Monday, January 28, 2013

ජගත් පරිසර විමසුම 157 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-01-16, පි. 11
http://www.vidusara.com/2013/01/16/feature4.html

විමසුම - ආහාර නාස්‌තියේ තරම
ප්‍රමුඛ පුවත- රසදිය විමෝචන තර්ජනය ඉහළට
පුවත් සැකෙවින් - උණුසුමට ඔරොත්තු දෙන කොරල් විශේෂ නව බලාපොරොත්තුවක්‌  ගංගා ලවණීකරණය පාරිසරික අර්බුදයකි/ රයිනෝ ඝාතන වාර්තාගත මට්‌ටමක


විමසුම
ආහාර නාස්‌තියේ තරම

ආහාර නාස්‌තිය සාකච්ඡාවට ලක්‌ කළ යුතු වැදගත් ප්‍රශ්නයක්‌ බවට සැකයක්‌ නොමැත. ලෝකයේ ඇතැම් රටවල ජනතාව ප්‍රමාණවත් තරම් ආහාර නොමැතිකම හෝ මන්දපෝෂණය පිළිබඳ ගැටලුවලට මුහුණ දී ඇති අතර තවත් රටවල බරපතළ තත්ත්වයේ ආහාර නාස්‌තියක්‌ දැකිය හැකි ය. ඇතැම් විට මේ ආහාර නාස්‌තිය සිදු වන රටවල හා සමාජයේ එය එතරම් ගැටලුවක්‌ සේ නො දැකීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. එය ඔවුන් ගේ ජීවන රටාවේ එක්‌ පියවරක්‌ පමණකි.

ලෝකයේ සිදු වන ආහාර නාස්‌තිය අප සිතා සිටිනවාට වඩා බරපතළ වූවක්‌ බව පසුගිය දා ප්‍රකාශයට පත් වූ වාර්තාවකින් පෙන්වා දී තිබේ. බ්‍රිතාන්‍යයේ කාර්මික ඉංජිනේරුවන් ගේ ආයතනය මගින් නිකුත් කර ඇති මේ වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීමට අප මේ සතියේ විමසුම වෙන් කළේ මේ ගැටලුවේ තරම අප ද අවබෝධ කරගැනීම වැදගත් වන නිසා ය.

ආහාර නිෂ්පාදනයෙන් අඩක්‌ පමණ නාස්‌ති වේ

ජගත් මට්‌ටමේ වාර්තාවකට අනුව ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන ආහාරවලින් සියයට 30ත් 50ත් අර ප්‍රමාණයක්‌ මිනිස්‌ ආහාරයට නො ගැනී ම අපතේ යයි. මෙය ප්‍රමාණාත්මකව ගන්නේ නම් ලෝකයේ වාර්ෂිකව නිපදවනු ලබන ආහාර ප්‍රමාණය වන ටොන් බිලියන 4ක්‌ අතරින් ප්‍රමාණයෙන් ටොන් බිලියන 1.2ත් 2ත් අතර ප්‍රමාණයක්‌ වේ. මෙය බරපතළ තත්ත්වයක්‌ බව ඉතා පැහැදිලි ය.

එසේ ම මේ අප දකින්නේ සිදු වන ආහාර නාස්‌තිය පමණකි. මේ ආහාර නිපදවීම සඳහා යොදාගෙන ඇති අනෙක්‌ සම්පත් ප්‍රමාණය මෙහි දී අපේ අවධානයට ලක්‌ නො වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ ආහාර නිපදවීමේ දී යොදාගෙන ඇති භූමිය, ජලය, පොහොර හා වෙනත් රසායන ද්‍රව්‍ය හා බලශක්‌තිය වැනි සම්පත් මෙහි දී අවධානයට ලක්‌ නො වේ. ඒ සියල්ල සලකන විට අපට මේ ආහාර නාස්‌තියේ තරම සු`ඵපටු නො වන බව පෙනේ.

