Saturday, May 26, 2012

ජගත් පරිසර විමසුම 124 (Global Environmental Watch, 124)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-05-23, පි. 11 (Vidusara, 2012-05-23, p.11)
http://www.vidusara.com/2012/05/23/feature3.html


විමසුම - සාගර ජෛව විවිධත්වය හා එය මුහුණ දී ඇති අනතුර
ප්‍රමුඛ පුවත - ක්ෂීරපායින් ගෙන් දහයෙන් එකක්‌ අනතුරේ
පුවත් සැකෙවින් - පරිසර දූෂක හා අකුණු වලාකුළු එක්‌ වීමෙන් උණුසුම ඉහළට/ කැනඩාවේ හරිත විරෝධී පියවර/ විදුලි භාවිතය අඩු කරමු - ජපානය



විමසුම
සාගර ජෛව විවිධත්වය හා එය මුහුණ දී ඇති අනතුර


ජාත්‍යන්තර ජෛවවිවිධත්ව දිනයේ මේ වර්ෂයේ තේමාව වන්නේ 'සාගර ජෛවවිවිධත්වයයි' (Marine biodiversity). ලෝකයේ මතුපිට ප්‍රදේශයෙන් තුනෙන් දෙකකටත් වඩා (71%) වැඩි ප්‍රදේශයක්‌ වසා පවත්නා බැවින් විශාල ප්‍රමාණයේ යමක්‌ හැඳින්වීමට පවා 'සාගරයක්‌' වැනි යෙදුමක්‌ භාෂාවේ ද භාවිත වේ. සාගරයේ ඇතැම් ප්‍රදේශ තවමත් නිසි ලෙස ගවේෂණය කර නොමැති තරම් ය. එසේ ම සාගරය මිනිසා ගෙන් බොහෝ දේ තවමත් සඟවාගෙන සිටියි. එසේ ම මිනිසාට ද ප්‍රයෝජනවත් සම්පත් රැසක්‌ ලබාගත හැකි සම්පත් ආකරයක්‌ ද ලෙස ද සාගරය හැඳින්විය හැකි ය.

කෙසේ වෙතත් මේ සාගරය සම්බන්ධව මිනිසා සතු දැනුම ගොඩබිමට සාපේක්‌ෂව අඩු ය. නිදසුනක්‌ ලෙස ගත හොත් සාගරයේ ජෛවවිවිධත්වය පිළිබඳව තවමත් අපට ප්‍රාමාණික අවබෝධයක්‌ නොමැත. එසේ ම සාගරයේ දැකිය හැකි සම්පත් ලෙස සැලකිය හැකි ද්‍රව්‍ය පිළිබඳව පවා අප සතු දැනුම ද ප්‍රමාණවත් නැත. මේ අතරතුර සාගරය මිනිසා ගේ විවිධ කටයුතු නිසා දැඩි තර්ජනයකට ද ලක්‌ වී තිබේ. මේ පිළිබඳව ද දැකිය හැක්‌කේ ප්‍රාමාණික අවබෝධයක්‌ නො වේ. අද දවසේ විමසුම තුළින් සාගරය පිළිබඳව සාකච්ඡා කිරීමට අප සිතුවේ එහි ඇති වැදගත්කම නිසා ය.

සාගරයේ දැකිය හැකි ජීවය කොපමණ ද?


සාගරය ප්‍රමාණයෙන් විශාල වන අතර ම එහි දැකිය හැකි පරිසර පද්ධති ප්‍රමාණය ද විවිධ ය. මේ නිසා විශාල ජීවී විශේෂ ප්‍රමාණයකට ජීවත් වීම සඳහා ම ස්‌වාභාවිකව අවස්‌ථාව ලබා දී තිබේ. එහෙත් අප ඉහත සඳහන් කළ ලෙසින් ම සාගරයේ ජීවත් වන ජීවීන් ප්‍රමාණය කෙතරම් ද යන්න අපි නො දනිමු.

