. එය පැමිණෙන පරිපාලනයේ හැඩරුව දන්නා බැවින් කළ ස්‌වයං වාරණයක්‌ විය හැකි බවට අදහස්‌ පළ වී තිබේ.

ධවල මන්දිර වෙබ් අඩවිය


ධවල මන්දිර වෙබ් අඩවියේ මෙතෙක්‌ තිබූ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ පිටුව (www.whitehouse.gov/energy/climatechange) ඉවත් කරන ලද්දේ ට්‍රම්ප් පාලනයේ පළමු දින කිහිපය ඇතුළත ය. පෙබරවාරි 10 දින වන විට ද අදාළ පිටුවේ කිසිදු දත්තයක්‌ නොමැත. ඔබාමා පාලනය යටතේ එහි තිබූ තොරතුරු හිටපු ජනාධිපති බැරැක්‌ ඔබාමා හා සම්බන්ධ "ඔබාමා ලේඛනාගාරය" නම් වෙබ් අඩවියක්‌ වෙත (https://obamawhitehouse.archives.gov) යොමු කර ඇත. එහෙත් වෙනත් වැදගත් මූලාශ්‍ර ද ඉන් ඉවත් කර ඇති බව ඇතැම් වාර්තා සඳහන් කරයි. ඔබාමා පාලනය යටතේ ධවල මන්දිර වෙබ් අඩවියේ තිබූ තොරතුරු වෙනුවට ට්‍රම්ප් ගේ බලශක්‌ති ප්‍රතිපත්තිය පිළිබඳ තොරතුරු දැකිය හැකි ය.

දේශගුණ ගිවිසුම් හා ඇමෙරිකාව


දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ජගත් උත්සාහයට බලපෑම් කළ හැකි පියවර ද ට්‍රම්ප් විසින් ගනු ලබන බව ප්‍රකාශ වී ඇත. පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වීමට ට්‍රම්ප් ගේ පාර්ශ්වය විසින් ලබා දෙන ලද පොරොන්දුව එවැන්නකි. එ් සඳහා යම් කලක්‌ ගත විය හැකි නමුත් එය සිදු වනු ඇති බව ට්‍රම්ප් ගේ සමීපතම ආධාරකරුවකු වන, ඔහු විසින් පරිසර ආරක්‌ෂක එ්ජන්සිය පරිවර්තනය කිරීම සඳහා පත් කරන ලද උපදේශකයකු ලෙස පැවසෙන මයිරන් එබෙල් පවසා තිබිණි. ඔහුට අනුව ට්‍රම්ප් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියෙන් ද ඉවත් වීමට අදහස්‌ කරන බව පැවසේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් විසින් රාජ්‍ය ලේකම් ධූරයට පත් කරන ලද රෙක්‌ස්‌ ටිලර්සන් පැරිස්‌ ගිවිසුම සම්බන්ධයෙන් වෙනස්‌ අදහසක්‌ පළ කර ඇති බව පෙනේ. ඔහුට අනුව ගිවිසුමෙන් ඉවත් වීම එ් පිළිබඳ කටයුතුවලට සම්බන්ධ වීමට ඇමෙරිකාව සතු අවස්‌ථාව අහිමි කරගැනීමකි. පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වීම ඇමෙරිකාවට අන්තර්ජාතික වශයෙන් ඇති තත්ත්වය නො සලකා හැරීමක්‌ වන අතර ම, එය ඇමෙරිකාව සතු ව ඇති පිළිගැනීමට ද ගැටලුවක්‌ විය හැකි ය. මේ නිසා පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වීම කඩිනමින් සිදු නො වීමට ද අවස්‌ථාවක්‌ තිබේ. ජනාධිපතිවරණයට පෙර දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ට්‍රම්ප් දැක්‌වූ අදහස්‌ ජනාධිපතිවරණයෙන් පසුව වඩාත් මෘදු බවට පත් ව ඇති බව ඇතැම් විශ්ලේෂකයන් සඳහන් කර ඇති බව මෙහි ලා සටහන් කළ යුතු වේ.

අනෙක්‌ අතට වර්තමාන දේශගුණ සටන සම්බන්ධව ඇමෙරිකාව ගන්නා පියවර හා එයට ලෝකයේ සෙසු රටවල් කුමන ආකාරයකින් ප්‍රතිචාර දක්‌වනු ඇති ද යන්න මත දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ සටනේ අනාගතය තීරණය විය හැකි ය.

