ධනේෂ් විසුම්පෙරුම
විදුසර 2015-02-25 (Vidusara)
http://www.vidusara.com/2015/02/25/feature1.html
එළැඹෙන මාර්තු මස 2 වැනි දිනය අපේ රටේ ඉතිහාසයේ වැදගත් දිනයකි. එදිනට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසු ඇති කරගත් උඩරට ගිවිසුමට වසර දෙසියයක් සම්පූර්ණ වේ. 1796 වර්ෂයේ සිට මෙරට වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයෝ එතෙක් ස්‌වාධීන රාජ්‍යයක් ව පැවැති උඩරට ප්‍රදේශය 1815 වර්ෂය මුල් කාලයේ දී ආක්‍රමණය කළ හ. ඒ වන විට උඩරට රාජධානියේ රාජ්‍යත්වය දැරූ නායක්‌කාර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගේ පාලනයට එරෙහි වූ උඩරට රදළ නායකයන් ගේ සහාය මෙහි දී ලැබුණේ බ්‍රිතාන්‍ය සේනාවලට ය. මේ නිසා ආක්‍රමණික හමුදා බොහෝ පහසුවෙන් උඩරට ප්‍රදේශ යටත් කරගත් අතර, පෙබරවාරි මස 18 දින ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගන්නා ලදි. ඉන්පසුව උඩරට ප්‍රදේශවල ඉදිරි පාලනය පිළිබඳව ගිවිසුමක් ප්‍රකාශයට පත් කරන ලද්දේ මාර්තු මස දෙවැනි දින දී ය.
බ්‍රිතාන්‍ය රජු වෙනුවෙන් මෙරට සිටි පාලකයන් එක් පාර්ශ්වයක් ලෙස ද, උඩරට රදළයන් හා වෙනත් ප්‍රධානීන් උඩරට පාර්ශ්වය වෙනුවෙන් ද අත්සන් කරන ලද මේ ගිවිසුම මගින් වසර දෙ දහස් තුන් සියයක් පමණ කාලයක් තිස්‌සේ කිසිදු විදේශයකට මුළුමනින් ම යටත් නො වූ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම විදේශීය පාලනයකට නතු වේ.
ඉතිහාසයේ 'බ්‍රිතාන්‍ය යුගය' හෙවත් බ්‍රිතාන්‍ය පාලන සමය' යනුවෙන් සාමාන්‍යයෙන් සඳහන් වන කාල සීමාව නිවැරැදිව අදාළ වන්නේ 1815 සිට 1948 දක්‌වා වූ කාල වකවානුවට ය. ඉන් පෙර මෙරට ඉතිහාසයේ යුග බෙදීම් දක්‌වා ඇත්තේ අදාළ කාලයේ දී පැවැති ප්‍රධාන නගරය හෙවත් අගනුවර පදනම් කරගනිමිනි. අනුරාධපුර, පොළොන්නරු හා දඹදෙණිය ආදි වශයෙන් නම් කර ඇති මේ යුග නාමාවලියේ අවසන් යුගය ලෙස මහනුවර යුගය දැක්‌වේ. එහෙත් 1815 වර්ෂයෙන් පසුව කාලය බ්‍රිතාන්‍ය යුගය සේ දැක්‌විය හැකි ය. (ඇතැම් අය සඳහන් කරන ආකාරයට පෘතුගීසි යුගයක් හෝ ඕලන්ද යුගයක් හෝa සඳහන් කිරීම නිවැරැදි නො වන බව ඉතිහාසඥයන් පෙන්වා දී ඇත. එම යටත්විජිතවාදී පාලකයන් මේ රට සම්පූර්ණයෙන් පාලනය නො කළ අතර ඒ කාලය ඇතුළත මෙරට ප්‍රධාන දේශීය රාජධානියන් පැවතිණි. ඒ නිසා අදාළ කාලය නිවැරැදි වන්නේ කෝට්‌ටේ, සීතාවක හා මහනුවර යුග ලෙස හැඳින්වීම ය.)
කෙසේ වෙතත් 1815 වර්ෂයෙන් ආරම්භ වන අපේ රටේ බ්‍රිතාන්‍ය යුගය ඇතුළත මෙරට ඇති වූ වෙනස්‌කම් ඉතා බරපතළ ඒවා වීම මෙහි ඇති අනෙක් වැදගත් ම කරුණ වේ. මේ වෙනස්‌කම් ඉන් ඉහත කාල වකවානුවල දී මෙරටට එල්ල වූ සෙසු සියලු විදේශීය බලපැම්වලට වඩා දැඩි බලපෑමක් ඇති කර තිබේ. බ්‍රිතාන්‍ය යුගය ඇතුළත අපේ රට ඇතුළත ඇති වූ වෙනස් වීම් අතර ආර්ථිකයේ, භූමි පරිභෝජනයේ, වනාන්තරවල, සමාජ ක්‍රමයේ ආදි වශයෙන් විවිධ අංශවලින් සාකච්ඡා කළ හැකි ය. එහෙත් මේ ලිපියේ අරමුණ එහි දී ඇති වූ මූලික වෙනස් වීම් කිහිපයක් පිළිබඳව පමණක් සාකච්ඡා කිරීමයි.