මේ පිළිබඳව වඩා නිවැරැදි අවබෝධයක්‌ ලබා ගැනීම සඳහා 2000-2010 වර්ෂ අතර කාලයේ දී ලෝකය පුරා විද්‍යාඥයන් පිරිසක්‌ එක්‌ ව උත්සාහයක්‌ ගෙන ඇත. එය සාගර ජීවී සංගණනය ලෙස හඳුන්වන ලද අතර රටවල් 80ක විද්‍යාඥයෝ දෙ දහස්‌ හත් සියයක්‌ පමණ පිරිසක්‌ මීට සම්බන්ධ වූ හ. ලෝකයේ පිහිටි සාගර අතරින් විශාල ප්‍රදේශයක්‌ ආවරණය කර මේ පිරිස කළ ගවේෂණවල දී වැදගත් කරුණු රැසක්‌ ම අනාවරණය තිබේ. එහි දී අතීතයේ වඳ වී යන්නට ඇතැයි සිතන ලද ජීවී විශේෂ පවා හමු වී ඇති අතර එය අවසන් වන විට නව ජීවී විශේෂ 1,200ක්‌ පමණ විස්‌තර කර තිබේ. මෙතෙක්‌ වාර්තා වී නොමැති තවත් ජීවී විශේෂ 5,000ක්‌ පමණ ප්‍රමාණයක්‌ පිළිබඳව අධ්‍යයනය කරමින් තිබේ. (මේ පිළිබඳ වැඩි විස්‌තර සඳහා www.coml.org වෙත පිවිසෙන්න).

මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව එළැඹී ඇති ඇස්‌තමේන්තුවලට අනුව සාගරයේ ජීවත් වන ජීවී විශේෂ ප්‍රමාණය 250,000ක්‌ පමණ තරම් විය හැකි ය. එසේ ම මේ ප්‍රමාණය මිලියනයක්‌ පමණ තරම් අධික විය හැකි බව පෙන්වා දී තිබේ. එසේ ම එය ඊටත් වඩා ඉහළ අගයක්‌ ගැනීමට ද ඉඩක්‌ පවතී. තවත් අධ්‍යයනයකින් පෙන්වා දී ඇති අකාරයට ජීවී විශේෂ මිලියන 2.2ක්‌ (ලෝකයේ මුළු ජීවයෙන් සියයට 25ක්‌) පමණ ප්‍රමාණයක්‌ සාගරයේ ජීවත් වේ. එසේ නම් සාගර ජීවයෙන් සියයට 91ක්‌ පමණ ප්‍රමාණයක්‌ තවමත් සොයාගෙන නොමැත.

මිනිසුන් ගේ බලපෑම

සාගරය හා සම්බන්ධ අනෙක්‌ වැදගත් කරුණ වන්නේ සාගරය මේ වන විට මුහුණ පා ඇති අවාසානාවන්ත තත්ත්වයයි. ඒ හුදෙක්‌ ම මිනිසුන් ගේ බලපෑම හේතුවෙනි. මිනිසුන් විසින් සාගරයට සිදු කරනු ලබන බලපෑම් අතර වැදගත් කරුණු කිහිපයක්‌ හඳුනාගත හැකි ය.

ඉන් එකක්‌ වන්නේ ධීවර කර්මාන්තයේ දී අධික ලෙස මත්ස්‍ය හා වෙනත් විශේෂ පරිසරයෙන් ඉවත් කරනු ලැබීමයි. නිදසුනක්‌ ලෙස ගත හොත් සාගරයේ මත්ස්‍ය සංචිත අතරින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයකින් ඉන් ලබාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි අස්‌වැන්නක්‌ ලබා ගනිමින් තිබේ. මෙය සාගර පරිසර පද්ධතිවලට බලපෑමක්‌ ඇති කරන අතර මිනිසුන් ගේ ආහාරයට ගන්නා මත්ස්‍ය අස්‌වැන්න අඩු වීමට ද හේතු විය හැකි ය. මේ තත්ත්වය පාලනය කිරීම අවශ්‍ය බවට මේ වන විට පිළිගෙන ඇතත් ඒ පිළිබඳව ඉදිරි පියවරක්‌ ගෙන නොමැති තරම් ය.

