Tuesday, February 28, 2017

අර්තාපල් අංගමාරයේ මුල සොයැ යැම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 01.02.2017, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2017/02/01/feature2.html



අර්තාපල් අංගමාරය යනු යුරෝපා ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේ ද සුවිශේෂ සිදුවීමකි. ඒ, 1840 දශකයේ දී යුරෝපයේ ඇති වූ මහා සාගතයට හේතු වූයේ අර්තාපල් අංගමාර වසංගතය වීම නිසා ය.

යුරෝපා ජාතිකයන් අර්තාපල් භෝගය පිළිබඳව දැනගන්නේ ඇමෙරිකාවට පැමිණ ඇමෙරිකාව ජනාවාස කරගැනීමෙන් පසුව ය. ඔවුන් විසින් නව ආහාර භෝගයක්‌ ලෙස යුරෝපයට අර්තාපල් හඳුන්වා දෙන ලද්දේ 16 වැනි සියවස අගභාගයේ දී පමණ බව පැවසේ. අර්තාපල් යුරෝපයේ ඉතා ජනප්‍රිය වූ අතර, 19 වැනි සියවස වන විට යුරෝපයේ ඇතැම් රටවල ප්‍රධාන ආහාරය හා ප්‍රධාන වගාව බවට ද පත් ව තිබිණි.

මේ තත්ත්වය හමුවේ 1840 දශකයේ දී යුරෝපය පුරා පැතිර ගිය අර්තාපල් අංගමාරය යුරෝපා රටවල් ගණනාවක අර්තාපල් වගාවට දැඩි බලපෑමක්‌ කිරීම පුදුමයක්‌ නො වේ. ඒ නිසා විශාල පිරිසක්‌ පීඩාවට පත් වූ අතර, වඩාත් බරපතළ හානියක්‌ සිදු වූයේ අර්තාපල් ප්‍රධාන ආහාරය වූ අයර්ලන්තයේ ය. බ්‍රිතාන්‍ය පාලනය යටතේ දරිද්‍රතාවෙන් පීඩා විඳි එරට ජනතාව අතර ඇති වූ දැඩි ආහාර හිගය නිසා මිලියනයක පමණ පිරිසක්‌ මිය ගිය බව සඳහන් වේ. එසේ ම 1846-1851 අතර කාලයේ දී තවත් මිලියනයක පමණ පිරිසක්‌ උතුරු ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇත. මේ ඓතිහාසික සිදුවීම මහා සාගතය (Great Famine) හෙවත් අර්තාපල් දුර්භික්‌ෂය (Potato Famine) යනුවෙන් සඳහන් වඩාත් ප්‍රකට වී තිබේ.

අර්තාපල් අංගමාරය ඇති කරන ලද්දේ Phytophthora infestans නම් ඌමයිසිට අයත් වන Oomycota වර්ගයට අයත් ජීවී විශේෂයකි. යුකැරියෝටික ජීවී වර්ගයක්‌ වන ඌමයිසිට, කලක්‌ තිස්‌සේ පහත් දිලීර සේ සලකන ලදි. එහෙත් මේ වන විට මේ වර්ගයේ ජීවීන් සත්‍ය දිලීර නො වන බව විද්‍යාඥයන් විසින් පිළිගැනෙන අතර දිලීර පරිණාමික වශයෙන් වඩාත් සමීප වන්නේ සත්ත්ව රාජධානියට වන අතර, ඌමයිසිට වඩා සමීප වන්නේ ශාක හා ඇල්ගීවලට ය.

අර්තාපල් පමණක්‌ නො ව Solanaceae කුලයේ වෙනත් භෝග ශාකවලට ද රෝගය ඇති කළ හැකි ය. අංගමාර රෝගය ඇති කරන මේ ජීවී විශේෂය පැමිණියේ කුමන ප්‍රදේශයක සිට ද යන්න පිළිබඳව පර්යේෂකයන් ගේ අවධානය යොමු වී තිබුණේ සැලකිය යුතු කලක පටන් ය. මේ සම්බන්ධයෙන් සිදු ව ඇති පර්යේෂණවලින් හෙළි වී ඇති තොරතුරු පිළිබඳව මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට අපි සිතුවෙමු.

