Monday, March 30, 2015

ශී‍්‍ර ලංකාවේ උද්භිද උද්‍යාන නව මාවතකට

ශී‍්‍ර ලංකාවේ උද්භිද උද්‍යාන නව මාවතකට

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-03-11 (Vidusara) - Not available online

ඡායාරූප: භූෂණ කල්හාර


උද්භිද උද්‍යානයක් කී පමණින් බොහෝ දෙනාගේ සිතට නැගෙන්නේ විසිතුරු මල් හා වෙනත් ශාකවලින් පිරුණු අලංකාර උද්‍යානයකි. මේ නිසා පොදු ව්‍යවහාරයේදී මෙවැනි උද්‍යාන හඳුන්වනු ලැබෙන්නේ මල්වත්ත යනුවෙනි. මේ හේතුවෙන් උද්භිද උද්‍යාන යනු දේශිය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ සිත් ගත් ස්ථාන වේ.

ඈත අතීතයේ පටන් අපේ රටේ මෙවැනි මල්වතු පැවති බවට සැලකිය යුතු සාධක තිබේ. කෙසේ වෙතත් නූතන අර්ථයෙන් යුක්තව පොදු උද්භිද උද්‍යාන ආරම්භ වන්නේ 19වන සියවස ආරම්භයේදී පමණය. මෙරට පහතරට ප‍්‍රදේශ පාලනය කළ බි‍්‍රතාන්‍ය ජාතිකයන් 1810 වර්ෂයේදී පමණ කොළඹ නගරයේ වර්තමාන කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ ‘කිව් උද්‍යානය’ නමින් උද්භිද උද්‍යානයක් ආරම්භ කරන ලදී. එය පිහිටුවීම සඳහා එවකට බි‍්‍රතාන්‍යයේ විසූ ජෝසප් බෑන්ක්ස් නම් ප‍්‍රකට විද්‍යාඥයාගේ උපදේශය හා විශේෂ උනන්දුව හේතු විය. එහි එක් අරමුණක් වූයේ යටත්විජිතයක් වූ ලංකාවේ වෘක්ෂලතාදිය හා සම්පත් ආර්ථික වශයෙක් උපයෝගි කරගත හැකි ආකාරය පිළිබඳ සොයා බැලීමය. 1813 වර්ෂයේදී පමණ මේ උද්‍යානය කළුතර උග්ගල්බඩ ප‍්‍රදේශයට ගෙන යන ලදි. යළිත් 1821 වර්ෂයේදී මේ උද්භිද උද්‍යානය, වඩා යෝග්‍ය දේශගුණයක් පැවැති මහනුවර ආසන්නයේ පිහිටා ඇති පේරාදෙණිය වෙත ගෙන යන ලද අතර, එය අද වන විට මෙරට ප‍්‍රමුඛතම උද්‍යානය ලෙස ‘පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය’ ලෙස ප‍්‍රකටය.

මේ අතර 1861 වර්ෂයේදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ හක්ගල උද්භිද උද්‍යානය ආරම්භ කරනු ලබන්නේ ආර්ථික භෝගයක් ලෙස මෙරට වගා කිරීම ආරම්භ කළ සින්කෝනා වගාව පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහාය. එ් ආකාරයෙන්ම රබර් වගාව ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීමත් සමඟ, රබර් පිළිබඳ පර්යේෂණ සිදු කළ වර්තමාන ගම්පහ දිස්ත‍්‍රික්කයේ හෙනරත්ගොඩ ප‍්‍රදේශයේ 1876 වර්ෂයේදී උද්භිද උද්‍යානයක් පිහිටුවන ලදි. එදායින් පසුව ගත වූ කාලය ඇතුළත බදුල්ල, නුවරඑළිය හා අනුරාධපුර වැනි ස්ථාන කිහිපයක උද්භිද උද්‍යාන පිහිටුවන ලද නමුත් විවිධ හේතු නිසා එ්වා පසු කලක අත්හැර දමා තිබේ.