දෙවැනි වැදගත් කරුණ වන්නේ මිනිසුන් ගේ ක්‍රියාකාරකම් නිසා සිදු වන මිහිතලය උණුසුම් වීමයි. මෙය සාගරය උණුසුම් වීමට ද හේතු වී ඇති අතර ඒ නිසා සාගර ජීවීන්ට මෙන්ම ඇතැම් පරිසර පද්ධතිවලට ද දැඩි බලපෑමක්‌ ඇති වේ. මේ සඳහා දැක්‌විය හැකි වඩාත් ප්‍රචලිත නිදසුන වන්නේ කොරල්පර හා එහි වෙසෙන ජීවීන් මුහුණ දී ඇති තත්ත්වයයි. දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක්‌ නොමැති බව ප්‍රකට කරුණකි.

තෙවැනි වැදගත් කරුණ වන්නේ සාගර දූෂණයයි. මෙය වැඩි වශයෙන් වෙරළබඩ ප්‍රදේශවල බලපාන බව වඩාත් ප්‍රචලිත මතය වේ. මිනිසුන් විසින් බැහැර කරනු ලබන විවිධ ද්‍රව්‍ය නිසා මේ තත්ත්වය ඇති වී තිබේ. අප ජලය, කෘෂිකාර්මික පෝෂක ද්‍රව්‍ය, ඛනිsජ තෙල්, කර්මාන්ත ආදියෙන් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය මේ ආකාරයෙන් පරිසර දූෂණයට හේතු වන ද්‍රව්‍ය අතර වේ. මෑත කාලයේ දී වැඩි අවධානයකට ලක්‌ වූ දූෂකයක්‌ ලෙස ප්ලාස්‌ටික්‌ නිසා ඇති වන පරිසර දූෂණය දැක්‌විය හැකි ය. මීට අදාළ ඇතැම් කරුණු පාලනයට යම් යම් පියවර ගෙන ඇතත් තවමත් එහි සැලකිය යුතු සාර්ථකත්වයක්‌ දැකිය නොහැකි ය.



ප්‍රමුඛ පුවත
ක්ෂීරපායින් ගෙන් දහයෙන් එකක්‌ අනතුරේ


ලෝකයේ බටහිර අර්ධගෝලයේ ජීවත් වන ක්‌ෂිරපායී සතුන් අතරින් සියයට 9.2ක්‌ පමණ ප්‍රමාණයකට දේශගුණ වෙනස්‌ වීම හමුවේ යෝග්‍ය ප්‍රදේශයකට සංක්‍රමණය වීම අසීරු විය හැකි බව අධ්‍යයනයක්‌ මඟින් පෙන්වා දී තිබේ. ඇතැම් කලාපවල දී මේ ප්‍රමාණය සියයට 39ක්‌ තරම් ඉහළ යැමට ද හැකි ය.

දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම් හේතුවෙන් මේ සතුන් වාසය කරන ප්‍රදේශවල ජීවත් වීමට නොහැකි වීමට පෙර, යහපත් තත්ත්ව ඇති ප්‍රදේශයක්‌ වෙත සංක්‍රමණය විය හැකි විශේෂ ප්‍රමාණය පිළිබඳව මේ පර්යේෂණයේ දී අවධානය යොමු කර ඇත. මෙහි දී ලෝකයේ අදාළ කලාපයේ ජීවත් වන ක්ෂීරපායී විශේෂ 493ක්‌ පමණ ප්‍රමාණයක්‌ පිළිබඳව අවධානය යොමු කර ඇත. මේ සඳහා සැලකිල්ලට ගන්නා ලද්දේ දේශගුණ වෙනස්‌ වීමෙන් ඇති වන බලපෑම පමණක්‌ වන අතර හරිතාගාර වායු විමෝචන මධ්‍ය අගයකින් ඉහළ යනු ඇතැයි සලකා සකස්‌ කරන ලද ආකෘති යොදාගෙන තිබේ. ඒ අනුව එක්‌ එක්‌ විශේෂයට ගැලපෙන ආකාරයේ දේශගුණයක්‌ ඇති වීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.

