Monday, March 20, 2017

කලාඳුරු නො හඳුනන නූතන පරපුර

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 08.03.2017, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2017/03/08/feature1.html


දිනක්‌ ගෙවත්තක පැළෑටි සම්බන්ධව කාන්තාවන් තිදෙනකු අතර සිදු වූ කතාබහක්‌ අසා සිටින්නට මට සිදු විය. කොළඹට ආසන්න ප්‍රදේශයක ගෙවත්තක්‌ පිරිසිදු කරමින් සිටි, ගමක ඉපදී නගරයට සංක්‍රමණය වූ වැඩිහිටි කාන්තාවක්‌ කිසියම් පැළෑටියක්‌ පෙන්වා කලාඳුරු පැළෑටියක්‌ බව අනෙක්‌ කාන්තාවන්ට පැවසුවා ය. ඉන්පසු ඇති වූ සාකච්ඡාව මට ඇසුණු දෙබසයි. දේශීය වෙදකමේ දී උදරාබාධවලට ඖෂධයක්‌ ලෙස කලාඳුරු යොදාගන්නා බව ඇය දැන සිටි බව පෙනිණි. එහෙත් වයසින් තිස්‌ හතළිස්‌ ගණන්වල පසු වූ, කොළඹට තදාසන්න ප්‍රදේශවල හැදුණු වැඩුණු අනෙක්‌ කාන්තාවන් දෙදෙනා කලාඳුරු පැළෑටිය ගැන මෙන්ම එහි ඖෂධීය භාවිතය ගැන ගැන දැන නො සිටි අතර ඔවුන් දෙදෙනා ඒ බවක්‌ විශ්වාස කළ බවක්‌ පෙනුණේ ද නැත.

කලාඳුරු ශාකය නො හඳුනන අතර ම ඔවුන් දෙදෙනා එය වල් පැළෑටියක්‌ සේ සලකන බව කතාබහ අනුව පැහැදිලි විය. ඒ අතරින් වයසින් අඩු කාන්තාව අවධාරණය කළේ තණකොළ පැළයක්‌ වැනි බැවින් ද, හැම තැන ම හැදෙන බැවින් ද ඒ පැළය බේත් පැළයක්‌ විය නොහැකි බවකි. ඊට වඩා වියපත් අනෙක්‌ කාන්තාව විහිළුවට මෙන් යෝජනා කළේ එසේ නම්, එම පැළවලින් යුෂ ගෙන හදාගත් ඔසුව පළමුව පෙර කී වැඩිහිටි කාන්තාවට පානය පිණිස ලබා දී බලන්නට ය.

ඔවුන් ගේ මේ කතාබහට පාදක වූ ශාකය සැබෑ කලාඳුරු ශාකය ද යන්න මට ඒ අවස්‌ථාවේ දී නිරීක්‌ෂණය කළ නොහැකි වුවත් ඉන් මට එක්‌ කරුණක්‌ පැහැදිලි විය. සාමාන්‍යයෙන් අත් බෙහෙත් සඳහා මෙරට වැසියන් යොදාගත් ඖෂධීය වැදගත්කමක්‌ ඇති ශාකයක්‌ වන කලාඳුරු වැනි ශාක නො හඳුනන පිරිස්‌ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත් වන බවයි. කලාඳුරු සම්බන්ධව පාසල් විෂය මාලාවේ ද සඳහන් වන බවක්‌ මතකයේ තිබේ. ඉන් එක්‌ කරුණක්‌ වන්නේ ධාවක ශාකයක්‌ ලෙස වන අතර අනෙක්‌ කරුණ වන්නේ මුල්වල දැකිය හැකි ආකන්දයයි.

සාමාන්‍යයෙන් අපේ රටේ පහතරට ප්‍රදේශවල තෙත් කලාපයේ දැකිය හැකි Cyperaceae කුලයට අයත් ඒක වාර්ෂික ශාකයක්‌ වන කලාඳුරු Cyperus rotundus නම් විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. එය අපේ රටේ මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ම දැකිය හැකි ය. මේ ශාකය ඖෂධීය ශාකයක්‌ ලෙස රටවල් ගණනාවක ම භාවිත වේ.