ඇති වූ පාරිසරික වෙනස්‌කම්
වතු වගාව යනු බ්‍රිතාන්‍යයන් විසින් මෙරට තුළ සිදු කරන ලද බරපතළ වෙනසකි. ඊට හේතුවක් වූයේ මෙරටින් ලබාගත් ප්‍රධාන ආදායම වූ කුරුඳු සඳහා ලෝක වෙළෙඳපොළේ පැවැති ඉල්ලුම පහළ යැමත් සමඟ වෙනත් විකල්ප සොයා යා යුතු වීමයි. අයිතිය තහවුරු කළ නොහැකි වූ ජනතාව සතු වූ ඉඩම්, රජයේ ඉඩම් (අනවසර අල්ලාගැනීම්) ආඥාපනත වැනි නීති මගින් රජය විසින් අත්පත් කරගන්නා ලදි. මේ ඉඩම් හා ඒ වන විටත් වනාන්තර සේ පැවැති ඉඩම් රජය විසින් වෙන්දේසි කරන ලද අතර ඒ ආශ්‍රිතව වතු වගා ඇති කරන ලදි. පළමුව ව්‍යාප්ත වූයේ කෝපි වගාව වූ අතර 1870 දී පමණ ඇති වූ කෝපි වසංගතය හේතුවෙන් විනාශයට ලක් වූ පසුව තේ හා රබර් වගාව ලෙස ව්‍යාප්ත විය. තේ වගාව 1860 දශකයේ අගභාගයේ දී පමණ ආරම්භ වූ අතර, රබර් වගාව ව්‍යාප්ත වීම ආරම්භ වූයේ 1870 දශකයේ දී ය. මේ වැවිලි මගින් නිපදවන ලද නිෂ්පාදන මෙරට ආර්ථිකයේ වැදගත් ස්‌ථානයක් අත්පත් කරගත්තේ ය. තේ වගාව තවදුරටත් මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංගයක් නො වූව ද 'සිලෝන් ටී' නාමය අද දක්‌වාත් ජනප්‍රිය වෙළෙඳ නාමයකි.
මේ වගා මගින් මෙරට නිෂ්පාදනය කරන ලද සම්පතින් ලාබ ලබාගන්නා ලද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයන් හා සමාගම් ය. මේ අනුව ඉපැයූ ධනය එක්‌රැස් වූයේ අපේ රටේ නො වේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අප නිදහස ලැබූ 1940 දශකය අවසන් වන විට තේ හා රබර් යන ප්‍රධාන වතු වගා යටතේ පැවැති බිම් ප්‍රමාණය හෙක්‌ටයාර 500,000කට මදක් අඩු විය. මේ ප්‍රමාණය මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් 7%ක් පමණ වේ. එසේ ම, තේ වතු අතරින් 69%ක් හා රබර් වගාවෙන් 38%ක් පමණ ඒ වන විට පැවතියේ විදේශීය හිමිකරුවන් අත ය. (එහෙත් මීට ආසන්න බිම් ප්‍රදේශයක ව්‍යාප්ත ව තිබූ පොල් වගා බිම්වල හිමිකාරිත්වයෙන් 88%ක් පමණ තිබුණේa දේශීය ධනවතුන් අත ය.)
මේ වතු වගා සඳහා හෙළි පෙහෙළි වූ වනාන්තර ප්‍රමාණය ඉතා විශාල විය. සාමාන්‍යයෙන් ගණන් බලා ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ වන ආවරණයේ සැලකිය යුතු අඩු වීමක් බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිදු වේ. 1880 වන විට මෙරට වන ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 80%ක් පමණ වූ බව ගණන් බලා ඇති අතර, 1948 වන විට ඒ ප්‍රමාණය 50%කටත් වඩා අඩු විය. ඒ සඳහා බලපෑ මූලික කරුණක් වූයේ මේ වතු වගාවයි. මෙසේ හෙළි පෙහෙළි වූයේ මෙරට මධ්‍ය කඳුකරයේ පිහිටා තිබූ ප්‍රධාන ගංගාවල ජල පෝෂක ප්‍රදේශ විය. එහි ප්‍රතිඵල අපි අද වන විට අත්විඳිමින් සිටිමු.
