Wednesday, March 25, 2015

පරිසර පුවත් - Environment News (2015-03-18)

පරිසර පුවත් 2015-03-18
ධනේෂ් විසුම්පෙරුම


විදුසර 2015-03-18 (Vidusara)

http://www.vidusara.com/2015/03/18/news4.html


ජලගැලීම්වලින් විපතට පත් වන ගණන ඉහළට


ජලගැලීම් යනු බරපතළ විපාක ඇති කරන ස්‌වාභාවික ව්‍යසනයකි. 2030 වර්ෂය වන විට ලෝකයේ ගංගාවල ඇති වන ජලගැලීම් තත්ත්ව නිසා නිසා පීඩාවට පත් වන ගණන අද මෙන් තුන් ගුණයක්‌ විය හැකි බවට ගණනය කර ඇත. ඊට හේතු වන සාධක අතර දේශගුණ වෙනස්‌ වීම හා සමාජ-ආර්ථරික සංවර්ධනය ද (ජනගහන වර්ධනය) ඇති බව ලෝක සම්පත් ආයතනය (World Resources Institute - WRI) පෙන්වා දී තිබේ.

ජගත් මට්‌ටමේ දත්ත යොදාගනිමින් සකස්‌ කර ඇති අන්තර්ජාලය පදනම් කරගත් මෙවලමක්‌ ලෙස ක්‍රියාත්මක මෙහි දී දක්‌වා ඇති පරිදි ලෝකය පුරා ගංවතුරින් පීඩාවට පත් වන පිරිස වර්තමානයේ දී සාමාන්‍යයෙන් මිලියන 21ක්‌ පමණ ය. ඉදිරි වර්ෂ පහළොවක කාලය ඇතුළත මේ ගණන මිලියන 54ක්‌ පමණ තෙක්‌ ඉහළ යා හැකි ය. ලෝකයේ ආර්ථිකයට ගංවතුරින් සිදු වන හානිය මීට වඩා වැඩි අනුපාතයකින් ඉහළ යනු ඇත. දැනට ජලගැලීම් නිසා සිදු වන පාඩුව ඩොලර් බිලියන 96ක්‌ පමණ වන අතර, 2030 දී මේ ප්‍රමාණය බිලියන 541 දක්‌වා ඉහළ වනු ඇතැයි අපේක්‌ෂිත ය.

මෙහි දී රටවල් 164ක ගංවතුර නිසා පීඩාවට පත් වන ජනගහනය ගණනය කර ඇති අතර, ඉන් 80%ක පමණ පිරිසක්‌ ජීවත් වන්නේ දියුණු වන රටවල් 15ක්‌ පමණ ප්‍රමාණයක වීම විශේෂ කරුණකි. වැඩි ම ජන සංඛ්‍යාවක්‌ අවදානමට ලක්‌ ව ඇත්තේ ඉන්දියාව, බංගලාදේශය හා චීනය යන රටවල ය. ඉන්දියාවේ වාර්ෂිකව විපතට පත් වන ජනගහනය මිලියන 4.84ක්‌ පමණ වේ. වැඩි ම ආර්ථික හානියක්‌ සිදු වන රටවල් අතර ද ඉන්දියාව ඉදිරියෙන් සිටියි. මේ කරුණු අනුව පෙනෙන්නේ ජලගැලීම්වලින් ආරක්‌ෂා වීමට හා හානි අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදත්කමයි. (මූලාශ්‍රය: Aqueduct Global Flood Analyzer, www.wri.org/floods)

ඇත් දළ වෙළෙඳාමට එරෙහි හඬ තීව්‍ර වේ


දළ ලබාගැනීම සඳහා ඇතුන් මරා දැමීම මේ වන විට සංරක්‌ෂණවේදීන් ගේ සැලකිල්ලට ලක්‌ ව ඇති කරුණකි. චීනය හා ඇතැම් අග්නිදිග ආසියානු රටවල් කිහිපයක සිදු කරන විසිතුරු භාණ්‌ඩ නිෂ්පාදනය සඳහා ඇත් දළවලට ඇති අධික ඉල්ලුමක්‌ පවතී. මේ නිසා ඇතුන් නීති විරෝධී ලෙස මරා දැමීම හා ඇති දළ නීති විරෝධී ලෙස ජාත්‍යන්තර වශයෙන් ප්‍රවාහනය කිරීම දැකගත හැකි ය. ලෝක වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාමේ වැදගත් තැනක්‌ ඇත් දළවලට හිමි වේ. මේ තත්ත්වය නිසා අප්‍රිකානු අලි ගහනය දැඩි ලෙස පීඩා විඳියි. එසේ ම ඇත් දඩයම හා දළ වෙළෙඳාම පාලනය කිරීම අප්‍රිකානු රටවලට අභියෝගයක්‌ වී තිබේ.

කෙන්යාව පසුගිය සතියේ ගත් පියවර මේ පිළිබඳව විරෝධය පළ කිරීමකි. එරට තුළ දී පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගන්නා ලද ඇත් දළ ටොන් 15ක්‌ පමණ ප්‍රමාණයක්‌ පසුගිය දා පුළුස්‌සා දැමීමට එරට බලධාරීහු කටයුතු කළ හ. එරට ජනාධිපතිවරයා ගේ සහභාගිත්වයෙන් පැවැති මේ උත්සවය සඳහා ඔවුන් තෝරාගත්තේ ලෝක වනජීවී දිනයයි. මින් පෙර අවස්‌ථා දෙකක දී ද කෙන්යාව මේ ආකාරයෙන් තම රටේ එකතු වූ ඇත් දළ තොග පුළුස්‌සා විනාශ කර ඇත.

මේ අතර, ඇත් දළ හා එමගින් කළ නිෂ්පාදන සඳහා ඇති ප්‍රධානතම වෙළෙඳපොළ වන චීනය පසුගිය මාසයේ දී අප්‍රිකානු අත් දළ කැටයමින් කළ භාණ්‌ඩ ආනයනය සඳහා වසරක තහනමක්‌ ප්‍රනාශයට පත් කළේ ය. එසේ ම අත්අඩංගුවට ගන්නා ලද ඇත් දළ ටොන් 6.2ක ප්‍රමාණයක්‌ එරට රජය විසින් පසුගිය වසරේ දී විනාශ කරන ලදි. එය චීන බලධාරීන් එවැනි පියවරක්‌ ගත් මුල් ම අවස්‌ථාව විය. එසේ ම පසුගිය දා චීනයේ සංචාරයක යෙදුණු බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු ද ඇත් දළ වෙළෙඳාම අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කළේ ය.

http://www.vidusara.com/2015/03/18/news4.html

No comments:

Post a Comment