නාස්‌තියට හේතු හා එය වළක්‌වාලීම

උක්‌ත ආහාර හි`ගයට අදාළ හේතු වන කරුණු ගණනාවක්‌ ද දක්‌වා තිබේ. ඒ අතර අස්‌වනු නෙළීමේ දී ඇති වන හානිය, ගබඩා කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නො වීම හා එහි ඇති ගැටලු නිසා ආහාර අපතේ යැම, ප්‍රවාහන පහසුකම් ආශ්‍රිත ගැටලු මෙන්ම වෙළෙඳපොළේ දී හා පාරිභෝගිකයන් අතින් සිදු වන ආහාර නාස්‌තිය මේ සාධක අතර වේ.

මේ සාධක ලෝකයේ විවිධ රටවල විවිධ ආකාරයෙන් බලපායි. නිදසුනක්‌ ලෙස ගත හොත්, සංවර්ධනය වෙමින් ඇති රටවල ආහාර නාස්‌තිය වැඩි වශයෙන් සිදු වන්නේ ආහාර සැපයුම් දාමයේ පහළින් ම ඇති නිෂ්පාදකයා ගේ මට්‌ටමේ දී ය. එනම් ගොවියා ගේ මට්‌ටමේ දී ය. රටක සංවර්ධනය ඉහළ මට්‌ටමකට ළ`ගා වන විට ආහාර නාස්‌තිය සිදු වන මට්‌ටම ද ඉහළ යයි. දියුණු රටවල දී මේ දාමයේ ඉහළ ම මට්‌ටමේ පසු වන පාරිභෝගික මට්‌ටමේ දී සැලකිය යුතු ආහාර නාස්‌තියක්‌ දැකිය හැකි ය. රටවල මෙන්ම පාරිභෝගිකයා ගේ ආර්ථික මට්‌ටම ද මීට යම් බලපෑමක්‌ ඇති කරයි. මේ රටවල ඇති පාරිභෝගික රටාව ද මීට බලපෑමක්‌ ඇති කරයි.

මේ ආහාර නාස්‌තිය වළක්‌වාලීම සඳහා ගත යුතු නිර්දේශ කිහිපයක්‌ ද උක්‌ත වාර්තාවේ දක්‌වා තිබේ. දියුණු වන රටවලට අවශ්‍ය ඉංජිනේරු දැනුම ලබා දීම මේ අතර මුල්තැනක්‌ ගනියි. මේ රටවල ආහාර නාස්‌තිය වැඩි වශයෙන් සිදු වන්නේ අස්‌වනු ලබාගැනීමේ දී හා පසු අස්‌වනු අවස්‌ථාවේ දී ය. මේ හානිය අවම කරගැනීම සඳහා තාක්‌ෂණය යෙදවීම අවශ්‍ය ය. එසේ ම ප්‍රවාහනයේ දී හා ගබඩා කිරීමේ දී සිදු වන නාස්‌තිය අවම කිරීම සඳහා ද අදාළ රටවල ආණ්‌ඩු මගින් අවශ්‍ය පියවර ගැනීම වැදගත් ය. දියුණු රටවල දී විශේෂයෙන් වැදගත් වන්නේ පාරිභෝගික හා අලෙවි අංශවල සිදු කළ යුතු වෙනස්‌කම් ය. මෙහි දී පාරිභෝගිකයන් විසින් අධික ලෙස මිල දී ගනු ලැබීම නිසා ආහාර අපතේ යැම වැළැක්‌වීම මෙන්ම සිල්ලර අලෙවිකරණයේ දී අපතේ යැම වළක්‌වාලීම ද වැදගත් වේ. මේ සඳහා අවශ්‍ය ආකල්පමය වෙනස්‌කම් සිදු කිරීම ද වැදගත් ය. අධි පරිභෝජනය මේ රටවල දැකිය හැකි බරපතළ ගැටලුවක්‌ වේ.

ආහාර නාස්‌තිය වළකාලීමේ වැදගත්කම

මෙසේ නාස්‌ති වන ආහාර මනාව කළමනාකරණය කිරීමෙන් ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීම නිසා පීඩා විඳින ජනතාවට ද යම් ආහාර සැපයුමක්‌ ලබා දීමට හැකියාව තිබේ. අනෙක්‌ අතට අප දන්නා පරිදි ලෝක ජනගහනය අඛණ්‌ඩව වර්ධනය වෙමින් තිබේ. මේ වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර ලබා දීම අප හමුවේ අභියෝගයක්‌ බව පැහැදිලි ය. විශේෂයෙන් ආහාර නිෂ්පාදනයට සීමාකාරී සාධක ඇති බව පෙනේ. භූමිය හා ජලය මේ අතර මුල් තැනක්‌ ගනියි. වගා කිරීමට යෝග්‍ය භූමි ප්‍රදේශ මේ වන විටත් සීමා වෙමින් පවත්නා අතර කෘෂිකාර්මික ජල සැපයුමේ ද සීමා පවතී.