මෙහි දී යොදාගෙන ඇති තවත් උපකල්පනයක්‌ වන්නේ එක්‌ විශේෂයක්‌ නව ප්‍රදේශයකට ව්‍යාප්ත වන්නේ එක්‌ පරම්පරාවකට වරක්‌ පමණක්‌ බව ය. ඒ නිසා ඇතැම් කුඩා විශේෂයක්‌ එක්‌ පරම්පරාවක්‌ සංක්‍රමණය වන්නේ අඩු දුරක්‌ තෙක්‌ වුවත්, එක්‌ වර්ෂයක්‌ තුළ පරම්පරා කිහිපයක්‌ ජනිත වන බැවින් ඔවුන්ට වැඩි ව්‍යාප්ත වීමක්‌ පෙන්විය හැකි ය. ප්‍රජනනය සඳහා වැඩි කාලයක්‌ ගන්නා ප්‍රයිමේටා විශේෂයකට වඩා වැඩි වේගයක්‌ මේ අනුව කුඩා විශේෂවලට ලැබේ.

දේශගුණ වෙනස්‌ වීම හේතුවෙන් තම ව්‍යාප්තිය වර්ධනය කරගනු ඇතැයි උපකල්පනය කර ඇති සත්ත්ව විශේෂ අතරින් අඩක්‌ පමණ ප්‍රමාණයක ගේ ඇති විය හැක්‌කේ ව්‍යාප්තිය අඩු වීමකි. ඊට හේතුව වී ඇත්තේ දේශගුණ වෙනස්‌ වීම හා අනුගත විය හැකි තරම් වේගයකින් ව්‍යාප්ත වීමට නොහැකි වීම ය. මීට අතරමැද ප්‍රදේශවල ඇති මිනිසුන් විසින් තනන ලද ඉදිකිරීම් ද බලපායි.

මේ ආකාරයෙන් ප්‍රමාණවත් තරම් ව්‍යාප්ත වීමට නොහැකි වන විශේෂ අතරින් මුල් තැනකට එන්නේ ප්‍රයිමේටාවන් ය. ඇතැම් ප්‍රයිමේටා විශේෂවල ව්‍යාප්තිය සියයට 75කින් පමණ අඩු විය හැකි ය. එසේ ම මේ තත්ත්වයට වඩාත් හොඳින් හැඩ ගැසීමට සමත් වන විශේෂ අතර ඇත්තේ මාංශභක්‌ෂක විශේෂ හා මුවන් වැනි ශාක භක්‌ෂක විශේෂ ය. (මූලාශ්‍රයProceedings of the NationalAcademy of Sciences, DOI: 10.1073/pnas.1116791109)


පුවත් සැකෙවින්
පරිසර දූෂක හා අකුණු වලාකුළු එක්‌ වීමෙන් උණුසුම ඉහළට

පරිසර දූෂක හා අකුණු සහිත වලාකුළු එක්‌ වීමෙන් වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යන බව අධ්‍යයනයක්‌ මඟින් අනාවරණය වී තිබේ. විශේෂයෙන් මේ තත්ත්වය ඇති වන්නේ ග්‍රීෂ්ම සෘතුවේ දී ඇති වන අකුණු සහිත වලාකුළු නිසා ය. ආකෘතික අධ්‍යයනයක්‌ මඟින් සිදු කර ඇති මේ පර්යේෂණයේ දී හෙළි වී ඇති පරිදි පරිසර දූෂක නිසා ඉහළ වායුගෝලයේ ඇති වලාකුළුවල කිණිහිරි හැඩැති ඉහළ කොටස වැඩි ප්‍රදේශයක්‌ පුරා පැතිර යන අතර මේ නිසා වැඩි තාපයක්‌ රඳවා ගැනීමට හැකියාව ලැබේ. මෙය වැඩි වශයෙන් රාත්‍රී කාලයේ දී දැකිය හැකි ය.