මේ අතර පසුගිය සතියේ වාර්තා වූ පරිදි ට්‍රම්ප් ගේ නායකත්වය යටතේ ඇමෙරිකාව කුමන පියවර ගත්ත ද, හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා වූ සටනට නායකත්වය ලබා දීමට යුරෝපය සූදානම් බව යුරෝපා කොමිසමේ බලශක්‌ති ප්‍රධානියා පවසා ඇත. මෙය වැදගත් ප්‍රකාශයක්‌ වන්නේ යුරෝපය මේ නායකත්වය මේ දක්‌වා ද ලබා දී ඇති බැවිනි.

එසේ ම අන්තර් ජාතික අරමුදල් සඳහා ඇමෙරිකාව ලබා දෙන ආදාර කපා හරින බවට ට්‍රම්ප් කළ ප්‍රකාශ ද වැදගත් ය. එසේ සිදු වුව හොත් ඉදිරියේ දී දියුණු වන රටවල් විවිධ කටයුතුවලට යොදාගැනීමට අපේක්‌ෂා කළ මුදල් අඩු විය හැකි ය. නිදසුනක්‌ ලෙස දේශගුණ වෙනස්‌ වීමට හැඩගැසීමට ලබා දීමට අපේක්‌ෂා කරන අරමුදල සඳහා ඇමෙරිකාව ලබා දීමට අදහස්‌ කර තිබූ ඩොලර් බිලියන 3ක මුදල කපා හරින බව පැවසේ. එම මුදල් ඇමෙරිකානුවන් වෙනුවෙන් යොදවන බව ඔහු ලබා දුන් පොරොන්දුවකි. ඉදිරි අරමුදල් සැපයීම පිළිබඳ ඇති විය හැකි ගැටලු එ් හා සම්බන්ධව කටයුතු කරන පිරිස්‌වල අවධානයට මේ වන විට ද ලක්‌ ව ඇති කරුණකි.

මේ වන විට කාබන් බද්දක්‌ ම`ගින් විමෝචන අඩු කිරීමේ ක්‍රමවේදයක්‌ ද යෝජනා වී තිබේ. එය ඉදිරිපත් ව ඇත්තේ රිපබ්ලිකන් පාක්‌ෂික සෙනෙට්‌ සභිකයන් පිරිසක්‌ වෙතිනි. එහි දී කාබන් බද්දක්‌ මඟින් විමෝචන අඩු කිරීම සඳහා සියලු ම අංශවල නිෂ්පාදකයන් පෙලඹවීම සිදු කිරීමට අපේක්‌ෂිත ය. එමඟින් එකතු වන මුදල ජනතාව වෙත ලබා දීමේ ක්‍රමවේදයක්‌ සැලසුම් කර තිබීම දේශපාලනමය අරුතකින් කර ඇති බව පෙනේ. මෙය ප්‍රායෝගිකව සිදු කළ හැකි නම් සාර්ථක විය හැකි බව ඇතැම් පාර්ශ්ව සිතුව ද, කාබන් විමෝචන අඩු කිරීම පිළිබඳ ක්‍රමවේදයකට නව පරිපාලනය එක`ග වේ ද යන්න පළමුව විසඳාගත යුතු ගැටලුවකි. එසේ ම ලෝකය වෙනස්‌ ම`ගක්‌ ගන්නා අතර, යළිත් මෙවැන්නක්‌ වෙත යොමු වීම තත්ත්වය තරමක්‌ සංකීර්ණ කරන්නකි.

දේශගුණ අහිතකර ක්‍රියාමාර්ග


මේ අතර හිටපු ජනාධිපති බැරැක්‌ ඔබාමා විසින් ක්‍රියාත්මක කරන ලද පිරිසිදු බලශක්‌ති සැලසුම (Clean Pදwer Plan) නම් සැලසුම ද ට්‍රම්ප් ගේ විවේචනයට ලක්‌ වූවකි. දේශීය වශයෙන් හරිතාගාර වායු විමෝචන අඩු කිරීමට හා දේශගුණ වෙනස්‌ වීම පාලනයට සුදුසු ම ක්‍රියාමාර්ගය සේ සැලකෙන මේ හා සම්බන්ධ නීති අහෝසි කරන බවට ට්‍රම්ප් මැතිවරණ පොරොන්දුවක්‌ දී තිබිණි. එ් යටතේ ප්‍රධාන ලෙස ම සිදු කිsරීමට නියමිත ව තිබුණේ විදුලි බලාගාර ආශ්‍රිත විමෝචන සීමා කිරීම ය. එමඟින් පිරිසිදු බලශක්‌තිය ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර තිබිණි.