ලෝකයේ විවිධ ස්‌ථානවල, විවිධ ආකාරයෙන් සිදු වන ආහාර නාස්‌තිය වළක්‌වාලීම හරහා ලෝකයට අවශ්‍ය ආහාර සැපයුමෙන් සැලකිය යුතු කොටසක්‌ ඉතිරි කර ගත හැකි බව පැහැදිලි ය. උක්‌ත වාර්තාවේ දැක්‌වෙන ආකාරයට ආහාර නාස්‌තිය වළක්‌වාලීමෙන් නිෂ්පාදනය 60-100% අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට හැකියාව තිබේ. මේ නිසා ආහාර නාස්‌තිය වළක්‌වාලීමේ වැදගත්කම අප අවිවාදයෙන් ම පිළිගත යුතු කරුණක්‌ වන අතර ඒ ගැන අවශ්‍ය පියවර ගැනීම බලධාරීන් ගේ පමණක්‌ නො ව පෞද්ගලික වශයෙන් සියලු දෙනා ගේ ම යුතුකමක්‌ වේ. එය තිරසර සංවර්ධනය සඳහා ද හේතු වන කරුණකි. (මූලාශ්‍රයGlobal Food;Waste Not, Want Not ,www.imeche.org/Libraries/Reports/IMechE_Global_Food_Report.sflb.ashx)

ප්‍රමුඛ පුවත
රසදිය විමෝචන තර්ජනය ඉහළට

පරිසරයට නිකුත් වන රසදිය විමෝචන නිසා මිනිසුන්ට ඇති තර්ජනය ක්‍රමයෙන් ඉහළ යමින් ඇති බව එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන (UNEP) විසින් නිකුත් කරන ලද zරසදිය ක්‍රියාකාරී වීමට කාලයයිZ නම් වාර්තාව පෙන්වා දෙයි.

2010 වර්ෂයේ දී වායුගෝලයට නිකුත් වූ රසදිය විමෝචන ප්‍රමාණය ටොන් 1960ක්‌ පමණ බව ගණනය කර ඇත. මේ තත්ත්වයේ දැකිය හැකි වැදගත් ම කරුණ වන්නේ පසුගිය අඩ සියවසක පමණ කාලය ඇතුළත ලෝකයේ රසදිය භාවිතය ක්‍රමයෙන් පහළ යමින් පැවතීමයි. එහෙත් මෑත කාලයේ දී ඇතැම් කලාපවල රසදිය විමෝචන ඉහළ යමින් තිබේ. මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ සෞඛ්‍ය හා පාරිසරික අවදානම වැඩි වශයෙන් දැකිය හැක්‌කේ දියුණු වන රටවල බව ය. කලාපීය වශයෙන් ගත හොත් වැඩි ම රසදිය විමෝචනයක්‌ දැකිය හැක්‌කේ අග්නිදිග ආසියානු රටවල ය.

රසදිය විමෝචන ඉහළ යැමට හේතු වී ඇති කරුණු අතර කුඩා පරිමාණයෙන් සිදු වන රන් කැණීම හා ගල් අ`ගුරු දහනය කිරීම ඇතුළත් ය. රන් නිස්‌සාරණයේ දී රසදිය භාවිතයට ගන්නා අතර ගල් අ`ගුරුවල ස්‌වාභාවිකව රසදිය සු`ඵ ප්‍රමාණයක්‌ ඇතුළත් වේ. මේ ආකාර දෙකෙන් ම වායුගෝලයට රසදිය නිකුත් වන අතර මෙසේ පරිසරයට එක්‌ වන රසදිය දිගු කලක්‌ තිස්‌සේ පරිසරයේ රැඳී පවතී. ජලයේ, වායුගෝලයේ මෙන්ම පසේ ද, ජීවීන් ගේ දේහවල ද පවත්නා රසදිය මගින් විවිධ බලපෑම් ඇති විය හැකි ය.

