Thursday, May 10, 2012

ජගත් පරිසර විමසුම 122 (Global Environmental Watch, 122)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012-05-09, පි. 11 (Vidusara, 2012-05-09, p.11)
http://www.vidusara.com/2012/05/09/feature3.html

විමසුම - හරිත ආර්ථිකයක හෙවත් පරිසර හිතකාමී වර්ධනයක වැදගත්කම
ප්‍රමුඛ පුවත - න්‍යෂ්ටික බලයෙන් තොර ජපානය...
පුවත් සැකෙවින් - මුහුදු මට්‌ටම ඉහළ යැම සිතු තරම් බරපතළ නැහැ? / ෆ්ලොරිඩාවේ පිඹුරන් ගෙන් පක්‌ෂීන්ටත් තර්ජන



විමසුම
හරිත ආර්ථිකයක හෙවත් පරිසර හිතකාමී වර්ධනයක වැදගත්කම

ලෝකයේ ආර්ථික වර්ධනය පරිසර හිතකාමී හෙවත් හරිතවත් කිරීම වර්තමාන පාරිසරික හා සංවර්ධන අර්බුදය සඳහා යෝජනා වී ඇති විසඳුමකි. විශේෂයෙන් මේ වන විට ලෝකය අනුගමනය කරන සංවර්ධන ආකෘතියේ තිරසර නො වන ස්‌වභාවය මෙහි දී වැඩි අවධානයකට ලක්‌ ව තිබේ. විශේෂයෙන් අධික ලෙස හරිතාගාර වායු විමෝචනය සඳහා දායක වන බලශක්‌ති ප්‍රභව මත රඳා පවත්නා වර්තමාන ආර්ථික ක්‍රමය මේ ගැටලුසහගත තත්ත්වයට හේතු වී තිබේ.

මේ තත්ත්වය තුළ 'හරිත ආර්ථිකය' පාරිසරික හා සංවර්ධන වේදිකාවේ බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ වන මාතෘකාවක්‌ වී තිබේ. එවැනි පරිසර හිතකාමී වර්ධනයක්‌ සඳහා අවශ්‍ය විවිධ භෞතික සාධක, ක්‍රියාදාම මෙන්ම ආකල්පමය වෙනස්‌කම් පිළිබඳව ද මෙහි දී අවධානය යොමු වී තිබේ. ලබන මාසයේ දී පැවැත්වෙන රියෝ+20 සමුළුවේ දී ද හරිත ආර්ථිකය වැඩි අවධානයක්‌ යොමු වී ඇති මාතෘකාවක්‌ වී තිබේ. එය යථාර්ථයක්‌ බවට පත් කිරීමට නම් තවත් බොහෝ දුරක්‌ යා යුතු ව තිබේ.

මේ සතියේ "විමසුම" තුළින් ආර්ථිකය පරිසර හිතකාමී කිරීමේ වැදගත්කම හා ඒ සඳහා පමා නො විය යුතු බව පෙන්වන අධ්‍යයනයක්‌ හා වාර්තාවක්‌ පිළිබඳව විමසා බැලීමට අප සිතුවේ එහි ඇති වැදගත්කම නිසා ය.

මිහිතලය උණුසුම් වීම හා ආර්ථිකය අතර සම්බන්ධය පැහැදිලියි

ලෝකයේ වර්තමාන ආර්ථික වර්ධනය හා මිහිතලය උණුසුම් වීම අතර පැහැදිලි සම්බන්ධයක්‌ ඇති බව වාර්තාවක්‌ මඟින් පෙන්වා දී තිබේ. කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය හා එහි වෙනස්‌වීම් සඳහා බලපාන සාධක හතරක බලපෑම උක්‌ත අධ්‍යයනයේ අවධානයට ලක්‌ ව තිබේ. ඒ ගිනිකඳු විදාරණය, එල්නිනෝ තත්ත්වය, ලෝක ජනගහනය හා ලෝක ආර්ථිකය යන කරුණු ය. මෙහි දී හෙළි වී ඇති ආකාරයට ලෝක ජනගහනයේ කෙටිකාලීන වර්ධනයකින් කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ඉහළ යැම සඳහා වන බලපෑමක්‌ එතරම් වැදගත් නැත. ගිනිකඳු විදාරණය හා එල් නිනෝ තත්ත්වය සිදු කරන බලපෑම ද සැලකිය යුතු තරම් නො වේ. ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය සඳහා බලපාන ප්‍රධාන හේතුව වන්නේ ආර්ථික ක්‍රියාකාරකම් ය.

