පරිසර පුවත් 2015-02-25
ධනේෂ් විසුම්පෙරුම
ඕසෝන් ස්‌තරයට වින කරන රසායන ද්‍රව්‍ය වර්ධනය වේ?
මොන්ටි්‍රයල් සන්ධානය මගින් පාලනය නො වන ඕසෝන් ස්‌තරයට හානිකර බලපෑම් ඇති කරන රසායන ද්‍රව්‍ය ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇති බව පර්යේෂකයන් පිරිසක් අනාවරණය කර තිබේ. මේ අනුව ඉතා කෙටි ආයු කාලයක් ඇති සංයෝග (Very Short-Lived Substances - VSLS) නම් කාණ්‌ඩයට අයත් රසායනික ද්‍රව්‍ය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.
මේ රසායනික ද්‍රව්‍ය ස්‌වාභාවිකව නිපදවීම මෙන්ම කාර්මික භාවිතය සඳහා යොදාගැනීම ද සිදු වේ. කාර්මික භාවිතයේ දී නිකුත් වන මේ කාණ්‌ඩයේ රසායනික ද්‍රව්‍ය මගින් ඕසෝන් ස්‌තරය විනාශ වීමට දක්‌වන දායකත්වය අඩු වන බැවින් මොන්ටි්‍රයල් සන්ධානය මගින් ඒවා භාවිතය පාලනය කිරීම සිදු නො වී ය. එහෙත් මේ පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට මේ VSLS කාණ්‌ඩයේ එක් රසායනික ද්‍රව්‍යයක් ඉතා වේගයෙන් වර්ධනය වේ. ඒ ඩයික්‌ලෝරොමෙතේන් (dichloromethane) නම් රසායනික ද්‍රව්‍යයයි. මේ වන විට 1990 දශකයේ පැවැති සාන්ද්‍රණය මෙන් දෙගුණයක් පමණ ප්‍රමාණයක් දක්‌වා මෙහි සාන්ද්‍රණය ඉහළ ගොස් තිබේ.
උක්‌ත පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි මේ තත්ත්වය දිගින් දිගට ම පැවතුණ හොත්, මොන්ටි්‍රයල් සන්ධානයෙන් අත්පත් කරගත් ඇතැම් යහපත් ප්‍රතිඵල ආපසු හැරවීමට පවා ඉඩක් පවතී. මේ වන විට උක්‌ත කාණ්‌ඩයේ රසායන ද්‍රව්‍යවලින් ඕසෝන් ස්‌තරයට ඇති වන බලපෑමෙන් 90%ක් සඳහා වගකිව යුත්තේ ස්‌වාභාවිකව නිපදවනු ලබන රසායනික වුව ද, මිනිසුන් විසින් නිපදවනු ලබන රසායනිකවල බලපෑම දිනෙන් දින ඉහළ යමින් පවතී. (මූලාශ්‍රය: Nature Geoscience, DOI:10.1038/ ngeo2363)
මීළඟ මහා ගිනි කඳු පිපිරීම පරීක්‌ෂාවට
දේශගුණ වෙනස් වීම අවම කිරීම සඳහා ඉදිරිපත් ව ඇති එක් විසඳුම් කාණ්‌ඩයක් ලෙස භූ ඉංජිනේරුමය විසඳුම් සැලකිය හැකි ය. මේවා පිළිබඳ දැඩි විවේචන ඇතත්, සැලකිය යුතු විද්‍යාඥයෝ පිරිසක් මේවායේ කිසියම් ප්‍රායෝගික ස්‌වභාවයක් ඇති බව පවසන අතර ඒ පිළිබඳ අධ්‍යයනය කරති.
