Thursday, January 3, 2013

ජගත් පරිසර විමසුම 155 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-01-02, පි. 11
http://www.vidusara.com/2013/01/02/feature4.html


විමසුම - ව්‍යාඝ්‍ර සංරක්‌ෂණය සාර්ථකයි
ප්‍රමුඛ පුවත- බටහිර ඇන්ටාක්‌ටිකාවේ උෂ්ණත්වය ඉහළ යැම දෙගුණයක්‌ වේගවත්
පුවත් සැකෙවින් - ඇමෙරිකාවේ සුළං බලාගාර ඉදි කිරීම වේගවත් වෙලා / ෆුකුෂිමා බලාගාර සමාගමට ඇමෙරිකානු නැවියෝ නඩු පවරති/ ප්‍රතිචක්‍රිකරණයෙන් කාන්තාවන් ඉදිරියෙන්

විමසුම
ව්‍යාඝ්‍ර සංරක්‌ෂණය සාර්ථකයි

අපට බොහෝ විට අසන්නට, දකින්නට හා කියවන්නට ලැබෙන්නේ වනජීවීන් හා පරිසරය පිළිබඳව අසුබදායක වූ පුවත් ය. වනජීවීන් තර්ජනයට ලක්‌ වී ඇති බව, වනජීවීන් වඳ වී යැම, වනාන්තර එළි පෙහෙළි කිරීම හා ආරක්‌ෂිත ප්‍රදේශ විනාශයට පත් වීම වැනි සිදුවීම් මේ පුවත් අතර සුලබ වේ. ලෝකයේ සැම රටක ම පාහේ ක්‍රියාත්මක වන විවිධ සංරක්‌ෂණ ප්‍රයත්නවල මූලික අරමුණ වන්නේ මේ තත්ත්වය වළක්‌වා ලීම ය. එවැනි වැඩසටහන්වලින් සාර්ථක ප්‍රතිඵල ලැබීම සංරක්‌ෂණ ක්‌ෂේත්‍රයේ වැදගත් පුවතක්‌ වෙතත් ඒ සඳහා ලැබෙන්නේ අඩු අවධානයකි.

අද විමසුම ව්‍යාඝ්‍රයන් සංරක්‌ෂණය සඳහා ගෙන ඇති එවැනි සාර්ථක උත්සාහයක ප්‍රතිඵල පිළිබඳව සාකච්ඡා කිරීමට වෙන් වේ.

තර්ජනයට ලක්‌ වූ ව්‍යාඝ්‍රයෝ

ලෝකයේ සීමිත භූමි ප්‍රදේශයක්‌ වාස භූමි කරගත් ව්‍යාඝ්‍රයන් (Panthera tigris) මුහුණපා ඇති තර්ජනය පිළිබඳව ලෝකයේ අවධානය වසර කිහිපයක පටන් යොමු ව තිබේ. ආසියාවේ වාසය කරන මේ සතුන් ගේ වාස භූමිය, වර්ෂ සියයක පමණ කාලයක්‌ ඇතුළත 93%කින් පමණ අඩු වී ඇති අතර විසිවැනි සියවසේ මුල දී ව්‍යාඝ්‍රයන් 100,000ක්‌ පමණ මිහි මත වාසය කළ බව සැලකේ. මේ වන විට ලෝකයේ වාසය කරන මුළු ව්‍යාඝ්‍රයන් ගණන 3,200ක්‌ තරම් බව වනජීවී සංරක්‌ෂණ සංගමය පවසයි. මේ ආකාරයෙන් ව්‍යාඝ්‍ර ගහනය අඩු වීම සඳහා හේතු වූ ප්‍රධාන කරුණු අතර දඩයම් කිරීම නිසා ඇති වී තිබෙන තර්ජනය, ගොදුරු කරගන්නා සතුන් ගේ සංඛ්‍යාව අඩු වීම හා වාසස්‌ථාන විනාශ වීම යන හේතු මූලික වේ.

