Tuesday, March 14, 2017

තඹ නිසා වැනසීමට නියමිත මෙස්‌ අයිනාක්‌ පුරාවිද්‍යා උරුමය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 01.03.2017, පි. 7 (Vidusara, p. 7)

http://www.vidusara.com/2017/03/01/feature3.html
Photo: Jerome Starkey


මෙස්‌ අයිනාක්‌ යනු ඇෆ්ගනිස්‌ථානයේ ලෝගාර් පළාතේ පිහිටා ඇති ප්‍රදේශයයකි. කාබුල් නගරයේ සිට කිලෝමීටර් 40ක පමණ දුරක්‌ අග්නිදිග දිශාවට වන්නට පිහිටා ඇති, ගහකොළ නොමැති මුඩුබිමක්‌ බඳු මේ නිම්න භූමිය කරුණු දෙකක්‌ නිසා වැදගත් වෙයි. එයින් එකක්‌ වන්නේ ඇෆ්ගනිස්‌ථානයේ පිහිටා ඇති විශාලතම තඹ නිධියක්‌ එහි පිහිටි නිසා ය. එය ලෝකයේ පිහිටි උකහා නො ගත් විශාලතම තඹ නිධියක්‌ ලෙස ද හැඳින්වේ. දෙවැන්න වන්නේ අතීතයේ පැවැති සේද මාර්ගයේ වැදගත් තැනක පිහිටා තිබූ නගරයක්‌ ලෙස හඳුනාගෙන ඇති මේ ස්‌ථානයේ පිහිටා තිබූ බෞද්ධ පුදබිමක නටබුන් විශාල ප්‍රමාණයක්‌ ද හඳුනාගෙන තිබීම ය. උක්‌ත තඹ නිධිය භාවිතයට ගැනීම සඳහා ගන්නා උත්සාහය නිසා මේ පුරාවිද්‍යාත්මක උරුමය මේ වන විට විනාශ වී යැමේ තර්ජනයට ලක්‌ ව ඇත.

ඇෆ්ගනිස්‌ථානයේ පෂ්තෝ භාෂාවෙන් මේ ස්‌ථානයට ලබා දී ඇති නම වන මෙස්‌ අයිනාක්‌ (Mes Aynak) යන්නෙහි අර්ථය වන්නේ කුඩා තඹ ප්‍රභවය හෙවත් කුඩා තඹ ළිඳ යන්න ය. එතැනින් ලැබී ඇති සාධක අනුව ඈත අතීතයේ සිට මේ ස්‌ථානයෙන් තඹ නිස්‌සාරණය කර ඇති බව පෙනේ. පුරාවිද්‍යඥයන් අනාවරණය කර ඇති ආකාරයට මේ ස්‌ථානය ජනාවාස වූයේ ද, පසු කලක බෞද්ධ පූජනීය ස්‌ථානයක්‌ වීමට ද හේතුවක්‌ වී ඇත්තේ ද මේ තඹ නිධියයි. මෙහි පැවැති බෞද්ධ ආරාම සංකීර්ණ තඹ නිස්‌සාරණය නිසා පොහොසත් තත්ත්වයක තිබී ඇති බව ඔවුන් ගේ අදහස වේ. විශේෂයෙන් කිසියම් ආකාරයක ආගමික නායකත්වයක්‌ (theocracy) යටතේ එවැනි තත්ත්වයක්‌ පවතින්නට ඇති බවට විද්‍යඥයන් විසින් යෝජනා කරනු ලැබ ඇත.

පුරාවිද්‍යා නටබුන් සොයාගැනීම


මේ ස්‌ථානයේ පුරාවිද්‍යාත්මක නටබුන් සොයාගනු ලැබෙන්නේ අහම්බෙනි. 1963 වර්ෂයේ දී ලෝගෝර් ප්‍රාන්තයේ භූවිද්‍යාත්මක පර්යේෂණයක යෙදුණු භූ විද්‍යාඥයකු මෙස්‌ අයිනැක්‌ ගමට ඉහළින් පිහිටා තිබූ තඹ සහිත විශාල නිධිය ගවේෂණය කිරීමට පැමිණි අවස්‌ථාවේ දී වැළලී ගිය පැරැණි බෞද්ධ නගරයක නටබුන් එහි ඇති බව අනාවරණය කළේ ය. පොදු වර්ෂ පළමු සහස්‍රකයේ මුල් කාලයට පමණ අයත් බවට ඔහු සිතූ මේ නටබුන් පැතිර ගිය ප්‍රදේශය ඔහු සිතූ පරිදි අඩු වශයෙන් වර්ග කිලෝමීටර් 6ක්‌ පමණ විශාල ප්‍රදේශයක ව්‍යාප්ත ව තිබිණි. එසේ ම එම විද්‍යාඥයා මේ නගරය පැරැණි සේද මාර්ගයේ වැදගත් නගරයක්‌ ලෙස නිවැරැදිව අනුමාන කර තිබිණි.