මෙහි දී හෙළි වී ඇති පරිදි 1958 හා 2010 අතර කාලයේ දී ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතය එහි සාමාන්‍ය වර්ධන රේඛාවෙන් සැම ඩොලර් ටි්‍රලියනයක අපගමනයක්‌ ඇති වූ (අඩු හෝ වැඩි වූ) අවස්‌ථාවල දී කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයේ මිලියනයකට කොටස්‌ 0.5කින් අපගමනයක්‌ සිදු වී තිබේ. මෙමඟින් ආර්ථිකය හා හරිතාගාර ආචරණය අතර ඇති සම්බන්ධය මනාව පැහැදිලි කරයි.

මේ අනුව හරිතවත් වර්ධනයක ඇති වැදගත්කම පැහැදිලි ව තිබේ. එහෙත් මේ ප්‍රවණතාව වෙනස්‌ කිරීමට අවශ්‍ය නම් විශාල වෙනසක්‌ සිදු කළ යුතු වේ. මේ සඳහා යොදා ගත හැකි ක්‍රියාකාරකම් අප කැමැති ඒවා නො විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ලෝකයේ මේ වන විට දැකිය හැකි මිහිතලය උණුසුම් වීම පාලනය කිරීමට නම් ලෝකයේ වර්තමාන ආර්ථික වර්ධනය නවතා දැමිය යුතු ය. නොඑසේ නම් ලෝකයේ ආර්ථික ක්‍රියාදාමයේ බරපතළ ආකාරයේ වෙනස්‌කම් ඇති කළ යුතු ය. එවැනි වෙනසක තරම පැහැදිලි කළ හැකි ක්‍රමය මෙසේ ය. වර්තමාන ආර්ථික ක්‍රමය ම දිගින් දිගට ම ක්‍රියාත්මක වන්නේ නම් හා කාබන්ඩයොක්‌සයිඩ් වායුවේ සාන්ද්‍රණය අඩු කිරීමට නම් මෑත දී ඇති වූ ආකාරයේ ආර්ථික අවපාතයක්‌ හෙවත් අර්බුදයක්‌ ඇති විය හැකි ය. (මූලාශ්‍රය Environmental Science Policy, DOI:10.1016/j.envsci.2012.03.008&

ආසියාව කඩිනම් පියවර ගත යුතුයි

මේ අතර අඩු කාබන් ආර්ථිකයක්‌ සඳහා වන තාක්‌ෂණය ප්‍රචලිත කිරීමට ආසියානු රටවල් කඩිනමින් පියවර ගත යුතු බව පසුගිය දා ආසියානු සංවර්ධන බැංකුව හා ඊට සම්බන්ධ ආයතනයක්‌ මඟින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක්‌ අවධාරණය කරයි. බැංකුවේ වාර්ෂික රැස්‌වීමට සමගාමීව එළි දක්‌වන ලද වාර්තාවේ අරමුණු වන්නේ උක්‌ත කරුණ සම්බන්ධව වෙනත් රටවල අත්දැකීම් ආදිය හුවමාරු කර ගැනීම, මේ දක්‌වා අනුගමනය කර ඇති හරිත පිළිවෙත් හා ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීම හා මේ ක්‍රියාදාමයේ අඩුපාඩු පෙන්වා දීම ය.

ආසියාවේ වේගවත් ආර්ථික සංවර්ධනයක්‌ දැකිය හැකි රටවල මේ ශීඝ්‍ර සංවර්ධනය නිසා ඇති වී තිබෙන පාරිසරික බලපෑම් නැඟී එන ගැටලුවක්‌ වී තිබේ. මේ අහිතකර බලපෑම් අවම කර ගනිමින් සංවර්ධනය හරිතවත් කිරීම සඳහා කලාපයේ රටවල් කළ යුතු කාර්ය ගණනාවක්‌ මේ වාර්තාවට ඇතුළත් විය. නිදසුනක්‌ ලෙස ගත හොත් මේ කලාපයේ කාබන් වෙළෙඳපොළක්‌ බිහි කිරීම, ෆොසිල ඉන්ධන සඳහා ලබා දෙන සහන ඉවත් කිරීම, හරිත වර්ධනයක්‌ ප්‍රවර්ධනය කිරීමට හේතු වන අඩු කාබන් තාක්‌ෂණය වර්ධනය කිරීම සඳහා පහසුකම් ඇති නිදහස්‌ කලාපයක්‌ පිහිටුවීම මේ අතර වේ. මේ සඳහා ගන්නා පියවර කඩිනම් විය යුතු බවත්, කාලය ක්‍රමයෙන් ගත වෙමින් ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ. (මූලාශ්‍රය Policies and Practices for Low-Carbon Green Growth in Asia: Highlights,2012,www.adb.org)


 
ප්‍රමුඛ පුවත
න්‍යෂ්ටික බලයෙන් තොර ජපානය...