වර්තමානයේ මෙරට උද්භිද උද්‍යාන පාලනය කරනු ලබන්නේ උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසිනි. ආරම්භයේ සිට 19වන සියවස පුරා රජයේ ස්වාධීන දෙපාර්තමේන්තුවක්ව පැවැති එය, 1912දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවීමත් සමඟ එය යටතට පත් විය. ඉන්පසුව, යළිත් 2006 වර්ෂයේදී උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ස්වාධීන දෙපාර්තමේන්තුවක් බවට පත් විය.


උද්භිද උද්‍යානවල කාර්යභාරය

උද්භිද උද්‍යානවල මූලික කාර්ය භාරය වන්නේ ඇතැම් විට සාමාන්‍ය ජනතාව විශ්වාස කරන පරිදි හුදෙක් සෞන්දර්යාත්මක වින්දනයක් හා විනෝදාස්වාදයක් ලබාදෙන මල්වත්තක් සේ ක‍්‍රියා කිරීම නොවේ. මේ උද්‍යානවල කාර්යභාරය පිළිබඳව බොහෝ උගතුන් හා විද්‍යාඥයින් අතර පවා ප‍්‍රාමාණික අවබෝධයක් නොමැත. මේවාට වඩා වැදගත් වූ විද්‍යාත්මක කාර්යභාරයක් තිබේ.

උද්භිද උද්‍යානවල ඇති ප‍්‍රධානතම වැදගත්කම වන්නේ විතැන් සංරක්ෂණය සඳහා එ්වා දක්වන දායකත්වයයි. එමගින් ශාක ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේලා ඉතා වැදගත් ප‍්‍රයෝජනයක් සැලසේ.

ශාක පිළිබඳ පර්යේෂණ පැවැත්වීමේදී වැදගත් කාර්යයක් උද්‍යානවලින් සිදුවේ. නිදසුනක් ලෙස ගතහොත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා වැදගත් වන ශාකාගාර නිදර්ශක එකතුවක් අපේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පිහිටා ඇති ශාකාගාරය සතුව තිබේ. එහි ඇති නිදර්ශක එකතුව 168,000ක් පමණ වේ. මේවා ශාක පිළිබඳ පර්යේෂණ කරන්නන්ට නැතිවම බැරි එකතුවකි.

සුවිශේෂ අධ්‍යාපනික වැදගත්කමක්ද මේ උද්භිද උද්‍යාන සතුව පවතී. එ් විවිධ මට්ටම්වල සිසුන්ට ශාක හා සම්බන්ධ දැනුම ලබාදීම සඳහාය.

ආර්ථික වශයෙන් වැදගත් කටයුතු කිහිපයක්ද මේ උද්‍යාන හරහා ක‍්‍රියාත්මක වන අතර, එ් අතර ආශ‍්‍රිතව මල් හා විසිතුරු පැළ වගාකිරීම මෙන්ම ඔසු පැළ වගාකිරීම වැනි වැඩසටහන් ආදිය ඇතුළත්ය. උද්භිද උද්‍යානවලින් සංචාරක කර්මාන්තයට ප‍්‍රයෝජනයක් සැලසෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය අදාළ ප‍්‍රදේශයේ මෙන්ම රටේ ආර්ථිකයටද ප‍්‍රයෝජනවත්ය.

කෙසේ වෙතත් උද්භිද උද්‍යානවලින් සැලෙසන ඉතා වැදගත් කාර්යය වන්නේ විතැන් සංරක්ෂණයේලා මේ උද්‍යානවලින් ලබාගත හැකි දායකත්වයයි.


විතැන් සංරක්ෂණයේලා උද්භිද උද්‍යානවල වැදගත්කම

විතැන් සංරක්ෂණය (ex situ conservation) යනුවෙන් හඳුන්වනු ලබන්නේ කිසියම් ජීවියකුගේ ජනක ප්ලාස්මය (germplasm) එම විශේෂයේ ස්වාභාවික වාසස්ථානයෙන් බාහිරව සංරක්ෂණය කිරීමයි. ශාක සම්බන්ධයෙන් නම්, මෙහිදී අදාළ ශාකය ලෙසට, බීජ ලෙස, පරාග ලෙස, පටක ආදි ලෙස වෙනත් ආකාරවලින්ද සිදුකරන ආරක්ෂා කිරීමට හැකිය. මේවා එකතු කිරීම, පාලනය කිරීම වැනි කාර්යයන් රාශියක් උද්භිද උද්‍යානයක් මගින් සිදු වේ.