එසේ ම, මේ වන විනාශය හා සමඟ අපේ රටේ ස්‌වාභාවික පරිසරයේ විශාල වෙනස්‌කම් ඇති විය. මෙරට ජෛව විවිධත්වය සඳහා ඉන් ඇති වී තිබෙන බලපෑම අප සිතනවාට වඩා විශාල විය හැකි ය. අපේ රටේ තෙත් කලාපය ලෙස හඳුන්වනු ලබන භූ-දේශගුණ කලාපයේ දැකිය හැකි ජෛව විවිධත්වය වියළි හා අතරමැදි කලාපවලට වඩා ඉහළ ය. එහෙත් අද වන විට තෙත් කලාපයේ විශාල වනාන්තර හා ආරක්‌ෂිත ප්‍රදේශ පිහිටා ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. මේ ප්‍රදේශවල පවත්නා ජෛව විවිධත්වය තර්ජනයකට ලක් වී ඇත. වනාන්තර විනාශයට අමතරව දඩයම වැනි විනෝද ක්‍රීඩා නිසා මේ ප්‍රදේශයේ වනසතුන් විශාල වශයෙන් දඩයමට ලක් විය. නිදසුනක් ලෙස ගත හොත් මෙරට තෙත් කලාපයේ හා කඳුකරයේ සැලකිය යුතු ප්‍රදේශවල විසූ අලි ඇතුත් අද වන විට දැකිය හැක්‌කේ තෙත් කලාපයේ ඉතා සීමිත ප්‍රදේශයක පමණි.
ශ්‍රි ලංකාවේ දැකිය හැකි ස්‌වාභාවික සම්පත් අසීමිත ලෙස උකහාගනිමින් විශාල ලෙස ලාබ ලබා ගැනීම ද මේ යුගයේ පැවතිණි. මේ සම්පත් අතර දැව, මිනිරන් වැනි සම්පත් වඩා ප්‍රකට ය. ඇතැම් වටිනාකමින් ඉහළ දැව වර්ග විශාල ලෙසින් කපා හෙළන ලද අතර මේ නිසා ඇතැම් දැවමය ශාක බොහෝ දුරට සීමා සහිත වී ගියේ ය. එසේ ම මිනිරන් වැනි ඛනිජමය සම්පත් ද සූරා කෑ ආකාරය දැකිය හැකි ය. අනෙක් අතට මේ සම්පත්වල වැඩි වාසි ප්‍රයෝජන ලබාගත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් හා විදේශීය සමාගම් ය.
සමස්‌තයක් ලෙස ගත හොත් අපේ රටේ ආර්ථිකයේ උඩු යටිකුරු වීමක් බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිදු වූ බව පෙනේ. බ්‍රිතාන්‍යයට යටත් වූ අවධියේ දී බෙහෙවින් ස්‌වයංපෝෂිත ආර්ථිකයක්‌ව පැවැති මෙරට ආර්ථිකය, ක්‍රමයෙන් ආනයන-අපනයන ආර්ථිකයක් බවට පත් විය. ඇතැම් නිෂ්පාදන මෙරට නිපදවා විදේශවලට අලෙවි කිරීමටත්, අපේ ප්‍රධාන ආහාරය සපයන සහල් සැලකිය යුතු ප්‍රමාණයක් ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය රැසක් මෙරටට ආනයනය කිරීමටත් සිදු විය. මේ නිසා මෙරට සංයංපෝෂිත ආර්ථික රටාව තීරණාත්මක වශයෙන් බිඳ වැටිණි.
බ්‍රිතාන්‍ය යුගය ඇතුළත සිදු වූ සමාජයීය විපර්යාස ද බරපතළ විය. ස්‌වකීය ඉඩම් රජය විසින් අත්පත් කරගනු ලැබීම නිසා තමන් පාරම්පරික ව භුක්‌ති විඳි ඉඩම් අහිමි වීම මෙරට ගැමියන් මුහුණ දුන් බරපතළ ගැටලුවක් විය. මේ නිසා ඉඩම් අහිමි ප්‍රජාවක් අපේ රටේ බිහි වූ අතර මෙය අද දක්‌වා ම නො විසඳුණු ගැටලුවක් බවට පත් ව තිබේ. එසේ ම මේ වතු වගාව සඳහා අවශ්‍ය ශ්‍රමය පහසවෙන් හා ලාබදායක ව ලබාගැනීම සඳහා ඉන්දියාවෙන් ශ්‍රමිකයන් 'ආනයනය' කිරීමට ද බ්‍රිතාන්‍ය වැවිලිකරුවෝ කටයුතු කළ හ. එසේ ගෙන්වනු ලැබූ වතු කම්කරු ප්‍රජාව නිසා තවත් සමාජයීය ගැටලුවක් අප රට තුළ ඇති විය. ඔවුන් ගේ අයිතීන් පිළිබඳ ගැටලු විසඳුණේ නිදහස ද ලබා වසර ගණනාවක් ගෙවුණු පසුව ය. එහෙත් මේ වතුකම්කරු ප්‍රජාව ගේ ජීවන මට්‌ටම මෑතක් වන තුරු ම පැවතුණේ ඉතා පහළ මට්‌ටමක ය.