මේ නටබුන් සම්බන්ධ මූලික සමීක්‌ෂණ ඇෆ්ගන් පුරාවිද්‍යාඥයන් එකල ම ආරම්භ කළ අතර. ඒවා සිතියම් සැකසීම හා පරීක්‌ෂණ අගල් කැණීම් ආදියට සීමා විය. මේ ප්‍රදේශයේ පුළුල් විශාල පරිමාණයේ කැණීමක්‌ සිදු කිරීමට පෙර ඇෆ්ගනිස්‌ථානයේ සිවිල් අර්බුද සමය ආරම්භ විය. 1978 වර්ෂයේ සිදු වූ මාක්‌ස්‌වාදී කුමන්ත්‍රණයේ සිට, සෝවියට්‌ ආක්‍රමණය, ඉස්‌ලාම් අන්තවාදී අර්බුදය දක්‌වා ආදි වශයෙන් බොහෝ කාලයක්‌ තිස්‌සේ එරට පැවැති හා තවමත් හරිහැටි නිමා වී නැති සිවිල් අර්බුද නිසා මේ පුරාවිද්‍යා ස්‌ථානයේ කිසිදු කාර්යයක්‌ සිදු වූයේ නැති තරම් ය. එහෙත් සෝවියට්‌ ආක්‍රමණ සමයේ මේ ප්‍රදේශයෙන් තඹ ලබාගැනීම පිළිබඳව පරීක්‌ෂණ සිදු ව ඇත. ඒ සඳහා ඔවුන් සකස්‌ කළ එක්‌ උමගක්‌ පසු කලක මේ නිම්නය තලේබාන් සටන්කරුවන් ගේ පුහුණු ප්‍රදේශයක්‌ වූ කාලයේ දී ඔවුන් ගේ ආරක්‌ෂිත ස්‌ථානයක්‌ ලෙස යොදාගත් බව ද වාර්තා වී ඇත.

යළිත් අවධානයට


යළිත් වරක්‌ මෙස්‌ අයිනාක්‌ ප්‍රදේශය ක්‍රමවත් ලෙස පුරා විද්‍යාඥයන් ගේ අවධානයට ලක්‌ වන්නේ 2004 වර්ෂයේ දී ය. එවිට ඔවුනට අනාවරණය වූ කරුණක්‌ වූයේ පුරාවස්‌තු කොල්ලකරුවන් ගේ ග්‍රහණයට එම ප්‍රදේශය ලක්‌ ව තිබූ බවයි. ඒ සඳහා සංවිධානාත්මක පිරිස්‌ පැමිණ ඇති බව මේ පිළිබඳ කරුණු විමසූ අය ගේ විශ්වාසය වූ අතර, ඔවුන් ඇතැම් විට යාබද පාකිස්‌ථානය හා සම්බන්ධකම් ඇති පිරිස්‌ බව ද ප්‍රකාශ වී ඇත. ඔවුන් දමා ගොස්‌ තිබූ ශේෂ අනුව, පුරාවිද්‍යඥයන් නිගමනය කළේ ගාන්ධාර සම්ප්‍රදායට අයත් බුදුපිළිම වැනි පුරාවස්‌තු මේ කොල්ලයට ලක්‌ ව ඇති බවයි.

මේ වන විට මෙස්‌ අයිනාක්‌ යනු ඉතා වැදගත් බෞද්ධ පුරාවිද්‍යාත්මක උරුමයක්‌ බවට පිළිගැනීමක්‌ ඇති වී තිබිණි. එය ඇෆ්ගන් රජයේ පාලනයට නතු වීමත් සමග ඊට යම් ආරක්‌ෂාවක්‌ ලබා දී තිබුණු අතර ක්‍රමවත් පුරාවිද්‍යාත්මක අධ්‍යයන ආරම්භ විය. ඒ සමග එකිනෙකට වෙනස්‌ වූ පුරාවිද්‍යාත්මක ස්‌ථාන ගණනාවක්‌ මේ බිමෙන් සොයාගන්නා ලදි. මේ නිම්නයෙන් අවම වශයෙන් පුරාවිද්‍යාත්මක සංකීර්ණ 19ක්‌ අනාවරණය කරගෙන ඇති අතර, ඊට බෞද්ධ ස්‌තූප ගණනාවක්‌, ආරක්‌ෂිත ආරාම සංකීර්ණ ගණනාවක්‌, මෙන්ම වෙනත් ආගමික ස්‌ථාන කිහිපයක්‌ ද, සිවිල් ගොඩනැගිලි සංකීර්ණ ද අයත් වේ. එසේ ම අතීතයේ සිට මේ ස්‌ථානයෙන් තඹ ලබාගත් බවට සාධක ලෙස තඹ උණු කළ ස්‌ථාන, සකස්‌ කළ ස්‌ථාන ආදිය හමු වී ඇත. විවිධ පුරාවස්‌තු රාශියක්‌ ද මේ ස්‌ථානයෙන් ලැබී ඇත.