අංගමාරයට හේතු වූ ප්‍රවේණික වෙනස්‌කම්


2013 වර්ෂයේ දී පළ වූ එක්‌ අධ්‍යයනයකින් හෙළි වූ ආකාරයට අංගමාර රෝගය සඳහා හේතු වූයේ අදාළ Phytophthora infestans පළිබෝධයා ගේ ඇති එක්‌ මාදිලියක්‌ (strain) බව සොයාගන්නා ලදි. HERB-1 නමින් නම් කරන ලද මේ මාදිලිය ඇති පළිබෝධයන් ගෙන් මේ අංගමාර වසංගත තත්ත්වය ඇති වන්නට ඇති බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. ඓතිහාසික හා නූතන පළිබෝධයන් ගේ ගෙනෝම යොදාගනිමින් සිදු කරන ලද මේ පර්යේෂණයට අනුව 1800 ගණන්වල දී ඇති වූ මේ HERB-1 නම් ප්‍රවේණි දර්ශය නිසා උක්‌ත වසංගත තත්ත්වය ඇති වූ අතර, එය වසර 50ක පමණ කාලයක්‌ පැවතී තිබේ. මේ පර්යේෂකයන් පවසන්නේ උක්‌ත මාදිලිය ඇති වූයේ විශේෂයේ විවිධත්ව කේන්ද්‍රයනේ පිටත ප්‍රදේශයක දී බවයි. HERB-1 මාදිලිය පසුව US-1 නම් මාදිලියක්‌ මගින් ප්‍රතිස්‌ථාපනය වී ඇත. (මූලාශ්‍රය: eLife, DOI: 10.7554/elife.00731)

ජනිත වූයේ මෙක්‌සිකෝවේ?


මේ අතර තවත් වාර්තාවක්‌ මගින් පෙන්වා දී තිබුණේ මේ වසංගත රෝගය ආරම්භ වූයේ මෙක්‌සිකෝවෙන් බවයි. රෝගය ඇති කළ Phytophthora infestans පළිබෝධයා මෙක්‌සිකෝවේ ඇති වූ බව 2014 දී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයක්‌ මගින් අනාවරණය කර තිබිණි. මෙහි දී ඔවුන් අධ්‍යයනය කර තිබුණේ අදාළ පළිබෝධයා ගේ ආරම්භය සම්බන්ධ ව ය. එම පළිබෝධයා හා ඊට සමීප සම්බන්ධතා දක්‌වන වෙනත් විශේෂ කිහිපයක්‌ පිළිබඳ ප්‍රවේණික අධ්‍යයනයක්‌ හා ආකෘතික දත්ත යොදාගනිමින් සිදු කරන ලද මේ පර්යේෂණයේ අවසන් නිගමනය වූයේ උක්‌ත පළිබෝධයා ආරම්භ වූයේ මෙක්‌සිකෝවෙන් බව ය. වඩා නිශ්චිත ව පවසන්නේ නම් ඒ මධ්‍යම මෙක්‌සිකෝවේ එක්‌තරා ප්‍රදේශයක බව ද ඔවුන් හඳුනාගෙන තිබිණි.

මේ පර්යේෂකයන්ට අනුව Phytophthora infestans අදාළ ප්‍රදේශයේ ජනිත වී ඇති අතර ඇතැම් විට වසර සිය ගණනක්‌ හෝ දහස්‌ ගණනක්‌ තිස්‌සේ අර්තාපල් ශාකය හා සමපරිණාමය ද වී තිබිය හැකි ය. එසේ ම මීට පෙර අධ්‍යයනයකින් පෙන්වා දී තිබූ ආකාරයට ඇන්ඩීස්‌ කඳුකරයේ දැකිය හැකි අදාළ විශේෂයේ ගහන මෙක්‌සිකොවේ දැකිය හැකි ගහනවලින් පැවන එන ගහන බව ද මෙහි දී ඔවුන් දක්‌වා ඇත. මේ අධ්‍යයනයට පෙර ඉදිරිපත් ව තිබූ එක්‌ මතයක්‌ වූයේ මේ පළිබෝධයා ඇන්ඩීස්‌ කඳුකර ප්‍රදේශයේ බිහි වූවක්‌ විය හැකි බවයි. (මූලාශ්‍රය: Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1401884111)