ව්‍යාඝ්‍රයන් පත් ව ඇති අනතුර තේරුම් ගත් ඔවුන් වාසය කරන රටවල බලධාරීන් හා විවිධ පරිසර සංවිධාන හා ජාත්‍යන්තර සංරක්‌ෂණ ආයතන කඩිනමින් කටයුතු කිරීම මෑත වර්ෂ කිහිපය ඇතුළත දැකිය හැකි විය. මේ පිළිබඳව අප zජගත් පරිසර විමසුමZ ඔස්‌සේ ද වරින්වර සාකච්ඡා කර තිබේ. මේ පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන ජාත්‍යන්තර සංවිධානයක්‌ වන වනජීවී සංරක්‌ෂණ සංගමය (WCS) විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක්‌ අනුව ව්‍යාඝ්‍ර සංරක්‌ෂණයේ දී ඔවුන් වාසය කරන ප්‍රධාන කලාප තුනක සැලකිය යුතු වර්ධනයක්‌ අත් කරගෙන තිබේ.

සංරක්‌ෂණයේ සාර්ථකත්වය

මෙහි දී ව්‍යාඝ්‍ර සංරක්‌ෂණය සම්බන්ධව සාර්ථකත්වයක්‌ දැකිය හැකි භූදර්ශන කලාප තුනක්‌ පිළිබඳව මේ නිවේදනයෙන් පෙන්වා දී තිබේ. ඒ ඉන්දියාවේ, තායිලන්තයේ හා රුසියාවේ ය.

මෙවැනි එක්‌ කලාපයක්‌ වන්නේ දකුණු ඉන්දියාවේ පිහිටා ඇති බටහිර ඝාට්‌ස්‌ කඳු ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ පසුගිය වසර දහයක පමණ කාලය තුළ කළ අධ්‍යයනවලින් ව්‍යාඝ්‍රයන් 600කට අධික ප්‍රමාණයක්‌ වාසය කරන බව නිශ්චිතව හඳුනාගෙන ඇත. ඒ කැමරා උගුල් මගිනි. එහි ඇතැම් ජාතික උද්‍යානවල දැකිය හැකි ව්‍යාඝ්‍රයන් ගණන එහි වාසය කළ හැකි උපරිම ගණනට ආසන්න වී තිබේ. මෙවැනි ප්‍රදේශවල වාසය කරන තරුණ ව්‍යාඝ්‍රයන් වෙනත් රක්‌ෂිත වනාන්තරවලට සංක්‍රමණය වන ආකාරය ද වාර්තා වී තිබේ. ඒ ආරක්‌ෂිත වන මංපෙත් ඔස්‌සේ ගමන් කිරීමට හැකියාව ලැබී ඇති නිසා ය. මේ ප්‍රදේශය මිනිසුන් මිලියනයක්‌ පමණ පිරිසක්‌ ජීවත් වන ප්‍රදේශයක්‌ වුවත්, එහි දැකිය හැකි ව්‍යාඝ්‍ර ගහනය යහපත් තත්ත්වයකට ගෙන ඒමට හැකියාව ලැබී ඇත. ව්‍යාඝ්‍ර දඩයම පාලනය කිරීම සඳහා දියත් කර ඇති මුර සංචාර දැඩි කිරීම, ව්‍යාඝ්‍ර වාසභූමිවලින් ඈත ප්‍රදේශවල ස්‌වෙච්ඡාවෙන් පදිංචි වීම සඳහා ජනතාව දිරිමත් කිරීම හා සංරක්‌ෂණ ක්‍රියාකාරකම් සඳහා ජනතාව ගේ දායකත්වය ලබාගෙන තිබීම මේ තත්ත්වය සඳහා හේතු වී තිබේ. පැරැණි රක්‌ෂිතවල මෙන්ම, අලුතින් ප්‍රකාශයට පත් කර ඇති රක්‌ෂිත ප්‍රදේශවල වාසය කරන ව්‍යාඝ්‍රයන් හා ඔවුන් ගොදුරු කරගන්නා වනජීවීන් ගේ ගහන මේ වන විට ඉහළ යමින් පවතී.

නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම

තායිලන්තයේ දැකිය හැක්‌කේ ද මේ හා සමාන තත්ත්වයකි. එහි පිහිටි හුවායි කා කයිං නම් වනජීවී අභයභූමියේ වාසය කරන ව්‍යාඝ්‍ර ගහනය යළි යහපත් තත්ත්වයක්‌ තෙක්‌ වර්ධනය වී තිබේ. මෙහි දී ද නීතිය ක්‍රියාත්මක කිරීම හා මුර සංචාර මගින් දඩයම පාලනය කිරීමට අවස්‌ථාව ලැබී ඇත. අදාළ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ දඩයම්කරුවන් පිරිසක්‌ නීතිය හමුවට ගෙන ඒමත් සමඟ ප්‍රදේශයේ ව්‍යාඝ්‍ර දඩයම ශීඝ්‍රයෙන් පහළ ගොස්‌ තිබීම මීට හේතු වූ බව පෙනේ.

මේ අතර රුසියානු බලධාරීන් ද ව්‍යාඝ්‍ර සංරක්‌ෂණය සඳහා කටයුතු කරන ආකාරය දැකගත හැකි ය. එරට නීතියේ තිබූ අඩුපාඩුවක්‌ පියෑවීම සඳහා අවශ්‍ය සංශෝධන ගෙන ඒමට ඔවුහු මේ වන විට කටයුතු කරමින් සිටිති. ඒ අනුව අවදානමක ලක්‌ ව සිටින සත්ත්ව විශේෂයක්‌ ළඟ තබාගැනීම, අලෙවිය හා ප්‍රවාහනය ඉදිරියේ දී සිවිල් වරදක්‌ නො ව අපරාධයක්‌ වනු ඇත. මෙය ව්‍යාඝ්‍රයන්ට පමණක්‌ නො ව එවැනි වෙනත් සත්ත්ව විශේෂවලට ද අදාළ වන්නකි. එසේ ම නව අභය භූමි ප්‍රකාශයට පත් කිරීම මගින් ව්‍යාඝ්‍ර වාසභූමි ප්‍රමාණය ද වර්ධනය කර තිබේ.

සමස්‌තයක්‌ ලෙස ගත් විට ව්‍යාඝ්‍ර සංරක්‌ෂණ කටයුතුවල සාර්ථකත්වයට හේතු වී ඇති කරුණු කිහිපයක්‌ ද මේ සංවිධානය විසින් දක්‌වනු ලැබ ඇත. ඒ අතර නීතිය වඩා හොඳින් ක්‍රියාත්මක වීම, ව්‍යාඝ්‍රයන් සඳහා අතිරේක වාසස්‌ථාන ප්‍රදේශ ආරක්‌ෂා කිරීමට කටයුතු කිරීම හා රජයේ ආයතන වැඩි සහයෝගීතාවකින් කටයුතු කිරීම මේ හේතු අතර වේ. (මූලාශ්‍රය www.wcs.org)

ප්‍රමුඛ පුවත
බටහිර ඇන්ටාක්‌ටිකාවේ උෂ්ණත්වය ඉහළ යැම දෙගුණයක්‌ වේගවත්

බටහිර ඇන්ටාක්‌ටිකාවේ උෂ්ණත්වය ඉහළ යැමේ වේගය මෙතෙක්‌ පෙන්වා දී තිබූ ප්‍රමාණය මෙන් දෙගුණයක්‌ පමණ වේගවත් බව පසුගිය දා ප්‍රකාශයට පත් වූ පර්යේෂණයකින් හෙළි වී තිබේ.

මේ සඳහා යොදාගෙන ඇත්තේ බටහිර ඇන්ටාක්‌ටිකා අයිස්‌ තට්‌ටුව (WAIS) නමින් හැඳින්වෙන ප්‍රදේශය මධ්‍යයට ආසන්න ව පිහිටා ඇති බයිඩ් නම් ඇමෙරිකානු පර්යේෂණ මධ්‍යස්‌ථානයකින් ලබාගත් උෂ්ණත්ව දත්ත විශේලේෂණයකි. මෙතෙක්‌ අසම්පූර්ණ සේ සැලකුණු මේ දත්ත යොදාගනිමින්, ඒ දත්තවල හිදැස්‌ පිරවීම සඳහා වෙනත් ක්‍රම භාවිත කරමින් මේ අධ්‍යයනය සිදු කර තිබේ. ඒ සඳහා පරිගණක ආකෘති ද යොදාගෙන තිබේ. මේ අනුව 1958 හා 2010 අතර කාලය ඇතුළත මේ ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2.4කින් පමණ ඉහළ ගොස්‌ ඇති බව හෙළි වී ඇත. එය ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්ව ඉහළ යැම මෙන් තෙගුණයක්‌ පමණ වන අතර, අදාළ ප්‍රදේශය ලෝකයේ වේගයෙන් ම උෂ්ණත්වය ඉහළ යන ප්‍රදේශයක්‌ බවට පත් කරයි.