කුඩා පරිමානයේ රන් කැණීම් කටයුතු 2005 සිට මේ දක්‌වා කාලයේ දී දෙගුණයකින් පමණ ඉහළ ගොස්‌ ඇත. ඒ රන් සඳහා ඇති අධික ඉල්ලුම නිසා ය. මෙය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ. රසදිය නොමැති හා රසදිය අඩු වශයෙන් යොදාගන්නා රන් නිස්‌සාරණ ක්‍රම ඇතත් ඒවා භාවිතයේ සීමා පවතී. අනෙක්‌ අතට ගල් අ`ගුරුවල රසදිය ඇතුළත් වන්නේ සු`ඵ වශයෙන් වුව ද වැඩි ගල් අ`ගුරු ප්‍රමාණයක්‌ දහනය කිරීම නිසා රසදිය පරිසරයට එක්‌ වන ප්‍රභවයක්‌ ලෙස ගල් අ`ගුරු වැදගත් වේ.

රසදිය නිසා මිනිසුන්ට ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් බරපතළ වන බැවින් රසදිය මිනිසුන්ට දැඩි ලෙස විෂ සහිත සේ සැලකේ. රසදිය සඳහා ඇති ඉල්ලුම 2015 වර්ෂය වන විට සීමා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප්‍රයත්නයක්‌ දියත් කර ඇති අතර එහි සාකච්ඡා වටයක්‌ මේ සතියේ ස්‌විට්‌සර්ලන්තයේ දී ආරම්භ වීමට නියමිත විය. (මූලාශ්‍රයMercury: Time to act,www.unep.org/PDF/PressReleases/Mercury_TimeToAct.pdf)


පුවත් සැකෙවින්

උණුසුමට ඔරොත්තු දෙන කොරල් විශේෂ නව බලාපොරොත්තුවක්‌

කොරල් පර, වර්තමාන දේශගුණ වෙනස්‌ වීම හමුවේ දැඩි අවදානමකට මුහුණ දී ඇති පරිසර පද්ධතියකි. එහෙත් මේ කොරල් පර ආශ්‍රිතව උෂ්ණත්වයට ඔරොත්තු දෙන කොරල් විශේෂ ද හමු වන බව මෑත දී හෙළි වී තිබේ. ලෝකයේ විවිධ ජීවී විශේෂ උෂ්ණත්වයක්‌ සහිත පරිසරයකට අනුහුරු වීමට අදාළ වන ජෛවීය ප්‍රවේණික යාන්ත්‍රණය පිළිබඳව අවබෝධයක්‌ ලබා ගැනීම සඳහා අදාළ කොරල් විශේෂ වැදගත් බව පර්යේෂණයකින් යෝජනා කර ඇත. එය සංරක්‌ෂණය සඳහා ද වැදගත් විය හැකි ය.

එපමණක්‌ නො ව මෙවැනි ඔරොත්තු දීමක්‌ දක්‌වන කොරල් විශේෂ හා ඔවුන් හමු වන ප්‍රදේශ පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක්‌ පවතී නම් ඒ විශේෂ ආරක්‌ෂා කිරීමට යම් පියවරක්‌ ගැනීමට හැකියාව තිබේ.

කෙසේ වෙතත් මේ පුවත තුළින් පැහැදිලි වන කරුණක්‌ වන්නේ ඇතැම් ජීවී විශේෂවල පැවැත්ම පමණක්‌ තීරණය කිරීමට මේ ව්‍යසනයට මුල් පෑදූ මිනිසාට ම සිදු වන බවක්‌ ද? එය මෙහි ඇති වැදගත් කරුණකි. (මූලාශ්‍රයProceedings of the National Academy ofSciences, DOI: 10.1073/pnas.1210224110)


ගංගා ලවණීකරණය පාරිසරික අර්බුදයකි

ගංගා ලවණීකරණයට ලක්‌ වීම ලෝකයේ රටවල් රැසකට තර්ජනයක්‌ බව විද්‍යාත්මක සමාලෝචනයකින් පෙන්වා දී තිබේ. එය පාරිසරික වශයෙන් හා ආර්ථික වශයෙන් දැඩි බලපෑමක්‌ ඇති කරන අතර, මානව සෞඛ්‍යයට ද සැලකිය යුතු තරමේ අවදානමක්‌ ඇති කළ හැකි ය. මිරිදියේ වාසය කරන ජීවීන්ට ඔරොත්තු දිය හැක්‌කේ සීමිත ලවණතාවකට පමණක්‌ වන නිසා, අධික ලවණතාව පරිසර පද්ධතිවලට යම් බලපෑමක්‌ කළ හැකි ය.