මේ කරුණු අනුව අනාවරණය වූයේ මේ ස්‌ථානය පොදු වර්ෂ පූර්ව පළමු වැනි සියවසේ සිට පොදු වර්ෂ දහ වැනි සියවස පමණ දක්‌වා ජනාවාස ව පැවැති ඉතා වැදගත් බෞද්ධ ජනාවාසයක්‌ වූ බව ය. චීනයේ සිට බෞද්ධ භික්‌ෂූන් හා උගතුන් ආගමික හා වෙනත් දැනුම සොයා පැරැණි භාරතයට පැමිණි සේද මාර්ගයේ වැදගත් නැවතුමක්‌ ලෙස මේ පැරැණි නගරය ඒ අනුව හඳුනාගන්නා ලදි.

තඹ නිධියෙන් තර්ජනයක්‌


මේ ආකාරයෙන් පුරාවිද්‍යාව පිළිබඳව අවධානය යොමු ව පවතින අතර මෙස්‌ අයිනාක්‌ වෙත තවත් පිරිසක ගේ අවධානය යොමු විය. 2008 වර්ෂයේ දී චීන සමාගම් දෙකක්‌ (එකක්‌ රජයට සම්බන්ධ සමාගමකි) මේ නිම්නයේ විශාල ප්‍රදේශයක්‌ වසර 30ක කාලයක්‌ සඳහා බදු ගත්තේ එහි ඇති තඹ නිස්‌සාරණය කිරීම සඳහා ය. ඔවුන් ගේ ඇස්‌තමේන්තු අනුව මේ නිම්නයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක්‌ පමණ වටිනා තඹ ඇති අතර, ඔවුන් ඒ සඳහා ඩොලර් බිලියන 3ක මුදලක්‌ බදු ලෙස ගෙවා ඇත. මෙය එවකට පැවැති ඇෆගන් රජය සැලකුවේ එරට පවත්නා දුර්වල ආර්ථිකය ගොඩනැගීම සඳහා ලැබුණු මහගු අවස්‌ථාවක්‌ ලෙස ය. මේ මූලික බදු ආදායම, ඉන් ලැබෙන රැකියා අවස්‌ථා, දිගු කාලීනව රජයට ලැබෙන රජයේ බද්ද ආදිය එරටට අස්‌වැසිල්ලක්‌ වූ බව පෙනිණි. වේගවත් සංවර්ධනයක යෙදෙන චීනයට අවශ්‍ය වූයේ විවිධ ඛනිජ සම්පත් ය. චීනය ඇෆ්ගනිස්‌ථානයේ විශාලතම ආයෝජකයෙකි.

මේ තඹ නිස්‌සාරණ සැලසුම් නිසා තවමත් නිසි ලෙස අධ්‍යයනයට ලක්‌ ව නැති මෙස්‌ අයිනාක්‌ පුරාවිද්‍යා ස්‌ථානය, එවැනි අධ්‍යයනයකට පෙර සම්පූර්ණයෙන් ම විනාශ වී යැමේ අවදානමක්‌ ඇත. ඒ නිසා පුරාවිද්‍යාඥයන් හා මේ පිළිබඳ උනන්දුවක්‌ දක්‌වන පිරිස්‌ අතර මේ පිළිබඳ සාකච්ඡාවක්‌ ඇති වී තිබෙන්නේ වසර කිහිපයක පටන් ය. ඔවුන් ඒ පිළිබඳව විවිධ මට්‌ටමින් කටයුතු කරන අතර මේ ගැන Saving Mes Aynak නමින් වාර්තා චිත්‍රපටයක්‌ ද ලෝකය පුරා තිරගත වී තිබේ. මේ පුරාවිද්‍යා ස්‌ථානයේ විශාලත්වය හා වැදගත්කම නිසා මේ තර්ජනය ඇතැම් විට දක්‌වා ඇත්තේ තලේබාන්වරුන් විසින් බාමියාන් බුදු පිළිම විනාශ කිරීම හා සමාන ව ය.