දකුණු අර්ධගෝලයේ ග්‍රීෂ්ම සෘතුව පවත්නා කාලයේ (එනම් දෙසැම්බර් සිට පෙබරවාරි දක්‌වා වූ කාලයේ) පවත්නා උෂ්ණත්වය ද ඉහළ යන බව පළමුවරට මෙහි දී හෙළි වී ඇත. උෂ්ණත්වය අයිස්‌ මිදෙන උෂ්ණත්වයට වඩා ඉහළ නො න`ගින ප්‍රදේශයක්‌ වන මේ කලාපයේ මෙවැනි තත්ත්වයක්‌ මෙතෙක්‌ අපේක්‌ෂා කර නො තිබිණි. ඉන් පෙනෙන්නේ සාගරයේ උෂ්ණත්වය ඉහළ යැම නිසා පමණක්‌ නො ව, මේ කලාපය වායුගෝලයේ බලපෑමෙන් ද උණුසුම් වන බව ය. විශේෂයෙන් සුළං රටාවේ බලපෑම නිසා හා පැසිෆික්‌ සාගර කලාපයේ දේශගුණ තත්ත්වයේ බලපෑම නිසා මේ ආකාරයට උෂ්ණත්වය ඉහළ යැමට හැකියාව ඇති බව යෝජනා කර තිබේ.

වසර පුරා අයිස්‌වලින් වැසී ඇති ප්‍රදේශයක උෂ්ණත්වය ඉහළ ගොස්‌ තිබීම ලෝකයේ උෂ්ණත්වය ඉහළ යන බවට ඇති ප්‍රබල සාධකයකි. ධ්‍රැව ප්‍රදේශවල ඇති වන උෂ්ණත්වය ඉහළ යැම එහි දැකිය හැකි අයිස්‌ දියෑවීමට හේතුවක්‌ වන අතර එය මුහුදු මට්‌ටම ඉහළ යැම සඳහා ද හේතු වන බව මේ වන විට ඉතා පැහැදිලි කරුණකි. (මූලාශ්‍රයNatureGeoscience, DOI: 10.1038/ngeo1671)


පුවත් සැකෙවින්

ඇමෙරිකාවේ සුළං බලාගාර ඉදි කිරීම වේගවත් වෙලා

ඇමෙරිකාවේ සුළං විදුලි බලාගාර ඉදි කිරීම් මෑත කාලයේ දී බෙහෙවින් වේගවත් වී ඇත. ඒ සඳහා හේතු වී ඇත්තේ සුළං බලාගාර පිහිටුවීම සඳහා ලබා දී ඇති බදු සහන 2012 වර්ෂය නිමාවත් සමඟ අවසන් වීමට නියමිත වීම ය. ස්‌වාභාවික වායු බලාගාර තැනීමට වඩා සුළං බලාගාර තැනීම ඉහළ ගොස්‌ ඇති අතර එවැන්නක්‌ සිදු ව ඇත්තේ පළමුවරට ය.

සුළං බලාගාර පිහිටුවීමේ අධික පිරිවැය නිසා ඊට අවශ්‍ය වැඩි ආයෝජනය සඳහා යම්කිසි සහනයක්‌ සැපයීම ලෝකයේ බොහෝ රටවල් සිදු කරයි. එවැනි මූල්‍ය සහන ලබා දීමෙන් පරිසර හිතකාමී බලශක්‌ති ප්‍රභවවල වර්ධනයක්‌ ඇති කළ හැකි ය. ඇමෙරිකාවේ මේ බදු සහන කලක පටන් ක්‍රියාත්මක වී ඇති අතර සහන නො පැවැති කාලවල දී සුළං බලාගාර ඉදි කිරීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇත.