එහෙත් මේ වන විට ෙµdසිල ඉන්ධන පාලනය සඳහා ඔබාමා ගෙන තිබූ පියවර අහෝසි කිරීම සඳහා ට්‍රම්ප් පාලනය කටයුතු කරමින් තිබේ. ස්‌වදේශිකයන් ගේ ප්‍රදේශවලට සිදු විය හැකි හානිය හා පරිසරයට සිදු විය හැකි හානිය වැනි කරුණු මෙන්ම පොසිල ඉන්ධන ප්‍රවර්ධනය නො කිරීමේ ඔබාමා ගේ පිළිවෙත යටතේ ඔබාමා පාලනය විසින් ක්‍රියාත්මක නො කරනු ලැබීමට තීරණය කර තිබූ ආන්දෝලනාත්මක තෙල් නළ දෙකක්‌ පිළිබඳ සිදුවීම මීට නිදසුනකි. මේ සඳහා අනුමැතිය ලබා දීමට ට්‍රම්ප්ට අපේක්‌ෂාව ඇති බව පෙනේ. ඊට අදාළ පියවර මේ වන විටත් නව පාලනය මඟින් ගෙන තිබේ.

විද්‍යාව හමුවේ ඇති අභියෝගය


ඉහත දැක්‌වූ පරිදි දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව කටයුතු කරන ආයතන පිළිබඳව ගෙන ඇති පියවර ද, සංක්‍රමණිකයන් සම්බන්ධව ට්‍රම්ප් අනුගමනය කරන ප්‍රතිපත්ති ද නිසා විද්‍යාවට ඇති විය හැකි බලපෑම් ගැන ඇමෙරිකාවේ මෙන්ම ලෝකය පුරා විද්‍යාඥයන් ගේ නොමඳ අවධානය යොමු වී ඇත.

ඉහත කී ආකාරයෙන් ඇමෙරිකානු රාජ්‍ය අයතනවල වෙබ් අඩවිවලට පැනවීමට ගිය වාරණයේ අරමුණ දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ තොරතුරු මහජනතාව වෙත සන්නිවේදනය කිරීම වැළැක්‌වීම විය හැකි ය. මෙය විද්‍යා සන්නිවේදනය හා අධ්‍යාපනයට ද බලපාන්නකි. විද්‍යාත්මක පර්යේෂණවලින් ලැබෙන දැනුමට ප්‍රවේශ වීමට සීමා පැනවීම විද්‍යාඥයන්ට මෙන්ම පුරවැසියන්ට ද ඇති අයිතියක්‌ නො සලකා හැරීමක්‌ සේ දක්‌වා තිබේ. එසේ ම මේ ආයතනවලින් සිදු කරන ලද පර්යේෂණවලින් හෙළි ව ඇති කරුණු හෙවත් සාධක මත පදනම් වූ දැනුම නො සලකා හැරීමට ගන්නා උත්සාහයක්‌ විද්‍යාවේ අභිවෘද්ධියට හේතු නො වන බව පැහැදිලි ය.

එසේ ම එම ආයතනවලට සැපයෙන අරමුදල් පාලනය කිරීම ම`ගින් පර්යේෂණ පැවැත්වීම පාලනය කළ හැකි බව පැහැදිලි කරුණකි. තවත්a වාර්තාවක සඳහන් වූ ආකාරයට නැවත සිදු කළ නොහැකි ආකාරයේ පර්යේෂණ ම`ගින් තීරණ ගැනීම පවා විවේචනයට ලක්‌ ව තිබේ. එහෙත් මේ පිළිබඳව කරුණු දක්‌වන එ් ආයතනවලට හා විශ්ව විද්‍යාලවලට සම්බන්ධ විද්‍යාඥයන්ට අනුව ඇතැම් පර්යේෂණ එසේ නැවත සිදු කිරීම පහසු නො වේ. විශේෂයෙන් වසර 10ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ සිදු කළ අධ්‍යයන නැවත සිදු කිරීම විශාල කාලයක්‌ හා ධනයන් වැන වන කාර්යයකි. එසේ ම මහජනතාව යොදාගත් අධ්‍යයනයක්‌ යළිත් එ් ආකාරයෙන් ම සිදු කිරීම ද කළ නොහැක්‌කකි.

