Monday, January 28, 2013

ලෝහ ආයුධ භාවිතයට පෙර සිට දැව නිර්මාණ භාවිත කළ බවට සාධකලෝකයේ පැරැණිතම දැව ඉදි කිරීම් ජර්මනියෙන්

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-01-09,
http://www.vidusara.com/2013/01/09/feature2.html





මේ නිර්මාණ අයත් වන්නේ මධ්‍යම යුරෝපයේ වාසය කළ පැරැණිතම කෘෂිකාර්මික ජන කොටසකට ය. ඔවුන් අයත් වන්නේ රේ‚ය මැටි මෙවලම් සංස්‌කෘතිය (Linear Pottery culture) නමින් හැඳින්වෙන නවශිලා යුගයේ සංස්‌කෘතික අවධියකට ය. මේ ජනතාව ව්‍යවහාර වර්ෂ පූර්ව 5600ත් 4900ත් අතර කාලයකට පෙර උක්‌ත ප්‍රදේශයේ වාසය කළ ජන කොටසකි. එතෙක්‌ කලක්‌ දඩයමේ යෙදෙමින් හා විවිධ ආහාර ද්‍රව්‍ය එකතු කරමින් ගත කළ තැනින් තැනට යන ජංගම දිවි පෙවෙත වෙනුවට, මිනිසුන් කෘෂිකර්මය හා සතුන් ඇති කිරීම ආරම්භ කරමින් කිසියම් ස්‌ථානයක ස්‌ථරිර ජනාවාස ඇති කරගනිමින් ජීවත් වීම ආරම්භ කළේ මේ නවශිලා යුගයේ දී ය. යුරෝපයේ මේ අවධිය ව්‍යවහාර වර්ෂ පූර්ව 5500 සහ 4500 අතර කාලයේ පැවැති බව සැලකේ.

මේ ආකාරයෙන් එක්‌ තැනක ජීවත් වීමට යොමු වීමත් සමඟ මිනිසුන්ට මෙතක්‌ නො තිබූ අවශ්‍යතා ද ඇති විය. ඒ අතර ස්‌ථරිර නිවාස වඩාත් වැදගත් විය.

මේ අධ්‍යයනයට ලක්‌ කළ ප්‍රදේශයේ විසූ ජන කොටස්‌ නව ජීවන ක්‍රමයට පිවිසි පසු ගොවිතැන් කිරීම, සතුන් ඇති කිරීම හා මැටි භාණ්‌ඩ නිෂ්පාදනය කිරීම සිදු කළ බවට සාධක ලැබී ඇති අතර ඔවුන් ස්‌වාභාවික සම්පතක්‌ ලෙස දැව යොදාගෙන කර ඇත. මේ නවශිලා යුගයේ මිනිසුන් විසින් කරන ලද දැවමය ඉදි කිරීම්වල ශේෂයන් මෙතෙක්‌ ලැබී තිබී නොමැති අතර හමු වී ඇත්තේ ඔවුන් තැනූ නිවාසවල දැව සලකුණු පමණි.

ළිං ඉවුරු ආවරණ හා ඒවායේ විවිධත්වය

මෙවැනි ජනකොටසක්‌ වාසය කළ ජනාවාසයක පිහිටා තිබූ ළිං කිහිපයක්‌ පෙර සඳහන් කළ ප්‍රදේශවල මෑතක දී කළ කැණීම් මගින් අනාවරණය කරගත හැකි විය. මේ ඇතැම් ළිඳක්‌ පිහිටා තිබී ඇත්තේ මීටර් 7ක්‌ තරම් ගැඹුරෙන් වන අතර ඒවා මෙතෙක්‌ කලක්‌ ආරක්‌ෂා වී ඇත්තේ භූගත ජල මට්‌ටමේ පිහිටා තිබූ බැවිනි. එහි දී වෘක්‌ෂ 46කට පමණ අයත් දැවමය කොටස්‌ එක සිය පණහකට අධික ප්‍රමාණයක්‌ හමු වී ඇති අතර මේවා යොදාගෙන ඇත්තේ ළිංවල ඉවුරු ආවරණ සකස්‌ කිරීම සඳහා ය.