දකුණු ඇමෙරිකානු ආරම්භයක්‌ පිළිබඳ මත දෙකක්‌


මේ අතර අංගමාර රෝගය ඇති කරන පළිබෝධයා දකුණු ඇමෙරිකාවේ බිහි වූ බව මෑත දී සිදු කරන ලද අධ්‍යයන දෙකකින් පෙන්වා දී ඇත. 2015 වර්ෂයේ දී පළ වූ මේ පළමු අධ්‍යයනයේ දී Phytophthora infestans හා එහි සමීප ඥාති විශේෂයක්‌ සේ සැලකෙන Phytophthora andina විශේෂවල ඓතිහාසික හා නූතන නියෑදි 71ක්‌ යොදාගනිමින් ඒවායේ ගෙනෝමය ගැන අවධානය යොමු කර තිබේ.

එහි දී ඔවුන්ට අනාවරණය වූ ආකාරයට දකුණු ඇමෙරිකාවේ බිහි වීමෙන් පසුව, මේ පළිබෝධයා කෙළින් ම ඇමෙරිකාවට හෝ මෙක්‌සිකෝවට හා ඇමෙරිකාවට එක්‌ වර ම පිවිස තිබේ. මෙහි දී පළිබෝධයා ගේ මෙක්‌සිකානු ආරම්භය පිළිබඳව මුලින් ම සැක මතු කරන ලද අතර ඒ Phytophthora infestans හා Phytophthora andina යන විශේෂ වෙන් වීම සිදු වන්නේ නූතන මෙක්‌සිකානු ප්‍රභේද වර්ධනය වීමට පෙර වීම නිසා ය. මේ අනුව මේ රෝගයේ දකුණු ඇමෙරිකානු ආරම්භය පිළිබඳව වඩාත් සාධක ඇති බව පර්යේෂකයන් නිගමනය කර ඇත. එසේ ම, පළිබෝධයා ගේ ආරම්භය වඩා සංකීර්ණ බව ද මෙහි දී වැඩිදුරටත් නිගමනය කර තිබේ. එය සිදු ව ඇත්තේ පළිබෝධයා යුරෝපයට පැමිණීමට පෙර වන අතර එතැනින් යුරෝපය ආක්‍රමණය කර ඇති බව ඔවුන් ගේ අදහසයි. (මූලාශ්‍රය: Molecular Biology and Evolution, DOI: 10.1093/molbev/msv241)

අර්තාපල් අංගමාරයේ ආරම්භය සිදු වූයේ දකුණු ඇමෙරිකාවේ බව 2016 දෙසැම්බර් මාසයේ දී පළ වූ තවත් ප්‍රවේණික ද්‍රව්‍ය විශ්ලේෂණයක්‌ මගින් හෙළි වී තිබේ. එහි දී Phytophthora infestans පළිබෝධයා ගේ නියෑදි 183ක ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳව පරීක්‌ෂා කර ඇති අතර, ඉන් පසුව උක්‌ත නිගමනයට එළැඹී තිබේ. මේ නියෑදි අතර නූතන නියෑදි (1992-2014) මෙන්ම ඓතිහාසික නියෑදි ද (1846-1970) තිබේ. එම ගෙනෝම ලබාගත් ඓතිහාසික නියෑදි ලබාගෙන ඇත්තේ මෙක්‌සිකෝව, මධ්‍යම ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, යුරෝපය හා ඇමෙරිකා එක්‌සත් ජනපදයෙනි. ඒවායෙන් ලබාගත් පැරැණි ම සාම්පල පිළිවෙළින් 1948, 1941, 1913, 1846 හා 1855 යන වර්ෂවලට අයත් වේ. මේ මගින් ඒවායේ ප්‍රවේණික ද්‍රව්‍යවල ඇති වූ වෙනස්‌කම් සම්බන්ධව අධ්‍යයනය කිරීමට පර්යේෂකයන්ට හැකියාව ලැබී තිබේ.