මෙවැනි එක් ක්‍රමවේදයක් වන්නේ වායුගෝලයේ ඉහළ මට්‌ටමක පිහිටා ඇති ස්‌තරගෝලයට සල්ෆර් මුදාහැරීමයි. මේ අදහස ලැබෙන්නේ මෑත අතීතයේ සිදු වූ විශාල ගිනිකඳු පිපිරීමක් වන 1998 වර්ෂයේ දී සිදු වූ පිනාටුබෝ ගිනිකන්ද විදාරණයෙන් ඇති වූ බලපෑම නිසා ය. එම පිපිරීමෙන් පසු ගත වූ වර්ෂ කිහිපය ඇතුළත ලෝකයේ මද සිසිල් වීමක් සිදු විය. ඒ සඳහා හේතු වූයේ ඒ යමහල් විදාරණයේ දී වායුගෝලයට එක් වූ සල්ෆර් ඩයොක්‌සයිඩ් ටොන් මිලියන 20ක් පමණ ප්‍රමාණය බව පෙන්වා දී තිබේ. මේ වායුව ජලය හා එක් වීමෙන් සෑදුණු සල්ෆියුරික් අම්ල බිඳිති මගින් සූර්යාලෝකය පොළොව මතට පතිත වීම වළක්‌වා ආපසු පරාවර්තනය කිරීම හේතුවෙන් පෘථිවිය උණුසුම් වීම මද කලකට අඩු වී තිබේ.
එහෙත් මේ පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක් තවමත් නොමැති බැවින් ඒ ගැන අධ්‍යයනය කිරීමට අපේක්‌ෂා කරන විද්‍යාඥ පිරිසක්, මීළඟ විශාල ගිනිකඳු පිපිරීමේ දී දියුණු උපකරණ යොදාගනිමින් උක්‌ත බලපෑම සිදු වන ආකාරය හැදෑරීමේ අපේක්‌ෂාවෙන් පසුවෙති.
ඇමෙරිකාවේ අනාගත නියඟවල තරම
ඇමෙරිකාවේ අනාගතයේ දී ඇති විය හැකි මහා නියං තත්ත්ව ගත වූ වසර දහසක පමණ කාලය ඇතුළත එරට ඇති වන බරපතළ ම තත්ත්වයේ නියඟ විය හැකි බව පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. ඇමෙරිකාවේ නිරිතදිග ප්‍රදේශයේ හා මහා තැනිතලා (Great Plains) ප්‍රදේශවල ඇති විය හැකි හා දශක ගණනක් පුරා පැවතීමට අවස්‌ථාව ඇති මේ නියඟ, අදින් සියවස් හතකට පමණ පෙර, එනම් වර්ෂ 1100-1300 අතර කාලයේ දී, ඇති වූ හා මහා ශිෂ්ටාචාරවල විනාශයට හේතු වූ බරපතළ මහා නියඟයකට ද වඩා දැඩි විය හැකි ය.
මේ අධ්‍යයනය වර්තමාන ඉහළ යන උෂ්ණත්වය හා අතීතයේ පැවැති දේශගුණ වාර්තා සංසන්දනය කරන ආකාරයේ අධ්‍යයනයකි. ඒ සඳහා එම පර්යේෂකයන් උතුරු ඇමෙරිකාවේ වසර දහසක දේශගුණ ඉතිහාසය හා වර්තමාන දේශගුණ වෙනස් වීම පිළිබඳව සිදු කර ඇති ආකෘති 17ක් සංසන්දනය කර ඇත. මේ අනුව ඔවුන්ට හෙළි වී ඇත්තේ 2050 හා 2099 වර්ෂ අතර කාලයේ දී දිගු කල් පවත්නා ආකාරයේ නියඟයක් ඇති විය හැකි බවයි. මේ තත්ත්වය මධ්‍යස්‌ථ මෙන්ම ඉහළ දේශගුණ සංසිද්ධි පෙන්වන තත්ත්ව යටතේ ඇති විය හැකි ය.
නියං තත්ත්ව සුලබ වීම හා ඒවායේ තීව්‍රතාව ඉහළ යැම සඳහා වර්තමාන දේශගුණ වෙනස් වීම ද දායක වන බව මේ වන විට පිළිගත් කරුණකි. (මූලාශ්‍රය: Science Advances, DOI:10.1126/sciadv.1400082)
http://www.vidusara.com/2015/02/25/news1.html
No comments:
Post a Comment