භාවිතයෙන් ඈත් වන බෙහෙත් පැළෑටි පිළිබඳ දැනුම


මේ සිදුවීම ඖෂධ පැළෑටි පිළිබඳ දැනුම ජනතාව අතරින් භාවිතයෙන් ඈත් වීම පිළිබඳව අපි දේශීය වෛද්‍ය ක්‌ෂේත්‍රයේ නියෑළි විද්වතුන් කිහිප දෙකන හා වෙනත් හිතවතුන් හා සමාජජාල ඔස්‌සේ සකච්ඡාවට ලක්‌ කළෙමු. එහි දී හෙළි වූ කරුණක්‌ වූයේ, නාගරික ප්‍රදේශ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ද තත්ත්වය මේ හා සමාන බවයි. ජනතාව බෙහෙත් පැළෑටි භාවිතයෙන් ඈත් වීම නිසා ඒ පිළිබඳ දැනුම ද ක්‍රමයෙන් ඈත් වෙමින් තිබේ.

සමාජ ජාලයක්‌ ඔස්‌සේ එක්‌ හිතවතකු අප හා පැවසූ පරිදි තම වත්ත සුද්ද කිරීම සඳහා ගෙන්වාගන්නා ගම්වල එදිනෙදා කුලියක්‌ කරන අය ගෙන් ඔහු ගේ වත්තේ ඇති බෙහෙත් පැළෑටි බේරාගැනීම සඳහා ඔහු ද දවස පුරා ඒ අය හා රැඳිය යුතු වේ. නැත හොත් සිදු වන්නේ කලක්‌ තිස්‌සේ අමාරුවෙන් වවාගත් බෙහෙත් පැළෑටි ඔවුන් ගේ නොදැනුවත්කම නිසා විනාශ වී යැමයි. ගම්වල වැසියන් අතර පවා ගෙවත්තක තිබිය යුතු ඖෂධීය පැළ ඇති දැනුම නොමැති වීම නිසා ඒවා ද වල් පැළ ගණයට ම එක්‌ කර විනාශ කර දමන ආකාරයක්‌ දැකිය හැකි ය.

අපේ රටේ දැකිය හැකි ඖෂධීය වටිනාකමක්‌ සහිත සමහර ශාක මේ ආකාරයෙන් වල් පැළෑටි සේ සලකනු ලැබීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පෙනේ. එයට හේතුව වල් පැළෑටි ලේබලය නිසා කිසියම් ආකාරයකින් ප්‍රයෝජනයකට ගත හැකි ආකාරයේ ශාක ද විනාශ වී යා හැකි වීමයි. ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා අවශ්‍ය කරන දැනුම නොමැති වීම තුළ මේ ගැටලුව තවදුරටත් උග්‍ර විය හැකි ය.

මේ පිළිබඳව අප හා අදහස්‌ දැක්‌වූ ආයුර්වේද වෛද්‍ය ඩැනිස්‌ටර් එල්. පෙරේරා මහතා පැවසුවේ, වරක්‌ කෘෂිකර්ම බලධාරීන් වල්පැළෑටි ලෙස ප්‍රකාශනයකට ඇතුළත් කර තිබූ ශාක විශේෂ සියයක්‌ පමණ අතරින් 60%ක්‌ පමණ ප්‍රමාණයක්‌ ම ඖෂධීය ශාක වූ බවයි. මේ අනුව එවැනි බලධාරීන් අතින් දැනුම ලබන ගොවීන් විසින් ඒවා වගා බිමෙන් ඉවත් කරනු ලැබීම එක්‌ අතකට පුදුමයට කරුණක්‌ නො වේ. අවාසනාව වන්නේ ඔවුන් කාලයක්‌ තිස්‌සේ මේ ඖෂධ භාවිත කළ පරම්පරාවකට අයත් ජනතාවක්‌ වීම ය.