විතැන් සංරක්ෂණය මගින් ලබා ගත හැකි ප‍්‍රයෝජන රාශියකි. නිදසුනක් ලෙස, මේ වන විටද වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ ආරක්ෂා කිරීමට අවස්ථාවක් එමගින් ලැබේ. විවිධ හේතු නිසා වඳවී යා හැකි ශාක විශේෂ ගණනාවක් උද්භිද උද්‍යානවලද වගා කර තිබේ. මෙවැනි එකතු මගින් ලබාගත් බීජ හෝ වෙනත් රෝපණ ද්‍රව්‍ය යොදාගනිමින් එම ශාක විශේෂ යළිත් ස්වාභාවික පරිසරයට හඳුන්වා දුන් අවස්ථා වාර්තා වී තිබේ.

නිදසුනක් ලෙස ගතහොත් 2012 වර්ෂයේදී ප‍්‍රකාශයට පත් කළ ශ‍්‍රී ලංකාවේ තර්ජනයට ලක් වූ සත්ත්ව හා ශාක පිළිබඳ රතු ලේඛනයට (Red List of Threatened Fauna and Flora of Sri Lanka) අනුව මෙරට හමුවන ශාක විශේෂ 3,154ක ප‍්‍රමාණය අතරින් ශාක විශේෂ 1,386ක් පමණ ප‍්‍රමාණයක් තර්ජනයට ලක්ව ඇත. මේ අතරින් ශාක විශේෂ 177ක් පමණ ප‍්‍රමාණයක් දැඩි ලෙස අන්තරායක (Critically Endangered - CR) තත්ත්වයේ ලා සැලකේ. මෑත කාලයේදී හමු වී නොමැති මේ ශාක සමහරක් අද වන විට වඳ වී ගොස් තිබිය හැකිය. මේවා ආරක්ෂා කිරීමට හා වගා කිරීමට උද්භිද උද්‍යානවලට විශේෂ කාර්යභාරයක් සිදු කළ හැකිය. නිදසුනක් ලෙස ගතහොත්, කළුතර දිස්ත‍්‍රික්කයේ වලව්වත්ත නම් විශේෂිත පරිසර පද්ධතියක හමුවන දැඩි ලෙස තර්ජනයට පත් ශාක විශේෂයක් වන Mesua stylosa ශාක උද්භිද උද්‍යානවල වගා කර තිබේ.

මෙරට ශාක අතරින් ස්වාභාවික පරිසරයෙන් වඳවී ගොස් ඇති (Extinct in wild) බව සැලකෙන ශාක විශේෂ දෙකක් මේ වන විට දැකිය හැක්කේ මෙරට උද්භිද උද්‍යානවල පමණි. නිදසුනක් ලෙස ගතහොත් Alphonsea hortensis හා Doona ovalifolia යන මේ අප රටට ආවේණික ශාක දෙක ස්වාභාවික පරිසරයේ දැකිය නොහැකි අතර, එ්වා හමුවන්නේ උද්භිද උද්‍යානවල පමණි. අනාගතයේදී මෙවැනි ශාක ස්වාභාවික පරසරයේ වගා කිරීමට හැකියාව ලැබීමට යම් අවස්ථාවක් ලැබෙන්නේ මේ සංරක්ෂණ උත්සාහය නිසාය.