දැව භාවිත කරමින් සිදු කරන ලද මේ ආවරණ සැකසීමේ දී උපයෝගී කරගෙන ඇති ක්‍රම දෙකක්‌ වේ. ඉන් පළමුවැන්න චතුරස්‍රාකාර ළිං ඉවුරු ආවරණ (chest-like well lining) වන අතර මේ සඳහා යොදාගෙන ඇත්තේ දැව කඳන් ය. අනෙක්‌ වර්ගය නාළාකාර ළිං ඉවුරු ආවරණ (tube-like well lin) සේ හැඳින්විය හැකි අතර ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ සිදුරු සහිත ගසක කඳකි. එවැන්නක්‌ වටා චතුරස්‍රාකාර ළිං ආවරණ යොදාගත් අවස්‌ථා ද පවතී. (ඡායාරූපය 1)



මේ දැවමය ඉදි කිරීම් ළිඳක ඉවුරු කඩා වැටීම වැළැක්‌වීම සඳහා භාවිත කර ඇති බව පෙනේ. ඒවා එකිනෙක මත තැබීමෙන් ළිඳක අවශ්‍ය ගැඹුරක සිට ඉහළට මනා ආවරණයක්‌ තැනීමට හැකි ය. (ඡායාරූපය 2). මැටියෙන් ඉදි කරන ලද අපේ රටේ හමු වන මෙවැනි ළිං ආවරණ ඌරාකැට ලෙස හැඳින්වුණු අතර වර්තමානයේ භාවිතයට ගන්නා ළිං වළලුවලින් කෙරෙන කාර්යය ද මේ හා සමාන ය.

මේ පර්යේෂණයේ දී හෙළි වී ඇති ආකාරයට උක්‌ත දැව නිර්මාණ වසර හත් දහසක්‌ පමණ පැරැණි ඒවා ය. අදාළ ප්‍රදේශ හතරෙන් ලැබුණු ඕක්‌ ගස්‌ කපා හෙළා ඇත්තේ ව්‍යවහාර වර්ෂ 5206ත් 5098ත් අතර කාලයේ දී ය. මේ සඳහා යොදාගෙන ඇති වෘක්‌ෂ කාලනිර්ණ ක්‍රමවේදය (dendrochronolog) මගින් අදාළ ශාක කපා හෙළන ලද කාලය නිශ්චිතව තීරණය කිරීමට හැකි වී ඇති අතර ඒ අනුව අදාළ ළිං තනන ලද කාලය ද ආසන්න වශයෙන් පැවසීමට හැකියාව ලැබී තිබේ.

දැව සැකසීමේ ක්‍රමවේදය

මේ ළිං ආවරණ මගින් වැදගත් කරුණු රැසක්‌ අනාවරණය වී තිබේ. නව ශිලා යුගයේ මුල් අවධියට අයත් මේ ආවරණ තනා ඇත්තේ ඕක්‌ ගස්‌වලින් (Quercus විශේෂ) ලබාගත් දැවයෙනි. මේ කාලයේ දී මීටරයක්‌ පමණ විෂ්කම්භයක්‌ සහිත ගස්‌ පවා මිනිසුන් විසින් කපා දමනු ලැබ ඇත. මේ දැව කපා හෙළීම සඳහා යොදාගෙන ඇත්තේ ශිලාමය වෑය වැනි මෙවලම් බව දැව කොටස්‌වල ඇති සලකුණුවලින් හෙළි වේ. කපා හෙළන ලද දැව කඳන් වෙන් කිරීම සඳහා දැව කුඤ්ඤ යොදා ගෙන ඇති අතර ඒවාට යොදාගෙන ඇත්තේ දැවමය විශාල මිටි වැනි උපකරණ බව පෙනේ. මේ ආකාරයන් දැව කඳන් දෙපලු කිරීම සිදු කළ හැකි බව පරීක්‌ෂණාත්මකව පෙන්වා දී ඇති කරුණකි. ඉන් අනතුරුව මේ දැව පලු අවශ්‍ය ප්‍රමාණයට වෙන් කර ගැනීම සඳහා යොදාගෙන ඇත්තේ වෑය වැනි උපකරණ මගින් කැපීමෙන් හා ගිනි අඟුරු යොදාගනිමින් බව ද පෙනී යයි. එවැනි සලකුණු මේ කැණීමේ දී හමු වූ දැව කොටස්‌වල ද දැකිය හැකි ය. (ඡායාරූපය 3) මේ ආකාරයෙන් අඟුරු භාවිතයෙන් දැව පිළිස්‌සීම, ගස්‌වල කඳන් යොදාගනිමින් ඔරු තැනීමේ දී ද භාවිත කර ඇත. දැව කොටස්‌වල මතුපිට සකස්‌ කිරීම සඳහා යළිත් වෑය වැනි උපකරණ භාවිත කළ බවට සාධක ද පවතී.