මෙහි ප්‍රතිඵලයක්‌ ලෙසින් මෙස්‌ අයිනාක්‌ ප්‍රදේශයේ කඩිනම් ගලවාගැනීමේ පුරාවිද්‍යාත්මක කටයුතු මාලාවක්‌ ක්‍රියාත්මක කර ඇත. ඒ සඳහා චීනය, ඇමෙරිකාව හා ලෝක බැංකුව ආධාර ලබා දී ඇත. එමගින් කළ හැක්‌කේ කඩිනමින් කැණීම් කරමින් පුරාවස්‌තු නිරාවරණය කරගැනීම හා ඉවත් කරගැනීම බව පෙනේ. මේ සඳහා නවීනතම තාක්‌ෂණය යොදාගෙන ඇතත් එහි සේවය කරන්නේ සීමිත පිරිසක්‌ පමණකි. එබැවින් තඹ නිධිය නිස්‌සාරණය මහා පරිමාණයෙන් ආරම්භ වීමට පෙර මේ සමස්‌ත ප්‍රදේශය ක්‍රමානුකූල ව කැණීම අවසන් කළ හැකි ද යන්න මෙහි ඇති ගැටලුව වේ.

එසේම කැණීම්වලින් හමු වන සියල්ල ආරක්‌ෂා කරගැනීම ද ගැටලුවකි. ඒ සියල්ල කෞතුකාගාරවල තබාගැනීම ද ගැටලුවක්‌ බව දක්‌වා ඇති අතර ඒවා ආරක්‌ෂා කරගැනීම ද ඇෆ්ගනිස්‌ථානය වැනි රටවලට ගැටලුවක්‌ බව ප්‍රකාශ වී ඇත.

තඹ නිස්‌සාරණය නිසා ඇති විය හැකි පාරිසරික ගැටලු පිළිබඳව ද මේ වන විට අවධානය යොමු ව ඇත. 2012 වර්ෂයේ දී ආරම්භ වීමට නියමිත වූ තඹ නිස්‌සාරණ කටයුතු මෙතෙක්‌ පමා වීමට එක්‌ හේතුවක්‌ වූයේ ජලය නොමැති වීම බව නැෂනල් ජියෝග්‍රැෆික්‌ සගරාවේ 2015 වර්ෂයේ පළ වූ ලිපියක දක්‌වා තිබිණි. තඹ නිපදවීම ආරම්භ වුව හොත් ප්‍රදේශයේ ජල මට්‌ටම පහළ යා හැකි බව ද පෙන්වා දී ඇත. දැනට සිදු ව ඇති පරීක්‌ෂණ කැණීම්වලින් පසුව ප්‍රදේශයේ ජල මට්‌ටම අඩි හයකින් පමණ පහළ ගිය බව මෙස්‌ අයිනාක්‌ ප්‍රදේශවාසීන් පවසා තිබේ. එසේ ම තඹ නිස්‌සාරණයේ දී ඇති විය හැකි පරිසර දූෂණය ගැන ද මේ වන විට අවධානය යොමු ව පවතී.

මේ ප්‍රදේශය තවමත් තර්ජනයට පත් ප්‍රදේශයකි. ඒ තලේබාන් ත්‍රස්‌තවාදය නිසා ය. තඹ නිධිය නිස්‌සාරණය පිළිබඳ කටයුතු පමා වීමට ද එය හේතු විය. පසුගිය දෙසැම්බරයේ දී තලේබාන් සංවිධානය මේ තඹ නිධිය ප්‍රදේශයට ප්‍රහාර එල්ල නො කරන්නැයි සිය සෙබළුන්ට ප්‍රසිද්ධියේ උපදෙස්‌ ලබා දී තිබූ බව ෆොaබ්ස්‌ සගරාවේ වාර්තාවක්‌ සඳහන් කරයි. කලක්‌ තිස්‌සේ මෙස්‌ අයිනාක්‌ නිම්නය පිහිටි ප්‍රදේශය ප්‍රහාරවලට පවා ලක්‌ විය. චීනය 2014 වර්ෂයේ පමණ සිට තලේබාන් සංවිධානය සමග රහස්‌ සාකච්ඡා කරමින් සිටින බව ෆොaබ්ස්‌ සගරාවේ එම ලිපිය වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ ගැන ඔවුන් පවසන්නේ චීන සමාගමක්‌ ලවා මේ බෞද්ධ පුරාවිද්‍යාත්මක උරුමයේ නටබුන්වල විනාශය කඩිනම් කරවීම තලේබාන් සංවිධානයේ අරමුණක්‌ විය හැකි බවයි.

ඡායාරූපය: Jerome Starkey (Flickr: Wikipedia - https://en.wikipedia.org/wiki/Mes_Aynak#/media/File:Mes_Aynak_Jerome_Starkey.jpg)

http://www.vidusara.com/2017/03/01/feature3.html

මෙම ලිපිය ඊට පසු සතියේ සහෝදර පුවත්පත වන ංදිවයින ඉරිදා සංග්‍රහයේ' පළ විය.


No comments:

Post a Comment