මේ විතැන් සංරක්ෂණයේදී විවිධ පර්යේෂණ සඳහා ලබා ගැනීමට අවශ්‍ය පටක හා ශාක ආදි කොටස් ලබාගැනීමට හැකිය. ඇතැම් අවස්ථාවලදී ස්වාභාවික පරිසරයෙන් ශාක කොටස් ලබාගැනීම නිසා ඇති විය හැකි තර්ජනය අඩු කිරීම සඳහාද මේ විතැන් සංරක්ෂණයෙන් ලබාගන්නා ජනක ප්ලාස්ම ප‍්‍රයෝජනවත් වේ. එසේම ශාක විශේෂවල බීජ ආදිය කල් තබාගැනීම අපහසු අවස්ථාවලදී එ්වා වර්ධනය කිරීමට අවස්ථාව සැලසීමට උද්භිද උද්‍යාන ප‍්‍රයෝජනවත් වේ.

මෑතක් වනතුරුම සංරක්ෂණයේලා අපේ රටේ උද්භිද උද්‍යානවලින් සිදු වූ සංරක්ෂණ දායකත්වය තරමක් අඩුය. එහෙත් මෑතක සිට අපේ රටේ එ් පිළිබඳ වැඩි අවධානයක් යොමු වී ඇත. විශේෂයෙන් 2006 වර්ෂයේදී උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී එහි කාර්යයන් අතරට මේ විතැන් සංරක්ෂණ ක‍්‍රමවේද සඳහා සැලසුම් සකස් කිරීම හා එ්වා ක‍්‍රියාවට නැංවීම අයත් වේ.

විවිධ භූ දේශගුණික කලාපවල උද්භිද උද්‍යාන පිහිටුවීම වැදගත් වන්නේ මේ සංරක්ෂණ වැදගත්කම නිසාය. අදාළ දේශගුණික කලාපයේ දැකිය හැකි ශාක විශේෂ ආරක්ෂා කිරීමේදී එම කලාපයේම පිහිටුවනු ලබන උද්භිද උද්‍යාන මගින් මහඟු සේවයක් සැලසේ. මෑත කාලයේදී ශ‍්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යෙදුණු උද්භිද උද්‍යාන දෙකක් මේ කාර්යය සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇත. එ් මිරිජ්ජවිල ප‍්‍රදේශයේ පිහිටා ඇති වියළි කලාපීය උද්භිද උද්‍යානය හා අවිස්සාවේල්ලට නුදුරු ඉලූක් ඕවිට ප‍්‍රදේශයේ පිහිටා ඇති සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානයයි. (සටහන් බලන්න)



සටහන 1 - වියළි කලාපීය උද්භිද උද්‍යානය - මිරිජ්ජවිල


හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ, හම්බන්තොට නගරයට නුදුරුව මිරිජ්ජවිල ප‍්‍රදේශයේ පිහිටා ඇති වියළි කලාපීය උද්භිද උද්‍යානය මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලද්දේ 2013 වර්ෂයේ නොවැම්බර් මාසයේදීය. එය මෙරට වියළි කලාපයේ පිහිටා ඇති එකම උද්භිද උද්‍යානය වේ.

අක්කර 300ක පමණ භූමියක් පුරා පිහිටා ඇති මේ උද්‍යානය පිහිටුවීමට පෙර මේ ප‍්‍රදේශය හේන් වගාව සඳහා යොදාගෙන තිබේ. දශක කිහිපයකට පෙර මේ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කජු වගා කිරීමට හා වන වගාවක් ඇති කිරීමට රජය උත්සාහ දරා ඇතත් එය අසාර්ථක වී තිබේ. මේ සඳහා එක් හේතුවක් වී ඇත්තේ මේ ප‍්‍රදේශයේ පවත්නා දැඩි නියඟයයි.

මෙවැනි ප‍්‍රදේශයක උද්භිද උද්‍යානයක් සඳහා සුදුසු භූමියක් තෝරාගෙන උද්භිද උද්‍යානයේ කටයුතු ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය. මෙහිදී මුහුණ පෑමට සිදු වූ අභියෝග ගණනාවක් විය. නිදසුනක් ලෙස ගතහොත් අඩු වර්ෂාපතනයක් සහිත වියළි කලාපයේ පිහිටා ඇති බැවින් ඊට අවශ්‍ය ජල අවශ්‍යතාවය ලබාගැනීම සඳහා බැරගම විල නම් මිරිදිය ජලාශයේ එක්රැුස්වන ජලය ලබාගැනීමට පියවර ගෙන තිබේ. එසේම උද්‍යානය ඇතුළතද කුඩා ප‍්‍රමාණයේ වැව් තුනක් පිහිටා තිබේ. මේ නිසාත් උද්‍යානයේ සේවක පිරිස්වල කැපවීමත් නිසා වසර කිහිපයක් ඇතුළත උද්‍යානය විවෘත කළ හැකි වී ඇත.

