Monday, January 28, 2013

ජගත් පරිසර විමසුම 156 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-01-09, පි. 11
http://www.vidusara.com/2013/01/09/feature4.html

විමසුම - පළිබෝධනාශක හා පාකින්සන් රෝගය අතර සම්බන්ධය
ප්‍රමුඛ පුවත- දේශගුණ වෙනස්‌ වීමට විසඳුම් සෙවීමේ දී දේශපාලන අවශ්‍යතාව වැදගත්
පුවත් සැකෙවින් - තොරතුරු තාක්‌ෂණයේ විමෝචන අඩු කිරීම / පොලිතීන් හා ප්ලාස්‌ටික්‌ තහනම් කිරීම්/ බ්‍රිතාන්‍යයේ දෙවැනි වැඩි ම වැස්‌ස 2012 දී

විමසුම
පළිබෝධනාශක හා පාකින්සන් රෝගය අතර සම්බන්ධය

පාකින්සන් රෝගය මේ වන විට අපට එතරම් නුහුරු වූ වදනක්‌ නම් නො වේ. චලන රෝග ගණයට වැටෙන මේ රෝගය ඇති වන්නේ මොළයේ ඇතැම් කොටස්‌වල රසායන ද්‍රව්‍ය අඩු වීම නිසා හෝ ස්‌නායු විනාශ වීම නිසා ය. ස්‌නායු පද්ධතිය ආශ්‍රිත රෝගයක්‌ වන මේ රෝගයට ලක්‌ වූවන් ගේ චාලක කටයුතු හා කථනය වැනි ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් අඩපණ වීමට ලක්‌ වේ. වැඩි වශයෙන් වියපත් වූවන්ට වැළඳිය හැකි පාකින්සන් රෝගය නිසා අද වන විට ලෝකය පුරා මිනිසුන් මිලියන ගණනක්‌ පීඩා විඳින බව පෙනේ. මේ රෝගය බොහෝ රටවල සෞඛ්‍ය අංශවල වැඩි සැලකිල්ලකට ලක්‌ වීමට එය ද හේතු වී තිබේ.

මේ රෝගය ඇති වීම සඳහා විවිධ කරුණු බලපාන බව පෙනේ. ඒ අතර ප්‍රවේණික කරුණු පමණක්‌ නො ව පාරිසරික සාධක ද වන බව මේ වන විට ක්‍රමයෙන් පිළිගැනීමට ලක්‌ වෙමින් තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, පාකින්සන් රෝගය වර්ධනය වීම සඳහා මේ පාරිසරික සාධක අතරින් පළිබෝධනාශක බලපාන බවට සාධක පසුගිය වසර කිහිපය ඇතුළත ලැබී ඇත. එහෙත් මේ පාරිසරික සාධක පිළිබඳව හා එහි ඇති බලපෑම පිළිබඳව ඇති අවබෝධය හා අවධානය තරමක්‌ අඩු බවක්‌ පෙනේ. අද විමසුම මේ කරුණ පිළිබඳව යොමු කරන්නට අපට සිතුණේ මේ නිසා ය.