වලාකුළු ඇති වීමට පරිසර දූෂක බලපාන ආකාරය ගැන අධ්‍යයන සිදු කර තිබුණ ද, ඒවායේ විශාලත්වය වැඩි කිරීමට පරිසර දූෂක බලපාන බවක්‌ හෙළි කරන ලද මුල් ම අධ්‍යයනය මෙය වේ. කෙසේ වෙතත් වර්තමානයේ භාවිත කරනු ලබන දේශගුණ ආකෘතිවල දී මේ සාධකයේ බලපෑම සැලකිල්ලට ගෙන නොමැති නිසා ඉදිරියේ දී ඒවාට මේ තත්ත්වය පිළිබඳව ද අවධානයක්‌ යොමු කිරීමට සිදු වනු ඇත. (මූලාශ්‍රයGeophysical Research Letters,DOI: 10.1029/2012GL051851)


කැනඩාවේ හරිත විරෝධී පියවර

මෑත දී ගත් ඇතැම් පරිසර හිතකාමී නො වන පියවර කිහිපයක්‌ නිසා පරිසර ක්‌ෂේත්‍රයේ කිසියම් අප්‍රසාදයකට ලක්‌ වූ රටක්‌ ලෙස කැනඩාව හැඳින්විය හැකි ය. එහි තවත් පියවරක්‌ ඉදිරියට යමින් එරට තුළ ක්‍රියාත්මක පරිසරය හා ආර්ථිකය පිළිබඳ ජාතික වටමේසය (NRTEE) නම් ආයතනය වසාදැමීමට එරට රජය අදහස්‌ කර ඇති බව පසුගිය දා මාධ්‍ය ඔස්‌සේ වාර්තා විය.

මේ ආයතනය හරිතවත් ව්‍යාපාර සඳහා උපදෙස්‌ දීමට පත් කරන ලද රාජ්‍ය අංශයේ උපදේශාත්මක ආයතනයකි. ඔවුන් ''කැනඩා ජනතාව මඟින් ප්‍රතික්‌ෂේප කරන'' කාබන් බද්දක්‌ ප්‍රවර්ධනය කරන වාර්තා දහයක්‌ ප්‍රකාශයට පත් කර ඇති බව හා එවැනි ආයතනයක්‌ ජනතාව ගේ බදු මුදල්වලින් පවත්වාගෙන යැම අවශ්‍ය නො වන බව එරට විදේශ අමාත්‍යවරයා පවසා තිබිණි. ලබන වර්ෂයේ සිට අදාළ ආයතනයේ අරමුදල් කපා හැරීමට යෝජනා කර තිබේ. කෙසේ වෙතත් අදාළ ආයතනයේ නිලධාරීන් මේ චෝදනා ප්‍රතික්‌ෂේප කර තිබේ.


විදුලි භාවිතය අඩු කරමු - ජපානය

තම රටට අවශ්‍ය බලශක්‌ති සැපයුම අඛණ්‌ඩව සපයා ගැනීමේ අවදානමට මුහුණ දී ඇති ජපානය එරට බටහිරදිග ප්‍රදේශයේ ඇති ව්‍යාපාර හා නිවාසවල විදුලි භාවිතය සියයට 15කින් අඩු කරන ලෙස අවධාරණය කර තිබේ. එසේ නො වුව හොත් ඇති විය හැකි විදුලිය කපා හැරීම වළක්‌වා ගැනීම සඳහා ඔවුන් මේ ඉල්ලීම කර තිබේ. මේ ඉල්ලීම බලපාන්නේ ජුලි සිට සැප්තැම්බර් දක්‌වා වූ ග්‍රීෂ්ම කාලය තුළ දී ය.

පසුගිය වර්ෂයේ සිදු වූ ෆුකුෂිමා අනතුර වන විට ජපානයේ සමස්‌ත බලශක්‌තියෙන් සියයට 30ක්‌ පමණ සපයන ලද්දේ න්‍යෂ්ටික බලයෙනි. මේ වන විට එරට පිහිටා ඇති න්‍යෂ්ටික බලාගාර සියල්ල ම තාවකාලිකව වසා දමා තිබේ. බලශක්‌ති උත්පාදන සමාගම් වෙනත් බලශක්‌ති ප්‍රභව වෙත යොමු වන බවක්‌ පෙනෙන්නට තිබේ. එහෙත් මේ සඳහා වැය වන වියදම අධික වීම අංශ ගණනාවක්‌ කෙරේ බලපෑමට ඉඩ තිබේ. විශේෂයෙන් කර්මාන්තශාලා සඳහා මේ තත්ත්වය වඩාත් අදාළ වේ.

Source: http://www.vidusara.com/2012/05/23/feature3.html

No comments:

Post a Comment