මේ උද්‍යානය නිර්මාණය කිරීමේදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ වියළි කලාපීය හා ශුෂ්ක කලාපීය ශාක විශේෂ පිළිබඳවය. මෙහි වෘක්ෂෝද්‍යානය (Arboretum) වගා කර ඇති ශාක අතරින් 80%ක් පමණ ප‍්‍රමාණයක් දේශීය ශාක විශේෂ වේ. මෙහිදී අදාළ භූමියේ ස්වාභාවිකව වැවුණු ශාක විශේෂ රැුසක් යොදාගෙන ඇත. අධ්‍යයන හා පර්යේෂණ සඳහා වැදගත් අංග රාශියක් මේ උද්‍යානයේ පිහිටා ඇත. සිසු උයන, ඖෂධ උද්‍යානය, පලතුරු ශාක එකතුව ආදිය මේ සඳහා නිදසුන් වේ. ඇහැල ගසින් (Cassia fistula), ඔවිල ගසින් (Polyalthia longifolia var. pendula) හා මාර ගසින් (Delonix regia) සැදුණු මංපෙත් මතුකරන්නේ සුන්දර දර්ශනයකි. මේ උද්‍යානයේදී විදේශීය ශාක යොදාගෙන ඇත්තේ මූලික වශයෙන්ම උද්‍යානයේ අලංකාරය පවත්වා ගැනීම සඳහාය.

මේ උද්‍යානය ශාක සංරක්ෂණය සඳහාද වැදගත් මෙහෙයයක් ඉටු කරයි. නිදසුනක් ලෙස ගතහොත්, මෙරට වියළි කලාපයේ හමුවන තර්ජනයට පත් හා ආවේණික ශාක සංරක්ෂණය සඳහා වැදගත් කාර්යයක් මේ උද්‍යානයෙන් ඉටු වේ. එසේම භාවිතයට නොගන්නා ශාක ප‍්‍රවර්ධනය පිණිසද සැලකිය යුතු මෙයෙයයක් මිරිජ්ජවිල උද්‍යානයෙන් අපේක්ෂා කෙරේ.

ජලය හිඟ වූ වියළි කලාපයේ උද්භිද උද්‍යානයක් ස්ථාපිත කිරීමේ අභියෝගය සාර්ථකව ජයගැනීමට හැකියාව ලැබීම නිසාද මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය වැදගත් වේ. 1883 වර්ෂයේදී අනුරාධපුරයේ වියළි කලාපීය උද්භිද උද්‍යානයක් ඉදිකරන ලද නමුත්, නියඟය හා වෙනත් හේතු නිසා එම උද්‍යානය 1906 වර්ෂයේදී අත්හැර දමන ලදි.


















සටහන 2 - සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය - ඉලූක් ඕවිට


තෙත් කලාපීය උද්භිද උද්‍යානය පිහිටා ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයේ අවිස්සාවේල්ල නගරයට ආසන්නව පුවක්පිටිය-තුම්මෝදර මාර්ගයේ ගමන් කිරීමේදී හමුවන ඉලූක් ඕවිට ග‍්‍රාමයේය. එයට අයත් මුළු බිම් ප‍්‍රමාණය අක්කර 105ක් පමණ වන අතර, එය ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම සතුව පැවැති භූමියකි. විසි වැනි සියවස ආරම්භයේදී මේ ඉඩම ආශ‍්‍රිතව රබර් හා තේ වගාව පැවති අතර මේ භූමිය මූලික වශයෙන් අයත්ව තිබුනේ පන්නාගුල නම් වතුයායකටය. කෙසේ වෙතත් උක්ත භූමියෙන් ඉන් වැඩි කොටසක් පසුකාලයක අත්හැර දමා ඇති බවක් පෙනේ. 2008 වර්ෂයේදී මේ උද්‍යානයේ කටයුතු ආරම්භ කරන ලදි.