පාකින්සන් රෝගය හා පළිබෝධනාශක

මේ දක්‌වා කර ඇති පර්යේෂණ අනුව පාකින්සන් රෝගය ඇති වීමට ඇතැම් පළිබෝධනාශක හේතු විය හැකි ය. 2009 වර්ෂයේ දී පළ වූ අධ්‍යයනයකට අනුව පාකින්සන් රෝගීන් ගේ රුධිරයේ බීටා-හෙක්‌සක්‌ලෝරොසයික්‌ලොහෙක්‌සේන් (beta-HCH) හමු වීම අධික බව හෙළි විය. මේ පළිබෝධනාශකය ඇතුළත් රසායන ද්‍රව්‍ය ඇමෙරිකාවේ තහනම් කර දශක දෙකක්‌ පමණ ඉක්‌මවී ගොස්‌ ඇතත් අදාළ රෝගීන් ගේ තරුණ කාලයේ දී ඒවා අධිකව භාවිත වී තිබේ. එසේ ම, ඉන් අනතුරුව සිදු කර ඇති අධ්‍යයන අනුව තවත් පළිබෝධනාශක වර්ග පාකින්සන් රෝගය හා සම්බන්ධයක්‌ ඇත. 2010 වර්ෂයේ දී පළ වූ අධ්‍යයන වාර්තාවකට අනුව ඇතැම් ඕගනෝක්‌ලොරීන කෘමිනාශකවලට ලක්‌ වීම නිසාත්, ප්‍රවේණික තත්ත්ව හේතු නිසාත් පිරිමින්ට පාකින්සන් රෝගය ඇති වීමේ ඇති හැකියාව ඉහළ යන බව පෙන්වා දී තිබිණි. එසේ ම පැරකොට්‌ (Paraquat) හා රොටෙනොන් (rotenone) යන පළිබෝධනාශකවලින් එකක්‌ භාවිත කළ පුද්ගලයන්ට පාකින්සන් රෝගය වැළඳීමට ඇති හැකියාව දෙගුණයකින් පමණ අධික බව 2011 වර්ෂයේ දී පෙන්වා දී තිබිණි. මනෙබ් (maneb) හා සිරාම් (ziram) නමින් හැඳින්වෙන වර්තමානයේ භාවිත වන පළිබෝධනාශක ද මේ රෝගය හා සම්බන්ධ බව පර්යේෂණවලින් පැහැදිලි වී ඇත.

පළිබෝධනාශක භාවිතයට ගන්නා ගොවිපොළ සේවකයන් අතර පමණක්‌ නො ව එවැනි ප්‍රදේශවල වාසය කළ හා සේවය කර පිරිස්‌ අතර ද රෝගය වර්ධනය වීමට ඉඩ ඇති බව අනාවරණය වී ඇත. ඒ අදාළ රසායනික ද්‍රව්‍ය අංශු සුළං මගින් ශරීරගත වීම නිසා ය. ග්‍රාමීය ජනතාව අතර පාකින්සන් රෝගය ඉහළ මට්‌ටමකින් දැකිය හැකි වීම මීට තවත් සාධකයකි. මෑතක දී ඇමෙරිකාවේ සිදු කරන ලද තවත් අධ්‍යයනයකින් මේ පළිබෝධනාශක ලේඛනයට තවත් සඳහා තවත් සාධක ලැබී තිබේ.

මේ මතයට තවත් සාධක

මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව පාකින්සන් රෝගය හා බෙනෝමිල් නම් තවත් පළිබෝධනාශකයක්‌ අතර සම්බන්ධයක්‌ ඇත. මේ රසායන ද්‍රව්‍යය ඇමෙරිකාවේ වසර තිහකට අධික කාලයක්‌ භාවිත කර ඇති අතර 2001 වර්ෂයේ දී තහනම් කරන ලද්දේ එහි ඇති අහිතකර බලපෑම් අනාවරණය වීමෙන් පසුව ය. මේ බලපෑම් අතර අක්‌මාව, මොළය ආශ්‍රිත ආබාධ ඇති වීම මෙන්ම පිළිකාකාරකයක්‌ ලෙස ක්‍රියා කිරීම ද වේ.

බෙනෝමිල් රසායනය සෛල සම්බන්ධව කළ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ඇතැම් නියුරෝන විනාශ කිරීමට බෙනෝමිල් හේතු වන බව ය. දෙවැනි අදියර ලෙස සීබ්‍රා මත්ස්‍යයන් යොදාගනිමින් කළ පර්යේෂණයක දී හෙළි වී ඇත්තේ මේ රසායන ද්‍රව්‍යය අදාළ වර්ගයේ නියුරෝනවලට හානි කරන බව ය. මේ නියුරෝන විනාශ වීම පාකින්සන් රෝගය සඳහා බලපාන බව විශ්වාස කරනු ලැබේ. මෙහි දී බොනෝමිල් ක්‍රියාකරන්නේ ඇල්ඩිහයිඩ් ඩිහයිඩ්‍රජනේස්‌ නම් එන්සයිමය නිශේධනය කිරීම සඳහා බව විශ්වාස කරනු ලැබේ.