ජපානය තුළ ක්‍රියාත්මකව පැවැති එක ම න්‍යෂ්ටික බලාගාරය වන හොකයිඩෝ ප්‍රදේශයේ පිහිටි ටොමාරි බලාගාරය ද පසුගිය සති අන්තයේ දී නඩත්තු කටයුතු සඳහා වසා දමන ලදි. ඒ අනුව මේ වන විට එරට පිහිටා ඇති න්‍යෂ්ටික බලාගාර 54 ම වසා දමා තිබේ. ඒ අනුව අද වන විට ජපානය න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවන රටක්‌ නො වේ. එවැනි තත්ත්වයක්‌ ඇති වී ඇත්තේ 1970 වර්ෂයෙන් පසු ව ය.

පසුගිය වසරේ මාර්තු මාසයේ ඇති වූ සුනාමියෙන් පසු ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ සිදු වූ අනතුර නිසා රට තුළ රටේ විවිධ ප්‍රදේශවල පිහිටා තිබූ බලාගාර එකින් එක වසා දමන්නට බලධාරීන් පියවර ගෙන තිබිණි. අදාළ බලාගාර භූමිකම්පා හා සුනාමිවලට ඔරොත්තු දෙන්නේ දැයි පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව හා පළාත් පාලන බලධාරීන් ගේ අනුමැතිය ලබාගෙන නැවතත් මේවා විවෘත කිරීමට නියමිත ය. එහෙත් මේ දක්‌වා කිසිදු න්‍යෂ්ටික බලාගාරයක්‌ නැවත විවෘත කර නොමැත. ඇතැම් ආරක්‌ෂිත තත්ත්වයක ඇතැයි රජයේ බලධාරීන් විසින් පැවසෙන න්‍යෂ්ටික බලාගාර කිහිපයක්‌ විවෘත කිරීමට ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය බලධාරීන් අනුමැතිය ලබා දී නැත. න්‍යෂ්ටික බලයට එරෙහි ව ජනතාව අතර වර්ධනය වෙමින් ඇති විරෝධය ද මේ සඳහා හේතු වී ඇති බවක්‌ පෙනේ.

ෆුකුෂිමා බලාගාරයේ ඇති වූ අනතුර නිසා න්‍යෂ්ටික බලයේ ආරක්‌ෂිත ස්‌වභාවය පිළිබඳව ජපානයේ හා ලෝකයේ සෙසු රටවල් ගණනාවක ඇති වූයේ බරපතළ සැකයකි. 1986 වර්ෂයේ දී චර්නොබිල් බලාගාරයේ ඇති වූ ව්‍යසනයෙන් පසු සිදු වූ වඩාත් බරපතළ අනතුර එය විය. මේ නිසා න්‍යෂ්ටික බලයට එරෙහි විරෝධය උත්සන්න විය.

මේ පිළිබඳව ඇති වන අනෙක්‌ ගැටලුව වන්නේ න්‍යෂ්ටික බලය වෙනුවට ජපානය යොමු වන්නේ කුමන බලශක්‌තියක්‌ වෙත ද යන්න ය. ෆුකුෂිමා අනතුර සිදු වන තෙක්‌ ජපානයේ සමස්‌ත බලශක්‌ති සැපයුමෙන් සියයට 30ක්‌ න්‍යෂ්ටික බලයෙන් සපයා ගනු ලැබිණි. න්‍යෂ්ටික බලයෙන් තොර තත්ත්වයක්‌ තුළ විදුලිය ජනනය කිරීම සඳහා ෆොසිල ඉන්ධන වැඩි වශයෙන් යෙදා ගැනීමට සිදු වේ. විශේෂයෙන් එළැඹෙන ග්‍රීෂ්ම සෘතුව තුළ විදුලිබල සැපයුමේ ගැටලු ඇති නො වීමට නම් එවැනි පියවරක්‌ ගැනීමට සිදු වනු ඇත. ජපානය මේ වන විටත් ෆොසිල ඉන්ධන ආනයනය ඉහළ නංවා තිබේ. මෙය හරිතාගාර වායු විමෝචන විශාල ලෙසින් ඉහළ නැංවීමට හේතු වනු ඇත. මේ ගැටලුව උභතෝකෝටිකයක්‌ වනු ඇතැයි අප මින් පෙර ද ප්‍රකාශ කළේ ඒ නිසා ය.


පුවත් සැකෙවින්
මුහුදු මට්‌ටම ඉහළ යැම සිතු තරම් බරපතළ නැහැ?