ගංගා පරිසර පද්ධතිවල ලවණතාව ඉහළ යැම සඳහා ස්‌වාභාවික සාධක මෙන්ම මානව ක්‍රියාකාරකම් ද හේතු වීමට හැකියාව තිබේ. මේ මානව කටයුතු අතර ගෘහාශ්‍රිත හා කාර්මික අපද්‍රව්‍ය මුදාහැරීම මෙන්ම කැණීම්, කෘෂිකාර්මික හා ගොවිපොළ අපද්‍රව්‍ය පරිසරයට එක්‌ වීම වැනි කරුණු ප්‍රධාන ය. මේ මානව කටයුතු පාලනය කිරීමට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නො වේ.

මේ තත්ත්වය අනාගතයේ දී තවදුරටත් වර්ධනය විය හැකි ය. ඒ සඳහා දේශගුණ වෙනස්‌ වීම සහ ජල පරිභෝජනය ඉහළ යැම වැනි කරුණුවල බලපෑම ද හේතු වේ. මේ පාරිසරික ගැටලුව හා එහි බලපෑම් පිළිබඳව හා එය පාලනය කළ හැකි ආකාරය ගැන අනාගතයේ දී වැඩි අවධානයක්‌ යොමු විය යුතු බව මේ අධ්‍යයනය ම`ගින් පෙන්වා දී ඇත. සාර්ථක ලෙස ගංගාවල ලවණතාව පාලනය කළ අවස්‌ථා කිහිපයක්‌ ද මෙහි දක්‌වා තිබේ. (මූලාශ්‍රයEnvironmental Pollution, DOI:10.1016/j.envpol.2012.10.011)


රයිනෝ ඝාතන වාර්තාගත මට්‌ටමක

දකුණු අප්‍රිකාවේ රයිනෝසිරස්‌ සතුන් මරාදැමීම පසුගිය වර්ෂයේ දී වාර්තාගත මට්‌ටමකට ඉහළ ගොස්‌ ඇති බව එරට රජයේ වාර්තා මත පදනම් වූ පුවත් වාර්තාවලින් පෙන්වා දී තිබේ. 2012 වර්ෂයේ දී අං ලබාගැනීම සඳහා මරා දමන ලද සතුන් ගණන 668ක්‌ පමණ වේ. එය ඊට පෙර වර්ෂයේ දී මරා දමන ලද සතුන් ප්‍රමාණය මෙන් 50%ක ඉහළ යැමකි.

මේ ගැටලුවේ තරම පෙනෙන්නේ 2007 වර්ෂයේ දී දකුණු අප්‍රිකාවේ දී මරා දමනු ලැබ ඇත්තේ රයිනෝ සතුන් 13ක්‌ තරම් අඩු ගණනක්‌ වීම නිසා ය. අප්‍රිකානු රටවල මෑත කාලයේ දී රයිනෝ සතුන් මරාදැමීම ඉහළ ගොස්‌ තිබේ. ඊට හේතුව අග්නිදිග ආසියානු රටවල පාරම්පරික ඖෂධ නිෂ්පාදනයේ දී රයිනෝ අං සඳහා ඉහළ ඉල්ලුමක්‌ පැවතීම ය. රයිනෝ අං කිලෝග්‍රෑම් එකක්‌ ඩොලර් 65,000ක්‌ තරම් ඉහළ මුදලකට අලෙවි වේ. රයිනෝ සතුන් මරා දැමීම නිසා රයිනෝ ගහනය සැලකිය යුතු අනතුරකට ලක්‌ ව ඇත.

http://www.vidusara.com/2013/01/16/feature4.html

No comments:

Post a Comment