මේ සොයාගැනීම පමණක්‌ නො ව පළිබෝධනාශක හා පාකින්සන් රෝගය අතර ඇති සම්බන්ධය පිළිබඳ සෙසු පර්යේෂණ ද මේ රෝගය පාලනය කිරීම සඳහා යොදාගත හැකි බව පැහැදිලි ය. කෙසේ වෙතත් වඩාත් වැදගත් වන්නේ දිගු කාලයක්‌ තිස්‌සේ මිනිසුන් භාවිත කර ඇති පළිබෝධනාශකවල ඇති හානිකර තත්ත්වය තවමත් එතරම් පැහැදිලි නැති බව වටහාගැනීම ය. එසේ ම මේ වන විට භාවිතය තහනම් කර ඇති පළිබෝධනාශකවල බලපෑම තවමත් අප අත්විඳින බව ය. (මූලාශ්‍රයProceedings of the National Academy ofSciences, DOI: 10.1073/pnas.1215473110)

ප්‍රමුඛ පුවත

දේශගුණ වෙනස්‌ වීමට විසඳුම් සෙවීමේ දී දේශපාලන අවශ්‍යතාව වැදගත්

ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකක ප්‍රමාණයේ පවත්වා ගෙන යැම එහි බරපතළ ප්‍රතිවිපාක වළක්‌වා ලීම සඳහා වැදගත් වන සාධකයක්‌ බව මේ වන විට පිළිගැනීමයි. එහෙත් තවමත් ලෝකය ඒ සඳහා ප්‍රමාණවත් වන තරම් පියවරක්‌ ගෙන නොමැති බව ද ප්‍රකට කරුණකි. මේ ඉලක්‌කය අත්පත් කර ගැනීමට ඇති හැකියාව හා ඊට බලපාන සාධක පිළිබඳව කළ අධ්‍යයනයකින් මේ කරුණ සඳහා බලපාන කරුණු කිහිපයක්‌ හඳුනාගෙන තිබේ. මේවා අවිනිශ්චිතතා ලෙස හැඳින්විය හැකි ය.

මෙහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට, හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම සඳහා වඩාත් බලපාන්නේ දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු වේ. එනම්, ලෝකයේ රටවල් දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමට හේතු වන ආකාරයෙන් කටයුතු කිරීම ආරම්භ කරන්නේ කවර දා පටන් ද යන්න ය. ලෝකයට අවශ්‍ය ව ඇත්තේ මේ ක්‍රියාකාරිත්වයයි. එසේ ම හරිතාගාර වායු විමෝචන සීමා කිරීම ආරම්භ කිරීම, මේ හා බැඳුණු වෙනත් ප්‍රතිපත්ති අනුගමනය කිරීම ආරම්භ කරන්නේ කවර දා පටන් ද යන්න තීරණය වන්නේ මේ දේශපාලනමය කරුණු මත ය. එය ප්‍රමුඛ අවිනිශ්චිතතාව වන්නේ මේ නිසා ය.