මේ අනුව සිදු කරන ලද අධ්‍යයනවලින් යුරෝපයේ අදාළ අර්තාපල් අංගමාර තත්ත්වය ඇති කිරීමට හේතු වූ පළිබෝධයා ගේ විකෘති අනුව ඔවුන් විසින් FAM-1 නම් ප්‍රවේණිදර්ශයක්‌ හඳුනාගෙන තිබේ. එය දකුණු ඇමෙරිකාවේ ඇති වී ඉන් පසුව ඇමෙරිකා එක්‌සත් ජනපද හා මෙක්‌සිකානු මාදිලි දෙකක්‌ ලෙස බෙදී යන්නට ඇති බව විය හැකි හොඳ ම සිදුවීම ලෙස මේ පර්යේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, යුරෝපයේ අංගමාරය ඇති කිරීමට හේතු වූ පළිබෝධයන් අර්තාපල් හා අර්තාපල් බීජ ඇමෙරිකාවෙන් නැව්ගත කිරීම හරහා යුරෝපයට ගමන් කර ඇති බව බොහෝ දුරට සිතිය හැකි බව ඔවුන් ගේ නිගමනය වේ. එසේ ම අදාළ පර්යේෂකයන්ට අනුව මේ අංගමාර රෝගයේ ලක්‌ෂණ 1843 වර්ෂය පමණ වන විට ඇමෙරිකාවේ දැකිය හැකි වූ බව මේ පර්යේෂකයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි. එසේ ම FAM-1 නම් ප්‍රවේණි දර්ශය වසර සියයක්‌ පමණ කාලයක්‌ ඇමෙරිකාවේ දැකිය හැකි වූ අතර එය ඉන් පසුව US-1 මාදිලියෙන් ද පසුව වෙනත් මාදිලිවලින් ද විතැන් වී තිබේ. (මූලාශ්‍රය: PLOS ONE, DOI: 10.1371/journal.pone.0168381)

පර්යේෂණවල වැදගත්කම


මෙවැනි අධ්‍යයනවල ඇති වැදගත්කම පිළිබඳව අයකුට ගැටලු මතු විය හැකි ය. එය හුදෙක්‌ කෘෂිකාර්මික ඉතිහාසයේ හිස්‌තැන් පිරවීම සඳහා යොදාගත හැකි දැනුමක්‌ පමණක්‌ ද යන්න මෙහි දී මතු වන ගැටලුවයි. විශේෂයෙන් භෝගවල හා භෝගවල පළිබෝධයන් ගේ ඉතිහාසය වැදගත් දැනුමක්‌ බව සැබෑවකි. එහෙත් එහි ඊට වඩා වැදගත් ප්‍රායෝගික වැදගත්කමක්‌ තිබේ. එවැනි එක්‌ වැදගත්කමක්‌ වන්නේ මෙවැනි රෝග සමහරක්‌ තවමත් ප්‍රමාණවත් පිළියම් නොමැති රෝග වීම ය. අර්තාපල් අංගමාරය තවමත් ලෝකය පුරා රටවල් රැසක අර්තාපල් වගාවට ගැටලු ඇති කරන රෝගයකි. ඒ සඳහා පිළියම් යෙදීමට විශාල මුදලක්‌ වාර්ෂිකව වියදම් වේ. එසේ අධික විදයම් දරා සිදු කර ඇති ඇතැම් පිළියම් සාර්ථක නො වන බැවින් භෝග අස්‌වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ හානි වීම ද දැකගත හැකි ය.

එහෙත් අදාළ රෝගයේ ආරම්භය සිදු වූ ප්‍රදේශයේ හෝ රෝගය ව්‍යාප්ත ව තිබූ ප්‍රදේශවල මේ රෝගයට ඔරොත්තු දෙන ලක්‌ෂණ සහිත ශාක තිබිය හැකි ය. එනම් රෝගයට ඔරොත්තු දෙන ප්‍රවේණික හැඩගැසීම් සහිත ශාක සොයාගැනීම වැනි දේට මේ දැනුම යොදාගත හැකි ය. එය මේ රෝගයට වඩා ඵලදායී හා සාර්ථක පිළියම් සෙවීම සඳහා උපකාරී විය හැකි කරුණකි. ඒ සඳහා මෙවැනි පර්යේෂණ වැදගත් වනු ඇත.

http://www.vidusara.com/2017/02/01/feature2.html

No comments:

Post a Comment