අනෙක්‌ අතට ට්‍රම්ප් හඳුන්වා දී ඇති සංක්‍රමණික පාලන නියෝග ම`ගින් ද ඇමෙරිකාවේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයට හා විද්‍යාවට හානි සිදු විය හැකි බව දක්‌වා තිබේ. එයට හේතුව ඇමෙරිකාවේ සිටින වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් අතරින් සැලකිය යුතු පිරිසක්‌ වෙනත් රටවලින් සංක්‍රමණය වූවන් වීම ය. පසුගිය සතිය වන විට ට්‍රම්ප් ගේ සංක්‍රමණික නීති අධිකරණ නියෝග ම`ගින් අත්හිටුවා තිබිණි.

මෙවැනි ම උත්සාහයක්‌ දේශගුණ වෙනස්‌ වීම නො සලකා හළ තවත් රිපබ්ලිකන් පාක්‌ෂික ජනාධිපතිවරයකු වූ ජෝර්ඡ් බුෂ් පාලනය යටතේ ද ක්‍රියාත්මක වී ඇත. ඔහු ගේ අට වසරක පාලන කාලය ඇතුළත ඇමෙරිකාවේ නාසා හා පාරිසරික ආරක්‌ෂණ ඒජන්සිය වැනි රාජ්‍ය ආයතනවල සේවය කළ විද්‍යාඥයන් 1,600ක්‌ පමණ පිරිසකට විවිධ ආකාරයේ අවවාද කිරීම් ලැබී ඇති බව සමීක්‌ෂණයකින් හෙළි වී තිබිණි. එ් ප්‍රධාන වශයෙන් ම දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව තොරතුරු සන්නිවේදනය කිරීමේ දී ය.

මේ තත්ත්වය විද්‍යාව වැනි දැනුමක්‌ පිළිබඳව වුව ද දේශපාලන බලපෑම් ඇති විය හැකි ආකාරය සම්බන්ධව කදිම නිදසුනකි. රාජ්‍ය ප්‍රතිපත්ති විද්‍යාවේ අනාගතයට බලපෑමක්‌ ඇති කළ වෙනත් මෙවැනි අවස්‌ථා ඉතිහාසයේ තිබී ඇත. ඇතැම් විට විද්‍යාත්මක දැනුමට අතීතයේ ඇති වූ බලපෑම් මීට වඩා විශාල ය. එහෙත් අද ඇති වී තිබෙන අභියෝගය වෙනස්‌ හා බරපතළ වූවක්‌ සේ සැලකිය හැකි ය.

විද්‍යාඥයන් හා එ් පිළිබඳ උනන්දුවක්‌ දක්‌වන පිරිස්‌ ට්‍රම්ප් පාලනයට එරෙහි ව විරෝධතා දැක්‌වීමට පටන්ගෙන ඇත්තේ මේ නිසා ය. විද්‍යාඥයන් කැරලි ගැසිය යුතු කාලය පැමිණ ඇතැයි ලෝක ප්‍රකට දේශගුණ විද්‍යාඥයකු වන මහාචාර්ය මයිකල් මාන් පවසා ඇත. ඔහු පවසන ආකාරයට ඇමෙරිකාව යළිත් ගමන් කරමින් සිටින්නේ දේශගුණ වෙනස්‌ වීම නො පිළිගන්නා කාලයක්‌ වෙත ද යන්න ගැටලුවකි. පර්යේෂණවල නියෑළෙමින් හා උගන්වමින් සිටින විද්‍යාඥයන් වීදි බැස උද්ඝෝෂණය කිරීමට පටන්ගෙන ඇත.