ඖෂධ ශාක දැනුම ඈත් වන්නේ ඇයි?


ඖෂධ ශාක පිළිබඳව සාමාන්‍ය ජනතාව අතර ඇති දැනුම ඔවුන් වෙතින් ඈත් වන්නේ භාවිතයට නො ගැනීම නිසා බව අපි පෙර සඳහන් කළෙමු. එසේ ඖෂධීය ශාක භාවිත නො වන්නේ කුමක්‌ නිසා ද යන්න ගැන විමසූ විට පෙනෙන්නේ දේශීය වෙදකමේ අත් බෙහෙත්වලින් අප ශීඝ්‍රයෙන් ඈත් වෙමින් ඇති බවයි. මේ තත්ත්වයට බලපා ඇත්තේ බොහෝ රෝගාබාධ සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු වීම ය. අද වන විට නාගරික මෙන්ම ග්‍රාමීය සමාජයේ ද මේ තත්ත්වය දැකිය හැකි ය. සුළු අසනීප හා ආබාධ සඳහා නිවසේ දී සිදු කළ හැකි අත්බෙහෙත් කෙරෙහි යොමු වීම තවදුරටත් අඩු වෙමින් පවතී. සෙම්ප්‍රතිෂ්‍යාව හා උගුර ආශ්‍රිත ආබාධ හැර වෙනත් කිසිදු රෝගයක්‌ සඳහා නිවසේ දී සිදු කළ හැකි දේශීය වෛද්‍ය ප්‍රතිකාර හා අත් බෙහෙත් සිදු කරන ආකාරයක්‌ දැන් දැකිය හැක්‌කේ කලාතුරකිනි. එය බොහෝ දුරට කොත්තමල්ලි හා පස්‌පංගුව වැනි ප්‍රතිකාර සඳහා සීමා වී ඇත. එහෙත් මේ සුළු ආබාධ සඳහා ද ප්‍රතිකාර ලෙස, වෙළෙඳපොළෙන් ගෙන ආ ක්‌ෂණික ව භාවිත කළ හැකි කලින් සැකසූ විවිධ ප්‍රතිකාර වර්ග භාවිතය ඉහළ යමින් ඇති බව අධ්‍යයනවලින් පෙනී ගොස්‌ තිබේ. එයට හේතුව කාලය සමග ඇති තරගය හා වෙළෙඳ ප්‍රචාරය මගින් පාරිභෝගික සිත් තුළ ඇති කර තිබෙන විවිධ අදහස්‌ විය හැකි ය.

මේ නිසා අතීතයේ එදිනෙදා සුළු රෝගාබාධ සඳහා අත් බෙහෙත් සෑදීම සඳහා යොදාගත්, කාලය විසින් පරීක්‌ෂාවට ලක්‌ කරන ලද අත් බෙහෙත් වර්ග රැසක්‌ ම මේ වන විට සාමාන්‍ය ජනතාව අතර භාවිතයෙන් ඈත් වී ඇත. මේ නිසා ඒ සඳහා යොදාගත් ඖෂධීය ශාක වර්ග ද ගෙවත්තෙන් හා වටපිටාවෙන් ඈත් වෙමින් තිබේ. මෙය ගම්වලට පවා පොදු කරුණක්‌ සේ සැලකිය හැකි ය. මේ ලිපිය ආරම්භයේ දී අප දැක්‌වූ නිදසුන මේ සඳහා මනා නිදසුනකි. (එහෙත් ඇතැම් රෝගාබාධ හා සම්බන්ධව දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර විශේෂයෙන් සොයා යන ආකාරය දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස කැඩුම් බිඳුම් ප්‍රතිකාර හා සර්ප විෂ ප්‍රතිකාර අපට හඳුනාගත හැකි ය.)