දෙවැනි තැනට ගැනෙන වැදගත් කරුණ වන්නේ සමාජයීය අවිනිශ්චිතතා ය. මේ සමාජයීය කරුණු දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා බලපාන්නේ ඒවා ලෝක බලශක්‌ති ඉල්ලුම තීරණය කිරීම සඳහා බලපාන බැවිනි. මේ සඳහා අදාළ වන්නේ ජනතාව කෙතරම් දැනුම්වත් වී තිබේ ද යන්න, බලශක්‌තිය පිළිබඳ ඔවුන් ගේ තෝරාගැනීම් කෙබඳු වේ ද යන්න හා බලශක්‌ති කාර්යක්‌ෂ්ම යෙදවුම් පිළිබඳව ඔවුන් කෙතරම් උනන්දුවක්‌ දක්‌වන්නේ ද යන්න වැනි කරුණු වේ. මෙහි දක්‌වා ඇති පරිදි උක්‌ත කරුණු පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය කෙතරම් තිබේ ද යන්නට වඩා වැඩි බලපෑමක්‌ දේශගුණ වෙනස්‌ වීම කෙරෙහි කළ හැකි කරුණකි. එහෙත් මේ කරුණු එතරම් අවධානයකට ලක්‌ ව නොමැති අංශයකි.

මේ අවිනිශ්චිතතා අතර තුන්වැති තැනට එන්නේ තාක්‌ෂණික අවිනිශ්චිතතා ය. මේවා අතර බලශක්‌ති සැපයුම් තාක්‌ෂණය, භූභෞතික කරුණු වැනි සාධක තිබේ. සාමාන්‍යයෙන් මේ පිළිබඳ ඇති අපේක්‌ෂා අධික වුවත්, ඇත්තෙන් ම අනාගත බලශක්‌ති සැපයුම හා අනාගතයේ කාබන් තිර කිරීමේ තාක්‌ෂණය පිළිබඳව අප තවමත් හරිහැටි නො දන්නා බව ඉතා පැහැදිලි ය. (මූලාශ්‍රයNature, DOI: 10.1038/nature11787)පුවත් සැකෙවින්

පුවත් සැකෙවින්
තොරතුරු තාක්‌ෂණයේ විමෝචන අඩු කිරීම

තොරතුරු තාක්‌ෂණය වර්තමාන යුගයේ අත්‍යවශ්‍ය තාක්‌ෂණයකි. අන්තර්ජාලය හා වෙනත් සන්නිවේදන මාධ්‍යවල භාවිතය ජනජීවිතය හා බෙහෙවින් සම්බන්ධ ය. එහෙත් මේ අංශයේ වර්ධනයත් සමඟ එහි පරිසර බලපෑම ද වර්ධනය වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් ලෝකයේ සමස්‌ත හරිතාගාර වායු විමෝචන අතරින් සියයට 2ක්‌ පමණ ප්‍රමාණයක්‌ තොරතුරු තාක්‌ෂණ අංශය නිසා ජනනය වේ. ප්‍රමාණාත්මකව දක්‌වන්නේ නම් එය කාබන් ඩයොක්‌සයිඩ් වායු ටොන් මිලියන 830කට අධික ය. එය සාමාන්‍යයෙන් ගුවන් ප්‍රවාහනයේ වායු විමෝචනය ප්‍රමාණයට සමාන වුවත් එතරම් අවධානයක්‌ මේ පිළිබඳව යොමු වී නොමැත.

තොරතුරු තාක්‌ෂණයේ හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව සිදු කරන ලද ආකෘතික අධ්‍යයනයකට අනුව ඒ සඳහා යොදාගත හැකි කරුණු තුනක්‌ වේ. අදාළ පහසුකම්වල බලශක්‌ති භාවිතය වඩා කාර්යක්‌ෂ්ම කිරීම, බලශක්‌ති කාර්යක්‌ෂමතාව අතින් ඉහළ උපකරණ වඩාත් කාර්යක්‌ෂ්ම ආකාරයෙන් භාවිත කිරීම හා සන්නිවේදන පහසුකම් සපයන ආයතනවල බලශක්‌ති අවශ්‍යතාව සඳහා පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභව භාවිතය මෙහි දී වැදගත් වේ.