අනෙක්‌ අතට ඇමෙරිකානු ජනතාව ද ට්‍රම්ප් ගේ පියවර ගැන කැමැත්තක්‌ දක්‌වන්නේ ද යන්න සැක සහිත ය. යේල් විශ්වවිද්‍යාලය ම`ගින් සිදු කරන ලද සමීක්‌ෂණයකට අනුව ට්‍රම්ප් ගේ ඡන්දදායකයන් අතරින් බහුතරයක්‌ දේශගුණ වෙනස්‌ වීම සිදු වෙමින් තිබෙන බව විශ්වාස කරතිs. ට්‍රම්ප්ට ඡන්දය දුන් පිරිස අතරින් 49%ක්‌ පමණ එසේ සිතන බව පෙනෙන්නට තිබේ. එය සිදු නො වන බව විශ්වාස කරන්නේ 30%ක්‌ තරම් අඩු පිරිසකි. එසේ ම එම සමීක්‌ෂණයේ දී හෙළි වූ පරිදි ඡන්දදායකයන් අතරින් 47%ක්‌ පමණ පිරිසක්‌ සිතන්නේ පැරිස්‌ ගිවිසුම වැනි ජාත්‍යන්තර ගිවිසුම් සම`ග කටයුතු කළ යුතු බව ය. එසේ ම වඩා මෑතක දී ක්‌විනිපියෑක්‌ විශ්වවිද්‍යාලය ම`ගින් සිදු කරන ලද තවත් සමීක්‌ෂණයකට අනුව ඇමෙරිකානුවන් අතරින් 61%ක්‌ තරම් පිරිසක්‌ දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ක්‍රියාත්මක වන නීතිරීති ඉවත් කිරීමට විරුද්ධ ය. එවැන්නකට පක්‌ෂ වන්නේ එරට ජනතාව ගෙන් 29%ක්‌ තරම් පිරිසක්‌ පමණකි.

ලෝක ප්‍රකට ඉරණම් දින ඔරලෝසුවේ (Doomsday Clock) වේලාව තත්ත්පර 30කින් ඉදිරියට ගෙන යැමට පසුගිය ජනවාරි මස පරමාණුක විද්‍යාඥයන් ගේ බුලටිනය ගත් තීරණයට ද ට්‍රම්ප් ගේ කටයුතු හේතු වී ඇත. මෙතෙක්‌ රාත්‍රී 11(57(00 ලෙස තිබූ එහි වේලාව රාත්‍රී 11(57(30 ලෙස මධ්‍යම රාත්‍රිය හෙවත් විනාශයට වඩාත් ආසන්න ලෙස සකස්‌ කරන ලදි. එ් සඳහා හේතු වූ කරුණු අතර ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම තවදුරටත් සිදු වීම හා දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව තවදුරටත් කටයුතු කළ යුතු වීම ද එක්‌ සාධකයකි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් න්‍යෂ්ටික ආයුධ පිළිබඳව කළ ප්‍රකාශ, දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ විද්‍යාත්මක දැනුම ගැන අවිශ්වාසය පළ කිරීම හා ඇමෙරිකානු ජනාධිපතිවරණය හා සම්බන්ධ සිදුවීම් නිසා මතු ව ඇති ජගත් මට්‌ටමේ අස්‌ථාවර බව ද එ් සඳහා හේතු වී ඇති බව එ් පිළිබඳව නිකුත් කර ඇති නිවේදනයේ දැක්‌වේ.

"විද්‍යාව සඳහා පා න`ගමු" මහා පාගමන


අද දවසේ විද්‍යාව පොදුවේ මුහුණ පා ඇති මේ අභියෝග සැලකිල්ලට ගෙන විද්‍යාව වෙනුවෙන් වූ පාගමනක්‌ "විද්‍යාව සඳහා පා නගමු" (March for science) යන තේමාව ඔස්‌සේ සංවිධානය කිරීමට කටයුතු කර තිබේ. එහි අරමුණ වන්නේ විද්‍යාත්මක ප්‍රජාවේ විරෝධය පළ කිරීම හා විද්‍යාත්මක දැනුමේ ඇති වැදගත්කම ස්‌ථාපනය කිරීම ය.