මේ තත්ත්වයට පිළියමක්‌ ලෙස යම් යම් මට්‌ටම්වලින් ඔසු පැළ හා අත් බෙහෙත් වර්ග හඳුන්වා දීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී නැතිවා නො වේ. දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන රාජ්‍ය ආයතන ඒ සඳහා යම් යම් කටයුතු සිදු කර ඇත. ආයුර්වේද දෙපාර්තමේන්තුව ගෙවත්තේ ඇති ඖෂධ පැළෑටි ගැන දැනුවත් කිරීම හා ඒවා භාවිත කිරීම ගැන විවිධ වැඩපිළිවෙළ වරින්වර ක්‍රියාත්මක කර ඇත. එහෙත් ඒවා අපේක්‌ෂිත අරමුණු කරා ළගා වූයේ ද යන්න සැකසහිත ය. නිදසුනක්‌ වශයෙන් ගත් විට 1990 දශකයේ මැද භාගයේ දී ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් 'ගෙවත්තෙන් ඔසු' නමින් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ පොත් පෙළෙහි අරමුණ වූයේ ගෙවත්තේ තිබිය හැකි ශාක ඖෂධ එදිනෙදා ජීවිතයේ දී භාවිත කළ හැකි ආකාරය ගැන තොරතුරු සැපයීම ය. සරල බසින් ඒ ගැන විස්‌තර කර ඇති එම පොත් පෙළේ පළ වූය් එක්‌ පොත් පිංචක්‌ පමණක්‌ වීම අවාසනාවකි.

එසේ ම නිවසේ දී වුවත් සාදාගෙන භාවිත කළ හැකි අත් බෙහෙත් පිළිබඳව විශ්වසනීය වූ පොත් පත් විවිධ ආයතන මගින් පළ කර තිබේ. එහෙත් ගැටලුව ඇත්තේ කෙතරම් පිරිසක්‌ මේවා භාවිත කරන්නේ ද යන්න ය. බොහෝ විට ඒ සඳහා යොමු වන්නේ ඒ පිළිබඳ දැනුවත් හා අත්දැකීම් සහිත වූ පිරිස්‌ පමණකි. සෙසු අය මෙවැනි අත් බෙහෙත් භාවිත කිරීමට පෙලඹෙන්නේ නැති තරම් ය. මෙය අවධානය යොමු කළ යුතු අංශයකි.

එසේ ම පාසල් මට්‌ටමින් හා පරිසරය පිළිබඳ දැනුම හරහා මෙවැනි දැනුම පාසල් සිසුන් වෙත ලැබී ඇත. බොහෝ පාසල්වල ඔසු උයන් ද පිහිටුවා ඇත. ඒ නිසා අඩු වශයෙන් පාසල් සිසු සිසුවියන් අතරින් උනන්දුවක්‌ දක්‌වන යම් ප්‍රමාණයක්‌ හෝ ඖෂධීය ශාක පිළිබඳ දැනුවත් වේ. එහෙත් අවාසනාවකට මෙන් මේ දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීම සඳහා මේ සිසුනට අවස්‌ථාවක්‌ හෝ නිදසුනක්‌ සිය නිවසේ දී ලැබේ ද යන්න සැකසහිත ය. (පාසලේ දී ලබාගන්නා දැනුම ප්‍රායෝගික ජීවිතයේ දී යොදාගත නොහැකි වීම පරිසර අධ්‍යාපනය හමුවේ ඇති බරපතළ පොදු ප්‍රශ්නයකි). අද ජීවත් වන තරුණ පරපුර මෙන්ම මැදි වයසේ පරපුර අතරත් සැලකිය යුතු පිරිසක්‌ ඖෂධ පැළෑටි නො හඳුනන හා භාවිත නො කරන පරපුරකට අයත් සේ සැලකිය හැකි බවක්‌ අපට සිතෙන්නේ මේ නිසා ය.

http://www.vidusara.com/2017/03/08/feature1.html

No comments:

Post a Comment