ග්ලැසියර දිය වීම, දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බලපෑමක්‌ වන මුහුදු මට්‌ටම ඉහළ යැමට බලපාන ප්‍රධාන සාධකයක්‌ වේ. 2007 වර්ෂයේ දී ප්‍රකාශයට පත් දේශගුණ ඇගයීමේ මුහුදු මට්‌ටම ඉහළ යැම පිළිබඳව සඳහන් පුරෝකථනවල දී ග්ලැසියර දිය වීම ප්‍රමාණවත් සේ සලකා නො තිබූ අතර ඉන්පසුව ද විද්‍යාත්මක දත්ත ඇසුරින් ඉදිරිපත් ව ඇති පුරෝකථන ද බෙහෙවින් පුළුල් පරාසයක පැතිර පවතී.

එහෙත් ග්‍රීන්ලන්තයේ ප්‍රධාන ග්ලැසියර දෙසියයකට අධික ප්‍රමාණයක ගලා යැම පිළිබඳව පසුගිය දශකයක පමණ කාලයේ ලබාගත් දත්ත පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇති ආකාරයට ග්ලැසියර ගලා යැමේ වේගය පුරෝකථනවලින් දැක්‌වෙන අගයට වඩා අඩු ය. 2000-2010 අතර දී මේ අගය සියයට සියයකින් ඉහළ යා හැකි බව ඇතැම් පුරෝකථනවලින් පෙන්වා දී තිබුණු නමුත්, ගත වූ වසර දහයක්‌ තුළ මේ වේගය ඉහළ ගොස්‌ ඇත්තේ සියයට 30කින් පමණි. මේ නිසා උක්‌ත ග්ලැසියර මුහුදට ළඟා වූ පසු මුහුදට එක්‌ වන ජල ප්‍රමාණයත්, ඒ නිසා මුහුදු මට්‌ටම ඉහළ යැම සඳහා ඉන් ලැබෙන දායකත්වයේ උපරිම අගයත් (වඩාත් බරපතළ ම තත්ත්වය) මෙතෙක්‌ අපේක්‌ෂා කළ තරම් බරපතළ නො විය හැකි බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් පෙනෙන වැදගත් ම කරුණ වන්නේ ග්ලැසියර ගලා යැමේ හා දිය වීමේ වේගය සාමාන්‍ය අගයට වඩා වැඩි වෙමින් ඇති බව ය. ඒ අනුව අවදානමේ ප්‍රමාණය හා කාල රාමුව අඩු වීමේ යම් හැකියාවක්‌ ඇතත් මුහුදු මට්‌ටම ඉහළ යැමේ අවදානම අඩු වී ඇති බවක්‌ මින් නො පෙනේ. (මූලාශ්‍රයScience,DOI:10.1126/science.1219985)


ෆ්ලොරිඩාවේ පිඹුරන් ගෙන් පක්‌ෂීන්ටත් තර්ජන

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැතිරෙමින් ඇති ආගන්තුක ආක්‍රමණික සත්ත්ව විශේෂයක්‌ වන බුරුම පිඹුරන් ගෙන් (Python molurus bivittatus) ඇති වී තිබෙන නව තර්ජනයක්‌ පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් තිබේ. මෑත දී ප්‍රකාශයට පත් අධ්‍යයනයක්‌ අනුව මේ පිඹුරෝ ප්‍රදේශයේ වාසය කරන පක්‌ෂීන් පමණක්‌ නො ව පක්‌ෂීන් ගේ කූඩුවල ඇති පක්‌ෂි බිත්තර පවා ආහාරයට ගනිති. එවර්ග්ලේඩ්ස්‌ වගුරු බිමේ හමු වන මේ සර්පයන් පක්‌ෂි විශේෂ 25ක ගේ පමණ බිත්තර ආහාරයට ගන්නා බව ඔවුන් ගේ අධ්‍යයනයේ දී හෙළි වී තිබේ. මෙහි දී අවධානය යොමු කරන ඇත්තේ පිඹුරන් ගේ ආහාර මාර්ගයේ ශේෂ පිළිබඳ ව ය. මෙවැනි හැසිරීමක්‌ බුරුම පිඹුරන් අතර සාමාන්‍යයෙන් වාර්තා වී නොමැති වීම වැදගත් කරුණකි.

1979 වර්ෂයේ පමණ සිට වාර්තා වන බුරුම පිඹුරන් ගේ පැතිරීම ෆ්ලොරිඩා ප්‍රාන්තේය ද එහි පිහිටි එවර්ග්ලේඩ්ස්‌ වගුරු බිමේ ද බරපතළ පාරිසරික ගැටලු ඇති කරන්නක්‌ වී තිබේ. මේ වන විට අභිජනනය කරන දහස්‌ ගණනක විශාල ගහනයක්‌ ප්‍රාන්තයේ දැකිය හැකි බව වාර්තා වී ඇත. (මූලාශ්‍රයReptiles & Amphibians: Conservationand Natural History, 19:1 (2012)

Source: http://www.vidusara.com/2012/05/09/feature3.html

No comments:

Post a Comment