මේ ප‍්‍රදේශය වර්ෂාව අධිකව ලැබෙන ප‍්‍රදේශයක් වන අතර, භූමිය හරහා වසර පුරා ගලා යන කුඩා දියපහරක්ද තිබී ඇත. උද්‍යානයේ කටයුතු ආරම්භයට පෙර මේ භූමියේ වැඩි කොටසක් පඳුරු සහිත බිමක් වූ අතර, එම භූදර්ශයේ දියපර ශාක ප‍්‍රමුඛ විය. එසේම කඳු බැවුමේ වැඩි වශයෙන් පැවති ශාක අතර හවරිනුග වැනි හඳුන්වා දුන් ශාකද වේ.

මේ උද්‍යානයේ සෞන්දර්යය වර්ධනය කරන අංශයක් වන්නේ උද්‍යානයට පිවිසෙන විට නෙත ගැටෙන සේ නිර්මාණය කර ඇති විශාල ජලාශයයි. සැබැවින්ම, එකිනෙකට යාව පිහිටි ජලාශ තුනක් වන මේ අපූරු ජලාශය නිර්මාණය කර ඇත්තේ භූමිය හරහා ගලා ගිය දියපහරවල් යොදාගනිමිනි. මේ ජලාශය හා එ් හා යාව පිහිටා ඇති තෘණ භූමිය, ඊට යාව පිහිටා ඇති කුඹුක් ගසින් (Terminalia arjuna) සැදුණු අරඹ මේ උද්‍යානයට එක් කර ඇත්තේ සුවිශේෂ දර්ශනයකි.

උද්‍යානයේ මෙන්ම එහි අක්කර 65ක් පමණ පුරා පැතිර ඇති වෘක්ෂෝද්‍යාන කොටසේද වැඩි වශයෙන් දැකිය හැක්කේ තෙත් කලාපීය ශාක විශේෂ වේ. මෙහිදීද ස්වාභාවිකව භූමියේ වැවි තිබූ ශාක රැසක් උද්‍යානය නිර්මාණය කිරීමේදී යොදාගෙන ඇත. එසේම මේ වන විට තර්ජනයට ලක්ව ඇති තෙත් කලාපයේ හමුවන ආවේණික ශාක විශේෂ යොදාගනිමින් මේ කොටස දියුණු කිරීමට පියවර ගෙන ඇත. මේ අතර ස්වාභාවික පරිසරයෙන් වඳව ගොස් ඇති ශාකද වේ. මේ අනුව පහතරට තෙත් කලාපයේ ශාක සංරක්ෂණය සඳහා මේ උද්‍යානය බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. එසේම තෙත් කලාපීය ශාක පිළිබඳව සිදුකරන අධ්‍යයන හා පර්යේෂණ සඳහා මේ උද්‍යානය දායක වනු ඇත.

මේ උiානය මල් වත්තකින් ඔබ්බට ගොස් උද්භිද උද්‍යානයක දැකිය හැකි සෙසු කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කර ඇත. එහෙත් සංචාරක ආකර්ෂණය උදෙසා විසිතුරු මල් සහිත ශාකද මෙහි වගා කර ඇත. නිදසුනක් ලෙස ගතහොත්, මෙරට නිර්මාණය කෙරෙන විශාලතම රෝස උයන මේ උද්‍යානයේ නිර්මාණය කෙරෙමින් පවතී. එසේම මෙහි නඩත්තු කරනු ලබන තේ වගා බිම උද්භිද උද්‍යානයකදී ලැබිය හැකි නැවුම් අත්දැකීමක් වනු ඇත.

සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ඉදිරියේදී විවෘත කිරීමට නියමිතය.




















(උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාට අපේ විශේෂ ස්තුතිය හිමි වේ)

ධනේෂ් විසුම්පෙරුම
ඡායාරූප: භූෂණ කල්හාර

No comments:

Post a Comment