එ් සඳහා තෝරාගෙන ඇත්තේ අප්‍රේල් 22 දිනට යෙදෙන මිහිතල දිනයයි. මේ අනුව එදින සාධක සහිත ප්‍රතිපත්ති සඳහා සහයෝගය දීම ප්‍රවර්ධනය කරමින් විරෝධතා රැළියක්‌ ඇමෙරිකාවේ අගනුවර වන වොෂින්ටන් ඩීසීහි දී පැවැත්වෙනු ඇත. එ් හා සමගාමීව එරට වෙනත් නගරවල ද එවැනි රැළි ද පැවැත්වීමට තීරණය කර තිබේ. මේ සඳහා ඇමෙරිකාව පුරා වෙසෙන විද්‍යාඥයන් ගේ සහභාගිත්වය අපේක්‌ෂා කරන අතර, විද්‍යාවට ආදරය කරන හා උනන්දුවක්‌ දක්‌වන සාමාන්‍ය ජනතාව ගේ ද සහයෝගය මීට ලබාගැනීමට සංවිධායකයන් අදහස්‌ කරන බව පෙනේ. මේ සඳහා සමාජ ජාල හා අනතර්ජාලය පදනම් කරගත් ප්‍රචාරක ව්‍යාපාරයක්‌ දියත් කර තිබේ. මේ හා සමගාමීව ලෝකයේ සෙසු රටවල ද රැළි පැවැත්වීමට සංවිධායකයන් අපේක්‌ෂා කරන බව පැහැදිලි ය. (www.marchforscience.com වෙබ් අඩවිය බලන්න.)

විශේෂයෙන් එරට මධ්‍යම රජයේ පිළිවෙත් මේ සඳහා හේතු වී ඇත. ඇමෙරිකානු කොන්ග්‍රසය මෙන්ම ජනාධිපතිවරයා ගේ ප්‍රතිපත්ති ද විද්‍යාවට එතරම් හිතවත් නො වන තත්ත්වයක්‌ තුළ මෙවැන්නක්‌ ඇති වේ. මෙහි දී විද්‍යාවේ පුළුල් පරාසයක්‌ උද්ඝෝෂකයන් ගේ අවධානයට යොමු ව තිබේ. වැඩි අවධානයක්‌ යොමු ව ඇත්තේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව වුව ද, විද්‍යාව හමුවේ ඇති අභියෝගය ද මෙහි දී අවධානයට ලක්‌ ව ඇති කරුණකි. විශේෂයෙන් දැනුම සන්නිවේදනයට හා ප්‍රතිපාදන කපා හැරීම වැනි පියවර හමුවේ සිදුවිය හැකි අනර්ථකර ප්‍රතිඵල ඔවුන් ගේ අවධානයට ලක්‌ ව ඇත.

මේ පා ගමනට තෝරාගෙන ඇති දිනය ද වැදගත් ය. මිහිතල දිනය ඇමෙරිකාවේ එක්‌ වෙනසක ආරම්භය විය. එ් 1970 වර්ෂයේ දී එවකට ඇමෙරිකාවේ පැවැති පාරිසරික අර්බුදය හේතුවෙන් ජනතාව වීදි බැසීම නිසා ය. ඇමෙරිකාවේ පරිසර දූෂණය වළක්‌වා සංරක්‌ෂණයට හේතු වූ නීතිරීති හා ආයතන පද්ධතියක්‌ ඇති කිරීමට එදා ඇමෙරිකාව පුරා සිදු වූ විරෝධතා රැල්ල ප්‍රයෝජනවත් විය. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇමෙරිකාවේ පරිසර ආරක්‌ෂාවට හේතු වූ නීති පද්ධති ගණනාවක්‌ හා මෙන්ම පාරිසරික ආරක්‌ෂණ එ්ජන්සිය ඇති වූයේ එම වසරේ අග භාගයේ දී ය. එය ලෝකයේ සෙසු රටවල ද ඇස්‌ අරවන්නක්‌ වූ බව අන්තර්ජාතික වශයෙන් ඉන් පසුව ඇති වූ වෙනස්‌කම් අනුව ද පෙනේ. එය නූතන පරිසර ව්‍යාපාරයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ සේ සැලකේ.
එවැනි "වෙනසක්‌" ඇති කිරීමට මෙවරත් ඇමෙරිකානුවන්ට හැකි වේ ද?

http://www.vidusara.com/2017/02/15/feature2.html

No comments:

Post a Comment