ෆුකුෂිමා බලාගාර සමාගමට ඇමෙරිකානු නැවියෝ නඩු පවරති

2011 වර්ෂයේ දී අනතුරට ලක්‌ වූ ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අයත් සමාගමට එරෙහි ව නඩු පැවරීමට අමෙරිකානු නාවික සෙබළුන් අට දෙනකු කටයුතු කර තිබේ. ඔවුන් පවසන්නේ අදාළ බලාගාරය හිමි ටෝකියෝ විදුලි බල සමාගම (Tepco), පැවැති විකිරණ අවදානම පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළ බවයි. මේ නිසා ඔවුන් අනතුරුදායක ප්‍රදේශවලට ගොස්‌ සහන සැපයීමේ යෙදුණු අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස විකිරණවලට නිරාවරණය වී තිබේ. මේ සෙබළු අදාළ අනතුරට ද හේතු වූ ස්‌වාභාවික අනතුරුවලින් පසු ආපදා සහන සැලසීමේ කටයුතුවල නියෑළි පිරිසක්‌ වෙති.

ඇමෙරිකානු අධිකරණයක පවරා ඇති මේ නඩුවෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට වන්දි ගෙවන ලෙස හා ඔවුන් ගේ සෞඛ්‍ය වියදම් පියවීම සඳහා අරමුදලක්‌ පිහිටුවන ලෙස ය. මේ වන විට අදාළ ජපාන සමාගමෙන් වන්දි ඉල්ලා විශාල පිරිසක්‌ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, මේ වන විට ඩොලර් බිලියන 38ක පමණ වන්දි මුදලක්‌ ගෙවීමට සිදු වෙතැයි ගණන් බලා ඇත.


ප්‍රතිචක්‍රිකරණයෙන් කාන්තාවන් ඉදිරියෙන්

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීමේ දී එරට පිරිමින්ට වඩා කාන්තාවන් ඉදිරියෙන් සිටින බව බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද සමීක්‌ෂණයකින් අනාවරණය වී තිබේ. තමන් භාවිත කරන ද්‍රව්‍ය අතරින් ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ද්‍රව්‍ය ඒ සඳහා යොමු කිරීමට වැඩි උනන්දුවක්‌ දක්‌වන්නේ කාන්තාවන් ය. ඔවුන් අපද්‍රව්‍ය තේරීම, වෙන් කිරීම වැනි ඊට අදාළ කටයුතුවලට වැඩි කාලයක්‌ ගත කිරීමට සූදානම් ය.

පිරිමින් හා කාන්තාවන් ඇතුළත් සාමාන්‍ය පවුල් අතරින් 79%ක්‌ පමණ තමන් ගේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම සඳහා පියවර ගෙන තිබේ. එහෙත් තනි ව ජීවත් වන පුද්ගලයන් ප්‍රතිචක්‍රිකරණය සඳහා අඩු ම දායකත්වයක්‌ දක්‌වන අය බව මේ සමීක්‌ෂණයේ දී හෙළි වී ඇත. එවැනි කාන්තාවන් අතරින් 69%ක්‌ පමණ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය සඳහා යොමු වන නමුත් හුදලාව වෙසෙන පිරිමින් අතරින් ඊට දායක වන්නේ 58%ක්‌ පමණකි.

බ්‍රිතාන්‍යය ප්‍රතිචක්‍රිකරණය කිරීම පිළිබඳ සාධනීය ඉලක්‌කයක්‌ ඇති රටකි. ඒ අනුව 2020 වර්ෂය වන විට එරට ගෘහස්‌ථ අපද්‍රව්‍ය අතරින් 50%ක්‌ පමණ ප්‍රතිචක්‍රිකරණයට ලක්‌ කිරීම එරට ඉලක්‌කයයි. මේ වන විට ඒ අගය 37-42% අතර පවතී. ඒ අනුව මේ තත්ත්වය වර්ධනය කිරීම සඳහා වැඩි වශයෙන් පිරිමින් දැනුවත් කිරීම අවශ්‍ය බව පෙනේ. එසේ ම පරිසරය පිළිබඳ සංවේදීතාව අතින් කාන්තාවන් ඉදිරියෙන් සිටින බවට සාධකයක්‌ සේ මේ සමීක්‌ෂණය ද සැලකිය හැකි ය.

http://www.vidusara.com/2013/01/02/feature4.html

No comments:

Post a Comment