තොරතුරු තාක්‌ෂණය ඉතා වේගයෙන් වර්ධනය වන බැවින් මේ පිළිබඳව අදාළ අංශවල අවධානය යොමු වීම වැදගත් ය. 2020 වන විට තොරතරු තාක්‌ෂණ අංශය අද මෙන් දෙගුණයකින් පමණ වර්ධනය වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ. (මූලාශ්‍රයEnvironmental Science & Technology,DOI: 10.1021/es303384y&)

පොලිතීන් හා ප්ලාස්‌ටික්‌ තහනම් කිරීම්

ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය භාවිතය සීමා කිරීම පිළිබඳ නිදසුන් දෙකක්‌ අපට පසුගිය සතියේ අසන්නට ලැබිණි. ඉන් පළමුවැන්න ප්ලාස්‌ටික්‌ බෑග් භාවිතය තහනම් කිරීමට මොරිටානියාව පියවර ගැනීම ය. එහි අරමුණ මේ බෑග් පරිසරයට එක්‌ වීමෙන් ඇති වන පරිසර දූෂණය වළක්‌වා ලීම පමණක්‌ නො වේ. සතුන් ඒවා ආහාරයට ගැනීමෙන් ඔවුන් මිය යැම අවම කිරීම ද එහි ඉලක්‌කයකි. එරට අගනුවර ප්‍රදේශයේ මිය යන ගවයින් හා බැටළුවන් අතරින් 90%ක්‌ පමණ මිය යන්නේ ප්ලාස්‌ටික්‌ බෑග් ශරීරගත වීම නිසා ය.

මේ අතර ලීටරයට වඩා කුඩා ප්‍රමාණයේ පානීය ජලබෝතල් අලෙවි කිරීම තහනම් කිරීමට ඇමෙරිකාවේ මැසචුසෙට්‌ ප්‍රාන්තයේ කොන්කෝඩ් නම් නගරයක්‌ පියවර ගෙන තිබේ. ඒ අපද්‍රව්‍ය අවම කිරීම හා නල ජලය භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ය. කෙසේ වෙතත් මෙය මෙවැනි තහනමක්‌ ක්‍රියාත්මක කළ පළමු රට නො වන්නේ ඔස්‌ටේ්‍රලියාවේ බුන්ඩනූන් නම් කුඩා නගරයක්‌ 2009 දී බෝතල් කළ ජල බෝතල අලෙවිය සම්පූර්ණයෙන් ම තහනම් කළ නිසා ය.

බ්‍රිතාන්‍යයේ දෙවැනි වැඩි ම වැස්‌ස 2012 දී


බ්‍රිතාන්‍යයේ අධිකතම වර්ෂාවක්‌ පතිත වූ වර්ෂ අතර ගත වූ 2012 වර්ෂයට දෙවැනි තැන හිමි වේ. එය දෙවැනි වන්නේ 2000 වර්ෂයේ පැවැති වර්ෂාපතනයට පමණක්‌ වන අතර, ඒ මිලිමීටර් 6.6ක්‌ පමණ සුළු ප්‍රමාණයකිනි. 2012 වර්ෂයේ එටර පැවැති ආන්තික කාලගුණය හේතුවෙන් ප්‍රදේශ ගණනාවක ගංවතුර ඇති වූ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස හටගත් දේපළ හානිය ද විශාල විය.

සියවසකට අධික කාලයක පුරා පැතිරුණු වර්ෂාපතන දත්ත අනුව, 1960 වර්ෂයෙන් පසු කාලයේ බ්‍රිතාන්‍යයේ පවත්නා අධික වැසි සහිත දින වඩා සුලබ වී ඇති බව පෙන්වා දී තිබේ. මේ අතර වැඩි ම වර්ෂාපතනයක්‌ පැවැති වර්ෂ පහ අතරින් හතරක්‌ ම වසර 2000න් පසුව ඇති වීම විශේෂ සිදුවීමකි. මේ ආකාරයෙන් වැසි අධික වීම ලෝකය පුරා වර්තමානයේ දැකිය හැකි ප්‍රවණතාවක්‌ වේ.

http://www.vidusara.com/2013/01/09/feature4.html

No comments:

Post a Comment