මේ දැව කොටස්‌ එක්‌ කර සකස්‌ කර ඇති අන්දම ද අපූරු ය. චතුරස්‍රාකාර ළිං ආවරණ සකස්‌ කිරීමේ දී දැව කොටස්‌ හතරක්‌ අවශ්‍ය අතර ඒ අනුව සන්ධි හතරක්‌ ද සැකසිය යුතු ය. ඇතැම් දැව කඳන්වල කට්‌ටා කැපීමෙන් ඒවා රඳවා තැබූ ආකාරයක්‌ දැකිය හැකි අතර ඇතැම් කඳන් කුඤ්ඤ භාවිතයෙන් එකිනෙකට සම්බන්ධ කර තිබේ. මේ සන්ධි සකස්‌ කර ඇත්තේ සංකීර්ණ ආකාරයකිනි. මෙහි දී යොදාගෙන ඇති ලේසර් තාක්‌ෂණික පරිලෝකන තාක්‌ෂණික උපක්‍රම මගින් මේ ජනතාව දැව කර්මාන්තයේ දී යොදාගත් තාක්‌ෂණික ක්‍රම සැලකිය යුතු තරමින් වර්ධනය වී පැවැති බව අනාවරණය වෙයි. එය රළු ශිලා මෙවලම් භාවිත කරමින් සකස්‌ කර තිබීම විශේෂත්වයකි. (ඡායාරූපය 4 හා 5)

මේ පර්යේෂණයේ දී හමු වූ දැව කොටස්‌ සකස්‌ කිරීමට ශිලා මෙවලම් යොදාගත් බවට පැහැදිලි සලකුණු කැණීම් මගින් ලැබුණු දැව කොටස්‌ මත පැහැදිලිව හඳුනාගැනීමට හැකියාව ලැබී ඇත. මේ මෙවලම් මේ කලාපයේ උක්‌ත අවධියට අයත් පුරාවිද්‍යාත්මක ස්‌ථානවලින් සැලකිය යුතු තරම් සුලබව ලැබෙන ඒවා ය.

ලෝහ සොයාගැනීමට පෙර කළ සංකීර්ණ දැව නිර්මාණ

මේ පර්යේෂණයේ වැදගත් ම හෙළිදරව්ව ඇත්තේ මේ හා සම්බන්ධව ය. මේ දක්‌වා ලැබී ඇති සාධකවලට අනුව මේ අවධිය වන විට ලෝහ හා ලෝහමය ආයුධ භාවිතය ආරම්භ වී නොමැත. ලෝහ ආයුධ පිළිබඳ සාධක ලැබෙන්නේ මේ කාලයට වඩා වසර දහසකින් පමණ මෑත කාලයක පටන් ය. එවැනි තත්ත්වයක්‌ තුළ ශිලා මෙවලම් යොදාගනිමින් මෙවැනි සංකීර්ණ දැව නිර්මාණ සිදු කර ඇතැයි යන්න වැදගත් සොයාගැනීමකි. විශේෂයෙන් මේ දැව සකස්‌ කිරීමේ දී හා දැව කොටස්‌ එක්‌ කිරීමට යොදාගෙන ඇති සන්ධි මගින් දැව ඉදි කිරීම් කර්මාන්තයේ යම් දියුණු දැනුමක්‌ පැවැති බව පැහැදිලි වේ. මේ නිසා යුරෝපයේ පළමු ගොවීන් පළමු වඩු කාර්මිකයන් ද වූ බව පැහැදිලි ය.

නවශිලා යුගයේ සිදු වූ මේ වර්ධනය මානව වර්ධනයේ වැදගත් ඉදිරි පියවරක්‌ බව පැහැදිලි ය. ඔවුන් ගේ දක්‌ෂතා තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව පැහැදිලි ය. කෙසේ වෙතත් මේ සොයෑගැනීම මගින් මෙතෙක්‌ පැවැති එක්‌ විශ්වාසයක්‌ අභියෝගයට ලක්‌ වෙයි. එය වන්නේ සංකීර්ණ දැවමය ඉදි කිරීම් සිදු කිරීම සඳහා ලෝහමය උපකරණ අත්‍යවශ්‍ය වූ බවට පැවැති විශ්වාසයයි. (මූලාශ්‍රයPLoS ONE, http://www.blogger.com/blogger.g?blogID=170420911059836286#editor/target=post;postID=1391974442761185970DOI:10.1371/journal.pone.0051374) ධනේෂ් විසුම්පෙරුම

http://www.vidusara.com/2013/01/09/feature2.html

No comments:

Post a Comment