බ්‍රිතාන්‍ය බලපෑම හරිහැටි විමසා තිබේ ද?
මේ කරුණු සැලකූ විට, බ්‍රිතාන්‍ය යුගයේ දී මෙරට ඇති වූ වෙනස්‌කම්වල ඇතැම් අංශ සම්බන්ධව නිසි ඇගැයීමක් කර නොමැති බවක් පෙනේ. පෙර සඳහන් කළ කරුණු හැර, මෙරට ඔවුන් විසින් ඇති කළේ යෑයි පැවසෙන යටිතල පහසුකම් වර්ධනය කිරීමේ සැබෑ අරමුණ විමසීම කළ යුතු ව තිබේ. නිදසුනක් ලෙස ගත හොත්, මාර්ග සංවර්ධනයේ අරමුණ වූයේ උඩරට පාලනය පහසු කරගැනීම හා මෙරට නිෂ්පාදන පහසුවෙන් වරාය වෙත ප්‍රවාහනය කිරීම ය. දුම්රිය මාර්ග සංවර්ධනය කරන ලද්දේ හුදෙක් ජනතාවට පහසු හා ලාබදායී ප්‍රවාහන සේවාවක් සැපයීම සඳහා ම නො ව වතු වගාවේ නිෂ්පාදන පහසුවෙන් වරාය වෙත ගෙන ඒම සඳහා ය. ඇතැම් ප්‍රදේශවල මාර්ග හා දුම්රිය මාර්ග ඉදි වීම හා ඇතැම් ප්‍රදේශවල ඒවා ඉදි කිරීම පමා වීම හා කල් දැමීම සඳහා හේතුවක් වූයේ ඉන් රජයට ලාභයක් නො ලැබීමයි.
එසේ ම බ්‍රිතාන්‍ය සමයේ පසු කාලයේ දී මෙරට වාරිමාර්ග හා කෘෂි කර්මාන්තයේ දියුණුව සඳහා පියවර ගැනීමට බලපෑ හේතු අතර, මෙරටට අවශ්‍ය සහල් ආනයනය සඳහා වැය වූ මුදල පහළ දැමීමේ අවශ්‍යතාව ද විය. මෙවැනි තවත් අංශයක් ලෙස මෙරට අධ්‍යාපනයේ දියුණුව දැක්‌විය හැකි ය. බ්‍රිතාන්‍ය මොඩලයේ අධ්‍යාපනයේ අරමුණ වූයේ අධිරාජ්‍යයට හිතවත් නායකයන් හා පාලිතයන් පිරිසක් බිහි කිරීම බව බොහෝ දෙනාට අමතක ව ගොස් ඇති කරුණකි. අනෙක් අතට බ්‍රිතාන්‍යයන් අනුගමනය කළ බෙදා වෙන් කර පාලනය කිරීමේ උපක්‍රමය නිසා මේ වන විට අපේ රටේ ජනවර්ග අතර ඇති වී තිබෙන්නේ ඉතා ගැටලුසහගත ගැටුම්කාරී වාතාවරණයකි. වර්තමාන පරපුර මුහුණ දී ඇති මේ තත්ත්වය වැඩි වශයෙන් විස්‌තර කිරීම අවශ්‍ය නො වේ.
මේ සියලු කරුණු අනුව අපේ රටේ සමාජ ක්‍රමයේ විශාල පරිවර්තනයක් මෙන්ම චින්තන ක්‍රමයේ විශාල වෙනසක් ද මෙරට ඉතිහාසයේ බ්‍රිතාන්‍ය සමයේ දී ඇති වූ බව පැවසිය හැකි ය. මේ පිළිබඳව බොහෝ දෙනා සාකච්ඡා කරන බැවින් එය අමුතුවෙන් කිව යුතු නො වේ. මේ කරුණු අනුව බ්‍රිතාන්‍යයට යටත් වීමේ වසර දෙ සියයේ සැමරුම තුළ සතුටු වීමට හැකියාවක් නොමැති බව පැහැදිලි ය. 1948 දී අප බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගත් අතර 1972 වර්ෂයේ දී ජනරජයක් බවට ද පත් විය. එහෙත් අද වන විට ද අපේ රට සිර වී සිටින්නේ බටහිර අධිරාජ්‍යවාදීන් ගේ හා නව අධිරාජ්‍යවාදයේ උපක්‍රම තුළ නො වේ ද?
http://www.vidusara.com/2015/02/25/feature1.html
No comments:
Post a Comment